LibraryDNDN 12
DN 1221 min read

With Lohicca

Lohiccasutta

20
PDFGenerated
01 · Overview

A brahmin has fallen into the idea that there is no point in trying to offer spiritual help to others. The Buddha goes to see him, and persuades him of the genuine benefits of spiritual teaching.

02 · Reading guide

Read the full discourse slowly and reflect on key passages.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

දීඝ නිකාය සීලක්ඛන්ධ වර්ගය 12. ලොහිච්ච සූත්‍රය ලොහිච්චබ්‍රාහ්මණවත්ථු Msdiv 501 මා විසින් මෙසේ අසන ලදී. (මාගේ ඇසීම මෙසේය.) එක් කලක භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් පන්සියයක් පමණවූ මහා භික්ෂු සංඝයා සමග කොසොල් රට ගමන් කරමින් වඩිනා කල සාලවතිකා නම් ගම යම් තැනකද එතැනට වැඩිසේක. එකල ලොහිච්ච බ්‍රාහ්මණතෙම ගව මහිසාදී බොහෝ සතුන් ඇත්තාවූ බොහෝ ලීදඬු, වැව්, පොකුණු ආදියෙන් යුක්තවූ. බොහෝ ධාන්‍ය සහිතවූ, රජුන් විසින් දෙන ලද්දාවූ, රජුගෙන් ලැබූ තෑග්ගවූ පසේනදී කොසොල් රජු විසින් දෙන ලද සාලවතිකා නම් ගම ප්‍රධානියාව වාසය කරයි.

Msdiv 502 එකල ලොහිච්ච නම් බ්‍රාහ්මණයාහට මෙවැනි ලාමකවූ මිථ්‍යාදෘෂ්ටි අදහසක් උපන්නේය. මේ ලොකයෙහි මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ යම් කුසල කර්මයකට පැමිණෙන්නේද කුසල කර්මයකට පැමිණ අනුන්ට ප්‍රකාශ නොකරන්නේය. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේද පරණ බැම්මක් කපා වෙන අලුත් බැම්මක් බඳින්නේ යම්සේද මෙය එවැනිවූ ලාමක ලොභයකැයි කියමි. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේද කියායි.

Msdiv 503 ‘ශාක්‍ය පුත්‍රවූ ශාක්‍ය කුලයෙන් ගොස් මහණවූ ශ්‍රමණ භවද් ගෞතම තෙම භික්ෂූන් පන්සියයක් පමණවූ මහා භික්ෂු සංඝයා සමග කොසොල් රට ගමන් කරන අතර සාලවතිකා නම් ගමට වැඩියේයයි ලොහිච්ච බ්‍රාහ්මණයාට අසන්ට ලැබුණේය. ඒ භාග්‍යවත් ගෞතමයානන් වහන්සේ ගැන මෙවැනි හිත් සතුටු කරන කීර්ති ඝොෂාවක් පැන නැංගේය. එනම් (ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අර්හත්වූසේක. සම්‍යක් සම්බුද්ධවූසේක, විදර්ශනාඥාන ආදී විද්‍යා අට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පසළොස යන අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්තවූසේක. යහපත් ගමන් ඇතිසේක. සියලු ලෝකයන් දන්නාසේක. ශ්‍රෙෂ්ඨවූ, හික්ම විය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිසේක. දෙවි මිනිසුන්ට ගුරුවරයෙක් වූසේක. (චතුරාර්‍ය්‍ය සත්‍ය) සත්‍යවූ උතුම් ධර්ම සතර අවබොධ කළසේක.) ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ, සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැන අවබොධකොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්දකරන්නාවූ (බ්‍යඤ්ජන සහිත) සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ, සිසලු ශාසන මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව ගෙනහැර දක්වතියි කීයේය.

ලොහිච්ච බ්‍රාහ්මණ තෙම මෙය අසා එවැනි රහතුන්ගේ දැකීම යහපත්වේයයි සිතුවේය.

Msdiv 504 එවිට ලොහිච්ච බ්‍රාහ්මණ තෙම රොසික නම් ඇම්බැට්ටයාට අඬගසා මෙසේ කීවෙය. “යහලු රොසිකය, මෙහි එන්න. ශ්‍රමණ භවද් ගෞතමයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණෙන්න. පැමිණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ආබාධ නැති බව, රෝග නැති බව සැහැල්ලු පැවතුම ඇති බව, ශරීර ශක්තිය ඇති බව, සැපයෙන් වාසය කිරීම යන කරුණු ලොහිච්ච බ්‍රාහ්මණයා අසන්නේයයි මාගේ වචනයෙන් අසන්න. අසා, හෙට දිනයෙහි ලොහිච්ච බ්‍රාහ්මණයාගේ භොජනය භවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග පිළිගන්නාසේක්වායිද දැනුම් දෙන්න.

Msdiv 505 “ස්වාමීනි, එසේයයි” රොසික නම් ඇම්බැට්ටයා ලොහිච්ච බ්‍රාහ්මණයාගේ වචනය සතුටින් පිළිගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ රොසික නම් ඇම්බැට්ටයා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්නුවේය.

“ස්වාමීන් වහන්ස, ඔබවහන්සේගේ ආබාධ නැති බවද රොග නැති බවද සැහැල්ලු පැවතුම් ඇති බවද ශරීර ශක්තිය ඇති බවද සැපයෙන් වාසය කිරීමද යන මේ කරුණු ලොහිච්ච බ්‍රාහ්මණතෙම අසයි” ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සෙට දවසෙහි ලොහිච්ච බ්‍රාහ්මණයාගේ භෝජනය භික්ෂු සංඝයා සමග පිළිගනිත්වායි කියාද දැන්නුවේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් එය පිළිගත්තේය.

Msdiv 506 එකල රොසික නම් ඇම්බැට්ටයා භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනීම දැන උන්තැනින් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ (පැදකුණු කොට) ගෞරව ලෙස පැත්තකින් ගොස් ලොහිච්ච බ්‍රාහ්මණ තෙම යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ. ලොහිච්ච බ්‍රාහ්මණයාට මේ කරුණ කීයේය. පින්වත ඔබගේ වචනයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේට, ස්වාමීන් වහන්ස, ඔබවහන්සේගේ ආබාධ නැති බව, රොග නැති බව, සැහැල්ලු පැවතුම් ඇති බව, සැපයෙන් වාසය කිරීම යන කරුණු ලොහිච්ච බ්‍රාහ්මණතෙම අසයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ලොහිච්ච බ්‍රාහ්මණයාගේ භෝජනය සෙට දවසෙහි භික්ෂු සංඝයා සමග පිළිගනිත්වායි, මෙසේද කීවේයයි” අපි දැනුම් දුනිමු. භාග්‍යවතුන් වහන්සේ විසින් එය පිළිගන්නා ලද්දේය කියායි.

Msdiv 507 එවිට ලොහිච්ච බ්‍රාහ්මණතෙම ඒ රාත්‍රිය පසුවූ කල සිය නිවසෙහි මිහිරිවූ කෑ යුතු දේද, වැළඳිය යුතු දේද පිළියෙළ කරවා රොසික නම් ඇම්බැට්ටයාට කථාකර මෙසේ කීයේය. “යහලුව රොසිකය මෙහෙ එන්න, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ යම් තැනකද එතනට පැමිණෙව, පැමිණ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ‘භවද් ගෞතමයන් වහන්ස, භෝජනය පිළියෙළ කරන ලද්දේය. ඊට කාලයයි’ කාලය දන්වනු.”

ස්වාමීනි, එසේයයි” කියා රොසික නම් ඇම්බැට්ටයා ලොහිච්ච බ්‍රාහ්මණයාගේ වචන අසා පිළිගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට නමස්කාරකොට එක පැත්තක සිටියේය. එක පැත්තක සිටියාවූ රොසික නම් ඇම්බැට්ටයා ස්වාමීන් වහන්ස, භෝජනය සූදානම් කරන ලද්දේය. ඊට කාලයයි” භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්නුවේය,

Msdiv 508 එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි ඇඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන භික්ෂු සංඝයා සමග සාලවතිකා නම් ගම යම් තැනකද එතනට පැමිණියෝය.

එකල රොසික නම් ඇම්බැට්ටයා භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන් ගමන් කෙළේය. එකල්හි රොසික නම් ඇම්බැට්ටයා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්නුවේය. ස්වාමීන් වහන්ස, ලොහිච්ච බ්‍රාහ්මණයාහට ලාමකවූ මෙවැනි වැරදි මතයක් උපන්නේය. “මේ ලොකයෙහි මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කුශල ධර්මයට පැමිණෙන්නේද, කුශල ධර්මයට පැමිණ අනුන්ට එය ප්‍රකාශ නොකරන්නේය. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේද? පැරණි බැම්මක් කපාදමා වෙන අලුත් බැම්මක් කරන්නේ යම් සේද මේ ලාමකවූ ලොභය එසේම යයි කියමි. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේදැයි” කියාය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ලොහිච්ච බ්‍රාහ්මණයා ලාමකවූ මේ වැරදි මතයෙන් මුදවන සේක්වා.”

“රොසිකය, ඉතා යහපත් වන්නේය. රොසිකය, ඉතා යහපත් වන්නේය’යි කීසේක.

එවිට භාග්‍යවතුන් වහන්සේ ලොහිච්ච බ්‍රාහ්මණයාගේ ගෙදර යම් තැනකද එතැනට පැමිණියෝය. පැමිණ, පණවනලද ආසනයෙහි වැඩහුන්නෝය. එකල ලොහිච්ච බ්‍රාහ්මණ තෙම බුදුන් ප්‍රධාන භික්ෂු සංඝයා මිහිරි කෑයුතු වැළඳිය යුතු දෙයින් සිය අතින් අනුභව කරවා මනාකොට පැවරුවේය.

ලොහිච්චබ්‍රාහ්මණානුයොගො Msdiv 509 එවිට වළඳා පාත්‍රයෙන් ඉවත් කරණ ලද අත් ඇතිව හිඳින භාග්‍යවතුන් වහන්සේ දැක එක්තරා පහත් ආසනයක් ගෙන එක පැත්තක උන්නාවූ ලොහිච්ච බ්‍රාහ්මණයාහට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ කීසේක.

“ලොහිච්චය, (මේ ලොකයෙහි මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කුශල ධර්මයට පැමිණෙන්නේද, කුශල ධර්මයට පැමිණ අනුන්ට එය ප්‍රකට නොකරන්නේය. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේද? පරණ බැම්මක් කපා දමා වෙන අලුත් බැම්මක් කරන්නේ යම්සේද මේ එවැනි ලාමකවූ ලොභයකැයි කියමි. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේද,) යන මෙබඳුවූ ලාමක මතයක් ඔබට උපන්නේ සැබෑද? “භවද් ගෞතමයන් වහන්ස, එසේයයි” කීයේය.

“ලොහිච්චය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඔබ සාලවතිකා නම් ගම ප්‍රධානියාව වාසය කරන්නේ නොවෙහිද?”

“භවද් ගෞතමයන් වහන්ස, එසේය.”

ලොහිච්චය, යමෙක් මෙසේ කියන්නේද, ‘ලොහිච්ච බ්‍රාහ්මණතෙම සාලවතිකා නම් ගම ප්‍රධානියාව වාසය කරයි. සාලවතිකා නම් ගමෙහි යම් පමණ වස්තු හටගණීද, එය ලොහිච්ච බ්‍රාහ්මණ තෙම තනිවම ප්‍රයෝජන ගන්නේය. අනුන්ට නොදෙන්නේය’ මෙසේ කියන්නාවූ ඔහු යම් කෙනෙක් ඔහු නිසා ජීවත් වෙත්ද, ඔවුන්ට ලාභ අන්තරාය කරන්නේ හෝ වේද, නොහොත් ලාභ අන්තරාය නොකරන්නේ හෝ වේද?”

“භවද් ගෞතමයන් වහන්ස, ලාභ අන්තරාය කරන්නේ වේ.”

“ලාභ අන්තරාය කරන්නෙක් වූයේම ඔවුන්ගේ හිත වැඩ කැමැත්තේ හෝ වේද, නොහොත් හිත වැඩ නොකමැත්තේ හෝ වේද?”

“භවද් ගෞතමයන් වහන්ස, හිත වැඩ නොකැමැත්තේ වේ.”

“හිත වැඩ නොකැමැත්තේ ඔවුන් කෙරෙහි මෛත්‍රී සිත හෝ එළඹ සිටියේ වේද නොහොත් ක්‍රොධ සිත පිහිටියේ වේද?”

“භවද් ගෞතමයන් වහන්ස, ක්‍රොධ සිත පිහිටියේ වේ.”

“ක්‍රොධ සිත එළඹ සිටි කල්හි මිථ්‍යාදෘෂ්ටි (වැරදි දැකීම්) ඇත්තේ හෝ වේද? සම්‍යක්දෘෂ්ටි (යහපත් දැකීම්) ඇත්තේ හෝ වේද?”

“භවද් ගෞතමයන් වහන්ස, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේ.”

“ලොහිච්චය, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහට නිරයට පැමිණීම හෝ තිරිසන් යොනියට පැමිණීම දෙයාකාර ගති අතුරෙන් එක්තරා ගතියක් මම කියමි.”

Msdiv 510 “ලොහිච්චය, ඒ කුමකැයි සිතන්නෙහිද? පසේනදි කොසොල් රජ තෙම කසී කොසොල් දෙරටෙහි අධිපතිව වසන්නේ නොවේද?”

“භවද් ගෞතමයන් වහන්ස, එසේය.”

“ලොහිච්චය, යමෙක් මෙසේ කියන්නේද? පසේනදි කොසොල් රජතෙම කසී කොසොල් දෙරටෙහි අධිපතිව වාසය කරයි. කසී කොසොල් දෙරටෙහි යම් වස්තුවක් හට ගනීද එය පසේනදි කොසොල් රජතෙම තනීවම ප්‍රයෝජන ගන්නේය. අනුන්ට නොදෙන්නේයයි මෙසේ කියන්නාවූ ඔහු, යම් කෙනෙක් ඒ රජහු නිසා ජීවත්වෙත්ද ඔවුන්ට ලාභ අන්තරාය කරන්නෙ හෝ වේද, නොහොත් ලාභ අන්තරාය නොකරන්නේ හෝ වේද?”

“භවද් ගෞතමයන් වහන්ස, ලාභ අන්තරාය කරන්නේ වේ.”

“ලාභ අන්තරාය කරන්නෙක් වූයේ ම ඔවුන්ගේ හිත වැඩ කැමැත්තේ හෝ වේද, හිත වැඩ නොකැමැත්තේ හෝ වේද”

“භවද් ගෞතමයන් වහන්ස, හිත වැඩ නොකැමැත්තේ වේ.”

“හිත වැඩ නොකැමැති වූයේ ඔවුන් කෙරෙහි මෛත්‍රී සිත හෝ එළඹ සිටියේ වේද, නොහොත් ක්‍රොධ සිත එළඹ සිටියේ වේද?”

“භවද් ගෞතමයන් වහන්ස, ක්‍රොධ සිත පිහිටියේවේ.”

“ක්‍රොධ සිත එළඹ සිටි කල මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ හෝ වේද, නොහොත් සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වේද?”

“භවද් ගෞතමයන් වහන්ස, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේ”

“ලොහිච්චය, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහට නිරයට පැමිණීම හෝ තිරිසන් යොනියට පැමිණීම යන දෙයාකාර ගති අතුරෙන් එක්තරා ගතියක් මම කියමි.”

Msdiv 511 ලොහිච්චය, මෙතෙකින් යමෙක් මෙසේ කියන්නේද, ලොහිච්ච බ්‍රාහ්මණ තෙම සාලවතිකා නම් ගම අධිපතිව වාසය කරයි. සාලවතිකා නම් ගම හටගන්නා යම් පමණ වස්තුව වේද එය ලොහිච්ච බ්‍රාහ්මණ තෙම තනිවම ප්‍රයෝජන ගන්නේය. අනුන්ට නොදෙන්නේයයි’ මෙසේ කියන්නාවූ ඔහු, යමෙක් ඒ ලොහිච්ච බ්‍රාහ්මණයා නිසා ජීවත් වෙත්ද ඔවුන්ට ලාභ අන්තරාය කරන්නේ වේ. ලාභ අන්තරාය කරන්නෙක් වූයේ හිත වැඩ නොකැමැත්තේ වේ. හිත වැඩ නොකැමැත්තහුට ක්‍රොධ සිත එළඹ සිටියේ වෙයි. ක්‍රොධ සිත එළඹ සිටි කල මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයි.

“ලොහිච්චය, ඒ ආකාරයෙන්ම යමෙක් මෙසේ කියන්නේද, “මේ ලොකයෙහි මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කුශල ධර්මයට පැමිණෙන්නේද කුශල ධර්මයට පැමිණ අනුන්ට එය ප්‍රකාශ නොකරන්නේය. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේද? පරණ බැම්මක් කපාදමා වෙන අලුත් බැම්මක් කරන්නේ යම්සේද මේ එවැනි ලාමකවූ ලොභයකැයි කියමි. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේද?” කියායි. මෙසේ කියන්නාවූ හෙතෙම යම් කුල පුත්‍රයෝ තථාගතයන් විසින් ප්‍රකාශ කරන ලද ධර්මවිනය ඇති ශාසනයට පැමිණ මෙබඳුවූ මහත්වූ විශෙෂ අවබොධයකට පැමිණෙත්. සෝවාන් ඵලයද අවබොධ කෙරෙත්. සකෘදාගාමි ඵලයද අවබොධ කෙරෙත්. අනාගාමි ඵලයද අවබෝධ කෙරෙත්. අර්හත් ඵලයද අවබොධ කෙරෙත්. යම් කෙනෙක් දෙව්ලොව උපදිනු සඳහා දෙව්ලොව උපදින කුසල්ද දියුණු කරත්. එබඳුවූ ඔවුන්ට අන්තරාය කරන්නේ වෙයි. ඔවුන්ට අන්තරාය කරවූයේ හිත වැඩ නොකැමැත්තේ වේ. හිත වැඩ නොකැමැත්තහුට ක්‍රොධ සිත එළඹ සිටියේ වේ. ක්‍රොධ සිත එළඹ සිටි කල මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේ. ලොහිච්චය, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහට නිරය ගතිය හෝ තිරිසන් ගතිය යන දෙයාකාර ගති අතුරෙන් එක්තරා ගතියක් මම කියමි.

Msdiv 512 (ලොහිච්චය, මෙතෙකින් යමෙක් මෙසේ කියන්නේද, පසේනදි කොසොල් රජතෙම කසී කොසොල් දෙරටෙහි අධිපතිව වාසය කරයි. කසී කොසොල් දෙරටෙහි යම් වස්තු උත්පත්තියක් ඇද්ද එය පසේනදි කොසොල් රජ තෙම තනිවම ප්‍රයෝජන ගන්නේය. අනුන්ට නොදෙන්නේය.) කියායි. මෙසේ කියන්නාවූ ඔහු ඔබ හෝ වෙනත් අය හෝ යම් කෙනෙක් ඒ පසේනදි කොසොල් රජු නීසා ජීවත්වෙත්ද, ඔවුන්ට අන්තරාය කරන්නේ වේ. අන්තරාය කරවූයේ හිත වැඩ නොකැමැත්තේ වේ. හිත වැඩ නොකැමැත්තහුට ක්‍රොධ සිත පිහිටියේ වෙයි. ක්‍රොධ සිත් ඇත්තහුට මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේ.

“ලොහිච්චය, එමෙන්ම යමෙක් මෙසේ කියන්නේද “මේ ලොකයෙහි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කුශල ධර්මයට පැමිණෙන්නේද, කුශල ධර්මයට පැමිණ අනුන්ට එය ප්‍රකාශ නොකරන්නේය. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේද, පරණ බැම්මක් කපා දමා වෙන අලුත් බැම්මක් කරන්නේ යම්සේද මේ එවැනි ලාමකවූ ලොභයකැයි කියමි.” මෙසේ කියන්නාවූ හෙතෙම යම් ඒ කුලපුත්‍රයෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනය ඇති ශාසනයට පැමිණ මෙබඳුවූ මහත් විශෙෂ අවබොධයකට පැමිණෙත්. සොවාන් ඵලයද අවබොධ කෙරෙත්. සකෘදාගාමි ඵලයද අවබොධ කෙරෙත්. අනාගාමි ඵලයද අවබොධ කෙරෙත්. අර්හත් ඵලයද අවබොධ කෙරෙත්. යම්කෙනෙක් දෙව්ලොව ඉපදීම සඳහා දෙව්ලොව උපදින කුසල්ද දියුණු කරත්. එබඳුවූ ඔවුන්ට අන්තරායක් කරන්නේවේ. අන්තරාය කරන්නේ හිත වැඩ නොකැමැත්තේ වේ. හිත වැඩ නොකැමැත්තහුට ක්‍රොධ සිත එළඹ සිටියේ වෙයි. ක්‍රොධ සිත එළඹ සිටියහුට මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේ. ලොහිච්චය, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහට නිරය ගතිය හෝ තිරිසන් ගතිය යන දෙයාකාර ගති අකුරෙන් එක්තරා ගතියක් මම කියමි.

තයො චොදනාරහා Msdiv 513 “ලොහිච්චය, මේ ලෝකයෙහි චොදනාකිරීම සුදුසුවූ (ශාස්තෘවරයෝ) අනුශාසකයෝ තුන්දෙනෙක් ඇත්තාහ. යමෙක් මෙබඳුවූ ශාස්තෘවරයන්ට චොදනා කෙරේද, ඒ චොදනාව ඇත්තක්මය, සැබවක්මය, ධර්මයට එකඟය, නිවරදය, කවර තුන් දෙනෙක්ද? ලොහිච්චය, මේ ලොකයෙහි ඇතැම් අනුශාසකයෙක් යම් ප්‍රයෝජනයක් සඳහා ගිහිගෙන් නික්ම අනගාරික (ගිහි ජීවිතයෙන් තොර) ශාසනයෙහි මහණවේද, ඔහු විසින් ඒ ශ්‍රමණ භාවයේ ඵලය වන රහත් බව නොලබන ලද්දේ වේද, ඔහු ඒ රහත් බවට නොපැමිණ (ශ්‍රාවකයන්ට) තොපට මේ හිත පිණිසය, තොපට මේ සැප පිණිසයයි ගෝලයින්ට ධර්ම දෙශනා කරයිද, ඔහුගේ ඒ ගෝලයෝ එය නොඅසත්ද, ඒ ධර්මය ඇසීම පිණිස කන් නොනමත්ද, ඒ ධර්මය දැනගැනීම පිණිස සිත එළඹ නොපිහිටුවත්ද, අනුශාසකයාගේ අනුශාසනයෙන් ඉවත්ව පවතිත්ද, ඔහු මෙසේ චෝදනා කටයුතු වන්නේය. ‘ආයුෂ්මත්තෙම යම් ප්‍රයෝජනයක් පිණිස ගිහිගෙන් නික්ම අනගාරික ගිහි (ජීවිතයෙන් තොර) ශාසනයෙහි පැවිදිවූයේද, ඔබ විසින් ඒ අර්හත්ඵලය නොලබන ලද්දේය. ඔබ ඒ මහණ අර්ථයට නොපැමිණ තොපට මේ හිත පිණිසය, තොපට මේ සැප පිණිසයයි ගෝලයන්ට ධර්මදෙශනා කෙරෙහිද, ඔබගේ ඒ ගෝලයෝ ඒ ධර්මය නොඅසත්, ඒ ධර්මය ඇසීමට කන් නොනමත්. ඒ ධර්මය දැනගැනීම පිණිස සිත එළඹ නොසිටුවත්, ගුරුවරයාගේ අනුශාසනයෙන් පිටත පවතිත්. යම්සේ අහක්ව යන ස්ත්‍රියක් වෙතට පැමිණෙන්නේ හෝ වේද, යම්සේ පිටිපෑ එකියක් වැළඳගන්නේද මෙයද එවැනිවූ ලාමක ලොභ ධර්මයකැයි කියමි. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේද? ලොහිච්චය, මේ ලොකයෙහි චෝදනා කිරීමට සුදුසුවූ ඒ පළමුවෙනි අනුශාසකයායි. යමෙක් මෙවැනි අනුශාසකයාට චෝදනා කෙරේද, ඒ චෝදනාව ඇත්තක්මය, සැබවක්මය, ධර්මයට එකඟද වේ. නිවරදය.

Msdiv 514 “ලොහිච්චය, නැවතද අනිකක් කියමි. මේ ලොකයෙහි සමහර අනුශාසකයෙක් යම් ප්‍රයෝජනයක් සඳහා ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයෙහි මහණවේද ඔහු ඒ ප්‍රයෝජනය වන රහත් බවට නොපැමිණියේ වේද, ඔහු ඒ රහත් බවට නොපැමිණ, තොපට මේ හිත පිණිසය. තොපට මේ සැප පිණිසයයි ගෝලයින්ට ධර්ම දෙශනා කෙරෙයිද ඒ ගෝලයෝ ඔහුගේ ධර්මය අසත්ද, ඒ ධර්මය දැනගැනීම පිණිස කන් නමත්ද, ඒ ධර්මය දැනගැනීමට සිත් එළඹ සිටුවත්ද? ගුරුවරයාගේ අනුශාසනයෙන් පිටත නොපවතිත්ද, ඔහු මෙසේ චෝදනා කටයුතු වන්නේය. ආයුෂ්මත් තෙම යම් අර්හත්ඵල ලාභයක් පිණිස ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයෙහි මහණවූයේ ඔබ විසින් ඒ රහත් බව නොලබන ලද්දේය. ඔබ රහත් බවට නොපැමිණ තොපට මේ හිත පිණිසය, තොපට මේ සැප පිණිසයයි ගෝලයින්ට ධර්ම දෙශනා කෙරෙහිද, ඒ ගෝලයෝ ඔබගේ ධර්මය අසත්ද, කන් නමත්ද, ඒ ධර්මය දැනගැනීම පිණිස සිත එළඹ සිටුවත්ද? ඒ ගුරුවරයාගේ අනුශාසනයෙන් පිටත නොපවතිත්ද, තමන්ගේ කුඹුර හැර අනුන්ගේ කුඹුරක් පිරිසිදු කළයුතුයයි යම්සේ හඟින්නේද මේ එවැනි ලාමකවූ ලොභ ධර්මයකැයි කියමි. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේද? ලොහිච්චය, යමෙක් මේ ලොකයෙහි චෝදනා කිරීමට සුදුස්සෙක් වේද, මේ දක්වන ලද්දේ ඒ චෝදනාවට සුදුසුවූ දෙවෙනි අනුශාසකයායි. යමෙක් මෙබඳු අනුශාසකයෙකුට චෝදනා කෙරේද, ඒ චෝදනාව ඇත්තක්මය, සැබෑවක්මය, ධර්මයට එකඟවේ, නිවරදය.

Msdiv 515 “ලොහිච්චය, නැවතද අනිකක් කියමි. මේ ලොකයෙහි සමහර ගුරුවරයෙක් යම් අර්හත්ඵල ලාභයක් පිණිස ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයෙහි මහණවූයේ ඔහු ඒ ප්‍රයෝජනය වන රහත් බවට පැමිණියේ වේද, ඔහු ඒ රහත් බවට පැමිණ, “තොපට මේ හිත පිණිසය, තොපට මේ සැප පිණිසයයි” ගෝලයින්ට ධර්මදෙශනා කෙරෙයිද, ඒ ගෝලයෝ ඔහුගේ ධර්මය නොඅසත්ද, ඒ ධර්මය දැනගැනීම පිණිස කන් නොනමත්ද, ඒ ධර්මය දැනගැනීමට සිත් එළඹ නොසිටුවත්ද, ගුරුවරයාගේ අනුශාසනයෙන් පිටත පවතිත්ද ඔහු මෙසේ චොදනා කටයුතු වන්නේය. ආයුෂ්මත්තෙම යම් අර්හත්ඵල ලාභයක් පිණිස ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයෙහි මහණ වූයේද ඔබ විසින් ඒ රහත් බව ලබන ලද්දේය. ඔබ ඒ රහත් බවට පැමිණ, තොපට මේ හිත පිණිසය, තොපට මේ සැප පිණිසය’යි ගෝලයින්ට ධර්ම දෙශනා කෙරෙහිද, ඒ ගෝලයෝ ඔබගේ ඒ ධර්මය නොඅසත්ද, කන් නොනමත්ද, ඒ ධර්මය දැනගැනීම පිණිස සිත එළඹ සිටුවත්ද, ගුරුවරයාගේ අනුශාසනයෙන් පිටත පවතිත්ද, පරණ බැම්මක් කපා දමා වෙනත් අලුත් බැම්මක් කරන්නේ යම්සේද, මේ එවැනි ලාමකවූ ලොභ ධර්මයකැයි කියමි. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේද? ලොහිච්චය, ලොකයෙහි යමෙක් චොදනා කිරීමට සුදුසුවේද, මේ දක්වන ලද්දේ එසේ චෝදනා කිරීමට සුදුසු ඒ තුන්වෙනි අනුශාසකායයි. යමෙක් මෙවැනි ගුරුවරයාට චොදනා කෙරේද, ඒ චෝදනාව ඇත්තක්මය, සැබෑවක්මය, ධර්මයට එකඟවේ, නිවරදය.

“ලොහිච්චය, මොවුන් තුන්දෙනා ලොකයෙහි චොදනා කිරීමට සුදුසු අනුශාසකයෝ වෙත්. යමෙක් මෙවැනි ගුරුවරයන්ට චොදනා කෙරේද, ඒ චොදනාව ඇත්තක්මය, සැබැවක්මය, ධර්මයට එකඟවේ. නිවරදය.

නචොදනාරහසත්ථු Msdiv 516 මෙසේ කී කල ලොහිච්ච බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැනුම් දුන්නේය. “භවද් ගෞතමයන් වහන්ස, ලොකයෙහි යමෙක් චොදනා කිරීමට නුසුදුසු වේද, එවැනි කිසියම් ගුරුවරයෙක් ඇත්තේද?”

“ලොහිච්චය, ලොකයෙහි යමෙක් චොදනා කිරීමට නුසුදුසු වේද එවැනි ගුරුවරයෙක් ඇත්තේමය.”

“භවද් ගෞතමයන් වහන්ස, ලොකයෙහි යමෙක් චොදනා කිරීමට නුසුදුසුවේද, ඒ ගුරුවරයා නම් කවුද?”

“ලොහිච්චය, (අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනාඥාන ආදී විද්‍යා අට සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළව යන අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනීවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ (චතුරාර්‍ය්‍ය සත්‍ය) සත්‍යවූ උතුම් ධර්මසතර අවබොධකළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ රජුන් හා මිනිසුන් සහිතවූ, සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැන පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන්වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කරන්නාවූ (බ්‍යඤ්ජන සහිත) සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ සියලු ශාසනමාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව ගෙන හැර දක්වති.

ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයි. ඔහු ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ මෙසේ සලකන්නේය. ගෘහවාසය පීඩා සහිතයි. රාගාදී කෙලෙස් සහිත මාර්ගයෙකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනිවූ මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැළිරැවුලු කපා දමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් ඉතා යහපතැයි කියායි.

“ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් රාශිය හැර, ස්වල්පවූ හෝ බොහෝවූ නෑපිරිස් හැර, කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණවේ. මෙසේ මහණවූ ඔහු ප්‍රධාන සංවර සීලයෙන් යුක්ත වූයේ, යහපත් හැසිරීමෙන් හා වරද නැති පැවැත්මෙන් යුක්ත වූයේ ස්වල්පවූත් අකුසලයන්හි විශෙෂයෙන් භය දක්නා ගති ඇත්තෙකුවූයේ, යහපත්වූ ශරීරයෙන් වචනයෙන් ක්‍රියාවෙන් යුක්තවූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත පැවැතුම් ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්ත වූයේ වෙයි, ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේ වෙයි, කෑමෙහි පමණ දන්නේ වෙයි, යහපත් සිහියෙන් හා නුවණින් යුක්තවූයේ වෙයි, සන්තෝෂයෙන් යුක්ත වෙයි.

ලොහිච්චය, භික්ෂුනමක් කෙසේ නම් සීලසම්පන්න වේද? ලොහිච්චය, මේ සස්නෙහිවූ භික්ෂුනමක් ප්‍රාණවධය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, බහා තබන ලද දඬු ඇත්තේ බහා තබන ලද ආයුධ ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජාඇත්තේ කරුණාවන්තවූයේ. සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ. මෙයද ඔහුගේ සීලයක්වේ. නොදුන්දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළැක්කේ, දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමතිවන්නේ. සොරනොවූ පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කෙරේ. මෙයද ඔහුගේ සීලයකි. අබ්‍රහ්මචරියාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන්වූයේ බ්‍රහ්මචාරීවේ. මෙයද ඔහුගේ සීලයෙකි. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ සැබෑ තෙපුල් කියන්නේ, සැබවින් සැබව ගළපන ගතිඇතුව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ. මෙයද ඔහුගේ සීලයෙකි. පිසුණු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේද, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේද, මෙසේ භෙදවූවන් ගළපන්නේ සමගිවූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ. සමගියෙහි ඇලුම් බහුලකොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ තෙපුල් කියන්නේය. මෙයද ඔහුගේ සීලයෙකි. ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ යම් වචනයක් නිදොස් වේද, කනට සැපද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝදෙනාට ප්‍රියද, බොහෝදෙනාගේ හිත් ප්‍රියකරන්නේද, එබඳු වචනම කියන්නේ වේ. මෙයද ඔහුගේ එක් සීලයෙකි. හිස් ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, කාලයට සුදුසු කථා කරන්නේ. සිදුවූ තෙපුල්ම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්ත විනය සම්බන්ධවූ තෙපුල් කියන්නේ, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත් නිධානයක් මෙන් සිතෙහි තැබියයුතු වචන කියන්නේවේ. මෙසේ ඒ හිස් කථාවෙන් වැළැක්කේද දියුණුවට හේතුවන වචන කියන්නේද, මෙයද ඔහුගේ සීලයෙකි.

“තණ, ගස්, වැල්, සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන කෑම ඇත්තේ, රාත්‍රිකෑමෙන් හා අවේලේ කෑමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය, නැටීම්, ගීකීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය, මල්, ගඳ විලවුන් පැළඳීම්, ඉන් සැරසීම, අඩුතැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළැක්කේය. රන් රිදී මසුරන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය. අමුවූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේ, අමුමස් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද ස්ත්‍රීන් හා ගෑනුලමයින් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේදවේ. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේ, එළුවන් හා තිරළුවන් පිළිගැනීමෙන් තොර වූයේ, කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන්, කෙත්, වත්, යන මේ පිළිගැන්මෙන්ද, සම්පූර්ණයෙන් තොර වූයේය. ගිහීන්ගේ දූත මෙහෙවරය, ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. ගනුදෙනු කිරීමය, තරාදි ආදියෙන් වඤ්චාකිරීමය. රන් හා නොරන් මිශ්‍ර වඤ්චාකිරීමය, වී ආදිය මැණීමෙන් වඤ්චා කිරීමය, හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. කැපීමය, මැරීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැරගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැරගැන්මය යන මෙයින්ද සම්පූර්ණයෙන් වැළැක්කේය, මෙයද ඔහුගේ සීලයක් වේ.

“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මූලබීජය. ඛන්ධබීජය, ඵලබීජය, දලුබීජය, පස්වැනිවූ බීජබීජය යන මේ ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්. මෙබඳුවූ බීජගාම භුතගාමයන් සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේනම් මෙයද ඔහුගේ එක් සීලයක් වේ.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා ආහාර වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, නොඉටන ලද (අයිතියට නොගත්) සිවුරු ආදිය, යාන සංඛ්‍යාත වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත්කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියන ලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත්. මෙබඳුවූ සන්නිධිකාර පරිභොගයෙන් වැළකී වෙසේ. මෙයද ඔහුගේ සීලයකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා නැටීමය, ගී කීමය, බෙර ආදිය වැයීමය, රඟමඬුලු සැරසීමය, වැඩක් නැති කථා ඇසීමය, කයිතාලම් හා අත්ලෙන් අත්ල ගැසීමය, මන්ත්‍ර පිරවීමෙන් මළමිණී නැංවීමය, සතරැස් හෝ කළ බෙර ගැසීමය, ශොභන චිත්‍ර විචිත්‍රය, සණදොවුන් කෙළිය. හුණගස් ඔසවා නැටීමය, මිනීඇට සෝදා තැබීමය, ඇතුන් හා පොරය, අශ්වයින් යොදා පොරය, මීවුන් හා පොරය, ගවයින් හා පොරය, එළුපොරය, මෙණ්ඩක එළුපොරය, කුකුළු පොරය, වටුපොරය, දඬු (පොලු) පොරය, තොරතුරු ඇනීමය, මල්ලව යුද්ධය, යුද්ධය, ඇත් අස් ආදිය දැකීමය යන විකාර දර්ශනයෙහි යෙදී වාසය කරත්. මෙසේ මෙබඳු විසුලු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකේ. මෙයද ඔහුගේ සීලයකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා දූ පෝරු ආදියෙහි කෙළීම්වූ ක්‍රීඩාවය. දශපද ක්‍රීඬාවය, දූ පෝරු ආදියෙහි මෙන් ආකාශයෙහි ක්‍රීඩාකිරීමය, බිම මණ්ඩල වශයෙන් සාදා පැන පැන ක්‍රීඩා කිරීමය, දූ කැට නොසොල්වා නියෙන් ගසා ක්‍රීඩා කිරීමය, දාදු කෙළීමය, සිං කෙළීමය, භිත්ති ආදියෙහි ඉරටමිටි ගසා ඇත් අස් ආදී රූප දක්වා කෙළීමය, පන්දු කෙළීමය, නලා පිඹීමය, ක්‍රීඩා නගුල් ගෙන සෙල්ලම් සීසෑම්ය, කරනම් ගැසීමය, තල්පත් ආදියෙන් කන්නන් ගුරුවා තනා ක්‍රීඩා කිරීමය, කොළ නැළියෙන් වැලි ආදිය මැන කෙළීමය, කුඩා රථයෙන් කෙළීමය, කුඩා දුන්නෙන් කෙළීමය, අහසෙහි හෝ පිටෙහි හෝ අකුරු ඇඳ කෙළීමය, සිතූ දේ කියවීම් කීම් ආදියෙන් කෙළීමය, ඒ ඒ දෝෂ රූප දක්වා කෙළීමය, යන මෙබඳුවූ ප්‍රමාදයට කාරණාවූ දූ කෙළීමෙහි යෙදී වාසය කෙරෙත්. මෙසේ මෙබඳුවූ දූ කෙළියෙන් සම්පූර්ණයෙන් වළකියි. මෙයද ඔහුගේ සීලයකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා දික්සඟලා පුටුය, පලස්ය, සතරඟුලෙන් දිග ලොම් ඇතිරිය, විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් සුදු ඇතිරිය, එළුලොමින් කළ ඉදිරියට නෙරූ මල් ඇති ඇතිරිය, සිංහාදි රූපයෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එක් පිට ලොම් ඇති ඇතිරිය, දෙපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය, රත්රන් නූලෙන් කළ පට ඇතිරිලිය, එක්විට නැට්ටුක්කාරියන්දහසය දෙනෙක් නටනා එළුලොමින් කළාවූ මහඇතිරිය, ඇතුන්පිට අතුරන ඇතිරිය, අසුන්පිට අතුරණ ඇතිරිය, රථපිට අතුරණ ඇතිරිය, අඳුන්දිවි සමින් කළ ඇතිරිය, කෙසෙල් මුව සමින් කළ උතුම් ඇතිරිය, දෙපස තබන ලද රතුපාට කොට්ට ඇති ආසනය, යන මෙබඳු උස් අසුන් පාවිච්චි කෙරෙත්. මෙසේ මෙබඳුවූ උස් අසුන් මහඅසුන්හි හිඳීම් ආදියෙන් වළකියි. මෙයද ඔහුගේ සීලයකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ඇඟ ඉලීමය, පිරිමැදීමය, නැවීමය, මැඩීමය, මූනබලන කන්නාඩි, අඳුන්, තෙල් හා සුවඳ පාවිච්චිය මූණේ ගානා සුවඳ කුඩු, මූණේගානා සුවඳ ද්‍රව්‍ය, අත්වල බඳින ආභරණ යන මේ දේ දැරීම හා පැළඳීමය, රත්රන් නූල් ආදියෙන් කුඩුම්බි බැඳීමය, විසිතුරු දඬුගෙන හැසිරීමය, බෙහෙත් නල එල්වාගෙන ඇවිදීමය, කඩු විසිතුරු කුඩ ගෙනයෑම, විසිතුරු සෙරෙප්පු හෝ සපත්තු පයලා ඇවිදීමය, නලල්පට බැඳීමය, කොණ්ඩා මාණික්‍ය පැළඳීමය, අවන් දැරීමය, දික්වූ දහවලු ඇති සුදුරෙදි ඇඳීමයයි මෙසේවූ සැරසීම් හා අඩුතැන් පිරවීමෙහි නිතර නිතර යෙදෙත්. මෙබඳුවූ සැරසීම් අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වළකියි. මෙයද ඔහුගේ සීලයකි.

“එසේම ඇතැම් පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, ඇඳන් පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, ගන්ධ ද්‍රව්‍යයන් පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නුවර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, ගෑනු දරුවන් පිරිමි දරුවන් පිළිබඳ කථාය, යෝධයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, වතුර ගෙන යන දාසීන් හෝ වතුර ගෙන යන තැන් හෝ පිළිබඳ කථාය, මළ නෑයන් යන ආදීන් පිළිබඳ කථාය, නොයෙක් ආකාරවූ තේරුම් නැති කථාය, ලොකය පිළිබඳ කථාය, මුහුද පිළිබඳ කථාය, භවාභව කථාය යන මෙබඳු පහත් කථාවෙහි යෙදී වෙසෙත්. මෙබඳුවූ පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වළකියි. මෙයද ඔහුගේ සීලයකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘ඔබ මේ ධර්මවිනය නොදන්නෙහිය, මම මේ ධර්මවිනය දනිමි.’ ‘ඔබ මේ ධර්මවිනය කුමකැයි දන්නෙහිද? ඔබ වරදවා පිළිපදින්නෙහිය, මම මනාකොට පිළිපදින්නේ වෙමි.’ මාගේ වචන යහපත්ය හෝ අර්ථ සහිතය, ඔබගේ වචන අර්ථ රහිතය.’ ‘පළමු කියයුත්ත පසුව කීයෙහිය, පසුව කිය යුත්ත පළමුව කීයෙහිය. යමක් ඔබ බොහෝ කල් පුරුදුකරණ ලද නම් ඒ සියල්ල නිෂ්ඵල විය, ඔබට වාදාරොපණය කරණ ලදී. නින්දා කරණ ලද්දෙහිය. වාදයෙන් මිදෙනු පිණිස ක්‍රියා කරව. ඉදින් හැක්කෙහි නම් වාදයෙන් ගැළවේ’ යන ආදී දොෂාරොපණ කථාවෙහි යෙදී වෙසෙත්. මෙසේ මෙබඳු දොෂාරොපණ කථාවෙන් සම්පූර්ණයෙන් වළකින්නේය, මෙයද ඔහුගේ සීලයකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන්ගේ, රජ මහ ඇමතියන්ගේ, ක්ෂත්‍රියයන්ගේ, බමුණන්ගේ, ගෘහපතියන්ගේ සහ කුමරුන්ගේ හසුන් ගෙණ, ‘මෙතනින් අසවල් තැනට යව අසවල් තැනින් මෙහි එව, මෙය ගෙණ යව. එතැනින් අසවල් දෙය ගෙණෙව’යි දූතභාවයෙහි හා හසුන් ගෙණ යෑමෙහි යෙදී වෙසෙත්. මෙබඳු දූතභාවය. හසුන් ගෙණයෑම යන මෙයින් වළකින්නේය. මෙයද ඒ ඔහුගේ සීලයකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා කුහකයෝද, සිව්පසය උදෙසා කථා කරන්නෝද, නිමිති කරන්නෝද නොහොත් ලාභ සත්කාර සඳහන් කරවන්නෝද, පරලාභාදිය උදෙසා කියන්නෝද, ලාභයකින් ලාභයක් සොයන්නෝද වෙත්. මෙබඳුවූ කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වළකියිද මෙයද ඔහුගේ සීලයකි.”

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා සාමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය, හෙනගැසීම ආදී මහ නිමිතිබලා කියන ශාස්ත්‍රය, ස්වප්න ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, මීයන්කැපූ වස්ත්‍රාදිය බලා කියන ශාස්ත්‍රය, ගිනි දෙවියො පිදීමය, දබ්බිහොමය, ථුස හොමය, තණ්ඩුල හොමය, කණ හොමය, සප්පි හොමය, තෙල හොමය, මුඛ හොමය, ලේ හොමය, ශරීර විද්‍යා, වාස්තු විද්‍යා, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන්නාවූ විද්‍යා, භූත විද්‍යා, නාග විද්‍යා, විෂ විද්‍යා, ගෝනුසු විද්‍යා, මී විද්‍යා, කුරුලු විද්‍යා, කපුටු විද්‍යා, ජීවිත කාලය කීම, ආයුධ වැළැක්වීම, තිරිසන් සතුන්ගේ ශබ්ද දැනීම වශයෙන් පැවති මන්ත්‍රය යන පහත් විද්‍යා හේතුකොට ගෙන වැරදි ජීවිතයෙන් ජීවිකා කෙරෙත්. මෙසේ මෙබඳු පහත් විද්‍යා හෙතුවෙන් කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේද මෙයද ඔහුගේ සීලයකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මණි ලක්ෂණය, වස්ත්‍ර ලක්ෂණය, දණ්ඩ ලක්ෂණය, කඩු ලක්ෂණය, දුනු ලක්ෂණය, ආයුධ ලක්ෂණය, ස්ත්‍රී ලක්ෂණය, පුරුෂ ලක්ෂණය, පිරිමිදරු ලක්ෂණය, ගෑනුදරු ලක්ෂණය, දාස ලක්ෂණය, දාසී ලක්ෂණය, ඇත් ලක්ෂණය, අශ්ව ලක්ෂණය, කැස්බා ලක්ෂණය, එළු ලක්ෂණය, මීහරක් ලක්ෂණය, ගව ලක්ෂණය, ලොකු එළු ලක්ෂණය, කුකුළු ලක්ෂණය, වටු ලක්ෂණය, තලගොයි ලක්ෂණය, කර්ණිකා ලක්ෂණය, මුව ලක්ෂණයයි, මෙබඳු පහත් විද්‍යාවන් කරණ කොට ගෙණ වැරදි ජීවිකාව කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යාවන් නිසා කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේද මෙයද ඔහුගේ සීලයකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා අසවල් දිනට රජුන්ගේ බැහැරයෑම වන්නේය. අසවල් දින ඇතුළු නුවරට එන්නේය. අසවල් දින ඇතුළු නුවර රජුන් වෙත පැමිණීම වන්නේය. බැහැර රජුන්ගේ බැහැරට යෑම වන්නේය. බැහැර රජුන්ගේ ඇතුළු නුවරට ඊම වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ ආපසු යෑම වන්නේය. ඇතුළු නුවර රජුන්ට ජය වන්නේය. බැහැර රජුන්ගේ පරාජය වන්නේය. බැහැර රජුන්ගේ ජය වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ පරාජය වන්නේය. මෙසේ මොහුට ජය වන්නේය. මෙසේ පරාජය වන්නේයයි කියා මෙසේ පහත් විද්‍යා හෙතුකොට ලාමක ජීවිකා කෙරෙත්. මෙබඳුවූ පහත් විද්‍යා හෙතුවෙන් කරණ වැරදි ජීවිතයෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයක් වේ.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා චන්ද්‍රග්‍රහණය වන්නේය, සූර්යග්‍රහණය වන්නේය, තාරකා සමාගමය වන්නේය, සඳහිරු දෙදෙනාගේ නියම මාර්ග ගමන වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නොමඟ යෑම වන්නේය, තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය, තාරකාවන්ගේ නොමඟ යෑම වන්නේය, උල්කාපාතය වන්නේය, දිසා දැවීම වන්නේය, පොළොව කම්පාව වන්නේය, අහස ගිගුරුම් වන්නේය, සඳ හිරු තාරකාවන්ගේ නැඟීම හා බැසීමද කෙළෙසීමද පිරිසිදු වීමද වන්නේය, චන්ද්‍රග්‍රහණය මෙබඳු විපාක ඇතිවන්නේය, සූර්‍ය්‍යග්‍රහණය මෙබඳු විපාක ඇති වන්නේය, තාරකා සමාගමය මෙබඳු විපාක ඇතිවන්නේය, චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇති වන්නේය, ඔවුන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇති වන්නේය, තාරකාවන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, තාරාකාවන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, උල්කාපාතය මෙබඳු විපාක ඇතිවන්නේය, දිගුන් දැවීම මෙබඳු විපාක ඇතිවන්නේය, භූමි කම්පාව මෙබඳු විපාක ඇතිවන්නේය, අහස් ගිගුම මෙබඳු විපාක ඇති වන්නේය, සඳ හිරු තාරකාවන්ගේ නැඟීම, බැසීම, කිලිටු වීම හා පිරිසිදු වීම මෙබඳු විපාක ඇතිවන්නේයයි කියා මෙසේ පහත් විද්‍යා හෙතුවෙන් කරණ වැරදි ජීවිකාවෙන් ජීවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හෙතුකොට ගෙණ කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා මනා වැසි ඇතිවන්නේය, මනා වැසි නැතිවන්නේය, යහපත් ආහාරපාන ඇතිවන්නේය, ආහාරපාන නැති වන්නේය, නිර්භය ඇතිවන්නේය, භය ඇතිවන්නේය, රොග ඇතිවන්නේය, නිරෝගී බව ඇතිවන්නේයයි කීමද, ඇඟිල්ල ඇල්ලීමය, ගණන්කිරීමය, කොටස්කර ගණන්කිරීමය, කාව්‍ය කිරීමය, ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙණීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණකොට වැරදි ජීවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හෙතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා අවාහ කරවීමය, විවාහ කරවීමය, සමගිය පිළිබඳ කථාකිරීමය, වියොගය පිළිබඳ කථාකිරීමය, ධන රැස් කිරීමය, වියදම් කිරීමය, යහපත් ශ්‍රියාව ඇතිකිරීමය, දුර්භගකරණය, ගර්භවිරොධි කරණය, දිව තද කිරීමය, නූල්බැඳීමය, අත් පෙරළිම පිණිස මන්ත්‍ර ජපකිරීමය, ශබ්ද නොඇසීම පිණිස මන්ත්‍ර ජපකිරීමය, කැඩපත්හි දෙවතාරොපණයකොට ප්‍රශ්න ඇසීමය, ගෑනුදරුවන්ගේ ශරීරයෙහි දෙවතාරොපණය කොට ප්‍රශ්න ඇසීමය, දෙවදාසියගේ ශරීරයෙහි යකුන් ආරොපණයකොට ප්‍රශ්න ඇසීමය, හිරු වැඳීමය, මහබඹුට උපස්ථාන හෝ වැඳුම් කිරීමය. කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දෙවිය කැඳවීමයයි කියන මෙබඳු පහත් විද්‍යාවෙන් වැරදි ජීවිකා කෙරෙත්. මෙබඳුවූ පහත් විජ්ජාවෙන් කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ශාන්ති කිරීමය, කාර්‍ය්‍ය සමෘද්ධි කටයුතු කර්මය, මන්ත්‍ර කිරීමය, භූරි කර්මය, පණ්ඩකයා පුරුෂයකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය, ගෙවල් නොකළ බිම් ගෙවල් කිරීමය, ගෙට සුදුසු තැන බලිකම් විධානය, දියෙන් මූන සුද්ධ කිරීමය, නැහැවීමය, ගිනි පිදීමය, වමන කරවීමය, විරේක කරවීමය, උඩු කය විරේකය, යටිකය වීරේකය, හිස විරේකය, කන්තෙලය, ඇස් බෙහෙත් ගැල්වීමය, නස්‍ය කිරීමය, අඳුන් ගෑමය, සිසිල් බෙහෙත් අඳුන් සෑදීමය, ආයුධ කටු ගසා කරන වෙදකමය, ශල්‍යකර්මය, ළදරුවන් පිළිබඳ වෙදකමය, මූලික බෙහෙත් දීමය, සැර බෙහෙත් දී පසුව එහි බල හැරීමය කියා හෝ මෙබඳු පහත් විද්‍යා කරණකොට වැරදි ජීවිත්වීමෙන් ජීවිකා කෙරෙත්. මෙබඳුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.

“ලොහිච්චය, මෙසේ සීලසම්පන්නවූ භික්ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ සීලසංවරය හෙතුකොටගෙණ කිසිතැනකදී නොඋපදනේය. කුමක් මෙන්ද යත්:- ලොහිච්චය, ක්ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂෙක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්ෂත්‍රිය රජෙක් කිසියම් සතුරෙකුගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම ලොහිච්චය, සීලසම්පන්නවූ භික්ෂුතෙමේ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු සීලසංවරය හෙතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්‍ය්‍යවූ (උතුම්වූ) මේ සීල රාශියෙන් යුක්තවූ ඒ භික්ෂුතෙම තමන්තුළ පිරිසිදුවූ (කායික චෛතසික) සැපය විඳියි. ලොහිච්චය මෙසේ දැක්වූ ශීලයෙන් යුක්තවූ භික්ෂුව සීලසම්පන්න නම් වේ.

ලොහිච්චය, භික්ෂුව කෙසේ නම් ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේද? ලොහිච්චය, මේ සස්නෙහි භික්ෂුතෙමේ ඇසින් රූපයක් දැක එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ඇස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කිපීම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රියය රකී. ඇස්ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කණින් ශබ්දයක් අසා එහි නො ඇලේ. එහි නොපෙළඹෙන්නේය. කන් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කිපීමාදි අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ කන් ඉන්ද්‍රියය රකී. කන් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. නාසයට ගඳ සුවඳ දැනී එහි නො ඇලේ. එහි නොපෙළඹෙන්නේය. නාස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කිපීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ නාස් ඉන්ද්‍රියය රකී. නාස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. දිවෙන් රසයක් විඳ එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. දිව් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කිපීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ දිව් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කයින් ස්පර්ශයක් ස්පර්ශකොට එහි නො ඇලේ. එහි නොපෙළඹෙන්නේය. ශරීර ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කිපීම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ ශරීර ඉන්ද්‍රියය රකී. ශරීර ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. සිතින් (ධර්මයක්) අරමුණක් දැන එහි නො ඇලේ. එහි නොපෙළඹෙන්නේය. සිත් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් නිසා දැඩි ආසාව හා කෝපය ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. හෙතෙම සිත් ඉන්ද්‍රිය රකී. සිත් ඉන්ද්‍රීයයෙහි සංවරයට පැමිණේ. එබඳුවූ භික්ෂුව උතුම්වූ ශිලරාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිදුවූ අධිචිත්ත සැපය විඳියි. ලොහිච්චය, මෙසේවූ භික්ෂුතෙමේ ඉන්ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වේ.

“ලොහිච්චය, භික්ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද?”

“ලොහිච්චය, මේ සස්නෙහි භික්ෂුතෙම ඉදිරියට යෑමෙහිද, ආපසු යෑමෙහිද, නුවණින් දැන කරන්නේය. ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද නුවණින් දැන බලන්නේය. අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, මනා නුවණින් දැන එසේ කරන්නේය. දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිද මනා නුවණින් දැන එසේ කරන්නේය. අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය රස විඳීමය යන මෙහිද මනා නුවණින් යෙදී එසේ කරන්නේය. මල මූත්‍ර පහකිරීම්ද නුවණින් (ආදිනව) සලකා කරන්නේය. යෑම්, සිටීම්, හිඳීම් සැතපීම්, නිදි තොරකිරීම්, කථාකිරීම්, නිශ්ශබ්දව සිටීම් යන මේ දේ මනා නුවණින් දැන කරන්නේය. ලොහිච්චය, මෙසේ කරන්නාවූ භික්ෂුතෙමේ සිහියෙන් යුක්තවූයේ යහපත් නුවණින් යුක්තවූයේ වෙයි.

“ලොහිච්චය, භික්ෂුතෙමේ කෙසේ ලද පමණින් සතුටුවූයේ වේද?

“ලොහිච්චය, භික්ෂුතෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද බඩ ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු සිත් ඇත්තේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් අටපිරිකර (කය පිළිබඳවූ දේ) පමණක් ගෙන යයි. ලොහිච්චය, යම්සේ පක්ෂියෙක් යම් තැනෙක පියාඹා යේනම් ඒ සියලුතැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, ලොහිච්චය. එපරිද්දෙන්ම භික්ෂුතෙමේද ශරීරය ආරක්ෂාවට ප්‍රමාණවූ සිවුරෙන්ද බඩ ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු වන්නේවේ. ඔහු යම් තැනක යා නම් අටපිරිකර පමණක් රැගෙණ බැහැර යයි. ලොහිච්චය, මෙසේවූ භික්ෂු තෙමේ සන්තොෂයෙන් යුක්ත වේ.

“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද, උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, මේ උතුම්වූ සන්තොෂයෙන් යුක්තවූද, ඒ භික්ෂුතෙමේ කැලයද, ගහක් මුලද, කඳු පලාත්ද, කඳුරැලි ගල් ගුහාවන් හෝ මහා මගද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තණ ගුහාද යන මේ ස්ථාන ආශ්‍රය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරී ආයේ පර්යංකය බැඳ (කකුල් අකුලුවා හිඳ) ශරීරයේ උඩුකොටස කෙලින් තබා අරමුණට සිහිය එළවා හිඳී.

“ඔහු ලොකයෙහි ලොභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලොභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රොධය පහකොට, ක්‍රොධයෙන් දුරුවූ සිත් ඇතිව පණඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේව වාසය කරයි. ක්‍රොධ දොෂයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරුකොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ පිරිසිදු හැඟීම් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේ. අලස බව දුරුකොට සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, සිත විසිරයාම හා පසුතැවීමෙන් පිරිසිදු කෙරේ. විචිකිච්ඡාව (සැකය) දුරුකොට පහකළ විචිකිච්ඡා ඇත්තේ කුශලධර්ම විෂයෙහි සැක නැතිව වෙසේත විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.

“ලොහිච්චය, යම්සේ පුරුෂයෙක් ණය ගෙණ කර්මාන්තයන්හි යොදන්නේද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණු වන්නාහු නම් ඔහුගේ ඒ පරණ ණය මුදල් සියල්ලම ගෙවන්නේය. ඔහුගේ අඹු දරුවන් ආරක්ෂා කරණ පිණිස වැඩි යමක් ඉතුරුවූයේ නම් ඕහට මෙබඳු අදහසක් ඇතිවේ. ‘මම පළමුවෙන් ණය ගෙණ කර්මාන්තයන්හි යෙදුවෙමි. ඒ මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. ඒ මම පැරණි ණය ගෙවූයෙමි. අඹු දරුවන් පොෂ්‍යකිරීම පිණිස අතිරේක මුදලක්ද මට ඇත්තේය’ කියායි. හෙතෙම ඒ ණය නැති බව මුල්කොටගෙණ බලවත් සතුටක් ලබන්නේය. සතුටටද පැමිණෙන්නේය.

“ලොහිච්චය, යම්සේ රොගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩි ගිලන් බව ඇති පුරුෂයෙක් වන්නේද, ඕහට ආහාර රුචි නොවන්නේද, ඔහුගේ ශරීරයෙහි කිසි ශක්තියක් නැත්තේද වෙයි. ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට ආහාර රුචිය ඇතිවන්නේ නම්, ඔහුගේ ශරීර බලය ඇති වන්නේ නම්, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. කෙබඳුද යත්: ‘මම පෙර ආබාධ ඇත්තාවූ, දුක් ඇති, දැඩි ගිලන් බව ඇති කෙනෙක්වීමි. මට බත් රුචියද නොවීය. ශරීර බලයද නැතිවිය. ඒ මම පළමු තිබූ ආබාධයෙන් මිදුනෙමි. මට ආහාර රුචියද ඇත්තේය. කාය බලයද තිබේය’ කියායි. ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය. සොම්නසටද පැමිණෙන්නේය.

“ලොහිච්චය, යම්සේ පුරුෂයෙක් සිරගෙයි බැඳුනේ වේද, ඔහු පසුකලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය. ඔහුගේ කෑම පිළිබඳ කිසිත් වියදමක්ද නොවන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: “මම පෙර සිරගෙයි බැඳුනෙක් වූයෙමි. ඒ මම දැන් පීඩා රහිතව සැපසේ ඒ සිරගෙයින් මිදුනෙමි. මගේ කෑම පිළිබඳ කිසි වියදමක්ද නොවූයේය’ කියායි. ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය, සතුටටද පැමිණෙන්නේය.

“ලොහිච්චය, යම් සේ සිය කැමැත්තෙන් යමක් කරන්ට නොහැකිව අනුන්ට යටත්වූ තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකිවූ වැඩකරුවෙක් වන්නේද, ඔහු පසු කලක ඒ දාසභාවයෙන් මිදෙන්නේ, තමාම අධිපතිකොට ඇත්තේ, අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ සිය අදහස් පරිදි ඒ ඒ තැන යා හැකි වන්නේද, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: ‘මම පෙර තමා කැමති පරිදි යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත් මා අදහස් පරිදි කිසි තැනෙක යා නොහැකි දාසයෙක් වීමි. ඒ මම දැන් ඒ දාස භාවයෙන් මිදුනෙක්මි. තමා අධිපතිකොට ඇත්තෙක් වීමි. අනුන්ට යටත්නූන කෙනෙක් වීමි. අනුන්ට යටත් නොව මා සපයාගත් දෙයින්ම යැපෙන්නෙම්, මා අදහස් පරිදි ඒ ඒ කැමැති තැනෙක යා හැක්කේද වෙමි’ යි කියායි. ඔහු ඒ දාසභාවයෙන් මිදීම හෙතුකොට බලවත් සතුටක් ලබන්නේය. එසේම සතුටටද පැමිණෙන්නේය.

“ලොහිච්චය, යම්සේ ධනවත්වූ භොග සම්පත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභවූ, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේද, ඔහු මඳ කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොර සතුරන්ගෙන් පිඩා නැති ගම්මානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේද. ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. එනම්:- ‘මම පෙර ධනවත්වූයෙම්, භොග සම්පත් සහිත වූයෙම්, දුර්ලභ භික්ෂා ඇති, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණියෙක් වූයෙමි. එසේවූ මම දැන් එම කාන්තාර මාර්ගය පසුකෙළෙමි. සැපවත්වූ භය රහිතවූ, ගමකට සැපසේ ක්‍රමයෙන් පැමිණියෙමි’ යි කියායි. ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතර කිරීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය. එසේම සතුටටද පැමිණෙන්නේය.

ලොහිච්චය, ණය යම්සේද, රෝගය යම්සේද හිරගේ යම්සේද, දාසභාවය යම්සේද’ දීර්ඝ කාන්තාර මාර්ගය යම්සේද, එපරිද්දෙන් භික්ෂුතෙමේ පහනොකළ (පඤ්චනීවරණ) කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි ඇති බව නුවණින් දකී. ලොහිච්චය, ණය නැති බව යම්සේද, නිරෝගි බව යම්සේද, සිරගෙයින් මිදීම යම්සේද, අනුන්ට යටහත් නැති බව යම්සේද භය නැති භූමිය යම්සේද, එපරිද්දෙන්ම ලොහිච්චය, භික්ෂු තෙමේ පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමන් තුළ නැති බව නුවණින් දක්නේය.

පහකළාවූ (නීවරණ) නුවණ මුවාකරණ ධර්ම පස තමා තුළ නැතැයි දක්නාවූ ඒ භික්ෂුවට උපදියි. සියලු ශරීරයෙහි පැතිර යන බලවත් සතුට උපදවයි. බලවත් සතුට උපන්නහුගේ සිත කෙලෙස් දැවිල්ලෙන් සංසිඳෙයි. සිත සංසිඳීගිය තැනැත්තේ සැපය විඳියි. සැපට පැමිණියහුගේ සිත එකඟවෙයි. හෙතෙමේ කාම ආශාවෙන් වෙන්වූයේ අකුශලයන් කෙරෙන් වෙන්වූයේ (විතර්ක) අරමුණට සිත පැමිණවීම සහිතවූ (විචාර) අරමුණ පිරිමැදීම සහිතවූ පළමු වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.) ඔහු මේ ශරීරය සිතේ විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් තෙමයි. නැවත නැවත තෙමයි. තව තව සම්පූර්ණ කරයි. වැඩියත් පතුරුවා හරියි. ලේ මස් ආදී සියලු කොටස් ඇත්තාවූ මේ ශරීරයෙහි ඒ ප්‍රීති සැපයෙන් ස්පර්ශ නොවූ (නොතැවරුණු) එකම කොටසක්වත් නැත්තේය.

ලොහිච්චය, යම් සේ නෑමට පාවිච්චිකරන සුණු කල්ක සෑදීමෙහි දක්ෂයෙක් හෝ ඔහුගේ ගෝලයෙක් හෝ සුණු කල්ක ලොහ භාජනයක දමා වතුර ඉස ඉස ගුලී කරන්නේද ඒ වර්ණයෙහි ඇතුළත හා පිටත සැමතැන ජලය පැතිරී යන්නේය. ජලයෙන් ස්පර්ශ වන්නේය. නමුත් ජලය නොවැගිරෙන්නේය.

ලොහිච්චය, එසේම මේ භික්ෂුතෙම මේ ශරීරය සිතේ විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් තෙමයි. නැවත නැවත තෙමයි. වැඩි වැඩිය සම්පූර්ණ කරයි. වැඩියක් පතුරුවා හරියි. ඔහුගේ සියලු කොටස් ඇත්තාවූ මේ ශරීරයෙහි ප්‍රීති සැපයෙන් ස්පර්ශ නොවූ එක් කොටසක්වත් නැත්තේය.

ලොහිච්චය, යම් ශාස්තෘවරයකු (අනුශාසකයෙකු) නිසා ශ්‍රාවකතෙමේ (ගෝලයා) මෙවැනි මහත් විශෙෂ බවකට පැමිණේද, ලොහිච්චය, ලොකයෙහි යම් ශාස්තෘවරයෙක් චොදනා කිරීමට නුසුදුසු වන්නේ නම් මේ ශාස්තෘ තෙමේද එසේ චොදනා කිරීමට නුසුදුසු ශාස්තෘවරයෙකි. යමෙක් එවැනිවූ ශාස්තෘවරයාට චොදනා කෙරේ නම් ඒ චොදනාව ඇත්තක් නොවේ. සැබෑ නොවේ, ධර්මයට එකඟ නොවේ, වරදය.

නැවතද ලොහිච්චය, භික්ෂුතෙමේ විතර්ක විචාරයන් සංසිඳවීමෙන් ඇතුළත පහදවන්නාවූ සිත එකඟ කරන්නාවූ විතර්කය නැති විචාරය නැති සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනි ධ්‍යානයට තුන්වැනි ධ්‍යානයට සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ලොහිච්චය, යම් ශාස්තෘවරයකු නිසා ශ්‍රාවක තෙමේ මෙවැනි මහත් විශෙෂ බවකට පැමිණේද ලොහිච්චය, ලොකයෙහි යම් ශාස්තෘවරයෙක් චොදනාවට සුදුසු නොවේ නම් මේ ශාස්තෘ තෙමේද ඒ චොදනාවට නුසුදුසු ශාස්තෘවරයෙකි. යමෙක් එවැනි ශාස්තෘවරයාට චොදනා කෙරේ නම් ඒ චෝදනාව ඇත්තක් නොවේ, සැබෑ නොවේ, ධර්මයට එකඟ නොවේ, වරදය.

ඒ භික්ෂුතෙමේ මෙසේ සිත සමාධියට පැමිණි කල්හි පිරිසිදුවූ කල්හි, කෙලෙස් දුරුවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුවූ කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය සඳහා සිත යොමුකරයි, නමයි.) ලොහිච්චය, යම් ශාස්තෘවරයකු නිසා ශ්‍රාවකතෙමේ මෙබඳුවූ මහත් විශෙෂ බවකට පැමිණේද ලොහිච්චය, ලොකයෙහි යම් ශාස්තෘවරයෙක් චොදනාවට නුසුදුසු නම් මේ ශාස්තෘ තෙමේ ඒ චොදනාවට නුසුදුසු ශාස්තෘවරයෙකි. යමෙක් එවැනි ශාස්තෘවරයෙකුට චොදනා කරයි නම් ඒ චොදනාව ඇත්තක් නොවේ. සැබෑ නොවේ, ධර්මයට එකඟ නැත. වරදය)

(හෙතෙමේ මෙසේ සිත සමාධියට පැමිණි කල්හි පිරිසිදුවූ කල්හි, හැම ආකාරයෙන් පිරිසිදුවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුවූ කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි, ආශ්‍රවයන් පහකිරීම සඳහා සිත යොමු කරයි, සිත නමයි. හෙතෙමේ මේ දුකයයි දැනගනී. මේ දුකට හේතුවයයි දැනගනී. මේ දුක නැති කිරීමයයි දැනගනී. මේ දුක නැතිකිරීමේ මාර්ගයයි දැනගනී. මේ ආශ්‍රව (කෙලෙස්) යයි දැනගනී. මේ ආශ්‍රවයන්ට හෙතුවයයි දැනගනී. මේ ආශ්‍රව නැතිකිරීමයයි දැනගනී. මේ ආශ්‍රව නැති කිරීමේ මාර්ගයයි දැනගනී.) නැවත ඉපදීම කෙළවර කරන ලදී. උතුම් පිළිපැදීමෙහි පිළිපදින ලදී. කළයුත්ත කරන ලදී. මින්පසු කළයුත්තක් නැතැයි දැනගනී. (ලොහිච්චය, යම් ශාස්තෘවරයෙකු නිසා ශ්‍රාවකතෙමේ මෙවැනි මහත් විශෙෂ බවකට පැමිණේද ලොකයෙහි යම් ශාස්තෘවරයෙක් චොදනාවට නුසුදුසු වන්නේ නම් මේ ශාස්තෘ තෙමේද ඒ චෝදනාවට නුසුදුසු ශාස්තෘවරයෙකි. යමෙක් එවැනි ශාස්තෘවරයෙකුට චොදනා කෙරේ නම් ඒ චොදනාව ඇත්තක් නොවේ, සැබෑ නොවේ, ධර්මයට එකඟ නැත, වරදය.)

Msdiv 517 මෙසේ කී කල ලොහිච්ච බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්නුවේය. නරා වළක වැටෙන්නාවූ පුරුෂයෙක් කෙස්වැටියෙන් අල්වාගෙන ගොඩ ගෙන පොළොවෙහි පිහිටුවන්නේ යම්සේද එපරිද්දෙන්ම මිථ්‍යාදෘෂ්ටි නමැති නරාවළෙහි වැටෙන්නාවූ මම ධර්මදෙශනාව නමැති අතින් ඉන් ගොඩගෙන භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වර්ග මාර්ග තලයෙහි පිහිටුවන ලද්දෙමි. ගෞතමයාණන් වහන්ස, ධර්මදෙශනාව යහපති, ගෞතමයාණන් වහන්ස, ධර්මදෙශනාව යහපති. භවත් ස්වාමීන් වහන්ස, මුනින් තබනලද භාජනයක් උඩුකුරුකොට තබන්නේ හෝ යම්සේද වැසී තිබුණ යමක් එලිකොට දක්වන්නේ හෝ යම්සේද, මංමුළාවූවෙකුට මග කියන්නේ හෝ යම්සේද, ‘ඇස් ඇත්තෝ රූපයන් දකිත්වායි අඳුරෙහි තෙල් පහන් දරන්නේ හෝ යම්සේද, ඒ පරිද්දෙන්ම ගෞතම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දෙශනා කරන ලද්දේය. ඒ මම භාග්‍යවතුන් වහන්සේද ධර්මයද භික්ෂු සංඝයාද සරණ යමි. ගෞතම භාග්‍යවතුන් වහන්සේ අද පටන් ජීවිතයේ අග දක්වා සරණගිය උපාසකයෙකැයි මා දරාගනිත්වා.

දොළොස්වෙනිවූ ලොහිච්ච සූත්‍රය නිමියේයි.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection