Good
Sādhusutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 4. සතුල්ලපකායික වර්‍ගය 1.33. සාධු සූත්‍රය Msdiv 33 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි සතුල්ලපකායික නම්න් දන්නාලද බොහෝ දෙවි කෙනෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල මනා වර්‍ණ ඇත්තාහු සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්ාස් කරා එළඹුනාහ. එළඹ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියහ.
එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.
’’නිදුකානන් වහන්ස, දන් දීම යහපති.
’’මසුරු බව නිසාත් ප්‍රමාදය නිසාත් මෙසේ දන් දෙනු නොලැබේ. පින් පල දන්නා, පින් නැමැත්තහු දන් දිය යුතු.’’
එවිට වෙනත් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.
’’නිදුකානන් වහන්ස, සැබව: දීම යහපත. තවද දාන වස්තු ස්වල්පයක් ඇති කලද දීම යහපත.
’’ඇතැම්හු මඳ දෙයක් ඇති කලද දෙත්. ඇතැම්හු බොහෝ වස්තුව ඇතිවද නොදෙත්. මඳ දෙයින් දුන් දන, දහසක් ධන විසඳා දුන් දනට සමකොට ප්‍රමාණ කරනලදී.’’
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.
’’නිදුකානන් වහන්ස, දීම යහපත. මඳ දෙයක් ඇති කල වුවද දීම යහපති. තවද ශ්‍රද්‍ධාවෙන් දීම යහපති.
’’දානයද, යුද්‍ධයද සමාන කොට කියත්. යුද්‍ධයෙහි ටික දෙනෙක්වම බොහෝ (ෂතුරන්) දිනත්ද, එමෙන්ම මඳ දෙයක් වුවද කම්පල අදහමින් දෙන්නේද ඒ හේතුයෙන්ම ඔහු පරලෙව්හිදී සැප ඇතියෙක් වෙයි.’’
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය. ’’නිදුකානන් වහන්ස, දීම යහපත. මඳක් ඇතිකලද දීම යහපත. ශ්‍රද්‍ධායෙන් දීමද යහපත. එහෙත් දැහැමින් ලත් වස්තුව ආර්‍ය්‍ය පුද්ගලයෙකුට දීමම යහපත.’’
’’යම් සත්‍වයෙක් නොපසුබට වීර්‍ය්‍යයෙන් සැපයූ, දැහැමින් ලත් වස්තුව දන්දේද, හෙතෙම යමයාගේ වේකරණී නිරය ඉක්මවා ගොස් දිව්‍යලෝකයට පැමිණේ.’
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.
’’නිදුකානන් වහන්ස, දීම යහපත. මඳ දෙයක් ඇතිකල දීමද යහපත. ශ්‍රද්‍ධාවෙන් දීමද යහපත. දැහැමෙන් සැපයූ දෙයින් දීමද යහපත. එහෙත් දෙන දෙයක් සොයා බලා දීම යහපති.’’
’’පරීක්‍ෂාකොට බලා දීම බුද්ධාදී උතුමන් විසින් පසස්නාලදී. මේ සත්ත්‍ව ලෝකයෙහි දෙන දේ ලබන්නට සුදුසු පුද්ගල කෙනෙක් වෙත්ද, ඔවුන්ට දුන් දන් මහත්ඵලය. සරු කෙතක වැපුරූ ධාන්‍ය මෙනි.’’
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේය.
’’නිදුකානන් වහන්ස, දීම යහපත්මය. මඳ දෙයක් ඇතිකල එයින් දීමද යහපත්මය. සැදැහැයෙන් දීමද යහපත්මය. දැහැමින් ලත් දෙයින් දීමද යහපත්මය. විමසා බලා දීමද යහපත්මය. තවද ප්‍රාණවධයෙන් වැළැක්මද යහපත.
’’යමෙක් සතුන් කෙරේ හිංසා නොකොට හැසිරෙනුයේ අනුන්ගෙන් ලැබෙන චෝදනාවට බියෙන් ප්‍රාණඝාත ආදී පවු නොකෙරේද, ඒ බිය තැනැත්තා (නුවණැත්තෝ) පසසත්. එහි (පවට) බියනැති ප්‍රාණවධයෙහි දක්‍ෂයා ඔවුහු නොපසසත්. සත්පුරුෂයෝ (පවට) බියෙන් පව් නොකෙරෙත්.’’
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට, ’’භාග්‍යවතුන් වහන්ස,’’ (මොවුන්ගෙන්) කාගේ නම් කීම මැනැවින් කියන ලද්දේදැ’’ යි කීය.
(එවිට භාග්‍යවතුන් වහන්සේ) ’’තොප හැම කීදේම ඒ එ ්කාරණය අනුව යහපත්ය. එහෙත් මාගේ වචනද අසවු.
’’සැදැහැයෙන් දීම බොහෝ ලෙස පසස්නා ලදී. එහෙත් දානයට වඩා ධර්‍මපදය (නිවන) උතුමි. පෙර සිටියාවූද වඩාත් පෙර සිටියාවූද නුවණ ඇති සත්පුරුෂයෝ නිර්‍වාණයම ලැබූහ’’ යි. (වදාළ සේක.)
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source