LibraryDNDN 6
DN 617 min read

With Mahāli

Mahālisutta

20
PDFGenerated
01 · Overview

The Buddha explains to a diverse group of lay people how the results of meditation depend on the manner of development.

02 · Reading guide

Read the full discourse slowly and reflect on key passages.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

දීඝ නිකාය සීලක්ඛන්ධ වර්ගය 6. මහාලි සූත්‍රය බ්‍රාහ්මණදූතවත්ථු Msdiv 359 මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේයි) එක්කාලයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර අසල මහවනයෙහි පිහිටි කූටාගාර ශාලානම් විහාරයෙහි වාසය කළෝය. ඒ කාලයේදී කොසොල් රටවැසි බොහෝවූ බ්‍රාහ්මණ දූතයෝද, මගධ රටවැසි බ්‍රාහ්මණ දූතයෝද කිසියම් අවශ්‍ය කටයුත්තක් සඳහා විශාලා මහනුවර වාසය කරති. ඒ කොසොල් රටවැසි බ්‍රාහ්මණ දූතයෝද මගධරට වැසි බ්‍රාහ්මණ දූතයෝද මේ කරුණු ඇසුවෝය. එනම් ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණ භවත් ගෞතමයන්වහන්සේ ශාක්‍ය කුලයෙන් නික්ම මහණව විශාලාමහනුවර සමීපයේ මහාවනයෙහි කූටාගාර ශාලානම් විහාරෙහි වාසය කරති. ඒ භවත් ගෞතමයන් පිළිබඳව මෙසේ යහපත් කීර්ති ඝොෂාවක් උසස්ව නැංගේය. ඒ කෙසේද? අර්හත් සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනාඥානය ආදී විද්‍යා අට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පසළොස යන අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් මාර්ගයෙහි ගමන්කළාවූ සියලුලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, (චතුරාර්ය සත්‍ය) සත්‍යවූ උතුම් ධර්ම සතර අවබොධකළාවූ ඒ තථාගතතෙමේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ, සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැන පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කරන්නාවූ ඛ්‍යඤ්ජන සහිතවූ, සියලු ලෙසින් සම්පූර්ණවූ පිරිසිදුවූ, බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති. එබඳුවූ රහතුන්ගේ දැකීම යහපත්ම වේයයි’ සිතුවෝය.

Msdiv 360 එවිට ඒ කොසොල්රට වැසි බ්‍රාහ්මණ දූතයෝද, මගධ රටවැසි බ්‍රාහ්මණ දූතයෝද, කූටාගාර ශාලාවිහාරය යම් තැනකද එතනට පැමුණුනාහ. ඒ කාලයේදී ආයුෂ්මත් නාගිත තෙරුන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නේ වෙයි.

එවිට ඒ කොසොල් රටවැසි බ්‍රාහ්මණ දූතයෝද මගධරට වැසි බ්‍රාහ්මණ දූතයෝද ආයුෂ්මත් නාගිත ස්ථවිරයන් යම් තැනෙක්හිද, එතනට පැමුණුනාහ. ආයුෂ්මත් නාගිත තෙරුන් වහන්සේට මෙසේ දැන්වූහ. “පින්වත් නාගිත තෙරුන්වහන්ස, ප්‍රසිද්ධවූ භවත් ගෞතමයන් වහන්සේ දැන් කොතන වැඩවසන්නෝද? අපි භවත් ගෞතමයන් වහන්සේ දකිනු කැමැත්තෙමු.”

“භාග්‍යවතුන් වහන්සේ දැකීමට මේ සුදුසු කාලය නොවේ මය. භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අරමුණු ගැනීම් වලින් තුරන්ව සම්පූර්ණ විවේකයෙහි යෙදී ධ්‍යාන සැපවිඳින්නෝය’යි කීයේය.

එවිට ඒ කොසොල් රටවැසි බ්‍රාහ්මණ දූතයෝද, මගධ රටවැසි බ්‍රාහ්මණ දූතයෝද ‘අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකලාම යන්නෙමුය’යි සිතා ඒ විහාරයෙහිම එක පැත්තකටවී උන්හ.

ඔට්ඨද්ධලිච්ඡවීවත්ථු Msdiv 361 ඔට්ඨද්ධ (අඩ උඩු තොල් ඇත්තා) නම් මහාලි ලිච්ඡවි උපාසක තෙමේද මහත් ලිච්ඡවි පිරිසක් සමග මහා වනයෙහි කූටාගාරශාලා විහාරය යම් තැනෙක්හිද ආයුෂ්මත් නාගිත තෙරුන්වහන්සේ යම් තැනෙකහිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් නාගිත තෙරුන් වහන්සේ වැඳ එක පැත්තකටවී සිටියේය. එක පැත්තකටවී සිටියාවූ ඔට්ඨද්ධ තෙමේ ආයුෂ්මත් නාගිත තෙරුන් වහන්සේට මෙසේ කීයේය.

“ස්වාමීනි, නාගිත තෙරුන්වහන්ස, ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන් කොතන වැඩ සිටිත්ද? අපි ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකීමට කැමැත්තෙමු.”

“මහාලිය; භාග්‍යවතුන් වහන්සේ දැකීමට මේ නුසුදුසු කාලයයි. භාග්‍යවතුන් වහන්සේ ධ්‍යාන සැප විඳිනසේකැයි” දැන්වීය. එවිට ඔට්ඨද්ධ ලිච්ඡවිතෙමේද “මම ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදු රජාණන් වහන්සේ දැකලාම යන්නෙමියි ඒ විහාරයෙහිම එකපැත්තකටවී උන්නේය.

Msdiv 362 එවිට නාගිතතෙරුන්ට බෑනාවූ සිංහ නම් සාමණෙර තෙමේ ආයුෂ්මත් නාගිත තෙරුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් නාගිත තෙරුන් වහන්සේ වැඳ එකපැත්තකටවී සිටියේය. එක පැත්තකටවී සිටියාවූ සිංහ නම් සාමණේර තෙමේ ආයුෂ්මත් නාගිත තෙරුන් වහන්සේට මේ කාරණය දැන්විය.

“ස්වාමීනි, කාශ්‍යප නාගිත තෙරුන් වහන්ස, මේ බොහෝවූ කොසොල් රටවැසි බ්‍රාහ්මණ දූතයෝද මගධරට වැසි බ්‍රාහ්මණ දූතයෝද, භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස මෙහි පැමිණියෝය. ඔට්ඨද්ධ ලිච්ඡවි තෙමේද මහත් ලිච්ඡවි පිරිසක් සමග භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස මෙහි පැමිණියේය. ස්වාමීනි, කාශ්‍යප නාගිත තෙරුන් වහන්ස, මේ ජනසමූහයාට භාග්‍යවතුන් වහන්සේ දැකීමට ඉඩ ලබා දෙත්වා.”

“එහෙනම් සිංහය, ඔබම භාග්‍යවතුන් වහන්සේට මේ බව දන්වන්න”යයි කීයේය.

“එසේය, ස්වාමීන් වහන්ස”යි සිංහ සාමණේරතෙම නාගිත තෙරුන්වහන්සේට උත්තරදී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එක පැත්තකටව සිටියේය. එක පැත්තකටවී සිටි සිංහ සාමණේර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය. ස්වාමීන් වහන්ස, මේ බොහෝවූ කොසොල් රටවැසි බ්‍රාහ්මණ දූතයෝද මගධ රට වැසි බ්‍රාහ්මණ දූතයෝද භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස මෙහි පැමිණියාහ. ඔට්ඨද්ධ ලිච්ඡවි තෙමේද මහත් ලිච්ඡවි පිරිසක් සමග භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස මෙහි පැමිණියේය. ස්වාමීන් වහන්ස, මේ පිරිසට භාග්‍යවතුන් වහන්සේ දැකීමට ඉඩ දෙත්වා.”

“එසේ නම්, සිංහය, විහාරයෙහි සෙවනැල්ලෙහි ආසනයක් පණවවයි” කීසේක.

“එසේය ස්වාමීන් වහන්ස”යයි සිංහ සාමණේර තෙමේ භාග්‍යවතුන් වහන්සේට උත්තරදී විහාරයෙහි සෙවනැල්ලෙහි ආසනයක් පැණවීය.

Msdiv 363 එවිට භාග්‍යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම විහාරයෙහි සෙවනැල්ලෙහි පැණවූ ආසනයෙහි වැඩ උන්සේක.

එවිට ඒ කොසොල් රටවැසි බ්‍රාහ්මණ දූතයෝද, මගධ රටවැසි බ්‍රාහ්මණ දූතයෝද භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියාහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූහ, සතුටුවිය යුතු සිහිකටයුතු කථා අවසන් කොට පැත්තකින් උන්නාහ. ඔට්ඨද්ධ නම් ලිච්ඡවි මහාලි මහත් ලිච්ඡවි පිරිසක් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තකින් උන්නේය.

