The Three Knowledges
Tevijjasutta
PDFGenerated
A number of brahmins are discussing the true path to Brahmā. Contesting the claims to authority based on the Vedas, the Buddha insists that only personal experience can lead to the truth.
Read the full discourse slowly and reflect on key passages.
Read here in the library
දීඝ නිකාය සීලක්ඛන්ධ වර්ගය 13. තෙවිජ්ජ සූත්‍රය Msdiv 518 මා විසින් මෙසේ අසන ලදී. (මාගේ ඇසීම මෙසේය) එක් කලක භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් භික්ෂූන්ගෙන් යුත් මහා භික්ෂු සංඝයා සමග කොසොල් රට ගමන් කරමින් එන අතර මනසාකට නම් කොසොල් රට වැසියන්ගේ බමුණු ගම යම් තැනකද එතනට පැමිණියෝය. එහි භාග්‍යවතුන් වහන්සේ මනසාකට බමුණු ගමට සමීපවූ උතුරු පැත්තෙහි අචිරවතී ගංගා ඉව්රෙහිවූ අඹවනයෙහි වාසය කරණ සේක.
Msdiv 519 ඒ කාලයෙහි බොහෝවූ කුලචාරිත්‍රාදියෙන් ප්‍රසිද්ධ ප්‍රසිද්ධවූ මහා සාර කුලවත් බ්‍රාහ්මණයෝ මනසාකට බමුණු ගමෙහි වාසය කෙරෙත්. ඔව්හු කවරහුදයත්, චංකී බ්‍රාහ්මණ තෙමේද, තාරුක්ඛ බ්‍රාහ්මණ තෙමේද, පොක්ඛරසාති බ්‍රාහ්මණ තෙමේද, ජානුස්සොණි බ්‍රාහ්මණ තෙමේද, තොදෙය්‍ය බ්‍රාහ්මණ තෙමේද, මෙයින් අන්‍යවූ ප්‍රසිද්ධ කුලවල බ්‍රාහ්මණයෝද වෙති.
Msdiv 520 එවිට බොහෝ වේලා වාඩිවී හිඳීමෙන් ඇති ශරීර විඩාව දුරුකර ගැනීම සඳහා සක්මන් කරමින් හැසිරෙන්නාවූ පොක්ඛරසාති බ්‍රාහ්මණයාගේ ගෝලයකුවූ වාසෙට්ඨ බ්‍රාහ්මණයාද තාරුක්ඛ බ්‍රාහ්මණයාගේ ගෝලයකුවූ භාරද්වාජ බ්‍රාහ්මණයාද යන දෙදෙනා අතර මාර්ග හා අමාර්ග ගැන කථාවක් ඇතිවිය. එවිට වාසෙට්ඨ තරුණයා මෙසේ කියයි. පොක්ඛරසාති බ්‍රාහ්මණයා විසින් යම් මාර්ගයක් කියන ලද්දේ නම් මෙයම ඇද නැති මාර්ගය වේ. මේ මාර්ගයම එතෙර කරන්නේ වෙයි. ඒ පිළිපදින්නා බ්‍රහ්මයා සමග එක්වීම පිණිස’ පවතියි.
භාරද්වාජ තරුණයා මෙසේ කියයි. ‘තාරුක්ඛ බ්‍රාහ්මණයා විසින් යම් මාර්ගයක් කියන ලද්දේ නම් මෙයම ඇද නැති කෙලින් මාර්ගය වේ. මේ මාර්ගයම එතෙර කරන්නේ වේ. ඒ පිළිපදින්නා බ්‍රාහ්මයා සමග එක්වීම පිණිස පවතියි යනුයි.
වාසෙට්ඨ තරුණයා විසින් භාරද්වාජ තරුණයාට ඔහුගේ කථාව පිළිගන්වන්ට නොහැකිවිය. වාසෙට්ඨ තරුණයා විසින්ද භාරද්වාජ තරුණයාට ඔහුගේ කථාව පිළිගන්වන්ට නොහැකි විය.
Msdiv 521 එවිට වාසෙට්ඨ තරුණයා භාරද්වාජ තරුණයාට කථා කර මෙසේ කීවේය. “භාරද්වාජය, ශාක්‍ය පුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම මහණවූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මනසාකට නම් බමුණු ගමට සමීපයෙහිවූ උතුරු පැත්තෙහි අචිරවති ගංගා ඉවුරෙහිවූ අඹ වනයෙහි වාසය කරති. ඒ භවත් ගෞතමයන් වහන්සේ ගැන මෙසේ යහපත් කීර්ති ඝොෂාවක් උස්ව නැංගේය. (ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අර්හත්යහ. සම්‍යක් සම්බුද්ධයහ, අෂ්ට විද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් සම්පූර්ණයහ. ශොභන ගමන් ඇත්තාහ. තුන් ලෝකය දන්නාහ. ශ්‍රෙෂ්ඨවූ හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනියහ. දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නාහ. සම්‍යක් සම්බුද්ධයහ. භාග්‍යවත්හ කියායි.)
පින්වත් භාරද්වාජය යමු. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් තැනකද එතනට පැමිණෙමු. පැමිණ මේ කාරණය ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් අසමු. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් පරිද්දෙකින් අපට කියත්ද, එසේ මේ කාරණය පිළිගනිමුයි.”
“පින්වත, එසේ යයි” භාරද්වාජ තරුණයා වාසෙට්ඨ තරුණයාට උත්තර දුන්නේය.
මග්ගාමග්ගකථා Msdiv 522 එවිට වාසෙට්ඨ භාරද්වාජ තරුණයෝ දෙදෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමුණුනාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථාව අවසන්කොට එක පැත්තක උන්හ. එක පැත්තක උන් වාසෙට්ඨ තරුණයා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය.
“භවද් ගෞතමයන් වහන්ස, දවස මුළුල්ලේ හිඳීමෙන් ඇතිවූ අපහසුව මඟහරවා ගැනීම සඳහා එහා මෙහා සක්මන් කරමින් සිටි අප අතර මාර්ග අමාර්ග දෙක ගැන කථාවක් උපන්නේය. මම මෙසේ කීයෙමි.”
“පොක්ඛරසාති බ්‍රාහ්මණයා විසින් යම් මේ මාර්ගයක් කියන ලද්දේද මෙයම කෙලින් මාර්ගය වේ. මේ මාර්ගයම එතරට පමුණුවන මාර්ගය වේ. ඒ මාර්ගයෙහි පිළිපැදීම බ්‍රහ්මයා සමග එක්වීම පිණිස පවතීය’යනුයි. භාරද්වාජ තරුණයා මෙසේ කියයි. “තාරුක්ඛ බ්‍රාහ්මණයා විසින් යම් මේ මාර්ගයක් කියන ලද්දේ නම් මෙයම කෙලින් මාර්ගය වේ. මේ මාර්ගයම එතරට පමුණුවන මාර්ගය වේ. ඒ මාර්ගයෙහි පිළිපැදීම බ්‍රහ්මයා සමග එක්වීම පිණිස පවතීය’යනුයි. භවද් ගෞතමයන් වහන්ස, මේ මාර්ග අමාර්ග ගැන පෙර සිටම එකිනෙකට විරුද්ධ ගැනීම් ඇත්තේමය. විරුද්ධවාද ඇත්තේමය. නොයෙක් වාද ඇත්තේමය” කියායි.
Msdiv 523 “වාසෙට්ඨය, ඔබ මෙසේ කියන්නෙහිද? ‘පොක්ඛරසාති බ්‍රාහ්මණයා විසින් යම් මේ මාර්ගයක් කියන ලද්දේ නම් මෙයම කෙලින් මාර්ගය වේ. මේ මාර්ගයම එතරට පමුණුවන මාර්ගය වේ. ඒ මාර්ගය ලෙස පිළිපැදීම බ්‍රහ්මයා සමග එකතැන පහළවීම පිණිස පවතීය’ භාරද්වාජ තරුණයා මෙසේ කියයි. ‘තාරුක්ඛ බ්‍රාහ්මණයා විසින් යම් මේ මාර්ගයක් කියන ලද්දේ නම් මෙයම කෙලින් මාර්ගය වේ. මේ මාර්ගයම එතරට පමුණුවන්නේය. ඒ මාර්ගය ලෙස පිළිපැදීම බ්‍රහ්මයා සමග එක්වීම පිණිස පවතිය’ යනුද? වාසෙට්ඨය, එසේම නම් තොප දෙදෙනාගේ විරුද්ධ ගැනීම කුමක් ගැනද වාදය කුමක් ගැනද වෙනස්වූ කීම කුමක් ගැන දැයි” ඇසුවේය.
Msdiv 524 භවද් ගෞතමයන් වහන්ස, මාර්ග අමාර්ග දෙක ගැනය, හෙවත් කෙලින් මාර්ගය කුමක්ද ඇදවූ මාර්ගය කුමක්ද යන්න ගැන යයි කීවේය. භවද් ගෞතමයන් වහන්ස, යම් සේ බ්‍රාහ්මණයෝ නොයෙක් මාර්ගයන් ප්‍රකාශ කරත්ද, එනම්, අඬරිය නම් බ්‍රාහ්මණ කොටසක් ඇත්තේය. තිත්තිරිය නම් බ්‍රාහ්මණ කොටසක් ඇත්තේය. ඡන්දොකා නම් බ්‍රාහ්මණ කොටසක් ඇත්තේය. ඡන්දාවා නම් බ්‍රාහ්මණ කොටසක් ඇත්තේය. බ්‍රහ්මචරීය නම් බ්‍රාහ්මණ කොටසක් ඇත්තේය. ඔවුන්ගේ ඒ සියලු මාර්ග බඹලොවට පමුණු වන්නාහු ඒ මාර්ගයන්හි පිළිපදින්නහුගේ බ්‍රහ්මයා සමග එක්වීම පිණිස පවතිත්. භවද් ගෞතමයන් වහන්ස, යම්සේ ගමකට, නියම් ගමකට සමීපයෙහි බොහෝවූ නොයෙක් මාර්ගයෝ වෙත්ද එසේ ඇති කල්හි ඒ සියලු මාර්ග ගමට ඇතුල් වන්නාහුම වෙත්ද, භවද් ගෞතමයන් වහන්ස, එපරිද්දෙන්ම යම්සේ බ්‍රාහ්මණයෝ නොයෙක් මාර්ගයන් ප්‍රකාශ කරත්ද, එනම් අද්ධරිය බ්‍රාහ්මණයෝය, තිත්තිරිය බ්‍රාහ්මණයෝය, ඡන්දොකා බ්‍රාහ්මණයෝය, ඡන්දාවා බ්‍රාහ්මණයෝය, බ්‍රහ්මචරිය බ්‍රාහ්මණයෝය යන මොව්හුය, එසේ ඇති කල දුකින් එතර කරන්නාහු ඒ සියලු මාර්ග බඹලොවට පමුණුවන්නාහු වෙති. ඒ මාර්ගයෙහි පිළිපැදීම බ්‍රහ්ම ආත්ම ලාභය පිණිස පවතියි.
වාසෙට්ඨමාණවානුයොගො Msdiv 525 “වාසෙට්ඨය, කිමෙක්ද දුකින් එතර කරත්යයි කියන්නෙහිදැයි” ඇසූහ.
“භවද් ගෞතමයන් වහන්ස, දුකින් එතර කරත්යයි කියමි.
“වාසෙට්ඨය, කිමෙක්ද දුකින් එතර කරත්යයි කියන්නෙහිදැයි” දෙවනුවද ඇසූහ.
භවත් ගෞතමයන්වහන්ස, දුකින් එතරකරත්යයිකියමි
“වාසෙට්ඨය, කිමෙක්ද, දුකින් එතර කරත්යයි කියන්නෙහිදැයි” තුන්වෙනුවද ඇසූහ.
“භවද් ගෞතමයන් වහන්ස, දුකින් එතර කරත්යයි” කියමි.
“වාසෙට්ඨය, කිමෙක්ද, තුන් වේදය දත් බමුණන් අතුරෙන් එකෙකු විසින්වත් ඒ බ්‍රහ්මයා දක්නා ලද්දේ දැයි ඇසූහ.
“භවද් ගෞතමයන් වහන්ස, එය නොවේමය (දුටු කෙනෙක් නැතැයි)” දැන්නුවේය.
“වාසෙට්ඨය, කිමෙක්ද, තුන්වේදය දත් බමුණන්ගේ කිසියම් එක් ගුරුවරයකු විසින් වත් ඒ බ්‍රහ්මයා දකින ලද්දේදැයි ඇසූහ.
“භවද් ගෞතමයන් වහන්ස, එබන්දෙක් නැතැයි” දැන්නුවේය.
‘වාසෙට්ඨය, කිමෙක්ද, තුන්වේදය දත් බමුණන්ගේ කිසි යම් ගුරුන්ගේ ගුරුවරයෙකු විසින්වත් ඒ බ්‍රහ්මයා දකින ලද්දෙදැයි ඇසූහ.
“භවද් ගෞතමයන් වහන්ස, එවැන්නෙක් නැත්තේ යයි” දැන්නුවේය.
“වාසෙට්ඨය, කිමෙක්ද, තුන්වේදය දත් බමුණන්ගේ හත් මුතු පරම්පරාවේ කිසියම් එක් බ්‍රාහ්මණයෙකු විසින්වත් ඒ බ්‍රහ්මයා දකින ලද්දේ දැයි ඇසූහ.
“භවද් ගෞතමයන් වහන්ස. එබන්දෙක් නැතැයි” දැන්නුවේය.
Msdiv 526 “වාසෙට්ඨය, කිමෙක්ද, මන්ත්‍ර කර්තෘවූ මන්ත්‍ර පැවැත්තුවාවූ තුන් වේදය දත් බමුණන්ගේ යම් ඒ පූර්ව ඍෂිවරයෝ වූවාහුද ඔවුන්ගේ යම් පුරාණවූ මන්ත්‍ර පද වෙත්ද ගීත වෙත්ද කියන ලද දේ වෙත්ද රැස්කර තබනලද දේ වෙත්ද දැන සිටින තුන් වේදය දත් බමුණෝ ඊට අනුව ගායනා කෙරෙත්ද, ඊට අනුව කියත්ද, ඔවුන් විසින් කියන ලද්දට අනුව කියද්ද, ඔවුන් විසින් කියන ලද්දට අනුව කියවද්ද ඔව්හු කවරහුදයත්: අට්ටකය, වාමකය, වාමදෙවය, වෙස්සා මිත්තය, යමතග්ගීය, අංගීරසය, භාරද්වාජය, වාසෙට්ඨය, කස්සපය, භගුය යන මොව්හු වෙත්. ඔව්හුද බ්‍රහ්මතෙමේ යම් තැනක වේද, යම් භූමියක වේද, යම් ලොකයක වේද, අපි මෙය දනිමුය, අපි මෙය දකිමුයයි’ කීවාහුදැයි, ඇසූහ.
“භවද් ගෞතමයන් වහන්ස, මෙසේ නොකීවාහුමය”
Msdiv 527 “වාසෙට්ඨය, මෙසේ ඇති කල තුන් වේදයන් දත් බමුණන් අතුරෙන් යමෙකු විසින් බ්‍රහ්මතෙම ඇසින් දකින ලද්දේද, එබඳු එක් බමුණෙක්වත් නැත්තේය. තුන් වේදය දත් බමුණන් අතුරෙන් යමෙකු විසින් බ්‍රහ්මතෙම ඇසින් දකින ලද්දේද, එබඳු එක් ආචාර්‍ය්‍ය බමුණෙක්වත් නැත්තේය. තුන්වේදය දත් බමුණන් අතුරෙන් යමෙකු විසින් බ්‍රහ්මතෙම ඇසින් දකින් ලද්දේද, එබඳු එක් (ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය) ගුරුන්ගේ ගුරුවූ බමුණෙක්වත් නැත්තේය. තුන් වේදය දත් බමුණන්ගේ සත්වෙනි ආචාර්‍ය්‍ය පරම්පරාව දක්වා පැවැත්තවුන් විසින්ද බ්‍රහ්ම තෙම ඇසින් නොදක්නා ලද්දේය. මන්ත්‍ර කර්තෘවූ මන්ත්‍ර පැවැත්තුවාවූ තුන් වේදය දත් බමුණන්ගේ යම් ඒ පූර්ව ඍෂීහු වූවාහුද, ඔවුන්ගේ පුරාණවූ මන්ත්‍ර පද වෙත්ද, ගීත වෙත්ද, උස්වූ හඬින් කියන ලද දේ වෙත්ද, රැස්කර තබනලද දේ වෙත්ද දැන් සිටින තෙවිජ්ජක බමුණෝ ඊට අනුව ගායනා කෙරෙත්ද, ඊට අනුව කියද්ද, ඔවුන් විසින් කියන ලද්දට අනුව කියත්ද, ඔවුන් විසින් කියවන ලද්දට අනුව කියවත්ද, ඔව්හු කවරහුද යත්: අට්ටකය, වාමකය, වාමදෙවය, වෙස්සාමිත්තය, යමතග්ගීය, අංගීරසය, භාරද්වාජය, වාසෙට්ඨය, කස්සපය, භගුය යන මොව්හුයි. බ්‍රහ්මතෙම යම් තැනකවේද, යම් භූමියක වේද, යම් ලොකයෙක්හි වේද අපි මෙය දනිමුය, අපි මෙය දකිමු යයි ඔව්හුද මෙසේ නොකිවාහුය.
ඒකාන්තයෙන් ඒ තුන්වේදය දත් බමුණෝ මෙසේ කීහ. “අපි යම් බ්‍රහ්මයෙකු නොදනිමුද, යම් බ්‍රහ්මයෙකු නොදකිමුද ඔහු හා එක්වීම පිණිස මාර්ගය කියමු. කෙසේද, මෙයම කෙලින් මාර්ගයයි, මේ මාර්ගයම එතරට පමුණුවන්නේ මේ මාර්ගය ලෙස පිළිපදින්නහුගේ බ්‍රහ්ම ආත්ම ලාභය පිණිස පවතීය” කියායි,
Msdiv 528 වාසෙට්ඨය, ඒ කුමකැයි හඟින්නේද? මෙසේ ඇති කල තුන් වේදය දත් බමුණන්ගේ කීම උත්තර නොදියහැකි බවට නොපැමිණේද?
“භවද් ගෞතමයන් වහන්ස, ඒකාන්තයෙන් මෙසේ ඇති කල තුන් වේදය දත් බමුණන්ගේ ඉගැන්වීම උත්තර නොදියහැකි බවට පැමිණේමයයි’ දැන්නුවේය.
“වාසෙට්ඨය, ඒකාන්තයෙන් ඒ තුන්වේදය දත් බමුණෝ යමක් නොදනිත්ද යමක් නොදකිත්ද, එය ලැබීම පිණිස මාර්ගය දෙශනා කරන්නාහුය. ‘මෙයම කෙලින් මාර්ගය වේ. මේ මාර්ගයම එතරට පමුණුවන්නේ මේ මාර්ගය ලෙස පිළිපදින්නහුගේ බ්‍රහ්ම ආත්ම ලාභය පිණිස පවතීය’ කියායි. මේ කාරණය ඇත්ත නොවේ.
Msdiv 529 වාසෙට්ඨය, එක් අන්ධයෙකු විසින් ගන්නාලද හැරමිටිකොණ තවත් අන්ධයෙක් දැයි, මෙසේ පණහක් හැටක් පමණවූ අන්ධ සමූහයක් එක එකාට සම්බන්ධතාවයක් ඇතුව ඉදිරියේ යන තැනැත්තා නොදකීද, මැද යන තැනැත්තා නොදකීද පසුව යන තැනැත්තා නොදකීද, වාසෙට්ඨය, එපරිද්දෙන්ම ඒ තුන් වේදය දත් බමුණන්ගේ ඉගැන්වීම අන්ධ සමූහයකට බඳු උපමා ඇත්තේ වේ. ඉදිරියේ යන තැනැත්තාද නොදකී. මැද යන තැනැත්තාද නොදකී, පසුව යන තැනැත්තාද නොදකී. ඒ තුන්වේදය දත් බමුණන්ගේ ඉගැන්වීම සිනාසිය යුතු බවටම පැමිණේ. ලාමක බවටම පැමිණේ, අර්ථ නැති බවටම පැමිණේ. එහෙයින් හිස් බවට පැමිණේ.
Msdiv 530 “වාසෙට්ඨය, ඒ කුමකැයි හඟින්නේද? තුන්වේදය දත් බමුණෝද වෙනත් බොහෝ ජනයෝද ඉර හඳ දකිත් යම් කලක ඉර හඳ පායද්ද, යම් කලක ඉර හඳ බහිත්ද එකල ඔවුන්ට යාච්ඤා කෙරෙත්ද, ඔවුන්ට ස්තුති කෙරෙත්ද දෑතබැඳගෙන නමස්කාර කරමින් ඔබ මොබ පෙරලෙත්ද?”
“භවද් ගෞතමයන් වහන්ස, එසේය, තුන්වේදය දත් බමුණෝද වෙනත් ජනයෝද ඉර හඳ දකිත්. යම් කලක ඉර හඳ නැගෙත්ද යම් කලක බහිත්ද, එකල ඔවුන්ට යාච්ඤා කෙරෙත්, ස්තුති කෙරෙත්, දෑතබැඳගෙන නමස්කාර කරමින් ඔබ මොබ පෙරලෙත්.”
Msdiv 531 “වාසෙට්ඨය, ඒ කුමකැයි සිතන්නෙහිද? යම් හේතුවකින් තුන්වේදය දත් බමුණෝ ඉර හඳ දකිත්ද, යම් කලක ඉර හඳ උදාවෙත්ද, යම්කලක බහිත්ද, එකල ඔවුන්ට යාච්ඤා කෙරෙත්ද, ස්තුති කෙරෙත්ද, ඇඳිළි බැඳගෙන නමස්කාර කරමින් ඔබමොබ පෙරලෙත්ද, ඒ තුන්වේදය දත් බමුණෝ මෙයම කෙලින් මාර්ගය වේ. මේ එහි පමුණුවන මාර්ගය වේ. ඒ මාර්ගය ලෙස පිළිපදින්නහුගේ පැවැත්ම ඉර හඳ හා එක්ව විසීම පිණිස පවතීයයි ඉර හඳ දෙක හා එක්ව විසීම පිණිස මාර්ගයක් දෙශනා කරන්ට සමර්ථ වෙත්දැයි” ඇසුවෝය.
“භවද් ගෞතමයන් වහන්ස, මෙය නොහැකියයි” කීය.
“වාසෙට්ඨය, මෙසේ යම් ඒ තුන්වේදය දත් බමුණෝද වෙනත් බොහෝ ජනයෝද ඉර හඳ දකිත්. යම් කලක ඉර හඳ පායත්ද යම් කලක ඉර හඳ බහිත්ද එකල ‘පින්වත් චන්ද්‍රය උදාවනු මැනව, පින්වත් සූර්‍ය්‍යය උදාවනු මැනව’ යනාදීන් යාච්ඤාකෙරෙත්ද, ඔවුන්ට ස්තුති කෙරෙත්ද දෑත් බැඳගෙන නමස්කාර කරමින් ඔබ මොබ පෙරළෙත්ද ඔවුන්ටද ඉර හඳ දෙදෙනා හා එක්වීම පිණිස මාර්ගයක් දෙශනා කරන්ට නොහැකි වෙත්. කෙබඳු මාර්ගයක්ද යත්, මෙයම කෙලින් මාර්ගය වේ. මේ ඊට පමුණුවන මාර්ගය වූයේ ඒ මාර්ගය ලෙස පිළිපදින්නහුගේ පැවැත්ම ඉර හඳ දෙදෙනාගේ සහභාවය පිණිස පවතීය’ කියායි.
Msdiv 532 කිමෙක්ද? තුන්වේදය දත් බමුණන් විසින් බ්‍රහ්මතෙමේ ඇසින් දක්නා ලද්දේද නැතහොත් තුන්වේදය කට පාඩමේ කියන්නාවූ බමුණන්ගේ ආචාර්‍ය්‍යයන් විසින් බ්‍රහ්මතෙමේ ඇසින් දකිනා ලද්දේද, නැතහොත් තුන්වේදය කටපාඩමේ කියන්නාවූ බමුණන්ගේ ගුරුවරයාගේත් ගුරුවරයා විසින් බ්‍රහ්මතෙමේ ඇසින් දක්නා ලද්දේද, නැතහොත් තුන්වේදය දත් බමුණන්ගේ සත්වෙනි ආචාර්‍ය්‍ය පරම්පරා දෙක දක්වා සිටියවුන් විසින් බ්‍රහ්මතෙමේ ඇසින් දකිනා ලද්දේද මන්ත්‍ර කර්තෘවූ මන්ත්‍ර පැවැත්තුවාවූ තුන් වේදය දත් බමුණන්ගේ යම් ඒ පළමු ඍෂීහු වූවාහුද ඔවුන්ගේ පුරාණවූ මන්ත්‍රපද වෙත්ද ගීත වෙත්ද උස්වූ හඬින් කියන ලද දේ වෙත්ද රැස්කොට තබනලද දේ වෙත්ද දැන් තුන්වේදය දත් බමුණෝ ඊට අනුව ගායනා කෙරෙත්ද ඊට අනුව කියත්ද, කියනලද්දට අනුව කියත්ද කියවන ලද්දට අනුව කියවත්ද, ඒ කවරහුදයත්, අට්ටකය, වාමකය, වාමදෙවය, වෙස්සාමිත්තය, යමතග්ගීය, අංගීරසය, භාරද්වාජය, වාසෙට්ඨය, කස්සපය, භගුය යන මොහුයි. ඔව්හුද බ්‍රහ්මතෙම යම්තැනෙක්හි වේද යම් භූමියක බ්‍රහ්මවේද යම් ලෝකයෙක්හි බ්‍රහ්මතෙමේ වේද මෙය අපි දනිමුය, මෙය අපි දකිමුයයි මෙසේ නොකීහ. ඒකාන්තයෙන් ඒ තුන් වේදය දත් බමුණෝ මෙසේ කීහ. යම් බ්‍රහ්මයකු නොදනිමූද, යම් බ්‍රහ්මයකු නොදකිමුද, ඔහු හා එක්ව විසිම පිණිස මාර්ගය දෙශනා කරමු. ‘මෙයම ඍජු මාර්ගය වේ. මේ මාර්ගයම ඊට පමුණුවන මාර්ගය වූයේ, ඒ මාර්ගය ලෙස පිළිපදින්නහුගේ බ්‍රහ්මාත්ම ලාභය පිණිස පවතීය” කියායි,
Msdiv 533 වාසෙට්ඨය, ඒ කුමකැයි හඟින්නෙහිද? එසේ ඇති කල තුන්වේදය දත් බමුණන් විසින් කියන ලද්ද උත්තර නොදිය හැකි බවට නොපැමිණේදැයි’ ඇසුවෝය.
“භවද් ගෞතමයන් වහන්ස. ඒකාන්තයෙන් මෙසේ ඇතිකල තුන්වේදය දත් බමුණන් විසින් කියන ලද්ද උත්තර නොදිය හැකි බවට පැමිණේයයි කීයේය.
වාසෙට්ඨය, හොඳයි, වාසෙට්ඨය, එකාන්තයෙන් ඒ තුන් වේදය දත් බමුණෝ යමක් නොදනිත්ද, යමක් නොදකිත්ද, එය ලැබීම පිණිස මාර්ගය දෙශනා කරන්නාහුය. මෙයම කෙලින් මාර්ගය වේ. මේ එතරට පමුණුවන මාර්ගය වූයේ එය පිළිපදින්නහුගේ බ්‍රහ්ම ආත්ම ලාභය පිණිස පවතීය යන මේ කාරණය ඇත්ත නොවේ.
ජනපදකල්‍යාණීඋපමා Msdiv 534 “වාසෙට්ඨය, යම්සේ පුරුෂයෙක් මෙසේ කියන්නේය. කෙසේද? මේ ජනපදයෙහි යම් ඒ ජනපද කළ්‍යාණියක් වේද, මම ඈ රුචි කෙරෙමි, කැමැත්තෙමියි” කියායි. ඒ පුරුෂයාහට මෙසේ කියන්නාහුය. එනම්: එම්බල පුරුෂය, ඔබ යම් ජනපද කල්‍යාණියක් රුචි කෙරෙහිද කැමැත්තෙහිද ඒ ජනපද කල්‍යාණි ක්ෂත්‍රිය කුල ඇත්තිය කියා හෝ බමුණු කුල ඇත්තිය කියා හෝ ශුද්‍ර කුල ඇත්තිය කියා හෝ දන්නෙහිදැයි” කියායී. මෙසේ අසනලද්දේ ‘නැතැයි’ කියන්නේ නම් ඔහුට මෙසේ කියන්නාහුය. එම්බල පුරුෂය, ඔබ යම් ඒ ජනපද කල්‍යාණියක් රුචි කෙරෙහිද කැමැත්තෙහිද ඒ ජනපද කල්‍යාණි මෙවැනි නම් ඇත්තිය කියා හෝ මෙවැනි ගොත්‍ර ඇත්තිය කියා හෝ උස්ය කියා හෝ මිටිය කියා හෝ මධ්‍යමය කියා හෝ, යහපත් පාට ඇත්තීය කියා හෝ (මගුරුසැව) දුඹුරුපාට ඇත්තිය කියා හෝ අසවල් ගමෙහිය කියා හෝ අසවල් නියම්ගමෙහිය කියා හෝ අසවල් නුවරය කියා හෝ මෙසේ ඇසූ කල ‘නැතැයි’ කියන්නේ නම් ඔහුට මෙසේ කියන්නාහුය. එම්බල පුරුෂය, තෝ යම් ඒ ස්ත්‍රියක් නොදක්නෙහිද නොදැක්කෙහිද, එවැනි ස්ත්‍රියක් රුචි කෙරෙහිද කැමැත්තෙහිදැයි කියායි. මෙසේ අසන ලද්දේ එසේයයි කියන්නේය.
Msdiv 535 වාසෙට්ඨය, ඒ කුමකැයි සිතන්නෙහිද මෙසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ කීම උත්තර නොදිය හැකි බවට නොපැමිණේදැයි ඇසුවෝය.
“භවද් ගෞතමයන් වහන්ස, ඒකාන්තයෙන් මෙසේ ඇති කල ඒ පුරුෂයාගේ කීම උත්තර නොදිය හැකි බවට පැමිණේමය” යි කීයේය.
Msdiv 536 වාසෙට්ඨය, එමෙන්ම තුන්වේදය දත් බමුණන් විසින් බ්‍රහ්මතෙම ඇසින් නොදක්නා ලද්දේය. තුන් වේදය දත් බමුණන්ගේ ගුරුවරයන් විසින්ද බ්‍රහ්මතෙම ඇසින් නොදක්නා ලද්දේය. තුන් වේදය දත් බමුණන්ගේ ගුරුවරයින්ගේ ගුරුවරයින් විසින්ද බ්‍රහ්මතෙම ඇසින් නොදක්නා ලද්දේය. තුන්වේදය දත් බමුණන්ගේ සත්වෙනි ගුරුවර පරම්පරා දෙක දක්වා පැවැත්තවුන් විසින්ද බ්‍රහ්මතෙමේ ඇසින් නොදක්නා ලද්දේය. මන්ත්‍ර කර්තෘවූ මන්ත්‍ර පැවැත්තුවාවූ තුන් වේදය දත් බමුණන්ගේ යම් ඒ පූර්ව ඍෂීහු වෙත්ද ඔවුන්ගේ පුරාණවූ මන්ත්‍ර පදද, ගීතද, උස්හඬින් කියන ලද්දද රැස්කොට තබන ලද දේද ඇත්තාහ. දැන් තුන් වේදය දත් බමුණෝ ඊට අනුව ගායනා කෙරෙත්ද, ඊට අනුව කියද්ද, කියනලද්දට අනුව කියත්ද, කියවන ලද්දට අනුව කියවත්ද, ඒ කවරහුදයත්. අට්ටකය, වාමකය, වාමදෙවය, වෙස්සාමිත්තය, යමතග්ගීය, අංගීරසය, භාරද්වාජය, වාසෙට්ඨය කස්සපය, භගුය යන මොව්හුයි. බ්‍රහ්මතෙම යම් තැනක වේද, යම් භූමියක බ්‍රහ්මතෙම වේද, යම් ලොකයෙක්හි බ්‍රහ්මතෙම වේද යන මෙය අපි දනිමුය. මෙය අපි දකිමුයයි ඒ පුරාණ කාලයේ ඍෂීහුද මෙසේ නොකීහ.
ඒකාන්තයෙන් ඒ තුන්වේදය දත් බමුණෝ මෙසේ කීහ. අපි යම් බ්‍රහ්මයකු නොදනීමුද අපි යම් බ්‍රහ්මයකු නොදකිමුද ඔහුගේ සහභාවය පිණිස මාර්ගය දෙශනා කරමු.
“මෙයම කෙලින් මාර්ගය වේ. මේ මාර්ගයම එතර කරන මාර්ගය වූයේ මේ මාර්ගය ලෙස පිළිපදින්නන්ගේ බ්‍රහ්ම ආත්ම ලාභය පිණිස පවතීය’ කියායි.
Msdiv 537 වාසෙට්ඨය, ඒ කුමකැයි හඟින්නෙහිද? මෙසේ ඇති කල ඒ තුන්වේදය දත් බමුණන්ගේ කීම නොපිළිගත යුතු බවට පැමිණෙන්නේ නොවේදැයි” ඇසුවෝය.
“භවද් ගෞතමයන් වහන්ස, ඒකාන්තයෙන් මෙසේ ඇති කල ඒ තුන්වේදය දත් බමුණන්ගේ කීම නොපිළිගත යුතු බවට පැමිණෙන්නේමයයි” කීයේය.
“වාසෙට්ඨය, හොඳයි, ඒකාන්තයෙන් ඒ තුන්වේදය දත් බමුණෝ යම් බ්‍රහ්මයකු නොදනිත්ද, යම් බ්‍රහ්මයකු නොදකිත්ද ඔහුගේ සහභාවය පිණිස මාර්ගය දෙශනා කෙරෙත්. මෙයම කෙලින් මාර්ගය වේ. මේ මාර්ගය එතර කරන මාර්ගය වූයේ මේ මාර්ගය ලෙස පිළිපදින්නන්ගේ බ්‍රහ්ම ආත්මලාභය පිණිස පවතී’ යන මේ කාරණය ඇත්ත නොවේ.
නිස්සෙණීඋපමා Msdiv 538 “වාසෙට්ඨය, යම්සේ පුරුෂයෙක් සතරමංහන්දියක ප්‍රාසාදයකට නැගීම පිණිස ඉනිමගක් සාදන්නේද ඔහුට මෙසේ කියන්නාහුය. ‘එම්බල පුරුෂය’ තෝ යම් ප්‍රාසාදයකට නැගීම පිණිස ඉණිමගක් සාදන්නෙහිද? ඒ ප්‍රාසාදය නැගෙනහිර දෙසය කියා හෝ දකුණු දෙසය කියා හෝ බස්නාහිර දෙසය කියා හෝ උතුරු දෙසය කියා හෝ උස්ය කියා හෝ දන්නෙහිද? මිටිය කියා හෝ මධ්‍යමය කියා හෝ දන්නෙහිදැයි’ කියායි. මෙසේ අසන ලද්දේ නැතැයි කියන්නේ නම්, ඔහුට මෙසේ කියන්නහුය. ‘එම්බල පුරුෂය, තෝ යම් ඒ ප්‍රාසාදයක් නොදන්නෙහිද, නොදක්නෙහිද ඒ ප්‍රාසාදයට නැගීම පිණිස ඉණිමගක් සාදන්නෙහිද? මෙසේ අසන ලද්දේ ‘එසේ යයි’ කියන්නේය.
Msdiv 539 වාසෙට්ඨය, ඒ කුමකැයි හඟින්නෙහිද? එසේවූ කල ඒ පුරුෂයාගේ කීම නොපිළිගත යුතු බවට නොපැමිණේදැයි” ඇසුවෝය.
“භවද් ගෞතමයන් වහන්ස, ඒකාන්තයෙන් එසේවූ කල ඒ පුරුෂයාගේ කීම නොපිළිගත යුතු බවට පැමිණෙන්නේ යයි” කීයේය.
Msdiv 540 “වාසෙට්ඨය, එසේම තුන්වේදය දත් බමුණන් විසින් බ්‍රහ්මතෙම ඇසින් නොදක්නා ලද්දේය. තුන්වේදය දත් බමුණන්ගේ ආචාර්‍ය්‍යයන් විසින්ද බ්‍රහ්මතෙම ඇසින් නොදක්නා ලද්දේය. තුන්වේදය දත් බමුණන්ගේ ආචාර්‍ය්‍යයන්ගේ ආචාර්‍ය්‍යයන් විසින්ද බ්‍රහ්ම තෙම ඇසින් නොදක්නා ලද්දේය. තුන්වේදය දත් බමුණන්ගේ සත්වෙනි ආචාර්‍ය්‍ය පරම්පරා දෙක දක්වා පැවති බමුණන් විසින්ද මහාබ්‍රහ්ම තෙම ඇසින් නොදක්නා ලද්දේය. මන්ත්‍ර කර්තාවූ මන්ත්‍ර පැවැත්තුවාවූ තුන්වේදය දත් බමුණන්ගේ යම් ඒ පූර්ව ඍෂීහු වෙද්ද, ඔවුන්ගේ පුරාණවූ මන්ත්‍ර පද වෙත්ද ගීත වෙත්ද, උස්හඬින් කියන ලද්දක් වේද රැස්කොට තබන ලද්දක් වේද දැන් තුන්වේදය දත් බමුණෝ ඊට අනුව ගායනා කෙරෙත්ද, ඊට අනුව කීම කෙරෙත්ද, ඔවුන් විසින් කියන ලද්දට අනුව කියද්ද, ඔවුන් විසින් කියවන ලද්දට අනුව කියවත්ද, ඒ කවුරුද යතහොත් අට්ටකය, වාමකය, වාමදෙවය, වෙස්සාමිත්තය, යමතග්ගීය, අංගීරසය, භාරද්වාජය, වාසෙට්ඨය, කස්සපය, භගුය යන මොහුයි. යම්තැනක බ්‍රහ්ම තෙම වේද, යම් භූමියෙක්හි බ්‍රහ්මතෙම වේද, යම් ලොකයෙක්හි බ්‍රහ්ම තෙම වේද යන මේ කාරණය අපි දනිමුය. අපි මෙය දකිමුයයී ඒ පූර්ව ඍෂීහුද මෙසේ නොකීහ. ඒකාන්තයෙන් ඒ තුන්වේදය දත් බමුණෝ මෙසේ කීහ.
“මෙයම කෙලින් මාර්ගයවේ. මේ මාර්ගයම එතර කරන මාර්ගය වූයේ මේ මාර්ගය ලෙස පිළිපදින්නන්ගේ බ්‍රහ්ම ආත්ම ලාභය පිණිස පවතී. යම් බ්‍රහ්මයකු අපි නොදනිමුද, යම් බ්‍රහ්මයකු අපි නොදකිමුද, ඒ සඳහා මාර්ගය දෙශනා කරමුයි මෙසේ කීහ.
Msdiv 541 වාසෙට්ඨය ඒ කුමකැයි හඟින්නෙහිද? මෙසේ ඇති කල තුන්වේදය දත් බමුණන්ගේ කීම නොපිළිගත යුතු බවට නොපැමිණේදැයි” ඇසුවෝය.
“භවද් ගෞතමයන් වහන්ස, ඒකාන්තයෙන් මෙසේ ඇති කල තුන්වේදය දත් බමුණන්ගේ කීම් නොපිළිගත යුතු බවට පැමිණේයයි කීයේය.
වාසෙට්ඨය, හොඳයි, වාසෙට්ඨය, ඒ තුන්වේදය දත් බමුණෝ යම් බ්‍රහ්මයකු නොදනිත්ද, යම් බ්‍රහ්මයකු නොදකිත්ද, ‘මෙයම කෙලින් මාර්ගය වේ. මේ මාර්ගයම එතර කරන මාර්ගයවූයේ මේ මාර්ගය ලෙස පිළිපදින්නන්ගේ බ්‍රහ්ම ආත්ම ලාභය පිණිස පවතීයයි’ ඒ බ්‍රහ්මයාගේ සහභාවය පිණිස මාර්ගය දේශනා කරන්නාහුය යන මේ කාරණය ඇත්ත නොවේ.
අචිරවතීනදීඋපමා Msdiv 542 “වාසෙට්ඨය, යම්සේ මේ අචිරවතී ගංගාව ජලයෙන් පිරී කවුඩන් විසින් බොන්නට හැකි තරම් ඉවුර දක්වා සමවූ කල එයින් එතර ප්‍රයෝජනකොට ඇත්තාවූ එයින් එතරට යන ස්වභාව ඇත්තාවූ, එයින් එතර සොයන්නාවූ එයින් එතරවීම කරනු කැමැත්තාවූ පුරුෂයෙක් එන්නේද, ඒ පුරුෂයා මෙතෙර සිට ‘පරතෙර මෙතරට එව, පරතෙර මෙතරට එවයි’ පරතෙරට අඬගාන්නේද
Msdiv 543 වාසෙට්ඨය, ඒ කුමකැයි සිතන්නෙහිද? කිමෙක්ද, ඒ පුරුෂයාගේ අඬගෑමේ හේතුවෙන් යාච්ඤා කිරීම් හේතුවෙන් හෝ ප්‍රාර්ථනාකිරීම් හේතුවෙන් හෝ බොහෝ කැමතිවීමේ හේතුවෙන් හෝ අචිරවතී ගඟේ පරතෙර මෙතෙරට එන්නේද?
“භවද් ගෞතමයන් වහන්ස, මෙය නොවේමයයි” කීයේය.
Msdiv 544 “වාසෙට්ඨය, එසේම තුන් වේදය දත් බමුණෝ යම් ධර්මයක් බ්‍රාහ්මණ භාවය ඇති කරන්නේද ඒ ධර්මයෙන් ඉවත්ව යම් ධර්මයක් බ්‍රාහ්මණ භාවය නොකරන්නේද, ඒ ධර්මයන් සමාදන්ව වසමින් මෙසේ කීවාහුය. “සක්දෙව් රජ කැඳවමු. චන්ද්‍රයා කැඳවමු. වරුණ දෙවියා කැඳවමු. ඊසාන දෙවියා කැඳවමු. ප්‍රජාපති දෙවියා කැඳවමු. බ්‍රහ්මයා කැඳවමු. මහින්ධි දෙවියා කැඳවමු. යාම දෙවියා කැඳවමුයි’ කියායි. වාසෙට්ඨය ඒකාන්තයෙන් ඒ තුන්වේදය දත් බමුණෝ යම් ධර්මයක් බ්‍රාහ්මණභාවය ඇතිකරන්නේද ඒ ධර්මයෙන් වෙන්ව යම් ධර්මයක් බ්‍රාහ්මණභාවය නොකරන්නේද ඒ ධර්මය සමාදන්ව වසන්නාහ. ඔවුන්ගේ යාච්ඤා කිරීම හේතුවෙන් හෝ ප්‍රාර්ථනාකිරීම් හෙතුවෙන් හෝ බොහෝ කැමතිවීමේ හේතුවෙන් හෝ මරණින් මතු බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙන්නෝ වන්නාහුය, යන මේ කාරණය ඇත්තක් නොවේ.
Msdiv 545 වාසෙට්ඨය, යම්සේ මේ අචිරවතී ගංගාව ජලයෙන් පිරී කවුඩන් විසින් බොන තරම් ඉවුර දක්වා සමවූ කල එයින් එතර ප්‍රයෝජනකොට ඇත්තාවූ, එයින් එතරට යන ස්වභාව ඇත්තාවූ, එයින් එතර සොයන්නාවූ, එයින් එතර වීම කරනු කැමැත්තාවූ පුරුෂයෙක් එන්නේද ඒ පුරුෂයා මෙතෙර අත්පිටිකරට තබා දම්වැලකින් බඳිනා ලද්දේවේද, වාසෙට්ඨය, ඒ කුමකැයි සිතන්නෙහිද, කිමෙක්ද, ඒ පුරුෂයා අචිරවතී ගඟේ මෙතෙරින් එතෙරට යන්නේදැයි” ඇසුවෝය.
“භවද් ගෞතමයන් වහන්ස, මෙය නොවේමයයි” කීවේය.
Msdiv 546 “වාසෙට්ඨය, එසේම මේ කාම ගුණ (බැඳුම්) පහ (ආර්‍ය්‍ය විනයෙහි) බුද්ධශාසනයෙහි දම්වැලයයිද, බැඳීමයයිද කියනු ලැබේ. ඒ පහ කවරහුද යත්: ඉෂ්ටවූ, කැමති වන්නාවූ, හිත ප්‍රිය කරන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, ආසා ඇති කරන්නාවූ, ඇලුම් කටයුතුවූ, ඇසින් බලා දතයුතුවූ රූපද, කණින් අසා දතයුතුවූ ශබ්දද, නාසයෙන් විඳ දත යුතුවූ ගඳ සුවඳද, දිවෙන් විඳ දතයුතුවූ රසද, ඉෂ්ටවූ, කැමති වන්නාවූ, හිත ප්‍රිය කරන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ, ආසා ඇති කරන්නාවූ, ශරීරයෙන් ස්පර්ශකොට දතයුතුවූ හැඟීම්ද යන මොහුය. වාසෙට්ඨය, මේ පස්කම් බැම්ම මේ බුද්ධ ශාසනයෙහි දම්වැලයයිද බැඳීම්යයිද කියනු ලැබෙත්. වාසෙට්ඨය, තුන්වේදය දත් බමුණෝ මේ පස්කම් ගුණයෙහි බැඳුණාහු, සිහිමුළාවූවාහු, ගිලුණාහු, එහි දොෂ නොදක්නාහු, සසරින් නික්මයාමේ ප්‍රඥා නැත්තෝව ඒ පස්කම් සැප විඳිත්.
වාසෙට්ඨය, ඒකාන්තයෙන් ඒ තුන්වේදය දත් බමුණෝ යම් ධර්මයක් බ්‍රාහ්මණභාවය ඇති කරන්නේද ඒ ධර්මයන් දුරුකොට යම් ධර්මයක් බ්‍රාහ්මණ භාවය නොකරන්නේද ඒ ධර්මයන් රැගෙන පවත්නාහු පස්කම් නමැති රැහැන් වලින් බැඳුනාහු එයින්ම සිහිමුළා වූවාහු ඊට ඇතුළත් වූවාහු එහි දොස් නොදක්නා ස්වභාව ඇත්තෝ පඤ්චකාම බැමි කපා දුක් කෙළවර කිරීම් වශයෙන් සංසාරයෙන් නික්ම යාමේ නුවණ නැතිව (පරිභොග කරන්නාහු) ඒ පස්කම් සැප විඳින්නාහු කාම බැම්මෙන් බඳිනා ලද්දෝව (ශරීරය විනාශ වීමෙන්) මරණින් මතු බ්‍රහ්මයා හා එක්වීමට පැමිණෙත්ය යන මේ කාරණය ඇත්ත නොවේ.
Msdiv 547 “වාසෙට්ඨය, යම්සේ මේ අචිරවතී ගංගාව ජලයෙන් පිරී ගංගා තීරයෙහි සිටි කාක්කන් විසින් බොන්නට හැකි ජලය ඇතිවූවාද එකල එතෙර ප්‍රයෝජන කොට ඇත්තාවූ එතෙරට යන පුරුද්ද ඇතිවූ එතෙර සොයන්නාවූ එතරවීමට කැමැත්තාවූ පුරුෂයෙක් එන්නේද ඒ පුරුෂයා මෙතෙර හිස සහිතව පොරවා නිදාගන්නේද, වාසෙට්ඨය ඒ කුමකැයි සිතන්නෙහිද? කිමෙක්ද එසේ ඇති කල ඒ පුරුෂයා අචිරවතී ගඟේ මෙතෙරින් එතෙරට යන්නේදැයි” ඇසුවෝය.
“භවද් ගෞතමයන් වහන්ස, මේ කාරණය ඇත්ත නොවේමයයි” කීයේය.
Msdiv 548 වාසෙට්ඨය, එසේම මේ (නීවරණ) ධර්ම පහ (ආර්‍ය්‍ය) උතුම් විනයෙහි ආවරණයෝයයිද කියනු ලැබෙත්. නීවරණයෝයයිද කියනු ලැබෙත්. බැඳුම්යයිද කියනු ලැබෙත්. හැම අතින් බැඳුම්යයිද කියනු ලැබෙත්. ඒ පහ මොනවාද? වස්තු කාමයන් කෙරෙහි ඇලීම නම්වූ නීවරණය, (කාමච්ඡන්දය) ක්‍රොධ නම්වූ නීවරණය, (ව්‍යාපාදය) කයේ සහ සිතේ අලස බවයයි කියනලද නීවරණය, (ථීනමිද්ධ) නොසන්සුන් බව හා පසුතැවීම නම්වූ නීවරණය, (උද්ධච්ච කුක්කුච්ච) සැකකිරීම යයි කියන නීවරණය, (විචිකිච්ඡා) යන මේයි. වාසෙට්ඨය, මේ නීවරණ පහ උතුම් විනයෙහි ආවරණයෝයයිද කියනු ලැබෙත්, නීවරණයෝයයිද කියනු ලැබෙත්, බැඳුම්යයිද කියනු ලැබෙත්. හැම ආකාරයෙන් බැඳුම්යයිද කියනු ලැබෙත්.
Msdiv 549 වාසෙට්ඨය, තුන්වේදය දත් බමුණෝ මේ නීවරණ පහෙන් ආවරණය කරණ ලද්දෝ සෑම ආකාරයෙන් වසන ලද්දෝ එයින් යට කරන ලද්දෝ එයින් වෙලන ලද්දෝ එයින් හාත්පසින් වසන ලද්දෝ වෙත්.
“වාසෙට්ඨය, ඒ තුන්වේදය දත් බමුණෝ යම් ධර්මයක් බ්‍රාහ්මණභාවය ඇතිකරන්නේද, ඒ ධර්මයන් දුරුකොට යම් ධර්මයක් බ්‍රාහ්මණභාවය නොකරන්නේද. ඒ ධර්මයන් සමාදන්ව පවතින්නාහු ස්වර්ග මොක්ෂය මුවහ කරන ධර්ම පහෙන් ආවරණය කරන ලද්දෝ සම්පූර්ණයෙන් වසන ලද්දෝ සෑම ආකාරයෙන් යටකරන ලද්දෝ සෑම ආකාරයෙන් වසන ලද්දෝ (ශරීරය විනාසවූ) මරණින් මතු බ්‍රහ්මයන්ගේ සහභාවයට පැමිණෙන්නාහුය යන මේ කාරණය ඇත්තක් නොවේ.
සංසන්දනකථා Msdiv 550 වාසෙට්ඨය, ඒ කුමකැයි සිතන්නෙහිද? වැඩි සිටියාවූ මහලුවූ ආචාර්‍ය්‍ය ප්‍රචාර්‍ය්‍යවූ බමුණන් විසින් බ්‍රහ්මතෙම ස්ත්‍රීන් සමග වාසය ඇත්තේ හෝ ස්ත්‍රීන් සමග වාසය නැත්තේදැයි කියන ලද කථාවක් අසා ඇත්තේද?”
“භවද් ගෞතමයන් වහන්ස, ස්ත්‍රීන් සමග වාසය නැත්තේයි.”
“වෛර සහිත සිත් ඇත්තේද වෙර නැති සිත් ඇත්තේද” “භවද් ගෞතමයන් වහන්ස, වෛර නැති සිත් ඇත්තේය”
“ක්‍රොධ සහිත සිත් ඇත්තේද ක්‍රොධ නැති සිත් ඇත්තේද” “භවද් ගෞතමයන් වහන්ස, ක්‍රොධ නැති සිත් ඇත්තේය.”
“කිලුටු සිත් ඇත්තේද කිලුටු නොවූ සිත් ඇත්තේද?” “භවද් ගෞතමයන් වහන්ස, කිලුටු නොවූ සිත් ඇත්තේය.”
“පුරුදු කරන ලද සිත් ඇත්තේ හෝ පුරුදු කරන ලද සිත් නැත්තේද?” “භවද් ගෞතමයන් වහන්ස, පුරුදු කරන ලද සිත් ඇත්තේය.”
වාසෙට්ඨය, ඒ කුමකැයි සිතන්නෙහිද? තුන්වේදය දත් බමුණෝ ස්ත්‍රීන් සමග වාසය ඇත්තෝද නොහොත් ස්ත්‍රීන් සමග වාසය නැත්තෝද? “භවද් ගෞතමයන් වහන්ස, ස්ත්‍රීන් සමග වාසය ඇත්තෝය.”
“වෛර සහිත සිත් ඇත්තෝ හෝ වෛර රහිත සිත් ඇත්තෝද?” “භවද් ගෞතමයන් වහන්ස, වෛර සහිත සිත් ඇත්තෝය.”
“ක්‍රොධ සහිත සිත් ඇත්තෝ හෝ ක්‍රොධ රහිත සිත් ඇත්තෝද?” “භවද් ගෞතමයන් වහන්ස, ක්‍රොධ සහිත සිත් ඇත්තෝය.”
“කිලුටු සිත් ඇත්තෝ හෝ කිලුටු නැති සිත් ඇත්තෝද?” “භවද් ගෞතමයන් වහන්ස, කිලුටු සිත් ඇත්තෝය.”
“පුරුදු කරනලද සිත් ඇත්තෝ හෝ පුරුදු කරන ලද සිත් නැත්තෝද?” “භවද් ගෞතමයන් වහන්ස, පුරුදු කරනලද සිත් නැත්තෝයයි” කීයේය.
Msdiv 551 වාසෙට්ඨය, මෙසේවූ කල තුන්වේදය දත් බමුණෝ ස්ත්‍රීන් සමග වාසය ඇත්තෝය. බ්‍රහ්මතෙම ස්ත්‍රීන් සමග වාසය නැත්තේය. කිමෙක්ද? ස්ත්‍රීන් සමග වාසය ඇත්තාවූ තුන්වේදය දත් බමුණන්ගේ ස්ත්‍රීන් සමග වාසය නැත්තාවූ බ්‍රහ්මයා සමග සංසන්දනය වේද, සමාන වේද?
“භවද් ගෞතමයන් වහන්ස, එසේ නොවන්නේය.”
වාසෙට්ඨය, හොඳයි, වාසෙට්ඨය, කාම ආසා ඇති හෙයින් ස්ත්‍රීන් සමග වාසය කරන්නාවූ ඒ තුන්වේදය දත් බමුණෝ මරණින් මතු කාම ආසා නැති හෙයින්, ස්ත්‍රීන් සමග වාසයක් නැත්තාවූ බ්‍රහ්මයා සමග එක්වීමට පැමිණෙන්නාහුය යන මේ කාරණය ඇත්ත නොවේ.
“වාසෙට්ඨය, මෙසේ තුන්වේදය දත් බමුණෝ වෛර සහිත සිත් ඇත්තෝයි. බ්‍රහ්මතෙම වෛර රහිත සිත් ඇත්තේය. කිමෙක්ද? වෛර සහිත සිත් ඇති තුන්වේදය දත් බමුණන්ගේ වෛර රහිත සිත් ඇති බ්‍රහ්මයා සමග සංසන්දනය වේද සමාන වේද?
“භවද් ගෞතමයන් වහන්ස, එසේ නොවන්නේය.”
“වාසෙට්ඨය, හොඳයි, වාසෙට්ඨය, වෛර සහිත සිත් ඇති ඒ තුන්වේදය දත් බමුණෝ මරණින් මතු වෛර සිත් නැත්තාවූ බ්‍රහ්මයා හා එක්වීමට පැමිණෙන්නාහුය, යන මේ කාරණය ඇත්තක් නොවේ.
“වාසෙට්ඨය, මෙසේ තුන්වේදය දත් බමුණෝ ක්‍රොධ සිත් ඇත්තෝයි. බ්‍රහ්මතෙම ක්‍රොධ සිත් නැත්තේය කිමෙක්ද? ක්‍රොධ සිත් ඇති තුන්වේදය දත් බමුණන්ගේ ක්‍රොධ සිත් නැති බ්‍රහ්මයා සමග සංසන්දනය වේද සමාන වේද?
“භවද් ගෞතමයන් වහන්ස, එසේ නොවන්නේය.”
“වාසෙට්ඨය, හොඳයි, වාසෙට්ඨය, ක්‍රොධ සහිත සිත් ඇති. ඒ තුන්වේදය දත් බමුණෝ මරණින් මතු ක්‍රොධ සිත් ඇත්තාවූ බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙන්නාහුය යන මේ කාරණය ඇත්තක් නොවේ.
“වාසෙට්ඨය, මෙසේ වූකල තුන්වේදය දත් බමුණෝ කිලුටු සිත් ඇත්තෝය. බ්‍රහ්මතෙම නොකිලුටු සිත් ඇත්තේය. කිමෙක්ද? කිලුටු සිත් ඇති තුන්වේදය දත් බමුණන්ගේ කිලුටු සිත් නැති බ්‍රහ්මයා සමග සංසන්දනය වේද සමාන වේද?
“භවද් ගෞතමයන් වහන්ස, එසේ නොවන්නේය.”
“වාසෙට්ඨය, හොඳයි, කිලුටු සිත් ඇති තුන්වේදය දත් බමුණෝ මරණින් මතු කිලුටු සිත් නැත්තාවූ බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙන්නාහුය, යන මේ කාරණය ඇත්තක් නොවේ.
“වාසෙට්ඨය, මෙසේවූ කල තුන්වේදය දත් බමුණෝ පුරුදු කරනලද සිත් ඇත්තෝය. බ්‍රහ්මිතෙම පුරුදු කරන ලද සිත් ඇත්තේය. කිමෙක්ද? පුරුදු කරන ලද සිත් නැති තුන්වේදය දත් බමුණෝ පුරුදු කරන ලද සිත් ඇති බ්‍රහ්මයා සමග සංසන්දිනය වේද සමාන බවට පැමිණේද?
“භවද් ගෞතමයන් වහන්ස, එසේ නොවන්නේය.”
“වාසෙට්ඨය, හොඳයි, පුරුදු කරන ලද සිත් නැති තුන්වේදය දත් බමුණෝ පුරුදු කරන ලද සිත් ඇති බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙන්නාහුය, යන මේ කාරණය ඇත්තක් නොවේ.
Msdiv 552 වාසෙට්ඨය, මෙහි තුන්වේදය දත් බමුණෝ බඹලොවට නොපැමිණෙන මාර්ගයක් බඹලොවට පැමිණෙන මාර්ගයයි වරදවාගෙන එහි පිළිපැද මඩවළක් පොළොවයයි බැස ගිලෙන්නාක් මෙන් ගිලෙති. ගිලී, සතර අපායෙහි වැටී දුකට පැමිණෙත්. මිරිඟුව දැක දියෙන් පිරුණු ගංගාවකැයි එතරවීමට පීනන්නට ගොස් අත් පා බිඳගනිත්. එහෙයින් මේ මාර්ගය තෙවිජ්ජ බමුණුන්ගේ කිමකැයිද, තෙවිජ්ජ බමුණන්ගේ මහ කැලෑවක්යයිද තෙවිජ්ජ බමුණන්ගේ විනාශයකැයිද කියනු ලැබේ.
Msdiv 553 මෙසේ වදාළ කල වාසෙට්ඨ තරුණයා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය. “භවද් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයාගේ සහභාවය පිණිස පවත්නා මාර්ගය දන්නේයයි මේ කාරණය මා විසින් අසන ලද්දේය.”
“වාසෙට්ඨය. ඒ කුමකැයි සිතන්නෙහිද? මනසාකට ගම මේ අඹ වනයට සමීප නොවේද? මනසාකට ගම මට නුහුරු වූයේ නොවේද?”
“භවද් ගෞතමයන් වහන්ස, එසේය. මනසාකට ගම මීට සමීපය. මනසාකට ගම මීට දුර නොවේයයි” කීයේය.
Msdiv 554 “වාසෙට්ඨය, ඒ කුමකැයි සිතන්නෙහිද? මේ මානසාකට ගමෙහි උපන්නාවූද එහි වැඩුනාවූද පුරුෂයෙක් ඇත්තේද, ඒ ගමින් පිටත ගියාවූ ඔහුගෙන් කිසිවෙක් මනසාකට ගමට පාර අසත් නම්, වාසෙට්ඨය, මනසාකට ගමෙහි උපන්නාවූ එහිම වැඩුනාවූ මනසාකට ගමට පාර අසනු ලැබුවාවූ ඒ පුරුෂයාට ඒ පාර කීමට කල්පනාකිරීම ආදීවශයෙන් කල්ගතවීමක් වන්නේදැයි” ඇසුවෝය.
“භවද් ගෞතමයන් වහන්ස, එසේ නොවේමය,”
“ඊට හේතු කවරේද?”
“භවද් ගෞතමයන් වහන්ස, ඒ පුරුෂයා, මනසාකට ගමෙහි උපන්නේය, එහිම වැඩුනේය. ඔහු විසින් මනසාකට ගම ගැන සියලු මාර්ග හොඳින් දැනගත් බැවිනි”
“වාසෙට්ඨය, මනසාකට ගමෙහි උපන්නාවූ එහිම වැඩුනාවූ මනසාකට ගමට පාර අසනලද්දාවූ ඒ පුරුෂයාට ප්‍රමාද භාවයක් හෝ, තද මුළාවක් හෝ වන්නේ නමුත් බ්‍රහ්ම ලොකයෙහි හෝ බ්‍රහ්ම ලොකයට පමුණුවන ගති ඇති පිළිපැදීම සම්බන්ධව අසනලද්දාවූ තථාගතයානන් වහන්සේට ඒ සඳහා පිළිපැදීම කුමක්ද යනාදීන් ප්‍රමාද භාවයක් හෝ මුලාබවක් නොවේමය. වාසෙට්ඨය, මම බ්‍රහ්මයන්ද දනිමි. බ්‍රහ්ම ලොකයද දනිමි. බ්‍රහ්ම ලොකයට පමුණුවන ගති ඇති පිළිපැදීම දනිමි. යම් මාර්ගයකින් පිළිපැදීම කළ කෙනෙක් බ්‍රහ්ම ලොකයෙහි උපන්නේද එය හෝ ඔහු දනිමි” කීවාහුය.
Msdiv 555 මෙසේ කී කල වාසෙට්ඨ තරුණයා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය.
“භවද් ගෞතමයන් වහන්ස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයන්ගේ සහභාවය පිණිස මාර්ගය දෙශනා කරනසේකැයි මේ කාරණය මා විසින් අසන ලද්දේය. භවද් ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයන්ගේ සහභාවය පිණිස මාර්ගය අපට දෙශනා කරණසේක්වා. භවද් ගෞතමයන් වහන්සේ බ්‍රහ්ම පුත්‍රවූ මා අපාය මාර්ගයෙන් උදුරණ සේක්වායි” කීවේය.
“වාසෙට්ඨය, එහෙනම් අසව, හොඳින් කල්පනා කරව, කියන්නෙමියි” වදාළෝය.
“පින්වතුන් වහන්ස, එසේයයි” වාසෙට්ඨ තරුණයා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය.
බ්‍රහ්මලොකමග්ගදෙසනා Msdiv 556 භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළසේක.
“වාසෙට්ඨය, (අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනාඥාන ආදී විද්‍යා අට සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළවයන අෂ්ට විද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, (චතුරාර්‍ය්‍ය සත්‍ය) සත්‍යවූ උතුම් ධර්මසතර අවබොධකළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ, සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැන පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්, අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියමවිදියට වචන ශබ්ද කරන්නාවූ (බ්‍යඤ්ජන සහිත) සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ සියලු ශාසනමාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව ගෙන හැර දක්වති.
“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයි. ඔහු ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ මෙසේ සලකන්නේය. ‘ගෘහවාසය පීඩා සහිතයි. රාගාදි කෙලෙස් සහිත මාර්ගයෙකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශයමෙන් නිදහස්ය. ගිහි ගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනිවූ මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය මම කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි’ කියායි.
“ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් රාශිය හැර ස්වල්පවූ හෝ බොහෝවූ නෑපිරිස් හැර, කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණවේ. මෙසේ මහණවූ ඔහු ප්‍රධාන සංවරසීලයෙන් යුක්ත වූයේ, යහපත් හැසිරීමෙන් හා වරද නැති පැවැත්මෙන් යුක්ත වූයේ, ස්වල්පවූත් අකුසලයන්හි විශෙෂයෙන් භය දක්නා ගති ඇත්තෙකු වූයේ, යහපත්වූ ශරීරයෙන් වචනයෙන් ක්‍රියාවෙන් යුක්ත වූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත පැවතුම් ඇත්තේවෙයි, ශීලයෙන් යුක්ත වූයේ වෙයි, ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේ වෙයි, කෑමෙහි පමණ දන්නේවෙයි, යහපත් සිහියෙන් හා නුවණින් යුක්ත වූයේ වෙයි, සන්තෝෂයෙන් යුක්තවෙයි.
“වාසෙට්ඨය, භික්ෂුනමක් කෙසේ නම් සීල සම්පන්න වේද? වාසෙට්ඨය, මේ සස්නෙහිවූ භික්ෂුනමක් ප්‍රාණවධය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, බහා තබන ලද දඬු ඇත්තේ බහා තබනලද ආයුධ ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්ත වූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතිව වාසය කෙරේ. මෙයද ඔහුගේ සීලයක්වේ නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළැක්කේ, දුන්දෙයම ගන්නේ, දුන් දෙයම කැමතිවන්නේ, සොර නොවූ පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කෙරේ. මෙයද ඔහුගේ සීලයෙකි. අබ්‍රහ්මචර්‍ය්‍යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්මචාරීවේ. මෙයද ඔහුගේ සීලයෙකි බොරුකීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, සැබෑ තෙපුල් කියන්නේ, සැබවින් සැබව ගළපන ගති ඇතිව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ. මෙයද ඔහුගේ සීලයෙකි. පිසුණු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේද, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේද, මෙසේ භෙදවූවන් ගළපන්නේ සමගි වූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුලකොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ තෙපුල් කියන්නේය. මෙයද ඔහුගේ සීලයෙකි. ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ යම් වචනයක් නිදොස්වේද, කනට සැපද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රියකරන්නේද, එබඳු වචනම කියන්නේවේ. මෙයද ඔහුගේ එක් සීලයෙකි. හිස් ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ තෙපුල්ම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්ත විනය සම්බන්ධවූ තෙපුල් කියන්නේ, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ. මෙසේ ඒ හිස් කථාවෙන් වැළැක්කේද දියුණුවට හේතුවන වචන කියන්නේද, මෙයද ඔහුගේ සීලයෙකි.
“තණ, ගස්, වැල්, බිඳීම් සිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන කෑම ඇත්තේ, රාත්‍රි කෑමෙන් හා අවේලේ කෑමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය. නැටීම්, ගීකීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය මල්, ගඳ, විලවුන් පැළඳීම, ඉන් සැරසීම, අඩුතැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළැක්කේය. රන් රිදී මසුරන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය අමුවූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේ අමුමස් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද ස්ත්‍රීන් හා ගෑනු ලමයින් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද වේ වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේ, එළුවන් හා තිරළුවන් පිළිගැනීමෙන් තොරවූයේ, කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන් වෙළඹුන්, කෙත්, වත් යන මේ පිළිගැන්මෙන්ද, සම්පූර්ණයෙන් තොරවූයේය. ගිහීන්ගේ දූත මෙහෙවරය, ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. ගනුදෙනු කිරීමය, තරාදි ආදියෙන් වඤ්චා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වඤ්චා කිරීමය, වී ආදිය මැණීමෙන් වඤ්චා කිරීමය, හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය. උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය කැපීමය, මැරීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැරගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැරගැන්මය යන මෙයින්ද සම්පූර්ණයෙන් වැළැක්කේය මෙයද ඔහුගේ සීලයක් වේ
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මූලබීජය, ඛන්ධබීජය, ඵලබීජය, දලුබීජය, පස්වැනිවූ බීජබීජය යන මේ ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්. මෙබඳුවූ බීජගාම භූතගාමයන් සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේ නම් මෙයද ඔහුගේ එක් සීලයක් වේ
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා ආහාර වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, නොඉටන ලද (අයිතියට නොගත්) සිවුරු ආදිය, යාන සංඛ්‍යාත වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියනලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත් මෙබඳුවූ සන්නිධිකාර පරිභොගයෙන් වැළකී වෙසේ. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා නැටීමය, ගී කීමය, බෙර ආදිය වැයීමය, රඟමඬුලු සැරසීමය, වැඩක් නැති කථා ඇසීමය. කයිතාලම් හා අත්ලෙන් අත්ල ගැසීමය. මන්ත්‍ර පිරවීමෙන් මළමිණී නැංවීමය, සතරැස් හෝ කළ බෙර ගැසීමය, ශොභන චිත්‍ර විචිත්‍රය, සණදොවුන් කෙළිය, හුණගස් ඔසවා නැටීමය, මිනී ඇට සෝදා තැබීමය, ඇතුන් හා පොරය, අශ්වයින් යොදා පොරය, මීවුන් හා පොරය ගවයින් හා පොරය, එළුපොරය, මෙණ්ඩක එළුපොරය, කුකුළුපොරය, වටුපොරය, දඬු (පොලු) පොරය, තොරතුරු දැනීමය, මල්ලව යුද්ධය, යුද්ධය, ඇත් ඇස් ආදිය දැකීමය යන විකාර දර්ශනයෙහි යෙදී වාසය කරත්. මෙසේ මෙබඳු විසුලු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකේ. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙනලද කෑම කා දූ පෝරු ආදියෙහි කෙළීම්වූ ක්‍රීඩාවය, දශපද ක්‍රීඩාවය, දූ පෝරු ආදියෙහි මෙන් ආකාශයෙහි ක්‍රීඩාකිරීමය, බිම මණ්ඩල වශයෙන් සාදා පැන පැන ක්‍රීඩා කිරීමය, දූ කැට නොසොල්වා නියෙන් ගසා ක්‍රීඩා කිරීමය, දාදු කෙළීමය, සිං කෙළීමය, භිත්ති ආදියෙහි ඉරටමිටි ගසා ඇත් අස් ආදි රූප දක්වා කෙළීමය, පන්දු කෙළීම්ය, නලා පිඹීම්ය, ක්‍රීඩා නගුල් ගෙන සෙල්ලම් සීසෑම්ය, කරනම් ගැසීමය, තල්පත් ආදියෙන් කන්නන් ගුරුවා තනා ක්‍රීඩා කිරීමය, කොළ නැළියෙන් වැලි ආදිය මැන කෙළීමය, කුඩා රථයෙන් කෙළීමය. කුඩා දුන්නෙන් කෙළීමය, අහසෙහි හෝ පිටෙහි හෝ අකුරු ඇඳ කෙළීමය, සිතූ දේ කියවීම් කීම් ආදියෙන් කෙළීමය, ඒ ඒ දොෂ රූප දක්වා කෙළීමය, යන මෙබඳුවූ ප්‍රමාදයට කාරණාවූ දූ කෙළීමෙහි යෙදී වාසය කෙරෙත්. මෙසේ මෙබඳුවූ දූ කෙළියෙන් සම්පූර්ණයෙන් වළකියි. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා දික්හඟලා පුටුය, පලස්ය, සතරඟුලෙන් දිග ලොම් ඇතිරිය, විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් සුදුඇතිරිය, එළුලොමින් කළ ඉදිරියට නෙරූ මල් ඇති ඇතිරිය, සිංහාදි රූපයෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එක් පිට ලොම් ඇති ඇතිරිය, දෙපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය, රත්රන් නූලෙන් කළ පට ඇතිරිලිය, එක්විට නැට්ටුක්කාරියන් දහසය දෙනෙක් නටනා එළුලොමින් කළාවූ මහඇතිරිය, ඇතුන් පිට අතුරණ ඇතිරිය, අසුන් පිට අතුරණ ඇතිරිය, රථ පිට අතුරණ ඇතිරිය, අඳුන් දිවිසමින් කළ ඇතිරිය, කෙසෙල් මුව සමින් කළ උතුම් ඇතිරිය, දෙපස තබනලද රතුපාට කොට්ට ඇති ආසනය, යන මෙබඳු උස් අසුන් මහ අසුන් පාවිච්චි කෙරෙත්. මෙසේ මෙබඳුවූ උස් අසුන් මහ අසුන්හි හිඳීම් ආදියෙන් වළකියි. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ඇඟ ඉලීමය, පිරිමැදීමය, නෑවීමය, මැඩීමය, මූනබලන කන්නාඩි අඳුන්, තෙල් හා සුවඳ පාවිච්චිය, මූණේ ගානා සුවඳ කුඩු, මූණේ ගානා සුවඳ ද්‍රව්‍ය, අත්වල බඳින ආභරණ යන මේ දේ දැරීම හා පැළඳීමය, රත්රන් නූල් ආදියෙන් කුඩුම්බි බැඳීමය, විසිතුරු දඬුගෙන හැසිරීමය, බෙහෙත් නල එල්වාගෙන ඇවිදීමය, කඩු විසිතුරු කුඩ ගෙනයෑම, විසිතුරු සෙරෙප්පු හෝ සපත්තු පයලා ඇවිදීමය, නලල්පට බැඳීමය, කොණ්ඩා මාණික්‍ය පැළඳීමය, අවන් දැරීමය දික්වූ දහවලු ඇති සුදුරෙදි ඇඳිමයයි මෙසේවූ සැරසීම් හා අඩුතැන් පිරවීමෙහි නිතර නිතර යෙදෙත්. මෙබඳුවූ සැරසීම් අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වළකියි. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම ඇතැම් පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහඇමතියන් පිළිබඳ කථාය, සෙනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, ඇඳන් පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, ගන්ධ ද්‍රව්‍යයන් පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නුවර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, ගෑනු දරුවන් පිරිමි දරුවන් පිළිබඳ කථාය, යොධයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, වතුර ගෙන යන දාසීන් හෝ වතුර ගෙන යන තැන් හෝ පිළිබඳ කථාය, මළ නෑයන් යන ආදීන් පිළිබඳ කථාය, නොයෙක් ආකාරවූ තේරුම් නැති කථාය, ලොකය පිළිබඳ කථාය, මුහුද පිළිබඳ කථාය, භවාභව කථාය යන මෙබඳු පහත් කථාවෙහි යෙදී වෙසෙත්. මෙබඳුවූ පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වළකියි. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘ඔබ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්මවිනය දනිමි.’ ‘ඔබ මේ ධර්මවිනය කුමකැයි දන්නෙහිද? ඔබ වරදවා පිළිපදින්නෙහිය, මම මනාකොට පිළිපදින්නේවෙමි.’ ‘මාගේ වචන යහපත්ය හෝ අර්ථය සහිතය, ඔබගේ වචන අර්ථ රහිතය.’ ‘පළමු කිය යුත්ත පසුව කීයෙහිය’ පසුව කිය යුත්ත පළමුව කීයෙහිය යමක් ඔබ බොහෝ කල් පුරුදුකරණ ලද නම් ඒ සියල්ල නිෂ්ඵල විය. ඔබට වාදාරොපනය කරණ ලදී නින්දා කරණ ලද්දෙහිය. වාදයෙන් මිදෙනු පිණිස ක්‍රියා කරව. ඉදින් හැක්කෙහි නම් වාදයෙන් ගැළවෙව, යන ආදි දොෂාරොපණ කථාවෙහි යෙදී වෙසෙත්. මෙසේ මෙබඳු දොෂාරොපණ කථාවෙන් සම්පූර්ණයෙන් වළකින්නේය. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර පින්වත් මහණබමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන්ගේ, රජ මහ ඇමතියන්ගේ, ක්ෂත්‍රියයන්ගේ, බමුණන්ගේ, ගෘහපතියන්ගේ සහ කුමරුන්ගේද හසුන් ගෙණ, ‘මෙතනින් අසවල් තැනට යව, අසවල් තැනින් මෙහි එව, මෙය ගෙණ යව, එතැනින් අසවල්දෙය ගෙණෙව’යි දූත භාවයෙහි හා හසුන් ගෙණ යෑමෙහි යෙදී වෙසෙත්. මෙබඳු දූත භාවය, හසුන් ගෙණයෑම යන මෙයින් වළකින්නේය. මෙයද ඒ ඔහුගේ සීලයකි.
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා කුහකයෝද, සිව්පසය උදෙසා කථා කරන්නෝද, නිමිති කරන්නෝද නොහොත් ලාභ සත්කාර සඳහන් කරවන්නෝද, පරලාභාදිය උදෙසා කියන්නෝද, ලාභයකින් ලාභයක් සොයන්නෝද වෙත්. මෙබඳුවූ කුහක වංචා ප්‍රයෝග අදියෙන් වළකියිද මෙයද ඔහුගේ සීලයකි.’
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිතිශාස්ත්‍රය, හෙනගැසීම ආදී මහ නිමිති බලා කියන ශාස්ත්‍රය, ස්වප්න ශාස්ත්‍රය ලක්ෂණ ශාස්ත්‍රය මීයන් කැපූ වස්ත්‍රාදිය බලා කියන ශාස්ත්‍රය, ගිනි දෙවියා පිදීමය, දබ්බිහොමය, ථුස හොමය, තණ්ඩුල හොමය, කණ හොමය සප්පි හොමය, තෙල හොමය, මුඛ හොමය ලේ හොමය, ශරීර විද්‍යා වාස්තු විද්‍යා, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන්නාවූ විද්‍යා භූත විද්‍යා, නාග විද්‍යා, විෂ විද්‍යා, ගෝනුසු විද්‍යා, මී විද්‍යා, කුරුළු විද්‍යා, කපුටු විද්‍යා, ජීවිත කාලය කීම, ආයුධ වැළැක්වීම්, තිරිසන් සතුන්ගේ ශබ්ද දැනීම වශයෙන් පැවති මන්ත්‍රය යන පහත් විද්‍යා හේතු කොට ගෙන වැරදි ජීවිතයෙන් ජිවිකා කෙරෙත්. මෙසේ මෙබඳු පහත් විද්‍යා හෙතුවෙන් කරණ ලාමක ජිවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේද මෙයද ඔහුගේ සීලයකි.
“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මණී ලක්ෂණය. වස්ත්‍ර ලක්ෂය, දණ්ඩ ලක්ෂණය, කඩු ලක්ෂණය, දුනු ලක්ෂණය, ආයුධ ලක්ෂණය, ස්ත්‍රී ලක්ෂණය, පුරිස ලක්ෂණය, පිරිමිදරු ලක්ෂණය ගෑනුදරු ලක්ෂණය, දාස ලක්ෂණය, දාසී ලක්ෂණය, ඇත් ලක්ෂණය අශ්ව ලක්ෂණය, කැස්බෑලක්ෂණය, එළු ලක්ෂණය, මීහරක් ලක්ෂණය ගව ලක්ෂණය, ලොකු එළු ලක්ෂණය, කුකුළු ලක්ෂණය, වටු ලක්ෂණය තලගොයි ලක්ෂණය, කර්ණිකා ලක්ෂණය, මුව ලක්ෂණයයි මෙබඳු පහත් විද්‍යාවන් කරණ කොට ගෙණ වැරදි ජීවිකාව කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යාවන් නිසා කරණ වැරදි ජිවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේද මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා අසවල් දිනට රජුන්ගේ බැහර යෑම වන්නේය. අසවල් දින ඇතුළු නුවරට එන්නේය අසවල් දින ඇතුළු නුවර රජුන් වෙත පැමිණීම වන්නේය. බැහැර රජුන්ගේ බැහැරට යෑම වන්නේය. බැහැර රජුන්ගේ ඇතුළු නුවරට ඊම වන්නේය. ඇතුළුනුවර රජුන්ගේ ආපසු යෑම වන්නේය. ඇතුළු නුවර රජුන්ට ජය වන්නේය. බැහැර රජුන්ගේ පරාජය වන්නේය. බැහැර රජුන්ගේ ජය වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ පරාජය වන්නේය. මෙසේ මොහුට ජය වන්නේය. මෙසේ පරාජය වන්නේයයි’ කියා මෙසේ පහත් විද්‍යා හෙතුකොට ලාමක ජිවිකා කෙරෙත්. මෙබඳුවූ පහත් විද්‍යා හෙතුවෙන් කරණ වැරදි ජීවිතයෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයක් වේ
‘එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා චන්ද්‍රග්‍රහණය වන්නේය. සූර්‍ය්‍යග්‍රහණය වන්නේය, තාරකා සමාගමය වන්නේය. සඳ හිරු දෙදෙනාගේ නියම මාර්ග ගමන වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නොමඟ යෑම වන්නේය, තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය, තාරකාවන්ගේ නොමග යෑම වන්නේය, උල්කාපාතය වන්නේය, දිසා දැවීම වන්නේය, පොළව කම්පා වන්නේය, අහස ගිගුරුම් වන්නේය, සඳ, හිරු, තාරකාවන්ගේ නැඟීම හා බැසීම්ද කෙළෙසීමද පිරිසිදු වීමද වන්නේය, චන්ද්‍ර ග්‍රහණය මෙබඳු විපාක ඇති වන්නේය, සූර්‍ය්‍යග්‍රහණය මෙබඳු විපාක ඇති වන්නේය, තාරකා සමාගමය මෙබඳු විපාක ඇති වන්නේය, චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, ඔවුන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇති වන්නේය, තාරකාවන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, තාරකාවන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇති වන්නේය, උල්කාපාතය මෙබඳු විපාක ඇති වන්නේය, දිගුන් දැවීම මෙබඳු විපාක ඇතිවන්නේය, භුමි කම්පාව මෙබඳු විපාක ඇතිවන්නේය, අහස් ගිගුම මෙබඳු විපාක ඇතිවන්නේය. සඳ, හිරු, තාරකාවන්ගේ නැඟීම, බැසීම, කිලිටුවීව හා පිරිසිදුවීම මෙබඳු විපාක ඇතිවන්නේයයි’ කියා මෙසේ පහත් විද්‍යා හෙතුවෙන් කරණ වැරදි ජිවිකාවෙන් ජිවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හෙතුකොටගෙණ කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.
‘එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ‘මනා වැසි ඇතිවන්නේය, මනා වැසි නැතිවන්නේය යහපත් ආහාරපාන ඇති වන්නේය, ආහාර පාන නැති වන්නේය, නිර්භය ඇති වන්නේය, භය ඇතිවන්නේය, රොග ඇතිවන්නේය, නිරෝගී බව ඇතිවන්නේයයි’ කීමද, ඇඟිල්ල ඇල්ලීමය, ගණන්කිරීමය, කොටස්කර ගණන් කිරීමය, කාව්‍ය කිරීමය, ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙණීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණකොට වැරදි ජීවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හෙතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.
“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ආවාහ කරවීමය, විවාහ කරවීමය, සමගිය පිළිබඳ කථාකිරීමය, වියොගය පිළිබඳ කථාකිරීමය, ධන රැස් කිරීමය, වියදම් කිරීමය, යහපත් ශ්‍රියාව ඇතිකිරීමය දුර්ගර්භකරණය ගර්භවිරොධි කරණය, දිව් තද කිරීමය, නූල් බැඳීම, අත් පෙරළීම පිණිස මන්ත්‍ර ජපකිරීමය, ශබ්ද නොඇසීම පිණිස මන්ත්‍ර ජපකිරීමය, කැඩපත්හි දෙවතාරොපණයකොට ප්‍රශ්නඇසීමය, ගෑණු දරුවන්ගේ ශරීරයෙහි දෙවතාරොපණය කොට ප්‍රශ්න ඇසීමය, දෙවදාසියගේ ශරීරයෙහි යකුන් ආරොපණයකොට ප්‍රශ්න ඇසීමය, හිරු වැඳීමය, මහබඹුට උපස්ථාන හෝ වැඳුම් කිරීමය, කටින් ගිනි දැල් පිටකිරීමය, ශ්‍රී දෙවිය කැඳවීමයයි කියන මෙබඳු පහත් විද්‍යාවෙන් වැරදි ජීවිකා කෙරෙත්. මෙබඳු පහත් විජ්ජාවෙන් කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.
“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ශාන්ති කිරීමය, කාර්‍ය්‍ය සමෘද්ධි කටයුතු කර්මය, මන්ත්‍ර කර්මය, භූරිකර්මය, පණ්ඩකයා පුරුෂයකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය, ගෙවල් නොකළ බිම් ගෙවල් කිරීමය, ගෙට සුදුසු තැන බලිකම් විධානය දියෙන් මූන සුද්ධ කිරීමය, තැහැවීමය, ගිනි පිදීමය, වමන කරවීමය, විරේක කරවීමය, උඩු කය විරේකය, යටිකය විරේකය, හිස විරේකය, කන්තෙලය, ඇස් බෙහෙත් ගැල්වීමය, නස්‍ය කිරීමය, අඳුන් ගෑමය, සිසිල් බෙහෙත් අඳුන් සෑදීමය, ආයුධ කටු ගසා කරන වෙදකම්ය, ශල්‍යකර්මය, ළදරුවන් පිළිබඳ වෙදකම්ය, මූලික බෙහෙත් දීමය, සැර බෙහෙත්දී පසුව එහිබල හැරීමය කියා හෝ මෙබඳු පහත් විද්‍යා කරණකොට වැරදි ජීවත්වීමෙන් ජීවිකා කෙරෙත්. මෙබඳුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.
“වාසෙට්ඨය, මෙසේ සීලසම්පන්නවූ භික්ෂූහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ සීල සංවරය හෙතුකොටගෙණ කිසි තැනකදී නොඋපදනේය. කුමක් මෙන්ද යත්:- වාසෙට්ඨය, ක්ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂෙක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්ෂත්‍රිය රජෙක් කිසියම් සතුරෙකුගෙන් කිසි භයක් නොදක්නේද. එපරිද්දෙන්ම, වාසෙට්ඨය, සීලසම්පන්නවූ භික්ෂුතෙමේ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු සීලසංවරය හෙතුකොට කිසිතැනකදී නොදක්නේය. ආර්‍ය්‍යවූ (උතුම්වූ) මේ සීල රාශියෙන් යුක්තවූ ඒ භික්ෂුතෙම, තමන්තුළ පිරිසිදුවූ (කායික චෛතසික) සැපය විඳියි. ලොහිච්චය මෙසේ දැක්වූ ශීලයෙන් යුක්තවූ භික්ෂුව සීලසම්පන්න නම් වේ.
“වාසෙට්ඨය, භික්ෂුව කෙසේ නම් ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේද? වාසෙට්ඨය, මේ සස්නෙහි භික්ෂූ තෙමේ ඇසින් රූපයක් දැක එහි නොඇලේ එහි නොපෙළඹෙන්නේය. ඇස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කිපීම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රියය රකී. ඇස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කණින් ශබ්දයක් අසා එහි නොඇලේ එහි නොපෙළඹෙන්නේය. කන් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කිපීමාදි අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ කන් ඉන්ද්‍රියය රකී. කන් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. නාසයට ගඳ සුවඳ දැනී එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය නාස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කිපීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ නාස් ඉන්ද්‍රියය රකී. නාස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. දිවෙන් රසයක් විඳ එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. දිව්ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කිපීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද එබඳුදෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ දිව් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ කයින් ස්පර්ශයක් ස්පර්ශකොට එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ශරීර ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කිපීම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද එබඳු දෙයින් වැලකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ ශරීර ඉන්ද්‍රියය රකී, ශරීර ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. සිතීන් (ධර්මයක්) අරමුණක් දැන එහි නොඇලේ එහි නොපෙළඹෙන්නේය. සිත් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් නිසා දැඩි ආසාව හා කෝපය ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. හෙතෙම සිත් ඉන්ද්‍රීය රකී, සිත් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ එබඳුවූ භික්ෂුව උතුම්වූ ශීල රාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිදුවූ අධිචිත්ත සැපය විඳියි. වාසෙට්ඨය, මෙසේවූ භික්ෂුතෙමේ ඉන්ද්‍රියයන්හි වසනලද දොරටු ඇත්තේ වේ.
“වාසෙට්ඨය, භික්ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේවේද?”
“වාසෙට්ඨය, මේ සස්නෙහි භික්ෂුතෙම ඉදිරියට යෑමෙහිද, ආපසු යෑමෙහිද, නුවණින් දැන කරන්නේය. ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද නුවණින් දැන බලන්නේය. අත් පා හැකිලීමෙහිද, දිගුකිරීමෙහිද, මනා නුවණින් දැන එසේ කරන්නේය. දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිද මනා නුවණින් දැන එසේ කරන්නේය. අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය. රස විඳීමය, යන මෙහිද මනා නුවණින් යෙදී එසේ කරන්නේය. මල මූත්‍ර පහකිරීම්ද නුවණින් (ආදිනව) සලකා කරන්නේය. යෑම්, සිටිම්, හිඳීම්, සැතපීම්, නිදි තොරකිරීම්, කථාකිරීම්, නිශ්ශබ්දව සිටීම් යන මේ දේ මනා නුවණින් දැන කරන්නේය. වාසෙට්ඨය, මෙසේ කරන්නාවූ භික්ෂුතෙමේ සිහියෙන් යුක්තවූයේ යහපත් නුවණින් යුක්තවූයේ වේයි.
“වාසෙට්ඨය, භික්ෂුතෙමේ කෙසේ ලද පමණින් සතුටුවූයේ වේද?
“වාසෙට්ඨය, භික්ෂුතෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, බඩ ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු සිත්ඇත්තේවේ ඔහු යම් යම් තැනකට යේනම් අටපිරිකර (කය පිළිබඳවූ දේ) පමණක් ගෙන යයි. වාසෙට්ඨය, යම්සේ පක්ෂියෙක් යම් තැනෙක පියාඹායේනම් ඒ සියලුතැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, වාසෙට්ඨය, එපරිද්දෙන්ම භික්ෂුතෙමේද ශරීරය ආරක්ෂාවට ප්‍රමාණවූ සිවුරෙන්ද බඩ ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටුවන්නේ වේ ඔහු යම් තැනක යා නම් අටපිරිකර පමණක් රැගෙණ බැහැර යයි. වාසෙට්ඨය, මෙසේවූ භික්ෂු තෙමේ සන්තෝෂයෙන් යුක්තවේ.
“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද, උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, මේ උතුම්වූ සන්තොෂයෙන් යුක්තවූද, ඒ භික්ෂුතෙමේ කැලයද, ගහක්මුලද, කඳුපලාත්ද, කඳුරැලි ගල්ගුහාවන් හෝ මහා මගද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන සහ තණ ගුහාද යන මේ ස්ථාන ආශ්‍රය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරීආයේ පර්යංකය බැඳ, (කකුල් අකුලුවා හිඳ) ශරීරයේ උඩු කොටස කෙලින් තබා අරමුණට සිහිය එළවා හිඳී.
“ඔහු ලොකයෙහි ලොභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලොභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රොධය පහකොට, ක්‍රොධයෙන් දුරුවූ සිත් ඇතිව පණ ඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේව වාසය කරයි. ක්‍රොධ දොෂයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලසබව දුරුකොට කය-සිත පිළිබඳ පහවූ අලසබව ඇත්තේ පිරිසිදු හැඟීම් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේ. අලසබව දුරුකොට සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසයකෙරේ. ඇතුළත සංසිඳුන සිත් ඇත්තේ සිත විසිරයාම හා පසුතැවීමෙන් පිරිසිදු කෙරේ. විචිකිච්ඡාව (සැකය) දුරුකොට, පහකළ විචිකිච්ඡා ඇත්තේ කුශලධර්ම විෂයෙහි සැක නැතිව වෙසේ, විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.
“වාසෙට්ඨය, යම්සේ පුරුෂයෙක් ණය ගෙණ කර්මාන්තයන්හි යොදන්නේද ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණු වන්නාහු නම් ඔහුගේ ඒ පරණ ණය මුදල් සියල්ලම ගෙවන්නේය. ඔහුගේ අඹු දරුවන් ආරක්ෂාකරණ පිණිස වැඩි යමක් ඉතුරුවූයේ නම් ඕහට මෙබඳු අදහසක් ඇතිවේ. ‘මම පළමුවෙන් ණය ගෙණ කර්මාන්තයන්හි යෙදුවෙමි. ඒ මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. ඒ මම පැරණි ණය ගෙවූයෙමි. අඹු දරුවන් පොෂ්‍යකිරීම පිණිස අතිරේක මුදලක්ද මට ඇත්තේය’ කියායි. හෙතෙම ඒ ණය නැති බව මුල්කොට ගෙණ බලවත් සතුටක් ලබන්නේය. සතුටටද පැමිණෙන්නේය.
“වාසෙට්ඨය, යම්සේ රෝගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩි ගිලන්බව ඇති පුරුෂයෙක් වන්නේද, ඕහට ආහාර රුචිනොවන්නේද, ඔහුගේ ශරීරයෙහි කිසි ශක්තියක් නැත්තේද වෙයි. ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම් ඔහුට ආහාර රුචිය ඇතිවන්නේ නම්, ඔහුගේ ශරීර බලය ඇතිවන්නේ නම්, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. කෙබඳුද යත්: මම පෙර ආබාධ ඇත්තාවූ, දුක් ඇති දැඩි ගිලන් බව ඇති කෙනෙක් වීමි. මට බත් රුචියද නොවීය ශරීර බලයද නැතිවිය. ඒ මම පළමුතිබූ ආබාධයෙන් මිදුනෙමි. මට ආහාර රුචියද ඇත්තේය. කාය බලයද තිබේය’ කියායි ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය, සොම්නසටද පැමිණෙන්නේය.
“වාසෙට්ඨය, යම්සේ පුරුෂයෙක් සිරගෙයි බැඳුනේ වේද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය. ඔහුගේ කෑම පිළිබඳ කිසිත් වියදමක්ද නොවන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම් “මම පෙර සිරගෙයි බැඳුනෙක් වූයෙමි. ඒ මම දැන් පීඩා රහිතව සැපසේ ඒ සිරගෙයින් මිදුනෙමි. මගේ කෑම පිළිබඳ කිසි වියදමක්ද නොවූයේය’ කියායි. ඔහු සිරගෙයින් මිදීම නිමිතිකොට බලවත් සතුටක් ලබන්නේය, සතුටටද පැමිණෙන්නේය.
“වාසෙට්ඨය, යම්සේ සිය කැමැත්තෙන් යමක් කරන්ට නොහැකිවූ අනුන්ට යටත්වූ තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකිවූ වැඩකරුවෙක් වන්නේද ඔහු පසු කලක ඒ දාස භාවයෙන් මිදෙන්නේ, තමාම අධිපතිකොට ඇත්තේ අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ, සිය අදහස් පරිදි ඒ ඒ තැන යාහැකි වන්නේද, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: ‘මම පෙර තමා කැමැති පරිදි යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත් මාඅදහස් පරිදි කිසි තැනෙක යා නොහැකි දාසයෙක් වීමි. ඒ මම දැන් ඒ දාස භාවයෙන් මිදුනෙක්මි. තමා අධිපතිකොට ඇත්තෙක් වීම. අනුන්ට යටත්නූන කෙනෙක් වීමි. අනුන්ට යටත් නොව මා සපයාගත් දෙයින්ම යැපෙන්නෙමි. මා අදහස් පරිදි ඒ ඒ කැමැති තැනෙක යා හැක්කේද වෙමි’යි කියායි. ඔහු ඒ දාසභාවයෙන් මිදීම හෙතුකොට බලවත් සතුටක් ලබන්නේය. එසේම සතුටටද පැමිණෙන්නේය.
“වාසෙට්ඨය, යම්සේ ධනවත්වූ භොග සම්පත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභවූ, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේද, ඔහු මද කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොර සතුරන්ගෙන් පීඩා නැති ගම්මානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේද, ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. එනම්:- ‘මම පෙර ධනවත් වූයෙමි, දුර්ලභ භික්ෂා ඇති භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණියෙක් වූයෙමි. එසේවූ මම දැන් එම කාන්තාර මාර්ගය පසුකෙළෙමි. සැපවත්වූ භය රහිතවූ, ගමකට සැපසේ ක්‍රමයෙන් පැමිණියෙමියි’කියායි. ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතර කිරීම නිමිතිකොට බලවත් සතුටක් ලබන්නේය, එසේම සතුටටද පැමිණෙන්නේය.
“වාසෙට්ඨය, ණය යම්සේද, රෝගය යම්සේද, හිරගේ යම්සේද, දාසභාවය යම්සේද, දීර්ඝ කාන්තාර මාර්ගය යම්සේද, එපරිද්දෙන් භික්ෂුතෙමේ පහනොකළ (පඤ්ච නීරවණ) කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි ඇති බව නුවණින් දකී. වාසෙට්ඨය, ණය නැති බව යම්සේද, නිරෝගි බව යම්සේද, සිර ගෙයින් මිදීම යම්සේද, අනුන්ට යටහත් නැති බව යම්සේද, භය නැති භුමිය යම්සේද එපරිද්දෙන්ම වාසෙට්ඨය, භික්ෂුතෙමේ පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමන් තුළ නැති බව නුවණින් දක්නේය.
“පහකළාවූ (නීවරණ) නුවණ මුවාකරණ ධර්ම පස තමා තුළ නැතැයි දක්නාවූ ඒ භික්ෂුවට සතුට උපදියි. සියලු ශරීරයෙහි පැතිර යන බලවත් සතුට උපදියි. බලවත් සතුට උපන්නහුගේ සිත කෙලෙස් දැවිල්ලෙන් සංසිඳෙයි. සිත සංසිඳී ගිය තැනැත්තේ සැපය විඳියි. සැපට පැමිණියහුගේ සිත එකඟවෙයි.
“ඒ භික්ෂුතෙම මෛත්‍රිය සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරේ. දෙවෙනි දිසාවද එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවදැයි, මෙසේ උඩද යටද හරහදැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලොකය මෛත්‍රිය සමග පැවැත්තාවූ මහත්වූ උසස් බවට පැමිණියාවූ ප්‍රමාණ කළ නොහැකිවූ වෛර නැත්තාවූ ක්‍රොධ රහිතවූ සිතින් පතුරුවා වාසය කෙරේ”
“වාසෙට්ඨය, බලසම්පන්නවූ සක් පිඹින්නෙක් පහසුවෙන්ම හතර දිසාවන් සක්ගෙඩි නාදයෙන් යම්සේ පතුරුවන්නේද, වාසෙට්ඨය, එසේම වඩන ලද්දාවූ මෛත්‍රී සහගත සමාධියෙන් (කෙලෙස් සහිත හෙයින්) ප්‍රමාණ කරන ලද කාම ලොකයට අයත් යම් කුශල කර්මයක් වේද, (කාමාවචර) ඒ කාම ලොකයට අයත් කුසල කර්මය තෙමේ ඒ මහද්ගත කුසල කර්මය (රූපාවචර, අරූපාවචර කුසලය) යටපත්කර නොසිටි එය මැඩගෙන නොපිහිටයි. මේ මාර්ගයද බ්‍රහ්මයාගේ සහභාවය පිණිස පවතී.
“නැවතද භික්ෂු තෙම කරුණාව සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරේ. දෙවෙනි දිගද එසේම තුන්වන දිගද එසේම සතරවෙනි දිග දැයි මෙසේ උඩද යටද හරහදැයි සියලු කල සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලොකය කරුණාව සමග පැවැත්තාවූ මහත්වූ උසස් බවට පැමිණියාවූ ප්‍රමාණ නොකළ හැකි වෛර රහිතවූ (ව්‍යාපාද) ක්‍රොධ රහිතවූ සිතින් පතුරුවා වාසය කෙරේ.
“වාසෙට්ඨය, බලසම්පන්නවූ සක් පිඹින්නෙක් සුවසේම සතර දිසාවන් හක්ගෙඩි නාදයෙන් යම්සේ පතුරුවන්නේද, වාසෙට්ඨය, එසේම වඩන ලද්දාවූ කරුණා සහගත සමාධිය කරණකොට ප්‍රමාණ කරනලද යම් කාම ලොකයට අයත් කුශල කර්මයක් වේද ඒ කාම ලොකයට අයත් කුසල කර්මය තෙමේ ඒ මහද්ගත කුසලකර්මය යටපත්කර නොසිටී. එය මැඩගෙන නොපිහිටයි. වාසෙට්ඨය, මේ මාර්ගයද බ්‍රහ්මයාගේ සහභාවය පිණිස පවතී.
“නැවතද වාසෙට්ඨය, ඒ භික්ෂුතෙමේ මුදිතා සහගත (සැප ඇත්තවුන්ගේ සැපයට සතුටුවීම සහිත) සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයිද දෙවෙනි දිසාවද තුන්වැනි දිසාවද සතරවැනි දිසාවද උඩද යටද සරසද සියලු කල්හි සියලු තැන පැතිර පවත්නා හෙයින් සියල්ල සහිතවූ ලොකය මහත්වූ උසස් බවට ගියාවූ අප්‍රමාණවූ ක්‍රොධ රහිත මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“වාසෙට්ඨය, යම්සේ බලවත් සක් පිඹින්නෙක් පහසුවෙන්ම සතර දිසාව සක් හඬින් පතුරුවන්නේද එමෙන් මුදිතා සහගත සමාධිය කරණකොට කෙලෙස් සහිත හෙයින් ප්‍රමාණ කරවූ කාමාවචර කුසලකර්මය තෙමේ ඒ මහද්ගත කර්මය යටපත්කර නොසිටී. එය මැඩගෙන නොපිහිටයි. වාසෙට්ඨය, මේ මාර්ගයද බ්‍රහ්මයා හා එක්වීම පිණිස පවත්නේය.
“නැවතද වාසෙට්ඨය, ඒ භික්ෂුතෙමේ උපෙක්ඛා සහගත සිතින් එක් දිසාවක්ද දෙවෙනි දිසාවද තුන්වැනි දිසාවද සතරවැනි දිසාවද උඩද යටද සරසද සියලු තන්හි සියලු කල්හි සියලු තැන පැතිර පවත්නා හෙයින් සියල්ල ඇත්තාවූ ලොකය මහත්වූ උසස් බවට ගියාවූ අප්‍රමාණවූ ක්‍රොධ රහිතවූ උපෙක්ෂා සහිත සිතින් පතුරුවා වාසය කරයි
“වාසෙට්ඨය, යම්සේ බලවත් සක් පිඹින්නෙක් පහසුවෙන් සතර දිසාව සක්හඬින් පතුරුවන්නේද එමෙන් උපෙක්ෂා සහගත සමාධිය කරණකොට ප්‍රමාණ කරවූ කාමාවචර කුසල කර්මය තෙමේ ඒ මහද්ගත කර්මය යටපත්කර නොසිටී. එය මැඩගෙන නොපිහිටයි. වාසෙට්ඨය, මේ මාර්ගයද බ්‍රහ්මයා හා සමග එක්වීම පිණිස පවත්නේය.
Msdiv 557 “වාසෙට්ඨය, ඒ කුමකැයි සිතන්නෙහිද? මෙබඳු (හතර ආකාර) බ්‍රහ්මවිහරණ ඇත්තාවූ ඒ භික්ෂු තෙම ස්ත්‍රීන් සමග වාසය ඇත්තේ හෝ ස්ත්‍රීන් සමග වාසය නැත්තේද?”
“භවද් ගෞතමයන් වහන්ස, ස්ත්‍රීන් සමග වාසය නැත්තේය.”
“වෛර සිත් ඇත්තේ හෝ වෛර සිත් නැත්තේද? “භවද් ගෞතමයන් වහන්ස, වෛර සිත් නැත්තේය.
“(ව්‍යාපාද) ක්‍රොධ සිත් ඇත්තේ හෝ ක්‍රොධ සිත් නැත්තේද? “භවද් ගෞතමයන් වහන්ස, ක්‍රොධ සිත් නැත්තේය.’
“කිලුටු සිත් ඇත්තේ හෝ නොකිලුටු සිත් ඇත්තේද?” “භවද් ගෞතමයන් වහන්ස, නොකිලුටු සිත් ඇත්තේය.”
“පුරුදු කරනලද සිත් ඇත්තේ හෝ නැත්තේද?” “භවද් ගෞතමයන් වහන්ස, පුරුදු කරනලද සිත් ඇත්තේයයි” කීයේය.
“වාසෙට්ඨය, මෙසේවූ කල භික්ෂු තෙමෙ ස්ත්‍රීන් සමග වාසය නැත්තේය. බ්‍රහ්ම තෙමද ස්ත්‍රීන් සමග වාසය නැත්තේය. කිමෙක්ද? ස්ත්‍රීන් සමග වාසය නැත්තාවූ බ්‍රහ්මයා සමග ස්ත්‍රීන් සමග වාසය නැත්තාවූ භික්ෂුහුගේ පැවැත්මගැළපේද? සමභාවයට පැමිණේද?”
‘භවද් ගෞතමයන් වහන්ස, එසේය.”
“වාසෙට්ඨය, හොඳයි වාසෙට්ඨය, ‘ඒකාන්තයෙන් ස්ත්‍රීන් සමග වාසයක් නැත්තාවූ ඒ භික්ෂු තෙම (ශරීරය අභාවයට යෑමෙන්) මරණින් මතු ස්ත්‍රීන් හා වාසයක් නැත්තාවූ බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙන්නෙක් වන්නේය.’ යන මේ කාරණය ඇත්තමය.
Msdiv 558 වාසෙට්ඨය, මෙසේවූ කල භික්ෂුතෙම වෛර රහිත සිත් ඇත්තේය. බ්‍රහ්මතෙමද වෛර රහිත සිත් ඇත්තේය කිමෙක්ද? වෛර සිත් රහිත බ්‍රහ්මයා සමග වෛර සිත් රහිත භික්ෂුහුගේ පැවැත්ම ගැළපේද? සමභාවයට පැමිණේද?”
“භවද් ගෞතමයන් වහන්ස, එසේය.”
“වාසෙට්ඨය, හොඳයි, වාසෙට්ඨය, ‘ඒකාන්තයෙන් වෛර සිත් රහිතවූ ඒ භික්ෂු තෙම (ශරීරය අභාවයට යෑමෙන්) මරණින් මතු වෛර සිත් රහිත බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙන්නෙක් වන්නේය’ යන මේ කාරණය ඇත්තමය
“වාසෙට්ඨය, මෙසේවූ කල භික්ෂු තෙම ක්‍රොධ සිත් රහිතය, බ්‍රහ්මතෙම ද ක්‍රොධ සිත් රහිතය. කුමක්ද? ක්‍රොධ සිත් රහිතවූ බ්‍රහ්මයා සමග ක්‍රොධ සිත් රහිතවූ භික්ෂූහුගේ පැවැත්ම ගලපේද? සමභාවයට පැමිණේද?”
“භවද් ගෞතමයන් වහන්ස, එසේය.”
“වාසෙට්ඨය, හොඳයි, වාසෙට්ඨය, ඒකාන්තයෙන් ක්‍රොධ රහිත සිත් ඇත්තාවූ ඒ භික්ෂු තෙම (ශරීරය අභාවයට යෑමෙන්) මරණින් මතු ක්‍රොධ රහිත සිත් ඇත්තාවූ බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙන්නෙක් වන්නේය’ යන මේ කාරණය ඇත්තමය.
“වාසෙට්ඨය, මෙසේවූ කල භික්ෂු තෙම කිලුටු සිත් නැත්තේය. බ්‍රහ්ම තෙමද කිලුටු සිත් නැත්තේය. කිමෙක්ද කිලුටු සිත් නැත්තාවූ බ්‍රහ්මයා සමග කිලුටු සිත් නැත්තාවූ භික්ෂුහුගේ පැවැත්ම ගැලපේද? සමභාවයට පැමිණේද?
“භවද් ගෞතමයන් වහන්ස, එසේය.”
‘වාසෙට්ඨය, හොඳයි, වාසෙට්ඨය, ‘ඒකාන්තයෙන් කිලුටු සිත් නැත්තාවූ භික්ෂූ තෙම (ශරීරය අභාවයට යෑමෙන්) මරණින් මතු කිලුටු සිත් නැත්තාවූ බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙන්නෙක් වන්නේය’ යන මේ කාරණය ඇත්තමය.
“වාසෙට්ඨය, මෙසේවූ කල භික්ෂූ තෙම, පුරුදු කරන ලද සිත් ඇත්තේය. බ්‍රහ්ම තෙමද පුරුදු කරනලද සිත් ඇත්තේය. කිමෙක්ද? පුරුදු කරන ලද සිත් ඇත්තාවූ බ්‍රහ්මයා සමග පුරුදු කරන ලද සිත් ඇත්තාවූ භික්ෂූහුගේ පැවැත්ම ගැළපේද? සම භාවයට පැමිණේද?”
“භවද් ගෞතමයන් වහන්ස, එසේය.”
“වාසෙට්ඨය, හොඳයි, වාසෙට්ඨය, ‘ඒකාන්තයෙන් පුරුදු කරන ලද සිත් ඇත්තාවූ භික්ෂූ තෙම (ශරීරය අභාවයට යෑමෙන්) මරණින් මතු පුරුදු කරන ලද සිත් ඇත්තාවූ බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙන්නෙක් වන්නේය’ යන මේ කාරණය ඇත්තමයයි” කීවෝය.
Msdiv 559 මෙසේ කී කල වාසෙට්ඨ භාරද්වාජ තරුණයෝ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවෝය.
“භවද් ගෞතමයන් වහන්ස, ධර්මදේශනාව ඉතා හොඳයි. භවද් ගෞතමයන් වහන්ස, ධර්මදේශනාව ඉතා හොඳය, භවද් ගෞතමයන් වහන්ස, යටිකුරුකොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ යම්සේද, වැසී තිබෙන්නක් එලිදරව්කොට දක්වන්නේ හෝ යම්සේද, මංමුළා වූවෙකුට මග කියන්නේ හෝ යම්සේද, ‘ඇස් ඇත්තෝ රූපයන් දකිත්වායි’ අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවද් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් කාරණයෙන් ධර්මය ප්‍රකාශ කරන ලද්දේය, මේ අප භවද් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමිකොට සරණ ගිය උපාසකයන්යයි දරා ගන්නා සේක්වායි” කීවෝය.
දහතුන්වෙනිවූ තෙවිජ්ජ සූත්‍රය නිමියේයි
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source