LibraryKNDhp 1–20
Dhp 1–208 min read

Dhammapada · Pairs

Yamakavagga

20
PDFGenerated
01 · Overview

The opening twenty verses of the Dhammapada, emphasizing the leading role of mind and the results of action.

02 · Reading guide

Ideal for a few verses each day; save a verse and return to it during the day.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

ඛුද්දක නිකාය ධම්මපදය 1. යමක වර්ගය නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

Msdiv 1 SC 1 (අරූප) ධර්මයෝ (කර්ම) සිත පෙරටුකොට ඇත්තාහ සිත උතුම් කොට ඇත්තාහ. සිතින් උපදනා හෙයින් මනෝමයහ. ඉදින් දූෂිතවූ සිතින් යුක්තව (චතුර්විධි වාග් දුශ්චරිතය) බෙනේ නම් හෝ (ත්‍රිවිධ කාය දුශ්චරිතය) කෙරේ නම් හෝ ඒ හේතුවෙන් (විපාක) දුක්ඛය ඒ පුද්ගලයා අනුව යන්නේය. (කුමක් මෙන්ද යත්?) ගැල උසුලන ගොනුන්ගේ පිය අනුව යන ගැල සක මෙනි.

Msdiv 2 SC 2 (අරූප) ධර්මයෝ කර්ම සිත පෙරටු කොට ඇත්තාහ. සිත උතුම් කොට ඇත්තාහ. සිතින් උපදනා හෙයින් මනෝමයහ. ඉදින් ප්‍රසන්නවූ සිතින් බෙනේ නම් හෝ කෙරේනම් හෝ ඒ හේතුවෙන් (විපාක) සුඛය ඒ පුද්ගලයා අනුව යන්නේය. (කුමක් මෙන්ද යත්?) ශරීරයෙන් පහනොවන්නාවූ සෙවනැල්ල මෙනි.

Msdiv 3 SC 3 (i) මට ආක්‍රොශ කෙළේයියද, මට ගැසීයයිද, මා දිනීයයිද, මා (සතු දෙය) පැහැර ගත්තේ යයිද, යම් කෙනෙක් ඒ (ක්‍රොධය) (නැවත නැවත සිත්හි) (ii) බඳිත් ද ඔවුන්ගේ ඒ වෛරය නොසන්සිඳෙයි.

Msdiv 4 SC 4 (මෙහි 3 (i) ඡෙදය යෙදිය යුතුයි.) නොබඳිත් ද ඔවුන්ගේ වෛරය සන්සිඳෙයි.

Msdiv 5 SC 5 මේ ලෝකයෙහි වෛරයෙන් වෛරයෝ කිසිකලෙක්හිදු නොසන්සිඳෙන්නාහ. අවෛරයෙන්ම වෛරය සන්සිඳෙන්නාහ. මේ (අවෛරයෙන් වෛරය සන්සිඳවීම) පුරාතනවූ ගුණධර්මයකි.

Msdiv 6 SC 6 මේ (සඟ) මැද (පණ්ඩිත ජනයා කෙරෙන් අන්‍යවූ කළහකාර) යමෙක් අපි නසුම්හයි නොදතිත්ද, ඒ කළහකරුවන් අතුරෙහි යම් (පණ්ඩිත ජන) කෙනෙක් වනාහි (අපි නසම්හයි) දනිද්ද ඒ හේතුවෙන් කළහයෝ සන්සිඳෙන්නාහ.

Msdiv 7 SC 7 (විසභාග අරමුණු) ශුභ වශයෙන් අනුව බලමින් වාසය කරන්නාවූ, (එහෙයින්ම චක්‍ෂුරාදී) ෂඩින්ද්‍රියයන් කෙරෙහි සංවරයක් නැත්තාවූ ආහාරයෙහිද පමණ නොදන්නාවූ, කුසීතවූ (හෙවත් ග්‍රන්ථධුර විදර්ශනා ධුරයන්හිද වත් පිළිවෙත් පිරීමෙහිද මැළිවූ) වීර්යය රහිතවූ ඒ (මෙබඳු) පුද්ගලයා (ක්ලේශ) මාරතෙම ඒකාන්තයෙන් මැඩපවත්නේයි. [කුමක් මෙන්ද යත්] (ප්‍රචණ්ඩ) වාතය තෙම දුර්වල වෘක්ෂයක් (උපුටා හෙලන්නාක්) මෙනි.

Msdiv 8 SC 8 (උද්ධුමාතකාදි) අශුභයක් අනුව බලමින් වසන්නාවූ (චක්ෂුරාදි) ෂඩින්ද්‍රියයන් කෙරෙහි මනා සංවරයෙන් යුක්තවූ ආහාරයෙහිද පමණ දන්නාවූ, ශ්‍රද්ධාවෙන් යුක්තවූ (සතර ඉරියව්වෙහි) වඩන ලද වීර්යය ඇති ඒ (මෙබඳු) පුද්ගලයෝ (ක්ලේශ) මාරතෙම ඒ කාන්තයෙන් මැඩ නොපවත්නේය. [කුමක් මෙන්ද යත්] (දුර්වල) වාතය තෙම (ඝන) ශෛල පර්වතයක් (නොසෙල්වෙන) මෙනි.

Msdiv 9 SC 9 යම් පුද්ගලයෙක් තෙම (රාගාදී කෙලෙස්) කසටවූයේ (ඉන්ද්‍රිය) දමනයෙන් හා (වාක්) සත්‍යයෙන් පහවූයේ, කාෂායවස්ත්‍රය හැඳ පොරෝනේ වේද මෙබඳු ඒ පුද්ගලතෙම කාෂාය වස්ත්‍රය ධාරණයට සුදුසු නොවන්නේයි.

Msdiv 10 SC 10 යම් පුද්ගලයෙක් තෙම වමාරා දැමූ (කෙලෙස්) කසට ඇත්තේ වේද (චතුපාරිශුද්ධි) ශීලයෙහි මනාව පිහිටියේද (ඉන්ද්‍රිය) දමනයෙන් හා (වාක්) සත්‍යයෙන් යුක්තද ඒ පුද්ගලතෙම ඒකාන්තයෙන් කාෂාය වස්ත්‍ර ධාරණයට සුදුසුයි.

Msdiv 11 SC 11 අසාරයෙහි මේ සාරය යන දෘෂ්ටි ඇත්තාවූ, සාරයෙහිද මේ අසාරය යන දෘෂ්ටි (දැකීම්) ඇත්තාවූ, මිථ්‍යා සංකල්පය (වැරදි අදහස්) ම ගෝචරකොට ඇත්තාවූ ඒ (අඥාන) ජනයෝ (ලෞකික ලෝකොත්තර ධර්‍ම) සාරයට නොපැමිණෙන්නාහුය.

Msdiv 12 SC 12 සාරයද සාරවශයෙන් (දැන) අසාරයද අසාර වශයෙන් දැන වසන්නාවූ සම්‍යක් සංකල්පයම ගෝචරකොට (හරි අදහස්) ඇත්තාවූ ඒ ප්‍රාඥයෝ (ලෞකික ලොකොත්තර ධර්ම) සාරයට පැමිණෙන්නාහුය.

Msdiv 13 SC 13 යම්සේ නොසකස්කොට සොයන ලද (හෙවත් කුදු මහත් සිදුරු පෙනෙනසේ විරළකොට සොයන ලද්දාවූ) ගෙයක් වැසි (ධාරාතොම) විනිවිද යාද එපරිද්දෙන් අභාවිතවූ (නොවැඩූ) සිත කාමරාගය තෙම විනිවිද පවත්නේයි.

Msdiv 14 SC 14 යම්සේ සකස්කොට සොයන ලද ගෙයක් වැසි (ධාරතෙම) විනිවිද නොයාද එපරිද්දෙන් මනාකොට භාවිතවූ (වැඩූ) සිත කාමරාගය තෙම විනිවිද නොපවත්නේයි.

Msdiv 15 SC 15 පව්කම් කරන (සුළුවූ) පුද්ගලතෙමේ, මෙලොව ශෝක කරන්නේය, පරලොවත් ශොක කරන්නේය, මෙසේ දෙලොවම ශෝක කරන්නේය. හෙතෙම තමාගේ කිලිටිවූ (කායවාක්) කර්මය දැක මෙලොවම ශෝක කරන්නේය.

Msdiv 16 SC 16 කරණලද පින්කම් ඇති පුද්ගලතෙම, මෙලෙව්හි සතුටු වන්නේය. පරලෙව්හිද සතුටු වන්නේය. (මෙසේ) දෙලෙව්හිම සතුටු වන්නේය. හෙතෙම තමාගේ (පුණ්‍යකර්ම) විශුද්ධිය (පිරිසිදු බව) දැක සතුටු වන්නේය. හෙතෙම වෙසෙසින් සතුටු වන්නේය.

Msdiv 17 SC 17 පව් කරණ (සුළු) පුද්ගලතෙම, මෙලෙව්හි තැවෙන්නේය. පරලෙව්හි තැවෙන්නේය. දෙලෙව්හිම (මෙසේ) තැවෙන්නේය. මා විසින් පව්කරණ ලදැයි තැවෙන්නේය. දුගතියට ගියේ අතිශයින් තැවෙන්නේය.

Msdiv 18 SC 18 කරණ ලද පින්කම් ඇති පුද්ගලතෙම, මෙලොවද සතුටු වන්නේය. පරලොවද සතුටු වන්නේය. (මෙලෝ පරලෝ) දෙක්හි සතුටු වන්නේය. මා විසින් පින්කරණ ලදැයි මෙලොවදී සතුටු වන්නේය. සුගතියට ගියේ බොහෝකොට සතුටු වන්නේය.

Msdiv 19 SC 19 ප්‍රමත්ත (පමාවන) පුද්ගලතෙම (ත්‍රිපිටක) බුද්ධ වචනය බොහෝකොට කියන්නේ වීනමුදු (ඉදින්) ඒ නොකරන්නේ වීනම්, අනුන්ගේ ගෙරින් රක්නාවූ ගොපල්ලා මෙන් (සතරමග සතරඵලයයි කියනලද) ශ්‍රාමණ්‍යයට (මහණකමට) හිමි නොවන්නේය.

Msdiv 20 SC 20 ස්වල්පවූද බුද්ධ වචනය කියන්නාවූ පුද්ගලතෙම, (ඉදින්) (නවලෝකෝත්තර) ධර්මයට අනුරූපව පවත්නා සුළු වී නම් රාගයද ද්වේෂයද මෝහයද ප්‍රහාණය කොට (නසා) (පිරිසිඳ දතයුතු ධර්මයන්) මනාකොට දන්නාවූ, මනාව මිදුණු සිත් ඇත්තාවූ, මෙලොව (පවත්නාවූද) පරලොව (වන්නාවූද) [උපාදානයන් (හේතුකොටගෙණ) නිත්‍ය සුඛ ශුභ ආත්ම වශයෙන් නොගන්නා] ඒ (ආර්යය පුද්ගල) තෙම ශ්‍රාමණ්‍ය ගුණයට (මහණ බවට) හිමිවන්නේය.

පළමු යමක වර්ගය නිමි

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ven. Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection