Inspiring Confidence
Sampasādanīyasutta
PDFGenerated
Shortly before he passes away, Venerable Sāriputta visits the Buddha and utters a moving homage to his great teacher.
Read the full discourse slowly and reflect on key passages.
Read here in the library
දීඝ නිකාය පාඨික වර්ගය 28. සම්පසාදනීය සූත්‍රය සාරිපුත්තසීහනාදො Msdiv 141 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලාන්දාවෙහි, පාවාරික අඹ උයනෙහි වැඩ වාසය කළාහුය. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදුනෙමි. සම්බොධියෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා ශ්‍රෙෂ්ඨවූ අන්‍ය ශ්‍රමණයෙක් හෝ අන්‍ය බ්‍රාහ්මණයෙක් හෝ පෙර නොවීය. අනාගතයෙහිත් නොවන්නේය. දැන් ද නොවෙයි” යනුවෙනි.
Msdiv 142 “ශාරීපුත්‍රය, තා විසින් මහත්වූ නිර්භීත වචනයක් කියන ලදී. ඒකාන්ත වචනයක් කියන ලදී. සිංහනාදයක් කරණ ලදී. සම්බොධියෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා ශ්‍රෙෂ්ඨවූ අන්‍ය ශ්‍රමණයෙක් හෝ අන්‍ය බ්‍රාහ්මණයෙක් හෝ පෙර නොවීය. අනාගතයෙහිත් නොවන්නේය. දැනුදු නැතැයි. මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුනෙමි යනුවෙනි. කිම ශාරිපුත්‍රය, අතීත කාලයෙහි වැඩ සිටි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ යම් ඒ බුදුවරයෝ වූවාහුද, ඒ සියලු බුදුවරයන්ගේ සිත් නුඹගේ සිතින් දැන මෙසේ ප්‍රකාශ කෙළෙහිද? ‘මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝය. මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ධර්ම ඇත්තෝය. මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ප්‍රඥා අත්තෝය. මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු හැසිරීම් ඇත්තෝය. මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා කෙලෙසුන් කෙරෙන් මිදුනාහුය’යි ඒ සියලු බුදුවරයන්ගේ සිත් නුඹගේ සිතින් දැන මෙසේ ප්‍රකාශ කරන ලද්දේද?’ “නැත ස්වාමීනි,”
“කිම ශාරීපුත්‍රය, අනාගතයෙහි පහළවන්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ යම් ඒ බුදුවරු වෙත්ද, මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝය. මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ධර්ම ඇත්තෝය, මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු ප්‍රඥා ඇත්තෝය. මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු හැසිරීම් ඇත්තෝය. මේ කාරණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේලා කෙලෙසුන් කෙරෙන් මිදුනාහු යයි, ඒ සියලු බුදුවරයන්ගේ සිත් නුඹගේ සිතින් දැන මෙසේ කියන ලද්දේද?” “නැත ස්වාමීනි.”
“කිම ශාරිපුත්‍රය, මම මෙකල්හි අර්හත් සම්‍යක් සම්බුද්ධ වෙමි. මේ කාරණයෙන්ද භාග්‍යවතුන් වහන්සේ මෙබඳු සිල් ඇත්තෙක. මේ කාරණයෙන්ද මෙබඳු ධර්ම ඇත්තෙක. මෙබඳු ප්‍රඥා ඇත්තෙක. මෙබඳු හැසිරීම් ඇත්තෙක මේ කාරණයෙන්ද භාග්‍යවතුන් වහන්සේ මෙසේ කෙලෙසුන් කෙරෙන් මිදුනේ යයි’ තමන්ගේ සිතින් මගේ සිත දැන ප්‍රකාශ කරණ ලද්දේද?” “නැත ස්වාමීනි,”
“ශාරිපුත්‍රය, එසේ නම් පසුගිය කාලයේත් මතු එන කාලයේත්, මේ කාලයේත් යන තුන් කල්හි අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා කෙරෙහි චෙතොපරියඤාණය (සිතින් සිත දැන ගැණීමේ නුවණ) නුඹට නැත. ‘සම්බොධියෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා ශ්‍රෙෂ්ඨවූ අන්‍ය ශ්‍රමණයෙක් හෝ අන්‍යබ්‍රාහ්මණයෙක් හෝ පෙර නොවීය. අනාගතයෙහිත් නොවන්නේය. දැනුදු නොවෙයි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදුනෙමී’ කියා ශාරිපුත්‍රය, නුඹ කෙසේ නම් මහත්වූ භය නැති වචනය කියන ලද්දේද? ඒකාන්ත කොට කියන ලද්දේද? සිංහනාද කරණ ලද්දේද?”
Msdiv 143 “ස්වාමීනි, තුන්කාලය පිළිබඳ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා කෙරෙහි ඒ චෙතොපරියඤාණය (සිතින් සිත දැන ගැණීමේ නුවණ) මට නැත. ස්වාමීනි, එතකුදුවුවත් මවිසින් ධර්මයට අනුව දැනගන්නා ලදී. ස්වාමීනි, රජුගේ ස්ථිරප්‍රාකාර පාද ඇති, ශක්තිමත් ප්‍රාකාර තොරන් ඇති, එක් දොරක් ඇති, ප්‍රත්‍යන්තයෙහිවූ නුවරක් වේද? එහි පණ්ඩිතවූ, ව්‍යක්තවූ, නුවණැත්තාවූ, නොහඳුනන්නන් වළක්වන්නාවූ, හඳුනන්නවුන්, ඇතුල් කරන්නාවූ දොරටුපාල (මුරකාර) යෙක් වන්නේය. හෙතෙමේ ඒ නගරයාගේ හාත්පස ප්‍රාකාර මාර්ග පරීක්ෂා කරමින් හැසිරෙන්නේ ප්‍රාකාර සන්ධිය හෝ, ප්‍රාකාර සිදුරක් හෝ යටත් පිරිසෙයින් බළලකු නික්මෙන පමණ සිදුරකුදු නොදක්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. යම්කිසි ලොකු සත්වකෙනෙක් මේ නුවරට ඇතුල්වීම හෝ පිටවීම කෙරෙත්ද? ඒ සියල්ලෝම මේ දොරින්ම ඇතුල් හෝ වන්නෝය පිට හෝ වන්නෝය’ කියායි. ස්වාමීනි, එපරිද්දෙන්ම මවිසින් ධර්මයට අනුව මේ කාරණය දැනගන්නා ලද්දේය.
ස්වාමීනි, අතීතකාලයෙහි අර්හත්වූ, යම් ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා වූවාහුද, ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා සිත කිළිටි කරන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ පඤ්චනීවරණයන් (කුසල් වැලැක්වීම් පහ) දුරුකොට, සතර සතිපට්ඨානයන්හි (සිහිය පිහිටුවීම් සතර) හොඳින් පිහිටුවන ලද සිත් ඇත්තාහු, සප්ත බොධ්‍යාඩ්ග ධර්මයන් (මාර්ග ඥානයට හෙතුවන අඩ්ග සත) තත්වූ පරිදි වඩා ඉතා උතුම් සම්‍යක් සම්බොධිය අවබෝධ කළාහුය. අනාගත කාලයෙහි අර්හත්වූ යම් ඒ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේලා පහළවන්නාහුද ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලාද සිත කිළිටිකරන්නාවූ ප්‍රඥාව දුර්වල කරන්නාවූ, පඤ්චනීවරණයන් (කුසල් වැලැක්වීම් පහ) දුරුකොට සතර සතිපට්ඨානයන්හි (සිහිය පිහිටුවීම් හතරෙහි) හොඳින් පිහිටුවන ලද සිත් ඇත්තාහු සප්තබොධ්‍යාඩ්ග ධර්මයන් (මාර්ගඥානයට හෙතුවන කරුණු සත) තත්වූ පරිද්දෙන් වඩා ඉතා උතුම්වූ සම්‍යක්සම්බොධිය අවබොධ කරන්නාහුය. ස්වාමීනි, දැන් අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේද සිත කිළිටි කරන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ පඤ්චනීවරණයන් (කුසල් වැලැක්වීම් පහ) දුරුකොට සතර සතිපට්ඨානයන්හි හොඳින් පිහිටුවන ලද සිත් ඇත්තාහු, සප්තබොධ්‍යාඩ්ග ධර්මයන් තත්වූ පරිද්දෙන් වඩා උතුම්වූ සම්‍යක් සම්බොධිය හොඳින් අවබොධ කළාහුය.
Msdiv 144 “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද ධර්මශ්‍රවණය පිණිස එතැනට පැමිණියෙමි. ස්වාමීනි, ඒ මට භාග්‍යවතුන් වහන්සේ වඩ වඩා උතුම්වූ, වඩ වඩා යහපත්වූ විපාක සහිත කුශලාකුශල ධර්මයන් දේශනා කළාහුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වඩ වඩා උතුම්වූ, වඩ වඩා යහපත්වූ විපාක සහිත කුශලාකුශල ධර්මයන් යම් යම් ආකාරයකින් දේශනා කළාහුද, ඒ ඒ ආකාරයෙන් දේශනා කරන ලද ඒ ධර්මයන් අතුරෙන් ශ්‍රාවක පාරමීඥානයාගේ කෙළවරට පැමිණියෙමි. භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධවනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය හොඳින් දේශනා කරන ලද්දේය. ශ්‍රාවක සඩ්ඝ තෙමේ හොඳින් පිළිපදින්නේය. ශාස්තෲන් වහන්සේ කෙරෙහි මෙසේ ප්‍රසන්න වූයෙමි.
කුසලධම්මදෙසනා Msdiv 145 “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කුශල ධර්මයන් පිළිබඳ දේශනා කිරීමද ඊට වඩා උතුම් දෙයක් නැති කාරණයකි. එහි මේ කුශලධර්මයෝයි: ඒ කවරහුද? සතරසතිපට්ඨානයෝය (සිහිය වැඩිය යුතු භාවනා සතර), සතර සම්‍යක් ප්‍රධානයෝය (මහාවීර්යය සතර), සතර ඍද්ධිපාදයෝය (සත්‍යාවබොධය පිණිස පවත්නා හෙතු සතර), පඤ්චෙන්ද්‍රියය (ඉන්ද්‍රිය ධර්ම පස), පඤ්චබලයෝය (බලධර්ම පස), සප්තබොධ්‍යාඩ්ගයෝය, (සත්‍යාවබොධයේ අඩ්ග සත), ආර්‍ය්‍යාෂ්ටාංගික මාර්ගයය, යන කුශල ධර්මයෝයි. ස්වාමීනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙලෙස් විනාශ කිරීමෙන්, කෙලෙස් රහිතවූ, චෙතනා විමුත්ති, පඤ්ඤා විමුත්ති, අර්හත් ඵලය යන මේ, මේ ආත්මභාවයෙහි තමන්ගේ උසස් ඥානයෙන් දැන ඊට පැමිණ වාසය කරයි.
“ඒ කුශලධර්මයන් භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණයෙන් දන්නාහ. මේ කුශල ධර්මයන් ඉතිරි නොකොට දන්නාවූ භ්‍යවතුන් වහන්සේ විසින් මත්තෙහි දතයුත්තෙක් නැත.
“යම් මේ කුශල ධර්මයන් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේට වැඩියෙන් දන්නාවූ අන්‍ය ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් ඇත්තේද නැත. කුශල ධර්මයන් පිළිබඳ මෙයද අතිශයින් උතුම් බවකි.
ආයතනපණ්ණත්තිදෙසනා Msdiv 146 “ස්වාමීනි, ආයතන පැනවීම් පිළිබඳ ධර්මය භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දකින් දෙශනා කරත්ද මේද අන්‍යවූ ශ්‍රෙෂ්ඨ බවෙකි. ස්වාමීනි, අධ්‍යාත්මිකවූද බාහිරවූද (ඇතුළත් කොට ගන්නාවූද පිටත්හි කොට ගන්නාවූද) ආයතනයෝ සදෙනෙකි. ඇසද, රූපයෝද, කණද, ශබ්දයෝද, නාසයද, ගන්ධයෝද, දිවද, රසයෝද, කයද, ස්පර්ශයෝද, සිතද, ධර්මයෝද යන මොහුය. ස්වාමීනි, මේද ආයතන පැනවීම් පිළිබඳ ශ්‍රෙෂ්ඨ කරුණකි. එය භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණයෙන් දන්නාහ. යම් මේ ආයතන පැනවීම් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේට වඩා වැඩි නුවණ ඇත්තාවූ අන්‍ය ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වන්නේද නැත. සම්පූර්ණයෙන් දන්නාවූ භාග්‍යවතුන් වහන්සේට, මත්තෙහි දැනගත යුත්තෙක්ද නැත.
ගබ්භාවක්කන්තිදෙසනා Msdiv 147 “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම්පරිද්දකින් ගැබ් පිළිසිඳගැනීම් පිළිබඳ ධර්මය දෙශනා කරද්ද මෙයද තවත් අතිශයින් උතුම් බවෙකි. ස්වාමීනි, මේ කුසෙහි පිළිසිඳ ගැණීම් සතරෙක. ස්වාමීනි, මේ ලෝකයෙහි ඇතැමෙක් නොදන්නේ මුළාවූයේ ප්‍රතිසන්ධි වශයෙන් මව්කුසට පිවිසෙයි නොදන්නේ මුළාවූයේ මව්කුස වසයි. නොදන්නේ මුළාවූයේ මව්කුසින් නික්මෙයි. මේ පළමුවන කුසෙහි පිළිසිඳ ගැන්මයි. ස්වාමීනි නැවතද අනෙකක් කියමි. මේ ලෝකයෙහි ඇතැමෙක් දන්නේ මුළා නොවූයේ ප්‍රතිසන්ධි වශයෙන් මව්කුසට පිවිසෙයි. නොදන්නේ මුළාවූයේ මව්කුස වසයි. නොදන්නේ මුළාවූයේ මව්කුසින් නික්මෙයි. මේ දෙවන මවුකුස පිළිසිඳ ගැනීමයි. ස්වාමීනි නැවතද අනෙකක් කියමි. මේ ලෝකයෙහි ඇතැමෙක් දන්නේ මුළානොවූයේ ප්‍රතිසන්ධි වශයෙන් මව්කුසට පිවිසෙයි. දන්නේ මුළානොවූයේ මව්කුස වසයි නොදන්නේ මුළාවූයේ මව්කුසින් නික්මෙයි. මේ තුන්වන මව්කුස පිළිසිඳ ගැනීමයි.
ස්වාමීනි නැවතද අනෙකක්කියමි. මේ ලෝකයෙහි ඇතැමෙක් දන්නේ. මුළානොවූයේ ප්‍රතිසන්ධි වශයෙන් මව්කුසට පිවිසෙයි. දන්නේ, මුළානොවූයේ මව්කුස වසයි. දන්නේ මුළානොවූයේ මව්කුසින් නික්මෙයි. මේ සතරවන මව්කුස පිළිසිඳ ගැනීමයි. මෙයද සත්වයන්ගේ පිළිසිඳ ගැනීම් පිළිබඳ ඉතා උතුම් බවෙකි.
ආදෙසනවිධාදෙසනා Msdiv 148 ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දකින් ආදෙශන (අදහස් ප්‍රකාශ කිරීම්) කොට්ඨාසයන් පිළිබඳ ධර්මය දෙශනා කරද්ද මෙද තවත් ඉතා උතුම් බවෙකි. ස්වාමීනි මේ ආදෙශන කොට්ඨාස සතරෙකි. ස්වාමීනි, මේ ලොකයේ ඇතමෙක් යාම්, ඊම් ආදි නිමිති වලින් සිත දැන කියයි. ‘තාගේ සිත මෙසේද වෙයි. තාගේසිත මේ අයුරෙන්ද පවතී. තාගේ සිත මේ කාරණයෙන්ද මෙසේ වෙයි.’ හෙතෙමේ බොහෝ කොටද කියයි. එය එසේම වෙයි. අන් පරිද්දකින් නොවෙයි. මේ පළමුවන ආදෙශන කොටසයි.
ස්වාමීනි, නැවතද අනෙකක් කියමි. මේ ලෝකයෙහි ඇතැමෙක් නිමිත්තෙන් නොකියයි. එහෙත් මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ ශබ්දය අසා කියයි. ‘තාගේ සිත මෙසේද වෙයි. තාගේ සිත මේ අයුරින්ද පවතී. තාගේ සිත මේ කාරණයෙන්ද මෙසේ වෙයි.’ හෙතෙමේ බොහෝ කොටද කියයි. එය එසේම වෙයි. අන් පරිද්දකින් නොවෙයි. මේ දෙවන ආදෙශන කොටසයි.
ස්වාමීනි, නැවතද අනෙකක් කියමි. මේ ලෝකයෙහි ඇතැමෙක් නිමිත්තෙන්ද නොමකියයි. මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ ශබ්ද අසා නොමකියයි. එහෙත් කරුණු සහිතව විසඳා බැලීම් වශයෙන් තීරණ කරගැනීම් වශයෙන්, නිදීම්, පමාවීම්, දෙඩවීම් ආදී ශබ්ද අසා ‘තාගේ සිත මෙසේයයි කියයි. තාගේ සිත මේ අයුරින්ද පවතියි. තාගේ සිත මේ ආකාරය’යිද කියයි. හෙතෙමේ බොහෝ කොටද කියයි. එය එසේම වෙයි. අන් පරිද්දකින් නොවෙයි. මේ තුන්වන ආදෙශන කොටසයි.
ස්වාමීනි, නැවතද අනෙකක් කියමි. මේ ලෝකයෙහි ඇතැමෙක් නිමිත්තෙන්ද නොම කියයි. මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ ශබ්දය අසාද නොම කියයි. කරුණු සහිතව විසඳා බැලීම් වශයෙන් තීරණ කරගැනීම් වශයෙන්, දෙඩවීම් ආදී ශබ්ද අසාද නොම කියයි. එතකුදු වුවත් විතර්ක විචාර සහිත සමාධියට පැමිණියහුගේ යම් සේ මේ භවත්හුගේ චිත්ත සංස්කාරයෝ හොඳින් පිහිටියාහුය. මේ සිතට අනතුරුව මෙනම් කල්පනා කරන්නේයයි තමාගේ සිතින් ඔහුගේ සිත නිශ්චයකර දැන ගනී. හෙතෙමේ බොහෝකොටද කියයි. එය එසේම වෙයි. අන් පරිද්දකින් නොවෙයි. මේ සතරවන ආදෙශන කොටසයි. ස්වාමීනි, අදහස් ප්‍රකාශ කිරීම් පිළිබඳ මේ ඉතා උතුම් බවෙකි.
දස්සනසමාපත්තිදෙසනා Msdiv 149 “නැවතද, අනෙකක් කියමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දර්ශන සමාපත්ති (නුවණින් දැකීමට පැමිණීම්) පිළිබඳ ධර්මය යම් පරිද්දකින් දෙශනාකරයිද මෙද ඉතා උතුම් බවෙකි. ස්වාමීනි, මේ දර්ශන සමාපත්ති සතරෙකි. ස්වාමීනි, මේ ලෝකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙළෙස් තවන වීර්යයට පැමිණ, ඒ වීර්යයෙහි නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, මනාව මෙනෙහි කිරීමට පැමිණ, යම් පරිද්දකින් සිත එකඟවූ කල්හි පාද තලයෙන් උඩ, හිසකේ මස්තකයෙන් යට, සම කෙළවර කොට ඇති, නොයෙක් අසුචියෙන් පිරුණාවූ මේ ශරීරය නැවත නැවත සිහිකෙරෙයි. එබඳු ප්‍රථමධ්‍යාන සමාධිය ස්පර්ශකෙරෙයි. මේ ශරීරයෙහි කෙස් ය, ලොම් ය, නිය ය, දත් ය, සම ය, මස් ය, නහර ය, ඇට ය, ඇටමිදුළු ය, වකුගඩු ය, හෘදයමාංශ ය, අක්මාව ය, දළබුව ය, බඩදිව ය, පපුමස ය, අතුනු ය, අතුනු බහන ය, නොදිරූ ආහාර ය, මළ ය, පිත ය, සෙම ය, සැරව ය, ලෙහෙ ය, ඩහදිය ය, මේද තෙල ය, කඳුලු ය, වුරුණු තෙල් ය, කෙළ ය, සොටු ය සඳමිදුළු ය, මුත්‍ර ය යන මේ දෙතිස් කුණප ඇත” කියා දකියි. මේ ප්‍රථම දර්ශන සමාපත්තියයි.
නැවතද, අනෙකක් කියමි. ස්වාමීනි, මේ ලෝකයෙහි ඇතම් ශ්‍රමණයෙක් හෝ ඇතැම් බ්‍රාහ්මණයෙක් හෝ කෙළෙස් තවන වීර්යයට පැමිණ, ඒ වීර්යයෙහි නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, මනාව මෙනෙහි කිරීමට පැමිණ, යම් පරිද්දකින් සිත එකඟවූ කල්හි පාද තලයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කළෙවරකොට ඇති නොයෙක් අසුචියෙන් පිරුණාවූ මේ ශරීරය නැවත නැවත සිහි කරයි. එබඳු ප්‍රථමධ්‍යාන සමාධිය ලබයි. යම්සේ සිත එකඟවූ කල්හි පාදතලයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නොයෙක් අසුචියෙන් පිරුණාවූ මේ ශරීරය නැවත නැවත සිහි කරයි. මේ ශරීරයෙහි කෙස් ය, ලොම් ය, නිය ය, දත් ය, සම ය, මස් ය, නහර ය, ඇට ය, ඇටමිදුළු ය, වකුගඩු ය, හෘදයමාංශ ය, අක්මාව ය, දළබුව ය, බඩදිව ය, පපුමස ය, අතුනු ය, අතුණු බහන ය, නොදිරූ ආහාර ය, මළ ය, පිත ය, සෙම ය, සැරව ය, ලෙහෙ ය, ඩහදිය ය, මේද තෙල ය, කඳුලු ය, වුරුණු තෙල් ය, කෙළ ය, සොටු ය, සඳමිදුළු ය, මුත්‍ර ය යන මේ දෙතිස් කුණප ඇත. පුරුෂයාගේ සිවි, මස්, ලේ ඉක්මවාද ඇට නැවත නැවත සිහි කරයි. මේ දෙවන දර්ශන සමාපත්තියයි.
ස්වාමීනි, නැවතද අනෙකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ කෙලෙස් තවන වීර්යයට පැමිණ, ඒ වීර්යයෙහි නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, මනාව මෙනෙහිකිරීමට පැමිණ, යම් පරිද්දකින් සිත එකඟවූ කල්හි පාදතලයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නොයෙක් අසූචියෙන් පිරුණාවූ මේ ශරීරය නැවත නැවත සිහි කරයි. එබඳුවූ ප්‍රථමධ්‍යාන සමාධිය ලබයි. යම්සේ සිත එකඟවූ කල්හි පාදතලයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නොයෙක් අසුචියෙන් පිරුණු මේ ශරීරය නැවත නැවත සිහි කරයි. මේ ශරීරයෙහි කෙස් ය, ලොම් ය, නිය ය, දත් ය, සම ය, මස් ය, නහර ය, ඇට ය, ඇටමිදුළු ය, වකුගඩු ය, හෘදයමාංශ ය, අක්මාව ය, දළබුව ය, බඩදිව ය, පපුමස ය, අතුනු ය, අතුණු බහන ය, නොදිරූ ආහාර ය, මළ ය, පිත ය, සෙම ය, සැරව ය, ලෙහෙ ය, ඩහදිය ය, මේද තෙල ය, කඳුලු ය, වුරුණුතෙල් ය, කෙළ ය, සොටු ය, සඳමිදුළු ය, මුත්‍ර ය යන මේ දෙතිස් කුණප කොටස් ඇත. පුරුෂයාගේ සිවි, මස්, ලේ ඉක්මවාද ඇට නැවත නැවත සිහි කරයි. දෙකොටසින්ම නොසිඳුණු මේ ලෝකයෙහි පිහිටියාවූද පරලොකයෙහි පිහිටියාවූද පුරුෂයාගේ විඥානය දැනගනී. මේ තුන්වන දර්ශන සමාපත්තියයි.
“ස්වාමීනි, නැවතද අනෙකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ කෙළෙස් තවන වීර්යයට පැමිණ, ඒ වීර්යයෙහි නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, මනාව මෙනෙහි කිරීමට පැමිණ, යම් පරිද්දකින් සිත එකඟවූ කල්හි පාදතලයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නොයෙක් අසූචියෙන් පිරුණාවූ මේ ශරීරය නැවත නැවත සිහි කරයි. එබඳුවූ ප්‍රථමධ්‍යාන සමාධිය ස්පර්ශ කෙරෙයි. මේ ශරීරයෙහි කෙස් ය, ලොම් ය, නිය ය, දත් ය, සම ය, මස් ය, නහර ය, ඇට ය, ඇටමිදුළු ය, වකුගඩු ය, හෘදය මාංශ ය, අක්මාව ය, දළබුව ය, බඩදිව ය, පපුමස ය, අතුනු ය, අතුණුබහන ය, නොදිරූ ආහාර ය, මළ ය, පිත ය, සෙම ය, සැරව ය, ලෙහෙ ය, ඩහදිය ය, මේදතෙල ය, කඳුලු ය, වුරුණුතෙල් ය, කෙළ ය, සොටු ය, සඳමිදුළු ය, මුත්‍ර යයි පුරුෂයාගේ සිවි, මස්, ලේ ඉක්මවාද ඇට නැවත නැවත සිහි කරයි. දෙකොටසින් නොසිඳුණු මේ ලෝකයෙහි නොපිහිටියාවූද පරලොකයෙහි නොපිහිටියාවූද පුරුෂයාගේ විඥානය දැනගනී. මේ තුන්වන දර්ශන සමාපත්තියයි.
“ස්වාමීනි, දර්ශන සාමපත්ති පිළිබඳ මෙද ඉතා උතුම් බවෙකි.
පුග්ගලපණ්ණත්තිදෙසනා Msdiv 150 යම්සේ භාග්‍යවතුන් වහන්සේ සත්වයාය, පුද්ගලයාය, යනාදි වශයෙන් ලොක ව්‍යවහාරයෙහි පවත්නාවූ පුද්ගල ප්‍රඥප්ති (පුද්ගලයායි නියම කිරීම්) පිළිබඳ ධර්මය දේශනා කරයිද, ස්වාමීනි, මේද අනිකක්වූ ඉතා උතුම් බවෙකි.
ස්වාමීනි, මේ පුද්ගලයෝ සත් දෙනෙක් වෙත් උභතොභාග විමුක්තිය (ශීලසමාධි දෙපසින් මිදුනාවූ) පඤ්ඤාවිමුක්තිය (ප්‍රඥාවෙන් මිදුනාවූ) කායසක්ඛිය (කයින් ප්‍රතක්ෂ්‍ය කළාවූ,) දිට්ඨප්පත්තය (දැකීමේ අන්තයට පැමිණියාවූ) සද්ධා විමුක්තය (ශ්‍රද්ධාවෙන් මිදුනාවූ) ධම්මානුශාරීය, සද්ධානුසාරීය යන සත්දෙනයි. ස්වාමීනි, පුද්ගල ප්‍රඥප්ති (පුද්ගලයන් පිළිබඳ හැඳින්වීම්) පිළිබඳ මෙද ඉතා උතුම් බවෙකි.
පධානදෙසනා Msdiv 151 “ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ වීර්යය වැඩීම් පිළිබඳව ධර්මය දෙශනා කරයිද? ස්වාමීනි, මෙද අන්‍යවූ ඉතා උතුම් බවෙකි.
“ස්වාමීනි, බොධ්‍යඩ්ග ධර්මයෝ සත්දෙනෙක් වෙත්. සතිසම්බොජ්ඣඩ්ය (මාර්ගඥානයට හෙතුවූ සිහිය,) ධම්ම විචයසම්බොජ්ඣඩ්ගය, (මාර්ගඥානයට හෙතුවූ ප්‍රඥාව,) විරිය සම්බොජ්ඣඩ්ගය, (මාර්ගඥානයට හෙතුවූ වීර්යය,) පීතිසම්බොජ්ඣඩ්ගය (මාර්ගඥානයට හෙතුවූ ප්‍රීතිය,) පස්සද්ධි සම්බොජ්ඣඩ්ගය (මාර්ගඥානයට හෙතුවූ හිතේ සංසිඳීම,) සමාධි සම්බොජ්ඣඩ්ගය (මාර්ගඥානයට හෙතුවූ සමාධිය,) උපෙක්ඛා සම්බොජ්ඣඩ්ගය (මාර්ගඥානයට හෙතුවූ උපෙක්ෂාව,) යන සතයි.
ස්වාමීනි, වීර්යය වැඩීම පිළිබඳ ධර්මදෙශනා අතුරෙන් මෙයද ඉතා උතුම් බවෙකි.
පටිපදාදෙසනා Msdiv 152 “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම්සේ පිළිපැදීම් පිළිබඳ ධර්මය දෙශනා කරයිද මෙයද අන්‍යවූ ඉතා උතුම් බවෙකි.
“ස්වාමීනි, මේ පිළිපැදීම් සතරෙකි. දුක්ඛාපටිපදාදන්ධා භිඤ්ඤා (දුක්වූ පිළිපැදීම් සහිත සෙමින් අවබොධ කිරීම,) දුක්ඛාපටිපදාඛිප්පාභිඤ්ඤා (දුක්වූ පිළිපැදීම් සහිත වහා අවබොධකිරීම,) සුඛාපටිපදාදන්ධාභිඤ්ඤා (පහසුවූ පිළිපැදීම් ඇති සෙමින් අවබොධකිරීම,) සුඛාපටිපදාඛිප්පාභිඤ්ඤා (පහසුවූ පිළිපැදීම් ඇති වහා අවබොධ කිරීම,) යන මේ සතර වෙති.
ස්වාමීනි, එහි යම් මේ පිළිවෙත් පිරීමක් දුක් වන්නිද, අවබොධය සෙමින් වන්නේද, ස්වාමීනි, මේ ප්‍රතිපදාව දුක් බැවින්ද ප්‍රමාද බැවින්ද යන දෙකරුණෙන්ම හීනයයි කියනු ලබන්නීය. ස්වාමීනි, එහි යම් මේ ප්‍රතිපදාවක් දුක් වන්නීද අවබොධය වහා වන්නේද ස්වාමීනි, මේ ප්‍රතිපදාව දුක් බැවින් හීනයයි කියනු ලබන්නීය. ස්වාමීනි, එහි යම් මේ ප්‍රතිපදාවක් සැප වන්නීද, අවබොධය ප්‍රමාද වන්නේද ස්වාමීනි, මේ ප්‍රතිපදාව ප්‍රමාද බැවින් හීනයයි කියනු ලබන්නීය.
“ස්වාමීනි, එහි යම් මේ ප්‍රතිපදාවක් සැප වන්නීද, අවබොධය සීඝ්‍ර වන්නේද ස්වාමීනි, මේ ප්‍රතිපදා තොමෝ සැප හෙයින්ද වහා පැමිණෙන හෙයින්දැයි යන දෙකරුණෙන් ප්‍රණීතයයි කියනු ලබන්නීය. ස්වාමීනි, මේ ප්‍රතිපදා පිළිබඳ දෙශනාවද එක්තරා ඉතා උතුම් බවෙකි.
භස්සසමාචාරාදිදෙසනා Msdiv 153 “ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ යම් සේ යහපත් කොට කථාකිරීම පිළිබඳ ධර්මය දෙශනා කරයිද, ස්වාමීනි, මෙයද ඉතා උතුම් බවෙකි. ස්වාමීනි, මේ ලොකයෙහි ඇතැමෙක් බොරු වන්නාවූ වචන කථානොකරයි. භෙදකරවූ වචන කථා නොකරයි. කේලාම් වචන කථා නොකරයි. එකට එක කථා නොකරයි. ජය ගැනීමට කථා නොකරයි. නුවණින් පරීක්ෂා කොට සුදුසු කාලයෙහි සිත්හි තබා ගතයුතු වචන කියයි. ස්වාමීනි, යහපත් කොට කථාකිරීම පිළිබඳව මෙයද ඉතා උතුම් බවෙකි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දකින් පුරුෂයන්ගේ යහපත් හැසිරීම පිළිබඳ ධර්මය දෙශනා කරයිද මෙයද ඉතා උතුම් බවෙකි.
“ස්වාමීනි, මේ ලෝකයෙහි ඇතැමෙක් සත්‍ය වචන කියන්නේ ශ්‍රද්ධා ඇත්තෙක් වන්නේය. කුහක නොවන්නේය. චාටු බස් කියන්නෙක් නොවන්නේය. ලාභ ලැබීම සඳහා අඟවන වචන කියන්නෙක් නොවන්නේය. සහමුලින් ගුණ මකා කීම නොකරන්නේය. ලාභයෙන් ලාභය නොසොයන්නෙක්ද ඉන්ද්‍රියයන්හි වසනලද දොරටු ඇත්තෙක්ද වන්නේය. භොජනයෙහි පමණ දන්නෙක් වන්නේය. කාය වංකාදිය හැර සමව හැසිරෙන්නෙක් වන්නේය. නින්ද දුරු කිරීමෙහි යෙදුනෙක් වන්නේය. අලස නොවූයේ පටන් ගන්නාලද වීර්යය ඇත්තෙක් වන්නේය. ධ්‍යාන වඩන්නෙක් වන්නේය. සිහි ඇත්තෙක් වන්නේය. යහපත් වැටහීම් ඇත්තෙක් වන්නේය. ඥාන ගමනෙහි සමර්ථ නුවණින් යුක්තයෙක් වන්නේය. ධාරණයෙහි සමර්ථ නුවණින් යුක්තයෙක් වන්නේය. නුවණින් යුක්තයෙක් වන්නේය. කාමයන්හි ගිජු වූවෙක් නොවන්නේය. සිහි ඇත්තෙක්ද, තැනට සුදුසු ප්‍රඥා ඇත්තෙක්ද වන්නේය. ස්වාමීනි, මේද පුරිසසීල සමාචාරය (පුරුෂයාගේ යහපත් හැසිරීම) පිළිබඳ ඉතා උතුම් බවෙකි.
අනුසාසනවිධාදෙසනා Msdiv 154 “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අනුශාසන කොට්ඨාසයන් පිළිබඳ ධර්මය යම්සේ දෙශනා කරයිද මෙයද අන්‍යවූ ඉතා උතුම් බවෙකි.
“ස්වාමීනි, මේ අනුශාසන කොටස් සතරෙකි. මේ පුද්ගල තෙමේ, අනුශාසනාව යම් සේද එසේ පිළීපැදීමෙන් ත්‍රිවිධ සංයොජනයන්ගේ (සත්කායදෘෂ්ටි විචිකිත්සා ශීලව්‍රත පරාමාස යන රැහැන් තුණ) නැති කිරීමෙන්, සෝවාන් වූයේ නිරයෙහි නොවැටෙන්නේ අභිසම්බොධියට (නිවන් අවබොධයට) නියම වූයේ වන්නේයයි තමන්වහන්සේගේ උපාය මනසිකාරයෙන් දැනගනී. මේ පුද්ගල තෙමේ අනුශාසනාව යම්සේද එසේ පිළිපැදීමෙන් ත්‍රිවිධ සංයොජනයන්ගේ නැති කිරීමෙන් රාග, ද්වෙෂ, මොහයන්ගේ තුනීකිරීමෙන් සකෘදාගාමි වන්නේය, එක වරක් මේ ලෝකයට පැමිණ දුක් කෙළවර කරන්නේයයි තමන්වහන්සේගේ උපාය මනසිකාරයෙන් අන්‍ය පුද්ගලයකු භාග්‍යවතුන්වහන්සේ දැනගනී. මේ පුද්ගල තෙමේ අනුශාසනාව යම්සේ ද එසේ පිළිපැදීමෙන් පස් වැදෑරුම් ඔරම්භාගිය සංයොජනයන්ගේ ක්ෂය කිරීමෙන් ඔපපාතික වන්නේය, ඒ බඹලොව පිරිනිවන්පාන්නේ ඒ බ්‍රහ්ම ලෝකයෙන් පෙරළා නොඑන්නේයයි තමන්වහන්සේගේ උපාය මනසිකාරයෙන් මෙනෙහි කිරීමෙන් අන්‍ය පුද්ගලයකු භාග්‍යවතුන් වහන්සේ දැනගනී. මේ පුද්ගල තෙමේ අනුශාසනාව යම්සේද එසේ පිළිපැදීමෙන් කෙලෙස් නැති කොට කෙලෙස් රහිතවූ අර්හත්ඵලයට පැමිණ මේ ආත්මයෙහිම තෙමේ උසස් නුවණින් දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරන්නේයයි තමන් වහන්සේගේ උපාය මනසිකාරයෙන් අන්‍ය පුද්ගලයකු භාග්‍යවතුන් වහන්සේ දැනගනී. ස්වාමීනි, මේද අනුශාසනා කොටස් පිළිබඳ ඉතා උතුම් බවෙකි.
පරපුග්ගලවිමුත්තිඤාණදෙසනා Msdiv 155 භාග්‍යවතුන් වහන්සේ අන් පුද්ගලයන්ගේ කෙළෙසුන් කෙරෙන් මිදීමේ ඥාන පිළිබඳව ධර්මය දෙශනා කරයිද මෙයද අන්‍යවූ ඉතා උතුම් බවෙකි. මේ පුද්ගල තෙමේ ත්‍රිවිධ සංයෝජනයන්ගේ නැතිකිරීමෙන් සෝවාන්වූයේය. අපායෙහි නොවැටෙන්නේ රහත් බවට නියත වූයේ වන්නේයයි භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ උපාය මනසිකාරයෙන් දැනගනී. මේ පුද්ගලතෙමේ ත්‍රිවිධ සංයොජනයන් නැති කිරීමෙන් රාග, ද්වෙෂ, මොහයන් තුනී කිරීමෙන් සකෘදාගාමී වන්නේය. එක වරක්ම මේ ලෝකයට පැමිණ දුක් කෙළවර කරන්නේයයි භාග්‍යවතුන්වහන්සේ තමන්ගේ උපාය මනසිකාරයෙන් අන්‍ය පුද්ගලයකු දැනගනී. මේ පුද්ගල තෙමේ පස් වැදෑරුම් ඔරම්භාගිය සංයොජනයන් ( ඕරයයි කියනලද කාම ලෝකය භජනය කරන්නාවූ සත්කායදෘෂ්ටි විචිකිත්සා ශිලව්‍රත පරාමාශ කාමරාග ව්‍යාපාද යන පස් වැදෑරුම් රැහැන්) නැති කිරීමෙන් ඔපපාතික වන්නේය. එහි පිරිනිවෙන්නේය. ඒ ලෝකයෙන් පෙරළා නොඑන්නේයයි භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ උපාය මනසිකාරයෙන් අන්‍ය පුද්ගලයකු දැනගනී. මේ පුද්ගල තෙමේ කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිතවූ අර්හත්ඵලයට පැමිණ මේ ආත්මයෙහි තෙමේ උසස් නුවණින් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරන්නේයයි භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ උපාය මනසිකාරයෙන් අන්‍ය පුද්ගලයකු දැනගනී. ස්වාමීනි, අන්‍ය පුද්ගලයන්ගේ කෙලෙසුන් කෙරෙන් මිදීමේ ඥාන පිළිබඳ ධර්මය දේශනා කිරීමෙහි මේද ඉතා උතුම් බවෙකි.
සස්සතවාදදෙසනා Msdiv 156 “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ශාස්වත වාදයන් (සදාකාලිකයයි ගන්නා වාදයන්) පිළිබඳ ධර්මය යම්සේ දෙශනා කරයිද මෙයද උතුම් බවෙකි. ස්වාමීනි, මේ ශාස්වත වාදයෝ (සදාකාලිකයයි ගන්නා වාදයෝ) තිදෙනෙකි. ස්වාමීනි, මේ ලෝකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙළෙස් තවන වීර්යයට පැමිණ ඒ වීර්යයෙහි නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, මනාව මෙනෙහි කිරීමට පැමිණ, යම්සේ සිතඑකඟවූ කල්හි නානා ප්‍රකාරවූ පෙර වාසය කළ ආත්ම පිළිවෙළ සිහිකරයිද? එබඳු චිත්තසමාධියක් ලබයි. ඒ කෙසේද, එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුණක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් ජාති ලක්ෂ ගණන්ද අසවල් තැන වූයෙම් මෙබඳු නම් ඇත්තේ. මෙබඳු ගොත්‍ර ඇත්තේ, මෙබඳු වර්ණ ඇත්තේ, මෙබඳු ආහාරඇත්තේ මෙබඳු සැප දුක් විඳින්නේ, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තේ වීමියයි කියායි ඒ මම එයින් චුතවූයෙම් අසුවල් තැන උපනිමි. එහිද මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තේ වීමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙමි. මෙසේ ආකාර සහිතව දැක්වීම් සහිතව නානාප්‍රකාරවූ පෙර විසූ ආත්ම සිහි කරයි.
ලෝකය විනාශවූයේය කියා හෝ වැඩුනේය කියා හෝ මම අතීත කාලය දනිමි. ලෝකය විනාශ වන්නේය කියා හෝ වැඩෙන්නේය කියා හෝ මම අනාගත කාලයද දනිමි. ආත්මයද ලෝකයද ශාස්වතය, (සදාකාලිකය) වඳය, පර්වත කූටයක් මෙන් සිටියේය. මහකණුවක් මෙන් සිටියේය. ඒ සත්වයෝද ගමන්කරත්, සැරිසරත්, චුතවෙත්, උපදිත්. සදාකාලික වස්තු මෙන් නොවෙනස්ව ආත්මය ඇත්තේය. මේ පළමුවැනි ශාස්වත වාදයයි.
ස්වාමීනි, නැවත අනෙකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් කෙළෙස් තවන වීර්යයට පැමිණ, ඒ වීර්යයෙහි නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, මනාව මෙනෙහි කිරීමට පැමිණ, යම් පරිද්දකින් සිත එකඟවූ කල්හි අනේකවිධ පූර්වෙනිවාසය සිහිකෙරේද, එසේවූ චිත්තසමාධියක් හෙවත් පෙරවිසූ ආත්ම පිළිවෙල දැනගැණීමේ නුවණ ලබයි. ඒ කෙසේද? නැසෙන වැඩෙන හෙයින් සංවර්ත විවර්ත නම්වූ එක් කල්පයක්ද, සංවර්ත විවර්ත දෙකක්ද, සංවර්ත විවර්ත තුනක්ද, සංවර්ත විවර්ත සතරක්ද, සංවර්ත විවර්ත පසක්ද, සංවර්ත විවර්ත දශයක්ද, අසුවල් තැන උපන්මි. මෙනම් වීමි. මෙම ගොත්‍ර වීමි මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙවැනි ආහාර ඇත්තේ වීමි. මෙබඳු සුවදුක් වින්දෙමි. මෙපමණ ආයුෂ කෙළවර කොට ඇතිවීමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්මි. එහිදු මෙනම් වීමි. මෙබඳු ගොත්‍ර ඇති වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්මියි මෙසේ ආකාර සහිතව දැක්වීම් සහිතව, නොයෙක් පූර්වෙනිවාස සිහි කරයි. හෙතෙමේ මෙසේ කියයි. ලෝකය නැසීම් සහිතය කියා හෝ වැඩීම් සහිතය කියා හෝ අතීත කාලයද මම දනිමි. ලෝකය නැසීම් සහිත වන්නේය කියා හෝ ලෝකය වැඩීම් සහිත වන්නේය කියා හෝ මම අනාගත කාලයද දනිමි. ආත්මයද ලෝකයද ශාස්වතය, වඳය, පර්වතකූටයන් මෙන් සිටියේ ඉන්ද්‍රඛීලයක් මෙන් (මහකණුවක්) මෙන් සිටියේය. ඒ සත්වයෝ ගමන් කරත්. සැරිසරත්, චුතවෙත්, උපදිත්, සදාකාලික වස්තූන් මෙන් නොනැසී සිටිත්. ස්වාමීනි මේ දෙවන ශාස්වත වාදයයි
“ස්වාමීනි, නැවත අනෙකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙළෙස් තවන වීර්යයට පැමිණ ඒ වීර්යයෙහි නැවත නැවත යෙදීමට පැමිණ අප්‍රමාදයට පැමිණ, මනාව මෙනෙහි කිරීමට පැමිණ, යම්සේ සිත එකඟවූ කල්හි අනෙකප්‍රකාර පූර්වෙනිවාස සිහි කරයිද එබඳුවූ චිත්තසමාධිය ලබයි. ඒ කෙසේද, විනාශවන වැඩෙන කල්ප එකක්ද, විනාශවන වැඩෙන කල්ප දෙකක්ද, විනාශවන, වැඩෙන කල්ප තුනක්ද, විනාශවන වැඩෙන කල්ප සතරක්ද, විනාශවන වැඩෙන කල්ප පසක්ද, දශ සංවර්ත විවර්තයක්ද, (වැඩෙන්නාවූ පිරිහෙන්නාවූ කල්පයන්ද) විසි සංවර්ත විවර්තයක්ද, තිස් සංවර්ත විවර්තයක්ද සතළිස් සංවර්ත විවර්තයක්ද, සිහිකරයි. අසුවල් තැන උපන්මි. මෙනම් ඇත්තේ වීමි. මෙනම් ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු සුවදුක් විඳින්නේ වීමි. මෙබඳු ආයුෂ කෙළවරක් ඇතිවීමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපනිමි. එහිදු මෙනම්, වීමි මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැපදුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ කෙළවරක් ඇතිවීමි. ඒ මම එයින් චුතව උපනිමියි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව නොයෙක් ආකාර පෙර විසූ පිළිවෙල සිහිකරයි. හෙතෙමේ මෙසේ කියයි. ‘ලෝකය සංවර්තවිවර්ත සහිතයයි මම අතීතයද දනිමි. ලෝකය සංවර්ත සහිත වන්නේය. විවර්ත සහිත වන්නේයයිද මම අනාගතයද දනිමි. ආත්මයද ලෝකයද ශාස්වතය (සදාකාලිකය) පර්වත කූටයක් මෙන් සිටියේය. ඉන්ද්‍රඛීලයක් මෙන් සිටියේය. ඒ සත්වයෝද, සසර ගමන් කරත්. සැරිසරත්, මැරෙත්, උපදිත්. සදාකාලික වස්තූන් මෙන් පවතිත්. ස්වාමීනි, මේ තුන්වන ශාස්වත වාදයයි. ස්වාමීනි, ශාස්වත වාදයන් පිළිබඳ මෙයද උතුම් බවෙකි.
පුබ්බෙනිවාසානුස්සතිඤාණදෙසනා Msdiv 157 “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පූර්වෙනිවාසානුස්මෘති ඥානය පිළිබඳ ධර්මය යම්සේ දෙශනා කරයිද මෙයද අන්‍යවූ (නිරුත්තර) උතුම් බවෙකි. “ස්වාමීනි, මේ ලෝකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙළෙස් තවන වීර්යයට පැමිණ, ඒ වීර්යයෙහි නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, මනාව මෙනෙහි කිරීමට පැමිණ, යම් පරිද්දකින් සිත එකඟවූ කල්හි නොයෙක් ආකාරවූ පෙර විසූ පිළිවෙල යම්සේ සිහි කරයිද එබඳුවූ චිත්තසමාධිය ලබයි. ඒ කෙසේද? එක්ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුණක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද, මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, අනෙකවිධ පූර්වෙනිවාසය සිහිකරයි. යම් කෙනෙකුගේ ගණන් වශයෙන් හෝ සඩ්ඛ්‍යා වශයෙන් හෝ ආයුෂ ප්‍රමාණකර කියන්නට හැකි දෙවිකෙනෙක් නැත. එසේ වුවත් රූප ලෝකයන්හි හෝ අරූපලෝකයන්හි හෝ (සංඥාව පමණක් ඇති බඹලොව) සංඥ තලයන්හි හෝ අසංඥ තලයන්හි හෝ නෙවසඤ්ඤා නාසඤ්ඤ තලයන්හි හෝ යම් යම් ආත්මභාවයක වාසය කළේද මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව අනෙකවිධ පූර්වෙනිවාසය සිහි කරයි. ස්වාමීනි, මෙයද පූර්වෙනිවාසානුස්මෘති ඥානය පිළිබඳ ඉතා උතුම් බවෙකි.
චුතූපපාතඤාණදෙසනා Msdiv 158 “ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ සත්වයන්ගේ චුතූපපාත ඥානය පිළිබඳව (මරණය හා ඉපදීම දැනගන්නා නුවණ) ධර්මය දෙශනාකරයිද මෙයද අන්‍යවූ නිරුත්තර බවෙකි. ස්වාමීනි මේ ලෝකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීර්යයට පැමිණ ඒ වීර්යයෙහි නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, මනාව මෙනෙහි කිරීමට පැමිණ, යම් පරිද්දකින් සිත එකඟවූ කල්හි මිනිස් ඇස ඉක්මවූ, පිරිසිදු දිවැසින්, චුතවන්නාවූද උපදින්නාවූද, හීනවූද, උසස්වූද, යහපත් වර්ණ අත්තාවූද දුර්වර්ණවූද, යහපත්ගති ඇත්තාවූද, අයහපත්ගති ඇත්තාවූද කම්වූ පරිදි මිය පරලොව යන්නාවූ සත්වයන් දැන ගනීද එබඳුවූ චිත්ත සමාධිය ලබයි. මේ පින්වත් සත්වයෝ එකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්ට දොස් කියන්නාහුද, මිසදිටුවූවාහු, මිථ්‍යාදෘෂ්ටි කර්මයන් සමාදන්වූවාහු ඔව්හු මරණින්මතු සැපයෙන් පහවූ හෙයින් අපායනම්වූ දුකට පැමිණීම හෙයින් දුග්ගති නම්වූ, විවසව (හිස යටිකුරුව වැටෙන්නාවූ) නරකයෙහි උපන්නාහුය. මේ පින්වත් සත්වයෝ කයින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු වචනයෙන් කරන සුචරිතයෙන් යුක්තවූවාහු, හිතින් කරන සුචරිතයෙන් යුක්තවූවාහු ආර්‍ය්‍යයන්ට දොස් නොකියන්නාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහු ඔව්හු ශරීරභෙදයෙන්, මරණින්මතු සුගති නම්වූ ස්වර්ග ලොකයෙහි උපන්නාහුයයි මෙසේ මිනිස් ඇස ඉක්මවූ, පිරිසිදු දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද කම්වූපරිදි පරලොව යන සත්වයන් දැනගනී. ස්වාමීනි, සත්වයන්ගේ චුතූපපාත ඥානයෙහි මෙයද ඉතා උතුම් බවෙකි.
ඉද්ධිවිධදෙසනා Msdiv 159 “ස්වාමීනි, යම්සේ භාග්‍යවතුන් වහන්සේ ඍද්ධි විෂයෙහි ධර්මය දෙශනා කරයිද මෙයද අන්‍යවූ නිරුත්තර (උතුම්) බවෙකි ස්වාමීනි, මේ ඍද්ධිවිෂයයෝ දෙදෙනෙකි. ස්වාමීනි, ආශ්‍රව සහිතවූ උපධි (කෙලෙස්) සහිතවූ, ආර්‍ය්‍යනොවූ ඍද්ධියක් ඇත්තේය. ස්වාමීනි ආශ්‍රව රහිතවූ, කෙළෙස් රහිතවූ ආර්‍ය්‍යවූ ඍද්ධියක් ඇත්තේය. ස්වාමීනි, ආශ්‍රව සහිතවූ. උපධි (කෙලෙස්) සහිතවූ ආර්‍ය්‍ය නොවූ ඍද්ධිය කවරේද? ස්වාමීනි මේ ලෝකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කෙලෙස් තවන වීර්යයට පැමිණ ඒ වීර්යයෙහි නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, මනාව මෙනෙහි කිරීමට පැමිණ, යම් පරිද්දකින් සිත එකඟවූ කල්හි අනෙකවිධ ඍද්ධිවිධිය ලබාද, එබඳුවූ චිත්ත සමාධිය ලබයි. කෙසේද එකෙක්ව බොහෝ දෙනෙක් වෙයි. බොහෝ දෙනෙක්ව එකෙක් වෙයි. ප්‍රකට බවටද, අප්‍රකට බවටද පැමිණෙයි. භිත්ති සරස, ප්‍රාකාර සරසද, පර්වත සරසද, අහසේ යම්සේද එසේ නොගැටෙමින් ගමන් කරයි. දියෙහි මෙන් පෘථිවියෙහිද ගැලීම්, ඉල්පීම් කරයි. පෘථිවියෙහි මෙන් ජලයෙහිද නොකිඳෙමින් යයි. පක්ෂියෙක් යම්සේද එසේ අහසෙහි හිඳගෙනම (හිඳීමෙන්) යයි. මහත් ඍද්ධි ඇති මේ සඳහිරු දෙදෙනද අතින් අල්ලයි, අතගායි. බඹ ලොව දක්වා කයින් සිය වසඟයෙහි පවත්වයි. ස්වාමීනි, මේ ආශ්‍රව සහිත, කෙලෙස් සහිත ආර්‍ය්‍ය නොවූ ඍද්ධියයි. ස්වාමීනි, යම් බඳු ඍද්ධියක් ආශ්‍රව රහිතද කෙලෙස් රහිතද ආර්‍ය්‍යයයි කියනු ලැබේද ඒ ඍද්ධිය කවරේද? ස්වාමීනි, මේ ලෝකයෙහි යම් භික්ෂුවක් පිළිකුළෙහි පිළිකුල් නොවූ සංඥා ඇත්තේ වාසය කරන්නෙමියි ඉඳින් කැමති වන්නේද, එහි නොපිළිකුල් සංඥා ඇත්තේ වාසය කරයි. ඉඳින් නොපිළිකුළෙහි පිළිකුල් සංඥා ඇත්තේ වාසය කරන්නෙමියි කැමතිවේද එහි පිළිකුල් සංඥා ඇත්තේ වාසය කරයි. පිළිකුළෙහිද නොපිළිකුළෙහිද නොපිළිකුල් සංඥා ඇත්තේ වාසය කරන්නෙමියි ඉඳින් කැමති වෙයි. එහි පිළිකුල් සංඥා ඇත්තේ වාසය කරයි. පිළිකුලද, නොපිළිකුළද යන ඒ දෙක දුරු කොට සිහි ඇත්තේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ මධ්‍යස්ථවූයේ වාසය කරන්නෙමි’යි ඉඳින් කැමති වේ නම් සිහි ඇත්තේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ එහි උපෙක්ෂාවූයේ වාසය කරයි. ස්වාමීනි මේ ඍද්ධිය වනාහි ආශ්‍රව (තද ඇල්ම) රහිත, කෙලෙස් රහිත ආර්‍ය්‍යඍද්ධියයි කියනු ලැබේ. ස්වාමීනි මෙද ඍද්ධි විෂයෙහි උතුම් බවෙකි. භාග්‍යවතුන් වහන්සේ එය සම්පූර්ණයෙන් දනිත්, එය සම්පූර්ණයෙන් දන්නාවූ භාග්‍යවතුන් වහන්සේට මත්තෙහි දතයුත්තක් නැත. ඍද්ධි කොටස් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේට වඩා දන්නාවූ අන්‍ය ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නොවන්නේය.
අඤ්ඤථාසත්ථුගුණදස්සනං Msdiv 160 ස්වාමීනි, පටන්ගන්නා ලද වීර්යය ඇති ස්ථිර වීර්යයෙන් යුක්ත පුරුෂ වීර්යයෙන් යුක්ත පුරුෂ පරාක්‍රමයෙන් යුක්ත මහා පුරුෂ වීර්යයෙන් යුක්ත, ශ්‍රද්ධාවත් කුල පුත්‍රයකු විසින් පැමිණිය යුතු යමක් ඇද්ද භාග්‍යවතුන් වහන්සේ එයට පැමිණියේය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හීනවූ, ග්‍රාම්‍යවූ පෘථග්ජනයන්ට අයිතිවූ, ආර්‍ය්‍ය නොවූ අනර්ථ සහිතවූ කාම සුඛල්ලිකානු යොගයෙහි (කාම සැපයේ ඇලීමෙහි) නොයෙදුනේ වෙයි. දුක්වූ, අනාර්‍ය්‍යවූ අනර්ථ සහිත වූ අත්තකිලමථානු යොගයෙහි (තම ශරීරය වෙහෙසට පමුණුවා යෙදීම) නොයෙදුනේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ කාමාවචර සිත් (කාමභවයෙහි හසුරු වන්නාවූ සිත්) ඉක්ම සිටියාවූ, මේ ආත්මභාවයෙහි සැප විහරණ ඇත්තාවූ සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නේය. පහසුවෙන් ලබන්නේය.
අනුයොගදානප්පකාරො Msdiv 161 ස්වාමීනි, මා අතින් මෙසේ විචාරන්නේද? කිම ශාරීපුත්‍රය? අභිසම්බොධියෙන් (බුදුබවලැබීමෙන්) භාග්‍යවතුන්වහන්සේට වඩා වැඩි නුවණැත්තාවූ අන්‍ය ශ්‍රමණ කෙණෙක් හෝ බ්‍රාහ්මණ කෙණෙක් හෝ අතීත කාලයෙහි වූවාහු දැයි මෙසේ විචාරණ ලද්දේ, ‘ස්වාමීනි, මම නැතැයි කියන්නෙමි.’ කිම ශාරීපුත්‍රය, සම්බොධියෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා වැඩි නුවණැත්තාවූ අන්‍ය ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙණෙක් හෝ අනාගත කාලයෙහි පහළවන්නේදැ’යි මෙසේ විචාරණ ලද්දේ ස්වාමීනි, ‘මම නැතැයි කියන්නෙමි.’ කිම ඇවැත්නි, ශාරීපුත්‍රය, සම්බොධියෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා වැඩි නුවණ ඇත්තාවූ අන්‍ය ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙණෙක් මෙකල්හි වෙත්දැ’යි මෙසේ විචාරණ ලද්දේ ‘ස්වාමීනි, මම නැතැයි කියමි.’ ස්වාමීනි, ඉඳින් මා අතින් මෙසේ විචාරන්නේද, කිම ඇවැත්නි, ශාරීපුත්‍රය, සම්බොධියෙන් භාග්‍යවතුන් වහන්සේ හා සමාන අන්‍ය ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් අතීත කාලයෙහි වූවාහු දැ’යි මෙසේ විචාරණ ලද්දේ ‘ස්වාමීනි, මම එසේය’යි කියන්නෙමි. කිම ඇවැත්නි, ශාරීපුත්‍රය, සම්බොධියෙන් භාග්‍යවතුන් වහන්සේ හා සමාන අන්‍ය ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ අනාගත කාලයෙහි වන්නාහුදැ’යි මෙසේ විචාරණ ලද්දේ ‘ස්වාමීනි, මම එසේය’යි කියන්නෙමි. කිම ඇවැත්නි ශාරීපුත්‍රය, මෙකල්හි සම්බොධියෙන් භාග්‍යවතුන් වහන්සේ හා සමාන අන්‍ය ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණකෙනෙක් වෙත්දැ’යි මෙසේ විචාරණලද්දේ ‘ස්වාමීනි, මම නැතැයි කියන්නෙමි.’ ස්වාමීනි, ඉදින් මා අතින් මෙසේ විචාරන්නේද, කිම ඇවැත්නි ශාරීපුත්‍රය, එක්තරා ශාස්තෘකෙනෙකුගේම උතුම් බව පිළිගන්නෙහිද? එක්තරා ශාස්තෘකෙනෙකුගේ උතුම් බව නොපිළිගන්නෙහිදැයි මෙසේ විචාරණ ලද්දේ ස්වාමීනි, මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි. ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේගෙන්ම අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ වෙතින්ම පිළිගන්නාලදී. අතීතකාලයෙහි සම්බොධියෙන් මා හා සමානවූ අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ පහළවූහයි අසන ලදී. අනාගතයෙහි සම්බොධියෙන් සමානවූ අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ පහළවන්නාහයි භාග්‍යවතුන් වහන්සේගෙන්ම අසනලදී. භාග්‍යවතුන් වහන්සේ වෙතින්ම පිළිගන්නා ලදී. එක් ලෝකයක අර්හත්වූ බුදුවරු දෙනමක් ඉදිරි පසු නොවී උපදින්නාහුය යන මේ කාරණය අස්ථානයි, (සිද්ධනොවේ) අනවකාසයි. ඊට හෙතු නැතැයි අසනලදී. ස්වාමීනි, ඇතැමෙක් මගෙන් මෙසේ විචාළවිට මම මෙසේ ප්‍රකාශ කළොත් භාග්‍යවතුන්වහන්සේගේ වචනයට අනුකූලද? භාග්‍යවතුන් වහන්සේට (බොරුවෙන්) චොදනා කරන්නෙක් නොවන්නෙම්ද? ධර්මයට අනුකූල වූවක් ප්‍රකාශ කෙරෙම්ද? කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් නොවේද? ගැරහිය යුතු ස්ථානයට නොපැමිණේද? එසේ නම් ශාරීපුත්‍රය, නුඹ මෙසේ විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරනු ලබන්නේ අනුකූලව කියන්නෙක් වෙයි. මට බොරුවෙන් චොදනා නොකරන්නෙහිය. ධර්මයට අනුකූලව ප්‍රකාශ කරන්නෙහිය. සහධාර්මිකවූ (කරුණු සහිතවූ) කිසිවෙක් වාදයෙහි ගැරහිය යුතු තැනට නොපැමිණෙයි.
අච්ඡරියඅබ්භුතං Msdiv 162 මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායිස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය දැන්නුවේය.
“ස්වාමීනි, යම් තථාගතවරයෙක් තෙමේ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ, මෙබඳු මහානුභාව ඇත්තේ වේද? එබඳු තථාගතයන්ගේ මදකින් සතුටුවන බව, ලද දෙයින් සතුටුවන බව, සැහැල්ලු පැවතුම් ඇති බව, ආශ්චර්‍යය, අද්භූතය එසේද වුවත් තමාගේ ගුණ ප්‍රකට නොකරන්නේය. ස්වාමීනි, මෙයින් එක ධර්මයක්වත් අන්‍යතීර්ථක පරිබ්‍රාජිකයෝ තමන් කෙරෙහි දක්නාහු නම් ඔව්හු එපමණකින්ම කොඩි ඔසවන්නාහුය. ස්වාමීනි, මෙබඳු මහත් ඍද්ධි ඇති මහානුභාව ඇති යම් තථාගතවරයෙක් වේද? ඒ තථාගතයන්ගේ මද දෙයින් සතුටුවන බව, ලද දෙයින් සතුටු වන බව, සැහැල්ලු පැවතුම් ඇති බව, ආශ්චර්‍යය, පුදුමය, එසේද වුවත් තමාගේ ගුණ ප්‍රකට නොකරන්නේ යයි කීය. උදායී, නුඹ මෙබඳු මහත් ඍද්ධි ඇති, මෙබඳු මහානුභාව ඇති යම් තථාගතවරයෙක් වේද? ඒ තථාගතවරයන්ගේ මද දෙයින් සතුටුවන බව, ලද දෙයින් සතුටු වන බව, සැහැල්ලු පැවතුම් ඇති බව, තමන්ගේ ගුණ ප්‍රකට නොකරන බව යන මේ ආදිය බලව. උදායී, මෙයින් එක ධර්මයක් හෝ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තමන් කෙරෙහි දක්නාහු නම් ඔව්හු එපමණකින්ම කොඩි ඔසවන්නාහුය. උදායි, නුඹ මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහානුභාව ඇති එතකුදු වුවත් තමන්ගේ ගුණ ප්‍රකට නොකරන්නාවූ යම් තථාගතවරයෙක් වේද ඒ තථාගතවරයන්ගේ මද දෙයින් සතුටුවන බව, ලදදෙයින් සතුටුවන බව, සැහැල්ලු පැවතුම් ඇති බව බලවය”යි වදාළේය.
Msdiv 163 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ කැඳවූවෝය. “එසේ නම් ශාරීපුත්‍රය, මේ ධර්මක්‍රමය භික්ෂූන්ටද, භික්ෂූණීන්ටද, උපාසකයන්ටද, උපාසිකාවන්ටද නැවත නැවත කියව. ශාරීපුත්‍රය, යම්බඳු හිස් පුරුෂයන්ගේ තථාගතයන් වහන්සේ කෙරෙහි සැකයක් හෝ විමතියක් හෝ වන්නේද ඔවුන්ගේ ඒ සැකය ඒ විමතිය මේ ධර්ම ක්‍රමය අසා නැති වන්නේය.”
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි සතුට පළ කළේය. එහෙයින් මේ මේ ප්‍රකාශනයට ‘සම්පසාදනීය’ යනුම නමෙකි.
විසිඅටවැනිවූ සම්පසාදනීය සූත්‍රය නිමි.
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source