Stinginess
Maccharisutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 4. සතුල්ලපකායික වර්‍ගය 1.32. මච්ඡරි සූත්‍රය Msdiv 32 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පිහිටි අනේපිඬු
සිටාණන් විසින් කරවනලද ජෙීතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි සතුල්ලපකායික නම්න් දන්නා ලද බොහෝ දෙවි කෙනෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල බබළන පැහැ ඇත්තාහු සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියෝය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියහ.
එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’මෙසේ මසුරුබවත්, පමාවත්, කරණකොට ගෙන දන් දෙනු නොලැබේ. (දීමෙහි ඵල ඇතැයි) දන්නා පින් කැමැත්තහු විසින් දන් දිය යුතු වෙයි.’’
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මේ ගාථා කීය:
’’යමකට බියෙන් මසුරා දන් නොදේද, නොදෙන ඔහුට ඒ බියම වේ.
’’බඩගින්නද පිපාසාවද යන යමකට මසුරා බිය වේද, එයම මෙලොවද පරලොවද ඒ දන් නොදෙන අනුවණයා වෙතම පැමිණෙයි.
’’එබැවින් මසුරු බව දුරලා මසුරුමළ මැඩලන්නෙක්ව දන් දෙන්නේය. පින් පරලෙිවෙහිදී ෂත්හට පිහිටවේ.’’
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුක් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
’’යම් කෙනෙක් මහ කතරක යන්නාහු, මඳ දෙයක් ඇති කලද, එය (තමා) සමග යන්නවුන්ට බෙදා දෙන්නාහු නම්, ඔවුහු මළවුන් අතුරෙහි නොමැරෙත්. මේ පුරාණ ධර්‍මයෙකි.
’’ඇතැම් කෙනෙක් වස්තුව ස්වල්පව ඇතිකල්හිද දෙත්. ඇතැම්හු බොහෝ වස්තුයෙන් යුක්තව ඉඳත් දන් නොදෙත්. ස්වල්පයක් ඇතියහු ඒ ස්වල්ප දෙයින් දුන් දන දහසක් ධනයෙන් දුන් දනක් හා සමයැයි ප්‍රමාණ කරණ ලදී.’’
එකල අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
’’දීමට දුෂ්කරවූ දානය දෙන, කරන්නට අමාරුවූ පින්කම් කරන, තැනැත්තවුන් අනුව අසත්පුරුෂයෝ ක්‍රියා නොකෙරෙත්. සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් විසින් අනුගමනය කළ නොහැක්ක. එබැවින් සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද මෙයින් මතු පරලොව ගතිය වෙනස් වෙයි. අසත්පුරුෂයෝ නිරයට යෙත්. සත්පුරුෂයෝ සුගතියට යත්.’’
එවිට අන් දෙවියෙක්, ’’භාග්‍යවතුන් වහන්ස, මොවුන්ගෙන් කාගේ කියුම් මැනැවින් කියන ලද්දෙක්දැ?’’ යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවේය. ’’තොප හැම කීදේ ඒ ඒ කාරණයේ සැටියෙන ්මනා කොට කියන ලද්දේය. එතෙකුදු වුවත් මගේ කීමද අසවු:
’’යමෙක් දුකසේ අඹු දරුවන් රකිමින් වෙසෙන්නේද, ඔහු ස්වල්ප වස්තුවක් ඇති කල්හි එයින් දන් දෙමින් කුසල් කරන්නේද, එසේ වූවහුගේ ඒ දානයේ සියයෙන් කොටසක් පමණටවත් වරකට දහසක් වියදම් කොට, ලක්‍ෂයක් දෙනෙකුට දන් දුන්නවුන්ගේ දාන සිය දහස නොවටනේය.
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
’’මහත්වූ උදාර බවට පත් මේ දානය කවර කරුණෙකින් (දිළින්දා) ඒ දැහැමෙන් උපයා දුන් දානයාගේ අගයට (ළංව) නොපැමිණේද? දහස් ගනන් දන් දෙන්නහුගේ ඒ දාන (දිළින්දා දුන්) එබඳු දානයාගේ සියෙන් පංගුවටක් කවර හෙයින් නො අගිත්ද?’’
එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියාට ගාථාවෙකින් මෙසේ වදාළසේක.
’’ඇතැම්හු විෂම කර්‍මයන්හි පිහිටියාහු අනුන් ශෝකයට පත්කොට දන් දෙත්. ඒ ශෝකයට පත්කර දුන් දඬු මුගුරුවලින් අනුන් බියගන්වා තළාපෙළා දුන් දානය, දැහැමෙන් දිළින්දා දුන් දානයේ වටිනාකමට නොඑයි. මෙසේ වරකට ලක්‍ෂයක් දෙනෙකුට දහසක් බැගින් දුන් ඒ දානයෝ දිළින්දා අනුන් නොරිදුවා සපයාගත් දෙයින් දුන් එබඳු දානයේ සියෙන් කොටසකටද නොවටනේය.’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source