The Great Congregation
Mahāsamayasutta
PDFGenerated
When deities from all realms gather in homage to the Buddha, he gives a series of verses describing them. These verses, which are commonly chanted in Theravadin countries, give one of the most detailed descriptions of the deities worshiped at the the time of the Buddha.
Read the full discourse slowly and reflect on key passages.
Read here in the library
දීඝ නිකාය මහා වර්ගය 20. මහා සමය සූත්‍රය Msdiv 331 මාගේ ඇසීම මෙසේය: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහිවූ කිඹුල්වත්පුරය සමීපයෙහිවූ මහ වනයෙහි සියල්ලම රහත්වූ පන්සියයක් භික්ෂූන්ගෙන් යුක්තවූ මහත් භික්ෂූ සංඝයා සමග වාසය කරනසේක. දස දහසක් ලොක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජුන්ද භික්ෂු සංඝයාද දැකීම පිණිස බොහෝසෙයින් රැස්වූවෝ වෙත්.
ඉක්බිත්තෙන් ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි වසන්නාවූ බ්‍රහ්මයන් සතර දෙනෙකුන්ට මේ අදහස විය. “මේ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයට ආසන්නවූ මහ වනයෙහි සියල්ල රහත්වූ පන්සියයක් භික්ෂූන්ගෙන් යුක්තවූ මහත් භික්ෂු සංඝයා හා වාසය කරති. දස දහසක් ලොක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජහුන්ද භික්ෂු සංඝයාද දැකීමට බොහෝසෙයින් රැස්වූවෝ වෙත්. අපිත් යම් හෙයිකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණෙන්නෙමු නම් පැමිණ බුදුන් හමුයෙහි එකි එකී ගාථාවක් කියන්නෙමු නම් ඉතා යෙහෙකැයි” කියායි.
Msdiv 332 එවිට ඒ දෙවියෝ ශක්තිමත් පුරුෂයෙක් හකුලන ලද අත යම්සේ දිගු කරන්නේද, දිගු කරනලද අත යම්සේ හකුළුවන්නේද එපරිද්දෙන්ම ශුද්ධාවාස බඹලොව දෙවියන් අතුරෙන් අතුරුදහන් වූවාහු භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළ වූහ.
ඉක්බිති ඒ දෙවියෝ බුදුරජාණන් වහන්සේට නමස්කාරකොට එක්පැත්තක සිටියහ.
[1] එකත්පසෙක සිටියාවූ එක් දෙවියෙක් බුදුරජාණන් වහන්සේ හමුයෙහි මේ ගාථාව කීය.
“මේ මහ වනයෙහි මහා සමාගමක් විය. දිව්‍ය සමූහයෝ රැස්වූහ. කෙලෙස් මරුන් විසින් නොපරදවනලද සංඝයා දක්නා පිණිස මේ ධර්ම සමාගමට ආම්හයි” කියායි.
[2] එවිට අනික් දෙවි කෙනෙක් බුදුරජුන් හමුවෙහි මේ ගාථාව කීය.
“ඒ මහා සමූහයෙහි භික්ෂුහු තමන්ගේ සිත සමාධියෙහි පිහිටවූහ. ඍජු කළාහුය. ලනුවෙන් ගෙන රියැදුරා රථය හසුරුවන්නාක් මෙන් නුවණ ඇති අය පසිඳුරන් රකිත්යයි” කීය.
[3] එවිට අනික් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය.
“(කෙලෙස් නමැති) හුල් කපා (කෙලෙසුන් නමැති) පලිඝය සිඳ ඉන්ද්‍රඛීලය උදුරා තෘෂ්ණා රහිතවූ පිරිසිදුවූ (කෙලෙස්) කසට නැති පසැස් ඇති බුදුරජුන් විසින් හොඳින් දමනය කරන ලද්දාවූ ඒ තරුණ රහත්හු හැසිරෙත්’ යයි කීය.
[4] ඉක්බිති තවත් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
“යම් කිසිවෙක් බුදුන් සරණ ගියෝද ඒ සත්වයෝ අපායට නොයත්, මිනිස් සිරුර හැර දිව්‍ය ශරීර සම්පූර්ණ කරන්නාහු (දෙවි බවට පැමිණෙත්)” යයි කීය.
දෙවතාසන්නිපාතා Msdiv 333 ඉක්බිත්තෙන් භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්ට කථා කළසේක. “මහණෙනි, දස දහසක් ලෝක ධාතුවෙහි දෙවියෝ තථාගතයන්ද භික්ෂු සංඝයාද දැකීමට බොහෝ සෙයින් රැස්වූහ. මහණෙනි, යටගිය කාලයෙහි අර්හත්වූ යම් ඒ සම්‍යක් සම්බුදුවරයෝ වූවාහුද, ඒ භාග්‍යවතුන් වහන්සේලාටද මෙපමණම දෙවියෝ රැස්වූහ. දැන් මා දැක්මට යම් පමණක් රැස්වූවෝද, එතරම්ය.
“මහණෙනි, මතු කාලයෙහි අර්හත්වූ යම් ඒ සම්‍යක් සම්බුදුවරයෝ වන්නාහුද, ඒ භාග්‍යවතුන් වහන්සේලාටද මෙපමණම දෙවියෝ රැස්වන්නාහුය. දැන් මා දැක්මට යම් පමණක් රැස්වූවෝද, එතරම්ය.
“මහණෙනි, දිව්‍ය සමූහයන්ගේ නම් කියන්නෙමි. මහණෙනි, දිව්‍ය සමූහයන්ගේ නම් පහළ කරන්නෙමි. මහණෙනි, දිව්‍ය සමූහයන්ගේ නම් දේශනා කරන්නෙමි. එය අසව්, මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි” කීවෝය.
“එසේය ස්වාමීනියි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
Msdiv 334 භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“(අක්ෂරපද නියමිත) ගාථා කියන්නෙමි. යම් මේ තැනෙක්හි බුමාටු දෙවියෝ වෙසෙද්ද රහත්වූ ඒ ඒ තැන ඇසුරු කරන්නෝය. (භාවනාවට) යවනලද සිත් ඇත්තාවූ ලොමු ඩැහැගැනීම මැඩපැවැත්වූ පිරිසිදු සිත් ඇත්තාවූ ශුද්ධවූ වෙසෙසින් පැහැදුනු, නොකැළඹුනු සිත් ඇත්තාවූ සිංහරාජයන් මෙන් සැඟවුනාවූ යම් බොහෝ රහත්හු පර්වත ගුහා ඇසුරු කළාහුද?”
නැවත ශාස්තෲන් වහන්සේ කිඹුල්වත් පුරයට නුදුරුවූ මහ වනයෙහි සස්නෙහි ඇලුනාවූ පන්සියයකට වැඩිවූ ශ්‍රාවකයන් දැක, අඬගා වදාළසේක. “මහණෙනි, දිව්‍ය සමූහයා රැස් වූවෝය. ඒ දිව්‍ය සමූහයන් දනිව්” කියායි. ඒ රහත්හුද බුදු රජාණන් වහන්සේගේ වචනය අසා වීර්‍ය්‍යය කළාහුය.
ඒ භික්ෂූන්ට (දෙවාදි) අමනුෂ්‍යයන් දක්නාවූ දිව්‍ය ඥානය පහළවිය. ඇතැම් රහත්හු (අමනුෂ්‍යයන්) සියයක් දුටහ. ඇතැම් රහත්හු දහසක් ද තවත් සමහැ සැත්තෑ දහසයක්ද, ඇතැම් රහත්හු ලක්ෂයක්ද දුටහ. ඇතැම් රහත්හු කෙළවරක් නැති දෙවි බඹුන් දුටුවාහුය. සියලු දිශාවෝ (දෙවි බඹුන්ගෙන්) පිරුණාහුය. පසැස් ඇත්තාවූ ශාස්තෘවරයන් වහන්සේ ඒ සියල්ලම උතුම් නුවණින් දැන වෙන්කොට නැවත සසුන්හි ඇලුනාවූ ශ්‍රාවකයන්ට අඩගා වදාළහ.
“මහණෙනි, දිව්‍ය සමූහයා රැස්වූහ. මම තොපට යම් දිව්‍ය සමූහයක් නම්වලින් පිළිවෙළින් ප්‍රකාශ කරම්ද, ඒ දිව්‍ය සමූහයන් දනිව්.
Msdiv 335 “කිඹුල්වත් පුරයෙහි වාසය කරන්නාවූ ඍද්ධි ඇත්තාවූ බැබලීම් ඇත්තාවූ ශරීර වර්ණය ඇත්තාවූ දිව්‍යමය යසස් ඇත්තාවූ සත් දහසක් බූමාටු දෙවියෝද සතුටුවෙමින් රහත් භික්ෂු සමූහයා දැක්මට මහ වනයට පැමිණියාහුය.
“හිමාලයෙහි වසන්නාවූ නොයෙක් පැහැයෙන් යුක්තවූ ඍද්ධි ඇත්තාවූ බැබලීම් හා වර්ණ ඇත්තාවූ යසස් ඇත්තාවූ සය දහසක් දෙවියෝද සතුටු වෙමින් රහත් භික්ෂූන් සමූහයා දැක්මට මහ වනයට පැමිණියාහ.
“සාතාගිරි පර්වතවාසීවූ නොයෙක් පැහැ ඇත්තාවූ ඍද්ධි ඇත්තාවූ, බැබලීම් හා වර්ණ ඇත්තාවූ, යසස් ඇත්තාවූ තුන් දහසක් දෙවියෝ සතටුවෙමින් අර්හත් භික්ෂූන් දැකීම සඳහා මහවනයට පැමිණියහ.
“මෙසේ නොයෙක් ආලොක ඇත්තාවූද, ඍද්ධි ඇත්තාවූද, බැබලීම් හා වර්ණ ඇත්තාවූද යසස් ඇත්තාවූද මේ දහසය දහසක් දෙවියෝද සතුටුවෙමින් අර්හත් භික්ෂුසමූහය දක්නට මහ වනයට පැමිණියහ.
“වෙස්සාමිත්ත නම් පර්වතයෙහි වැසි නොයෙක් ආලෝක ඇත්තාවූද, ඍද්ධි ඇත්තාවූද, බැබලීම් හා වර්ණ ඇත්තාවූද, යසැස් ඇත්තාවූද පන්සියයක් දෙවියෝ සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහය දක්නට මහවනයට පැමිණියහ.
“රජගහනුවර උපන්නාවූ කුම්භීර නම් යක් සෙනෙවියෙක් විය. ඔහුගේ වාසස්ථානය වෙපුල්ල පර්වතය වන්නේය. ඔහු ලක්ෂයකට වැඩි යක්ෂ පිරිසක් ආශ්‍රය කරයි. රජගහනුවර උපන් ඒ කුම්භීර නම් යක් සෙනෙවියාද රහත් භික්ෂු සමූහයා දක්නට මහවනයට ආයේය.
Msdiv 336 “පෙරදිග්හි රජවූ ධ්‍රතරාෂ්ට්‍ර වරම් රජතෙමේ ඒ පෙර දිගට අනුශාසනා කරයි. ගන්ධර්වයන්ට අධිපතිවූ යසස් ඇති ඒ ධ්‍රතරාෂ්ට්‍ර නම් මහරජ තෙමේද ඒ වරම් රජහුගේ ඉන්ද්‍ර යන නම් ඇත්තාවූද, මහත් ශක්ති ඇත්තාවූ ඍද්ධි ඇත්තාවූද, බැබලීම් හා නොයෙක් පැහැ ඇත්තාවූද, යසස් ඇත්තාවූද බොහෝ පුත්‍රයෝද සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහයා දක්නට මහවනයට පැමිණියාහුය.
“දකුණු දෙසට රජවූ විරූඪ නම් වරම් රජතෙමේද ඒ දිසාවට අනුශාසනා කරයි. කුම්භාණ්ඩයින්ට අධිපතිවූ යසස් ඇත්තාවූ ඒ විරූඪ නම් මහරජ තෙමේද ඍද්ධි ඇත්තාවූද, බැබලීම් හා නොයෙක් පැහැ ඇත්තාවූද, යසස් ඇත්තාවූද ඉන්ද්‍ර යන නම් ඇති ඔහුගේ බොහෝ පුත්‍රයෝද සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහයා දක්නට පැමිණියහ.
“බටහිර දික්හි රජවූ විරූපාක්ෂ නම් වරම් රජතෙමේ ඒ දිශාවට අනුශාසනා කරයි. නයින්ට අධිපතිවූ යසස් ඇත්තාවූ ඒ විරූපාක්ෂ නම් මහරජ තෙමේද ඔහුගේ ඉන්ද්‍ර යන නම් ඇති මහත් බල ඇත්තාවූද, ඍද්ධි ඇත්තාවූද බැබලීම් හා නොයෙක් පැහැ ඇත්තාවූද, යසස් ඇත්තාවූද බොහෝ පුත්‍රයෝද සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහය දක්නට පැමිණියහ.
“උතුරු දිග්හි රජවූ වෛශ්‍රවණ නම් වරම් රජ තෙමේ ඒ දිසාවට අනුසාසනා කරයි. යකුන්ට අධිපතිවූ යසස් ඇත්තාවූ ඒ වෛශ්‍රවණ නම් මහරජ තෙමේද ඉන්ද්‍ර යන නම් ඇති මහත් බල ඇත්තාවූද, ඍද්ධි ඇත්තාවූද බැබලීම් හා නොයෙක් පැහැ ඇත්තාවූද, යසස් ඇත්තාවූද ඔහුගේ බොහෝ පුත්‍රයෝද සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහය දක්නට පැමිණියහ.
“නැගෙනහිර දික්හි ධ්‍රතරාෂ්ට්‍ර නම් වරම් රජද දකුණු දික්හි විරූඪ නම් වරම් රජද, බස්නාහිර දික්හි විරූපාක්ෂ නම් වරම් රජද උතුරු දික්හි වෛශ්‍රවණ නම් වරම් රජද මෙකී සිව්වරම් මහරජදරුවෝ හාත්පසින් සිව්දිසාවන්හි කිඹුල්වත් පුරයට සමීප මහවනයෙහි දිලිසෙමින් සිටියාහ.
Msdiv 337 “ඒ සිව්වරම් දෙවි රජුන්ගේ මායා ඇත්තාවූ වංචා කරන්නාවූ කෛරාටිකවූ දාසයෝද, මායාකාරවූ කුටෙණ්ඩුය, වෙටෙණ්ඩුය, විටූච්චය, විටුඩය යන මොවුහුද ඔවුන් සමග ආවාහුය. චන්දනය, කාමසෙට්ඨය, කින්නුඝණ්ඩුය, නිඝණ්ඩුය, පනාදය, ඔපමඤ්ඤය, මාතලී දෙව්පුත්ය, ගාන්ධර්වවූ චිත්‍රය, සේනය යන දෙදෙනාද නළකාර නම් දෙව් රජද ජනෙසභ නම් දෙව්පුත්ද පඤ්චසිඛ දෙව්පුත්ද තිම්බරූ නම් ගාන්ධර්වයාද සුරියවච්ඡසා නම් දෙව්දුවද ආවාහුය.
“මෙකී ගාන්ධර්ව රජදරුවෝද අන් ගන්ධර්වයෝද තමන්ගේ රජුන් හා සතුටුවෙමින් රහත් භික්ෂු සමූහයා දක්නට මහ වනයට පැමිණියාහ.
Msdiv 338 එවිට නාභස නම් නාගයෝද විසාලී නාලොව වැසි නාගයෝද තච්ඡක නම් නාග පිරිස හා ආවෝය. කම්බල අස්සතර යන කුල දෙක්හි නාගයෝද පායාග නම් නාලොව වැසි නාගයෝද නෑයන් හා ආවෝය.
යමුනා නම් ගඟ වැසි නාගයෝද. ධ්‍රතරාෂ්ට්‍ර නම් කුලයෙහි උපන් නාගයෝද යසස් ඇත්තාවූ නාගයෝද ආවෝය. ඓරාවන නම් මහා නාග තෙමේද අර්හත් භික්ෂු සමූහය දක්නට මහවනයට ආය. දිව්‍යානුභාවය ඇත්තාවූ ද්විජ නම්වූ පිරිසිදු ඇස් ඇත්තාවූ යම් ගරුඬ පක්ෂීහු නා රජුන් වහා ගෙනයද්ද ඒ පක්ෂීහු මහවනයට අහසින් පැමිණියාහුය. චිත්‍රය, සුපණ්ණය යනු ඔවුන්ගේ නාමයෝයි.
එකල්හි නා රජුන්ට භය නැති විය. සර්වඥයන් වහන්සේ ගුරුළන් කෙරෙන් භය නැති කළ සේක. නාගයෝද ගුරුළෝද මොළොක් වචනයෙන් කැඳවනු ලබන්නෝ බුදුන් සරණ ගියාහුය.
Msdiv 339 සක්දෙව් රජහු විසින් ජයගන්නා ලද මුහුද ආශ්‍රය කරන්නාවූ සක්දෙව් රජහුගේ සහෝදරවූ ඍද්ධි ඇත්තාවූ යසස් ඇත්තාවූ මේ අසුරයෝද, මහත් බියකරුවූ කාලකඤ්ජ නම් අසුරයෝද, දානවේඝස නම් අසුරයෝද වෙපචිත්ති නම් අසුරෙන්ද්‍රයාද, සුචිත්තී නම් අසුරේන්ද්‍රයාද, පහාරාද නම් අසුරේන්ද්‍රයාද, වසවත් මරු සමග ආවෝය. සියල්ලෝම වෙරොව යන නම් ඇති බලී නම් අසුරයාගේ පුත්‍රයෝ සිය දෙනෙක්ද බලසෙනග ගෙණ සැරසී රාහු අසුරිඳු කරා පැමිණියාහුය. “ නුඹවහන්සේට යහපත් වේවා. දැන් රහත් භික්ෂු සමූහය දක්නට මහ වනයට යාමට කල් වන්නේය.”
Msdiv 340 එකල්හි අපොකසින (සමාපත්තියෙන් උපන්) දෙවියෝද එසේම තෙජෝ කසිණ (සමවතින්) උපන් දෙවියෝද වායො කසිණ සමවතින් උපන් දෙවියෝද ආවෝය. වරුණය, වාරුණය යන දෙවියෝද සොම නම් දෙවියාද යස නම් දෙවියන් සමග ආවාහුය. යසස් ඇත්තාවූ මෙත්තා කායික, කරුණා කායික දෙවියෝද ආවෝය. සියල්ලෝම නොයෙක් පැහැවත්වූ දස ආකාරයකින් යුක්තවූ සියල්ලෝම ඍද්ධි ඇත්තාවූද බැබලීම් හා වර්ණවත්වූද, යසස් ඇත්තාවූද මේ දෙවසමූහ දසය සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහය දක්නට ආවාහුය.
වෙණ්හුය, සහලීය, අසමය, යම යන නම් දෙවියෝ දෙදෙනද, සඳ දෙවියන් ඇසුරු කරන්නාවූ දෙවියෝ සඳ දෙවියන් පෙරටුකොටද ආවෝය. හිරු දෙවියන් ඇසුරුකරන්නාවූ දෙවියෝ හිරු දෙවියන් පෙරටුකොටද නැකත් දෙවියන් (තරු) ඇසුරු කරණ දෙවියෝ නැකත් දෙවියන් පෙරටු කොටද ආවාහුය. මන්දවළාහක නම් දෙවියෝද ආවෝය. වසු දෙවියන්ට අධිපති හෙයින් වාසව නම්වූද, පුරින්දද නම්වූද ශක්‍රයාත් ආයේය.
දස ආකාරයකින් නොයෙක් පැහැ ඇත්තාවූද, ඍද්ධි ඇත්තාවූද, බැබලීම් හා වර්ණ ඇත්තාවූද, යසස් ඇත්තාවූද, මේ දෙව සමූහ දසය සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහය දක්නට ආවාහුය.
නැවත සහභු නම් දෙවියෝ ගිනි සිළු මෙන් බබලමින් ආවෝය. අරිට්ඨක නම් දෙවියෝද රොජ නම් දෙවියෝද (දියබෙරලිය මල් පැහැයෙන්) බබලන උම්මාපුප්ඵ නම් දෙවියෝද, වරුණය, සහධම්මය, අච්චුතය, අනෙජකය, සූලෙය්‍යය රුචිරය, යන දෙවියෝද, ආවාහුය. වාසවනෙසී නම් දෙවියෝද ආවාහුය.
දස ආකාරයකින් යුක්තවූ සියල්ලෝම නොයෙක් පැහැ ඇත්තාවූද, ඍද්ධි ඇත්තාවූද, බැබලීම් හා වර්ණ ඇත්තාවූද, යසස් ඇත්තාවූද මේ දෙව සමූහ දසය සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහය දක්නට ආවාහුය.
සමානය, මහා සමානය, මානුසය, මානුසුත්තමය. ඛිඩිඩාපදූසිකය යන දෙවියෝද ආවෝය. නැවත හරිනම් දෙවියෝද රත්ගල් වැසිවූ යම් දෙවිකෙනෙක් වෙද්ද ඔව්හුද, පාරග නම්වූද, මහාපාරග නම්වූද යසස් ඇත්තාවූ දෙවියෝද ආවාහුය.
දස ආකාරයකින් යුක්තවූ සියල්ලෝම නොයෙක් පැහැ ඇත්තාවූද, ඍද්ධි ඇත්තාවූද බැබලීම් හා වර්ණ ඇත්තාවූද, යසස් ඇත්තාවූද මේ දෙව සමූහයෝ දස දෙන සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහයා දක්නට ආවාහුය.
සුක්කාය, කරුම්හාය, අරුණය යන දෙවියන් සමග වෙඛනසා නම් දෙවියෝද ආවෝය. ඔදාතගය්හ නම්වූ පාමොක්ඛ නම් දෙවියෝද විචක්ඛණ නම් දෙවියෝද ආවෝය. සදාමත්ත නම් දෙවියෝද, හාරගජ නම් දෙවියෝද, යසස් ඇත්තාවූ මිස්සක නම් දෙවියෝද යම් දෙවියෙක් දිශාවන්හි වැසි කෙරේද, ඒ පජ්ජුන්න නම් දෙවි තෙමේද මේඝනාද කරමින් ආයේය.
දස ආකාරයකින් යුක්තවූ සියල්ලෝම නොයෙක් පැහැ ඇත්තාවූද, ඍද්ධි ඇත්තාවූද බැබලීම් හා වර්ණ ඇත්තාවූද මේ දෙව සමූහයෝ දසදෙන සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහයා දක්නට ආවාහුය.
ඛෙමිය නම් දෙවියෝද තුසී (පුර වැසි) දෙවියෝද යාම නම් (දෙව්ලොව) වැසි දෙවියෝද යසස් ඇත්තාවූ කට්ඨක නම් දෙවියෝද ලම්බීතක නම් දෙවියෝද ලාමසෙට්ඨ නම් දෙවියෝද ජෝති නම් දෙවියෝද ආසව නම් දෙවියෝද නිර්මාණරති නම් (දෙව්ලොව වැසි) දෙවියෝද ආවාහුය. නැවත පරනිර්මිතවසවර්ති (දෙව්ලොව වැසි) දෙවියෝද ආවෝය.
දස ආකාරයකින් යුක්තව සියල්ලෝම නොයෙක් පැහැ ඇත්තාවූද, ඍද්ධි ඇත්තාවූද, බැබලීම් හා වර්ණ ඇත්තාවූද, යසස් ඇත්තාවූද මේ දෙව සමූහයෝ දසදෙන සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහයා දක්නට ආවෝය.
මේ සැටක් දෙවි සමූහයෝ සියල්ලෝම නොයෙක් පැහැයෙන් යුක්තවූවෝම තම තමන්ගේ නම් ගොත් වශයෙන් ආවාහුය. යම් සෙසු දෙවියෝද නම් ආදියෙන් සමාන වෙත් නම් ඔවුන් සමග ආවාහුය. පහවූ ජාති ඇත්තාවූ රාගාදී උල්රහිතවූ චතුරොඝයෙන් එතරවූ කෙලෙස් නැතිකළාවූ නාග නම්වූ කෘෂ්ණ භාවය ඉක්මවා ගියාවූ පූර්ණචන්ද්‍රයා වැනිවූ බුදු රජුන්ද දක්නෙමු.
Msdiv 341 ඍද්ධි ඇත්තාවූ ආර්‍ය්‍ය පුත්‍රවූ සුබ්‍රහ්ම නම්වූද පරමත්ත නම්වූ බ්‍රහ්මයෝද සනං කුමාර නම් මහා බ්‍රහ්මයාද තිස්ස නම් මහා බ්‍රහ්මයාද සිය පිරිස් සමග අර්හත් භික්ෂු සමූහය දක්නට මහ වනයට ආවාහුය.
බඹලෝ දහසකින් බ්‍රහ්මයන් දහසක්ද ආයේය. බඹලොව උපන්නාවූ ශොභාවත්වූ, මහත් කයක් ඇත්තාවූ, යසස් ඇත්තාවූ මහා බ්‍රහ්මයෙක්ද සිටින්නේය. මේ බඹ පිරිසෙහි වෙන වෙනම තම තමන්ගේ පිරිස් වසඟයෙහි පවත්වන්නාවූ ප්‍රධානවූ බඹුන් දසදෙනෙක් ආවෝය. ඒ මහ බඹුන්ගේ මද්ධ්‍යයෙහි බඹුන් විසින් පිරිවරණ ලද්දාවූ හාරිත නම් බඹරජ තෙමේද ආයේය.
Msdiv 342 මහ වනයට රැස්වූ ශක්‍රයා සහිතවූ, බඹුන් සහිතවූ, ඒ සියලු දෙවියන් කරා මාර සේනාවෝ පැමිණියාහුය. මාරයාගේ අඥානකම බලව. එව්, අල්වා ගනිව්, සියලු දිව්‍ය සමූහයා රාගයෙන් බඳනාලද්දේ වේවා, හාත්පසින් පිරිවරව්, තෙපි කිසිවෙක් ඒ දිව පිරිසෙන් එකෙකුදු නොමුදව්. මෙසේ කියා මහත් සේනාවක් ඇති ඒ වසවත් මරුතෙමේ අත්ලෙන් පොලෝතලයට ගසා විදුලිය සහිතවූ වැසි කල්හිවූ හෙවත් වර්ෂා කරන්නාවූ මෙඝයෙක් තෙමේ යම්සේ ගර්ජනා කරන්නේද එමෙන් බියජනක නාදකොට මර සෙනග ඒ දිව පිරිස මැදට යැවීය. එසමයෙහි ඒ වසවර්තිමාර තෙමේ දෙව් පිරිස තම වසඟයෙහි පවත්වාගත නොහැකිවූයේ අතිශයින් කිපුනෙක්ව ආපසු හැරීගියේය.
Msdiv 343 ඉක්බිත්තෙන් නුවණ නැමැති ඇස් ඇති බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල දැන ව්‍යවස්ථා කොට සස්නෙහි ඇලුනාවූ ශ්‍රාවකයන්ට කථාකර මෙසේ කීවෝය.
“මහණෙනි, මාර සේනාවෝ පැමිණියාහුය. ඒ මරුන් දනිව්” ඒ භික්ෂූද බුදුන්ගේ ධර්ම වචනය අසා කෙලෙස් තැවීමට වීර්‍ය්‍ය කළාහුය. වීතරාගීවූ දෙව් බඹුන් කෙරෙන් පහව ගියාහුය. ඒ වීතරාගීන්ගේ රෝමයකුදු කම්පා නොකළාහුය. ජයගත් මාර යුද්ධය ඇති ඉක්මවනලද බිය ඇති යසස් ඇත්තාවූ ජනයන් අතුරෙහි ප්‍රකටවූ ඒ සියලු බුදු සව්වෝම දේව බ්‍රහ්මාදී ආර්‍ය්‍ය ශ්‍රාවකයන් හා සතුටුවෙත්.”
මහාසමය සූත්‍රය නිමියේය.
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source