There Are None
Nasantisutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 4. සතුල්ලපකායික වර්‍ගය 1.34. න සන්ති සූත්‍රය Msdiv 34 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිඅනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි සතුල්ලපකායික නම්න් දන්නා ලද බොහෝ දෙවි කෙනෙක් රෑ පෙරයම ඉක්මුණුකල මනා පැහැ ඇක්කාහු සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක සිටියහ.
එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’මිනිසුන් කෙරෙහි නිත්‍ය කාම වස්තූහු නැත්තාහ. යම් කාම වස්තුවක් කෙරෙහි බැඳුණු තැනැත්තේ, යම් කාම වස්තූන්හි පමාවූ තැනැත්තේ භවයන් (නික්ම) නිවණට නොයන්නේ වේද, එසේවූ, සිත් අදනා, රූපාදී ආරම්මණයෝ නම් මෙහි (ලෝකයෙහි) ඇත්තාහ.
(පඤචස්කන්‍ධ) දුක තන්හායෙන් උපදනේය. සසර දුක තණ්හායෙන් හටගැනේ. තණ්හාව නිරුද්‍ධ කිරීමෙන් (පඤච) ස්කන්‍ධ නිරෝධය වේ. ස්කන්‍ධ නිරෝධයෙන් (සංසාර) දුක්ඛ නිරෝධය වේ.’’
( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’ලොව විසිතුරු රූපාදී යම් අරමුණු කෙනෙක් වෙත්ද, ඔවුහු කාමයෝ නොවෙති. පුරුෂයාගේ ඇලීම නම්වූ රාගය කාම නම්. ලොව විසිතුරු රූපාදීහු තමන් සිටි ලෙසම සිටිත්. එතෙකුදූ වුවත් නුවණ ඇත්තෝ එහි ඇල්ම දුරලත්.
’’ක්‍රෝධය දුරලන්නේය. මානය හාත්පසින් බැහැර ලන්නේය. සියලු සංයෝජනයන් ඉක්මවන්නේය. නාම රූප දෙක්හි නොඇලෙන්නාවූ, ලොව කිසිත් (ඇලුම්) නැති, ඔවුන් අතර දුක්ඛයෝ කඩා නොවැටෙත්.’’
’’යමෙක් සත්ත්‍වාදී ප්‍රඥප්තිය දුරලීද, නැවත ඉපදීම් වශයෙන් මවුකුෂ නමැති විමානයට නොපැමිණියේද, මේ නාම රූප දෙකෙහි තණ්හාව දුරලීද, සිඳලූ සියලු පළිබෝධ ඇති, දුක් නැති, ආශා නැති, ඒ රහතුන් දෙවියෝත් මිනිස්සුත් මෙහි හෝ පරලොව හෝ ස්වර්‍ගයන්හි හෝ සියලු සත්‍වාවාසයන්හි හෝ සොයන්නාහු නුමුත් දැක්ක නොහැක්ක.’’
ආයුෂ්මත් මෝඝරාජ තෙම මෙසේ කීය. ’’ඉදින් දෙවියෝත් මිනිස්සුත් මෙලොවෙහිත් අන් තන්හිත් සොයන්නාහු, එසේ මිදුනු රහතුන් නොදක්නාහු නම්, නරෝත්තමවූ, සත්නට හිත වැඩ සලසන, එසේවූ බුදුරජුන් යම් කෙනෙක් නමදිත් නම් ඔවුහු පැසසුම් ලැබිය යුත්තෝය.’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’මොඝරාජය, එසේ මිදුණු රහතුන් යම් කෙනෙක් නමදිත්ද, ඒ භික්‍ෂූහු පැසසුම් ලද යුත්තෝය. ඒ භික්‍ෂූහු දහම් දැන, සැක දුරලා, රාගාදී බැමි ඉක්මවූවෝ වෙත්.’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source