With Ghaṭīkāra
Ghaṭīkārasutta
PDFGenerated
Read here in the library
සංයුත්තනිකායො සගාථ වර්ගය 1. දෙවතා සංයූත්තය 5. ආදිත්ත වර්‍ගය 1.50. ඝටීකාර සූත්‍රය Msdiv 50 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු ඝටීකාර බ්‍රහ්මතෙම බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඝටීකාර බ්‍රහ්මකෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.
’’භික්‍ෂූන් සත් නමක් අවිහ බඹලොවට (උත්පත්ති වශයෙන් ) පැමිණියාහු, කෙලෙසුන්ගෙන් මිදුණෝ රාග ද්වේෂයන් නැසුවෝ, ලොව ඇල්ම (තෘෂ්ණාව) තරණය කළහ.’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’කෙලෙස් මඩ ඇති, තරණයට දුෂ්කරවූ, සංසාර සාගරය ඒ කවර කෙනෙක් නම් තරණය කළෝද? කවුරු නම් මිනිස් කය (ඔරංභාගිය සංයෝජන) හැර දිව්‍යයෝගය (උද්දංභාගිය සංයෝජන) ඉක්මවා ලූවෝද?’’
(ඝටීකාර බ්‍රහ්මයා මෙසේ කීය.) ’’උපකද පලගණ්ඩද පුක්කුසාතිද යන ඔවුහු තුන්දෙනාත්, භද්දියද ඛන්ඩදෙවද භාහුරග්ගියද පිඞගියද යන මොවුහුක් (සක්දෙන) මනුෂ්‍ය දේශය හැර, දිව්‍යයෝගයද ඉක්මවූහ.’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) මරහුගේ මළපුඩුව දුරැලූ ඔවුන්ගේ ගුණ පණ්ඩිතවූ ඔබ කීයෙහිය. ඔවුහු කාගේ ධර්‍මයක් දැනගෙන සසර බැම්ම සිඳලූහුද?’’
(ඝටීකාර බ්‍රහ්මයා මෙසේ කීය.) ’’ස්වාමීනි, ඔවුහු යමෙකුගේ ධර්‍මය දැන සසර බැම්ම සින්දෝ නම්, ඒ භාග්‍යවතුන් වහන්සේගේ මීස අනෙකෙකුගේ නොවේ. ඔබගේ ශාසනය මිස අනෙකක් නොවේ.’’
’’යම් තැනෙක්හි (නිවනෙක්හි) සියලු නාමයත්, සියලු රූපයත් නිරුද්‍ධ වේද, (ඒ නිර්‍වාණ) ධර්‍මය ඔවුහු මේ සස්නෙහි දැන සසර බැම්ම සින්දහ.’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’දුකසේ දතයුතු අර්ථ ඇති, දුකසේ අවබෝධ කටයුතු අර්ථ ඇති, ගැඹුරු බසක් කියෙහි, යුෂ්මත් තෙම කාගේ ධර්‍මයක් දැනගෙන මෙබඳු බසක් කීයෙහිද?’’
(ඝටීකාර බ්‍රහ්මතෙම මෙසේ කීය.) ’’ස්වාමීනි, මම පෙර වේහලිඞග ගම වළන් සාදන (ඝටීකාර නම් කුඹලෙක් වීමි. මව් පියන් රැත බලා ගන්නා ඒ මම කාශ්‍යප ශාස්තෘාන් වහන්සේගේ උපාසකයෙක් වීමි.’’
’’මෛථූන සේවනයෙන් වැළකුණෙක් වීමි. නිරාමිෂ බ්‍රහ්මචාරී (අනාගාමී) වීමි. ඔබ හා එකම ගම වසන්නෙක් වීමි. ඒ පෙර ආත්මයෙමි ඔබගේ යහළුවා වීමි. ’’ඒ මම රාග ද්වේෂ ක්‍ෂයකළ, ලොව තණ්හාව ඉක්මවූ, අර්හත් භාවයෙන් (කෙලෙසුන්ගෙන් ) මිදුණු මේ භික්‍ෂූන් සත්දෙනම දනිමි.’’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ’’කුම්භකාරය, ඔබ යම්සේ කීයෙහිද එසේම එය විය. පෙර ඔබ වේහලිඞග ගම වළන් සාදන කුඹලෙක් වූයෙහි, මවුපියන් රක්නෙක් වූයෙහි, කාශ්‍යප ශ්‍රාවකවූ උපාසක වූයෙහි.
’’මෛථුන ධර්‍මයෙන් වැළකුණු, නිරාමිෂ බ්‍රහ්මචාරී වූයෙහි. මගේ ගමෙහි වැසියෙක් වූයෙහි. පෙර මගේ මිත්‍රයා වූයෙහි.’’
(මෙසේ භාවනායෙන් වැඩූ සිතැති, අන්තිම සිරුරු දරන, පැරැණි යහළුවන් දෙදෙනාගේ මේ සංගමය විය.’’
පස්වන ආදිත්ත වර්‍ගයයි.
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source