Msdiv 364 එක පැත්තකින් උන්නාවූ ඔට්ඨද්ධ ලිච්ඡවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකළේය.

“ස්වාමිනි, පූර්වවූද, ඉතා පූර්වවූද දවස්හි (පසුගිය දවස්වල) සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍ර තෙමේ මම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, මට මෙසේ කීය “මහාලිය, මම නම් යම් දවසක පටන් මේ තුන් අවුරුද්දක් මුළුල්ලෙහි භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය කොට වාසයකළෙම්ද ඒ කාලයෙහිදී, ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන් පමණක් දුටුවෙමි. එසේවූ නමුත් ප්‍රිය උදවන්නාවූ කැමති වන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් ඇසුවේ නැතැයි’ කීයේය. ස්වාමීන්වහන්ස, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා ඇත්තාවූම ප්‍රිය උපදන්නාවූ කැමති වන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් නොඇසුවේද නැතහොත් නැත්තාවූ දිව්‍ය ශබ්දයන් නොඇසුවේදැයි” යන මේ කාරණය විචාළේය.

එකංසභාවිතසමාධි Msdiv 365 “මහාලිය සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා ඇත්තාවූම ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ ඇලීම ඇතිකරන්නාවූම දිව්‍ය ශබ්දයන් නො ඇසුවේය. නැත්තාවූ දිව්‍ය ශබ්දයන් නොම ඇසුවේ නොවේ යයි කීසේක.

ස්වාමීන් වහන්ස, යම් හේතුවකින් සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ ඇලීම ඇති කරන්නාවූ නැත්තාවූ නොව ඇත්තාවූම දිව්‍ය ශබ්දයන් නොඇසුයේ නම් ඊට හේතුව කුමක්ද ඊට හේතු මාර්ගය (ප්‍රත්‍යය) කුමක්දැ”යි ඇසුවේය.

Msdiv 366 “මහාලිය, මේ ශාසනයෙහි යම් භික්ෂුනමකට නැගෙනහිර දිසාවෙහි එක කොටසක් සම්බන්ධව වඩනාලද්දාවූ, ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ, ඇලීම ඇතිකරන්නාවූ, දිව්‍ය රූපයන් දැකීම පිණිස වඩන ලද්දාවූ, ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ, ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් අසන පිණිස නොවඩන ලද්දාවූ සමාධියක් වේද ඒ භික්ෂුතෙමේ නැගෙනහිර දිසාවෙහි ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇති කරන්නාවූ දිව්‍ය ශබ්දයන් අසනු පිණිස නොව ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන් දැකීම පිණිස යන එක කොටසක් සම්බන්ධව වඩනලද සමාධියෙහි නැගෙනහිර දිසාවෙහි ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන් දකී. එහෙත් ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් නොම අසයි. ඊට හේතුව කුමක්ද?

“මහාලිය, ඒ භික්ෂුවට ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ, ඇලීම ඇතිකරන්නාවූ, දිව්‍ය ශබ්දයන් අසන පිණිස නොව ප්‍රිය උපදවන්නාවූ, කැමතිවන්නාවූ, ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන් දකින පිණිසය යන එක කොටසක් සම්බන්ධව වඩනලද සමාධියෙහි මේ කාරණය මෙසේමය.

Msdiv 367 “මහාලිය, තවද අන් කාරණයක් ඇත්තේය. මේ ශාසනයෙහි යම් භික්ෂු නමකට දකුණු දිසාවෙහි එක කොටසක් සම්බන්ධව වඩනා ලද්දාවූ, ප්‍රිය උපදවන්නාවූ, ඇලීම ඇතිකරන්නාවූ, දිව්‍ය රූපයන් දැකීම පිණිස වඩන ලද්දාවූ ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ, ඇලීම ඇති කරන්නාවූ දිව්‍ය ශබ්දයන් අසන පිණිස නොවඩන ලද්දාවූ සමෘධියෙක් වේද, ඒ භික්ෂු තෙමේ දකුණු දිසාවෙහි ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ, ඇලීම ඇතිකරන්නාවූ, දිව්‍ය ශබ්දයන් අසන පිණිස නොවඩන ලද්දාවූ සමෘධියෙක් වේද, ඒ භික්ෂු තෙම දකුණු දිසාවෙහි ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ, ඇලීම් ඇතිකරන්නාවූ, දිව්‍ය ශබ්දයක් අසනු පිණිස නොව, ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ, දිව්‍ය රූපයක් දැකීම පිණිස යන එක කොටසක් සම්බන්ධව වඩනලද සමාධියෙහි දකුණු දිසාවෙහි ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ, ඇලීම ඇති කරන්නාවූ, දිව්‍ය රූපයන් දකී. එසේ නමුත් ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ, ඇලීම ඇතිකරන්නාවූ, දිව්‍ය ශබ්දයන් නොම අසයි. ඊට හේතුව කුමක්ද? මහාලිය, ඒ භික්ෂුවට ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් අසන පිණිස නොව ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ, ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන් දකින පිණිසය යන එක කොටසක් සම්බන්ධව වඩනලද සමාධියෙහි මෙය මෙසේම වේ.

යම් භික්ෂු නමකට බස්නාහිර, උතුර, උඩ, යට අනුදිසාවන්හි එක කොටසක් සම්බන්ධව වඩන ලද්දාවූ, ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ, ඇලීම කරන්නාවූ, දිව්‍ය රූප දකිණු පිණිස වඩනා ලද්දාවූ, ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ, ඇලීම කරන්නාවූ දිව්‍ය ශබ්දයන් අසන පිණිස නොවඩන ලද්දාවූ, සමෘධියෙක් වේද ඒ භික්ෂුතෙම බස්නාහිර, උතුරු, උඩ, යට අනු දිශාවන්හි එක කොටසක ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ, ඇලීම කරන්නාවූ, දිව්‍ය ශබ්දයන් අසන පිණිස නොව ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ, ඇලීම කරන්නාවූ, දිව්‍ය රූපයන් දැකීම පිණිස වඩන ලද්දාවූ, සමාධියෙක් වේද, ඒ භික්ෂුතෙම බස්නාහිර, උතුර, උඩ, යට අනු දිසාවන්හි එක කොටසක් සම්බන්ධව ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ ඇලීම කරන්නාවූ, ශබ්දයන් අසනු පිණිස නොව ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ, ඇලීම කරන්නාවූ දිව්‍ය රූපයන් දැකීම පිණිසය යන එක කොටසක් සම්බන්ධව වඩන ලද සමාධියෙහි බස්නාහිර, උඩ යට අනුදිසාවන්හි ප්‍රිය උපදවන්නාවූ, කැමතිවන්නාවූ, ඇලීම කරන්නාවූ, දිව්‍ය රූපයන් දකී. එසේ නමුත් ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ, දිව්‍ය ශබ්දයන් නොම අසයි. ඊට හේතුව කුමක්ද? මහාලිය, ඒ භික්ෂුවට ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ, ඇලීම වන්නාවූ දිව්‍ය ශබ්දයන් අසන පිණිස නොව ප්‍රිය උපදවන්නාවූ, කැමතිවන්නාවූ, ඇලීම කරන්නාවූ දිව්‍ය රූපයන් දකින පිණිසය යන එක කොටසක් සම්බන්ධව වඩනලද සමාධියෙහි මෙය මෙසේම වේ.

Msdiv 368 “මහාලිය, මේ ශාසනයෙහි යම් භික්ෂු නමකට නැගෙනහිර දිසාවෙහි එක කොටසක් සම්බන්ධව වඩනා ලද්දාවූ, ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ, ඇලීම ඇතිකරගන්නාවූ දිව්‍ය ශබ්දයන් අසන පිණිස වඩන ලද්දාවූ, ප්‍රියඋපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ, දිව්‍ය රූපයන් දැකීම පිණිස නොවඩන ලද්දාවූ, සමාධියක් වේද, ඒ භික්ෂුතෙමෙ නැගෙනහිර දිසාවෙහි ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයත් දැකීම පිණිස නොව ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ, ඇලීම ඇතිකරන්නාවූ, දිව්‍ය ශබ්දයන් අසන පිණිසය යන එක කොටසක් පිළිබඳව වඩනලද සමාධියෙහි දිව්‍ය ශබ්දයන් අසයි. එසේ නමුත් ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ, දිව්‍ය රූපයන් නොදකී. ඊට හේතුව කුමක්ද?

“මහාලිය, ඒ භික්ෂුවට නැගෙනහිර දිසාවෙහි ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ ඇලීම ඇති කරන්නාවූ දිව්‍ය රූපයන් දැකීම පිණිසනොව, ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් අසන පිණිසය යන එක කොටසක් පිළිබඳව වඩනලද සමාධියෙහි මෙය මෙසේම වේ

Msdiv 369 “මහාලිය, තවද වෙනත් කරුණක් ඇත්තේය. යම් භික්ෂුනමකට දකුණු දිසාවෙහි එක කොටසක් සම්බන්ධව වඩනා ලද්දාවූ ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ, ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් අසන පිණිස වඩන ලද්දාවූ ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ, ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයක් දැකීම පිණිස නොවඩන ලද්දාවූ සමෘධියෙක් වේද ඒ භික්ෂුතෙම දකුණු දිසාවෙහි ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ, ඇලීම ඇතිකරන්නාවූ, දිව්‍ය රූපයන් දැකීම පිණිස නොව ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් අසන පිණිසය යන එක කොටසක් පිළිබඳව වඩනලද සමාධියෙහි දිව්‍ය ශබ්දයන් අසයි. එසේ නමුත් ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ ඇලීම ඇතිකරවන්නාවූ, දිව්‍ය රූපයන් නොදකී. ඊට හේතුව කුමක්ද? මහාලිය, ඒ භික්ෂුවට දකුණු දිසාවෙහි ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ, ඇල්ම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන් දැකීම පිණිස නොප ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් අසන පිණිසය යන එක කොටසක් සම්බන්ධව වඩනලද සමාධියෙහි මෙය මෙසේම වේ.

“මහාලිය, තවද අන් කාරණයක් ඇත්තේය, යම් භික්ෂු නමකට බස්නාහිර දිසාවෙහි, උතුරු දිසාවෙහි, උඩ, යට අනුදිසාවන්හි එකකොටසක් පිළිබඳව වඩනලද්දාවූ, ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ, දිව්‍ය ශබ්දයන් අසන පිණිස වඩනා ලද්දාවූ, ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන් දැකීම පිණිස නොවඩන ලද්දාවූ සමාධියෙක් වේද, ඒ භික්ෂුතෙම බස්නාහිර දිසාවෙහි උතුරු දිසාවෙහි, උඩ යට, අනුදිසාවන්හි එක කොටසෙක්හි ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිවන්නාවූ දිව්‍ය රූපයන් දැකීම පිණිස නොව ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ ඇලීම ඇතිවන්නාවූ දිව්‍ය ශබ්දයන් අසන පිණිසය යන එක කොටසක් පිළිබඳව වඩනලද සමාධියෙහි දිව්‍ය ශබ්දයන් අසයි. එසේ නමුත් ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ, ඇලීම ඇතිකරන්නාවූ; දිව්‍ය රූපයන් නොදකී. ඊට හේතුව කුමක්ද? මහාලිය, ඒ භික්ෂුවට බස්නාහිර දිසාවෙහි උතුරු දිසාවෙහි, උඩ, යට අනුදිසාවන්හි එකකොටසක් පිළිබඳව ප්‍රිය උපදවන්නාවූ, කැමතිවන්නාවූ, ඇලීම ඇතිකරන්නාවූ, දිව්‍ය රූපයන් දැකීම පිණිස නොව, ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් අසන පිණිසය යන එක කොටසක් පිළිබඳව වඩනලද සමාධියෙහි මෙය මෙසේම වේ.

Msdiv 370 “මහාලිය, මේ ශාසනයෙහි යම් භික්ෂු නමකට නැගෙනහිර දිසාවෙහි ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන් දැකීම පිණිසද, ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් අසන පිණිසද යන දෙකොටසම පිණිස වඩන ලද්දාවූ සමාධියෙක් වේද, ඒ භික්ෂු තෙමේ නැගෙනහිර දිසාවෙහි ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන් දකිනු පිණිසද දිව්‍ය ශබ්දයන් අසනු පිණිසද යන දෙකොටසම පිණිස වඩන ලද්දාවූ සමාධියෙහි නැගෙනහිර දිසාවෙහි ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන්ද දකී. ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන්ද අසයි. ඊට හේතුව කුමක්ද? මහාලිය; ඒ භික්ෂුනමට නැගෙනහිර දිසාවෙහි ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන් දැකීම පිණිසද ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් අසන පිණිසද යන දෙකොටසම පිණිස වඩනලද සමාධිය හේතු කොටගෙන මෙය මෙසේම වේ.

Msdiv 371 “මහාලිය, තවද වෙනත් කරුණක් ඇත්තේය. යම් භික්ෂුනමකට දකුණු දිසාවෙහි ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන් දැකීම පිණිසද ප්‍රිය උපදවන්නාවූ, කැමති වන්නාවූ, ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් අසන පිණිසද යන දෙකොටසම පිණිස වඩන ලද සමාධියෙක්වේද, ඒ භික්ෂුතෙමේ දකුණු දිසාවෙහි ප්‍රිය උපදවන්නාවූ, කැමතිවන්නාවූ, ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන් දැකීම පිණිසද, ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් අසනු පිණිසද යන දෙකොටසම පිණිස වඩනලද්දාවූ සමාධියෙහි දකුණු දිසාවෙහි ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන්ද දකී. ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ දිව්‍ය ශබ්දයන්ද අසයි. ඊට හේතුව කුමක්ද?

“මහාලිය, ඒ භික්ෂුනමට දකුණු දිසාවෙහි ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන් දැකීම පිණිසද ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් අසන පිණිසදැයි යන දෙකොටසම පිණිස වඩනලද සමාධිය හේතුකොට ගෙන මෙය මෙසේම වේ.

“මහාලිය, තවද වෙනත් කරුණක් ඇත්තේය. යම් භික්ෂු නමකට බස්නාහිර දිසාවෙහි, උතුරු දිසාවෙහි, උඩ, යට අනුදිසාවන්හි එක කොටසක් පිළිබඳව වඩන ලද්දාවූ ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන් දැකීම පිණිසද, ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් අසනු පිණිසද යන දෙකොටසම පිණිස වඩන ලද්දාවූ සමාධියෙක් වේද, ඒ භික්ෂු තෙමේ බස්නාහිර දිසාවෙහි, උතුරු දිසාවෙහි, උඩ,යට අනුදිසාවන්හි එක කොටසෙක්හි, ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන් දැකීම පිණිසද ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් අසනු පිණිසද යන දෙකොටසම පිණිස වඩනලද්දාවූ සමාදියෙහි බස්නාහිර දිසාවෙහි උතුරුදිසාවෙහි උඩ යට අනුදිසාවන්හි එක් කොටසක ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන්ද දකී. ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන්ද අසයි ඊට හේතුව කුමක්ද? මහාලිය, ඒ භික්ෂුනමට බස්නාහිර දිසාවෙහි, උතුරු දිසාවෙහි, උඩ, යට අනුදිසාවන්හි එක කොටසෙක්හි ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන් දැකීම පිණිසද ප්‍රිය උපදවන්නාවූ කැමතිවන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් අසන පිණිසද යන දෙකොටසම පිණිස වඩනලද සමාධිය හේතු කොටගෙන මෙය මෙසේම වේ.

“මහාලිය, යම් හේතුවකින් සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍ර තෙමේ, නැත්තාවූ නොව ඇත්තාවූම ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් නෑසීද ඊට හේතුව නම්, මේ දිව්‍යරූපයන් දැකීම පිණිස පමණක්වූ එක කොටසක් පිණිස වඩනලද සමාදියමය. ඊට හේතු මාර්ගය (ප්‍රත්‍ය) නම් එක කොටසක්වූ සමාධියමය”යි ප්‍රකාශ කළහ.

Msdiv 372 “ස්වාමීන් වහන්ස, මේ දෙකොටසම පුරුදුවූ සමාධීන් අවබොධ කරගැනීම හේතුකොට ගෙණම භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ නිසා බ්‍රහ්මචර්ය කෙරෙත්දැයි” ඇසීය.

“මහාලිය මේ සමාධීන් අවබෝධ කරගැනීම හේතුකොට ගෙණම භික්ෂූහු මා නිසා බ්‍රහ්මචර්ය නොකෙරෙති. මහාලිය යම් ධර්මයක් අවබෝධ කරගැනීම හේතුකොට ගෙණ භික්ෂූහු මා කෙරෙහි බ්‍රහ්මචර්ය කෙරෙත්ද, එසේවූ මීට වඩා ඉතා උසස්වූද ඉතා මිහිරිවූද වෙනත් ධර්ම ඇත්තාහුමය”යි කීවාහුය.

චතුඅරියඵලං Msdiv 373 “ස්වාමීන් වහන්ස, යම් ධර්මයක් අවබෝධ කරගැනීම හේතු කොට ගෙණ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි උතුම් හැසිරීමෙහි පිළිපැදීමක් කෙරෙද්ද? මීට වඩා ඉතා උසස්වූද ඉතා මිහිරිවූද ඒ ධර්ම මොනවාදැ”යි ඇසීය.

යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි භික්ෂූහු උතුම් හැසිරීමෙහි පිළිපැදීමක් කෙරෙත් නම් උසස් ධර්මවලින් උසස්වූ ඒ ධර්ම මොනවාදැ”යි අසනලදී.

“මහාලිය, මේ ශාසනයෙහි භික්ෂු තෙමේ (සංයොජන) බන්ධන තුනක් සම්පූර්ණයෙන් නැති කිරීමෙන් සෝවාන් වේද, සතර අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තේද මාර්ග ධර්ම නියමයෙන් ස්ථිර වූයේ වේද, රහත් වීමට නියත වූයේ වේද, මහාලිය, භික්ෂූහු මාගේ ශාසනයෙහි යම් ධර්මයක් අවබොධ කිරීම සඳහා උතුම් හැසිරීමෙහි පිළිපැදීමක් කරද්ද, එසේවූ මේ ධර්මය සමාධීන්ට වඩා අතිශයින් උසස් වේ, අතිශයින් ශ්‍රෙෂ්ඨ වේ.

මහාලිය, තවද වෙනත් කරුණක් ඇත්තේය. භික්ෂු තෙමේ තුන් ආකාර බන්ධනයන් සම්පූර්ණයෙන් නැතිකිරීමෙන් රාග, ද්‍වෙෂ, මොහයන් තුනී කිරීමෙන් සකෘදාගාමි වේද, එක වරක් මේ ලොකයට පැමිණෙන ස්වභාව ඇත්තේ සසර දුක කෙළවර කෙරේද, මහාලිය, භික්ෂූහු මාගේ ශාසනයෙහි යම් ධර්මයක් අවබොධ කිරීම සඳහා උතුම් හැසිරීමෙහි පිළිපැදීමක් කරද්ද, එසේවූ ධර්මය සමාධීන්ට වඩා අතිශයින් උසස් වේ, අතිශයින් ශ්‍රෙෂ්ඨ වේ.

“මහාලිය, තවද වෙනත් කරුණක් ඇත්තේය. භික්ෂු තෙමේ පස් ආකාර බන්ධනයන් සම්පූර්ණයෙන් නැතිකිරීමෙන් බඹ ලොව උපදින ස්වභාව ඇත්තේවේද, මහාලිය භික්ෂූහු මාගේ ශාසනයෙහි යම් ධර්මයක් අවබොධ කිරීම සඳහා උතුම් හැසිරීමෙහි පිළිපැදීමක් කරද්ද, එසේවූ, මේ ධර්මය සමාධීන්ට වඩා අතිශයින් උසස් වේ, අතිශයින් ශ්‍රෙෂ්ඨ වේ.

මහාලිය, තවද වෙනත් කරුණක් ඇත්තේය. භික්ෂු තෙමේ ක්ලෙශයන් සම්පූර්ණයෙන් නැති කිරීමෙන් ක්ලෙශ බන්ධනයන්ගෙන් මිදුනාවූ අර්හත් ඵල චිත්තයද අර්හත්ඵල ඥානයද මේ ආත්ම භාවයෙහි තමන්ම උසස් ඥානයෙන් අවබෝධකොට ලබාගෙණ වාසය කෙරේද, මහාලිය, භික්ෂූහු මාගේ ශාසනයෙහි යම් ධර්මයක් සඳහා උතුම් හැසිරීමෙහි පිළිපැදීමක් කරත්ද, එසේවූ මේ ධර්මය ඒ සමාධීන්ට වඩා අතිශයින් උසස් වේ. අතිශයින් ප්‍රධාන වේ.

“මහාලිය, භික්ෂූහු මාගේ ශාසනයෙහි යම් ධර්මයක් සඳහා උතුම් හැසිරීමෙහි පිළිපැදීමක් කරද්ද, එසේවූ මේ ධර්මය ඒ සමාධීන්ට වඩා අතිශයින් උසස්වූද ශ්‍රෙෂ්ඨවූද ධර්මයෝමය”යි කීසේක.

අරියඅට්ඨඞ්ගිකමග්ගො Msdiv 374 “ස්වාමීන් වහන්ස, මේ සෝවාන් ඵල ආදී ධර්මයන් අවබොධ කරගැණීමට මාර්ගයක් ඇද්ද, පිළිපැදීමක් ඇද්දැ”යි ඇසීය.

“මහාලිය,මේ සෝවාන් ඵල ආදී ධර්මයන් අවබොධ කරගැණීම පිණිස මාර්ගයක් ඇත්තේමය. පිළිපැදීමක් ඇත්මැයි” කීසේක.

Msdiv 375 “ස්වාමීන් වහන්ස, මේ ධර්මයන් අවබොධ කිරීම පිණිසවූ ඒ මාර්ගය කවරේද? ඒ පිළිපැදීම කවරීදැයි” ඇසුවේය.

“මේ උතුම් අංග අටකින් යුත් මාර්ගය (ආර්ය අෂ්ටාංගික මාර්ගය) මැයි. එනම්:- හරි අවබොධය, හරි කල්පනාව හරි වචනය හෝ කථාව, හරි ක්‍රියාව, හරි ජීවත්වීම හරි උත්සාහය, හරි සිහිකිරීම, හරි සමාධිය, මහාලිය, ඒ ධර්ම අවබොධ කිරීමට මේ මාර්ගයවේ. මෙයම පිළිපැදීම වේ.

ද්වෙපබ්බජිතවත්ථු Msdiv 376 “මහාලිය, මම එක් කලක කොසොඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වාසය කෙළෙමි. එවිට මණ්ඩිස්ස නම් පරිබ්‍රාජක* තෙමේද පරිබ්‍රාජකයෙකුගේ අතවැසියෙකුවූ ජාලිය නම් පරිබ්‍රාජක තෙමේද යන මහණුන් දෙදෙන මම යම් තැනෙක්හිද එතනට පැමිණියාහුය. පැමිණ මා හා සමග සතුටුවූහ. සතුටුවිය යුතු කථා අවසානකොට එක පැත්තකටව සිටියෝය, එක පැත්තකටව සිටියාවූ ඒ මහණුන් දෙදෙනා මාගෙන් මෙසේ ඇසුවාහ.

“ඇවැත් ගෞතමයාණෙනි, ජීවයත් ශරීරයත් එකද නොහොත් ජීවය අනිකෙක්ද ශරීරය අනිකෙක්ද?”

* මහණුන් වර්ගයක්

Msdiv 377 ඒ පැවිද්දන්ට මම මෙසේ කීවෙමි.

“අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනා ඥාන ආදී විද්‍යාඅට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පසළොස යන අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, (චතුරාර්ය සත්‍ය) සත්‍යවූ උතුම් ධර්ම සතර අවබොධකළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ, සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, (දස ආකාරයෙන්) නියම විදියට වචන ශබ්ද කරන්නාවූ ඛ්‍යඤ්ජන සහිත, සියලු ලෙසින් සම්පූර්ණවූ පිරිසිදුවූ සියලු ශාසනමාර්ග බ්‍රහ්මචර්ය ගෙන හැර දක්වති.

“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයි. ඔහු ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය.’ ගෘහවාසය පීඩා සහිතයි, රාගාදී කෙලෙස් සහිත මාර්ගයෙකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නට නොහැක්කේය. මම කෙස් දැලිරැවුලු කපාදමා සිව්රු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි’ කියායි.

“ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් රාසිය හැර, ස්වල්පවූ හෝ බොහෝවූ නෑපිරිස් හැර, කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වේ. මෙසේ මහණවූ ඔහු ප්‍රධාන සංවරසීලයෙන් යුක්තවූයේ, යහපත් හැසිරීමෙන් හා වරද නැති පැවැත්මෙන් යුක්තවූයේ, ස්වල්පවූත් අකුසලයන්හි විශෙෂයෙන් භය දක්නා ගති ඇත්තෙක් වූයේ, යහත්වූ ශරීරයෙන් වචනයෙන් ක්‍රියාවෙන් යුක්තවූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි පිරිසිදුවූ ජීවන පැවැතුම් ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්තවූයේ වෙයි. ඉන්ද්‍රියයෙහි වැසූ දොරටු ඇත්තේ වෙයි, කෑමෙහි පමණ දන්නේ වෙයි, යහපත් සිහියෙන් හා නුවණින් යුක්තවූයේ වෙයි, සන්තෝෂයෙන් යුක්තවෙයි.

“මහාලිය, භික්ෂුනමක් කෙසේ නම් සීලසම්පන්න වේද? මහාලිය, මේ සස්නෙහිවූ භික්ෂුනමක් ප්‍රාණවධය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුද ඇත්තේ. පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්තවූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතිව වාසය කෙරේද මෙයද ඔහුගේ සීලයක්වේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළැක්කේ, දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමතිවන්නේ, සොරනොවූ පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කෙරේද මෙයද ඔහුගේ සීලයෙකි. අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාමධර්මයෙන් වෙන්වූයේ බ්‍රහ්මචාරිවේද මෙයද ඔහුගේ සීලයෙකි. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, සැබෑ තෙපුල් කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේද මෙයද ඔහුගේ සීලයෙකි. පිසුණු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගතිඇත්තේද, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේද, මෙසේ භෙදවූවන් ගළපන්නේ සමගිවූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ. සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ තෙපුල් කියන්නේවේද මේද ඔහුගේ සීලයෙකි. ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ යම් වචනයක් නිදොස් වේද, කණට සැපද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රියකරන්නේද, එබඳු වචනම කියන්නේ වේද මෙයද ඔහුගේ එක් සීලයකි. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ තෙපුල්ම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්ත විනය සම්බන්ධවූ තෙපුල් කින්නේ, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේද මෙසේ ඒ හිස් කථාවෙන් වැළැක්මද දියුණුවට හේතුවන වචන කීමද මෙයද ඔහුගේ සීලයෙකි.

“තණ, ගස්, වැල්, සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන කෑම ඇත්තේ, රාත්‍රි කෑමෙන් හා අවේලෙහි කෑමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය. නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. මල්, ගඳ, විලවුන් පැළඳීම, ඉන් සැරසීම, අඩු තැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළැක්කේය. රන් රිදී මසුරන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේය. අමුමස් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද ස්ත්‍රීන් හා ගෑනුළමයින් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද වේ වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේය. එළුවන් හා තිරෙළුවන් පිළිගැන්මෙන් තොරවූයේය. කුකුළන්, හූරන්, ඇතුන් ගවයන්, අසුන්, වෙළඹුන්, කෙත්, වත්, යන මේ පිළිගැන්මෙන්ද, සම්පූර්ණයෙන් තොර වූයේය. ගිහීන්ගේ දූත මෙහෙවරය, ගෙන්ගෙට යන පහත් මෙහෙවරය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. ගනුදෙනු කිරීමය තරාදි ආදියෙන් වඤ්චා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වඤ්චා කිරීමය, වී ආදිය මැණීමෙන් වඤ්චා කිරීමය, හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. කැපීමය, මැරීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින්ද සම්පූර්ණයෙන් වැළැක්කේය, මෙයද ඔහුගේ සීලයක්වේ.

(සුලු සිල් නිමියේය.)

“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කාමූලබීජය, ඛන්ධබීජය, එළුබීජය, දලුබීජය, පස්වැනිවූ බීජබීජය යන මේ ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්ද මෙබඳුවූ බීජගාම භූතගාමයන් සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙක් වේ.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා ආහාර වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයොජන ගැන්මය, බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයොජන ගැන්මය, නොඉටන ලද (අයිතියට නොගත්) සිවුරු ආදිය, යාන සංඛ්‍යාත වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියනලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත්ද මෙබඳුවූ සන්නිධිකාර පරිභොගයෙන් වැළකී වෙසේ නම්, මෙයද ඔහුගේ සීලයෙක් වේ.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා නැටීමය, ගී කීමය, බෙර ආදිය වැයීමය, රඟමඩුලු සැරසීමය, වැඩක් නැති කථා ඇසීමය, කයිතාලම් හා අත්ලෙන් අත්ල ගැසීමය, මන්ත්‍ර පිරවීමෙන් මළමිනි නැංවීමය, සතරැස් බෙර හෝ කළබෙර ගැසීමය, ශොභන චිත්‍ර විචිත්‍රය, සණදොවුන් කෙළිය, හුණගස් ඔසවා නැටීමය මිනීඇට සෝදා තැබීමය, ඇතුන් හා පොරය, අශ්වයින් යොදා පොරය, මීවුන් හා පොරය, ගවයින් හා පොරය, එළුපොරය, මෙණ්ඩක එළුපොරය, කුකුළුපොරය, වටුපොරය, දඬු පොලු) පොරය, තොරතුරු (අත මිට මොලවා) ඇනීමය, මල්ලව යුද්ධය, යුද්ධය, ඇත් අස් ආදිය දැකීමය යන විකාර දර්ශනයෙහි යෙදී වාසය කරත්ද මෙසේ මෙබඳු විසුලු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකේ නම් මෙයද ඔහුගේ සීලයෙක් වේ,

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා (දූ පෝරු ආදියෙහි කෙළිම්වූ) ක්‍රීඩාවය, දශපද ක්‍රීඩාවය, දූ පෝරු ආදියෙහි මෙන් ආකාශයෙහි ක්‍රීඩාකිරීමය, බිම මණ්ඩල වශයෙන් සාදා පැන පැන ක්‍රීඩා කිරීමය, දූ කැට නොසොල්වා නියෙන් ගසා ක්‍රීඩා කිරීමය, දාදු කෙළීමය, සිං කෙළීමය, භිත්ති ආදියෙහි ඉරටමිටි ගසා ඇත් අස් ආදී රූප දක්වා කෙළීමය, පන්දු කෙළීමය, නළා පිඹීමය, ක්‍රීඩා නඟුල් ගෙන සෙල්ලම් සීසෑම්ය. කරනම් ගැසීමය, තල්පත් ආදියෙන් කන්නන්ගුරුවා තනා ක්‍රීඩාකිරීමය, කොළ නැළියෙන් වැලි ආදිය මැණ කෙළීමය, කුඩා රථයෙන් කෙළීමය, කුඩා දුන්නෙන් කෙළීමය, අහසෙහි හෝ පිටෙහි හෝ අකුරු ඇඳ කෙළීමය, සිතූ දේ කියවීම් කීම් ආදියෙන් කෙළීමය ඒ ඒ දෝෂ රූප දක්වා කෙළීමය, යන මෙබඳුවූ ප්‍රමාදයට කාරණාවූ දූ කෙළීමෙහි යෙදී වාසය කෙරෙත්ද. මෙසේ මෙබඳුවූ කෙළියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා දික්හඟලා පුටුය, පලස්ය, සතරඟුලෙන් දිග ලොම් ඇතිරිය, විසිකුරු එළුලොම් ඇතිරිය, එළුලොම් සුදු ඇතිරිය, එළු ලොමින් කළ ඉදිරියට නෙරූ මල් ඇති ඇතිරිය, සිංහාදී රූපයෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එක් පිට ලොම් ඇති ඇතිරිය. දෙපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය, රත්රන් නූලෙන් කළ පට ඇතිරිලිය, එක්විට නැට්ටුක්කාරියන් දහසය දෙනෙක් නටනා එළුලොමින් කළාවූ මහඇතිරිය, ඇතුන් පිට අතුරණ ඇතිරිය, අසුන් පිට අතුරන ඇතිරිය, රථ පිට අතුරණ ඇතිරිය, අඳුන්දිවි සමින් කළ ඇතිරිය, කෙසෙල් මුව සමින් කළ උතුම් ඇතිරිය, දෙපස තබනලද රතුපාට කොට්ට ඇති ආසනය, යන මෙබඳු උස් අසුන් මහ අසුන් පාවිච්චි කෙරෙත්ද මෙසේ මෙබඳුවූ උස් අසුන් මහ අසුන්හි හිඳීම් ආදියෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි,

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ඇඟ ඉලීමය, පිරිමැදීමය, නෑවීමය, මැඩීමය, මූනබලන කන්නාඩි, අඳුන් තෙල් පාවිච්චිය හා සුවඳ, මූණේ ගානා සුවඳ කුඩු, මූණේ ගානා සුවඳ ද්‍රව්‍ය, අත්වල බඳින ආභරණ යන මේ දේ දැරීම හා පැළඳීමය, රත්රන් නූල් ආදියෙන් කුඩුම්බි බැඳීමය, විසිතුරු දඬුගෙන හැසිරීමය, බෙහෙත් නළ එල්වාගෙන ඇවිදීමය, කඩු විසිතුරු කුඩ ගෙනයෑම, විසිතුරු සෙරෙප්පු හෝ සපත්තු පයලා ඇවිදීමය. නලල්පට බැඳීමය, කොණ්ඩා මාණික්‍ය පැළඳීමය, අවන් දැරීමය, දික්වූ දහවලු ඇති සුදුරෙදි ඇදීමයයි මෙසේවූ සැරසීම් හා අඩුතැන් පිරවීමෙහි නිතර නිතර යෙදෙත්ද මෙබඳුවූ සැරසීම් අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම ඇතැම් පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය මහ ඇමතියන් පිළිබඳ කථාය, සෙනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, ඇඳන් පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, ගන්ධ ද්‍රව්‍යයන් පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නුවර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, ගෑනු දරුවන් පිරිමි දරුවන් පිළිබඳ කථාය, යොධයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, වතුර ගෙන යන දාසීන් හෝ වතුර ගෙන යන තැන් හෝ පිළිබඳ කථාය, මළ නෑයන් යන ආදීන් පිළිබඳ කථාය, නොයෙක් ආකාරවූ තේරුම් නැති කථාය, ලොකය පිළිබඳ කථාය, මුහුද පිළිබඳ කථාය, භවාභව කථාය යන මෙබඳු පහත් කථාවෙහි යෙදී වෙසෙත්ද මෙබඳුවූ පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘ඔබ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි’ ‘ඔබ මේ ධර්ම විනය කුමකැයි දන්නෙහිද? ඔබ වරදවා පිළිපදින්නෙහිය, මම මනාකොට පිළිපදින්නේ වෙමි’. ‘මාගේ වචන යහපත්ය, හෝ අර්ථ සහිතය, ඔබගේ වචන අර්ථ රහිතය’ ‘පළමු කිය යුත්ත පසුව කියෙහිය. පසුව කිය යුත්ත පළමුව කීයෙහිය. යමක් ඔබ බොහෝ කල් පුරුදුකරණලද නම් ඒ සියල්ල නිෂ්ඵල විය. ඔබට වාදාරොපනය කරණ ලදී. නින්දා කරණ ලද්දෙහිය. වාදයෙන් මිදෙනු පිණිස ක්‍රියා කරව. ඉදින් හැක්කෙහි නම් වාදයෙන් ගැළවෙව’ යන ආදී දෝෂාරොපණ කථාවෙහි යෙදී වෙසෙත්ද මෙසේ මෙබඳු දෝෂාරොපණ කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේ සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘රජුන්ගේ, රජ මහ ඇමතියන්ගේ, ක්ෂත්‍රියන්ගේ, බමුණන්ගේ, ගෘහපතියන්ගේ සහ කුමරුන්ගේද හසුන්ගෙණ, ‘මෙතනින් අසවල් තැනට යව අසවල් තැනින් මෙහි එව, මෙය ගෙණ යව, එතැනින් අසවල් දෙය ගෙණෙව’යි දූතභාවයෙහි හා හසුන් ගෙණ යෑමෙහි යෙදී වෙසෙත්ද මෙබඳු දූත භාවය, හසුන් ගෙණයෑම යන මෙයින් වැළැක්කේ නම් මෙයද ඒ ඔහුගේ එක් සීලයෙකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා කුහකයෝද, සිවුපසය උදෙසා කථා කරන්නෝද, නිමිති කරන්නෝද නොහොත් ලාභ සත්කාර සඳහන් කරන්නෝද, පරලාභාදිය උදෙසා කියන්නෝද ලාභයකින් ලාභයක් සොයන්නෝද වෙත්. මෙබඳුවූ කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වැළැක්මක් වේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.”

(මැදුම් සිල් නිමියේය.)

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා සාමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය, හෙනගැසීම ආදී මහ නිමිතිබලා කියන ශාස්ත්‍රය, ස්වප්න ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, මීයන් කැපූ වස්ත්‍රාදිය බලා කියන ශාස්ත්‍රය, ගිනිදෙවියා පිදීමය, දබ්බිහොමය, ථුස හොමය, තණ්ඩුල හොමය, කණ හොමය, සප්පි හොමය, තෙල හොමය, මුඛ හොමය, ලේ හොමය, ශරීරවිද්‍යා, වාස්තු විද්‍යා, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන්නාවූ විද්‍යා, භූත විද්‍යා, නාග විද්‍යා. විෂ විද්‍යා, ගෝනුසු විද්‍යා, මී විද්‍යා, කුරුලු විද්‍යා, කපුටු විද්‍යා, ජීවිත කාලය කීම, ආයුධ වැළැක්ම, තිරිසන් සතුන්ගේ ශබ්ද දැනීම වශයෙන් පැවති මන්ත්‍රය යන පහත් විද්‍යා හේතුකොට ගෙන වැරදි ජීවිතයෙන් ජීවිකා කෙරෙත්. මෙසේ මෙබඳු පහත් විද්‍යා හේතුවෙන් කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේද මෙයද ඔහුගේ එක් සීලයෙකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මණි ලක්ෂණය, වස්ත්‍ර ලක්ෂණය, දණ්ඩ ලක්ෂණය, කඩු ලක්ෂණය, දුනු ලක්ෂණය, ආයුධ ලක්ෂණය, ස්ත්‍රීලක්ෂණය, පුරිස ලක්ෂණය, පිරිමිදරු ලක්ෂණය, ගෑනුදරු ලක්ෂණය, දාස ලක්ෂණය, දාසිලක්ෂණය, ඇත් ලක්ෂණය. අශ්ව ලක්ෂණය, කැස්බෑ ලක්ෂණය, එළු ලක්ෂණය, මීහරක් ලක්ෂණය, ගව ලක්ෂණය, ලොකු එළු ලක්ෂණය, කුකුළු ලක්ෂණය, වටු ලක්ෂණය, තලගොයි ලක්ෂණය, කර්ණිකා ලක්ෂණය, මුව ලක්ෂණයයි, මෙබඳු පහත් විද්‍යාවන් කරණ කොට ගෙණ වැරදි ජීවිකාව කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යාවන් නිසා කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයෙකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා අසවල් දිනට රජුන්ගේ බැහැර යෑම වන්නේය. අසවල් දින ඇතුළු නුවරට එන්නේය. අසවල් දින ඇතුළු නුවර රජුන් වෙත පැමිණීම වන්නේය. බැහැර රජුන්ගේ බැහැරට යෑම වන්නේය. බැහැර රජුන්ගේ ඇතුළු නුවරට ඊම වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ ආපසු යෑම වන්නේය ඇතුළු නුවර රජුන්ට ජය වන්නේය. බැහැර රජුන්ගේ පරාජය වන්නේය. බැහැර රජුන්ගේ ජය වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ පරාජය වන්නේය. මෙසේ මොහුට ජය වන්නේය, මෙසේ පරාජය වන්නේයයි කියා මෙසේ පහත් විද්‍යා හේතුකොට ලාමක ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ පහත් විද්‍යා හෙතුවෙන් කරණ වැරදි ජීවිතයෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයක් වේ.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ‘චන්ද්‍රග්‍රහණය වන්නේය. සූර්යග්‍රහණය වන්නේය තාරකා සමාගමය වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නියම මාර්ග ගමන වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නොමග යෑම වන්නේය, තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය. තාරකාවන්ගේ නොමග යෑම් වන්නේය, උල්කාපාතය වන්නේය, දිසා දැවීම වන්නේය, පොළොව කම්පාව වන්නේය, අහස ගිගුරුම් වන්නේය, සඳ, හිරු තාරකාවන්ගේ නැගීම හා බැහීමද කෙළෙසීමද පිරිසිදු වීමද වන්නේය, චන්ද්‍ර ග්‍රහණය මෙබඳු විපාක ඇතිවන්නේය, සූර්යග්‍රහණය මෙබඳු විපාක ඇති වන්නේය, තාරකා සමාගමය මෙබඳු විපාක ඇතිවන්නේය චන්ද්‍ර සූර්යයන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇති වන්නේය, ඔවුන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, තාරකාවන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, තාරකාවන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, උල්කාපාතය මෙබඳු විපාක ඇතිවන්නේය දිගුන් දැවීම මෙබඳු විපාක ඇතිවන්නේය, භූමි කම්පාව මෙබඳු විපාක ඇතිවන්නේය, අහස් ගිගුම මෙබඳු විපාක ඇති වන්නේය, සඳ, හිරු, තාරකාවන්ගේ නැගීම, බැසීම, කිලිටුවීම හා පිරිසිදුවීම මෙබඳු විපාක ඇතිවන්නේයයි’ කියා මෙසේ පහත් විද්‍යා හේතුවෙන් කරණ වැරදි ජීවිකාවෙන් ජීවිකා කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යා හේතු කොට ගෙණ කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ‘මනා වැසි ඇතිවන්නේය, මනා වැසි නැතිවන්නේය, යහපත් ආහාරපාන ඇතිවන්නේය, ආහාර පාන නැති වන්නේය, නිර්භය ඇතිවන්නේය, භය ඇතිවන්නේය, රොග ඇතිවන්නේය, නිරෝගි බව ඇතිවන්නේයයි’ කීමද, ඇඟිල්ල ඇල්ලීමය, ගණන්කිරීමය, කොටස්කර ගණන්කිරීමය, කාව්‍ය කිරීමය, ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙණීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණකොට වැරදි ජීවිකා කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යා හෙතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ආවාහ කරවීමය, විවාහ කරවීමය, සමගිය පිළිබඳ කථාකිරීමය, වියොගය පිළිබඳ කථාකිරීමය, ධන රැස්කිරීමය, වියදම් කිරීමය, යහපත් ශ්‍රියාව ඇතිකිරීමය, දුර්ගර්භකරණය, ගර්භවිරොධි කරණය, දිව් තදකිරීමය, නූල් බැඳීමය, අත් පෙරළීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, ශබ්ද නොඇසීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, කැඩපත්හි දෙවතාරොපණයකොට ප්‍රශ්න ඇසීමය, ගෑනුදරුවන්ගේ ශරීරයෙහි දෙවතාරොපණය කොට ප්‍රශ්න ඇසීමය, දෙවදාසියගේ ශරීරයෙහි යකුන් ආරොපණය කොට ප්‍රශ්න ඇසීමය, හිරුවැඳීමය, මහබඹුට උපස්ථාන හෝ වැඳුම් කිරීමය, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දෙවිය කැඳවීමයයි කියන මෙබඳු පහත් විද්‍යාවෙන් වැරදි ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ පහත් විජ්ජාවෙන් කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ශාන්ති කිරීම, කාර්යය සමෘද්ධි කටයුතු කර්මය, මන්ත්‍ර කිරීමය, භූරිකර්මය, පණ්ඩකයා පුරුෂයකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය, ගෙවල් නොකළ බිම් ගෙවල් කිරීමය, ගෙට සුදුසු තැන බලිකම් විධානය, දියෙන් මූන සුද්ධ කිරීමය, නැහැවීමය, ගිනි පිදීමය, වමන කරවීමය, විරේක කරවීමය, උඩු කය විරේකය, යටිකය විරේකය, හිස විරේකය, කන්තෙලය, ඇස් බෙහෙත් ගැල්වීමය, නස්‍ය කිරීමය, අඳුන් ගෑමය, සිසිල් බෙහෙත් අඳුන් සෑදීමය, ආයුධ කටු ගසා කරන වෙදකමය, ශල්‍යකර්මය, ළදරුවන් පිළිබඳ වෙදකම්ය, මූලික බෙහෙත් දීමය, සැර බෙහෙත් දී පසුව එහි බල හැරීමය කියා හෝ මෙබඳු පහත් විද්‍යා කරණකොට වැරදි ජීවත්වීමෙන් ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයකි.

“මහාලිය, මෙසේ ශීල සම්පන්නවූ භික්ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ ශීලසංවරය හෙතු කොට ගෙණ කිසිතැනකදී නොඋපදනේය. කුමක් මෙන්ද යත්: මහාලිය, ක්ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂෙක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්ෂත්‍රිය රජෙක් කිසියම් සතුරෙකුගෙන් කිසි භයකුත් නොදක්නේද, එපරිද්දෙන්ම, මහාලිය, සීලසම්පන්නවූ භික්ෂුතෙමේ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු සීලසංවරය හෙතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්යවූ (උතුම්වූ) මේ සීල රාශියෙන් යුක්තවූ ඒ භික්ෂු තෙම, තමන් තුළ පිරිසිදුවූ (කායික චෛතසික) සැපය විඳියි. මහාලිය, මෙසේ දැක්වූ ශීලයෙන් යුක්තවූ භික්ෂුව සීලසම්පන්න නම් වේ.

(මහ සිල් නිමියේය.)

“මහාලිය, භික්ෂුව කෙසේ නම් ඉන්ද්‍රියන්හි වැසූ දොරටු ඇත්තේද? මහාලිය, මේ සස්නෙහි භික්ෂු තෙමේ, ඇසින් රූපයක් දැක එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ඇස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රියය රකී, ඇස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කනින් ශබ්දයක් අසා එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. කන් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ කන් ඉන්ද්‍රියය රකී කන් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. නාසයට ගඳ සුවඳ දැනී එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. නාස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ නාස් ඉන්ද්‍රියය රකී. නාස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. දිවෙන් රසයක් විඳ එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. දිව් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ දිව් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කයින් ස්පර්ශයක් ස්පර්ශකොට එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ස්පර්ශ ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ ස්පර්ශ ඉන්ද්‍රියය රකී. ස්පර්ශ ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. සිතින් (ධර්මයක්) අරමුණක් දැන එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. සිත් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් නිසා දැඩි ආසාව හා කලකිරිම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. හෙතෙම සිත් ඉන්ද්‍රිය රකී. සිත් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. එබඳුවූ භික්ෂුව උතුම්වූ ශීල රාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිදුවූ අධිචිත්ත සැපය විඳියි. මහාලිය, මෙසේවූ භික්ෂු තෙමේ ඉන්ද්‍රියයන්හි වසනලද දොරටු ඇත්තේ වේ.

“මහාලිය, භික්ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද?

“මහාලිය, මේ සස්නෙහි භික්ෂුතෙම ඉදිරියට යෑමෙහිද, ආපසු යෑමෙහිද, නුවණින් දැන කරන්නේය. ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද නුවණින් දැන බලන්නේය අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, මනා නුවණින් දැන එසේ කරන්නේය. දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිදී මනා නුවණින් දැන එසේ කරන්නේය. අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය, රස විඳීමය යන මෙහිද මනා නුවණින් යෙදී එසේ කරන්නේය. මල මුත්‍ර පහකිරීමද නුවණින් (ආදිනව) සලකා කරන්නේය. යෑම් සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොරකිරීම්, කථාකිරීම්, නිශ්ශබ්දව සිටීම යන මේ දේ මනා නුවණින් දැන කරන්නේය. මහාලිය, මෙසේ කරන්නාවූ භික්ෂු තෙමේ සිහියෙන් යුක්තවූයේ යහපත් නුවණින් යුක්ත වූයේ වෙයි.

“මහාලිය, භික්ෂු තෙමේ කෙසේ සතුටු වූයේ වේද?

“මහාලිය, භික්ෂුතෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද, සතුටු සිත් ඇත්තේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් අටපිරිකර (කය පිළිබඳවූ දේ) පමණක් ගෙන යයි. මහාලිය, යම් සේ පක්ෂියෙක් යම් තැනෙක පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, මහාලිය, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය ආරක්ෂාවට ප්‍රමාණවූ සිවුරෙන්ද බඩ ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු වන්නේ වේ. ඔහු යම් තැනක යා නම් අටපිරිකර පමණක් රැගෙණ බැහැර යයි. මහාලිය, මෙසේවූ භික්ෂු තෙමේ සන්තොෂයෙන් යුක්ත වේ.

“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, මේ උතුම්වූ සන්තොෂයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, කඳු පලාත්ද, කඳුරැලි ගල්ගුහාවන් හෝ මහා මගද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තණ ගුහාද යන මේ ස්ථාන ආශ්‍රය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළැක්කේ, පර්යංකය බැඳ, කකුල් අකුලුවා හිඳ ශරීරයේ උඩු කොටස කෙලින් තබා නිවණෙහිම සිත එලවා, ඒ නිවණම අරමුණු වසයෙන් සිත ඉදිරියෙහි පිහිටුවාගෙණ හිඳී.

“ඔහු ලොකයෙහි ලොභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලොභ සිත වෙන් කොට පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රොධය පහකොට ක්‍රොධයෙන් දුරුවූ සිත් ඇතිව පණඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේව වාසයකරයි. ක්‍රොධ දොෂයෙන් වෙන්ව සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරුකොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ පිරිසිදු හැඟීම් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේ. අලස බව දුරුකොට සිත පිරිසිදු කෙරේ. උඩඟු බව හා කුකුස දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, සිත උඩඟු බව හා කුකුසෙන් පිරිසිදු කෙරේ. විචිකිච්ඡාව (සැකය) දුරුකොට, පහකළ විචිකිච්ඡා ඇත්තේ කුශලධර්ම විෂයෙහි සැක නැතිව වෙසේ; විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.

“මහාලිය, යම්සේ පුරුෂයෙක් ණය ගෙණ කර්මාන්තයන්හි යොදන්නේද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණුවන්නාහු නම් ඔහුගේ ඒ පරණ ණය මුදල් සියල්ලම ගෙවන්නේය. ඔහුගේ අඹුදරුවන් ආරක්ෂා කරණ පිණිස වැඩි යමක් ඉතුරු වූයේ නම් ඕහට මෙබඳු අදහසක් ඇතිවේ. ‘මම පළමුවෙන් ණය ගෙණ කර්මාන්තයන්හි යෙදුවෙමි. ඒ මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. ඒ මම පැරණි ණය ගෙවූයෙමි. අඹුදරුවන් පොෂ්‍ය කිරීම පිණිස අතිරේක මුදලක්ද මට ඇත්තේය, කියායි. හෙතෙම ඒ ණය නැති බව මුල්කොට ගෙණ බලවත් සතුටක් ලබන්නේය. සතුටටද පැමිණෙන්නේය.

“මහාලිය, යම්සේ රොගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩි ගිලන්බව, ඇති පුරුෂයෙක් වන්නේද, ඕහට ආහාර රුචි නොවන්නේද, ඔහුගේ ශරීරයෙහි කිසි ශක්තියක් නැත්තේද වෙයි. ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට ආහාර රුචිය ඇති වන්නේ නම් ඔහුගේ ශරීර බලය ඇති වන්නේ නම්, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. කෙබඳුද යත්: ‘මම පෙර ආබාධ ඇත්තාවූ, දුක් ඇති, දැඩි ගිලන් බව ඇති කෙනෙක් වීමි. මට බත් රුචියද නොවීය, ශරීර බලයද නැතිවිය, ඒ මම පළමු තිබූ ආබාධයෙන් මිදුනෙමි. මට ආහාර රුචියද ඇත්තේය. කාය බලයද තිබේය’ කියායි. ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය, සොම්නසටද පැමිණෙන්නේය.

“මහාලිය, යම්සේ පුරුෂයෙක් සිරගෙයි බැඳුනේ වේද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය. ඔහුගේ කෑම පිළිබඳ කිසිත් වියදමක්ද නොවන්නේය, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: ‘මම පෙර සිරගෙයි බැඳුනෙක් වූයෙමි. ඒ මම දැන් පීඩා රහිතව සැපසේ ඒ සිරගෙයින් මිදුනෙමි. මගේ කෑම පිළිබඳ කිසි වියදමක්ද නොවූයේය’ කියායි. ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය, සතුටටද පැමිණෙන්නේය.

“මහාලිය, යම් සේ සිය කැමැත්තෙන් යමක් කරන්ට නොහැකි. අනුන්ට යටත්වූ, තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකි වැඩකරුවෙක් වන්නේද, ඔහු පසු කලක ඒ දාසභාවයෙන් මිදෙන්නේ, තමාම අධිපතිකොට ඇත්තේද අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ, සිය අදහස් පරිදි ඒ ඒ තැන යා හැකි වන්නේද, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: ‘මම පෙර සිය කැමැති පරිදි යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත් මා අදහස් පරිදි කිසි තැනෙක යානොහැකි දාසයෙක් වීමි. ඒ මම දැන් ඒ දාස භාවයෙන් මිදුනෙක්මි. තමා අධිපති කොට ඇත්තෙක් වීමි. අනුන්ට යටත්නූන කෙනෙක් වීමි. අනුන්ට යටත් නොව මා සපයාගත් දෙයින්ම යැපෙන්නෙමි, මා අදහස් පරිදි ඒ ඒ කැමති තැනෙක යා හැක්කේද වෙමි’යි කියායි. ඔහු ඒ දාසභාවයෙන් මිදීම හේතුකොට බලවත් සතුටක් ලබන්නේය. එසේම සතුටටද පැමිණෙන්නේය.

“මහාලිය, යම්සේ ධනවත්වූ භොග සම්පත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභවූ, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේද, ඔහු මද කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොරසතුරන්ගෙන් පීඩා නැති ගම්මානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේද, ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. එනම්:- ‘මම පෙර ධනවත් වූයෙම්, භොග සම්පත් සහිත වූයෙම්, දුර්ලභ භික්ෂා ඇති භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණියෙක් වූයෙමි. එසේවූ මම දැන් එම කාන්තාර මාර්ගය පසුකෙළෙමි. සැපවත්වූ භය රහිතවූ, ගමකට සැපසේ ක්‍රමයෙන් පැමිණියෙමි’යි කියායි. ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතර කිරීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය, එසේම සතුටටද පැමිණෙන්නේය.

“මහාලිය, ණය යම්සේද, රෝගය යම්සේද, හිරගේ යම්සේද, දාසභාවය යම්සේද, දීර්ඝ කාන්තාර මාර්ගය යම්සේද, එපරිද්දෙන් භික්ෂු තෙමේ පහනොකළ (පඤ්චනීවරණ) කුසල් වලක්වන කරුණු පහ තමා කෙරෙහි ලා නුවණින් දකීද මහාලිය, ණය නැති බව යම්සේද, නිරෝගී බව යම්සේද, සිරගෙන් මිදීම යම්සේද, අනුන්ට යටහත් නැති බව යම්සේද, භය නැති භූමිය යම්සේද, එපරිද්දෙන්ම මහාලිය, භික්ෂු තෙමේ පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමන් තුළ ලා දක්නේය.

“පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නාවූ ඒ භික්ෂුහට සතුටු ආකාරය උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසහගත සිත් ඇත්තහුගේ නාම කය (වේදනාදී ස්කන්ධ හතර) සංසිඳෙයි. සංසිඳිනු කය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට (එකඟ බවට) පැමිණෙයි.

“ඒ භික්ෂු තෙමේ වස්තුකාම ක්ලෙශයන්ගෙන් වෙන් වූයේම, අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන් වූයේම අරමුණට සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැපකොට ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදීම් වසයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරේද ඇවැත්නි, යම් භික්ෂුනමක් මෙසේ දනී නම්, මෙසේ දකී නම් ඒ මහණ හට ජීවයත් ශරීරයත් එකම හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි. ඇවැත්නි, යම් ඒ භික්ෂුවක් මෙසේ දනීද, මෙසේ දකීද ඔහුට ජීවයත් ශරීරයත් එකමයයි හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතු යැයි ඒ මහණුන් දෙදෙන කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි. මෙසේ දකිමි. එසේ වුවත් මම ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.

“ඇවැත්නි, නැවතද භික්ෂු තෙමේ අරමුණට සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම යන මොවුන්ගේ සන්සිඳීමෙන් අද්ධ්‍යාත්මයෙහි මනා පැහැදීම කරන්නාවූ, සිත පිළිබඳ එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කරයිද, ඇවැත්නි, යම් භික්ෂුනමක් මෙසේ දනී නම් මෙසේ දකී නම් ඒ මහණ හට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි. ඇවැත්නි, යම් ඒ භික්ෂු නමක මෙසේ දනීද, මෙසේ දකීද, ඔහුට ජීවයත්, ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුයයි කීහ. ඇවැතිනි, මම මෙය මෙසේ දනිමි. මෙසේ දකිමි. එසේ වුවත් මම ජීවයත් ශරීරයත් එකය හෝ ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.

“නැවතද ඇවැත්නි, ඒ භික්ෂු තෙමේ ප්‍රීතියෙහි නො ඇල්මෙන් මැදහත් බැව් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි යම් ධ්‍යානයක් පිළිබඳව (උපේක්ෂා) සැප දුක් දෙකට මැදහත් විඳීම ඇත්තේය, සිහි ඇත්තේය, සැපයෙන් විසීම ඇත්තේ යයි ආර්යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කෙරේද ඒ ඇවැත්නි, යම් භික්ෂුනමක් මෙසේ දනී නම්, මෙසේ දකීනම්, ඒ මහණහට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි. ඇවැත්නි, යම් ඒ භික්ෂු නමක් මෙසේ දනීද, මෙසේ දකීද, ඔහුට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුයයි කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි. මෙසේ දකිමි. එසේ වුවත් මම ජීවයත් ශරීරයත් එකය හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.

“නැවතද ඇවැත්නි, ඒ මහණතෙමේ සැප දුරු කිරීමෙන්ද, දුක් දුරු කිරීමෙන්ද පළමුකොටම සැප දුක් වේදනා නැතිව යාමෙන් දුක්ද නොවූ සැපද නොවූ, උපේක්ඛා-සති යන මොවුන්ගේ පිරිසිදු බැව් ඇති, හතරවෙනි ධ්‍යාන (කුසල) චිත්තයට පැමිණ වාසය කෙරේද, ඇවැත්නි, යම් භික්ෂු නමක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඒ මහණහට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි. ඇවැත්නි, යම් ඒ භික්ෂුනමක් මෙසේ දනීද, මෙසේ දකීද ඔහුට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුයයි කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එසේ වුවත් මම ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.

“ඥාන දර්ශනය පිණිස විදර්ශනා චිත්තය එළවා තබාද ඥානදර්ශනයට සිත නමාද, ඇවැත්නි, යම් භික්ෂු නමක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහුට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි. ඇවැත්නි, යම් ඒ භික්ෂුනමක් මෙසේ දනීද, මෙසේ දකීද, එබඳු ඥාන දර්ශනයක් ඇති මහණකුට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුනොවේයයි කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි. මෙසේ දකිමි. එසේවූ නමුත් මම ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.

“ඇවැත්නි, මෙයින් පසු කෙලෙස් නැතිකිරීම සඳහා කළයුත්තක් නැතැයි දනීද, යම් භික්ෂු නමක් මෙසේ දනීද, මෙසේ දකීද, එබඳුවූ විදර්ශනා ඥානයෙන් (සත්‍යය ඇතිසැටි දැකීම) දැක්කාවූ රහත්භික්ෂු නමට ජීවයත් ශරීරයත් එකමය ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි. ඇවැත්නි, යම් ඒ භික්ෂුනමක් මෙසේ දනීද මෙසේ දකීද. ඒ රහත් භික්ෂුනමට ජීවයත් ශරීරයත් එකමයයි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට නොවටීයයි කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි, එසේවූ නමුත් මම ජීවයත් ශරීරයත් එකයයි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.”

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රධර්මය දේශනා කළසේක. මෙයින් සතුටු සිත් ඇත්තාවූ ඔට්ඨද්ධ නම් මහාලි ලිච්ඡවි රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.

හයවෙනිවූ මහාලි සූත්‍රය නිමියේය.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection