LibraryDNDN 1
DN 1107 min read

The Divine Net

Brahmajālasutta

20
PDFGenerated
01 · Overview

While others may praise or criticize the Buddha, they tend to focus on trivial details. The Buddha presents an analysis of 62 kinds of wrong view, seeing through which one becomes detached from meaningless speculations.

02 · Reading guide

Read the full discourse slowly and reflect on key passages.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

දීඝ නිකාය සීලක්ඛන්ධ වර්ගය 1. බ්‍රහ්මජාල සූත්‍රය නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

පරිබ්බාජකකථා Msdiv 1 මා විසින් මෙසේ අසනලදී. (නොහොත් මගේ ඇසීම මෙලෙසයි.) එක් කාලයකදී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහපාරට පන්සියයක් පමණවූ බොහෝ භික්ෂු සංඝයා හා සමග (වැඩියෝය.) පැමිණියෝය. සුප්පිය නම් පිරිවැජියාද (ශාසනයෙන් පිටත් පැවිද්දාද) බඹදත් නම් තරුණ අතවැසියා සමග රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පැමිණියේය. එහිදී සුප්පිය පිරිවැජියා නොයෙක් අයුරෙන් බුදුන් කෙරෙහි අගුණ කියයි. ධර්මය කෙරෙහි අගුණ කියයි. සංඝයා කෙරෙහි අගුණ කියයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසියාවූ බඹදත් නම් මානවකයා නොයෙක් කරුණෙන් (ආකාරයෙන්) බුදුන්ගේ ගුණ කියයි, ධර්මයේ ගුණ කියයි, සංඝයාගේ ගුණ කියයි. මෙසේ මේ කරුණෙහි ඒ ඇදුරු-අතවැසි දෙදෙන ඔවුනොවුන් අතර සම්පූර්ණයෙන් විරුද්ධ කථා ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේද භික්ෂු සංඝයාගේද පසුපස්සේම ලුහුබැන්දෝය.

Msdiv 2 එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රජුන්ගේ විඩා හැරීමාදියට පිළියෙළවූ රාජාගාරක නම් ශාලාවෙහි එක් රාත්‍රියක් විසීමට භික්ෂු සංඝයා සමග පැමිණියෝය. සුප්පිය නම් පිරිවැජියාද අම්බලට්ඨිකා උයනෙහි රාජාගාරක නම් ශාලාවෙහි එක් රාත්‍රියක් විසීමට බ්‍රහ්මදත්ත නම් තරුණ අතවැසි මානවකයා සමග පැමිණියේය. එහිදීද සුප්පිය පිරිවැජි නොයෙක් ආකාරයෙන් බුදුන් කෙරෙහි අගුණ කියයි. ධර්මය කෙරෙහි අගුණ කියයි. සංඝයා කෙරෙහි අගුණ කියයි. සුප්පිය පිරිවැජියාගේ අතවැසි බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ කියයි. දහම් ගුණ කියයි. සඟ ගුණ කියයි. මෙසේ මේ කාරණයෙහි ඒ ගුරුවරයා සහ ඔහුගේ අතවැසියාද යන දෙදෙනා ඔවුනොවුන්ට හාත්පසින්ම විරුද්ධ මත ඇත්තෝව භාග්‍යවතුන් වහන්සේගේද, භික්ෂු සංඝයාගේද පසුපස්සේම ලුහුබැන්දෝය.

Msdiv 3 එකල රෑ පාන්දරින් මණ්ඩලමාල නම් රැස්වීම් ශාලාවෙහි එක්ව රැස්ව වැඩසිටි බොහෝ භික්ෂූන් අතරෙහි මේ කථා ධර්මය පහළවිය. “ඇවැත්නි, (පින්වත් භික්ෂුවරුනි) සියල්ල දන්නා භගවත් නම්වූ සියල්ල දක්නා අර්හත් නම්වූ සම්‍යක් සම්බුදුන් වහන්සේ විසින් සත්වයන්ගේ නොයෙක් අදහස් ඇති බව යම් පමණ හොඳින් අවබොධ කරණ ලද්දේද (අවබොධය) පුදුමය. මේ සුප්පිය පිරිවැජි නොයෙක් ආකාරයෙන් බුදුන්හට දොස් පවරයි, ධර්මයට දොස් පවරයි, සංඝයාහට දොස් පවරයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසිවූ බ්‍රහ්මදත්තනම් මානවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ කියයි. දහම් ගුණ කියයි, සඟ ගුණකියයි මෙසේ මේ ගුරුවර අතවැසි දෙදෙන ඔවුනොවුන්ට සම්පූර්ණ විරුද්ධ මත ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේගේද භික්ෂු සංඝයාගේද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්.”

Msdiv 4 එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගේ මේ කථාව දැන රැස්වී වැඩහිඳි ශාලාව යම් තැනෙකද එතනට පැමිණියෝය. පැමිණ පැණවූ ආසනයෙහි වැඩහුන්නෝය. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ (මෙසේ) භික්ෂූන්ගෙන් ඇසුවෝය. “මහණෙනි, දැන් මොනයම් කථාවකින් යුක්තව සිටියාහුද? තොපගේ මොනයම් කථාවක් පටන්ගෙන සිටියහුදැ”යි ඇසූහ. මෙසේ ඇසූ කල ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවෝය. “ස්වාමීනි, රෑ පාන්දර මේ රැස්වීම් ශාලාවෙහි රැස්ව වැඩහුන් අපට මේ කථා ධර්මය පහළ විය. සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්හත් සම්මා සම්බුදුවූ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්වයන්ගේ නොයෙක් නොයෙක් කල්පනා අදහස් ඇති බව යම් පමණ යහපත්සේ අවබොධ කරණ ලද්දේද, මේ වැටහීම පුදුමය. පෙර නුවූ දෙයක් වන්නේය. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුරජුන්ට දොස් පවරයි. ධර්මයට දොස් පවරයි. සංඝයාට දොස් පවරයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසිවූ බ්‍රහ්මදත්ත නම් මානවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ කියයි දහම් ගුණ කියයි, සඟ ගුණ කියයි. මෙසේ ගුරුවර අතවැසි දෙදෙනා ඔවුනොවුන්ට සම්පූර්ණ විරුද්ධ මත ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේද භික්ෂු සංඝයාද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්. ස්වාමීන්වහන්ස, අපගේ මේ අතුරු කථාව පටන් ගත්තාය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පැමිණියෝය”යි කීහ.

Msdiv 5 “මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”

“ස්වාමීනි, එසේ නැත්මය. (ඒ දැනීම නැත.)” මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, එවිට තොප විසින් මෙය, මේ හෙයින් (අභූත) වෙන්ට නුපුළුවන. මෙය මේ නිසා අසත්‍යය. මෙය අප කෙරෙහි නැත, මෙය අප කෙරෙහි (අවිද්‍යමානය) දකින්නට නැත. බොරුව බොරුව මෙන් එලිදරව් කළ යුතුය.

Msdiv 6 “මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියද්ද, ධර්මයේ හෝ ගුණ කියද්ද, සංඝයාගේ හෝ ගුණ කියද්ද, ඒ ගුණ කීමෙහි තොප විසින් ප්‍රීති නොකට යුත්තේය. සිත් අසතුටු නොකට යුත්තේය. සිත්හි උඩඟු බව නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියද්ද, ධර්මයේ හෝ ගුණ කියද්ද, සංඝයාගේ හෝ ගුණ කියද්ද තෙපි ඒ ගුණ කියන්නවුන් කෙරෙහි ඉදින් සතුටු වන්නාහු නම් සිත් අසතුටු වන්නෝවූ නම් උඩඟු වන්නෝවූ නම් තොපට එයින් අවැඩ (අනතුරු) වන්නේය

“මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියද්ද, ධර්මයේ හෝ ගුණ කියද්ද, සංඝයාගේ හෝ ගුණ කියද්ද, එවිට තොප විසින් ඒ කරුණ පිළිබඳව මෙය මේ හෙයින් (විද්‍යමානය) පැහැදිලිය. මෙය මේ නිසා සත්‍යය. මේ (ගුණය) අපකෙරෙහි ඇත්තේය. මෙය අප කෙරෙහි දකින්ට ලැබේ. (විද්‍යමානය) යයි ඇත්ත ඇත්ත මෙන් පහදා දියයුත්තේය. (ප්‍රතිඥා කළ යුත්තේයි.)

චූල ශීලය Msdiv 7 “මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා යම් කරුණකින් එය කියානම් එය ස්වල්ප මාත්‍රයකි. (සුළු දෙයකි) ලාමක මාත්‍රයකි, (සුළු ස්වභා ගතියෙකි,) ශීල මාත්‍රයෙකි, (අඩු දෙයකි) එසේ ස්වල්ප මාත්‍රවූ ලාමක මාත්‍රවූ ශීල මාත්‍රවූ ගුණ කියන පෘථග්ජනයෙක් යම් කරුණකින් තථාගතයන්ගේ ගුණ කියා නම් කුමක් කියාද?

Msdiv 8 “ශ්‍රමණ භවත් ගෞතමයෝ ප්‍රාණයට හිංසා කිරීම (ප්‍රාණඝාතය) අත්හැර දමා ප්‍රාණයකට හිංසා කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණාහ. (හිංසා කිරීමට) දඬු මුගුරු නොමැත්තෙක් වේ. පාපයට ලජ්ජා ඇත්තෙකි. දයාවන්ත බවට පැමිණියෙකි. සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් වාසය කෙරෙයි. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයෙක් මෙසේ හෝ කියන්නේය. ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ (අන්සතු) නුදුන්දේ ගැනීම අත්හැරදමා නුදුන් දේ ගැනීමෙන් වැළකුණාහ. දුන් දෙයම ගන්නා ස්වභාව ඇත්තාහ. දුන් දෙය ගැනම කැමති වන්නෝය. වංචා රහිතව පිරිසිදු සිතින් වාසය කරන්නාහ’යි. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන කෙලෙස් සහිත ජනයෙක් මෙසේ හෝ කියන්නේය.

“මහණෙනි, ශ්‍රමණ භවත් ගෞතමයෝ අබ්‍රහ්මචර්යාව (කාමසම්පත් දුරුකොට) කාම සැපයෙන් වැළකුණෝය. දුරාචාරයයි කියන ලද කාම සම්පතෙන් ඉතාමත් ඈත්වූවෙකි. ස්ත්‍රීන් පාවා ගැනීම් ආදී නොහොබිනා සිරිතෙන් (ග්‍රාම්‍ය ධර්මයෙන්) වෙන්වූවෝය’යි මෙසේ හෝ කෙලෙස් සහිත ජනයෙක් තථාගතයන්ගේ ගුණ කියන්නේය.

Msdiv 9 “ශ්‍රමණ ගෞතමයෝ බොරුකීමෙන් (මුසාවාදයෙන්) වැළකුණෝය. සත්‍යයම කියති. සත්‍යයම ගළපා කියති. ස්ථිරවූ ඇදහියයුතු කථා ඇත්තෝය. ලෝකයා මුළාකරන විෂම වාද නොකරන්නෝය. මහණෙනි, මෙසේ හෝ කෙලෙස් සහිත ජනයෙක් තථාගතයන්ගේ ගුණ කියන්නේය.

“ශ්‍රමණ ගෞතමයෝ පිසුනු බස් නමැති කේලාම් කීම අත්හැර කේලාම් කීමෙන් වැළකුණෝය. මෙතනින් අසා මොවුන්ගේ භෙදය පිණිස එතැන්හි නොකියයි. එතැනින් අසා ඔවුන්ගේ භෙදය පිණිස මොවුන්ට නොකියයි. මෙසේ බිඳුනවුන් ගළපන ස්වභාව ඇත්තාහ.

“මෙසේ භින්නවූවන් සම්බන්ධව හෝ ගළපන ස්වභාව ඇත්තෝය. සමගිවූවන්හට අනුබල දෙන්නෝය. සමගිවූවන් කෙරෙහි ඇලුනාහ (සමගි තන්හි වාසය ඇත්තෝය.) සමගි වූවන් කෙරෙහි සතුටු වෙති. සමගි කරණ වචන කියති.’ මහණෙනි තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයෙක් මෙසේ හෝ කියන්නේය.

“ශ්‍රමණ ගෞතමයෝ පරුෂ වචනය අත්හැර පරුෂ වචනයෙන් වැළැක්කෝය. යම් වචනයක් නිදොස්ද, කණට සැපද පෙම් වඩාද, සිත් සතුටු කරයිද, මිහිරිද, බොහෝ දෙනාට ප්‍රියවේද, බොහෝදෙනාගේ හිත් ප්‍රිය කරන්නේද, එවැනි වචන කියන්නේය’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ කියයි.

“ශ්‍රමණ භවත් ගෞතමයෝ සම්ඵප්‍රලාපය (වැඩ නැති කථා) අත්හැර (සම්ඵප්‍රලාපයෙන්) නිසරු හිස් බස් බිණීමෙන් වැළකෙන්නෝය. කියයුතු කාලය සලකා කියන්නෝය. සත්‍යයම කියන්නෝය. දියුණුව සලකා කියන්නෝය. ධර්මය කියන්නෝය. (විනය) මනා හික්මීම ගැන කියන්නෝය. සුදුසු කල්හි උපමා කරුණු සහිතවූ යොග්‍ය ලෙස සීමාසහිතවූ අර්ථයෙන් යුක්තවූ හිතේ තබාගත යුතුවූ වචන කියන්නෝය. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ කියන්නේය.

Msdiv 10 “ශ්‍රමණ ගෞතමයෝ තණ, ගස්, වැල් ආදීන්ගේ භෙදනයෙන් (කැඩීම් සිඳීම් වලින්) වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ රාත්‍රි කෑමෙන් වැළකී විකාලභොජනයයි කියන ලද නුසුදුසු කාලයේ කෑමෙන් වෙන්ව එක්වේලේ වළඳන්නෝය. ශ්‍රමණ ගෞතමයෝ නැටීම්, ගීකීම්, වැයීම්, කෝලම් බැලීම් ආදියෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ මල්මාලා සුවඳ දැරීම් වැනි සැරසීම් වලින් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ නුසුදුසු උස් ආසන මහා ආසනයන් ගෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ රන් රිදී මිළ මුදල් පිළිගැනීමෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ අමු මාංශ පිළිගැනීමෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ ස්ත්‍රීන් හෝ ගෑනු දරුවන් පිළිගැනීමෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ දාසයින් හෝ දාසීන් පිළිගැන්මෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ එළුවන් බැටළුවන් පිළිගැන්මෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ කුකුළන් ඌරන් පිළිගැන්මෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ ඇතුන් ගවයින් අශ්වයින් වෙළඹුන් පිළිගැන්මෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ කුඹුරු වතු පිළිගැන්මෙන් වැළකුණෝය.

ශ්‍රමණ ගෞතමයෝ දූත ගමන් සහ ගෙන්ගෙට යන (පණිවුඩ පනත්) මෙහෙවරින් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ ගණුදෙනු කිරීම් ආදී වෙළහෙළඳාමෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ හොර කිරුමෙන් හා මැනුමෙන්ද රත්රන් වංචා කිරීමාදියෙන්ද වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ අල්ලස් ගැනීම් වංචා මායම් යන නපුරු ප්‍රයෝගයන් ගෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ කැපීම්, වදදීම්, බැඳීම්, වස්තු බලයෙන් ගැනීම්, ගම් ආදිය පැහැරීම්, බලාත්කාර ක්‍රියාවලින්ද වැළකුණෝය.’ මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත අය කියන්නෝය”යි වදාළසේක.

චූල ශීලය නිමි.

මධ්‍යම ශීලය Msdiv 11 “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙසේ හෝ තණගස් වැල් ආදිය විනාශ කිරීමෙහි යෙදී වාසය කරති. එවැනි තණ ගස් වැල්වල මුල්වලින් පැලවෙන, කඳ පැලවෙන, පුරුක් පැලවෙන, දලු පැලවෙන බීජයෙන් පැලවෙන, පහක් (පස් වර්ගයක්) වේ. මෙයාකාර තණ ගස් වැල් ආදිය විනාශ කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.

Msdiv 12 “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ දේ රැස්කොට තබා ප්‍රයෝජන ගැනීමෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම් ආහාර වර්ග තබා ප්‍රයෝජන විඳීමය. පානවර්ග තබා ප්‍රයෝජන විඳීමය. රෙදිපිළි ආදී ඇඳුම් ලබා නගා තිබීමය. රථ වාහන තබා ප්‍රයෝජන විඳීමය. ඇඳ, පුටු ආදිය රැස්කොට තබා ප්‍රයෝජන විඳීමය. සුවඳ ද්‍රව්‍ය තබාගෙන ප්‍රයෝජන විඳීමය. (තල සහල් ආදිය) තබා ප්‍රයෝජන විඳීමාදී මෙසේ මෙබඳු සත් වැදෑරුම් දේ රැස්කොට තබා ප්‍රයෝජන විඳීමෙන් සම්පූර්ණයෙන් වැළකුණේ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.

Msdiv 13 “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි විහිලු දේ දැක්මෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම්- නැටීමය, ගී කීමය, වීණා ආදිය වැයීමය, රඟමඬුලු බැලීමය, ගොතා රසකර කියන ලද බොරු කථා ඇසීමය, කංසතාලම් හෝ අත්තාලම්ය, මළමිනී නැංවීම නමැති විජ්ජා කිරීම, බෙර ගැහුම්ය, (ප්‍රතිභාන චිත්‍ර විචිත්‍රය) නෘත්‍යයේදී සිත් ඇලුම් කරන ශරීර චංචලය, සණදෙවුම් කෙළිය, උනගස් ඔසවා නැටුම, මිනී ඇට සෝදා තැබීමය, ඇත් පොරය, අශ්ව පොරය, මීවුන් පොරය, ගව පොරය, එළු පොරය, බැටළු පොරය, කුකුළු පොරය, වටුවන් පොරය, පොලු හරඹය, මිටින් මිට ගැසීමේ පොරය, මල්ලව (නම් පොර ඇල්ලීම) යුද්ධ කිරීම, යුද සෙන් පිරික්සීමය, (සේනාසන්නිවෙස) කඳවුරුය, සතරාකාර යුද්ධ හමුදාව (සිවුරඟසේනාව) දැකීමය ආදියයි. මෙසේ මෙයාකාර විසුළු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.

Msdiv 14 “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ප්‍රමාදයට කාරණවූ මෙයාකාර සූදුකෙළියෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම්, අට මඬුලු (කොටු) කෙළිය, දස මඬුලු (කොටු) කෙළිය (ලනුපැනීම) අහස්කෙළිය (කොටු පැනීම) (කට්ටි පැනීම) එක්කොට තබන දේ නොසොල්වා ගැනීමේ ලම කෙළිය, සිංකෙළීම. (එනම් සැලුම්කෙළිය, කූරුගැසීමෙන් පින්තූර සෑදීමේ සෙල්ලම, බිම හෝ බිත්තිවල ලීකූරු ගසා ඇත් අස් ආදී රූප දක්වා ක්‍රීඩාකිරීම, පන්දුකෙළිය, පත් කුලල් (වස්දඬු) පිඹීමය, නඟුල්කෙළිය, කරනම්ගැසීම, කන්නන්ගුරු කෙළිය. එනම් තල් පත් ආදිය පෙන්නා මුළාකොට කරණ වංචනික ක්‍රීඩාවකි.) වැලි ආදිය මැනීමේ සෙල්ලම, රථවාහන යොදා කරන සෙල්ලම දුනුකෙළිය, අකුරුසෙල්ලම සිතූදේ කීමේ සෙල්ලම, දෝෂරූප දක්වා කරන සෙල්ලම යනුයි. මෙසේ ප්‍රමාදයට කරුණුවූ සූදු සෙල්ලමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.

Msdiv 15 “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ ‘උස් ආසන’ ‘මහ ආසන’යන්හි වාඩිවීමෙන් යුක්තව වාසය කරති. එනම් දික්හඟලා පුටුය, පලඟය, අඟල් හතරකට වඩා දික් ලොම් ඇති ඇතිරිය (ඇතුරු ආසනය) එළු ලොමින් සැරසූ ඇතිරිය, එළු ලොමින් සෑදූ සුදු ඇතිරිය, එළුලොමින් සෑදූ ඝන මලින් යුත් ඇතිරිය, ගුදිරිය, සිංහාදී රූපයෙන් සැරසූ එළු ලොම් ඇතිරිය, දෙපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය, එකපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය රත්තරණින් කැටයම්කළ පසතුරුණුය, (පලස්) පටනූලෙන් කළ පසතුරුණුය, නාටිකාවන් දහසය දෙනෙකුට නැටියහැකි එළුලොමින් කළ මහ ඇතිරිය, ඇතුන්පිට අතුරණ ඇතිරිය, අසුන්පිට අතුරණ ඇතිරිය, රථපිට අතුරණ ඇතිරිය, අඳුන් දිවිසමින් කළ පසතුරුණුය, කෙසෙල් මුව සම් වැනි සමෙන් කළ උතුම් පසතුරුණුය, මත්තෙහි බඳිනාලද රතු වියන් සහිතවූ දෙපැත්තෙහි තබන ලද රතු කොට්ටා ඇති ආසනය යනාදියයි. මෙබඳුවූ ‘උස් ආසන’ මහා ආසනයන්ගෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය,’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.

Msdiv 16 “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ (ශරීරයට සම්බන්ධවූ) සැරසීමය, අඩු තැන් පිරවීමය යන කරුණෙහි යෙදී වාසය කරති. එනම්: සුවඳකුඩු ඇඟ ගැල්වීමය, ඇඟ අතගෑමය, නෑවීමය, මිරිකීමය (කැඩපත්) මුහුණ බලන කන්නාඩි අඳුන්, ගෙතූ නොගෙතූ මල් හා (විලවුන්) එනම් මල් සහිත සුවඳ සුණුය, (මුවසුණුය) මුහුණේ ලන සුවඳ සුණු හා කටේ ගාන (ආලෙපය) සුවඳ කල්කය, අත්වල පළඳින ආභරණය, අතේ තබාගෙන යන දඬු කෝටු (සැරයටි) ආදිය, බෙහෙත් සුර; කඩු, කුඩ, සැරසිලි සහිත සෙරෙප්පු, සපත්තු දමාගෙන ඇවිදීමය, නළල්පටි, හිස මුදුනේ පළඳින මැණික් සහිත ආභරණ, වල්විදුනා (පවන් සැලීමට ගන්නා චාමර) දැරීමය, දික්දාවලු වලින් යුත් සුදුරෙදි ඇඳීමය යනාදියයි. මෙබඳුවූ සැරසීම හා අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.

Msdiv 17 “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ වැඩනැති කථාවෙහි යෙදී වාසය කරති. එනම්: රජුන් ගැන කථාය, සොරුන් ගැන කථාය, මහා ඇමතියන් ගැන කථාය, සේනා ගැන කථාය, භය ගැන කථාය යුද්ධ ගැන කථාය, කෑම ගැන කථාය, බීම ගැන කථාය, ඇඳුම් පැළඳුම් ගැන කථාය, නිදාගැනීම් ගැන කථාය, මාලා ගැන කථාය, සුවඳ ද්‍රව්‍ය ගැන කථාය, නෑයන් ගැන කථාය, යාන (රථ) ගැන කථාය, ගම් ගැන කථාය, ගම් අසල නියම්ගම් ගැන කථාය, නුවර ගැන කථාය, ජනයා ගැවසීගත් පළාත් ගැන (ජනපද) කථාය, ස්ත්‍රීන් ගැන කථාය, පුරුෂයන් ගැන කථාය, වතුරගන්නා තැන්වලට හෝ තොටුපළවලට රැස්වූ අය කරණ කථාය, නැසීගිය නෑයන් ගැන කථාය, නොයෙක් (ප්‍රයෝජන නැති දේ) ගැන කථාය, ලෝකයේ මැවුම්කාරයා ආදී විනිශ්චය නැති දේ ගැන කථාය, මහමුහුද ගැන කථාය, ඇතිවීම නැතිවීම ගැන (සීමාරහිත) කථාය යන මේ කථායි. මෙබඳුවූ කථාවෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.

Msdiv 18 “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ දොස් පවරා නින්දාකරන කථාවෙහියෙදී වාසය කරති. එනම්: ‘උඩඟු ලෙස තෝ මේ ධර්මය අනුව හැසිරීම නොදන්නෙහිය. මම මේ ධර්මය දනිමි. තෝ මේ ධර්මය අනුව හැසිරීම කුමක්දැයි දන්නෙහිද? තෝ වරදවා පිළිගන්නෙහිය. යහපත් අන්දමින් මම මොනවට පිළිපන්මි. මගේ වචනය අර්ථ සහිතය. (සිලුටුය), තගේ වචනය අනර්ථයෙන් යුක්ත වෙයි (නොසිලුටුය), පළමුව කියයුතු දේ පසුව කීයෙහිය. පසුව කිය යුතු දේ පළමුව කීයෙහිය. තා විසින් පුරුදු කරන ලද්ද පෙරැළී ගියේය. තට වාදාරොපණය (වාද නැගීම) කරණ ලද්දේය. නින්දා කරණ ලද්දේවෙහිය. වාදයෙන් මිදෙන පිණිස හැසිරෙව, ඉදින් සමර්ථයෙහි නම් දැන්ම තෝ වාදයෙන් ගැළවී යව’ මෙසේ මෙබඳු දොෂාරෝපණ කථාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.

Msdiv 19 “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි දූතකම් (වැඩකාරකම්) සහ පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වාසයකරති. එනම් රජුන්ගේ, රාජ මහා ඇමතියන්ගේ, ක්ෂත්‍රියයන්ගේ, බ්‍රාහ්මණයන්ගේ, ගෙදර ප්‍රධානයන්ගේ (ගෘහපතියන්ගේ), කුමාරයන්ගේ ‘මෙහි එනු’ (ඔහේ) ‘එහාට යනු’ ‘මෙය ගෙන එනු’ ‘එහාට මෙය ගෙන යනු’ ආදී වශයෙනි. එවැනි වැඩකාරකම් (දූතකම්) හා පණිවුඩ ගෙනයාමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.

Msdiv 20 “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි කුහකයෝද වෙති. සිවුපසය (සිවුරු, දන්, අසුන්, ගිලන්පස) ලබාගැනීම පිණිස වචන කියන්නෝද, නිමිති දක්වන්නෝද, අනුන්ගේ ගුණ නැතිකිරීමට කථා කිරීමෙන් ලාභ ලබන්නෝද, ලාභයෙන් ලාභයක් සොයන්නෝද වෙති. මෙවැනි කුහක (ලාභයෙන්) සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.

මධ්‍යම ශීලය නිමි.

මහා ශීලය Msdiv 21 “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා (වැරදි ඇදහීම් වලින් යුත්) ජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්: සාමුද්‍රිකා ශාස්ත්‍රය (අත්බැලීම හෝ ශරීරයේ අවයව බලා ශාස්ත්‍රකීම, නිමිතිකීම) අසනිපාතාදී මහත් නිමිත්තෙන් ශුභාශුභ කීම, උත්පාතය කීම, ස්වප්න (සිහින) ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, (රෙදි ආදිය මීයන් කැපූකල ශුභාශුභ කීම, මූෂික ශාස්ත්‍ර, (ගිනි දෙවියා පිදීම එනම්) ගිනිපිදීම, හැඳියාගය, (ගිනිපූජා මාර්ගයක්) දහවියා යාගය, කුඩුයාගය, හාල් යාගය, ගිතෙල් යාගය, තෙල් යාගය, මුව යාගය. (අබ ආදිය කටේ දමා මන්ත්‍ර කියා ගින්නට පිඹීම හෝ දැමීම). ලේ යාගය, අංග විද්‍යාය, (ශරීරය හෝ ඇඟිලි පූරුක් බලා ගුණ අගුණ කීම) වාස්තු විද්‍යාය, (ගෙයක බඩු ආදියේ ගුණ දොස් පෙන්වීම), නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්තිකරණ විද්‍යාව (සිවල්රුත) භූත විද්‍යාව (යක්ෂයින් දමනය කරණ විද්‍යාව), බිමගෙයි වාසය කරන්නන් විසින් ඉගෙනගතයුතු මන්ත්‍රය, සර්ප මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑකල පිළියම් කිරීමේ විද්‍යාය, (පක්ෂි) කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය යනුයි. එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරණ මිථ්‍යා (වැරදි ඇදහීමෙන් යුත්) ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය ‘මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.

Msdiv 22 “සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් (වැරදි ඇදහීම් වලින් යුත් ජීවිකාවෙන්) ජීවිකාව කෙරෙත්. එනම්: මාණික්‍යයන්ගේ ශුභ අශුභ කියන මණිලක්ෂණය, දඬු ගැනීමෙහි ශුභ අශුභ කියන දණ්ඩලක්ෂණය, ඇඳුම්වල ශුභ අශුභ කියන වස්ත්‍ර ලක්ෂණය, කඩු ලකුණුය, ඊ ලකුණුය, දුනු ලකුණුය, ආයුධ ලකුණුය, ස්ත්‍රීලකුණුය, පුරුෂ ලකුණුය, පිරිමි ළමයින්ගේ ලකුණුය, ගෑනු ළමයින්ගේ ලකුණුය, දාසයින්ගේ ලකුණුය, දාසීන්ගේ ලකුණුය, ඇතුන්ගේ ලකුණුය, අශ්ව ලකුණුය, මීහරක් ලකුණුය, ගොන් ලකුණුය, දෙනුන්ගේ ලකුණුය, එළුලකුණුය, බැටළු ලකුණුය, කුකුළු ලකුණුය, වටු ලකුණුය, කබරගොයින් ආදීන්ගේ (ගොධා) ලක්ෂණය - (කර්ණිකා ලක්ෂණය) හිස් කන් ආදී ආභරණ ලක්ෂණය, කැසුබුලක්ෂණය මෘග ලක්ෂණය යනුයි මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් කරණ මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.

Msdiv 23 “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයාකාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකා කෙරති. එනම්: (අසවල් දින) රජුගේ බැහැරයාම වෙයි, රජුගේ ආපසු ඒම වෙයි, ඇතුළු නුවර උන් රජුගේ සමීපයට යාම වෙයි, පිට රජුන්ගේ ඉවත යෑම වෙයි, ඇතුළු නුවර රජුන්ට ජය වෙයි, පිට රජුන්ට පරාජය වෙයි, පිටරජුන්ට ජය වෙයි, ඇතුළු නුවර රජුන්ට පරාජය වෙයි, මෙසේ මොහුට ජය වන්නේය. මොහුට පරාජය වන්නේය. මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය’ “මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.

Msdiv 24 “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයාකාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකා කෙරෙති. එනම්: (අසවල් දින) චන්ද්‍රග්‍රහණය වන්නේය. සූර්යග්‍රහණය වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ග්‍රහණය වන්නේය, චන්ද්‍ර සූර්යයන්ගේ ගමන (ස්වකීය) මාර්ගයෙහි වන්නේය, චන්ද්‍ර සූර්යයන්ගේ ගමන අමාර්ගයෙහි වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ගමන (ස්වකීය) මාර්ගයෙහි වන්නේය (ග්‍රහ) තාරකාවන්ගේ ගමන අමාර්ගයෙහි වන්නේය. උල්කාපාත (තාරකා වැටීම) වන්නේය. දිසාවන් දැවීම වන්නේය. භූමිකම්පා වන්නේය. අහස ගිගුරුම් වන්නේය. චන්ද්‍ර සූර්ය (ග්‍රහ) තාරකාවන්ගේ උදාවීම, බැහීම, කෙලෙසීම පිරිසිදුවීම වන්නේය. මෙබඳු විපාක ඇති චන්ද්‍ර ග්‍රහණයක් වන්නේය. මෙබඳු විපාක ඇති සූර්යග්‍රහණයක් වන්නේය. මෙබඳු විපාක ඇති (ග්‍රහ) තාරකා ග්‍රහණයක් වන්නේය. චන්ද්‍රසූර්යයන්ගේ මෙබඳු විපාක ඇති මාර්ග ගමන වන්නේය. චන්ද්‍රසූර්යයන්ගේ මෙබඳු විපාක ඇති අමාර්ග ගමන වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ මෙබඳු විපාක ඇති මාර්ග ගමන වන්නේය. මෙබඳු විපාක ඇති අමාර්ග ගමන වන්නේය, මෙබඳු විපාක ඇති උල්කාපාතයෙක් වන්නේය. මෙබඳු විපාක ඇති දිගුන් (දිසාවන්) දැවීමෙක් වන්නේය. මෙබඳු විපාක ඇති භූමිකම්පාවක් වන්නේය. මෙබඳු විපාක ඇති අහස ගිගිරුමක් වන්නේය. මෙබඳු විපාක ඇති චන්ද්‍ර සූර්ය (ග්‍රහ) තාරකාවන්ගේ මෙබඳු විපාක ඇති උදාවීම, බැහීම, කෙලෙසීම, පිරිසිදුවීම වන්නේය යනු දක්වන විද්‍යායි. මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.

Msdiv 25 “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයාකාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකාව කෙරෙති. එනම්: හොඳින් වැහි ඇති වන්නේය. නියඟ වන්නේය හෝ නපුරු වැහි ඇතිවන්නේය. ආහාර ආදිය සුලභ වන්නේය. ආහාර ආදිය හිඟවන්නේය. භය නැති වන්නේය. භය ඇති වන්නේය. ලෙඩ ඇති වන්නේය. ලෙඩ නැති වන්නේයයි කීමද හස්ත මුද්‍රා ආදී ලකුණු වලින් යම්දේ ප්‍රකාශ කිරීමේ ශාස්ත්‍රය, ගණිතශාස්ත්‍රය (පිණ්ඩගණිතය) ඝනප්‍රමාන දැනගැනීමේ ගණිතය, කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත විතණ්ඩශාස්ත්‍රය, ලෝකස්වභා ශාස්ත්‍රය, යන මේ විද්‍යායි. මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.

Msdiv 26 “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයා කාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙති. එනම්: විවාහ කැඩවීම, විවාහ කරවීම, හිත්දිනා ගැනීම පිණිස වචන කීම, වියෝග කරවීම, වස්තු රැස්කරවීම, වියදම් කරවීම යහපත් ශ්‍රීයාව ඇති කරවීම යහපත් ශ්‍රියාව නැති කරවීම, ගැප් (ගර්භය) නොනස්නාසේ රැකීම, දිව බැඳීම, හක්ක බැඳීම, අත් පෙරළවන පිණිස මන්ත්‍ර කිරීම, කන් නොඇසීමට මන්ත්‍ර කිරීම, (කැඩපත්හි) මූණ බලන කන්නාඩියක දේවතාවන් පිහිටුවා ප්‍රශ්න ඇසීම, (අංජනම්), ආවේසවූ ගෑණුදරුවන්ගෙන් ප්‍රශ්න ඇසීම දෙවිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීම, සූර්යයාට නමස්කාර කිරීම, බ්‍රහ්මයාට නමස්කාර කිරීම, කටින් ගිනිදැල් පිටකිරීමය, ශ්‍රීදෙවිය කැඳවීම යනුයි. එවැනි ලාමක පහත් විද්‍යායෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නෝය.

Msdiv 27 “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකාව කෙරෙති. එනම්: බාරහාරවීම, බාරහාර ඔප්පු කිරීම බිම්ගෙයි සිට උගත් මන්ත්‍ර යොදා ක්‍රියා කිරීම, නපුංසකයා පුරුෂයෙකු කිරීම, පුරුෂයා නපුංසක කිරීම, ගෙවල් තැනීම, ගෙවල් සෑදීමට සුදුසු තැන බලියාග පැවැත්වීම, (අනුහස් ඇතැයි කියන) වතුරෙන් කට ශුද්ධ කරවීම, අනුන් නැහැවීම අනුන් සඳහා ගිනි පිදීම, වමනකරවීම, විරෙචන කරවීම, ඌද්ධව විරෙචනය (ළය විරෙකය) අධො (පහතින්) විරෙචනය සිරෝ (බෙල්ලෙන් උඩ) විරෙචනය, කනේ තෙල් දැමීම, ඇඟේ බෙහෙත් දැමීම, නස්‍ය කිරීම, ඇසට අඳුන් ගෑම, අඳුන් ආදී සිහිල් බෙහෙත් ගෑම, (සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, (තද) බෙහෙතෙහි විෂ මැරීම යනුයි. එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය,’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.

මහණෙනි, ඉදින් කෙලෙස් සහිත ජනයා තථාගතයන්ගේ ගුණ වශයෙන් මෙබන්දක් කියාද එය සුළු දෙයකි, අඩු දෙයකි, සුළු ස්වභා ගතියකි.

මහා ශීලය අවසාන විය.

පුබ්බන්තකප්පිකා Msdiv 28 “මහණෙනි, අන්‍ය ධර්මයද ඇත්තාහ. ගැඹුරුවූ දුකසේ දැක්කාවූ, දුකසේ වටහා ගත්තාවූ, තර්කයෙන් දැන ගත නොහැකිවූ, සියුම්වූ පණ්ඩිතයින් විසින් ගරුකළ යුතුවූ යම් ධර්ම ඇත්තේද එය තථාගතයෝ තමන්ගේ උසස් ඥානයෙන් දැන පිඩු (පසක්) කොට දෙශනා කළෝද ඒ ධර්මයෙන් තථාගතයන්ගේ (විද්‍යමාන) ගුණ හොඳින් ප්‍රකාශවේ. (දැක්වේ) පැහැදිලිව පෙනේ. මහණෙනි, ගැඹුරුවූ දුකසේ දැක්කාවූ, දුකසේ වටහාගත්තාවූ, මිහිරිවූ තර්කයෙන් දැනගත නොහැකිවූ, සියුම්වූ, පණ්ඩිතයින් විසින් ගරුකළ යුතුවූ යම් ධර්ම ඇත්තේද, එය තථාගතයෝ තමන්ගේ උසස් ඥානයෙන් දැන පිඩුකොට දෙශනා කළෝද ඒ ධර්මයෙන් තථාගතයන්ගේ පැහැදිලිව පෙනෙන ගුණ හොඳින් ප්‍රකාශවේ. ඒ ධර්ම කවරහුද,

Msdiv 29 “මහණෙනි, සමහර පින්වත් මහණ බමුණෝ පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරති. පෙර ස්කන්ධ කොටස් ගැන ඇදහීම ඇත්තෝ වෙති. ඔවුහු පෙර ස්කන්ධයන් ගැන නොයෙක් ආකාර ඇදහීම් දහ අට ආකාරයකින් ප්‍රකාශ කරති. ඒ පින්වත් මහණ බමුණෝ කවර කරුණක් පිළිගෙන කුමන දෙයක් උදෙසා පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරත්ද? පෙර ස්කන්ධ ගැන ඇදහීම් ඇත්තෝ පෙර ස්කන්ධයන් ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කිරීම් දහඅට ආකාරයකින් කියත්ද?

සස්සතවාදො Msdiv 30 “සමහර ඒ පින්වත් මහණ බමුණෝ සදාකාලික බව විශ්වාස කර ආත්මයද ලොකයද සදාකාලිකයයි සතර ආකාරයකින් දක්වති. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොටගෙන කුමක් උදෙසා ආත්මයත් ලෝකයත් සදාකාලික යයි සතර කරුණකින් ප්‍රකාශ කරත්ද?

Msdiv 31 “මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් හෝ (කෙලෙස් හීනකිරීමට) වීර්යයෙන් වීර්යය නිතර යෙදීමෙන්, වීර්යය නැවත නැවත යෙදීමෙන්, නොපමාවීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන් යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටිතැන් සිහි කරත්ද? එනම්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතලිහක් ද, ජාති පනහක්ද, ජාති සියයක්ද, ජාති දාහක්ද, ජාති සියදහසක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක් මෙබඳු ආහාරයක්, මෙබඳු සුව දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි. ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. එහිදී මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්. මෙබඳු ආහාර, මෙබඳු සුව දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි. එයින් චුතවී මෙහි ඉපදුනෙමි.’ මෙසේ යහපත් ආකාරවූ උදෙසීම් (පුරුදු කිරීම) සහිතවූ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළිවෙළ සිහිකරති.

‘ඒ (දෘෂ්ටි හීතතෙම)පෙර උත්පත්ති දකින්නා මෙසේ කියයි. ‘ආත්මයද ලොකයද සදාකාලිකය. කිසිත් නූපදවයි, පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. එහෙයින් ඒ ආත්මය ආශ්‍රය කළ සත්වයෝ භවයෙන් භවයට යති. ජීවත්වෙති, එයින් මිදී යති. උපදිත්, සදාකල් සිටිති. ඊට කරුණු කවරේද? මම කෙලෙස් හීනකරන වීර්යයෙන් වීර්ය නිතර යෙදීමෙන්, වීර්යය නැවත නැවත යෙදීමෙන්, නොපමාවීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන්, යම් පරිද්දකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටිතැන් සිහි කෙළෙම්ද, එලෙසින් පෙර උත්පත්ති සිහිකිරීමේ ඥානය ලැබුවෙමි. එනම්, එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතලිහක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දාහක්ද, ජාති සියදහසක්ද, නොයෙක් සියගණන් ජාතිද, නොයෙක් දහස්ගණන් ජාතිද, නොයෙක් සියදහස් ගණන් ජාතිද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සුව දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි, ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. එහිදී මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සුව දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි. එයින් චුතව මෙහි ඉපදුනෙමි. මෙසේ යහපත් ආකාරවූ උදෙසීම් (පුරුදු කිරීම්) සහිතවූ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළිවෙළ සිහිකරමි ආත්මයද ලොකයද සදාකාලිකය. කිසිත් නූපදවයි. පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ ආත්මය ආශ්‍රය කළ සත්වයෝ භවයෙන් භවයට යති. ජීවත් වෙති එයින් මිදී යති. උපදිත්. සදාකාලික වස්තු මෙන් නිතර නොවෙනස්ව ආත්මය ඇති බව ඒ කාරණයෙන් මම දනිමි’යි කියායි.

“මහණෙනි, මේ ඒ ප්‍රථම කාරණයයි, යම් කරුණක් නිසා යමක් හේතුකොටගෙන සමහර මහණ බමුණෝ සදාකාලික බව ගැන ඇදහීම් ඇතුව ආත්මය හා ලොකය සදාකාලිකයයි ප්‍රකාශ කරයි.

Msdiv 32 “දෙවෙනි කාරණයෙහිද පින්වත් මහණ බමුණෝ කුමක් නිසා කුමක් හේතුකොටගෙණ සදාකාලික බව ගැන ඇදහීම් ඇතුව ආත්මය හා ලොකය සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද? ‘මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් (කෙලෙසුන් හීනකිරීමට) වීර්ය කොට, වීර්යය නිතර යොදා, වීර්යය නැවත නැවත යොදා, පමානොවී, යහපත් මෙනෙහි කිරීම කොට, යම්පරිද්දෙකින් සිත එකඟවූ කල, නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටිතැන් සිහිකෙරේද, එලෙසින් පෙර උත්පත්ති සිහිකිරීමේ ඥානය ලබයි. එනම්:- ‘සංවට්ට* විවට්ට+’ නම් එක් කල්පයක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දෙකක්ද ‘සංවට්ට විවට්ට’ නම් කල්ප තුනක්ද ‘සංවට්ට විවට්ට’ නම් කල්ප සතරක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප පහක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දහයක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සුවදුක් මෙබඳු ආයුෂ ඇත්තෙක් වීමි. ඉන් චුතවී අසවල් තැන ඉපදුනෙමි. එහිදී මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සුව දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි. ඒ මම ඉන් චුතවීමෙහි ඉපදුනෙමි. මෙයාකාර තේරුම් කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහිකරයි.

* සංවට්ට- අන්තඃකල්ප විස්සක් පමණවූ විනාශවේගන යන කාලය.

+ විවට්ට- අන්තඃකල්ප විස්සක් පමණවූ වැඩීගන යන කාලය.

“ඔහු මෙසේ කියයි;- ‘ආත්මයද ලෝකයද සදාකාලිකය, එයින් යමක් නූපදී, පර්වතයක් මෙන් සිටියේය. මන්දාරපර්වතය මෙන් සිටියේය. ඒ සත්වයෝද භවයෙන් භවයට යති, ජාතියෙන් ජාතියට ගමන් කරති, චුතවෙත්, උපදිත්, සදාකාලික වස්තු මෙන් නොනැසී සිටිත්. ඊට කරුණු කුමක්ද? මම කෙලෙස් හීන කරන වීර්යයෙන් වීර්යය නිතර යෙදීමෙන්, වීර්ය නැවත නැවත යෙදීමෙන්, නොපමාවීමෙන්, යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටිතැන් සිහිකෙළෙමි. එනම්:- ‘සංවට්ට විවට්ට’ නම් එක් කල්පයක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දෙකක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප තුනක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප සතරක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප පහක්ද ‘සංවට්ටවිවට්ට’ නම් කල්ප දහයක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සැප දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි. ඉන් චුතවී මෙහි ඉපදුනෙමි. මෙයාකාර තේරුම්කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහිකෙරෙමි. ආත්මයද ලොකයද නිත්‍යය. එයින් යමක් නූපදී, පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ආත්මයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති, ජාතියෙන් ජාතියට ගමන් කරති, චුතවෙත්, උපදිත් මහමෙර ආදිය මෙන් නොනැසී ඇත්තේ යයි මේ කරුණින්ද නිත්‍යභාවය දනිමි’යි කියායි.

“මහණෙනි, යම්කරුණක් උදෙසා ඇතැම් මහණබමුණෝ සදාකාලික බව අදහා ආත්මයද ලොකයද සදාකාලික මෙන් ප්‍රකාශ කරත්ද, මේ ඒ දෙවැනි කාරණයයි.

Msdiv 33 “තුන් වැනි කරුණෙහිද පින්වත් මහණ බමුණෝ කුමක් හේතුකොට කුමක් නිසා සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද?

“මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් (කෙලෙසුන් හීනකිරීමට) වීර්යකොට, වීර්යය නිතර යොදා, වීර්යය නැවත නැවත යොදා, නොපමාවී, යහපත් මෙනෙහි කිරීම් කොට යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටි තැන් සිහි කෙරේද, එලෙසින් පෙර උත්පත්ති සිහිකිරීමේ ඥානය ලබයි. එනම්:- ‘සංවට්ට විවට්ට’ නම් එක් කල්පයක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දෙකක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප තුනක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප සතරක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප පහක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දහයක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප විස්සක්ද, සංවට්ට විවට්ට’ නම් කල්ප තිහක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප හතලිහක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නමක්, මෙබඳු ගොත්‍රයක් මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සැපදුක්, මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම ඉන් චුතව ගොස් අසවල් තැන උපන්නෙමි. එහිදී මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්, මෙබඳු සැප දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක් වීමි. ඒ මම ඉන් චුතව ගොස් මෙහි උපනිමි’යි කියායි.

“මෙයාකාර තේරුම්කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන්තැන් සිහිකරයි. ඔහු මෙසේ කියයි:- ආත්මයද ලොකයද සදාකාලිකය, එයින් යමක් නූපදී, පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ ආත්මයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති, හැසිරෙති. චුතවෙත්, උපදිත්; සදාකාලික වස්තු මෙන් පවතිත්. ඊට කරුණු කුමක්ද මම කෙලෙස් හීන කරන වීර්යයෙන්, වීර්යය නිතර යෙදීමෙන් වීර්යය නැවත නැවත යෙදීමෙන්, නොපමාවීමෙන් මෙබඳු චිත්තසමාධියක් ලදිමි. කෙබඳුවූද යත්:- යම්සේ සිත එකඟවූ කල නොයෙක් ආකාර පෙර (ජාතිවල) සිටිතැන් සිහි කෙළෙමි එනම්:- ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දහයක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප විස්සක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප තිහක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප හතලිහක්ද, අසවල් තැන උපන්නෙමි. මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක් මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සැපදුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි. ඉන් චුතවී මෙහි උපන්නෙමි. මෙයාකාර තේරුම් කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහි කෙළෙමි. මේ කරුණෙන්ද මෙය මම දනිමි. ඒ කුමක්ද? ආත්මයද ලෝකයද සදාකාලිකය, එයින් යමක් නූපදී, පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. සත්වයෝද භවයෙන් භවයට යති, හැසිරෙති, චුත වෙත්, උපදිත්, සදාකාලික දේ සමව සිටිත් යනුයි. ‘මහණෙනි, යම් කරුණක් උදෙසා ඇතැම් මහණ බමුණෝ සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලික මෙන් ප්‍රකාශ කරත්ද, මේ ඒ තුන්වැනි කාරණයයි.

Msdiv 34 “හතරවැනි කරුණෙහිද පින්වත් මහණ බමුණෝ සදාකාලික බවක් අදහා කුමක් හේතුකොට කුමක් නිසා සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද? ‘මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් තර්ක ඥානයෙන් විමසයි. ඔහු තර්කයෙන් සම්පූර්ණයෙන් විමසීමෙන් ලබන ලද තමන්ගේ වැටහීම ලැබ මෙසේ කියයි. ‘ආත්මයද ලෝකයද සදාකාලිකය, එයින් යමක් නූපදී, පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ ආත්මයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති, ජාතියෙන් ජාතියට ගමන් කරති, චුතවෙත්, උපදිත්, සදාකාලික වස්තු මෙන් නොනැසී සිටිත්’ යනුයි.

“මහණෙනි, යම් කරුණක් උදෙසා ඇතැම් මහණ බමුණෝ සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලික මෙන් ප්‍රකාශ කරත්ද? මේ හතරවැනි කාරණයයි.

Msdiv 35 “මහණෙනි, සදාකාලික බව අදහන ඒ මේ මහණ බමුණෝ, මේ කරුණු සතරින් ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරති. “මහණෙනි, යම් මහණහු හෝ බමුණෝ හෝ සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද ඒ සියල්ලෝ මෙකී හතර කාරණයෙන්ම හෝ එයින් එකකින් හෝ ප්‍රකාශ කරති. මේ හැර වෙන අනික් කාරණයක් නැත්තේමය.

Msdiv 36 “මහණෙනි, මේ ඒ කරුණු හතර තථාගතයෝ හොඳින් දනිති. මේ (මිසදිටු) වැරදි මතයෙන් යුත් කරුණු මෙසේ ගත් ඇත්තෝ වෙත්. මේ නැවත නැවත ගැණීම් වශයෙන් (තර්කයෙන්) තීරණ කරගත් ඇත්තෝ වෙත්. මේ මෙබඳු ගති ඇත්තෝ වෙත්. මෙබඳු පරලොව ඇත්තෝ වෙත් යනුයි. තථාගතයෝ එය හොඳින් දනිති. ඉන් මත්තෙහිවූ දේද හොඳින් දනිති. ඒ හොඳ දැනුම (තර්කයෙන්) තීරණය කර නොගනිති. කෙලෙස් නැතිකිරීම තථාගතයන් විසින් දන්නා ලද්දේ (තර්කයෙන්) ලැබූ තීරණයෙන් නොවේ. මහණෙනි, (දුක හෝ සැප) ආදී වේදනා ඇතිවීමේ හේතුවද, එය දුරුවීමේ හේතුවද, රස විඳීමද, ප්‍රතිඵලද, හික්මීමද ඇතිසැටියෙන් දැන තථාගතයෝ කාමාදියෙන් තොරව කෙලෙසුන්ගෙන් මිදුනෝය.

Msdiv 37 “මහණෙනි, ගැඹුරුවූ දැක්මට දුෂ්කරවූ, දුකසේ අවබොධ කරගත්තාවූ, ශාන්තවූ, මිහිරිවූ තර්කයෙන්ම වටහා ගත නොහැකිවූ සියුම්වූ නුවණැත්තන් විසින් ගරු කළයුතුවූ යම් ධර්මයක් ඇත්ද, ඒ ධර්ම තථාගතයෝ උසස් ඥානයෙන් තමන්ම පැහැදිලි ලෙස දැන ප්‍රකාශ කළෝය. යම් ධර්මයන් කරණකොටගෙන තථාගතයන්ගේ ගුණය ඇතිහැටි හොඳාකාර කියනු කැමැත්තෝ කියති.

පළමුවැනි බණ වරයි.

එකච්චසස්සතවාදො Msdiv 38 “මහණෙනි, එක් කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවේයයි අදහන්නාවූ සමහර මහණ බමුණෝ ආත්මය සහ ලොකය එක් කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකාලික නොවේයයි කරුණු හතරකින් ප්‍රකාශ කරති.

“ඒ පින්වත් මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකවූ එක් කොටසක් සදාකාලික නොවූ ආත්මයද, ලොකයද, එක් කොටසක් සදාකාලිකයයිද, එක් කොටසක් සදාකාලික නොවේයයිද, කුමක් හේතුකොට කුමක් නිසා සතර කරුණකින් ප්‍රකාශ කරත්ද?

Msdiv 39 “මහණෙනි, යම්කිසි කලක දීර්ඝ කාලයක් පසුවීමෙන් මේ ලොකය වැනසෙන කාලයක් වන්නේය. ලොව වැනසෙන කල බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බඹලොව උපදිති. ඔව්හු එහි සිතින් ධ්‍යාන බලයෙන් ඉපිද, ප්‍රීතිය ආහාර කොටගෙන, තමාම බබළන්නේ, අහසේ හැසිරෙමින්, හිත් ප්‍රිය කරන ඇඳුම් පැළඳුම් ඇතිව සිටින්නෝ වෙත්. ඔව්හු එහි බොහෝ කාලයක් සිටිති.

Msdiv 40 “මහණෙනි, යම්කිසි විටක දීර්ඝ කාලයක් පසුවීමෙන් මෙලොව නැවත හටගනීද ලොව හටගත් කල එහි හිස්වූ බඹ විමානයක් පහළවේ. එවිට එක්තරා සත්වයෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින්ගෙවීමෙන්, ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදී. ඔහු එහි සිතින් ධ්‍යානයෙන් ඉපදී, ප්‍රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතුව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එහි දීර්ඝ කාලයක් සිටී.

Msdiv 41 “ඔහු කලක් එහි තනිව විසූ බැවින්, පසුතැවීමක් හා කලකිරීමක් ඇතිවෙයි. ‘වෙනත් සත්වයෝ ද මේ භවයට එත්නම් ඉතා හොඳය’යි පැතීමෙන්, සිතෙහි චංචල බවක්ද ඇතිවිය. ඉන් පසු ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් වෙනත් සත්වයෝ ද ආභස්සර බඹලොවින් චුතව බඹ විමනෙහි උපදිත්. ඒ සත්වයාගේ සහාය බවට පැමිණෙත් ඔව්හුද එහි සිත හට ගෙන, ප්‍රීතිය ආහාර කොටගෙන, තමන්ගේම ආලෝක ඇතුව ශුභ විමානයෙහි සිට අහසේ හැසිරී දීර්ඝ කාලයක් සිටිති.

Msdiv 42 “මහණෙනි, එවිට යම් ඒ සත්වයෙක් මුලින් උපන්නේද ඔහුට මෙසේ සිතෙයි. ‘මම බ්‍රහ්මවෙමි, මහා බ්‍රහ්මවෙමි. අනික් අය යටත් කර සිටින්නෙමි. අනුන් විසින් යටත් කළ නොහැකි වන්නෙමි. එකාන්තයෙන් සියල්ල දකිමි. අනුන් මා යටතට ගනිමි. ලොකයට ප්‍රධාන වෙමි. ලොක කර්තෘ වෙමි. ලොකය මැවුම්කාරයා වෙමි. ලොවට උතුම්වෙමි ලොව බෙදන්නෙක් වෙමි. වසඟ කරගන්නෙක් වෙමි. උපන්නාවූද උපදින්නාවූද, ලොකයාගේ පියා වෙමි. මේ සත්වයෝ මවිසින් මවන ලද්දෝය. කුමක් හෙයින්ද යත්, අහෝ තව සත්වයෝත් මේ භවයට එන්නෝ නම් යහපතැ’යි පූර්වයෙහි මට මෙසේ සිතක් ඇතිවිය, එබැවින් ඒ මගේ හිතේ ප්‍රර්ථනාවෙන් මේ සත්වයෝ මේ භවයට පැමිණියෝය’යනුයි. ඒ යම් සත්වයෙක් පසුව උපන් විට ඔහුටද මෙසේ සිතෙක් වෙයි- ‘මේ පින්වත් අය බ්‍රහ්මය, මහාබ්‍රහ්මය, සෙස්සන් මැඩපවත්වන්නෙකි, අනුන් විසින් මැඩනොපවත්වන්නෙකි, ඒකාන්තයෙන් සියල්ල දකින්නෙකි, වසවර්තියෙකි, ප්‍රධානයෙකි, ලොක කර්තෘය, ලොකය මැවුම්කාරයෙක, උත්තමයෙකි, ලොව බෙදන්නෙකි, වසඟකර ගන්නෙකි, උපන් ලොකයාගේ පියෙකි, මේ පින්වත් බඹහු විසින් අපි මවන ලද්දෙමු. එයට හේතුව කුමක්ද? අප මෙහි පැමිණ පළමු උපන්නාවූ මොහු දුටුවෙමු. අපි පසුව ඉපදුනෙමු’ යනුයි.

Msdiv 43 “මහණෙනි, ඒ යම් පළමුව උපන් සත්වයෙක්වේද ඔහු ඉතා දීර්ඝ ආයුෂ ඇත්තෙක්ද, ඉතා උතුම් රුව ඇත්තෙක්ද, මහා පිරිවර ඇත්තෙක්ද වෙයි. ඒ යම් සත්වයෙක් පසුව උපන්නේද, ඔහු ඉතා අඩු ආයුෂද, ඉතා රුවෙන් අඩුවූද, පිරිවර නැත්තෙක්ද වේ.

Msdiv 44 මහණෙනි, මේ කාරණය සිද්ධවේ. එනම් එක්තරා සත්වයෙක් ඒ බ්‍රහ්ම භවයෙන් චුතව මේ මිනිස් බවට පැමිණේ.

“මේ භවයට ආවාවූ ඔහු ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව කෙලෙස් හීන කිරීමේ වීර්ය කොට, එම වීර්ය පුහුණුකර, එම වීර්ය නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, හොඳින් භාවනා කිරීමට පැමිණ, යම්සේ හිත එකඟ කරගත් විට තමන්ගේ පෙර ජාතිය සිහි කෙරේද, ඒ පෙර ජාතියෙන් මතු සිහි නොකෙරේද, ඔහු මෙසේ කියයි.

“යම් බ්‍රහ්මයෙක් වේද ඔහු මහා බ්‍රහ්මයාය. මැඩ පවත්වන්නෙක, මැඩපැවැත්විය නොහැක්කේය. අනුමානයක් නැතිව යමක් දන්නෙකි, යටත් කරන්නෙකි, ප්‍රධානයෙකි, සාදන්නෙකි, මවන්නෙකි, ඉතා උසස්ය. බෙදන්නෙකි, වසඟ කරගන්නෙකි, සත්වයින්ට පියෙකි. ඒ යම් යහපත් බඹකු විසින් අපි මවන ලද්දාහුවෙමුද, ඔහු නිත්‍යය, ඒකාන්තය, සදාකාලිකය, වෙනස් නොවන ගතියෙන් යුක්තය, සදාකාලික වස්තූන් සමග සම්බන්ධවූ කල එසේම සිටිනේය. ඒ යහපත් බඹු විසින් අපි මවන ලද්දාහුවෙමුද, ඒ අපි අනිත්‍යය, ස්ථිර නැත, ආයුෂ අඩුය, සිටි භවයෙන් චුතව මේ ආත්ම භාවයට ආවෙමු’යි.

“මහණෙනි, යම් කරුණකට පැමිණ, යමක් නිසා එක් කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවෙය යන මතය ඇති සමහර මහණ බමුණෝ කොටසක් නිත්‍ය කොට කොටසක් අනිත්‍ය කොට ප්‍රකාශ කරත්ද මේ ඒ ප්‍රථම කරුණයි.

Msdiv 45 “දෙවැනිව, පින්වත් මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇතුව ආත්මයද, ලොකයද, කොටසක් නිත්‍යකොට කොටසක් අනිත්‍යකොට කුමක් හේතු කොට ගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද?

“මහණෙනි, ක්‍රීඩාවෙන් නැසෙන්නා’ නම් දෙවියෙක් ඇත්තේය. ඔහු බොහෝ වේලාවක් සිනාවෙහිත් ක්‍රීඩාවෙහිත් ඇලී වාසය කරයි. බොහෝ වේලාවක් සිනාවෙහි ක්‍රීඩාවෙහි ඇලී වාසය කිරීමෙන් ඔහුගේ සිත මුළාවේ. සිහි මුළාව නිසා ඒ දෙවියා දිව්‍ය ශරීරයෙන් චුතවේ.

Msdiv 46 “මහණෙනි, මේ කාරණය දකින්ට ලැබේ. එනම්:- එක්තරා සත්ත්වයෙක් ඒ දිව්‍ය ලොකයෙන් චුතව මේ මිනිස් බවට එයි. මේ ආත්මභාවයට ආ ඔහු ගිහිගෙය අත්හැර ගොස් ශාසනයෙහි පැවිදි වෙයි. ගිහිගෙයින් ගොස් ශාසනයට පැමිණි ඔහු කෙලෙස් හීන කිරීමේ වීර්ය කොට, එම වීර්ය පුහුණුකර, එම වීර්ය නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, හොඳින් භාවනා කිරීමෙන් යම්සේ සිත එකඟකරගත් විට තමන්ගේ පෙර ජාතිය සිහි කෙරේද, ඉන් මතු සිහි නොකෙරේද, එසේවූ හිතේ තත්ත්වයක් ලබයි.

“ඔහු මෙසේ කියයි:- යම් ඒ පින්වත් දෙවි කෙනෙක් ක්‍රීඩාවෙන් නොවැනසුනේද, ඔහු ඉතා බොහෝ කාලයක් සිනාසීම් ක්‍රීඩා ආදියට නොපැමිණ වාසය කරයි. බොහෝ වේලාවක් සිනාසීම් ක්‍රීඩා ආදියෙහි නොයෙදී වාසය කරන ඔවුන්ගේ සිහිය මුළානොවේ. සිහි නොමුළාවීමෙන් ඒ දෙවියෝ ඒ ආත්මභාවයෙන් චුත නොවේ. ඔහු නිත්‍යවූවෝ, ඒකාන්ත වූවෝ, සදාකාලික වූවෝ, නොවෙනස්වන ගති ඇත්තෝව, සදාකාලිකවූ වස්තුමෙන් එසේම සිටිත්. යම්බඳුවූ අපි ඉතා වැඩිවූ ක්‍රීඩාවෙන් ක්ලාන්තවීමුද, ඒ අපි අධික වේලාවක් සිනාකෙළියෙහි ඇලී සැපයෙන් යුක්තව වාසය කරමු. වැඩි වේලාවක් සිනාසීම් ක්‍රීඩා ආදියෙහි යෙදීවාසය කළාවූ අපේ සිහි මුළා විය. මුළා වීමෙන්ම අපි ඒ දිව්‍ය භාවයෙන් චුතවී අනිත්‍ය වීමු. ස්ථිර නැති වීමු. සුළු ආයුෂ ඇත්තෝ වුම්හ, මැරෙන ස්වභාව ඇතිවීමේ මිනිස් බවට ආවෙමු”යි කියායි.

“මහණෙනි, එක්කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇති සමහර මහණ බමුණෝ සමහර දේ නිත්‍යයයිද, සමහර දේ අනිත්‍යයයිද, යමක් හේතුකොට යමක් නිමිති කොට ප්‍රකාශ කරත් නම් ඒ දෙවැනි කරුණයි.

Msdiv 47 “තුන් වැනිවද පින්වත් මහණ බමුණෝ, එක් කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇතුව ආත්මයද ලෝකයද කොටසක් නිත්‍යකොට කොටසක් අනිත්‍යකොට කුමක් හේතු කොට කුමක් නිසා ප්‍රකාශ කරත්ද?

“මහණෙනි, ‘මනොපදොසික’ (සිත කිලුටුවීම) නම් දෙවියෙක් ඇත. ඔහු බොහෝ වේලා ක්‍රොධ සිතින් ඔවුනොවුන් දෙස බලයි. ඔහු බොහෝ වේලා ක්‍රොධයෙන් බලා ඔවුනොවුන් කෙරෙහි සිත කිලිටු කරගනී. ඔහු ඔවුනොවුන් කෙරෙහි කිලුටු සිත් ඇත්තේ වෙහෙසුනු ශරීර ඇත්තෙක් (වේ) වෙහෙසුනු සිත් ඇත්තේ ඒ දෙවියා ඒ දිව්‍යභාවයෙන් (සමූහයෙන්) චුතවේ.

Msdiv 48 “මහණෙනි, මෙවැනි දෙයක් සිදුවේ. එක්තරා සත්වයෙක් ඒ දිව්‍ය භාවයෙන් චුතව මෙලොවට එයි. මෙලොවට ඇවිත් ගිහිගෙයින් පිටව ශාසනයට ඇතුල්වේ. ගිහිගෙයින් නික්ම සස්නට පැමිණි (අය) ගේ කෙලෙසුන් හීනකරන වීර්ය කොට, භාවනා කොට, එය නිතර පුරුදු කොට අප්‍රමාදයට පැමිණ, යහපත් කල්පනාවට පැමිණ මෙවැනිවූ සිතෙහි සමාධිය ලබයි. ඒ සමාධියට ගිය සිතින් (සිත සමාධියට ගිය කල) පෙර විසූ ඒ ජාතිය සිහි කෙරේ, ඉන් ඈතට සිහි නොකෙරේ.

“ඔහු මෙසේ කියයි:- යම් ඒ පින්වත් දෙවියෝ සිත කිලුටු කරන්නෝ නොවෙත් නම් ඔව්හු දීර්ඝ කාලයක් ඔවුනොවුන් දෙස කෝප සිතින් නොබලත් නම් එවිට ඔව්හු වැඩිකලක් ඔවුනොවුන් කෝප සිතින් නොබලා ඔවුනොවුන් කෙරෙහි සිත් දුෂ්ට නොකෙරෙත්. ඔවුනොවුන් කෙරෙහි දුෂ්ට සිත් නැති ඔවුහු වෙහෙස නුවූ ශරීර ඇත්තෝද වෙහෙස නුවූ සිත් ඇත්තෝද වෙත්. ඒ දෙවියෝ දිව්‍ය ආත්මභාවයෙන් චුත නොවෙත්. ඔව්හු නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය නොපෙරළෙන ස්වභාව ඇතියහ. සදාකාලික (දේ) මෙන් එසේම සිටිති. නුමුත් අපි යම් කරුණකින් සිත් කිලිටු කර ගනිමුද, ඒ අපි දීර්ඝ කාලයක් ඔවුනොවුන් කෝප සිතින් බැලුවෙමු. ඔවුනොවුන් දෙස කෝපව බලන ඒ අපි ඔවුනොවුන් කෙරෙහි හිත් කිලුටු කෙළෙමු. එසේවූ අපි ඔවුනොවුන් කෙරෙහි නපුරු සිත් ඇත්තෝ වෙහෙසෙන ශරීර සහසිත් ඇත්තෝ වෙමු. එවිට අපි ඒ දෙව් බවෙන් චුතව මෙසේ අනිත්‍ය, අස්ථිර, ආයුෂ අඩු, චුතවන ස්වභාව ඇති මේ මිනිසත් බවට පැමිණියෙමු.

“මහණෙනි, යම් කරුණක් හේතුකොටගෙන යමක් නිසා සමහර මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකිලික නොවේය යන මතය ඇත්තේ ආත්මයත් ලොකයත් කොටසක් නිත්‍යයයිද කොටසක් අනිත්‍යයිද ප්‍රකාශ කරත්ද, මේ ඒ තුන්වැනි කරුණයි.

Msdiv 49 “හතරවැනිවත් පින්වත් මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවේ යයි යන මතය ඇතිව ආත්මයද, ලොකයද, කොටසක් නිත්‍ය යයිද, කොටසක් අනිත්‍යයයිද කුමක් හේතුකොට ගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද?

“මහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ තර්ක කරන්නේය. පරීක්ෂා කරන්නේය. ඔහු ඒ ආකාර තර්ක කොට පරීක්ෂා සහිත විමසීමෙන් ලබාගත් තම වැටහීම (ඇතිවූ මතය) අනුව මෙසේ කියයි. ඇසද, කණද, නාසයද දිවද, ශරීරයද යන මේ වෙනස් කරුණුවලින් යුත් ආත්මය අනිත්‍යය, ස්ථිර නැත, සදාකාලික නොවේය, වෙනස්වන ස්වභාව ඇත්තේය. සිතද, මනසද, විඥානයද යනුවෙන් දක්වන මේ ආත්මය නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, වෙනස් නොවන ගති ඇත්තේය. සදාකාලික වූයේම ස්ථිරවම එසේම සිටින්නේය.”

“මහණෙනි, යම් කරුණක් හේතුකොට ගෙන, යමක් නිසා සමහර මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇත්තෝ ආත්මයත් ලෝකයත් කොටසක් නිත්‍යයයිද කොටසක් අනිත්‍යයයිද ප්‍රකාශ කරත්ද, මේ ඒ හතර වැන්නයි.

Msdiv 50 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ, එක්කොටසක් සදාකාලික එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇතුව කරුණු සතරකින් ආත්මයද ලොකයද කොටසක් නිත්‍යයයිද කොටසක් අනිත්‍යයයිද ප්‍රකාශ කරති.

“මහණෙනි, යම්කිසි මහණහුද බමුණෝද, එක්කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇතුව ආත්මයද ලොකයද කොටසක් නිත්‍යකොට කොටසක් අනිත්‍ය කොට ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝ මේ කරුණු සතරින් හෝ මෙයින් එකකින් හෝ එකසේ ප්‍රකාශ කරති. මින් පිට නැත.

Msdiv 51 “මහණෙනි, මේ කරුණ තථාගතයෝ හොඳින් දනිත්. ‘මේ මිසදිටු (වැරදි මතයෙන් යුත්) කරුණු මෙසේ ගත්තෝය. මෙසේ තීරණය කරගත්තෝය. මෙවැනි ගති ඇත්තෝ වෙත්. ඔවුහු පරලෝ (මරණින් පසු) මෙසේ වෙති’ කියා තථාගතයෝ එයද දනිත්. ඉන් වැඩි උසස් ධර්මද දනිත්. ඒ දැනුම් එසේද තීරණය නොකෙරේ. එසේ තීරණය නොකරණ තථාගතයන් විසින් කෙලෙස් නැතිකිරීම (නිර්වාණය) තමන් විසින්ම අවබොධ කරණ ලදී. මහණෙනි, වේදනාවන්ගේ උත්පත්තියද, විනාශයද, රසවිඳීමද, විපතද, ඉන් මිදීමද ඇතිසැටි දැන, තථාගතයෝ එහි නොඇලී කෙලෙසුන්ගෙන් මිදුනෝය.

Msdiv 52 “මහණෙනි, මේ ධර්ම ගැඹුරුවූ, දැක්මට දුෂ්කරවූ දැනගැනීමට අමාරුවූ, ශාන්තවූ, මිහිරිවූ, තර්කයෙන්ම දැනගත හැකි නුවූ සියුම්වූ, නුවණ ඇත්තන් විසින් දතයුතු වෙත්. ඒ ධර්ම තථාගතයෝ තමන්ගේම මහත් නුවණින් දැන ප්‍රකාශ කරති. ඒ ධර්මයන් කරණකොට ගෙන තථාගතයන්ගේ පැහැදිලිව පේන (විද්‍යමාන) ගුණය, කියන්නෝ හොඳින් කියති.

අන්තානන්තවාදො Msdiv 53 “මහණෙනි, කෙළවරක් ඇත කෙළවරක් නැතයයි අදහන සමහර මහණ බමුණෝ ලොකය කෙළවරක් ඇත කෙළවරක් නැතයයි කරුණු හතරකින් ප්‍රකාශ කරති. ඒ පින්වත් මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත යයි අදහා ලොකය කෙළවරක් ඇතයයි කුමක් හේතුකොට ගෙන කුමක් නිසා කරුණු හතරකින් ප්‍රකාශ කරත්ද?

Msdiv 54 “මහණෙනි, මේ ලොකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ කෙලෙස් නැතිකරන වීර්යකොට, ඒ වීර්ය පුරුදුකොට නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව, යහපත් කල්පනා ඇතිකොට, යම් සේ හිත එකඟකර ගත්කල (සක්වල කෙළවර කොට) සිතීමෙන් ලොකයේ කෙළවරක් ඇතැයි හිත එකඟකිරීමක් ඇතුව වාසය කරයි. ඔහු මෙසේ කියයි. ‘හාත්පසින් වටවූ මේ ලොකය කෙළවරක් ඇත්තේය. එසේ කීමට හේතු කුමක්ද? මම කෙලෙස් නැති කරන වීර්ය කොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව යහපත් කල්පනාව ඇතිකොට, යම්සේ හිත එකඟ කරගත් කල කෙළවරක් ඇති ලොකයෙහි වාසය කෙරෙම්ද, එබඳු හිත් එකඟවීමක් ලබාගත්තෙමි. මේ හේතුවෙන් මම ලොකය කෙළවරක් ඇතුව හාත්පසින් වටවූ බව දනිමි.’

“මහණෙනි, සමහර මහණ බමුණෝ යමක් හේතුකොට ගෙන යමක් නිසා ලොකය කෙළවරක් ඇත කෙළවරක් නැතැයි මේ පළමුවැනි කරුණ මෙන් ප්‍රකාශ කරති.

Msdiv 55 “දෙවැනිවද සමහර පින්වත් මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත යන ඇදහීම ඇතුව, ලොකය කෙළවරක් ඇත කෙළවරක් නැතයයි කුමක් හේතු කොට ගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද?

“මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ කෙලෙස් නැති කරන වීර්ය කොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව, යහපත් කල්පනාව ඇති කොට යම්සේ හිත එකඟ කරගත් කල (සක්වළ කෙළවර කොට) සිතීමෙන් ලෝකයේ කෙළවරයක් නැතැයි හිත එකඟ කිරීමක් ඇතුව වාසය කරයි. ඔහු මෙසේ කියයි. මේ ලොකය අනන්තය, කෙළවරක් නැත්තේය. එසේ කීමට හේතු කුමක්ද? මම කෙලෙස් නැතිකරන වීර්යකොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව, යහපත් කල්පනාව ඇතිකොට, යම්සේ හිත එකඟ කරගත් කල යම්සේ ලොව කෙළවරක් නැතැයි දැනීමක් ඇතුව ලොකයේ වාසය කෙරෙම්ද එබඳු හිත එකඟවීමක් ලබාගත්තෙමි. මෙයින් ලොකය අනන්තය කෙළවරක් නැත්තේයයි දනිමි.’

“මහණෙනි, සමහර මහණ බමුණෝ යමක් හේතුකොට ගෙන යමක් නිසා ලොකය අනන්තය, කෙළවරක් නැතැයි දෙවෙනි කරුණ මෙන් ප්‍රකාශ කරති.

Msdiv 56 “තුන්වැනිවද පින්වත් මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත යන ඇදහීම ඇතුව ලොකය කෙළවරක් නැතයයි කුමක් හේතුකොටගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද?

“මහණෙනි, මේ ලොකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ කෙලෙස් නැතිකරන වීර්යකොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව යහපත් කල්පනාව ඇතිකොට යම්සේ හිත එකඟ කරගත් කල සමාධිගත සිත උඩින් යටින් නොවඩා හරහට වැඩූ බැවින් ලොකයේ උඩින් යටින් කෙළවරක් ඇතැයි හරයට කෙළවරක් නැතැයි යන චිත්ත සමාධියක් ලබා වාසය කරයි. ඔහු මෙස් කියයි;- ‘මේ ලොකය කෙළවරක් ඇත්තේද කෙළවරක් නැත්තේද වෙයි. ‘මේ ලොකය කෙළවරක් ඇත හාත්පසින් මං ඇතියි’ මෙසේ යම් මහණ බමුණෝ කියත්ද ඔවුන්ගේ ඒ කීම බොරුවේ. ‘මේ ලොකය කෙළවරක් ඇත හාත්පසින් වටවී ඇතැයි’- මෙසේ මහණ බමුණෝ කියත්ද ඔවුන්ගේ ඒ කීමද බොරුවේ. ‘මේ ලොකය කෙළවරක් ඇත්තේද, කෙළවරක් නැත්තේද, වෙයි, එසේ කීමට හේතු කුමක්ද? මම කෙලෙස් නැතිකරන වීර්යකොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව, යහපත් කල්පනාව ඇතිකොට යම්සේ හිත එකඟ කරගත් කල ලොව උඩ යට කෙළවරක් ඇති බවට ලකුණු ඇත්තේ යයි ද හරහට කෙළවරක් නැති බවට ලකුණු ඇත්තේයයිද එබඳු ධ්‍යානයක් ලැබ වාසය කරමි. මෙයින් මම ලොකය කෙළවරක් ඇතැයිද නැතැයිද දනිමි.’

“මහණෙනි, සමහර මහණ බමුණෝ යමක් හේතුකොට ගෙන යමක් නිසා ලොකය කෙළවරක් ඇත කෙළවරක් නැතැයි මේ තුන්වැනි කරුණ මෙන් ප්‍රකාශ කරති.

Msdiv 57 “හතරවැනිවද පින්වත් මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත’ යන ඇදහීම ඇතුව, ලොකය කෙළවරක් ඇත කෙළවරක් නැතයයි කුමක් හේතුකොට ගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද?

“මහණෙනි, මෙහි තර්කයෙන් විමසීම කර බලන්නාවූ යම් මහණෙක් හෝ බමුණෙක් ඇත්ද ඔහු තර්ක මාර්ගයෙන් විමසා බැලීමෙන් තමන්ගේ වැටහීම අනුව මෙසේ කියයි. මේ ලොකය කෙළවරක් ඇත්තේ නැත, කෙළවරක් නැත්තේ නැත. යම් ඒ මහණ බමුණෝ මේ ලොකය කෙළවරක් ඇතැයිද හාත්පසින් වටවී තිබේයයිද කියත් නම් ඔවුන්ගේ ඒ කීම බොරුය. යම් ඒ මහණ බමුණෝ මේ ලොකය කෙළවරක් නැතැයිද හාත්පසින් වටවී නැතැයිද කියත් නම් ඒ කීමත් බොරුය.

“යම් ඒ මහණ බමුණෝ මේ ලොකය කෙළවරක් ඇතැයිද, කෙළවරක් නැතැයිද, කියත්ද ඔවුන්ගේ කීම බොරුය මෙලොව කෙළවරක් ඇත්තේ නැත, කෙළවරක් නැත්තේ නැත.’

“මහණෙනි, සමහර මහණ බමුණෝ, ‘කෙළවරක් ඇත කෙළවරක් නැත’ යන බව අදහා යමක් හේතු කොට ගෙන යමක් නිසා ලොකය ගැන කෙළවරක් ඇත කෙළවරක් නැත යන මතය ප්‍රකාශ කරත්ද මේ ඒ හතරවැනි කරුණයි.

Msdiv 58 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත’යයි අදහා ‘කෙළවරක් ඇත කෙළවරක් නැත’ යන බව මේ කරුණු සතරින් ප්‍රකාශ කරති. මහණෙනි, යම්කිසි මහණහු හෝ බමුණෝ හෝ කෙළවරක් නැතයයි අදහා කෙළවරක් ඇත කෙළවරක් නැත යන බව ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝ මේ කරුණු සතරින් හෝ මින් එක් කරුණකින් හෝ එසේ ප්‍රකාශ කරත්. මේ ප්‍රකායට මින් පිටත් අනික් කරුණක් නැත (*පර්වර්තනයේ ඇත යනුවෙන් තිබුණි).

Msdiv 59 “මහණෙනි, ඒ මේ කරුණ තථාගතයෝ දනිති. මේ වැරදි මත මෙසේ ගත් අය මෙසේ තීරණය කර ගත් අය මෙබඳු ගති ඇත්තෝ වෙත්. මෙබඳු පරලොවක් ඇත්තෝ වෙත් යනුයි. තථාගතයෝ එයද දනිති. ඊට වඩා උසස් ධර්මයන්ද දනිති. ඒ දැනුම (ලොභ, ද්වේෂ, මෝහයෙන් ඇතිවූ) තීරණයක් නොවේ. (තර්ක ආදියෙන්) තීරණයක් නොකරණ තථාගතයන්ගේ කෙලෙස් නිවීම තමන් විසින්ම අවබොධ කරනලදී.

“මහණෙනි, වේදනාවන්ගේ නැගීමද, බැහීමද, භුක්ති විඳීමද, ප්‍රතිඵලද, හික්මීමද ඇතිහැටි දැන තථාගතයෝ ඇල්මක් නොකොට කෙලෙසුන්ගෙන් මිදුනෝය.

Msdiv 60 “මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය. දුකසේ දැක්ක යුතුය, අමාරුවෙන් අවබොධ කටයුතුය, ශාන්තය, මිහිරිය තර්කයෙන් දැනගත නොහැකිය. සියුම්ය, පණ්ඩිතයින් විසින් දතයුතුය. එය තථාගතයෝ උසස් ඥාණයෙන් තමන්ම දැන වදාරති. එයින් (ඒ ධර්මයෙන්) තථාගතයන්ගේ ගුණ ඇතිහැටි කියන්නෝ හොඳින් කියත්.

අමරාවික්ඛෙපවාදො Msdiv 61 “මහණෙනි, සමහර මහණ බමුණෝ ‘අමරා වික්ෂේප’ (අතට අසුනොවන ආඳුන්) නම් ඇදහීමක් ඇත්තෝ වෙත්. ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල කරුණු සතරකින් ‘අමරා වික්ෂේප’ වූවෝ වචන දමාගැසීමෙන් ‘අමරා වික්ෂේප’යට පැමිණෙත්. ඒ පින්වත් මහණ බමුණෝ ‘අමරා වික්ෂේපික’ව ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල කුමක් හේතුකොටගෙන කුමක් නිසා කරුණු සතරකින් ‘අමරා වික්ෂේප’ නම් වචන දමා ගැසීමට පැමිණෙත්ද?

Msdiv 62 “මහණෙනි, මේ ලොකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ කුසල්යයි ඇතිහැටි නොදනියි. මේ අකුසල් යයි ඇතිහැටි නොදනියි. ඔහුට මෙසේ සිතෙයි ‘මම මේ කුසල්යයි හරිහැටි නොදනිමි. මේ අකුසල්යයි හරිහැටි නොදනිමි. මම මේ කුසල්යයි හරිහැටි නොදන්නෙමි, මේ අකුසල්යයි හරි හැටි නොදන්නෙමි. මේ කුසල යයි කියා හෝ පවසන්නේ නම් මේ අකුසලයයි හෝ පවසන්නේ නම් ඒ පැවසීමෙහිදී මට ලෝභය හෝ රාගය හෝ කෝපය හෝ ක්‍රෝධය හෝ වන්නේය. යම් කරුණකදී මට ලෝභය හෝ රාගය හෝ කෝපය හෝ ක්‍රෝධය හෝ වේද ඒ මාගේ පැවසීම බොරු වේ. මගේ යමක් බොරු වේ නම් එය මට දුකක් වේ යමක් මට දුකක් නම් ඒ මට අන්තරායකි.

“මෙසේ ඔහු බොරු කීමට භයින් බොරු කීමට ලජ්ජාවෙන් මේ කුසල්යයි නොපවසති, මේ අකුසලැයිද නොපවසති. ඒ ඒ තැන ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේප’ නම් වචන දමා ගැසීමට පැමිණේ. ‘එසේ ද මාගේ ගැන්මක් නැත, එසේයයිද මාගේ ගැන්මක් නැත. මේ වෙන ආකාරයයිද මාගේ ගැන්මක් නැත. එසේ නොවේයයිද මාගේ ගැන්මක් නැත. එසේ ගැන්මක් නැත්තේත් නැත.

“මහණෙනි, ‘අමරා වික්ෂේපවූ සමහර මහණ බමුණෝ යමක් හේතුකොටගෙන යමක් නිසා ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේපය’ නම් වචන දමා ගැසීමට පැමිණෙත්ද මේ ඒ ප්‍රථම කරුණයි.

Msdiv 63 “දෙවෙනිවද පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොටගෙන කුමක් නිසා ‘අමරා වික්ෂේපව’ ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේපය’ නම් වචන දමා ගැසීමට පැමිණෙත්ද?

“මහණෙනි, මේ ලොකයේ යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ කුසල්යයි හරිහැටි නොදනි. මේ අකුසල්යයි හරි ආකාර නොදනී. ඔහුට මෙසේ සිතේ: ‘මම මේ කුසල්යයි හරි ලෙස නොදනිමි. මේ අකුසල්යි හරි ලෙස නොදන්නෙමි. මේ කුසල්යයි හෝ පවසම් නම් මේ අකුසල්යයි හෝ පවසම් නම් ඒ පැවසීමෙහිදී මට ලෝභය හෝ රාගය හෝ කෝපය හෝ ක්‍රෝධය හෝ වේ නම් ඒ මට තද ඇල්මක් වේ. යමක් තද ඇල්මක් නම් ඒ මට දුකක් වේ. යමක් මට දුකක් නම් ඒ මට අන්තරායකි.”

“මෙසේ ඔහු තද ඇල්මට භයින්, තද ඇල්මට ලජ්ජාවෙන් මේ කුසල්යයි නොපවසයි. මේ අකුසල්යයි නොපවසයි. ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේපය’ නම් වචන දමා ගැසීමට පැමිණේ. මෙසේ ගැන්ම මගේ නැත. එසේ යයිද මට නැත වෙන අනික් මාර්ගයක්ද මට නැත. මට එසේ නැත්තේ නොවේය. මට නැත්තේ නොවන්නේත් නොවේය.”

“මහණෙනි, ‘අමරා වික්ෂේපිකවූ’ සමහර මහණ බමුණෝ යමක් කරණකොටගෙන යමක් නිසා ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේපය’ නම්වූ වචන දමා ගැසීමට පැමිණෙත්ද මේ ඒ දෙවැනි කරුණයි.

Msdiv 64 “තුන්වැනිවද ‘අමරා වික්ෂේපය’ ඇතිවූ පින්වත් මහණ බමුණෝ කුමක් හේතු කොට ගෙන කුමක් නිසා, ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේපය’ නම්වූ වචන දමා ගැසීමට පැමිණෙත්ද?

“මහණෙනි, මෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ කුසල්යයි හරි ආකාර නොදනී. මේ අකුසල්යයි හරි ආකාර නොදනී. ඔහුට මෙසේ සිතේ. ‘මම මේ කුසල්යයි හරිලෙස නොදනිමි. මේ අකුසල්යයි හරිලෙස නොදනිමි එසේ මම මේ කුසල්යයි හරි ලෙස නොදන්නෙමි, මේ අකුසල්යයි හරිලෙස නොදන්නෙමි මේ කුසල්යයි හෝ පවසම් නම්’ මේ අකුසල්යයි හෝ පවසම් නම්, පණ්ඩිතවූ, සියුම් ලෙස තේරුම් ගැනීමේ බලය ඇති, වාදකොට පුරුදු ඇති, වාළවෙධි, නම් දුනුවායන් (දුනුවලින් විදින්නන්) සමානව තමන්ගේ ඥානයෙන් අනුන්ගේ ඇදහීම් බිඳිමින් මෙන් හැසිරෙන මහණ බමුණෝ ලොකයෙහි ඇත්තාහුමය. ඔව්හු ඒ කුසල් අකුසල් ගැන ‘ඔබේ ඇදහීම කෙසේදැයි, මගෙන් ඇසුවෝ නම් කරුණු දක්වා ඇසුවෝ නම්, මාගේ වාදයෙහි දොස් දක්වා මා තැතිගන්වන්නෝ නම් ඔවුන්ට හොඳින් වැටහෙන ලෙස උත්තරදීමට මම සමත් නොවෙමි. එසේ යම් කෙනෙකුට උත්තරදීමට සමත් නොවෙම්ද එය මට දුකක් වේ. යමක් මට දුකක් වේද එය මට අන්තරාය පිණිස වේ.’ මෙසේ අනුන් විසින් ගුණ දොස් කීම ගැන භයින් අනුන් විසින් ගුණ දොස් කීම ගැන ලජ්ජාවෙන් මේ කුසල්යයි නොකියා මේ අකුසල් යයි නොකියා ඒ ඒ තැන්වලදී ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේප’ නම්වූ වචන දමාගැසීමට පැමිණේ. මෙසේද මට හැඟීමක් නැත. එසේත් මට නැත වෙන ආකාරයෙනුත් නැත, නැතැයිද මට නැත, නැත්තේ නොවේයි ද මට නැතැ’යි කියායි.

“මහණෙනි, අමරා වික්ෂේපිකවූ සමහර මහණ බමුණෝ යම් කරුණකට පැමිණ, යමක් හේතුකොට ගෙන ඒ ඒ තැනදී ප්‍රශ්න කළ කල වචන දමාගැසීම නම්වූ අමරා වික්ෂේපයට පැමිණෙත්ද, මේ ඒ තුන් වැනි කරුණයි.

Msdiv 65 “හතරවැනිවද පින්වත් මහණ බමුණෝ ‘අමරා වික්ෂේපය ඇත්තෝ කුමක් හේතුකොටගෙන කුමක් නිසා ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල වචන දමාගැසීම් නම් අමරා වික්ෂේපයටද පැමිණෙත්ද?

“මහණෙනි, මෙහි යම් මහණෙක් හෝ බමුණෙක් නුවණ නැතිව ලොකු මෝඩයෙක් වේ. ඔහු අනුවණ බැවින් බොහෝ මෝඩ බැවින් ඒ ඒ තැනදී ප්‍රශ්න කළ කල ‘අමරා වික්ෂේප’ නම්වූ වචන දමාගැසීමට පැමිණේ. ‘මොන යම් පරලොවක් ඇත්දැයි මා මෙසේ විචාළේ නම් එය මෙසේ ඔබට කියමි. මෙසේත් මට නැත, එසේත්, මට නැත, වෙන යම් ආකාරයයිද මට නොසිතේ. නැතැයිද මට නොසිතේ. නැත්තේත් නැතැයිද මට නොසිතේ.’ ඒ මන්ද? පරලෝ නැත්දැයි මා විචාලෙහි නම් එය මෙසේ ඔබට කියමි. ‘මෙසේත් මට නැත, එසේත් මට නැත, වෙනයම් ආකාරයයිද මට නොසිතේ නැතැයිද මට නොසිතේ. නැත්තේත් නැතැයිද මට නොසිතේ.’ නොම නැත්තේ වේද? ඒ මන්ද? පරලොවක් ඇත්තේත් වේද නැත්තේත් වේදැයි මා විචාළොත් එය මෙසේ ඔබට කියමි. ‘මෙසේත් මට නැත, එසේත් මට නැත, වෙන යම් ආකාරයයිද මට නොසිතේ. නැතැයිද මට නොසිතේ, නැත්තේත් නැතැයිද මට නොසිතේ, නොම නැත්තේත් වේද, ඒ මන්ද? පරලොවක් ඇත්තේත් නොවේද නැත්තේත් නොවේදැයි මා විචාළොත් එය මෙසේ ඔබට කියමි. ‘මෙසේත් මට නැත, එසේත් මට නැත, වෙනයම් ආකාරයයි මට නොසිතේ. නැතැයිද මට නොසිතේ. නොමනැත්තේද වේද? ඕපපාතික* ‘සත්වයෝ ඇත්ද? ඕපපාතික සත්වයෝ නැත්ද? ඕපපාතික සත්වයෝ ඇත්තාහුත් නැත්තාහුත් වෙත්ද? ඕපපාතික සත්වයෝ නොම ඇත්තාහුත් නොම නැත්තාහුත් වෙත්ද? හොඳ හෝ නරක කර්මයන්ගේ ඵල විපාක ඇත්ද? හොඳ හෝ නරක කර්මයන්ගේ ඵල විපාක නැත්ද? හොඳ හෝ නරක කර්මයන්ගේ ඵල විපාක ඇත්තේත් නැත්තේත් වේද? හොඳ හෝ නරක කර්මයන්ගේ ඵල විපාක නොම ඇත්තේත් නොම නැත්තේත් වේද? තථාගතයෝ මරණින් මතුවෙත්ද? තථාගතයෝ මරණින් මතු නොවෙත්ද? මරණින් මතු තථාගතයෝ ඇත්තේත් වෙත්ද? නැත්තේත් වෙත්ද? තථාගතයෝ මරණින් මතු නොම ඇත්තේත් වෙත්ද නොම නැත්තේත් වෙත්දැයි විචාළොත් මට මෙසේ සිතේ නම් ‘තථාගතයෝ මරණින් මතු නොම ඇත්තේත් වෙත්. නොම නැත්තේ වෙත්’යයි ඔබට කියන්නෙමි. මෙසේත් මට (සිතෙන්නේ) නැත, එසේත් මට නැත. වෙනත් ආකාරයයිද මට නැත. නැතැයිද මට නොසිතේ. නොම නැතැයිද මට නොසිතේ.’

“මහණෙනි, ‘අමරා වික්ෂේපික’වූ සමහර මහණ බමුණෝ යම් කරුණකට පැමිණ යමක් හේතුකොටගෙන ඒ ඒ තැනදී ප්‍රශ්න කළ කල වචන දමාගැසීම නම්වූ අමරා වික්ෂේපයට පැමිණෙත්ද, මේ ඒ හතරවැනි කරුණයි.

* ඉබේ ඉපදුන

Msdiv 66 “මේ ඒ ‘අමරා වික්ෂේපික’වූ මහණ බමුණෝ ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල මේ හතර ආකාරයෙන් වචන දමාගැසීම නම් අමරා වික්ෂේපයට පැමිණෙත්. ‘මහණෙනි අමරා වික්ෂේපිකවූ යම් මහණෙක් හෝ බමුණෙක් හෝ ඒ ඒ කරුණෙහි ප්‍රශ්න ඇසූ කල වචන දමා, ගැසීම නම් අමරා වික්ෂේපයට පැමිණෙද්ද, ඒ සියල්ලෝම මේ හතරින් හෝ එයින් එකකින් හෝ එසේ පැමිණෙත් මෙයින් පිටත කිසි කරුණකින් නොවේ.

“මහණෙනි, මේ කරුණ තථාගතයෝ දනිති. එනම් ‘මේ වැරදි මත මෙසේ ගත්තාවූ මෙසේ ‘පරාමර්ශනය කළාහු මෙබඳු ගති ඇත්තෝ වෙත්. මෙබඳු පරලොවක් ඇත්තෝ වෙත්” තථාගතයෝ එයද දනිති. ඊට වඩා උසස් ධර්මයන්ද දනිති ඒ දැනුම් (ලොභ, ද්වේෂ, මොහයෙන් ඇතිවූ) තීරණයක් නොවේ. (තර්ක ආදියෙන් තීරණයක් නොකරන තථාගතයන්ගේ කෙලෙස් නිවීම තමන් විසින්ම අවබොධ කරන ලදී. ‘මහණෙනි, වේදනාවන්ගේ නැගීමද, බැහීමද, භුක්ති විඳීමද, ප්‍රතිඵලද, හික්මීමද, ඇතිහැටි දැන තථාගතයෝ ඇල්මක් නොකොට කෙලෙසුන්ගෙන් මිදුනෝය.

“මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබොධ කටයුතුය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය, සියුම්ය. නුවණ ඇත්තන් විසින් දත යුතුය. එය තථාගතයෝ උසස් ඥානයෙන් තමුන්ම දැන වදාරති. එයින් (ඒ ධර්මයෙන්) තථාගතයන්ගේ ගුණ ඇති හැටි කියන්නෝ හොඳින් කියත්.

අධිච්චසමුප්පන්නවාදො Msdiv 67 “මහණෙනි, සමහර මහණ බමුණෝ අහේතුක (ඉබේ) උත්පත්තිය ඇතැයි විශ්වාස කරත්. ඔව්හු කරුණු දෙකකින් ආත්මයද ලොකයද (ඉබේ) අහේතුකව උපන්නේ යයි ප්‍රකාශ කරති. ඒ පින්වත් මහණ බමුණෝ අහේතුක උත්පත්තිය අදහන්නෝව ආත්මයද ලොකයද හේතුවක් නැතුව (ඉබේ) හටගත්තේයයි කුමන කරුණකින් කුමක් නිසා ප්‍රකාශ කරත්ද?

Msdiv 68 “මහණෙනි, ‘රූපය පමණක් ඇත්තා’ නම් දෙවියෙක් වේ. ඔහු (ප්‍රතිසන්ධි චිත්තය) ජීවිතයක් ඊළඟ ජීවිතයත් එකතු කරන හිත පහළවීමෙන්ම ඒ දේව භාවයෙන් චුතවෙත්. ‘මහණෙනි, මේ කාරණය පැහැදිලිව පෙනේ. එනම් එක්තරා සත්වයෙක් ඒ ශරීරයෙන් චුතව මේ මිනිස් බවට පැමිණේ. ඒ භවයට පැමිණ ගිහිගෙන් නික්ම මහණ වෙයි. ගිහිගෙන් නික්ම පිට ශාසනයකට ඇතුල්වූ ඔහු කෙලෙස් නසන වීර්යයට පැමිණ, ඒ වීර්යය නැවත නැවත දියුණුකර භාවනාවට පටන්ගෙන, අප්‍රමාදයට පැමිණ, යහපත් සිහිකිරීමට පැමිණ, හිත එකඟ කරගත් කල හිතෙහි ඉහත ආත්මයේ උත්පත්තිය සිහිකරන හිතේ එකඟකමක් ලබයි. එයින් ඔබ සිහි නොකෙරෙයි. ඔහු මෙසේ කියයි. ආත්මයද ලොකයද හේතුවක් නැතුව (ඉබේ) උපන්නේය. එසේ කියන්නේ මන්ද? මම ‘පූර්වයෙහි නොවීමි. ඒ මම පෙර නොවී (නොසිට) දැන් සත්වභාවයට පැමිණියෙමි.’

“මහණෙනි, යමක් කරණකොටගෙන යමක් නිසා හේතුවක් නැතිව උත්පත්තියක් ලැබේයයි යන මත ඇති සමහර මහණ බමුණෝ ආත්මයද ලොකයද ඉබේ පහළවීයයි කියත්ද මේ එහි පළමුවැනි කාරණයයි.

Msdiv 69 “දෙවැනිවද ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණකොටගෙන කුමක් නිසා හේතුවක් නැති උත්පත්ති ඇතැයි විස්වාස කරන්නෝව ආත්මයද ලොකයද හේතුවක් නැතුව හටගත්තේයයි කියද්ද?

“මහණෙනි, මේ ලෝකයෙහි යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ තර්ක කරන්නෙක්ව, විමසන්නෙක්ව, තර්කයෙන් සහ විමසීමෙන් වටහාගෙන මෙසේ කියයි: ‘ආත්මයද ලොකයද අහේතුවකව (ඉබේම) උපන්නේය.”

“මහණෙනි, ඇතැම් මහණ බමුණෝ යමක් කරණකොට ගෙන යමක් නිසා හේතුවක් නැති උත්පත්ති ඇතැයි විස්වාස කර ආත්මයද ලොකයද අහේතුකව උපන්නේයයි ප්‍රකාශ කරති. මේ එහි දෙවැනි කාරණයයි.

Msdiv 70 “මහණෙනි, ඒ මහණ බමුණෝ හේතුවක් නැති උත්පත්ති ඇතැයි විස්වාස කර මේ කරුණු දෙකින් ආත්මයද ලොකයද හේතුවක් නැතුව (ඉබේම) උපන්නේයයි ප්‍රකාශ කරති. ඒ සියල්ලෝම මේ කරුණු දෙකින් හෝ එයින් එකකින් හෝ එසේ ප්‍රකාශ කරති. මෙයින් පිට කරුණකින් නොවේ.

“මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබොධය, ශාන්තය, මිහිරිය, තර්ක මාර්ගයෙන් දැනගත නොහැක. සියුම්ය, නුවණ ඇත්තන් විසින් දැනගත යුතුය. තථාගතයෝ එය තමන්ගේම උසස් ඥානයෙන් දැක ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇතිසැටිවූ ගුණ කියන්නෝ හොඳින් කියති.

Msdiv 71 “මහණෙනි, ඒ මේ මහණ බමුණෝ අතීතය ගැන කල්පනා කරන්නෝව, අතීතය ගැන ඇදහීම් ඇත්තෝව, අතීතය ගැන කරුණු දහඅටකින් නොයෙක් මත දක්වන වචන කියති. මහණෙනි, ඒ යම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය ගැන කල්පනා කරන්නෝව, අතීතය ඇදහීම් ඇත්තෝව, අතීතය ගැණ නොයෙක් මත දක්වන වචන කියද්ද? ඒ සියල්ලෝම මේ කරුණු දහඅටෙන් හෝ මොවුන් අතුරෙන් එකකින් හෝ කියති. මෙයින් පිටත වුවකින් නොකියති.

Msdiv 72 “මේ මත මෙසේ ගත්තාහුය, මෙසේ තීරණයකට පැමිණියාහුය, මෙබඳු ගති ඇතිවන්නාහුය, මෙබඳු පරලොවගෙන දෙන්නාහුයයි මෙයද තථාගතයෝ දනිති. මෙයින් මත්තෙහිවූද දනිති, ඒ දැනීම (රාග ද්වේෂ මෝහයෙන්) තීරණය නොකෙරෙති එසේ තීරණය නොකරන තථාගතයන් විසින් තමන්ගේ උසස් ඥානයෙන්ම කෙලෙස් නැති කිරීම දැනගන්නා ලද්දේය, ‘මහණෙනි. වේදනා ඉපදීමද, බැසීමද, භුක්තිවිඳීමද, ප්‍රතිඵලද, නිවනද ඇතිහැටි දැන තථාගතයෝ කෙලෙසුන්ගෙන් මිදුනෝය.

Msdiv 73 “මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබොධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය, සියුම්ය, නුවණ ඇත්තන් විසින් දැනගත යුතුය, එය තථාගතයෝ තමන්ගේම උසස් ඥානයෙන් දැක ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇතිසැටිව ගුණ කියන්නෝ හොඳින් කියති.

දෙවැනි බණ වරයි.

අපරන්තකප්පිකා Msdiv 74 “මහණෙනි, අනාගතය කල්පනා කරන්නාවූ අනාගතය ගැන විස්වාස ඇති, අනාගතය ගැන කරුණු හතලිස් හතරකින් නොයෙක් මත දක්වන වචන කියන්නාවූ මහණ බමුණෝ ඇත්තාහුය. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොට ගෙන කුමක් නිසා අනාගතය කල්පනා කරන්නෝව අනාගතය ගැන මත ඇත්තෝව අනාගතය ගැන කරුණු හතලිස් හතරකින් නොයෙක් මත ප්‍රකාශ කරණ වචන කියද්ද?

සඤ්ඤීවාදො Msdiv 75 “මහණෙනි, මරණින් මතු ආත්මයෙහි ලකුණු (සංඥා) ඇත්තේයයි මත ඇති සමහර මහණ බමුණෝ ඇත්තාහුය. මරණින් මත්තෙහි සංඥා ඇති ආත්මය දහසය ආකාරයකින් ඔවුහු ප්‍රකාශ කරත්. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොට ගෙන කුමක් නිසා දහසය ආකාරයකින් මත්තෙහි ආත්මය ලකුණු ඇත්තේය යන විස්වාසය ඇත්තෝ මරණින් මත්තෙහි ආත්මය ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරත්ද?

Msdiv 76 “ආත්මය රූප සහිතය, නිත්‍යය, මරණින් මතු ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති. ආත්මය අරූපීය, නිත්‍යය, මරණින් මතු ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති. ආත්මය රූප ඇත්තේද රූප නැත්තේද වෙයි. නිත්‍යය, මරණින් මතු ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති. ආත්මය රූපයක් නැත්තේමද අරූප නැත්තේ නොවෙද වෙයි.

“ආත්මය කෙළවරක් (අන්තයක්) ඇත්තේ වෙයි. ආත්මය කෙළවරක් නැත්තේ වෙයි. ආත්මය කෙළවරක් ඇත්තේද නැත්තේද වෙයි. ආත්මය කෙළවරක් නැත්තේද නොම නැත්තේද වෙයි ආත්මය එකම ලකුණුවලින් යුතු වෙයි. ආත්මය නොයෙක් ලකුණුවලින් යුතුවෙයි. ආත්මය ඉතා කුඩා ලකුණුවලින් යුතුවෙයි. ආත්මය සීමාවක් නැති ලකුණෙන් යුතු වෙයි, ආත්මය නොඅනුමාන සැපයෙන් යුතු වෙයි. ආත්මය නොඅනුමාන දුකින් යුතු වෙයි. ආත්මය දුක් සැප දෙකෙන් යුතුවෙයි. ආත්මය නො දුකින් යුතු නො සැපෙන් යුතු වෙයි. ඒ ආත්මය නිත්‍යයයි මරණින් මතු සංඥා (ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති.

Msdiv 77 “මහණෙනි, ඒ මහණ බමුණෝ මරණින් මතු සංඥා ඇතැයි අදහන්නෝව මේ කරුණු දහසයෙන් මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් කොට ප්‍රකාශ කරති. මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මරණින් මතු සංඥා ඇතැයි අදහන්නෝව, මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් කොට ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝ මේ සොළොස් වස්තුවෙන් එසේ ප්‍රකාශ කරත්. නැතහොත් මෙයින් එකකින් ප්‍රකාශ කරත්. මෙයින් පිටතවූ එකකින් ප්‍රකාශ නොකරත්.

“මේ මත මෙසේ ගත්තාහුය, මෙසේ තීරණයකට පැමිණියාහුය. මෙබඳු ගති ඇතිවන්නාහුය, මෙබඳු පරලොව ගෙන දෙන්නාහුයයි මෙයද තථාගතයෝ දනිති මෙයින් මත්තෙහිවූද දනිති. ඒ දැනීම (රාග ද්‍වෙෂ මොහයෙන්) තීරණය නොකෙරෙති. එසේ තීරණය නොකරණ තථාගතයන් විසින් තමන්ගේ උසස් ඥාණයෙන්ම කෙලෙස් නැතිකිරීම දැනගන්නා ලද්දේය. මහණෙනි, වේදනා ඉපදීමද, බැසීමද, භුක්තිවිඳීමද, ප්‍රතිඵලද, නිවනද ඇතිහැටි දැන තථාගතයෝ කෙලෙසුන්ගෙන් මිදුනෝය.

“මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය. දුරවබොධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය සියුම්ය, නුවණ ඇත්තන් විසින් දැනගත යුතුය. එය තථාගතයෝ තමන්ගේම උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇතිසැටි ගුණ කියන්නෝ හොඳින් කියති.

අසඤ්ඤීවාදො Msdiv 78 “මහණෙනි, සමහර මහණ බමුණෝ මරණින් මතු ලකුණු නැතැයි අදහන්නෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය මරණින් මතු ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරත්. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොටගෙන කුමක් නිසා මරණින් මතු ලකුණු නැතැයි අදහන්නෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය ලකුණු නැත්තක් කොට පෙන්වත්ද?

Msdiv 79 “මරණින් මතු රූප ඇති නිත්‍ය ආත්මයක් වෙයි. එය ලකුණු නැත්තේයයි ප්‍රකාශ කරත්. රූපය නැති ආත්මයක්වෙයි. එය ලකුණු නැත්තේයයි ප්‍රකාශ කරත් රූපය ඇත්තාවූද රූපය නැත්තාවූද ආත්මයක් වෙයි. රූපය නැත්තාවුද අරූපය නැත්තාවුද ආත්මයක් වෙයි, අන්තයක් ඇත්තාවුද ආත්මයක් වෙයි. අන්තයක් නැත්තාවූද ආත්මයක් වෙයි. අන්තයක් ඇත්තාවූද අන්තයක් නැත්තා වූද ආත්මයක් වෙයි. අන්තයක් නොම ඇත්තාවූද අන්තයක් නොම නැත්තාවූද ආත්මයක් වෙයි. එය මරණින් මතු නිත්‍යවූ බැවින් ලකුණ නැත්තේයයි ප්‍රකාශ කරත්.

Msdiv 80 “මහණෙනි, ඒ මහණ බමුණෝ මරණින් මතු ලකුණු නැතැයි අදහන්නෝව, මේ කරුණු අටෙන් මරණින් මතු ආත්මය ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරති. මහණෙනි, සමහර මහණහු හෝ බමුණෝ හෝ මරණින් මතු ලකුණු නැතැයි අදහන්නෝව මරණින් මතු ආත්මය ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරත්ද ඒ සියල්ලෝම මේ කරුණු අටෙන් ප්‍රකාශ කරත් මෙයින් එකකින් හෝ ප්‍රකාශ කරත්. මෙයින් පිටත එකකින් ප්‍රකාශ නොකරත්.

“මහණෙනි, මේ මතය මෙසේ ගත්තාහුය, මෙසේ තීරණයකට පැමිණියාහුය, මෙබඳු ගති ඇති වන්නාහුය, මෙබඳු පරලොව ගෙනදෙන්නාහුයයි මෙයද තථාගතයෝ දනිති ඒ දැනීම (රාග ද්‍වෙෂ මෝහයෙන්) තීරණය නො කෙරෙති. එසේ තීරණය නොකරන තථාගතයන් විසින් තමන්ගේ උසස් ඥානයෙන්ම කෙළෙස් නැති කිරීම දැන ගන්නා ලද්දේය. ‘මහණෙනි, වේදනා ඉපදීමද, බැසීමද, භුක්ති විඳීමද, ප්‍රතිඵලද, නිවනද ඇතිහැටි දැන තථාගතයෝ කෙළෙසුන් ගෙන් මිදුනෝය.

“මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය. දුරවබෝධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය, සියුම්ය නුවණ ඇත්තන් විසින් දැනගත යුතුය. එය තථාගතයෝ තමන්ගේම උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇතිසැටි ගුණ කියන්නෝ හොඳින් කියති.

නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදො Msdiv 81 “මහණෙනි, සමහර මහණ බමුණෝ මරණින් මතු නොම සංඥා (ලකුණු) ඇති නොම අසංඥා (ලකුණක් නුවූදේ) ඇති මත ඇත්තෝ වෙති. ඔහු කරුණු අටකින් මරණින් මතු ආත්මය නොම සංඥා නොම අසංඥා කොට පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොට ගෙන කුමක් නිසා කරුණු අටකින් මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇති මත ඇත්තෝව මරණින් මතු ආත්මය නොම සංඥා ඇත්තේය, නොම අසංඥා ඇත්තේයයි කරුණු අටකින් ප්‍රකාශ කරද්ද?

Msdiv 82 “මරණින් මතු ආත්මය නිත්‍යය, රූප ඇත්තක්ය නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. මරණින් මතු අරූපීවූ ආත්මය නිත්‍යය නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්. රූපිවූද අරූපිවූද ආත්මය නිත්‍යය නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්. නොම රූප ඇති නොම අරූප ඇති ආත්මය නිත්‍යය නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්. කෙළවරක් ඇති ආත්මයක් වෙයි. එය නිත්‍යය මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. කෙළවරක් නැති ආත්මයක් වෙයි. එය නිත්‍යය මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. කෙළවරක් ඇත්තාවූද කෙළවරක් නැත්තාවූද ආත්මයක් වෙයි එය නිත්‍යය මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. කෙළවරක් නැත්තා වූද කෙළවරක් නොම ඇත්තාවූද ආත්මයක් වෙයි. එය නිත්‍යය මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇති යයි ප්‍රකාශ කරත්.

Msdiv 83 “මහණෙනි, ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ප්‍රකාශ කරන්නාහු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි මත අදහන්නෝ කරුණු අටකින් මරණින් මතු ආත්මය නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. මහණෙනි, යම්කිසි මහණහු හෝ බමුණෝ හෝ මරණින් මතු ආත්මය ගැන නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි අදහා මරණින් මතු ආත්මය නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි, ප්‍රකාශ කරද්ද, ඒ සියල්ලෝම මේ කරුණු අටෙන් හෝ එයින් එකකින් හෝ ප්‍රකාශ කරත්. මෙයින් පිටත එකකින් ප්‍රකාශ නොකරත්.

“මේ මත මෙසේ ගන්නාහුය, මෙසේ තීරණයකට පැමිණියාහුය, මෙබඳු ගති ඇති වන්නාහුය, මෙබඳු පරලොව ගෙන දෙන්නාහුයයි මෙයද තථාගතයෝ දනිති. මෙයින් මත්තෙහිවූද දනිති. ඒ දැනීම (රාග ද්‍වෙෂ මෝහයෙන්) තීරණය නොකෙරෙති. මෙසේ තීරණය නොකරණ තථාගතයන් විසින් තමන්ගේ උසස් ඥානයෙන්ම කෙලෙස් නැති කිරීම දැනගන්නා ලද්දේය. මහණෙනි, වේදනා ඉපදීමද, බැසීමද, භුක්තිවිඳීමද, ප්‍රතිඵලද නිවනද ඇතිසැටි දැන තථාගතයෝ කෙලෙසුන්ගෙන් මිදුනෝය.

“මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබෝධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය, සියුම්ය නුවණ ඇත්තන් විසින් දැනගත යුතුය. එය තථාගතයෝ තමන්ගේ උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇතිසැටි ගුණ කියන්නෝ හොඳින් කියති.

උච්ඡෙදවාදො Msdiv 84 “මහණෙනි, සමහර මහණ බමුණෝ සංසාරයක් නැතැයි විස්වාසකර සත්ත්වයාගේ නැතිවීම විනාශය සහ භවය නැතිවී යෑම කරුණු හතකින් ප්‍රකාශ කරත්. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොට ගෙන කුමක් නිසා සංසාරයක් නැතැයි විස්වාසකර සත්ත්වයාගේ නැතිවීම විනාශය සහ භවය නැතිවී යෑම කරුණු හතකින් ප්‍රකාශ කරද්ද?

Msdiv 85 “මහණෙනි, මේ ලොකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු මත ඇත්තේ මෙබඳු ඇදහීම් ඇත්තෙක් වෙයි. ‘පින්වත, සතර මහා භූතයන්ගෙන් හටගත් මවුපියන්ගේ සම්බන්ධයෙන් උපන් රූපයක් ඇති මේ ආත්මය ශරීරයෙන් වෙන්වීමෙන් නැතිවන්නේය, විනාශ වන්නේය, මරණින් මතු නොවන්නේය. පින්වත, මෙපමණකින් මේ ආත්මය හොඳින් නැතිවීයේය.’ මෙසේ යම්කෙනෙක් සත්ත්වයාගේ නැතිවීම, විනාශය හා භවය නැතිවී යෑම ප්‍රකාශ කරත්.

Msdiv 86 “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි: ‘පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත්තේය. එය ඇත්තේ නැතැයි නොකියමි. ‘පින්වත, මෙතෙකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී ගියේ නැත. ‘පින්වත, රූපයක් ඇති, කාම ලොකයෙහි හැසිරෙණ, කෑම කන අන්‍ය දිව්‍ය ආත්මයෙක් ඇත්තේය. එය ඔබ නොදනිහි, නොදකිහි. මම එය දනිමි, දකිමි. පින්වත, ඒ ආත්මය ශරීරයෙන් වෙන්වූ පසු නැතිවී යන්නේය, විනාශ වන්නේය, මරණින් මතු නොවන්නේය. පින්වත, එපමණකින් මේ ආත්මය නැතිවී ගියේ වෙයි.” මෙසේ යම්කිසි කෙනෙක් සත්වයාගේ නැතිවී යෑම, විනාශය හා භවය නැතිවීම ප්‍රකාශ කරත්.

Msdiv 87 “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි: ‘පින්වත, තා කියන ඒ ආත්මය ඇත. එය නැතැයි නොකියමි. ‘පින්වත, ඒ ආත්මය මෙපමණකින් හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, රූපයක් ඇති, සිත් උපදවනලද සියලු අවයව ඇති දැනීමට උපකාරවන නොපිරිහුණු අවයවයන් ඇති අනික් දිව්‍ය ආත්මයක් ඇත. එය ඔබ නොදනිහි, නොදකිහි. එය මම දනිමි, දකිමි. ‘පින්වත, යමකින් ඒ ආත්මය ශරීරයෙන් වෙන්වීමෙන් සිඳෙන්නේද විනාශ වන්නේද මරණින් මත්තෙහි නොවන්නේද, පින්වත, එපමණකින් මේ ආත්මය මනාකොට නැතිවී ගියේ වේ.’ මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ නැතිවී යෑම, විනාශය, භවයෙන් නැතිවී යෑම ප්‍රකාශ කරත්.

Msdiv 88 “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි. ‘පින්වත, ඔබ කියන ආත්මය ඇත. එය නැතැයි නොකියමි. ‘පින්වත, ඒ ආත්මය මෙපමණකින් හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, අන්‍යවූ හැම කාරණයකින් රූප ලකුණු පිටකිරීමෙන් නැසෙන ලකුණු බැහීමෙන් නොයෙක් ආත්ම ලකුණු අමතක වීමෙන් ආකාශය නිමක් නැතැයි ආකාශානඤ්චායතන, නම් පළමුවැනි අරූප බ්‍රහ්ම ලොකයට පැමිණ ආත්මයක් ඇත. එය ඔබ නොදනිහි, නොදකිහි, එය මම දනිමි, දකිමි. ‘පින්වත, යම් කලෙක ඒ ආත්මය ශරීරයෙන් වෙන්ව නැතිවී යන්නේද, විනාශ වී යන්නේද, මරණින් මතු නොවන්නේද, පින්වත’ මෙපමණකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී ගියේ වේ.’ මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ නැතිවී යෑම’ විනාශය හා භවය නැතිවී යෑම ප්‍රකාශ කරයි.

Msdiv 89 “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි. ‘පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත. එය නැතැයි නොකියමි. පින්වත, ඒ ආත්මය මෙතෙකින් හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, හැම ආකාරයෙන් ‘ආකාශානඤ්චායතනය’ නම් පළමුවැනි අරූප බ්‍රහ්ම ලොකයෙන් ඉක්මවී හිත කෙළවරක් නැතැයි ‘විඤ්ඤාණඤ්චායතනය’ නම් බ්‍රහ්ම ලොකයට පැමිණ ආත්මයක් ඇත. එය ඔබ නොදනිහී, නොදකිහි එය මම දනිමි, දකිමි. ‘පින්වත, යම් කාලයකදී ආත්මය ශරීරයෙන් වෙන්ව නැතිවී යන්නේද, විනාශ වන්නේද, මරණින් මත්තෙහි නොවන්නේද, පින්වත, මෙපමණකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී ගියේයි’ මෙසේ යම් කෙනෙක් සත්ත්වයන්ගේ නැතිවී යෑම, විනාශය හා භවය නැතිවී යෑම ප්‍රකාශ කරයි.

Msdiv 90 “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි: ‘පින්වත ඔබ කියන ආත්මය ඇත. එය නැතැයි නොකියමි. පින්වත, ඒ ආත්මය මෙතෙකින් හොඳාකාර නැතිවී නොගියේය. “පින්වත, හැම ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය නම් බ්‍රහ්ම ලෝකයෙන් ඉක්මවී කිසිවක් නැතැයි ‘ආකිඤ්චඤ්ඤායතනය, නම්, බ්‍රහ්ම ලෝකයට පැමිණියාවූ ආත්මයක් ඇත. එය ඔබ නොදකිහි, නොදනිහි. මම එය දනිමි, දකිමි පින්වත, යම්කාලයකදී ඒ ආත්මය ශරීරයෙන් වෙන්වී නැතිවීයන්නේද මරණින් මතු නොවන්නේද, පින්වත, මෙපමණකින් ඒ ආත්මය නැතිවී ගියේයයි’ මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ නැතිවීයාම, විනාශය, භවය නැතිවීයෑම ප්‍රකාශ කරයි.

Msdiv 91 “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි, ‘පින්වත, ඔබ කියන ආත්මය ඇත. එය නැතැයි නොකියමි. පින්වත, ඒ ආත්මය මෙතෙකින් හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, හැම ආකාරයෙන් ‘ආකිඤ්චඤ්ඤායතනය’ නම් බ්‍රහ්මලොකය ඉක්මකොට මෙය ශාන්තය මෙය මිහිරියයි ‘නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය’ නම් බ්‍රහ්මලෝකයට පැමිණියාවූ අන්‍ය ආත්මයක් ඇත. එය ඔබ නොදකිහි, නොදනිහි. එය මම දනිමි. දකිමි. ‘පින්වත, යම් කලෙක ඒ ආත්මය ශරීරයෙන් වෙන්වී නැතිවී යන්නේද, විනාශ වන්නේද මරණින් මත්තෙහි නොවන්නේද, පින්වත, මෙපමණකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී ගියේයි” මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ නැතිවීයාම, විනාශය, භවය නැතිවීයෑම ප්‍රකාශ කරති.

Msdiv 92 “මහණෙනි, ඒ මහණ බමුණෝ නැතිවීයෑම (උච්ඡේදවාදය) විස්වාසකරන්නෝව මේ කරුණුහතෙන් සත්ත්වයින්ගේ නැතිවීයෑම විනාශය, භවය නැතිවීයෑම ප්‍රකාශ කරත්. මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ නැතිවී යෑම විස්වාස කරන්නෝව සත්ත්වයින්ගේ නැතිවීයෑම විනාශය භවය නැතිවීයෑම ප්‍රකාශ කරයිද ඒ සියල්ලෝ මේ කරුණු හතෙන් හෝ මෙයින් එකකින් හෝ එසේ ප්‍රකාශ කරති. මෙයින් පිටත එකකින් ප්‍රකාශ නොකරත්.

“මේ මත මෙසේ ගන්නාහුය, මෙසේ තීරණයකට පැමිණියාහුය, මෙබඳු ගති ඇති වන්නාහුය, මෙබඳු පරලොව ගෙනදෙන්නාහුයයි මෙයද තථාගතයෝ දනිති, මෙයින් මත්තෙහිවුවද දනිති. ඒ දැනීම (රාග ද්‍වෙෂ මොහයෙන්) තීරණය නොකරති. මෙසේ තීරණය නොකරණ තථාගතයන් විසින් තමන්ගේ උසස් ඥානයෙන්ම කෙලෙස් නැති කිරීම දැනගන්නා ලද්දේය. මහණෙනි, වේදනා ඉපදීමද, බැසීමද, භුක්ති විඳීමද, ප්‍රතිඵලද නිවනද ඇති සැටි දැන තථාගතයෝ කෙලෙසුන්ගෙන්ද මිදුනෝය.

“මහණෙනි, මේ බුද්ධ (ධර්මය) ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබෝධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැන ගත නොහැකිය. එය තථාගතයෝ තමන්ගේම උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇති සැටි ගුණ කියන්නෝ හොඳින් කියති.

දිට්ඨධම්මනිබ්බානවාදො Msdiv 93 “මහණෙනි, සමහර මහණ බමුණෝ (දිට්ඨධම්මනිබ්බාන වාද) මේ ආත්ම භාවයේදීම නිර්වාණය අත්වේයයි අදහන්නෝ වෙති. ඔව්හු සත්ත්වයාගේ මේ ආත්මයෙහිම නිර්වාණය කරුණු පහකින් ප්‍රකාශ කරති. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණකොටගෙන කුමක් නිසා මේ ආත්මයෙහිම නිර්වාණය කරුණු පහකින් ප්‍රකාශ කරත්ද?

Msdiv 94 “මහණෙනි, මේ ලොකයෙහි යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු මත ඇත්තෙක් මෙබඳු ඇදහීම් ඇත්තෙක් වෙයි. ‘පින්වත, යම්දිනක මේ ආත්මය පඤ්චකාම ගුණයෙන් යුත්වූයේ, අත්වූයේ ඉන්ද්‍රියයන් පිනවාද, මෙපමණකින්, මේ ආත්මය මේ ආත්ම භාවයේදීම නිර්වාණයට පැමිණියේ වෙයි, කියායි. මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ මේ ආත්ම භාවයේදීම නිර්වාණය ප්‍රකාශ කරයි.

Msdiv 95 “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි: ‘ඔබ කියන ඒ ආත්මය ඇත. ඒ නැතැයි නොකියමි. පින්වත, මේ ආත්මය එපමණකින් මේ ආත්මයෙහිම නිවනට නොපැමිණියේ වෙයි. ඊට හේතු කුමක්ද? ‘පින්වත, කම් සැප අනිත්‍යය, දුකය, පෙරළෙන ආකාරය - (කාම සැපයේ) පෙරළීම, වෙනස්වීම නිසා, සෝක, වැලපීම්, දුක්, කණගාටු සහ තද ශෝකය උපදින්නෝය. පින්වත, යම් කාලයක මේ ආත්මය කාමයෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, සිත අරමුණට නගා අරමුණෙහි සිත හසුරුවා විවේකයෙන් හටගත් ප්‍රීති සහිත සැප ඇති පළමුවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද? පින්වත, එපමණකින් මෙ ආත්මය මේ ආත්මයේදීම නිවනට පැමිණියේ වෙයි.’ මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ මේ ආත්මයේම නිවනට පැමිණීම ප්‍රකාශ කරයි.

Msdiv 96 “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි: ‘පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත. එය නැතැයි නොකියමි. ‘පින්වත, පෙමණකින් ඒ ආත්මය මේ ආත්මයේදී නිවනට පැමිණියේ නැත. ඊට හේතු කුමක්ද? එහි යම් විසඳා බලන විචාරයෝ වෙත්ද ඔවුන් නිසා ඒ ධ්‍යානය ලාමක සේ පෙනෙයි. පින්වත, යම් කලක මේ ආත්මය විසඳා බලන විචාරයින්ගේ සතුටුවීමෙන් හිතේ විශේෂ සතුටු ගතිය සහ එකඟකමින් යුක්තවූ, විසඳා බැලීමෙන් තොරවූ විචාර රහිතවූ සමාධියෙන් ඇතිවූ ප්‍රීතිය සහ සැප ඇති දෙවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද? පින්වත, මෙපමණකින් මේ ආත්මය මේ ආත්මයේදී නිවනට පැමිණියේ වෙයි.’ මෙසේ යම්කෙනෙක් සත්ත්වයාගේ මේ ආත්මයේම නිවන ප්‍රකාශ කරයි,

Msdiv 97 “වෙන අයෙක් ඔහුට මෙසේ කියති ‘ඔබ කියන ඒ ආත්මය ඇත. එය නැතැයි නොකියමි. පින්වත, මෙපමණකින් ඒ ආත්මය මේආත්මයේදී නිවනට පැමිණියේ නොවේ. ඊට හේතු කුමක්ද? එහි ප්‍රීතියද, හිතේ උඩඟු බවද, හේතු කොට ගෙන ඒ ධ්‍යානය ලාමකයයි පෙනේ. පින්වත, යම් කලක මේ ආත්මය ප්‍රීතියෙහි නොඇලීමෙන්, සිහිඇතුව, නුවණ ඇතුව උනන්දුවක් නැතුව වාසය කරයිද, ශරීරයෙන් සැප විඳීද, උත්තමයෝ යම් ධ්‍යානයකට උනන්දු නැති බව ඇත්තෝය, සිහි ඇත්තෝය, සැප විවේකය ඇත්තෝයයි කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, පින්වත, මෙපමණකින් මේ ආත්මය මේ ආත්මයේදී නිවනට පැමිණියේ වෙයි.’ මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ මේ ආත්මයේදී නිවන ප්‍රකාශ කරයි.

Msdiv 98 “වෙන අයෙක් ඔහුට මෙසේ කියති. ‘පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත. එය නැතැයි නොකියමි. පින්වත, මෙපමණකින් ඒ ආත්මයත් මේ ආත්මයේදී නිවනට පැමිණියේ නොවේ. ඊට හේතු කුමක්ද? එහි සැපයයි සිතෙහි ධ්‍යානයෙන් නැගිට නැගිට සැපය නැවත සිහිකිරීම වේද, එයින් එය ලාමකයයි හැඟේ. පින්වත, යම් කලක මේ ආත්මය සැප නැති කිරීමෙන්ද, දුක නැති කිරීමෙන්ද, පළමුවෙන්ම සතුට අසතුට නැතිව යෑමෙන් දුක් නැති සැප නැති, උපෙක්ෂාව නිසා ඇතිවූ සිහියේ හරි ශුද්ධිය ඇති හතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, පින්වත, මෙපමණකින්ම මේ ආත්මය මේ ආත්මයේදී නිවනට පැමිණියේ වෙයි.’ මෙසේ යම් කෙනෙක් මේ ආත්මයේදී නිවන ප්‍රකාශ කරයි.

Msdiv 99 “මහණෙනි, ඒ මහණ බමුණෝ මේ ආත්මයේදී නිවන කියන්නෝ මේ කරුණු පහෙන් සත්ත්වයන්ගේ මේ ආත්මයේදී නිවන ප්‍රකාශ කරත් මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මේ ආත්මයේදී නිවන විශ්වාස කරන්නෝව සත්ත්වයාගේ මේ ආත්මයේදී නිවන ප්‍රකාශ කරයිද ඒ සියල්ලෝම මේ කරුණු පහෙන් හෝ මෙයින් එකකින් හෝ ප්‍රකාශ කරත්. මෙයින් පිටත එකකින් ප්‍රකාශ නොකරත්.

“මහණෙනි, තථාගතයෝ මේ දනිත්. මේ මත මෙසේ ගත්තාහුය. මෙසේ තීරණයකට පැමිණියාහුය, මෙබඳු ගති ඇති වන්නාහුය, මෙබඳු පරලොව ගෙනදෙන්නාහුයයි මෙයද තථාගතයෝ දනිති. මෙයින් මත්තෙහිවූද, දනිති ඒ දැනීම (රාග ද්‍වෙෂ මෝහයෙන්) තීරණය නොකරති. මෙසේ තීරණය නොකරණ තථාගතයන් විසින් තමන්ගේ උසස් ඥානයෙන්ම කෙළෙස් නැති කිරීම දැනගන්නා ලද්දේය. මහණෙනි, වේදනා ඉපදීමද, බැසීමද, භුක්තිවිඳීමද, ප්‍රතිඵලද නිවනද, ඇතිසැටි දැන තථාගතයෝ කෙලෙසුන්ගෙන් මිදුනෝය. ‘මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබෝධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය, සියුම්ය, නුවණ ඇත්තන් විසින් දැනගත යුතුය. එය තථාගතයෝ තමන්ගේම උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇතිසැටි ගුණ කියන්නෝ ඒ ධර්මයන් හේතුකොටගෙන එසේ කියති.

Msdiv 100 “මහණෙනි, ඒ මහණ බමුණෝ (ලොක) අවසානය ගැන කල්පනා කර (ලොක) අවසානය ගැන මත ඇති කර ගෙන කරුණු හතලිස් හතරකින් (ලොක) අවසානය ගැන නොයෙක් මත දක්වන වචන කියති. මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ (ලොක) අවසානය කල්පනා කර, (ලොක) අවසානය ගැන මත ඇතිකරගෙන, (ලොක) අවසානය ගැන නොයෙක් මත දක්වන වචන කියත්ද, ඒ සියල්ලෝ මේ කරුණු හතලිස් හතරෙන් හෝ එයින් අනික් කරුණකින් හෝ කියති. මෙයින් පිටත කරුණක් නොකියති.

“මහණෙනි, තථාගතයෝ මේ දනිති. මේ මත මෙසේ ගත්තාහුය. මෙසේ තීරණයකට පැමිණියාහුය, මෙබඳු ගති ඇතිවන්නාහුය, මෙබඳු පරලොව ගෙනදෙන්නාහුයයි මෙයද තථාගතයෝ දනිති. මෙයින් මත්තෙහිවූද දනිති. ඒ දැනීම (රාග ද්‍වෙෂ මෝහයෙන්) තීරණය නොකරති. මෙසේ තීරණය නොකරන තථාගතයන් විසින් තමන්ගේ උසස් ඥානයෙන්ම කෙලෙස් නැතිකිරීම දැනගන්නා ලද්දේය. මහණෙනි, වේදනා ඉපදීම, බැසීම, භුක්තිවිඳීමද, ප්‍රතිඵලද, නිවනද ඇතිසැටි දැක තථාගතයෝ කෙලෙසුන්ගෙන් මිදුනෝය. මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබෝධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය, සියුම්ය, නුවණ ඇත්තන් විසින් දැනගත යුතුය. එය තථාගතයෝ තමන්ගේම උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇතිසැටි ගුණ කියන්නෝ මේ ධර්මය හේතුකොටගෙන එසේ කියති.

Msdiv 101 “මහණෙනි, යම්කිසි මහණ බමුණෝ (ලොකයේ) පටන්ගැන්ම කල්පනා කරත්ද (ලොක) අවසානය කල්පනා කරත්ද, (ලොකයේ) පටන්ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලොකය) පටන්ගැන්ම අවසානය ගැන මත ඇත්තෝ වෙද්ද, (ලොකයේ) පටන් ගැන්ම අවසානය ගැන කරුණු හැටදෙකකින් නොයෙක් ආකාර මත දක්වන වචන කියති. ඒ සියල්ලෝ මේ කරුණු හැටදෙකින් හෝ එයින් අනිකකින් කියති. මෙයින් පිටත කරුණක් නොකියති.

Msdiv 102

Msdiv 103 “මහණෙනි, ඒ පිළිබඳ තථාගතයෝ දනිති. මේ මත ඇත්තෝ මෙසේ ගන්නා ලද්දෝය, මෙසේ තීරණය කරණ ලද්දෝය. මෙවැනි ගති මෙවැනි පරලොව ඇත්තෝ වෙති යන කරුණද ඊට ඈත්වූ (ගැඹුරු) දේද තථාගතයෝ දනිති. ඒ දැනීම (තෘෂ්ණාවෙන්) තීරණය නොකරති. (තෘෂ්ණා සහිත) තීරණය නොකරන්නාවූ තථාගතයන් විසින් තමන්ගේම ඥානයෙන් නිර්වාණය අවබෝධ කරණලදී. මහණෙනි, තථාගතයෝ වේදනා ඉපදීමද, බැසීමද, භුක්තිවිඳීමද, ප්‍රතිඵලද, නිවනද ඇතිසැටි දැන තථාගතයෝ කෙලෙසුන්ගෙන් මිදුනෝය.

Msdiv 104 “මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබෝධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය, සියුම්ය, නුවණ ඇත්තන් විසින් දැනගත යුතුය. එය තථාගතයෝ තමන්ගේම උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇතිසැටි ගුණ කියන්නෝ ඒ ධර්මයන් කරණකොටගෙන එසේ කියති.

පරිතස්සිතවිප්ඵන්දිතවාරො Msdiv 105 “මහණෙනි, මේ කාරණයෙහි මත හැටදෙක අතුරෙන් යමකින් ඒ මහණ බමුණෝ සදාකාලික බවක් අදහන්නෝ කරුණු හතරකින් ආත්මයද ලොකයද සදාකාලික කොට ප්‍රකාශ කරත්ද, එයද තත්වූ පරිදි නොදන්නාවූ නොදක්නාවූ හැඟීමෙකි. ඒ පින්වත් මහණ බමුණන්ගේ තණ්හාවන්ගේ තැතිගැනීමෙන් කම්පාවීමක්ය.

Msdiv 106 “මහණෙනි, මේ කාරණයෙහි, යම් මහණ බමුණෝ කොටසක් සදාකාලිකය, කොටසක් සදාකාලික නොවේය යන මත ඇත්තෝව කරුණු සතරකින් ආත්මයද ලොකයද කොටසක් සදාකාලිකයයිද කොටසක් සදාකාලික නොවේයයිද ප්‍රකාශ කරත්ද එයද ඇති සැටි නොදන්නාවූ නොදක්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසාවෙන් කම්පාවීමක්ය.

Msdiv 107 “මහණෙනි, ඒ කාරණයෙහි යම් ඒ මහණ බමුණෝ ‘නිමක් ඇත නිමක් නැත’ යන මතය ඇත්තෝව කරුණු හතරකින් ලෝකයේ නිමක් ඇති බවද නැති බවද ප්‍රකාශ කරත්ද එයද ඇතිසැටි නොදන්නාවූ නොදක්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසාවෙන් කම්පාවීමක්ය.

Msdiv 108 “මහණෙනි, ඒ මතයන්හි යම් ඒ මහණ බමුණෝ (ආඳුන් මෙන්) අසුනොවන ගති ඇත්තෝව ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දාහු කරුණු හතරකින් වචනයන්ගේ වියවුල් ගතියට කෙළවරක් නැති වියවුල් ගතියට පැමිණෙද්ද එයද ඇතිසැටි නොදන්නාවූ නොදක්නාවූ මේ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමකි. තණ්හාවන්ගේ පිපාසාවෙන් කම්පාවීමක්ය.

Msdiv 109 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ අහේතුකව උපන්නේය යනමත ඇත්තෝව කරුණු දෙකකින් ආත්මයද ලොකයද අහේතුකව උපන් බව ප්‍රකාශ කරත්ද, එයද ඇති සැටි නොදන්නාවූ නොදක්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසාවෙන් කම්පාවීමක්ය.

Msdiv 110 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ අවසානය කල්පනා කරන්නෝව අවසානය ගැන මත ඇත්තෝව කරුණු දහඅටකින් අවසානය ගැන මත ප්‍රකාශ කරත් ද, එයද නොදන්නාවූ නොදක්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසාවෙන් කම්පාවීමක්ය.

Msdiv 111 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් යයි මත ඇත්තෝව කරුණු දහසයකින් මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් කොට ප්‍රකාශ කරද්ද, එයද ඇතිසැටි නොදන්නාවූ නොදක්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසාවෙන් කම්පාවීමක්ය.

Msdiv 112 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ලකුණු නැත්තක්යයි මත ඇත්තෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරද්ද එයද නොදන්නාවූ නොදක්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසාවෙන් කම්පාවීමක්ය.

Msdiv 113 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ගැණ (නෛවසංඥි නාසංඥි) ප්‍රකට සංඥාවක් නැත්තේය යන මත ඇත්තෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය ප්‍රකට සංඥාවක් නැති දෙයක් කොට ප්‍රකාශ කරත්ද, එයද ඇතිසැටි නොදන්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසයෙන් ඇතිවූ කම්පාවීමක්ය.

Msdiv 114 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ සංසාරයක් නැතැයි මත ඇත්තෝව කරුණු හතකින් සත්ත්වයාගේ (ජීවිතයෙන්) සිඳීම, විනාශය, භවය නැතිවීම ප්‍රකාශ කරද්ද, එයද ඇතිසැටි නොදන්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසයෙන් ඇතිවූ කම්පාවීමක්ය.

Msdiv 115 “මහණෙනි, යම් මහණ බමුණෝ මේ ජාතියේම නිවන් අත්වේයයි මත ඇත්තෝව කරුණු පහකින් සත්ත්වයාගේ මේ ජාතියේම නිවන් අත්වීම ප්‍රකාශ කරද්ද, එයද ඇතිසැටි නොදන්නාවූ නොදක්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසයෙන් ඇතිවූ කම්පාවීමක්ය.

Msdiv 116 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ලොක) අවසානය කල්පනා කරන්නෝව (ලොක) අවසානය ගැන මත ඇත්තෝව කරුණු හතලිස් හතරකින් (ලොක) අවසානය ගැන නොයෙක් මත ප්‍රකාශ කරත්ද, එයද ඇතිසැටි නොදන්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසයෙන් ඇතිවූ කම්පාවීමක්ය.

Msdiv 117 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ලෝකයේ) පටන්ගැන්ම කල්පනා කරත්ද, (ලොක) අවසානය කල්පනා කරත්ද, (ලොකයේ) පටන්ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලෝකයේ) පටන්ගැන්ම අවසානය ගැන මත ඇත්තෝව කරුණු හැටදෙකකින් (ලොකයේ) පටන් ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, එයද ඇතිසැටි නොදන්නාවූ නොදක්නාවූ ඒ පින්වත් මහණ බමුණන්ගේ හැඟීමෙකි. තණ්හාවන්ගේ පිපාසයෙන් ඇතිවූ කම්පාවීමක්ය.

ඵස්සපච්චයාවාරො Msdiv 118 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ සදාකාලික බවක් අදහන්නෝව කරුණු හතරකින් ලොකයද ආත්මයද සදාකාලික කොට ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

Msdiv 119 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ කොටසක් සදාකාලිකය, කොටසක් සදාකාලික නොවේය යන මතය ඇත්තෝව කරුණු හතරකින් ආත්මයද ලොකයද කොටසක් සදාකාලික කොට, කොටසක් සදාකාලික නොකොට ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසා වේ.

Msdiv 120 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ ‘නිමක් ඇත නිමක් නැත’ යන මතය ඇත්තෝව කරුණු සතරකින් ලෝකයේ නිමක් ඇත නිමක් නැතයයි ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසා වේ.

Msdiv 121 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ආඳුන් මෙන්) අසුනොවන ගති ඇත්තෝව ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දාහු කරුණු හතරකින් වචනයන්ගේ වියවුල් ගතියට කෙළවරක් නැති වියවුල් ගතියට පැමිණෙද්ද එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

Msdiv 122 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ආත්මයද ලොකයද) අහේතුකව උපන්නේය, යන මතය ඇත්තෝව කරුණු දෙකකින් ආත්මය ලොකයද අහෙතුකව උපන්නක් කොට ප්‍රකාශ කරද්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

Msdiv 123 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ලොක) අවසානය කල්පනා කර (ලොක) අවසානය ගැන මත ඇත්තෝව කරුණු දහඅටකින් ලොක අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසා වේ.

Msdiv 124 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ, මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක්යයි මත ඇත්තෝව කරුණු දහසයකින් මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් කොට ප්‍රකාශ කරද්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසා වේ.

Msdiv 125 “මහණෙනි, යම් මහණ බමුණෝ, මරණින් මතු ආත්මය ලකුණු නැත්තක්යයි මත ඇත්තෝව කරුණු අටකින් ආත්මය ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසා වේ.

Msdiv 126 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ආත්මය පිළිබඳ) මරණින් මතු (නෛවසංඥි නාසංඥි) ප්‍රකට සංඥාවක් නැත්තේය යන මත ඇත්තෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය (නෛවසංඥි නාසංඥි) ප්‍රකට සංඥාවක් නැති දෙයක් කොට ප්‍රකාශ කරත්ද එය ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසා වේ.

Msdiv 127 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ආත්මය ගැන) සංසාරයක් නැතැයි මත ඇත්තෝව කරුණු හතකින් සත්ත්වයාගේ (ජීවිතයෙන්) කපාදැමීම, විනාශය, භවය නැති වීම ප්‍රකාශ කරද්ද එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසා වේ.

Msdiv 128 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මේ ජාතියේම නිවන් අත්වේයයි මත ඇත්තෝව කරුණු පහකින් සත්ත්වයාගේ මේ ජාතියේම නිවන් අත්වීම ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසා වේ.

Msdiv 129 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ලොක) අවසානය කල්පනා කරන්නෝව (ලොක) අවසානය ගැන මත ඇත්තෝව කරුණු හතලිස් හතරකින් (ලොක) අවසානය ගැන නොයෙක් මත ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසාවේ.

Msdiv 130 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ලොකයේ) පටන්ගැන්ම කල්පනා කරත්ද (ලොක) අවසානය කල්පනා කරත්ද, (ලොකයේ) පටන්ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලොකයේ) පටන්ගැන්ම අවසානය ගැන මත ඇත්තෝව කරුණු හැට දෙකකින් (ලොකයේ) පටන්ගැන්ම අවසානය ගැන නොයෙක් මත ප්‍රකාශ කරත්ද, එයද ඉන්ද්‍රියයන්ගේ ස්පර්ශය නිසා වේ.

නෙතං ඨානං විජ්ජතිවාරො Msdiv 131 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ සදාකාලික බවක් අදහන්නෝව කරුණු හතරකින් ලොකයද ආත්මයද සදාකාලික කොට ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

Msdiv 132 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ කොටසක් සදාකාලිකය, කොටසක් සදාකාලික නොවේය යන මතය ඇත්තෝව, කරුණු හතරකින් ආත්මයද ලොකයද කොටසක් සදාකාලික කොට, කොටසක් සදාකාලික නොකොට ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

Msdiv 133 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ ‘නිමක් ඇත, නිමක් නැත’ යන මතය ඇත්තෝව කරුණු හතරකින් ලොකයේ නිමක් ඇත නිමක් නැත කියා ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම් ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

Msdiv 134 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ආඳුන් මෙන්) අසුනොවන ගති ඇත්තෝව ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දාහු කරුණු හතරකින් වචනයන්ගේ වියවුල් ගතියට කෙළවරක් නැති වියවුල් ගතියට පැමිණෙද්ද ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

Msdiv 135 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ අහේතුකව උපන්නේය යන මත ඇත්තෝව කරුණු දෙකකින් ආත්මයද ලොකයද අහේතුකව උපන් බව ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

Msdiv 136 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ලොක) අවසානය කල්පනා කරන්නෝව අවසානය ගැන මත ඇත්තෝව කරුණු දහඅටකින් අවසානය ගැන මත ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

Msdiv 137 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක්යයි මත ඇත්තෝව කරුණු දහසයකින් මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් කොට ප්‍රකාශ කරද්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

Msdiv 138 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ලකුණු නැත්තක්යයි මත ඇත්තෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවුවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

Msdiv 139 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ගැන (නෛවසංඥි නාසංඥි) ප්‍රකට සංඥාවක් නැත්තේය යන මත ඇත්තෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය ප්‍රකට සංඥාවක් නැති දෙයක් කොට ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

Msdiv 140 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ සංසාරයක් නැතැයි මත ඇත්තෝව කරුණු හතකින් සත්ත්වයාගේ (ජීවිතයෙන්) කපාදැමීම, විනාශය, භවය නැතිවීම ප්‍රකාශ කරත්ද? ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

Msdiv 141 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ මේ ජාතියේම නිවන් අත්වේයයි මත ඇත්තෝව කරුණු පහකින් සත්ත්වයාගේ මේ ජාතියේම නිවන අත්වීම ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

Msdiv 142 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ලොක) අවසානය කල්පනා කරන්නෝව (ලොකය) අවසානය ගැන මත ඇත්තෝව කරුණු හතලිස් හතරකින් (ලොක) අවසානය ගැන නොයෙක් මත ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

Msdiv 143 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ (ලොකයේ) පටන්ගැන්ම කල්පනා කරත්ද (ලොක) අවසානය කල්පනා කරත්ද, (ලොකයේ) පටන්ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලොකයේ) පටන්ගැන්ම අවසානය ගැන කරුණු හැට දෙකකින් (ලොකය) පටන්ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර, මත ප්‍රකාශ කරත්ද, ඔවුන්ගේ ඒ හැඟීම ස්පර්ශයෙන් තොරවූවකැයි යන මේ කාරණය සැබෑ බව නොපෙනේ.

දිට්ඨිගතිකාධිට්ඨානවට්ටකථා Msdiv 144 “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ සදාකාලික බවක් අදහන්නෝව කරුණු හතරකින් ලොකයද ආත්මයද සදාකාලික කොට ප්‍රකාශ කරත්ද, යම් ඒ මහණ බමුණෝ කොටසක් සදාකාලිකය කොටසක් සදාකාලික නොවේය යන මතය ඇත්තෝ වෙද්ද යම් ඒ මහණ බමුණෝ ‘නිමක් ඇත නිමක් නැත’ යන මතය ඇත්තෝ වෙද්ද, යම් ඒ මහණ බමුණෝ (ආඳුන් මෙන්) අසුනොවන ගති ඇත්තෝ වෙත්ද, යම් ඒ මහණ බමුණෝ (ආත්මයද ලෝකයද) අහේතුකව උපන්නේය යන මතය ඇත්තෝ වෙත්ද, යම් ඒ මහණ බමුණෝ (ලොක) අවසානය කල්පනා කරන්නෝ වෙත්ද, යම් ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක්යයි මත ඇත්තෝ වෙත්ද, යම් ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ලකුණු නැත්තක්යයි මත ඇත්තෝ වෙත්ද, යම් ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ගැන (නෛවසංඥි නාසංඥි) ප්‍රකට සංඥාවක් නැත්තේය යන මත ඇත්තෝ වෙත්ද, යම් ඒ මහණ බමුණෝ සංසාරයක් නැතැයි මත ඇත්තෝ වෙත්ද, යම් ඒ මහණ බමුණෝ මේ ජාතියේම නිවන් අත්වේයයි මත ඇත්තෝ වෙත්ද, යම් ඒ මහණ බමුණෝ (ලොක) අවසානය කල්පනා කරන්නෝ වෙත්ද, යම් ඒ මහණ බමුණෝ (ලොකයේ) පටන්ගැන්ම කල්පනා කරන්නෝ වෙත්ද, අවසානය කල්පනා කරත්ද, (ලොකයේ) පටන්ගැන්ම අවසානය කල්පනා කරත්ද, (ලොකයේ) පටන්ගැන්ම අවසානය ගැන මත ඇත්තෝව කරුණු හැටදෙකකින් පටන්ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝ හය ආකාර ස්පර්ශයන්ගේ වෑයමෙන් ස්පර්ශකොට හැඟීම් ඇතිකර ගන්නාහුය. ඔවුන්ට ‘වේදනා හේතුවෙන් තණ්හාව වෙයි. තණ්හා හේතුවෙන් තද ඇල්ම වෙයි. තද ඇල්ම හේතුවෙන් භවය වෙයි. භවය හේතුවෙන් (ජාතිය) ඉපදීම වෙයි. ඉපදීම හේතුවෙන් දිරීම, මරණ, ශෝක, වැලපීම්, දුක, කණගාටු තද වෙහෙස හටගනිත්

විවට්ටකථාදි Msdiv 145 “මහණෙනි, යම් කලක මහණෙක් හය ආකාර, ස්පර්ශ (ස්පර්ශායතනයන්ගේ) උත්පත්තියද, බැහීමද, භුක්තිවිඳීමද ප්‍රතිඵලද මිදීමද තතුලෙස දනීද ඔහු මේ සියල්ලටම වඩා ඉතා උසස් ධර්මයන් දනී.

Msdiv 146 “මහණෙනි, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ (ලෝකයේ) පටන්ගැන්ම කල්පනා කරන්නෝව හෝ (ලෝක) අවසානය කල්පනා කරන්නෝව හෝ (ලොකයේ) පටන්ගැන්ම අවසානය කල්පනා කරන්නෝව හෝ පටන්ගැන්ම ගැන මත ඇත්තෝව පටන්ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරද්ද, ඒ සියල්ලෝ මේ කරුණු හැටදෙකෙන් (මිථ්‍යා) දැලෙහි ඇතුළත් කරණ අය එහිම මතුවෙන්නාහුය. පාවෙන්නාහුය-එහි ඇතුලත් වූවාහු (ජලය යටට ගියාහු) මතුවෙන්නාහු පාවෙන්නාහුය.

“මහණෙනි, යම්සේ දක්ෂ මසුන් මරන්නෙක් හෝ මසුන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ සියුම් හිල් ඇති දැලකින් යුක්තව මදක් වතුර ඇති විලකට බසින්නේද ඔහුට මෙසේ සිතක් ඇති වන්නේය. ‘මේ දිය විලෙහි යම්කිසි විශාල (ප්‍රාණීහු) සත්තු වෙත්ද, ඒ සියල්ලෝ දැල ඇතුළත කරණ ලද්දාහු එහි බැඳුනාහු, කිඳෙන්නාහුය, පාවෙන්නාහුය. එහි මතුවෙන්නාහුය, (වතුර යටට) ගියාහු, කිඳෙන්නාහුය, පාවෙන්නාහුය.

“මහණෙනි, එලෙසින්ම යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ (ලෝකයේ) පටන්ගැන්ම කල්පනා කරන්නෙක්ව හෝ (ලොක) අවසානය කල්පනා කරන්නෙක්ව හෝ පටන්ගැන්ම අවසානය කල්පනා කරන්නෙක්ව, පටන්ගැන්ම අවසානය ගැන මත ඇත්තෙක්ව පටන්ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරද්ද, ඒ සියල්ලෝම මේ කරුණු හැටදෙකින් (මිථ්‍යා) දැලෙහි ඇතුළත කරණ ලද්දාහු එහිම මතුවෙන්නාහු කිඳෙන්නාහු පාවෙන්නාහුය. එහිම ඇතුළත් වූවාහුය, දැල ඇතුළත බැඳුනාහු මතුවෙන්නාහු පාවෙන්නාහුය.

Msdiv 147 “මහණෙනි, භවයට ඇති ආසාව සිඳින ලද තථාගතයන්ගේ ශරීරය පවතී. යම්තාක් ශරීරය පවතීද ඒතාක් දෙවි මිනිසුන් (එය) තථාගතයන් දකිති. ශරීරයේ බිඳී වෙන්වීමෙන් පසු ජීවිතය (ප්‍රතිසන්ධි රහිතව) පිරිහුන බැවින් දෙවිමිනිස්සු තථාගතයන් නොදකිත්.

“මහණෙනි, යම්සේ අඹවල්ලේ නටුව කැපුන කල නටුවේ බැඳුන සියලු අඹගෙඩි නටුව අනුව යන්නේද, මහණෙනි, එලෙසම භවයට ඇති ආසාව සිඳින ලද තථාගතයන්ගේ ශරීරය පවතී. යම්තාක් ශරීරය පවතීද එතාක් දෙවි මිනිස්සු ඒ ශරීරය දකිති. ශරීරය බිඳී වෙන්වීමෙන් පසු ජීවිතය (ප්‍රතිසන්ධි රහිතව) පිරිහුණු බැවින් දෙවි මිනිස්සු තථාගතයන් නොදකිති.

Msdiv 148 “මෙසේ වදාළ කල ආයුෂ්මත් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියා සිටියෝය. ‘ස්වාමීනි, පුදුමයි ‘ස්වාමීනි, බොහෝ පුදුමයි. ස්වාමීනි, මේ ධර්ම ක්‍රමයට මොනයම් නමක් විය යුතුද?”

ආනන්දය, එසේ වීනම්, මේ ධර්ම ක්‍රමය ‘අර්ථ ජාල’යයි (නම) දරව, ‘ධර්ම ජාල’යයිද එය දරව. ‘දෘෂ්ටි ජාල’යයිද එය දරව, නිරුත්තර සංඝග්‍රාමවිජය’යයිද එය දරවැයි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

Msdiv 149 සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ දෙසූ ධර්මයට පැසසූහ. මේ ගාථා නැති සූත්‍රය (වෙය්‍යාකරණ ධර්මය)දේසනා කරණ කල දශදහසක් ලොකධාතුව කම්පාවිය.

පළමුවන බ්‍රහ්මජාල සූත්‍රය නිමියේය.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection