Stingy
Maccharisutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 5. ආදිත්ත වර්‍ගය 1.49. මච්ඡෙර (නොහොත් මච්ඡරි ) සූත්‍රය Msdiv 49 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක.එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය, එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
’’දැඩි මසුරුකම් ඇති, ක්‍රොධ කරන, අනුන් දන්දෙන කල්හි එයට අන්තරාය කරන, යම් මසුරු කෙනෙක් මෙලොව වෙත් නම්, ඔවුන්ට විපාකය
කෙබඳුද? ඔවුන්ගේ පරලොව ගතියත් කෙසේද? ඔබ වහන්සේගෙන් මෙය විචාරා දැනගන්නට අවුත් සිටුම්හ. එය අපි කෙසේ දැන ගනුමෝද?’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’දැඩි මසුරුවූ, සිඟන්නනට නින්‍දා කරන, දන් දෙන අන්‍යයන්ගේ ඒ දානයට අන්තරාය කරන, යම් මසුරු කෙනෙක් මෙලොව වෙත්ද, ඔවුහු මරණින් මතු නිරයට හෝ තිරිසන් යෝනියට හෝ යමලෝකයට හෝ පැමිණෙන්නාහ.’’
’’ඉදින් ඔවුහු (පසු) මිනිස් බවට එන්නාහු නම්, යම් කුලයෙක රෙදිපිළි, ආහාරපාන, කම්සැප ක්‍රීඩා දුකසේ ලැබේ නම් එබඳු කුලයෙහි උපදනාහ.’’
’’(ඒ) අඥානයෝ අනුන්ගෙන් යමක් පතන්නාහු නම්, එයද ඔවුන්ට නොලැබේ, මේ ඔවුන්ට මේ ආත්මයෙහි ලැබෙන විපාකයයි. ඔවුන්ට මරණින් පසු දූගතියෙහි උත්පත්තියද වේ.’’
දෙවිතෙම මෙසේ කීවේය.) ’ගෞකමයන් වහන්ස, මෙය මෙසේ දැනගතිමු. දැන් අන් කරුණක් විචාරමු, යම් කෙනෙක් මිනිස් බව ලද්දාහුද ඔවුහු තමන් වෙත පැමිණියවුන්ගේ වුවමනා වටහාගෙන දෙන පහවූ මසුරුබව ඇත්තාහු, බුදුන් කෙරෙහිත් ධර්‍මයෙහිත් සංඝයා කෙරෙහිත් පැහැහැදුණු දැඩි ගෞරව ඇත්තාහු වෙත් නම්, ඔවුනට (වන) විපාකය කෙබඳුද? ඔවුන්ගේ පරාලාව ගතිය තෙබඳුවේද? භවතුන්ගෙන් විචාරන්නට අවුත් සිටිමු. එය අපි කෙසේ දැන ගනිමුද?’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’මෙහි මිනිස් බව ලත් යම් කෙනෙක් තමන් වෙත පැමිණියවුන්ගේ වුවමනා වටහා ගෙන දන් දෙත්ද, මසුරුකම පහකළෝ වෙත්ද, බුදුන් කෙරෙහි ධර්‍මය කෙරෙහි සංඝයා කෙරෙහි පැහැදුණාහු දැඩි ගෞරව ඇත්තාහුද, ඔවුහු යම් ඒ (ස්වර්‍ගයක උපදනාහු)ද, එහි බබළත්.’’ ’’ඉදින් ඔවුහු මිනිසත් බවට එන්නාහු නම්, යම් තැනෙක වස්ත්‍රාභරණ, ආහාරපාන, කම් සැප හා ක්‍රීඩා නිරායාසයෙන් ලැබේද, එසේවූ උසස් කුලයක උපදිත්.’’
’’එසේ උසස් කුලයේ උපන් ඔවුහු අනුන් රුස්කොට තැබූ වස්තුව එහි අයිතිකාරයන් මෙන් බුත්ති විඳිත්. මේ මේ ආත්මයෙහි ලැබෙන විපාකයයි. ඔවුන්ට මරණින් පසු වනාහි සුගතියෙහි උත්පත්තිය වේ.’’
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source