Advice to Sigālaka
Siṅgāla Sutta
PDFGenerated
Practical guidance on family, friendship, work, and social responsibilities.
Especially useful for everyday life and family discussion.
Read here in the library
දීඝ නිකාය පාඨික වර්ගය 31. සිගාලක සූත්‍රය Msdiv 242 මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර (ලෙහෙනුන්ට වැටුප් දුන් හෙයින්) කලන්දකනිවාප නම්වූ, වෙළුවන වෙහෙරෙහි වාසය කළහ.
එකල සිගාලක නම් ගෘහපති පුත්‍ර තෙම කල් ඇතිවම නැගිට රජගහ නුවරින් පිටත්ව ගොස් තෙත්වූ ඇඳුම් ඇතුව තෙත්වූ හිසකෙස් ඇතුව ඇඳිලිබැඳගෙන නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, යට දිසාවය, උතුරු දිසාවය, උඩ දිසාවය යන බොහෝ දිසාවන් නමස්කාර කරන්නේය.
Msdiv 243 එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස ගියෝය.
කල් ඇතිවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත් වූ ඇඳුම් ඇතිව, තෙත්වූ හිස කෙස් ඇතිව ඇඳිලි බැඳගෙන (ඇඟිලි එකට තබාගෙන) නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිසාවය, යන බොහෝ දිසාවන් වඳින්නවූ සිගාලක නම් ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ දුටුවෝය. (එසේ) දැක සිගාලක නම් ගෘහපති පුත්‍රයාට මෙය කීවාහුය. “ගෘහපති පුත්‍රය, නුඹ කල් ඇතුවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත්වූ ඇඳුම් ඇතිව තෙත්වූ හිස කෙස් ඇතිව ඇදිලි බැඳ ගෙන නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිසාවය යන බොහෝ දිසාවන්ට කුමක් හෙයින් වඳින්නෙහිදැ”යි, ඇසූහ.
“ස්වාමීන් වහන්ස, (මගේ) පියා මැරෙණ කල මට මෙසේ කීයේය. ‘දරුව, දිශාවන්ට නමස්කාර කරව” (කියායි.)
“ස්වාමීන් වහන්ස, ඒ මම පියාගේ වචනයට සත්කාර කරන්නේ, ගෞරව කරන්නේ, බුහුමන්කරන්නේ, පුදන්නේ කල් ඇතුවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත්වූ ඇඳුම් ඇතිව තෙත්වූ හිස කෙස් ඇතිව, ඇඳිලි බැඳගෙන නැගෙනහිර දිශාවය, දකුණු දිශාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිශාවය යන බොහෝ දිශාවන්ට නමස්කාර කරමි’යි කීයේය.
ඡ දිසා Msdiv 244 “ගෘහපති පුත්‍රය, ආර්‍ය්‍ය විනයෙහි (බුදු සස්නෙහි) මෙසේ සදිශාවෝ නොවැඳිය යුත්තාහුයි” කීවාහුය.
“ස්වාමීන් වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි කෙසේනම් සදිසාවෝ වැඳිය යුත්තාහුද, ස්වාමීන් වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි සදිශාවෝ යම් පරිද්දකින් වැඳිය යුත්තාහුද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ මට ධර්මය දේශනා කළ මැනවැයි” (කීයේය.)
“ගෘහපති පුත්‍රය, එසේවී නම් අසව, හොඳින් සිහියේ තබාගනුව කියන්නෙමියි” (කීවෝය)
“ස්වාමීන් වහන්ස, එසේයයි” කියා සිගාලක ගෘහපති පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.
“ගෘහපති පුත්‍රය, යම් කලක පටන් උතුම් ශ්‍රාවකයා විසින් කර්ම ක්ලෙශ (අපිරිසිදු ක්‍රියා) සතරක් දුරු කරණ ලද්දාහු වෙද්ද, කරුණු සතරකින් පව්කම් නොකෙරේද, වස්තු විනාශයට හේතුවූ කරුණු සය සේවනය නොකෙරේද, හෙතෙම මෙසේ දාහතරක්වූ ලාමක ගතිවලින් වෙන් වූයේ සය දිශාවන් භය නූපදින සේ වසා තබන්නෙක්ව දෙලොවම ජය ගැනීම පිණිස පිළිපදින්නේ වෙයි. ඔහු විසින් මෙලොවද දිනන ලද්දේ වෙයි. පරලොවද දිනන ලද්දේ වෙයි. හෙතෙම ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදින්නේය.
චත්තාරොකම්මකිලෙසා Msdiv 245 ඔහු විසින් කවර නම් කර්ම ක්ලේශ (අපිරිසිදු ක්‍රියා) හතරක් පහකරන ලද්දාහු වෙද්ද? ගෘහපති පුත්‍රය, ප්‍රාණඝාතය (සතුන් මැරීම) අපිරිසිදු ක්‍රියාවකි. අදත්තාදානය (අන් සතු දෙය හොර හිතින් ගැනීම) අපිරිසිදු ක්‍රියාවකි. කාම මිථ්‍යාචාරය (කාමයන්හි වරදවා හැසිරීම) අපිරිසිදු ක්‍රියාවකි. මුසාවාදය (බොරුකීම) අපිරිසිදු ක්‍රියාවකි. ඔහු විසින් මේ අපිරිසිදු ක්‍රියා හතර පහකරන ලද්දාහු වෙත්යයි” භාග්‍යවතුන් වහන්සේ කීවාහුය. ශාස්තෘවූ සුගතයන් වහන්සේ මෙය වදාරා නැවතද මෙසේ වදාළේය.
“සතුන් මැරීමද සොරකම් කිරීමද, බොරු කීමද, අන්සතු අඹුවන් වෙත යාමද යන මේ කරුණු සතර නුවණ ඇත්තෝ ප්‍රසංසා නොකරති.”
චතුට්ඨානං Msdiv 246 “කවර නම් කරුණු සතරකින් පව්කම් කෙරේද? ඡන්දයෙන් (ඇල්මෙන්) අගතියට යාමෙන් පව්කම් කරයි. ද්වෙෂයෙන් (ක්‍රොධයෙන්) අගතියට යාමෙන් පව්කම් කරයි. භයින් අගතියට යාමෙන් පව්කම් කරයි. මොහයෙන් අගතියට යාමෙන් පව්කම් කරයි.
ගෘහපති පුත්‍රය, යම් හේතුවකින් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඡන්දයෙන් අගතියට නොයන්නේම වේද, ද්වෙෂයෙන් අගතියට නොයන්නේම වේද, භයින් අගතියට නොයන්නේම වේද, මොහයෙන් අගතියට නොයන්නේම වේද, (ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ) මේ කරුණු සතරින් පව්කම් නොකෙරේයයි භාග්‍යවතුන් වහන්සේ වදාළේය. ශාස්තෘවූ සුගතයන් වහන්සේ නැවතද මෙසේ වදාළහ.
[1] “යමෙක් ඡන්දයෙන්ද, ද්වෙෂයෙන්ද, භයින්ද මොහයෙන්ද ධර්මය ඉක්මවාද, ඒ තැනැත්තාගේ යසස කළුවර පක්ෂයෙහි චන්ද්‍රයා මෙන් පිරිහෙන්නේය.”
[2] “යමෙක් ඡන්දයෙන්ද, ද්වෙෂයෙන්ද භයින්ද මොහයෙන්ද, ධර්මය නොඉක්මවාද ඒ තැනැත්තාගේ යසස පුර පක්ෂයෙහි සඳ මෙන් පිරෙන්නේය.”
ඡ අපායමුඛානි Msdiv 247 වස්තුව විනාශයට හේතුවූ කවර නම් කරුණු සයක් සේවනය කෙර්ද?
“ගෘහපති පුත්‍රය, මත්වීමට හා ප්‍රමාදයට කරුණුවූ මත්පැන් බීමෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශ වීමට හේතුවකි. නුසුදුසු කාලයෙහි වීථි සංචාරණයෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශයට හේතුවකි. නැටුම් පොලවල හැසිරීම වස්තු විනාශයට හෙතුවකි. ප්‍රමාදයට හේතුවූ දූකෙළියෙහි නැවත නැවත යෙදීම වස්තු විනාශයට හෙතුවකි. පාපමිත්‍රයන් හා නැවත නැවත එක්වීම වස්තු විනාශයට හෙතුවකි. අලස බැව්හි නැවත නැවත යෙදීම වස්තු විනාශයට හෙතුවකි.
සුරාමෙරයස්ස ඡ ආදීනවා Msdiv 248 “ගෘහපති පුත්‍රය, මත්වීමට හා ප්‍රමාදයට කරුණුවූ මත්පැන් බීමෙහි නැවත නැවත යෙදීමෙහි මේ දොෂ සයක් වෙත්. මේ ආත්මයෙහිම (හෙවත් තමා බලාසිටියදීම) ධනය පිරිහීම, කෝලාහල වැඩිවීම, රොග පීඩාවන්ට හෙතුවීම, අපකීර්තිය ඇතිවීම, ලජ්ජා නැතිව හැසිරීම, නුවණ දුර්වල කිරීම සවැනි කාරණය වේ.
“ගෘහපති පුත්‍රය, මත්වීමට හා ප්‍රමාදයට කරුණුවූ මත්පැන් පානයෙහි නැවත නැවත යෙදීමෙහි මේ දොෂ සය වෙත්.
විකාලචරියාය ඡ ආදීනවා Msdiv 249 “ගෘහපති පුත්‍රය, නොකල්හි වීථි සංචාරණයෙහි නැවත නැවත යෙදීමෙහි මේ දොෂ සයක් වෙත්. තමාද ප්‍රවේසම් නොකරන ලද්දේ නොරක්නා ලද්දේ වෙයි. තමාගේ අඹුදරුවෝද ප්‍රවේසම් නොකරන ලද්දාහු නොරක්නා ලද්දාහු වෙත්. තමාගේ වස්තුවද ප්‍රවේසම් නොකරන ලද්දේ නොරක්නා ලද්දේ වෙයි. පවිටුවූ කාරණයන්හි සැක කටයුත්තේද වේ. ඔහු කෙරෙහි සිදු නොවූ කතාද පැනනඟී. බොහෝවූ දුක් හිරිහැරවලටද පෙරටුවූවෙක් වෙයි. ගෘහපති පුත්‍රය, නොකල්හි වීථි සංචාරණයෙහි නැවත නැවත යෙදීමෙහි මේ දොෂ සය වෙත්.
සමජ්ජාභිචරණස්ස ඡ ආදීනවා Msdiv 250 “ගෘහපති පුත්‍රය, නැටුම් පලවල්වල හැසිරීමෙහි මේ දොෂ සයක් වෙත්. නැටුම් කොතැන්හිද, ගී කීම් කොතැන්හිද, වැයීම් කොතැන්හිද, කථා පැවැත්වීම් කොතැන්හිද, කයිතාලම් ආදිය ගැසීම් කොතැන්හිද, කල පිඹීම් කොතැන්හිදැයි (සොයා හැසිරීමය) ගෘහපති පුත්‍රය, මේ නෘත්‍යස්ථානයන්හි හැසිරීමෙහි දොෂ සය වෙත්.
ජූතප්පමාදස්ස ඡ ආදීනවා Msdiv 251 “ගෘහපති පුත්‍රය, ප්‍රමාදයට කරුණුවූ දූකෙළියෙහි නැවත නැවත යෙදීමෙහි මේ දොෂ සයක් වෙත්. දිනූ තැනැත්තේ වෛර රැස්කර ගනියි. පරදිනු ලැබූ තැනැත්තේ වස්තුව ගැන නැවත නැවත සෝක කරයි. තමන් බලාසිටියදීම වස්තු විනාශ වේ. සභාවකට පැමිණි ඔහුගේ වචනය නොපිළිගනියි. අසල් වැසියන් විසින් නින්දා කරනු ලබන්නෙක් වෙයි. දූකෙළියෙහි යෙදෙන මොහු අඹුවන් පොෂණයට නුසුදුසුයයි ආවාහ විවාහකයන් විසින් නොපතන ලද්දේ වෙයි. ගෘහපති පුත්‍රය, ප්‍රමාදයට කරුණුවූ දූකෙළියෙහි නැවත නැවත යෙදීමෙහි මේ දොෂ සය වෙත්.
පාපමිත්තතාය ඡ ආදීනවා Msdiv 252 “ගෘහපති පුත්‍රය, පවිටු මිතුරන් ආශ්‍රය කිරීමෙහි නැවත නැවත යෙදීමෙහි මේ දොෂ සයක් වෙත්. යම් කෙනෙක් දූකෙළියෙහි යෙදෙත්ද, යම් කෙනෙක් (ගැහැණුන් කෙරෙහි) ලොල්වෙත්ද, යම් කෙනෙක් සුරා පිපාසයෙහි ගැලී වෙසෙත්ද, යම් කෙනෙක් කපටිකම් කෙරෙත්ද, යම් කෙනෙක් වංචා ප්‍රයොග කෙරෙත්ද, යම් කෙනෙක් (මං පැහැරීම් ආදී) සැහැසිකම් කෙරෙත්ද, ඔව්හු ඔහුගේ මිතුරෝ වෙත්. ඔහුගේ යහලුවෝද වෙත්. ගෘහපති පුත්‍රය, පාප මිත්‍රයන් ආශ්‍රය කිරීමෙහි නැවත නැවත යෙදීමෙහි මේ දොෂ සය වෙත්.
ආලස්‍යස්ස ඡ ආදීනවා Msdiv 253 “ගෘහපති පුත්‍රය, අලස බැව්හි නැවත නැවත යෙදීමෙහි මේ දොෂ සයක් වෙත්. ඉතා සීතලයයි වැඩ නොකරයි. ඉතා උණුසුම්යයි වැඩ නොකරයි. ඉතා සවස්යයි වැඩ නොකරයි. ඉතා උදෑසනයයි වැඩ නොකරයි. ඉතා බඩගින්නෙන් පෙළෙමියි වැඩ නොකරයි. කෑම කෑමෙන් ඉතා බඩ බර ඇත්තෙමියි වැඩ නොකරයි. මෙසේ නොකොට ඉතිරිවූ කටයුතු බහුලව වාසයකරන්නාවූ ඔහුට නූපන්නාවූ වස්තූහුද නූපදිත්. උපන්නාවූ වස්තූහුද පිරිහෙත්. ගෘහපති පුත්‍රය, අලස බවෙහි නැවත නැවත යෙදීමෙහි මේ දොෂ සය වෙත්” යයි භාග්‍යවතුන් වහන්සේ කීවාහුය. ශාස්තෘවූ සුගතයන්වහන්සේ මෙය වදාරා නැවත මෙසේද වදාළෝය.
[1] “(මත්පැන් බීමට මිතුරුවූ) පානසඛ නම් යහලුවෙක් වෙයි. ඉදිරිපිටදී පමණක් යහලුකම දක්වන සම්මිය සම්මිය නම් යහලුවෙක් වෙයි. යමෙක් තමහට වැඩක් ඇති කල්හි මිත්‍ර වන්නාවූ සඛ නම් යහලුවෙක්ද වේ.
[2] “හිර උදාවන තෙක් නිදා ගැනීමය, අන් අඹුවන් සේවනය කිරීමය, තරහ බැඳ ගැනීමය, අවැඩ සිදුවන දේ කිරීමය, පවිටු මිතුරන් සේවනය කිරීමය, තද මසුරු බවය යන මේ කරුණු සය මිනිසා විනාශ කරත්.
[3] “පාප මිත්‍රයන් ඇති පවිටු යහලුවන් ඇති ලාමක පැවතුම් හා නොහැසිරිය යුතු තන්හි හැසිරෙන්නාවූ තැනැත්තේ මෙලොවින්ද පරලොවින්ද යන දෙලොවින්ම පිරිහේ.
[4] “සූදු කෙලීමෙහි හා අන් අඹුවන් සේවනය කිරීමෙහි යෙදීමද, සුරාපානය කිරීමද, නැටුම් ගී කීම්වලට කැමැත්තද, දහවල් නිදාගැනීමද, නොකල්හි නුසුදුසු තන්හි හැසිරීමද, පාප මිත්‍රයන් ඇති බවද, තද මසුරුකමද යන මේ කරුණු සය පුරුෂයා විනාශ කරත්.
[5] “යම් කෙනෙක් පසටෙන් (දාදු කැටයෙන්) සූදු කෙළිද්ද, සුරාපානය කෙරෙද්ද, අනුන්ගේ ප්‍රාණය මෙන් රකින අඹුවන් සේවනය කරද්ද, දුසිරිතෙහි ගැලී වසන මිනිසුන් සේවනය කරද්ද, (යහපත අයහපත දත්) ඥානවන්තයින් සේවනය නොකරද්ද, (ඔවුන්ගේ) යසස කළුවර පක්ෂයෙහි චන්ද්‍රයා මෙන් පිරිහීමට පැමිණේ.
[6] “වස්තුව ධනය නැතිව වසන යමෙක් මත්පැන් බීමෙහි ලොල් වූයේ සුරා සැලට ගොස් වතුර මෙන් සුරා පානය කරන්නේ ණයට බැස ගනියි. වහා තමාගේ කුලය (ගෙදර) පිරිහුණු කුලයක් (ගෙදරක්) කරන්නේය.
[7] “දහවල් නිදන ගති ඇතිවූද, රෑ නොනැගිටින්නාවූම ගති ඇතිවූද, නිතොර (මත්පැනින්) මත්වූද, ගැහැනුන් කෙරෙහි ලොල්වූද පුද්ගලයා විසින් ගිහිගෙයි විසීම නොකළ හැකිය.
[8] “දැන් ඉතා සීතලය, ඉතා උණුසුමය, ඉතා සවස් වීයයි මෙසේ වැඩ නොකරන මිනිසුන් වස්තූහු ඉවත් කරත්.
[9] “මෙලොව යමෙකු සීතලද, උණුසුමද, තණ පතක් පමණවත් නොසිතාද, උත්සාහයෙන් වැඩ කරන්නාවූ ඒ මිනිසා සැපයෙන් නොපිරිහෙන්නේය.”
මිත්තපතිරූපකා Msdiv 254 “ගෘහපති පුත්‍රය, මිත්‍ර නොවූ මිතුරු වෙසින් හැසිරෙන මේ සතර දෙනෙක් දතයුතු වෙත්. ‘අඤ්ඤදත්ථුහර’ නම් (යමක් ගැනීමට පමණක් යහලුකම් දක්වන තැනැත්තා) මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු. ‘වචී පරම’ නම් (වචනයෙන් පමණක් සැලකීම කරණ) තැනැත්තා මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු. ‘අනුප්පියහාණී’ නම් (තමන් ඉදිරිපිටදී ස්තුති කරන රැවටිලි බස් කියන) නැතැත්තා මිත්‍ර නොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතු “අපාය සහාය” නම් (පව් කම් සඳහා යහලුකම් කරන) තැනැත්තා මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන්නෙකැයි දතයුතුයි.
Msdiv 255 “ගෘහපති පුත්‍රය, අඤ්ඤදත්ථුහර නම් මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන තැනැත්තේ මේ කරුණු සතරින් දතයුතු.
“හිස් අතින් අවුත් මිත්‍රයාගෙන් කිසිවක් ගෙන යාමට බලාපොරොත්තු වෙයි. සුලු දෙයක් දීමෙන් ලොකු දෙයක් කැමති වෙයි. තමහට බියක් ඇතිකල්හි ඔහුගේ කටයුතු කරයි. තමාගේ ප්‍රයොජනය පිණිස කටයුතු කරයි.”
“ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අඤ්ඤදත්ථුහර නම් මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන නැතැත්තා දතයුතුයි.”
Msdiv 256 “ගෘහපති පුත්‍රය, වචීපරම නම් මිත්‍රනොවූ මිත්‍රයෙකු මෙන් හැසිරෙන තැනැත්තා කරුණු සතරකින් දතයුතු. ඉකුත්වූ දෙයින් සංග්‍රහ කරයි. මතු ඇතිවන දෙයින් සංග්‍රහ කරයි. කටයුත්තක් පැමිණ සිටි කල්හි තමන්ට වූ විපත්තිය දක්වයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් වචීපරම නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා දත යුතුයි.
Msdiv 257 “ගෘහපති පුත්‍රය, අනුප්පියහාණී නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා කරුණු සතරකින් දතයුතුයි. මිතුරාට පව් කිරීමද අනුමත කරයි. කුසල් කිරීමද අනුමත කරයි. ඉදිරියෙහි ඔහුගේ ගුණ කියයි. නැති තැන ඔහුගේ අගුණ කියයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අනුප්පියභාණී නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා දතයුතුයි.
Msdiv 258 “ගෘහපති පුත්‍රය, අපාය සහාය නම්, මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා කරුණු සතරකින් දත යුතුයි. මත්වීමට හා ප්‍රමාදයට කාරණාවූ මත්පැන් පානය පිණිස නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. නොකල්හි වීථි සංචාරණය සඳහා නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. නැටුම් ඇති තැන්වල හැසිරීමෙහි යහලු වෙයි. ප්‍රමාදයට කරුණුවූ සූදු කෙළියෙහි නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අපාය සහාය නම් මිත්‍ර නොවූ මිත්‍ර ප්‍රතිරූපකයා දතයුතුය”යි භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
Msdiv 259 සුගත නම්වූ ශාස්තෲන්වහන්සේ මේ කාරණය වදාරා නැවතද මෙසේ කීවාහුය.
“අඤ්ඤදත්ථුහර, නම් (හිස් අතින් අවුත් මිතුරාගෙන් යමක් ගෙනයන) යම් මිතුරෙක් වේද? වචීපරම නම් වචනයෙන් පමණක් සලකන) යම් මිතුරෙක් වේද? අනුප්පියභාණී නම් (කරන හොඳ නරක දෙකට ඉදිරිපිටදී ගුණ කියන, නැති තැන අගුණ කියන) යම් මිතුරෙක් වේද, අපාය සහාය නම් (පව් කටයුතුවල යොදවන) යම් මිතුරෙක් වේද යන මේ අමිත්‍රයන්වූ මිත්‍ර ප්‍රතිරූපකයන් සතර දෙන, මෙසේ දැන නුවණ ඇති තැනැත්තේ බිය සහිත මාර්ගයක් මෙන් දුරින්ම දුරු කරන්නේය.”
සුහදමිත්තො Msdiv 260 “ගෘහපති පුත්‍රය, හොඳ හිත ඇති මේ මිත්‍රයෝ සතර දෙනෙක් දතයුතු වෙත්. උපකාර නම් (හැම කටයුත්තකදීම පිටු නොපානා) හොඳ හිත ඇති මිත්‍රයෙක් දත යුතුයි. සමාන සුඛ දුක්ඛ, නම් (සැප දුක් දෙක්හි සමාන පැවතුම් ඇති) හොඳ සිතැති මිත්‍රයෙක් දතයුතුයි. අත්ථක්ඛායී නම් (අවැඩින් වළකා වැඩෙහි යොදවන) හොඳ සිතැති මිත්‍රයෙක් දත යුතුයි. අනුකම්පක, නම් (මිතුරුකම සලකා අනුකම්පා කරණ) හොඳ සිතැති මිත්‍රයෙක් දතයුතුයි.
Msdiv 261 “ගෘහපති පුත්‍රය, උපකාරක නම් හොඳ හිතැති මිත්‍රයා කරුණු සතරකින් දතයුතුයි. මත්වූ මිතුරා රකියි. මත්වූ මිතුරාගේ ධනය රකියි. භයක් පැමිණි මිතුරාට උපකාර වෙයි. කටයුත්තක් ඇති කල්හි දෙගුණයක් කොට වස්තුව දෙයි. ගෘහපති පුත්‍රය, උපකාර නම් හොඳ හිතැති මිතුරා මේ කරුණු සතරින්ද දතයුතුයි.
Msdiv 262 “ගෘහපති පුත්‍රය, සමාන සුව දුක් ඇති හොඳ හිතැති මිතුරා කරුණු සතරකින් දතයුතුයි. තමන්ගේ රහස් මිතුරාට කියයි. මිතුරාගේ රහස් හෙළිනොකරයි. මිතුරාට විපතක් පැමිණි කල්හි අත් නොහරියි. ඒ මිතුරාගේ යහපත සඳහා ජීවිතය පවා පුදනලද්දේ වෙයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් සුව දුක් දෙක්හි සමාන පැවතුම් ඇති හොඳ හිතැති මිතුරා දතයුතුයි.
Msdiv 263 “ගෘහපති පුත්‍රය, කරුණු සතරකින් අත්ථක්ඛායී නම් හිත වැඩ කියන්නාවූ හොඳ හිතැති මිතුරා කරුණු සතරකින් දත යුතුයි. පව් කිරීමෙන් වළක්වයි. යහපත් කටයුත්තෙහි යොදවයි. නොඇසූ දෙය අස්වයි. දෙව්ලොව මග කියයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අත්ථක්ඛායී නම් හොඳ හිතැති මිතුරා දත යුතුයි.
Msdiv 264 “අනුකම්පා කරණ හොඳ හිතැති මිතුරා කරුණු සතරකින් දත යුතුයි. මිතුරාගේ පිරිහීමට සතුටු නොවෙයි. ඔහුගේ දියුණුවට සතුටු වෙයි. මිතුරාගේ නුගුණ කියන්නවුන් වළක්වයි. ගුණ කියන්නහුට ප්‍රශංසා කරයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු සතරින් අනුකම්පක නම් හොඳ හිතැති මිතුරා දත යුත්තේය”යි භාග්‍යවතුන්වහන්සේ මෙය කීවාහුය.
Msdiv 265 ශාස්තෘවූ සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මෙසේද වදාළෝය.
[1] “උපකාර ඇත්තාවූ යම් මිත්‍රයෙක් වේද, සුවදුක් දෙක්හි සමව පවත්නාවූ යම් මිත්‍රයෙකුත් වේද, හිතවැඩ කියනසුලුවූ යම් මිත්‍රයෙකුත් වේද? අනුකම්පා ඇත්තාවූ යම් මිත්‍රයෙකුත් වේද
[2] “යන මේ මිතුරන් සතරදෙනා නුවණ ඇත්තේ මෙසේ දැන හැඳින මව්කෙනෙක් ස්වකීය පුතෙකු සේවනය කරන්නාක් මෙන් යහපත් කොට සේවනය කරන්නේය.
[3] “සීලයෙන් යුක්තවූ නුවණ ඇත්තේ දිලිසෙන ගිනි මෙන් බබලයි. මලෙන් රොන් ගන්නාවූ බමරෙකු මෙන් අනුන්ට පීඩාවක් නැතිව වස්තුව රැස්කරන්නහුගේ සම්පත් රැස්වීමට පැමිණෙත්. කුමක් මෙන්ද? ක්‍රමයෙන් වේයන් විසින් බඳිනු ලබන්නාවූ තුඹස වැඩෙන්නාක් මෙනි.”
[4] “මෙසේ දැහැමින් වස්තුව රැස්කොට ගිහිගෙයි විසීමට සමර්ථවූ පුද්ගල තෙමේ වස්තුව සතර කොටසකට බෙදන්නේය. හෙතෙම ඒකාන්තයෙන් මිතුරන් බැඳ ගනියි.
[5] “එහි එක් කොටසකින් සම්පත් අනුභව කරන්නේය. දෙකොටසක් කර්මාන්ත පිණිස යොදන්නේය. සතරවන කොටස විපත් පැමිණි කල්හි ප්‍රයොජන වන්නේයයි නිදන් කොට තබන්නේය.”
ඡද්දිසාපටිච්ඡාදනකණ්ඩං Msdiv 266 “ගෘහපති පුත්‍රය, කෙසේ නම් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ සදිසාවන් වසන්නේ (රකින්නේ) වේද, ගෘහපති පුත්‍රය, මේ දිසා සයක් වෙත්. මව්පියෝ නැගෙනහිර දිසාවයයි දත යුතුයි. ගුරුවරු දකුණු දිසාවයයි දතයුතුයි. අඹුදරුවෝ බස්නාහිර දිසාවයයි දතයුතුයි. යාලු මිත්‍රයෝ උතුරු දිසාවයයි දතයුතුයි. දැසි දස් කම්කරුවෝ යටදිසාවයයි දතයුතුයි. මහණ බමුණෝ උඩදිසාවයයි දතයුතුයි.
Msdiv 267 “ගෘහපති පුත්‍රය, නැගෙනහිර දිසාවවූ මව්පියෝ පුත්‍රයා විසින් කරුණු පසකින් උපස්ථාන කටයුතු වෙත්. මව්පියන් විසින් පොෂණය කරන ලද මම ඒ මව්පියන් පොෂ්‍ය කරන්නෙමි, ඒ මව්පියන්ගේ කටයුතු කරන්නෙමි. කුල පරම්පරාව පිහිටුවන්නෙමි. දායාදය පිළිපදිමි. (මව්පියන් සතු වස්තුව රැකගනිමි) තවද මිය පරලොව ගිය මව්පියන්ට දක්ෂිණාව දෙන්නෙමි. (පින් අනුමෝදන් කරවන්නෙමි) ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් පුත්‍රයා විසින් උපස්ථාන කරනලද නැගෙනහිර දිසාවවූ මව්පියෝ දරුවන්ට කරුණු පසකින් අනුකම්පා කරත්. පවින් වළක්වත්. යහපතෙහි යොදවත්. සිල්ප ශාස්ත්‍රය උගන්වත්, සුදුසුවූ භාර්‍ය්‍යාවක් හා යොදවත්. සුදුසු කාලයෙහි දායාදය (මව්පියන් සතු වස්තුව) පාවා දෙත්. ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් පුත්‍රයා විසින් උපස්ථාන කරනලද නැගෙනහිර දිසාවවූ මව්පියෝ මේ කරුණු පසින් පුත්‍රයාට අනුකම්පා කරත්. මෙසේ ඒ පුත්‍රයා විසින් මේ නැගෙනහිර දිසාව වසන (රකින) ලද්දී නිර්භය වූවා වන්නීය.
Msdiv 268 “ගෘහපති පුත්‍රය, කරුණු පසකින් අතවැස්සා (ගෝළයා) විසින් දකුණු දිශාවවූ ගුරුවරයෝ උපස්ථාන කටයුතු වෙත්. දැක, උන් ආසනයෙන් නැගිටීමෙන්ද, උපස්ථාන කිරීමෙන්ද, ගුරුවරයාගේ වචන හොඳින් ඇසීමෙන්ද, කටයුතු වත් පිළිවෙත් කිරීමෙන්ද සකස්කොට ශිල්ප ඉගෙණීමෙන්ද (යන මෙයිනි) ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් අතවැස්සා විසින් උපස්ථාන කරණ ලද්දාවූ දකුණු දිශාවවූ ගුරුවරු කරුණු පසකින් අතවැසියාට (ගෝලයාට) අනුකම්පා කරත්. යහපත් කොට හික්මවත්, හොඳින් උගන්වත්, (තමන් දත්) සියලු ශිල්පශාස්ත්‍ර හා ධර්මය මනාව කියා දෙන්නාහු වෙත්. මිත්‍රජනයා අතරෙහි කියා පෙන්වාදෙත්, දිශාවන්හි ආරක්ෂාව ඇතිකෙරෙත්, ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් අතවැස්සා විසින් උපස්ථාන කරණ ලද්දාවූ දකුණු දිශාවවූ ගුරුවරු මේ කරුණු පසින් අතවැස්සාට අනුකම්පා කරත්. මෙසේ ඔහු විසින් මේ දකුණු දිසාව වසන (රකින) ලද්දී භය රහිත වූවා වේ.
Msdiv 269 “ගෘහපති පුත්‍රය, කරුණු පසකින් සැමියා විසින් බස්නාහිර දිසාවවූ භාර්‍ය්‍යා තොමෝ උපස්ථාන කටයුත්තීය. බුහුමන් කිරීමෙන්ද, අවමන් නොකිරීමෙන්ද, අන් අඹුවන් සේවනය නොකිරීමෙන්ද, සැප ඉසුරු පාවා දීමෙන්ද, අලංකාරයට සුදුසු ඇඳුම් පැළඳුම් දීමෙන්ද (යන මෙයිනි) ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් සැමියා විසින් උපස්ථාන කරණලද බස්නාහිර දිසාවවූ භාර්‍ය්‍යාතොමෝ කරුණු පසකින් සැමියාට අනුකම්පා කරයි. හොඳින් කටයුතු පිළියෙල කරයි. පිරිවර ජනයාට හොඳින් සංග්‍රහකරයි පරපුරුෂයන් සේවනය නොකරයි. ස්වාමියා රැස්කළ වස්තුව ආරක්ෂාකරයි. සියලු කටයුතුවල දක්ෂවූවා අලස නොවෙයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් ස්වාමියා විසින් උපස්ථාන කරනලද බස්නාහිර දිසාවවූ භාර්‍ය්‍යා තොමෝ මේ කරුණු පසින් ස්වාමියාට අනුකම්පා කරයි. මෙසේ මොහු විසින් මේ බස්නාහිර දිසාව වසන ලද්දී නිර්භයවූවා වේ.
Msdiv 270 “ගෘහපති පුත්‍රය, කරුණු පසකින් වනාහි කුල පුත්‍රයා විසින් උතුරු දිශාවවූ මිතුරු ජනයෝ උපස්ථාන කටයුත්තාහුය. දීමෙන්ද, ප්‍රිය වචනයෙන්ද, හිතවැඩ සැලසීමෙන්ද, සමානාත්මතාවයෙන්ද (තමන් හා සමාන කොට සැලකීමෙන්ද) නොරැවටීමෙන්ද (යන මෙයිනි.) ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් වනාහි කුල පුත්‍රයා (යහපත් ගිහියා) විසින් උපස්ථාන කරනලද, උතුරු දිශාවවූ මිතුරු ජනයෝ මේ කරුණු පසකින් කුලපුත්‍රයාට අනුකම්පා කරත්. ප්‍රමාදවූවහු රකිත්. ප්‍රමාදවූ කුලපුත්‍රයාගේ (යහපත් ගිහියාගේ) වස්තුව රකිත්. භයවූවහුට පිහිට වෙත්. විපත් පැමිණිකල්හි අත් නොහරිත්. ඒ කුලපුත්‍රයාගේ අනික් පිරිසටද සැලකිලි කරත්. ගෘහපති පුත්‍රය, කුලපුත්‍රයා විසින් මේ කරුණු පසින් උපස්ථාන කරනලද උතුරු දිශාවවූ මිතුරු ජනයෝ මේ කරුණු පසින් කුලපුත්‍රයාට අනුකම්පා කරත්. මෙසේ ඔහු විසින් මේ උතුරු දිශාව වසන (රකින) ලද්දී, භය රහිත කරන ලද්දේ වේ.
Msdiv 271 “ගෘහපති පුත්‍රය, කරුණු පසකින් ස්වාමියා විසින් යටදිශාවවූ දාසි දාස කම්කරු ජනයෝ උපස්ථාන කටයුත්තාහුය. ශක්තිවූ පරිද්දෙන් කටයුතු නියමකිරීමෙන්ද, බත් වැටුප් දීමෙන්ද, ගිලන්වූකල උපස්ථාන කිරීමෙන්ද, අමුතු රසවත් ආහාර බෙදා දීමෙන්ද, සුදුසු කල දියයුතු දේ දීමෙන්ද (යන මෙයිනි) ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් වනාහි ස්වාමියා විසින් උපස්ථාන කරන ලද්දාවූ යට දිශාවවූ දාසි දාස කම්කරුවෝ කරුණු පසකින් ස්වාමියාට අනුකම්පා කරත්. පළමු කොට නැගී සිටින්නාහුද වෙත්. පසුව නිදන්නාහුද වෙත්. දුන් දෙය පමණක් ගන්නාහුද වෙත්. හොඳින් කර්මාන්ත කරත්. ගුණ කීර්තිය පතළකර හරින්නාහුද වෙත්. ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් වනාහි ස්වාමියා විසින් උපස්ථාන කරනලද යට දිසාවවූ දාසි දාස කම්කරුවෝ මේ කරුණු පසින් ස්වාමියාට අනුකම්පා කරත්. මෙසේ මොහු විසින් මේ යට දිසාව වසන (රකින) ලද්දී භය රහිත කරනලද්දී වේ.
Msdiv 272 “ගෘහපති පුත්‍රය, කරුණු පසකින් වනාහි කුලපුත්‍රයා විසින් උඩ දිශාවවූ මහණ බමුණෝ උපස්ථාන කටයුත්තාහු වෙත්. මෛත්‍රීසහගතවූ කයින් කරන කර්මයෙන්ද, මෛත්‍රී සහගතවූ වචනයෙන් කරන කර්මයෙන්ද, මෛත්‍රීසහගතවූ හිතින් කරන කර්මයෙන්ද, (හෙවත් මෙත් සිත් පෙරටු සිතිවිලිවලින්ද,) නොවසන ලද දොරටු ඇති බැවින්ද, ආහාර පානාදිය දීමෙන්ද, (යන මෙයිනි.) ගෘහපතිපුත්‍රය, මේ කරුණු පසින් වනාහි කුලපුත්‍රයා විසින් උපස්ථාන කරන ලද උඩ දිශාවවූ මහණ බමුණෝ කරුණු සයකින් කුලපුත්‍රයාට අනුකම්පා කරත්. පව්කම්වලින් වළක්වත්. සුචරිතයෙහි යොදවත්, යහපත් සිතින් අනුකම්පා කරත්. නොඇසූ ධර්මය අසවත්, ඇසූ ධර්මය පිරිසිදු කරත්. දෙව්ලොවට යන මග කියා දෙත්. ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් කුලපුත්‍රයා විසින් උපස්ථාන කරන ලද උඩ දිශාවවූ මහණ බමුණෝ මේ කරුණු පසින් කුලපුත්‍රයාට අනුකම්පා කරත්. මෙසේ මොහු විසින් උඩ දිශාව වසන (රකින) ලද්දී නිර්භය කරන ලද්දී වේය”යි. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළාහුය.
Msdiv 273 ශාස්තෘවූ සුගතයන් වහන්සේ මෙය දෙශනාකර වදාරා නැවත මෙසේ දෙශනා කළාහුය.
[1] “මව්පියෝ නැගෙනහිර දිශාවය, ගුරුවරු දකුණු දිශාවය, අඹුදරුවෝ බස්නාහිර දිශාවය, මිතුරු ජනයෝ උතුරු දිසාවය.
[2] “දැසි දස් කම්කරුවෝ යට දිශාවය, මහණ බමුණෝ උඩ දිශාවය, මේ දිසාවන්ට නමස්කාර කරන්නේ නම්, ඒ ගෘහස්ථයා කුලයෙහි (ගිහිගෙයි) විසීමට සමර්ථ වන්නේය.
[3] “නුවණැත්තාවූ සීලයෙන් යුක්තවූ මොලොක් ගති ඇති, වැටහෙන නුවණින් යුත් යටහත් පැවතුම් ඇති තදගති නැත්තාවූ එබඳු තැනැත්තේ සැප ලබන්නේය.
[4] “නොපසුබට වීර්යය ඇති අලස නොවූ තැනැත්තේ විපත්වලදී කම්පා නොවේද, සිදුරු නොවූ (කැලැල් රහිත) පැවතුම් ඇති නුවණ ඇත්තාවූ එබඳු තැනැත්තේ සැප ලබන්නේය.
[5] “සංග්‍රහ කරන්නාවූ මිත්‍රයන් ඇතිකරන්නාවූ (මිත්‍රයන්ගේ) වචන දන්නාවූ මසුරුමල දුරුකළාවූ, (හිත වැඩට) පමුණුවන්නාවූ විශෙෂයෙන් හික්මවන්නාවූ නැවත නැවත හික්මවන්නාවූ එබඳු තැනැත්තේ යසස් ලබන්නේය.”
[6] “දීමද, ප්‍රිය වචන කීමද, අනුන්ට වැඩ පිණිස හැසිරීමද, තමන්සේ අනුන් සැළකීමද, යන මේ ලොකයෙහි ධර්මයන්හි සුදුසු පරිද්දෙන් ඒ ඒ තන්හි පිළිපැදීම යන යමක් වෙයිද
[7] “ලොකයෙහි මේ සංග්‍රහයෝ ගමන්කරන්නාවූ රථයාගේ කඩඇනය මෙනි. මේ සතර සංග්‍රහ වස්තු නොවනාහු නම්, මව දරුවන් කරණ කොට බුහුමනක් හෝ පිදීමක් හෝ නොලබන්නේය. පියාද දරුවන් කරණ කොට (එය) නොලබන්නේය.
[8] “යම් හේතුවකින් නුවණැත්තෝ මේ සතර සංග්‍රහ වස්තූන් හොඳාකාර සලකා බලත්ද, එහෙයින් ඔව්හු මහත් බවට පැමිණෙත්. පැසසිය යුත්තෝද වෙත්.”
Msdiv 274 මෙසේ වදාළ කල්හි සිගාලක නම් ගෘහපති පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීන් වහන්ස ඉතා යහපත, ස්වාමීන් වහන්ස (මේ ධර්මය) ඉතා යහපත, ස්වාමීන් වහන්ස, යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ යම්සේද, වසා තබන ලද්දක් වැසුම් හැර දක්වන්නේ හෝ යම්සේද, මං මුළාවූවෙකුට මග කියන්නේ හෝ යම්සේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි, කළුවරෙහි තෙල්පහනක් දරන්නේ හෝ යම්සේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්ම දේශනා කරන ලද්දේය. ස්වාමීන් වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද, සරණ යමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් ජීවිතාන්තය දක්වා සරණ ගිය උපාසකයෙකැයි පිළිගන්නා සේක්වා”යි කීයේය.
තිස් එක් වැනිවූ සිගාලක සූත්‍රය නිමි.
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source