LibraryDNDN 27
DN 2735 min read

The Origin of the World

Aggaññasutta

20
PDFGenerated
01 · Overview

In contrast with the brahmin’s self-serving mythologies of the past, the Buddha presents an account of evolution that shows how human choices are an integral part of the ecological balance, and how excessive greed destroys the order of nature.

02 · Reading guide

Read the full discourse slowly and reflect on key passages.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

දීඝ නිකාය පාඨික වර්ගය 27. අග්ගඤ්ඤ සූත්‍රය වාසෙට්ඨභාරද්වාජා Msdiv 111 මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ මිගාර මාතෘ ප්‍රාසාද නම් පූර්වාරාමයෙහි වැඩවසන්නාහ. එකල වාසෙට්ඨ, භාරද්වාජ නම් සාමණෙර දෙනම භික්ෂු භාවය බලාපොරොත්තුවෙමින් භික්ෂූන් සමීපයෙහි වෙසෙත්.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැගී සිට ප්‍රාසාදයෙන් බැස (ඊට නැගෙනහිර දික්හි) පහයෙහි සෙවනැල්ල පවත්නා පසුභාගයෙහි අවකාශස්ථානයෙක සක්මන් කළහ.

Msdiv 112 වාසෙට්ඨ නම් සාමණෙර තෙමේ සවස් වේලෙහි විවේකයෙන් නැගී සිටියාවූ, පහයෙන් බැස ප්‍රාසාද සෙවනැල්ල පවත්නා අවකාශස්ථානයෙක්හි සක්මන් කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක භාරද්වාජ නම් සාමණේර නමට කථා කළේය. කථා කොට

“ආයුෂ්මත් භාරද්වාජයෙනි, මේ භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි විවෙකයෙන් නැගීසිට පහයෙන් බැස ප්‍රාසාද සෙවනැල්ල පවත්නා අවකාශස්ථානයෙහි සක්මන් කරන්නාහුය. ආයුෂ්මත් භාරද්වාජය, (අපි) යමු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතන්හි පැමිණෙන්නෙමු. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් ධර්ම කථාවක් අසන්නට ලබන්නෙමු නම් ඉතා යහපතැ”යි කීය.

“ඇවැත්නි, එසේය”යි භාරද්වාජ තෙමේ වාසෙට්ඨ හට උත්තර දුන්නේය.

Msdiv 113 එවිට වාසෙට්ඨ භාරද්වාජ දෙදෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ සක්මන් කරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කළාහුය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ඨහට කථාකොට මෙසේ කීවාහුය. “වාසෙට්ඨය, තෙපි වනාහි බ්‍රාහ්මණ ජාති ඇත්තෝ වූවහුය. බ්‍රාහ්මණයන් අතුරෙහි කුලසම්පන්න වූවහුය. බ්‍රාහ්මණ කුලයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි මහණ වූවහුය. වාසෙට්ඨය, කිම? (අන්‍ය) බ්‍රාහ්මණයෝ තොපට අපහාස නොකෙරෙද්ද? හෙළාදැකීම නොකෙරෙද්ද?”

“ස්වාමීන් වහන්ස, එකාන්තයෙන්ම බමුණෝ අපට අපහාස කෙරෙති. තම තමන්ට සුදුසුවූ සම්පූර්ණවූ අසම්පූර්ණ නොවූ කථාවෙන් හෙළා දැකීම කෙරෙති”යි කීය.

“වාසෙට්ඨය, බ්‍රාහ්මණයෝ තොපට ඒ කෙසේ නම් තම තමන්ට සුදුසුවූ සම්පූර්ණවූ අසම්පූර්ණ නුවූ කථාවෙන් අපහාස කෙරෙද්ද? හෙළා දැකීම කෙරෙද්ද?”

“ස්වාමීනි, බ්‍රාහ්මණයෝ මෙසේ කියති: ‘බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ හීන වංශ ඇත්තෝය. බ්‍රාහ්මණ තෙමේම පිරිසිදු වංශ ඇත්තේය. බ්‍රාහ්මණයෝම ශුද්ධ වෙති. බ්‍රාහ්මණ නුවූවෝ ශුද්ධ නොවෙති. බමුණෝම මහා බ්‍රහ්මයාගේ පුත්‍රයෝය. (ඔහුගේ) කටින් පහළ වූවාහුය (ඔහු විසින්) හෘදයෙහි තබා වඩන ලද්දාහුය. නොහොත් හෘදයෙහි වැස කටින් නික්මුණාහුය. බ්‍රහ්මයා කෙරෙන් උපන්නාහුය. බ්‍රහ්මයා විසින් මවන ලද්දාහුය. බ්‍රහ්මයාගේම නෑයෝ වෙති. ඒ තෙපි ශ්‍රෙෂ්ඨ වංශය හැරපියා හීනවූ මාර පක්ෂයෙහිවූ බඹහුගේ පාදයෙන් උපන්නාවූ අපිරිසිදුවූ මුඩු මහණහු කෙරෙහි පැවිදිවීම් නම්වූ යම් ඒ හීන වංශයකට පැමිණීමක් ඇද්ද මහබඹහුගේ පාදයෙන් උපන්නාවූ මුඩු මහණහු කෙරෙහි පැවිදිවීම් නම්වූ ඒ හීන වංශයට පැමිණීම තොපට නුසුදුසුයි.”

“ස්වාමීනි, බමුණෝ මෙසේ අපට තම තමන්ට සුදුසුවූ සම්පූර්ණවූ අසම්පූර්ණ නුවූ කථාවෙන් අපහාස කෙරෙති. හෙළා දැකීම කෙරෙති.

Msdiv 114 වාසෙට්ඨය, ඒකාන්තයෙන් තොපගේ බ්‍රාහ්මණයෝ මුල සිහි නොකරමින් මෙසේ කියති. එනම්: ‘බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේ වෙයි. අන්‍යයෝ පහත් වංස ඇත්තෝය. බ්‍රාහ්මණ තෙමේම පිරිසිදු වංස ඇත්තේ වෙයි. අන්‍යයෝ අපිරිසිදු වංශ ඇත්තෝයි. බ්‍රාහ්මණයෝම මහාබ්‍රහ්මයාගේ පුත්‍රයෝය. (ඔහුගේ) කටින් පහළ වූවාහුය. (ඔහු විසින්) හෘදයෙහි තබා වඩන ලද්දාහුය. නොහොත් හෘදයෙහි වැස කටින් නික්මුනාහුය. බ්‍රහ්මයා කෙරෙන් උපන්නාහුය. බ්‍රහ්මයා විසින් මවන ලද්දාහුය. බ්‍රහ්මයාගේම නෑදෑයෝ වෙත්ය’ කියායි.

වාසෙට්ඨය, බ්‍රාහ්මණයන්ගේ ඔසප්වූද, දරුගැබ් ඇත්තාවූද, දරුවන් වදන්නාවූද, දරුවන්ට කිරි පොවන්නාවූද, බැමිණියෝ දක්නා ලැබෙති. ඒ බ්‍රාහ්මණයෝ යොනි මාර්ගයෙන්ම උපන්නෝව මෙසේ කියති. ‘බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ පහත් වංශ ඇත්තෝය. බ්‍රාහ්මණ තෙමේම පිරිසිදු වංශ ඇත්තේය. අන්‍යයෝ අපිරිසිදු වංශ ඇත්තෝය. බ්‍රාහ්මණයෝම සුද්ධ වෙති. බමුණුනුවූවෝ සුද්ධ නොවෙති. බ්‍රාහ්මණයෝම මහාබ්‍රහ්මයාගේ පුත්‍රයෝය. (ඔහුගේ) කටින් පහළවූවාහ. ඔහු විසින් හෘදයෙහි තබා වඩනා ලද්දාහුය නොහොත් හෘදයෙහි වැස කටින් නික්මුනාහුය. බ්‍රහ්මයා විසින් මවන ලද්දාහුය. බ්‍රහ්මයාගේම නෑදෑයෝ වෙත්ය කියායි. ඔහු තුමූ බ්‍රහ්මයාටද බොරුවෙන් හෙළාදකිත්. බොරුද කියත්. බොහෝ පව්ද රැස්කර ගනිත්.

චතුවණ්ණසුද්ධි Msdiv 115 “වාසෙට්ඨය, මේ වංශ සතරක් වෙත්. එනම්, ක්ෂත්‍රියයෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය (වෙළඳුන්ය), ශුද්‍රයෝය (කම්කරුවෝය) කියායි. වාසෙට්ඨය, මේ ලොකයෙහි සමහර ක්ෂත්‍රියයෙක්ද ප්‍රාණඝාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරු කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුෂවචන කියන්නෙක් වෙයි. හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලොභය බහුල කොට ඇත්තෙක් වෙයි. (ක්‍රොධයෙන්) වෙනස්වූ සිත් ඇත්තෙක් වෙයි. මිථ්‍යාදෘෂ්ටි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි.

“වාසෙට්ඨය, මෙසේ යම් ධර්මකෙනෙක් අකුසල් වෙද්ද, අකුසල්යයි කියන ලද්දාහුද, වරද සහිත වෙද්ද, වරද සහිතයයි කියන ලද්දාහුද, සෙවනය නොකට යුත්තාහුද, සෙවනය නොකටයුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවයට නුසුදුසු වෙද්ද, ආර්‍ය්‍යභාවයට නුසුදුසුයයි කියන ලද්දාහුද, අපිරිසිදු වෙත්ද, අපිරිසිදු විපාක ඇත්තාහු වෙත්ද නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්ද ඒ ධර්මයෝ සමහර ක්ෂත්‍රියයෙකු කෙරෙහිද දක්නා ලැබෙත්.

“වාසෙට්ඨය, සමහර බ්‍රාහ්මණයෙක්ද ප්‍රාණඝාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරු කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුසවචන කියන්නෙක් වෙයි, හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලොභය බහුල කොට ඇත්තෙක් වෙයි. (ක්‍රොධයෙන්) වෙනස්වූ සිත් ඇත්තෙක් වෙයි. මිථ්‍යාදෘෂ්ටි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි.

“වාසෙට්ඨය, මෙසේ යම් ධර්මකෙනෙක් අකුසල් වෙද්ද, අකුසල්යයි කියන ලද්දාහුද, වරද සහිත වෙද්ද, වරද සහිතයයි කියන ලද්දාහුද, සෙවනය නොකට යුත්තාහුද, සෙවනය නොකට යුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවයට නුසුදුසුද, ආර්‍ය්‍යභාවයට නුසුදුසුයයි කියන ලද්දාහුද, අපිරිසිදු වෙත්ද, අපිරිසිදු විපාක ඇත්තාහු වෙත්ද, නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්ද, ඒ ධර්මයෝ සමහර බ්‍රාහ්මණයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.

“වාසෙට්ඨය, සමහර වෛශ්‍යයෙක්ද ප්‍රාණඝාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරු කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුස වචන කියන්නෙක් වෙයි. හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලොභය බහුලකොට ඇත්තෙක් වෙයි. (ක්‍රොධයෙන්) වෙනස්වූ සිත් ඇත්තෙක් වෙයි. මිථ්‍යාදෘෂ්ටි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි.

“වාසෙට්ඨය, මෙසේ යම් ධර්මකෙනෙක් අකුසල් වෙද්ද අකුසල්යයි කියන ලද්දාහුද, වරද සහිත වෙද්ද, වරද සහිතයයි කියන ලද්දාහුද, සෙවනය නොකට යුත්තාහුද, සෙවනය නොකට යුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවයට නුසුදුසුද, ආර්‍ය්‍යභාවයට නුසුදුසුයයි කියන ලද්දාහුද, අපිරිසිදු වෙත්ද, අපිරිසිදු විපාක ඇත්තාහු වෙත්ද, නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්ද, ඒ ධර්මයෝ සමහර වෛශ්‍යයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.

“වාසෙට්ඨය, සමහර ශුද්‍රයෙක්ද ප්‍රාණඝාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරු කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුස වචන කියන්නෙක් වෙයි. හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලොභය බහුලකොට ඇත්තෙක් වෙයි. (ක්‍රොධයෙන්) වෙනස්වූ සිත් ඇත්තෙක් වෙයි. මිථ්‍යාදෘෂ්ටි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි.

වාසෙට්ඨය, මෙසේ යම් ධර්මකෙනෙක් අකුසල් වෙද්ද, අකුසල්යයි කියන ලද්දාහුද, වරද සහිත වෙද්ද, වරද සහිත යයි කියන ලද්දාහුද, සෙවනය නොකට යුත්තාහුද, සෙවනය නොකට යුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවය සිදුකිරීමෙහි අසමර්ථ වෙද්ද, ආර්‍ය්‍යභාවය සිදුකිරීමෙහි අසමර්ථයයි කියන ලද්දාහුද, අපිරිසිදු වෙත්ද, අපිරිසිදු විපාක ඇත්තාහු වෙත්ද, නුවණැත්තන් විසින් ගර්හාකරණ ලද්දාහු වෙත්ද ඒ ධර්මයෝ සමහර ශුද්‍රයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.

“වාසෙට්ඨය, මම ලොකයෙහි සමහර ක්ෂත්‍රියයෙක්ද ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි. නුදුන් දෙය ගැන්මෙන් වැළකුනේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරුකීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. පරුස වචන කීමෙන් වැළකුනේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුනේ වෙයි. දැඩිලොභය බහුල කොට ඇත්තේ නොවෙයි. (ක්‍රොධ වසයෙන්) වෙනස්වූ සිත් ඇත්තේ නොවෙයි. සම්‍යග්දෘෂ්ටි (හරිදැකීම) ඇත්තේවෙයි. වාසෙට්ඨය, එසේ යම් ධර්මකෙනෙක් කුසල්වෙද්ද, කුසල්යයි කියන ලද්දාහුද වරද රහිත වෙද්ද, වරද රහිතයයි කියන ලද්දාහුද, සෙවනය කටයුත්තාහුද සෙවනය කටයුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවය සිදුකිරීමෙහි සමර්ථ වෙද්ද ආර්‍ය්‍යභාවය සිදුකිරීමෙහි සමර්ථයයි කියන ලද්දාහුද, පිරිසිදුවෙද්ද, සැප විපාක ඇත්තාහු වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු වෙද්ද, ඒ ධර්මයෝ සමහර ක්ෂත්‍රියයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.

වාසෙට්ඨය, සමහර බ්‍රාහ්මණයෙක්ද ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි. නුදුන්දෙය ගැන්මෙන් වැළකුණේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. පරුස වචන කීමෙන් වැළකුනේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුනේ වෙයි. දැඩි ලොභය බහුලකොට ඇත්තේ නොවෙයි. (ක්‍රොධ වසයෙන්) වෙනස්වූ සිත් ඇත්තේ නොවෙයි. සම්‍යග්දෘෂ්ටි (හරිදැකීම) ඇත්තේ වෙයි. වාසෙට්ඨය, එසේ යම් ධර්ම කෙනෙක් කුසල් වෙත්ද, කුසල්යයි කියන ලද්දාහුද, වරද රහිත වෙද්ද, වරද රහිතයයි කියන ලද්දාහුද, සෙවනය කටයුත්තාහුද, සේවනය කටයුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි සමර්ථ වෙද්ද, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි සමර්ථයයි කියන ලද්දාහුද, පිරිසිදු වෙද්ද, සැප විපාක ඇත්තාහු වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු වෙද්ද, ඒ ධර්මයෝ සමහර බ්‍රාහ්මණයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.

“වාසෙට්ඨය, සමහර වෛශ්‍යයෙක්ද ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි. නුදුන් දෙය ගැන්මෙන් වැළකුනේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේළාම් කීමෙන් වැළකුනේ වෙයි. පරුස වචන කීමෙන් වැළකුනේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුනේ වෙයි. දැඩි ලොභය බහුලකොට ඇත්තේ නොවෙයි. (ක්‍රොධ වසයෙන්) වෙනස්වූ සිත් ඇත්තේ නොවෙයි. සම්‍යග් දෘෂ්ටි (හරි දැකීම්) ඇත්තේ වෙයි. වාසෙට්ඨය, එසේ යම් ධර්මකෙනෙක් කුසල් වෙත්ද, කුසල්යයි කියන ලද්දාහුද, වරද රහිත වෙද්ද, වරද රහිතයයි කියන ලද්දාහුද, සේවනය කටයුත්තාහුද, සේවනය කටයුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවය සිදුකිරීමෙහි සමර්ථ වෙද්ද, ආර්‍ය්‍යභාවය කිරීමෙහි සමර්ථයයි කියන ලද්දාහුද, පිරිසිදු වෙද්ද, සැප විපාක ඇත්තාහු වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහුවෙද්ද, ඒ ධර්මයෝ සමහර වෛශ්‍යයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.

“වාසෙට්ඨය, සමහර ශුද්‍රයෙක්ද ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි. නුදුන්දෙය ගැන්මෙන් වැළකුනේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. පරුස වචන කීමෙන් වැළකුනේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුනේ වෙයි. දැඩි ලොභය බහුලකොට ඇත්තේ නොවෙයි. (ක්‍රොධ වසයෙන්) වෙනස්වූ සිත් ඇත්තේ නොවෙයි. සම්‍යග් දෘෂ්ටි (හරි දැකීම්) ඇත්තේ වෙයි. වාසෙට්ඨය, එසේ යම් ධර්ම කෙනෙක් කුසල් වෙත්ද, කුසල්යයි කියනලද්දාහුද, වරද රහිත වෙද්ද, වරද සහිතයයි කියන ලද්දාහුද, සේවනය කටයුත්තාහුද, සේවනය කටයුතුයයි කියන ලද්දාහුද, ආර්‍ය්‍යභාවය සිදු කිරීමෙහි සමර්ථ වෙද්ද, ආර්‍ය්‍යභාවය සිදුකිරීමෙහි සමර්ථයයි කියන ලද්දාහුද, පිරිසිදු වෙද්ද, සැප විපාක ඇත්තාහු වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු වෙද්ද, ඒ ධර්මයෝ සමහර ශුද්‍රයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.

Msdiv 116 වාසෙට්ඨය, මේ සතර වංශයන් කෙරෙහි නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාවූද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාවූද, පිරිසිදුවූද, අපිරිසිදුවූද, ධර්මයන් මිශ්‍රව පවත්නාකල්හි බ්‍රාහ්මණයෝ “බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය අන්‍යයෝ හීන වංශ ඇත්තෝය. බ්‍රාහ්මණ තෙමේම පිරිසිදු වංශ ඇත්තේය. අන්‍යයෝ අපිරිසිදු වංශ ඇත්තෝය. බ්‍රාහ්මණයෝම ශුද්ධ වෙති. බ්‍රාහ්මණ නුවූවෝ ශුද්ධ නොවෙති. බමුණෝම මහා බ්‍රහ්මයාගේ පුත්‍රයෝය. (ඔහුගේ) මුඛයෙන් පහළවූවාහුය. (ඔහු විසින්) හෘදයෙහි හොවා වඩනලද්දාහුය. නොහොත් ලෙහි වැස මුඛයෙන් නික්මුනාහුය. බ්‍රහ්මයා කෙරෙන් උපන්නාහුය. බ්‍රහ්මයා විසින් මවන ලද්දාහුය. බ්‍රහ්මයාගේම නෑදෑයෝ වෙත්ය’යි මෙසේ කියද්ද, ඔවුන්ගේ ඒ කථාව නුවැණැත්තෝ නොපිළි ගනිත්. ඊට හෙතු කවරේද? වාසෙට්ඨය, මේ (ක්ෂත්‍රියාදි) සතර වංසයන් අතුරෙන් (එකකට ඇතුළත්වූ) යම් භික්ෂුවක් රහත් වූයේද, නැති කරනලද ආශ්‍රව ඇත්තේ වේද, වාසය කොට නිම කරන ලද බ්‍රහ්මචර්‍ය්‍ය වාස (උතුම් හැසිරීම්) ඇත්තේද, කරනලද සිව් මග කටයුතු ඇත්තේද, බහා තබන ලද ස්කන්ධ බර ඇත්තේද, පිළිවෙලින් පැමිණි ස්වකීය කටයුතු ඇත්තේද, විනාශ කරන ලද භව බන්ධන ඇත්තේද, හොඳින් කරුණු සහිතව දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේද, ඒ පුද්ගල තෙමේ ඔවුන් අතුරෙන් ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබේ. (එයද) ධර්මයෙන්මය, අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, මේ සත්වයන් පිළිබඳවූ මෙලෙව්හිද පරලෙව්හිද යන දෙක්හිම ධර්මයම ශ්‍රෙෂ්ඨ වෙයි.

Msdiv 117 “වාසෙට්ඨය, සත්වයන් පිළිබඳවූ මෙලෙව්හිද, පරලෙව්හිද, යම්සේ ධර්මයම ශ්‍රෙෂ්ඨ වේද, එය මේ ආකාරයෙන්ද දත යුතුයි.

“වාසෙට්ඨය, පසේනදි කොසොල් රජ තෙම “තමන්ට වඩා උසස් අනෙකෙකු තැනිහෙයින් අනුත්තර නම්වූ ශ්‍රමණභවත් ගෞතම තෙමේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූයේය”යි දනියි. වාසෙට්ඨය, ශාක්‍යයෝ පසේනදි කොසොල් රජහුට සමාන වංශ ඇත්තාහුය. කොසොල් රජහට යටත්ව පවත්නාහුය. වාසෙට්ඨය, ශාක්‍යයෝ පසේනදි කොසොල් රජහු කෙරෙහි ගරු සැලකිලි පැවැත්වීමද වැඳීමද දැක හුනස්නෙන් නැගීසිටීමද ඇඳිලි බැඳීමද (ඇඟිලි එකට තබා වැඳීම) වත්පිළිවෙත් කිරීම් ආදී ඒ ඒ සුදුසු ක්‍රියාද කෙරෙති. මෙසේ ශාක්‍යයෝ පසේනදි කොසොල් රජහු කෙරෙහි ගරු සැලකිලි පැවැත්වීමය වැඳීමය, දැක හුනස්නෙන් නැගී සිටීමය, ඇඳිලි බැඳීමය, වත් පිළිවෙත් ආදී ඒ සුදුසු ක්‍රියාය යන යමක් කෙරෙද්ද, පසේනදි කොසොල් රජ තෙමේ ඒ ගරු සැලකිලි පැවැත්වීමද, වැඳීමද, දැක හුනස්නෙන් නැගී සිටීමද, ඇඳිලි බැඳීමද, වත් පිළිවෙත් කිරීම් ආදී ඒ ඒ සුදුසු ක්‍රියාද තථාගතයන්වහන්සේට කෙරෙයි.

“ශ්‍රමණගෞතමයන් වහන්සේ පිරිසිදුව උපන්නේ නොවේද, මම පිරිසිදුව නූපන්නේ වෙමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බලසම්පන්න නොවේද? මම දුර්වල වෙමි. ශ්‍රමණ ගෞතමයන්වහන්සේ හිත් ප්‍රිය කරන රූපයෙන් යුක්ත නොවේද? මම දුර්වර්ණයෙක් (අවලක්ෂණ රූප ඇත්තෙක්) වෙමි. ශ්‍රමණගෞතමයන් වහන්සේ මහානුභාවසම්පන්න නොවේද, මම ස්වල්ප ආනුභාවඇත්තෙක් වෙමි”යි කියායි. එසේද ඇති කල්හි ධර්මයටම සත්කාර කරන්නේ ධර්මයටම ගරු කරන්නේ ධර්මයටම බුහුමන් කරන්නේ ධර්මයටම පුදන්නේ මෙසේ පසේනදි කොසොල් රජ තෙමේ තථාගතයන්වහන්සේ කෙරෙහි සැලකීමද වැඳීමද දැක හුනස්නෙන් නැගී සිටීමද ඇඳිලි බැඳීමද වත්පිළිවෙත් ආදී ඒ ඒ සුදුසුක්‍රියාද කෙරෙයි.

“වාසෙට්ඨය, සත්වයන් පිළිබඳ මෙලෙව්හිද පරලෙව්හිද යම්සේ ධර්මය ශ්‍රෙෂ්ඨ වේද එය මෙකී කාරණයෙන්ද දතයුතුයි.

Msdiv 118 “වාසෙට්ඨය, තෙපි නොයෙක් ජාති ඇත්තාහුය, නොයෙක් නම් ඇත්තාහුය. නොයෙක් ගොත්‍ර ඇත්තාහුය, නොයෙක් කුලයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහුය. තෙපි කවරහුදැ’යි විචාරණ ලද්දාහුම ‘ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණයම්හ’යි ප්‍රකාශ කරන්නාහුය. වාසෙට්ඨය, යම් පුද්ගලයෙකුගේ ශ්‍රද්ධාව තථාගතයන් වහන්සේ කෙරෙහි චංචල නොවී පිහිටියාද හටගත් මුල් ඇත්තීද ඒහෙයින්ම දැඩි කොට පිහිටියාද ස්ථිර වූවාද ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලොකයෙහි අන් කිසිවෙකු විසින් හෝ සොලවන්නට නොහැකි වූවාද, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් මේ වචනය කියන්නට සුදුසුය. එනම්, මම භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර වෙමි, ඖරස පුත්‍ර වෙමි. මුඛයෙන් පහළවූයේ වෙමි. ධර්මයෙන් පහළවූයේ නම් වෙමි. ධර්ම නිර්මිත නම් වෙමි. (නව ලොකොත්තර ධර්ම නමැති දායාදයට යොග්‍ය හෙයින්) ධර්මදානය නම් වෙමි”යි කියායි. ඊට හේතු කවරේද, වාසෙට්ඨය, ‘ධම්මකාය, යනුද ‘බ්‍රහ්මකාය’ යනුද ‘ධම්මභූත’ යනුද, ‘බ්‍රහ්මභූත’ යනුද තථාගතයන් වහන්සේගේම නම් වන හෙයිනි.

Msdiv 119 “වාසෙට්ඨය, යම් හේතුවකින් කිසි කලෙක්හි දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් මේ ලෝකය වැනසේද, එබඳු කාලයක මේ ලොකය වැනසෙන කල්හි බොහෝසෙයින් සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලොකයෙහි උපදනාහු වෙත්, ඔහු තුමූ එහි (ඔපපාතිකව) මනසින් උපන්නාහු ප්‍රීතියම ආහාරකොට ඇත්තාහු ස්වකීය ශරීරාලොකයෙන්ම බබලන්නාහු අහස්හි හැසිරෙන්නාහු මනොඥ ස්වභාව ඇත්තාහු ඉතා දීර්ඝ කාලයක් සිටිත්. වාසෙට්ඨය, යම් හෙයකින් කිසි කලෙක්හි දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් මේ ලොකය හටගනීද, එබඳු කාලයක් වේ. ලොකය හටගන්නා කල්හි බොහෝසෙයින් සත්වයෝ ආභස්සර බ්‍රහ්මලෝකයෙන් චුතව මේ මනුෂ්‍ය ලොකයට පැමිණෙති, ඔහු තුමූ සිතින්ම (ඔපපාතිකව) උපන්නාහු ප්‍රීතියම ආහාර කොට ඇත්තාහු ස්වකීය ශරීරාලොකයෙන්ම බබලන්නාහු අහස්හි හැසිරෙන්නාහු මනොඥ ස්වභාව ඇත්තාහු ඉතා දීර්ඝ කාලයක් සිටිත්.

රසපථවිපාතුභාවො Msdiv 120 “වාසෙට්ඨය, එකල (සියළු සක්වළම) එකම ජලයක්ව අඳුරුව පවත්නේය. තද කළුවර වෙයි. සඳ හිරු දෙදෙන නොපෙණෙති. ග්‍රහතාරකාවෝ නොපෙණෙති. රෑදාවල් නොපෙණෙති, මාස අර්ධ මාසයෝ නොපෙණෙති. ඍතුභෙද හා අවුරුදු භෙද සහ ස්ත්‍රිය පුරුෂය යන භෙදයක් නොපෙණෙයි”. සත්වයෝය, සත්වයෝය යන කොටසටම ඇතුළත් වෙති.

“වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.”

‘යම්සේ උණුකරනලද කිරි නිවෙන කල්හි මතුයෙහි යොදයක් වේද එපරිද්දෙන්ම (රස පොළොව) පහළ විය. ඒ රස පොළොව වර්ණ සම්පන්න විය. සුවඳින් යුක්ත විය. රසයෙන් යුක්ත විය. යහපත් ගිතෙල් හෝ යහපත් වෙඬරු හෝ යම් සේද එසේ වර්ණ සම්පන්න විය. පිළව් නැති දඬුවැල් බෑ මීයක් යම් සේද එබඳු රස ඇත්තීද විය.”

වාසෙට්ඨය, එවිට ආශාව අධික එක්තරා සත්වයෙක් “පින්වත්නි, මේ කුමක් නම් වන්නේදැයි රස පොළොව ඇඟිල්ලෙන් ගෙණ රස බැලුයේය. රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බැලු ඔහුගේ ආශාව වැඩි විය. ඔහුට එහි තද ආශාවද පහළ විය. වාසෙට්ඨය, අන්‍ය සත්වයෝද ඔහුගේ ක්‍රියාවට අනුව යාමෙන් රස පොළොව ඇඟිල්ලෙන් ගෙණ රස බැලුවාහුය. රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බලන්නාවූ ඔවුන්ගේ රස නහර පිණාගියේය. ඔවුන්ට එහි තද ආශාවද පහළ විය.

චන්දිමසූරියාදිපාතුභාවො Msdiv 121 වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ රස පොළොව අතින් ගුළිකොට පිඩු පිඩු වශයෙන් කඩා අනුභවකරන්ට පටන්ගත්හ. වාසෙට්ඨය, යම් කලෙක්හි සත්වයෝ රස පොළොව ගුළි කොට පිඩු පිඩු වසයෙන් කඩා අනුභවකරන්ට පටන් ගත්තාහුද, එකල්හි ඒ සත්වයන්ගේ ශරීරාලොකය නැතිවී ගියේය. ශරීරාලොකය නැතිවීගිය කල්හි සඳ හිරු දෙදෙන පහළ වූහ. සඳ හිරු පහළවූ කල්හි ග්‍රහ තාරකාද සෙසු තාරකාරූපයෝද පහළ වූහ. ග්‍රහ තාරකා හා සෙසු තාරකා පහළවූ කල රෑදාවල් පෙනුනාහුය. රෑ දාවල් ප්‍රකටවූ කල්හි මාස අර්ධ මාසයෝ ප්‍රකට වූහ. මාස අර්ධමාසයන් පෙනෙන කල්හි ඍතු අවුරුදු ප්‍රකට වූහ. වාසෙට්ඨය, මෙපමණෙකින් මේ ලොකය නැවත හට ගත්තේ වෙයි.

Msdiv 122 “වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටියාහුය. වාසෙට්ඨය, යම් යම් පරිද්දෙකින් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටියාහුද ඒ ඒ පරිද්දෙන් ඒ සත්වයන්ගේ ශරීරයෙහි රළු ගතියද ඇති විය. වර්ණයාගේ වෙනස්වීමද පෙනුනේය. සමහර සත්ව කෙනෙක් වර්ණවත් (ලක්ෂණ) වෙති. සමහර සත්ව කෙනෙක් දුර්වර්ණ (අවලක්ෂණ) වෙති. ඔවුන් අතුරෙහි යම් ඒ සත්ව කෙනෙක් වර්ණවත් වෙද්ද ඔහු තුමූ ‘අපි ඔවුන්ට වඩා අතිශයින් වර්ණවත් වෙමු. අපට වඩා මොහු අතිශයින් දුර්වර්ණයහ”යි දුර්වර්ණ සත්වයන්ට අවමන් කෙරෙත්. වර්ණය නිසා උපන් අධික මාන හෙතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැතිවී ගියේය. රස පොළොව නැතිව ගිය කල ඔහු එක්රැස් වූහ. එක්රැස්වී “අහෝ රසය, අහෝ රසය”යි ඔවුනොවුන් කථාකළහ. (ඒ එසේමැයි) මෙකලද මිනිස්සු කිසියම් මිහිරි රසයක් ලැබ ‘අහෝ රසය, අහෝ රසය’යි කියති. එම පුරාණ ලොකොත්පත්ති වංශ කථාව මෙසේ ඇති විය. එහෙත් ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.

භූමිපප්පටකපාතුභාවො Msdiv 123 “වාසෙට්ඨය, ඉක්බිති ඒ සත්වයන්ගේ රසපොළොව නැතිවී ගිය කල (බිම්හතු) ඔජා සහිත මොලොක්පස පහළවූයේය. යම් සේ නයිහතු පහළවන්නේද එමෙනි. එය වර්ණ සම්පන්න විය. සුවඳින් යුක්ත විය. රසයෙන් යුක්ත විය. යහපත්වූ ගිතෙල් හෝ යහපත්වූ වෙඬරු හෝ යම්සේ වේද, එබඳු පැහැඇත්තේ විය. පිළවු නැති දඬුවල් බෑ මීයක් යම්සේ වේද, එබඳු රස ඇත්තේ විය. වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ බිම්හතු (බිම් පතුරු) අනුභව කරන්නට පටන්ගත්තාහුය. ඔව්හු ඒ බිම්හතු (බිම්පතුරු) අනුභවකරමින් එයම ආහාරකොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටියාහුය.

“වාසෙට්ඨය, යම් යම් පරිද්දෙකින් ඒ සත්වයෝ බිම් හතු (බිම්පතුරු) අනුභවකරමින් එයම ආහාරකොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටියාහුද, ඒ ඒ පරිද්දෙන් ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද වැඩිවිය. වර්ණය අඩු බවද පෙණුනේය. සමහර සත්ව කෙනෙක් වර්ණවත් වෙති. සමහර සත්ව කෙනෙක් දුර්වර්ණ වෙති. ඔවුන් අතුරෙහි යම් ඒ සත්ව කෙනෙක් වර්ණවත් වෙත්ද ඔහු තුමූ ‘අපි මොවුන්ට වඩා අතිශයින් වර්ණවත් වෙමු. අපටවඩා මොහු අතිශයින් දුර්වර්ණයහ’යි දුර්වර්ණ සත්වයන් හෙලා දකිත්. වර්ණය නිසා උපන් මහත් මාන හෙතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බිම්හතු (බිම්පතුරු) නැතිවී ගියේය.

පදාලතාපාතුභාවො Msdiv 124 බිම්හතු (බිම්පතුරු) නැතිවී ගිය කල බදාලතා නම්වූ වැල්ජාතියක් පහළවිය. නාලිකා (විලපලා) යම්සේ නම් එපරිද්දෙන් පහළ විය. ඒ බදාලතා නම් වැල්වර්ගය වර්ණවත් විය, සුවඳින් යුක්ත විය. රසවත් විය, යහපත්වූ ගිතෙල් හෝ යහපත්වූ වෙඬරු හෝ යම්සේ වේද, එබඳු පැහැඇත්තේ විය. පිළව් නැති දඬුවැල් බෑ මීයක් යම්සේ වේද එබඳු රස ඇත්තේ විය.

“වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ බදාලතා නම් වැල් ජාතිය අනුභව කරන්නට පටන් ගත්හ. ඔහු ඒ බදාලතා නම් වැල් වර්ගය අනුභව කරමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටියාහුය.

“වාසෙට්ඨය, යම් යම් පරිද්දෙකින් ඒ සත්වයෝ බදාලතා නම් වැල් ජාතිය අනුභව කරමින් එයම අහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටියාහුද ඒ ඒ පරිද්දෙන් ඒ සත්වයන්ගේ ශරීරයෙහි රළු බවද බොහෝ සෙයින් වැඩිවිය. වර්ණය අඩු බවද පෙනුනේය. සමහර සත්ව කෙනෙක් වර්ණවත් වෙති. සමහර සත්ව කෙනෙක් වර්ණය නැත්තෝ වෙති. ඔවුන් අතුරෙහි යම් ඒ සත්ව කෙනෙක් වර්ණවත් වෙත්ද ඔහු “අපි මොවුන්ට වඩා බොහෝ වර්ණවත් වෙමු. අපට වඩා මොහු බොහෝ වර්ණයෙන් අඩුය”යි දුර්වර්ණ සත්වයන් හෙලා දකිත්. වර්ණය නිසා උපන් මහත් මාන්න හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන්න ස්වභාවය ඇති ඔවුන්ගේ බදාලතා නැතිවී ගියේය. බදාලතා නම් වැල් ජාතිය නැතිවී ගිය කල ඔහු එක්ව රැස්වූහ. එක් රැස්ව ‘අපට බදාලතා නම් වැල් ජාතියක් විය. දැන් අපගේ ඒ බදාලතා නම් වැල් ජාතිය ඒකාන්තයෙන් නැතිවී ගියේය”යි ඔවු නොවුන් කථා කළාහුය. මෙකලද මිනිස්සු කිසියම් දුකකින් පීඩාලද්දාහු “අපට ඒකාන්තයෙන් යමක් වී නම් එය පිරිහුනේයයි කියති. මෙසේ එම පුරාණ ලොකොත්පත්ති වංශ කථාවට අනුව යෙති. ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.

අකට්ඨපාකසාලිපාතුභාවො Msdiv 125 “වාසෙට්ඨය, එවිට ඒ සත්වයන්ගේ බදාලතා නම් වැල් ජාතිය නැතිවී ගියකල නොසානලද භූමියෙහි උපන්නාවූ කුඩු රහිතවූ දහයිය, (පොතු) රහිතවූ සුවඳ ඇත්තාවූ සහල්ම එලකොට ඇත්තාවූ හැල් පහළ වූයේය. යම් ඒ සුවඳ හැල් කොටසක් සවස් වේළෙහි සවස බත පිණිස හැර ගණිද්ද උදය ඒ කොටස පැසී සිටියේ වේ, නැවත වැඩුනේ වේ. උදෑසන උදය බතට යම් ඒ සුවඳ හැල් කොටසක් හැර ගනිද්ද, සවස ඒ කොටස පැසී සිටියේ වේ. නැවත වැඩුනේ, ගත් තැන නොපෙනී සිටින්නේ වේ. ධාන්‍යයන්ගේ එසේ නොඅඩු බවම පැණෙයි.

“වාසෙට්ඨය, එවිට නොසාන ලද භූමියෙහි හටගත්තාවූ හැල් අනුභව කරමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටියාහුය.

ඉත්ථිපුරිසලිඞ්ගපාතුභාවො Msdiv 126 “වාසෙට්ඨය, යම් යම් පරිද්දෙකින් ඒ සත්වයෝ නොසානලද භූමියෙහි හටගත්තාවූ සුවඳහැල් අනුභවකරමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටියාහුද, ඒ ඒ පරිද්දෙන් ඒ සත්වයන්ගේ ශරීරයෙහි බොහෝ සෙයින් රළු බව වැඩි විය. වර්ණය අඩු බවද පෙනුණේය. පෙර යමෙක් ස්ත්‍රී වූවාද ඇයට ස්ත්‍රී ලකුණු පහළ විය. (පෙර) යමෙක් පුරුෂ වූයේද ඔහුට පුරුෂ ලකුණු පහළවිය. ස්ත්‍රී තොමෝද බොහෝ වේලාවක් පුරුෂයා දෙස බලයි. පුරුෂ තෙමේද ස්ත්‍රිය දෙස බලයි. මෙසේ බොහෝ වේලාවක් ඔවුනොවුන් දෙස බලන්නාවූ ඒ සත්වයන්ට කාම රාගය ඇති විය. ශරීරයෙහි රාග පරිදාහය උපන්නේය. ඒ සත්වයෝ රාග පරිදාහය හෙතුකොට මෙවුන්දම් සෙවනය කළහ. වාසෙට්ඨය, ඒ කාලයෙහි යම් ඒ සත්වයෝ මෙවුන්දම් සෙවනය කරන්නාවූ සත්වයන් දකිත්ද, (එකල්හි) සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම වැනි දේ දමා ගසත්. අපිරිසිදු තැනැත්තිය නැසෙව. අපිරිසිදු තැනැත්තිය නැසෙව, කෙසේ නම් (එක්) සත්වයෙක් (අනෙක්) සත්වයෙකුට මෙබන්දක් කරන්නේදැයි කියායි. මෙකලද සමහර ජනපදයන්හි ස්ත්‍රියක ගෙනයනු ලබන කල්හි සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම දමා ගසත්. මෙසේ එම පුරාණ ලොකොත්පත්ති වංශ කථාවට අනුව යෙති. ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.

මෙථුනධම්මසමාචාරො Msdiv 127 “වාසෙට්ඨය, ඒ කාලයෙහි යමක් අධර්මයයි සම්මත වීද, එය දැන් ධර්මයයි සම්මත වෙයි. වාසෙට්ඨය, ඒ කාලයෙහි යම් සත්වයෝ මෙවුන්දම් සෙවනය කෙරෙද්ද, ඔහු තුමූ මසකුදු දෙමසකුදු ගමකට හෝ නියම්ගමකට වදින්නට (අවසර) නොලබති. වාසෙට්ඨය, යම් හේතුවකින් ඒ සත්වයෝ ඒ කාලයෙහි බොහෝ වේලාවක් මෙවුන්දම් සෙවනය කටයුතු බවට පැමිණියාහුද එකල්හි ඒ මෙවුන්දම් නම්වූ අසද්ධර්මය සඟවනු පිණිස ගෙවල් කරන්නට පටන්ගත්හ.

වාසෙට්ඨය, එකල්හි එක්තරා අලස ස්වභාව ඇති සත්වයෙකුට මෙබඳු අදහසක් විය. “පින්වත්නි, සවස බත පිණිස සවසද, උදය බත පිණිස උදෑසනද (සුවඳ) හැල් ගෙනෙමින් මම කුමට වෙහෙසෙම්ද, සවස හා උදෑසන බත් පිණිස එකවරම හැල් ගෙණ එන්නෙම් නම් යෙහෙකි” කියායි “වාසෙට්ඨය, එවිට ඒ සත්වතෙමේ සවස හා උදය බත් පිණිස එකවරම හාල් ගෙණ ආයේය. වාසෙට්ඨය, ඉක්බිත්තෙන් එක්තරා සත්වයෙක් ඒ සත්වයා යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, ඒ සත්වයාට මේ කාරණය කීයේය. පින්වත් සත්වය, එව, හැල් ගෙණ ඒම පිණිස යන්නෙමු”යි කීය. පින්වත් සත්වය, කම් නැත. (මට ඕනෑ නැත) මවිසින් සවස හා උදය බත පිණිස එක්වරම හැල් ගෙණඑන ලදැ’යි කීයේය. වාසෙට්ඨය, එවිට ඒ සත්ව තෙම ඒ එක (එකවර හැල් ගෙණ ආ) දෘෂ්ටානුගතියට (දුටු දේ අනුව යාමට) පැමිණෙන්නේ “පින්වත්නි, මෙසේ යහපතැ”යි කියා එක්වරම දෙදවසක් පිණිස (දෙදවසකට සෑහෙන තරම්) හැල් ගෙණ ආයේය. වාසෙට්ඨය, ඉක්බිත්තෙන් එක්තරා සත්වයෙක් ඒ සත්වයා යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, ඒ සත්වයාට මෙකරුණ කීයේය. “පින්වත් සත්වය, එව. හැල් ගෙණ එනු පිණිස යන්නෙමු”යි කීය. “පින්වත් සත්වය, කම් නැත. මා විසින් දෙදවසක ප්‍රයොජනය පිණිස හැල් එකරවම ගෙණඑනලදැ”යි කීයේය. වාසෙට්ඨය, එවිට ඒ සත්වතෙම ඒ (හැල් ගෙණ ආ) සත්වයාගේ දෘෂ්ටානුගතියට (දුටු දේ අනුව යාමට) පැමිණෙන්නේ “පින්වත්නි, මෙසේත් යහපතැ”යි කියා සතර දවසක් පිණිස හැල් එකවරම ගෙණ ආයේය. වාසෙට්ඨය, එවිට එක්තරා සත්වයෙක් ඒ (හැල් ගෙණ ආ) සත්වයා යම් තැනෙක්හිද එතන්හි පැමිණියේය. පැමිණ ඒ සත්වයාට මෙ කරුණ කීයේය. පින්වත් සත්වය, එව හැල් ගෙණ එනු පිණිස යන්නෙමු”යි කීය.

“පින්වත් සත්වය, කම් නැත. මා විසින් සතර දවසක ප්‍රයෝජනය පිණිස එකවරම හැල් ගෙණ එන ලදැ”යි කීයේය. වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වතෙම ඒ (හැල් ගෙණආ) සත්වයාගේ දෘෂ්ටානුගතියට (දුටු දේ අනුව යාමට) පැමිණෙන්නේ “පින්වත්නි, මෙසේත් යහපතැ”යි කියා අටදවසක් පිණිස ඇල්වී එක වරම ගෙණ ආයේය. වාසෙට්ඨය, යම් කලෙක්හි ඒ සත්වයෝ හැල් (ගෙණවුත්) කල් තබා ගෙණ පාවිච්චි කරන්නට පටන්ගත්තාහුද එකල්හි කුඩුද සහල් වසා සිටියේය, දහයියා (පොතු) ද සහල් වසා සිටියේය. කපනලද ධාන්‍යයද නැවත නොවැඩුනේය. කපනලද තැන් එසේ අඩුවම පෙනුනේය. ඇල්වී පඳුරු පඳුරුව සිටියාහුය.

සාලිවිභාගො Msdiv 128 “වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ එක්රැස්වූහ. එක්රැස්ව ඔවුනොවුන් (මෙසේ) කථා කළාහුය. “පින්වත්නි, ඒකාන්තයෙන් පාප ධර්මයෝ සත්වයන් කෙරෙහි පහළවූහ. අපි පෙර (ඔපපාතිකව) මනසින්ම පහළවූම්හ. ප්‍රීතියම ආහාර කොට ඇත්තමෝ ස්වකීය ශරීරාලොකයෙන් බබලන්නමෝ අහස්හි හැසිරෙන්නමෝ අතිශයින්ම ප්‍රීතිස්වභාව ඇත්තමෝ බොහෝ දීර්ඝ කාලයක් සිටියෙමු. කිසි කලෙක්හි දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් ඒ අපට රස පෘථිවිය ජලයෙහි පිහිටියාය. ඒ රස පෘථිවිතොමෝ වර්ණවත් විය. සුවඳින් යුක්ත වීය. රසවත් වීය. ඒ අපි රස පොළොව අතින් ගුලි කොට පිඩු වසයෙන් කඩ කඩා කන්නට පටන්ගතුම්හ. රස පොළොව අතින් ගුලි කොට පිඩුවශයෙන් කඩ කඩා කන්නට පටන්ගත් ඒ අපගේ ස්වකීය ශරීරාලොකයෙන් බබලන බව නැතිවී ගියේය. ස්වකීය ශරීරාලොකයෙන් බබලන බව නැතිවීගිය කල සඳ හිරු දෙදෙන පහළවූහ. සඳ හිරු දෙදෙන පහළවූ කල්හි ග්‍රහ තාරකාද අනෙක් තාරකාරූපයෝද පහළවූහ. ග්‍රහතාරකා හා අනෙක් තාරකාරූපයන් පහළවූ කල්හි (රෑ දාවල්) ප්‍රකටවූහ. රෑ දාවල් පෙනෙන කල්හි මාස අර්ධමාසයෝ ප්‍රකටවූහ. මාස අර්ධ මාසයන් පෙනෙන කල්හි ඍතු අවුරුදු ප්‍රකටවූහ. ඒ අපි රස පොළොව අනුභව කරමින් එයම ආහාරකොට ඇත්තමෝ බොහෝ දීර්ඝ කාලයක් සිටියෙමු. ලාමකවූ අකුශල ධර්මයන්ගේ පහළවීමෙන් ඒ අපගේ රස පොළොව නැතිවී ගියේය. රස පොළොව නැතිවී ගිය කල බිම් හතු පහළවිය. ඒ බිම්හතු (බිම්පතුරු) වර්ණවත් වූයේය. සුවඳින් යුක්ත වූයේය, රසවත් වූයේය, ඒ අපි බිම්හතු (බිම් පතුරු) අනුභවකරන්නට පටන්ගතුම්හ. ඒ අපි බිම්හතු (බිම්පතුරු) අනුභව කරමින් එයම ආහාර කොට ඇත්තමෝ බොහෝ දීර්ඝ කාලයක් සිටියෙමු. ලාමකවූ අකුශල ධර්මයන්ගේ පහළවීමෙන් ඒ අපගේ බිම්හතු (බිම් පතුරු) නැතිවී ගියේය. බිම්හතු (බිම් පතුරු) නැතිවී ගිය කල බදාලතා නම් මිහිරි රස ඇති වැල් ජාතිය පහළ විය. ඒ බදාලතා තොමෝ වර්ණවත් වූවාය. සුවඳින් යුක්ත වූවාය. රසවත් වූවාය. ඒ අපි බදාලතා නම් මිහිරි රස ඇති වැල් ජාතිය කන්නට පටන්ගතුම්හ. ඒ අපි ඒ බදාලතාවැල් අනුභව කරමින් එයම ආහාර කොට ඇත්තමෝ බොහෝ දීර්ඝ කාලයක් සිටියෙමු. ලාමකවූ අකුශල ධර්මයන්ගේ පහළවීමෙන් ඒ අපගේ බදාලතා නම් වැල් ජාතිය නැතිවී ගියේය. බදාලතා වැල් නැතිවී ගිය කල නොසානලද භූමිභාගයෙහි උපන්නාවූ කුඩු රහිතවූ දහයියා (පොතු) රහිතවූ පිරිසිදුවූ සුවඳ හමන්නාවූ පිරිසිදු සහල්ම ඵල කොට ඇත්තාවූ හැල් පහළ වූයේය. සවස් වේලෙහි සවස බත පිණිස යම් ඒ සුවඳ හැල් කොටසක් හැර ගණිමුද උදෑසන ඒ කොටස පැසී සිටියේ වේ. නැවත වැඩුනේ වේ. ස්වභාවයෙන්ම ගත් තැන නොපෙනී සිටියේ වේ. උදෑසන උදය බත පිණිස යම් ඒ සුවඳ හැල් කොටසක් හැර ගණිමුද සවස ඒ කොටස පැසී සිටියේ වෙයි. නැවත වැඩුනේ වෙයි. ස්වභාවයෙන්ම ගත්තැන නොපෙනී සිටියේ වෙයි. ඒ අපි නොසානලද බිම්හි හටගත්තාවූ හැල් අනුභව කරමින් එයම ආහාර කොට ඇත්තමෝ බොහෝ දීර්ඝකාලයක් සිටියෙමු. ලාමකවූ අකුශල ධර්මයන්ගේ පහළවීමෙන් කුඩුද ඒ අපගේ සහල් වසා සිටියේය. දහයියා (පොතු) ද සහල් වසා සිටියේය. කපනලද ධාන්‍යද නැවත නොවැඩුනේය. කපන ලද කපන ලද තැන් එසේ අඩුවම පෙනුනේය. ඇල්වී පඳුරු පඳුරුව සිටියාහුය. (එහෙයින්) අපි ඇල්වී බෙදා ගන්නෙමු නම් මායිම් තබා ගන්නෙමු නම් ඉතා යෙහෙකැ”යි කියායි. වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ ඇල්වී බෙදා ගත්හ, මායිම් තබාගත්හ.

Msdiv 129 “වාසෙට්ඨය, එවිට ලොල ස්වභාව ඇති එක්තරා සත්වයෙක් ස්වකීය කොටස ආරක්ෂා කරන්නේ තමහට නුදුන්නාවූ එක්තරා කොටසක් රැගෙණ (සොරකම් කොට ගෙණ) පාවිච්චි කෙළේය. ඒ මේ සත්වයා අල්වා ගත්තාහුය. අල්වා ගෙණ මෙසේ කීවාහුය. “පින්වත් සත්වය, ඒකාන්තයෙන් පාපකර්මයක් කෙරෙහිය. යම් හෙයකින් තමාගේ කොටස ආරක්ෂා කරමින් තමහට නුදුන්නාවූ එක්තරා කොටසක් රැගෙණ පාවිච්චි කිරීමෙනි. පින්වත් සත්වය, නැවත එසේ නොකරව”යි කීවාහුය. “පින්වත්නි එසේය’යි ඒ සත්ව තෙම උත්තර දුන්නේය. වාසෙට්ඨය, දෙවන වාරයෙහිද ඒ සත්වතෙම ස්වකීය කොටස ආරක්ෂා කරන්නේ තමහට නුදුන්නාවූ එක්තරා කොටසක් රැගෙණ (සොරකම් කොටගෙණ) පාවිච්චි කළේය. ඒ සත්වයා අල්වා ගත්තාහුය. අල්වා ගෙණ මෙසේ කීවාහුය. “පින්වත් සත්වය, ඒකාන්තයෙන් පාපකර්මයක් කෙරෙහිය. යම් හෙතුවකින් තමාගේ කොටස ආරක්ෂා කරන්නේ තමහට නුදුන්නාවූ එක්තරා කොටසක් රැගෙණ පාවිච්චි කිරීමෙනි. පින්වත් සත්වය, නැවත එසේ නොකරව”යි කීවාහුය. “පින්වත්නි, එසේය”යි ඒ සත්වතෙම උත්තර දුන්නේය. වාසෙට්ඨය, තුන්වන වාරයෙහිද ඒ සත්ව තෙම තමාගේ කොටස ආරක්ෂා කරන්නේ තමහට නුදුන්නාවූ එක්තරා කොටසක් රැගෙණ පාවිච්චි කෙළේය. ඒ මේ (සොරකම් කළ) සත්වයා අල්වා ගත්තාහුය. අල්වා ගෙණ මෙසේ කීවාහුය, “පින්වත් සත්වය, ඒකාන්තයෙන් පාපකර්මයක් කෙරෙහිය. යම් හෙතුවකින් තමාගේ කොටස ආරක්ෂා කරන්නේ තමාට නුදුන්නාවූ එක්තරා කෙටසක් රැගෙණ පාවිච්චි කිරීමෙනි. “පින්වත් සත්වය, නැවත මෙසේ නොකරව”යි සමහර කෙනෙක් අතින් තැලුහ, සමහර කෙනෙක් ගල්කැටවලින් ගැසූහ, සමහර කෙනෙක් දණ්ඩෙන් ගැසූහ. වාසෙට්ඨය, එතැන් පටන් (ලොකයෙහි) අන්සතු නුදුන් දෙය ගැණීම පහළ විය. (අන්‍යයන්ට) අපහාස කිරීම පහළවිය. බොරු කීම පහළ විය. (සත්ව හිංසා පිණිස) දඬු ගැණීම පහළ විය.

මහාසම්මතරාජා Msdiv 130 වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ රැස්වූහ. රැස්ව ඔවුනොවුන් (මෙසේ) කථා කළාහුය. “පින්වත්නි, යම් හේතුවකින් හොරකම් කිරීම පෙනේද, ගර්හා කිරීම පෙනේද, බොරු කීම පෙනේද, අනුන්ට හිංසා පිණිස දඬු ගැණීම පෙනේද, එසේ ඒකාන්තයෙන් සත්වයන් කෙරෙහි පාප කර්මයෝ පහළවූහ. අපි එක් සත්වයෙකු සම්මත කරගන්නෙමු නම් යෙහෙක හෙතෙම අපට මනාකොට ප්‍රකාශ කටයුත්තක් ප්‍රකාශ කරන්නේය. ගැරහිය යුත්තහුට හොඳින් ගරහන්නේය. නෙරපිය යුත්තෙකු හොඳින් නෙරපන්නේය. අපි ඔහුට ඇල්වී කොටසක් (ඒ පිණිස) දෙමු” කියායි.

“වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ ඔවුන් අතුරෙන් යමෙක් ඉතා උතුම් රූප ඇත්තේ වීද, බොහෝ ලක්ෂණ වීද බොහෝ පැහැදීම ගෙණ දෙන්නේ වීද, ඉතා මහත් ආනුභාව ඇත්තේ වීද, ඒ සත්වයා කරා පැමිණ මෙසේ කීවාහුය, “පින්වත් සත්වය, (මෙහි) එව හොඳින් ප්‍රකාශකටයුත්ත ප්‍රකාශකරව, ගර්හා කටයුත්තහුට හොඳින් ගර්හාකරව, නෙරපිය යුත්තහු හොඳින් නෙරපව, අපි තට ඇල්වීවලින් කොටසක් දෙන්නෙමුයි” කීවාහුය. වාසෙට්ඨය, පින්වත්නි, එසේයයි (හොඳයකියා) ඒ සත්ව තෙම ඒ සත්වයන්ට උත්තරදී ප්‍රකාශ කටයුත්ත හොඳින් ප්‍රකාශ කෙළේය. ගැරහිය යුත්තහුට හොඳින් ගැරහුයේය. නෙරපිය යුත්තහු හොඳින් නෙරපුයේය. ඔහුතුමූ ඒ සත්වයාට ඇල්වීවලින් කොටසක් දුන්නාහුය.

Msdiv 131 “වාසෙට්ඨය, එසේ මහජනයා විසින් සම්මත කරණ ලද්දේය යන අර්ථයෙන් මහාසම්මතය, මහාසම්මතයයි කියා පළමුවන නාම (ව්‍යවහාර)ය ඇතිවිය වාසෙට්ඨය, ක්ෂෙත්‍රයන්ට (ඉඩම්වලට) අධිපතිය යන අර්ථයෙන් ක්ෂත්‍රියය ක්ෂත්‍රිය යයි කියා දෙවන නාම (ව්‍යවහාර)ය විය. වාසෙට්ඨය, ධර්මයෙන් අන්‍ය සත්වයන් පිණවයි යන අර්ථයෙන් රජය, රජය යන තුන්වන නාමය ඇතිවිය. වාසෙට්ඨය, මෙසේ අග්‍රයයි දන්නා ලද්දාවූ ලොකොත්පත්ති වංශ කථාවෙන් මේ ක්ෂත්‍රිය සමූහයාගේ පහළවීම වූයේය, ඒ සත්වයන් සම්බන්ධවම වේ. අන්‍ය සත්වයන් සම්බන්ධව නොවේ. සමානවූ සත්වයන් සම්බන්ධවම වේ. අසමාන සත්වයන් සම්බන්ධව නොවේ. ධර්මයෙන්මැයි. අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, මේ සත්වයන් සම්බන්ධ මේ ලොකයෙහිද පරලෙව්හිද ධර්මයම ශ්‍රෙෂ්ඨය.

බ්‍රාහ්මණමණ්ඩලං Msdiv 132 වාසෙට්ඨය, සමහර ඒ සත්වයන්ටම මෙබඳු අදහසක් විය. “පින්වත්නි, ඒකාන්තයෙන් පාපධර්මයෝ සත්වයන් කෙරෙහි පහළවූහ, යම් හෙයකින් හොරකම් කිරීම පෙනේද, අනුන්ට ගැරහීම පෙනේද බොරුකීම පෙනේද, සත්ව හිංසා පිණිස දඬු ගැණීම පෙනේද, නෙරපාලීම පෙනේද, එහෙයින් අපි ලාමකවූ අකුශල ධර්මයන් නසන්නෙමු නම් ඉතා යෙහෙකැ’යි කියායි, ඔව්හු ලාමක අකුශල ධර්මයන් දුරුකළහ. වාසෙට්ඨය, ලාමක අකුශල ධර්මයන් දුරුකෙරෙති, යන අර්ථයෙන් බ්‍රාහ්මණ බ්‍රාහ්මණයයි පළමුවන නාම (ව්‍යවහාර)ය වූයේය. ඔහු තුමූ වන ප්‍රදෙශයෙහි පන්සල් (කොළ සෙවිලි කළ පැල්) කොට ගෙණ එකී පන්සල්වල ධ්‍යාන කෙරෙති. ගිනි අඟුරු නැත්තාහු දුම් නැත්තාහු මොහොල් නැත්තාහු සවස් බත පිණිස සවස් වේලෙහිද උදය බත පිණිස උදෑසනද පිඬු සිඟීම් වශයෙන් කැඳ බත් සොයමින් ගම් නියම් ගම් රාජධානිවලට ඇතුල්වෙති. ඔහු ආහාර ලබා ගෙණ නැවතද වන ප්‍රදෙශයෙහි පන්සල්වලට වැද ධ්‍යාන කෙරෙති. මිනිස්සු ඒ මේ බ්‍රාහ්මණ සමූහයා දැක, පින්වත්නි, “මේ සත්වයෝ වන ප්‍රදෙශයෙහි පන්සල් කොට

ගෙණ ඒ පන්සල්වල ධ්‍යාන කෙරෙති. ගිනි අඟුරු නැත්තාහු දුම් නැත්තාහු මොහොල් නැත්තාහු සවස බත පිණිස සවස් වේලෙහිද උදය බත පිණිස උදෑසනද පිඩු සිඟීම් වසයෙන් කැඳ බත් සොයමින් ගම් නියම් ගම් රාජධානිවලට ඇතුල්වෙති. ඔහු තුමූ ආහාර ලබාගෙණ නැවතත් පන්සල් වලටම වැද ධ්‍යාන කෙරෙත්යයි කීවාහුය. “වාසෙට්ඨය, ‘ධ්‍යාන කෙරෙති යන අර්ථයෙන් ඣායකය ඣායකය යන දෙවන නාම (ව්‍යවහාර)ය විය.

වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් ඇතැම් කෙනෙක් වන ප්‍රදෙශයෙහි පන්සල්වල ඒ ධ්‍යානය (කළ නොහැකි වන්නාහු) ගම් වෙතටද නියම් ගම් වෙතටද පැමිණ ත්‍රිවෙදය සකස් කෙරෙමින්ද උගන්වමින්ද වෙසෙති. මිනිස්සු ඒ මේ සමූහයා දැක මෙසේ කීය.

“පින්වත්නි, මේ සත්වයෝ වන ප්‍රදෙශයෙහි පන්සල්වල ඒ ධ්‍යාන කළ නොහැකි වන්නාහු ගම් වෙතටද නියම් ගම් වෙතටද පැමිණ ත්‍රිවෙදය සකස් කෙරෙමින්ද උගන්වමින්ද වෙසෙති. මොහු දැන් ධ්‍යාන නොකෙරෙති.” “දැන් මොහු ධ්‍යාන නොකෙරෙති” යන අර්ථයෙන් අජ්ඣායකයා අජ්ඣායකය යන තුන්වන නාම (ව්‍යවහාර)ය විය.

වාසෙට්ඨය, (වෙද මන්ත්‍ර දැරීමය වෙද මන්ත්‍ර හැදෑරීමය යන මෙය) එකල්හි පහත්යයි සම්මත විය. (ඒ මන්ත්‍ර දැරීම හා කියවීම දැන් ශ්‍රෙෂ්ඨයයි සම්මත වෙයි.

වාසෙට්ඨය, මෙසේ මේ පුරාණවූ ලෝක උත්පත්ති වංශ කථාවෙන් බ්‍රාහ්මණ සමූහයාගේ පහළවීම වූයේය. ඒ සත්වයන් සම්බන්ධවම වෙයි. අන්‍ය සත්වයන් සම්බන්ධව නොවේ. සමානවූ සත්වයන් සම්බන්ධව වේ. අසමාන සත්වයන් සම්බන්ධව නොවේ. ධර්මයෙන් මැයි. අධර්මයෙන් නොවේ.

වාසෙට්ඨය, මේ සත්වයන් පිළිබඳව මේ ලොකයෙහිද පරලෙව්හිද ධර්මයම ශ්‍රෙෂ්ඨයි.

වෙස්සමණ්ඩලං Msdiv 133 වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් ඇතැම් සත්ව කෙනෙක් මෛථුන ධර්ම සෙවනය නිසා හරක් රැකීම් වෙළඳාම් ආදි ප්‍රසිද්ධ කර්මාන්තයන්හි යෙදුණාහ.

වාසෙට්ඨය, “මෛථූන ධර්මය සඳහා ප්‍රසිද්ධ කර්මාන්තයන්හි යෙදෙත්” යන අර්ථයෙන් වෛශ්‍යය. වෛශ්‍යයයි නාම (ව්‍යවහාර)ය විය.

වාසෙට්ඨය, මෙසේ වනාහි මේ පුරාණ වෛශ්‍ය සමූහයාගේ ලොකොත්පත්ති වංශ කථාව පහළ වූයේය. ඒ සත්වයන් සම්බන්ධවම වෙයි. අන්‍ය සත්වයන් සම්බන්ධව නොවෙයි සමානවූ සත්වයන් සම්බන්ධවම වෙයි. අසමානවූ සත්වයන් සම්බන්ධව නොවේ ධර්මයෙන් මැයි. අධර්මයෙන් නොවේ.

වාසෙට්ඨය, මෙසේ සත්වයන් සම්බන්ධව මේ ලොකයෙහිද පරලෙව්හිද ධර්මයම ශ්‍රෙෂ්ඨයි.

සුද්දමණ්ඩලං Msdiv 134 වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් යම් ඒ සත්ව කෙනෙක් වූවාහුද ඔහු නපුරු පැවතුම් ඇත්තෝ වූහ.

වාසෙට්ඨය, නපුරු ක්‍රියා ඇත්තෝය, නින්දිත ක්‍රියා ඇත්තෝය. යන අර්ථයෙන් ශුද්‍රය ශුද්‍රයයි යන නාම (ව්‍යවහාර)ය විය.

මෙසේ මේ පුරාණවූ ශුද්‍ර සමූහයාගේ පහළ වීම පිළිබඳ ලොක උත්පත්ති වංශ කථාව වූයේය. ඒ සත්වයන් සම්බන්ධවම වෙයි. අන්‍ය සත්වයන් සම්බන්ධව නොවෙයි. සමානවූ සත්වයන් සම්බන්ධවම වෙයි. අසමානවූ සත්වයන් සම්බන්ධව නොවේ. ධර්මයෙන් මැයි. අධර්මයෙන් නොවෙයි.

වාසෙට්ඨය, සත්වයන් සම්බන්ධව මේ ලොකයෙහිද පරලෙව්හිද ධර්මයම ශ්‍රෙෂ්ඨයි.

Msdiv 135 වාසෙට්ඨය, යම් හේතුවකින් ක්ෂත්‍රිය තෙමේද තමාගේ ක්ෂත්‍රිය ධර්මයට නින්දා කෙරෙමින් ශ්‍රමණ වන්නෙමියි ගිහිගෙන් නික්ම මහණ වේද, බ්‍රාහ්මණ තෙමේද ස්වකීය (බ්‍රාහ්මණ) ධර්මයට නින්දා කෙරෙමින් ශ්‍රමණ වන්නෙමියි ගිහිගෙන් නික්ම මහණ වේද, වෛශ්‍ය තෙමේද ස්වකීය (වෛශ්‍ය) ධර්මයට නින්දා කෙරෙමින් ශ්‍රමණ වන්නෙමියි, ගිහිගෙන් නික්ම මහණ වේද, ශුද්‍ර තෙමේද ශුද්‍ර ධර්මයට නින්දා කෙරෙමින් ශ්‍රමණ වන්නෙමියි, ගිහිගෙන් නික්ම මහණ වේද එබඳු කාලයක් වේමය.

වාසෙට්ඨය, මෙසේ ඒ වංශ සතරට අයත් සමූහ සතරෙන් ශ්‍රමණ සමූහයාගේ පහළවීම වූයේය. ඒ සත්වයන් සම්බන්ධවම වෙයි. අන්‍ය සත්වයන් සම්බන්ධව නොවේ. සමානවූ සත්වයන් සම්බන්ධවම වෙයි. අසමානවූ සත්වයන් සම්බන්ධව නොවේ. ධර්මයෙන් මැයි. අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, සත්වයන් පිළිබඳව මේ ලොකයෙහිද පරලෙව්හිද ධර්මයම ශ්‍රෙෂ්ඨයි.

දුච්චරිතාදිකථා Msdiv 136 වාසෙට්ඨය, ක්ෂත්‍රිය තෙමේද කයින් දුශ්චරිතයෙහි හැසිර, වචනයෙන් දුශ්චරිතයෙහි හැසිර, සිතින් දුශ්චරිතයෙහි හැසිර මිථ්‍යාදෘෂ්ටිව මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන්ව මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන හෙතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ දුගති නම්වූ විනිපාත නම්වූ නිරයෙහි උපදියි.

වාසෙට්ඨය, බ්‍රාහ්මණ තෙමේද කයින් දුශ්චරිතයෙහි හැසිර, වචනයෙන් දුශ්චරිතයෙහි හැසිර, සිතින් දුශ්චරිතයෙහි හැසිර, මිථ්‍යාදෘෂ්ටිව මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන්ව මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදාන හේතුවෙන් කාය භෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ දුර්ගති නම්වූ විනිපාත නම්වූ නිරයෙහි උපදනේය.

වාසෙට්ඨය, වෛශ්‍ය තෙමේද කයින් දුශ්චරිතයෙහි හැසිර, වචනයෙන් දුශ්චරිතයෙහි හැසිර, සිතින් දුශ්චරිතයෙහි හැසිර, මිථ්‍යාදෘෂ්ටිව මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන්ව මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදාන හේතුවෙන් කාය භෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ දුර්ගති නම්වූ විනිපාත නම්වූ නිරයෙහි උපදනේය.

වාසෙට්ඨය, ශුද්‍ර තෙමේද කයින් දුශ්චරිතයෙහි හැසිර වචනයෙන් දුශ්චරිතයෙහි හැසිර, සිතින් දුශ්චරිතයෙහි හැසිර මිථ්‍යාදෘෂ්ටිව මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන්ව මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදාන හේතුවෙන් කායභෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ දුර්ගති නම්වූ විනිපාත නම්වූ නිරයෙහි උපදනේය.

වාසෙට්ඨය, ශ්‍රමණ තෙමේද කයින් දුශ්චරිතයෙහි හැසිර වචනයෙන් දුශ්චරිතයෙහි හැසිර සිතින් දුශ්චරිතයෙහි හැසිර මිථ්‍යාදෘෂ්ටිව මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන්ව මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදාන හෙතුවෙන් කායභෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ දුර්ගති නම්වූ විනිපාත නම්වූ නිරයෙහි උපදනේය.

වාසෙට්ඨය, ක්ෂත්‍රිය තෙමේද කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, සිතින් සුචරිතයෙහි හැසිර, සම්‍යග්දෘෂ්ටිව සම්‍යග්දෘෂ්ටි කර්ම සමාදන්ව සම්‍යක් දෘෂ්ටි කර්මසමාදාන හෙතුවෙන් කායභෙදයෙන් මරණින් මත්තෙහි සුගති නම්වූ ස්වර්ග ලොකයෙහි උපදනේය.

වාසෙට්ඨය, බ්‍රාහ්මණ තෙමේද කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, සිතින් සුචරිතයෙහි හැසිර, සම්‍යග්දෘෂ්ටිව සම්‍යග්දෘෂ්ටි කර්ම සමාදන්ව සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදාන හේතුවෙන් කාය භෙදයෙන් මරණින් මත්තෙහි සුගති නම්වූ දිව්‍ය ලොකයෙහි උපදෙන්ය.

වාසෙට්ඨය, වෛශ්‍ය තෙමේද කයින් සුචරිතයෙහි හැසිර වචනයෙන් සුචරිතයෙහි හැසිර, සිතින් සුචරිතයෙහි හැසිර සම්‍යග්දෘෂ්ටිව සම්‍යක්දෘෂ්ටිකර්ම සමාදන්ව සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදාන හේතුවෙන් කායභෙදයෙන් මරණින් මත්තෙහි සුගති නම්වූ දිව්‍ය ලොකයෙහි උපදනේය.

වාසෙට්ඨය, ශුද්‍ර තෙමේද කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, සිතින් සුචරිතයෙහි හැසිර, සම්‍යග්දෘෂ්ටිව සම්‍යග්දෘෂ්ටි කර්ම සමාදන්ව සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදාන හේතුවෙන් කාය භෙදයෙන් මරණින් මත්තෙහි සුගති නම්වූ දිව්‍ය ලොකයෙහි උපදනේය.

වාසෙට්ඨය, ශ්‍රමණ තෙමේද කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, සිතින් සුචරිතයෙහි හැසිර, සම්‍යග්දෘෂ්ටිව සම්‍යග්දෘෂ්ටිකර්ම සාමදන්ව සම්‍යග්දෘෂ්ටිකර්ම සමාදාන හෙතුවෙන් කායභෙදයෙන් මරණින් මත්තෙහි සුගති නම්වූ ස්වර්ග ලොකයෙහි උපදනේය.

Msdiv 137 වාසෙට්ඨය, ක්ෂත්‍රිය තෙමේද කයින් කුශලාකුශල දෙකම කරන්නේ වෙයි වචනයෙන් කුශල් අකුශල් දෙකම කරන්නේ වෙයි. සිතින් කුශලාකුශල දෙකම කරන්නේ වෙයි. මිශ්‍රවූ දෘෂ්ටි ඇතිව මිශ්‍රවූ දෘෂ්ටි සමාදන්ව මිශ්‍රවූ දෘෂ්ටි කර්ම සමාදාන හේතුවෙන් කාය භෙදයෙන් මරණින් මත්තෙහි සුවදුක් දෙකම විඳින්නේ වෙයි.

වාසෙට්ඨය, බ්‍රාහ්මණ තෙමේද කයින් කුශලාකුශල දෙකම කරන්නේ වෙයි. වචනයෙන් කුශලාකුශල දෙකම කරන්නේ වෙයි. සිතින් කුශලාකුශල දෙකම කරන්නේ වෙයි. මිශ්‍රවූ දෘෂ්ටි ඇතිව මිශ්‍රවූ දෘෂ්ටි සමාදන්ව මිශ්‍රවූ දෘෂ්ටි කර්ම සමාදානයෙන් කාය භෙදයෙන් මරණින් මත්තෙහි සුවදුක් දෙකම විඳින්නේ වෙයි.

වාසෙට්ඨය, වෛශ්‍ය තෙමේද කයින් කුශලාකුශල දෙකම කරන්නේ වෙයි. වචනයෙන් කුශලාකුශල දෙකම කරන්නේ වෙයි. සිතින් කුශලාකුශල දෙකම කරන්නේ වෙයි. මිශ්‍රවූ දෘෂ්ටි ඇතිව මිශ්‍රවූ දෘෂ්ටිකර්ම සමාදන්ව මිශ්‍රවූ දෘෂ්ටි සමාදාන හේතුවෙන් කාය භෙදයෙන් මරණින් මත්තෙහි සුවදුක් දෙකම විඳින්නේ වෙයි.

වාසෙට්ඨය, ශුද්‍ර තෙමේද කයින් කුශලාකුශල දෙකම කරන්නේ වෙයි. වචනයෙන් කුශලාකුශල දෙකම කරන්නේ වෙයි. සිතින් කුශලාකුශල දෙකම කරන්නේ වෙයි. මිශ්‍රවූ දෘෂ්ටි ඇතිව මිශ්‍රවූ දෘෂ්ටිකර්ම සමාදන්ව මිශ්‍රවූ දෘෂ්ටිකර්ම සමාදාන හේතුවෙන් කායභෙදයෙන් මරණින් මත්තෙහි සුවදුක් දෙකම විඳින්නේ වෙයි.

වාසෙට්ඨය, ශ්‍රමණ තෙමේද කයින් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. වචනයෙන් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. හිතින් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. මිශ්‍රවූ දෘෂ්ටි ඇතිව මිශ්‍රවූ දෘෂ්ටිකර්ම සමාදන්ව මිශ්‍රවූ දෘෂ්ටිකර්ම සමාදාන හේතුවෙන් කායභෙදයෙන් මරණින් මත්තෙහි සුවදුක් දෙකම විඳින්නේ වෙයි.

බොධිපක්ඛියභාවනා Msdiv 138 වාසෙට්ඨය, ක්ෂත්‍රිය තෙමේද කයින් සංවරව, වචනයෙන් සංවරව, සිතින් සංවරව, කොට්ඨාස වසයෙන් සත් වැදෑරුම්වූ බොධි පාක්ෂික ධර්මයන් (මාර්ගඥාන ලබා ගැනීමට වුවමනා ධර්ම) වඩා මේ ආත්මභාවයෙහිම කෙලෙස් ගිනි නිවා ලන්නේය.

වාසෙට්ඨය, බ්‍රාහ්මණ තෙමේද කයින් සංවරව, වචනයෙන් සංවරව, සිතින් සංවරව කොට්ඨාස වසයෙන් සත් වැදෑරුම්වූ බොධිපාක්ෂික ධර්මයන් (මාර්ගඥාන ලබා ගැනීමට වුවමනා ධර්ම) වඩා මේ ආත්මභාවයෙහිම කෙලෙස් ගිනි නිවා ලන්නේය.

වාසෙට්ඨය, වෛශ්‍ය තෙමේද කයින් සංවරව, වචනයෙන් සංවරව, සිතින් සංවරව, කොට්ඨාස වසයෙන් සත් වැදෑරුම්වූ බොධිපාක්ෂික ධර්මයන් (මාර්ගඥාන ලබා ගැනීමට වුවමනා ධර්ම) වඩා මේ ආත්මභාවයෙහිම කෙලෙස් ගිනි නිවා ලන්නේය.

වාසෙට්ඨය, ශුද්‍ර තෙමේද කයින් සංවරව, වචනයෙන් සංවරව, සිතින් සංවරව, කොට්ඨාස වසයෙන් සත් වැදෑරුම්වූ බොධිපාක්ෂික ධර්මයන් (මාර්ගඥාන ලබා ගැනීමට වුවමනා ධර්ම) වඩා මේ ආත්මභාවයෙහිම කෙලෙස් ගිනි නිවා ලන්නේය.

වාසෙට්ඨය, ශ්‍රමණ තෙමේද කයින් සංවරව, වචනයෙන් සංවරව, සිතින් සංවරව, කොට්ඨාස වසයෙන් සත් වැදෑරුම්වූ බොධිපාක්ෂික ධර්මයන් (මාර්ගඥාන ලබා ගැනීමට වුවමනා ධර්ම) වඩා මේ ආත්මභාවයෙහිම කෙලෙස් ගිනි නිවා ලන්නේය.

Msdiv 139 “වාසෙට්ඨය, මේ (ක්ෂත්‍රියාදි) සතර වංශයන් අතරෙන්යම් භික්ෂුවක් අර්හත් වූයේද, නැති කරනලද කෙලෙස් ඇත්තේද, වැස නිම කරනලද බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තේද, කරනලද සිවු මග කටයුතු ඇත්තේද, බහා තබනලද (කෙලෙස් බර ආදී) බර ඇත්තේද, පැමිණියාවූ තමාගේ අර්ථය ඇත්තේද, නැති කරන ලද සසර බැඳුම් ඇත්තේද, මනාකොට දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේද, හෙතෙමේ ඔවුනතුරෙන් අග්‍රයයි කියනු ලැබේ. ඒ ධර්මයෙන්මය, අධර්මයෙන් නොවෙයි. වාසෙට්ඨය, සත්වයන් පිළිබඳවූ මේ ලොකයෙහිද පරලෙව්හිද ධර්මයම ශ්‍රෙෂ්ඨයි.

Msdiv 140 වාසෙට්ඨය, සනඩ්කුමාර නම් බ්‍රහ්මයා විසින්ද මේ ගාථා තොමෝ කියන ලද්දීය.

“යම් ජනයෝ ‘මම ගෞතම වෙමි.’ ‘මම කාශ්‍යප වෙමි’යි ගොත්‍රය සිහි කරන්නෝ වෙත්ද ඒ ජන සමූහයා අතුරෙහි ක්ෂත්‍රිය තෙමේ ශ්‍රෙෂ්ඨයි. අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ යම් තථාගතයන් වහන්සේ කෙනෙක් වෙත්ද, ඒ තථාගතයන් වහන්සේ දෙවිමිනිසුන් අතුරෙහි ශ්‍රෙෂ්ඨ වන්නාහ.”

වාසෙට්ඨය, ඒ මේ ගාථා තොමෝ සනඩ්කුමාර බ්‍රහ්මයා විසින් යහපත්කොට ගයන ලද්දීය. අයහපත් කොට ගයන ලද්දී නොවෙයි. මනාකොට කියන ලද්දීය. අයහපත්කොට කියන ලද්දී නොවෙයි. අර්ථයෙන් යුක්ත වූවාය. අනර්ථයෙන් යුක්තවූවා නොවෙයි. මවිසින්ද එකඟවන ලද්දීය.

වාසෙට්ඨය, මමද මෙසේ කියමි.

යම් ජනයෝ, ‘මම ගෞතම වෙමි, මම කාශ්‍යප වෙමැ’යි ගොත්‍ර සිහි කරන්නෝ වෙත්ද ඒ ජන සමූහයා අතුරෙහි ක්ෂත්‍රිය තෙමේ ශ්‍රෙෂ්ඨයි. අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ යම් තථාගතයන් වහන්සේ කෙනෙක් වෙත්ද, ඒ තථාගතයන් වහන්සේ දෙවි මිනිසුන් අතුරෙහි ශ්‍රෙෂ්ඨ වන්නාහ.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. වාසෙට්ඨ භාරද්වාජ යන සාමණේරයන් වහන්සේලා දෙනම සතුටු සිත් ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටු වූවාහුය.

විසිහත් වැනිවූ අග්ගඤ්ඤ සූත්‍රය නිමි.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection