With Girimānanda
Girimānanda Sutta
PDFGenerated
Ten perceptions taught in the context of Venerable Girimānanda’s illness.
Use it as a list of ten contemplations, taking one theme at a time.
Read here in the library
අඞ්ගුත්තරනිකායො දසම නිපාතය 2. දුතිය පණ්ණාසකය (6) 1. සචිත්ත වර්‍ගය 10.60. ගිරිමානන්‍ද සූත්‍රය Msdiv 60 එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු මහ සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’ යි කියා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ’’ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් වහන්සේ, ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ වේ’’. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටි සේක. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිර තෙම ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් තෙම යම් තැනෙක්හිද, අනුකම්පා උපදවා එහි වඩිත්වා’’ යි කීහ.
’’ආනන්‍දය, ඉදින් ඔබ ගිරිමානන්‍ද භික්‍ෂුව කරා පැමිණ, දස සංඥාව කියන්නෙහිය. යම් හෙයකින් ගිරිමානන්‍ද භික්‍ෂුවට දස සංඥාව අසා ඒ ලෙඩය ක්‍රමයෙන් සංසිඳෙන්නේය, යන මේ කාරණය විද්‍යමාන වේ.
’’කවර දසයක්ද යත්? අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අශුභ සංඥාව, දොෂ දක්නා සංඥාව, දුරු කරණ සංඥාව, නොඇලෙන සංඥාව, නිවණ යන සංඥාව, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව, සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය සංඥාව, හුස්ම ඉහළ පහළ ගැනීමේ සිහිය යන දසයයි.
’’ආනන්‍දය, අනිත්‍ය සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, රුකක් මුලකට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරය අනිත්‍යය, විඤ්ඤාණය අනිත්‍යයයි, මෙසේ ප්‍රත්‍යවෙක්‍ෂා (නුවණින් බැලීම) කරයි. ’මෙසේ මේ මාගේය’ යි ඇලීම ඇතිකර ගත් ධර්‍ම පස කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. ආනන්‍දය, මේ අනිත්‍ය සංඥාවය.
’’ආනන්‍දය, අනාත්ම සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, රුකක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ ඇස අනාත්මය, රූපය අනාත්මය, කණ අනාත්මය, ශබ්දය අනාත්මය, නාසය අනාත්මය, ගඳ සුවඳ අනාත්මය, දිව අනාත්මය, රසය අනාත්මය, ශරීරය අනාත්මය, ස්පර්‍ශය අනාත්මය, සිත අනාත්මය, සිතට වැටහෙන දෙය අනාත්මයයි මෙසේ කල්පනා කරයි. මෙසේ තමා තුළ පිහිටියාවූද, බැහැර සිටියාවුද, සසර දික් කරණ ධර්‍මයන් කෙරෙහි අනාත්මය අනුව බලමින් වාසය කරයි. ආනන්‍දය, මේ අනාත්ම සංඥාවයයි කියනු ලැබේ.
’’ආනන්‍දය, අශුභ සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම දෙපතුලින් උඩ මස්තකයෙහි කෙශයන්ගෙන් යට සම කෙළවරකොට ඇති මේ ශරීරයෙහි නානා ප්‍රකාර අශුභ දේ නුවණින් කල්පනා කරයි. මේ ශරීරයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩුව, හෘදය, අක්මාව, දළබුව, බඩදිව, පපුමස, බඩවැල, අතුනුබහන්, නොපැසුනු අහර, අශූචි, පිත, සෙම, සැරව, ලෙය, ඩහදිය, මේද තෙල, කඳුළු, වුරුණු තෙල, කෙළ, සොටු, ඇට මිදුළු, මූත්‍ර යන මේ නානා ප්‍රකාර අශූචිත් ප්‍රත්‍යවෙක්‍ෂා කරයි. ආනන්‍දය, මේ අශුභ සංඥායයි කියනු ලැබේ.
’’ආනන්‍දය, දෝෂ දක්නා සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, ගසක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, මේ ශරීරය බොහෝ දුක්ය, බොහෝ දෝෂය, මෙසේ මේ ශරීරයෙහි යම් සේ ඇස් රෝගය, කන් රෝගය, නාසා රෝගය, දිවේ රෝගය, ශරීරයෙහි රෝගය, හිසේ රෝගය, කර්‍ණ රෝගය, කටේ රෝගය, දත් රෝගය, කාශය, ස්වාසය, පීනසය, ඩහදිය, ජරාව, ඛණ්ඩ රෝගය, මූර්ච්ඡාව, අතීසාරය, ශූලය, කොලරා රෝගය, කුෂ්ට, ගෙඩි, ලාදුරු, ක්‍ෂය, අපස්මාරය, දද, කැසීම, කුෂ්ටය, රඛසා කුෂ්ටය, රත්පිතය, දියවැඩියාව, පක්‍ෂාඝාත රෝගය, පිළිකා, භග අතරෙහි එන ගෙඩිය, පිතින් උපන් ලෙඩය, සෙමින් උපන් ලෙඩය, වාතයෙන් උපන් ලෙඩය, තුන් දොස් කිපීමෙන් උපන් ලෙඩය, ඎතු විපර්‍ය්‍යාසයෙන් උපන් ලෙඩය, වෙනස් පැවැත්මෙන් උපන් ලෙඩය, උපක්‍රමයෙන් උපන් ලෙඩය, කර්‍ම විපාකයෙන් උපන් ලෙඩය, සීතය, උෂ්ණය, බඩගින්නය, පිපාසය, මලය, මූත්‍රය, යන නානා ප්‍රකාර ලෙඩ උපදිත්. මෙසේ මේ ශරීරයෙහි දොෂය අනුව බලන සුලුව වාසය කරයි. ආනන්‍දය, මේ ආදිනව සංඥායයි කියනු ලැබේ.
’’ආනන්‍දය, දුරු කරණ සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම උපන් කාම සිතිවිල්ල නොඉවසයිද, අත්හරියිද, දුරු කරයිද, කෙළවර කරයිද, අභාවයට පමුණුවයිද, උපන් ක්‍රොධ සිතිවිල්ල නොඉවසයි, අත් හරියි, දුරු කරයි, කෙළවර කරයි, අභාවයට යවයි, උපන් හිංසා සිතිවිල්ල නොඉවසයි, අත්හරියි, දුරුකරයි, කෙළවර කරයි, අභාවයට යවයි, උපනුපන් ලාමක අකුශල ධර්‍මයන් නොඉවසයි, අත්හරියි, දුරු කරයි, කෙළවර කරයි, අභාවයට යවයි. ආනන්‍දය, මේ දුරුකරණ සංඥායයි කියනු ලැබේ.
’’ආනන්‍දය, නොඇලෙන සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයට ගියේ හෝ, රුකක් මුලට ගියේ හෝ, හිස් ගෙයකට ගියේ හෝ, යම් මේ සියලු සංස්කාරයන්ගේ මැඩ පැවැත්මක් වේද, සියලු තෘෂ්ණාදී කෙළෙසුන්ගේ දුරු කිරීමක් වේද, තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරුද්‍ධියක් වේද, නිර්‍වාණයක් වේද, මෙය ශාන්තය, මෙය පූර්‍ණයයි, මෙසේ කල්පනා කරයි. ආනන්‍දය, මේ නොඇලෙන සංඥාවයයි කියනු ලැබේ.
’’ආනන්‍දය, නිරොධ සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයට ගියේ හෝ, ගසක් යටට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, යම් මේ සියළු සංස්කාරයන්ගේ සන්සිඳීමක් වේද, තෘෂ්ණාදී කෙළෙසුන්ගේ දුරුකිරීමක් වේද, සියලු තෘෂ්ණාවගේ ක්‍ෂය වීමක් වේද, නිරුද්‍ධියක් වේද, නිවීමක් වේද, මේ නිවණ ශාන්තය, මේ නිවණ ප්‍රණීතයයි මෙසේ කල්පනා කරයි. ආනන්‍දය, මෙය නිරොධ සංඥායයි කියනු ලැබේ.
’’ආනන්‍දය, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම යමක් ලෝකයෙහි පිළිවෙළින් දැඩි සේ ගන්නා, සිතට වැටහෙන, වැද ගන්නා, ඇතුළත සයනය කරණ, යම් ක්ලේශයන් වෙත්ද, ඔවුන් නොගනිමින්, දුරු කරමින් නොඇලෙයි. ආනන්‍දය, මේ සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව වේ.
’’ආනන්‍දය, සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව කවරීද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම සියලු සංස්කාරයන් පෙළයි. ගරහයි. පිළිකුල් කෙරෙයි. ආනන්‍දය, මේ සියලු සංස්කාරය්හි අනිත්‍ය සංඥායයි කියනු ලැබේ.
’’ආනන්‍දය, ආනාපාන සතිය කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, ගසක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, පලක් බැඳගෙන, ශරීරය ඎජුව තබා, සිහිය අභිමුඛයට ගෙන, හෙතෙමේ සිහි ඇතිව ආශ්වාස (හුස්ම ගැනීම) කරයි. සිහි ඇතිව ප්‍රශ්වාස (හුස්ම හෙළීම) කරයි. දීර්‍ඝව ආශ්වාස කරන්නේ, දිර්‍ඝව ආශ්වාස කරමියි දනියි. දීර්‍ඝව ප්‍රශ්වාස කරන්නේ, දීර්‍ඝව ප්‍රශ්වාස කරමියි දනියි. හ්‍රස්වව (කොටට) ආශ්වාස කරන්නේ, හ්‍රස්වව ආශ්වාස කරමියි දනියි. හ්‍රස්වව ප්‍රශ්වාස කරන්නේ, හ්‍රස්වව ප්‍රශ්වාස කරමියි දනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස සමූහය දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස සමූහය දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. කයේ ක්‍රියා කිරීමේ ශක්තිය මැඩ පවත්වන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. කයේ ක්‍රියා කිරීමේ ශක්තිය මැඩ පවත්වන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. ප්‍රීතිය විඳින්නේ ආශ්වාස කරමියි හික්මෙයි. ප්‍රීතිය විඳින්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සැපය විඳින්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සැපය විඳින්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම මැඩ පවත්වන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිතේ රැස් කිරීම මැඩ පවත්වන්නේ ප්‍රශ්වාස කරමියි හික්මේ. සිත දන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිත දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මේ. සිත අතිශයින් සතුටු කරන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිත අතිශයින් සතුටු කරන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිත තැන්පත් කරන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිත තැන්පත් කරන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිත මුදන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිත මුදන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. අනිත්‍යය අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. අනිත්‍යය අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. නොඇලීම අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. නොඇලීම අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. නිරුද්‍ධිය අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. නිරුද්‍ධිය අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. දුරුකිරීම අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. දුරුකිරීම අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. ආනන්‍දය, මේ ආනාපාන සතියයි කියනු ලැබේ.
’’ආනන්‍දය, ඉදින් ඔබ ගිරිමානන්‍ද මහණතෙම වෙත එළඹ මේ දස සංඥාවන් කියන්නේය. මේ දස සංඥාවන් අසා යම් හෙයකින් ගිරිමානන්‍ද භික්‍ෂුවගේ ඒ ලෙඩය ක්‍රමයෙන් යටපත් වන්නේද, මේ කරුණ විද්‍යමාන වේ.’’
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ දස සංඥාවන් උගෙන ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන්ට මේ දස සංඥාවන් කීහ. ඉක්බිති ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන්ට මේ දස සංඥාවන් අසා ඒ ආබාධය ක්‍රමයෙන් සංසිඳුනේය. ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් වහන්සේ ඒ ආබාධයෙන් නැගී සිටි සේක. ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන්ගේ ඒ රෝගය එසේම ප්‍රහීණ විය.
සචිත්ත වර්‍ගය නිමි.
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source