The Marks of a Great Man
Lakkhaṇasutta
PDFGenerated
This presents the brahmanical prophecy of the Great Man, and explains the 32 marks in detail. This discourse contains some of the latest and most complex verse forms in the canon.
Read the full discourse slowly and reflect on key passages.
Read here in the library
දීඝ නිකාය පාඨික වර්ගය 30. ලක්ඛණ සූත්‍රය ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි Msdiv 198 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද දෙව්රම් වෙහෙර වාසය කරන්නාහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළාහුය. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීවාහුය.
Msdiv 199 “මහණෙනි, මේ ලක්ෂණ දෙතිස මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්ෂණයෝය. යම් ඒ ලක්ෂණවලින් යුක්තවූ මහාපුරුෂයාගේ මේ ගති දෙකක්ම වෙත්. අන් ගතියක් නොවන්නීය, ඉදින් (ඔහු) ගිහිගෙයි වාසය කෙරේද, සතර දිශාවට අධිපති වූයේ දිනූ රටවල් ඇත්තේ, ජනපදයන්හි ප්‍රධානයා වූයේ, රත්න සතකින් යුක්ත වූයේ, දැහැමි වූයේ, ධර්ම රාජයන්වූ සක්විති රජෙක් වෙයි.
ඔහුට මේ රත්න හත වෙති ඒ කවරේද? චක්‍ර රත්නය, ඇත් රත්නය, අස් රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පරසේනාවන් මැඩිය හැකිවූ දෙව් පුතුන් හා සමානවූ ශරීර ඇති, සූරවූ දහසකට අධිකවූ පුත්‍රයෝ වෙති. හෙතෙම සයුර සීමාකොට වූ මේ පොළොව දඬුවම්කිරීම් නැතිව ආයුධ රහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කෙරෙයි. ඉදින් (ඒ ලක්ෂණ ඇති) මහාපුරුෂයා ගිහිගෙන් නික්ම මහණ වේද, ලොකයෙහි කෙලෙස් නමැති වැස්ම සිඳිනලද, අර්හත්වූ සම්‍යක් සම්බුදු වෙයි.
Msdiv 200 මහණෙනි, මහා පුරුෂයාගේ ඒ දෙතිස් මහා පුරුෂලක්ෂණයෝ කවරහුද? යම් ලක්ෂණයන් ගෙන් යුක්තවූ මහාපුරුෂයාගේ මේ ගති දෙකක් වෙත්. අන්‍ය ගතියක් නැත.
“ඉදින් (ඔහු) ගිහිගෙයි වාසය කෙරේද? සක්විති රජ වෙයි. ඔහුට මේ රත්න හත වෙති. ඒ කවරේද? චක්‍ර රත්නය, ඇත් රත්නය, අස්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට සතුරු සේනාවන් මැඩිය හැකිවූ, දිව්‍ය පුත්‍රයන් හා සමානවූ ශරීර ඇති සූරවු දහසකට අධිකවූ පුත්‍රයෝ වෙති. හෙතෙම සාගරය කෙළවර කොටවූ මේ පොළොව දඬුවම් කිරීමක් නැතිව, ආයුධ රහිතව, ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කරයි.
“ඉදින් ගිහිගෙන් නික්ම පැවිදි වේද? ලොකයෙහි කෙලෙස් නමැති වහල සිඳිනලද අර්හත්වූ සම්‍යක් සම්බුදු වෙයි.
“මහණෙනි, මෙහි මහාපුරුෂ තෙමේ මනාකොට පිහිටි පාද ඇත්තේ වෙයි. මහණෙනි, යම් හෙයකින් මහාපුරුෂ තෙමේ මනාකොට පිහිටි පා ඇත්තේ වේද? මහණෙනි, එයද මහා පුරුෂයාගේ මහාපුරුෂ ලක්ෂණයක් වෙයි. මහණෙනි, නැවතද මහාපුරුෂයාගේ යටි පතුල්වල දහසක් අර ඇති, නිම්වලලු සහිතවූ නැබ සහිතවූ, සියලු අයුරින් සම්පූර්ණවූ චක්‍රයෝ පහල වෙත්ද, මහණෙනි, මෙයද මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්ෂණයක් වෙයි. මහණෙනි, නැවතද මහාපුරුෂ තෙමේ දික් විළුම් ඇත්තේ වෙයි. දිගඇඟිලි ඇත්තේවෙයි, මෘදුවූ තරුණවූ අතුල් පතුල් ඇත්තේවෙයි. දැල්කවුලුවකට බඳු සමවූ ඇඟිලි ඇති අත් පා ඇත්තේ වෙයි. පිරුණු ගොප් මස ඇති පා ඇත්තේ වෙයි. ඕලු මුවන්ගේ බඳු කෙණ්ඩා ඇත්තේ වෙයි. සිටගෙනම නොනැමී දෙ අත්තලවලින් දනහිස් අතගායිද, පිරිමදීද, කොෂය තුළ සැඟවුනු පුරුෂ ලක්ෂණ ඇත්තේ වෙයි. රන්වන්වූ හම ඇත්තේ වෙයි. සියුම් හම ඇත්තේ වෙයි, සියුම්වූ හම ඇති බැවින් දූලි කුණු ශරීරයෙහි නොඅල්ලන්නේ වෙයි. එක එක ලොම් ඇත්තේ වෙයි, රෝම කූපයන්හි එක් එක් රෝම හට ගත්තාහුය. උඩුකුරු අක්ඇති රෝම ඇත්තේ වෙයි, උඩු කුරුවූ ලොම් නිල්වන්ය, අඳුන්වන්ය.
“කෙලින් පිහිටි ශරීරය ඇත්තේ වෙයි. (දෙ පිටිපතුල් දෙ උරහිස්, කර යන) සත් තැන උස් වූයේ වෙයි. සිංහයෙකුගේ ශරීරයේ ඉදිරිපස මෙන් සම්පූර්ණ ශරීරයක් ඇත්තේ වෙයි. පිට දෙපැත්ත මැද පිරුණේ වෙයි. නුග රුකක්සේ වටවූ බව ඇත්තේ වෙයි. උන්වහන්සේගේ ශරීරය යම් පමණ වේද බඹයත් එපමණය. බඹය යම් පමණද ශරීරයත් එපමණය. සම වට බෙල්ල ඇත්තේ වෙයි. සත්සියයක් රසනහර ඇත්තේ වෙයි. සිංහයෙකුගේ යට හක්ක මෙන් සම්පූර්ණ උඩු යටි හකු දෙක ඇත්තේ වෙයි. සම සතලිස් දත් ඇත්තේ වෙයි, සම දත් ඇත්තේ වෙයි, සිදුරු නැතිවූ දත් ඇත්තේ වෙයි, දිලිසෙන ඉතා සුදු දත් ඇත්තේ වෙයි, මෘදු දික් පළල් දිව ඇත්තේ වෙයි, බ්‍රහ්මයාගේ මෙන් කටහඬ ඇත්තේ වෙයි. කුරවීක හඬ බඳු කටහඬ ඇත්තේ වෙයි. පිරිසිදු නිල්වන් පාට ඇස් ඇත්තේ වෙයි, උපන් කෙණෙහි වස්සෙකුගේ බඳු පැහැදුනු ඇස් ගුලි ඇත්තේ වෙයි. දෙ බැම අතර සුදුවූ මෘදුවූ පුලුන් පෙදක් වැනි දකුණට කරකැවී නළල මැද පිහිටි රෝමයක් වූයේ වෙයි.
“මහණෙනි, යම් හේතුවකින් මහපුරුෂයාගේ දෙබැම අතර සුදුවූ මෘදුවූ පුළුන් පෙදක් වැනි ඌර්ණරෝමයක් වූයේද මෙයද, මහණෙනි, මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්ෂණයක් වෙයි. මහණෙනි, නැවතද මහාපුරුෂ තෙමේ පිරුණු නළල සහිත සම්පූර්ණ හිස ඇත්තේ වෙයි.
“මහණෙනි, මහපුරිස් තෙමේ යම් බඳුවූ සම්පූර්ණ හිස ඇත්තේ වේද, මෙයද මහණෙනි, මහාපුරුෂයාගේ මහා පුරුෂ ලක්ෂණයක් වෙයි. මහණෙනි, ඒ මේ ලක්ෂණ දෙතිස වනාහි මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්ෂණයෝය. යම් ලක්ෂණයන්ගෙන් යුක්තවූ මහාපුරුෂයාගේ ගති දෙකක් වෙත්. අන් ගතියක් නොවන්නීය. ඉදින් ඔහු ගිහිගෙයි වසයිද සක්විති රජ වෙයි. ඉදින් ගිහිගෙන් නික්ම මහණ වේද ලොකයෙහි කෙලෙස් නමැති පියස්ස සුන් කළ අර්හත්වූ සම්‍යක් සම්බුදු වෙයි. මහණෙනි, මහාපුරුෂයාගේ මේ දෙතිස් මහාපුරුෂ ලක්ෂණයන් බාහිර ඍෂීහුද දනිත්, එහෙත් ඔවුහු මේ කර්මය කළ හෙයින් මේ ලක්ෂණ ලබත්යයි නොදනිත්.
(1) සුප්පතිට්ඨිතපාදතාලක්ඛණං Msdiv 201 ‘මහණෙනි, යම් හේතුවකින් තථාගතයන්වහන්සේ පෙර ජාතියෙහි පෙර භවයෙහි පෙර වාසයෙහි පෙර මනුෂ්‍යයෙක් වූයේ දශ කුශල ධර්මයන්හි දැඩිව සමාදන් වූයේ නිශ්චලවූ සමාදානය ඇත්තේ විය. කයින් කරන සුචරිතයෙහිද, වචනයෙන් කරන සුචරිතයෙහිද, සිතින් කරන සුචරිතයෙහිද, දන් බෙදා හදා දීමෙහිද, සීලසමාදානයෙහිද, පෙහෙවස් විසීමෙහිද මවට උපස්ථාන කිරීමෙහිද, පියාට උපස්ථාන කිරීමෙහිද, මහණුන්ට සත්කාර කිරීමෙහිද, පව් දුරු කළ බමුණන්ට සත්කාර කිරීමෙහිද, වැඩිහිටියන් පිදීමෙහිද, එක් එක් උසස් කුශල ධර්මයන්හි දැඩි සමාදාන ඇත්තේ නිශ්චල සමාදාන ඇත්තේ විය. හෙතෙම ඒ කර්මය කළ බැවින්, රැස් කළ බැවින්, බලවත්වූ බැවින්, මහත්වූ බැවින්, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදියි. හෙතෙම එහි අන්‍ය දෙවි වරුන්ට වඩා කරුණු දහයකින් වැඩි වෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද දිව්‍යමයවූ පාටෙන්ද දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ පිරිවරින්ද, දිව්‍යමයවූ අධිපති බවෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ ගන්ධයෙන්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද යන කරුණු දහයෙන් වැඩි වෙයි.
“හෙතෙම ඒ දෙව් ලොවින් චුතව මිනිසත් බවට පැමිණියේ මේ මහපුරිස් ලකුණු ලබයි. භූමියෙහි සමව පිහිටන පා ඇත්තේ වෙයි. සමවූ පාදය භූමියෙහි තබයි. සමව නඟයි. සම මුළු පාදතලයන්ගෙන් බිම ස්පර්ශ කෙරෙයි.
Msdiv 202 හෙතෙම ඒ ලකුණින් යුක්තවූයේ ඉදින් ගිහිගෙයි වාසය කෙරේද හතර දිසාවට අධිපතිව දිනූ රටවල් ඇත්තේ ජනපදයන්හි ප්‍රධානයා වූයේ රත්න හතින් යුක්තවූ දැහැමිවූ ධර්මරාජන්වූ සක්විති රජ වෙයි.
“ඔහුට මේ රත්න හත පහල වෙත්. (ඒ කවරේද?) චක්‍ර රත්නය, ඇත් රත්නය, අස් රත්නය, මැණික් රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පරිනායක රත්නය යන මොවුහුය. ඔහුට පරසේනාවන් මැඩලිය හැකි සූරවූ දෙව් පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්. හෙතෙම සයුර හිම්කොට ඇති මේ පොළොව පර සතුරු කටු නැති කොට සියලු සැපතින් පිරීගිය, නිර්භය, අනතුරු රහිතව දඬුවම් රහිතව, ආයුධ රහිතව, ධාර්මිකව, සාමයෙන් දිනා වාසය කරයි. රජ වූයේ කුමක් ලබාද? මනුෂ්‍යවූ කිසි සතුරෙකු විසින් හෝ විරුද්ධ වූවකු විසින් හෝ නොසෙල්විය හැක්කේය. රජ වූයේ මෙය ලබයි.
“ඉදින් වනාහි ගිහිගෙන් නික්ම මහණ වේනම් ලොව කෙලෙස් නමැති වහල කැඩූ අර්හත් සම්‍යක් සම්බුදු වෙයි. බුදු වූයේ කුමක් ලබාද? ඇතුළත්හිවූ හෝ පිටත්හිවූ හෝ සතුරන් විසින් හෝ විරුද්ධවූවන් විසින් හෝ රාගයෙන් හෝ ද්වෙෂයෙන් හෝ මොහයෙන් හෝ මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලොකයෙහි කිසිවෙකු විසිනුත් නොසෙල්විය හැක්කේ වෙයි. බුදු වූයේ මෙය ලබයි. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 203 එහි මෙය මෙසේ කියනු ලැබේ.
[1]“සත්‍ය කීමෙහිද, දශ කුශල ධර්මයෙහිද, ඉන්ද්‍රිය දමනයෙහිද, (කාය සොචෙය්‍යතාදී) තුන් ආකාර ඉතා පිරිසිදු සීලයම වාසස්ථාන කොට ඇති උපොසථ (පෙහෙවස්) සීලයන්හිද, දීමෙහිද, අවිහිංසාවෙහි හා කෝප නොවීමෙහිද, ඇලුනේ ඒ ධර්ම දැඩිව සමාදන්ව ගෙන සියලු ආකාරයෙන් හැසුරුනේය.”
[2]“හෙතෙම එම කුශල කර්මයෙන් දෙව් ලොවට පැමිණියේය. දිව්‍යමය සැපද, ක්‍රීඩා සැපද අනුභව කෙළේය. එයින් චුතව නැවත මෙහි පැමිණියේ සමවූ පාදයන්ගෙන් පෘථිවිය ස්පර්ශ කෙළේය.”
[3]“රැස්වූ ලක්ෂණ ප්‍රකාශ කරන්නාවූ නිමිති ශාස්ත්‍ර දන්නෝ ‘සමවූ දෙපාවලින් බිම ස්පර්ශ කරන්නහුගේ සෙලවීමක් නැතැ’යි ප්‍රකාශ කළාහුය. තවද ගිහියෙකුගේ හෝ මහණෙකුගේ හෝ එම ලක්ෂණය එකී අදහස ප්‍රකාශ කරන්නේ වේ.’
[4]“ගිහිගෙයි වසන්නේ එම කර්මයේ විපාකයෙන් අනුන් මැඩ පවත්නේ, සතුරන් මර්දනය කරන්නේ, මේ ලොකයෙහි මනුෂ්‍යවූ කිසිවකු විසිනුත් මැඩලිය නොහැකි වේ.”
[5]“ඉදින් ගිහිගෙය අත්හැර යාමට කැමැතිවූ ඒ ලක්ෂණයෙන් යුත් නැණවත් පුද්ගල තෙමේ මහණ වේද, අග්‍රවූ මනුෂ්‍යයින්ගෙන් ඉතා උසස්වූ හෙතෙම කිසි කලෙකත් යටත් බවකට නොපැමිණේ. මෙය වනාහි මේ ලක්ෂණයාගේ ධර්මතාවයි.”
(2) පාදතලචක්කලක්ඛණං Msdiv 204 “මහණෙනි, යම් හේතුවකින් තථාගත තෙමේ පෙර ජාතියෙහි පෙර භවයෙහි පෙර වාසයෙහි පෙර මිනිසකු වූයේ බොහෝ දෙනාට සුව එළවන්නෙක් විය. රජ සොර සතුරු ආදීන්ගෙන් ඇතිවන බියද තැති ගැනීම් නම්වූ භයද දුරු කෙළේ දැහැමිවූ ආරක්ෂාව යොදා පිරිවර සහිතව දානය දුන්නේය. හෙතෙම ඒ කර්මය කළ බැවින් රැස් කළ බැවින් බලවත්වූ බැවින් මහත්වූ බැවින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදී. ඔහු එතැනින් චුතව මිනිස් බවට පැමිණියේ මේ මහපුරිස් ලකුණ ලබයි. යට පාද තලයන්හි, දහසක් අරඇති නිව් වලලු සහිතවූ නැබ සහිත සියලු අයුරින් සම්පූර්ණවූ හොඳින් බෙදූ චක්‍රයෝ පහල වෙත්. ඒ ලකුණින් යුක්ත වූයේ හෙතෙමේ ඉදින් ගිහිගෙයි වසාද සක්විති රජ වෙයි. රජවූයේ කුමක් ලබාද? මහා පිරිවර ඇත්තේ වෙයි. බමුණු ගෘහපතියෝය, නියම් ගම් වැසියෝය, නැණැත්තෝය, මහමැතියෝය. අඩ්ගරක්ෂකයෝය, (ශරීරය රැකසිටින හේවායෝය) දොරටු පාලයෝය, ඇමැතියෝය, මහත් පිරිවරය, (සෙසු ඇණවීම් කරන්නෝය) රජවරුය, අනුභව කරවන්නෝය, (භොජක) රජකුමරුවෝය යන මොවුහු වෙති. රජ වූයේ මෙය ලබයි.
“ඉදින් ගිහිගෙන් නික්ම මහණ වේද ලොකයෙහි කෙලෙස් නමැති වහල කැඩූ අර්හත්වූ සම්‍යක්සම්බුදු වෙයි. බුදුවූයේ කුමක් ලබාද? මහා පිරිවර ඇත්තේ වෙයි. භික්ෂුහුය, භික්ෂුණීහුය, උපාසකයෝය, උපාසිකාවෝය, දෙවියෝය, මිනිස්හුය, අසුරයෝය, නාගයෝය, ගාන්ධර්වයෝය යන මොවුහුය. බුදු වූයේ මෙය ලබයි. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 205 එහි මෙය මෙසේ කියනු ලැබේ.
[1]“පෙර විසූ අතීත ජාතීන්හි මිනිස් වූයේ බොහෝ දෙනාට සුව ගෙනදෙන්නේ භය නමැති තැතිගැනීමද ලොමු දැහැගන්නාවූ භයද යන මෙකී බිය දුරුකරන්නේ මහජනයාගේ ආරක්ෂාව සැලසීමෙහි උත්සාහවන්ත වූයේය.”
[2]“හෙතෙම එම කුශල කර්මයෙන් දෙව් ලොවට පැමිණියේය. දිව්‍යමය සැපද ක්‍රීඩා සැපද අනුභව කෙළේය. එයින් චුතව නැවත මෙහි පැමිණියේ පාදෙකෙහි නිම්වළලු හා දහසක් දැති ඇති වක්‍ර ලබයි.”
[3]“රැස්වූ ලක්ෂණ පාඨකයෝ සියයක් පින් ලකුණු ඇති කුමරුවා දැක වටට නිම්වළලු ඇති චක්‍ර යම්සේද, එසේම සතුරන් මඩනා පිරිවර ඇත්තෙක් වන්නේයයි ප්‍රකාශ කළාහුය.”
[4]“ඉදින් එබඳු තැනැත්තේ පැවිදි නොවන්නේ නම් (සක්විති රජකුගේ) අණසක පතුරුවයි. මුළු ලොකයට අනුශාසනා කරයි. මේ ලොකයෙහි ක්ෂත්‍රියයෝ ඔහු අනුගමනය කරන්නෝ වෙත්. මහා යසස් ඇති ඔහු පිරිවරා යෙත්.”
[5]“ඉදින් ගිහිගෙය අතහැර යාමට කැමැතිව නැණවත් එබඳු පුරුෂ තෙමේ මහණ වේද, ඉතා උතුම්වූ දෙවි මිනිසුන් විසින් පුදනලද මහා යසස් ඇති ඔහු දෙවියෝද, මනුෂ්‍යයෝද, අසුර සත්වයෝද, රාක්ෂයෝද, ගාන්ධර්වයෝද, පක්ෂීහුද, සිවුපාවෝද පිරිවරත්.”
(3-5) ආයතපණ්හිතාදිතිලක්ඛණං Msdiv 206 “මහණෙනි, යම් හේතුවකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි පූර්ව භවයෙහි පූර්ව වාසයෙහි පූර්වයෙහි මනුෂ්‍යයෙක්ව ප්‍රාණඝාතය හැර ප්‍රාණ ඝාතයෙන් වෙන් වූයේ විය. දඩුවම් නොකරන්නේ ආයුධ නොගන්නේය. පාපයෙහි ලජ්ජා ඇත්තේය. දයාවෙන් යුක්තය. සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කළේද? ඔහු ඒ කර්මය කළ බැවින් රැස් කළ බැවින් බලවත් බැවින් මහත්වූ බැවින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදියි. හෙතෙම එහි අන්‍ය දෙවි වරුන්ට වඩා කරුණු දහයකින් වැඩිවෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද දිව්‍යමයවූ පාටෙන්ද දිව්‍යමයවූ සැපයෙන්ද දිව්‍යමයවූ පිරිවරින්ද දිව්‍යමයවූ අධිපතිත්වයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ ගන්ධයෙන්ද දිව්‍යමයවූ රසයෙන්ද දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද යන කරුණු දහයෙන් වැඩිවෙයි. හෙතෙම එයින් චුතව මිනිස් බවට පැමිණියේ මේ තුන් මහා පුරිස් ලකුණු ලබයි. දික් විළුම් ඇත්තේ වෙයි. දික් ඇඟිලි ඇත්තේ වෙයි. බ්‍රහ්මයාගේ මෙන් ඍජු ශරීර ඇත්තේ වෙයි.
හෙතෙම ඒ ලකුණුවලින් යුක්තවූයේ, ඉදින් ගිහිගෙයි වාසය කෙරේද, සක්විති රජවෙයි. ඔහුට මේ රත්න හත පහළ වෙත්. (ඒ කවරේද?) චක්‍ර රත්නය, ඇත් රත්නය, අස්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පර සේනාවන් මැඩලිය හැකි සූරවූ දෙව් පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්, හෙතෙම සයුර හිම් කොට ඇති පෘථිවිය සියලු සැපතින් පිරීගිය, නිර්භයවූ, උවදුරු අනතුරු රහිතවූ සතුරන්ගෙන් වන අනතුරු රහිතවූවක් කොට දඬුවම් රහිතව, ආයුධ රහිතව ධර්මයෙන් සමදානයෙන් දිනා වාසය කරයි. රජවූයේ කුමක් ලබාද? දීර්ඝ ආයුෂ ඇත්තෙක් වෙයි. බොහෝ කලක් ජීවත්වන්නෙක් වෙයි බොහෝ කලක් ආයුෂ පාලනයකරයි. මනුෂ්‍යවූ කිසි සතුරෙකු විසින් හෝ විරුද්ධ කාරයකු විසින් හෝ කිසිවෙකු විසිනුදු අතරකදී ජීවිතය තොර කරන්නට නොහැක්කේ වෙයි. රජවූයේ මෙය ලබයි. ඉඳින් ගිහි ගෙන් නික්ම පැවිදි වන්නේ නම් කෙලෙස් නමැති වැස්ම සිඳදමා අර්හත් සම්මාසම්බුදු වන්නේය. බුදු වූයේ කුමක් ලබාද? දීර්ඝ ආයුෂ ඇත්තෙක් වෙයි. බොහෝ කලක් ජීවත් වන්නෙක් වෙයි. දීර්ඝායුෂ පාලනය කරයි. සතුරන් විසින් හෝ විරුද්ධකාරයන් විසින් හෝ, මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බඹෙකු විසින් හෝ ලොව කිසිවෙකු විසිනුදු අතරකදී ජීවිතය තොරකරන්නට නොහැක්කේ වෙයි. බුදුවූයේ මෙය ලබයි. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 207 එහි මෙය මෙසේ කියනු ලැබේ.
[1]“තමාගේ මරණ වධයෙන් ඇතිවන බිය තමා විසින්ම අවබොධ කොට ගෙන අනුන්ගේ ජීවිත විනාශ කිරීමෙන් වෙන්වූයේ විය. එම සුචරිත කර්ම විපාකයෙන් ස්වර්ගයට ගියේ කළ යහපත් කර්මවල ඵල විපාක අනුභව කෙළේය.”
[2]“එයින් චුතව මේ මිනිස් ලොවට පැමිණියේ දෙදන දක්වා දික්වූ අත් ඇති බවද, දිග ඇඟිලි ඇති බවද හොඳින් කෙලින් යහපත්සේ හටගත් බ්‍රහ්මයාගේ ශරීරය වැනි ශරීරයක් ඇති බවද යන මේ තුන් ලකුණු මෙහිදී ලබයි.”
[3]“තරුණවූ උසස්ලෙස පිහිටියාවූ හොඳින් හටගත් යහපත් අත් ඇති උන්වහන්සේගේ මෘදුවූ තරුණවූ ඇඟිලි දීර්ඝ වෙත්. මේ තුන් මහපුරිස් ලකුණු කරණ කොට ගෙන කුමරුවා බොහෝ කල් ජීවත් වීමට සුදුසු බව කියත්.”
[4]“ඉඳින් ගිහියෙක් වේ නම් බොහෝ කලක් ජීවත් වේ. නො එසේව එයින් නික්ම පැවිදි වේ නම් අතිශයින්ම දීර්ඝ කාලයක් ජීවත් වේ. වශීප්‍රාප්තවූ (වසඟ කරගත් හිත් ඇති) ඍද්ධි භාවනාවෙන් ජීවත් වන්නේද වෙයි. මෙසේ දීර්ඝ ආයුෂ ඇති බවට ඒ නිමිත්තකි.”
(6) සත්තුස්සදතාලක්ඛණං Msdiv 208 “මහණෙනි, යම් හේතුවකින් තථාගත තෙමේ පෙර ජාතියෙහි, පෙර භවයෙහි, පෙර වාසයෙහි, පෙර මනුෂ්‍යයෙක් වූයේ මිහිරිවූ රසයෙන් යුක්තවූ කෑ යුතුවූ අනුභව කළයුතුවූ ලෙවිය යුතුවූ රස විඳිය යුතුවූ ආහාර පාන වර්ගයන් දෙන්නේ විය. හෙතෙම ඒ කර්මය කළ බැවින් රැස් කළ බැවින් බලවත් වූ බැවින් මහත්වූ ශරීරයාගේ බිඳී මෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදියි. හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩිවෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද දිව්‍යමයවූ පාටෙන්ද දිව්‍යමයවූ සැපයෙන්ද දිව්‍යමයවූ පිරිවරින්ද දිව්‍යමයවූ අධිපතිත්වයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ ගන්ධයෙන්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද යන කරුණු දහයෙන් වැඩිවෙයි. හෙතෙමේ එයින් චුතව මිනිස් බවට පැමිණියේ මේ මහපුරිස් ලකුණ ලබයි. (සත්තුස්සදතා) සත් තැනෙක්හි පිරුණු මස් ඇත්තේ වෙයි. දෙඅත් පිරුණාහු වෙති. දෙපතුල් පිරුණාහු වෙති. දෙඋරහිස් පිරුණාහු වෙත්. කර පිරුණේ වෙයි.
හෙතෙම ඒ ලකුණින් හෙබියේ ඉඳින් ගිහිගෙයි වසාද සක්විති රජ වෙයි. ඔහුට මේ රත්න හත පහල වෙත්. (ඒ කවරේද?) චක්‍ර රත්නය, ඇත් රත්නය, අස්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනි වූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පර සේනාවන් මැඩලිය හැකි සූරවූ දෙව් පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්, හෙතෙම සයුර හිම්කොට ඇති මේ පෘථිවිය උවදුරු නැතිව, සියලු සැපතින් පිරීගිය, නිර්භය, අනතුරු රහිත, සතුරන්ගෙන් වන අනතුරු රහිත කොට දඬුවම් රහිතව, ආයුධ රහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කරයි. රජවූයේ කුමක් ලබාද? මිහිරිවූ රසවත්වූ කෑයුතුවූ බුදියයුතුවූ රසවිඳිය යුතුවූ ලෙවිය යුතුවූ ආහාරපාන වර්ගයන් ලබන්නේ වෙයි, රජවූයේ මෙය ලබයි. ඉඳින් ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම් කෙලෙස් නමැති වැස්ම සිඳ දමා අර්හත් සම්මාසම්බුදු වන්නේය. බුදුවූයේ කුමක් ලබාද? මිහිරිවූ රසවත්වූ කෑයුතුවූ බුදියයුතුවූ රස විඳියයුතුවූ ලෙවිය යුතුවූ ආහාරපාන වර්ගයන් ලබන්නේ වෙයි. බුදුවූයේ මෙය ලබයි. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 209 එහි මෙය මෙසේ කියනු ලැබේ.
[1]“කෑයුතුවූද බුදිය යුතුවූද නැවත ලෙවිය යුතුවූ හා රස විඳිගත යුතුවූද උතුම් අග්‍රරස දෙන්නක් විය. හෙතෙම ඒ සුචරිත කර්මයෙන් නන්දන වනයෙහි බොහෝ කාලයක් සතුටු වෙයි.”
[2]“මේ ලෝකයේදී සත්තුස්සද ලක්ෂණය (පිරුණු දෙ අතුල් දෙ පතුල් දෙඋරහිස හා ගෙල ඇති බව) ලබයි. ඔහුට මිහිරි කෑම බීම ලැබෙන බවට මේ ලකුණකැයි දක්ෂ නිමිති කියන්නෝ කීහ.”
[3]“ගිහියෙකුගේ වුවද මෙ ලක්ෂණය මිහිරි ආහාර පානලැබීම ප්‍රකාශ කරන්නේ වේ. උතුම්වූ කෑම බීම ලබන්නාවූ හෙතෙම සියලු බැඳුම් සිඳ පැවිද්ද ලබායයිද කීහ.”
(7-8) කරචරණමුදුජාලතාලක්ඛණානි Msdiv 210 “මහණෙනි, යම් හේතුවකින් තථාගත තෙමේ පෙර ජාතියෙහි පෙර භවයෙහි, පෙර වාසයෙහි, පෙර මනුෂ්‍යයෙක් වූයේ දානයෙන් ප්‍රිය වචනයෙන්, අර්ථචර්‍ය්‍යායෙන් සමානාත්මතායෙන් යන මේ සංග්‍රහ කළයුතු කරුණු හතරෙන් ජනයන් සංග්‍රහ කරන්නෙක් විය. හෙතෙම ඒ කර්මය කළ බැවින්ද රැස් කළ බැවින්ද බලවත් බැවින්ද මහත් බැවින්ද ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදියි. හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩිවෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද දිව්‍යමයවූ පාටෙන්ද දිව්‍යමයවූ සැපයෙන්ද දිව්‍යමයවූ පිරිවරින්ද දිව්‍යමයවූ අධි පතිත්වයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ ගන්ධයෙන්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද යන කරුණු දහයෙන් වැඩිවෙයි. හෙතෙම එයින් චුතව මිනිස් බවට පැමිණියේ මේ දෙආකාර මහාපුරුෂ ලක්ෂණ ලබයි. මෘදුවූ තරුණවූ අතුල් පතුල් ඇත්තේ වෙයි සමවූ ඇඟිලි ඇති අත් පා ඇත්තේ වෙයි.
හෙතෙම ඒ ලක්ෂණයන් ගෙන් යුක්තවූයේ ඉඳින් ගිහිගෙයි වසාද සක්විති රජ වෙයි. ඔහුට මේ රත්න හත පහලවෙත්. (ඒ කවරේද?) චක්‍ර රත්නය, ඇත් රත්නය, අස්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පර සේනාවන් මැඩලියහැකි සූරවූ දෙව් පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්, හෙතෙම සයුර හිම්කොට ඇති මේ පෘථිවිය උවදුරු නැති, සියලු සැපතින් පිරීගිය, නිර්භය, අනතුරු රහිත සතුරන් රහිත කොට, දඬුවම් රහිතව, ආයුධරහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කරයි. රජවූයේ කුමක් ලබාද? හොඳින් සංග්‍රහ කරන්නාවූ ඤාතිජනයා ඇත්තේ වෙයි. බමුණු ගෘහපතියන් නියම් ගම් දනව් වැස්සන්, නැකැත්තන් (නැකැත් දන්නවුන්) මහමැතියන්, අංග රක්ෂකයන් (ශරීරය රැක සිටින හේවායන්) දොරටුපාලයන්, ඇමැතියන් පිරිවර ජනයින් (සෙසු අණ කරන්නන් රජවරුන්, අනුභව කරවන්නන් (භොජක) රජකුමරුවන් යන මොවුන් පිරිවර කොට ඇත්තේ වෙයි. රජවූයේ මෙය ලබයි. බුදුවූයේ කුමක් ලබාද? හොඳින් සේවය කරන ඤාති ජනයා ඇත්තේ වෙයි. භික්ෂූහුය, භික්ෂුණීහුය, උපාසකයෝය, උපාසිකාවෝය, දෙවියෝය, මනුෂ්‍යයෝය, අසුරයෝය, නාගයෝය, ගාන්ධර්වයෝය යන මොවුහු උන්වහන්සේට සේවක පිරිවර වෙති. බුදුවූයේ මෙය ලබයි. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 211 එහි මෙය මෙසේ කියනු ලැබේ.
[1]“දානයද අර්ථචර්‍ය්‍යාවද ප්‍රිය වචනයද සමානාත්මතාවද යන මෙහි හැසිර බොහෝ දෙනාට හොඳින් සේවය කොට අපවාද රහිතවූ ගුණයෙන් යුතුව ස්වර්ගයට යයි”
[2]“ඉන් චුතව මෙම මිනිස් ලොවට පැමිණියේ ඉතා අලංකාරවූ සිත් අලවන්නාවූ දැකුම් කටයුතුවූ මුදුතරුණ අත්පා ඇති බවද සමානවූ ඇඟිලි ඇති අත් පා ඇති බවද ඉතා දැකුම් කටයුතුවූ මනොඥ බවද ඉතා සියුමැලිවූ ළදරුතෙම ලබයි.”
[3]“කටයුතු නොකටයුතු කැමති සේ පිළිවෙළ කරන්නාවූ කීකරු පිරිවර ජනයා ලබයි. හොඳින් සේවය කරන ලදුයේ මේ ලෝකයේ වසයි. ප්‍රිය වචන කියන්නේ හිත සැප සොයන්නේ කැමතිවූ ගුණයන්හි හැසිරෙ”යි.
[4]“තවද සියලු කාම සැප අතහැර දමයි. සර්වඥවූ උන්වහන්සේ ජනයාට ධර්මකථා දෙශනා කරති. එය අසා අතිශයින් පැහැදුනු උන්වහන්සේගේ වචනයට අනුව පිළිපදින්නෝ ධර්මයට අනුව හැසිරෙන්නෝ වෙත්.”
(9-10) උස්සඞ්ඛපාදඋද්ධග්ගලොමතාලක්ඛණානි Msdiv 212 “මහණෙනි, යම් හේතුවකින් තථාගත තෙමේ පෙර ජාතියෙහි, පෙර භවයෙහි, පෙර වාසයෙහි, පෙර මනුෂ්‍යයෙක් වූයේ බොහෝ දෙනාට දෙලෝ වැඩ ඇසුරු කළාවූද දශ කුශල ධර්මයන් ඇසුරු කළාවූද වචන කියයිද, බොහෝ දෙනාට උපදෙස් සහිත කථා කියයිද, ධර්මදාන නැමැති යාගයෙන් සත්වයන්ට හිත සැප සලසන්නේ වීද, හෙතෙම ඒ කර්මය කළ බැවින්, රැස් කළ බැවින්, බලවත්වූ බැවින්, මහත්වූ බැවින්, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදියි. හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩි වෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද, දිව්‍යමයවූ පාටෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ පිරිවරින්ද, දිව්‍යමයවූ අධිපතිභාවයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ ගන්ධයෙන්ද දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද යන කරුණු දහයෙන් වැඩිවෙයි. හෙතෙම එතැනින් චුතව මිනිස් බවට පැමිණියේ මේ දෙආකාර මහා පුරිස් ලකුණු ලබයි. පිරුණු ගොප් මස ඇති පාද ඇති බව හා උඩුකුරු අක් ඇති රෝම බවද වෙයි.
ඔහු ඒ දෙලකුණින් යුක්තවූයේ ඉඳින් ගිහි ගෙයි වාසය කෙරේද, සක්විති රජ වෙයි ඔහුට මේ රත්න හත පහළවෙත්. (ඒ කවරේද?) චක්‍ර රත්නය, ඇත් රත්නය, අස්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනි පුත්‍ර රත්නය. යන මොවුහුය. ඔහුට පර සේනාවන් මැඩලියහැකි සූරවූ දෙව් පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්, හෙතෙම සයුර හිම් කොට ඇති මේ පෘථිවිය උවදුරු නැති, සියලු සැපතින් පිරීගිය, නිර්භය, අනතුරු රහිත, උවදුරු රහිත කොට, දඬුවම් රහිතව, ආයුධ රහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කෙරෙයි. රජවූයේ කුමක් ලබාද? අග්‍ර වෙයි, ශ්‍රෙෂ්ඨ වෙයි, ප්‍රධාන වෙයි, උතුම් වෙයි, කාමසැප විඳින්නන්ට අතිශයින්ම උත්තම වෙයි. රජ වූයේ මෙය ලබයි. ඉඳින් ගිහි ගෙන් නික්ම පැවිදි වන්නේ නම් කෙලෙස් නමැති වැස්ම සිඳ දමා අර්හත් සම්මාසම්බුදු වන්නේය. බුදුවූයේ කුමක් ලබාද? අග්‍ර වෙයි, ශ්‍රෙෂ්ඨ වෙයි, ප්‍රමුඛ වෙයි, උතුම් වෙයි. සියලු සත්ත්වයන්ට අතිශයින්ම උතුම් වෙයි, බුදුවූයේ මෙය ලබයි. මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 213 එහි මෙය මෙසේ කියනු ලැබේ.
[1]“පෙර අර්ථ ධර්ම යුක්තවූ වචන බෙහෙවින් බොහෝ දෙනාට හිත සුව පිණිස දැක්වීය. ප්‍රාණීන්ට හිත සුව එලවන්නේ විය. නොමසුරුවූයේ ධර්මදාන නම්වූ යාගය කෙළේය.”
[2]“හෙතෙම එම සුචරිත කර්මයෙන් සුගතියට යයි. එහි සතුටුවෙයි. මේ මිනිස් ලොවට පැමිණියේ උස්සංඛපාදතා (පිරුණු ගොප් මස ඇති පාද ඇති බව) උද්ධග්ගලොමතා (උඩුකුරු අග් ඇති රෝම ඇති බව) යන මේ ලක්ෂණ දෙක උත්තම බැවින් හා ප්‍රමුඛ බැවින් ලබයි.”
[3]“සම්පූර්ණයෙන් (අගින්) උඩට නැමී ගිය ලොම ඇත්තේ පතුල්වලින් උඩ අලඩ්කාර කරන්නාවූ මස් ලේවලින් පිරුණාවූ සිවියෙන් වැඩී ගියාවූ හොඳින් පිහිටි ගොප් ඇට වූහ.”
[4]“ඉඳින් එබඳු තැනැත්තේ ගිහිගෙයි වසන්නේ නම් කාමභොගීන් අතුරෙන් අග්‍රස්ථානයට පැමිණෙන ඔහුට වඩා උතුම් කෙනෙක් ඇති නොවේ. දඹදිව මැඩපවත්වා වාසය කරයි.”
[5]“උත්තමවූ පැවිදි බවට පැමිණියේ සියලු සත්වයන් අතුරෙන් අග්‍රස්ථානයට පැමිණේ. ඔහුට වඩා උසස් කෙනෙක් ඇති නොවේ. සියලු ලොකය මැඩ වාසය කරයි.”
(11) එණිජඞ්ඝලක්ඛණං Msdiv 214 “මහණෙනි, යම් හේතුවකින් තථාගත තෙමේ පෙර ජාතියෙහි, පෙර භවයෙහි, පෙර වාසයෙහි, පෙර මනුෂ්‍යයෙක්වූයේ ශිල්ප හෝ, විද්‍යා හෝ, පන්සිල් දසසිල් ආදී සීල හෝ, (කර්මය ස්වකීය කොට ඇති ප්‍රඥාව) හෝ මොව්හු කෙසේ නම් වහා දැන ගන්නාහුද? මොව්හු කෙසේ නම් වහා පිළිපදින්නාහුද? බොහෝ කලක් විඩාවට නොපැමිණෙන්නාහුදැයි හොඳින් ඉගැන්වූයේ වේද, ඔහු ඒ කර්මය කළ බැවින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදියි, හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩිවෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද දිව්‍යමයවූ පාටෙන්ද දිව්‍යමයවූ සැපයෙන්ද දිව්‍යමයවූ පිරිවරින්ද දිව්‍යමයවූ අධිපතිභාවයෙන්ද දිව්‍යමයවූ රූපයෙන්ද දිව්‍යමයවූ ශබ්දයෙන්ද දිව්‍යමයවූ ගන්ධයෙන්ද දිව්‍යමයවූ රසයෙන්ද දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද යන කරුණු දහයෙන් වැඩිවෙයි. හෙතෙම එතැනින් චුතවූයේ මිනිස් බවට පැමිණ මේ මහා පුරිස් ලකුණ ලබයි. ( ඕලු) එණි මුවන්ගේ පාබඳු කෙන්ඩා ඇත්තේ වෙයි.
ඔහු ඒ ලකුණින් යුක්ත වූයේ, ඉඳින් ගිහි ගෙයි වාසය කෙරේද, සක්විති රජ වෙයි ඔහුට මේ රත්න හත පහළවෙත්. (ඒ කවරේද?) චක්‍ර රත්නය, ඇත් රත්නය, අස්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පර සේනාවන් මැඩලිය හැකි සූරවූ දෙව් පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්, හෙතෙම සයුර හිම්කොට ඇති මේ පෘථිවිය සොරුන් නැතිවූ, සඵලවූ සියලු සැපතින් පිරීගිය, නිර්භය, අනතුරු රහිතවූ උවදුරු රහිත වූවක් කොට, දඬුවම් රහිතව, ආයුධ රහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කෙරෙයි. රජ වූයේ කුමක් ලබාද? රජහට සුදුසුවූ, ඇත්, අස් ආදීහුද රාජසේවකයෝද, රජුගේ කෑම් බීම් හා පාවිච්චියට ගන්නා වස්තූහුද, රජෙකුට සුදුසුවූ යම් දෙයක් වේද ඒ සියල්ල වහා ලබයි. රජවූයේ මෙය ලබයි. බුදුවූයේ කුමක් ලබයිද? ශ්‍රමණයන්ට සුදුසුවූ සිවුරු ආදියද සිව්පිරිසද, ශ්‍රමණයන්ගේ පාවිච්චියට ගන්නා පිරිකර වෙත්ද, ශ්‍රමණයන්ට සුදුසුවූ යම් ඒදේ වෙත්ද, ඒ සියල්ල වහා ලබයි. බුදුවූයේ මෙය ලබයි. මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 215 එහි මෙය මෙසේ කියනු ලැබේ.
[1]“ශිල්පයන්හිද, විද්‍යාවන්හිද, සීලයන්හිද කර්මයන්හිද, ඉක්මනින් කෙසේ දැන ගන්නාහු දැයි (ශිෂ්‍යයන් කෙරෙහි අනුකම්පාවෙන්) ඉගැන්වීමට කැමැතිවෙයි. යම් කිසිවෙකුට වෙහෙස නොවන පරිදි, බොහෝ කල් ගත නොකරනසේ ඉක්මණින් (ශිල්ප විද්‍යාදිය) කියවීද.”
[2]“සැප ගෙන දෙන එම කුශලකර්මය හෙතු කොට හොඳින් පිහිටි වටවූ මනා සේ හටගත් පිළිවෙලින් උඩට නැගුනු අග් ඇති උඩට නැමීගිය රෝම ඇති සියුම් සමින් වැසුනු මනොඥවූ ජංඝා (කෙණ්ඩා) ලබයි.”
[3]“එබඳු ලක්ෂණ ඇති පුද්ගලයාට (එණි මුවෙකුට බඳු කෙණ්ඩා ඇති බැවින්) එණෙය්‍ය ජංඝයයි කීහ. මේ ලෝකයෙහි ශීඝ්‍රව ලැබෙන සැපතින් යුක්ත වෙයි. ඉදින් ගිහිගෙයට සුදුසු සැප යම් කලෙක බලාපොරොත්තු වේද? මහණ නුවූ කල මෙලෙව්හිදීම වහා එය ලබයි.”
[4]“ඉදින් ගිහිගෙය අත්හැර යාමට කැමැත්තාවූ එබඳු නැණවත් තෙමේ, යම් කලෙක සුදුසුවූ මහණකමට පැමිණේද ඔහුට යොග්‍යවූ ඒ සැප වහා ලබයි.”
(12) සුඛුමච්ඡවිලක්ඛණං Msdiv 216 “මහණෙනි, යම් හේතුවකින් තථාගත තෙමේ පෙර ජාතියෙහි, පෙර භාවයෙහි, පෙර වාසයෙහි, පෙර මනුෂ්‍යයෙක් වූයේ මහණෙකු හෝ බමුණෙකු හෝ වෙත පැමිණ, ‘ස්වාමීනි, කුසලය කුමක්ද? අකුසලය කුමක්ද? වරද කුමක්ද? නිවරද කුමක්ද? සේවනය කළයුත්ත කුමක්ද? සේවනය නොකළ යුත්ත කුමක්ද? මා විසින් කුමක් කරනු ලැබීමෙන් දීර්ඝකාලයක් අහිත පිණිස, දුක පිණිස වන්නේද? මා විසින් කුමක් කරනු ලැබීමෙන් දීර්ඝකාලයක් හිත පිණිස සැප පිණිස වන්නේදැයි අසන ලද්දේ වීද? හෙතෙම ඒ කර්මය කළ බැවින් රැස් කළ බැවින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදියි. හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩිවෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද, දිව්‍යමයවූ පාටෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ පිරිවරින්ද, අධිපතිභාවයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ ගන්ධයෙන්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද යන කරුණු දහයෙන් වැඩිවෙයි. එතැනින් චුතව මිනිස් බවට පැමිණියේ මේ මහපුරිස් ලකුණ ලබයි. සියුම් සිවි ඇත්තේ වෙයි. සියුම්වූ සිවිය ඇති බැවින් දූවිලි ආදිය ශරීරයෙහි නොඅල්ලයි.
හෙතෙම ඒ ලකුණින් යුක්තවූයේ ඉදින් ගිහිගෙයි වසාද සක්විති රජ වෙයි. ඔහුට මේ රත්න හත පහළවෙත්. චක්‍රරත්නය, ඇත් රත්නය, අශ්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පර සේනාවන් මැඩලිය හැකි සූරවූ දෙව් පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්. හෙතෙම සයුර හිම්කොට ඇති මේ පෘථිවිය සොරුන් නැති, සඵලවූ සියලු සැපතින් පිරීගිය, නිර්භය, අනතුරු රහිත, උවදුරු රහිත කොට ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කෙරෙයි. රජ වූයේ කුමක් ලබාද? මහානුවණ ඇත්තේ වෙයි. ඔහුට නුවණින් සමවූවෙක් හෝ කාම සැප විඳින්නන් අතුරෙන් ශ්‍රෙෂ්ඨවූ කිසිවෙකුදු නොවේ. රජ වූයේ මෙය ලබයි. ඉඳින් ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම් කෙලෙස් නමැති වැස්ම සිඳදමා අර්හත් සම්මා සම්බුදු වන්නේය. බුදු වූයේ කුමක් ලබාද? මහාප්‍රඥාව ඇත්තේ වේ. නොයෙක් දෙයෙහි පැතිර පවත්නා පුළුල් නුවණ ඇත්තේද වේ. සතුට බහුලව මාර්ගඵල අවබොධ කළ නුවණ ඇත්තේද වේ. (ස්කන්ධාදියෙහි) යුහුව දුවන නුවණ ඇත්තේද වේ තියුණු නුවණ ඇත්තේද වේ. විනිවිද යන නුවණ ඇත්තේද වේ. උන්වහන්සේට නුවණින් සමවූවෙක් හෝ ශ්‍රෙෂ්ඨවූවෙක් හෝ සියලු සත්වයන් අතුරෙහි නැත්තේය. බුදුවූයේ මෙය ලබයි. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 217 එහි මෙසේ කියනු ලැබේ.
[1]“පෙර විසූ අතීත ජාතීන්හි මහණුන් වෙත පැමිණ කන් යොමුකොට යහපත මේය අයහපත මේයයි දැනගනු කැමැත්තේ අසන්නෙක්ව සොයන්නෙක්ව අර්ථ සහිත කථාව පරීක්ෂා කොට බැලීය.”
[2]“නුවණ ලැබීමට සුදුසුවූ මෙම කර්මයෙන් මිනිස් බව ලදුයේ සියුම් සිවි ඇති බව නම් වූ සුඛුමච්ඡවිතාව ලැබීය. උත්පත්ති කාලය පිළිබඳ වූද ශරීර ලක්ෂණ පිළිබඳ වූද ඵලාපල කීමෙහි දක්ෂයෝ (මේ තෙමේ) සියුම් අදහස් අවබොධ කොට ගෙන දකින්නේ යයි පැවසූහ.”
[3]“ඉදින් එබඳු තැනැත්තේ මහණ නොවන්නේ නම් (සක්විති රජෙකුට අයිති) අණ පතුරුවයි. මුළු ලොකයට අනුශාසනා කරයි. අර්ථානර්ථ දැනගැනීමේ ඥානයෙහිද වඩා ශ්‍රෙෂ්ඨ කෙනෙක් හෝ ඔහු හා සමාන කෙනෙක් හෝ නොවෙයි.”
[4]“ඉදින් ගිහිගෙය අතහැර යනු කැමැත්තාවූ එබඳු නැණවත් තෙමේ යම් කලෙක මහණකමට පැමිණේද, ඉතා උතුම්වූ විශෙෂ ප්‍රඥාවද ලබයි. උතුම්වූ ශ්‍රෙෂ්ඨ ප්‍රඥා ඇති හෙතෙම සම්‍යක් සම්බොධියට පැමිණේ.”
(13) සුවණ්ණවණ්ණලක්ඛණං Msdiv 218 “මහණෙනි, යම් හේතුවකින් තථාගත තෙමේ පෙර ජාතියෙහි, පෙර භවයෙහි, පෙර වාසයෙහි, පෙර මනුෂ්‍යයෙක් වූයේ ක්‍රොධ නොකරන්නෙක් විය. ක්‍රෝධය බහුල කොට නැත්තෙක් විය. බොහෝ කොට බැන්නේද වක්වූ කටුවක් මෙන් ඇමිණී නොගියේය. නොකිපුණේය. ව්‍යාපාද නොකෙළේය. වෛර නොකෙළේය. කෝපයද, දොෂයද, දොම්නසද තුන් දොරින් ප්‍රකට නොකෙළේය. සියුම්වූ මොලොක්වූ ඇතිරිලිද, බිම එලන සියුම් කොමු රෙදිද, සියුම් කපු රෙදිද, සියුම්වූ කොස්‍යෙය්‍ය ඇඳුම්ද සියුම්වූ කම්බලද දෙන ලද්දේය. හෙතෙම ඒ කර්මය කළ බැවින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදියි. හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩිවෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද, දිව්‍යමයවූ පාටෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ පිරිවරින්ද, දිව්‍යමයවූ අධිපතිභාවයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ ගන්ධයෙන්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද යන කරුණු දහයෙන් වැඩි වෙයි. හෙතෙම එතැනින් චුතව මිනිස්බවට පැමිණියේ මේ මහ පුරිස් ලකුණ ලබයි. රන්වන්වූ රන් හා සමානවූ සම ඇත්තේ වෙයි. ඒ ලකුණින් යුක්තවූ
හෙතෙම ඉදින් ගිහිගෙයි වාසය කෙරේද? සක්විති රජ වෙයි.
“ඔහුට මේ රත්න හත පහළ වෙත්. (ඒ කවරේද?) චක්‍ර රත්නය, ඇත් රත්නය, අස්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පර සේනාවන් මැඩලිය හැකි සූරවූ දෙව් පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්. හෙතෙම සයුර හිම් කොට ඇති මේ පෘථිවිය සොරුන් නැති, සඵලවූ සියලු සැපතින් පිරීගිය, නිර්භය, අනතුරු රහිත, උවදුරු රහිත කොට දඬුවම් රහිතව, ආයුධ රහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කරයි.
“රජ වූයේ කුමක් ලබාද? සියුම්වූ මෘදුවූ ඇතිරිලිද, පොරෝනාද සියුම් කොමු රෙදිද සියුම් කපු රෙදිද සියුම්වූ කොසෙය්‍ය ඇඳුම්ද, සියුම්වූ කම්බලද ලබන්නේ වේ. රජ වූයේ මෙය ලබයි.
“ඉඳින් ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම් කෙලෙස් නමැති වැස්ම සිඳ දමා අර්හත් සම්මා සම්බුදු වන්නේය.
බුදුවූයේ කුමක් ලබාද? සියුම්වූ මෘදුවූ ඇතිරිලිද සියුම් කොමු රෙදිද සියුම්වූ කපු රෙදිද සියුම්වූ කොසෙය්‍ය වස්ත්‍රද, සියුම්වූ කම්බලද ලබන්නේ වේ. බුදුවූයේ මෙය ලබයි. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 219 එහි මෙසේ කියනු ලැබේ.
[1]“අක්‍රොධය (මෛත්‍රිය) අධිෂ්ඨාන කෙළේය. යහපත් ස්පර්ශය ඇති සියුම් වස්ත්‍රද දන් දුන්නේය. ඉතා පෙර භවයන්හි සිටියේ යහපත් ස්පර්ශය ඇති සියුම් වස්ත්‍රද දන් දුන්නේය. ඉතා පෙර භවයන්හි සිටියේ මහා පෘථිවියට වසින්නාවූ මහා වැස්සක් මෙන් එකී (දාන වස්තූන්) දන් දුන්නේය.”
[2]“ඒ යහපත් කර්මය කොට මෙලොවින් චුතව දෙව් ලොව ඉපද යහපත් ලෙස කර්මයන්ගේ ඵලවිපාක විඳ මේ ලොකයෙහි රන්වන් ශරීරයෙන් යුක්ත වූයේ දෙවියන් අතර අතිශයින් ශ්‍රෙෂ්ඨවූ ශක්‍රයා මෙන් (රූපකායෙන්) සියල්ලන් යටත් කෙරේ.”
[3]“මහණවනු නොකැමැති ඒ මනුෂ්‍ය තෙමේ ගිහිගෙයි වසයිද, මහාපොළොව හොඳින් අනුශාසනා කරයි හෙතෙම රත්න හතද නිර්මලවූ පිරිසිදු සිවියක්ද ලබයි.”
[4]“ඉදින් ගිහිගෙන් නික්ම මහණවන්නේ නම් හඳිනා ඇඳුම් හා උතුම් පොරෝනා (සිවුරු ආදිය) යන මේ දේ ලබන්නෙක් වේ. හෙතෙම පෙර කළ කර්මයාගේ විපාකය විඳීම කෙරේද, ඒ කළ කර්මයන්ගේ ඵලය විනාශ නොවේ.”
(14) කොසොහිතවත්ථගුය්හලක්ඛණං Msdiv 220 “මහණෙනි, යම් හේතුවකින් තථාගත තෙමේ පෙර ජාතියෙහි පෙර භවයෙහි පෙර වාසයෙහි පෙර මනුෂ්‍යයෙක් වූයේ බොහෝ කාලයක් වෙන්ව සිටියාවූ අන් රටෙහි විසුවාවූ නෑ මිතුරු සුහද යහළු යන මොවුන් එකතැන් කරන්නෙක් වූයේය. මවද පුතා සමග සම්මුඛ කරන්නෙක් වූයේය. පුතාද මව සමග එකතැන් කරන්නෙක් වූයේය. පියාද පුතා සමග එකතැන් කරන්නෙක් වූයේය. පුතාද පියා සමග එකතැන් කරන්නෙක් වූයේය. සහෝදරයා සහෝදරයා සමග එකතැන් කරන්නෙක් වූයේය. සහෝදරයාද සහෝදරිය සමග එකතැන් කරන්නෙක් වූයේය. සහෝදරියද සහෝදරයා සමග එකතැන් කරන්නෙක් වූයේය. සමගි කොටද විශෙෂයෙන් සතුටු වූයෙක්ද වූයේය. ඔහු ඒ කර්මය කළ බැවින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදියි. හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩිවෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද දිව්‍යමයවූ පාටෙන්ද දිව්‍යමයවූ සැපයෙන්ද දිව්‍යමයවූ පිරිවරින්ද දිව්‍යමයවූ අධිපතිභාවයෙන්ද දිව්‍යමයවූ රූපයෙන්ද දිව්‍යමයවූ ශබ්දයෙන්ද දිව්‍යමයවූ ගන්ධයෙන්ද දිව්‍යමයවූ රසයෙන්ද දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද යන කරුණු දහයෙන් වැඩිවෙයි. ඔහු එතැනින් චුතව මිනිස් බවට පැමිණියේ මේ මහා පුරිස් ලකුණ ලබයි. කොසොහිත වත්ථගුය්හ (කොෂයෙන් වැසුන පුරුෂ නිමිත්ත) ඇත්තේ වෙයි.
හෙතෙම ඒ ලකුණින් යුක්ත වූයේ, ඉදින් ගිහිගෙයි වාසය කෙරේද? සක්විති රජ වෙයි. ඔහුට මේ රත්න හත පහළ වෙත්. (ඒ කවරේද?) චක්‍ර රත්නය, ඇත් රත්නය, අස්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පර සේනාවන් මැඩලිය හැකි සූරවූ දෙව් පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්, හෙතෙම සයුර හිම් කොට ඇති මේ පෘථිවිය සොරුන් නැති, සඵලවූ සියලු සැපතින් පිරීගිය, නිර්භය, අනතුරු රහිත, උවදුරු රහිතකොට, දඬුවම් රහිතව, ආයුධ රහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කෙරෙයි.
“රජවූයේ කුමක් ලබාද? බොහෝ පුත්‍රයන් ඇත්තේ වෙයි. ඔහුට සූරවූ, වීරවූ, පර සෙනඟ මර්දනය කරන්නාවූ දහසකට අධිකවූ පුත්‍රයෝ වෙත්. රජ වූයේ මෙය ලබයි.”
“ඉඳින් ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම් කෙලෙස් නමැති වැස්ම සිඳදමා අර්හත් සම්මා සම්බුදු වන්නේය.”
“බුදු වූයේ කුමක් ලබයිද, බොහෝ ශ්‍රාවක පුතුන් ඇත්තෙක් වෙයි. උන්වහන්සේට සූරවූ වීරවූ පරසෙනග මර්දනය කරන්නාවූ නොයෙක් දහස් ගණන් පුත්‍රයෝ වෙත්. බුදුවූයේ මෙය ලබයි. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 221 එහි මෙසේ කියනු ලැබේ
[1]“පෙර විසූ අතීතජාතීන්හි බැහැර සිටීමෙහි බොහෝ කල්වූ අතිදීර්ඝ කාලයක් වෙන්ව සිටියාවූ නෑ සුහද මිතුරන් සමගි කෙළේය. සමගිකොට ඒ අනුව සතුටු වූයේය.”
[2]“හෙතෙම එම කුශල කර්මයෙන් දෙව්ලොවට පැමිණියේය. දිව්‍යමය සැපද ක්‍රීඩා සැපද වින්දේය. එයින් චුතව නැවත මෙහි පැමිණියේ වස්ත්‍රයෙන් ආවරණය කළ යුතු කොසොහිත චත්ථගුය්හතා ලක්ෂණය ලබයි.”
[3]“එබඳු වූයේ දියුණුවූ පුත්‍රයන් ඇත්තේ වේ. සූරවූ වීර ස්වභාව ඇති ප්‍රිය වචන කියන ප්‍රීතිය උපදවන දහසකටද වඩා පුත්‍රයෝ ගිහිව සිටින ඔහුට වෙති”
[4]“මහණව හැසිරෙන්නහුට වචනයට (විනය ධර්මයට) අනුව හැසිරෙන බොහෝවූ ශ්‍රාවක පුත්‍රයෝ වෙත්. තවද ගිහියෙකුට හෝ පැවිද්දෙකුට එම ලකුණ වේ නම් එය අකී අර්ථය ප්‍රකාශ කරන්නේ වේ.”
පළමුවෙනි බණවර නිමි.
(15-16) පරිමණ්ඩලඅනොනමජණ්ණුපරිමසනලක්ඛණානි Msdiv 222 “මහණෙනි, යම් හේතුවකින් තථාගතයන් වහන්සේ පෙර ජාතියෙහි, පෙර භවයෙහි, පෙර මනුෂ්‍යයෙක් වූයේ මහජන සංග්‍රහය සමකර බලන්නේ, සමකර දනියි, තෙමේම පුද්ගලයා දනියි, පුද්ගල විශෙෂය දනියි. මොහුට මෙය සුදුසුයි, මොහුට මෙය සුදුසුයයි, පෙර ඒ ඒ තන්හි පුරිස විශෙෂය සලකන්නෙක් වූයේය. ඔහු ඒ කර්මය කළ බැවින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩිවෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද, දිව්‍යමයවූ පාටෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ පිරිවරින්ද, දිව්‍යමයවූ අධිපතිභාවයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ ගන්ධයෙන්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද යන කරුණු දහයෙන් වැඩිවෙයි.
“හෙතෙම එතැනින් චුතව මිනිස් බවට පැමිණියේ, මේ දෙයාකාරවූ මහාපුරුෂ ලක්ෂණ ලබයි. නුගගසක් මෙන් උසට සරි මහතත් මහතට සරි උසත් ඇත්තේද වෙයි. කෙළින් සිටියේම නොනැමී දෙ අත්තලවලින් දන පිරිමසීද, පිරිමදීද, හේ ඒ දෙලකුණින් යුක්ත වූයේ ඉදින් ගිහිගෙයි වසාද සක්විති රජ වෙයි.
“ඔහුට මේ රත්න හත පහළ වෙත්. (ඒ කවරේද) චක්‍ර රත්නය, ඇත් රත්නය, අස්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පර සේනාවන් මැඩලියහැකි සූරවූ දෙව් පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්. හෙතෙම සයුර හිම් කොට ඇති මේ පෘථිවිය සොරුන් නැති, සඵලවූ සියලු සැපතින් පිරීගිය, නිර්භයවූ, අනතුරු රහිතවූ උවදුරු රහිත වූවක් කොට, දඬුවම් රහිතව, ආයුධ රහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කරයි.
“රජ වූයේ කුමක් ලබාද? ධනවත් වූයේ, මහධන ඇත්තේ මහත් භොග ඇත්තේ, බොහෝ රන් රිදී ඇත්තේ, බොහෝ ධනය පිළිබඳ දේ ඇත්තේ, බොහෝ ධන ධාන්‍ය ඇත්තේ, සම්පූර්ණවූ අටු කොටු ඇත්තේ වෙයි. රජ වූයේ මෙය ලබයි.
“ඉදින් ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම් කෙලෙස් නමැති වැස්ම සිඳ දමා අර්හත් සම්මා සම්බුදු වන්නේය.”
“බුදුවූයේ කුමක් ලබාද? ධනවත් වූයේ මහ ධන ඇත්තේ, මහත් භොග ඇත්තේ වෙයි. උන්වහන්සේට මේ ධනයෝ වෙත්. ඒ කවරහුද? ශ්‍රද්ධා ධනය, ශීලධනය, හිරිධනය (පවට ලජ්ජාව,) ඔත්තප්ප (පවට භය) ධනය, සුත (බොහෝ දේ දත් බව) ධනය, චාග (ත්‍යාග) ධනය, ප්‍රඥා ධනය (යන මොවුහුය) බුදුවූයේ මෙය ලබයි. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 223 එහි මෙසේ කියනු ලැබේ.
[1]“සමකොට, පරීක්ෂාකොට හිතා ඒ ඒ තැනදී මොහුට මේ දානය සුදුසුය. මේ සංග්‍රහය සුදුසුයයි මහජනයා පරීක්ෂාකොට සංග්‍රහ කරන්නේ පෙර ඒ ඒ දානාදියට සුදුසු විශෙෂ පුරුෂයන් දැන සංග්‍රහ කරන්නෙක් විය.”
[2]“අතීතයෙහි ඉතුරුවූ සුචරිත කර්ම විපාකයෙන් පොළොවෙහි කෙලින් සිටියේ නොනැමී දෙ අතින් දනහිස් ස්පර්ශ කරයි. නුගරුකක් මෙන් පිරිමඩුලු (උසට සරිවූ මහත මහතට සරිවූ උස) ඇත්තේද විය.”
[3]“නොයෙක් නිමිති ලකුණු දත් සියුම් නුවණැති මනුෂ්‍යයෝ මේ ළදරු කුමාරතෙම නොයෙක් ආකාරවූ ගිහියන්ට සුදුසු වස්තුව ලබායයි ප්‍රකාශ කළාහුය.”
[4]“මේ ලෝකයෙහි පොළොවට අධිපතිවූ කාමභොගී ගිහියන්ට සුදුසුවූ වස්තූහු බොහෝ ඇති වෙත්. ඉදින් සියලු කාම සැප හැරදමන්නේ නම් ඉතා උතුම්වූ ශ්‍රෙෂ්ඨ අග්‍ර ධනය ලබයි.”
(17-19) සීහපුබ්බද්ධකායාදිතිලක්ඛණං Msdiv 224 “මහණෙනි, යම් හේතුවකින් තථාගතයන්වහන්සේ පෙර ජාතියෙහි පෙර භවයෙහි, පෙර වාසයෙහි පෙර මනුෂ්‍යයෙක් වූයේ බොහෝ ජනයාගේ අර්ථය කැමැති විය. යහපත කැමැති විය, සැප කැමැති විය, සසරින් මිදීම කැමැති විය. මොව්හු කෙසේ නම් ශ්‍රද්ධාවෙන් දියුණු වන්නාහුද? ශීලයෙන් දියුණු වන්නාහුද, අසා දැනගැනීමෙන් දියුණු වන්නාහුද, ත්‍යාගයෙන් දියුණු වන්නාහුද, ධර්මයෙන් දියුණු වන්නාහුද, ප්‍රඥාවෙන් දියුණුවන්නාහුද, ධනධාන්‍යයෙන් දියුණුවන්නාහුද, කෙත් වතුවලින් දියුණු වන්නාහුද, දෙපා සිවුපා සතුන්ගෙන් දියුණු වන්නාහුද, අඹුදරුවන්ගෙන් දියුණු වන්නාහුද, දැසි දස් කම්කරුවන්ගෙන් දියුණු වන්නාහුද, නෑයන්ගෙන් දියුණු වන්නාහුද, මිත්‍රයන්ගෙන් දියුණු වන්නාහුද, කිට්ටු නෑයින්ගෙන් දියුණුවන්නාහුද යනුයි. හේ ඒ කර්මය කළ බැවින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදියි. හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩිවෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද, දිව්‍යමයවූ පාටෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ පිරිවරින්ද, දිව්‍යමයවූ අධිපතිභාවයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ ගන්ධයෙන්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද යන කරුණු දහයෙන් වැඩි වෙයි. හෙතෙමෙ එතැනින් චුතව මෙහි පැමිණියේ, මේ තුන් මහා පුරිස් ලකුණු ලබයි. සිංහයෙකුගේ ඉදිරි කොටස බඳු ශරීරය ඇත්තේ වෙයි. දෙපැත්ත මැද පිරීගිය පිට ඇත්තේ වෙයි. සමව වටවූ කර ඇත්තේ වෙයි.
හෙතෙම ඒ ලකුණින් යුක්ත වූයේ ඉදින් ගිහිගෙයි වසාද සක්විති රජ වෙයි.
ඔහුට මේ රත්න හත පහළ වෙත්. (ඒ කවරේද?) චක්‍ර රත්නය, ඇත් රත්නය, අස්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය, ඔහුට පර සේනාවන් මැඩලිය හැකි සූරවූ දෙව් පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්. හෙතෙම සයුර හිම් කොට ඇති මේ පෘථිවිය සොරුන් නැතිවූ සඵලවූ සියලු සැපතින් පිරීගිය, නිර්භයවූ, අනතුරු රහිතවූ, උවදුරු රහිත වූවක් කොට, දඬුවම් රහිතව, ආයුධ රහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කරයි.
රජ වූයේ කුමක් ලබාද? නොපිරිහෙන ස්වභාවය ඇත්තේ වෙයි. ධන ධාන්‍යයෙන් කෙත් වතුවලින් දෙපා සිවුපා සතුන්ගෙන් අඹුදරුවන්ගෙන්, දැසිදස් කම්කරුවන්ගෙන් ඤාතීන්ගෙන් මිතුරන්ගෙන් කිට්ටු ඤාතීන්ගෙන් නොපිරිහෙයි. සියලු සැපතින් නොපිරිහෙයි. රජවූයේ මෙය ලබයි.
ඉදින් ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම් කෙලෙස් නමැති වැස්ම සිඳදමා අර්හත් සම්මා සම්බුදු වන්නේය.
බුදු වූයේ කුමක් ලබාද? නොපිරිහෙන ස්වභාව ඇත්තේ වේ. ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, (ශ්‍රැත) බොහෝ දේ දැනගැනීමෙන්, ප්‍රඥාවෙන් නොපිරිහෙයි සියලු සැපතින් නොපිරිහෙයි. බුදු වූයේ මෙය ලබයි. මෙ කරුණ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 225 එහි මෙසේ කියනු ලැබේ.
[1,2]“ශ්‍රද්ධාවෙන්ද, ශීලයෙන්ද, බොහෝ දේ දැනගැනීමෙන්ද, ප්‍රඥාවෙන්ද, ත්‍යාගයෙන්ද, බොහෝවූ සත් පුරුෂ ධර්මයන්ගෙන්ද, ධන ධාන්‍යයන්ගෙන්ද, කෙත්වත්වලින්ද, පුත්‍ර දාරාවන්ගෙන්ද, සිවුපාවුන්ගෙන්ද, නෑ මිතුරන්ගෙන්ද, කිට්ටු නෑයින්ගෙන්ද, බලයෙන්ද, වර්ණය, සැපය යන මේ දෙකෙන්ද, අනුන් කෙසේ නොපිරිහෙලම් දැයි කැමැතිවෙයි. මේ සම්පත්වලින් මිනිසුන්ගේ දියුණුව බලාපොරොත්තු වෙයි.”
[3]“පෙර කරනලද, හොඳින් රැස් කළ කර්ම බලයෙන් හෙතෙම සිංහයෙකුගේ ඉදිරි කොටස බඳුව හොඳින් පිහිටි (ශරීර) උඩ කොටස ඇත්තේ හොඳින් වටවූ කර ඇත්තේ දෙපැත්ත මැද පිරීගිය පිට ඇත්තේද විය. එය ඔහුගේ නොපිරිහෙන බවට පෙරනිමිත්තක් විය.”
[4]“ගිහි වූයේ ධාන්‍යයෙන්ද, ධනයෙන්ද, පුත්‍රදාරාවන්ගෙන්ද, සිවුපාවුන්ගෙන්ද වැඬේ. ධනධාන්‍යාදි කිසිවක් නොමැත්තේ පැවිදිවූයේ නම් ඉතා උතුම්වූ නොපිරිහෙන ස්වභාව ඇති සම්‍යක් සම්බොධියට පැමිණේ.”
(20) රසග්ගසග්ගිතාලක්ඛණං Msdiv 226 “මහණෙනි, යම් හේතුවකින් තථාගතයන්වහන්සේ පෙර ජාතියෙහි, පෙර භවයෙහි, පෙර වාසයෙහි, පෙර මනුෂ්‍යයෙක් වූයේ, අතින් හෝ, ගලින් හෝ, දඬුයෙන් හෝ, ආයුධයෙන් හෝ සත්වයන්ට වෙහෙස නොකරන ස්වභාව ඇත්තෙක් වූයේය. හෙතෙමේ ඒ කර්මය කළ බැවින්, රැස් කළ බැවින් දෙව් ලොව උපදනේය.”
හෙතෙම එතැනින් චුතව මිනිස් බවට පැමිණියේ මේ මහාපුරුෂ ලක්ෂණය ලබයි. රසග්ගසග්ගී ලක්ෂණය ඇත්තේ වෙයි. උඩුකුරුව සමව රස ගෙනයන්නාවූ රස නහර උන්වහන්සේගේ ගෙලෙහි හටගත්තාවූ වෙත්.
හෙතෙම ඒ ලකුණින් යුතුවූයේ ඉදින් ගිහිගෙයි වසාද, සක්විති රජ වෙයි.
“ඔහුට මේ රත්න හත පහළ වෙත්. (ඒ කවරේද?) චක්‍ර රත්නය, ඇත් රත්නය, අස්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත් වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය, ඔහුට පර සේනාවන් මැඩලිය හැකි සූරවූ දෙව් පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්. හෙතෙම සයුර හිම් කොට ඇති මේ පෘථිවිය සොරුන් නැතිවූ, සඵලවූ සියලු සැපතින් පිරීගිය, නිර්භයවූ, අනතුරු රහිතවූ, උවදුරු රහිත වූවක් කොට, දඬුවම් රහිතව, ආයුධ රහිතව, ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කරයි.
“රජ වූයේ කුමක් ලබාද? නිරොගි වූවෙක් වෙයි, පීඩා නැත්තෙක් වෙයි. ඉතා සීත නොවූ ඉතා උෂ්ණ නොවූ සමව පවතින කෑම දිරවන ගින්නෙන් යුක්ත වූයේ වෙයි. රජවූයේ මෙය ලබයි.
“ඉදින් ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම් කෙලෙස් නමැති වැස්ම සිඳ දමා අර්හත් සම්මා සම්බුදු වන්නේය.
“බුදුවූයේ කුමක් ලබාද? නිරොගි වූවෙක් වෙයි. පීඩා නැත්තෙක් වෙයි, ඉතා සීත නොවූ, ඉතා උෂ්ණ නොවූ, සමව පවතින කෑම දිරවන ගින්නෙන් යුක්ත වූයේ වෙයි. බුදුවූයේ මෙය ලබයි. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 227 එහි මෙසේ කියනු ලැබේ.
[1]“දඬුවම් කිරීම් වශයෙන් හෝ තර්ජන කිරීම් වශයෙන් හෝ අතින් දඬුවලින් නැතහොත් කැට කැබිලිතිවලින් ආයුධවලින් හෝ මරණ වධ වශයෙන් ජනතාවට හිංසා නොකෙළේය. අහිංසකයෙක් විය.”
[2]“එම කර්මයෙන්ම හෙතෙම පරලොව සුගතීන්හි සතුටු වෙයි. සැප විපාක ගෙනදෙන කර්මකොට සැප විඳී.” මෙලෙව්හි උත්පත්ති වශයෙන් පැමිණියේ ඒ ඒ රස නහර තුමූම මැනවින් පිහිටියාහු රසග්ගසග්ගිතා ලක්ෂණය ලබයි.”
[3]“එබැවින් අතිශයින් තීක්ෂණවූ දක්ෂවූ නිමිත්ත පාඨකයෝ මේ මිනිස් තෙමේ සැප බහුල කෙනෙක් වන්නේයයි කීහ. ගිහියෙකුගේ හෝ පැවිද්දකුගේ හෝ එම ලක්ෂණය එකී අර්ථය ප්‍රකාශ කරන්නේ වෙයි.”
(21-22) අභිනීලනෙත්තගොපඛුමලක්ඛණානි Msdiv 228 “මහණෙනි, යම් හේතුවකින් තථාගතයන්වහන්සේ පෙර ජාතියෙහි, පෙර භවයෙහි, පෙර වාසයෙහි මනුෂ්‍යයෙක් වූයේ, ක්‍රොධයෙන් රවා බලන්නෙක් නොවේ. කපටි ඇසින් බලන්නෙක් නොවේ. ඇස් හකුළුවා බලන්නෙක් නොවේ. අවංකව බලන්නෙක් වූයේය. ප්‍රිය ඇසින් මහජනයා බලන්නෙක් වූයේය. හෙතෙම ඒ කර්මය කළ බැවින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදියි. හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩි වෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද දිව්‍යමයවූ පාටෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද දිව්‍යමයවූ පිරිවරින්ද දිව්‍යමයවූ අධිපතිභාවයෙන්ද දිව්‍යමයවූ රූපයෙන්ද දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ ගන්ධයෙන්ද දිව්‍යමයවූ රසයෙන්ද දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද යන කරුණු දහයෙන් වැඩි වෙයි.
හේ එතැනින් චුතව මිනිස් බවට පැමිණියේ මේ දෙයාකාරවූ මහපුරිස් ලකුණු ලබයි. අතිශයින් නිල් පාට ඇස් ඇත්තේ වෙයි. එදා උපන් වස්සෙකුගේ ඇස්පිහාටුවලට බඳු ඇස්පිහාටු ඇත්තේ වෙයි.
හෙතෙම ඒ දෙලකුණින් යුක්ත වූයේ, ඉදින් ගිහිගෙයි වසාද සක්විති රජ වෙයි.
ඔහුට මේ රත්න හත පහළ වෙත්. (ඒ කවරේද?) චක්‍ර රත්නය, ඇත් රත්නය, අස්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පෙර සේනාවන් මැඩලිය හැකි සූරවූ දෙව් පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්. හෙතෙම සයුර හිම් කොට ඇති මේ පෘථිවිය සොරුන් නැතිවූ, සඵලවූ, සියලු සැපතින් පිරීගිය, නිර්භයවූ, අනතුරු රහිතවූ, උවදුරු රහිත වූවක් කොට, දඬුවම් රහිතව, ආයුධ රහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කරයි.
රජ වූයේ කුමක් ලබාද? බොහෝ දෙනාට දැකීමට ප්‍රිය වූවෙක් වෙයි. බමුණු ගෘහපතීන්ට නියම්ගම් දනව් වාසීන්ට නැකත් කරුවන්ට මහ ඇමතියන්ට සෙනාපතියන්ට යුද්ධ සේනාවන්ට දොරටු පාලයන්ට ඇමතියන්ට පිරිස් වැස්සන්ට රජවරුන්ට සේවකයන්ට කුමාරවරුන්ට ප්‍රිය වූවෙක් මනාප වූවෙක් වෙයි. රජ වූයේ මෙය ලබයි.
ඉදින් ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම් කෙලෙස් නමැති වැස්ම සිඳදමා අර්හත් සම්මාසම්බුදු වන්නේය.
බුදු වූයේ කුමක් ලබාද? බොහෝ දෙනාට ප්‍රියවූ දැකුම් ඇත්තේ වෙයි. භික්ෂූන්ට භික්ෂුණීන්ට උපාසකයින්ට උපාසිකාවන්ට දෙවියන්ට මිනිසුන්ට අසුරයන්ට නාගයන්ට ගාන්ධර්වයන්ට ප්‍රිය වූවෙක් මනාප වූවෙක් වෙයි. බුදු වූයේ මෙය ලබයි. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 229 එහි මෙය මෙසේ කියනු ලැබේ.
[1]“රවා බලන්නෙක් නොවීය. වංක ලෙස ඇස් කෙළවරින් බලන්නේද නොවීය. ඔරවා නොබලන්නේ ඍජුවූ පැතුරුණු බැලුම් ඇත්තේ විය. ප්‍රිය ඇසින් බොහෝදෙනා දෙස බැලුවේය.”
[2]“හෙතෙම සුගතිවල ඵල විපාක අනුභව කරයි. එහිදී සතුටුවෙයි. මේ ලෝකයේදී හොඳින් දැකුම් කටයුතුවූ අතිශයින් නිල්වන් ඇස් ඇත්තේ එදා උපන් වස්සෙකුගේ ඇස්පිහාටුවලට බඳු ඇස්පිහාටු ඇත්තේ වෙයි.”
[3]“හසලවූ නිමිති ශාස්ත්‍රයෙහි දක්ෂවූ සියුම් ඇස් පරීක්ෂාකොට බැලීමෙහි දක්ෂවූ මිනිස්සු ඔහු ප්‍රියවූ දැකුම් ඇත්තෙකැයි පෙන්වත්.”
[4]“ගිහි වූයේ නමුදු ප්‍රියවූ දැකුම් ඇත්තේ ශාන්තවූයේ බොහෝ දෙනාට ප්‍රිය වූයේද වෙයි. ඉදින් ගිහි නොවේ නම් බොහෝ දෙනාගේ ශොක නැති කරන්නාවූ ප්‍රියවූ ශ්‍රමණයෙක් වේ.”
(23) උණ්හීසසීසලක්ඛණං Msdiv 230 “මහණෙනි, යම් හේතුවකින් තථාගත තෙමේ පෙර ජාතියෙහි පෙර භවයෙහි පෙර වාසයෙහි පෙර මනුෂ්‍යයෙක් වූයේ බොහෝ ජනයන් අතුරෙන් කයින් කරන සුචරිතයෙහි, වචනයෙන් කරන සුචරිතයෙහි, සිතින් කරන සුචරිතයෙහි, දන්දීමෙහි, සිල් සමාදන්වීමෙහි, පොහෝ දිනයන්හි සිල් සමාදන්වීමෙහි, මවට උපස්ථාන කිරීමෙහි, පියාට උපස්ථාන කිරීමෙහි, මහණුන්ට උපස්ථාන කිරීමෙහි, බමුණන්ට උපස්ථාන කිරීමෙහි, කුලදෙටුවන් පිදීමෙහි (යන මේ) නොයෙක් නොයෙක් උතුම් කුශල ධර්මයන්හි ප්‍රධාන විය. හෙතෙම ඒ කර්මය කළ බැවින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදියි. හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩිවෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද, දිව්‍යමයවූ පාටෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ පිරිවරින්ද, දිව්‍යමයවූ අධිපතිභාවයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ ගන්ධයෙන්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද යන කරුණු දහයෙන් වැඩි වෙයි. හෙතෙම එතැනින් චුතව මිනිස් බවට පැමිණියේ මේ මහපුරිස් ලකුණ ලබයි. නළල් පටකින් යුක්තවූයේ වෙයි.
හෙතෙම ඒ ලකුණින් යුක්තවූයේ ඉඳින් ගිහිගෙයි වසාද සක්විති රජවෙයි. ඔහුට මේ රත්න හත පහළවෙත්. (ඒ කවරේද?) චක්‍ර රත්නය, ඇත් රත්නය, අස්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පර සේනාවන් මැඩලිය හැකි සූරවූ දෙව් පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්, හෙතෙම සයුර හිම් කොට ඇති මේ පෘථිවිය සොරුන් නැතිවූ, සඵලවූ, සියලු සැපතින් පිරීගිය, නිර්භයවූ, අනතුරු රහිතවූ, උවදුරු රහිත වූවක් කොට, දඬුවම් රහිතවූ, ආයුධ රහිතවූ, ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කරයි. රජවූයේ කුමක් ලබාද? බමුණු ගෘහපතියෝ, නියම්ගම් දනව් වැසියෝ, නැකැත් කියන්නෝ, මහ ඇමැතියෝ, යුද්ධ සෙනාධිපතියෝ, දොරටුපාලයෝ, ඇමැතියෝ පිරිවර ජනයෝ, රජවරු, සෙවකයෝ, කුමරුවෝ යන මහජනයා ඔහුට අනුව පවත්නේය. රජ වූයේ මෙය ලබයි. ඉඳින් ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම් කෙලෙස් නමැති වැස්ම සිඳ දමා අර්හත් සම්මා සම්බුදු වන්නේය. බුදුවූයේ කුමක් ලබාද? භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවියෝ, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ යන මහජනයා උන්වහන්සේට අනුව පවත්නේ වෙයි. බුදුවූයේ මෙය ලබයි. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 231 එහි මෙය මෙසේ කියනු ලැබේ.
[1]“සුචරිත ධර්මයන්හි පෙරටුව යන්නෙක් වූයේ ධර්මයෙහි හැසිරීමෙහි ඇළුනේ විය. බොහෝදෙනා විසින් අනුගමනය කරනු ලබන්නෙක්ද වූයේ ස්වර්ගයන්හි පුණ්‍ය විපාක ලැබීය.”
[2]“හෙතෙම (ස්වර්ගයෙහි) සුචරිත විපාක විඳ මේ ලොකයෙහි උණ්හීසසීසතා (නළල්පටක් ඇති බව) ලක්ෂණය ලැබීය. නිමිති කියන්නෝ (ඔහු පරීක්ෂාකොට) මෙතෙම බොහෝදෙනාට පෙරටුව යන්නෙක් වන්නේයයි ප්‍රකාශ කළාහුය.”
[3]“මෙලොව මිනිසුන් අතුරෙහි ඔහුට වතාවත් කරන්නෝ බොහෝ වෙත් යයි ලදරුකල්හිම ප්‍රකාශ කරත්. ඉඳින් පොළොවට අධිපතිවූ ක්ෂත්‍රියයෙක් වූයේ නම් වතාවත් කරන බොහෝ දෙනා ලබයි.”
[4]“ඉදින් මිනිසත් බව ලැබූ හෙතෙම මහණ වේද, ධර්මයන්හි මහත් ප්‍රගුණ භාවයක් ඇති වේ. ඔහුගේ අනුශාසනයෙහිද ගුණයෙහිද ඇලුනාවූ අනුව යන්නාවූ බොහෝ ජනයා ඇති වෙයි.’
(24-25) එකෙකලොමතාඋණ්ණාලක්ඛණානි Msdiv 232 “මහණෙනි, යම් හේතුවකින් තථාගතතෙමේ පෙර ජාතියෙහි පෙර භවයෙහි පෙර වාසයෙහි පෙර මනුෂ්‍යයෙක් වූයේ බොරුව දුරුකොට බොරුවෙන් වෙන්වූයේ, සත්‍යය කියන්නෙක්, ඇත්තෙන් ඇත්ත ගලපන්නෙක්, ස්ථිර වචන ඇත්තෙක්, ඇදහියයුතු වචන ඇත්තෙක්, ලොකයා නොරවටන්නෙක් වූයේය. හෙතෙම ඒ කර්මය කළබැවින් රැස්කළ බැවින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදියි, හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩිවෙයි, දිව්‍යමයවූ ආයුෂයෙන්ද, දිව්‍යමයවූ පාටෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ පිරිවරින්ද, දිව්‍යමයවූ අධිපතිභාවයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ ගන්ධයෙන්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද යන කරුණු දහයෙන් වැඩි වෙයි. හෙතෙම එතැනින් චුතව මිනිස් බවට පැමිණියේ, මේ මහා පුරිස් ලකුණු ලබයි. (රෝමකූපයන්හි) එක එක රෝම ඇත්තේ වෙයි. සුදු මෘදුවූ පුළුන් රොදක් මෙන් දෙබැම අතර පිහිටි ඌර්ණ රෝම ලක්ෂණය ඇත්තේ වෙයි.
“හෙතෙම ඒ දෙලකුණින් යුක්තවූයේ ඉඳින් ගිහිගෙයි වසාද, සක්විති රජ වෙයි. ඔහුට මේ රත්න හත පහළ වෙත්. (ඒ කවරේද?) චක්‍ර රත්නය, ඇත් රත්නය, අස්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පර සේනාවන් මැඩලිය හැකි සූරවූ දෙව් පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්, හෙතෙම සයුර හිම්කොට ඇති මේ පෘථිවිය සොරුන් නැතිවූ, සඵලවූ, සියලු සැපතින් පිරීගිය, නිර්භයවූ, අනතුරු රහිතවූ, උවදුරු රහිත වූවක් කොට, දඬුවම් රහිතව, ආයුධ රහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කරයි. රජ වූයේ කුමක් ලබාද? බමුණු ගෘහපතියෝ, නියම් ගම් දනව් වැස්සෝ, ගණකයෝ, මහ මැතියෝ, යුද්ධ සේනාධිපතියෝ, දොරටු පාලයෝ, ඇමැතියෝ, පිරිවර ජනයෝ, රජවරු, සෙවකයෝ, කුමරුවෝ යන මහාජනයා ඔහු අනුව පවතියි. රජවූයේ මෙය ලබයි. ඉඳින් ගිහි ගෙන් නික්ම පැවිදි වන්නේ නම් කෙලෙස් නමැති වැස්ම සිඳදමා අර්හත් සම්මාසම්බුදු වන්නේය. බුදුවූයේ කුමක් ලබාද? භික්ෂූහු, භික්ෂුණීහු, දෙවියෝ, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ යන මහජනයා උන්වහන්සේට අනුව පවතී. බුදුවූයේ මෙය ලබයි. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 233 එහි මෙය මෙසේ කියනු ලැබේ.
[1]“පෙර ජාතීන්හි පොරොන්දු කඩ නොකරන්නේ දෙයාකර වචන නැත්තේ අසත්‍යය දුරුකළේය. හෙතෙම කිසිවෙකුට අසත්‍යය ප්‍රකාශ කරන්නේද නොවීය. සිදුවූ බොරු නොවූ සත්‍යවචනයන්ම කථා කෙළේය.”
[2]“සුදුවූ අතිශයින් සුදුවූ පුළුන් මෙන් මෘදුවූ බැම අතරෙහි මැනවින් පිහිටි ඌර්ණ රොම ලක්ෂණය විය. රෝම කූපයන්හි රෝම දෙකක් හටනොගත්තාහුය. (රෝමකූපයන්හි) එක එක රෝමයෙන් යුත් අවයව ඇති බව විය.”
[3]“හටගත් නිමිති පරීක්ෂණයෙහි දක්ෂවූ බොහෝ ලක්ෂණ ශස්ත්‍රඥයෝ රැස්වූවහු ඌර්ණ රෝමයද අනිකුත් රෝමයෝද මනාකොට පිහිටියාහු නම් බොහෝ ජනතෙම එබඳු තැනැත්තාගේ අදහස් අනුව පවතී (යයි පැවසූහ.)”
[4]“පෙර බොහෝ ජාතීන්හි කරන ලද සුචරිත කර්ම බලයෙන් ගිහි වුවද මහජනතෙමේ (ඔහුගේ) අදහස් අනුව පවතී. කාම සිත් සම්පූර්ණයෙන්ම නැති බැවින් අකිඤ්චනවූ මහණ බවට පත්වූ කල මහජන තෙමේ ඉතා උතුම්වූ බුද්ධත්වය ලද උන්වහන්සේ අනුගමනය කරයි.”
(26-27) චත්තාලීසඅවිරළදන්තලක්ඛණානි Msdiv 234 “මහණෙනි, යම් හේතුවකින් තථාගතතෙමේ පෙර ජාතියෙහි පෙර භවයෙහි ඉපද පෙර වාසයෙහි මනුෂ්‍යයෙක් වූයේ පිසුණුබස් (කේලාම්) දුරුකොට පිසුණු බසින් වෙන්වූයේ විය. මොවුන්ගේ භෙදය පිණිස මෙයින් අසා අන්තැනෙක නොකියන්නෙක්, අසවලුන්ගේ භෙදය පිණිස අසවල් තැනින් අසා මොවුන්ට නොකියන්නෙක් මෙසේ භින්නවූවන් ගලපන්නෙක් හෝ සමගි වූවන්ට අනුබලදෙන්නෙක් හෝ සමගියෙහි ඇලුනේ සමගියෙහි යුක්ත වූයේ, සමගියෙහි සතුටු වූවෙක්, සමගි කරන වචන කියන්නෙක් වූයේය. හෙතෙම ඒ කර්මය කළ බැවින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදියි, හෙතෙම එහි අන්‍ය දෙවි වරුන්ට වඩා කරුණු දහයකින් වැඩිවෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද, දිව්‍යමයවූ පාටෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ පිරිවරින්ද, දිව්‍යමයවූ අධිපතිභාවයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ ගන්ධයෙන්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද යන කරුණු දහයෙන් වැඩිවෙයි.
“හෙතෙම එතැනින් චුතව මිනිස් බවට පැමිණියේ මේ දෙයාකාර මහපුරුෂ ලක්ෂණ ලබයි. සමසතළිස් දත් ඇත්තේද වෙයි, අතර විවර නැති දත් ඇත්තේ වෙයි. හෙතෙම ඒ ලකුණින් යුක්තවූයේ ඉදින් ගිහිගෙයි වසාද සක්විති රජවෙයි.
“ඔහුට මේ රත්න හත පහළවෙත්. (ඒ කවරේද?) චක්‍ර රත්නය, ඇත් රත්නය, අස්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පර සේනාවන් මැඩලිය හැකි සූරවූ දෙව් පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්, හෙතෙම සයුර හිම් කොට ඇති මේ පෘථිවිය සොරුන් නැතිවූ, සඵලවූ සියලු සැපතින් පිරීගිය, නිර්භයවූ, අනතුරු රහිතවූ, උවදුරු රහිත වූවක් කොට, දඬුවම් රහිතව, ආයුධ රහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කරයි. රජවූයේ කුමක් ලබාද? නොබිඳුනු පිරිස ඇත්තෙක් වෙයි. ඔහුගේ පිරිස නොබිඳුනේ වෙයි. බමුණු ගෘහපතියෝ නියම්ගම් දනව් වැස්සෝ, ගණකයෝ, මහ ඇමතියෝ, යුද්ධ සේනාවෝ, දොරටුපාලයෝ, ඇමැතියෝ, පිරිවර ජනයෝ, රජවරු, සේවකයෝ, කුමරුවෝ (යන මොවුහුයි.) රජ වූයේ මෙය ලබයි. ඉඳින් ගිහි ගෙන් නික්ම පැවිදි වන්නේ නම් කෙලෙස් නමැති වැස්ම සිඳදමා අර්හත් සම්මාසම්බුදු වන්නේය. බුදු වූයේ කුමක් ලබාද? නොබිඳුනු පිරිස ඇත්තේ වෙයි. උන්වහන්සේගේ පිරිස නොබිඳුනෝ වෙති. භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවියෝ, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගන්ධර්වයෝ (යන මොවුහුයි.) බුදු වූයේ මෙය ලබයි. මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 235 එහි මෙය කියනු ලැබේ.
[1]“භෙදය දියුණු කරන්නාවූද, සමගිවූවන්ගේ සමගිය නැති කරන්නාවූද, වාද විවාද දියුණු කරන්නාවූද, කලකොලාහල වැඩෙන නුසුදුසු ක්‍රියා කරන්නාවූද, සමගි වූවන්ගේ භෙදය ඇතිකරන වචන නොකීවේය.”
[2]“අවිවාදය වැඩෙන ස්වභාවය ඇත්තාවූ භෙදවූවන්ගේ සමගිය ඇතිවන ස්වභාවයෙන් යුක්තවූ යහපත් වචන පැවසීය. මහජනයාගේ කලහ දුරු කෙළේය. සමගි වූයේ සමගි වූවන් හා සමග සතුටු වෙයි. බෙහෙවින්ද සතුටු වෙයි.”
[3]“හෙතෙම දිව්‍යලොකයෙහි කුශල ඵල විපාක අනුභව කරයි. එහි සතුටුවෙයි. මේ ලොකයේදී අඩු නොවූ එක්වූ යහපත්ව පිහිටි මුව තුළ හටගත් දත් සතළිසක් වෙත්.”
[4]“ඉඳින් පොළොවට අධිපතිවූ රජෙක් වෙයිනම් ඔහුට භෙද කළ නොහැකි පිරිස් වෙත්, පහවූ කෙලෙස් කිලුටු ඇති නිර්මලවූ ශ්‍රමණයෙක් වෙයි නම් ඔහුට (තමා) අනුගමනය කරන නිශ්චලවූ පිරිස වේ.”
(28-29) පහූතජිව්හාබ්‍රහ්මස්සරලක්ඛණානි Msdiv 236 “මහණෙනි, යම්හෙයකින් තථාගතතෙමේ පෙර ජාතියෙහි පෙර භවයෙහි පෙර වාසයෙහි පෙර මනුෂ්‍යයෙක් වූයේ ඵරුෂ වචනය දුරුකොට ඵරුෂ වචනයෙන් වෙන් වූයේ විය. යම් ඒ වචනයක් තොමෝ කෙලතොළු නොවූයේ කණට සුව ගෙනදෙන්නී, පෙම් වඩන්නී, සිත් අලවන්නී නාගරිකවූවා, බොහෝ ජනයා විසින් කැමැති වන්නී, බොහෝ ජනයා විසින් මනවඩන්නී වූවාද එබඳුවූ වචන කියන්නෙක් විය. හේ ඒ කර්මය කළ බැවින් රැස්කළ බැවින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදියි. හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩි වෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද දිව්‍යමයවූ පාටෙන්ද දිව්‍යමයවූ සැපයෙන්ද දිව්‍යමයවූ පිරිවරින්ද දිව්‍යමයවූ අධිපතිභාවයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ ගන්ධයෙන්ද දිව්‍යමයවූ රසයෙන්ද දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද යන කරුණු දහයෙන් වැඩිවෙයි. හෙතෙම එතැනින් චුතව මිනිස්බවට පැමිණියේ මේ දෙයාකාර මහා පුරිස් ලකුණු ලබයි. පුළුල් දිවක් ඇත්තේද වෙයි. බ්‍රහ්මයන්ගේ හඬට බඳුවූද කොවුලන්ගේ හඬ හා සමානවූද හඬ ඇත්තේ වෙයි. හෙතෙම ඒ ලක්ෂණවලින් යුතුවූයේ, ඉඳින් ගිහිගෙයි වසා ද සක්විති රජ වෙයි.
“ඔහුට මේ රත්න හත පහළවෙත්. (ඒ කවරේද?) චක්‍ර රත්නය, ඇත් රත්නය, අස්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය, යන මොවුහුය. ඔහුට පර සේනාවන් මැඩලිය හැකි සූරවූ දෙව් පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්, හෙතෙම සයුර හිම් කොට ඇති මේ පෘථිවිය සොරුන් නැතිවූ, සඵලවූ සියලු සැපතින් පිරීගිය, නිර්භය, අනතුරු රහිතවූ, උවදුරු රහිත වූවක් කොට, දඬුවම් රහිතව, ආයුධ රහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කරයි.
රජ වූයේ කුමක් ලබාද? ඇදහිය යුතු වචන ඇත්තෙක් වෙයි. ඔහුගේ වචනය බමුණු ගෘහපතියෝ, නියම්ගම් දනව් වැස්සෝ, ගණන් ශාස්ත්‍රය දන්නෝ, මහා ඇමැතියෝ, යුද්ධ සේනාවෝ, දොරටුපාලයෝ, ඇමතියෝ, රජවරු, සේවකයෝ, කුමරුවෝ (යන මොවුහු) පිළිගනිත්. රජවූයේ මෙය ලබයි. ඉඳින් ගිහි ගෙන් නික්ම පැවිදිවන්නේ නම් කෙලෙස් නමැති වැස්ම සිඳදමා අර්හත් සම්මාසම්බුදු වන්නේය. බුදුවූයේ කුමක් ලබාද? ඇදහිය යුතු වචන ඇත්තේ වෙයි. උන්වහන්සේගේ වචනය භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවියෝ, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ (යන මොවුහු) පිළිගනිත්. බුදුවූයේ මෙය ලබයි. මේ කරුණු භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 237 එහි මෙය කියනු ලැබේ.
[1]“හෙතෙම නින්දාබස් කොලාහල හා වෙහෙස ඇති කරන්නාවූ පීඩාකරනු බොහෝදෙනා මර්දනය කරන ඵරුෂ වචන කථා නොකෙළේය. මිතුරන් ඇතිකරන්නාවූ මෘදුවූ මනාසේ ප්‍රියවූ මිහිරිවූ රළුනොවූ වචන ප්‍රකාශ කළේය.”
[2]“හෙතෙම සිතට ප්‍රියවූ ආදරණීයවූ කණට සැපවූ වචන පවසයි. මැනවින් පුරුදු කළ යහපත් වචනයෙන් සැප විපාක විඳීම කළේය. ස්වර්ගයන්හි පුණ්‍ය විපාක වින්දේය.”
[3]“හෙතෙම සුචරිත විපාක විඳ මේ ලොකයෙහිදී බ්‍රහ්ම හඬ ඇති බව ලැබීය. ඔහුට පුළුල්වූ දිවද වෙයි. පිළිගත යුතු වචන ඇත්තේද වන්නේවෙයි.”
[4]“ගිහි වූවහුටද යම්සේ කියයිද ඒ වූපරිදි සියල්ල සමෘද්ධ වෙයි. ඉඳින් ඒ මිනිස් තෙමේ මහණ වේ නම් බොහෝ දෙනාට බොහෝ යහපත් වචන කියන්නාවූ ඔහුගේ ඒ වචන ජනසමූහයා පිළිගණිත්.”
(30) සීහහනුලක්ඛණං Msdiv 238 “මහණෙනි යම් හේතුවකින් තථාගත තෙමේ පෙර ජාතියෙහි පෙර භවයෙහි පෙර වාසයෙහි පෙර මනුෂ්‍යයෙක් වූයේ සම්ඵප්‍රලාපය (හිස්වචන) දුරුකොට සම්ඵප්‍රලාප කීමෙන් දුරුවූයේ විය. සුදුසුකල් දැන කියන්නෙක්, ඇති දෙයක් කියන්නෙක්, ප්‍රයෝජනවූවක් කියන්නෙක්, ධාර්මික දෙයක් කියන්නෙක්, හික්මවිය යුතු වචන කියන්නෙක්, සිත තබාගත යුතු වූද කරුණු සහිතවූද උපදෙස් සහිතවූද අර්ථ සහිතවූද වචන සුදුසු කාලයෙහි කියන්නෙක් වූයේය. හෙතෙම ඒ කර්මය කළ බැවින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදියි. හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩිවෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද දිව්‍යමයවූ පාටෙන්ද දිව්‍යමයවූ සැපයෙන්ද දිව්‍යමයවූ පිරිවරින්ද දිව්‍යමයවූ අධිපතිභාවයෙන්ද දිව්‍යමයවූ රූපයෙන්ද දිව්‍යමයවූ ශබ්දයෙන්ද දිව්‍යමයවූ ගන්ධයෙන්ද දිව්‍යමයවූ රසයෙන්ද දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද යන කරුණු දහයෙන් වැඩි වෙයි. හෙතෙම එතැනින් චුතව මිනිස් බවට පැමිණියේ මේ මහා පුරුෂ ලක්ෂණය ලබයි. සීහහනුතා (සිංහ හකු ඇති) ලක්ෂණය ඇත්තේ වෙයි. ඔහු ඒ ලකුණින් යුතුවූයේ, ඉඳින් ගිහිගෙයි වසාද සක්විති රජවෙයි.
“ඔහුට මේ රත්න හත පහළ වෙත්. (ඒ කවරේද) චක්‍ර රත්නය, ඇත් රත්නය, අස් රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පර සේනාවන් මැඩලිය හැකි සූරවූ දෙව්පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්. හෙතෙම සයුර හිම් කොට ඇති මේ පෘථිවිය සොරුන් නැතිව, සඵලව සියලු සැපතින් පිරීගිය, නිර්භයවූ, අනතුරු රහිත, උවදුරු රහිත වූවක් කොට, ආයුධ රහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කරයි. රජ වූයේ කුමක් ලබාද? කිසි මිනිස් සතුරකු විසින් හෝ විරුද්ධ වූවකු විසින් හෝ නොමැඩිය හැක්කේ වෙයි. රජ වූයේ මෙය ලබයි ඉඳින් ගිහි ගෙන් නික්ම පැවිදිවන්නේ නම් කෙලෙස් නමැති වැස්ම සිඳදමා අර්හත් සම්මාසම්බුදු වන්නේය. බුදු වූයේ කුමක් ලබාද? ඇතුලතවූ රාගාදීන් විසින් හෝ පිටත්හිවූ සතුරන් විසින් හෝ විරුද්ධකාරයන් විසින් හෝ නොමැඩිය හැක්කේ වෙයි. රාගයෙන් හෝ දොෂයෙන් හෝ මොහයන් හෝ මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලොකයෙහි කිසිවෙකු විසිනුදු නොමැඩිය හැක්කේ බුදුවූයේ මෙය ලබයි. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 239 එහි මෙසේ කියනු ලැබේ.
[1]“හිස්වචන නොකියයි. නොවිසිරීගිය වචන ඇත්තේ වෙයි. අහිත වචනද දුරු කළේය. හිතවූද බොහෝ දෙනාට සැපවූද වචන පැවසීය.”
[2]“එය කොට මෙලොවින් චුතව දෙව්ලොව උපන්නේ කුශල විපාක අනුභව කළේය. ඉන් චුතව නැවත මෙහි පැමිණියේ සීහ හනුතා (සිංහ හකු) ලක්ෂණය ලැබීය.”
[3]“(හෙතෙම මේ ලොකයෙහි උපදින්නේ නම්) කිසිවෙකු විසින් නොමැඩිය හැකි මහානුභාව ඇති මනුෂ්‍ය ශ්‍රෙෂ්ඨවූ රජෙක් වෙයි. දෙවියන්ට අතිශයින් ශ්‍රෙෂ්ඨවූ ඉන්ද්‍ර නම්වූ ශක්‍රයා හා සමවෙයි.”
[4]“මේ ලොකයෙහිදී එබඳුවූයේ දිසා අනුදිසාවන්හි ගාන්ධර්ව අසුර යක්ෂ රාක්ෂස දේව යන මොවුන් විසින් මැඩලිය නොහැක්කේ වේ.”
(31-32) සමදන්තසුසුක්කදාඨාලක්ඛණානි Msdiv 240 “මහණෙනි, යම් හේතුවකින් තථාගතතෙමේ පෙර ජාතියෙහි පෙර භවයෙහි පෙර වාසයෙහි පෙර මනුෂ්‍යයෙක් වූයේ වැරදි ජීවිකාමාර්ගය දුරුකොට යහපත් ජීවිකා මාර්ගයෙන් ජීවිකාව කළේය. තරාදි ආදියෙන් වඤ්චා කිරීමය. රන් හා නොරන් මිශ්‍රකොට වඤ්චා කිරීමය. වී ආදිය මැනීමෙන් වඤ්චා කිරීමය. හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැනීමය. උපායෙන් අනුන් රැවටීමය. යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය. නොයෙක් ආකාරවූ කපටි ප්‍රයොගය. කැපීමය. මැරීමය. බන්ධනය. සැඟවී සිට වස්තු පැහැර ගැන්මය. ගම් නියම්ගම් ආදිය පැහැරීමය. බලාත්කාරකමින් වස්තු පැහැරගැන්මය යන මෙයින් වැළැක්කේ විය. හෙතෙම ඒ කර්මය කළ බැවින් රැස්කළ බැවින්, මහත් බැවින්, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදී. හෙතෙම එහි අන්‍යවූ දෙවියන්ට වඩා කරුණු දහයකින් අධික වෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද, දිව්‍යමයවූ වර්ණයෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ යසසින්ද, දිව්‍යමයවූ අධිපතිභාවයයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ ගන්ධයෙන්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද, යන මේ කරුණුවලිනි. හෙතෙම එතැනින් චුතව මිනිස් බවට පැමිණියේ මේ දෙයාකාරවූ මහාපුරුෂ ලක්ෂණ ලබයි. සම දත් ඇත්තේද අතිශයින් සුදුවූ දත් ඇත්තේද වෙයි.
හෙතෙම ඒ දෙලකුණින් යුක්තවූයේ ඉඳින් ගිහි ගෙයි වසාද, සතර දිගම අධිපති කොට ඇති දනව්හි ප්‍රධාන වූයේ රත්න හතෙන් යුක්තවූයේ දැහැමිවූ ධර්මරාජන්වූ සක්විති රජෙක් වෙයි. ඔහුට මේ රත්න හත පහල වෙති. ඒ කවරහුද? චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපති රත්නය, සත්වැනි පුත්‍ර රත්නය (යන මොවුහුයි.) ඔහුට සූරවූ වීරවූ පරසෙනග මැඩිය හැකිවූ දහසකට අධික පුත්‍රයෝ වෙත්. හෙතෙම සයුර හිම් කොට ඇති මේ පෘථිවිය සොරුන් නැතිවූ, දියුණුවූ, සියලු සැපතින් යුක්තවූ, නිර්භයවූ, අනතුරු රහිතවූ, උවදුරු රහිත වූවක් කොට, දඬුවම් රහිතව, ආයුධ රහිතව, ධර්මයෙන් සාමයෙන් දිනා වාසයකරයි. රජවූයේ කුමක් ලබාද, පිරිසිදු පිරිවර ඇත්තේ වෙයි. ඔහුට බමුණු ගෘහපතියෝ නියම්ගම් දනව් වැස්සෝ, නැකැත් දන්නෝ, මහමැතියෝ, යුද්ධසේනාවෝ, දොරටුපාලයෝ, ඇමැතියෝ, පරිවාර ජනයෝ, රජවරු, සේවකයෝ, කුමරුවෝ (යන මොවුහු) පිරිසිදු පිරිවර වෙත්. රජවූයේ මෙය ලබයි. ඉඳින් ගිහිගෙන් නික්ම මහණ වේද, ලොකයෙහි කෙලෙස් වහල විනාස කළාවූ අර්හත්වූ සම්‍යක් සම්බුදු වෙයි. බුදුවූයේ කුමක් ලබාද? පිරිසිදු පිරිවර ඇත්තේ වෙයි. උන්වහන්සේට භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවියෝ, මිනිස්සු, අසුරයෝ, ගාන්ධර්වයෝ (යන මොවූහු) පිරිසිදු පිරිවර වෙති. බුදුවූයේ මෙය ලබයි. මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 241 එහි මෙසේ කියනු ලැබේ.
[1]“හෙතෙම වැරදි ජීවිකාව දුරුකළේය. ධාර්මිකවූ, පිරිසිදුවූ සමපැවැත්ම ඇති කළේය. අහිත දෙයද අත්හැරියේය. බොහෝදෙනාට හිත පිණිසද සැප පිණිසද හැසුරුණේය.”
[2]“ඒ මනුෂ්‍යතෙම ශක්‍රයා හා සමානවූයේ (කුශල) කර්ම කොට හසල බුද්ධිමත් සත්පුරුෂයන් විසින් වර්ණනා කරන ලද සුචරිත විපාක ස්වර්ගයෙහි විඳී. දිව්‍යමය කාම ක්‍රීඩාවන්ගෙන් යුක්ත වූයේ සතුටු වෙයි.”
[3]“ඒ දෙවිලොවින් චුතව කරණලද කුශල විපාකයාගේ ශෙෂයෙන් මිනිසත්බව ලබා සමවූද පිරිසිදුවූද අතිශයින් සුදුවූද දත් ලබයි.”
[4]“උගතුන්යයි පිළිගත් මිනිසුන්වූ බොහෝ ලක්ෂණ ශාස්ත්‍රය දන්නෝ රැස්වූවාහු ඔහුට දෙවරක් ඇතිවන බැවින් ද්විජ නම්වූ සමවූ අතිශයින් සුදුවූ පිරිසිදුවූ ශොභන දත් ඇත්තේ පිරිසිදු ජනසමූහයා පිරිවරකොට ඇත්තේ වේ (යයි පැවසූහ.)”
[5]“ඉඳින් රජවෙයි නම් මහා පිරිවර ඇත්තේ මහා පොලොවට අනුශාසකවූයේ බොහෝදෙනා ඇත්තේ වේ. බලාත්කාරයෙන් ජනපද පීඩනයක්ද නොකරයි. බොහෝ දෙනාට හිත සැප පිණිස හැසිරෙයි. බොහෝදෙන ඔවුනොවුන්ට සමාන සැප දුක් ඇත්තෝව හිත සැප පිණිස හැසිරෙත්.”
[6]“ඉදින් මහණ වෙයි නම් පව් නැති කළාවූ කෙලෙස් කිලුටු සංසිඳුවන ලද්දාවූ විවෘත කළ කෙලෙස් වහල ඇති පහකරන ලද ක්ලෙශ ක්ලාන්ත ඇති ශ්‍රමණයෙක් වූයේ මෙලොවද පරලොවද දකියි.”
[7]“ඔහුගේ අවවාදයට අනුව හික්මෙන්නාවූ බොහෝ ගිහි පැවිද්දෝ වෙත්. පිළිකුල් ලෙස නින්දා කරන ලද පාපය කම්පා කෙරෙත්. හෙතෙම පිරිසිදු වූවන් විසින් පිරිවරන ලදුයේ වේ. රාගාදි කිලුටුද, රාගාදි උල්ද, ද්වෙෂ නමැති කිලුටුද (යන සියලු කෙලෙස්) දුරු කරයි.”
තිස් වැනිවූ ලක්ඛණ සූත්‍රය නිමියේය.
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source