LibrarySNSN 1.20
SN 1.20~6 min read

With Samiddhi

Samiddhisutta

20
PDFGenerated
01 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 2. නන්‍දන වර්‍ගය 1.20. සමිද්ධි සූත්‍රය Msdiv 20 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ තපෝදාරාමයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් සම්ද්ධි භික්‍ෂුතෙම රෑ අලුයම නැගී සිට තපෝදා දියවිල යම්තැනෙකද එතැනට ඇඟ සේදීම පිණිස පැමිණියේය. තපෝදායෙහි ඇඟ සෝදා ගොඩ අවුත්, එක් සිවුරක් පමණක් ඇකිව ඇඟ තෙත සිඳුවමින් සිටියේය.

එකල්හි එක්තරා දෙවියෙක් රෑ පෙරයම ගෙවුනු කල්හි බබළන පැහැ ඇත්තේ, සියලු තපෝදා පෙදෙස බබුළුවා, ආයුෂ්මත් සමිද්ධි භික්‍ෂුතෙම යම් තැනෙකද එතැන්හි එළඹියේය. එළඹ අහසෙහි සිට ආයුෂමක් සමිද්ධි භික්‍ෂුහට ගාථායෙන් (මෙසේ) කීවේය.

’’භික්‍ෂූන් වහන්ස, ඔබ (කම් සැප) නොවලඳා සිඟා කති. ඔබ (කම් සුව) වලඳා සිඟා නොකති. භික්‍ෂූන් වහන්ස, (පස් කම් සුව) වලඳා (පසුව) සිඟා කන්න. (තරුණ) කාලය ඔබ ඉක්මවා නොයේවා.’’

එවිට ආයුෂ්මත් සමිද්ධි තෙම මෙසේ කීය.) ’’(මැරෙන) කාලය නම් මම නොදනිමි. වැසුණු කාලය නොපෙනේ. එබැවින් (කම් සුව) නොවලඳා සිඟා වලඳමි. කාලය මා ඉක්මවා නොයේවා.’’

එවිට ඒ දෙවිතෙම පොළොවෙහි සිට ආයුෂ්මත් සමිද්ධි භික්‍ෂුහට මෙසේ කීය:

’’භික්‍ෂූන් වහන්ස, ඔබ ළදරු වියෙහිම පැවැදිවූ කෙනෙක, තරුණය, ඉතා කළු කෙස් ඇත්තෝය. යහපත් තරුණ භාවයෙන් හා ප්‍රථම වයසින් සමන්විතයෝය. කාම ක්‍රීඩා නොකළ කෙනෙක. භික්‍ෂූන් වහන්ස, මනුෂ්‍යයන්ට අයත් කම් සැප වැළඳුව මැනව. මෙහි මේ ආත්මයෙහිම වැළඳිය හැකි කම් සැප හැරදමා කල්ගතව ලැබෙන කාම සම්පත් අනුව නොදුවනු මැනව.’’

’’ඇවැත්නි, මම වනාහි මේ ආත්මයෙහි වින්ද හැකි සැපයක් හැර දමා කල්ගතව ලැබෙන සැපයක් පස්සේ නොදුවමි. ඇවැත්නි, මම වනාහි කල්ගතව ලැබෙන සැප හැරදමාමේ ආත්මයෙහිම ලැබිය හැකි සැප පස්සේ දුවමි. ඇවැත්නි, කාමයෝ වූකලී කාලිකයෝය, (කලින්කල ලැබිය යුත්තෝය) බොහෝ දුක් පමුනුවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දෝෂයෝ නම් බොහෝයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මේ ධර්‍මය වනාහි මේ ආත්මයෙහිම තමා ඇස් හමුයෙහි ඵල ඇත්තේය. අකාලිකය, (කල් නොයවා පල දෙන්නේය.) එහිපස්සිකය, (එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය.) ඔපනේයකය (වහා තම සිතට පැමිණවීමට සුදුසුය.) නුවනැත්තන් විසින් තම තමා කෙරෙහි දතයුතුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි’’ (කීය.)

’’භික්‍ෂූන් වහන්ස, කෙසේ නම් කාමයෝ කාලිකයෝය, බොහෝ දුක් සලසන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දොස් බොහෝයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද? කෙසේ නම් (ඔබ කියන) මේ ධර්‍මය අකාලිකයයි, එහිඵස්සිකයයි, ඔපනේයකයයි, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහි දතයුතුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද?’’

ඇවැත්නි, මම වනාහි ළඟදී පැවිදිවූයෙක්මි. මේ ධර්‍ම විනයට අළුත ආයෙක්මි, (එබැවින්) විස්තරකොට කියන්නට නොහැත්තෙමි. අර්‍හත් සම්‍යක්සම්බුද්‍ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වෙසෙති. ඒ භාග්‍යවතුන් වහන්ාස් වෙත එළඹ මෙ නරුණ විචාරව, යම්සේ ඔබට භාග්‍යවතුන් වහන්සේ (මෙය) තෝරා දෙන සේක්ද, එසේ එය සිතෙහි දරාගනු මැනවැ’’ යි කීය.

’’භික්‍ෂූන් වහන්ස, අන් මහේශාක්‍ය දේවතාවන් විසින් පිරිවරනලද ඒ භාග්‍යවතුන් වහන්සේ කරා අප වැන්නවුන්ට පැමිණීම පහසු නොවේ, ඉදින් භික්‍ෂූන් වහන්ස, ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ මෙ කරුණ අසන්නෙහි නම් අපිත් බණ අසන්නට එන්නෙමු,’’

’’එසේය ඇවැත්නි’’ යි ආයුෂ්මත් සමිද්ධි මහණ තෙම ඒ දෙවියාට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක ඉඳගත්තේය. එක් පසෙක උන් ආයුෂ්මත් සමිද්ධි තෙම මෙසේ කීය.

’’ස්වාමීනි, මම රෑ අළුයම්හි නැගී සිට තපෝදා විල යම් තැනෙකද එතැනට ඇඟ සෝදා ගන්නට ගියෙමි. තපෝදායෙහි ඇඟ සෝදා ගොඩවුත් එක් සිවුරක් ඇතිව ඇඟ තෙත සිඳුවමින් සිටියෙමි. ස්වාමීනි, එකල එක්තරා දෙවියෙක් රෑ (පෙරයම ) ගෙවුන කල්හි දිලිසෙන පැහැ ඇත්තේ මුලු තපෝදා විල් පෙදෙස බබුලුවමින් මම් යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, අහසෙහි සිට:

’’භික්‍ෂූන් වහන්ස, ඔබ නොකා හිඟති. කා නො සිඟති. භික්‍ෂූන් වහන්ස, කා ඉන්පසු සිඟන්න. කාලය ඔබ ඉක්මවා නොයේවා’’ යි මේ ගාථායෙන් කීවේය.

’’එසේ කීකල, ස්වාමීනි, මම ඒ දෙවියාට ගාථාවෙකින් ’කාලය මම නොදනිමි. වැසුණු කාලය නොපැනේ. එබැවින් නොකා සිඟමි. කාලය මා නොඉක්මවා’ යි පෙරළා කීමි.

’’ස්වාමීනි, එවිට ඒ දෙවියා පොළොවට බැස සිට, භික්‍ෂූන් වහන්ස, ඔබ ළදරු වියෙහිම පැවිදිවූ කෙනෙක, තරුණය, ඉතා කළු කෙස් ඇත්තෝය, යහපත් තරුණ භාවයෙන්, ප්‍රථම වයසින් යුක්තයෝය, කාම ක්‍රීඩා නොකළ කෙනෙක. භික්‍ෂූන් වහන්ස, මනුෂ්‍යයන් අයත් කම් සැප වැළඳුව මැනව. මේ ආත්මයෙහි වින්දයුතු සැප හැර දමා කල් පසුව ලැබෙන කම් සැප පස්සේ නොදූවන්නැ) යි මට කීවේය.

’’මෙසේ කීකල, ස්වාමීනි, මම ඒ දෙවියාට ’ඇවැත්නි, මම් වනාහි මේ ආත්මයෙහිම වින්දහැකි සැප හැර දමා කල්ගතව ලැබෙන සැප පස්සේ නොදුවමි. මම කාලික සැප හැරලා මේ ආත්මයෙහිම වින්දහැකි සැප පස්සේ නම් දුවමි. ඇවැත්නි, කාමයෝ වූකලී කාලිකයහ, බොහෝ දුක් පමුණවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන

දෙන්නෝය, එහි දොස් බොහෝයයිද, එහෙත් මේ ධර්‍මයතමා ඇස් හමුවෙහි ඵල ඇත්තේය, කල් නොයවා පල දෙන්නේය, එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය, වහා තම සිතට පැමිණවීමට සුදුසුය.න්වණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතසුතුයයිද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදැ’යි කීමි.

’’ස්වාමීනි, මෙසේ මා කී විට, ඒ දෙව් තෙමේ ’කෙසේ නම් කාමයෝ කාලිකය, බොහෝ දුක් පමුණුවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දොස් බොහෝයයිද, එහෙත් මේ ධර්‍මය තමා ඇස් හමුවෙහි ඵල ඇත්තේය, කල් නොයවා පල දෙන්නේය, එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය, වහා තම සිතට පැමිණවීමට සුදුසුය, නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතයුතුයයිද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදැයි’’ ඇසුවේය,

’’ස්වාමීනි, මෙසේ ඔහු කී කල, මම ’ඇවැත්නි, මම නවක වෙමි, ළඟදී පැවිදිවූයෙකිමි, මේ සස්නට අළුත ආයෙකිමි, විස්කරයෙන් කීමට නොහැක්කෙමි. අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වෙසෙති. උන්වහන්සේ වෙත එළඹ, මේ කරුණු විචාරන්න, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ ඔබට මෙය තෝරා දෙන සේක්ද එසේ සිත දරාගන්නැ’ යි කීමි.

’’ස්වාමීනි, මෙසේ කී කල, ’අන් මහේශාක්‍ය දේවතාවන් විසින් පිරිවරනලද ඒ භාග්‍යවතුන් වහන්සේ කරා අප වැන්නවුන් පැමිණීම පහසු නොවේ. ශ්‍රමණයන් වහන්ස, ඉදින් ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, මේ කරුණු අසන්නෙහි නම්, අපිත් බණ අසන්නට එන්නම්හ’ යි ඒ දෙවියා කීවේය. ස්වාමීණි, ඉදින් ඒ දෙවියාගේ කීම සැබෑ නම් ඒ දෙවියා මේ ළඟම ඇතැ’’ යි කීයේය.

මෙසේ කී කල ඒ දෙවියා ’භික්‍ෂූන් වහන්ස, විචාරන්න. භික්‍ෂූන් වහන්ස, විචාරන්න. මේ මම් පැමිණියෙමි’’ යි මේ වචන සමිද්ධි ආයුෂ්මතුන්ට කීවේය.

එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියාට ගාථායෙන් මෙසේ කීහ:

’’සත්ත්‍වයෝ උපාදානස්කන්‍ධ පසෙහි සත්ත්‍ව පුද්ගල ආදී වශයෙන් වරදවා හඳුනනසුලු වෙත්. පඤ්චඋපාදානස්කන්‍ධයෙහි පිහිටියාහු වෙත්. ඔවුහු ඒ උපාදානස්කන්‍ධයන් පිරිසිඳ නොදැන්මෙන් මරහුගේ වසඟයට පැමිණෙත්.

’’එහෙත් (යමෙක්) උපාදානස්කන්‍ධයන් පිරිසිඳ දැන්මෙන් නම් කළ යුතු කිසිවකු නොදක්නේද, එසේවූ ඔහුට ’රාගාදී යමෙකින් මෙතෙම මැඩුනේය’ යි කිසිවෙක් ඔහුට දොස් කිය හැකි නොවේ. යක්‍ෂය එසේවූ තැනැත්තකු දන්නෙහි නම් කියව,’’

’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ වචනයේ අදහස විස්තර වශයෙන් නොදනිමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කොටින් වදාළ මේ වචනයේ අදහස යම් සේ විස්තරයෙන් මම් දැනගත හැකි වන්නෙම්ද, එසේ මට භාග්‍යවතුන් වහන්සේ වදාරනසේක්වා’’ (යි කීවේය.)

’’යමෙක් මම් ’සමයෙමි’ කියා හෝ ’විශෙෂ වන්නෙමි’ කියා හෝ නැතහොත් ’හීනයෙමි’ කියා හෝ කමා සලකාද, ඔහු එයින් අනුන් හා විවාද කරන්නේය, යමෙක් ඒ මානයන්හි නොසැලෙන්නේද, (මාන නැසූ ) ඔහුට මම ’සමයෙමි’ කියා හෝ ’විශෙෂවෙමි’ කියා හෝ ’හීනයෙමි’ කියා හෝ හැඟීමෙක් නැත. යක්‍ෂය, එවැන්නකු දන්නෙහි නම් කියව’’ යි (වදාළසේක.)

’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාළ මෙහිද අදහස විස්තරයෙන් නොදනිමි. යහපත, ස්වාමීනි, සැකෙවින් වදාළ එහි අදහස විස්තරයෙන් මට දැනගත හැකිවන සේ භාග්‍යවතුන් වහන්සේ එය වදාරනසේක්වා’’ (යි කීවේය.)

’’ක්‍ෂීණාශ්‍රව තෙමේ පැණවීම් හැරදැමුයේය. මානයට නොබටුයේය. හේ නාමරූපයෙහි ඇල්ම දුරු කෙළේය. ගැට නැසූ, දුත් නැති, තණ්හා නැති ඒ රහතුන් දෙවියෝත් මිනිස්සුත් මෙහි හෝ අන් ලොවක හෝ ස්වර්‍ගයන්හි හෝ සියලු සත්වාවාසයන්හි හෝ සොයන්නාහු නමුත් නොදක්නාහ. එසේවූ පුඟුලකු දන්නෙහි නම්, යක්‍ෂය කියව’’ (යි වදාළසේක.)

’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාළ මේ වචනයේ අර්‍ථ විස්තර වශයෙන් මෙසේ දනිමි.’’

’’වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ කිසි පවක් හැම වේලෙහි නොකරන්නේය. (නොකළ යුතුය.) කාමයන් දුරුකොට, සිහි ඇත්තේ, මනා නුවණැත්තේ, අවැඩ ඇසුරු කළ දුකද සේවනය නොකරන්නේය’’ යි (කීයේය.)

දෙවෙනි නන්‍දන වර්‍ගයයි.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection