The Fruits of the Ascetic Life
Sāmaññaphalasutta
PDFGenerated
The newly crowned King Ajātasattu is disturbed by the violent means by which he achieved the crown. He visits the Buddha to find peace of mind, and asks him about the benefits of spiritual practice. This is one of the greatest literary and spiritual texts of early Buddhism.
Read the full discourse slowly and reflect on key passages.
Read here in the library
දීඝ නිකාය සීලක්ඛන්ධ වර්ගය 2. සාමඤ්ඤ ඵල සූත්‍රය රාජාමච්චකථා Msdiv 150 මාගේ ඇසීම මෙසේය. (මා විසින් මෙසේ අසන ලදී.) එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල කොමාර භච්ච ජීවකයන්ගේ අඹවනෙහි මහා භික්ෂු සංඝයාවූ භික්ෂූන් එක්දහස් දෙසිය පනහක් සමග වාසය කෙළේය. ඒ කාලයේදී විදෙහදේවීගේ පුත්‍රයාවූ මගධ රට අජාසත් රජ එදවස් පැමිණි පසළොස්වක් පොහොය දවසේ හොඳාකාර පිපිනු සුදු පියුම් (කුමුදු) ඇත්තාවූ (අවුරුද්දේ) මාස හතරක් අවසානව මාසයන්ගේ පිරීම ඇත්තාවූ සම්පූර්ණ හඳ එලියෙන් බබලන රාත්‍රියෙහි රජ ඇමතියන් විසින් පිරිවරණ ලදුව උසස් මාලිගාවේ උඩුමහල් තලයට පැමිණ උන්නේය. එවිට විදේහදේවීගේ පුත්‍රයාවූ මගධ රජ අජාසත් රජ ඒ දවසේ පොහෝ දිනයෙහි මෙසේ ප්‍රිති වාක්‍යයක් ප්‍රකාශ කෙළේය.
“පින්වත්නි, පිරිසිදු (සඳ රැසින් පිරුණු) රාත්‍රිය සැබවින්ම ප්‍රීති ගෙන දෙයි. පින්වත්නි, පිරිසිදු රාත්‍රිය සැබවින්ම ලස්සන පෙනුමකි. (උසස් රූ ඇත්තීය, පින්වත්නි, පිරිසිදු රාත්‍රිය සැබවින්ම දැකීමට ප්‍රියය. පින්වත්නි, පිරිසිදු රාත්‍රිය සැබවින්ම හිත් සතුටු කරන්නීය. පින්වත්නි, පිරිසිදු රාත්‍රිය සැබවින්ම මතක තබාගැනීමට සුදුසුය. ලඟට ගොස් ආශ්‍රය කිරීමෙන් අපගේ හිත් පහදවා ගැනීමට කුමණ මහණෙකු හෝ බමුණෙකු අද සොයා යන්නෙමුද?”
Msdiv 151 මෙසේ කී කල එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජුට මෙසේ කීය: ‘දෙවයන් වහන්ස, මේ පූරණ කාශ්‍යපයන්ට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝදෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දෙවයන් වහන්සේ ඒ පූරණ කාශ්‍යප ආශ්‍රය කෙරෙත්වා. ඔහු ආශ්‍රය කරන ඔබගේ සිත හොඳින් පහදින්නේය.”
මෙසේ කීකල විදෙහ දේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජ නිශ්ශබ්ද විය.
Msdiv 152 තවද එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවියගේ පුත්‍ර මගධරට අජාසත් රජුට මෙසේ කීය. “දෙවයන් වහන්ස, මේ මක්ඛලිගොසාලටද (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝ දෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. පැවිදිව බොහෝ කල් ඇත්තේය. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දෙවයන්වහන්සේ ඒ මක්ඛලිගොසාලයන් ආශ්‍රය කෙරෙත්වා ඔහු ආශ්‍රය කරන ඔබගේ හිත හොඳින් පහදින්නේය.
මෙසේ කී කල විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජ නිශ්ශබ්ද විය.
Msdiv 153 තවද එක්තරා රජ ඇමතියෙක් විදේහදෙවීගේ පුත්‍ර මගධරට අජාසත් රජුට මෙසේ කීය: “දෙවයන් වහන්ස, මේ අජිත කෙසකම්බලට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝ දෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. (රාත්‍රඥය) බොහෝ කල් දන්නෙකි. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝකල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දෙවයන් වහන්සේ ඒ අජිත කෙසකම්බලයන් ආශ්‍රය කෙරෙත්වා. ඔහු ආශ්‍රය කරන ඔබගේ සිත හොඳින් පහදින්නේය.”
මෙසේ කී කලද විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජ නිශ්ශබ්ද විය.
Msdiv 154 තවද එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජුට මෙසේ කීය: “දෙවයන් වහන්ස, මේ පකුධකච්චායනට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝ දෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. (රාත්‍රඥය) බොහෝ කල් දන්නෙකි. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දෙවයන් වහන්සේ ඒ පකුධකච්චායන ආශ්‍රය කෙරෙත්වා. ඔහු ආශ්‍රය කරන ඔබගේ සිත හොඳින් පහදින්නේය.”
මෙසේ කී කලද විදෙහදේවිගේ පුත්‍ර මගධරට අජාසත් රජ නිශ්ශබ්ද විය.
Msdiv 155 තවද එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවීගේ පුත්‍ර, මගධරට අජාසත් රජුට මෙසේ කීය: “දෙවයන් වහන්ස, මේ සඤ්ජය බෙලට්ඨ පුත්තට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝ දෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. (රාත්‍රඥය) බොහෝ කල් දන්නෙකි. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දෙවයන් වහන්සේ ඒ සඤ්ජය බෙලට්ඨ පුත්ත ආශ්‍රය කෙරෙත්වා. ඔහු ආශ්‍රය කරන ඔබගේ සිත හොඳින් පහදින්නේය.”
මෙසේ කී කලද විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජ නිශ්ශබ්ද විය.
Msdiv 156 තවද එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවියගේ පුත්‍ර මගධරට අජාසත් රජුට මෙසේ කීය: “දෙවයන් වහන්ස, මේ නිගණ්ඨනාථ පුත්‍රට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්ම දේශනා කරන්නේය. බොහෝදෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. (රාත්‍රඥය) බොහෝ කල් දන්නෙකි. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දෙවයන් වහන්සේ ඒ නිගණ්ඨනාථ පුත්‍ර ආශ්‍රය කෙරෙත්වා. ඔහු ආශ්‍රය කරන ඔබගේ සිත හොඳින් පහදින්නේය.”
මෙසේ කී කලද විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජ නිශ්බ්ද විය.
කොමාරභච්චජීවකකථා Msdiv 157 එකල්හි කොමාරභච්ච ජීවක නිශ්ශබ්දව අජාසත් රජ සමීපයෙහි උන්නේවිය. එවිට අජාසත් රජ, “යහලු ජීවකය, ඔබ කුමක් නිසා නිශ්ශබ්දව සිටින්නාහුදැයි” කොමාරභච්ච ජීවකයාගෙන් ඇසීය.
“දෙවයන් වහන්ස, මේ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ මහා භික්ෂු සංඝයාවූ එක්දහස් දෙසිය පණහක් පමණ භික්ෂූන්වහන්සේ සමග අපගේ අඹවනයෙහි වාසය කෙරෙත්. ඒ ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳු ස්තුති ඝොෂාව උස්ව නැංගේය. කෙසේද යත්, ඒ භාග්‍යවතුන් වහන්සේ (කෙලෙසුන්ගෙන් දුරුවීම නිසා) අරහත්ය. (සියලු ධර්ම තමන් විසින්ම අවබොධ කරගත් නිසා) සම්මා සම්බුදු විය. (විද්‍යාවෙන් සහ චරණ ධර්මයෙන් යුත් බැවින්) විජ්ජාචරණ සම්පන්න විය. (යහපත් මාර්ගයේ ගමන් ඇති බැවින්) ‘සුගත’ විය. සියලු ආකාරයෙන් ලොක පිළිබඳ දැනීම කළ බැවින් ‘ලොකවිදු විය. තමාට වඩා උසස් කෙනෙකු නැති බැවින්) ‘අනුත්තර’ විය. දමනය නොකොට හැක්කන් දමනය කිරීම නිපුණ බැවින්) ‘පුරිස දම්ම සාරථි’ විය. දෙවි මිනිසුන්ට උගන්වන බැවින් ගුරුවර’ (ශාස්තෘ) විය ‘චතුරාර්යසත්‍ය’ නම්වූ සත්‍ය හතර අවබොධ කළ බැවින් ‘බුද්ධ’ නම් විය. (රාගාදී කෙලෙස් විනාශ කිරීමෙන්) භගවත් විය. එබැවින් දෙවයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය කෙරෙත්වා. උන්වහන්සේ ආශ්‍රය කරන ඔබ වහන්සේගේ සිත සැකයක් නැතුව පහදින්නේමය.”
Msdiv 158 “යහලු ජීවකය, එසේ නම් ඇත් යානාවක් සරසව”
“එහෙමයි, දෙවයන් වහන්ස” කියා කොමාරභච්ච ජීවක, විදෙහදේවිගේ පුත්‍ර මගධරට අජාසත් රජුට උත්තර දී, ඇතින්නියන් පන්සියයක් සහ රජුට නැගීමට ඇතෙකුද සරසවා, “දෙවයන් වහන්ස, ඇත් යානා පිළියෙළ කෙරුවේය. ගමනට කාලයයි සලකන්නේ නම් කැමැත්තක් කළ මැනව”යි විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජුට දැන්විය.
Msdiv 159 එවිට විදෙහදේවිගේ පුත්‍ර මගධරට අජාසත් රජ පන්සියයක් ඇතිනි යානායන්හි එක් එක් ස්ත්‍රිය බැගින් නංවා තමන්ට සුදුසු ඇතුපිට නැගී පන්දම් දැල්වූ කල මහත්වූ රාජානුභාවයෙන් යුක්තව රජගහනුවරින් පිටත්ව කොමාරභච්ච ජීවකයාගේ අඹවනය යම් තැනකද එතැනට ගියේය.
එකල විදෙහදේවියගේ පුත්‍ර මගධරට අජාසත් රජුට අඹවනයට නුදුරු තැනකදී හිතට ලොකු බයක් ඇතිවිය තිගැස්වීමක් ඇති විය. ලොම් නැගී සිටියෝය. එවිට බයව තැතිගෙන ලොම් කෙලින්වී සිටි විදෙහදේවිගේ පුත්‍ර මගධරට අජාසත්රජ, “යහළු ජීවකය, මොකද? මා වඤ්චාකළා නොවේද? යහළු ජීවකය, මොකද! නැති දේ ඇතැයි කියා මා රැවටුවා නොවේද? යහළු ජීවකය මොකද! මා සතුරන්ට පාවාදෙනවා නොවේද? මක්නිසා එක් දහස් දෙසිය පනහක් පමණවූ මහා භික්ෂු සංඝයාගේ කිඹිසුම් ශබ්දයක් හෝ කෑරුම් ශබ්දයක් හෝ කථා ශබ්දයක් හෝ පණවත් ඇසෙන්නේ නැද්ද?” කොමාරභච්ච ජීවකයාගෙන් ඇසීය.
“මහරජ, බිය නොවන්න දේවයන් වහන්ස, ඔබ වඤ්චා නොකරමි. දෙවයන් වහන්ස, ඔබ බොරුවෙන් නොරවටමි. දෙවයන් වහන්ස, ඔබ සතුරන්ට පාවා නොදෙමි. මහරජ, ඉදිරියට යන්න. මහරජ, ඉදිරියට යන්න. චක්‍රාකාර ශාලාවෙහි අර පහන් දැල්වෙයි.”
සාමඤ්ඤඵලපුච්ඡා Msdiv 160 එවිට විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජ ඇතුපිටින් යන්ට හැකිතාක් දුර ගොස්, ඇතුපිටින් බැස පයින්ම චක්‍රාකාර ශාලාවේ දොර ලඟට පැමිණියේය. එසේ පැමිණ, ‘යහළු ජීවකය, භාග්‍යවතුන්වහන්සේ කොතැනදැ’යි කොමාරභච්ච ජීවකයාගෙන් ඇසුවේය.
“ඒ භාග්‍යවතුන් වහන්සේය, මහරජ, ඒ භාග්‍යවතුන් වහන්සේය, මහරජ, මැද කණුව සමීපයෙහි නැගෙනහිර දෙස බලා භික්ෂු සංඝයා පිරිවරා වැඩහුන්නේ භාග්‍යවතුන් වහන්සේය.”
Msdiv 161 එවිට විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජ භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳින තැනට පැමිණියේය. පැමිණ එක පැත්තකට වී සිටියේය. හැම පැත්තෙන් සන්සුන්වූ නිශ්ශබ්දවූ පිරිසිදු විලක් මෙන් සතුටු ඉන්ද්‍රියයන් ඇති භික්ෂු සංඝයා නැවත නැවත බලා, “දැන් මේ භික්ෂු සංඝයා යම් ආකාර සංසිඳීමකින් යුක්තද මාගේ උදයභද්ද කුමාරයාද ඒ ඉන්ද්‍රිය මැඩපවත්වා ගැනීමෙන් යුක්ත වේවා”යි ප්‍රීති වාක්‍යයක් ඒ විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජ පහළ කෙළේය.
“මහරජ, භික්ෂු සංඝයා බලා තොපගේ සිත ප්‍රේමය ඇති තැන කරා ගියේවේද?”
“ස්වාමීනි, උදයභද්ද කුමාරයා මට ප්‍රියය, ස්වාමීනි, දැන් මේ භික්ෂු සංඝයා යම් ඉන්ද්‍රිය මැඩපවත්වා ගැනීමකින් යුක්තද, උදයභද්ද කුමරුද ඒ ඉන්ද්‍රිය මැඩපවත්වා ගැනීමෙන් යුක්ත වේවා”
Msdiv 162 එවිට විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජ භාග්‍යවතුන් වහන්සේ මනාකොට වැඳ, භික්ෂු සංඝයාට දෑත එකතු කොට වැඳ, එකපැත්තකට වී උන්නේය. එසේ උන්නාවූ විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත්රජ, “ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, දැන් ප්‍රශ්නයක් ඇසීමට අවසර දෙන්නේ නම්, භාග්‍යවතුන්වහන්සේගෙන් කිසියම් ප්‍රශ්නයක් අසමි”යි කීයේය.
“මහරජ, තොපට යමක් කැමති නම් ඒ අසව.”
Msdiv 163 “ස්වාමීනි, ඒ ඒ අයගේ ජීවත්වීමට හේතුවූ බොහෝ ශිල්පවෙත්. එනම්: ඇතුන්පිට යෑම් ආදියේ ශිල්පය, අශ්ව ශිල්පය, රථ ශිල්පය, දුනු ශිල්පය, යුද්ධයෙහි ජයකොඩි ගෙන පෙරටුව යන්නෝය. සේනාවේ ස්ථාන නියමාදිය කරන්නෝය, යුද්ධයට යන මහා යෝධයෝය. යුද්ධකරන ක්ෂත්‍රියයෝය, (ඔට්ටු අල්ලා) සතුරන්ගේ හිස් ආදිය ගෙන එන්නෝය, ඇතෙකුට වුවත් පසුනොබානා මහා යෝධයෝය, සංග්‍රාම ශූරයෝ නම් යුද්ධ දක්ෂයෝය, හම් හැට්ට ඇඳ හෝ පලිහගෙන යුද කරන්නෝය, දාසයෝ නම් මෙහෙකරුවෝය, කෑම සපයන්නෝය, රැවුල් කපන්නෝය, නාවන්නෝය, කෑම පිසන්නෝය, මල්කරුවෝය, රෙදි සෝදන්නෝය, රෙදි වියන්නෝය වේවැල් ආදියෙන් වැඩකරන්නෝ, වලන් සාදන්නෝ, නැකැත්කාරයෝ, හස්තමුද්‍රා ගණනින් ජීවත් වෙන්නෝය යන මොවුන්ගේ ශිල්පයි මේ හැර තවත් බොහෝ ශිල්පයෝ වෙත්ද, ඒ ශිල්පයන් දක්වා මේ ආත්මයේම තමා විසින් දැක්ක හැකි ශිල්ප ඵලය නිසා ජීවත් වෙති. ඔවුහු ඉන් තම ජීවිතය සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්, දරුවන් සහ භාර්යාව සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත් මිත්‍රයින් සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්. මත්තෙහි ඵල දෙන ස්වර්ගයට පමුණුවන සැප විපාක ඇති සම්පත්ති ධර්මයන් උපදවන දානය මහණ බමුණන් කෙරෙහි පිහිටුවත් ඒ මන්ද? ස්වාමීනි, එමෙන්ම මේ ආත්ම භාවයෙහි දැක්ක හැකිවූ විපාක ඇති යහපත් මාර්ගඵලයක් ප්‍රකාශ කරන්නට පුළුවන්ද?”
Msdiv 164 “මහරජ, ඔබ මේ ප්‍රශ්නය අන් මහණ බමුණන් ගෙනුත් ඇසූ බව නොදන්නෙහිද?”
“ස්වාමීනි, මේ ප්‍රශ්නය වෙනත් මහණ බමුණන්ගෙන් මම ඇසූ බව දනිමි.”
“මහරජ ඔවුහු එය කෙසේ විසඳුවාදැයි ඔබට අපහසු නොවේ නම් කියව”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේ බඳු අන්‍යයෝ හෝ යම් තැනක වෙත්ද එතුමන් ඉදිරියෙහි කියන්නට අපහසු නොවේ.”
“මහරජ, එසේ නම් කියනු මැනව.”
පූරණකස්සපවාදො Msdiv 165 “ස්වාමීනි, මම එක් දිනෙක පූරණ කාශ්‍යපයන් යම් තැනෙකද එතැනට පැමිණ, ඔහු සමග සතුටුසාමීචි කථා කෙළෙමි. සතුටු උපදවන්නාවූ, සිහිකටයුතු කථා නිමකොට එකත්පස්ව උන්නෙමි. ස්වාමීනි. එසේ උන් මම පූරණ කාශ්‍යපයන්ට මෙසේ කීවෙමි. පින්වත, කාශ්‍යපය, යම් අය ඒ ඒ ශිල්ප නිසා ජීවත් වෙත්ද, ඇතුන්පිට යාම ආදී බොහෝ ශිල්පිහු වෙත්ද, මෙයින් අන්‍යවූත් මෙසේම පැවති ශිල්ප වෙත්ද ඒ ශිල්පයන් දක්වා මේ ආත්ම භාවෙහිම තමා විසින්ම දැක්ක හැකිවූ ශිල්ප ඵලය නිසා ජීවත්වෙති. ඔව්හු එයින් තම ජීවිතය සුවපත් කෙරෙත්, පිනවත් මව්පියන් සුවපත් කෙරෙත්, පිනවත්. දරුවන් හා භාර්යාව සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රයන් සුවපත් කෙරෙත්, පිනවත්. මත්තෙහි ඵල දෙන ස්වර්ගයට පමුණුවන සැප විපාක ඇති සම්පත්ති ධර්මයන් උපදවන, දානය මහණ බමුණන් කෙරෙහි පිහිටුවත් ඒ මන්ද? පින්වත කාශ්‍යපයෙනි, එමෙන්ම මේ ආත්මභාවයෙහි දැක්ක හැකිවූ විපාක ඇති යහපත් මාර්ගඵලයක් ප්‍රකාශ කරන්නට පුළුවන්ද?
Msdiv 166 “ස්වාමීනි, මා මෙසේ කී කල පූරණකාශ්‍යපයා මට මෙසේ කීය: කෙසේදයත්: මහරජ, සිය අතින් කරන්නාහටද අණදී කරවන්නාහටද, කපන්නාහටද, කප්පවන්නාහටද, අනුන් දඬුවමින් පෙළන්නා හටද, එසේ පරපීඩා කරවන්නා හටද තමන්ම ශොක ඇතිකරන්නා හටද, අනුන් ලවා ශොක කරවන්නා හටද, අනුන් කම්පා කරන්නාහටද, එසේම අනුන් කම්පා කරවන්නාහටද, ප්‍රාණ හිංසා කරන්නාහටද, එසේ කරවන්නාහටද, නුදුන් දෙය ගන්නාහටද, ගෘහසන්ධි බිඳින්නාහටද, කිසිවක් ඉතිරි නොකොට පැහැරගන්නා හටද, එකම ගෙයක් වටකොට උපද්‍රව කරන්නාහටද, පැමිණි පැමිණියන් මරා බඩු පැහැරගැණීම පිණිස මගසැඟවී සිටින්නා හටද, පර අඹුවන් කරා යන්නාහටද, බොරු කියන්නා හටද පවක් කරන්නාහටද, පවක් නැත්තේවේ. තවද යමෙක් (ඉතා තියුණුවූ) ඛුර නම් ආයුධයෙන් කරණ ලද මේ පොළොවෙහි වසන (සියලු) සත්වයන් මරා එකම මස් ගොඩක් එකම මස් පිඩක් කරන්නේද ඒ හේතුවෙන් පවක් නැත්තේය, පාපයාගේ පැවතීමක් නැත්තේය. (සත්වයන්) හිංසා කරමින්, කරවමීන්, සිඳිමින්, සින්දවමින්, පීඩා කරමින්, කරවමින් ඒ හේතු කොටද පාපයක් නැත්තේය, පාපයාගේ පැමිණීමක් නැත්තේය (දන්) දෙමින්, දෙවමින්, යාග කරමින්, කරවමින් ගංගා නදියෙහි උතුරු තෙරට යන්නේ නමුත් ඒ හේතුවෙන්ද පිණක් නැත්තේය. පුණ්‍යයාගේ වැඩීමක් නැත්තේය. (දන්) දීමෙන්ද, ඉන්ද්‍රිය දමනයෙන් හෝ එක් වරුවේ කෑම ගන්නා දිනයෙන්ද, සීල හික්මීමෙන්ද සැබෑ කීමෙන්ද පිණක් නැත්තේය. පුණ්‍යයාගේ පැමිණීමක් නැත්තේය’ යනුයි.
“ස්වාමීනි, මෙසේ මා විසින් හොඳින් දුටුවාවූ යහපත් මාර්ග ඵලය අසන කල පූරණකාශ්‍යප නොකිරීම ප්‍රකාශ කෙළේය. ‘ස්වාමීනි, අඹගස පිළිබඳ තොරතුරු විචාරණලද්දේ දෙල්ගස් පිළිබඳ තොරතුරු කියන්නේද, දෙල්ගස පිළිබඳ විචාළේ අඹගස පිළිබඳ කියන්නේ යම්සේද, ස්වාමීනි, එපරිද්දෙන්ම මවිසින් හොඳින් දුටුවාවූ යහපත් මාර්ගඵලය අසනලද පූරණකාශ්‍යප නොකිරීමම ප්‍රකාශ කළේය.
“ස්වාමීන් වහන්ස, එවිට මට මෙබඳු අදහසක් විය. එනම්: මා වැනි රජෙක් සියඅණ පවත්නා පෙදෙසෙහි වසන මහණෙකු හෝ බමුණෙකු වෙහෙසිය යුත්තකු (රටින්) නෙරපිය යුත්තකු කොට කෙසේ නම් සිතන්නේද? යනුයි. ස්වාමීනි, එබැවින් මම පූරණකාශ්‍යපයන්ගේ කථාවට නොමසතුටුවීමි. ප්‍රශංසාත් නොකොට අස්කිරීමද, නොකොට නොසතුටු සිත් ඇතුව නොසතුටු වචන නොකියා (කාශ්‍යපයන්ගේ) ඒ වචනය සාරවශයෙන් නොගෙණ, ඒ සිතෙහි නොපිහිටුවා උන් ආසනයෙන් නැගිට ගියෙමි.
මක්ඛලිගොසාලවාදො Msdiv 167 “ස්වාමීනි, මම එක් දිනෙක මක්ඛලිගොසාලයන් වෙතට පැමිණ ඔහු සමග සතුටු සාමීචියෙහි යෙදී සතුටු උපදවන සිහිකටයුතු කථා නිමකොට එකපැත්තකටවී හුන්නෙමි ‘ස්වාමීන් වහන්ස, එසේ හුන් මම මක්ඛලිගොසාලයන්ට මෙසේ කීවෙමි. කෙසේද යත්: ‘භවත් ගොසාලය, යම්සේ ඇතුන් පිට යන්නෝ ආදී ශිල්පියෝ ඒ ඒ ශිල්පයන් දක්වා මේ ආත්මයේම තමා විසින්ම දැක්ක හැකි ශිල්ප ඵලය නිසා ජීවත් වෙති. ඔව්හු ඉන් තම ජීවිතය සුවපත් කෙරෙත්, ශක්තිමත් කෙරෙත් මව්පියන් සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්. දරුවන් සහ භාර්යාව සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්. මිත්‍රයින් සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්. මත්තෙහි ඵල දෙන ස්වර්ගයට පමුණුවන සැප විපාක ඇති සම්පත්ති ධර්මයන් උපදවන දානය මහණ බමුණන් කෙරෙහි පිහිටුවත්. එනම් භවත් ගොසාලයෙනි, එමෙන්ම මේ ආත්මභාවයෙහි දැක්කයුතු විපාක ඇති යහපත් මාර්ඵලයක් ප්‍රකාශකරන්නට පුළුවන්ද?
Msdiv 168 “ස්වාමීනි, මා මෙසේ කී කල මක්ඛලිගොසාල මට මෙය කීවේය. එනම්:- ‘මහරජ, සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගෙ පිරිසිදුවීමට හේතු, ප්‍රත්‍යය නැත. හෙතු රහිතව ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ පිරිසිදුවෙත්. තමා කළ කර්මයෙහි විපාක නැත. අනුන්ගේ අවවාදානු ශාසනා පරිදි කළ කර්මයෙහි ඵලය නැත. බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්වයෝද සියලු ප්‍රාණීහුද, සියලු භූතයෝද, සියලු ප්‍රාණීන්ද, යන සියල්ලෝම වසඟ නැත්තෝ බල නැත්තෝය, වීර්යනැත්තෝය. නියම ගති ඇති බැවින් සය ආකාර උසස් ජාතීන් අතුරෙහි ඒ ඒ ගතිවලට පැමිණීමෙන්ද ස්වභාවයෙන්ද නොයෙක් ආකාරයට පැමිණියාහු ජාතියෙහිම සුවදුක් විඳිත්.
‘යම්බඳු බාලයෝත් පණ්ඩිතයෝත් බොහෝ ලෙස හැසිර දුක් කෙළවර කෙරෙත් නම් එබඳුවූ මේ උතුම් යෝනි දහහතර ලක්ෂ සයදහස්සසියයක්ද, කර්ම පන්සියයක්ද, පඤ්චෙන්ද්‍රිය පසක්ද (තුනක්ද) කර්මයෝද අර්ධකර්මයද, දෙසැට ප්‍රතිපදාවෝද, දෙසැට අන්තර කල්පයෝද, ජාති සයක්ද, පුරිස්බිම් අටක්ද, නිර්වස්ත්‍රව හිඟමින් ආගම අදහන පැවතුම් එකසිය හතලිස් නවයක්ද, මහණ පැවිදි එකසිය හතලිස් නවයක්ද, නාගමණ්ඩල එක්සිය හතලිස් නවයක්ද, ඉන්ද්‍රිය එකසිය විස්සක්ද, නිරය එකසිය තිහක්ද, රාජොධාතු තිහක්ද, සංඥා ගර්භ තිස්හතක්ද, (හැල්ආදී) අසංඥගර්භ සතක්ද, (උක් හුණ) ආදී නිගණ්ඨිගර්භ සතක්ද, දිව්‍ය නිකාය සතක්ද, මිනිස්යොනි සතක්ද, පිසාච යොනි සතක්ද. විල්සතක්ද, මහගැටසතක්ද, කුඩාගැට එකසිය සතක්ද, මහා ප්‍රපාත සතක්ද, මහා ස්වප්න සතක්ද, කුඩා ස්වප්න එකසිය සතක්ද, මහාකල්ප සූවාසු ලක්ෂයක්ද, වෙත්. අනුවණ අයද නුවණ ඇත්තෝද භවයෙන් භවයට ගොස් ජීවත්වෙමින් දුක් අවසන් කෙරෙති.
“එහි මම මේ ශීලයෙන් හෝ එබඳු වෙන ශීලයකින් හෝ එබඳු කලකට ආහාර නොගැනීම ආදී ආගම් කටයුත්තකින් හෝ එබඳුතපසින් හෝ බ්‍රහ්මචර්යනම් පිරිසිදු ජීවිතයෙන් හෝ දියුණු කිරීමට නොපැමිණි කර්මය කර්මය වන්නෙමි යි කියා හෝ නැත්තේය. මම දියුණුකර ගිය කර්මය හෝ විඳිමින් ගෙවීම කරන්නෙමියි කියාද නැත්තේය කුරුණි හතරෙන් මැන ප්‍රමාණ කළවුන් මෙන් සැප දුක් සීමාවූ කාලයෙන් කෙළවර කළ කල සංසාරයෙහි අඩුවීමක් හෝ වැඩිවීමක් නැත්තේය. උස් බවක් හෝ පහත් බවක නැත්තේය යම්සේ නූලෙන් වෙළා කළ පන්දක් පර්වතයක් හෝ ගහක් මුදුනත හෝ සිට දමා ගසන්නේ නොපැකිල යේද අවසන්වූ කල නොයේද එසේම නුවණ අයද අනුවණ ඇත්තෝද භවයෙන් භවයට ගොස් ජීවත් වෙමින් දුක් අවසන් කරති.
Msdiv 169 “ස්වාමීනි, මෙසේ මා විසින් ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලයක් ඇසූකල මක්ඛලිගොසාල භවයෙන් භවයට යාමෙන් සත්වයා පිරිසිදුවන බව ප්‍රකාශකෙළේය. ස්වාමීන් වහන්ස, අඹරුක කෙසේදැයි ඇසූකල දෙල්ගස මෙබඳුයයි කියන්නේ හෝ දෙල්ගස කෙසේදැයි ඇසූකල අඹ රුක මෙබඳුයයි කියන්නේ හෝ යම්සේද, ස්වාමීන් වහන්ස, එපරිද්දෙන් මා විසින් මේආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලයක් ඇසූකල මක්ඛලිගොසාල සංසාර සුද්ධිය ප්‍රකාශ කෙළේය. ස්වාමීනි මට එවිට මෙබඳු අදහසක් ඇතිවිය. එනම්: ‘මා වැනි රජෙක් සිය අණ පැවති ප්‍රදෙශයෙහි වසන මහණකු හෝ බමුණකු හෝ කෙසේ නම් වෙහෙසිය යුත්තකු රටින් නෙරපිය යුත්තකු කොට කෙසේ නම් හිතන්නේද, යනුයි. ස්වාමීනි, මම මක්ඛලිගොසාලගේ වචනයට එනිසා සතුටු නූනෙමි. නින්දාද නොකලෙමි. ප්‍රශංසාත් නොකොට, අස්කිරීමද නොකොට, නොසතුටු සිත් ඇතිව, නොසතුටු වචන නොකියා ඔහු කී දේ සාර වශයෙන් නොගෙණ ඒ සිතෙහි නොපිහිටුවා උන් ආසනයෙන් නැගිට ගියමි.
අජිතකෙසකම්බලවාදො Msdiv 170 “ස්වාමීනි, දිනක් මම කෙස කම්බලධාරීවූ අජිතයන් වෙත පැමිණ ඔහු හා සතුටු සාමීචි පවත්වා සතුටු උපදවන සිහි කටයුතු කථා නිම කොට එකපැත්තකට හුන්නෙමි. ස්වාමීනි, එසේ හුන් මම කෙසලකම්බල අජිතයාට මෙසේ කීවෙමි. කෙසේදයත්: ‘භවත් අජිතයෙනි, යමෙක් ඒ ඒ ශිල්පයන් නිසා ජීවත්වෙත්ද යම් සේ ඇතුන්පිට යෑම ආදී ශිල්පය..... යනාදී ඒ ශිල්පයන් දක්වා මේ ආත්මයේම තමා විසින් දැක්ක හැකි ශිල්පඵලය නිසා ජීවත්වෙති. ඔවුහු ඉන් තම ජීවිතය සුවපත් කෙරෙත්, ශක්තිමත් කෙරෙත්. මව්පියන්, සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්, දරුවන් සහ භාර්යාව සුවපත් කෙරෙත්, මත්තෙහි ඵලදෙන ස්වර්ගයට පමුණුවන සැප විපාක ඇති සම්පත්ති ධර්මයන් උපදවන දානය මහණ බමුණන් කෙරෙහි පිහිටුවත්. ඒ මන්ද? භවත් අජිතයෙනි, එපරිද්දෙන් මේ අත්බැව්හි දැක්කහැකි විපාක ඇති මාර්ගඵලයක් දක්වන්නට හැකිද?
Msdiv 171 “ස්වාමීනි, මා මෙසේ කී කල කෙසකම්බල අජිත මට මෙය කීයේය. මහරජ, දානයක් නැත, යාගයක් නැත, ගරු බුහුමන් කිරීමක් නැත, කුශලාකුල කර්මයන්ගේ ඵලයක් නැත, විපාකයක් නැත, මෙලෝ නැත, පරලොව නැත, මවෙක් නැත, පියෙක් නැත, මැරී උපදින සත්වයෝ නැත. යමෙක් මෙලෝ පරලෝ විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කෙරෙත්ද එබඳු ආර්යමාර්ගයට පැමිණි හොඳින් පිළිපැද්ද මහණ බමුණෝ ලෝකයේ නැත.
‘හතර මහා මූලිකධාතු (චතුමහාභූතමය) වූ මේ පුරුෂ තෙමේ යම් කලක මැරුණේද එකල පෘථිවි ධාතුව පෘථිවිධාතු රැසට පැමිණෙයි, ඇතුලත් වෙයි. අපොධාතුව ආපොධාතු රැසට පැමිණෙයි, ඇතුළත් වෙයි. තෙජොධාතුව තෙජො ධාතු සමූහයට පැමිණෙයි. ඇතුළත් වෙයි. වායොධාතුව වායොධාතු සමූහයට පැමිණෙයි. එකවෙයි. ඉන්ද්‍රියයෝ හය අහසෙහි හැසිරෙත්. සයනය කළ ඇඳ පස්වැනි කොට ඇති ඇඳෙහි පාසතර ගත් පුරුෂයෝ සතරදෙන සොහොන දක්වා ගෙණ යත්, ගුණාගුණ වචන ප්‍රකාශ කරත්. එවිට ශරීරය පමණක් පෙණෙයි. ඇට පරෙවි පිහාටු වැනි පාට ඇතිවේ. පහනෙක සක්කරාදී (ගිනි පිදීම් ආදී) වශයෙන් දෙන ලද සියලු දානයෝ අලු කෙළවර කොට ඇත්තාහ, යම් (දන්) දීමක් වේ නම් එය අඥානයන් විසින් පණවන ලද්දකි. යමෙක් කර්ම විපාක ඇතැයි යන වාද ඇත්තෝද ඒ ඔවුන්ගේ හිස්වූ බොරුවූ වචන වේ. අනුවණ අයද නුවණ ඇත්තෝද මරණින් පසු සහමුලින් නැතිවෙත්, වැනසෙත්. මරණින් මතු ඔවුහු නොවෙත්, නැතිවෙත්, වැනසෙත්, මරණින් මතු ඔවුහු නොවෙත් (ඉපදීමෙක් නැත.)
Msdiv 172 “ස්වාමීන් වහන්ස, මෙසේ මා විසින් මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලයක් ඇසූ කල අජිත තෙමේ උච්ඡේද වාදය* පැවසීය. ‘ස්වාමීනි අඹගස කෙසේදැයි ඇසූ කල දෙල්ගස මෙසේ යයිද, දෙල්ගස කෙසේදැයි ඇසූ කල අඹගස මෙසේ යයිද යම්සේ කියාද එසේම මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලයක් ඇසූකල ස්වාමීනි, ඒ කෙසකම්බල අජිත තෙමේ උච්ඡේද වාදය පැවසීය.
“ස්වාමීන් වහන්ස, එවිට මට මෙබඳු අදහසක් ඇතිවිය. එනම්: ‘මා වැනි රජෙක් කෙසේ නම් සිය රාජ්‍යයෙහි වසන මහණකු හෝ බමුණෙකු වෙහෙසිය යුත්තකු නෙරපිය යුත්තකු කොට සිතන්නේද? ස්වාමීනි, එබැවින් මම කෙසකම්බල අජිතගේ වචනවලට සතුටු නොවී, නින්දාද නොකොට, ප්‍රශංසාද නොකොට, අස්කිරීමද නොකොට, නොසතුටු සිත් ඇතත් නොසතුටු වචන නොකියා, ඔහු කී දේම සාරයයි නොගෙන ඒ සිතෙහි නොපිහිටුවා උන් ආසනයෙන් නැගිට ගියෙමි.
* සංසාරයක් නැතැයි ඇදහීම
පකුධකච්චායනවාදො Msdiv 173 “ස්වාමීන් වහන්ස, මම එක් දිනක් කච්චායන ගොත්‍රයෙහිවූ පකුධයන් වෙත ගියෙමි. ඔහු සමග සතුටු සාමීචි පවත්වා සතුටු උපදවන සිහිකටයුතු කථා නිමකොට එක පැත්තකටවී ඉඳ ඒ කාත්‍යායන ගොත්‍රික පකුධයන්ට මෙසේ කීවෙමි. කෙසේද යත්: ‘භවත් කච්චායනය, ඇතුන් පිට යන්නෝ ආදී ශිල්පියෝ ඒ ඒ ශිල්පයන් දක්වා මේ ආත්මයේම තමා විසින් දැක්ක හැකි ශිල්ප ඵලය නිසා ජීවත් වෙති. ඔවුහු ඉන් තම ජීවිතය සුවපත් කෙරෙත්. මව්පියන් සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්. දරුවන් සහ භාර්යාව සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්. මිත්‍රයන් සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්. මත්තෙහි ඵල දෙන ස්වර්ගයට පමුණුවන සැප විපාක ඇති සම්පත්ති ධර්මයන් උපදවන දානය මහණ බමුණන් කෙරෙහි පිහිටුවත් ඒ මන්ද? භවත් කච්චායනය, එමෙන් මේ මේ ආත්මභාවයෙහි දැක්කයුතු යහපත් මාර්ග ඵලයක් ප්‍රකාශ කළ හැකිද?
Msdiv 174 “ස්වාමීනි, මා මෙසේ කී කල පකුධකච්චායන මට මෙසේ කීය:- ‘මහරජ, නොකරණ ලද්දාහුද, මෙසේ කරවයි කිසිවකු ලවා නොකරවන ලද්දාවුද, නොමවන ලද්දාවූ වඳවූ හෙවත් කිසිවකු නූපදවන්නාවූ, පර්වතයක් මෙන් නොසෙලවී සිටියාවූ, තදින් පිහිටුවන ලද කණුවක් මෙන් නිශ්චලවූ (සමූහයෝ) සත් දෙනෙක් වෙත්. ඔවුහු කම්පා නොවෙත්, නොපෙරළෙත්. ඔවුනොවුන්ගේ සැප පිණිස හෝ දුක් පිණිස හෝ කිසිවක් කිරීමට සමත් නොවෙත්. කවර (සමූහ) සතක්ද යත්: පඨවිය හෙවත් පඨවී සමූහය, ආපො සමූහය, තෙජො සමූහය, වායො සමූහය, සැපය, දුකය, සත්වැනිවූ ප්‍රාණය යන මොහුය මේ සමූහ සත කිසි හේතුවකින් නොකරණ ලදහ. මෙසේ කරවයි කිසිවකු ලවා නොකරවන ලදහ. කිසිවකු විසින් හෝ කිසිවකු ලවා නොමවන ලද්දෝය. කිසිවකු නූපදවන්නෝය. පර්වතයක් මෙන් ස්ථිරව සිටින්නෝය, මන්දාර පර්වතයක් මෙන් නොසෙල්වී සිටින්නෝය. කම්පා නොවන්නෝය. ස්වභාගතිය නොහරින්නෝය. ඔවුනොවුන් පීඩා නොකරන්නෝය. ඔවුනොවුන්ගේ සැප පිණිස හෝ දුක් පිණිස හෝ සමත් නොවන්නෝය. ඒ ප්‍රාණය සත්වැනි කොට ඇති සමූහයන්හි හිංසා කරන්නෙක් හෝ කරවන්නෙක් හෝ අසන්නෙක් හෝ අස්වන්නෙක් හෝ දන්නෙක් හෝ දන්වන්නෙක් හෝ නැත්තේය. යමෙක් තියුණු ආයුධයකින් හිස සිඳීද කිසිවෙක් කිසිවකු ජීවිතයෙන් තොර නොකරයි. පඨවි ආදී සත්වැදෑරුම් සමූහයන් අතරින් එහි සිදුරෙන් ආයුධයක් ඇතුළු වෙයි.
Msdiv 175 “ස්වාමීනි, මා මෙසේ මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ගඵලයක් ඇසූ කල කසයින් ගොත්හිවූ පකුධ තෙමේ අනිකකින් අනිකක් පැවසීය. ස්වාමීනි, අඹගස කෙසේ දැයි ඇසූ කල දෙල්ගස මෙසේ යයිද, දෙල්ගස කෙසේදැයි ඇසූ කල අඹගස මෙසේයයිද, යම්සේ ප්‍රකාශ කෙරේද, ස්වාමීන් වහන්ස, එපරිද්දෙන් මා විසින් මේ ආත්මභාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලයක් ඇසූ කල පකුධකච්චායන තෙමේ අනිකකින් අනිකක් පැවසීය.
“ස්වාමීනි, එවිට මට මෙබඳු අදහසක් විය එනම්: ‘මා වැනි රජෙක් සිය අණ පවත්නා රටෙහි වසන මහණකු හෝ බමුණෙකු හෝ කෙසේ නම් වෙහෙසිය යුත්තකු නෙරපිය යුත්තකු කොට සිතන්නේද? ස්වාමීනි, මම ඒ පකුධ කච්චායනගේ වචනයට සතුටුද නොවී, නින්දාද නොකොට ප්‍රශංසාද නොකොට අස්කිරීමද නොකොට, නොසතුටු සිත් ඇතත් නොසතුටු තෙපුල් නොකියා ඒ කී දේම සාරයි නොගෙණ සිතෙහි නොපිහිටුවා උන් ආසනයෙන් නැගිට ගියෙමි.
නිගණ්ඨනාටපුත්තවාදො Msdiv 176 “ස්වාමීන් වහන්ස, මම එක්කලෙක නිගණ්ඨනාථ පුත්‍රයන් යම් තැනකද එතැනට ගියෙමි. ඔහු සමග සතුටු සාමීචි පවත්වා, සතුටු උපදවන සිහි කටයුතු කථා නිමකොට එකපැත්තකටවී හිඳ ඒ නිගණ්ඨනාථ පුත්‍රයාට මෙසේ කීවෙමි. කෙසේද යත්: භවත් අග්ගිවෙස්සනය, ඇතුන්පිට යන්නෝ ආදී ශිල්පියෝ යමෙක් ඒ ඒ ශිල්පයන් නිසා ජීවත් වෙත්ද ඔවුහු ඉන් තම ජීවිතය සුවපත් කෙරෙත්, ශක්තිමත් කෙරෙත් මව්පියන් සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්. දරුවන් සහ භාර්යාව සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත් මිත්‍රයින් සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්. මත්තෙහි ඵලදෙන ස්වර්ගයට පමුණුවන සැප විපාක ඇති සම්පත්ති ධර්මයන් උපදවන දානය මහණ බමුණන් කෙරෙහි පිහිටුවත්. ඒ මන්ද? තවත් අග්ගිවෙස්සනය, එපරිද්දෙන් මේ ආත්මභාවයෙහි දැක්කයුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් දක්වන්නට හැකිද?’
Msdiv 177 “ස්වාමීනි, මා මෙසේ කී කල ඒ අග්ගිවෙස්සන තෙමේ මෙසේ කීය:- “මහරජ, මේ ලොකයෙහි නිගණ්ඨ තෙමේ හතර කොටසින් යුත් සංවරයෙන් යුක්ත වේ. මහරජ කෙසේ නම් නිගණ්ඨ තෙමේ හතර කොටසෙන් යුත් සංවරයෙන් යුක්තද? මහරජ, මේ ලොකයෙහි නිගණ්ඨ තෙමේ සියලු සිහිල් ජලයෙන් වැළකෙන්නේ සියලු පවින් වැළකීමෙන් යුක්ත වූයේ සියලු පව් පිඹ හැරියේ සියලු පව් වැළැක්මෙන් ස්පර්ශකරණ ලද්දේ වේ. මහරජ, නිගණ්ඨ තෙමේ සංවරයෙන් මෙසේ හතර කොටසෙන් යුක්ත වේ. මහරජ, යම් හෙයකින් නිගණ්ඨ තෙමේ මෙසේ හතර කොටසෙන් යුත් සංවරයෙන් යුක්ත වූයේ වේද, මහරජ, මේ නිගණ්ඨ තෙමේ කෙළවරට පත් සිත් ඇත්තේද, දමනය කරන ලද සිත් ඇත්තේද හොඳ ලෙස පිහිටි සිත් ඇත්තේද වෙයි.
Msdiv 178 “ස්වාමීනි, මා විසින් මෙසේ මේ ආත්මභාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලය ඇසූ කල නිගණ්ඨනාථ පුත්‍ර තෙමේ හතර කොටසින් යුත් සංවරය ප්‍රකාශ කෙළේය. ස්වාමීනි, යම්සේ අඹරුක කෙසේදැයි ඇසූ කල දෙල් ගහ මෙසේයයිද, දෙල්ගහ කෙසේදැයි ඇසූ කල අඹගහ මෙසේයයි කියාද, ස්වාමීනි, එමෙන් මා විසින් මේ ආත්මභාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලය ඇසූ කල නිගණ්ඨනාථ පුත්‍ර තෙමේ හතර කොටසින් යුත් සංවරය පැවසීය.
“ස්වාමීන්වහන්ස, එවිට මට මෙබඳු අදහසක් විය. එනම්: ‘මා වැනි රජෙක් සිය අණ පවත්නා රටෙහි වසන මහණකු හෝ බමුණකු හෝ කෙසේ නම් වෙහෙසිය යුත්තකු නෙරපිය යුත්තකු කොට සිතන්නේද? ‘ස්වාමීනි, එබැවින් මම නිගණ්ඨ නාථ පුත්‍රයාගේ වචනයට සතුටු නොවීමි, නින්දාද නොකෙළෙමි, ප්‍රශංසාද නොකොට, අස්කිරීමද නොකොට, නොසතුටු සිත් ඇතත් නොසතුටු වචන නොකියා එයම සාරයයි නොගන්නේ, සිතෙහි නොපිහිටුවන්නේ උන් ආසනයෙන් නැගිට ගියෙමි.
සඤ්චයබෙලට්ඨපුත්තවාදො Msdiv 179 “ස්වාමීන් වහන්ස, මම එක් දිනක් බෙලට්ඨපුත්තවූ සඤ්ජය වෙත ගියෙමි. ඔහු සමග සතුටුසාමීචි පවත්වා සතුටු උපදවන සිහි කටයුතු කථා නිම කොට එක පැත්තකටව ඒ සඤ්ජය නම් බෙලට්ඨපුත්‍රයාහට මෙසේ කීවෙමි. කෙසේද යත්: ‘භවත් සඤ්ජයෙනි, ඒ ඒ ශිල්පයෙන් නිසා ජීවත්වන්නාවූ හත්ථාචාරියාදීහු වෙති. ඔව්හු ඉන් තම ජීවිතය සුවපත් කෙරෙත්, ශක්තිමත් කෙරෙත්, මවුපියන් සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්, දරුවන් සහ භාර්යාව සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්, මිත්‍රයින් සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්, මත්තෙහි ඵලදෙන ස්වර්ගයට පමුණුවන සැපවිපාක ඇති සම්පත්ති ධර්මයන් උපදවන දානය මහණ බමුණන් කෙරෙහි පිහිටුවත්. ඒ මන්ද? එපරිද්දෙන් මේ ආත්මභාවයෙහි දැක්කයුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් දක්වන්නට හැකිද?’
Msdiv 180 “ස්වාමීනි, මා මෙසේ කී කල සඤ්ජය නම් බෙලට්ඨපුත්‍ර මෙසේ කීය: ‘පරලොවක් ඇත්තේදැයි මා විචාරන්නෙහි නම් පරලොවක් ඇතැයි මෙසේ මට අදහස්වී නම්, පරලොවක් ඇතැයි මෙසේ එය ඔබට ප්‍රකාශ කරන්නෙමි. මට එසේත් අදහස් නොවෙයි, මට එපරිද්දෙනුත් නොවෙයි. මට අන් පරද්දෙකිනුත් නොවෙයි. මට එසේ නැත්තේයයිද නොවෙයි, මට නැත්තේ නොවන්නේත් නොවෙයි, පරලොවක් නැතැයි කියාද, එසේද මාගේ ගැන්මක් නැත, එසේයයිද මාගේ ගැන්මක් නැත. මේ වෙන ආකාරයයිද මාගේ ගැන්මක් නැත. එසේ නොවේයයිද මාගේ ගැන්මක් නැත. එසේ ගැන්මක් නැත්තේත් නැත.
‘පරලොව ඇත්තේත් වේ නැත්තේත් වේයයි කියාද, පරලොව නැතැයි කියාද නැත්තේත් නොවෙයි කියාද, එසේද මාගේ ගැන්මක් නැත. එසේයයිද මාගේ ගැන්මක් නැත. මේ වෙන ආකාරයයිද මාගේ ගැන්මක් නැත. එසේ නොවේයයිද මාගේ ගැන්මක් නැත. එසේ ගැන්මක් නැත්තේත් නැත.
‘මැරී උපදින සත්වයෝ ඇතැයි කියාද, මැරී උපදින සත්වයෝ නැතැයි කියාද, මැරී උපදින සත්වයෝ නැතැයි කියාද, මැරී උපදින සත්වයෝ ඇත්තේත් නොවෙයි. නැත්තේත් නොවෙයි කියාද, එසේද මාගේ ගැන්මක් නැත. එසේයයිද මාගේ ගැන්මක් නැත. මේ වෙන ආකාරයයිද මාගේ ගැන්මක් නැත. එසේ නොවේයයිද මාගේ ගැන්මක් නැත. එසේ ගැන්මක් නැත්තේත් නැත.
කුශලාකුශල කර්මයන්ගේ ඵල හා විපාක ඇතැයි කියාද, කුශලාකුශල කර්මයන්ගේ ඵල හා විපාක නැතැයි කියාද, කුශලාකුශල කර්මයන්ගේ ඵල හා විපාක ඇත්තේත් වෙයි නැත්තේත් වෙයි කියාද, කුශලාකුශල කර්මයන්ගේ ඵලය හා විපාක ඇත්තේත් නොවෙයි නැත්තේත් නොවෙයි කියාද, එසේද මාගේ ගැන්මක් නැත. එසේයයිද මාගේ ගැන්මක් නැත. මේ වෙන ආකාරයයිද මාගේ ගැන්මක් නැත, එසේ නොවෙයයිද මාගේ ගැන්මක් නැත. එසේ ගැන්මක් නැත්තේත් නැත.
‘සත්වතෙම මරණින් මතු වන්නේයයි කියාද සත්ව තෙමේ මරණින් මතු නොවන්නේයයි කියාද, සත්වයා මරණින් මතු වන්නේත් වෙයි නොවන්නේත් වෙයි. සත්ව තෙම මරණින් මතු වන්නේත් නොවෙයි නොවන්නේත් නොවෙයි කියාද, එසේද මාගේ ගැන්මක් නැත. එසේයයිද මාගේ ගැන්මක් නැත. මේ වෙන ආකාරයයිද මාගේ ගැන්මක් නැත. එසේ නොවේයයිද මාගේ ගැන්මක් නැත. එසේ ගැන්මක් නැත්තේත් නැත.
‘ඉදින් සත්වතෙම මරණින් මතු නොවන්නේ වේද නොවන්නේ නොවේද කියා මා විචාරන්නෙහි නම් සත්ත්වතෙම මරණින් මතු නොවන්නේද වෙයි. නොවන්නේද නොවෙයි. යන මේ අදහස ඉදින් මට වන්නේ නම් සත්ත්වතෙම මරණින් මතු නොවන්නේත්වෙයි. නොවන්නේත් නොවෙයි. කියා මෙසේ එය ඔබට කියන්නෙමි. එහෙත් මට එසේත් (අදහස්) නොවෙයි, මට එපරිද්දෙනුත් නොවෙයි. මට අන් පරිද්දෙකිනුත් නොවෙයි, මට එබන්දක් නැත්තේයයිද නොවෙයි, මට නැත්තේ නොවන්නේත් නොවෙයි, (කියා උත්තර දුන්නේය.)
Msdiv 181 “ස්වාමීන් වහන්ස, මෙසේ මා විසින් මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලය ඇසූ කල බෙලට්ඨපුත්ත සඤ්ජය ප්‍රශ්නය ඉවතලෑම ඉදිරිපත් කළේය. ස්වාමීන් වහන්ස, යම්සේ අඹරුක කෙසේදැයි ඇසූ කල දෙල්ගස මෙසේයයි කියාද, දෙල්ගස කෙසේදැයි ඇසූකල අඹගස මෙසේයයි කියාද, ස්වාමීනි, එමෙන් මා විසින් මේ ආත්මභාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ගඵලය ඇසූ කල බෙලට්ඨපුත්‍ර සඤ්ජය තෙමේ ප්‍රශ්නය ඉවතලෑම කෙළේය. ස්වාමීන් වහන්ස, එවිට මට මේ අදහස විය. මේ සඤ්ජය තෙමේ අන් ශ්‍රමණ බ්‍රාහ්මණ සියල්ලන්ටම වඩා අනුවණය, මෝඩය කෙසේ නම් මේ ආත්මභාවයෙහි දැක්කයුතු විපාක ඇති මාර්ග ඵලය ඇසූ කල ප්‍රශ්නය ඉවතලෑම කරන්නේදැයි’ කියායි.
“ස්වාමීනි, මට මෙබඳු අදහසක් විය. එනම්: ‘මා වැනි රජෙක් සිය අණ පවත්නා රටෙහි වසන මහණකු, හෝ බමුණකු කෙසේ නම් වෙහෙසිය යුත්තකු, නෙරපිය යුත්තකු, කොට සලකන්නේද? ‘ස්වාමීනි, එබැවින් මම බෙලට්ඨපුත්තවූ සඤ්ජයගේ වචනයට සතුටු නොවීමි, නින්දාද නොකෙළෙමි. ප්‍රශංසාද නොකොට, අස්කිරීමද නොකොට, නොසතුටු සිත් ඇතත්, නොසතුටු වචන නොකියා, ඒ නොගන්නේ, ඒ සිතෙහි නොපිහිටුවන්නේ උන් ආසනයෙන් නැගිට ගියෙමි.
පඨමසන්දිට්ඨිකසාමඤ්ඤඵලං Msdiv 182 “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේද විචාරමි. ස්වාමීනි, යම්සේ ඇතුන් හික්මවන්නාදීහු ඒ ඒ ශිල්පයන් නිසා ජීවත්වෙත්ද ඔව්හු ඉන් තම ජීවිතය සුවපත් කෙරෙත්, ශක්තිමත් කෙරෙත්, මවුපියන් සුවපත් කෙරෙත්, දරුවන් සහ භාර්යාව සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්, මිත්‍රයින් සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්, මත්තෙහි ඵල දෙන ස්වර්ගයට පමුණුවන සැප විපාක ඇති සම්පත්ති ධර්මයන් උපදවන දානය මහණ බමුණන් කෙරෙහි පිහිටුවත්. ඒ මන්ද? ස්වාමීනි, එපරිද්දෙන්ම මේ ආත්ම භාවයෙහි දැක්කයුතු විපාක ඇති මාර්ග ඵලයක් දක්වන්නට හැක්කේද?”
Msdiv 183 “එසේ හැක්කේය, මහරජ, එසේ නම් මහ රජ මේ කරුණෙහිලා ඔබගෙන්ම අසන්නෙමි. යම් ලෙසකින් ඔබට රුචිවන්නේද එසේ ප්‍රකාශ කරව.
“මහරජ, මෙකරුණෙහි ඔබට කුමක් හැඟෙන්නේද? එනම්: ඔබට මෙහි අලස නොව කටයුතු කරණ, හැමට පළමු නින්දෙන් නැගිටින්නාවූ හැමට පසුව නිදන්නාවූ, කටයුතු සොයා කරණ ස්වාමියාට මනාප දෙයක්ම කරණ ප්‍රිය කථා ඇත්තාවූ, සතුටින් හිමියාගේ මුහුණ බලමින් හැසිරෙන්නාවූ වැඩකරු පුරුෂයෙක් වන්නේය. ඔහුට මෙවැනි අදහසක් ඇතිවන්නේය. ‘පින්වත්නි, කුසලයන්ගේ ස්වභාවය, කුසලයන්ගේ විපාකය ඒකාන්තයෙන් පුදුමයි, පින්වත්නි, ඒකාන්තයෙන් බොහෝ පුදුමයි. මගධරට රජවූ වෙදෙහිපුත්‍රවූ මේ අජාසත් රජද මනුෂ්‍යයෙකි, මමද මිනිසෙක්මි. මගධරට රජුවූ වෙදෙහි පුත්‍රවූ මේ අජාසත් රජ පස්කම් ගුණයෙන් පිණාගියේ ඉන් යුක්ත වූයේ දෙවියෙකු මෙන් ඉඳුරන් පිනවයි. හෙතෙම දෙවියකු මෙනි. මම වනාහි නොමැලිව කටයුතු කරණ, හැමට පළමුව නින්දෙන් නැගී සිටින, පසුව නිදාගන්න, කටයුතු ඇත්දැයි සොයා බලා කරණ, ස්වාමියාගේ අදහස් ලෙස ක්‍රියා කරණ, ප්‍රිය කථා ඇති, සතුටු මුහුණින් හිමියාගේ මුහුණ බලමින් හැසිරෙණ ඔහුගේම වැඩකරුවෙක් වෙමි, එසේ වූ මම ද ඉදින් පින් කරන්නෙම් නම් ඒකාන්තයෙන් එවැනි කෙනෙක් වන්නෙමි. ඒකාන්තයෙන් මම කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ, ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතියි’ කියායි.
“ඔහු කලෙක කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නේය. ඔහු මෙසේ මහණ වූයේම, අකුසල් ඇතිවන ශරීරය නමැති දොරටුව වසා (කාය සංවරයෙන් යුක්තව) වසන්නේය. වචනයෙන් සංවරව වසන්නේය, සිතින් සංවරව වසන්නේය. යන්තමින් ලැබෙන ආහාරයෙන් හා සිවුරින් සතුටුවූයේ මහත්වූ විවේකයෙහි ඇලී වාසය කරන්නේය. එවිට ඔබගේ (රාජ) පුරුෂයෝ ඒ බව ඔබට මෙසේ දන්වන්නාහුය. ‘අසනුමැන දෙවයන් වහන්ස, මෙය දන්නා සේක්වා. ඔබවහන්සේට අලස නොව කටයුතු කළ, පළමුව නින්දෙන් නැගී සිටි, පසුව නිදාගැනීම කළ, ඔබ අදහස් ලෙස ක්‍රියා කළ ප්‍රිය කථා ඇති සතුටු මුහුණින් යුක්තව වැඩෙහි යෙදුනු යම් ඒ වැඩකරු පුරුෂයෙක් වීද, දෙවයෙනි, හෙතෙම කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වූයේය. හෙතෙම මෙසේ මහණ වූයේම කයින් සංවරව වෙසෙයි, වචනයෙන් සංවරව වෙසෙයි, සිතින් සංවරව වෙසෙයි. යන්තමින් වූ ආහාර හා සිවුරු දැරීමෙන් සතුටු වූයේ මහත්වූ විවේකයෙහි ඇලී වෙසෙයි’ කියායි.
“කිම, මහරජ? ඒ මාගේ වැඩකරුවා නැවතත් මාවෙත පැමිණේවා, ඔහු නැවතද අලසනොව කටයුතු කරණ, හැමට පළමුව නින්දෙන්නැගී සිටින පසුව නිදාගැනීම කරණ කටයුතු සොයා කරණ මාගේ සිත් පරිදි හැසිරෙන්නාවූ ප්‍රිය කථා ඇති, සතුටුව මුහුණ බලමින් හැසිරෙන්නාවූ වැඩකරුවෙක් වේවා’යි ඔබ මෙසේ කියන්නෙහිද?”
Msdiv 184 “නැත, ස්වාමීනි, එබන්දක් නොවේ. එසේ ඇති කල්හි ඔහුට අපිම වැඳීමද කරන්නෙමු. ඔහු දැක (අපිම) හුනස්නෙන්ද නැගිටින්නෙමු, ආසනයෙන්ද පවරන්නෙමු. සිවුරු පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මෙයින් යමක් අවශ්‍යවූ විට ඒ බව අපට කිව මැනවැයි ද විශෙෂයෙන් පවරන්නෙමු. ධාර්මිකවූ ආරක්ෂාවෙන් රැකීම ද සලසන්නෙමු”
Msdiv 185 “කිම මහරජ? ඉදින් එසේ ඇති කල්හි මේ ආත්ම භාවයෙන් දැක්ක යුතු විපාක ඇති ඵලයක් වේද? නොවේද? ඒ ගැන ඔබ කුමක් සිතන්නෙහිද?”
“ස්වාමීන් වහන්ස, මෙසේ ඇති කල ඒකාන්තයෙන්ම මේ ආත්ම භාවයෙහි දැක්කයුතු විපාක ඵලය වේමය.”
“මහරජ, මේ වනාහි මා විසින් ඔබට දක්වන ලද මේ ආත්මයෙහි ලැබෙන පළමු වැනිවූ මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඵලයයි.”
දුතියසන්දිට්ඨිකසාමඤ්ඤඵලං Msdiv 186 “ස්වාමීනි, එපරිද්දෙන්ම මේ ආත්ම භාවයෙහි ලැබෙන අන්‍යවූද මේ ආත්ම භාවයෙහි දැක්කයුතු විපාක ඵලයක් ප්‍රකාශ කළ හැක්කේද?”
“හැක්කේය, මහරජ, එසේ නම් මහරජ මෙකරුණෙහිලා ඔබගෙන්ම අසන්නෙමි, යම් ලෙසකින් ඔබට රුචිවන්නේද එසේම ප්‍රකාශ කරමි.
මහරජ, මතු දක්වන කරුණෙහිලා ඔබ කුමක් සිතන්නෙහිද? ඔබට සී සාන්නාවූ, ගෘහපතියෙක්ව සිටිමින් අයබදු ගෙවන්නාවූ, ධනධාන්‍ය සපයා දෙන්නා වූ පුරුෂයෙක් වන්නේය. ඔහුට මෙබඳු අදහසක් පහළ වෙයි. ‘කුසලයන්ගේ ස්වභාවය, කුසලයන්ගේ විපාකය බලව ඒ ඒකාන්තයෙන් පුදුමයි, පින්වත, ඒකාන්තයෙන් ඉතා පුදුමයි මගධදේස රජවූ වෙදෙහපුත්වූ මේ අජාසත් රජ වනාහි මනුෂ්‍යයෙකි. මමද මිනිසෙක්මි. මගධදේස රජවූ වෙදෙහි පුත්වූ මේ අජාසත් රජ වූකලී පස්කම් ගුණයෙන් පිනාගියේ ඉන් යුක්තවූයේ දෙවියෙකු මෙන් ඉඳුරන් පිනවයි. හෙතෙම දෙවියෙකු මෙනි. මම වනාහි සී සාන්නාවූ ගෘහපතිවූ, අයබදු ගෙවන්නාවූ, ධන ධාන්‍ය රැස්කරන්නාවූ කෙනෙක් වූයේ ඔහුගේ වැඩකරුව වෙසෙමි. එසේවූ මමද පින්කරන්නෙම් නම් ඒකාන්තයෙන් ඔහු ආකාරකෙනෙක් වන්නෙමි. එබැවින් ඒකාන්තයෙන් මමද කෙස් දැලිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණවන්නෙම් නම් ඉතා යහපති, කියායි.
“හෙතෙම ඉන් මෑත කාලයෙක ස්වල්පවූ හෝ භොග රාශිය හැර, මහත්වූ හෝ භෝග රාශිය හැර, ස්වල්පවූ හෝ නෑ පිරිස් හැර, බොහෝවූ හෝ නෑ පිරිස් හැර, කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ, ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නේය. හෙතෙම මෙසේ මහණ වූයේම කයින් සංවරව වසන්නේය, වචනයෙන් සංවරව වසන්නේය, සිතින් සංවරව වසන්නේය කෑම ඇඳීම ඕනෑ බැවින් යන්තමින් ලත් ආහාරයෙන් හා සිවුරින් සතුටුව විවේකයෙහි ඇලී වාසය කෙරෙයි. ඔබගේ (රාජ) පුරුෂ කෙනෙක් ඒ බව ඔබට මෙසේ දන්වයි. ‘පින්වත්වූ දෙවයන් වහන්ස, අසන සේක්වා! ඔබවහන්සේගේ සී සාමින් සිටි ගෘහපතිවූ, අයබදුගෙවා ධනධාන්‍ය රැස්කළ යම් ඒ පුරුෂයෙක් වීද, දේවයනි, ඔහු කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වූයේය. හෙතෙම මෙසේ මහණ වූයේම කායසංවරයෙන් ජීවත්වේ. වචන සංවරයෙන් ජීවත්වේ. හිත පිළිබඳ සංවරයෙන් ජීවත්වේ. යම්තමින් ආහාර හා සිවුරු දැරීමෙන් සතුටු වූයේ, කායාදී (තෙවැදෑරුම්) විවේකයෙහි ඇලී වාසය කෙරෙයි කියායි.’ කිම, මහරජ? ඒ මාගේ පුරුෂතෙමේ නැවතත් මවෙත පැමිණේවා හෙතෙම සී සාන්නාවූ ගෘහපතිවූ, අයබදු ගෙවන්නාවූ, ධනධාන්‍ය රැස්කරන්නාවූ, තැනැත්තෙක් වේවා’යි ඔබ මෙසේ කියන්නෙහිද?”
Msdiv 187 “නැත ස්වාමීනි, එසේ නොකියන්නෙමි. එසේ ඇති කල්හි අපිම ඔහුට නමස්කාර කරන්නෙමු. ඔහු දැක හුනස්නෙන්ද නැගිටින්නෙමු, ආසනයෙන්ද පවරන්නෙමු, සිවුරු ආහාර ඇඳන් බෙහෙත් පිරිකර යන මෙයින් යමක් අවශ්‍යවූ කල එය අපට කිව මැනවැයිද විශෙෂයෙන් ප්‍රකාශ කරන්නෙමු. ධාර්මික ආරක්ෂා ආවරණයෙන් රැකීමද සලස්වන්නෙමු.”
Msdiv 188 “කිම, මහරජ? ඉදින් එසේ ඇති කල්හි මේ ආත්මභාවයෙහි දැක්කයුතු විපාක ඵලයක් වේද? නොවේද? මේ ගැණ ඔබ කුමක් කියන්නෙහිද?”
“ස්වාමීනි, මෙසේවූ කල ඒකාන්තයෙන්ම මේ ආත්මභාවයේ දැක්ක යුතු විපාක ඵලයක් වේමය.”
“මහරජ, මේ වනාහි මා විසින් ඔබට දක්වන ලද මේ ආත්මයෙහි ලැබෙන දෙවැනිවූ මේ ආත්මභාවයේ දැක්ක යුතු විපාක ඵලය වේ.”
පණීතතරසාමඤ්ඤඵලං Msdiv 189 ස්වාමීන් වහන්ස, මේ ආත්ම භාවයේ දැක්කයුතු විපාක ඵලයන්ට වඩා අතිශයින් හිත් පිනවන අතිශයින් උතුම්වූ මේ ආත්ම භාවයෙහි ලැබිය හැකි අන්‍යවූද විපාක ඵලයක් දක්වන්නට හැක්කේද?”
“හැක්කේය මහරජ, එසේ නම් අසව මහරජ, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි.”
“එසේය ස්වාමීන් වහන්සැයි මගධරට රජවූ වෙදෙහි පුත්‍රවූ අජාසත් රජ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය.
Msdiv 190 භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. “මහරජ අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනා ඥානය ආදී විද්‍යා අට සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළොව යන අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, (චතුරාර්ය සත්‍ය) සත්‍යවූ උතුම් ධර්ම සතර අවබෝධ කළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථසහිතවූ, දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කරන්නාවූ ඛ්‍යඤ්ජන සහිතවූ, සියලු ලෙසින් සම්පූර්ණවූ පිරිසිදුවූ, සියලු සාසනමාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති.
Msdiv 191 “ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන්කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයි. ඔහු ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ‘ගෘහවාසය පීඩාසහිතයි. රාගාදී කෙලෙස් සහිත මාර්ගයෙකි. මහණකම වනාහී කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ ලියවූ හක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැලිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි’ කියායි.
Msdiv 192 ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් රාශිය හැර, ස්වල්පවූ හෝ බෙහෝවූ නෑපිරිස් හැර කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වේ.
Msdiv 193 මෙසේ මහණවූ ඔහු ප්‍රධාන සංවරසීලයෙන් යුක්ත වූයේ, යහපත් හැසිරීමෙන් හා වරදනැති පැවැත්මෙන් යුක්ත වූයේ, ස්වල්පවූත් අකුසලයන්හි විශෙෂයෙන් භය දක්නා ගති ඇත්තෙක් වූයේ, යහපත්වූ ශරීරයෙන් වචනයෙන් ක්‍රියාවෙන් යුක්තවූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත පැවතුම් ඇත්තේ වෙයි ශීලයෙන් යුක්ත වූයේ වෙයි. ඉන්ද්‍රිය විෂයෙහි වැසූ දොරටු ඇත්තේ වෙයි. ආහාරයෙහි පමණ දන්නේ වෙයි. මනා සිහියෙන් හා හරි ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයි. සන්තෝෂයෙන් යුක්තවෙයි.
සුලු සීලය Msdiv 194 “මහරජ, භික්ෂුනමක් කෙසේ නම් සීලසම්පන්න වේද? මහරජ, මේ සස්නෙහිවූ භික්ෂුනමක් ප්‍රාණවධය හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහාතබන ලද ආයුද ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්තවූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ, මෙයද ඔහුගේ සීලයක්වේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළැක්කේ. දුන්දෙයම ගන්නේ, දුන්දෙයම කැමතිවන්නේ, සොර නොවූ පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කෙරේ’ මෙයද ඔහුගේ සීලයෙකි අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගයනම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන්වූයේ බ්‍රහ්මචාරීවේ. මෙයද ඔහුගේ සීලයකි. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, සැබෑතෙපුල් කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ ඇදහිය යුතු වචන ඇත්තේ ලොකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ මෙයද ඔහුගේ සීලයෙකි. පිසුණු බස් හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේද, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේද’ මෙසේ භෙද වූවන් ගළපන්නේ සමගිවූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ තෙපුල් කියන්නේය. මේද ඔහුගේ සීලයෙකි, ඵරුෂ වචනය හැර සම්පූර්ණයෙන් වැළැක්කේ, යම් වචනයක් නිදොස් වේද, කණට සැපද, ප්‍රෙමණියද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රියකරන්නේද, එබඳු වචනම කියන්නේ වේ. මෙයද ඔහුගේ එක් සීලයෙකි. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ. කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ තෙපුල්ම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්ත විනය සම්බන්ධවූ තෙපුල් කියන්නේ, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ. මෙසේ ඒ හිස් කථාවෙන් වැළැක්මද දියුණුවට හේතුවන වචන කීමද, මෙයද ඔහුගේ සීලයෙකි.
“තණ, ගස්, වැල්, සිඳීම් බිඳීම්, ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන කෑම ඇත්තේ, රාත්‍රි කෑමෙන් හා අවේලෙහි කෑමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය. නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය මල්, ගඳ, විලවුන් පැළඳීම, ඉන් සැරසීම්, අඩු තැන් පිරවීමෙන් අලංකාර කිරීම යනමෙයින් සම්පූර්ණයෙන්, වැළැක්කේය. උස්අසුන් මහඅසුන් යන මෙයින් වැළැක්කේය රන් රිදී මසුරන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය. අමුවූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේ. අමුමස් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද ස්ත්‍රීන් හා ගෑනු ළමයින් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද වේ වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේ, කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන්, කෙත්, වත්, යන මේ පිළිගැන්මෙන්ද, සම්පූර්ණයෙන් තොරවූයේය. ගිහීන්ගේ දූත මෙහෙවරය. ගෙන්ගෙට යන පහත් මෙහෙවරය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. ගනුදෙනු කිරීමය, තරාදි ආදියෙන් වඤ්චා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වඤ්චා කිරීමය, වී ආදිය මැණීමෙන් වඤ්චා කිරීමය, හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් සම්පූර්ණයෙන් වැළක්කේය. කැපීමය, මැරීමය, බැඳීමය, සැගවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින්ද සම්පූර්ණයෙන් වැළැක්කේය, මෙයද ඔහුගේ සීලය වේ.
සුලු සීලය නිමියේය.
මැදුම් සිල් Msdiv 195 “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කාමූලබීජය, ඛන්ධබීජය, එළුබීජය, දලුබීජය, පස්වැනිවූ බීජබීජය යන මේ ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්. මෙබඳුවූ බීජගාම භූතගාමයන් සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙක් වේ.
Msdiv 196 “එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා ආහාර වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, නොඉටන ලද (අයිතියට නොගත්) සිවුරු ආදිය, යාන සංඛ්‍යාත වහන්, දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියනලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත්. මෙබඳුවූ සන්නිධිකාර පරිභොගයෙන් වැළකී වෙසේ නම් මෙයද ඔහුගේ සීලයෙක් වේ.
Msdiv 197 “එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා නැටීමය, ගී කීමය, බෙර ආදිය වැයීමය, රඟ මඩුලු සැරසීමය, වැඩක් නැති කථා ඇසීමය, කයිතාලම් හා අත්ලෙන් අත්ල ගැසීමය, මන්ත්‍ර පිරවීමෙන් මළමිනි නැංවීමය, සතරැස් හෝ කළ බෙර ගැසීමය, ශොභන චිත්‍ර විචිත්‍රය, සණදොවුන් කෙළිය, හුණගස් ඔසවා නැටීමය මිනීඇට සෝදා තැබීමය, ඇතුන් හා පොරය, අශ්වයින් යොදා පොරය, මීවුන් හා පොරය, ගවයින් හා පොරය, එළුපොරය මෙණ්ඩක එළුපොරය, කුකුළුපොරය, වටුපොරය, දඬු (පොලු) පොරය, තොරතුරු ඇනීමය, මල්ලව යුද්ධය, යුද්ධය, ඇත් අස් ආදිය දැකීමය යන විකාර දර්ශනයෙහි යෙදී වාසය කරත්. මෙසේ මෙබඳු විසුලු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකේ නම් මෙයද ඔහුගේ සීලයෙක් වේ,
Msdiv 198 “එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා (දූ පෝරු ආදියෙහි කෙළිම්වූ) ක්‍රීඩාවය, දශපද ක්‍රීඩාවය, දූ පෝරු ආදියෙහි මෙන් ආකාශයෙහි ක්‍රීඩාකිරීමය, බිම මණ්ඩල වශයෙන් සාදා පැන පැන ක්‍රීඩා කිරීමය, දූ කැට නොසොල්වා නියෙන් ගසා ක්‍රීඩා කිරීමය, දාදු කෙළීමය, සිං කෙළීමය, භිත්ති ආදියෙහි ඉරටමිටි ගසා ඇත් අස් ආදී රූප දක්වා කෙළීමය, පන්දු කෙළීමය, නලා පිඹීමය, ක්‍රීඩා නඟුල් ගෙන සෙල්ලම් සීසෑම්ය. කරනම් ගැසීමය, තල්පත් ආදියෙන් කන්නන්ගුරුවා තනා ක්‍රීඩා කිරීමය, කොළ නැළියෙන් වැලි ආදිය මැණ කෙළීමය, කුඩා රථයෙන් කෙළීමය, කුඩා දුන්නෙන් කෙළීමය, අහසෙහි හෝ පිටෙහි හෝ අකුරු ඇඳ කෙළීමය, සිතූ දේ කියවීම් කීම් ආදියෙන් කෙළීමය ඒ ඒ දෝෂ රූප දක්වා කෙළීමය, යන මෙබඳුවූ ප්‍රමාදයට කාරණාවූ දූ කෙළීමෙහි යෙදී වාසය කෙරෙත්. මෙසේ මෙබඳුවූ කෙළියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.
Msdiv 199 “එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා දික්හඟලා පුටුය, පලස්ය, සතරඟුලෙන් දිග ලොම් ඇතිරිය, විසිතුරු එළුලොම් ඇතිරිය, එළු ලොම් සුදු ඇතිරිය, එළු ලොමින් කළ ඉදිරියට නෙරූ මල් ඇති ඇතිරිය, සිංහාදී රූපයෙන් විසිතුරු එළු ලොම් ඇතිරිය, එක් පිට ලොම් ඇති ඇතිරිය. දෙපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය. රත්රන් නූලෙන් කළ පට ඇතිරිලිය, එක්විට නැට්ටුක්කාරියන් දහසය දෙනෙක් නටනා එළුලොමින් කළාවූ මහඇතිරිය, ඇතුන් පිට අතුරණ ඇතිරිය, අසුන් පිට අතුරන ඇතිරිය, රථ පිට අතුරණ ඇතිරිය, අඳුන්දිවි සමින් කළ ඇතිරිය, කෙසෙල් මුව සමින් කළ උතුම් ඇතිරිය, දෙපස තබනලද රතුපාට කොට්ට ඇති ආසනය, යන මෙබඳු උස් අසුන් මහ අසුන් පාවිච්චි කෙරෙත්. මෙසේ මෙබඳුවූ උස් අසුන් මහ අසුන්හි හිඳීම් ආදියෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි,
Msdiv 200 “එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ඇඟ ඉලීමය, පිරිමැදීමය, නෑවීමය, මැඩීමය, මූනබලන කන්නාඩි, අඳුන් තෙල් පාවිච්චිය හා සුවඳ, මූණේ ගානා සුවඳ කුඩු, මූණේ ගානා සුවඳ ද්‍රව්‍ය, අත්වල බඳින ආභරණ යන මේ දේ දැරීම හා පැළඳීමය, රත්රන් නූල් ආදියෙන් කුඩුම්බි බැඳීමය, විසිතුරු දඬුගෙන හැසිරීමය, බෙහෙත් නල එල්වාගෙන ඇවිදීමය, කඩු විසිතුරු කුඩ ගෙනයෑම, විසිතුරු සෙරෙප්පු හෝ සපත්තු පයලා ඇවිදීමය. නලල්පට බැඳීමය, කොණ්ඩා මාණික්‍ය පැළඳීමය, අවන් දැරීමය, දික්වූ දහවලු ඇති සුදුරෙදි ඇඳීමයයි මෙසේවූ සැරසීම් හා අඩුතැන් පිරවීමෙහි නිතර නිතර යෙදෙත්. මෙබඳුවූ සැරසීම් අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.
Msdiv 201 “එසේම ඇතැම් පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය මහ ඇමතියන් පිළිබඳ කථාය, සෙනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, ඇඳන් පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, ගන්ධ ද්‍රව්‍යයන් පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නුවර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, ගෑනු දරුවන් පිරිමි දරුවන් පිළිබඳ කථාය, යොධයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, වතුර ගෙන යන දාසීන් හෝ වතුර ගෙන යන තැන් හෝ පිළිබඳ කථාය, මළ නෑයන් යන ආදීන් පිළිබඳ කථාය, නොයෙක් ආකාරවූ තේරුම් නැති කථාය, ලොකය පිළිබඳ කථාය, මුහුද පිළිබඳ කථාය, භවාභව කථාය යන මෙබඳු පහත් කථාවෙහි යෙදී වෙසෙත්. මෙබඳුවූ පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.
Msdiv 202 “එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘ඔබ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි’ ‘ඔබ මේ ධර්ම විනය කුමකැයි දන්නෙහිද? ඔබ වරදවා පිළිපදින්නෙහිය, මම මනාකොට පිළිපදින්නේ වෙමි’. ‘මාගේ වචන යහපත්ය, හෝ අර්ථ සහිතය, ඔබගේ වචන අර්ථ රහිතය’ පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමුව කීයෙහිය. යමක් ඔබ බොහෝ කල් පුරුදු කරණලද නම් ඒ සියල්ල නිෂ්ඵල විය. ඔබට වාදාරොපනය කරණ ලදී. නින්දා කරණ ලද්දෙහිය. වාදයෙන් මිදෙනු පිණිස ක්‍රියා කරව. ඉදින් හැක්කෙහි නම් වාදයෙන් ගැළවෙව’ යන ආදී දෝෂාරොපණ කථාවෙහි යෙදී වෙසෙත්. මෙසේ මෙබඳු දෝෂාරොපණ කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.
Msdiv 203 “එසේ සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන්ගේ, රජ මහ ඇමතියන්ගේ, ක්ෂත්‍රියන්ගේ, බමුණන්ගේ, ගෘහපතියන්ගේ සහ කුමරුන්ගේද හසුන් ගෙණ, ‘මෙතනින් අසවල් තැනට යව අසවල් තැනින් මෙහිඑව, මෙය ගෙණයව, එතැනින් අසවල් දෙය ගෙණෙවයි දූතභාවයෙහි හා හසුන් ගෙණ යෑමෙහියෙදී වෙසෙත්. මෙබඳු දූත භාවය, හසුන් ගෙණ යෑම යන මෙයින් වැළැක්කේ නම් මෙයද ඒ ඔහුගේ එක් සීලයෙකි.
Msdiv 204 “එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා කුහකයෝද, සිවුපසය උදෙසා කථා කරන්නෝද, නිමිති කරන්නෝද නොහොත් ලාභ සත්කාර සඳහන් කරන්නෝද, පරලාභාදිය උදෙසා කියන්නෝද ලාභයකින් ලාභයක් සොයන්නෝද වෙත්. මෙබඳුවූ කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වැළැක්මක් වේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.”
මැදුම් සිල් නිමියේය.
මහ සිල් Msdiv 205 “එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා සාමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය, හෙන ගැසීම ආදී මහ නිමිති බලා කියනශාස්ත්‍රය, ස්වප්න ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, මීයන් කැපූ වස්ත්‍රාදිය, බලාකියන ශාස්ත්‍රය, ගිනිදෙවියා පිදීමය, දබ්බිහොමය, ථුස හොය, තණ්ඩුල හොමය, කණ හොමය, සප්පි හොමය තෙල හොමය, මුඛ හොමය, ලේ හොමය, ශරීර විද්‍යා, වාස්තු විද්‍යා නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන්නාවූ විද්‍යා, භූත විද්‍යා, නාග විද්‍යා. විෂ විද්‍යා ගෝනුසු විද්‍යා, මූෂික විද්‍යා, කුරුලු විද්‍යා, කපුටු විද්‍යා, ජීවිත කාලය කීම, ආයුධ වැළැක්ම, තිරිසන් සතුන්ගේ ශබ්ද දැනීම වශයෙන් පැවති මන්ත්‍රය යන පහත් විද්‍යා හේතුකොට ගෙන වැරදි ජීවිතයෙන් ජීවිකා කෙරෙත්. මෙසේ මෙබඳු පහත් විද්‍යා හේතුවෙන් කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේද මෙයද ඔහුගේ එක් සීලයෙකි.
Msdiv 206 “එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මිණි ලක්ෂණය, වස්ත්‍ර ලක්ෂණය, දණ්ඩ ලක්ෂණය, කඩු ලක්ෂණය, දුනු ලක්ෂණය, ආයුධ ලක්ෂණය ස්ත්‍රීලක්ෂණය, පුරිස ලක්ෂණය, පිරිමිදරු ලක්ෂණය, ගෑණුදරු ලක්ෂණය, දාස ලක්ෂණය, දාසිලක්ෂණය, ඇත් ලක්ෂණය. අශ්ව ලක්ෂණය, කැස්බෑ ලක්ෂණය, එළු ලක්ෂණය, මීහරක් ලක්ෂණය ගව ලක්ෂණය, ලොකු එළු ලක්ෂණය, කුකුළු ලක්ෂණය, වටු ලක්ෂණය, තලගොයි ලක්ෂණය, කර්ණිකා ලක්ෂණය මුව ලක්ෂණයයි, මෙබඳු පහත් විද්‍යාවන් කරණ කොට ගෙන වැරදි ජීවිකාව කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යාවන් නිසා කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයෙකි.
Msdiv 207 “එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා අසවල් දිනට රජුන්ගේ බැහැර යෑම වන්නේය. අසවල් දින ඇතුළු නුවරට එන්නේය. අසවල් දින ඇතුළු නුවර රජුන් වෙත පැමිණීම වන්නේය. බැහැර රජුන්ගේ බැහැරට යෑම වන්නේය. බැහැර රජුන්ගේ ඇතුළු නුවරට ඊම වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ ආපසු යෑම වන්නේය. ඇතුළු නුවර රජුන්ට ජය වන්නේය. බැහැර රජුන්ගේ පරාජය වන්නේය. බැහැර රජුන්ගේ ජය වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ පරාජය වන්නේය. මෙසේ මොහුට ජය වන්නේය, මෙසේ පරාජය වන්නේයයි කියා මෙසේ පහත් විද්‍යා හේතුකොට ලාමක ජීවිකා කෙරෙත්. මෙබඳුවූ පහත් විද්‍යා හෙතුවෙන් කරණ වැරදි ජීවිතයෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයක් වේ.
Msdiv 208 “එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා චන්ද්‍රග්‍රහණය වන්නේය. සූර්ග්‍රහණය වන්නේය, තාරකා සමාගමය වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නියම මාර්ග ගමන වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නොමග යෑම වන්නේය, තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය, තාරකාවන්ගේ නොමග යෑම් වන්නේය, උල්කාපාතය වන්නේය, දිසා දැවීම වන්නේය, පොළොව කම්පාව වන්නේය, අහස ගිගුරුම් වන්නේය, සඳ, හිරු තාරකාවන්ගේ නැගීම හා බැහීමද කෙළෙසීමද පිරිසිදු වීමද වන්නේය, චන්ද්‍ර ග්‍රහණය මෙබඳු විපාක ඇතිවන්නේය, සූර්යග්‍රහණය මෙබඳු විපාක ඇති වන්නේය, තාරකා සමාගමය මෙබඳු විපාක ඇතිවන්නේය චන්ද්‍ර සූර්යයන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇති වන්නේය, ඔවුන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, තාරකාවන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, තාරකාවන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, උල්කාපාතය මෙබඳු විපාක ඇතිවන්නේය, දිගුන් දැවීම මෙබඳු විපාක ඇතිවන්නේය, භූමි කම්පාව මෙබඳු විපාක ඇතිවන්නේය, අහස් ගිගුම මෙබඳු විපාක ඇති වන්නේය, සඳ, හිරු, තාරකාවන්ගේ නැගීම, බැසීම, කිලිටුවීම හා පිරිසිදු වීම මෙබඳු විපාක ඇතිවන්නේයයි කියා මෙසේ පහත් විද්‍යා හේතුවෙන් කරණ වැරදි ජීවිකාවෙන් ජීවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හේතු කොට ගෙණ කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයකි.
Msdiv 209 “එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා මනා වැසි ඇතිවන්නේය, මනා වැසි නැතිවන්නේය, යහපත් ආහාරපාන ඇතිවන්නේය, ආහාර පාන නැති වන්නේය, නිර්භය ඇතිවන්නේය, භය ඇතිවන්නේය, රොග ඇතිවන්නේය, නිරෝගි බව ඇතිවන්නේයයි කීමද, ඇඟිල්ල ඇල්ලීමය, ගණන්කිරීමය, කොටස්කර ගණන්කිරීමය, කාව්‍ය කිරීමය, ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙණීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණකොට වැරදි ජීවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හෙතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයකි.
Msdiv 210 “එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ආවාහ කරවීමය, විවාහ කරවීමය, සමගිය පිළිබඳ කථාකිරීමය, වියොගය පිළිබඳ කථාකිරීමය, ධන රැස්කිරීමය, වියදම් කිරීමය, යහපත් ශ්‍රියාව ඇති කිරීමය, දුර්ගර්භ කරණය, ගර්භවිරොධි කරණය, දිව් තද කිරීමය, නූල් බැඳීමය, අත් පෙරළීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, ශබ්ද නොඇසීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, කැඩපත්හි දෙවතාරොපණයකොට ප්‍රශ්න ඇසීමය, ගෑනුදරුවන්ගේ ශරීරයෙහි දෙවතාරොපණය කොට ප්‍රශ්න ඇසීමය, දෙවදාසියගේ ශරීරයෙහි යකුන් ආරොපණය කොට ප්‍රශ්න ඇසීමය, හිරු වැඳීමය, මහබඹුට උපස්ථාන හෝ වැඳුම් කිරීමය, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දෙවිය කැඳවීමයයි කියන මෙබඳු පහත් විද්‍යාවෙන් වැරදි ජීවිකා කෙරෙත්. මෙබඳුවූ පහත් විජ්ජාවෙන් කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයකි.
Msdiv 211 “එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ශාන්ති කිරීම, කාර්යය සමෘද්ධි කටයුතු කර්මය, මන්ත්‍ර කිරීමය, භූරිකර්මය, පණ්ඩකයා පුරුෂයකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය, ගෙවල් නොකළ බිම් ගෙවල් කිරීමය, ගෙට සුදුසු තැන බලිකම් විධානය, දියෙන් මූන සුද්ධ කිරීමය, නැහැවීමය, ගිනි පිදීමය, වමන කරවීමය, විරේක කරවීමය, උඩු කය විරේකය, යටිකය විරේකය, හිස විරේකය, කන්තෙලය, ඇස් බෙහෙත් ගැල්වීමය, නස්‍යකිරීමය, අඳුන් ගෑමය, සිසිල් බෙහෙත් අඳුන් සෑදීමය, ආයුධ කටු ගසා කරන වෙදකමය, ශල්‍යකර්මය, ළදරුවන් පිළිබඳ වෙදකම්ය, මූලික බෙහෙත් දීමය, සැරබෙහෙත් දී පසුව එහි බල හැරීමය කියා හෝ මෙබඳු පහත් විද්‍යා කරණකොට වැරදි ජීවත්වීමෙන් ජීවිකා කෙරෙත්. මෙබඳුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේනම් මෙයද ඔහුගේ එක් ශීලයකි.
Msdiv 212 “මහරජ, මෙසේ ශීල සම්පන්නවූ භික්ෂුහට භය කාරණයන් අතුරෙන් එක් පමණකුදු ඔහුගේ ශීලසංවරය හෙතු කොට ගෙණ කිසිතැනකදී නොඋපදන්නේ. කුමක් මෙන්ද යත්: මහරජ, ක්ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂෙක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්ෂත්‍රීය රජෙක් කිසියම් සතුරෙකුගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, මහරජ, ශීලසම්පන්නවූ භික්ෂුතෙමේ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ශීලසංවරය හෙතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්යවූ (උතුම්වූ) මේ සීල රාශියෙන් යුක්තවූ ඒ භික්ෂු තෙම, තමන් තුළ පිරිසිදුවූ (කායික චෛතසික) සැපය විඳියි. මහරජ, මෙසේ දැක්වූ ශීලයෙන් යුක්තවූ භික්ෂුව ශීලසම්පන්න නම් වේ.
මහ සිල් නිමියේය.
ඉන්ද්‍රියසංවරො Msdiv 213 “මහරජ, භික්ෂුව කෙසේ නම් ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේද? මහරජ, මේ සස්නෙහි භික්ෂු තෙමේ, ඇසින් රූපයක් දැක එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ඇස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රියය රකී, ඇස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කනින් ශබ්දයක් අසා එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය කන් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ කන් ඉන්ද්‍රියය රකී. කන් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. නාසයට ගඳ සුවඳ දැනී එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. නාස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ නාස් ඉන්ද්‍රියය රකී. නාස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. දිවෙන් රසයක් විඳ එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. දිව් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ දිව් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කයින් ස්පර්ශයක් ස්පර්ශකොට එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ස්පර්ශ ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ ස්පර්ශ ඉන්ද්‍රියය රකී. ස්පර්ශ ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. සිතින් (ධර්මයක්) අරමුණක් දැන එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. සිත් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් නිසා දැඩි ආසාව හා කලකිරීම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. හෙතෙම සිත් ඉන්ද්‍රිය රකී. සිත් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. එබඳුවූ භික්ෂුව උතුම්වූ ශීල රාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිදුවූ අධිචිත්ත සැපය විඳියි. මහරජ, මෙසේවූ භික්ෂු තෙමේ ඉන්ද්‍රියයන්හි වසනලද දොරටු ඇත්තේ වේ.
සතිසම්පජඤ්ඤං Msdiv 214 “මහරජ, භික්ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද?
“මහරජ, මේ සස්නෙහි භික්ෂුතෙම ඉදිරියට යෑමෙහිද, ආපසු යාමෙහිද, නුවණින් දැන කරන්නේය. ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද නුවණින් දැන බලන්නේය. අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, මනා නුවණින් දැන එසේ කරන්නේය. දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිදී මනා නුවණින් දැන එසේ කරන්නේය. අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය, රස විඳීමය යන මෙහිද මනා නුවණින් යෙදී එසේ කරන්නේය. මළ මුත්‍ර පහකිරීමද නුවණින් (ආදිනව) සලකා කරන්නේය. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොරකිරීම්, කථාකිරීම්, නිශ්ශබ්දව සිටීම යන මේ දේ මනා නුවණින් දැන කරන්නේය. මහරජ, මෙසේ කරන්නාවූ භික්ෂු තෙමේ සිහියෙන් යුක්තවූයේ යහපත් නුවණින් යුක්ත වූයේ වෙයි.
සන්තොසො Msdiv 215 “මහරජ, භික්ෂු තෙමේ කෙසේ සතුටු වූයේ වේද?
“මහරජ, භික්ෂු තෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, ආරක්ෂාව ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු සිත් ඇත්තේවේ. ඔහු යම් යම් තැනකට යේ නම් අටපිරිකර (කය පිළිබඳවූ දේ) පමණක් ගෙන යයි. මහරජ, යම් සේ පක්ෂියෙක් යම් තැනෙක පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, මහරජ, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය ආරක්ෂාවට ප්‍රමාණවූ සිවුරෙන්ද බඩ ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු වන්නේ වේ. ඔහු යම් තැනක යා නම් අටපිරිකර පමණක් රැගෙණ බැහැර යයි. මහරජ, මෙසේවූ භික්ෂු තෙමේ සන්තෝෂයෙන් යුක්ත වේ.
නීවරණප්පහානං Msdiv 216 “උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, මේ උතුම්වූ සන්තෝෂයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, කඳු පලාත්ද, කඳුරැලි ගල්ගුහාවන් හෝ මහා මගද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තණ ගුහාද යන මේ ස්ථාන ආශ්‍රය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළැක්කේ. පර්යංකය බැඳ කකුල් අකුලුවා හිඳ ශරීරයේ උඩු කොටස කෙලින් තබා නිවණෙහිම සිත එලවා, ඒ නිවණම අරමුණු වසයෙන් සිත ඉදිරියෙහි පිහිටුවාගෙණ හිඳී.
Msdiv 217 “ඔහු ලොකයෙහි ලොභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලොභ සිත වෙන් කොට පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රොධය පහකොට ක්‍රොධයෙන් දුරුවූ සිත් ඇතිව පණඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේව වාසයකරයි. ක්‍රොධ දොෂයෙන් වෙන්ව සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරුකොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ පිරිසිදු හැඟීම් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේ. අලස බව දුරුකොට සිත පිරිසිදු කෙරේ. උඩඟු බව හා කුකුස දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, සිත උඩඟු බව හා කුකුසෙන් පිරිසිදු කෙරේ. විචිකිච්ඡාව සැකය දුරුකොට පහකළ විචිකිච්ඡා ඇත්තේ කුශලධර්ම විෂයෙහි සැක නැතිව වෙසේ; විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.
Msdiv 218 “මහරජ, යම්සේ පුරුෂයෙක් ණය ගෙණ කර්මාන්තයන්හි යොදන්නේද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණුවන්නාහු නම් ඔහුගේ ඒ පරණ ණය මුදල් සියල්ලම ගෙවන්නේය. ඔහුගේ අඹුදරුවන් ආරක්ෂා කරණ පිණිස වැඩි යමක් ඉතුරු වූයේ නම් ඕහට මෙබඳු අදහසක් ඇතිවේ. ‘මම පළමුවෙන් ණය ගෙණ කර්මාන්තයන්හි යෙදුවෙමි. ඒ මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. ඒ මම පැරණි ණය ගෙවූයෙමි. අඹුදරුවන් පොෂ්‍ය කිරීම පිණිස අතිරේක මුදලක්ද මට ඇත්තේය, කියායි. හෙතෙම ඒ ණය නැති බව මුල්කොට ගෙණ බලවත් සතුටක් ලබන්නේය. සතුටටද පැමිණෙන්නේය.
Msdiv 219 “මහරජ, යම්සේ රෝගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩි ගිලන්බව ඇති පුරුෂයෙක් වන්නේද, ඕහට ආහාර රුචි නොවන්නේද, ඔහුගේ ශරීරයෙහි කිසි ශක්තියක් නැත්තේද වෙයි. ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට ආහාර රුචිය ඇති වන්නේ නම්, ඔහුගේ ශරීර බලය ඇති වන්නේ නම්, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. කෙබඳුද යත්: ‘මම පෙර ආබාධ ඇත්තාවූ, දුක් ඇති, දැඩි ගිලන් බව ඇති කෙනෙක් වීමි. මට බත් රුචියද නොවීය, ශරීර බලයද නැතිවිය, ඒ මම පළමු තිබූ ආබාධයෙන් මිදුනෙමි. මට ආහාර රුචියද ඇත්තේය. කාය බලයද තිබේය’ කියායි. ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය, සොම්නසටද පැමිණෙන්නේය.
Msdiv 220 “මහරජ, යම්සේ පුරුෂයෙක් සිරගෙයි බැඳුනේ වේද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය. ඔහුගේ කෑම පිළිබඳ කිසිත් වියදමක්ද නොවන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: මම පෙර සිරගෙයි බැඳුනෙක් වූයෙමි. ඒ මම දැන් පීඩා රහිතව සැපසේ ඒ සිරගෙයින් මිදුනෙමි. මගේ කෑම පිළිබඳ කිසි වියදමක්ද නොවූයේය’ කියායි. ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය. සතුටට පැමිණෙන්නේය.
Msdiv 221 “මහරජ, යම් සේ සිය කැමැත්තෙන් යමක් කරන්ට නොහැකි අනුන්ට යටත්වූ තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකි, වැඩකරුවෙක් වන්නේද, ඔහු පසු කලක ඒ දාසභාවයෙන් මිදෙන්නේ, තමාම අධිපතිකොට ඇත්තේ, අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ, සිය අදහස් පරිදි ඒ ඒ තැන යා හැකි වන්නේද, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: මම පෙර සිය කැමැති පරිදි යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත් මා අදහස් පරිදි කිසි තැනෙක යානොහැකි දාසයෙක් වීමි. ඒ මම දැන් ඒ දාස භාවයෙන් මිදුනෙක්මි. තමා අධිපති කොට ඇත්තෙක් වීමි. අනුන්ට යටත්නූන කෙනෙක් වීමි. අනුන්ට යටත් නොව මා සපයාගත් දෙයින්ම යැපෙන්නෙම්, මා අදහස් පරිදි ඒ ඒ කැමති තැනෙක යා හැක්කේද වෙමි’යි කියායි. ඔහු ඒ දාසභාවයෙන් මිදීම හේතුකොට බලවත් සතුටක් ලබන්නේය. එසේම සතුටටද පැමිණෙන්නේය.
Msdiv 222 “මහරජ, යම්සේ ධනවත්වූ භොග සම්පත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභවූ, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේද, ඔහු මද කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොරසතුරන්ගෙන් පීඩා නැති ගම්මානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේද, ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. එනම්: මම පෙර ධනවත් වූයෙම්. භොග සම්පත් සහිත වූයෙම්. දුර්ලභ භික්ෂා ඇති භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණියෙක් වූයෙමි. එසේවූ මම දැන් එම කාන්තාර මාර්ගය පසුකෙළෙමි. සැපවත්වූ භය රහිතවූ, ගමකට සැපසේ ක්‍රමයෙන් පැමිණියෙමි’යි කියායි. ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතර කිරීම නිමිති, කොට බලවත් සතුටක් ලබන්නේය, එසේම සතුටටද පැමිණෙන්නේය.
Msdiv 223 “මහරජ ණය යම්සේද, රෝගය යම්සේද, හිරගේ යම්සේද, දාසභාවය යම්සේද, දීර්ඝ කාන්තාර මාර්ගය යම්සේද, එපරිද්දෙන් භික්ෂු තෙමේ පහනොකළ (පඤ්චනීවරණ) කුසල් වලක්වන කරුණු පහ තමා කෙරෙහි ලා නුවණින් දකී.
Msdiv 224 මහරජ, ණය නැති බව යම්සේද, නිරෝගී බව යම්සේද, සිරගෙන් මිදීම යම්සේද, අනුන්ට යටහත් නැති බව යම්සේද, භය නැති භූමිය යම්සේද, එපරිද්දෙන්ම මහරජ, භික්ෂු තෙමේ පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමන් තුළ ලා දක්නේය.
Msdiv 225 “පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නාවූ ඒ භික්ෂුහට සතුටු ආකාරය උපදී. සතුටු වුවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසහගත සිත් ඇත්තහුගේ නාම කය (වේදනාදී ස්කන්ධ හතර) සංසිඳෙයි සංසිඳිනු කය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට (එකඟ බවට) පැමිණෙයි.
පඨමජ්ඣානං Msdiv 226 “ඒ භික්ෂු තෙමේ වස්තුකාම ක්ලෙශකාම යන්ගෙන් වෙන් වූයෙමි, අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන් වූයේම අරමුණෙහි සිත පැමිණෙවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැපකොට ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදීම් වසයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරේ. ඔහු විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ (සකල) ශරීරයම සැපවත් කෙරෙයි. සම්පූර්ණයෙන් පුරවයි. සැමතින්හි පතුරවයි. ඒ ඔහුගේ පළමුවෙනි විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් සකල ශරීරයෙහිම පළමුවෙනි ධ්‍යානයෙන් යුත් සැපය පැතිරෙයි.
Msdiv 227 “මහරජ, යම්සේ දක්ෂවූ ස්නාන ද්‍රව්‍ය සපයන්නෙක් හෝ ඔහුගේ අතවැස්සෙක් හෝ ස්නානයට ගන්නාවූ සුණු ලොහ තලියක බහා දිය ඉසිමින් අතින් අනමින් පිඩු කරන්නේද, එවිට ඒ මේ ස්නාන කුඩුගුලිය දියෙන් යුක්ත වේ, ජලය හාත්පසින් කාවැදුනේ වේ. එහි ඇතුළත හා පිටතද සියලු තන්හිම ජලයෙන් පහස්නා ලද්දේ වේ. එහෙත් බින්දු වශයෙන් ජලය ඉන් නොවැගිරේද. “මහරජ, එපරිද්දෙන් ඒ භික්ෂු තෙමේ, විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ ශරීරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සැමතන්හි පතුරුවයි. ඔහුගේ සියලු ශරීරයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් පැතිරෙයි. මහරජ, මෙයද මේ ආත්මයෙහි දැක්කයුතු විපාක ඇත ඵලයකි. මෙය ඉහතකී මේ ආත්මභාවයෙහි දැකිය යුතු විපාක ඵලයන්ට වඩා බොහෝ මනොඥය, බොහෝ ශ්‍රෙෂ්ඨද වෙයි.
දුතියජ්ඣානං Msdiv 228 “මහරජ, නැවතද භික්ෂු තෙමේ අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම යන මොවුන්ගේ සන්සිඳීමෙන් අද්ධ්‍යාත්මයෙහි මනා පැහැදීම කරන්නාවූ, සිත පිළිබඳ එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කරයි. ඒ මහණ තෙමේ මේ කය සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් තෙමයි. හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, හාත්පසින් ස්පර්ශකරයි. ඒ මහණහුගේ සියලු ශරීරයෙහි දෙවැනි ධ්‍යානයෙන් සැප පැතිරේ.
Msdiv 229 “මහරජ, යම්සේ ඇතුළතම හටගත් ජලය ඇති දියවිලක් වේද ඒ විල පිළිබඳ පෙර දිගින්ද, අපර දිගින්ද, උතුරු දිගින්ද, දකුණු දිගින්ද, දිය එන මගක් නැත්තේ වේද වැස්සද කලින් කල මනාසේ වැසි වැසීම් නොකරන්නේද, එසේවූ ඒ විලෙන් සිහිල් දිය දහර පොළොව බිඳ නැගී ඒ මුලු විලම සිහිල් දියෙන් පතුරුවයි, හාත්පසින් වගුරුවයි, සම්පූර්ණයෙන් පුරවයි. එහි හැම තැන දියෙන් ස්පර්ශ කෙරෙයි. ඒ සියලු විලෙහි සීත ජලය නොපැතිර පවත්නා තැනක් නම් නැත්තේය. මහරජ, එපරිද්දෙන් මේ භික්ෂු තෙමේ මේ මුලු ශරීරයම සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් සියලු තැන පතුරුවන ලද්දක් කෙරේ, ප්‍රීති සැපයෙන් හාත්පසින් වගුරුවයි, සම්පූර්ණයෙන් පුරවයි, ඉන් සැමතැනම ස්පර්ශ කෙරෙයි. ඒ මහණහුගේ සම්පූර්ණ ශරීරයෙහි දෙවෙනි ධ්‍යාන සැපයෙන් පැතිරෙයි.
“මහරජ, මෙයද මේ ආත්මභාවයෙහි දැක්ක යුතු විපාක ඵලයෙකි, මෙය වනාහි ඉහතකී මේ ආත්මභාවයෙහි දැක්කයුතු විපාක ඵලයන්ට වඩා මනොඥය, බොහෝසේ ශ්‍රෙෂ්ඨය.
තතියජ්ඣානං Msdiv 230 “නැවතද මහරජ, ඒ භික්ෂු තෙමේ ප්‍රීතියෙහි නො ඇල්මෙන් මැදහත් බැව් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව (උපේක්ෂා) සැප දුක් දෙකට මැදහත් විඳීම ඇත්තේ, සිහි ඇත්තේය. සැපයෙන් විසීම ඇත්තේයයි ආර්යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ භික්ෂු තෙමේ මේ සියලු තැන පැතිර පවත්නා සැප ඇත්තක් කෙරේ. ඒ සැපතින් හාත්පසින් තෙමෙයි, සම්පූර්ණයෙන් පුරවයි, එයින් සැතැනම පැතිරෙයි. ඒ භික්ෂුහුගේ සියලු ශරීරයෙහි තුන්වැනි ධ්‍යාන සැපයෙන් පැතිරෙයි.
Msdiv 231 “මහරජ, යමසේ නිල්මානෙල් විලක හෝ සුදු නෙලුම් විලක හෝ රතු නෙලුම් විලක හෝ දියෙහි හටගත්, දියෙහි වැඩුනු දියෙන් උඩට නොනැගුනු, දියතුළම ගැලී වැඩෙන්නාවූ සමහර නිල් මානෙල් හෝ සමහර සුදු නෙලුම් හෝ සමහර රත් නෙලුම් හෝ වෙද්ද, ඒ නිල් මානෙල් ආදීහු අග දක්වාත්, මුල දක්වාත්, සිහිල් ජලයෙන් තෙමුනාහු, හාත්පසින් තෙමුනාහු, සම්පූර්ණයෙන් වැගුරුණාහු, හාත්පසින් ස්පර්ශ ලද්දාහු වෙත්ද, ඒ නිල්මානෙල් සුදු නෙලුම් රත් නෙලුම්, යන මොවුන්ගෙන් එකකුත් ජලයෙන් නො පහස්නා ලද්දේ නොවේද මහරජ, එපරිද්දෙන් ඒ භික්ෂු තෙමේ මේ මුලු ශරීරයම දුරුකළ ප්‍රීතිය ඇති සැපයෙන් සියලු තැන පැතිර පවත්නා සැප ඇත්තක් කෙරෙයි, ඉන් හාත්පසින් තෙමෙයි, සම්පූර්ණයෙන් පුරවයි. හාත්පසින් ස්පර්ශ කෙරෙයි. ඔහුගේ සම්පූර්ණ ශරීරයෙහි ප්‍රීතිනැති තුන්වැනි ධ්‍යානයෙන් පැතිරයයි.
‘මහරජ, මේ ආත්මභාවයෙහි දැක්කයුතු මෙකී විපාක ඵලයද ඉහතකී මේ ආත්ම භාවයෙහි දැක්කයුතු විපාක ඵලයන්ට වඩා බොහෝසේ මනහර වෙයි, බොහෝසේ ශ්‍රෙෂ්ඨද වෙයි.
චතුත්ථජ්ඣානං Msdiv 232 “නැවතද මහරජ, ඒ මහණ තෙමේ සැප දුරුකිරීමෙන්, දුක් දුරු කිරීමෙන්ද පළමුකොටම සැප දුක් වේදනා නැතිව යාමෙන් දුක්ද නොවූ, සැපද නොවූ, උපෙක්ඛා-සති යන මොවුන්ගේ පිරිසිදු බැව් ඇති, හතරවෙනි ධ්‍යාන (කුසල) චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ මහණ තෙමේ මේ සකල ශරීරයම, පිරිසිදුවූ, අතිශයින් බබලන (ධ්‍යාන) සිතින් පතුරුවන්නේය. ඒ ධ්‍යානලාභී භික්ෂූහුගේ සම්පූර්ණ ශරීරයෙහි පිරිසිදුවූ, අතිශයින් බබලන්නාවූ හතරවැනි ධ්‍යාන සිතින් පැතිරයයි.
Msdiv 233 “මහරජ, යම්සේ කිසියම් පුරුෂයෙක් පිරිසිදුවූ සුදු ඇඳුමකින් හිස සිට පොරවා උන්නේ වේද, ඔහුගේ මුලු ශරීරයෙහි එකම තැනකුදු සුදුවතින් නොවසන ලද්දේ නොවේ. මහරජ, එපරිද්දෙන්ම ධ්‍යානලාභී භික්ෂු තෙමේ මේ සියලු ශරීරයම පිරිසිදුවූ, අතිශයින්ම බබලන්නාවූ හතර වැනි ධ්‍යාන සිතින් පතුරවා හුන්නේ වේ. ඒ භික්ෂුහුගේ සියලු ශරීරයෙහි පිරිසිදුවූ, බබලන්නාවූ හතර වැනි ධ්‍යාන සිතින් පැතිරයයි. (සතර වැනි ධ්‍යාන චිත්තයෙන් සකල ශරීරයම පතුරුවන ලද්දේය කී සේයි.)
“මහරජ, මේ ආත්මභාවයෙහි දැක්කයුතු මෙකී විපාක ඵලයද ඉහතකී ඵලයන්ට වඩා අතිශයින් මනහරයි බොහෝසේ ශ්‍රෙෂ්ඨයි.
විපස්සනාඤාණං Msdiv 234 “නැවතද, මහරජ, ඒ භික්ෂු තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය ඉපදවීම පිණිස සිත එලවා තබයි. ඒ සඳහා වෙසෙසින් සිත නමයි. ඔහු මෙසේ දැනගණි. ‘මාගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්තය. *සතර මහාභූතයන්ගේ හේතුවෙන් හටගත්තේය. මව්පියන් නිසා හටගත්තේ. ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය. ඇඟ ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාශය යන මේ දේ, ස්වභාවකොට ඇත්තේය. මාගේ මේ විඤ්ඤාණය ශරීරය ආශ්‍රය කෙරේ. මෙහිම බැඳුනේ වෙයි, කියායි.
* පස, ජලය, ගින්න, සුලඟ
Msdiv 235 “මහරජ, යම්සේ යහපත්වූ, පිරිසිදු ආකාරයෙන් උපන්නාවූ, අටැස්වූ, ගල් ආදී දොස් බැහැර කිරීමෙන් හොඳ ලෙස සකස් කරණ ලද්දාවූ, නිර්මලවූ විශේෂයෙන් ප්‍රසන්නවූ, කැලැල් නැතිවූ, සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, වෛඪූර්ය මැණිකක් වේද, එහි නිල්වූ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණන ලද්දේ, ඒ මේ මැණික ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙණ මෙසේ සලකා බලන්නේය: ‘මේ වෛඪූර්ය මැණික මනාසේ කාන්තිමත් හෙයින් යහපත් වේ, පිරිසිදු ආකරයෙන් උපන්නේය, අටැස් ඇත්තේය, දොස් දුරුකිරීමෙන් මනාකොට සකස් කරණ ලද්දේය, නිර්මලය, විශෙෂයෙන් ප්‍රසන්නය, කැලැල් නැත, සියලු ආකාරයෙන් සම්පූර්ණය. ඒ මැණිකෙහි මේ නීලවර්ණවූ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණනලද්දේය, කියායි.
“මහරජ, එපරිද්දෙන්ම යෝගීවූ මේ භික්ෂු තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇතිවූ කල්හි මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය පිණිස සිත එලවා තබයි, ඒ සඳහා විශෙෂයෙන් සිත නමයි. ඒ භික්ෂු තෙමේ මෙසේ දන්නේය, කෙසේද යත්: ‘මාගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්තවේ. සතර මහාභූතයන්ගෙන් හටගත්තේය, මව්පියන් නිසා හටගත්තේය. ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය, ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාශය යන මේ ස්වභාවකොට ඇත්තේය. මාගේ මේ විඤ්ඤාණය මේ ශරීරය ආශ්‍රය කෙළේ වෙයි, මෙහිම බැඳී සිටියේය’ කියායි.
“මහරජ, මේ ආත්ම භාවයේදී දැක්ක යුතු මෙකී විපාක ඵලයන්ද, ඉහතකී මේ ආත්ම භාවයේදී දැක්ක යුතු විපාක ඵලයන්ට වඩා බොහෝ සේ මනොඥය, බොහෝ සේ ශ්‍රෙෂ්ඨද වෙයි.
මනොමයිද්ධිඤාණං Msdiv 236 “ඔහු මෙසේ ධ්‍යානයෙන් සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් නැතිවූ කල්හි, ක්ලෙශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, නො සැලෙන බවට පැමිණි කල්හි, මනොමයවූ රූපයක් මනා කොට නිපදවීම පිණිස සිත එලවා තබයි, වෙසෙසින් නමයි. ඔහු ආකාරවත්වූ, මනොමයවූ (ධ්‍යාන සිතින් නිපදවනලද) ශරීරය හා අත පය ආදී අවයව ඇති, විකලනුවූ ඉඳුරන් ඇති, මේ ශරීරයෙන් අන්‍යවූ ශරීරයක් හොඳ ලෙස සාදයි.
Msdiv 237 “මහරජ, යම්සේ පුරුෂයෙක් මුදු තණ ගසින් තණබඩය උදුරා ගැනීම කරන්නේද, මේ තණ ගසය, මේ තණ බඩය, තණගස අනිකෙක, තණබඩය අනිකෙක, තණ ගසින්ම තණබඩය ඇදගන්නා ලද්දේය, තනන ලද්දේය යන වැටහීම ඕහට පහල වන්නේය.
“මහරජ, යම්සේ පුරුෂයෙක් කඩුව කොපුවෙන් ඉවත් කරන්නේද ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මේ කඩුවය, මේ කොපුවය, කඩුව අනිකෙක, කොපුව අනිකෙක, කොපුවෙන් කඩුව ඉවත්කරණ ලද්දේය’ කියායි.
“මහරජ, යම් පුරුෂයෙක් සර්පයෙකු සැවයෙන් පහ කරන්නේද ඕහට මේ සර්පයාය, මේ සැවය, සර්පයා එකෙකි. සැව අනිකකි, සැවයෙන් සර්පයා වෙන්කරණ ලද්දේයි වැටහීමක් ඇතිවන්නේය.
“මහරජ, එසේම භික්ෂුතෙමේ මෙසේ සිත සමාධිගතවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සිතින් උපදවන කය මැවීම පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට ඊට නමයි. ඔහු මේ කයින් රූ ඇති, සිතින් මවනලද, සියලු ශරීරය සහ අතපය ආදී අවයව ඇති, නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති වෙන කයක් මවයි. මහරජ, මෙයද පෙර කියන ලද මේ ආත්මයෙහිවූ භික්ෂූන් විසින් ලැබිය යුතු විපාක ඵලයන්ට වඩා උතුම්වූද බොහෝසේ මිහිරිවූද, භික්ෂුන් විසින් ලැබියයුතු විපාක ඵලයක් වෙයි.
ඉද්ධිවිධඤාණං Msdiv 238 “ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි නැවතීමට පැමිණි කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, ඍද්ධිවිධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු නොයෙක් අයුරු ඇති ඍද්ධිවිධි වෙන් වෙන් කොට අනුභව කෙරෙයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝ සේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට පර්වතය හරහට නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පරියන්කයෙන් හිඳගෙනම යෙයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹ ලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි.
Msdiv 239 “මහරජ, දක්ෂ කුඹල්කරුවෙක් හෝ කුඹල්කරු අතවැසියෙක් හෝ යහපත් සේ පදම්කළ මැටියෙන් කැමති කැමති වලන් ආදී වර්ගයන් යම්සේ කරන්නේද, නිපදවන්නේද, මහරජ, දළ කැටයම් කරුවෙක් හෝ අතවැසියෙක් හෝ සකස්කළ දළයෙහි යම්සේ කැමති කැමති දළ කැටයම් වර්ගයක් කරන්නේද, නිපදවන්නේද, මහරජ, දක්ෂ රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ පදම්කළ රණින් කැමති කැමති රන් අබරණ ජාතීන් යම්සේ කරන්නේද, නිපදවන්නේද- මහරජ, එසේම භික්ෂුව සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, ඍද්ධි විධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ නොයෙක් ඍද්ධි විධි වෙන් වෙන් කොට අනුභව කෙරෙයි. එකෙක්ව බොහෝ සේ වෙයි, බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට අහසෙයි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වත හරහට නොහැපෙමින් යෙයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යෙයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව කෙරෙයි.
“මහරජ, මෙයද මේ ආත්මයෙහිවූ, පෙර කියනලද භික්ෂූන් විසින් ලැබිය යුතු ඵලයන්ට වඩා උතුම්වූද, බොහෝ සේ මිහිරිවූද භික්ෂූන් විසින් ලැබියයුතු ඵලයෙක් වෙයි.
දිබ්බසොතඤාණං Msdiv 240 ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, දිව්‍ය කණ සම්බන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඒ භික්ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍ය කණ සම්බන්ධ ඥාණයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ්දයන් අසයි.
Msdiv 241 “මහරජ, දික් මගට පැමිණි පුරුෂයෙක් බෙර කඩද මහිඟු බෙර හඬද, සක්, පණාබෙර, ගැටබෙර හඬද, යම්සේ අසාද, ඔහුට මේ බෙරහඬ යයිද, මිහිඟු බෙරහඬයයිද, සක්, පණාබෙර, ගැටබෙර හඬයයිද සිතෙන්නේය. මහරජ, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, දිව්‍ය කන සම්බන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට ඊට නමයි. ඔහු මෙසේ මිනිස් කණ ඉක්මවූ දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද දෙයාකාර ශබ්දයන් අසයි.
“මහරජ, මෙයද භික්ෂූන් විසින් ලැබියයුතු පෙර කියන ලද ඵලයන්ට වඩා උතුම්වූද, මිහිරිවූද, මේ ආත්මයෙහි භික්ෂූන් විසින් ලැබිය යුතු ඵලයෙකි.
චෙතොපරියඤාණං Msdiv 242 “ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුවූ කල්හි, ස්ථිර බවට පැමිණි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පර සිත් දැනගන්නා ඤාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සිතයයි දනියි. රාගය පහවූ සිත රාගයෙන් තොරවූ සිතයි දනියි. ද්වෙෂ සහිත සිත දොස සිතයයි දනියි ද්වෙෂය පහවූ සිත ද්වෙෂයෙන් තොරවූ සිතයයි දනියි. මොහ සහිත සිත මොහ සිතයයි දනියි, මොහය පහවූ සිත මොහයෙන් තොරවූ සිතයයි දනියි. හැකුලුනු සිත හැකුලුනු සිතයයි දනියි, විසුරුණු සිත විසුරුණු සිතයයි දනියි මහත් බවට ගිය සිත, මහත් බවට ගිය සිතයයි දනියි. මහත් බවට නොගිය සිත, මහත් බවට නොගිය සිතයයි දනියි. කාම සහිත සිත, කාම සිතයයි දනියි. ලෞකික හිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනියි. සමාධිගතවූ සිත සමාධිගත සිතයයි දනියි, සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනියි, (ක්ලෙශයෙන්) මිදුනු සිත, මිදුනු සිතයයි දනියි. නොමිදුනු සිත නොමිදුනු සිතයයි දනියි.
Msdiv 243 “මහරජ, සැරසෙන ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් හෝ ලමාවයසෙහි සිටියෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු, නොකිළිටි කැඩපතෙක හෝ පිරිසිදු දිය භාජනයෙක්හි හෝ තමාගේ මූනේ ශොභාව පරීක්ෂා කරන්නේ යම්සේ කැලල් සහිත නම් කැලල් සහිතයයි දැනගනියිද කැලල් රහිත නම් කැලල් රහිතයයි දැනගනියිද,
“මහරජ, එසේම භික්ෂුතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පරසිත් දැනගන්නා ඤාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුත්ගලයන්ගේ සිත (තමන්ගේ) සිතින් දැන ගනියි. රාග සිත රාගසිතයයි දනියි. රාගයෙන් තොරවූ සිත රාගයෙන් තොරවූ සිතයයි දනියි. දොස සිත දොස සිතයයි දනියි. දොසයෙන් තොරවූ සිත දොසයෙන් තොරවූ සිතයයි දනියි. මොහසිත මොහ සිතයයි දනියි, මොහයෙන් තොරවූ සිත මොහයෙන් තොරවූ සිතයයි දනියි. හැකුලුණු සිත හෝ විසුරුණු සිත හෝ මහත් බවට ගිය සිත හෝ මහත් බවට නොගිය සිත හෝ කාම සහිත සිත හෝ අනුත්තර සිත හෝ එකඟවූ සිත හෝ එකඟ නොවූ සිත හෝ දනියි. මිදුණු සිත හෝ මිදුණු සිතයයි දනියි. නොමිදුණු සිත හෝ නොමිදුණු සිතයයි දනියි.
“මහරජ, මෙයද භික්ෂූන් විසින් ලැබිය යුතු පෙර කියන ලද ඵලයන්ට වඩා උතුම්වූද, අතිශයින් මිහිරිවුද, මේ ආත්මයෙහි ලැබෙන, භික්ෂූන් විසින් ලැබිය යුතු ඵලයෙකි.
පුබ්බෙනිවාසානුස්සතිඤාණං Msdiv 244 “හේ තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ, කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට (ඊට) නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේද යත්: ‘එක් ජාතියක්ද, දෙ ජාතියක්ද, තුන් ජාතියක්ද, හතර ජාතියක්ද, පස් ජාතියක්ද, දස ජාතියක්ද, විසිජාතියක්ද, තිස් ජාතියක්ද, සතළිස් ජාතියක්ද, පණස් ජාතියක්ද, සියක් ජාතියක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙමි, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙමි; එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි.
Msdiv 245 “මහරජ, පුරුෂයෙක් යම්සේ තම ගමන් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් තමන්ගේ ගමට එන්නේද, ‘මම, සිය ගමින් අසුවල් ගමට ගියෙමි, එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. එගමිනිදු අසවල් ගමට ගියෙමි, එහිද මෙසේ සිටියෙමි. මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. ඒ මම ඒ ගමින් සිය ගමට පැමිණියෙමි’යි හෙතෙම දන්නේය.
“මහරජ, එපරිද්දෙන්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහි කිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ නොයෙක් පෙරවිසීම් සිහි කෙරෙයි. කෙසේද යත්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් කල්ප විස්සකින් යුත් කල්පයන්ද, නොයෙක් කල්ප රාශියකින් යුත් කල්පයන්ද, නොයෙක් කල්පයන්ද, අසුවල් තැන වීමි. මෙ බඳු නම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සැප දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි; එහිදු මෙනම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුව දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිත, පෙරවිසූ පිළිවෙළ දැක්වීම් සහිත, නොයෙක් ආකාරවූ පෙර විසීම් සිහි කෙරෙයි.
“මහරජ, මෙයද මේ ආත්මයෙහි භික්ෂූන් විසින් ලැබිය යුතු පෙර කියනලද ඵලයන්ට වඩා උතුම්වූද, අතිශයින් මිහිරිවූද, භික්ෂූන් විසින් ලැබිය යුතු ඵලය වෙයි.
දිබ්බචක්ඛුඤාණං Msdiv 246 “ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශ පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ මරණින් පසු උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසුදුවූ, මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී, පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොව ගියාවූද නරකලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්ත්වයන් දනී. ‘මේ පින්වත් සත්ත්වයෝ ශරීර දුශ්චරිතයෙන් යුක්තය, වචන දුශ්චරිතයෙන් යුක්තය, හිතේ දුශ්චරිතයෙන් යුක්තය උත්තමයන්ට බණින්නෝය, මිථ්‍යදෘෂ්ටිකයෝය. මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන් වූවෝය. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ, නිරයට පැමිණෙත්. නැතහොත්, මේ පින්වත් සත්ත්වයෝ ශරීර සුචරිතයෙන් යුක්තය, වචන සුචරිතයෙන් යුක්තය, හිතේ සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබණින්නේය, සත්‍ය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. මරණින් මතු යහපත් පැමිණිමවූ, ස්වර්ග ලොකයට පැමිණියෝය’යි මෙසේ පිරිසුදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද, හොඳ ලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී.
Msdiv 247 “මහරජ, යම්සේ පාරේ හන්දියක ප්‍රාසාදයක් වේද, එහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට ඇතුල්වෙන, ගෙයින් නික්මෙන, වීථියෙහි හැසිරෙණ පාර හන්දියේ හිඳින මනුෂ්‍යයන් දක්නේද, ඔහුට මෙසේ සිතෙයි: ‘මේ මිනිස්සු ගෙට ඇතුළු වෙති. මොහු නික්මෙති. මොහු වීථියෙහි හැසිරෙති, මොහු පාර හන්දියේ ඉඳිති’යි කියායි. මහරජ, එසේම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, සිත ඉදිරිපත් කොට නමයි. හේ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී: මේ පින්වත් සත්වයෝ ශරීර දුශ්චරිතයෙන් යුක්තය, වචන දුශ්චරිතයෙන් යුක්තය, හිතේ දුශ්චරිතයෙන් යුක්තය, උත්තමයින්ට බණින්නෝය, මිථ්‍යාදෘෂ්ටිකයෝය, මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන් වූවෝය. ඔවුහු ශරීරයෙන් වෙන්ව, මරණින් මතු අපායවූ දුර්ගතියවූ, දුකවූ, නිරයට පැමිණෙත්.’ නැතහොත්, මේ පින්වත් සත්වයෝ ශරීර සුචරිතයෙන් යුක්තය, වචන සුචරිතයෙන් යුක්තය, හිතේ සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබනින්නෝය. සත්‍යය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. ශරීරයෙන් වෙන්ව මරණින් මතු සුගතියවූ, ස්වර්ග ලෝකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී: පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද සුගතියට පැමිණියාවූද දුර්ගතියට පැමිණියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී.
“මහරජ, මෙයද මේ ආත්මයෙහිවූ භික්ෂූන් විසින් ලැබියයුතු පෙර කියන ලද ඵලයන්ට වඩා උතුම්වූද අතිශයින් මිහිරිවූද මේ ආත්මයෙහිවූ භික්ෂු භාවයේ ඵලයෙකි.
ආසවක්ඛයඤාණං Msdiv 248 “ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදු කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන භාවයට පැමිණි කල්හි සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයි තතුලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හෙතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මේ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගණී, මේ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගණී, මේ ඒ කෙලෙස් නැතිකිරීමයයි තතු ලෙස දැනගණී, මේ ඒ කෙළෙස් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන්ද මිදේ, සංසාරයට (භවයට) ඇති ආශාවන් කෙරෙන්ද සිත මිදේ, දැඩි මෝහය කෙරෙන්ද සිත මිදේ මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය උතුම් හැසිරීමෙහි වසන ලදී. කටයුත්ත කරණලදී, මේ ආත්ම භාවයෙන් පසු අනික් ආත්ම භාවයක් නැතැ’යිද දැනගණී,
Msdiv 249 “මහරජ, යම්සේ පර්වත මුදුනක පිරිසිදු, සිත් සතුටු කරන නොකැළඹුනු, දිය විලක් වේද, එහි ඉවුරේ ඇස් ඇති පුරුෂයෙක් සිටියේ නැවතී තිබෙන්නාවූ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැබලිති කැටද, එහා මෙහා යන්නාවූ මසුන් රෑන්ද, දක්නේද, ඔහුට මෙසේ සිතෙන්නේය: ‘මේ දිය විල පිරිසිදුය, මනා සිත් ප්‍රිය කරන්නේය, නොකැළඹුනේය. එහි මේ සිප්පි බෙල්ලන් සක් බෙල්ලන්ද, කැටකැබලිතිද නැවතී තිබේ. මසුන් රෑන් හැසිරෙත්ය’ කියායි මහරජ, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, බොහෝ කල් සිට එන ක්ලෙශයන් නැතිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හෙතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක්නැතිකිරීමේ මාර්ගයයි තතුලෙස දැනගනී. මේ කෙලෙස් යයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් හේතුයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන්ද මිදේ. භවයට ඇති ආශාවන් කෙරෙන්ද මිදේ, මෝහය කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය, උතුම් හැසිරීමෙහි වසනලදී, කටයුත්ත කරනලදී. මේ ආත්ම භාවයෙන් පසු අනික් ආත්ම භාවයක් නැතැ’යිද දැනගණී.
“මහරජ, මේ වනාහි මේ ආත්මයෙහිවූ භික්ෂූන් විසින් ලැබිය යුතු පෙර කියනලද ඵලයන්ට වඩා බොහෝ උතුම්වූද, බොහෝ මිහිරිවූද, මේ ආත්මයෙහි භික්ෂූන් විසින් ලැබිය යුතු ඵලයකි. මහරජ, මේ ආත්මභාවයෙහි භික්ෂූන් විසින් ලැබිය යුතු මේ භික්ෂුභාවයේ ඵලයට වඩා බොහෝ උතුම්වූද, බොහෝ මිහිරිවූද, භික්ෂූන් ලැබියයුතු වෙන ඵලයෙක් නැත.
අජාතසත්තුඋපාසකත්තපටිවෙදනා Msdiv 250 මෙසේ වදාළ කල්හි මගධ රට රජවූ වෙදෙහි පුත්‍රවූ අජාසත් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය, “ස්වාමීනි, ඉතාම යහපති, ස්වාමීනි, ඉතාම යහපති ස්වාමීනි, (යමෙක්) යටිකුරු කරන ලද්දක් යම්සේ උඩුකුරු කරන්නේද, වැසුමක් එලිදරව් කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේද, එලෙසින්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය දේශනා කරණ ලද්දේය. ස්වාමීනි, (ඒ ඇසූ) මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණකොට ගණිමි. අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයෙකු කොට භාග්‍යවතුන් වහන්සේ මා සලකන සේක්වා බාලයෙකු මෙන්ද, අනුවණයෙකු මෙන්ද, අදක්ෂයකු මෙන්ද මම වරදට අසුවූයෙමි. ඒ මම ධාර්මිකවූ, ධර්මයෙන් යුත් රජෙකුවූ, මාගේ පියා සම්පත් ලොභ හෙතුවෙන් ජීවිතයෙන් තොර කෙළෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද මත්තෙහි සංවරණය පිණිස ඒ වරදට මට ක්ෂමා කරණ සේක්වා.”
Msdiv 251 “මහරජ, ඒකාන්තයෙන් බාලයකු මෙන්ද, අනුවණයෙකු මෙන්ද, අදක්ෂයෙකු මෙන්ද, වරද ඔබ ඉක්මවා ගියේය. ඒ වරද නම්, ධාර්මිකවූ ධර්මයෙන් යුත් රජෙකුවූ පියා සම්පත් ලොභ හෙතුවෙන් ජීවිතයෙන් තොර කෙළෙහිය. මහරජ, ඔබ යම් හෙයකින් වරද වරද වසයෙන් දැක ධර්මය ලෙස වරද පිළිගැනීම කෙරෙහි නම් ඔබේ ඒ වරද අපි ඉවසමු. යමෙක් වරද වරද වශයෙන් දැක මත්තෙහි සංවරණයට පැමිණේද, ධර්මය ලෙස වරද පිළිගැනීම කෙරේද, එය උතුම් හැසිරීමෙහි දියුණුවයි.”
Msdiv 252 මෙසේ වදාළ කල්හි මගධරට රජවූ වෙදෙහි පුත්‍රවූ අජාසත් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය. “ස්වාමීනි, දැන් ඉතින් අපියමු. අපි බොහෝ වැඩකටයුතු ඇත්තෝ වෙමු.
“මහරජ, එසේ නම්, ඔබට යාමට සුදුසු කාලය නම් ඒ බව දනුව.”
එකල්හි මගධරට රජවූ වෙදෙහි පුත්‍ර රජාසත් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටුව, ඒ ගැණ ප්‍රීතිව අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ දකුණු පැත්ත ඉදිරියට තිබෙන ලෙස ගෞරවයෙන් ගියේය.
Msdiv 253 එවිට භාග්‍යවත් තෙමේ මගධරට රජවූ වෙදෙහි පුත්‍ර අජාසත් රජ බැහැර ගිය නොබෝ වේලාවකින් භික්ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය. “මහණෙනි, මේ රජ තමන්ම වැනසුනේය, මහණෙනි, මේ රජ තමන්ම නැහුනේය. ඉදින් මේ රජ ධාර්මිකවූ ධර්මයෙන් යුක්ත රජෙකුවූ පියා දිවියෙන් තොර නොකළේ නම් මේ හුනස්නෙහිදීම පිරිසිදුවූ කෙලෙස් මල පහවූ ධර්ම ඇස (සෝවාන් මග) ඔහුට උපදින්නේය.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. සතුටුවූ සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.
දෙවෙනිවූ සාමඤ්ඤඵල සූත්‍රය නිමි.
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source