LibraryDNDN 26
DN 2642 min read

The Wheel-Turning Monarch

Cakkavattisutta

20
PDFGenerated
01 · Overview

In illustration of his dictum that one should rely on oneself, the Buddha gives a detailed account of the fall of a kingly lineage of the past, and the subsequent degeneration of society. This process, however, is not over, as the Buddha predicts that eventually society will fall into utter chaos. But far in the future, another Buddha, Metteyya, will arise in a time of peace and plenty.

02 · Reading guide

Read the full discourse slowly and reflect on key passages.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

දීඝ නිකාය පාඨික වර්ගය 26. චක්කවත්ති සීහනාද සූත්‍රය අත්තදීපසරණතා Msdiv 80 මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට මාතුලා නම් ගමෙහි වැඩවාසය කළාහුය. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට කථාකළෝය. භික්ෂූන් වහන්සේලාද ‘ස්වාමීන් වහන්ස’ යයි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නෝය. භාග්‍යවතුන් වහන්සේ මේ මතු දැක්වෙන ධර්ම කොට්ඨාසය දේශනා කළහ.

“මහණෙනි, තමන්ම ආරක්ෂාස්ථාන කොට තමන්ම පිහිට කොට වාසය කරව්, එයින් අනෙක් පිහිටක් නැත්තෝව වසවු. ධර්මය ආරක්ෂාස්ථාන කොට, ධර්මය පිහිට කොට වසව්, එයින් අනෙක් සරණක් නැත්තෝව වසව්.

මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් තමන්ම ආරක්ෂාස්ථාන කොට, තමන්ම පිහිට කොට අනෙක් සරණක් නැතිව, ධර්මයම ආරක්ෂාස්ථාන කොට ධර්මය පිහිට කොට අනෙක් සරණක් නැතිව වාසය කෙරේද? යත්:

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කයෙහි කය අනුව බලන්නෙක්ව, කෙළෙස් තවන විර්යය ඇතිව, යහපත් නුවණින් යුක්තව, සිහි ඇතිව, ස්කන්ධ ලෝකයෙහි ඇලීමත් මානසික දුකක් දුරලා වාසය කෙරේ.

වෙදනාවන්හි වෙදනා අනුව බලන්නෙක්ව, සිතෙහි සිත අනුව බලන්නෙක්ව, ධර්මයන්හි ධර්ම අනුව බලන්නෙක්ව කෙළෙස් තවන වීර්යය ඇතිව යහපත් නුවණින් යුක්තව, සිහි ඇතිව ස්කන්ධ ලෝකයෙහි ඇල්මත් මානසික දුකත් දුරලා වාසය කෙරේ.

මහණෙනි, මහණ තෙමේ තමන්ම ආරක්ෂාස්ථාන කොට, තමන්ම පිහිටකොට, අන්‍ය පිහිටක් නැතිව ධර්මය ආරක්ෂාස්ථාන කොට, ධර්මය පිහිටකොට අන්පිහිටක් නැතිව මෙසේ වාසය කරන්නේය.

මහණෙනි, පියාගෙන් තමන්ට උරුමව පැමිණි හැසිරිය යුතු ප්‍රදෙශයෙහි හැසිරෙව්. සිය පියාගෙන් පැමිණි හැසිරිය යුතු ප්‍රදෙශයෙහි හැසිරෙන්නවුන්ගේ සිදුරක් මාර තෙමේ නොලබන්නේය. මාර තෙමේ අරමුණක් නොලබන්නේය. මහණෙනි, මෙසේ කුශල ධර්මයන්ගේ සමාදානය හේතුකොට ගෙන පින් වැඩෙන්නේයයි වදාළේය.

දළ්හනෙමී චක්‍රවර්ත්ති රජ Msdiv 81 මහණෙනි, පෙර ධාර්මිකවූ, ධර්මරාජන්වූ, මහාද්වීප සතරට අධිපතිවූ, දිනන ගති ඇති ජනපදයෙහි ස්ථිරභාවයට පැමිණියාවූ රත්න හතකින් යුක්තවූ “දළ්හනෙමී” නම් චක්‍රවර්ත්ති රජෙක් වීය. ඔහුට මේ රත්න හත වූහ. කවරහුද? යත්: චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, සත්වැනිවූ පරිණායක රත්නයද යන මොව්හුයි. ඒ රජුට ශූරවූ, දිව්‍ය පුත්‍රයන්ට සමාන ශරීර ඇත්තාවූ, සතුරු සේනාවන් මර්දනය කරන්නාවූ දහසකටත් වැඩි පුත්‍රයෝ වූහ. හෙතෙමේ සාගරය අවසානකොට ඇති මේ පොළොව දඬුවම් කිරීමක් නැතිව, ධර්මයෙන් සමගියෙන් දිනා වාසය කළේය.

Msdiv 82 මහණෙනි, එවිට “දළ්හනෙමී” රජතෙමේ බොහෝ අවුරුදු ගණනක් බොහෝ අවුරුදු සියගණනක් බොහෝ අවුරුදු දහසක් ඉක්මීමෙන් පසු එක්තරා පුරුෂයෙකුට කථා කළේය. කථාකොට ‘පින්වත් පුරුෂය, නුඹ දිව්‍ය චක්‍රරත්නය තුබුණු තැනින් මඳක් හෝ මුළුමනින් හෝ යම් දිනක ඉවත් වූවොත් මට දන්වව’යි කීයේය. ඒ පුරුෂයාද දෙවයන් වහන්ස, එසේයයි පිළිතුරු දුන්නේය. මහණෙනි, ඒ පුරුෂ තෙමේ බොහෝ අවුරුදු ගණනක්, බොහෝ අවුරුදු සිය ගණනක්, බොහෝ අවුරුදු දහස් ගණනක් ඉක්මීමෙන් පසු දිව්‍ය චක්‍රරත්නය තුබුණු තැනින් ස්වල්පයක් ඉවත්වූ බව දුටුවේය. දැක, දළ්හනේමි රජු කරා ගොස් “පින්වත් දෙවයන් වහන්ස, ඔබ වහන්සේගේ දිව්‍ය චක්‍ර රත්නය තුබූ තැනින් ඉවත්වූ බව දන්නවාදැයි ඇසීය. එවිට දළ්හනෙමි රජ තමාගේ වැඩිමහළු පුත්‍රයාට කථා කොට මෙසේ කීවේය.

“පුත්‍ර කුමාරය, මාගේ දිව්‍යචක්‍රරත්නය තුබූ තැනින් ඉවත් වූයේය. යම් සක්විති රජකුගේ දිව්‍ය චක්‍රරත්නය තුබූ තැනින් ඉවත් වූවොත් ඒ රජු වැඩිකල් ජීවත් නොවන බව මා අසා තිබේ. මම මනුෂ්‍යයන්ට අයිති කම් සැප අනුභව කෙළෙමි. දැන් දිව්‍යමය කම්සැප සෙවීමට කාලයයි. පුත්‍රය, මෙහි එව. මේ සමුද්‍රය අවසාන කොට ඇති පොළොව පාලනය කරව. මම කෙස් රැවුල් කප්පවා, කසා වස්ත්‍ර හැඳ, ගිහි ගෙයින් නික්ම තාපස භාවයෙන් මහණ වන්නෙමි.”

Msdiv 83 මහණෙනි, ඉක්බිති දළ්හනෙමී රජ තෙමේ වැඩිමහල් පුත්‍රයා මනා කොට රාජ්‍යයෙහි පිහිටුවා, කෙස් රැවුල් කප්පවා කසා වස්ත්‍රය හැඳ, ගිහි ගෙයින් නික්ම තාපස භාවයෙන් මහණ විය. මහණෙනි, රාජ ඍෂිවරයා මහණවී සත් දිනකින් දිව්‍ය චක්‍රරත්නය නොපෙනී ගියේය.

මහණෙනි, එවිට එක්තරා පුරුෂයෙක් ක්ෂත්‍රියවූ අළුත ඔටුණු පළඳවන ලද රජු කරා ගියේය. ගොස් ඒ රජුට මෙසේ කීවේය. “පින්වත් දේවයන් වහන්ස, දිව්‍ය චක්‍රරත්නය නොපෙනී ගිය බව දන්නවාද?”

මහණෙනි, එකල්හි ඔටුණු පැළැඳීම කරන ලද ඒ ක්ෂත්‍රිය රජ තෙමේ ඒ අසා ශොකයට පැමිණියේය. ශොකී බවද ඇඟෙව්වේය. ඒ රජ තෙමේ එසේ කොට රාජර්ෂි (තාපසයා) වෙත ගොස් මෙසේ දැන්වීය. ‘පින්වත් දෙවයෙනි, දිව්‍ය චක්‍රරත්නය නොපෙනී ගිය බව දන්නෙහිද?’ මහණෙනි, මෙසේ කී කල්හි ඒ රාජ ඍෂි තෙමේ පුත්‍රවූ ක්ෂත්‍රිය රජුට මේ කාරණය කීයේය.

‘පුත්‍රය, නුඹ දිව්‍ය චක්‍රරත්නය නොපෙනී යාම ගැන ශොක නොකරව, ශොකී බව නොහඟව. පුත්‍රය, මේ දිව්‍ය චක්‍රරත්නය පියාගෙන් ලත් දායාදයෙක් නොවේ. පුත්‍රය නුඹ දොස් නැති සක්විතිවත් සම්පූර්ණ කරව. මේ කිය යුත්තක් ඇත. සක්විති වත් පුරන නුඹට පුර පසළොස්වක් පොහෝදා හිස් සෝදා දිය නා පෙහෙවස් සමාදන්ව ප්‍රාසාදයාගේ උඩුමහල් තලයෙහි හිඳිනකල දැති සහිත, පට්ටම සහිත බොස් ගෙඩිය සහිත සියලු විදියෙන් සම්පූර්ණවූ දිව්‍ය චක්‍රරත්නය පහළ වන්නේය.

සක්විතිවත් Msdiv 84 ‘දෙවයන් වහන්ස, ඒ නිවැරදි සක්විතිවත් කවරේද’ (මෙසේයි)

[1] “පුත්‍රය, නුඹ ධර්මයෙහි පිහිටා ධර්මයට සත්කාර කරමින් ධර්මය ගරු කරමින්, ධර්මය ප්‍රිය කරමින්, ධර්මය පුදමින්, ධර්මය වඳිමින්, ධර්මධ්වජයක්ව ධර්මකෙතුවක්ව ධර්මය ප්‍රධාන කොට ගෙන, සිය අඹුදරුවන් සීලය අනුව හැසිරීමෙහි පිහිටුවා, ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙළ කරව.

[2] බල සෙනඟද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙළ කරව.

[3] ක්ෂත්‍රියයන්ද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙළ කරව.

[4] බ්‍රාහ්මණ ගෘහපතීන්ද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ආරක්ෂාව පිළියෙළ කරව.

[5] නිගම ජනපද වාසීන්ද රැක ගැනීම කරව.

[6] මහණ බමුණන්ද රැක ගැනීම කරව.

[7] සිවුපාවුන් හා කුරුල්ලන්ද, ජීවිත දානයෙන් ආරක්ෂා කරව.

[8] සිය රටෙහි අධර්මක්‍රියා නොපවත්නා ලෙස කටයුතු කරව.

[9] සිය රටෙහි ජීවත්වන දුප්පතුන්ට ධනය දෙව.

[10] පුත්‍රය, සිය රටෙහි ආසා ආදි මදයෙන් හා පඤ්චකාම ගුණයෙන් වෙන්වූ ඉවසීමෙහි හා කරුණාවන්ත භාවයෙහි පිහිටියාවූ රාගාදිය දමනය කළ, සමනයකළ විනාශ කළ යම් මහණ බමුණු කෙනෙක් වෙත්ද, ඔවුන් කරා කලින්කල පැමිණ ‘ස්වාමීනි, කුශලය නම් කුමක්ද? අකුශලය නම් කුමක්ද? වරද නම් කුමක්ද? නිවරද නම් කුමක්ද? කුමක් සේවනය කළ යුතුද? කුමක් සේවනය නොකළ යුතුද? කුමක් කරනු ලබන්නාවූ මට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද? කුමක් හෝ කරනු ලබන්නාවූ මට හිත පිණිස, සැප පිණිස වන්නේදැ”යි ප්‍රශ්න කළ යුතුයි. මෙසේ උන්වහන්සේලාගෙන් අසා යමක් අකුසල්ද එය අත්හැරිය යුතුයි. යමක් කුසල්ද එය පිළිගෙන පැවතිය යුතුයි. පුත්‍රය, නිවැරදි සක්විතිවත් මේවායි’ කීය.

චක්කරතනපාතුභාවො Msdiv 85 මහණෙනි, ඔටුණුපැළඳි ඒ ක්ෂත්‍රිය රජතෙමේ ‘එසේය, දේවයන්වහන්සැ’යි පිය රජ ඍෂීන් කී පරිදි පිළිගෙන නිවැරදි සක්විතිවත් පිරූයේය. නිවැරදි සක්විතිවත් පුරන්නාවූ පුර පසළොස්වක් පොහෝදින හිස් සෝදා නහා උපොසථ සීලයෙහි පිහිටා ප්‍රාසාදයේ මතුමහල් තලයෙහි හුන්නාවූ ඒ රජුට දහසක් දැති ඇති, නිම්වලලු සහිත, නාභි සහිත සියලු ආකාරයෙන් සම්පූර්ණවූ දිව්‍ය චක්‍රරත්නය පහළ විය. ඒ දැක ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජුට මෙබඳු අදහසෙක් වීය. පුර පසළොස්වක් පොහෝ දින හිස් සෝදා නහා උපොසථ සීලයෙහි පිහිටා ප්‍රාසාදයාගේ මතුමහල් තලයට පැමිණියාවූ ඔටුණු පැළඳි යම්කිසි ක්ෂත්‍රිය රජකුට, දහසක් දැති ඇති නිම්වලලු සහිත, නාභි සහිත, සම්පූර්ණවූ දිව්‍ය චක්‍රරත්නය සියලු ආකාරයෙන් පහළවන්නේ නම් හෙතෙමේ සක්විති රජ වන්නේයයි මා විසින් අසන ලද්දේය. මම එකාන්තයෙන්ම සක්විති රජ වූයෙමි.’

මහණෙනි, අනතුරුව ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජතෙමේ ආසනයෙන් නැගිට උතුරු සළුව එක් අංසයෙක්හි කොට පොරවා ‘පින්වත් චක්‍රරත්නය පැවැත්ම වේවා, පින්වත් චක්‍රරත්නය දිසාවන් දිනාවා’යි වම් අතින් කෙණ්ඩිය ගෙන දකුණු අතින් චක්‍රරත්නයට දිය ඉස්සේය.

මහණෙනි, අනතුරුව සිවුරඟ සෙනඟ සහිත සක්විති රජ සමඟ ඒ චක්‍රරත්නය පූර්වදිශාවට ගමන් කෙළේය. මහණෙනි, යම් ප්‍රදෙශයක චක්‍රරත්නය පිහිටියේද සක්විති රජ තෙමේ සිවුරඟ සෙනඟ සමග එහි වාසය කෙළේය.

මහණෙනි, පූර්වදිශාවෙහි ඒ විරුද්ධ රජදරුවෝ වෙත්ද? ඔවුහු සක්විති රජු කරා පැමිණ මෙසේ කීවාහුය. ‘මහරජ එනු මැනව. මහරජ, ඔබගේ පැමිණීම යහපත් පැමිණීමකි. මහරජ, මේ දිවයින ඔබ අයත්ය. මහරජ, අනුශාසනා කරනු මැනවැ’යි කීය. සක්විති රජ තෙමේ මෙසේ අවවාද කළේය.

‘ප්‍රාණවධ නොකට යුතුයි. හොරකම් නොකට යුතුයි. කාමමිථ්‍යාචාරයෙහි නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් නොබිය යුතුයි. පෙර රාජ්‍යය අනුභව කළ පරිදිම අනුභව කරව්, යනුවෙනි.

මහණෙනි, නැගෙනහිර දිශාවෙහි යම් ඒ රජදරුවෝ වෙත්ද, ඒ සියල්ලෝම සක්විති රජ අනුව යන්නෝ වූහ.

Msdiv 86 මහණෙනි, අනතුරුව ඒ චක්‍රරත්නය නැගෙනහිර සාගරයට වැද එතරව සිවුරඟ සෙනඟ සහිත සක්විති රජ සමග දකුණු දිසාවට ගමන් කෙළේය. මහණෙනි, යම් ප්‍රදෙශයෙක්හි දිව්‍ය චක්‍රරත්නය පිහිටියේද, සිවුරඟ සෙනඟ සහිත සක්විති රජතෙමේ ඒ ප්‍රදෙශයෙහි වාසය කෙළේය. මහණෙනි, දකුණු දිශාවෙහි යම් ඒ විරුද්ධ රජදරුවෝ වූවාහුද, ඔව්හු සියල්ලෝ සක්විති රජු කරා පැමිණ, මෙසේ කීවාහුය. ‘මහරජ එනු මැනවි, මහරජ ඔබගේ පැමිණීම යහපත් පැමිණීමකි. මහරජ, මේ දිවයින ඔබ අයත්ය. මහරජ, අනුශාසනා කරනු මැනවි.’ සක්විති රජ තෙමේ මෙසේ අවවාද කළේය.

“ප්‍රාණවධ නොකටයුතුයි. හොරකම් නොකටයුතුයි. කාමමිථ්‍යාචාරයෙහි නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් නොබිය යුතුයි. තමන් සතු රාජ්‍ය පෙර සේම භුක්ති විඳිව්.”

“මහණෙනි, දකුණු දිශාවෙහි යම් ඒ විරුද්ධ රජදරුවෝ වූවාහුද, ඒ සියල්ලෝම සක්විති රජ අනුව යන්නෝ වූහ.

මහණෙනි, අනතුරුව ඒ චක්‍රරත්නය දකුණු සාගරයට වැද එතරව බස්නාහිර දිශාවට සිවුරඟ සෙනඟ සහිත සක්විති රජ සමඟ ගමන් කෙළේය. මහණෙනි, යම් ප්‍රදෙශයෙක්හි වනාහි දිව්‍ය චක්‍රරත්නය පිහිටි යේද ඒ ප්‍රදෙශයෙහි වනාහි සිවුරඟ සෙනඟ සහිත සක්විති රජ තෙමේ වාසයට එළඹියේය. මහණෙනි, බස්නාහිර දිසාවෙහි යම් ඒ විරුද්ධ රජදරුවෝ වෙත්ද, ඔවුහු සක්විති රජු කරා පැමිණ මෙසේ කීවාහුය. ‘මහරජ එනු මැනවි. මහරජ ඔබගේ පැමිණීම යහපත් පැමිණීමකි. මහරජ මේ ඔබ අයත්ය. මහරජ අනුශාසනා කරනු මැනවැයි කීහ.’ සක්විති රජ තෙමේ මෙසේ අවවාද කළේය.

“ප්‍රාණ වධ නොකටයුතුයි. හොරකම් නොකට යුතුයි. කාමමිථ්‍යාචාරයෙහි නො හැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් නොබිය යුතුයි. තමන් සතු රාජ්‍ය පෙර සේම භුක්තිවිඳිව්” කියායි.

මහණෙනි, බස්නාහිර දිශාවෙහි යම් ඒ විරුද්ධ රජ දරුවෝ වූවාහුද? ඔව්හු සක්විති රජ අනුව යන්නෝ වූහ.

Msdiv 87 මහණෙනි, ඉක්බිති ඒ චක්‍රරත්නය බස්නාහිර සාගරයට වැද එතරව උතුරු දිශාවට සිවුරඟ සෙනග සහිත සක්විති රජ සමග ගමන් කෙළේය. මහණෙනි, යම් ප්‍රදෙශයෙක්හි දිව්‍ය චක්‍රරත්නය පිහිටියේද, සිවුරඟ සෙනඟ සහිත සක්විති රජතෙමේ ඒ ප්‍රදෙශයෙහි වාසය කෙළේය. මහණෙනි, උතුරු දිශාවෙහි යම් ඒ විරුද්ධ රජදරුවෝ වූවාහුද, ඔව්හු සියල්ලෝ සක්විති රජු කරා පැමිණ මෙසේ කීවාහුය. ‘මහරජ එනු මැනවි. මහරජ, ඔබගේ පැමිණීම යහපත් පැමිණීමකි. මහරජ, මේ ඔබ අයත්ය. මහරජ, අනුශාසනා කරනු මැනවි.’ සක්විති රජතෙමේ මෙසේ අවවාද කළේය.

“ප්‍රාණවධ නොකටයුතුයි. හොරකම් නොකටයුතුයි. කාමමිථ්‍යාචාරයෙහි නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් නොබිය යුතුයි. තමන් සතු රාජ්‍ය පෙර සේම භුක්ති විඳිව්.

“මහණෙනි, උතුරු දිශාවෙහි යම් ඒ විරුද්ධ රජදරුවෝ වූවාහුද, ඔව්හු සක්විති රජ අනුව පවත්නෝ වූහ.

මහණෙනි, එවිට ඒ චක්‍රරත්නය සමුද්‍රය කෙළවර කොට ඇති මුළුපොළොව දිනා ඒ රාජධානියටම පෙරළා අවුත් සක්විතිරජුන්ගේ ඇතුල් වාසල් දොරටුවෙහි, මුරකරනතැන ඉදිරියෙහි සක්විතිරජුගේ ඇතුල් වාසල අලංකාර කරමින් අකුරෙහි ගැසූවාක් මෙන් සිටියේය.

දුතියාදිචක්කවත්තිකථා Msdiv 88 මහණෙනි, දෙවෙනි සක්විති රජ තෙමේද, මහණෙනි, තුන්වැනි සක්විති රජතෙමේද, මහණෙනි, සතරවැනි සක්විති රජ තෙමේද, මහණෙනි, පස්වැනි සක්විති රජ තෙමේද, මහණෙනි, සයවැනි සක්විති රජ තෙමේද මහණෙනි, සත්වැනි සක්විති රජ තෙමේද, බොහෝ වර්ෂ ගණනක්හුගේ බොහෝ වර්ෂ සියයක්හුගේ බොහෝ වර්ෂදහසක්හුගේ ඇවෑමෙන්, එක්තරා පුරුෂයකුට කථාකොට මෙසේ කීයේය. “පින්වත් පුරුෂය, නුඹ යම් දිනක දිව්‍යචක්‍රරත්නය තුබුණු තැනින් මඳක් හෝ මුළුමනින් හෝ ඉවත් වුවොත් මට දන්වව’යි කීයේය. මහණෙනි, ඒ පුරුෂයාද ‘දේවයන් වහන්ස එසේයයි’ පිළිතුරු දුන්නේය. මහණෙනි, ඒ පුරුෂ තෙමේ බොහෝ වර්ෂ ගණනක්හුගේ බොහෝ වර්ෂ සියයක්හුගේ බොහෝ වර්ෂ දහසක්හුගේ ඉක්මීමෙන් චක්‍රරත්නය තුබුණු තැනින් ස්වල්පයක් ඉවත්වූ බව දුටුවේය. දැක සක්විති රජ යම් තැනකද එහි පැමිණියේය. පැමිණ සක්විති රජුට මෙසේ කීයේය. ‘පින්වත් දෙවයන් වහන්ස, ඔබ වහන්සේගේ දිව්‍ය චක්‍ර රත්නය තුබූ තැනින් ඉවත්වූ බව දන්නවාදැයි’ ඇසීය.

Msdiv 89 මහණෙනි, එවිට සක්විති රජ තෙමේ වැඩිමහළු පුත්‍රයාට කථා කොට මෙසේ කීයේය. ‘පුත්‍රකුමාරය, මාගේ දිව්‍ය චක්‍රරත්නය තුබූ තැනින් ඉවත් වූයේය. යම් සක්විති රජකුගේ දිව්‍ය චක්‍ර රත්නය තුබූ තැනින් ඉවත් වුවොත් ඒ රජු වැඩිකල් ජීවත් නොවන බව මා අසා තිබේ. මම මනුෂ්‍යයන්ට අයිති කම්සැප අනුභව කෙළෙමි. දැන් දිව්‍යමය කම්සැප සෙවීමට කාලයයි. පුත්‍ර කුමාරය, එව මේ සමුද්‍රය අවසාන කොට ඇති පොළොව පාලනය කරව. මම කෙස් රැවුල් කප්පවා, කාසායවස්ත්‍රය හැඳ ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නෙමි.’

මහණෙනි, එවිට සක්විති රජ තෙමේ වැඩිමහල් කුමාරයා මනාකොට රාජ්‍යයෙහි පිහිටුවා, කෙස් රැවුල් කප්පවා කසාවස්ත්‍ර හැඳ, ගිහි ගෙයින් නික්ම තාපස භාවයෙන් මහණ වීය. මහණෙනි, රාජ ඍෂිවරයා පැවිදිවී සත් දිනකින් දිව්‍ය චක්‍රරත්නය නොපෙනී ගියේය.

Msdiv 90 මහණෙනි, එවිට එක්තරා පුරුෂයෙක් අලුත ඔටුණු පළඳවනලද රජු කරා ගොස් දිව්‍ය චක්‍රරත්නය නොපෙනීගිය බව දන්නවාදැයි’, ඇසී. මහණෙනි, එකල්හි ඔටුණු පැළන්දාවූ ඒ ක්ෂත්‍රිය රජ තෙමේ දිව්‍ය චක්‍රරත්නය නැතිවී ගිය බව අසා ශෝකයට පැමිණියේය. ශෝකී බවද ඇඟෙව්වේය. රාජඍෂිවරයා වෙත පැමිණ දොස් නැති සක්විතිවත් නොවිචාළේය. හෙතෙමේ තමන්ගේ මතය පරිදි රට අනුශාසනා කරයි. නිදොස් සක්විති වත්හි පිහිටි පෙර රජුන්ගේ කාලයෙහි යම්සේද, එසේ තමන්ගේ මතය පරිදි රට අනුශාසනා කරන්නාවූ ඔහුගේ කාලයෙහි රට වැස්සෝ දියුණුවට නොපැමිණෙත්. මහණෙනි, එවිට අමාත්‍යයෝද, රජපිරිසද, ගණිතඥයෝද, මහාඅමාත්‍යයෝද, හස්ත්‍යාචාර්‍ය්‍යාදීහුද, දොරටුපාලයෝද, පණ්ඩිතමහාමාත්‍යයෝද, රැස්ව ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජුකරා පැමිණ මෙසේ කීවාහුය. නිදොස් සක්විතිවත්හි පිහිටි පෙර රජුන්ගේ කාලයෙහි යම් සේද එසේ තමන්ගේ මතය පරිදි රටපාලනය කරන්නාවූ ඔබගේ කාලයෙහි රට වැස්සෝ දියුණුවට නොපැමිණෙත්. දෙවයන් වහන්ස, ඔබගේ රාජ්‍යයෙහි අමාත්‍යවූද, රජපිරිසට අයත්වූද, ගණිතඥවූද, මහාමාත්‍යවූද, හස්ත්‍යාචාර්‍ය්‍යවූද, දොරටුපාලවූද, පණ්ඩිත මහාමාත්‍යවූද, අප සහ අන්‍යයෝද යන අපි නිදොස් සක්විතිවත් දන්නෙමු. දෙවයන්වහන්ස, ඔබවහන්සේ අප අතින් නිදොස් සක්විතිවත් අසන්නේ නම් යහපති. එසේ අසනලද්දාවූ අපි ඔබට නිදොස් සක්විතිවත් ප්‍රකාශ කරන්නෙමු.’ යි කීහ.

ආයුවණ්ණාදිපරියානිකථා Msdiv 91 මහණෙනි, ඉක්බිති ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජ තෙමේ අමාත්‍යයන්ද, රජපිරිසෙහි වූවන්ද, ගණිතඥයන්ද, මහාමාත්‍යයන්ද, හස්ත්‍යාචාර්‍ය්‍යාදීන්ද, දොරටු පාලයන්ද, පණ්ඩිතමහාමාත්‍යයන්ද රැස් කරවා නිදොස් සක්විතිවත් ඇසුවේය. එසේ අසනලද්දාවූ ඔව්හු රජුට නිදොස් සක්විතිවත් ප්‍රකාශ කළාහුය. ඒ සක්විතිවත් අසා දැහැමි ආරක්ෂා, ආවරණ, රැකවල් තැබීය. එසේද වුවත් දුප්පතුන්ට ධනය නුදුන්නේය. දුප්පතුන්ට ධනය නොදීමෙන් දිළිඳුකම මහත්විය. දිළිඳුකම මහත්වූ කල්හි එක්තරා පුරුෂයෙක් අනුන් අයත්, වස්තුහිමියන් විසින් නුදුන් වස්තුව හොරහිතින් ගත්තේය. මිනිස්සු ඒ පුරුෂයා අල්ලා ගත්තාහුය. අල්ලා ගෙන ඔටුණුපැළඳි, ක්ෂත්‍රිය රජුට දැක්වූවාහුය. දෙවයන් වහන්ස, මේ පුරුෂ තෙමේ අනුන් අයත්, වස්තු හිමියන් විසින් නුදුන් වස්තුව සොර සිතින් ගත්තේය.

මහණෙනි, එකල්හි ඔටුණු පළන් ක්ෂත්‍රිය රජ තෙමේ ඒ පුරුෂයාට මෙසේ කීයේය. ‘පින්වත් පුරුෂය, නුඹ අනුන් අයත් වස්තු හිමියන් නුදුන් වස්තුව සොරසිතින් ගත්තේය යන කීම ඇත්තද? ‘දෙවයන් වහන්ස ඇත්තය.’ කවර කරුණක් නිසාද? ‘දෙවයන් වහන්ස, ජීවත්වීමට ක්‍රමයක් නැති නිසායි.’ මහණෙනි, එවිට ඔටුණු පළඳින ලද, ක්ෂත්‍රිය රජ තෙමේ ඒ පුරුෂයාට ධනය දුන්නේය. පින්වත් පුරුෂය, නුඹ මේ ධනයෙන් තමාද ජීවත් වෙව. මව්පියන් ද පොෂ්‍ය කරව, අඹුදරුවන්ද පොෂ්‍ය කරව, කර්මාන්තද කරව, මතුමත්තෙහි යහපත් විපාක ඇත්තාවූ, ස්වර්ගයට හිතවූ, සැප විපාක උපදවන්නාවූ, ස්වර්ගය පිණිස පවත්නාවූ දක්ෂිණාව ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි පිහිටුවව. මහණෙනි, ඒ පුරුෂ තෙමේ ‘දෙවයන් වහන්ස, එසේය’යි ඔටුණු පැළඳි ක්ෂිත්‍රිය රජුට උත්තර දුන්නේය. මහණෙනි, අනෙක් පුරුෂයෙක්ද අනුන් අයත්, වස්තුහිමියන් විසින් නුදුන් වස්තුව හොර හිතින් ගත්තේය. මිනිස්සු ඒ පුරුෂයා අල්ලාගත්තාහුය. අල්ලාගෙන ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජුට දැක්වූවාහුය. දෙවයන් වහන්ස, මේ පුරුෂයා අනුන් අයත්, වස්තු හිමියන් විසින් නුදුන් වස්තුව, සොරසිතින් ගත්තෙහියයි කීවාහුය. මහණෙනි එකල්හි ඔටුනු පැළඳි, ක්ෂත්‍රිය රජ තෙමේ ඒ පුරුෂයාට මෙසේ කීයේය. පින්වත් පුරුෂය, නුඹ අනුන් අයත්, වස්තු හිමියන් නුදුන්වස්තු සොරසිතින් ගත්තේය යන කීම ඇත්තද?’ දෙවයන් වහන්ස, ඇත්තය. කවර කරුණක් නිසාද, දෙවයන් වහන්ස, ජීවත් වීමට ක්‍රමයක් නැති නිසයි’ මහණෙනි, ඉක්බිති ඔටුණු පළඳින ලද, ක්ෂත්‍රිය රජ තෙමේ ඒ පුරුෂයාටද ධනය දුන්නේය. ‘පින්වත් පුරුෂය, නුඹ මේ ධනයෙන් නුඹද ජීවත් වෙව. මව්පියන්ද පොෂ්‍යකරව, අඹුදරුවන්ද පොෂ්‍ය කරව. කර්මාන්තද කරව, මතුමත්තෙහි යහපත් විපාක ඇත්තාවූ, ස්වර්ගයට හිතවූ, දක්ෂිණාව ශ්‍රමණබ්‍රාහ්මණයන් කෙරෙහි පිහිටුවව. මහණෙනි, ඒ පුරුෂයා ‘දෙවයන් වහන්ස, එසේයයි’ ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජුට උත්තර දුන්නේය.

Msdiv 92 යම් කෙනෙක් අනුන් අයත්, වස්තුහිමියන් විසින් නුදුන් වස්තුව, සොර සිතින් ගණිත්ද, ඔවුන්ට රජ තෙමේ ධනය දෙන්නේයයි’ මිනිසුන් විසින් අසනලදී. ඒ අසා ඔවුන්ට මෙබඳු අදහසෙක් වීය. අපිද අනුන් අයත් නුදුන් වස්තුව, සොරහිතින් ගන්නමු නම් ඉතා යහපතැයි’ කියායි.

මහණෙනි, එවිට එක්තරා පුරුෂයෙක් අනුන් අයත් නුදුන් වස්තුව, සොරසිතින් ගත්තේය. මිනිස්සු ඒ පුරුෂයා අල්ලා ගත්තාහුය. අල්ලාගෙන, ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජුට දැක්වූවාහුය. දෙවයන් වහන්ස, මේ පුරුෂයා අනුන් අයත් නුදුන් වස්තුව, සොරහිතින් ගත්තේය’ කියායි. මහණෙනි, එකල්හි ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජ තෙමේ ඒ පුරුෂයාට මෙසේ කීයේය. ‘පින්වත් පුරුෂය, නුඹ අනුන් අයත් නුදුන් වස්තුව, සොර සිතින් ගත්තේය යන කීම ඇත්තද?’ ‘දෙවයන් වහන්ස, ඇත්තයි. කවර කරුණක් නිසාද? දෙවයන් වහන්ස, ජීවත් වීමට ක්‍රමයක් නැති නිසායි.’

මහණෙනි, එවිට ඔටුණු පැළඳි ක්ෂත්‍රියරජුට මෙබඳු අදහසෙක් වීය. ‘ඉඳින් යම් කෙනෙක් අනුන් අයත්, නුදුන් වස්තුව, සොරසිතින් ගන්නේද, ඒ ඒ අයට මම ධනය දෙන්නෙමි. මේ කාරණයෙන් සොරකම වැඩෙන්නේය. මම මේ පුරුෂයා නැවත සොරකම් නොකරණ සේ වළකන්නෙම් නම් ඉතා යෙහෙකි. මුල් සිඳින්නෙම් නම් ඉතා යෙහෙකි, මේ පුරුෂයගේ හිස සිඳින්නෙම් නම් ඉතා යෙහෙකි. මහණෙනි, එවිට ඔටුණු පැළඳි, ක්ෂත්‍රිය රජ තෙමේ රාජ පුරුෂයන්ට අණ කෙළේය. රාජපුරුෂයිනි, එසේවීනම් මේ පුරුෂයා අත් පස්සට තබා රැහැනින් දැඩි කොට බැඳ, හිස මුඩු කොට, වදබෙර හඬින් වීථියක් පාසා මංසන්ධියක් පාසා පමුණුවා නුවර දකුණු දොරින් පිටතට ගෙන ගොස්, නුවරට දකුණු පැත්තේදී නැවත සොරකම් නොකරන සේ වලකව්, මුල්සිඳිව්, මොහුගේ හිස සිඳිව්ය’යි නියම කෙළේ.

“මහණෙනි, ‘දෙවයන් වහන්ස එසේයයි’ ඒ පුරුෂයෝ ඔටුණු පැළඳි, ක්ෂත්‍රිය රජුට උත්තරදී ඒ පුරුෂයා අත් පස්සට තබා රැහැනින් දැඩිකොට බැඳ හිස මුඩුකොට, වදබෙර හඬින්, වීථියක් පාසා මංසන්ධියක් පාසා පමුණුවා නුවර දකුණු දොරින් පිටතට ගෙණ ගොස් නුවරට දකුණු පැත්තේදී නැවත සොරකම් නොකරන සේ වැළැක්වූවාහුය. මුල් සින්දාහුය. හිස සින්දාහුය.

Msdiv 93 මහණෙනි, යම් ඒ කෙනෙක් අනුන් අයත්, නුදුන් වස්තුව, සොරසිතින් ගණිත්ද? රජතෙමේ, ඔවුන් නැවත සොරකම් නොකරනසේ වළකයි මුල්සිඳියි. ඔවුන්ගේ හිස් සිඳී, යයි මිනිස්සු ඇසුවාහුය. අසා, “අපිත් තියුණු ආයුධ සාදවන්නෙමු නම් සාදවා යම් ඒ කෙනෙකුන්ගේ නුදුන් වස්තුව සොර සිතින් ගන්නමුද ඔවුන් වළකන්නමු නම් ඔවුන්ගේ මුල් සිඳින්නමු නම් ඔවුන්ගේ හිස් සිඳින්නමු නම් ඉතා යෙහෙකැ”යි ඔවුනට මෙබඳු අදහසෙක් වීය. ඔව්හු තියුණු ආයුධ කරවුවාහුය. තියුණු ආයුධ කරවා ගම් පැහැරීමට පටන් ගත්තාහුය. නියම්ගම් පැහැරීමට පටන්ගත්තාහුය. නගර පැහැරීමට පටන්ගත්තාහුය. මංකොල්ලකෑමට පටන්ගත්තාහුය. ඔව්හු යම් කෙනෙකුන්ගේ නුදුන් වස්තුව සොර සිතින් ගණිත්ද? ඔවුන්ගේ වැළකීම කෙරෙත්. මුල් සිඳිත්. හිස් සිඳිත්.

Msdiv 94 මහණෙනි, මෙසේ දුප්පතුන්ට ධනය නොදෙනු ලබන කල්හි දිළිඳු බව අතිශයින් පැතිරී ගියේය. දිළිඳු බව අතිශයින් පැතිරී ගිය කල්හි සොරකම මහත් වීය. සොරකම මහත්වූ කල්හි අවි ආයුධ වැඩී ගියේය. අවි ආයුධ වැඩුණු කල්හි ප්‍රාණඝාතය වැඩී ගියේය. ප්‍රාණඝාතය වැඩී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන් පිරිහෙනු ලබන්නාවූද අසූ දහසක් අවුරුදු ආයු ඇති ඒ සත්වයන්ගේ පුත්‍රයෝ, සතළිස් දහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ. මහණෙනි, මනුෂ්‍යයන් අතර සතළිස්දහසක් අවුරුදු ආයු ඇති කල්හි එක්තරා පුරුෂයෙක්, අනුන් අයත් නුදුන් වස්තුව සොර සිතින් ගත්තේය. ඒ පුරුෂයා අල්ලා ගත්තාහුය. අල්ලාගෙන රජුට දැක්වූවාහුය. ‘දෙවයන් වහන්ස, මේ පුරුෂයා අනුන් අයත්, නුදුන් වස්තුව සොරසිතින් ගත්තේය. මහණෙනි, එසේ කී කල්හි ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජතෙමේ ඒ පුරුෂයාට මෙසේ කීයේය. ‘පින්වත් පුරුෂය, අනුන් අයත් නුදුන් වස්තුව, සොරසිතින් ගත්තේය යන මේ කීම ඇත්තක්ද? ‘දෙවයන් වහන්ස, නැතැයි දැන දැන බොරු කීයේය.’

Msdiv 95 මහණෙනි, මෙසේ වනාහි දුප්පතුන්ට ධනය නොදෙනු ලබන කල්හි දිළිඳු බව අතිශයින් පැතිරී ගියේය. දිළිඳු බව අතිශයින් පැතිරී ගිය කල්හි සොරකම මහත්වීය. සොරකම මහත්වූ කල්හි අවි ආයුධ වැඩී ගියේය. අවි ආයුධ වැඩුණු කල්හි ප්‍රාණඝාතය වැඩී ගියේය. ප්‍රාණඝාතය වැඩුණ කල්හි බොරුකීම වැඩී ගියේය. බොරුකීම වැඩීගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන් පිරිහෙනු ලබන්නාවූද, සතළිස්දහසක් අවුරුදු ආයු ඇති ඒ සත්වයන්ගේ පුත්‍රයෝ, විසිදහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ.

‘මහණෙනි, මිනිසුන් අතර විසිදහසක් අවුරුදු ආයු ඇතිකල්හි එක්තරා පුරුෂයෙක් අනුන් අයත් නුදුන් වස්තුව, සොරසිතින් ගත්තේ’ යයි ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජුට කේලම් කීයේය.

Msdiv 96 “මහණෙනි, මෙසේ වනාහි දුප්පතුන්ට ධනය නොදෙනු ලබන කල්හි දිළිඳු බව අතිශයින් පැතිරී ගියේය. දිළිඳු බව අතිශයින් පැතිරී ගිය කල්හි සොරකම මහත්වීය. සොරකම මහත්වූ කල්හි අවි ආයුධ වැඩී ගියේය. අවි ආයුධ වැඩී ගිය කල්හි ප්‍රාණඝාතය වැඩී ගියේය. ප්‍රාණඝාතය වැඩී ගිය කල්හි බොරුකීම වැඩී ගියේය. බොරුකීම වැඩී ගිය කල්හි කේලාම් කීම වැඩී ගියේය. කේලාම් කීම වැඩී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන් පිරිහෙනු ලබන්නාවූද විසි දහසක් අවුරුදු ආයු ඇති ඒ මනුෂ්‍යයන්ගේ පුත්‍රයෝ දස දහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ.

‘මහණෙනි, මිනිසුන් අතර දසදහසක් අවුරුදු ආයු ඇති කල්හි ඇතැම් සත්ව කෙණෙක් යහපත් වර්ණ ඇත්තාහු වෙත්. ඇතැම් සත්ව කෙනෙක් අයහපත් වර්ණ ඇත්තාහු වෙත්. ඔවුන් අතර යම් ඒ සත්ව කෙනෙක් දුර්වර්ණ වූවාහුද? ඔව්හු ශොභමාන අය කෙරෙහි ඇල්ම උපදවා පරදාර සේවනයෙහි යෙදුනාහ.

Msdiv 97 මහණෙනි, මෙසේ වනාහි දුප්පතුන්ට ධනය නොදෙනු ලබන කල්හි දිළිඳු බව අතිශයින් පැතිරී ගියේය. දිළිඳු බව අතිශයින් පැතිරී ගිය කල්හි සොරකම මහත් වීය. පරදාර සේවනය මහත්වූ කල අවි ආයුධ වැඩී ගියේය. අවි ආයුධ වැඩී ගිය කල්හි ප්‍රාණඝාතය වැඩී ගියේය. ප්‍රාණඝාතය වැඩී ගිය කල්හි බොරුකීම වැඩී ගියේය. බොරුකීම වැඩී ගිය කල්හි කේලාම් කීම වැඩී ගියේය. කේලාම් කීම වැඩී ගිය කල්හි කාමයන්හි වරදවා හැසිරීම වැඩී ගියේය. කාමයන්හි වරදවා හැසිරීම වැඩී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන් පිරිහෙනු ලබන්නාවූද, දසදහසක් අවුරුදු ආයුෂ ඇති ඒ මනුෂ්‍යයන්ගේ පුත්‍රයෝ පන්දහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.

Msdiv 98 මහණෙනි, පන්දහසක් අවුරුදු ආයු ඇති මිනිසුන් අතර මේ ධර්මයෝ දෙදෙනෙක් මහත් භාවයට ගියහ. පරුෂ වචනය, සම්ඵප්‍රලාපය (හිස් වචනකීම) යන දෙකයි. මේ ධර්ම දෙක අතිශයින් පැතිරී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන් පිරිහෙනු ලබන්නාවූද පන්දහසක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ පුත්‍රයෝ, ඇතැම් කෙනෙක් දෙදහස් පන්සියයක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. ඇතැම් කෙනෙක් දෙදහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.

Msdiv 99 මහණෙනි, දෙදහස් පන්සියයක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන් අතර තද ආශාව. ක්‍රොධය යන දෙක අතිශයින් පැතුරුනේය. තද ආශාව ක්‍රොධය යන දෙක අතිශයින් පැතිරී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන් පිරිහෙනු ලබන්නාවූද, දෙදහස් පන්සියයක් අවුරුදු ආයුෂ ඇති ඒ මිනිසුන්ගේ පුත්‍රයෝ දහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.

Msdiv 100 මහණෙනි, දහසක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන් අතර මිථ්‍යාදෘෂ්ටිය අතිශයින් පැතිරී ගියේය. මිථ්‍යාදෘෂ්ටිය අතිශයින් පැතිරී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන් පිරිහෙනු ලබන්නාවූද, දහසක් අවුරුදු ආයු ඇති ඒ සත්වයන්ගේ පුත්‍රයෝ පන්සියයක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.

Msdiv 101 මහණෙනි, මිනිසුන් අතර පන්සියයක් අවුරුදු ආයු ඇතිවූ කල්හි අධර්ම රාගය, (මවු පිය නැදි මයිල් ආදීවූ අයුතු තන්හි උපදින රාගය) විසම ලොභය, (බලවත් තණ්හාව) මිථ්‍යාධර්මය (පුරුෂයන් පුරුෂයන් කෙරෙහිත් ස්ත්‍රීන් ස්ත්‍රීන් කෙරෙහිත් උපදවන රාගය) යන තුන අතිශයින් පැතිරී ගියේය. මේ අධර්ම තුන අතිශයින්පැතිරී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයදපිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන්පිරිහෙනු ලබන්නාවූද පන්සියයක් අවුරුදු ආයුෂ ඇති ඒ සත්වයන්ගේ පුත්‍රයෝ, ඇතැම් කෙනෙක් දෙසිය පණහක් අවුරුදු ආයුෂ ඇත්තෝද, ඇතැම් කෙනෙක් දෙසියයක්අවුරුදු ආයුෂ ඇත්තෝදවූහ.

මහණෙනි, මිනිසුන් අතර දෙසියපණසක් ආයුෂ ඇති කල්හි මව කෙරෙහි වරදවා පිළිපැදීම, පියාකෙරෙහි වරදවා පිළිපැදීම, ශ්‍රමණයන් කෙරෙහි වැරදිලෙස හැසිරීම, බ්‍රාහ්මණයන් කෙරෙහි වැරදි ලෙස හැසිරීම, සියපවුලෙහි වැඩිහිටියන්ට යටහත් නොවන බව, යන මේ වරදපස පැතිර ගියේය.

Msdiv 102 මහණෙනි, මෙසේ වනාහි දුප්පතුන්ට ධනය නොදීමෙන් දිළිඳු බව අතිශයින් පැතිර ගියේය. දිළිඳු බව අතිශයින් පැතිර ගිය කල්හි සොරකම මහත් වීය. සොරකම මහත්වූ කල්හි අවි ආයුධ වැඩී ගියේය. අවි ආයුධ වැඩී ගිය කල්හි ප්‍රාණඝාතය වැඩී ගියේය. ප්‍රාණඝාතය වැඩීගිය කල්හි බොරු කීම වැඩී ගියේය. බොරුකීම වැඩී ගිය කල්හි කේලාම් කීම වැඩී ගියේය. කේලාම් කීම වැඩී ගිය කල්හි කාමයන්හි වරදවා හැසිරීම වැඩී ගියේය. කාමයන්හි වරදවා හැසිරීම වැඩී ගිය කල්හි පරුෂවචන, සම්ඵප්‍රලාප (හිස්වචන) දෙකවැඩී ගියේය. මේ දෙක වැඩී ගිය කල්හි තද ආසාව ක්‍රොධය යන දෙක වැඩී ගියේය. ඒ දෙක වැඩී ගිය කල්හ මිථ්‍යාදෘෂ්ටිය වැඩී ගියේය. මිථ්‍යාදෘෂ්ටිය වැඩී ගිය කල්හි අධර්ම රාගය, විසමලොභය, මිථ්‍යාධර්මය යන වරද තුණ වැඩී ගියේය. මේ තුණ වැඩී ගිය කල්හි මව කෙරෙහි වරදවා පිළිපැදීම, පියා කෙරෙහි වරදවා පිළිපැදීම, ශ්‍රමණයන් කෙරෙහි වැරදිලෙස පිළිපැදීම, බ්‍රාහ්මණයන් කෙරෙහි වැරදි ලෙස හැසිරීම, සිය පවුලෙහි වැඩි හිටියන්ට ගරු නොකිරීම, යන මේ වරද පස වැඩී ගියේය. මේ පස වැඩී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන් පිරිහෙනු ලබන්නාවූද, දෙසියපණසක් අවුරුදු ආයුෂ ඇති සත්වයන්ගේ පුත්‍රයෝ අවුරුදු සියයක් ආයු ඇත්තාහු වූහ.

දසවස්සායුකසමයො Msdiv 103 යම් හේතුවකින් මේ මිනිසුන්ගේ පුත්‍රයෝ අවුරුදු දහයක් ආයුෂ ඇත්තෝ වන්නාහුද? එබඳු කාලයක් වන්නේය. මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි පස් අවුරුදු කුමරිය ස්වාමියකුට දීමට සුදුසු කොට සලකන්නාහ. මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි ගිතෙල්, වෙඬරු, තල තෙල්, මී, සකුරු, ලුණු යන මේ රස නැතිවී යන්නේය. මහණෙනි, යම් සේ මේ කාලයෙහි ආහාර අතුරෙන් හැල්බත්, මස් අග්‍රභොජනය වන්නේද? එසේ මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි කුරහන් අග්‍රභෝජනය වන්නේය. මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි දශකුශල කර්පපථයෝ මුළුමනින් නැති වන්නාහ. දශඅකුශල කර්මපථයෝ අතිශයින් පැතිරෙන්නාහ. මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි කුශලය යන නමවත් ඇති නොවන්නේය. එසේ කල කුසල් කරන්නෙක් කොයින්ද?

මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි මව කෙරෙහි වරදවා පිළිපදින්නාවූ, පියා කෙරෙහි වරදවා පිළිපදින්නාවූ, ශ්‍රමණයන් කෙරෙහි වැරදි ලෙස හැසිරෙන්නාවූ, බ්‍රාහ්මණයන් කෙරෙහි වැරදිලෙස හැසිරෙන්නාවූ සිය පවුලෙහි වැඩිහිටියන්ට ගරු නොකරන්නාවූ යම් ඒ කෙනෙක් වන්නාහුද, ඔව්හු පිදිය යුත්තෝද ප්‍රශංසා කළ යුත්තෝද වන්නාහ. මහණෙනි මේ කාලයෙහි මව කෙරෙහි මනාව පිළිපදින්නාවූ, පියා කෙරෙහි මනාව පිළිපදින්නාවූ, ශ්‍රමණයන් කෙරෙහි නිවැරදි ලෙස හැසිරෙන්නාවූ, බ්‍රාහ්මණයන් කෙරෙහි නිවැරදි ලෙස හැසිරෙන්නාවූ, සිය පවුලෙහි වැඩිහිටියන්ට ගරු කරන්නාවු අය යම්සේ පිදිය යුත්තාහු, ප්‍රශංසා කළ යුත්තාහු වෙත්ද, මහණෙනි, එපරිද්දෙන් මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි මව කෙරෙහි වරදවා පිළිපදින්නාවූ, පියා කෙරෙහි වරදවා පිළිපදින්නාවූ, ශ්‍රමණයන් කෙරෙහි වැරදිලෙස හැසිරෙන්නාවූ, බ්‍රාහ්මණයන් කෙරෙහි වැරදිලෙස හැසිරෙන්නාවූ, සිය පවුලෙහි වැඩිහිටියන්ට ගරු නොකරන්නාවූ අය පිදියයුත්තෝද, ප්‍රශංසා කළ යුත්තෝද වන්නාහුය.

මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි මවය කියා හෝ සුලු මවය කියා හෝ නැන්දාය කියා හෝ ගුරුභාර්‍ය්‍යයා කියා හෝ සුලු පියාගේ භාර්‍ය්‍යාවය කියා හෝ නොවන්නේය. එළුවන්, බැටළුවන්, ඌරන්, කුකුළන්, බල්ලන්, සිවලුන් යම්සේද එසේ ලෝවැසි තෙමේ වෙනසකට නොපැමිණෙන්නේය. මහණෙනි මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි ඒ සත්වයන් තුළ ඔවුනොවුන් කෙරෙහි දැඩි කෝපය, දැඩි ව්‍යාපාදය දැඩි ද්වෙෂය, දැඩි වධක චිත්තය (මැරීමේ ආශාව) ඇති වන්නේය. මහණෙනි, මුවන් මරන්නකුට මුවකු දැක දැඩි කෝපය, දැඩි ව්‍යාපාදය, දැඩි ද්වෙෂය, දැඩි වධක චිත්තය ඇති වන්නේ යම්සේද එසේ පුත්‍රයා කෙරෙහි මවටද, මව කෙරෙහි පුත්‍රයාටද, පුත්‍රයා කෙරෙහි පියාටද, පියා කෙරෙහි පුත්‍රයාටද, සහෝදරිය කෙරෙහි සහෝදරයාටද, සහෝදරයා කෙරෙහි සහෝදරියටද ඔවුනොවුන් කෙරෙහි දැඩි කෝපය, දැඩි ව්‍යාපාදය, දැඩි ද්වෙෂය, දැඩි වධකචිත්තය ඇතිවන්නේය.

Msdiv 104 මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂකොට ඇති කල්හි සත්දවසක් මුළුල්ලෙහි ශස්ත්‍ර අන්තර් කල්පය (ආයුධවලින් ඇන කොටා ගෙන විනාශ වන කාලය) වන්නේය. ජනයා අතර ඔවුනොවුන් කෙරෙහි මෘගසංඥාව (මුවෙකැයි යන හැඟීම) ඇති වන්නේය. ඔවුන් අතට අසුවූ අසුවූ දැය ආවුධ වන්නේය. ඔව්හු තියුණු ආවුධවලින් මේ මුවෙක මේ මුවෙකැයි ඔවුනොවුන් කපා, කොටා ජීවිත විනාශකර ගන්නාහ.

මහණෙනි, ඒ මිනිසුන්ට මෙබඳු අදහසක් වන්නේය. “ අපි කිසිවෙකු නොමරමු. කිසිවෙක් අප නොමරත්වා. අපි තණ ලැහැප්වලට හෝ පඳුරුවලින් ගැවසීගත් ස්ථානවලට හා ගස්වලින් ගැවසීගත් ස්ථානවලට හෝ ගංගා මැද දූපත් වලට හෝ කඳු මුදුන්වලට හෝ පැමිණ, වනයෙහිවූ අලමුල් පල වැල කා ජීවත්වන්නෙමු නම් යහපතැ’යි සිතා, ඔව්හු ඒ තණවලින් ගැවසීගත් ස්ථාන ආදියට පැමිණ සතියක් ජීවත්වෙත්. නැවත ඒ තණලැහැප් ආදීන් නික්ම අවුත් ඔවුනොවුන් වැළඳ ගෙන ‘අපි යම්සේ ජීවත් වෙමුද එසේ ජීවත්වන සත්වයෝ දක්නා ලද්දාහුයයි’ සතුටුසාමීචි කථාකොට මිත්‍රයන් කෙරෙත්.

ආයුවණ්ණාදිවඩ්ඪනකථා Msdiv 105 මහණෙනි, එකල්හි ඒ මිනිසුන්ට මෙබඳු අදහසක් වන්නේය. අපි අකුශලධර්මයන්හි යෙදුනබැවින් මහත්වූ මෙබඳුවූ නැදෑයින් විනාසයට පැමිණියෝ වමු. අපි කුසල්කරන්නෙමු නම් යහපති. කවර කුසලක් කරන්නමුද? අපි ප්‍රාණඝාතයෙන් වළකින්නමු නම් මැනවි. මේ කුසල ධර්මය සමාදන්ව පවත්නෝවමු’ කියායි. ඔව්හු ප්‍රාණඝාතයෙන් වළකින්නාහුය. මේ කුසල ධර්මය සමාදන්ව පවත්නාහුය. ඔව්හු කුශල ධර්මයන් සමාදන්වීම හේතුකොට ගෙන ආයුෂයෙන්ද වැඩෙන්නාහ. වර්ණයෙන්ද වැඩෙන්නාහ. ආයුෂයෙන්ද වර්ණයෙන්ද වැඩෙනු ලබන්නාවූ ඒ මිනිසුන්ට විසිවස් ඇති පුත්‍රයෝ වන්නාහ.

මහණෙනි, ඒ මිනිසුන්ට මෙබඳු අදහසෙක් වන්නේය. ‘අපි වනාහි කුශලධර්ම සමාදන්ව ආරක්ෂා කිරීම නිසා ආයුෂයෙන්ද වර්ණයෙන්ද වැඩෙමු. අපි අතිශයින් කුසල් කරන්නමු නම් ඉතා යහපත්ය කියායි. කවර කුසලක් කරන්නමුද? අපි හොරකමින් වළකින්නමු නම් ඉතා යහපති. කාමමිථ්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, කේලාම් කීමෙන්, ඵරුස වචනයෙන්, සම්ඵප්‍රලාපයෙන් වළකින්නමු නම්, තද ආසාව දුරුකරන්නමු නම්, ක්‍රොධය දුරුකරන්නමු නම්, මිථ්‍යාදෘෂ්ටිය දුරුකරන්නමු නම්, අධර්මරාගය (මව් පිය නැදි මයිල් ආදි අයුතු තැන උපදවන රාගය), විසම ලොභය (පරිභොග කළ යුතු වස්තුවෙහිද ඉතා බලවත් ආශාව), මිථ්‍යාධර්මය (පුරුෂයන් පුරුෂයන් කෙරෙහිද, ස්ත්‍රීන් ස්ත්‍රීන් කෙරෙහිද උපදවන රාගය) යන තුන දුරුකරන්නමු නම් යහපති. අපි මව කෙරෙහි, පියා කෙරෙහි, ශ්‍රමණයන් කෙරෙහි, බ්‍රාහ්මණයන් කෙරෙහි, මනාකොට පවත්නෝ වමු. කුලදෙටුවන් පුදන්නෝ වමු නම් යහපතැයි සිතා, මහණෙනි, ඔව්හු මව කෙරෙහි, පියා කෙරෙහි, ශ්‍රමණයන් කෙරෙහි, බ්‍රාහ්මණයන් කෙරෙහි මනාකොට පවත්නෝ වන්නාහුය. කුලදෙටුවන් පුදන්නෝ වන්නාහුය. මෙසේ කුශලධර්ම සමාදන්ව පවතිත්. ඔව්හු කුසල ධර්ම සමාදන්ව පැවතීමෙන් ආයුෂයෙන්ද වර්ණයෙන්ද වැඩෙන්නාහ. ආයුෂයෙන්ද, වර්ණයෙන්ද වැඩෙනු ලබන්නාවූ විසි අවුරුද්දක් පරමායුෂ කොට ඇති ඒ මිනිසුන්ට අවුරුදු සතලිසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු සතලිසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු අසූවක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු අසූවක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු එකසිය හැටක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු එකසිය හැටක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු තුන්සිය හැටක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු තුන්සිය හැටක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු හයසිය සතලිසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු හයසිය සතලිසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු දෙදහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු දෙදහසක් ආයු ඇති මිනිසුන්ට අවුරුදු සාරදහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු සාර දහසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු අට දහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු අටදහසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු විසිදහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු විසිදහසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු සතලිස් දහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු සතලිස් දහසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු අසූදහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ.

මහණෙනි, මිනිසුන් අතර අවුරුදු අසූදහසක් පරමායුෂ ඇති කල්හි අවුරුදු පන්සියයක් වයස්වූ කුමාරිකාවෝ ස්වාමි කුලයට යායුතු වන්නාහ.

සඩ්ඛ රජ උපත Msdiv 106 මිනිසුන් අතර අවුරුදු අසූ දහසක් පරමායුෂ ඇති කල්හි ආහාර ආශාවය, බත්මතය, මහළුවීමය යන ආබාධ තුන පමණක් ඇත්තේ වෙයි.

මහණෙනි, මිනිසුන් අතර අවුරුදු අසූදහසක් පරමායුෂ ඇති කල්හි මේ දඹදිව අතිශයින් සමෘද්ධ වූයේද, සම්පත්තියෙන් පිරුණේද වන්නේය. ගම්, නියම්ගම්, ජනපද, රාජධානි එකිනෙක සම්බන්ධව පවත්නේය.

මහණෙනි, මිනිසුන් අතර අවුරුදු අසූදහසක් පරමායුෂ ඇති කල්හි මේ දඹදිව උන වනයක් බට වනයක් මෙන් මිනිසුන් ගෙන් අතුරු සිදුරු නැති වන්නේය.

මහණෙනි, මිනිසුන් අතර අසූදහසක් අවුරුදු පරමායුෂ ඇති කල්හි මේ බරණැස් නුවර, දියුණුව බොහෝ ජනයන්ගෙන් ගැවසී ගත්තාවූ බොහෝ ආහාර ඇතිවූ කෙතුමතී නම් රාජධානියක් වන්නේය. මහණෙනි, මිනිසුන් අතර අසූ දහසක් අවුරුදු පරමායුෂ කොට ඇති කල්හි මේ දඹදිව කෙතුමති රාජධානිය ප්‍රමුඛ කොට ඇති අසූසාර දහසක් නගරයෝ වහළෙන් වහළයට කුකුළෙකුට යා හැකි සේ වන්නාහ.

මහණෙනි, මිනිසුන් අතර අසූදහසක් අවුරුදු පරමායුෂ කොට ඇති කල්හි ඒ කෙතුමතී නම් නුවර ධාර්මිකවූ සාගර හතර කෙළවර කොට ඇති මුළු පොළොව ජය ගත්තාවූ ජනපදයන්හි ස්ථිර බවට පැමිණියාවූ, චක්‍රරත්නය, හස්ති රත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, පරිනායකරත්නය යන රත්න හතෙන් යුක්තවූ සඩ්ඛ නම් චක්‍රවර්ති රජෙක් වන්නේය. ඒ රජුට සූරවූ, වීරවූ, පරසෙනා මර්දනය කරන්නාවූ දහසකට අධික පුත්‍රයෝ වන්නාහ. ඒ රජ තෙමේ දඬුවම් නොකොට, ආයුධ නොගෙන මේ මුළු පොළොව ධර්මයෙන් දිනා වාසය කරන්නේය.

මෛත්‍රෙය බුදු උපත Msdiv 107 මහණෙනි, මිනිසුන් අතර අසූදහසක් අවුරුදු පරමායුෂ කොට ඇති කල්හි, මම දැන් යම් සේ ලෝකයෙහි උපන්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, සුගතවූ, ලෝකවිදූවූ, නිරුත්තරවූ, පුරිසදම්මසාරථීවූ දෙවිමිනිසුන්ට ශාස්තෘවූ බුද්ධවූ භාග්‍යවත් වූයේ යම්සේද එසේ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, සුගතවූ, ලොකවිදූ වූ, නිරුත්තරවූ, පුරිසදම්මසාරථීවූ දෙවි මිනිසුන්ට ශාස්තෘවූ, බුද්ධවූ, මෛත්‍රෙය නම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි උපදින්නේය. ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත මේ ලෝකයද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ජනයාද තමන් වහන්සේගේ උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කරන්නේය. මම දැන් දෙවියන් සහිත, මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත මේ ලෝකයද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ජනයාද යම්සේ දැන ප්‍රකාශ කෙරෙම්ද එසේය. මම යම්සේ දැන් මුල යහපත්වූ, මැද යහපත්වූ, අවසානය යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සර්වසම්පූර්ණවූ, පිරිසිදුවූ, බ්‍රහ්මචර්‍යය ප්‍රකාශ කෙරෙම්ද එසේ ඒ බුදුරජාණන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, අවසානය යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සර්ව සම්පූර්ණවූ, බ්‍රහ්මචර්‍යය ප්‍රකාශ කරන්නේය. යම්සේ මම දැන් නොයෙක් සියගණන් භික්ෂු සංඝයා පරිහරණය කෙරෙම්ද එසේ ඒ බුදුරජාණන් වහන්සේ නොයෙක් සිය දහස් ගණන් භික්ෂු සංඝයා පරිහරණය කරන්නේය.

Msdiv 108 මහණෙනි, එකල්හි සඩ්ඛ නම් රජතෙමේ මහාපනාද නම් රජහු විසින් කරවනලද ගංගා නදියෙහි ගිලී පවත්නා ප්‍රාසාදය මතුකොට ගොඩට නංවා එහි කලක් වැස එය අන්‍යයනට හැරදමා මහණ, බමුණු, දුගී, මගී, යාචක, ආදීන්ට දන්දී මෛත්‍රෙය නම් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සමීපයෙහි කෙස් රැවුල් කපා සිවුරු හැඳ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වන්නේය. මෙසේ පැවිදිවූ හෙතෙමේ තනිව අප්‍රමාදව කෙළෙස් තවන වීර්යයෙන් යුක්තව නිවන් පිණිස යොමු කරන ලද සිත් ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද ඉතා උසස්වූ බ්‍රහ්මචර්‍ය්‍යය අවසාන කොට ඇති ඒ අර්හත් ඵලය තමාම ඉතා උසස් ඥානයෙන් අවබොධ කොට එයට පැමිණ වාසය කරන්නේය.

Msdiv 109 මහණෙනි, තමාම ආරක්ෂාස්ථාන කොට තමාම පිහිට කොට අනෙක් සරණක් නැත්තෝව වසව්. ධර්මයම ආරක්ෂාස්ථාන කොට ධර්මයම පිහිටකොට අනෙක් සරණක් නැත්තෝව වසව්. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් තමාම ආරක්ෂාස්ථාන කොට තමාම පිහිටකොට, අනෙක් සරණක් නැතිව ධර්මයම ආරක්ෂාස්ථාන කොට ධර්මයම පිහිටකොට අනෙක් සරණක් නැතිව වෙසේද යත්:

මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙළෙස් තවන වීර්යය ඇතිව, යහපත් නුවණින් යුක්තව, සිහි ඇතිව ස්කන්ධ ලෝකයෙහි ඇල්මත් මානසික දුකත් දුරලා කායානුපස්සනා, වෙදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන මෙහි යෙදී වාසය කරයි. මහණෙනි, මහණ තෙමේ තමාම ආරක්ෂාස්ථාන කොට, තමාම පිහිට කොට, අනෙක් සරණක් නැතිව, ධර්මයම ආරක්ෂාස්ථාන කොට ධර්මයම පිහිටකොට අනෙක් සරණක් නැතිව වසනුයේ මෙසේය.

භික්ඛුනොආයුවණ්ණාදිවඩ්ඪනකථා Msdiv 110 මහණෙනි, (බුදුරජාණන් වහන්සේ) නමැති පියාගෙන් උරුමව තමන්ට පැමිණි ගෝචරයෙහි හැසිරෙව්, සිය පියාගෙන් පැමිණි හැසිරිය යුතු ප්‍රදේශයෙහි හැසිරෙන්නාහු ආයුෂයෙන්ද, වර්ණයෙන්ද, සුවයෙන්ද සම්පත්තියෙන්ද, බලයෙන්ද වැඩෙන්නාහුය.

මහණෙනි, භික්ෂුවගේ ආයුෂයට කාරණය කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඡන්ද සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි, වීර්යය සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. චිත්ත සමාධිය ප්‍රධානකොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. වීමංසා සමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. හෙතෙමේ මේ සතර ඍද්ධි පාදයන් වැඩූ බැවින් ඉදින් කැමැත්තේ නම් නියම ආයුෂ කාලය හෝ එයට වැඩියක් හෝ සිටින්නේය. මහණෙනි, මේ භික්ෂුවගේ ආයුෂයට කාරණයයි.

මහණෙනි, භික්ෂුවගේ වර්ණයට කාරණය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ සිල්වත් වූයේ වෙයි. ප්‍රාතිමොක්ෂ සංවර සීලයෙන් යුක්ත වූයේ ආචාර ගොචර සම්පන්න වූයේ ස්වල්ප මාත්‍ර වරදෙහිද භය දක්නා සුලු වූයේ වාසය කරයි, ශික්ෂා පද සමාදන්ව හික්මෙයි. මහණෙනි, මේ භික්ෂුවගේ වර්ණයට කාරණයයි.

මහණෙනි, භික්ෂුවගේ සැපයට කාරණය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන් ගෙන් වෙන්ව, විතර්ක සහිත, විචාර සහිත විවෙකයෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන් සන්සිඳවීමෙන් ද්විතීයධ්‍යාන, තෘතීයධ්‍යාන, චතුර්ථධ්‍යාන යන ධ්‍යානවලට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ භික්ෂුවගේ සැපයට කාරණයයි.

මහණෙනි, භික්ෂුවගේ සම්පතට කාරණය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දිසා දෙකක්, දිසා තුනක්, දිසා සතරක් එසේ උඩයට සරස සියලු තැන, සියලු ලෝකය මහත්වූ, අප්‍රමාණවූ අවෛරීවූ ක්‍රොධ රහිතවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. එසේම කරුණා සහගත සිතින්ද, මුදිතා සහගත සිතින්ද, උපෙක්ඛා සහගත සිතින්ද එක් දිසාවක්, දිසා දෙකක්, දිසා තුනක්, දිසා සතරක්, උඩ යට සියලු තැන, සියලු ලෝකය පතුරුවා වාසය කරයි. මහණෙනි, මේ භික්ෂුවගේ සම්පතට කාරණයයි.

මහණෙනි, භික්ෂුවගේ බලයට කාරණය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිත අර්හත් ඵලය මේ ආත්මයෙහි ඉතා උසස් ඥානයෙන් අවබොධ කොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ භික්ෂුවගේ බලයට කාරණයයි.

මහණෙනි, මාර බලය තරම් මැඩපැවැත්වීමට අමාරු අන් බලයක් මම නොදනිමි. එයද මේ අර්හත් බලයෙන් මැඩපැවතේ. මහණෙනි, කුශල ධර්ම සමාදන්ව පැවතීම් හේතුවෙන් මෙසේ පින් වැඬේ. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළෝය. සතුටු සිත් ඇති ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටු වූහ.

විසිහය වැනිවූ චක්‍රවර්ති සීහනාද සූත්‍රය නිමියේයි.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection