LibraryDNDN 32
DN 3216 min read

The Āṭānāṭiya Protection

Āṭānāṭiyasutta

20
PDFGenerated
01 · Overview

Mighty spirits hold a congregation, and warn the Buddha that, since not all spirits are friendly, the mendicants should learn verses of protection.

02 · Reading guide

Read the full discourse slowly and reflect on key passages.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

දීඝ නිකාය පාඨික වර්ගය 32. ආටානාටිය සූත්‍රය ප්‍රථම බණවර Msdiv 275 මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ ගිජ්ජකූට පර්වතයෙහි වැඩ වාසය කරති. එකල්හි සතර වරම් මහ රජදරුවෝ මහත්වූ යක්ෂ සේනාවෙන්ද, මහත්වූ ගාන්ධර්ව සේනාවෙන්ද, මහත්වූ කුම්භණ්ඩ සේනාවෙන්ද, මහත්වූ නාගසේනාවෙන්ද, සතර දිසාවෙහි ආරක්ෂා පිහිටුවා, සතර දිසාවෙහි බල සෙනග පිහිටුවා, සතර දිසාවෙහි රැකවල් ලවා, රාත්‍රියේ ප්‍රථම භාගය ඉක්ම ගිය කල්හි, (තමන්ගේ) ශරීර ආලොකයෙන් හාත්පස ගිජ්ජකූට පර්වතය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතන්හි පැමිණියා හුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳාකාර වැඳ එක පැත්තකින් හුන්නාහුය. ඒ යක්ෂයෝද සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූවාහුය. සතුටු විය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් මුදුන්දී වැඳ එක පැත්තකටවී හුන්නාහුය. සමහර කෙනෙක් නාම ගොත්‍රය කියා එක පැත්තක හුන්නාහුය.

Msdiv 276 එකපැත්තක හුන්නාවූ වෛශ්‍රවණ නම්වූ මහරජ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීයේය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටුවූ උසස් (බලවත්) යක්ෂයෝද ඇත්තාහුය, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට සතුටුවූ උසස් (බලවත්) යක්ෂයෝද ඇත්තාහුමය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටුවූ මද්ධ්‍යම ආනුභාව ඇති යක්ෂයෝත් ඇත්තාහුමය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට සතුටුවූ මද්ධ්‍යම ආනුභාව ඇත්තාවූ යක්ෂයෝත් ඇත්තාහුමය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටුවූ පහත්වූ යක්ෂයෝත් ඇත්තාහුමය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට සතුටුවූ පහත් යක්ෂයෝත් ඇත්තාහුමය. ස්වාමීනි, බොහෝ සෙයින් යක්ෂයෝ භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූවාහුමය. එයට හෙතු කවරේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි සතුන් මැරීමෙන් වැළකීම පිණිස ධර්මය දෙශනා කරන්නාහ. සොරකම් කිරීමෙන් වැළකීම පිණිස ධර්මය දෙශනා කරන්නාහ. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම පිණිස ධර්මය දෙශනා කරන්නාහ. බොරු කීමෙන් වැළකීම පිණිස ධර්මය දෙශනා කරන්නාහ. මත් බවට හා ප්‍රමාදයට කාරණාවූ සුරාපානයෙන් වැළකීම පිණිස ධර්මය දෙශනා කරන්නාහ. ස්වාමීනි, බොහෝ සෙයින් යක්ෂයෝ සතුන් මැරීමෙන් නොවැළක්කාහුමය. සොරකම් කිරීමෙන් නොවැළක්කාහුමය. කාමයන්හි වරදවා හැසිරීමෙන් නොවැළක්කාහුමය. බොරු කීමෙන් නොවැලක්කාහුමය. මත්බවට ප්‍රමාදයට කාරණාවූ සුරාපානයෙන් නොවැළැක්කාහුමය. ඒ යක්ෂයන්ට ඒ ධර්මදෙශනාව අප්‍රිය වේ. හිත් සතුටු වන්නේ නොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කැලෑවෙහි වූද ගම් සීමාව ඉක්මවූ වන සේනාසනවූද (කැලෑවෙහි) ඉතා දුරවූද නිශ්ශබ්ද වූද කලබල නැත්තාවූද මිනිසුන්ගෙන් තොරවූ සුලඟ ඇත්තාවූද මනුෂ්‍යයන්ගේ රහස් කටයුතුවලට යොග්‍යවූද, හිත එකඟකර ගැනීමට සුදුසුවූද, සේනාසනයන් (වසනතැන්) සේවනය කරති.

ඒ තන්හි නිතර වාසය කරන්නාවූ මහා බලසම්පන්නවූ යක්ෂයෝ ඇත්තාහුය. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවෙහි නොසතුටු වන්නාහුද ඔවුන්ගේ සතුට පිණිස ස්වාමීනි, භික්ෂුන්ගේද භික්ෂුණීන්ගේද උපාසකවරුන්ගේද උපාසිකාවන්ගේද පාලනය පිණිසද ආරක්ෂාව පිණිසද, වෙහෙස නොවන පිණිසද, පහසු හැසිරීම පිණිසද භාග්‍යවතුන් වහන්සේ (ආටානාට නම් නගරයෙහි බඳින ලද හෙයින්) මේ ආටානාටිය (නම්වූ) පිරිත පිළි ගත මැනව”යි දැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව පිළි ගත්හ. එවිට වෙසවුණු මහ රජ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පිළි ගැණීම දැන ඒ වේලාවෙහි මේ ආටානාටිය පිරිත කීයේය.

Msdiv 277 “පසැස් ඇත්තාවූ සොභාමත්වූ විපස්සී නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා. සියලු සත්වයන් කෙරෙහි පතළ කරුණාවෙන් යුක්තවූ සිඛී නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.

“කෙලෙස් විනාස කළාවූ කෙලෙසුන් තවන වීර්යය ඇති වෙස්සභූ නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා. මාරයන් යටත් කළාවූ කකුසද නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.

“සියලු පව් අහක් කළාවූ වැස නිමවනලද බ්‍රහ්මචර්‍ය්‍යය ඇති, කොනාගමන නම් සර්වඥයන් වහන්සේට නමස්කාරවේවා

“සියලු කෙලෙසුන්ගෙන් මිදුනාවූ කාශ්‍යප නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.

“යම් තථාගතකෙනෙක් සියලු සංසාරදුක් දුරුකරන්නාවූ මේ ධර්මය දෙශනා කළාහුද ශ්‍රීමත්වූද ශාක්‍ය පුත්‍රවූ ඒ ගෞතම සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.

“ලොකයෙහි යම් රහත් කෙනෙක් පිරිනිවියාහුද තත්වූ පරිද්දෙන් දැක වදාළාහුද ඒ රහත්වූ පිසුණු (අර්ථ නැති වචන) නොකියන්නාහ. මහත් බවට පැමිණියාහ. භය නැති කළහ. (උන්වහන්සේලාට නමස්කාර වේවා.

“අෂ්ටවිද්‍යා පසළොස් චරණයන්ගෙන් (නුවණ අට සහ චරණ පසලොසින්) යුක්තවූ මහත් බවට පැමිණියාවූ භය නැති කළාවූ දෙවි මිනිසුන්ට හිතවූ යම් ගෞතම සර්වඥයන් වහන්සේ කෙනෙකුට නමස්කාර කෙරෙද්ද, උන්වහන්සේටද නමස්කාර වේවා.

Msdiv 278 “දිලිසෙන මහත් මණ්ඩල ඇති, සූර්‍ය්‍ය තෙම යම් තැනකින් උදාවේද, යමෙක් උදාවන කල්හි රාත්‍රියද අන්තර්ධාන වේද, යම් දිසාවකින් හිරු උදාවූ කල්හි දවස යයි කියනු ලැබේද, එහි ගැඹුරුවූ පැතුරුණාවූ ජලය ඇති සමුද්‍රයයි කියනලද දිය විලෙක්ද ඇත්තේය.

“ඒ ස්ථානයෙහි පැතුරුණාවූ ජලය ඇති ඒ දියවිල සමුද්‍රයයි, මෙසේ දනිත්. මේ නිසා ඒ දිසාවට නැගෙනහිර දිසාවයයි ජනයා කියන්නේය. යස පිරිවර ඇත්තාවූ ඒ මහරජ තෙම යම් දිසාවක් ආරක්ෂා කෙරේද,

“ගාන්ධර්වයන්ට අධිපතිවූ ඔහු ධ්‍රතරාෂ්ට්‍රය නම් වන්නේය. ඒ මහරජ තෙම ගාන්ධර්වයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම්වලින් සිත් අලවා වෙසෙයි.

“ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තාවූ අනූ එක් දෙනෙක් පමණවූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදී.

“ඔවුහුද මහත් බවට පැමිණියාවූ විශාරදවූ බුද්ධ නම්වූ (සූර්‍ය්‍ය වංශයෙහි උපන් හෙයින්) ආදිච්චබන්ධු නම් වූ සර්වඥයන්වහන්ස, ශ්‍රෙෂ්ඨ පුරුෂයන්වහන්ස, නුඹ වහන්සේට නමස්කාර වේවයි කියා දුරදීම නමස්කාර කරති.

“දක්ෂවූ සර්වඥතාඥානයෙන් මහජනයා බලන්නෙහි යයි කියා අමනුෂ්‍යයෝද නුඹවහන්සේට වඳිති. මේ වැඳීම අප විසින් නැවත නැවත අසනලදී. එහෙයින් මෙසේ කියම්හ.

“ගෞතම නම්වූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරවුදැයි’ (අප විසින් විචාරණ ලද යක්ෂයෝ) ගෞතම සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කියති.) විද්‍යාචරණ (නුවණ හා සීල සමාධි) ගුණයෙන් යුක්තවූ ගෞතම බුදුන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කීවාහුය.)

Msdiv 279 “යම් දිශාවකින් මළමිනි ගෙනයනු ලැබෙත්ද? පිසුණු (කේලාම්) කියන්නාවූ ඉදිරිපිට නැති තැන නින්දා කරන්නාවූ, ප්‍රාණඝාත කරන ගත ඇති රෞද්‍රවූ සොර සිත් ඇත්තාවූ වඤ්චාකාරීවූ ජනයෝ (යම් දිශා භාගයකින් ගෙනයනු ලැබෙතියි කියත්ද,

“යස පිරිවර ඇත්තාවූ ඒ මහ රජතෙම යම් දිශාවක් ආරක්ෂා කෙරේද, ජනතෙම ඒ දිශාවට දකුණු දිශාවයයි කියන්නේය. මෙයින් ඒ දිශාව දකුණු දිශා නම් වන්නීය.

“කුම්භාණ්ඩයන්ට අධිපතිවූ විරූඪය යන නම් ඇති ඒ රජතෙම කුම්භාණ්ඩයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි.

“ඒ රජහුගේ එක නම් ඇති බොහෝවූ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදී. මහත් බල ඇති ඉන්ද්‍ර නම් ඇත්තාවූ ඔව්හුද අනූඑක් දෙනෙක් වන්නාහ. ඒ පුත්‍රයෝද ආදිච්චබන්ධුවූ මහත් බවට පැමිණියාවූ පහවූ භය ඇති සර්වඥයන් වහන්සේ දැක දුරදීම පුරුෂ ශ්‍රෙෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා, පුරුෂ උත්තමයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවායි නමස්කාර කරති.

“සර්වඥතාඥානයෙන් ලොකය බලනසේක (එහෙයින්) අමනුෂ්‍යයෝද ඔබ වහන්සේට වඳිති. මේ වචනය අප විසින් නිතර අසන ලදී. එහෙයින් මෙසේ කියම්හ.

“ගෞතම නම්වූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරව්දැයි, (අසම්හ, එසේ අප විසින් අසන ලද යක්ෂයෝ) ගෞතම නම් බුදුන්ට නමස්කාර කරම්හ. විද්‍යාචරණ (නුවණ සහ සීල සමාධි) ගුණයෙන් යුක්තවූ ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයී,’ (කියති.)

Msdiv 280 “යම් දිශාවෙක්හි, දිලිසෙන මහත් මණ්ඩල ඇති සූර්‍ය්‍යයා බැසයයිද, සූර්‍ය්‍යයා බැස ගිය කල්හි දවල් කාලය නැති වේද”

“යම් සූර්‍ය්‍යයෙකු බැස ගිය කල්හි රාත්‍රියයි කියනු ලැබේද, ඒ සූර්‍ය්‍යයා බැස ගිය තන්හි (ඇත්තාවූ) ඒ විල ගැඹුරුවූ පැතුරුණාවූ ජලය ඇති සමුද්‍රය නම් වන්නේය.

“ඒ සූර්‍ය්‍යයා බැස ගිය තන්හි (ඇත්තාවූ) ඒ විල පැතුරුණාවූ ජලය ඇත්තාවූ සමුද්‍රයයි දනිති. මෙයින් ඒ දිශාව බස්නාහිර දිශාවයයි ජනතෙම මෙසේ කියන්නේය.

“යස පිරිවර ඇත්තාවූ යම් මහරජෙක් ඒ දිශාව ආරක්ෂා කෙරේද, නාගයන්ට අධිපතිවූ විරූපාක්ෂ නම්වූ ඒ වරම් රජ තෙම නාගයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම්වලින් සිත් අලවා වාසය කරයි.

“ඒ වරම්රජහුගේ එක නම ඇති බොහෝවූ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදී. මහත් බල ඇත්තාවූ ඉන්ද්‍ර නම් ඔවුහු අනු එක් දෙනෙක් වන්නාහ.

“ඔව්හුද සූර්‍ය්‍යවංශයට නෑවූ මහත් බවට පැමිණියාවූ පහවූ භය ඇති සර්වඥයන් වහන්සේ දැක දුරදීම පුරුෂ ශ්‍රෙෂ්ඨයන්වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා, පුරුෂොත්තමයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවායි නමස්කාර කරත්.

“දක්ෂවූ සර්වඥතාඥානයෙන් ජනයා බලන්නෙහියයි කියා අමනුෂ්‍යයෝද ඔබ වහන්සේට නමස්කාර කරති. මේ කාරණය අප විසින් නිතර අසනලදී. එහෙයින් මෙසේ කියම්හ.”

“(තොපි) ගෞතම නම්වූ සර්වඥයන්වහන්සේට නමස්කාර කරව්දැයි (අප විසින් අසනලද යක්ෂයෝ) ‘ගෞතම නම්වූ සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හ. ඒ විද්‍යාචරණ ගුණයෙන් යුක්තවූ ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයි’ කියති.

Msdiv 281 “යම් දිසාවෙක්හි රම්‍යවූ උතුරුකුරු දිවයින පිහිටියේද, දැකුම් කටයුතුවූ මහාමෙරු පර්වතය වන්නේද, ඒ උතුරුකුරු දිවයිනෙහි වස්ත්‍රාභරණාදිය මගේය මගේ යයි ගැනීමක් නැත්තාහු භාර්‍ය්‍යා පරිග්‍රහයක් (භාර්‍ය්‍යාවන් අයත්කර ගැන්මක්) නැත්තාවූ මනුෂ්‍යයෝ උපදිත්.

“ඒ මිනිස්සු වී නොවපුරන්නාහ. සීසෑම පිණිස නගුල් කෙතට නොගෙනියත්. ඒ මනුෂ්‍යයෝ නොසානා ලද භූමියෙහි හටගෙණ පැසුනාවූ ඇල්සාල් බත් අනුභව කරත්.

“කුඩු නැත්තාවූද පොතු නැත්තාවූද පිරිසිදුවූ සුවඳ ඇති සහල් ඵල කොට ඇති හැල් රන්සැළියෙහි ලා (ජොති පාසාණ නම් ගල් උණුසුමෙන්) පිස ඒ සැලියෙන් ගත් කෑම කති.

“ඔව්හු ගවදෙනකු එක් කුර ඇති වාහනයක් කොට දිසානුදිසාවන්හි සංචාරය කරති. සිව්පා සතෙකු එක් කුර ඇති වාහනයක් කොට දිසානුදිසාවන්හි සංචාරය කරති.

“ස්ත්‍රියක් වාහනය කොට දිසානුදිසාවන්හි සංචාරය කරති. පුරුෂයෙකු හෝ වාහනයකොට දිසානුදිසා වන්හි හැසිරෙත්.

“තරුණියක් වාහනය කොට දිසානුදිසාවන්හි සංචාරය කරති. තරුණයෙක් වාහනය කොට දිසානුදිසාවන්හි සංචාරය කරති.

“ඒ රජහුගේ පිරිවරවූ ඔවුහු වාහනවල නැග සියලු දිසා වටකොට අවිදිති. යස පිරිවර ඇත්තාවූ වෙසවුණු මහ රජහට ඇත් යානද, අස්ව යානද, දිව්‍ය යානද, ප්‍රාසාදද, සිවිගෙවල්ද, උඩුමහල් ගෙවල්ද රන්සිවි ගෙවල්ද වන්නාහ.

“ඒ රජහට අහස්හි (උස් ස්ථානවල හෝ උසට) මවන ලද ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපුරිය, පරකුසිතනාට යන නගරයෝ වූවාහුය.

උතුරු දිශාවෙන් කපීවන්ත නම් නුවරෙක, ඊට බස්නාහිර දිසාවෙහි ජනොඝය, නවනවුතියය, අම්බර අම්බරවතියය, යන නගර හා ආළකමන්දා නම් රාජධානියද වන්නාහුය. “නිදුකාණන් වහන්ස, කුවෙර නම් මහ රජහුගේ විසාණා නම් රාජධානියක්ද ඇත්තීය. ඒ කාරණයෙන් කුවෙර නම් මහ රජතෙම වෛශ්‍රවණයයි කියනු ලැබේ.

“වෙන වෙනම කරුණු පරීක්ෂාකර කියන්නාවූ තතොලාය, තත්තලාය, තතොතලාය, ඔජසිය, තෙජසිය, තතොජසිය, සුරය, රාජය, අරිෂ්ටය, නෙමිය යන යක්ෂයෝ දොළොස් දෙනෙක් වෙති.

“යමකින් ජලය ගෙණ වර්ෂාව වසීද, වර්ෂාව යමකින් පැතිරේද, ඒ රාජධානියෙහිවූ විලද ධරණී නම් වන්නීය. ඒ විල අද්දර යක්ෂයෝ නිතර රැස් වන භගලවතී නම් සභා ශාලාවද වන්නීය.

ඒ ශාලාව වටේට නිතර ගෙඩි ඇත්තාවූද නොයෙක් කුරුළු සමූහයාගෙන් ගැවසුණාවූද මොනරුන් කොස්වා ලිහිනින් හා කෝකිල ආදී පක්ෂීන් විසින්ද පවත්වන ලද සිත් පිනවන නාද ඇති වෘක්ෂයෝ ඇත්තාහ.

“තවද පොකුණෙහි නාද කරන ජීවඤ්ජීවක නම් කුරුල්ලෝද උට්ඨවචිත්තක නම් කුරුල්ලෝද වන කුකුලෝද පියුම්වනයෙහි රන්වන් කකුළුවෝද, තල් රෙහෙරුද, හැසිරෙන්නාහ.

“මේ පොකුණෙහි ගිරා සැළලිහිණින්ගේ ශබ්ද ඇත්තේය. දණ්ඩ මාණවක නම් පක්ෂීහුද හැසිරෙන්නාහ. ඒ කුවෙර නම් මහ රජහුගේ පොකුණ හැම කල්හි එකම ආකාරයෙන් බබලන්නීය.

“යස පිරිවර ඇත්තාවූ ඒ මහ රජතෙම යම් දිසාවක් ආරක්ෂා කෙරේද ඒ දිසාව උතුරු දිසාවයයි මෙසේ ජනතෙම ඒ දිසාවට කියන්නේය.

“යක්ෂයන්ට අධිපතිවූ කුවෙර යන නමක් ඇත්තාවූ ඒ වරම් රජතෙම යක්ෂ සේනාවන් විසින් පිරිවරනලද්දේ නැටුම් ගී කීම්වලින් සිත් අලවා වාසය කරන්නේය.

“ඒ රජහුගේ බොහෝ පුත්‍රයෝද, සමාන නම් ඇත්තාහයි, මා විසින් අසන ලදී. මහත්වූ බල ඇති ඉන්ද්‍ර නම්වූ ඔව්හු අනූඑක් දෙනෙක් වෙති.

“ඔව්හුද ප්‍රබුද්ධවූ ආදිත්‍ය බන්ධුවූ මහත්බවට පැමිණියාවූ පහවූ භය ඇති සර්වඥයන්වහන්සේ දුරදීම දැක පුරුෂ ශ්‍රෙෂ්ඨයන් වහන්ස, නුඹවහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමයන් වහන්ස, නුඹවහන්සේට නමස්කාර වේවායි නමස්කාර කරත්.

“දක්ෂවූ සර්වඥතා ඥානයෙන් ජනයා බලන්නෙහියයි අමනුෂ්‍යයෝද නුඹ වහන්සේට වඳිති. මේ කාරණය අප විසින් නිතර අසනලදී. එහෙයින් මෙසේ කියම්හ.

“ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරව්දැයි (අසන ලද්දාවූ ඔව්හු) ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරම්හ. විද්‍යාචරණ ගුණයෙන් යුක්තවූ ගෞතම සර්වඥයන් වහන්සේට නමස්කාර කරම්හයි කියති.”

නිදුකාණන්වහන්ස, ඒ මේ ආටානාටිය පිරිත වනාහි භික්ෂූන්ටද, භික්ෂුණීන්ටද, උපාසකවරුන්ටද, උපාසිකාවරුන්ටද, ආරක්ෂාව පිණිසද සැපසේ විසීම පිණිසද නොවෙහෙසීම පිණිසද වන්නීය.

Msdiv 282 නිදුකාණන්වහන්ස, යම් කිසි භික්ෂුවක් විසින් හෝ භික්ෂුණියක් විසින් හෝ උපාසකයෙකු විසින් හෝ උපාසිකාවක් විසින් හෝ මේ ආටානාටිය නම් ආරක්ෂාව යහපත්ව ඉගෙන දැනගන්නා ලද්දීද, අක්ෂර පද නොපිරිහෙලා සම්පූර්ණකොට ඉගෙන ගන්නා ලද්දීද, ඉදින් යම් අමනුෂ්‍යවූ යක්ෂයෙක් හෝ යක්ෂණියක් හෝ යක්ෂපොතකයෙක් හෝ යක්ෂ පොතිකාවක් හෝ යක්ෂ මහා මාත්‍යයෙක් හෝ යක්ෂ පිරිසෙහි වූවෙක් හෝ යක්ෂ වැඩකරුවෙක් හෝ ගාන්ධර්වයෙක් හෝ ගාන්ධර්ව ස්ත්‍රියක් හෝ ගාන්ධර්ව පොතකයෙක් හෝ ගාන්ධර්ව පොතිකාවක් හෝ ගාන්ධර්ව මහාමාත්‍යයෙක් හෝ ගාන්ධර්ව පිරිසෙහි වූවෙක් හෝ ගාන්ධර්ව වැඩකරුවෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියක් හෝ කුම්භාණ්ඩ පොතකයෙක් හෝ කුම්භාණ්ඩ පෝතිකාවක් හෝ කුම්භාණ්ඩ මහාමාත්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පිරිසෙහි වූවෙක් හෝ කුම්භාණ්ඩ වැඩකාරයෙක් හෝ නාගයෙක් හෝ නාගිනියක් හෝ නාග පොතකයෙක් හෝ නාග පොතිකාවක් හෝ නාග මහාමාත්‍යයෙක් හෝ නාග පිරිසෙහි වූවෙක් හෝ නාග මෙහෙකරුවෙක් හෝ නපුරු සිත් ඇතිව, භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයකු හෝ උපාසිකාවක් හෝ යන්නහු පසුපස්සේ යන්නේ හෝ වේද සිටියහු ළඟ සිටින්නේ හෝ වේද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේද, නිදාගන්නහු ළඟ නිදා ගන්නේ හෝ වේද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ ගම්වල හෝ නියම් ගම්වල හෝ සත්කාරයක් හෝ ගරු කිරීමක් හෝ නොලබන්නේය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ ආළකමන්දා නම්වූ රාජධානියෙහි වාසය කිරීමට තැනක් හෝ ස්ථිර වාසයක් හෝ නොලබන්නේය. නිදුකාණන්වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ යක්ෂයන්ගේ සමාගමට යන්ටද නොලබන්නේය. නිදුකාණන්වහන්ස, තවද ඔහු අමනුෂ්‍යයෝ ආවාහ විවාහයන්ට නුසුදුස්සකුද කරන්නාහුය. නිදුකාණන්වහන්ස, තවද ඔහුට අමනුෂ්‍යයෝ ඔහුගේ ආත්මභාවය දක්වා සම්පූර්ණ පද ශබ්ද ඇති අපහාස වචනවලින් නින්දා කරන්නාහුය. නිදුකාණන්වහන්ස, තවද ඔහුගේ හිසෙහි අමනුෂ්‍යයෝ හිස්වූ ලොහ පාත්‍රයක්ද මුනින් තමන්නාහුය. නිදුකාණන්වහන්ස, තවද ඔහුගේ හිසද සත් කඩක් කොට පලන්නාහුය.

නිදුකාණන්වහන්ස. රෞද්‍රවූ නපුරු ගති ඇති එකට එක කරන්නාවූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් රජදරුවන්ගේ (වචනය) නොඅදහත්. සතරවරම් මහරජදරුවන්ගේ අමාත්‍යයන්ගේ වචනය නොපිළිගනිති. යක් සෙනෙවියන් වෙනුවට සිටින්නන්ගේ වචනය නොපිළිගනිති. නිදුකාණන්වහන්ස, ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහ රජදරුවන්ට අකීකරු වූයෝයයි කියනු ලැබෙත්. යම්සේ මගධරටට අධිපතිවූ රජහුගේ රටෙහි සොරු වෙත්ද, ඒ සොරු මගධ රටට අධිපතිවූ රජහුගේ වචනය නොපිළිගනිති. මගධ රජහුගේ අමාත්‍යයන්ගේ වචනය නොපිළිගනිති. මගධ රජහුගේ අමාත්‍යයන් වෙනුවට සිටින පුරුෂයන්ගේ වචනය නොපිළිගනිති. නිදුකාණන්වහන්ස, ඒ මහසොරහු වනාහි මගධ රජහට අකීකරු වූවෝ නම් වෙත්යයි කියනු ලැබෙත්.

නිදුකාණන්වහන්ස, එපරිද්දෙන්ම නපුරු ගති ඇති රෞද්‍රවූ එකට එක කරන්නාවූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතර වරම් මහ රජදරුවන්ගේ වචනය නොපිළිගනිත්. වරම් මහ රජදරුවන්ගේ සෙනෙවියන්ගේ වචනය නොපිළිගනිති. වරම් රජදරුවන්ගේ සෙනෙවියන් වෙනුවට සිටින පුරුෂයන්ගේ වචනය නොපිළිගනිත්. නිදුකාණන්වහන්ස, ඒ මේ අමනුෂ්‍යයෝ වරම් රජදරුවන්ට අකීකරු වූවෝයයි කියනුලැබෙත්. නිදුකාණන් වහන්ස, යම් කිසි අමනුෂ්‍ය යක්ෂයෙක් හෝ යක්ෂනියක් හෝ යක්ෂ පොතකයෙක් හෝ යක්ෂ පොතිකාවක් හෝ යක්ෂ මහාමාත්‍යයෙක් හෝ යක්ෂ පිරිසෙහි වූවෙක් හෝ යක්ෂ වැඩ කාරයෙක් හෝ ගන්ධර්වයෙක් හෝ ගන්ධර්ව ස්ත්‍රියක් හෝ ගන්ධර්වපොතකයෙක් හෝ ගන්ධර්ව පොතිකාවක් හෝ ගන්ධර්ව මහාමාත්‍යයෙක් හෝ ගන්ධර්ව පිරිසෙහි වූවෙක් හෝ ගන්ධර්ව වැඩකරුවෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියක් හෝ කුම්භාණ්ඩ පොතකයෙක් හෝ කුම්භාණ්ඩ පොතිකාවක් හෝ කුම්භාණ්ඩ මහාමාත්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පිරිසෙහි වූවෙක් හෝ කුම්භාණ්ඩ වැඩකරුවෙක් හෝ නාගයෙක් හෝ නාගිනියක් හෝ නාග පොතකයෙක් හෝ නාග පොතිකාවක් හෝ නාගමහමාත්‍යයෙක් හෝ නාග පිරිසෙහි වූවෙක් හෝ නාග මෙහෙකරුවෙක් හෝ නපුරු සිතින්, භික්ෂුවක් හෝ භික්ෂුනියක් හෝ උපාසකයෙකු හෝ උපාසිකාවක් හෝ යන්නහු සමග (පසු පස්සේ) යන්නේ හෝ වේද සිටියහු ළඟ සිටින්නේ හෝ වේද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේද, නිදාගන්නහු ළඟ නිදාගන්නේ හෝ වේද, මේ යක්ෂ තෙම අල්වන්නේය. මේ යක්ෂ තෙම ආවෙශ වන්නේය. මේ යක්ෂ තෙම පීඩා කරන්නේය. මේ යක්ෂ තෙම විශෙෂයෙන් පීඩා කරන්නේය, මේ යක්ෂ තෙම හිංසා කරන්නේය, මේ යක්ෂ තෙම විශෙෂයෙන් හිංසා කරන්නේය, කියා ප්‍රධාන යක්ෂවූ යක්ෂ සේනාවට අධිපතිවූ එහෙයින්ම මහා සේනාපතිවූ මේ යක්ෂයන්ට යක්ෂ තෙම නොහරනේ යයි ඝෝෂා කොට දැන්විය යුතුයි. ශබ්ද නගා කිය යුතුයි. මුරගා කිය යුතුයි.

Msdiv 283 කවර යක්ෂ කෙනෙකුන්ට, කවර මහා යක්ෂ කෙනෙකුන්ට, කවර සෙනෙවිරත් කෙනෙකුන්ට, කවර මහ සෙනෙවිරත් කෙනෙකුන්ටද යත්?

“ඉන්ද්‍රය, සොමය, වරුණය, භාරද්වාජය, ප්‍රජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කිණ්ණුඝණ්ඩුය, නිඝණ්ඩුය”

“පණාදය, ඔපමඤ්ඤය, දෙවසූතය, මාතලීය, චිත්‍රසෙනය, ගන්ධර්වය, නළය, රාජය, ජනෙසභය. සාතාගිරය, හෙමවතය, පුණ්ණකය, කර්තියය, ගුලය, සීවකය, මුචලින්දය, විශ්වාමිත්‍රය, යුගන්ධරය”

“ගොපාලය, සුප්පගෙධය, හිරිය, නෙත්තිය, මන්දිය, පඤ්චාලචණ්ඩය, ආලවකය, පජ්ජුන්නය, සුමනය, සුමුඛය, දධීමුඛය, මනිමානීචරය, දීඝය (යන යක්ෂ සෙනාධිපතීහුද) තවද, මොවුන් හා එක්වූ සෙරිස්සක නම් යක්ෂයෙක්ද, ඇත්තේය.”

මේ යක්ෂ තෙම අල්වාගන්නේය. මේ යක්ෂ තෙම ආවෙශ වන්නේය. මේ යක්ෂ තෙම පීඩා කරන්නේය. මේ යක්ෂ තෙම විශෙෂයෙන් පීඩා කරන්නේය. මේ යක්ෂ තෙම හිංසා කරන්නේය. මේ යක්ෂ තෙම අත්නොහරින්නේයයි කියා ප්‍රධාන යක්ෂවූ යක්ෂ සේනාපතිවූ මහා සේනාපතිවූ මේ යක්ෂයන්ට මෙපරිද්දෙන් දැන් විය යුත්තේය, ඝොෂා කොට කිය යුත්තේය, ශබ්ද නගා කියයුත්තේය. මුරගා කිය යුත්තේය.

නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය ආරක්ෂාව වනාහි භික්ෂූන්ගේද භික්ෂුනීන්ගේද උපාසකයන්ගේද උපාසිකාවන්ගේද ආරක්ෂාව පිණිසද, (යක්ෂොපද්‍රවවලින්) නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීම පිණිසද පවත්නේය.

නිදුකාණන් වහන්ස, අපි බොහෝ වැඩ කටයුතු ඇත්තම්හ එබැවින් දැන් අපි යම්හයි” භාග්‍යවතුන් වහන්සේට දැන්වූවාහුය.

“වරම් රජදරුවෙනි, තෙපි දැන් යම් ගමනක් සිතව්ද? එයට කාලය බව දනිව් යයි වදාළ සේක.

Msdiv 284 ඉක්බිත්තෙන් සතර වරම් මහරජ දරුවෝ උන් ආසනවලින් නැගිට භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට ප්‍රදක්ෂිණා කොට එතන්හිම අන්තර්ධාන වූවාහුය. (නොපෙනී ගියහ.)

ඒ (අනිකුත්) යක්ෂයෝද, උන් ආසනවලින් නැගිට සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට එතන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූවාහුය, සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ

කථා පවත්වා එතන්හිම නොපෙනී ගියාහුය ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ නමස්කාර කොට එහිම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් තමන්ගේ නාමගොත්‍ර කියා එතන්හිම අතුරුදහන් වූහ. සමහර කෙනෙක් තුෂ්ණීම්භූත වූවාහු (කිසිවක් නොකියාම) එතන්හිම නොපෙනී ගියාහුය.

පළමුවන බණවර නිමි.

දෙවන බණවර Msdiv 285 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්ෂූන්ට කථාකළහ. “මහණෙනි, මේ ඉකුත් රාත්‍රියෙහි සතර වරම් මහ රජදරුවෝ මහත්වූ යක්ෂ සේනාවෙන්ද, මහත්වූ ගාන්ධර්ව සේනාවෙන්ද, මහත්වූ කුම්භාණ්ඩ සේනාවෙන්ද, මහත්වූ නාග සේනාවෙන්ද, සතර දිසාවෙහි ආරක්ෂා පිහිටුවා, සතර දිසාවෙහි බලසෙනග පිහිටුවා, සතර දිසාවෙහි රැකවල් ලවා, රාත්‍රියේ ප්‍රථම භාගය ඉක්ම ගිය කල්හි, (තමන්ගේ) ශරීර ආලොකයෙන් හාත්පස ගිජ්ජකූට පර්වතය බබුළුවා මම යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ, මට හොඳාකාර වැඳ, එකපැත්තකින් හුන්නාහුය. ඒ යක්ෂයෝද සමහර කෙනෙක් මට වැඳ එකපැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් මා සමග සතුටු වූවාහුය, සතුටු විය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකපැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් මා දෙසට දොහොත් මුදුන්දී වැඳ එක පැත්තකටවී හුන්නාහුය. සමහර කෙනෙක් නාම ගොත්‍රය කියා එකපැත්තක හුන්නාහුය.

Msdiv 286 එකපැත්තක හුන්නාවූ වෛශ්‍රවණ නම්වූ මහරජ තෙම මට මේ කරුණ කීයේය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටුවූ උසස් (බලවත්) යක්ෂයෝද ඇත්තාහුය, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට සතුටුවූ උසස් (බලවත්) යක්ෂයෝද ඇත්තාහුමය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටුවූ මද්ධ්‍යම ආනුභාව ඇති යක්ෂයෝත් ඇත්තාහුමය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට සතුටුවූ මද්ධ්‍යම ආනුභාව ඇත්තාවූ යක්ෂයෝත් ඇත්තාහුමය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටුවූ පහත්වූ යක්ෂයෝත් ඇත්තාහුමය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට සතුටුවූ පහත් යක්ෂයෝත් ඇත්තාහුමය. ස්වාමීනි, බොහෝ සෙයින් යක්ෂයෝ භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූවාහුමය. එයට හෙතු කවරේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි සතුන් මැරීමෙන් වැළකීම පිණිස ධර්මය දෙශනා කරන්නාහ. සොරකම් කිරීමෙන් වැළකීම පිණිස ධර්මය දෙශනා කරන්නාහ. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම පිණිස ධර්මය දෙශනා කරන්නාහ. බොරු කීමෙන් වැළකීම පිණිස ධර්මය දෙශනා කරන්නාහ. මත් බවට හා ප්‍රමාදයට කාරණාවූ සුරාපානයෙන් වැළකීම පිණිස ධර්මය දෙශනා කරන්නාහ. ස්වාමීනි, බොහෝ සෙයින් යක්ෂයෝ සතුන් මැරීමෙන් නොවැළක්කාහුමය. සොරකම් කිරීමෙන් නොවැළක්කාහුමය. කාමයන්හි වරදවා හැසිරීමෙන් නොවැළක්කාහුමය. බොරු කීමෙන් නොවැලක්කාහුමය. මත්බවට ප්‍රමාදයට කාරණාවූ සුරාපානයෙන් නොවැළක්කාහුමය. ඒ යක්ෂයන්ට ඒ ධර්මදෙශනාව අප්‍රිය වේ. හිත් සතුටු වන්නේ නොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කැලෑවෙහි වූද, ගම් සීමාව ඉක්මවූ වන සේනාසනවූද (කැලෑවෙහි) ඉතා දුරවූද නිශ්ශබ්ද වූද කලබල නැත්තාවූද මිනිසුන්ගෙන් තොරවූ සුලඟ ඇත්තාවූද මනුෂ්‍යයන්ගේ රහස් කටයුතුවලට යොග්‍යවූද, හිත එකඟකර ගැනීමට සුදුසුවූද, සේනාසනයන් (වසනතැන්) සේවනය කරති.

ඒ තන්හි නිතර වාසය කරන්නාවූ මහා බලසම්පන්නවූ යක්ෂයෝ ඇත්තාහුය. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවෙහි නොසතුටු වන්නාහුද ඔවුන්ගේ සතුට පිණිස ස්වාමීනි, භික්ෂුන්ගේද භික්ෂුණීන්ගේද උපාසකවරුන්ගේද උපාසිකාවන්ගේද පාලනය පිණිසද ආරක්ෂාව පිණිසද, වෙහෙස නොවන පිණිසද, පහසු හැසිරීම පිණිසද භාග්‍යවතුන් වහන්සේ (ආටානාට නම් නගරයෙහි බඳින ලද හෙයින්) මේ ආටානාටිය (නම්වූ) පිරිත පිළි ගත මැනව”යි දැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව පිළිගත්හ. එවිට වෙසවුණු මහ රජ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පිළි ගැණීම දැන ඒ වේලාවෙහි මේ ආටානාටිය පිරිත කීයේය.

Msdiv 287 “පසැස් ඇත්තාවූ සොභාමත්වූ විපස්සී නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා. සියලු සත්වයන් කෙරෙහි පතළ කරුණාවෙන් යුක්තවූ සිඛී නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.

“කෙලෙස් විනාස කළාවූ කෙලෙසුන් තවන වීර්යය ඇති වෙස්සභූ නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා. මාරයන් යටත් කළාවූ කකුසඳ නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.

“සියලු පව් අහක් කළාවූ වැස නිමවනලද බ්‍රහ්මචර්‍ය්‍යය ඇති, කොනාගමන නම් සර්වඥයන් වහන්සේට නමස්කාරවේවා

“සියලු කෙලෙසුන්ගෙන් මිදුනාවූ කාශ්‍යප නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.

“යම් තථාගතකෙනෙක් සියලු සංසාරදුක් දුරුකරන්නාවූ මේ ධර්මය දෙශනා කළාහුද ශ්‍රීමත්වූ ශාක්‍ය පුත්‍රවූ ඒ ගෞතම සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.

“ලොකයෙහි යම් රහත් කෙනෙක් පිරිනිවියාහුද තත්වූ පරිද්දෙන් දැක වදාළහුද ඒ රහත්හු පිසුණු (අර්ථ නැති වචන) නොකියන්නාහ. මහත් බවට පැමිණියහ. භය නැති කළහ. (උන්වහන්සේලාට) නමස්කාර වේවා

“අෂ්ටවිද්‍යා පසළොස් චරණයන්ගෙන් (නුවණ අට සහ චරණ පසලොසින්) යුක්තවූ මහත් බවට පැමිණියාවූ භය නැති කළාවූ දෙවි මිනිසුන්ට හිතවූ යම් ගෞතම සර්වඥයන් වහන්සේ කෙනෙකුට නමස්කාර කෙරෙද්ද, උන්වහන්සේටද නමස්කාර වේවා.

Msdiv 288 “දිලිසෙන මහත් මණ්ඩල ඇති, සූර්‍ය්‍යතෙම යම් තැනකින් උදාවේද, යමෙක් උදාවන කල්හි රාත්‍රියද අන්තර්ධාන වේද, යම් දිසාවකින් හිරු උදාවූ කල්හි දවස යයි කියනු ලැබේද, එහි ගැඹුරුවූ පැතුරුණාවූ ජලය ඇති සමුද්‍රයයි කියනලද දිය විලෙක්ද ඇත්තේය.

“ඒ ස්ථානයෙහි පැතුරුණාවූ ජලය ඇති ඒ දියවිල ‘සමුද්‍රයයි, මෙසේ දනිත්. මේ නිසා ඒ දිසාවට නැගෙනහිර දිසාවයයි ජනයා කියන්නේය. යස පිරිවර ඇත්තාවූ ඒ මහරජ තෙම යම් දිසාවක් ආරක්ෂා කෙරේද,

“ගාන්ධර්වයන්ට අධිපතිවූ ඔහු ධ්‍රතරාෂ්ට්‍රය නම් වන්නේය. ඒ මහරජ තෙම ගාන්ධර්වයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම්වලින් සිත් අලවා වෙසෙයි.

“ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තාවූ අනූ එක් දෙනෙක් පමණවූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදී.

“ඔවුහුද මහත් බවට පැමිණියාවූ විශාරදවූ බුද්ධ නම්වූ (සූර්‍ය්‍ය වංශයෙහි උපන් හෙයින්) ආදිච්චබන්ධු නම් වූ සර්වඥයන්වහන්ස, ශ්‍රෙෂ්ඨ පුරුෂයන්වහන්ස, නුඹ වහන්සේට නමස්කාර වේවයි කියා දුරදීම නමස්කාර කරති.

“දක්ෂවූ සර්වඥතාඥානයෙන් මහජනයා බලන්නෙහි යයි කියා අමනුෂ්‍යයෝද නුඹවහන්සේට වඳිති. මේ වැඳීම අප විසින් නැවත නැවත අසනලදී. එහෙයින් මෙසේ කියම්හ.

“ගෞතම නම්වූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරවුදැයි’ (අප විසින් විචාරණ ලද යක්ෂයෝ) ගෞතම සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කියති.) විද්‍යාචරණ (නුවණ සහ සීල සමාධි) ගුණයෙන් යුක්තවූ ගෞතම බුදුන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කීවාහුය.)

Msdiv 289 “යම් දිසාවකින් මළමිනී ගෙනයනු ලැබෙත්ද? පිසුණු (කේලාම්) කියන්නාවූ ඉදිරිපිට නැති තැන නින්දා කරන්නාවූ, ප්‍රාණඝාත කරන ගති ඇති රෞද්‍රවූ සොර සිත් ඇත්තාවූ වඤ්චාකාරීවූ ජනයෝ (යම් දිශා භාගයකින්) ගෙනයනු ලැබෙතියි කියත්ද,

“යස පිරිවර ඇත්තාවූ ඒ මහ රජතෙම යම් දිසාවක් ආරක්ෂා කෙරේද, ජනතෙම ඒ දිසාවට දකුණු දිසාවයයි කියන්නේය. මෙයින් ඕ තොමෝ දකුණු දිසා නම් වන්නීය.

“කුම්භාණ්ඩයන්ට අධිපතිවූ විරූඪය යන නම් ඇති ඒ රජතෙම කුම්භාණ්ඩයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම්වලින් සිත් අලවා වාසය කරයි.

“ඒ රජහුගේ එක නම් ඇති බොහෝවූ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදී. මහත් බල ඇති ඉන්ද්‍ර නම් ඇත්තාවූ ඔව්හුද අනූඑක් දෙනෙක් වන්නාහ. ඒ පුත්‍රයෝද ආදිච්චබන්ධුවූ මහත් බවට පැමිණියාවූ පහවූ භය ඇති සර්වඥයන් වහන්සේ දැක දුරදීම පුරුෂ ශ්‍රෙෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා, පුරුෂ උත්තමයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවායි නමස්කාර කරති.

“සර්වඥතාඥානයෙන් ලොකය බලනසේක (එහෙයින්) අමනුෂ්‍යයෝද ඔබ වහන්සේට වඳිති. මේ වචනය අප විසින් නිතර අසන ලදී. එහෙයින් මෙසේ කියම්හ.

“ගෞතම නම්වූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරව්දැයි, (අසම්හ, එසේ අප විසින් අසන ලද යක්ෂයෝ) ගෞතම නම් බුදුන්ට නමස්කාර කරම්හ. විද්‍යාචරණ (නුවණ සහ සීල සමාධි) ගුණයෙන් යුක්තවූ ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කියති.)

Msdiv 290 “යම් දිශාවෙක්හි, දිලිසෙන මහත් මණ්ඩල ඇති සූර්‍ය්‍යයා බැසයයිද, සූර්‍ය්‍යයා බැස ගිය කල්හි දවල් කාලය නැති වේද

“යම් සූර්‍ය්‍යයෙකු බැස ගිය කල්හි රාත්‍රියයි කියනු ලැබේද, ඒ සූර්‍ය්‍යයා බැස ගිය තන්හි (ඇත්තාවූ) ඒ විල ගැඹුරුවූ පැතුරුණාවූ ජලය ඇති සමුද්‍රය නම් වන්නේය.

“ඒ සූර්‍ය්‍යයා බැස ගිය තන්හි (ඇත්තාවූ) ඒ විල පැතුරුණාවූ ජලය ඇත්තාවූ සමුද්‍රයයි දනිති. මෙයින් ඒ දිශාව බස්නාහිර දිශාවයයි ජනතෙම මෙසේ කියන්නේය.

“යස පිරිවර ඇත්තාවූ යම් මහරජෙක් ඒ දිශාව ආරක්ෂා කෙරේද, නාගයන්ට අධිපතිවූ විරූපාක්ෂ නම්වූ ඒ වරම් රජ තෙම නාගයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම්වලින් සිත් අලවා වාසය කරයි.

“ඒ වරම් රජහුගේ එක නම් ඇති බොහෝවූ පුත්‍රයෝද ඇත්තාහයි, මා විසින් අසන ලදී. මහත් බල ඇත්තාවූ ඉන්ද්‍ර නම් ඔවුහු අනූ එක් දෙනෙක් වන්නාහ.

“ඔව්හුද සූර්‍ය්‍ය වංශයට නෑවූ මහත් බවට පැමිණියාවූ පහවූ භය ඇති සර්වඥයන් වහන්සේ දැක දුරදීම පුරුෂ ශ්‍රෙෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා, පුරුෂොත්තමයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවායි නමස්කාර කරත්.

“දක්ෂවූ සර්වඥතාඥානයෙන් ජනයා බලන්නෙහියයි කියා අමනුෂ්‍යයෝද ඔබවහන්සේට නමස්කාර කරති. මේ කාරණය අප විසින් නිතර අසනලදී. එහෙයින් මෙසේ කියම්හ.

“(තොපි) ගෞතම නම්වූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරව්දැයි (අප විසින් අසනලද යක්ෂයෝ) ‘ගෞතම’ නම්වූ සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හ. ඒ විද්‍යාචරණ ගුණයෙන් යුක්තවූ ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ සර්වඥයන් වහන්සේට අපි නමස්කාරකරම්හයි කියති.

Msdiv 291 “යම් දිසාවෙක්හි රම්‍යවූ උතුරුකුරු දිවයින පිහිටියේද, දැකුම් කටයුතුවූ මහාමෙරූ පර්වතය වන්නේද, ඒ උතුරුකුරු දිවයිනෙහි වස්ත්‍රාභරණාදිය මගේය මගේ යයි ගැනීමක් නැත්තාවූ භාර්‍ය්‍යා පරිග්‍රහයක් (භාර්‍ය්‍යාවන් අයත්කර ගැන්මක්) නැත්තාවූ මනුෂ්‍යයෝ උපදිත්.

“ඒ මිනිස්සු වී නොවපුරන්නාහ. සීසෑම පිණිස නගුල් කෙතට නොගෙනියත්. ඒ මනුෂ්‍යයෝ නොසානාලද භූමියෙහි හටගෙන පැසුනාවූ ඇල්සාල් බත් අනුභවකරත්.

“කුඩු නැත්තාවූද පොතු නැත්තාවූද පිරිසිදුවූ සුවඳ ඇති සහල් ඵල කොට ඇති හැල් රන් සැළියෙහි ලා (ජොති පාසාණ නම් ගල් උණුසුමෙන්) පිස ඒ සැලියෙන් ගත් කෑම කති.

“ඔව්හු (වෛශ්‍රවණ වරම් රජහුගේ පිරිවර යක්ෂයෝ) ගවදෙනකු එක් කුර ඇති වාහනයක් කොට දිසානුදිසාවන්හි සංචාරය කරති. සිව්පා සතෙකු එක් කුර ඇති වාහනයක් කොට දිසානුදිසාවන්හි සංචාරය කරති.

“ස්ත්‍රියක් වාහනය කොට දිසානුදිසාවන්හි සංචාරය කරති. පුරුෂයෙකු හෝ වාහනය කොට දිසානුදිසාවන්හි හැසිරෙත්.

“තරුණියක් වාහනය කොට දිසානුදිසාවන්හි සංචාරය කරති. තරුණයෙක් වාහනය කොට දිසානුදිසාවන්හි සංචාරය කෙරෙති.

“ඒ රජහුගේ පිරිවරවූ ඔවුහු වාහනවල නැග සියලු දිසා වටකොට ඇවිදිති. යස පිරිවර ඇත්තාවූ වෙසවුණු මහ රජහට හස්ති යානද, අස්ව යානද, දිව්‍ය යානද, ප්‍රාසාදද, සිවි ගෙවල්ද, උඩුමහල් ගෙවල්ද රන්සිවි ගෙවල්ද වන්නාහ.

“ඒ රජහට අහස්හි (උස්ස්ථානවල හෝ උසට) මවන ලද ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපුරිය, පරකුසිතනාට යන නගරයෝ වූවහුය.

“උතුරු දිසාවෙන් කපීවන්ත නම් නුවරෙක, ඊට බස්නාහිර දිසාවෙහි ජනොඝය, නවනවුතියය, අම්බර අම්බරවතියය යන නගර හා ආලකමන්දා නම් රාජධානියද වන්නාහුය.

‘නිදුකාණන් වහන්ස, කුවෙර නම් මහ රජහුගේ විසාණා නම් රාජධානියක්ද ඇත්තීය. ඒ කාරණයෙන් කුවෙර නම් මහරජ තෙම වෛශ්‍රවනයයි කියනු ලැබේ.

වෙන වෙනම කරුණු පරීක්ෂාකර කියන්නාවූ තතොලාය, තත්තලාය, තතොතලාය, ඔජසිය, තෙජසිය, තතොජසිය, සුරය, රාජය, අරිෂ්ටය, නෙමිය යන යක්ෂයෝ දොළොස් දෙනෙක් වෙති.

යමකින් ජලය ගෙන වර්ෂාව වසීද, වර්ෂාව යමකින් පැතිරේද, ඒ රාජධානියෙහිවූ විලද ධරණි නම් වන්නීය ඒ විල අද්දර යක්ෂයෝ නිතර රැස්වන භගලවතී නම් සභා ශාලාවද වන්නීය.

“ඒ ශාලාව වටේට නිතර ගෙඩි ඇත්තාවූද නොයෙක් කුරුළු සමූහයාගෙන් ගැවසුණාවූද මොනරුන් කොස්වා ලිහිනින් හා කෝකිල ආදී පක්ෂීන් විසින්ද පවත්වන ලද සිත් පිනවන නාද ඇති වෘක්ෂයෝ ඇත්තාහ.

“තවද පොකුණෙහි නාද කරන ජීවඤ්ජීවක නම් කුරුල්ලෝද උට්ඨවචිත්තක නම් කුරුල්ලෝද වන කුකුලෝද පියුම්වනයෙහි රන්වන් කකුළුවෝද, තල් රෙහෙරුද, හැසිරෙන්නාහ.

“මේ පොකුණෙහි ගිරා සැළලිහිණින්ගේ ශබ්ද ඇත්තේය. දණ්ඩ මාණවක නම් පක්ෂීහුද හැසිරෙන්නාහ. ඒ කුවෙර නම් මහ රජහුගේ පොකුණ හැම කල්හි එකම ආකාරයෙන් බබලන්නීය.

“යස පිරිවර ඇත්තාවූ ඒ මහ රජතෙම යම් දිසාවක් ආරක්ෂා කෙරේද ඒ දිසාව උතුරු දිසාවයයි මෙසේ ජනතෙම ඒ දිසාවට කියන්නේය.

“යක්ෂයන්ට අධිපතිවූ කුවෙර යන නමක් ඇත්තාවූ ඒ වරම් රජතෙම යක්ෂ සේනාවන් විසින් පිරිවරනලද්දේ නැටුම් ගී කීම්වලින් සිත් අලවා වාසය කරන්නේය.

“ඒ රජහුගේ බොහෝ පුත්‍රයෝද, සමාන නම් ඇත්තාහයි, මා විසින් අසන ලදී. මහත්වූ බල ඇති ඉන්ද්‍ර නම්වූ ඔව්හු අනූඑක් දෙනෙක් වෙති.

“ඔව්හුද ප්‍රබුද්ධවූ ආදිත්‍ය බන්ධුවූ මහත්බවට පැමිණියාවූ පහවූ භය ඇති සර්වඥයන්වහන්සේ දුරදීම දැක පුරුෂශ්‍රෙෂ්ඨයන් වහන්ස, නුඹවහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමයන් වහන්ස, නුඹවහන්සේට නමස්කාර වේවායි නමස්කාර කරත්.

“දක්ෂවූ සර්ඥතා ඥානයෙන් ජනයා බලන්නෙහියයි අමනුෂ්‍යයෝද නුඹ වහන්සේට වඳිති. මේ කාරණය අප විසින් නිතර අසනලදී. එහෙයින් මෙසේ කියම්හ.

“ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරව්දැයි (අසන ලද්දාවූ ඔව්හු) ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරම්හ. විද්‍යාචරණ ගුණයෙන් යුක්තවූ ගෞතම සර්වඥයන් වහන්සේට නමස්කාර කරම්හයි කියති.”

Msdiv 292 “නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය පිරිත වනාහි භික්ෂූන්ටද, භික්ෂුණීන්ටද, උපාසකවරුන්ටද උපාසිකාවරුන්ටද, ආරක්ෂාව පිණිසද සැපසේ විසීම පිණිසද නොවෙහෙසීම පිණිසද වන්නේය. නිදුකාණන්වහන්සේ, යම්කිසි භික්ෂුවක් විසින් හෝ භික්ෂුණියක් විසින් හෝ උපාසකයෙකු විසින් හෝ උපාසිකාවක් විසින් හෝ මේ ආටානාටිය නම් ආරක්ෂාව යහපත්ව ඉගෙන දැනගන්නා ලද්දීද, අක්ෂර පද නොපිරිහෙලා සම්පූර්ණකොට ඉගෙන ගන්නා ලද්දීද, ඉදින් යම් අමනුෂ්‍යවූ යක්ෂයෙක් හෝ යක්ෂණියක් හෝ යක්ෂපොතකයෙක් හෝ යක්ෂපොතිකාවක් හෝ යක්ෂ මහා මාත්‍යයෙක් හෝ යක්ෂ පිරිසෙහි වූවෙක් හෝ යක්ෂ වැඩකරුවෙක් හෝ ගාන්ධර්වයෙක් හෝ ගාන්ධර්ව ස්ත්‍රියක් හෝ ගාන්ධර්ව පොතකයෙක් හෝ ගාන්ධර්ව පොතිකාවක් හෝ ගාන්ධර්ව මහාමාත්‍යයෙක් හෝ ගාන්ධර්ව පිරිසෙහි වූවෙක් හෝ ගාන්ධර්ව වැඩකරුවෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියක් හෝ කුම්භාණ්ඩ පොතකයෙක් හෝ කුම්භාණ්ඩ පෝතිකාවක් හෝ කුම්භාණ්ඩ මහාමාත්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පිරිසෙහි වූවෙක් හෝ කුම්භාණ්ඩ වැඩකාරයෙක් හෝ නාගයෙක් හෝ නාගිනියක් හෝ නාග පොතකයෙක් හෝ නාග පොතිකාවක් හෝ නාග මහාමාත්‍යයෙක් හෝ නාග පිරිසෙහි වූවෙක් හෝ නාග මෙහෙකරුවෙක් හෝ නපුරු සිත් ඇතිව, භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයකු හෝ උපාසිකාවක් හෝ යන්නහු පසුපස්සේ යන්නේ හෝ වේද සිටියහු ළඟ සිටින්නේ හෝ වේද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේද, නිදාගන්නහු ළඟ නිදා ගන්නේ හෝ වේද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ ගම්වල හෝ නියම් ගම්වල හෝ සත්කාරයක් හෝ ගරු කිරීමක් හෝ නොලබන්නේය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ ආළකමන්දා නම්වූ රාජධානියෙහි වාසය කිරීමට තැනක් හෝ ස්ථිර වාසයක් හෝ නොලබන්නේය. නිදුකාණන්වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ යක්ෂයන්ගේ සමාගමට යන්ටද නොලබන්නේය. නිදුකාණන්වහන්ස, තවද ඔහු අමනුෂ්‍යයෝ ආවාහ විවාහයන්ට නුසුදුස්සකුද කරන්නාහුය. නිදුකාණන්වහන්ස, තවද ඔහුට අමනුෂ්‍යයෝ ඔහුගේ ආත්මභාවය දක්වා සම්පූර්ණ පද ශබ්ද ඇති අපහාස වචන වලින් නින්දා කරන්නාහුය. නිදුකාණන්වහන්ස, තවද ඔහුගේ හිසෙහි අමනුෂ්‍යයෝ හිස්වූ ලොහ පාත්‍රයක්ද මුනින් නමන්නාහුය. නිදුකාණන්වහන්ස, තවද ඔහුගේ හිසද සත් කඩක් කොට පලන්නාහුය.

“නිදුකාණන්වහන්ස. රෞද්‍රවූ නපුරු ගති ඇති එකට එක කරන්නාවූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් රජදරුවන්ගේ (වචනය) නොඅදහත්. සතරවරම් මහරජදරුවන්ගේ අමාත්‍යයන්ගේ වචනය නොපිළිගනිති. යක් සෙනෙවියන් වෙනුවට සිටින්නන්ගේ වචනය නොපිළිගනිති. නිදුකාණන්වහන්ස, ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහ රජදරුවන්ට අකීකරු වූවෝයයි කියනු ලැබෙත්. යම්සේ මගධරටට අධිපතිවූ රජහුගේ රටෙහි සොරු වෙත්ද, ඒ සොරු මගධ රටට අධිපතිවූ රජහුගේ වචනය නොපිළිගනිද්ද, මගධ රජහුගේ අමාත්‍යයන්ගේ වචනය නොපිළිගනිද්ද, මගධ රජහුගේ අමාත්‍යයන් වෙනුවට සිටින පුරුෂයන්ගේ වචනය නොපිළිගනිද්ද. නිදුකාණන්වහන්ස, ඒ මහසොරහු වනාහි මගධ රජහට අකීකරු වූවෝ නම් වෙත්යයි කියනු ලැබෙත්.

‘නිදුකාණන්වහන්ස, එපරිද්දෙන්ම නපුරු ගති ඇති රෞද්‍රවූ එකට එක කරන්නාවූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතර වරම් මහ රජදරුවන්ගේ වචනය නොපිළිගනිත්. වරම් මහ රජදරුවන්ගේ සෙනෙවියන්ගේ වචනය නොපිළිගනිති. වරම් රජදරුවන්ගේ සෙනෙවියන් වෙනුවට සිටින පුරුෂයන්ගේ වචනය නොපිළිගනිත්. නිදුකාණන්වහන්ස, ඒ මේ අමනුෂ්‍යයෝ වරම් රජදරුවන්ට අකීකරු වූවෝයයි කියනුලැබෙත්. නිදුකාණන් වහන්ස, යම් කිසි අමනුෂ්‍ය යක්ෂයෙක් හෝ යක්ෂනියක් හෝ යක්ෂ පොතකයෙක් හෝ යක්ෂ පොතිකාවක් හෝ යක්ෂ මහාමාත්‍යයෙක් හෝ යක්ෂ පිරිසෙහි වූවෙක් හෝ යක්ෂ වැඩ කාරයෙක් හෝ ගන්ධර්වයෙක් හෝ ගන්ධර්ව ස්ත්‍රියක් හෝ ගන්ධර්වපොතකයෙක් හෝ ගන්ධර්ව පොතිකාවක් හෝ ගන්ධර්ව මහාමාත්‍යයෙක් හෝ ගන්ධර්ව පිරිසෙහි වූවෙක් හෝ ගන්ධර්ව වැඩකරුවෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියක් හෝ කුම්භාණ්ඩ පොතකයෙක් හෝ කුම්භාණ්ඩ පොතිකාවක් හෝ කුම්භාණ්ඩ මහාමාත්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පිරිසෙහි වූවෙක් හෝ කුම්භාණ්ඩ වැඩකරුවෙක් හෝ නාගයෙක් හෝ නාගිනියක් හෝ නාග පොතකයෙක් හෝ නාග පොතිකාවක් හෝ නාගමහාමාත්‍යයෙක් හෝ නාග පිරිසෙහි වූවෙක් හෝ නාග මෙහෙකරුවෙක් හෝ නපුරු සිතින්, භික්ෂුවක් හෝ භික්ෂුනියක් හෝ උපාසකයෙකු හෝ උපාසිකාවක් හෝ යන්නහු සමග (පසු පස්සේ) යන්නේ හෝ වේද, සිටියහු ළඟ සිටින්නේ හෝ වේද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේද, නිදාගන්නහු ළඟ නිදාගන්නේ හෝ වේද, මේ යක්ෂ තෙම අල්වන්නේය. මේ යක්ෂ තෙම ආවෙශ වන්නේය. මේ යක්ෂ තෙම පීඩා කරන්නේය. මේ යක්ෂ තෙම විශෙෂයෙන් පීඩා කරන්නේය, මේ යක්ෂ තෙම හිංසා කරන්නේය, මේ යක්ෂ තෙම විශෙෂයෙන් හිංසා කරන්නේය, කියා ප්‍රධාන යක්ෂවූ යක්ෂ සේනාවට අධිපතිවූ එහෙයින්ම මහා සේනාපතිවූ මේ යක්ෂයන්ට යක්ෂ තෙම නොහරනේ යයි ඝෝෂා කොට දැන්විය යුතුයි. ශබ්ද නගා කිය යුතුයි. මුරගා කිය යුතුයි.

Msdiv 293 කවර යක්ෂ කෙනෙකුන්ට, කවර මහා යක්ෂ කෙනෙකුන්ට, කවර සෙනෙවිරත් කෙනෙකුන්ට, කවර මහ සෙනෙවිරත් කෙනෙකුන්ටද යත්?

“ඉන්ද්‍රය, සොමය, වරුණය, භාරද්වාජය, ප්‍රජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කිණ්ණුඝණ්ඩුය, නිඝණ්ඩුය.

“පණාදය, ඔපමඤ්ඤය, දෙවසූතය, මාතලීය, චිත්‍රසෙනය, ගන්ධර්වය, නළය, රාජය, ජනෙසභය. සාතා ගිරය, හෙමවතය, පුණ්ණකය, කර්තියය, ගුලය, සීචකය, මුචලින්දය, විශ්වාමිත්‍රය, යුගන්ධරය.

“ගොපාලය, සුප්පගෙධය, හිරිය, නෙත්තිය, මන්දිය, පඤ්චාලචණ්ඩය, ආලවකය, පජ්ජුන්නය, සුමනය, සුමුඛය, දධීමුඛය, මනිමානීචරය, දීඝය (යන යක්ෂ සෙනාධිපතීහුද) තවද, මොවුන් හා එක්වූ සෙරිස්සක නම් යක්ෂයෙක්ද, ඇත්තේය.

“මේ යක්ෂ තෙම අල්වාගන්නේය. මේ යක්ෂ තෙම ආවෙශ වන්නේය. මේ යක්ෂ තෙම පීඩා කරන්නේය. මේ යක්ෂ තෙම විශෙෂයෙන් පීඩා කරන්නේය. මේ යක්ෂ තෙම හිංසා කරන්නේය. මේ යක්ෂ තෙම අත්නොහරින්නේයයි කියා ප්‍රධාන යක්ෂවූ යක්ෂ සේනාපතිවූ මහා සේනාපතිවූ මේ යක්ෂයන්ට මෙපරිද්දෙන් දැන්විය යුත්තේය, ඝොෂා කොට කිය යුත්තේය, ශබ්ද නගා කියයුත්තේය. මුරගා කිය යුත්තේය.

“නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය ආරක්ෂාව වනාහි භික්ෂූන්ගේද භික්ෂුනීන්ගේද උපාසකයන්ගේද උපාසිකාවන්ගේද ආරක්ෂාව පිණිසද, (යක්ෂොපද්‍රවවලින්) නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීම පිණිසද පවත්නේය.

“නිදුකාණන් වහන්ස, අපි බොහෝ වැඩ කටයුතු ඇත්තම්හ එබැවින් දැන් අපි යම්හයි” භාග්‍යවතුන් වහන්සේට දැන්වූවාහුය.

“වරම් රජදරුවෙනි, තෙපි දැන් යම් ගමනක් සිතව්ද? එයට කාලය බව දනිව්” යයි වදාළසේක.

Msdiv 294 ඉක්බිත්තෙන් සතර වරම් මහරජදරුවෝ උන් ආසනවලින් නැගිට මට නමස්කාර කොට ප්‍රදක්ෂිණා කොට එතන්හිම අන්තර්ධාන වූවාහුය. (නොපෙනී ගියහ.)

ඒ (අනිකුත්) යක්ෂයෝද, උන් ආසනවලින් නැගිට සමහර කෙනෙක් මට වැඳ පැදකුණු කොට එතන්හිම නොපෙනී ගියාහුය. ඇතැම්කෙනෙක් මා සමග සතුටු වූවාහුය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථා පවත්වා එතන්හිම නොපෙනී ගියාහුය ඇතැම් කෙනෙක් මට ඇඳිලි බැඳ නමස්කාර කොට එහිම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් තමන්ගේ නාමගොත්‍ර කියා එතන්හිම අතුරුදහන් වූහ. සමහර කෙනෙක් තුෂ්ණීම්භූත වූවාහු (කිසිවක් නොකියාම) එතන්හිම නෙපෙනී ගියාහුය.

Msdiv 295 “මහණෙනි, ආටානාටිය නම් පිරිත උගනිව්. මහණෙනි, ආටානාටිය නම් පිරිත නිතර පුහුණු කරව්. මහණෙනි, ආටානාටිය නම් පිරිත සිත්හි ලා දරාගනිව්. මහණෙනි, ආටානාටිය පිරිත වැඩදායක වන්නේය. භික්ෂූන්ගේද භික්ෂුණීන්ගේද උපාසකයන්ගේද උපාසිකාවන්ගේද ආරක්ෂාව පිණිසද පීඩා නොවීම පිණිසද සැපසේ වාසයකිරීම පිණිසද වන්නේය” යන මෙය භාග්‍යවතුන්වහන්සේ වදාළහ. සතුටු සිත් ඇත්තාවූ භික්ෂූහු ඒ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට විශෙෂයෙන් සතුටු වූවාහුය.

තිස් දෙවැනිවූ ආටානාටිය සූත්‍රය නිමි.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection