The Lion’s Roar at Udumbarikā’s Monastery
Udumbarikasutta
PDFGenerated
This discourse gives a specially good example of dialog between religions. The Buddha insists that he is not interested to make anyone give up their teacher or practices, but only to help people let go of suffering.
Read the full discourse slowly and reflect on key passages.
Read here in the library
දීඝ නිකාය පාඨික වර්ගය 25. උදුම්බරික සීහනාද සූත්‍රය නිග්‍රොධ පරිබ්‍රාජක වස්තුව Msdiv 49 මා විසින් මෙසේ අසනලදී. එක් කාලයෙක භාග්‍යවතුන්වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ ගිජුකුළු පව්වෙහි (ගිජ්ජකුට පර්වතයෙහි) වැඩ වාසය කළෝය. එකල්හි නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ (ශාසනයෙන් පිට මහණවූ අයෙක්) තුන් සියයක් පමණ මහත් පිරිවැජි පිරිසක් සමග උදුම්බරිකා දෙවියගේ පිරිවැජි ආරාමයෙහි වාසය කළේය.
එකල්හි සන්ධාන නම් ගෘහපති තෙමේ මධ්‍යාහ්නයෙහි (දවල් කාලයෙහි) භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස රජගහ නුවරින් පිටත් වීය. ‘භාග්‍යවතුන් වහන්සේ දැන් චිත්ත විවෙකයෙන් යුක්තව වාසය කරන්නාහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දැකීමට මේ සුදුසු කාලය නොවෙයි. භාවනානුයොගී භික්ෂූන් වහන්සේලා දැකීමටත් මේ සුදුසු කාලය නොවෙයි. භාවනානුයොගී භික්ෂුහුද චිත්තවිවෙකයෙන් යුක්ත වූවාහුය. එහෙයින් උදුම්බරිකාවගේ පිරිවැජි ආරාමය යම් තැනකද, නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ යම් තැනකද, මම එහි යන්නෙම් නම් ඉතා යහපතැ’ යි සන්ධාන ගෘහපතියාට අදහසෙක් විය.
එකල්හි සන්ධාන ගෘහපති තෙමේ උදුම්බරිකාවගේ පිරිවැජි ආරාමය යම් තැනකද, නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ යම් තැනකද එහි පැමිණියේය.
Msdiv 50 එකල්හි නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ මහත් පිරිවැජි පිරිස සමග මහහඬින් නොයෙක් විදියේ පහත් කථා කියමින් හුන්නේය. ඒ කෙසේදයත්, රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහාමාත්‍යයන් පිළිබඳ කථාය, සේනාවන් පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධ පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පාන වර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, සයන පිළිබඳ කථාය, මාලාවන් පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, සූරයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, නාන තොටවල් පිළිබඳ කථාය, මළගියවුන් පිළිබඳ කථාය, නොයෙක් ආත්ම පිළිබඳ කථාය, ලොකායත ශාස්ත්‍රය පිළිබඳ කථාය, සමුද්‍රයාගේ හටගැනීම පිළිබඳ කථාය, මෙසේ දියුණුව හා පිරිහීම වේය යනාදිය පිළිබඳ කථාය යන (තිර්ශ්චීන) පහත් කථාවෝය.
Msdiv 51 නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ එන්නාවූ සන්ධාන ගෘහපතියා ඈතදීම දුටුවේය. දැක සිය පිරිස හසුරුවාලීය. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකවූ සන්ධාන ගෘහපති තෙමේ එයි. “සුදුවත් හඳනාවූ රජගහ නුවර වාසය කරන්නාවූ යම් පමණ ගිහි ශ්‍රාවකයෝ වෙත්ද මේ සන්ධාන ගෘහපති තෙමේ ඔවුන් අතුරෙන් එකෙකි. ආයුෂ්මත්නි, මොව්හු වනාහි නිශ්ශබ්දතාවය කැමැත්තෝය. නිශ්ශබ්ද තාවයෙහි හික්මුණෝය. නිශ්ශබ්දතාවයෙහි ගුණ කියන්නෝය. නිශ්ශබ්ද පිරිසක් බව දැන මෙහි පැමිණිය යුතු කොට සිතන්නේ නම් ඉතා යහපතැ”යි කීය. මෙසේ කී කල්හි පිරිවැජියෝ නිශ්ශබ්ද වූවාහුය.
Msdiv 52 එකල්හි සන්ධාන ගෘහපති තෙමේ නිග්‍රොධ පරිබ්‍රාජකයා යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ නිග්‍රොධ පරිබ්‍රාජකයා සමග සතුටු විය. සතුටු වියයුතු, සිහි කටයුතු කථා කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තකහුන් සන්ධාන ගෘහපති තෙමේ නිග්‍රොධ පරිබ්‍රාජකයාට මෙසේ කීයේය.
“පින්වත්නි, මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ එක් රැස්ව මහ හඬින් යුක්තව උස්ශබ්ද මහත්ශබ්ද ඇත්තාහු නොයෙක් විදියේ (තිරිසන්) පහත් කථාවෙහි යෙදුනාහු වාසය කරත්. ඒ කෙසේදයත්, රජවරුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහාමාත්‍යයන් පිළිබඳ කථාය, සේනාවන් පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධ පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, මාලාවන් පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, සූරයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, නාන තොටවල් පිළිබඳ කථාය, මළගියවුන් පිළිබඳ කථාය, නොයෙක් ආත්ම පිළිබඳ කථාය, ලොකායත ශාස්ත්‍රය පිළිබඳ කථාය, සමුද්‍රයේ හටගැනීම පිළිබඳ කථාය, මෙසේ දියුණුව හා පිරිහීම වේය යනාදිය පිළිබඳ කථාය යන (තිරිසන්) පහත් කථාවෝයි. ඒ භාගව්‍යතුන් වහන්සේ වනාහි අන් පරිද්දකින්ම ස්වල්ප ශබ්ද ඇත්තාවූද, ස්වල්ප ඝොෂා ඇත්තාවූද, ජනවාතයෙන් වෙන්වූ, මිනිසුන්ගේ රහස් කටයුතුවලට යොග්‍යවූ, එකී භාවයට සුදුසුවූ ගම් සීමා ඉක්මවූ දුර වාසස්ථානද, මනුෂ්‍ය වාසසීමා ඉක්මවූ ඉතා දුර වාසස්සාථනද සේවනය කරත්.”
Msdiv 53 මෙසේ කී කල්හි නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ සන්ධාන ගෘපහතියාට මෙසේ කීයේය. “ගෘහපතිය, එසේ නම් ශ්‍රමණ ගෞතම තෙමේ කවරෙකු සමග කථා කරන්නේ දැයි දන්නෙහිද, කවරෙකු සමග සාකච්ඡාවට පැමිණෙන්නේද, කවරෙකු සමග උත්තරයට උත්තර දීමේ ක්‍රමයෙන් නුවණැති බවට පැමිණේද, ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණ වනාන්තරයන්හිදී විනාශ විය. ශ්‍රමණ ගෞතම තෙමේ විශාරද නුවූ බැවින් පිරිස් මැදට පැමිණෙන්ට අසමර්ථය, කථාවෙහි අසමර්ථය, හෙතෙමේ ‘කිසිවෙක් මා අතින් ප්‍රශ්න විචාරති’යි ප්‍රශ්නයට බය වූයේ (ගම් කෙළවර) වනයේ දුර සෙනසුන්ම සේවනය කරයි. කිසිවක් ඇඟ වැදේදෝයි බයෙන් අයින් වෙවී යන එකැස් කණ ගවදෙනක් මෙනි. මෙපරිද්දෙන්ම ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණ වනාන්තරයන්හිදී විනාශ විය. ශ්‍රමණ ගෞතම තෙමේ පිරිස් අතර නොහැසිරෙන්නෙකි. කථාවෙහි අසමර්ථය, හෙතෙමේ දුර වාසස්ථාන සේවනය කරයි.
එසේ නම් ගෘහපතිය, ශ්‍රමණ ගෞතමයන් මේ පිරිසට පැමිණියොත් එක ප්‍රශ්නයෙන්ම ඔවුන් වෙහෙසට පමුණුවම්හ. ඔහු හිස් කළයක් මෙන් පෙරලා හැම පැත්තෙන්ම නමා බැඳ තබම්හ” කීය.
Msdiv 54 නිග්‍රොධ පරිබ්‍රාජකයා සමග පවත්වන ලද සන්ධාන ගෘහපතියාගේ මේ කථාසංලාපය භාග්‍යවතුන් වහන්සේ අතිශයින් පිරිසිදුවූ, මිනිස් කණ ඉක්මවූ දිවකණින් ඇසූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් බැස, ‘සුමාගධා’ නම් පොකුණු ඉවුරෙහි මොරනිවාපය (මොනරුන්ගේ අභය ස්ථානය) යම් තැනකද එතනට පැමිණියෝය. පැමිණ, ‘සුමාගධා’ පොකුණු ඉවුරෙහිවූ මොරනිවාපයෙහි එලිමහනේ සක්මන් කළෝය. නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ සුමාගධා පොකුණු ඉවුරෙහිවූ මොරනිවාපයෙහි එලිමහනේ සක්මන් කරන භාග්‍යවතුන්වහන්සේ දුටුයේය. දැක පින්වත්නි, නිශ්ශබ්ද වව්, පින්වත්නි, ශබ්ද නොකරව්, මේ ශ්‍රමණ ගෞතම තෙමේ සුමාගධා පොකුණු ඉවුරෙහිවූ මොරනිවාපයෙහි එළිමහනේ සක්මන් කරයි. ඒ ආයුෂ්මත් තෙමේ නිශ්ශබ්දතාවය කැමැත්තේය. නිශ්ශබ්දතාවයේ ගුණ කියන්නෙක. නිශ්ශබ්ද පිරිසක් බව දැන මෙහි පැමිණිය යුතු කොට සිතන්නේය. ඉඳින් ශ්‍රමණ ගෞතම තෙමේ මේ පිරිසට පැමිණියොත් ඉතා යහපතියි තම පිරිස හසුරුවාලීය.
ඉඳින් ශ්‍රමණභවත් ගෞතම තෙමේ මේ පිරිසට එන්නේ නම් ‘ස්වාමීනි, යම් ධර්මයකින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවාද භාග්‍යවතුන් වහන්සේ විසින් හික්මවනලද ශ්‍රාවකයෝ සතුටට පැමිණ තමහට පිහිටවූ මුල් ප්‍රතිපත්තියවූ ආර්‍ය්‍ය මාර්ගයයි යම් ධර්මයක් ප්‍රකාශ කරත්ද භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්මය කවරේද යන මේ ප්‍රශ්නය අසන්නෙමුයි කීය. මෙසේ කී කල්හි ඒ පරිබ්‍රාජකයෝ නිශ්ශබ්ද වූවාහුය.
තපොජිගුච්ඡාවාදො Msdiv 55 එවිට භාග්‍යවතුන් වහන්සේ නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ යම් තැනකද එතනට පැමිණියහ. එවිට නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මෙහි වඩිනු මැනව. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ මේ පැමිණීම යහපත් පැමිණීමකි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලකින් මෙහි පැමිණියහ. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, වැඩහිඳිනු මැනව. මේ ආසනය පනවනලදැ’යි කීයේය. පනවනලද ආසනයෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩහුන්නෝය. නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේද එක්තරා මිටි ආසනයක් ගෙන එක පැත්තක හුන්නේය. එකපැත්තක හුන් නිග්‍රොධ පරිබ්‍රාජකයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීහ. නිග්‍රොධය, දැන් තෙපි කවර කථාවකින් යුක්තව හුන්නාහුද, තොප විසින් කවර කථාවක් අතර නවත්වන ලද්දීද? මෙසේ කී කල්හි නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය.
“ස්වාමීනි, මෙහි අපි ‘සුමාගධා’ නම් පොකුණු ඉවුරෙහි මොරනිවාපයෙහි එලිමහනේ සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ දුටුවෙමු. දැක මෙසේ කීවෙමු. “ඉදින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ පිරිසට වැඩියොත් උන්වහන්සේ අතින් මේ ප්‍රශ්නය අසන්නෙමු. යම් ධර්මයකින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවාද භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ධර්මයකින් හික්මවනලද ශ්‍රාවකයෝ සතුටට පැමිණියාහු තමහට නිශ්‍රයවූ-(පිහිටවූ) මුල් ප්‍රතිපත්තියවූ ආර්‍ය්‍යමාර්ගයයි යම්ධර්මයක් ප්‍රකාශ කරද්ද, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්මය කවරේද?’ යනුයි. ස්වාමීනි, අප විසින් මේ කථාව අතරතුර නවත්වනලදී. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පැමිණියෝය.
Msdiv 56 “නිග්‍රොධය, අන්‍ය දෘෂ්ටිකවූ, අන්‍ය ලබ්ධිකවූ, වෙනත් බලාපොරොත්තු ඇති අන්‍ය ප්‍රතිපත්තියක පිහිටියාවූ අන්‍ය තීර්ථායතනයක ගුරුවූ තොප විසින්, යම් ධර්මයකින් මම ශ්‍රාවකයන් හික්මවම්ද, යම් ධර්මයකින් මා විසින් හික්මවන ලද ශ්‍රාවකයෝ සතුටට පැමිණියාහු තමහට ආශ්‍රයට සුදුසුවූ මුල් බ්‍රහ්මචාර්‍ය්‍යාවයයි යම් ධර්මයක් ප්‍රකාශ කරද්ද ඒ ධර්මය නොදත හැක. එසේ හෙයින් නිග්‍රොධය, තෝ ස්වකීය ආචාර්‍යවාදයවූ වීර්යයෙන් පව් පිළිකුල්කිරීම සම්බන්ධව ප්‍රශ්න අසව, “ස්වාමීනි කෙසේවූ, වීර්යයෙන් පව් පිළිකුල් කිරීමක් සම්පූර්ණවේද කෙසේ අසම්පූර්ණ වේදැයි” අසවයි කීහ.
මෙසේ කී කල්හි “පින්වත්නි, යමෙක් ස්වකීය ධර්මක්‍රමය තබා අනුන්ගේ ධර්ම ක්‍රමය ගැන ප්‍රශ්න විචාරවයි පවරන්නේද ඒ ශ්‍රමණගෞතමයන්ගේ මහත්ඍද්ධි ඇති බව, මහත් ආනුභාව ඇති බව ආශ්චර්‍යය, අද්භූතය”යි. ඒ පරිබ්‍රාජකයෝ මහත්සේ හඬ නැඟුහ.
Msdiv 57 එකල්හි නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ ඒ පරිබ්‍රාජකයන් නිශ්ශබ්ද කොට භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. ස්වාමීනි, අපි වීර්යයෙන් පව් පිළිකුල් කිරීම කියන්නෝ වමු. වීර්යයෙන් පව් පිළිකුල්කිරීම සාර වශයෙන් ගත්තෝ වමු. වීර්යයෙන් පව් පිළිකුල් කිරීමෙහි ඇලුනාහු වාසය කරමු. ස්වාමීනි, කෙසේවූ වීර්යයෙන් පව් පිළිකුල් කිරීම සම්පූර්ණවේද? කෙසේ නම් අසම්පූර්ණවේදැයි?” ඇසීය.
“නිග්‍රොධය, මේ ලෝකයෙහි යහපත් පැවතුම්වලින් මිදුණාවූ කෑම කා අත ලොවින්නාවූ, ‘එව වහන්සයයි’ කී කල්හි නොපිළිගන්නාවූ, ‘සිටුව වහන්සැයි’ කී කල්හි නොපිළිගන්නාවූ, එලවන ලද දෙය පිළිනොගන්නාවූ, උදෙසා කරන ලද්ද නොපිළිගන්නාවූ ආරාධනාකොට දුන් දේ නොපිළිගන්නාවූ, නිර්වස්ත්‍ර තාපසයෙක් වෙයි. හෙතෙමේ සැලියෙන් ගත් කෙණෙහි නොපිළිගණියි. සැලිමුවවිටින් නොපිළිගණියි. එලිපත අතර කොට දුන් දෙය නොපිළිගණියි. දණ්ඩක් අතර කොට දුන් දෙය නොපිළිගණියි. මොහොලක් අතර කොට දුන්දෙය නොපිළිගණියි. කෑමකන දෙදෙනකු අතුරෙන් එකෙක් දුන් දෙය පිළිනොගණියි. ගැබිනිය විසින් දුන් දෙය නොපිළිගණියි. කිරිපොවන්නිය විසින් දුන්දෙය නොපිළිගණියි. පුරුෂයකු අතරට ගිය තැනැත්තිය විසින් දුන්දෙය නොපිළිගණියි. සම්මාදම් කළ දෙයින් කිසිවක් නොපිළිගණියි. යම්තැනක බල්ලෙකු පැමිණ සිටියේද ඔහුට නොදී එහිදී දුන්දෙය නොපිළිගණියි. යම්තැනක මැස්සෝ කැටි කැටිව හැසිරෙත්ද එහිදී දුන්දෙය නොපිළිගණියි. දියමස් නොපිළිගණියි. ගොඩ මස් නොපිළිගණියි. සුරාව නොබොයි. මල් ඉස්මෙන් සැදූ මත්පැන් නොබොයි. කාඩිදිය නොබොයි. ඒ තාපස තෙමේ එකම ගෙයක පිඩු සිඟන්නේ හෝ වෙයි. එකම ආහාර පිඩකින් යැපෙන්නේ හෝ වෙයි. ගෙවල් දෙකක පිඩු සිඟන්නේ හෝ වෙයි. ආහාර දෙපිඩකින් යැපන්නේ හෝ වෙයි. ගෙවල් සතක පිඩු සිඟන්නේ හෝ වෙයි. ආහාර පිඩු සතකින් යැපෙන්නේ හෝ වෙයි. එක් කුඩා බත්තැටියකින් හෝ යැපෙයි. කුඩා බත් තැටි දෙකකින් හෝ යැපෙයි. කුඩා බත්තැටි සතකින් හෝ යැපෙයි. දවසකට වරක් හෝ ආහාර ගණියි, දෙදවසකට වරක් හෝ ආහාර ගණියි. සත් දවසකට වරක් හෝ ආහාර ගණියි. මෙසේ මෙබඳුවූ අඩමසකට වරක්ද වාරභොජනයෙහි යෙදුනේ වාසය කරයි. හෙතෙමේ අමු පලා කයි. බඩහමු තණ කයි. වී ධාන්‍ය කයි. සම් කැබලි කයි. මැලියම් දිය සෙවෙල් කයි. ධාන්‍ය කුඩු කන්නේ හෝ වෙයි. දඹුබත් (දන්කුඩ) කන්නේ හෝ වෙයි. තල ආදි මුරුවට කන්නේ හෝ වෙයි. තණ කන්නේ හෝ වෙයි. ගොම කන්නේ හෝ වෙයි. වන මුල් ගෙඩි කෑම කොට ඇත්තේ හෝ යැපෙයි. ඉබේ වැටුන ගෙඩි කන්නේ හෝ වෙයි. හෙතෙම හනවැහැරී හෝ හඳී. හනවැහැරී මිශ්‍ර රෙදි හෝ හඳී. මිනියෙන් ඉවත්කළ වස්ත්‍ර හෝ දරයි. පංශුකූල වස්ත්‍ර හෝ දරයි. රුක් පතුරු හෝ දරයි. මැදින් පැලු අඳුන් දිවිසම් හෝ දරයි. නියඳ වැහැරි හෝ දරයි. පුවරු වැහැරි හෝ දරයි. හිසකේවලින් කළ කම්බිලිද දරයි. කොටිසමින් කළ කම්බිලිද දරයි. බකමුහුණු පිහාටුවලින් කළ වැහැරිද දරයි. කෙස් රැවුල් උගුලන්නේද වෙයි. කෙස්රැවුල් ඉගිලීමෙහි යෙදුනේ ආසන ඉවත් කළේ උඩුකුරුව සිටියේද වෙයි. උක්කුටික වීර්යයෙන් යුක්තවූයේ උක්කුටිකයෙන් සිටින්නේද වෙයි. කටුමත්තේ ගමන් කරන්නේ කටු ඇතිරිමතුයෙහි නිදාගැනීමද කරයි. පුවරු මත්තේ නිදාගැනීමද කරයි. කුඩා තාප්ප උස් බිම් කන්ඩි උඩ නිදාගැනීම කරන්නේද වෙයි.
දූලි දැලි දරන්නේ එක පැත්තට නිදන්නේද වෙයි. එලිමහනේම වෙසෙයි. පළමුව එලු පරිදිමවූ ආසනයේ හිඳී. අසුචි කෑමෙහි යෙදුනේ අසුචිකෑම කරයි. ඇල්දිය පානය නොකරන්නේ ඇල්දිය පානය නොකරයි. උදේ දවල් සවස යන තුන් වේලෙහි පව්සේදීම පිණිස දියට බැසීමෙහි යෙදී වාසය කරයි. නිග්‍රොධය, නුඹ ඒ කුමකැයි සිතන්නෙහිද? මෙසේ ඇති කල්හි වීර්යයෙන් පව් දුරුකිරීම සම්පූර්ණ වේද නැතහොත් සම්පූර්ණ නොවේද?”
“ස්වාමීනි, ඒකාන්තයෙන් මෙසේ ඇති කල්හි වීර්යයෙන් පව් දුරුකිරීම සම්පූර්ණ වෙයි අසම්පූර්ණ නොවෙයි.”
“නිග්‍රොධය, මෙසේ පරිපූර්ණවූ වීර්යයෙන් පව් දුරු කිරීමෙහි ඇති නොයෙක් උපක්ලේශයන් (කිලුටුවන දේ) මම කියමි.”
උපක්ලේශයන් Msdiv 58 “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙසේ පරිපූර්ණවූ වීර්යයෙන් පව් දුරුකිරීමෙහි නොයෙක් උපක්ලේශයන් (කිලුටු) කෙසේ නම් කියන්නේද?”
“නිග්‍රොධය, මේ ලෝකයෙහි තාපසතෙමේ නිර්වස්ත්‍රව හිඳීම් තපස්කම් සමාදන්වෙයි. හෙතෙමේ ඒ තපස්කමින්ම සතුටු සිත් ඇත්තේ, සම්පූර්ණවූ අදහස් ඇත්තේ වෙයි. නිග්‍රොධය, තාපස තෙමේ යම්කිසි තපසක් සමාදන් වේද, හෙතෙමේ ඒ තපසින් සතුටුසිත් ඇත්තේ සම්පූර්ණවූ අදහස් ඇත්තේ වේද නිග්‍රොධය, මේද තාපසයාගේ උපක්ලේශයෙකි. නිග්‍රොධය, නැවතද අනිකක් කියමි. තාපස තෙමේ තපස්කම් සමාදන් වෙයි හෙතෙමේ ඒ තපසින් තමා උසස් කොටද අන්‍යයන් පහත් කොටද දකී. නිග්‍රොධය, තාපස තෙමේ යම් තපසක් සමාදන් වෙයිද හෙතෙමේ ඒ තපසින් තමා උසස් කොටද අන්‍යයන් පහත්කොටද දකී නම් නීග්‍රොධය, මේද තාපසයාගේ උපක්ලේශයෙකි. නිග්‍රොධය නැවතද අනිකක් කියමි, තාපස තෙමේ තපස්කම් සමාදන් වෙයි. හෙතෙමේ ඒ තපසින් මානයෙන් මත්වෙයි. මුසපත් වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. නිග්‍රොධය, තාපසතෙමේ යම් තපසක් සමාදන් වෙයිද, හෙතෙමේ ඒ තපසින් මානයෙන් මත්වේද, මුසපත් වේද, ප්‍රමාදයට පැමිණේද නිග්‍රොධය, මේද තාපසයාගේ උපක්ලේශයෙකි.
Msdiv 59 නිග්‍රොධය, නැවතද අනිකක් කියමි. තාපස තෙමේ තපස්කම් සමාදන් වෙයි. හෙතෙම ඒ තපසින් ලාභ සත්කාර කීර්තියෙන් සතුටුවූයේ සම්පූර්ණවූ අදහස් ඇත්තේ වෙයි. නිග්‍රොධය, තාපස තෙමේ යම් තපසක් සමාදන්වෙයිද හෙතෙමේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයිද හෙතෙමේ ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමෙන් සතුටුවූයේ සම්පූර්ණවූ අදහස් ඇත්තේ වේද නිග්‍රොධය, මේද තාපසයාගේ උපක්ලේශයෙකි. නිග්‍රොධය, නැවතද අනිකක් කියමි. තාපස තෙමේ තපස්කම් සමාදන් වෙයි. හෙතෙමේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි. හෙතෙමේ ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමෙන් තමා උසස් කොටද අන්‍යයා පහත් කොටද සලකයි. නිග්‍රොධය, තාපස තෙමේ යම් තපසක් සමාදන් වෙයිද හෙතෙමේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයිද, හෙතෙමේ ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමෙන් තමා උසස් කොටද අනුන් පහත්කොටද සලකයිද, නිග්‍රොධය, මේද තාපසයාගේ උපක්ලේශයෙකි. (කිලුටෙකි) නිග්‍රොධය, නැවතද අනිකක් කියමි. තාපස තෙමේ තපස්කම් සමාදන් වෙයි. හෙතෙමේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි. හෙතෙමේ ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමෙන් මානයෙන් මත් වෙයි. මුසපත් වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. නිග්‍රොධය, තාපස තෙමේ යම් තපසක් සමාදන් වෙයිද හෙතෙමේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයිද හෙතෙමේ ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමෙන් මානයෙන් මත් වෙයිද මුසපත් වෙයිද ප්‍රමාදයට පැමිණෙයිද නිග්‍රොධය, මේද තාපසයාගේ උපක්ලේශයෙකි. නිග්‍රොධය, නැවතද අනිකක් කියමි. නිග්‍රොධය, තාපස තෙමේ තපස්කම් සමාදන් වෙයි. මේ මට ප්‍රියයි මේ මට ප්‍රිය නොවෙයි කියා භොජනය දෙකොටසකට බෙදයි. හෙතෙමේ යමක් තමාට ප්‍රිය නොවෙයිද එය අපේක්ෂා රහිතව දුරු කරයි. යමක් තමාට ප්‍රියද එය තද ආසාවෙන් ගැලී මුසපත්වූයේ අතිශයින් ඇලුනේ දොස් නොදක්නේ, නුවණින් මෙනෙහි කිරීමක් නැතිව ඒ ආහාර අනුභව කරයි.
Msdiv 60 නිග්‍රොධය, තාපස තෙමේ යම් තපසක් සමාදන් වෙයිද හෙතෙම ඒ තපසින් ප්‍රිය ආහාර, අප්‍රිය ආහාරයයි ආහාර දෙකොටසකට බෙදයිද හෙතෙම යම් ආහාරයක් අකැමති නම් ඒ ආහාරය අපෙක්ෂා රහිතව දුරු කරයිද යම් ආහාරයක් කැමති නම් එහි ගැලී මුසපත්ව ආදීනව නොදැක පරිභොග කෙරේද නිග්‍රොධය, මෙයද තාපසයාගේ උපක්ලේශයෙකි. (කිලුටෙකි)
නිග්‍රොධය, නැවතද අනිකක් කියමි. තාපසතෙමේ ලාභ සත්කාර කීර්ති කැමැත්තේ මට රජවරුද, රාජ මහාමාත්‍යයෝද, ක්ෂත්‍රියයෝද, බ්‍රාහ්මණයෝද, ගෘහපතියෝද, තීර්ථකයෝද, සත්කාර කරන්නාහුයයි තපස්කම් සමාදන් වෙයි. නිග්‍රොධය, මෙයද තාපසයාගේ උපක්ලේශයෙකි (කිලුටෙකි.)
Msdiv 61 නිග්‍රොධය, නැවතද අනිකක් කියමි. මූලබීජය (පැල වෙන මුල්) ඛන්ධබීජය (පැලවෙන කඳන්) ඵළුබීජය (පැල වෙන පුරුක්) අග්ගබීජය (පැලවෙන කරටි) පස්වැනිවූ බීජබීජය (පැලවෙන ඇට) යන මේ කවරක් වුවත් කා දමන සෙනපහරක් වැනි කුළුදත් ඇති මොවුන්ගේ මහණකම කුමක්දැයි වෙනත් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දොස් නඟන්නේ වෙයි.
නිග්‍රොධය, මෙයද තාපසයාගේ උපක්ලේශයෙකි. නිග්‍රොධය, නැවතද අනිකක් කියමි. තාපස තෙමේ කුලයන්හි සත්කාර කරනු ලබන්නාවූ, ගරු කරනු ලබන්නාවූ, බුහුමන් කරනු ලබන්නාවූ, පුදනු ලබන්නාවූ එක්තරා ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ දකියි. දැක ඔහුට මෙබඳු සිතෙක් වෙයි. බොහෝවූ සිවුපසයෙන් දිවි පවත්වන්නාවූ මොහුට කුලයන්හි සත්කාර කරත්, ගරුකරත්, බුහුමන් කරත්, පූජා කරත්, රළු පැවතුම් ඇති තවුස්වූ මට කුලයන්හි සත්කාර නොකරත්, ගරු නොකරත්, බුහුමන් නොකරත්, නොපුදත්. මෙසේ හෙතෙමේ කුලයන්හි ඊෂ්‍යාව හා මසුරුකම උපදවන්නේ වෙයි. නිග්‍රොධය, මෙයද තාපසයාගේ උපක්ලේශයකි.
Msdiv 62 නිග්‍රොධය, නැවතද අනිකක් කියමි. තවුස් තෙමේ මිනිසුන්ට පේන තැන්වල හිඳ තපස්කම් කරයි. නිග්‍රොධය, තාපස තෙමේ මිනිසුන්ට පේන තැන්වල හිඳ තපස්කම් කරයිද මෙයද තාපසයාගේ උපක්ලේශයෙකි.
නිග්‍රොධය, නැවත අනිකක් කියමි. තාපස තෙමේ මේ මාගේ තපසයයි මේ මාගේ තාපසයයි තමාගේ ගුණ පෙන්වමින්කුලයන්හි හැසිරෙයි. නිග්‍රොධය, මෙයද තාපසයාගේ උපක්ලේශයෙකි.
නිග්‍රොධය, නැවතද අනිකක් කියමි. ඔබට මෙය රුචි දැයි අසන ලද්දේ නොකැමති දෙයට කැමතියයි කියයි. කැමති දෙයට නොකමැතියයි කියමින් අනුන් දැන නොගන්නා සේ කිසියම් වරදක් කරයි. මෙසේ හෙතෙමේ දැන දැන බොරු කියන්නේ වෙයි. නිග්‍රොධය, මෙයද තාපසයාගේ උපක්ලේශයෙකි.
නිග්‍රොධය, නැවතද අනිකක් කියමි. තාපස තෙමේ ධර්මය දෙසන්නාවූ තථාගතයන්ගේ හෝ තථාගත ශ්‍රාවකයකුගේ හෝ සතුටු වියයුතු ශාන්තධර්ම ක්‍රමයට සතුටු නොවෙයි. නිග්‍රොධය, මෙයද තාපසයාගේ උපක්ලේශයකි.
Msdiv 63 නිග්‍රොධය නැවත ද අනිකක් කියමි. තාපස තෙමේ ක්‍රොධ කරන්නේ, බද්ධ වෛර ඇත්තේ වෙයි. නිග්‍රොධය තාපස තෙමේ යම් හෙයකින් ක්‍රොධ කරන්නේ බද්ධ වෛර ඇත්තේ වේද මෙයද තාපසයාගේ උපක්ලේශයෙකි.
නිග්‍රොධය, නැවතද අනිකක් කියමි. තාපස තෙමේ ගුණමකුවූයේ ගුණවතුන් හා තමා සම කොට සිතන්නේ වෙයි. ඊර්ෂ්‍යා කරන්නේ මසුරුවූයේ වෙයි. කෛරාටිකවූයේ අනුන් රවටන්නේ වෙයි. තද බව ඇත්තේ අධිකමානයෙන් යුක්තවූයේ වෙයි. ලාමක අදහස් ඇත්තේ ලාමක අදහස්වලට වසඟවූයේ වෙයි. වැරදි ඇදහීම් ඇති වූයේ උච්ඡේද දෘෂ්ටියෙන් (සංසාරයක් නැතැයි විස්වාසයෙන්) යුක්තවූයේ වෙයි. ස්වකීය දෘෂ්ටිය ආශ්‍රය කරන්නේ එය දැඩිව අල්ලා ගත්තේ එය දුරලිය නොහැක්කේ වෙයි. නිග්‍රොධය, යම් හෙයකින් තාපස තෙමේ ස්වකීය දෘෂ්ටිය ආශ්‍රය කරන්නේ එය දැඩිව අල්ලාගත්තේ දුරලිය නොහැක්කේවේද නිග්‍රොධය, මෙයද තාපසයාගේ උපක්ලේශයෙකි.
නිග්‍රොධය, ඒ කුමකැයි සිතන්නෙහිද? යම් මේ තපොජිගුච්ඡා (වීර්යයෙන් පව් බැහැර කිරීම්) කෙනෙක් වෙත්ද ඔව්හු උපක්ලේශයෝද නැතහොත් අනුපක්ලේශයෝද? “ස්වාමීනි, එකාන්තයෙන් මේ තපොජිගුච්ඡාවෝ උපක්ලේශයෝය අනුපක්ලේශයෝ නොවෙත්මය.”
“ස්වාමීනි මෙසේ වීමට ඉඩ ඇත්තේය. යම් හේතුවකින් ඇතැම් තාපසයෙක් මේ සියලු උපක්ලේශයන්ගෙන් යුක්ත වන්නේය. එක එකකින් යුක්තවීම කියනුම කවරේද?”
පරිසුද්ධපපටිකප්පත්තකථා Msdiv 64 “නිග්‍රොධය, මේ ලෝකයෙහි තාපසතෙමේ තපස්කම් සමාදන් වෙයි. හෙතෙමේ ඒ තපසින් සතුටු නොවන්නේ සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. නිග්‍රොධය, තාපස තෙමේ යම් තපසක් සමාදන් වෙයිද හෙතෙමේ ඒ තපසින් සතුටුනොවූයේ සම්පූර්ණ අදහස් ඇත්තේ නොවේද මෙසේ හෙතෙමේ ඒ කාරණයෙහි පිරිසිදු වූවෙක් වෙයි.
“නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ තපස්කම් සමාදන් වෙයි. හෙතෙමේ ඒ තපසින් තමා උසස්කොට නොසලකයි. අන්‍යයා හෙලා නොදකියි. නිග්‍රොධය, තාපස තෙමේ යම් තපසක් සමාදන් වෙයිද හෙතෙමේ ඒ තපසින් තමා උසස් කොට නොසලකයිද අන්‍යයා හෙලා නොදකියිද මෙසේ හෙතෙමේ ඒ කාරණයෙහි පිරිසිදු වෙයි.
“නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ තපස්කම් සමාදන් වෙයි. හෙතෙමේ ඒ තපසින් මත් නොවෙයි. ක්ලාන්ත නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. නිග්‍රොධය, තාපසතෙමේ යම් තපසක් සමාදන්වේද හෙතෙමේ ඒ තපසින් මත් නොවෙයිද මුසපත් නොවෙයිද ප්‍රමාදයට නොපැමිණෙයිද මෙසේ හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි.
Msdiv 65 නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ තපස්කම් සමාදන් වෙයි. හෙතෙමේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි. හෙතෙමේ ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමෙන් සතුටුවන්නේ නොවෙයි. සම්පූර්ණකළ අදහස් ඇත්තේ නොවෙයි. නිග්‍රොධය, තාපස තෙමේ යම් තපසක් සමාදන් වෙයිද, හෙතෙමේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයිද, හෙතෙමේ ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමෙන් සතුටු නොවන්නේද සම්පූර්ණ කළ අදහස් ඇත්තේ නොවෙයිද මෙසේ හෙතෙමේ ඒ කරුණෙහිදී පිරිසිදු වෙයි.
නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ තපස්කම් සමාදන් වෙයි. හෙතෙමේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි. හෙතෙමේ ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමෙන් තමන් උසස් කොට නොසලකයි. අනුන් හෙලා නොදකියි. නිග්‍රොධය, තාපස තෙමේ යම් තපසක් සමාදන් වෙයිද හෙතෙමේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයිද හෙතෙමේ ඒ ලාභසත්කාර කීර්ති ඉපදවීමෙන් තමා උසස් කොට නොසලකයිද, අනුන් හෙලා නොදකියිද මෙසේ හෙතෙමේ මේ කාරණයේදී පිරිසිදු වේ.
නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ තපස්කම් සමාදන් වෙයි. හෙතෙමේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයි. හෙතෙමේ ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමෙන් මානයෙන් මත් නොවෙයි. මුසපත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. නිග්‍රොධය, තාපස තෙමේ යම් තපසක් සමාදන් වෙයිද, හෙතෙමේ ඒ තපසින් ලාභ සත්කාර කීර්ති උපදවයිද, හෙතෙමේ ඒ ලාභ සත්කාර කීර්ති ඉපදවීමෙන් මාන වශයෙන් මත් නොවෙයිද මුසපත් නොවෙයිද, ප්‍රමාදයට නොපැමිණෙයිද මෙසේ හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි.
Msdiv 66 “නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ තපස්කම් සමාදන්වෙයි. හෙතෙමේ මේ මට ප්‍රියයි මේ මට ප්‍රිය නොවෙයි කියා කෑම දෙකොටසකට නොබෙදයි. හෙතෙමේ තමාට යමක් ප්‍රිය නොවෙයිද එය බලාපොරොත්තු රහිතව දුරු කරයි. යමක් තමාට ප්‍රියද එය මත් නොවූයේ, මුසපත් නොවූයේ, අතිශයින් නොඇලුනේ, දොස් දක්නාසුලු වූයේ, නුවණින් මෙනෙහි කිරීමෙන් අනුභව කරයිද හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි.
නිග්‍රොධය නැවතද අනෙකක් කියමි. තාපසතෙමේ ‘මට රජවරුද, රාජ මහාමාත්‍යයෝද, ක්ෂත්‍රියයෝද, බ්‍රාහ්මණයෝද, ගෘහපතියෝද යන මොව්හු සත්කාර කරන්නාහුය’යි තපස්කම් සමාදන් නොවෙයිද, හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි.
Msdiv 67 “නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. “මූලබීජය, ඛන්ධබීජය, ඵලු බීජය, අග්ග බීජය, පස්වැනිවූ බීජ බීජය යන මේ සියල්ල කා දමන හෙන පහරක් වැනි කුළුදත් ඇති මොවුන්ගේ මහණකම කුමක්දැ”යි අනික් ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දොස් නඟන්නේ නොවෙයිද හෙතෙමේ මෙසේ ඒ කාරණයේදී පිරිසිදු වෙයි.
“නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපසතෙමේ කුලයන්හි සත්කාර කරනු ලබන්නාවූ ගරු කරනු ලබන්නාවූ බුහුමන් කරනු ලබන්නාවූ පූජා කරනු ලබන්නාවූ එක්තරා ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු දකී. දැක, ඔහුට මෙසේ නොසිතෙයි. “බොහෝවූ සිවුපසයෙන් දිවි පත්වන්නාවූ මොහුට කුලයන්හි සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පූජා කරත්, රළු පැවතුම් ඇති තාපසයෙක්වූ මට කුලයන්හි සත්කාර නොකරත්, ගරු නොකරත්, බුහුමන් නොකරත්, පූජා නොකරත්ය”යි හෙතෙමේ මෙසේ කුලයන්හි ඊර්ෂ්‍යාව හා මසුරු බව නූපදවයිද, මෙසේ හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි.
Msdiv 68 “නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ මිනිසුන්ට පේන තැන්වල තපස්කම් නොකරයිද මෙසේ හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වේ.
“නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ මේ මාගේ තපසයයි, මේ මාගේ තපසයයි, තමාගේ ගුණ පෙන්වමින් කුලයන්හි නොහැසිරේද මෙසේ හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි.
“නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. ඔබට මෙය රුචිදැයි විචාරන ලද්දේ නොකැමති දෙයට හෝ කැමතියයි නොකියයිද, කැමති දෙයට නොකැමතියයි හෝ නොකියයිද සැඟවී කිසිවක් නොකරයිද, මෙසේ හෙතෙමේ දැන දැන බොරු නොකියන්නේ වෙයිද, මෙපරිද්දෙන් හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි.
“නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ ධර්මය දෙශනා කරන්නාවූ තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්‍රාවකයකුගේ හෝ සතුටුවිය යුතු ශාන්ත ධර්ම ක්‍රමයට සතුටු වෙයි. මෙසේ හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි.
Msdiv 69 “නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපසතෙමේ ක්‍රොධ නොකරන්නේ, බද්ධ වෛර නැත්තේ වෙයි. නිග්‍රොධය තාපසතෙමේ යම් හෙයකින් ක්‍රොධ නොකරන්නේ, බද්ධවෛර නැත්තේ වේද හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි.
“නිග්‍රොධය, නැවතද අනෙකක් කියමි. තාපස තෙමේ ගුණමකු නොවූයේ ගුණවතුන් හා තමා සම කොට නොසිතන්නේ වෙයි. ඊර්ෂ්‍යා නැත්තේ මසුරු නොවූයේ වෙයි. කෛරාටික නොවූයේ අනුන් නොරවටන්නේ වෙයි. තදනොවූයේ අධික මාන නැත්තේ වෙයි. ලාමක අදහස් නැත්තේ ලාමක අදහස්වලට වසඟ නොවූයේ වෙයි. වැරදි ඇදහීම් ඇති නොවූයේ උච්ඡේද දෘෂ්ටියෙන් (සංසාරයක් නැතැයි විස්වාස කිරීමෙන්) යුක්ත නොවූයේ වෙයි. දෘෂ්ටිය උසුලා සිටීම නොකරන්නේ එය දැඩිව අල්ලා නොගන්නේ එය ලෙහෙසියෙන් දුරලිය හැක්කේ වෙයි. නිග්‍රොධය, තාපස තෙමේ යම් හෙයකින් ස්වකීය දෘෂ්ටිය උසුලා සිටීම නොකරන්නේ එය දැඩිව අල්ලා නොගන්නේ එය ලෙහෙසියෙන් දුරලිය හැක්කේ වේද හෙතෙමේ ඒ කාරණයෙහිදී පිරිසිදු වෙයි.
“නිග්‍රොධය, නුඹ ඒ කුමකැයි සිතන්නෙහිද, ඉඳින් මෙසේ ඇති කල්හි වීර්යයෙන් පව් දුරු කිරීම (තපො ජිගුච්ඡාව) පිරිසිදු වේද? නැතහොත් අපිරිසිදු වේද?”
“ස්වාමීනි, එකාන්තයෙන්ම මෙසේ ඇති කල්හි තපොජි ගුච්ඡාව පිරිසිදු වන්නේය. අපිරිසිදු නොවන්නේය. උතුම් බවට පැමිණියේද සාර බවට පැමිණියේද වෙයි. “නිග්‍රොධය, මෙපමණකින් තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) උතුම් බවට පැමිණියේද සාර බවට පැමිණියේද නොවෙයි. එතකුදු උවත් ගසක සුඹුලක් බවට පැමිණියේය”යි කීහ.
පරිසුද්ධතචප්පත්තකථා Msdiv 70 “ස්වාමීනි, කෙසේ නම් තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරු කිරීම) උතුම් බවටද සාර බවට පැමිණියේ වේද ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට තපොජිගුච්ඡාව උතුම් බවටද සාර බවටද පමුණුවා ධර්මය දෙශනා කරනසේක් නම් යහපතියි කීය.”
“නිග්‍රොධය, මේ ලොකයෙහි තාපස තෙමේ ‘චාතුයාම’ නම් සංවරයෙන් සංවර වූයේ වෙයි. නිග්‍රොධය තාපස තෙමේ කෙසේනම් ‘චාතුයාම’ සංවරයෙන් යුක්තවූයේවේද? නිග්‍රොධය, මේ ලොකයෙහි තාපසතෙමේ ප්‍රාණඝාත නොකරයිද ප්‍රාණඝාත නොකරවයිද ප්‍රාණඝාත කරන්නාහට අනුබල නොදෙයිද, නොදුන් දෙය නොගනියිද නොදුන් දෙය අනුන් ලවා නොගන්වයිද නොදුන් දෙය ගන්නාහට අනුබල නොදෙන්නේද, බොරු නොකියයිද අනුන් ලවා බොරු නොකියවයිද බොරු කියන්නාහට අනුබල නොදෙයිද, පංචකාම සැප සේවනය නොකරයිද අනුන් ලවා පංචකාම සැප සේවනය නොකරවයිද පංචකාම සැප සේවනය කරන්නාහට අනුබල නොදෙන්නේ වෙයිද, නිග්‍රොධය, මෙසේ තාපස තෙමේ චාතුයාම නම් සංවරයෙන් සංවර වූයේ වෙයි. ඔහුගේ තපස් බැව්හි වැඩෙන ස්වභාවය ඇත්තේ වෙයි. සීලය මතුමත්තේ වඩයි. ගිහි බවට නොපැමිණෙයි. හෙතෙමේ වනය, වෘක්ෂ මූලය, පර්වතය, කඳුරැලිය, පර්වත ගුහාය, ඈත වනය, එලිමහන්ය, පිදුරු ගොඩය යන මේ විවේක තැනක් සේවනය කරයි. හෙතෙමේ පිණ්ඩපාතයෙන් හැරී ආයේ දවල් භොජනයෙන් පසු, පසුබත් කාලයෙහි (සවස්කාලයේ) එරමිනිය ගොතා කය කෙලින් තබා සිහි එළවා හිඳගනියි, හෙතෙමේ ආත්ම නම්වූ ලොකයෙහි ආසාව දුරු කොට පහවූ ආසාව ඇති සිතින් වාසයකරයි. ආසාවෙන් සිත පිරිසිදුකරයි. ක්‍රොධයෙන් හටගත් හිතේ අපිරිසිදු භාවය දුරුකොට ක්‍රොධ රහිත සිත් ඇත්තේ වාසය කරයි. සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ ක්‍රොධයෙන් හටගත් හිතේ අපිරිසිදු භාවයෙන් සිත පිරිසිදු කරයි. අලස භාවය දුරුකොට පහවූ අලස භාවය ඇත්තේ වාසය කරයි. ආලොක සංඥා ඇත්තේ සිහි ඇත්තේ උතුම් ප්‍රඥා ඇත්තේ අලස භාවයෙන් සිත පිරිසිදු කරයි. සිතේ චංචලකම හා පසුතැවීම දුරුකොට නොවිසිර යන සිත් ඇතිව වාසය කරයි. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ සිතේ විසිරයාමෙන් හා පසුතැවීමෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව (සැකය) දුරුකොට එතර කළ විචිකිච්ඡා ඇත්තේ වාසය කරයි. කුසල ධර්මයන්හි කෙසේ කෙසේදැයි පැවැති සැකයෙන් සිත පිරිසිදු කරයි.
Msdiv 71 හෙතෙමේ සිත කිලුටු කරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංචනීවරණයන් දුරු කොට මෛත්‍රි සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිසාවද එසේම තුන්වන දිසාවද, සතරවන දිසාවද, උඩ යට සරස යන සෑම තැන සියලු ලොක සත්වයා කෙරෙහි විසාලවූ මහත්ගතවූ අප්‍රමාණවූ අවෛරීවූ, ක්‍රොධ රහිතවූ මෛත්‍රී සහගත සිතින් වාසය කරයි. කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින්, උපෙක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි තුන්වෙනි සතරවැනි දිසාද මෙසේ උඩ යට සරස යන සෑම තැන සියලු ලෝක සත්වයා කෙරෙහි විශාලවූ, මහද්ගතවූ අප්‍රමාණවූ ක්‍රොධ නැතිවූ උපෙක්ෂා සහගත සිත පතුරුවා වාසය කරයි. නිග්‍රොධය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඉඳින් මෙසේ ඇති කල්හි තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) පිරිසිදුද, නැතහොත් අපිරිසිදුද?
“ස්වාමීනි, ඒකාන්තයෙන්ම මෙසේ ඇති කල්හි තපොජි ගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) පිරිසිදු වෙයි. අපිරිසිදු නොවෙයි. උතුම් වූයේද, සාර වූයේද වෙයි. “නිග්‍රොධය, මෙපමණකින් තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරු කිරීම) උතුම් වූයේද සාර වූයේද නොවෙයි. ගසේ පොත්ත වැනි බවට පැමිණියේ වෙයි.”
පරිසුද්ධඵෙග්ගුප්පත්තකථා Msdiv 72 “ස්වාමීනි, කොපමණකින් තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරු කිරීම) උතුම් බවට පැමිණියේ සාර බවට පැමිණියේ වෙයිද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) උතුම් බවටද සාර බවටද පමුණුවා ධර්මදෙශනා කරත් නම් යහපති.”
“නිග්‍රොධය, මේ ලොකයෙහි තාපස තෙමේ චාතුයාම නම් සංවරයෙන් සංවර වූයේ වෙයි. නිග්‍රොධය, කෙසේ නම් තාපස තෙමේ චාතුයාම සංවරයෙන් සංවර වූයේ නම් වේද?
“නිග්‍රොධය, මේ ලොකයෙහි තාපස තෙමේ ප්‍රාණඝාත නොකරයිද, ප්‍රාණඝාත නොකරවයිද, ප්‍රාණඝාත කරන්නාහට අනුබල නොදෙයිද, නොදුන් දෙය නොගනියිද, නොදුන් දෙය අනුන් ලවා නොගන්නවයිද, නොදුන් දෙය ගන්නාහට අනුබල නොදෙන්නේ වෙයිද, බොරු නොකියයිද, අනුන් ලවා බොරු නොකියවයිද, බොරු කියන්නාහට අනුබල නොදෙයිද, පංචකාම සැප සේවනය නොකරයිද, අනුන් ලවා පංචකාම සැප සේවනය නොකරවයිද, පංචකාම සැප සේවනය කරන්නා හට අනුබල නොදෙන්නේ වෙයිද, නිග්‍රොධය, යම් හේතුවකින් තාපස තෙමේ මෙසේ චාතුයාම සංවරයෙන් සංවර වූයේ වෙයි නම් මේද ඔහුගේ තපස් බවෙකි. හෙතෙමේ සීලය මතු මත්තේ වඩයි, ගිහි භාවයට නොපැමිණෙයි,
හෙතෙමේ, වනය, වෘක්ෂමූලය, පර්වතය, කඳුරැලිය, පර්වත ගුහාය, සොහොනය, වනයේ ඈතය, එලිමහන්ය, පිදුරු ගොඩය යන විවේක ස්ථානයක් සේවනය කරයි, හෙතෙමේ පිණ්ඩපාතයෙන් හැරී ආයේ භොජනයෙන් පසු සවස්වරුවේ එරමිනිය ගොතා කය කෙලින් තබා සිහි එළවා හිඳගනියි. හෙතෙමේ ආත්ම නම්වූ ලොකයෙහි ආසාව දුරුකොට පහවූ ආසාව ඇති සිතින් වාසයකරයි. ආසාවෙන් සිත පිරිසිදු කරයි. ක්‍රොධයෙන් හටගත් හිතේ අපිරිසිදු භාවය දුරුකොට ක්‍රොධයෙන් වෙන්වූ සිත් ඇතිව වාසය කරයි. සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ ක්‍රොධයෙන් හටගත් සිතේ අපිරිසිදු භාවයෙන් සිත පිරිසිදු කරයි. අලසභාවය දුරුකොට පහවූ අලස භාවය ඇතිව වාසය කරයි. ආලොක සංඥා ඇත්තේ සිහි ඇත්තේ උතුම් ප්‍රඥා ඇත්තේ අලස භාවයෙන් සිත පිරිසිදු කරයි. සිතේ විසිරයාම හා පසුතැවීම දුරුකොට සිතේ විසිරයාම හා පසුතැවීම්ද නැත්තේ වාසය කරයි. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ සිතේ විසිරයාම හා පසුතැවීමෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව (සැකය) දුරුකොට එතරකළ විචිකිච්ඡා ඇත්තේ වාසය කරයි. කුසල ධර්මයන්හි කෙසේ කෙසේදැයි පැවැති සැකයෙන් සිත පිරිසිදු කරයි.
හෙතෙමේ සිත කිලුටු කරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංච නීවරණයන් දුරුකොට මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිසාවද එසේම තුන්වන දිසාවද, එසේම සතරවන දිසාවද උඩ යට සරස යන සෑම තැන සියලු ලොක සත්වයා කෙරෙහි විසාලවූ, මහත්වූ, අප්‍රමාණවූ, අවෛරීවූ ක්‍රොධ රහිතවූ මෛත්‍රි සහගත සිතින් වාසය කරයි. කරුණාසහගත සිතින් මුදිතා සහගත සිතින් උපෙක්ෂාසහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි තුන්වෙනි සතරවෙනි දිසාද මෙසේ උඩ යට සරස යන සෑම තැන සියලු ලෝක සත්වයා කෙරෙහි විශාලවූ මහද්ගතවූ අප්‍රමාණවූ ක්‍රොධ නැතිවූ උපෙක්ෂා සහගත සිත පතුරුවා වාසය කරයි.
හෙතෙමේ නානා ප්‍රකාරවූ පූර්වෙනිවාස (පෙර විසූ ජාති පිළිවෙළ) සිහි කරයි. ඒ කෙසේද? ජාති එකක්ද ජාති දෙකක්ද, ජාති තුණක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද ජාති තිසක්ද ජාති සතළිසක්ද ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් ජාති සිය ගණන්ද, නොයෙක් ජාති දහස් ගණන්ද, නොයෙක් ජාති ලක්ෂ ගණන්ද, නොයෙක් සංවෘත (විනාශ වන) කල්පද, නොයෙක් විවෘත (වැඩෙන) කල්පද, නොයෙක් සංවෘත විවෘත (විනාශවන වැඩෙන) කල්පද, අසුවල් තැන උපන්නෙමි, එතැන්හි මෙනම් ඇත්තේ වීමි. මෙනම් ගොත්‍ර ඇත්තේ වීමි, මෙබඳු වර්ණ ඇත්තේ වීමි, මෙබඳු ආහාර ඇත්තේ වීමි, මෙබඳු දුක් සැප විඳින්නේ වීමි, මෙපමණ ආයු කෙළවර කොට ඇත්තේ වීමි. එයින් චුතවූයේ අසුවල් තැන උපන්නේ වීමි. එහිදු මෙනම් ඇත්තේ මෙබඳු ගොත්‍ර ඇත්තේ මෙබඳු වර්ණ ඇත්තේ, මෙබඳු ආහාර ඇත්තේ, මෙවැනි දුක් සැප විඳින්නේ මෙබඳු ආයු කෙළවර කොට ඇත්තේ වීමි. එයින් චුතවූයේ මෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතව, තේරුම් සහිතව නොයෙක් ආකාර පෙර විසූ ජාති පිළිවෙළ සිහි කරයි. නිග්‍රොධය, නුඹ එය කුමකැයි සිතන්නෙහිද? ඉඳින් මෙසේ ඇති කල්හි තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) පිරිසිදු වේද? අපිරිසිදුවේද”
“ස්වාමීනි, එකාන්තයෙන්ම මෙසේ ඇති කල්හි තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) පිරිසිදු වෙයි, අපිරිසිදු නොවෙයි. උතුම්ද වෙයි. සාරද වෙයි.”
“නිග්‍රොධය, මෙපමණකින්ම තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) උතුම්ද සාරද නොවෙයි. එතකුදු වුවත් ගසේ එලය වැනි බවට පැමිණියේ වෙයි.”
පරිසුද්ධඅග්ගප්පත්තසාරප්පත්තකථා Msdiv 73 “ස්වාමීනි, කොපමණකින් වනාහි තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) උතුම් බවට පැමිණියේ වේද, සාර බවට පැමිණියේ වේද, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මට තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) උතුම් බවටද සාර බවටද පමුණුවා ධර්මදෙශනා කරණසේක් නම් යහපති.”
“නිග්‍රොධය, මේ ලොකයෙහි තාපස තෙමේ චාතුයාම සංවරයෙන් සංවර වූයේ වෙයි. නිග්‍රොධය තාපස තෙමේ කෙසේනම් චාතුයාම සංවරයෙන් යුක්තවූයේ වේද? නිග්‍රොධය, මේ ලොකයෙහි තාපස තෙමේ ප්‍රාණඝාත නොකරයිද ප්‍රාණ ඝාත නොකරවයිද ප්‍රාණඝාත කරන්නාහට අනුබල නොදෙයිද, නොදුන් දෙය නොගනියිද නොදුන් දෙය අනුන් ලවා නොගන්වයිද නොදුන් දෙය ගන්නාහට අනුබල නොදෙන්නේද, බොරු නොකියයිද, අනුන් ලවා බොරු නොකියවයිද, බොරු කියන්නාහට අනුබල නොදෙයිද, පංචකාම සැප සේවනය නොකරයිද, අනුන් ලවා පංචකාම සැප සේවනය නොකරයිද, පංච කාමසැප සේවනය කරන්නාහට අනුබල නොදෙන්නේ වෙයිද, නිග්‍රොධය, මෙසේ තාපස තෙමේ චාතුයාම සංවරයෙන් සංවර වූයේ වෙයි. ඔහුගේ තපස් බැව්හි වැඩෙන ස්වභාවය ඇත්තේ වෙයි. සීලය මතුමත්තේ වඩයි. ගිහිභාවයට නොපැමිණෙයි.
හෙතෙමේ වනය, වෘක්ෂමූලය, පර්වතය, කඳුරැලිය, පර්වත ගුහාය, සොහොනය, වනයේ ඈතය, එළිමහන්ය, පිදුරුගොඩය යන විවේක ස්ථානයක් සේවනය කරයි. හෙතෙමේ පිණ්ඩපාතයෙන් හැරී ආයේ සවස්වරුවෙහි එරමිනියා ගොතා කය කෙළින් තබා සිහිඑළවා හිඳගනියි. හෙතෙමේ ආත්ම නම්වූ ලොකයෙහි ආසාව දුරුකොට පහවූ ආසාව ඇතිව සිතින් වාසය කරයි. ආසාවෙන් සිත පිරිසිදු කරයි. ක්‍රොධයෙන් හටගත් හිතේ අපිරිසිදු භාවය දුරුකොට ක්‍රොධයෙන් වෙන්වූ සිත් ඇත්තේ වාසය කරයි. සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ ක්‍රොධයෙන් හටගත් සිතේ අපිරිසිදු භාවයෙන් සිත පිරිසිදු කරයි. අලසභාවය දුරුකොට පහවූ අලසභාවය ඇත්තේ වාසය කරයි. ආලොක සංඥා ඇත්තේ සිහි ඇත්තේ උතුම් ප්‍රඥා ඇත්තේ අලසභාවයෙන් සිත පිරිසිදු කරයි. නොසන්සුන්කම හා පසුතැවීම දුරුකොට නොසන්සුන්කම නැත්තේ වාසය කරයි. ඇතුලත සංසිඳුනු සිත් ඇත්තේ නොසන්සුන්කම හා පසුතැවීමෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව (සැකය) දුරුකොට එතර කළ විචිකිච්ඡා ඇත්තේ වාසයකරයි. කුසල ධර්මයන්හි කෙසේ කෙසේදැයි පැවති සැකයෙන් සිත පිරිසිදු කරයි. හෙතෙමේ හිත කිලුටුකරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ මේ පංචනීවරණයන් දුරුකොට මෛත්‍රී සහගත සිතින් එක්දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිසාවද එසේම තුන්වන දිසාවද එසේම සතරවන දිසාවද උඩ යට සරස යන සැමතැන සියලු ලොක සත්වයා කෙරෙහි විශාලවූ අප්‍රමාණවූ අවෛරීවූ ක්‍රොධ රහිතවූ මෛත්‍රි සහගත සිතින් වාසය කරයි. කරුණා සහගත සිතින්, මුදිතා සහගත සිතින්, උපෙක්ෂා සහගත සිතින්, එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි තුන්වැනි සතරවැනි දිසාද මෙසේ උඩ යට සරස යන සෑම තැන සියලු ලෝක සත්වයා කෙරෙහි විශාලවූ, මහත්ගතවූ, අප්‍රමාණවූ ක්‍රොධ නැතිවූ හිංසා රහිතවූ උපෙක්ෂා සහගත සිත පතුරුවා වාසය කරයි. හෙතෙමේ නානාප්‍රකාරවූ පූර්වෙනිවාසය සිහිකරයි. ඒ කෙසේද? ජාති එකක්ද, ජාති දෙකක්ද, ජාති තුණක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් ජාති සිය ගණන්ද, නොයෙක් ජාති දහස් ගණන්ද, නොයෙක් ජාති ලක්ෂ ගණන්ද, නොයෙක් සංවෘත (විනාශ වන) කල්පද, නොයෙක් විවෘත (වැඩෙන) කල්පද, නොයෙක් සංවෘත විවෘත (විනාශවන වැඩෙන) කල්පද, අසුවල් තැන උපන්මි, එතැන්හි මෙනම් ඇත්තේ වීමි. මෙනම් ගොත්‍ර ඇත්තේ වීමි, මෙබඳු වර්ණ ඇත්තේ වීමි, මෙබඳු ආහාර ඇත්තේ වීමි, මෙබඳු දුක් සැප විඳින්නේ වීමි, මෙපමණ ආයු කෙළවර කොට ඇත්තේ වීමි. එයින් චුත වූයේ අසුවල් තැන උපන්නේ වීමි. එහිදු මෙනම් ඇත්තේ මෙබඳු ගොත්‍ර ඇත්තේ මෙබඳු වර්ණ ඇත්තේ, මෙබඳු ආහාර ඇත්තේ, මෙවැනි දුක් සැප විඳින්නේ මෙබඳු ආයු කෙළවර කොට ඇත්තේ වීමි. එයින්ද චුතවූයේ මෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතව, තේරුම් සහිතව අනෙක ප්‍රකාර පූර්වෙනිවාසානුස් මෘතිය (පෙර විසූ ජාති පිළිවෙළ) සිහි කරයි.
හෙතෙමේ පිරිසිදුවූ මිනිස්ඇස ඉක්මෙව්වාවූ දිව්‍යඥානයෙන් චුත වන්නාවූද, උපදින්නාවූද, හීනවූද, උසස්වූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද, නපුරු ගති ඇත්තාවූද, කම්වූ පරිදි මිය පරලොව යන්නාවූද, සත්වයන් දැනගනී. “පින්වත්නි, මේ සත්වයෝ ඒකාන්තයෙන් කයින් කරන දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වචනයෙන් කරන දුශ්චරිතයෙන් යුක්තවූවාහු, සිතින් කරන දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන්ට දොස් කියන්නාහු, වැරදි ඇදහීම් ඇතිවූවාහු, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවාහු ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු දුර්ගති නම්වූ විනාසයට පැමිණෙන්නා වූ නිරයෙහි උපන්නාහ. පින්වත්නි මේ සත්වයෝ වනාහි කයින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු, වචනයෙන් කරන සුචරිතයෙන් යුක්තවූවාහු, සිතින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන්ට දොස් නොකියන්නාහු සත්‍යවූ දැකීම් ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහු ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපන්නාහුය”යි දකී.
“නිග්‍රොධය, ඒකුමකැයි සිතන්නෙහිද? ඉඳින් මෙසේ ඇති කල්හි තපොජිගුච්ඡාව (වීර්යයෙන් පව් දුරුකිරීම) පිරිසිදු වේද? අපිරිසිදු වේද?” “ස්වාමීනි, එකාන්තයෙන්ම මෙසේ ඇති කල්හි තපොජිගුච්ඡාව පිරිසිදු වෙයි. අපිරිසිදු නොවෙයි. උතුම් වූයේද සාර වූයේද වෙයි.”
Msdiv 74 “නිග්‍රොධය, මෙපමණකින්ම තපොජිගුච්ඡාව උතුම් වූයේද සාර වූයේද වෙ”යි
“නිග්‍රොධය, යම් ධර්මයකින් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවයිද භාග්‍යවතුන් වහන්සේ විසින් හික්මවනලද ඒ ශ්‍රාවකයෝ අස්වැසීමට පැමිණ යම් ධර්මයක් ආර්‍ය්‍ය මාර්ගයට මුල්වේයයි ප්‍රකාශ කරද්ද ඒ ධර්මය කුමක්දැයි යන මෙය තා විසින් මා අතින් විචාරණ ලද්දේය. මම යම් ධර්ම ක්‍රමයකින් ශ්‍රාවකයන් හික්මවම්ද, මා විසින් යම් ධර්ම ක්‍රමයකින් හික්මවන ලද ශ්‍රාවකයෝ අස්වැසීමට පැමිණ යම් ධර්මයක් ආර්‍ය්‍යමාර්ගයට මුල්වේයයි ප්‍රකාශ කරද්ද, ඒ ධර්මක්‍රම මෙසේ ඉතා උතුම්ද ඉතා ප්‍රණීතද වෙයි.” මෙසේ කී කල්හි “මේ කාරණයෙහිලා ආචාර්‍ය්‍යයන් වහන්සේ සහිත අප නැසෙමු. ආචාර්‍ය්‍යයන් වහන්සේ සහිත අපි විනාශවෙමු. අපි මීට වඩා අතිශයින් උතුම් ධර්මයක් නොදනිමුයි” කියා ඒ පරිබ්‍රාජකයෝ මහත්සේ ශබ්ද නැගූහ.
නිග්‍රොධස්ස පජ්ඣායනං Msdiv 75 “සන්ධාන ගෘහපති තෙමේ, දැන් එකාන්තයෙන් මේ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේගේ වචනය මනා කොට අසත්. එයට කන් නමත්. අවබොධ කිරීමේ සිත එළවත්යයි යම් අවස්ථාවක දැනගත්තේද, එකල්හි හෙතෙමේ නිග්‍රොධ පරිබ්‍රාජකයාට මෙසේ කීයේය. “වහන්ස නිග්‍රොධය, ඔබ මට මෙසේ කීයේ නොවේද, “එසේ නම් ගෘහපතිය දැන ගන්න. ශ්‍රමණ ගෞතම තෙමේ කරවකු හා කථාබස් කෙරේද? කවරකු හා කථාකෙරේද? කවරකු හා කථාකර උත්තරයට උත්තර දීමෙන් සමත් බවට පැමිණේද? ශ්‍රමණ ගෞතමයන් බෝමුලදී ලත් නුවණ වනාන්තරයෙහි තනිව විසීමෙන් විනාශ වීය. ශ්‍රමණ ගෞතම තෙමේ විශාරද බවක් නැති බැවින් පිරිසට පැමිණීමට අසමර්ථය. කිසිවකු තමන් අතින් ප්‍රශ්න අසතිය යන බියෙන් ගම් කෙළවර වාසස්ථාන සේවනය කරයි. කිසිවක් ඇඟ වැද්දෝයි බියෙන් අයින් වෙවී යන එකැස් කණ ගවදෙනක් මෙනි. එපරිද්දෙන් ශ්‍රමණ භවත් ගෞතම යන්ගේ ප්‍රඥාව වනාන්තරයෙහිදී නැසුණීය.
ශ්‍රමණ ගෞතම තෙමේ පිරිස්හි නොහැසිරෙන්නෙකි. කථා බස් කිරීමට සුදුසු නොවෙයි. හෙතෙමේ ගම්හි වාස ස්ථාන සේවනය නොකරයි. ගෘහපතිය, එසේ නම් ශ්‍රමණ ගෞතම තෙමේ මේ පිරිසට පැමිණියොත් එක ප්‍රශ්නයෙන්ම කට පියවන්නමු. ඔහු හිස් කලයක් මෙන් පෙරළන්නෙමු”යි කීයෙහිය.’
“ස්වාමීනි, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ මේ භාග්‍යවතුන් වහන්සේ මෙහි පැමිණියෝය. උන්වහන්සේ පිරිස්හි නොහැසිරෙන්නෙක් කරව්. අයින් වෙවී යන එකැස් ගවදෙනක් මෙන් කරව්. එකම ප්‍රශ්නයෙන් උන්වහන්සේගේ කට පියවාලව්. හිස් කලයක් මෙන් යටිකුරු කොට පෙරලව්”යයි කීය. මෙසේ කී කල්හි නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ තුෂ්ණීම්භූත වූයේ (නිශ්ශබ්ද වූයේ) තේජස් රහිත භාවයට පැමිණියේ බෙල්ල නවාගත්තේ බිම බලා ගත්තේ කල්පනා කරන්නේ කිසිවක් නොවැටහෙන්නෙක්ව හුන්නේය.
Msdiv 76 එකල්හි භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භූතවූ තේජස් රහිතවූ, කරබාගත්තාවූ බිම බලාගත්තාවූ, කල්පනා කරන්නාවූ, කිසිවක් නොවැටහෙන්නාවූ නිග්‍රොධ පරිබ්‍රාජකයා දැක ඔහුට මෙසේ කීහ. “නිග්‍රොධය තා විසින් මෙසේ කියන ලද්දේය යනු සැබෑද?”
“ස්වාමීනි, බාලයකු විසින් යම්සේද, මුළාවූවකු විසින් යම්සේද, අදක්ෂයකු විසින් යම්සේද එසේ මා විසින් කියන ලද බව සැබෑය”යි කීය.
“නිග්‍රොධය, තෝ වෘද්ධවූ, මහළුවූ ගුරුවරයින්ගේ ගුරුවරවූ පරිබ්‍රාජකයන්ගෙන්, අතීත කාලයෙහි විසූ අර්හත් සම්‍යක් සම්බුද්ධවරයෝ එක්ව මෙවැනි නොයෙක් තිර්ශ්චීන කථාවල යෙදී විසුවාහුයයි අසා ඇත්තේද? ඒ කථා කවරහුද? රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහාමාත්‍යයන් පිළිබඳ කථාය, සේනාවන් පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්ධය පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පාන වර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, ඇඳන් පිළිබඳ කථාය, මාලාවන් පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, දියුණුව නොදියුණුව පිළිබඳ කථා ආදි තිරශ්චීන (පහත්) කථා මහ හඬින් පවත්වමින් වාසය කළාහුය කියාද, නැතහොත් දැන් මා මෙන් ඒ අතීත කාලයෙහි විසූ බුදුවරු, ස්වල්ප ශබ්ද ඇත්තාවූ මහජන ඝොෂාවෙන් වෙන්වූ ජනයාගේ වාතයෙන් වෙන්වූ, මිනිසුන්ගේ රහස් කටයුතුවලට යොග්‍යවූ, වනයෙහි දුර වාසයකරන ස්ථාන සේවනය කළාහුය”යි කියා අසා ඇත්තේද?
“ස්වාමීනි, පරිබ්‍රාජකවූ, වෘද්ධවූ, මහළුවූ මාගේ ගුරුවරයින්ගේ ගුරුවරයන්ගෙන් “අතීත කාලයෙහි විසූ අර්හත් සම්‍යක් සම්බුද්ධවරයෝ අප මෙන් රාජකථාය, චොරකථාය, පුරුෂයන් පිළිබඳ කථාය, සූරයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, නාන තොට පිළිබඳ කථාය, පූර්ව ප්‍රෙතයන් පිළිබඳ කථාය, නොයෙක් ආත්ම පිළිබඳ කථාය, ලොකායත ශාස්ත්‍රය පිළිබඳ කථාය, සත්වයන්ගේ හටගැනීම පිළිබඳ කථාය, දියුණුව නොදියුණුව පිළිබඳ කථා ආදි තිරශ්චීන (පහත්) කථා මහ හඬින් පවත්වමින් වාසය නොකළාහුය. ඒ අතීත කාලයෙහිවූ බුදුවරු දැන් ඔබවහන්සේ මෙන් ස්වල්ප ශබ්ද ඇත්තාවූ, මහජන ඝොෂාවෙන් වෙන්වූ, ජනයාගේ වාතයෙන් වෙන්වූ, මිනිසුන්ගේ රහස් කටයුතුවලට යොග්‍යවූ තනිව වාසයට යොග්‍යවූ වනයෙහි දුර වාසස්ථාන සේවනය කළාහුය”යි කියනුවා අසා ඇත්තෙමි.
“නිග්‍රොධය නුවණැත්තාවූ, සිහි ඇත්තාවූ, මහළුවූ යුෂ්මතුන්ට මෙබඳු අදහසක් නොවූයේද, “චතුස්සත්‍යය අවබොධ කළ ඒ භාග්‍යවතුන් වහන්සේ අනුන්ට එය අවබොධ කරවීම පිණිස ධර්මය දෙශනාකරති. දැමුණු ඉන්ද්‍රිය ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ ඉන්ද්‍රිය දමනය පිණිස ධර්මදෙශනා කරති. ශාන්තවූ ඒ භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ ශාන්තවීම පිණිස ධර්මදෙශනා කරති. සසරින් එතරවූ ඒ භාග්‍යවතුන් වහන්සේ අන්‍යයා සසරින් එතරවීම පිණිස ධර්මදෙශනා කරති. කෙළෙස් ගිනි නිවාගත් ඒ භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ කෙළෙස් ගිනි නිවනු පිණිස ධර්මදෙශනා කරති” කියා අදහස් නොවූයේද?
බ්‍රහ්මචරියපරියොසානසච්ඡිකිරියා Msdiv 77 මෙසේ කී කල නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, බාලයකු, මෝඩයකු අදක්ෂයකු කරා වරද යම්සේ පැමිණේද, එසේ වරද මා කරා පැමිණියේය. ඒ මම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවෙමි. ස්වාමීනි, මතු සංවරය (හික්මීම) පිණිස ඒ මාගේ වරද, වරද වශයෙන් පිළිගන්නා සේක්වා.”
“එසේ නම් නිග්‍රොධය, බාලයකු, මෝඩයකු, අදක්ෂයකු කරා වරද යම්සේ පැමිණේද එසේ යම්බඳුවූ ඔබ මෙසේ වරද කීයෙහිද, එසේ කීමෙන් වරද වැරදිකරුවූ ඔබ වෙත පැමිණියේය. නිග්‍රොධය, යම් තැනක පටන් ඔබ වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිදි පිළියම් කරන්නෙහිද, ඔබගේ ඒ වරද අපි පිළිගණිමු. නිග්‍රොධය, යමෙක් වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිදි පිළියම් කෙරේද ඉන්මතු සංවරයට (හික්මීමට) පැමිණේද එය ආර්‍ය්‍ය විනයෙහි වැඩීමක්මය.
“නිග්‍රොධය, මම වනාහි මෙසේ කියමි. “කෛරාටික නොවූ’ මායා නැත්තාවූ, ඍජු ස්වභාව ඇත්තාවූ නුවණැති පුරුෂ තෙමේ මා වෙත පැමිණේවා, මම අනුශාසනා කරමි. මම ධර්මදෙශනා කරමි. අනුශාසනා පරිදි පිළිපදින්නේ ‘කුල පුත්‍රයෝ යමක් සඳහා ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද ඉතා උතුම්වූ බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇති ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිදීම තමා ඉතා උසස් ඥානයෙන් දැන සත්වසක් තුළදී ඊට පැමිණ වාසය කරන්නේය. නිග්‍රොධය, සත් වස තිබේවා. කෛරාටික නොවූ, මායා නැත්තාවූ, ඍජු ස්වභාව ඇත්තාවූ නුවණැති පුරුෂ තෙමේ මා වෙත පැමිණේවා! මම අනුශාසනා කරමි. මම ධර්මදෙශනා කරමි. අනුශාසනා පරිදි පිළිපදින්නේ, කුලපුත්‍රයෝ යමක් සඳහා ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද නිරුත්තරවූ බ්‍රහ්මච්‍ය_ය කෙළවර කොට ඇති ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිදීම තමා ඉතා උසස් ඥානයෙන් දැන සය වසක් තුළදී ඊට පැමිණ වාසය කරන්නේය. පස්වසක්, සිවුවසක්, තුන්වසක්, දෙවසක්, එක්වසක් තුළදී ඊට පැමිණ නාසය කරන්නේය. නිග්‍රොධය එක් වසක් තිබේවා. කෛරාටික නොවූ, මායා නැත්තාවූ, ඍජු ස්වභාව ඇති නුවණැත්තාවූ පුරුෂ තෙමේ මා වෙත පැමිණේවා, මම අනුශාසනා කරමි. මම ධර්මදෙශනා කරමි. අනුශාසනා පරිදි පිළිපදින පුද්ගල තෙමේ, කුල පුත්‍රයෝ යමක් සඳහා ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද ඉතා උතුම්වූ බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇති ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිදීම තමා විශිෂ්ට ඥානයෙන් දැන සත්මසක් තුළදී ඊට පැමිණ වාසය කරන්නේය. නිග්‍රොධය, සත්මසක් තිබේවා. සය මසක්, පස් මසක්, සිවු මසක්, තුන් මසක්, දෙමසක්, එක් මසක්, අඩ මසක් තුළදී ඊට පැමිණ වාසය කරයි. නිග්‍රොධය අඩමස තිබේවා. කෛරාටික නොවූ, මායා නැත්තාවූ, ඍජු ස්වභාව ඇති නුවණැත්තාවූ පුරුෂ තෙමේ මා වෙත පැමිණේවා, මම අනුශාසනා කරමි. මම ධර්මදෙශනා කරමි. අනුශාසනා පරිදි පිළිපදින පුද්ගල තෙමේ, කුල පුත්‍රයෝ යමක් සඳහා ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද ඉතා උතුම්වූ බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇති ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිදීම තමා ඉතා උසස් ඥානයෙන් දැන සත් දවසක් තුළදී ඊට පැමිණ වාසය කරන්නේය.
පරිබ්බාජකානං පජ්ඣායනං Msdiv 78 නිග්‍රොධය, නුඹට මෙබඳු අදහසෙක් වන්නේය. ‘අප අතවැස්සන් කරනු කැමැත්තෙන් ශ්‍රමණ ගෞතම තෙමේ මෙසේ කියන්නේය’ යන අදහසයි. නිග්‍රොධය, මේ කාරණය එසේ නොදත යුතු. යමෙක් ඔබගේ ගුරු වේද, ඔහුම ඔබගේ ගුරු වේවා. නිග්‍රොධය, නුඹට මෙබඳු අදහසක් වන්නේය. ‘ශ්‍රමණ ගෞතම තෙමේ අප ඉගෙනීමෙන් ඉවත් කරනු කැමැත්තේ මෙසේ කියන්නේය’ කියායි. නිග්‍රොධය, මෙය එසේ නොදතයුතුයි. ඔබගේ ඉගෙණීම යමක් වේද, එයම ඔබගේ ඉගෙනීම වේවා, නිග්‍රොධය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ‘ශ්‍රමණ ගෞතම තෙමේ අප ජීවිකා මාර්ගයෙන් ඉවත් කරවනු කැමැත්තේ මෙසේ කියන්නේය’ කියායි.
නිග්‍රොධය, මෙය එසේ නොදතයුතුයි. ඔබගේ යම් ජීවිකාවක්වේද එයම ඔබගේ ජීවිකාමාර්ගය වේවා. නිග්‍රොධය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ‘ආචාර්‍ය්‍යයන් සහිතවූ අපගේ අකුශලයයි කියනලද යම් අකුශල ධර්මයක් වේද ඒ අකුශල ධර්මයන්හි පිහිටුවනු කැමැත්තේ ශ්‍රමණ ගෞතම තෙමේ මෙසේ කියන්නේය’ කියායි. නිග්‍රොධය, ඒ එසේ නොදත යුතු. ආචාර්‍ය්‍යයන් සහිත තොපගේ ඒ අකුශලයයි කියනලද ධර්මයෝම අකුසල් වෙත්වා. නිග්‍රොධය, නුඹට මෙබඳු අදහසෙක් වන්නේය. ‘ආචාර්‍ය්‍යවරයන් සහිත අපගේ කුශලයයි කියනලද යම් කුශල ධර්මයක් වේද, ඒ කුශල ධර්මයන්ගෙන් අප වෙන් කරනු කැමැත්තේ ශ්‍රමණ ගෞතම තෙමේ මෙසේ කියන්නේය’ කියායි. නිග්‍රොධය, මෙය එසේ නොදතයුතුයි. ආචාර්‍ය්‍යවරයන් සහිත තොපගේ කුශලයයි කියන ලද ධර්මයෝම කුශල් වෙත්වා.
“නිග්‍රොධය, මම තොපගේ අතවැසි බව කැමැත්තෙන් මෙසේ නොකියමි. තොප ඉගෙනීමෙන් ඉවත් කරනු කැමැත්තෙන් මෙසේ නොකියමි. තොප ජීවිකා මාර්ගයෙන් ඉවත් කරනු කැමැත්තෙන් මෙසේ නොකියමි. ආචාර්‍ය්‍යයන් සහිතවූ තොපගේ අකුශල යයි කියන ලද යම් අකුශල ධර්ම කෙනෙක් වෙත්ද ඒ අකුශල ධර්මයන්හි පිහිටුවනු කැමැත්තෙන් මෙසේ නොකියමි. ආචාර්‍ය්‍යයන් සහිතවූ තොපගේ කුශලයයි කියන ලද යම් කුශල ධර්ම කෙනෙක් වෙත්ද ඒ කුශල ධර්මයන්ගෙන් වෙන් කරනු කැමැත්තෙන් මෙසේ නොකියමි.
“හිත කෙළෙසන්නාවූ, නැවත ඉපදීම ඇතිකරන්නාවූ, දැවීම් සහිතවූ, දුක් විපාක ඇත්තාවූ මත්තෙහි ජාති ජරා මරණ උපදවන්නාවූ යම් අකුශල ධර්ම කෙනෙක් වෙත්ද, ඔවුන්ගේ දුරුකිරීම පිණිස ධර්මය දෙශනා කරමි. යම් පරිද්දකින් පිළිපන්නාවූ යුෂ්මතුන්ගේ හිත කෙළෙසන්නාවූ ධර්මයෝ දුරුවන්නාහුද, හිත පිරිසිදු කරන්නාවූ ධර්මයෝ දියුණු වන්නාහුද, ප්‍රඥාව සම්පූර්ණ බවටද උසස් බවටද පමුණුවන්නාවූ ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිම තෙමේ උසස් ඥානයෙන් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරව්.”
Msdiv 79 මෙසේ දෙශනා කළ කල්හි ඒ පරිබ්‍රාජකයෝ තුෂ්ණීම්භූත වූවාහු, තේජස් රහිත වූවාහු, කරබාගත්තාහු බිම බලාගත්තාහු, කල්පනා කරන්නාහු, කිසිවක් නොවැටහෙන්නාහු, මාරයා විසින් මඩනාලද සිත් ඇත්තවුන් මෙන් සිටියාහුය.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් වීය. ‘මේ සියලු හිස් පුරුෂයෝ මාරයා විසින් ස්පර්ශ කරන ලද්දාහුය, යම් හේතුවකින් එකකුටද මෙබඳු අදහසක් නොවන්නේය. ‘ඒකාන්තයෙන් අපි දැනගැනීම පිණිස ශ්‍රමණ ගෞතමයන් ලඟ උතුම් පැවතීමෙන් හැසිරෙමු, සත්දවස කුමක්ද? සතිය කෙතරම් සුළුද? අපි ඒ ධර්මය දැනගැනීමට උත්සාහ කරමු, යන අදහසක් ඔවුන්ට නැත්තේය කියායි, එවිට භාග්‍යවතුන් වහන්සේ උදුම්බරිකාවගේ පරිබ්‍රාජිකාරාමයෙහි සිංහනාද කොට අහසට පැනනැඟී ගිජුකුළු පව්වට ගියාහුය. සන්ධාන ගෘහපති තෙමේද එකෙණෙහිම රජගහ නුවරට පැමිණියේය.
විසිපස් වැනිවූ උදුම්බරික සීහනාද සූත්‍රයයි.
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source