A Splinter
Sakalikasutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 4. සතුල්ලපකායික වර්‍ගය 1.38. සකලික සූත්‍රය Msdiv 38 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි මද්දකුච්ඡි නම් මුව වෙනෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේගේ පාදයෙහි ගල් පතුරක් වැදුනේය. (එයින්) භාග්‍යවතුන් වහන්සේට දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, බලවත් කායික දුක් වේදනාවෝ උපන්හ. භාග්‍යවතුන් වහන්සේ වනාහි එළඹ සිටි සිහි ඇතිසේක්, නුවණ ඇති සේක්, එහෙයින් නොපෙළෙන්නාහු ඒ වේදනාවන් ඉවසන සේක.
එකළ භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර සතර පටක් කොට පණවාගෙන දකුණු පය පිට වම් පය මඳක් ඉක්මවා තබා සිහිනුවණැතිව දකුණු ඇලයෙන් (සිංහයෙකුගේ නිදීමට බඳු) ශයනය කළ සේක.
එකල්හි වනාහි සත්සියයක් සතුල්ලපකායික දෙවියෝ රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ශෝභා ඇත්තාහු සියලු මද්දකුච්ඡි වනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ වෙක පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියහ.
එවිට එක් පසෙක සිටියාවූ එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍ය පහළ කෙළේය.
’’ස්වාමීනි, පුදුමයෙකි’. ශ්‍රමණ ගෞතම තෙම හස්තියෙකි. එසේ ඇතෙකු බැවින්ම තමහට ඇතිවූ දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශරීරගත වේදනාවන් සිහිනුවණ ඇතිව පීඩා නොවිඳිමින් ඉවසයි.’’
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.
’’ස්වාමීනි, පුදුමයෙකි’. ශ්‍රමණ ගෞතම තෙම සිංහයෙක. සිංහයෙකු නිසාම, ඇතිවූ දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශරීරගත වේදනාවන් සිහි නුවණ ඇතිව නොපෙළෙමින් ඉවසයි.’’
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.
’’ස්වාමීනි, පුදුමයෙකි’. ශ්‍රමණ ගෞතම තෙම ආජානීයයෙක’. ආජානීය බැවින්ම හටගත් දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශාරීරික වේදනාවන් සිහි නුවණ ඇතිව නොපෙළෙමින් ඉවසයි.’’
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.
’’පින්වත්නි පුදුමයකි’. ශ්‍රමණ ගෞතම තෙම (ගවයන් ලක්‍සයකට අධිපතිවූ නීසහයෙක) අප්‍රතිසමයෙක.සමාන කිරීමට අනිකෙක් නැත්තෙක). අප්‍රතිසම බැවින්ම හටගත් දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශාරීරික වේදනාවන් සිහිනුවණින් යෙදී පීඩා නොලබමින් ඉවසා’’යි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කෙළේය.
’’පින්වත්නි, පුදුමයකි’. ශ්‍රමණ ගෞතම තෙම බර උසුලන්නෙකි. බර උසුලන්නෙකු හෙයින්ම හටගත් ශාරීරිකවූ, දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, වේදනාව සිහිනුවණින් යෙදී පීඩා නොලබමින් ඉවසා’’යි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.
’’ස්වාමීනි, පුදුමයකි’. ශ්‍රමණ ගෞතම තෙම දැමුණු කෙනෙක, දැමුණු බැවින්ම ශාරීරිකවූ දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, වේදනාවන් සිහි නුවණින් යෙදී පීඩා නොලබමින් ඉවසා’’යි.
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.
’’බලන්න, හොඳින් වඩනාලද සමාධියක්’. නොනැමුණු, අරමුණින් ඉවතට නොනැමුණු, අනුන්ගේ මෙහෙයීමෙන් කෙලෙසුන් මැඩ, ඔවුන් වළක්වාලීම් නැති තැන්පත්වූ සිතක්.’ මෙබඳුවූ පුරුෂ ඇතෙකු, පුරුෂ සිංහයෙකු, පුරුෂාජානීයකු, අසම පුරුෂයකු, පුරුෂ ධෝරය්හයකු, පුරුෂදාන්තයකු, පෙළියයුත්තකු කොට යමෙක් සිතන්නේ නම්, එය ඔහුගේ අඥාන බව විනා අන් කිමෙක්ද?’’
’’වේද පහ දරන්නාවූ අවුරුදු සියයක් තවුස්දම් රකිමින් හැසිරෙන බමුණෝ වෙද්ද, ඉදින් ඔවුන්ගේ සිත මනාකොට නොමිදුනේ නම්, හීන බව (මාර්‍ග ඵල නොලත් බව) ස්වභාව කොට ඇති ඔවුහු නිවන් කරා යන්නෝ නොවෙත්.
’’තණ්හාවෙන් මැඩුණු ව්‍රත හා ශීලයෙන් බැඳුනු තැනැත්තෝ අවුරුදු සියයක් රූක්‍ෂ තපස් කරන්නෝ නමුත්, ඔවුන්ගේ සිත මනාව නොමිදුනේ නම් පිරිහුණු බව ස්වභාවකොට ඇති ඔවුහු නිවන් වෙත යන්නෝ නොවෙත්.
’’මෙලොව මානය පතන්නහුගේ සිතේ දමනයක් නැත. එකඟ නොවූ සිතැති ඔහුගේ චතුරාර්‍ය්‍ය සත්‍යය දැනීමෙක් නැත. පමා තැනැත්තේ හුදකලාව වනයෙහි වසන්නේ නමුදු සසරින් පරතෙරට යාගත නොහැක්කේය.’’
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’මානය දුරලා මනාව එකඟ නර ගත් සිතැත්තේ, නුවණින් යුක්තවූයේ, සියලු ලෙසින් මිදුණු තැනැත්තේ හුදෙකලාව අප්‍රමාදව වනයෙහි වසන්නේ, ඔහු සසරින් එගොඩට යන්නේය.’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source