Fault-Finding Deities
Ujjhānasaññisutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 4. සතුල්ලපකායික වර්‍ගය 1.35. උජඣානසඤ්ඤී සූත්‍රය Msdiv 35 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි වනාහි බොහෝ උජඣානසඤ්ඤික දේවතා කෙනෙක් රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ශෝභා ඇත්තාහු මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ අහසේ සිටියාහ.
අහසෙහි සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’යමෙක් අන් සැටියෙන්වූ තමා ඉන් වෙනස් සැටියෙකින් ලොවට පෙන්වන්නේ නම්, ඔහුගේ ඒ සිව්පසය වැළඳීම - ළිහිණි වැද්දා වංචායෙන් ළිහිණි මස් කෑම මෙන් - සොරා කෑමෙකි.’’
’’යමෙක් කරන්නේ නම්, එයම කියයුතු. යමක් නොකරන්නේ නම් එය නොකිය යුතු. නොකරන දේ කියන තැනැත්තා නුවණැති අය හඳුනත්.’’
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’ස්ථිරවූ මේ යම් ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තියෙක් වේද, යමෙක උපකාරයෙන් නුවණ ඇත්තෝ මර බැම්මෙන් මිදෙත්ද, ඒ ප්‍රතිපත්තිය පිළිපැදීමට කීම හෝ ඇසීම පමණින් නොහැක්ක.’’
නුවණ ඇත්තෝ ලෝක ස්වභාවය දැන රැවැටිලි නොම කෙරෙත්. (සිවුසස්) දැන නිවුණු ඒ නුවණ ඇත්තෝ ලොව ඇල්ම ඉක්මවූවෝය.’’
එවිට ඒ දේවතාවෝ පොළොවෙහි පිහිටා භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැඳ වැටී භාග්‍යවතුන් වහන්සේට මෙබස් කීහ. ’’ස්වාමීනි, යම් බඳුවූ බාලයන්සේ, මෝඩයන්සේ, අඥානයන්සේ, භාග්‍යවතුන් වහන්සේ වචනයෙන් චෝදනා කළයුත්තකු කොට ඇනුම් බසින්, භාග්‍යවතුන් වහන්සේ වෙහෙසවන්නට සිතූයෙමුද, ඒ අප මැඩගෙන වරද පැවැත්තේය, අපෙන් වරද විය. ස්වාමීනි, මින් මතු මෙවැනි වරද නොකරනු පිණිස, භාග්‍යවතුන් වහන්සේ වරද වරද සේ පිළිගන්නා සේක්වා.’’
එවිට භාග්‍යවතුන් වහන්සේ මඳ සිනහ පහළ කළ සේක.
එකල ඒ දේවතාවෝ වඩාලාත් දොස් නගමින් (කලකිරී) අහස නැංගහ.
එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’වරද දෙසන්නවුන්ගේ වරද යමෙක් නොපිළිගනීනම්, ඇතුළත කෝපය ඇති, ද්වේෂය ගරුකොට ගෙන හැසිරෙන හෙතෙම වෛරය (තමා සිතෙහි) බැඳගනී.’’
’’ඉදින් දෝෂයක් නොවේනම්, වරදකුත් නොවේනම්, වෛරයෝත් සංසිඳෙන්නාහු නම්, ඒ කරුණෙන් මෙහි කුශලයෙක් වන්නේය.’’
’’දොස් නැත්තේ කාගේද? වරද නැත්තේ කාගේද? කවරෙක් (මුළාවට) නොපැමිණෙන්නේද? කවරනම් නුවණ ඇත්තෙක් හැමවිටම එළඹ සිටි සිහි ඇත්තෙක් හෝ වේද? (නොවේමය.)’’
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’සියලු සන්‍වයින්ට අනුකම්පා කරන ඒ තථාගත සම්‍යක් සම්බුද්‍ධයාගේ දොස් නැත. ඔහුගේ වරදෙක් නැත. හෙතෙම (කිසිවිටෙකත්) මුළාවට නොපැමිණියේය. හෙතෙමේම හැමකල්හි එළඹ සිටි සිහි ඇති නුවණ ඇත්තාය.’’ ’’වරද දෙසන්නවුන්ගේ වරද ඉදින් යමෙක් නොපිළිගන්නේ නම් සිත තුළ කෝපය ඇති, ද්වේෂය ගරුකොට හැසිරෙන ඔහු වෛරය (සිත) බැඳගනී (යයි තොප කීවා සරිය.) එහෙත් මම වනාහි ඒ වෛරය නොකැමැත්තෙමි. තොපගේ වරද පිළිගනිමි. (තොපට කමා කෙරෙමි)’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source