A Tangle
Jaṭāsutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 3. සත්ති වර්‍ගය 1.23. ජටා සූත්‍රය Msdiv 23 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේය:
’’ඇතුළතද අවුල්ය. පිටතද අවුල්ය. සත්ත්‍ව සමූහයා අවුලෙන් බැඳුණේය. ගෞතමයන් වහන්ස, කවරෙක් මේ අවුල බේරිය හැකි වන්නේද? එය ඔබ අතින් විචාරමි’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
’’නුවණැති යම් කෙනෙක් ශීලයෙහි පිහිටා, චිත්තයත් (සමාධියත්), ප්‍රඥාවත් (විදර්‍ශනාවත්) වඩන්නේද, කෙලෙස් තවන වීර්‍ය්‍ය උැති, ස්ථානොචිත ප්‍රඥාවෙන් යුක්තවූ (සසර බිය දක්නා ගති ඇති) ඒ භික්‍ෂු තෙම මේ අවුල බේරිය හැකි වන්නේය.
’’රාගයත්, ද්වේෂයත්, අවිද්‍යාවත් යම් කෙනෙකුන් විසින් දුරලන ලද්දාහුද, ඔවුහු ආශ්‍රව (කෙලෙස්) දුරලූ රහත්හු වෙති. ඔවුන් විසින් මේ අවුල ලිහන ලදී.
’’යම් තැනෙක නාමයත්, රූපයත් නොඉතිරිවම නිරුද්ධ වේද, කාම භවයත්, රූප භවයත් අරූප භවයත් නැසේද එතැනදී මේ අවුල සිඳීයෙයි.’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source