LibraryDNDN 21
DN 2141 min read

Sakka’s Questions

Sakkapañhasutta

20
PDFGenerated
01 · Overview

After hearing a love song from a god of music, the Buddha engages in a deep discussion with Sakka on the conditioned origin of attachment and suffering.

02 · Reading guide

Read the full discourse slowly and reflect on key passages.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

දීඝ නිකාය මහා වර්ගය 21. සක්කපඤ්හ සූත්‍රය Msdiv 344 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට බටහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කළෝය. ඒ කාලයේදී සක් දෙවිඳුට භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස උනන්දුවක් පහළවිය. සක් දෙවිඳුට මෙබඳු සිතක් ද විය.

“අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි නම් වැඩ වෙසෙත්ද?” යනුයි.

මගධ ජනපදයෙහි රජගහනුවරට බටහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි වසන්නාවූ භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳු දුටුවේය. දැක තව්තිසා වැසි දෙවියන්ට කථා කළේය.

“නිදුකාණෙනි, මගධ ජනපදයෙහි රජගහනුවරට බටහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරුදිගින් වෙදික නම් පර්වත සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන්වහන්සේ වැඩවෙසෙති. නිදුකාණෙනි අප අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන්වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” ඇසුවේය. ‘පින්වතුන් වහන්ස, එසේ වේවායි” තව්තිසා වැසි දෙවියෝ සක් දෙවිඳුට උත්තර දුන්හ.

Msdiv 345 එවිට සක් දෙවිඳු පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. “දරුව, පංචසිඛය, මගධ ජනපදයෙහි රජගහනුවරට බටහිර දිගින් අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිශාවෙහිවූ වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි මේ භාග්‍යවතුන් වහන්සේ වැඩවෙසෙති. දරුව පංච සිඛය, අපි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” කීය. පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා, “පින්වතුන් වහන්ස, එසේයයි” සක් දෙවිඳුන්ට උත්තරදී බෙලුවපණ්ඩු නම් වීණාව ගෙන සක් දෙවිඳු ලඟට පැමිණියේය.

Msdiv 346 එවිට සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් විසින් පිරිවරන ලදුව, පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා පෙරටුකොට ගෙන, ශක්තිමත් පුරුෂයෙක් අකුලන ලද අතක් යම්සේ දිග හරින්නේද, දිග හරින ලද අතක් යම්සේ අකුලන්නේද එපරිද්දෙන් තව්තිසා වැසි දෙවියන් කෙරෙහි අතුරුදහන්ව මගධ ජනපදයෙහි රජගහනුවරට බස්නාහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගම වේද ඊට උතුරු දිගින්වූ වෙදික නම් පර්වතයෙහි පහළවිය.

එකල්හි වෙදික නම් පර්වතයද, අම්බසණ්ඩ නම් බමුණු ගමද දෙවියන්ගේ ආනුභාවයෙන් වැඩියක් ආලෝකවත්විය. එකල අවට ගම්වැසි මනුෂ්‍යයෝ මෙසේකීහ “වෙදික නම් පර්වතය ගිනි ගත්තේය. අද වෙදික නම් පර්වතය සම්පූර්ණයෙන් දැල්වුනේ වේ. අද වෙදික නම් පර්වතය දිලිසෙන්නේය. කුමක් නිසා අද වෙදික පර්වතය හා අම්බසණ්ඩ නම් බමුණු ගමත් වැඩියක් හටගත් ආලෝක ඇත්තේ දැයි” සංවේගයට පැමිණියාහු හටගත් ලොම් ඩැහැගැනීම් ඇත්තෝ වූහ.

Msdiv 347 එවිට සක්දෙවි තෙම පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. “දරුව පංචසිඛය, ධ්‍යාන ඇත්තාවූ ධ්‍යානයෙහි ඇලුනාවූ, ඊටපසුව එකඟ කළ සිත් ඇත්තාවූ තථාගතයන් වහන්සේලා ලඟට මා වැන්නෙකු විසින් පැමිණීම පහසුනැත. දරුව පංචසිඛය තොප පළමුව භාග්‍යවතුන් වහන්සේ සතුටු කරන්නෙහිද? දරුව තොප විසින් පළමුව සතුටුකරන ලද්දාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත පසුව අපි දැකීම පිණිස යන්නෙමු.”

“පින්වතුන් වහන්ස, එසේයයි” කියා පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රතෙම සක් දෙවිඳුගේ වචනය සතුටින් පිළිගෙන බෙලුවපණ්ඩු වීණාව ගෙන ඉන්ද්‍රසාල ගුහාව යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ‘මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ මට ඉතා දුරක් නොවන්නේය. ඉතා ළඟත් නොවන්නේය. ශබ්දයද ඇසෙන්නේයයි’ එක පැත්තක සිටියේය.

පඤ්චසිඛගීතගාථා Msdiv 348 එක පැත්තක සිටියාවූ පංචසිඛ නම් ගාන්ධර්ව පුත්‍ර තෙම බෙලුවපණ්ඩු වීණාව වාදනය කළේය. බුදු ගුණ සහිතවූද, දහම් ගුණ සහිතවූද, සඟ ගුණ සහිතවූද, කාම ගුණ සහිතවූද, මේ ගාථාවන්ද කීයේය.

“ශොභමානවූ මට සතුටු උපදවන්නාවූ තරුණ සූරියවච්ඡසාවෙනි, යමෙක් නිසා තී උපන්නී නම් ‘තිම්බරු’ නම්වූ ඒ තිගේ පියාට වඳිමි.”

“වෙහෙසවූවකුට (ඩාදිය ඇත්තෙකුට) සිත් සතුටු කරන්නාවූ සුලඟක්මෙන්ද, තිබහඇත්තෙකුට බොන වතුරක්මෙන්ද, රහතුන්ට ධර්මය මෙන්ද, ලෙඩවූවෙකුට බෙහෙතක් මෙන්ද, බඩගිනි ඇත්තෙකුට ආහාරයක්මෙන්ද, එම්බා ශරීරකාන්තිය ඇත්තිය, තී මට ප්‍රිය වෙහිය. එම්බා සුන්දරිය, ඇවිලෙන ගින්නක් ජලයෙන් නිවන්නාක් මෙන් (මගේ ආසාව නමැති දැවිල්ල) නිවා දමව.

“ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ඇතෙක් පියුම් රේණු වලින් යුක්තවූ, සිසිල් දිය ඇති පොකුණකට බසින්නාක් මෙන් (මම) තිගේ ශරීරය නමැති පොකුණට බසින්නෙමි.

“අකුස්සට (හෙන්ඩුවට) කීකරු නොවන මද කිපුන ඇතෙක් මෙන්, මා විසින් කණ මුල විදින කටුව හා පා විදින කටුව (තෝමර) ජයගන්නා ලද්දේය. (තිගේ) ලක්ෂණ ශරීරයෙන් මත් කරන ලද්දාවූ මම රාගය නැති කරන විදිය නොදනිමි.

“තී කෙරෙහි පිළිබඳ සිත් ඇත්තෙමි. හිත පෙරලුනේය. බිලිය ගිල්ලාවූ මාලුවෙක් මෙන් නවතින්ට නොහැක්කෙමි.”

“යහපත් රූපශ්‍රියෙන් යුත් සුන්දරිය, මා වැලඳ ගනුව, මඳ බැල්මෙන් බලන ඇස් ඇත්තිය, මා වැලඳ ගනුව, එම්බා කල්‍යාණිය මා හාත්පසින් වැලඳ ගනුව, මා විසින් මෙය නිතර ප්‍රාර්ථනා කරන ලදී.”

“ඒකාන්තයෙන් මාගේ ස්වල්පවූම ආසාව, බොකුටු කෙස් ඇති තී ගැනම ඇතිවූයේ රහත් කෙනෙකුට දුන් දානයක් මෙන් නොයෙක් කොටස් ඇතිවූයේය.

“මා විසින් එබඳු රහතුන් විෂයෙහි කරන ලද යම් පිනක් ඇත්තේද, සර්වාංග කල්‍යාණිය, මගේ ඒ පිණ තී සමගම විපාක දේවා.

“මේ මහ පොලොවෙහි මා විසින් කරණලද යම් පිණක් ඇත්තේද, මාගේ ඒ සියලුම පින් තී සමගම විපාක දේවා.

“ධ්‍යානයෙන් එකඟ බවට පැමිණි නුවණින් හා සිහියෙන් යුක්තවූ ශාක්‍ය පුත්‍රවූ මුනීන්ද්‍රතෙම අමෘත මහා නිර්වාණය සොයන්නාක් මෙන්, සුරියවච්ඡසාවෙනි, මම තී සොයා හැසිරෙමි.

“බුද්ධ මුනිතෙම උතුම් බුදු බවට පැමිණ යම්සේ සතුටු වන්නේද, සුන්දරිය තී හා එක්වීමට පැමිණියාවූ මමද එපරිද්දෙන් සතුටු වෙමි.

“තව්තිසා වැසි දෙවියන්ට අධිපතිවූ සක්දෙවි තෙම (දිව්‍ය රාජ්‍යය ගනුවයි) මට වරයක් දෙන්නේද, එම්බා සුන්දරිය, මම එය හැර තී පතන්නෙමි. මාගේ ආසාව මෙසේ මහත්වේ.

“යමෙකුට මෙබඳු දුවක් වීද, සුන්දර ප්‍රඥා ඇත්තිය කලකින් මල් පිපුනාවූ සල්වනයක් වැනිවූ තීගේ පියාට වඳිමින් නමස් කාර කරමි.”

Msdiv 349 මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට මෙසේ ප්‍රකාශ කළෝය. “පංචසිඛය, තාගේ වීණා තත් හඬ ගී හඬ සමගද, ගී හඬ වීණා තත් හඬ සමගද ගැළපේමය. පංචසිඛය, තාගේ වීණා තත් හඬ ගී හඬ ඉක්මවා නාද නොකෙරේ. ගී හඬ හෝ තත් හඬ ඉක්මවා නාද නොකෙරේ. පංචසිඛය, තාගේ මේ බුදු ගුණ ඇත්තාවූද, දහම් ගුණ ඇත්තාවූද, සඟ ගුණ ඇත්තාවූද කාම ගුණ දන්නාවූද මේ ගාථාවෝ කවර කලෙක්හි ගොතනලද්දාහුද?”

“ස්වාමීනි, මෙහි එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නෙරංජරා ගංතෙර නුග රුක මුල බුදු බවට පැමිණි මුල් කාලයේම වැඩ සිටියහ. ස්වාමීනි, ඒ කාලයේදි තරුණ හිරු මඬල වැනි ශරීරයක් ඇති භද්‍රා නම්වූ තිම්බරු නම් ගන්ධර්ව රජුගේ දුවක් වීද, මම ඈ කැමැත්තෙමි. ස්වාමීනි, ඒ දෙව් දූ වෙන අයට කැමැති වන්නියක් වේ. මාතලී නම් සංග්‍රාහකයාගේ සිඛණ්ඩි නම් පුත්‍රයාට ඈ කැමති වේ. ස්වාමීනි, යම් හේතුවකින් මම ඒ දෙව්දුව මොන ක්‍රමයකිනුදු නොලද්දෙමි. එවිට මම බෙලුව පණ්ඩු නම් වීණාව ගෙන තිම්බරු නම් ගන්ධර්ව රජුගේ නිවෙස යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස් බෙලුව පණ්ඩු වීණාව ශබ්ද කෙළෙමි. බුදු ගුණ සහිතවූද, දහම් ගුණ සහිතවූද, සඟ ගුණ සහිතවූද, කාමයද යන මේ කියන (මේ අදහස් ඇති) ගාථාවන්ද කීයෙමි.”

“ලක්ෂණවූ මට සතුටු උපදවන්නාවූ තරුණ සුරියවච්ඡසාවෙනි, යමෙක් නිසා තී උපන්නී නම් “තිම්බරු” නම්වූ ඒ තිගේ පියාට වඳිමි.”

“වෙහෙසවූවෙකුට (ඩාදිය ඇත්තෙකුට) සතුටු වන්නාවූ සුලඟක් මෙන්ද, තිබහ ඇත්තෙකුට බොන වතුරක් මෙන්ද, ලෙඩවූවෙකුට බෙහෙතක් මෙන්ද, බඩගිනි ඇත්තෙකුට ආහාරයක් මෙන්ද, එම්බා ශරීර කාන්තිය ඇත්තිය, තී මට ප්‍රිය වෙහිය. එම්බා සුන්දරිය, ඇවිලෙන ගින්නක් ජලයේන නිවන්නාක් මෙන් (මාගේ ආසාව නමැති දැවිල්ල) නිවා දමව.”

“ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ඇතෙක් පියුම් රේණු වලින් යුක්තවූ සිසිල් දිය ඇති පොකුණකට බසින්නාක් මෙන් (මම) තිගේ ශරීරය නමැති පොකුණට බසින්නෙමි.”

“අකුස්සට (හෙන්ඩුවට) කීකරු නොවන මද කිපුණ ඇතෙක් මෙන්, මා විසින් කණ මුල විදින කටුව හා පා විදින කටුව (තෝමර) ජයගන්නා ලද්දේය. (තිගේ) ලක්ෂණ ශරීරයෙන් මත්කරන ලද්දාවූ මම රාගය නැති කරන ආකාරයක් නොදනිමි.”

“තී කෙරෙහි පිළිබඳ සිත් ඇත්තෙමි, හිත පෙරළුනේය. බිලිය ගිල්ලාවූ මාලුවෙක් මෙන් නවතින්ට නොහැක්කෙමි.”

“යහපත් රූපශ්‍රීයෙන් යුත් සුන්දරිය, මා වැලඳ ගනුව! මඳ බැල්මෙන් බලන ඇස් ඇත්තිය මා වැලඳ ගනුව. මා විසින් මෙය නිතර ප්‍රාර්ථනා කරන ලදී.”

“ඒකාන්තයෙන් මාගේ ස්වල්පවූම ආසාව බොකුටු කෙස් ඇති තී ගැනම ඇතිවූයේ රහත් කෙනෙකුට දුන් දානයක් මෙන් නොයෙක් කොටස් ඇති වූයේය.”

“මා විසින් එබඳු රහතුන් විෂයෙහි කරනලද යම් පිණක් ඇත්තේද සර්වාංග කල්‍යාණිය, මාගේ ඒ පිණ තී සමගම විපාක දේවා.”

“මේ මහපොළොවෙහි මා විසින් කරන ලද යම් පිණක් ඇත්තේද මාගේ ඒ සියලුම පින් තී සමග විපාක දෙත්වා.”

“ධ්‍යානයෙන් එකඟබවට පැමිණි නුවණින් හා සිහියෙන් යුක්තවූ ශාක්‍යපුත්‍ර මුනින්ද්‍ර තෙම අමෘත මහා නිර්වාණය සොයන්නාක් මෙන්, සුරියවච්ඡසාවෙනි, මම තී සොයා හැසිරෙමි.

“බුද්ධ මුනිතෙම උතුම් බුදු බවට පැමිණ යම්සේ සතුටු වන්නේද, සුන්දරිය, තී හා එක්වීමට පැමිණියාවූ මමද එපරිද්දෙන් සතුටු වෙමි.

“තව්තිසා වැසි දෙවියන්ට අධිපතිවූ සක්දෙවිතෙම (දිව්‍ය රාජ්‍යය ගනුවයි) මට වරයක් දෙන්නේද, එම්බා සුන්දරිය, මම එය හැර තී පතන්නෙමි. මාගේ ආශාව මෙසේ මහත්වේ.

“යමෙකුට මෙබඳු දුවක් වීද, සුන්දර ප්‍රඥා ඇත්තිය, කලකින් මල් පිපුණාවූ සල්වනයක් වැනිවූ තිගේ ඒ පියාට වඳිමින් නමස්කාර කරමි.”

“ස්වාමීනි මෙසේ කී කල්හි තරුණ හිරු මඩලක්වැනිවූ ඒ භද්‍රාව මට මෙසේ කීවාය. ‘නිදුකාණෙනි, ඒ භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිටම නොදුටුවෙමි. එසේද වුවත් තව්තිසා වැසි දෙවියන්ගේ සුධර්මා නම් දිව්‍ය සභාවෙහි නටද්දී ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන අසන ලද්දේමය. නිදුකාණනි, යම් හෙයකින් ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන කියන්නෙහි නම් අද අපගේ එකතුවීම වේවා” යි කීවාය. ස්වාමිනි, එයම ඒ දෙව්දුව සමග අපගේ සමාගම වූයේය. ඉන්පසු දැන් නැත්තේයයි කීය.

සක්කූපසඞ්කම Msdiv 350 එවිට සක් දෙවිඳුට මෙබඳු සිතක් විය. ‘පංචසිඛ ගන්ධර්ව පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමගද, භාග්‍යවතුන් වහන්සේ පංචසිඛ දිව්‍ය පුත්‍රයා සමගද, වෙසෙසින් සතුටු වේමයි’ යනුයි. එවිට සක්දෙවිඳු පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථාකළේය.

“මාගේ දරුවූ පංචසිඛය, තෝ භාග්‍යවතුන් වහන්සේට වඳුව, ‘ස්වාමීනි, ඇමතියන් සහිතවූ, පිරිවර ජනයන් සහිතවූ ශක්‍රයා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් මුදුනෙන් වඳීය’ කියායි. “පින්වතුන් වහන්ස, එසේයයි” පංචසිඛ ගන්ධර්ව පුත්‍රයා සක්දෙවිඳුගේ වචනය සතුටින් අසා භාග්‍යවතුන් වහන්සේට වැන්දේය. “ස්වාමීනි, ඇමතියන් සහිතවූ, පිරිවර ජනයන් සහිතවූ සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් මුදුනෙන් වඳීය” කියායි.

“පංචසිඛය, ඇමතියන් සහිතවූ, පිරිවර ජනයන් සහිතවූ සක්දෙවිඳු සැප ඇත්තෙක් වේවා.”

“දෙවියෝද, මනුෂ්‍යයෝද, අසුරයෝද නාගයෝද, ගන්ධර්වයෝද මෙයින් අන්‍යවූ බොහෝ සත්ව සමූහයෝද වෙත් නම් ඔවුහුද සැප කැමැත්තෝමයයි” කීවෝය.

Msdiv 351 මෙසේ තථාගතවරයෝ මෙබඳු උසස් දෙවියන්ට ආශිංසනය (ආශිර්වාද) කරත්. මෙසේ ආශිංසනය ලත් සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ ඉන්දසාල ගුහාවට ඇතුල්වී භාග්‍යවතුන් වහන්සේ වැඳ එකපැත්තක සිටියේය. තව්තිසා වැසි දෙවියෝද ඉන්දසාල ගුහාවට ඇතුල්ව භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ එකපැත්තක සිටියාහුය. පංචසිඛ ගන්ධර්ව පුත්‍රයාද ඉන්දසාල ගුහාවට ඇතුල්ව භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ එකපැත්තක සිටියේය.

ඒ කාලයේදී සමනොවූ ඉන්දසාල ගුහාව සමවූවාය. (උස පහත් තැන් ඇත්තී) සම්බාධවූවා මහත් විචිත්‍ර වූවාය. කළුවරවූ ගුහාව එළිය ඇතිවූවාය. ඒ දෙවියන්ගේ ආනුභාවයෙන්වූ ආලෝකයෙනි

Msdiv 352 එවිට භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳුට මෙසේ කීහ. “ආයුෂ්මත් සක්දෙවිඳු පිළිබඳවූ මෙය පුදුමය, ආයුෂ්මත් සක්දෙවිඳු පිළිබඳවූ මෙය ඉතා පුදුමයි. (කුමක්දයත්) එපමණ බොහෝ කෘත්‍ය ඇත්තාවූ, බොහෝ කටයුතු ඇත්තාවූ තොපගේ යම්බඳු මෙහි පැමිණීමක් වීනම් එයයි.”

“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත එන්ට කැමැත්තෙමි. එසේද වුවත් තව්තිසා වැසි දෙවියන්ගේ යම් යම් කළයුතු වැඩවල යෙදුනෙමි. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස එන්ට නොහැකි වූයෙමි. ස්වාමීනි, මෙහි එක කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සලලාගාරයෙහි වසනසේක. ස්වාමීනි, එකල්හි මම භාග්‍යවතුන් වහන්සේ දැකීමට සැවැත් නුවරට පැමිණියෙමි.

“ස්වාමීනි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා සමාධියකින් යුක්තව උන්හ. “භුංජති” නම්වූ වෙසමුණු රජුගේ බිසව දොහොත් මුදුනෙහි තබා වඳිමින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන පිණිස පැමිණ සිටියාය. ස්වාමීනි, මම එවිට භුංජති නම් පරිචාරිකාවට මෙය කීවෙමි. “මාගේ නැගනියනි, තී භාග්‍යවතුන් වහන්සේ වඳුව. ස්වාමීනි, ඇමතියන් සහිතවූ, පිරිවර සහිතවූ සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් මුදුනෙන් වඳී”යි කියායි.

“මෙසේ කී කල්හි භුංජතී මට මෙය කීවාය. නිදුකාණනි, භාග්‍යවතුන් වහන්සේ දැකීමට මේ කාලය සුදුසු නොවන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඵලසමාපත්තියෙන් යුක්තය” යනුයි.

“නැගනිය, එහෙනම් යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ ඒ සමාධියෙන් නැගිටිසේක්ද, එකල්හි මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ වඳුව.’ ‘ස්වාමීනි, ඇමතියන් සහිතවූ පිරිවර සහිතවූ සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් වඳියි’ කියායි.

“ස්වාමීනි, මාගේ නැගනියවූ ඈ කිමෙක්ද භාග්‍යවතුන් වහන්සේ වැන්දේද? භාග්‍යවතුන් වහන්සේ ඇගේ වචනය සිහිකරන සේක්දැයි” ඇසුවේය.

“ශක්‍ර දේවේන්ද්‍රය ඒ නැගනිය මා වැන්දාය. මම ඇගේ වචනය සිහිකරමි. තවද මම යුෂ්මතාගේ රථයේ රෝද ශබ්දයෙන් ඒ සමාධියෙන් නැගිටියෙමියි” කීහ.

“ස්වාමීනි, යම් ඒ දෙවියෝ අපට වඩා පළමුව තව්තිසා භවනයෙහි උපන්නාහුද, මා විසින් ඔවුන්ගේ සමීපයෙන් අසනලදී, ඔවුන්ගේ සමීපයෙන් පිළිගන්නාලදී, යම් කලක ලොකයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතවරයෝ උපදිත්ද, එකල්හි දිව්‍ය නිකායවල් (දිව්‍ය කොටස්) සම්පූර්ණ වෙත්. අසුර නිකායෝ පිරිහෙත්, යනුයි. ස්වාමීනි, යම් කලක අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතවරයෙක් ලොකයෙහි උපදින්නේද, එකල්හි දිව්‍ය නිකාය පිරෙත්ද, අසුර නිකාය අඩුවෙත්ද, ඒ මේ කාරණය මා විසින් සාක්ෂි වශයෙන් දක්නා ලදී. කෙසේද?”

ගොපකවත්ථු Msdiv 353 “ස්වාමීනි, මේ කපිලවස්තු පුරයෙහිම බුදුන් කෙරෙහි පැහැදුනාවූද, ධර්මය කෙරෙහි පැහැදුනාවූද, සංඝයා කෙරෙහි පැහැදුනාවූද, සීලයන් සම්පූර්ණ කරන්නාවූද ගොපිකා නම් ශාක්‍ය දුවක් වූවාය. ඈ ස්ත්‍රීභාවය පිළිබඳ සිත පහකොට පුරුෂ්‍ය භාවය සම්බන්ධ සිත වඩා ශරීරය බිඳීමෙන්වූ මරණින් මතු සොභන ගති ඇත්තාවූ සැපයෙන් අග්‍රවූ ලොකයෙහි (දෙව් ලොව) උපන්නීය. අපගේ පුත්‍ර බවට පැමිණ තව්තිසා වැසි දෙවියන් සහ එක්වීමට පැමිණියාය. එහිදීද, ඔහු ගොපක දිව්‍ය පුත්‍රයාය, ගොපක දිව්‍ය පුත්‍රයාය යන නමින් දැනගනිත්. ස්වාමීනි, වෙනත් භික්ෂූන් තුන් නමක්ද භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි (බ්‍රහ්මචර්‍ය්‍යාව) උසස් හැසිරීම කොට පහත්වූ ගන්ධර්ව කොටසක උපන්නාහුය. ඔවුහු පස්කම් සැප විඳින්නාහු, එයින් යුක්ත වූවාහු, එහි ඉන්ද්‍රියයන් හසුරුවන්නාහු අපගේ උපස්ථානයට පැමිණෙත්. අපගේ සේවය පිණිස පැමිණියාවූ ඔවුන්ට ගොපක දිව්‍ය පුත්‍රයා මෙසේ සිහි කෙරෙව්වේය ‘නිදුකාණනි, තොපි කවර ආකාරයකින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසුවාහුද?’ ‘මම වනාහි ස්ත්‍රියක්වම බුදුන් කෙරෙහි පැහැදී, ධර්මය කෙරෙහි පැහැදී, සංඝයා කෙරෙහි පැහැදී සීලයන් සම්පූර්ණ කොට ස්ත්‍රී භාවය සම්බන්ධවූ සිත දුරුකොට පිරිමි බව ගැන සිත වඩා ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ දෙව්ලොව ඉපදී සක්දෙවිඳුගේ පුත්‍ර බවට පැමිණ, තව්තිසා වැසි දෙවියන්ගේ එක්වීමට පැමිණියෙමි. මෙහිද මා ගොපක දිව්‍ය පුත්‍රයාය. ගොපක දිව්‍ය පුත්‍රයාය යන නමින් දැනගනිත්.

“නිදුකාණනි, තොපි වනාහි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි (බ්‍රහ්මචර්‍ය්‍යාව) උතුම් හැසිරීම කොට පහත්වූ ගන්ධර්ව නිකායට පැමිණියාහුය. ඒකාන්තයෙන් දැකීමට නුසුදුසු ආකාරයක් දුටුවෙමු. අපි යම් බඳුවූ පහත්වූ ගන්ධර්ව නිකායට පැමිණියාවූ සහ ධාර්මිකයන් (එකට හැසුරුණු අය) දුටුවෙමු නම් එයයි. ස්වාමීනි, ගොපක දිව්‍ය පුත්‍රයා විසින් සිහි කරවන ලද්දාවූ ඔවුන්ගෙන් දෙවිවරු දෙදෙනෙක් මේ ආත්මයේදීම (ධ්‍යානයෙන් යුත්) සිහිය හා බ්‍රහ්ම පුරොහිත ශරීර ලැබූහ. එක් දෙවි කෙනෙක් ඒ කාමයන්හිම ගැලී විසුවේය

Msdiv 354 “මම පසැස් ඇත්තාවූ බුදුන් වහන්සේගේ උපාසිකාවක්වීමි. මට ගොපිකා යන නමක්ද විය. බුදුන් කෙරෙහිද, ධර්මය කෙරෙහිද විශෙෂයෙන් පැහැදී, පැහැදුනු සිතින් සංඝයාට උපස්ථාන කෙළෙමි.

“ඒ බුදුන්ගේම ධර්මයේ යහපත් කමින් මහත් ආනුභාව ඇත්තාවූ, මහත් ආලොක ඇත්තාවූ දිව්‍ය ලොකයෙහි උපන්නාවූ මම ශක්‍රයාගේ පුත්‍රයෙක් වීමි. මෙහිදී මා ගොපක දිව්‍ය පුත්‍රයායයිද (නමින්) දැන ගනිත්.

“එකල්හි මම, ගන්ධර්ව නිකායට වාසය පිණිස ආවාවූ පෙර දක්නා ලද්දාවූ භික්ෂූන් දුටුවෙමි. පෙර මනුෂ්‍යවූ ගෞතම ශ්‍රාවකවූ, අපි යම්බඳුවූ ඒ භික්ෂූන්ට පය සේදීම් ආදියෙන් සංග්‍රහකොට ආහාරයෙන් හා පානවලින්ද උපස්ථාන කෙළෙමුද, මේ පින්වත්හු කවර නම් කරුණකින් බුද්ධ ධර්මය නොපිළි ගත්තාහුද?

“පසැස් ඇත්තාවූ බුදුරදුන් විසින් අවබොධ කරන ලද්දාවූ, දෙශනා කරන ලද්දාවූ ධර්මය වනාහි තමාගේ දැකීමෙන්ම දතයුත්තේ වේ. මමද තෙපිද ඒ උත්තමයන්ගේ යහපත් වචනයන් අසා බුදුන් (උපාසනය) ආශ්‍රය කරන්නෝවීමු.

“(මම) මහත් ආනුභාව ඇති, මහත් කාන්ති ඇති, දිව්‍ය ලොකයෙහි උපන්නාවූ ශක්‍රයාගේ පුත්‍රයෙක් වෙමි. පින්වත්නි, තෙපි වනාහි ශ්‍රෙෂ්ඨවූ බුදුන් ආශ්‍රයකරමින් ඉතා උතුම් ශාසනයෙහි උතුම් හැසිරීම් (බඹසර) කොට ලාමකවූ තැනක උපන්නාහුය පින්වතුන්ගේ උත්පත්තිය සුදුසු නොවේ. පහත් තැනක උපන්නාවූ සහ ධාර්මිකයන් (එකට කටයුතුකළ අය) දැකීමට සුදුසු නැති ආකාරයකින් දුටුවෙමු.

“තෙපි ගන්ධර්ව නිකායට පැමිණියාහු දෙවියන්ගේ දාස බවට පැමිණියාහුය, ගිහිගෙයිම විසුවාවූ මාගේ මේ වෙනස බලව.

“ඒ මම ස්ත්‍රියක්වී අද දිව්‍යකාමයන්ගෙන් යුක්තවූ දිව්‍ය පුරුෂයෙක් වෙමි. ගෞතම ශ්‍රාවකවූ මා විසින් සිහි කරවන ලද්දාවූ ඔවුහු ගොපක දිව්‍ය පුත්‍රවූ මා වෙත පැමිණ සංවෙගයට පැමිණියාහුය. දැන් අපි උසස් බවට යමු උත්සාහ කරමු. අනුන්ගේ පණිවිඩ කාරයෝ නොවෙමු.

“ඔවුන්ගෙන් දෙදෙනෙක් වීර්‍ය්‍ය කිරීමට පටන් ගත්තාහුය. ගෞතමයන් වහන්සේගේ අනුශාසනයන් සිහි කරන්නෝවූහ. ඔවුහු මෙහිදීම සිත් නොඅලවා පංචකාමයන්ගේ දොස් දැක්කාහුය. පාපීවූ මාරයාගේ යෙදුම්වූ දුකසේ පහ කළ යුත්තාවූ කාම සංයොජනයන් හා කාම බැඳුම් සිඳදැමීම වශයෙන් දැක්කාහුය.

“දම්වැල් කඩාගන ගිය ඇතෙක් මෙන් තවුතිසා වැසි දෙවියන් ඉක්මවූහ. ඉන්ද්‍රයා (ශක්‍රයා) සහිත දෙවියෝද ප්‍රජාපතී සහිත දෙවියෝද යන සියල්ලෝම සුධර්මා නම් දිව්‍ය සභාවෙහි උන්නාහුය.

“එකට උන්නාවූ ඔවුන් අතරින් අනාගාමි මාර්ගය උපද වන්නාවූ දක්ෂවූ රාගය නැති කළාවූ ඔවුහු, ඔවුන් (එකට උන් අනික් දෙවියන්) ඉක්ම වූහ. දෙවියන් මැඩ පවත්නාවූ ශක්‍රයා ඔවුන් දැක දෙවි සමූහයා මැද සංවේගයක් ඇති කෙළේය.

“හීන නිකායකට පැමිණි ඒ මොව්හු තව්තිසා වැසි දෙවියන් ඉක්මවත්යයි හටගත් සංවේග ඇති ශක්‍රයාගේ වචනය අසා ගොපක දිව්‍ය පුත්‍රයා ශක්‍රයාට (මෙසේ) කීයේය”

“දෙවෙන්ද්‍රය, මනුෂ්‍ය ලොකයෙහි බුදු කෙනෙක් ඇත. කාමයන් මැඩපැවැත්තුවාවූ ශාක්‍ය මුනියයි ප්‍රසිද්ධවේ. මොව්හු උන්වහන්සේගේ පුත්‍රයෝ වෙත්. (ධ්‍යානගත) සිහියෙන් වෙන්ව චුතවූ ඔවුහු මා විසින් නැවතත් සිහිය උපදවනු ලැබූහ.

“ඔවුන් අතුරින් ගන්ධර්ව නිකායට පැමිණි එක්කෙනෙක් මෙහි වාසයට පත්විය. (කෙලෙස්) වසඟ කළාවූ අනාගාමි මාර්ගයට අනුවවූ සමාධි ගත සිත් දෙදෙනෙක්ම දෙවියන් යටත් කෙරෙත්.

“මේ ශාසනයෙහි මෙබඳුවූ ධර්ම ප්‍රකාශවේ. එහි කිසියම් ශ්‍රාවකයෙක් කුමකටවත් සැක නොකෙරේ කාම ආදි ගංගාවලින් එතරවූ සැකය සිඳින ලද්දාවූ, පංචමාරයන් ජයගත්තාවූ බුදුරජාණන් වහන්සේ වඳිමු

“මෙහි ඔබ වහන්සේගේ යම් ධර්මයක් දැන, ඔවුන් අතරින් විශෙෂයකට පැමිණි ඒ දෙදෙනෙක් බ්‍රහ්ම පුරොහිත බඹ ලොවට පැමිණ මාර්ගඵල විශෙෂයක් අවබොධ කළාහුද,

“නිදුකාණන් වහන්ස, ඒ ධර්මයට පැමිණීම පිණිස ආවෙමු නිදුකාණන් වහන්ස භාග්‍යවතුන් වහන්සේ විසින් අවසර දෙන ලද්දාවූ අපි ප්‍රශ්න අසන්නෙමුයි” කීය.

Msdiv 355 එවිට භාග්‍යවතුන් වහන්සේට මේ අදහස විය. ‘මේ ශක්‍රයා බොහෝ කලක් මුලුල්ලේම පිරිසිදුය. යම් කිසි ප්‍රශ්නයක් මගෙන් අසන්නේද, ඒ සියල්ල වැඩ ඇතිවම අසන්නේය. වැඩකට නැතිව නොඅසන්නේය. මගෙන් ඇසූ යමක් මම පහදා දෙන්නෙම්ද, එය වහාම දැනගන්නේය’ කියායි.

Msdiv 356 නැවත භාග්‍යවතුන් වහන්සේ සක්දෙව් රජුට ගාථාවකින් මෙසේ වදාළහ.

“ශක්‍රය, මගෙන් ප්‍රශ්න අසව. තට යම් කිසිවක් කැමති නම්, තාගේ ඒ ඒ ප්‍රශ්න මම කෙළවර කරමි” යි කියායි.

පළමුවෙනි බණවර නිමියේය.

Msdiv 357 කරණ ලද අවකාශ ඇති ශක්‍ර දෙවෙන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගෙන් මේ පළමුවැනි ප්‍රශ්නය ඇසුවේය. ‘නිදුකාණන් වහන්ස, මනුෂ්‍යයෝද අසුරයෝද, නාගයෝද, ගන්ධර්වයෝද, මෙයින් අන්‍යවූ බොහෝ ජනයෝ වෙත් නම් ඔව්හුද ක්‍රොධ නැත්තාහු දඬුවම් නැත්තාහු සතුරන් නැත්තාහු සතුටු සිත් ඇත්තාහු ‘අපි අවෛරීව වසන්නෙමුයි’ ඔවුන්ගේ ප්‍රාර්ථනාවක් වේද, ඒ ඇති කල්හිත් ඔව්හු ක්‍රොධ සහිත වූවාහු දඬුවම් සහිතවූවාහු, සතුරන් සහිතවූවාහු, සිත් අසතුටු සහිතවූවාහු වෛර ඇත්තෝව වසති. ඒ කිනම් බැඳීමකින් බැඳීම නිසාද?” මෙසේ ශක්‍ර දෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් පළමුවෙනි ප්‍රශ්නය ඇසුවේය. ප්‍රශ්න අසන ලද්දාවූ භාග්‍යවතුන් වහන්සේ ඕහට මෙය ප්‍රකාශ කළෝය. “දෙවෙන්ද්‍රය, ඊර්ෂ්‍යා මාත්සර්‍ය්‍ය (අනුන්ගේ සම්පත් නොඉවසීම, තම සම්පත් සැඟවීම) යන බැඳුම්වලින් බැඳීම හෙතුකොට ගෙන දෙවියෝද, මනුෂ්‍යයෝද, අසුරයෝද, නාගයෝද, ගන්ධර්වයෝද, මෙයින් අන්‍යවූ බොහෝ ජනයෝ වෙත් නම් ඔව්හුද ක්‍රොධ නැත්තාහු දණ්ඩන නැත්තාහු සතුරන් නැත්තාහු අසතුටු සිත් රහිතවූවාහු අපි අවෛරීව වසන්නෙමුයයි ඔවුන්ගේ ප්‍රාර්ථනාවක්වේද, එතකුදු වුවත් ඔව්හු ක්‍රොධ ඇත්තාහු දඬුවම් ඇත්තාහු සතුරන් ඇත්තාහු අසතුටු සිත් ඇත්තාහු වෛර ඇත්තෝව වෙසෙත්යයි’ ශක්‍ර දෙවෙන්ද්‍රයා විසින් අසන ලද්දාවූ භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළෝය. සතුටු සිත් ඇති ශක්‍ර දෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය, අනුමෝදන් විය. “භාග්‍යවතුන් වහන්ස, එය එසේය. සුගතයන් වහන්ස, එය එසේය. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම් ඇසීමෙන් මෙහි ‘කෙසේ කෙසේදැයි’ පැවති සැකය නැති විය. මාගේ සැකය දුරින්ම දුරු විය.”

Msdiv 358 මෙසේ ශක්‍ර දෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන්වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවේය. “නිදුකාණන් වහන්ස, අනුන්ගේ සැප නොඉවසීම හා තම සැප සැඟවීම යන දෙක කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම වේද? කුමක් නැති කල අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම නොවේදැයි” කීවාය.

“දෙවෙන්ද්‍රය, අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම යනු දෙක, ප්‍රියවූදේද, අප්‍රියවූ දේද, මූලකාරණාකොට ඇත්තේය. ප්‍රිය අප්‍රිය දේ හේතුවකොට ඇත්තේය. ප්‍රිය අප්‍රියදේ ජාතිකොට ඇත්තේය. ප්‍රිය අප්‍රිය දේ ඉපදීමකොට ඇත්තේය. ප්‍රිය අප්‍රිය දේ ඇති කල්හිම ඊර්‍ෂාව හා මාත්සර්‍ය්‍යය වන්නේය. ප්‍රිය අප්‍රිය නැති කල්හි ඊර්ෂ්‍යාව හා මසුරු බව නොවේයයි” කීවෝය.

“නිදුකාණන් වහන්ස, ප්‍රිය අප්‍රිය දෙක වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ඉපදීමකොට ඇත්තේද? කුමක් ඇති කල්හි ප්‍රිය අප්‍රිය දෙක වේද? කුමක් නැති කල්හි ප්‍රිය අප්‍රිය දෙක නොවේදැයි” ඇසීය.

“දෙවෙන්ද්‍රය, ප්‍රිය අප්‍රිය දෙක වනාහි ආසාව මුල්කොට ඇත්තේය. ආසාව හේතුකොට ඇත්තේය ආසාව ජාති කොට ඇත්තේය ආසාව ඉපදීමකොට ඇත්තේය. ආසාව ඇති කල්හි ප්‍රිය අප්‍රිය දෙක ඇතිවේ. ආසාව නැති කල්හි ප්‍රිය අප්‍රිය දෙක නොවේයයි” කීවෝය.

“නිදුකාණන් වහන්ස, ආසාව වනාහි කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් ජාති කොට ඇත්තේද? කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි ආසාව වේද? කුමක් නැති කල්හි ආසාව නොවේදැයි’ ඇසුවේය. “දෙවෙන්ද්‍රය, ආසාව වනාහි හිතින් පරීක්ෂාකර බැලීම මුල්කොට ඇත්තේය සිතින් පරීක්ෂා කර බැලීම හේතුකොට ඇත්තේය. හිතින් පරීක්ෂාකර බැලීම ජාතිකොට ඇත්තේය. හිතින් පරීක්ෂාකරබැලීම ඉපදීම කොට ඇත්තේය. හිතින් පරීක්ෂාකර බැලීම ඇතිකල්හි ආසාව වේ, පරීක්ෂාකිරීම නැති කල්හි ආසාව නොවේය”යි කීවාහුය.

“නිදුකාණන් වහන්ස, හිතින් පරීක්ෂාකර බැලීම වනාහි කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුවකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ඉපදීමකොට ඇත්තේද? කුමක් ඇති කල්හි පරීක්ෂා කිරීම වේද? කුමක් නැති කල්හි සිතින් පරීක්ෂාකර බැලීම නොවේදැයි” ඇසුවේය.

“දෙවෙන්ද්‍රය, සිතින් විනිශ්චය කිරීම වනාහි ප්‍රමාදයට හේතුව ආශාව හා එක්ව යෙදුණ හැඟීම් මුල් කොට ඇත්තේය. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් ජාතිකොට ඇත්තේය. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් ඉපදීමකොට ඇත්තේය. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් ඇතිකල්හි පරීක්ෂාකිරීම වේ. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් නැති කල්හි පරීක්ෂාකිරීම නොවේය” යි වදාළෝය.

“නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපදින්නාවූ භික්ෂු තෙමේ ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්වයෙදුණ හැඟීම් දුරු කිරීමට සුදුසුවූ මාර්ගයෙහි පිළිපදින්නේ වේදැ”යි ඇසුවේය.

වෙදනාකම්මට්ඨානං Msdiv 359 “දෙවෙන්ද්‍රය, මම සැප වේදනාවද දෙපරිද්දෙකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුවෙනි. දෙවෙන්ද්‍රය, මම දුක්වේදනාවද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුවෙනි දෙවෙන්ද්‍රය, දුකසැපදෙකම මැදහත් විඳීමද මම දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුයි

Msdiv 360 “දෙවෙන්ද්‍රය, මම සැප වෙදනාවද දෙපරිද්දකින් කියමි. එනම් සේවනය කටයුත්තද සේවනයනොකටයුත්තද යනුයි. යන මෙය කුමක් සඳහා කියන ලද්දේදයත්? එහි යම් සැප වේදනාවක් මෙසේ දන්නේද, කෙසේද, මේ සොම්නස සේවනය කරන්නාවූ මට අකුසලධර්මයෝ වැඩෙත්ද කුශලධර්මයෝ පිරිහෙත්ද, මෙබඳුවූ සැප වෙදනාව සේවනය නොකටයුතුයි. එහි යම් සැප වේදනාවක් මෙසේ දන්නේද? කෙසේද මේ සැප වෙදනාව සේවනය කරන්නාවූ මගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුශලධර්මයෝ වැඩෙත්ද, මෙබඳුවූ සැප වෙදනාව සේවනය කටයුතුයි. එහි යම් සැප වේදනාවක් විතර්ක සහිතද විචාර සහිතද යම් සැප වෙදනාවක් විතර්ක රහිතද විචාර රහිතද, එයින් විතර්ක රහිත විචාර රහිත සැප වෙදනාව අතිශයින් උතුම්ය.

Msdiv 361 “දෙවෙන්ද්‍රය, මම සේවනය කළ යුත්තය, සේවනය නොකළ යුත්තයයි දෙපරිද්දකින් දුක් වෙදනාව කියමි යන යම් වචනයක් කියන ලද්දේ නම් එය කුමක් සඳහා කියන ලද්දේද? යම් දොම්නසක් සේවනය කිරීමෙන් අකුසල ධර්ම වැඩෙත්, කුසල ධර්ම පිරිහෙත්යයි දන්නේද ඒ දොම්නස සෙවනය නොකළ යුතුය, යම්දොම්නසක් සේවනය කිරීමෙන් අකුශල ධර්ම පිරිහෙත්, කුසල ධර්ම වැඩෙත්යයි දන්නේද, ඒ දොම්නස් වෙදනාව සෙවනය කළ යුතුයි. එහි විතර්ක විචාර සහිත දොම්නසක් ඇත්තේද විතර්ක විචාර රහිත දොම්නසක් ඇත්තේද එයින් විතර්ක විචාර රහිත දොම්නස ප්‍රණීතතරය.

“දෙවෙන්ද්‍රය, මම සේවනය කටයුත්ත සේවනය නොකට යුත්තයයි දුක් වේදනාව දෙපරිද්දකින් කියමියි මෙසේ යමක් කියන ලද්දේ නම්, එය මේ සඳහා කියනලදී.

Msdiv 362 “දෙවෙන්ද්‍රය, සේවනය කටයුත්තය, සෙවනය නොකට යුත්තයයි උපෙක්ෂාව මම දෙපරිද්දෙකින් කියමි යන වචනයක් කියන ලද්දේනම් එය කුමක් සඳහා කියන ලද්දේද යත් එහි යම් උපෙක්ෂාවක් සේවනය කරන්නාවූ මට කුශල ධර්මයෝ පිරිහෙත්, අකුශල ධර්මයෝ වැඩෙත්යයි දන්නේ නම් ඒ උපෙක්ෂාව සේවනය නොකළ යුතුයි. එහි යම් උපෙක්ෂාවක් මේ උපෙක්ෂාව සේවනය කරන්නාවූ මට අකුශල ධර්මයෝ පිරිහෙත්, කුශල ධර්මයෝ වැඩෙත්ය කියා දන්නේද, මෙබඳුවූ උපෙක්ෂාව සේවනය කටයුතුයි, එහි යම උපෙක්ෂාවක් විතර්ක සහිතද විචාර සහිතද යම් උපෙක්ෂාවක් විතර්ක රහිතද විචාර රහිතද, ඒ අවීතර්ක අවිචාර උපෙක්ෂාව අතිශයින් ප්‍රණීතය, දෙවෙන්ද්‍රය, මම උපෙක්ෂාවද, දෙපරිද්දෙකින් කියමි. සේවනය කටයුත්තද, සේවනය නොකටයුත්තදැයි කියා යම් වචනයක් කියන ලද්දේ නම්, එය මේ සඳහා කියනලදී.

Msdiv 363 “දෙවෙන්ද්‍රය, මෙසේ පිළිපඳින්නාවූ භික්ෂූ තෙමේ ප්‍රමාදයට හෙතුවූ ආසාව සමග යෙදුණ හැඟීම් සංසිඳවීමම සුදුසු මාර්ගයයි කියනලද ප්‍රතිපදාවට පිළිපන්නේ වේයයි” ප්‍රකාශ කළෝය.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශක්‍ර දෙවෙන්ද්‍රයාගේ ප්‍රශ්නවලට පිළිතුරු ප්‍රකාශ කළෝය. සතුටු සිත් ඇත්තාවූ ශක්‍ර දෙවෙන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු විය.

“භාග්‍යවතුන් වහන්ස, එය එසේය. සුගතයන් වහන්ස, ඒ එසේය. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අසා මාගේ සැකය බැහැර ගියේය. කෙසේ කෙසේදැයි පැවති සැකය පහවූයේය.”

පාතිමොක්ඛසංවරො Msdiv 364 මෙසේ මෙහිදී සක්‍ර දෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන මත්තෙහිත් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය. “නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපදින්නාවූ භික්ෂු තෙමේ සීල සංවරය පිණිස පිළිපදින්නේ වේද?

“දේවේන්ද්‍රය, මම කයේ පැවැත්මද දෙපරිද්දෙකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකට යුත්තද යනුවෙනි.

“දෙවෙන්ද්‍රය, මම වචනයේ පැවැත්මද දෙපරිද්දකින් කියමි සේවනය කටයුත්තද, සේවනය නොකට යුත්තද යනුවෙනි.

“දෙවෙන්ද්‍රය, මම සෙවීමද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුවෙනි.

“දෙවෙන්ද්‍රය මම ශරීරයේ පැවැත්මද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකට යුත්තදැයි මෙසේ යම් වචනයක් කියන ලද්දේ නම් මෙය කුමක් සඳහා කියන ලද්දේදයත්. එහි යම් ශරීරයේ පැවැත්මක් මේ ශරීරයේ පැවැත්ම සේවනය කරන්නාවූ මට අකුශල ධර්මයෝ වැඩෙත්, කුශල ධර්මයෝ පිරිහෙත්යයි දන්නේද, මෙබඳුවූ කායික පැවැත්ම සේවනය නොකටයුතුයි. එහි යම් කායික පැවැත්මක් මේ ශරීරයේ පැවැත්ම සේවනය කරන්නාවූ මාගේ අකුශල ධර්මයෝ පිරිහෙත්. කුශල ධර්මයෝ වැඩෙත්යයි දන්නේද, මෙබඳුවූ ශරීරයේ පැවැත්ම සේවනය, කටයුතුයි.

“දෙවේන්ද්‍රය, මම ශරීරයේ පැවැත්ම දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකට යුත්තදැයි මෙසේ යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියන ලදී.

“දෙවෙන්ද්‍රය, මම වචනයේ පැවැත්මද දෙපරිද්දෙකින් කියමි සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තදැයි මෙසේ යමක් කියන ලද්දේ නම් එය කුමක් සඳහා කියන ලද්දේද? එහි යම්වචනයේ පැවැත්මක් මේ වචනයේ පැවැත්ම සේවනය කරන්නාවූ මාගේ අකුශල ධර්මයෝ වැඩෙත්. කුශල ධර්මයෝ පිරිහෙත්යයි’ දන්නේද, මෙබඳුවූ වචනයේ පැවැත්ම සේවනය නොකට යුතුයි. මේ වචනයේ පැවැත්ම සේවනය කරන්නාවූ මාගේ අකුශල ධර්මයෝ පිරිහෙත්, කුසල ධර්මයෝ වැඩෙත් යයි දන්නේද, මෙබඳුවූ වචනයේ පැවැත්ම සේවනය කටයුතුයි.

“දෙවෙන්ද්‍රය, මම වචනයේ පැවැත්ම දෙපරිද්දකින් කියමි. සේවනය කටයුතුද සේවනය නොකට යුත්තදැයි මෙසේ යමක් කියන ලද්දේ නම් එය මේ සඳහා කියනලදී.

“දෙවෙන්ද්‍රය, මම (පර්ය්‍යෙසනය) සෙවීමද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද, සේවනය නොකටයුත්තද යනු වෙනැයි. යම් වචනයක් කියනලද්දේද, එය කුමක් සඳහා කියනලද්දේද යත්, එහි මේ පර්ය්‍යෙසනය (සෙවීම) සේවනය කරන්නාවූ මාගේ අකුසල ධර්මයෝ වැඩෙත්. කුසල ධර්මයෝ පිරිහෙත් යයි යම් සෙවීමක් මෙසේ දන්නේද මෙබඳුවූ පර්ය්‍යෙසනය සේවනය නොකට යුතුයි. එහි මේ පර්ය්‍යෙසනය සේවනය කරන්නාවූ මාගේ අකුසල ධර්මයෝ පිරිහෙත්, කුසල ධර්මයෝ වැඩෙත්යයි, යම් පර්ය්‍යෙසනයක් මෙසේ දන්නේද, මෙබඳුවූ පර්ය්‍යෙසනය සෙවනය කටයුතුයි. දෙවෙන්ද්‍රය, මම පර්ය්‍යෙසනයද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුවෙනැයි මෙසේ යමක් කියනලද්දේ නම් එය මේ සඳහා කියන ලදී.

“දෙවෙන්ද්‍රය, මෙසේ පිළිපදින්නාවූ භික්ෂු තෙමේ ප්‍රාතිමොක්ෂ සංවරය පිණිස පිළිපදින්නේයයි” මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශක්‍රදෙවේන්ද්‍රයාගේ ප්‍රශ්නවලට උත්තර දුන්නෝය. සතුටු සිත් ඇත්තාවූ ශක්‍රදෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය. අනුමෝදන් විය. “භාග්‍යවතුන්වහන්ස, ඒ එසේයි සුගතයන් වහන්ස එය එසේය. මෙහිදී භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අසා, මාගේ සැකය දුරුවිය. කෙසේ කෙසේ දැයි පැවති සැකය නැතිවිය”

ඉන්ද්‍රියසංවරො Msdiv 365 මෙසේ සක්‍ර දෙවෙන්ද්‍ර තෙමේ මෙහිදී භාග්‍යවතුන් වහන්සේගේ වචනය අනුමෝදන්ව මත්තෙහිත් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය. ඒ කෙසේද, ‘නිදුකානන් වහන්ස, කෙසේ පිළිපදින්නාවූ භික්ෂුතෙමේ ඉන්ද්‍රිය සංවරය පිණිස පිළිපදින්නේවේදැයි” කියායි.

“දෙවෙන්ද්‍රය, මම ඇසින් බලා දතයුතුවූ රූපය දෙපරිද්දකින් කියමි සේවනය කටයුත්තද, සේවනය නොකට යුත්තද යනුයි.

“දෙවෙන්ද්‍රය, මම කණින් අසා දතයුතුවූ ශබ්දයද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සෙවනය නොකටයුත්තද යනුයි.

“දෙවෙන්ද්‍රය, මම නාසයෙන් ගඳ සුවඳ විඳ දතයුතුවූ ගන්ධයද දෙපරිද්දෙකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුයි.

“දේවෙන්ද්‍රය මම දිවෙන් රස විඳ දතයුතුවූ රසයද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුයි.

“දේවෙන්ද්‍රය, මම ශරීරයෙන් ස්පර්ශ කොට දතයුතුවූ ස්පර්ශයද (පහසද) දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුයි.

“දේවෙන්ද්‍රය සිතෙන් පරීක්ෂාකොට බලා දතයුතුවූ ධර්මයද දෙපරිද්දකින් කියමි. සේවනය කටයුත්තද සේවනය නොකටයුත්තද යනුයයි” කීවාහුය.

මෙසේ කී කල ශක්‍ර දෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් වදාරණලද මේ ධර්මයාගේ අර්ථය මම විස්තර වශයෙන් දනිමි. ස්වාමීන් වහන්ස, යම්බඳුවූ ඇසට පේන රූපයක් සේවනයකරන්නහුගේ අකුශල ධර්මයෝ වැඩෙත්ද කුසල ධර්මයෝ පිරිහෙත්ද, මෙබඳුවූ ඇසට පෙනෙන්නාවූ රූපය සේවනය නොකටයුතුයි. ස්වාමීනි, යම් බඳුවූ ඇසට පේන රූපයක් සේවනය කරන්නහුගේ අකුසල ධර්මයෝ පිරිහෙද්ද, කුසල ධර්මයෝ වැඩෙද්ද, මෙබඳුවූ ඇසට පේන රූපය සේවනය කටයුතුයි.

“ස්වාමීනි, යම්බඳුවූ කණට ඇසෙන ශබ්දයක් සේවනය කරන්නහුගේද, ස්වාමීනි, යම්බඳුවු නාසයෙන් ගඳ සුවඳ විඳ දැනගන්නාවූ ගන්ධයක් සේවනය කරන්නහුගේද ස්වාමීනි, යම්බඳුවූ දිවට දැනෙන්නාවූ රසයක් සේවනය කරන්නහුගේ ද, ස්වාමීනි, යම් බදුවු ශරීරයට දැනෙන්නාවූ ස්පර්‍ශයක් සේවනය කරන්නහුගේද, ස්වාමීනි, යම්බඳුවූ සිතින් දැන ගන්නාවූ ධර්‍මයක් සේවනය කරන්නහුගේද, අකුසල ධර්‍මයෝ පිරිහෙත්ද, කුසල ධර්‍මයෝ වැඩෙත්ද, මෙබඳුවූ සිතින් දැනගන්නාවූ ධර්මය තෙමේ සේවනය කටයුතුයි. ස්වාමීන් වහන්ස, යම්බඳුවූ සිතින් දැනගන්නාවූ ධර්මයක් සේවනය කරන්නහුගේ අකුශල ධර්මයෝ පිරිහෙත්ද, කුසල ධර්මයෝ වැඩෙත්ද, මෙබඳුවූ සිතින් දැනගන්නාවූ ධර්මයෝ සේවනය කටයුතුයි.

“ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ විසින් කොටින් වදාරණ ලද මේ ධර්මයාගේ අර්ථ විස්තරයෙන් දන්නාවූ මා විසින් මෙහිදී භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අසා සැකය දුරුකරනලදී කෙසේ කෙසේදැයි පැවති සැකය නැතිවීයයි” ප්‍රකාශ කෙළේය.

Msdiv 366 මෙසේ මෙහි ශක්‍ර දෙවෙන්ද්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමෝදන්ව භාග්‍යවතුවන් වහන්සේගේ මත්තෙහිත් ප්‍රශ්නයක් ඇසුවේය.

“සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සමාන වාද ඇත්තාහුද? සමාන ඡන්ද ඇත්තාහුද? සමාන කෙළවර ඇත්තාහුද?” “ දෙවෙන්ද්‍රය, සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම සමාන වාද ඇත්තෝද, සමාන ආචාර ඇත්තෝද, සමාන කෙළවර ඇත්තෝද, නොවෙත්මයයි” කීවාහුය.

“නිදුකාණන් වහන්ස, කවර හෙයකින් සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම සමාන වාද ඇත්තෝ සමාන ඡන්ද ඇත්තෝ, සමාන කෙළවර ඇත්තෝ නොවෙද්ද?”

“දේවෙන්ද්‍රය, ලෝක සත්වතෙමේ අනේක අදහස් නොයෙක් අදහස් ඇත්තේමය. ඒ අනේක අදහස් නොයෙක් අදහස් ඇති ලෝකයෙහි සත්වයෝ යම් යම් අදහස් ගනිද්ද, ඒ ඒ අදහසම දැඩි සේ ගෙන යහපත් ලෙස ගෙන මේ අපගේ වචනයම සත්‍යයි අන්‍යයන්ගේ වචනය වරදයයි කියත්. එහෙයින් සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සමානවාද ඇත්තෝද සමාන ලබ්ධි ඇත්තෝද සමාන කෙළවර ඇත්තෝද නොවෙත්යයි” කීවෝය.

“නිදුකාණන් වහන්ස, සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝම විනාශය කෙළවර කිරීමක් ඇත්තෝද, විනාශය ඉක්ම වන්නාවූ සසර බැඳීම් සිඳින්නාවූ නිර්වාණය ඇත්තෝද, විනාශය කෙළවර කරන උතුම් හැසිරීම් ඇත්තෝද, නිත්‍යවූ අවසානයක් ඇත්තෝද?”

“දෙවෙන්ද්‍රය, සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ විනාශය ඉක්මවූ කෙළවරක් ඇත්තෝද, විනාශය ඉක්මවන්නාවූ සසර බැඳීම සිඳින්නාවූ නිර්වාණය ඇත්තෝද, විනාශය කෙළවර කරන උතුම් හැසිරීම ඇත්තෝ නිත්‍යවූ කෙළවර ඇත්තෝද නොවෙත්යයි” කීවාහුය

“නිදුකාණන් වහන්ස, කවර හෙයින් සියලු මහණ බමුණෝ අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ අත්‍යන්ත යොගක්ෂෙම සංඛ්‍යාත නිර්වාණය ඇත්තෝ අත්‍යන්ත බඹසර ඇත්තෝ අත්‍යන්ත කෙළවර ඇත්තෝ නොවෙද්ද?’

“දෙවෙන්ද්‍රය, යම් ඒ මහණ බමුණෝ තණ්හාව ක්ෂය කිරීමෙන් මිදුණාහු වෙද්ද, ඔව්හු අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ අත්‍යන්ත යොගක්ෂෙම ඇත්තෝ අත්‍යන්ත බඹසර ඇත්තෝ අත්‍යන්ත කෙළවර ඇත්තෝ වෙත්.

‘එහෙයින් සියලු මහණ බමුණෝම අනිත්‍ය ඉක්මවූ නිෂ්ඨා ඇත්තෝ, අනිත්‍යය ඉක්මවූ යොගාක්ෂෙම ඇත්තෝ, අනිත්‍යය ඉක්මවූ බඹසර ඇත්තෝ, අනිත්‍ය ඉක්මවූ කෙළවර ඇත්තෝ නොවෙත්යයි” කීවාහුය.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශක්‍ර දෙවෙන්ද්‍රයා විසින් අසනලද ප්‍රශ්නවලට උත්තර දුන්නෝය. සතුටු සිත් ඇත්තාවූ ශක්‍රදෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය. අනුමෝදන් විය. කෙසේද, “භාග්‍යවතුන් වහන්ස, ඒ එසේය සුගතයන් වහන්ස, ඒ එසේය. මෙහි භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම අසා, මාගේ සැකය දුරුවිය. කෙසේද කෙසේදැයි පැවති සැකය නැතිවූයේයයි” ප්‍රකාශ කෙළේය.

Msdiv 367 මෙසේ මෙහි ශක්‍ර දෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය. “ස්වාමීන් වහන්ස තෘෂ්ණාව රෝගයකි. තණ්හාව ගඩයකි. තණ්හාව උලකි. තණ්හාව මේ පුරුෂයා ඒ ඒ භවයාගේ ඉපදවීම පිණිස අදින්නේය එහෙයින් මේ පුරුෂයා උස් පහත් බවට පැමිණේ”

‘ස්වාමීන් වහන්ස, යම්බඳුවූ ප්‍රශ්නයක් සම්බන්ධව මෙයින් පිට අන්‍යවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් මම අවකාශ පාත්‍රයකුදු නොලද්දෙම්ද, බොහෝ කලක සිට පැවැත්තාවූ ඒ ප්‍රශ්නයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් මට ප්‍රකාශ කරන ලද්දාහ. මාගේ යම්බඳුවූ විචිකිච්ඡා සංඛ්‍යාත කෙසේ කෙසේ දැයි පැවති සැක නමැති හුලක් වූයේනම් භාග්‍යවතුන් වහන්සේ විසින් එයද උදුරන ලද්දේයයි” දැන්නුවේය

“දේවෙන්ද්‍රය, මේ ප්‍රශ්න අන්‍යවූ මහණ බමුණන්ගෙන් ඇසුවෙහිදැයි ඔබ දන්නෙහිද?”

“ස්වාමීන් වහන්ස, මේ ප්‍රශ්න අන්‍යවූ මහණ බමුණන් ගෙන් ඇසුවෙමියි, මම දනිමි.’

“දේවෙන්ද්‍රය, කෙසේ නම් ඔව්හු ප්‍රකාශ කළාහුදැයි ඉදින් තොපට බරක් නොවේ නම් කියවයි” කීවාහුය.

“ස්වාමීන් වහන්ස, යම් තැනෙක්හි භාග්‍යවතුන්වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේට සමාන ඇත්තෝ හෝ වන්නාහු නම් මට බරක් (අපහසුවක්) නැත”

“දේවෙන්ද්‍රය, එසේ වීනම් කියවයි” ප්‍රකාශ කළෝය.

“ස්වාමීන්වහන්ස, යම් මහණ බමුණන් වනවාසීහුයයි කියා හෝ ප්‍රාන්ත සේනාසන ඇත්තෝයයි කියා හෝ හඟිම්ද, මම ඔවුන් වෙත පැමිණ මේ ප්‍රශ්නයන් ඇසුයෙමි. මා විසින් අසන ලද්දාවූ ඔව්හු නොදනිත්. නොදන්නාවූ ඔව්හු මගෙන්ම ආපසු අසත්. ‘ආයුෂ්මත් තෙමේ කවර නම් ඇත්තේදැයි’ අසනලද මම ඔවුන්ට ‘නිදුකාණෙනි, මම ශක්‍ර දේවෙන්ද්‍රයයි’ ප්‍රකාශකරමි. ඔව්හු ‘ආයුෂ්මත් දේවෙන්ද්‍ර තෙමේ කවර කර්මයක්කොට මේ ස්ථානයට පැමිණියේදැයි’ මත්තෙහිත් අසත්. ඔවුන්ට මම අසනලද පරිදි ඉගෙනගන්නාලද පරිදි ධර්මය දෙසමි. ඔව්හු එපමණකින්ම සතුටු සිත් ඇත්තෝ වෙත්. කෙසේද, ‘අප විසින් ශක්‍ර දේවෙන්ද්‍රතෙමේ දක්නා ලද්දේය. අපි යමක් ඇසුවෙමු නම් එයද අපට ප්‍රකාශ කරන ලද්දේය’ කියායි ඔව්හු තුමූ මා ළඟට පැමිණෙත්. මම ඔවුන් ළඟට නොපැමිණියෙමි. ස්වාමීන් වහන්ස, මම වනාහි සෝවාන්වූ, අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියතවූ රහත් බව පිහිටකොට ඇත්තාවූ බුද්ධ ශ්‍රාවකයෙක්මි.

සොමනස්සපටිලාභකථා Msdiv 368 “දේවෙන්ද්‍රය, මීටපෙර මෙවැනිවූ ප්‍රීතියක් ලැබීමක් සොම්නසක් ලැබීමක් දන්නෙහිදැයි’ ඇසූහ. “ස්වාමීන්වහන්ස, මෙයින් පෙර මෙබඳුවූ මෙවැනි ප්‍රිතියක් ලැබීමක් සොම්නසක් ලැබීමක් මම දනිමි.” “දේවෙන්ද්‍රය, මෙයින් පෙර මෙබඳුවූ ප්‍රීතියක් සොම්නසක් ලැබීමක් කෙසේ නම් දන්නෙහිද?”

“ස්වාමීනි, පෙර කාලයෙහි දෙවියන්ගේ හා අසුරයන්ගේ යුද්ධයක් වූයේය. ස්වාමීනි, ඒ යුද්ධයේදී දෙවියෝ දිනූහ. අසුරයෝ පරාජය වූහ. ස්වාමීනි, ඒ විශෙෂයෙන් දිනනලද යුද්ධ ඇති ඒ මට මේ සිත විය, දැන් යම්බඳුවූ දිව්‍ය ඕජසක් වේද, යම්බඳුවූ අසුර ඕජසක්වේද, මේ දෙකොටසම දෙවියෝ පරිභොග කරන්නාහු යයි කියායි. ස්වාමීන්වහන්ස, යම්බඳුවූම මාගේ දඬුවම් සහිතවූ ආයුධ සහිතවූ ප්‍රීති ප්‍රතිලාභය හෝ සොම්නස් ප්‍රතිලාභය හෝ සසර කලකිරීම පිණිස නොපවතී. රාගය නැති කිරීම පිණිස නොපවතී. නිරොධය පිණිස නොපවතී. කෙලෙස් නැතිකිරීම පිණිස නොපවතී. සම්බෝධිය පිණිස නොපවතී. නිර්වාණය පිණිස නොපවතී. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා ලබන ලද්දාවූ ඒ දඬුවම් රහිතවූ ආයුධ රහිතවූ ප්‍රීති ප්‍රතිලාභය සොම්නස් ප්‍රතිලාභය ඒකාන්තයෙන් සසර කලකිරීම, පිණිස රාගය නැතිකිරීම පිණිස, නිරොධය පිණිස කෙලෙස් නැති කිරීම පිණිස, විශෙෂ අවබෝධය පිණිස, සම්බෝධිය පිණිස පවතීයයි” ප්‍රකාශ කෙළේය.

Msdiv 369 “දේවෙන්ද්‍රය, ඔබ කිනම් කාරණයක් අර්ථ වශයෙන් දක්නේ මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක් සොම්නස් ප්‍රතිලාභයක් විඳින්නෙහිදැයි” ඇසුවෝය.

“ස්වාමීන්වහන්ස, මම කාරණා හයක්ම අර්ථ වශයෙන් දක්නේ මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක්, සොම්නස් ප්‍රතිලාභයක් විඳිමි”යි ප්‍රකාශ කෙළේය. “මේ ස්ථානයෙහි සිට ගෙනම මා විසින් නැවත ජීවිතයද ලබනලදී. නිදුකාණන් වහන්ස, මෙසේ දැන වදාළ මැනවි.

“ස්වාමීනි, මේ ප්‍රථම කාරණය දක්නාවූ මම මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක් හෝ සොම්නස් ප්‍රතිලාභයක් විඳිමියි” දැන්නුවෝය.

“මම දිව්‍ය ලෝකයෙන් චුතවූයෙම්, සිහි මුළා නොවී මිනිස් ලොව යම්ක්ෂත්‍රියාදි කුලයෙහි සිත ඇලේනම් එහි ගර්භොත්පත්තියට පැමිණෙන්නෙමි.

“ස්වාමීනි, මේ දෙවැනි කාරණය අර්ථ වශයෙන් දක්නාවූ මම මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක්, සොම්නස් ප්‍රතිලාභයක් ලබමි. ඒ මම මුළා නොවන ප්‍රශ්න ඇත්තේ ශාසනයෙහි ඇලී වාසය කරමින් යහපත් ප්‍රඥා ඇත්තෙම්, සිහි ඇත්තෙම්. නුවණින් වාසය කරන්නෙමි.

“ස්වාමීනි, මේ තුන්වැනි කාරණය අර්ථ වශයෙන් දක්නාවූ මම මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක්, සොම්නස් ප්‍රතිලාභයක් ප්‍රකාශ කරමි.

“න්‍යාය ක්‍රමයෙන් හැසිරෙන්නාවූ මට සම්බෝධිය සකෘදාගාමි මාර්ගය වන්නේ නම් දැනගනු කැමතිව වාසය කරන්නෙමි. එය මනුෂ්‍ය ලෝකයෙහි මාගේ කෙළවර වන්නේය”

“ස්වාමීනි, මේ හතරවැනි කාරණය අර්ථ වශයෙන් දක්නෙම් මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක්, සොම්නස් ප්‍රතිලාභයක් ප්‍රකාශ කරමි.

“මම මනුෂ්‍ය ආයුෂ ගෙවා මනුෂ්‍ය ලෝකයෙන් චුත වන්නෙම් නැවත දිව්‍ය ලෝකයෙහි උතුම්වූ දෙවියෙක් වන්නෙමි.

“ස්වාමීනි, මේ පස්වැනි කාරණය අර්ථ වශයෙන් දක්නාවූ මම මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක්, සොම්නස් ප්‍රතිලාභයක් ප්‍රකාශ කරමි.

“කීර්ති ඇත්තාවූ අතිශයින් ප්‍රනීතවූ අකනිටා බඹලොව වාසීවූ ප්‍රසිද්ධ දෙවියෝ වෙත්ද අන්තිම භවය පවත්නා කල්හි ඒ නිවාසස්ථානය වන්නේය’

“ස්වාමීනි, මේ සවැනි කාරණය අර්ථ වශයෙන් දක්නාවූ මම මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක් ප්‍රකාශ කරමි. ස්වාමීන් වහන්ස, මේ කාරණා හය දක්නාවූ මම මෙබඳුවූ තුෂ්ටි ප්‍රතිලාභයක්, සොම්නස් ප්‍රතිලාභයක් ප්‍රකාශ කරමි

Msdiv 370 “නිම නොකරනලද මනෝරථ ඇත්තේ සැක ඇත්තේ කෙසේ කෙසේදැයි පැවැති සැක ඇත්තේ තථාගතයන් වහන්සේ යොයමින් බොහෝ කලක් හැසුරුනෙමි.

“යම් ශ්‍රමණයන් විවේක විහරන ඇත්තවුන් කොට හඟිම්ද, සම්බුද්ධයයි සිතමින් උන්වහන්සේලා ආශ්‍රය කරන්ට යමි.

“මාර්ගයෙහි හෝ ප්‍රතිපදාවන්හි කෙසේ සම්පාදනයවේද, කෙසේ අසම්පාදනය වේදැයි මෙසේ අසන ලද්දාවූ ඔව්හු සම්පාදනය කොට කියන්ට නොහැකි වෙත්.

“අපගේ සමීපයට ශක්‍රතෙමේ පැමිණියේයයි ඔව්හු තුමූ යම් කලෙක්හි මා දැනගනීද, කිනම් කර්මයක් කොට ශක්‍ර බවට පැමුණුනෙහිදැයි ඔව්හු තුමූ මා විචාරත්. ඔවුන්ට ජනයා කෙරෙහි ප්‍රසිද්ධවූ ධර්මය ඇසූ පරිද්දෙන් මමද ප්‍රකාශ කරමි. එයින් අප විසින් ශක්‍රතෙමේ දක්නා ලද්දේයයි කියාද, ඔව්හු සතුටු සිත් ඇත්තෝ වෙත්.

“යම් කලෙක්හි මම සැක දුරුකළාවූ බුදුරජාණන් වහන්සේ දුටුයෙම්ද ඒ මම අද සර්වඥයන් වහන්සේ ආශ්‍රය කොට පහවූ භය ඇත්තෙක් වෙමි. තණ්හාව නැමැති හුල නැසුවාවූ සමාන පුද්ගලයෙක් නැති හෙයින් අප්‍රති පුද්ගලවූ බුදුරජාණන් වහන්සේ මම වඳින්නෙමි. සූර්‍ය්‍ය බන්ධුවූ මහා වීරයන් වහන්සේ මම වඳිමි. නිදුකාණන් වහන්ස, දෙවියන් සමග බ්‍රහ්මයාට අපි යම් නමස්කාරයක් කෙළෙමුද, ඒ නමස්කාරය අද නුඹවහන්සේට කරමු. එබැවින් තුමූම නුඹ වහන්සේට නමස්කාර කරමු නුඹවන්සේම සම්බුද්ධ වෙහිය, නුඹවහන්සේ නිරුත්තරවූ ශාස්තෘය, දෙවියන් සහිත ලෝකයෙහි නුඹවහන්සේට ප්‍රති පුද්ගලයෙක් නැත්තේය.”

Msdiv 371 ඉක්බිති ශක්දෙව් තෙමේ පඤ්චසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථාකර මෙසේ කීවේය. “දරුව පඤ්චසිඛය, තොප මට බොහෝ උපකාර ඇත්තෙහිය. යම් හේතුවකින් තොප භාග්‍යවතුන් වහන්සේ පළමුකොටම පැහැදෙව්වෙහිද එහෙයිනි, දරුව තා විසින් පළමුකොට පහදවන ලද අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ දැක්මට අපි පසුව එළඹියෙමු. ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ පිය තනතුරෙහි තබන්නෙමි. තොපි ගන්ධර්ව රාජ වන්නෙහිය. සූර්‍ය්‍ය මණ්ඩලයක් වැනි ශරීර කාන්තිය ඇති භද්‍රාවන්ද තොට දෙමි. ඕතොමෝ වනාහි තොප විසින් විශෙෂයෙන් පතන ලද්දීයයි” කීහ.

එවිට ශක්‍ර දේවෙන්ද්‍ර තෙමේ අතින් පෘථිවිය පිරිමැද තුන් යලක් ප්‍රීති වාක්‍ය කීවේය. කෙසේද? “ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා” කියායි.

මේ ප්‍රශ්න විසදීම කරනු ලබන කල්හි ශක්‍ර දේවෙන්ද්‍රයාට රාගාදී කෙලෙස් රහිතවූ පහවූ කෙලෙස් මල ඇති ධර්ම ඇස උපන්නේය, කෙසේද ‘සමුදය ස්වභාවවූ යම් කිසිවක් වේනම්, ඒ සියල්ලම නැතිවීම ස්වභාව කොට ඇත්තේය යනුවෙනි’ අන්‍යවූ අසූදහසක් දේවතාවන්ටද මෙසේ ධර්ම ඇස උපන්නේය. මෙසේ මෙහි ශක්‍ර දේවෙන්ද්‍රයන් විසින් ආරාධනා කරණ ලද්දාවූ යම් ප්‍රශ්නයෝ අසන ලද්දාහුද භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ප්‍රශ්නයෝ විසඳන ලද්දාහුය. එහෙයින් මේ ධර්මයට සක්කපඤ්හයයි කියාම නාමය වූයේය.

සක්කපඤ්හ සූත්‍රය නිමවන ලදී.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection