LibraryDNDN 8
DN 838 min read

The Longer Discourse on the Lion’s Roar

Mahāsīhanādasutta

20
PDFGenerated
01 · Overview

The Buddha is challenged by a naked ascetic on the topic of spiritual austerities. He points out that it is quite possible to perform all kinds of austere practices without having any inner purity of mind.

02 · Reading guide

Read the full discourse slowly and reflect on key passages.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

දීඝ නිකාය සීලක්ඛන්ධ වර්ගය 8. කස්සප සීහනාද සූත්‍රය අචෙලකස්සපවත්ථු Msdiv 381 මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උජුඤ්ඤා නම් නුවර සමීපයෙහිවූ කණ්ණත්ථල මිගදාය නම්වූ තැනක වාසය කළහ. එකල කාශ්‍යප නම්වූ නිර්වස්ත්‍ර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහි කටයුතු කථාව අවසාන කර එකපැත්තකටවී සිටියේය. එකපැත්තකටවී සිටියාවූ නිර්වස්ත්‍ර පරිව්‍රාජක කාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.

“පින්වත් ගෞතමය, ශ්‍රමණ ගෞතම තෙමේ සියලු තපස්කම්වලට ගරහයි, නිර්වස්ත්‍රව හිඳීම, කෑම කා අත ලෙවකෑම ආදීවූ කටුක ජීවිත ඇති සියලු තපසුන්ට එකාන්තයෙන් අවමන් කරයි, චෝදනා කරයි, යන මේ කාරණය මා විසින් අසනලදී. පින්වත් ගෞතම මහණතෙමේ සියලු තපස්කම්වලට ගරහයි. නිර්වස්ත්‍ර හිඳීම අත ලෙවකෑම ආදීවූ කටුක ජීවිත ඇති සියළු තපසුන්ට ඒ කාන්තයෙන් හෙළාදකියි, අපවාද කෙරේයයි යම් ඒ කෙනෙක් මෙසේ කියත්ද, කිමෙක්ද ඔව්හු පින්වත් ගෞතමයන් විසින් කියන ලද්දක් කියන්නෝද? නැතහොත් පින්වත් ගෞතමයින්ට නැති නූපන් බොරු ගොතා කියා නින්දා වසයෙන් කියන්නෝද, පින්වත් ගෞතමයන් විසින් කියනලද කාරණයට අනුව කරුණු කියත්ද, නැතහොත් කරුණු සහිතව කියන අන්‍යයන්ගේ කීමකින් ඔබගේ කීම ගැරහිය යුතු කරුණකට සුලු වසයෙන්වත් නොපැමිණේද, අපි පින්වත් ගෞතමයන්ට බොරුවෙන් චොදනා කිරීමට නොකැමැත්තෝ වෙමු.

Msdiv 382 “කාශ්‍යපය, ශ්‍රමණ ගෞතම තෙමේ සියලු තපස්කම්වලට ගරහයි, කටුක ජීවිත ගතකරණ සියලු තපසුන්ට ඒකාන්තයෙන් අවමන් කෙරේයයි යම් ඒ කෙනෙක් කියත්ද, ඔව්හු මා කීවක් කියන්නෝ නොවෙත්. ඔව්හු මට නැති නූපන් බොරුවෙන් නින්දා කොට කියන්නෝ වෙත්. කාශ්‍යපය, මම මේ ලෝකයෙහි කටුක ජීවිතයක් ගතකරණ ඇතැම් තපසෙකු මරණින් මතු නරකයෙහි උපන්නා, මිනිස් ඇස ඉක්ම පවත්නා පිරිසිදුවූ දිව්‍ය ඇසින් දකිමි. කාශ්‍යපය, මම මේ ලොකයෙහි කටුක ජීවිත ගත කරණ ඇතැම් තපසෙකු මරණින් මතු සැප ඇති සුගතියෙහි උපන්නා, මිනිස් ඇස ඉක්ම පවත්නාවූ පිරිසිදු දිව්‍ය ඇසින් දකිමි.

Msdiv 383 කාශ්‍යපය, මම මේ ලොකයෙහි අඩුවූ දුක් ඇතිව වාසය කරන ඇතැම් තපසෙකු මරණින් මතු නිරයෙහි උපන්නා, මිනිස් ඇස ඉක්ම පවත්නාවූ පිරිසිදු දිව්‍ය ඇසින් දකිමි. කාශ්‍යපය, මම මේ ලොකයෙහි අඩුවූ දුක් ඇතිව වාසයකරන ඇතැම් තාපසයෙකු මරණින් මත්තෙහි සැප ඇති සුගතියෙහි උපන්නා, මිනිස් ඇස ඉක්ම පවත්නා පිරිසිදු දිව්‍ය ඇසින් දකිමි. කාශ්‍යපය, යම් බඳුවූ මම මෙසේ මේ තපසුන්ගේ මතු ජාතියෙන් මේ ජාතියට පැමිණීමද, දැන් මෙයින් යායුතු තැනද එයින් චුතවීමද, එයින් චුතවූවන්ගේ නැවත ඉපදීමද තත්වූ පරිද්දෙන් දනිම්ද, ඒ මම කුමට සියලු තපස්කම්වලට ගරහන්නෙම්ද, කටුක ජීවිතයක් ගතකරණ සියලු තපසුන්ට ඒ කාන්තයෙන් කුමට අවමන් කරන්නෙම්ද?

Msdiv 384 “කාශ්‍යපය, පණ්ඩිතවූ, දක්ෂවූ’ අන්‍යයන් සමග කරණලද වාද ඇත්තාවූ තියුණු නුවණ ඇත්තාවූ තමන්ගේ නුවණින් අනුන්ගේ වැරදි ඇදහීම බිඳින්නෝයයි සිතාසිටින සමහර මහණ බමුණෝ ඇත්තාහ. සමහර කරුණුවලින් මාගේ ධර්මය ඔවුන්ගේ ධර්මයට සමවෙයි. සමහර කරුණුවලින් සමනොවෙයි. ඔව්හු සමහර ධර්ම යහපත්යයි කියත්ද අපිද ඒ සමහර ධර්ම යහපත්යයි කියමු. ඔව්හු සමහර ධර්ම යහපත් නොවේයයි කියත්ද, අපිද ඒ සමහර ධර්ම යහපත් නොවේයයි කියමු ඔව්හු සමහර ධර්ම යහපත්යයි කියත්ද අපි ඒ ධර්ම යහපත් නොවේයයි කියමු. ඔව්හු සමහර ධර්ම යහපත් නොවේයයි කියත්ද, අපි ඒ සමහර ධර්ම යහපත්යයි කියමු. අපි සමහර ධර්ම යහපත්යයි කියමුද, අනික් අයද ඒ සමහර ධර්ම යහපත්යයි කියත්. අපි සමහර ධර්ම යහපත් නොවේයයි කියමුද, අනික් අයද ඒ සමහර ධර්ම යහපත් නොවේයයි කියත් අපි යම් සමහර ධර්ම යහපත් නොවේයයි, කියමුද, අනික් අයද ඒ සමහර ධර්ම යහපත් යයි කියත්.

සමනුයුඤ්ජාපනකථා Msdiv 385 “මම ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. ‘කාශ්‍යපය, අපේ මේ කාරණයන්හි යමක් සම නොවේද, ඒ කරුණු තිබෙත්වා මේ කාරණයන්හි යමක් සමවේද, කාශ්‍යපය, මේ කාරණයන් පිළිබඳ ගුරුවරුන් හා ගුරුවරුන් ශ්‍රාවකයන් හා ශ්‍රාවකයන් යම් නුවණැති කෙනෙක් විමසන්නාහු පරීක්ෂා කරන්නාහු සසඳා බලන්නාහු මේ පින්වතුන්ගේ යම් ධර්ම කෙනෙක් අකුසල්ද අකුසල්යයි වෙන්කොට තබනලද්දාහුද, වරද සහිතද වරද සහිතයයි වෙන්කොට තබන ලද්දාහුද, සේවනය නොකොට යුතුද සේවනය නොකොට යුතුයයි වෙන්කොට තබන ලද්දාහුද, නිදොස් අයට නුසුදුසුද නිදොස් අයට නුසුදුසුයයි වෙන්කොට තබන ලද්දාහුද, අපිරිසිදු ධර්මයෝද අපිරිසිදු ධර්මයෝයයි වෙන් කොට තබන ලද්දාහුද, කවරෙක් මේ ධර්මයන් දුරුකොට පවතීද, ශ්‍රමණ ගෞතමයෝ හෝ වෙද්ද, අන්‍යවූ පින්වත් ගුරුවරයෝ හෝ වෙත්දැයි මෙසේ නුවණැත්තෝ ගුරුන් ගුරුන් හා, ගෝලයන් ගෝලයන් හා සමානකර බලන්නාහු කවරෙක් මේ ධර්ම සහමුලින් දුරුකොට පවතීද, ශ්‍රමණ ගෞතම හෝ වේද අන්‍යවූ පින්වත් ගුරුවරු හෝ වෙත්දැයි මෙසේ නුවණැත්තෝ ගුරුවරුන් හා ගුරුවරුන් ගෝලයන් හා ගෝලයන් විමසා බලන්නහුද?

Msdiv 386 “කාශ්‍යපය, ඒ කරුණු විමසා සසඳා බලන්නාවූ නුවණ ඇත්තෝ භවතුන්ගේ මේ යම් ධර්ම අකුසල්ද අකුසල්යයි වෙන් කොට තබන ලද්දාහුද, වරද සහිතද වරද සහිතයයි වෙන්කොට තබන ලද්දාහුද නිවැරදි අයට නුසුදුසුද නිවැරදි අයට නුසුදුසු යයි වෙන් කොට තබන ලද්දාහුද, අපිරිසිදු ධර්මය අපිරිසිදු ධර්මයයි වෙන් කොට තබන ලද්දාහුද, ඒ ධර්ම ගෞතම ශ්‍රමණ තෙමේ දුරුකොට පවතී. පින්වත් අන්‍ය ගුරුවරයෝ ස්වල්ප වශයෙන් දුරුකොට පවතිත්යයි මෙසේ කියන්නාහුය යන යම් කාරණයක් ඇද්ද මේ කාරණය ඇත්තේමය. කාශ්‍යපය, මෙසේ කරුණු විමසන්නාවූ නුවණැත්තෝ අපටම ඒ කාරණයෙහි බොහෝ සේ ප්‍රශංසා කරන්නෝය.

Msdiv 387 “කාශ්‍යපය, අනික් කාරණයක්ද ඇත. නුවණැත්තෝ ගුරුවරුන් හා ගුරුවරුන්ද ගෝලයන් හා ගෝලයන්ද විමසා බලත්වා.

“මේ භවතුන්ගේ යම් ධර්ම කුසල්ද කුසල්යයි වෙන්කොට තබන ලද්දාහුද, දොස් නැත්තේද, දොස් නැත්තේයයි, වෙන් කොට තබන ලද්දාහුද, සේවනය කටයුත්තේද, සේවනය කටයුත්තේයයි වෙන් කොට තබන ලද්දාහුද, නිවරද අයට සුදුසුය නිවරදි අයට සුදුසුයයි, වෙන්කොට තබන ලද්දාහුද පිරිසිදු ධර්මය පිරිසිදු ධර්මයයි වෙන්කොට තබන ලද්දාහුද, කවරෙක් මේ ධර්ම සම්පූර්ණයෙන් සමාදන්ව පවතීද, ශ්‍රමණ ගෞතමයෝ හෝ වෙත්ද පින්වත්වූ අන්‍ය ගුරුවරයෝ හෝ වෙත් දැයි.

Msdiv 388 “කාශ්‍යපය, මෙසේ විමසා බලන්නාවූ ඒ නුවණැත්තෝ මේ පින්වතුන්ගේ යම් ධර්මයක් කුසල්ද, කුසල්යයි වෙන්කොට තබන ලද්දාහුද, දොස් නැත්තේද දොස් නැත්තේයයි වෙන්කොට තබන ලද්දාහුද, සේවනය කටයුත්තේද සේවනය කටයුත්තේයයි වෙන් කොට තබන ලද්දාහුද, නිදොස් අයට සුදුසුද නිදොස් අයට සුදුසුයයි වෙන් කොට තබන ලද්දාහුද, පිරිසිදුද පිරිසිදු ධර්මයෝයයි වෙන් කොට තබන ලද්දාහුද ශ්‍රමණ ගෞතම තෙමේ මේ ධර්ම සම්පූර්ණයෙන් සමාදන්ව පවතී. පින්වත්වූ අන්‍ය ගුරුවරයෝ ස්වල්ප කොටසක් සමාදන්ව පවතීයයි මෙසේ කියන්නාහුය. යන යම් කාරණයෙක් ඇත්ද, මේ කාරණය ඇත්තේමය. කාශ්‍යපය, මෙසේ මේ කාරණයෙහි කරුණු විමසන නුවණැත්තෝ අපටම බොහෝසේ ප්‍රසංශා කරන්නෝය.

Msdiv 389 “කාශ්‍යපය, අනික් කරුණක්ද ඇත. නුවණැත්තෝ මේ භවතුන්ගේ යම් ධර්මයක් අකුසල්ද, අකුසල්යයි වෙන් කොට තබන ලද්දාහුද, වරද සහිතද වරද සහිතයයි වෙන් කොට තබන ලද්දාහුද සේවනය නොකොට යුත්තේද සේවනය නොකොට යුත්තේයයි වෙන්කොට තබන ලද්දාහුද, නිවැරදි අයට නුසුදුසුය නිවැරදි අයට නුසුදුසුයයි වෙන්කොට තබන ලද්දාහුද, අපිරිසිදුය අපිරිසිදුයයි වෙන් කොට තබන ලද්දාහුද, කවරෙක් මේ ධර්මයන් සම්පූර්ණයෙන් දුරුකොට පවත්නේද ශ්‍රමණ ගෞතමයන්ගේ ගෝලයෝ හෝ වෙද්ද, අන්‍ය ගුරුවරයන්ගේ ගෝලයෝ හෝ වෙත්දැයි ගුරුවරුන් ගුරුවරුන් හා සමගද ගෝලයන් ගෝලයන් හා සමගද සසඳා කරුණු විමසා බලත්වා.

Msdiv 390 “කාශ්‍යපය, කරුණු විමසා බලන නුවණැත්තෝ මේ පින්වතුන්ගේ යම් ධර්මයක් අකුසල්ද අකුසල්යයි වෙන්කොට තබන ලද්දාහුද, වරද සහිතද වරද සහිතයයි වෙන්කොට තබන ලද්දාහුද, සේවනය නොකොට යුතුද සේවනය නොකොට යුතුයයි වෙන්කොට තබන ලද්දාහුද, නිදොස් අයට නුසුදුසුද නිදොස් අයට නුසුදුසුයයි, වෙන්කොට තබන ලද්දාහුද, අපිරිසිදුය අපිරිසිදුයයි වෙන්කොට තබන ලද්දාහුද, ශ්‍රමණ ගෞතමයන්ගේ ගෝලයෝ මේ ධර්මයන් සම්පූර්ණයෙන් දුරුකොට පවතී. පින්වත්වූ අන්‍ය ගුරුවරයන්ගේ ගෝලයෝ ස්වල්ප කොටසක් දුරුකොට පවතීය යන කාරණය ඇත්තේමය. කාශ්‍යපය, මෙසේ මේ කාරණයෙහි කරුණු විමසන නුවණැත්තෝ අපටම බොහෝසේ ප්‍රශංසා කරන්නාහුය.

Msdiv 391 “කාශ්‍යපය, අනික් කරුණක්ද ඇත. මේ භවතුන්ගේ යම් ධර්මයක් කුසල්ද කුසල්යයි වෙන්කොට තබන ලද්දාහුද, දොස් නැත්තේද දොස්නැත්තේයයි වෙන්කර තබන ලද්දාහුද, සේවනය කටයුත්තේය, සේවනය කටයුත්තේයයි වෙන් කොට තබනලද්දාහුද, නිදොස් අයට සුදුසුය. නිදොස් අයට සුදුසුයයි වෙන්කොට තබන ලද්දාහුද, පිරිසිදු ධර්මයෝය. පිරිසිදු ධර්මයෝයයි වෙන්කොට තබන ලද්දාහුද, කවරෙක් මේ ධර්මයන් සම්පූර්ණයෙන් සමාදන්ව පවතිද්ද, ශ්‍රමණ ගෞතමයන්ගේ ගෝලයෝ හෝ වෙද්ද, පින්වත්වූ අන්‍ය ගුරුවරයන්ගේ ගෝලයෝ හෝ වෙද්ද, මෙසේ ගුරුවරුන් ගුරුවරුන් හා ද ගෝලයන් ගෝලයන් හා ද සසඳා කරුණු විමසා බලත්වා.

Msdiv 392 “කාශ්‍යපය, කරුණු විමසා බලන නුවණැත්තෝ ‘මේ පින්වතුන්ගේ යම් ධර්මයක් කුසල්ද කුසල්යයි වෙන්කොට තබන ලද්දාහුද, දොස් නැත්තේද දොස් නැත්තේයයි, වෙන්කොට තබන ලද්දාහුද, සේවනය කටයුත්තේද, සේවනය කටයුත්තේ යයි වෙන්කොට තබන ලද්දාහුද, නිදොස් අයට සුදුසුද නිදොස් අයට සුදුසුයයි වෙන්කොට තබන ලද්දාහුද, පිරිසිදුද පිරිසිදු ධර්මයයි වෙන්කොට තබන ලද්දාහුද, ශ්‍රමණ ගෞතමයන්ගේ ගෝලයෝ මේ ධර්මයන් සම්පූර්ණයෙන් සමාදන්ව පවතිත්. පින්වත්වූ අන්‍ය ගුරුවරයන්ගේ ගෝලයෝ ස්වල්ප කොටසක් සමාදන්ව පවතිත්යයි මෙසේ කියන්නාහුය යන මේ කාරණයක් ඇද්ද මේ කාරණය සැබෑවේමය. කාශ්‍යපය මෙසේ මේ කාරණයෙහි නුවණැත්තෝ අපටම බොහෝසේ ප්‍රශංසා කරන්නාහුය.

අරියො අට්ඨඞ්ගිකො මග්ගො Msdiv 393 “කාශ්‍යපය, යම් පිළිපැදීමක් හේතුකොටගෙන ශ්‍රමණ ගෞතමයෝ කියයුතු කල් සලකා කියන්නෝය, සත්‍යය කියන්නෝය; අර්ථ යුක්තව කියන්නෝය, ධර්ම යුක්තව කියන්නෝය, (විනය) යහපත් හැසිරීමක් කියන්නෝයයි යම්සේ තමන්ම දන්නේද, තමන්ම දකින්නේද, එබඳු උතුම් මාර්ගයක් ඇත්තේය. එබඳු (පූර්වභාග ප්‍රතිපදාවක්) කලින් පුරුදු කළයුතු පිළිපැදීමක් ඇත්තේය.

“කාශ්‍යපය, යම් පිළිපැදීමක් හේතුකොටගෙන ශ්‍රමණ ගෞතම තෙමේ කියයුතු කල් දැන කියන්නේය, සත්‍යය කියන්නේය, අර්ථ යුක්තව කියන්නේය, ධර්ම යුක්තව කියන්නේය, (විනය) යහපත් හැසිරීමෙන් යුක්තව කියන්නේයයි, යම්සේ තමන්ම දන්නේද, තමන්ම දකින්නේද, එබඳු උතුම් මාර්ගය කවරේද, එබඳු (පූර්වභාග ප්‍රතිපදාව) කලින් පුරුදු කළයුතු පිළිපැදීම කවරේද, මේ උතුම් කරුණු අටකින් යුත් (ආර්ය අෂ්ටාංගික) මාර්ගය වෙයි. ඒ කවරේද? හරි දැකීම, හරි කල්පනාව, හරි කථාව (වචනය) හරි ක්‍රියාව, හරි ජීවත්වීම හරි උත්සාහය, හරි සිහිකිරීම, හරි (සමාධිය) හිත එකඟ කරගැනීම වේ.

“කාශ්‍යපය, යම් පිළිපැදීමක් හේතුකොටගෙන ශ්‍රමණ ගෞතමයෝ කියයුතු කල් සලකා කියන්නේය, සත්‍යය කියන්නේය, අර්ථ යුක්තව කියන්නේය, ධර්ම යුක්තව කියන්නේය, (විනය) යහපත් හැසිරීම කියන්නේයයි යම්සේ තමන්ම දන්නේද, තමන්ම දකින්නේද මේ ඒ මාර්ගය වේ. මේ (පූර්වභාග ප්‍රතිපදාව) කලින් පුරුදු කළයුතු පිළිපැදීම වෙයි” කීසේක.

තපොපක්කමකථා Msdiv 394 මෙසේ කීකල අචෙල කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට මේකාරණය කීයේය. “ආයුෂ්මත් ගෞතමය, සමහර මහණ බමුණන්ගේ මහණ ධර්ම අනුව වෙන්කරන ලද්දාවූද, බ්‍රාහ්මණ ධර්ම අනුව වෙන්කරන ලද්දාවූද තාපස කර්මයෝ වෙත් එනම්, නිර්වස්ත්‍රවූයේ වෙයි. පහකරනලද හොඳසිරිත් ඇත්තේ වෙයි, කෑම කා අත ලෙවින්නේ වෙයි. කෑමට කැඳවූ කල නොඑන්නේ වෙයි, සිටින්නට කීකල නොසිටින්නේ වෙයි, කාලයට පළමු ගෙණදුන් කෑම නොගනී, තමන් උදෙසා සෑදූ කෑම නොගණී, ආරාධනා කොට දුන් කෑම නොගණී. සැලියේ කටින් ගෙනදෙන කෑම නොපිළිගණී. කූඩයේ කටින් ගෙන දෙන කෑම නොපිළිගණී. එලිපත්ත අතරෙහි සිට දෙන දේ, දණ්ඩක් අතර කොට දෙන දේ, මෝලක් අතරෙහි කොට දෙන දේ, නොගණී. කෑම කන්නාවූ දෙදෙනෙක් අතුරෙන් එක්කෙනෙක් නැගිට කෑම දෙන කල නොගණී. ගර්භනියගෙන්, කිරි පොවන්නියගෙන්, පුරුෂයෙකු අතරට පැමිණි ස්ත්‍රියගෙන් නොගණී. සම්මාදම් කොට පිසූ කල එයින් නොගණී. බල්ලෙකුට දීමට අදහස් කළ කෑම නොගණී. මැස්සන් වසාසිටි කෑමද, මස් මාංශ මත් පැන් මත්ද්‍රව්‍ය, නොපිළිගණී. කාඩි බීම නොකෙරෙයි. ඔහු එක් ගෙයකම කෑම ලැබ නවතින්නේ හෝ එක් පිඩකින් හෝ ගෙවල් දෙකක හෝ පිඩු දෙකකින් හෝ ගෙවල් හතක කෑම ලැබ නවතින්නේ හෝ පිඩුහතකින් ජීවත්වන්නේ හෝ වෙයි, පිණ්ඩ පාත්‍ර බතින් ද යැපෙයි, දත්ති නම් කුඩා පිණ්ඩ පාත්‍ර බතින්ද යැපෙයි. දත්ති නම් පාත්‍ර දෙකක බතින් යැපෙයි. දවසක් හැර දවසක් කෑම කයි දවස් දෙකක් හැර දවසක් කෑම කයි. දවස් හතක් හැර දවසක් කෑම කයි. මෙසේ මාස බාගයක් හැර දවසක් කෑම කයි. මෙබඳුවූ වාර බත් කෑමෙහි යෙදෙමින් ජීවත් වෙයි.

Msdiv 395 ‘ආයුෂ්මත් ගෞතමය, මේ ක්‍රියාවෝද මහණ බමුණන්ගේ මහණ ධර්ම අනුව වෙන්කරණ ලද්දාවූ බ්‍රාහ්මණ ධර්ම අනුව වෙන්කරන ලද්දාවූද තාපස කර්මයෝ වෙත්. නොපිසූ පලා කන්නේ හෝ වෙයි. බඩහමු නම් තණ ධාන්‍ය කන්නේ හෝ වෙයි. ඉබේ හටගත් ධාන්‍ය කන්නේ හෝ වෙයි. (හම් වැඩ කරන්නන් කපාදැමූ) සම් කැබලි කන්නේ හෝ වෙයි. මැලියම් කන්නේ හෝ වෙයි, කුඩු කන්නේ හෝ වෙයි. දඹුබත් කන්නේ හෝ වෙයි. (මුරුවට) පුනක්කු කන්නේ හෝ වෙයි. තණ කන්නේ හෝ වෙයි. ගොම කන්නේ හෝ වෙයි. කැලෑ මුල් ගෙඩි කෑම ඇත්තේ ඉබේ වැටුන ගෙඩි කෑමෙන් හෝ යැපෙයි.

Msdiv 396 “ආයුෂ්මත් ගෞතමය, මේ ක්‍රියාවෝද සමහර මහණ බමුණන්ගේ මහණ ධර්ම අනුව වෙන්කරන ලද්දාවූද, බ්‍රාහ්මණ ධර්ම අනුව වෙන් කරන ලද්දාවූද, තාපස කර්මයෝ වෙත්. හණපතුරු රෙදිද දරයි, හණ පතුරු මිශ්‍ර රෙදිද දරයි, එරුතණ ආදියෙන් කළ රෙදිද දරයි, බිමලු රෙදි මාලුද දරයි, (රිටිසුඹුලු) ගස් පතුරුද දරයි, අඳුන් දිවිසම්ද දරයි, මැද පැලු අඳුම් දිවිසම්ද දරයි, කුස වැහැරිද දරයි, නියඳ (හණ) වැහැරිද දරයි, ලෑලි වැහැරිද දරයි, ඉසකෙසින් කළ කම්බිලිද දරයි. අස් ලොමින් කළ කම්බිලිද දරයි, බකමූණු පිහාටුවලින් කළ ශරීරයේ යට කොටසේ ඇඳුම්ද දරයි, ඉසකෙස් රැවුල් ඉදිරීමෙහි යෙදුනේ ඉසකෙස් රැවුල් උදුරන්නේද වෙයි, ආසන ඉවත්කොට නැගිට සිටින්නේද වෙයි, උක්කුටිකව හිඳීමේ (ඇනතියාගන හිඳීම) වීර්යයෙහි යෙදුනේ වෙයි. කටු උඩ නිදාගන්නේ කටු උඩ හැසිරීම කරන්නේ වෙයි (පොරු) ලෑලිඋඩ නිදාගන්නේද වෙයි, කුඩා තාප්පය උඩ නිදාගන්නේද වෙයි, එකපැත්තකට හැරී නිදාගන්නේද වෙයි, දූවිලිදැලි දරන්නේද වෙයි. එලියේ වසන්නේද වෙයි, පළමුව, එලු ආකාරයටම වෙනස් නොකොට ආසනයක ඉන්නේද වෙයි, අසුචි අනුභවයෙහි යෙදුනේ අසුචි අනුභව කරන්නේද වෙයි, ඇල්වතුර නොබීමෙහි යෙදුනේ ඇල්වතුර නොබොන්නේද වෙයි, උදය දවල් සහ සවස (පාප ප්‍රවාහය) පවු පාකර හරින්නේමැයි දියේ ගැලී වාසය කරයි” කීයේය.

තපොපක්කමනිරත්ථකථා Msdiv 397 “කාශ්‍යපය, ඉදින් නිර්වස්ත්‍ර වූයේ හෝ වේද, පහ කරණලදහොඳ සිරිත් ඇත්තේ වේද, කෑම කා අතලෙවින්නේ වේද, කැඳවූ කල නොඑන්නේ වෙයිද, සිටින්නට කීකල නොසිටින්නේ වෙයිද, කාලයට පළමු ගෙනා කෑම නොගනීද තමන් උදෙසා සෑදූකෑම නොගනීද, ආරාධනාකොට දුන්කෑම නොගනීද, සැලියේ කටින් ගෙන දෙන කෑම නොපිළි ගනීද, කූඩයේ කටින් ගෙනදෙන කෑම නොපිළිගනීද, එලිපත්ත අතරකොට දෙන දේ, දණ්ඩක අතරකොට දෙන දේ, මෝලක් අතරෙහි කොට දෙන දේ නොගනීද, කෑම කන්නාවූ දෙදෙනෙක් අතුරෙන් එක්කෙනෙක් නැගිට කෑම දෙන කල නොගනීද, ගර්භණියගෙන්, කිරි පොවන්නියගෙන් පුරුෂයෙකු අතරට පැමිණි ස්ත්‍රියගෙන් නොගනීද, සම්මාදම්කොට පිසූකල එයින් නොගනීද; බල්ලෙකුට දීමට අදහස් කළ කෑම නොගනීද, මැස්සන් වැහීසිටි කෑමද මස්මාංශ, මත්පැන් (මත්ද්‍රව්‍ය) නොගනීද, කාඩිබීම් නොකෙරෙයිද ඔහු එක්ගෙයකම කෑම ලැබ නවතින්නේ හෝ එක් පිඩකින් හෝ ගෙවල් දෙකක හෝ පිඩු දෙකක් හෝ ලැබ නවතින්නේ වෙයි. ගෙවල් හතක කෑම ලැබ නවතින්නේ හෝ පිඩු හතකින් ජීවත්වන්නේ හෝ වෙයි. පිණ්ඩපාත්‍ර හතකින්ද යැපෙයි. දත්ති නම් කුඩා පිණ්ඩ පාත්‍රයක බතින්ද යැපෙයි. දත්ති නම් පාත්‍ර දෙකක බතින්ද යැපෙයි දවසක් හැර දවසක් කෑම කයි. දවස් දෙකක් හැර දවසක් කෑම කයි. දවස් හතක් හැර දවසක් කෑම කයි. මෙසේ මාස බාගයක් හැර දවසකවූ කෑම කයි. මෙබඳුවූ වාර බත් කෑමෙහි යෙදුනේ වාසය කෙරේද. ඔහු විසින් මේ ශීල සම්පත්තියද මේ සමාධි (සිතේ එකඟකම) සම්පත්තියද, මේ ඥාණ සම්පත්තියද නොවඩන ලද්දී අවබෝධ නොකරණලද්දී වෙයි. කුමක් වේද? ඔහු මහණකමින් දුරුවූයේම වෙයි. බ්‍රාහ්මණකමින් දුරු වූයේම වෙයි. කාශ්‍යපය, යම් ගෙයකින් භික්ෂුතෙම වෛර නැතිවූ දොම්නස් නැතිවූ මෛත්‍රී සිත වඩාද, කාම ආශාව ආදී (ආශ්‍රව) කෙලෙසුන් නැතිවූ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්ම භාවයෙහිම තමන් විශෙෂ ඥානයෙන් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කෙරේද, කාශ්‍යපය, මේ භික්ෂුතෙම මේ කාරණයෙන් ‘මහණ’ යයිද ‘බ්‍රාහ්මණ’යයිද කියනු ලැබේ.

“කාශ්‍යපය, ඉදින් නොපිසූ පලා කන්නේ හෝ වේද, බඩහමු (නම් තණ ධාන්‍ය) කන්නේ හෝ වෙයි. ඉබේ හටගත් ධාන්‍ය කන්නේ හෝ වෙයි. (හම් වැඩ කරන්නෝ කපාදැමූ) හම්කැබලි කන්නේ හෝ වෙයි. මැලියම් කන්නේ හෝ වෙයි. කුඩු කන්නේ හෝ වෙයි. (මුරුවට) පුනක්කු කන්නේ හෝ වෙයි. තණ කන්නේ හෝ වෙයි. ගොම කන්නේ හෝ වෙයි. කැලෑ මුල් ගෙඩි කෑම ඇත්තේ ඉබේ වැටුණ ගෙඩි කෑමෙන් යැපේද, ඔහු විසින් මේ ශීල සම්පත්තියද, මේ චිත්ත සම්පත්තියද, මේ ප්‍රඥා සම්පත්තියද, නොවඩන ලද්දී අවබෝධ නොකරණ ලද්දී වෙයි. කුමක් වේද? ඔහු මහණකමින් දුරු වූයේම වෙයි. බ්‍රාහ්මණකමින් දුරු වූයේම වෙයි. කාශ්‍යපය, යම් හෙයකින් භික්ෂුතෙම වෛර නැත්තාවූ දොම්නස් නැත්තාවූ මෛත්‍රී සිත් වඩාද, (ආශ්‍රව) ක්ලෙශයන් පහකිරීමෙන් කෙලෙස් නැතිවූ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මභාවයෙහිම ඔහු විශෙෂ ඥානයෙන් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කෙරේද, කාශ්‍යපය, මේ භික්ෂුතෙමේ “මහණය’යිද ‘බ්‍රාහ්මණ’යයිද කියනු ලැබේ.

“කාශ්‍යපය, ඉදින් හණ පට්ටා රෙදි දරාද, හණ පට්ටා මිශ්‍ර රෙදි දරාද, එරුතණ ආදියෙන් කළ රෙදි දරයිද, බිම ලු රෙදිමාලු දරාද, (රිටි සුඹුලු) ගස්පතුරු දරයිද, අඳුන් දිවිසම් දරයිද, මැදින් පැලු අඳුන් දිමිසම් දරයිද, කුස වැහැරි දරයිද නියඳ (පන්) දරයිද; ලෑලි පතුරු දරයිද, ඉසකෙසින් කළ කම්බිලි දරයිද, අශ්ව ලොමින් කළ කම්බිලි දරයිද, බකමූණු පිහාටුවලින් කළ ශරීරයේ යට කොටසේ ඇඳුම් දරයිද, ඉසකෙස් රැවුල් ඉදිරීමෙහි යෙදුනේ ඉසකෙස් රැවුල් උදුරන්නේද වෙයි. ආසන ඉවත්කොට නැගිට සිටින්නේද වෙයි. ඇණතියාගෙන ඉඳීමේ වීර්යයෙහි යෙදුනේ ඇණතියාගෙන ඉඳීම කරන්නේද වෙයි. කටුඋඩ නිදාගන්නේ කටුඋඩ හැසිරීම කරන්නේ වෙයි. ලෑලිඋඩ නිදාගන්නේ වෙයි. කුඩා තාප්ප උඩ නිදාගන්නේද වෙයි. එක පැත්තට හැරී නිදාගන්නේද වෙයි. දූවිලි දැලි දරන්නේද වෙයි. එලියේ වසන්නේද වෙයි. පළමුව එලු ආකාරයටම වෙනස් නොකොට ආසනයක ඉන්නේද වෙයි. අසූචි කෑමෙහි යෙදුනේ අසූචි කෑම කරන්නේද වෙයි, ඇල්වතුර නොබීමෙහි යෙදුනේ ඇල්වතුර නොබොන්නේ වෙයි. උදය දවල් සවස පාප සෝදා පා කර හැරීම කරන්නෙමැයි දියේ ගැලීමෙහි යෙදුනේ වාසය කෙරෙයි ඔහු විසින් මේ ශීල සම්පත්තියද, මේ චිත්ත සම්පත්තියද, මේ ප්‍රඥා සම්පත්තියද, නොවඩන ලද්දී අවබෝධ නොකරණ ලද්දී වෙයි. කුමක්වේද? ඔහු මහණ කටයුතු වලින් දුරුවූයේම වෙයි. බ්‍රාහ්මණ කටයුතු වලින් දුරුවූයේම වෙයි. කාශ්‍යපය, යම් හෙයකින් භික්ෂුතෙම වෛර නැතිවූ දොම්නස් නැති මෛත්‍රි සිත්වඩාද, (ආශ්‍රව) ක්ලෙශයන් පහකිරීමෙන් කෙලෙස් නැතිවූ අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්‍රඥාවද ඉහාත්ම භාවයෙහිම තමන්ම විශෙෂ ඥානයෙන් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කෙරේද, කාශ්‍යපය, මේ භික්ෂු තෙමෙ මේ කාරණයෙන් ‘මහණ’යයිද, මේ කාරණයෙන්, ‘බ්‍රාහ්මණ’යයිද කියනු ලැබේ.”

Msdiv 398 “මෙසේ කී කල්හි අචෙල කාශ්‍යප, “පින්වත් ගෞතමය, මහණ පැවැත්ම අපහසු වෙයි. බ්‍රහ්මණ පැවැත්ම දුෂ්කර වෙයි” මෙසේ භාග්‍යවතුන් වහන්සේට කීවේය.

“කාශ්‍යපය, ‘මහණ පැවැත්ම දුෂ්කරය’ බ්‍රාහ්මණ පැවැත්ම දුෂ්කරය’ යන යම් කථාව ලොකයෙහි ස්වභාව වෙයි. කාශ්‍යපය, ඉදින් නිර්වස්ත්‍ර වේද, අත්හරිනලද සිරිත් ඇත්තේ කෑම කා අතලොවින්නේ වේද, කෑමට කැඳවූකල නොඑන්නේ වෙයි. සිටින්ට කීකල නොසිටින්නේ වෙයි. කාලයට පළමු ගෙනා කෑම නොගනී. තමන් උදෙසා සෑදූ කෑම නොගනී. ආරාධනාකොට දුන් කෑම නොගනී. සැළියේ කටින් ගෙන දෙන කෑම නොපිළිගනී. කූඩයේ කටින් ගෙන දෙන කෑම නොපිළිගනී, එලිපත්ත අතර කොට දෙනදේ, දණ්ඩක් අතර කොට දෙනදේ, මෝලක් අතරෙහි කොට දෙනදේ නොගනී කෑම කන්නාවූ දෙදෙනෙක් අතුරෙන් එක්කෙනෙක් නැගිට කෑම දෙනකල නොගනී ගර්භණියගෙන්, කිරි පොවන්නියගෙන්, පුරුෂයෙකු අතරට පැමිණි ස්ත්‍රියගෙන් නොගනී. සම්මාදම්කොට පිසූ කල එයින් නොගනී. බල්ලෙකුට දීමට අදහස් කළ කෑම නොගනී. මැස්සන් වැහීසිටි කෑමද, මස් මාංශ, මත්පැන්, මත්ද්‍රව්‍ය නොගනී. කාඩි බීම නොකෙරෙයි. ඔහු එක් ගෙයකම කෑම ලැබ නවතින්නේ හෝ එක් පිඩකින් හෝ ගෙවල් දෙකක හෝ පිඩු දෙකක් හෝ ගෙවල් හතක කෑම ලැබ නවතින්නේ හෝ පිඩු හතකින් ජීවත් වන්නේ හෝ වෙයි. පිණ්ඩ පාත්‍ර හතකින්ද යැපෙයි. දත්ති නම් කුඩා පිණ්ඩ පාත්‍රයක බතින්ද යැපෙයි. දත්ති නම් පාත්‍ර දෙකක බතින්ද යැපෙයි. දවසක් හැර දවසක් කෑම කයි. දවස් දෙකක් හැර දවසක් කෑම කයි. දවස් හතක් හැර දවසක් කෑම කයි.

“මෙසේ මාස බාගයක් හැර දවසකවූ කෑම කයි. මෙබඳුවූ වාර බත් කෑමෙහි යෙදුනේ වාසය කෙරේද, කාශ්‍යපය, මේ අඩුවූ පැවතුම් ක්‍රමයෙන්ද, මේ තපස් පැවතුමෙන්ද, මේ මහණ පැවතුමෙන්ද, බ්‍රාහ්මණ පැවතුමෙන්ද, දුෂ්කර වූයේ, ඉතා දුෂ්කර වූයේ වන්නේද, එපමණකින්, ‘මහණ පැවතුම් දුෂ්කරය.’ ‘බ්‍රාහ්මණ පැවතුම දුෂ්කරය’ යන මේ වචනය කීමට සුදුසු නොවේ.

“ගෘහපතියෙකු (පවුල් ප්‍රධානියෙකු) හෝ ගෘහපති පුත්‍රයෙකු විසින් හෝ යටත් පිරිසෙයින් දියඅදින දාසියක් විසින් හෝ ‘මම හරනලද සිරිත් ඇත්තේ කෑම කා අතලොවින්නාවූ නිර්වස්ත්‍ර කෙනෙක් වෙමි. කැඳවූකල නොඑන්නේ වෙමි සිටින්ට කී කල නොසිටින්නේ වෙමි. කාලයට පළමු ගෙනා කෑම නොගනිමි. තමන් උදෙසා සෑදූ කෑම නොගනිමි. ආරාධනා කොට දුන් කෑම නොගනිමි. සැළියේ කටින් ගෙනදෙන කෑම නොපිළිගනිමි. කූඩයේ කටින් ගෙන දෙන කෑම නොපිළිගනිමි. එළිපත්ත අතරකොට දෙන දේ, දණ්ඩක් අතරකොට දෙනදේ මෝලක් අතරෙහිකොට දෙනදේ නොගනිමි. කෑම කන්නාවූ දෙදෙනෙක් අතුරෙන් එක්කෙනෙක් නැගිට කෑම දෙන කල නොගනිමි. ගර්භණියගෙන්, කිරි පොවන්නියගෙන්, පුරුෂයෙකු අතරට පැමිණි ස්ත්‍රියගෙන් නොගනිමි. සම්මාදම් කොට පිසූ කල එයින් නොගනිමි බල්ලෙකුට දීමට අදහස් කළ කෑම නොගනිමි, මැස්සන් වැහීසිටි කෑමද, මස් මාංශ මත්පැන්, මත්ද්‍රව්‍ය නොගනිමි. කාඩි බීම නොකරමි. එක් ගෙයකම කෑම ලැබ නවතින්නේ හෝ එක් පිඩකින් හෝ ගෙවල් දෙකක හෝ පිඩු දෙකකින් හෝ ගෙවල් හතක කෑම ලැබ නවතින්නේ හෝ පිඩුහතකින් ජීවත් වන්නේ හෝ වෙමි. පිණ්ඩ පාත්‍ර හතකින් ද යැපෙමි, දත්ති නම් කුඩා පිණ්ඩ පාත්‍රයක බතින්ද යැපෙමි, දත්ති නම් පාත්‍ර දෙකක බතින් යැපෙමි. දවසක් හැර දවසක් කෑම කමි. දවස් දෙකක් හැර දවසක් කෑම කමි.

“මෙසේ මාස බාගයක් හැර දවසක්වූ කෑම කමි. මෙබඳුවූ වාරබත් කෑමෙහි යෙදුනේ වාසය කරමි”යි කියා ඔවුන් විසින් මේ මහණ පැවතුම් හෝ බ්‍රාහ්මණ පැවතුම් හෝ කරණු හැකිද වන්නේය. කාශ්‍යපය, යම් හෙයකින් මේ අඩුවූ පැවතුම් ක්‍රමයෙන් තොරවම මේ තපස් පැවතුම් වලින් තොරව මහණ පැවතුම් හෝ බ්‍රාහ්මණ පැවතුම් දුෂ්කර වූයේ ඉතා දුෂ්කර වූයේ වේ නම්, එහෙයින් ‘මහණ පැවතුම් දුෂ්කරය.’ ‘බ්‍රාහ්මණ පැවතුම් දුෂ්කරය’යි මේ වචන කීමට සුදුසු වෙයි. කාශ්‍යපය, යම් හෙයකින් භික්ෂු තෙම ද්‍වෙෂ (වෛර) නැතිවූ දොම්නස් නැතිවූ මෛත්‍රී සිත් වඩාද, කෙලෙස් පහ කිරීමෙන් කෙලෙස් නැති සමාධියද, ප්‍රඥාවද, මේ ආත්මභාවයෙහිම ඔහු උසස් ඥානයෙන් දැන, අවබොධකොට ඊට පැමිණ වාසය කෙරේද, කාශ්‍යපය මේ භික්ෂුතෙම මේ කාරණයෙන් ‘මහණ’ යයිද ‘බ්‍රාහ්මණ’යයිද කියනු ලැබේ.

“කාශ්‍යපය, ඉඳින් නොපිසූ පලා කන්නේ හෝ බඩහමු (නම්වූ තණ ධාන්‍ය) කන්නේ හෝ ඉබේ හටගත් ධාන්‍ය කන්නේ හෝ වෙයි. (හම්වැඩ කරන්නෝ කපා දැමූ) සම්කැබලි කන්නේ හෝ කුඩු කන්නේ හෝ වෙයි. (මුරුවට) පුනක්කු කන්නේ හෝ වෙයි. තණ කන්නේ හෝ වෙයි. ගොම කන්නේ හෝ වෙයි. කැලෑ මුල් ගෙඩි කෑම ඇත්තේ ඉබේ වැටුන ගෙඩි කෑමෙන් යැපේද, කාශ්‍යපය, මේ අඩුවූ පැවතුම් ක්‍රමයෙන්ද, මේ තපස් පැවතුමෙන්ද, මහණ පැවතුම හෝ බ්‍රාහ්මණ පැවතුම් අමාරු වූයේ ඉතා අමාරු වූයේ වන්නේද, එපමණකින් මහණ පැවතුම අමාරුය, බ්‍රාහ්මණ පැවතුම අමාරුයයි මේ වචන කීමට සුදුසු නොවේ.

“එසේ නම්, මම නොපිසූ පලා කන්නේ හෝ බඩහමු (නම් තණ ධාන්‍ය) කන්නේ හෝ ඉබේ හටගත් ධාන්‍ය කන්නේ හෝ වෙයි. (හම්වැඩ කරන්නෝ කපා දැමූ) සම්කැබලි කන්නේ හෝ කුඩු කන්නේ හෝ වෙමි. (මුරුවට) පුනක්කු කන්නේ හෝ වෙමි. තණ කන්නේ හෝ වෙමි, ගොම කන්නේ හෝ වෙමි. කැලෑ මුල් ගෙඩි කෑම ඇත්තේ ඉබේ වැටුන ගෙඩි කෑමෙන් යැපෙමි’ කියා (ගෘහපතියෙකු) පවුල් ප්‍රධානියෙකු විසින් හෝ ගෘහපති පුත්‍රයෙකු විසින් හෝ යටත්පිරිසයෙන් දිය අදින දාසියක විසින්ද මේ තපස් පැවතුම කරණු හැකි වන්නේය,

“කාශ්‍යපය, යම් හෙයකින් මේ අඩුවූ පැවතුම් ක්‍රමයෙන් තොරවම මේ තපස් පැවතුමෙන් තොරවම මහණ පැවතුම හෝ බ්‍රාහ්මණ පැවතුම අමාරුවූයේ ඉතා අමාරුවූයේ නම් එහෙයින් ‘මහණ පැවතුම අමාරුය, බ්‍රාහ්මණ පැවතුම අමාරුය’යි මේ වචන කීමට සුදුසු වෙයි. කාශ්‍යපය, යම් හෙයකින් භික්ෂුතෙම ද්‍වෙෂ (වෛර) නැතිවූ දොම්නස් නැතිවූ මෛත්‍රීසිත් වඩාද, කෙලෙස් පහකිරීමෙන් කෙලෙස් නැතිවූ සමාධියද, ප්‍රඥාවද, මේ ආත්මභාවයෙහිම ඔහු උසස් ඥානයෙන් දැන අවබොධකොට ඊට පැමිණ වාසය කෙරේද, කාශ්‍යපය, මේ භික්ෂු තෙම ශ්‍රමණයයිද, බ්‍රාහ්මණයයිද කියනු ලැබේ.

“කාශ්‍යපය, ඉඳින් හණ පට්ටා රෙදි දරාද, හණ පට්ටා මිශ්‍ර රෙදි දරාද, එරුතණ ආදියෙන් කළ රෙදි දරාද, බිම ලු රෙදිමාලු දරාද, ගස්පතුරු දරාද, අඳුන් දිවිසම් දරාද, මැදින් පැලු අඳුන් දිවිසම් දරාද, කුස පට්ටා දරයිද නියඳ (හණ) පට්ටා දරයිද, ලෑලි පටි දරයිද, ඉසකෙසින් කළ කම්බිලි දරයිද, අශ්ව ලොමින් කළ කම්බිලි දරයිද, බකමූණු පිහාටුවලින් කළ ශරීරයේ යට කොටසේ ඇඳුම් දරයිද, ඉසකෙස් රැවුල් ඉදිරීමෙහි යෙදුනේ ඉසකෙස් රැවුල් උදුරන්නේදවෙයි. ආසන ඉවත්කර නැගිට සිටින්නේද, ඇණතියාගෙන ඉඳීමේ වීර්යයෙහි යෙදුනේ ඇණතියාගෙන ඉඳීම කරන්නේද වෙයි කටුඋඩ නිදාගන්නේ කටුඋඩ හැසිරීම කරන්නේ වෙය.ි ලෑලි උඩ නිදාගන්නේ වෙයි. කුඩා තාප්ප උඩ නිදාගන්නේ වෙයි. දූවිලි දැලි දරන්නේද වෙයි එලියේ වසන්නේද වෙයි. පළමුව එලු ආකාරයටම වෙනස් නොකොට ආසනයක ඉන්නේ වෙයි. අසුචි කෑමෙහි යෙදුනේ අසූචි කෑම කරන්නේද වෙයි, ඇල්වතුර නොබීමෙහි යෙදුනේ ඇල්වතුර නොබීම ඇත්තේද වෙයි. උදය දවල් සවස පාප සෝදා පාකරන්නෙමියි දියේ ගැලීමෙහි යෙදුනේ වාසය කෙරේද, කාශ්‍යපය, මේ අඩුවූ පැවැත්මෙන්, මේ තපස් පැවැත්මෙන්, මහණ පැවැත්ම හෝ බ්‍රාහ්මණ පැවැත්ම හෝ අමාරු වූයේ ඉතා අමාරු වූයේද, එහෙයින් ‘මහණ පැවැත්ම අමාරුය, බ්‍රාහ්මණ පැවැත්ම අමාරුය’යි මේ වචන කීමට සුදුසු නොවන්නේය.

“එසේනම් මම හණ වැරහැලි රෙදිද දරමි, හණ වැරහැලි මිශ්‍ර රෙදිද දරමි, එරුතණ ආදියෙන් කළරෙදිද දරමි, බිම් ලු රෙදිමාලුද දරමි, ගස්පතුරුද දරමි, අඳුන් දිවිසම්ද දරමි. පැලු අඳුන් දිවි සම්ද දරමි, කුස වැහැරිද දරමි, නියද (පන්) වැහැරිද දරමි, පෝරු වැහැරිද දරමි ඉසකෙසින් කළ කම්බිලිද දරමි, අශ්ව ලොමින් කළ කම්බිලිද දරමි. බකමූණු පිහාටුවලින් කළ ශරීරයේ යට කොටසේ ඇඳුම්ද දරමි, ඉසකෙස් රැවුල් ඉදිරීමෙහි යෙදුනේ ඉසකෙස් රැවුල් උදුරන්නේද වෙමි, ආසන ඉවත්කොට නැගිට සිටිමි, ඇණතියාගෙන ඉඳීමේ වීර්යයෙහි යෙදී ඇණතියාගෙන ඉඳීම කරමි, කටු උඩ නිදාගන්නේ කටු උඩ හැසිරීම කරමි. ලෑලි උඩ නිදාගනිමි, කුඩා තාප්ප උඩ නිදාගනිමි. දූවිලි දැලි දරන්නෙමි, එලියේ වසන්නේද වෙමි, පළමුව එලු ආකාරයටම වෙනස් නොවී ආසනයක ඉන්නේද වෙමි. අසුචි කෑමෙහි යෙදුනේ අසුචිකෑම කරන්නේද වෙමි, ඇල්වතුර නොබීමෙහි යෙදුනේ ඇල්වතුර නොබීම ඇත්තේද වෙමි, උදය දවල් සවස පාප සෝදා පාකරන්නෙමැයි දියේ ගැලීමෙහි යෙදෙමින් වාසය කෙරෙමි’යි කියා (ගෘහපතියෙකු) පවුල් ප්‍රධානියෙකු විසින් හෝ ගෘහපති පුත්‍රයෙකු විසින් හෝ යටත් පිරිසයෙන් දියඅදින දාසියක විසින්ද මේ මහණ පැවතුම කරුණු හැකි වන්නේය.

“කාශ්‍යපය යම් කරුණකින් මේ අඩුවූ පැවතුම් ක්‍රමයෙන් තොරවම මේ තපස් පැවතුමෙන් තොරව මහණ පැවතුම හෝ බ්‍රාහ්මණ පැවතුම අපහසු වූයේ ඉතා අපහසු වූයේ වේ. නම් එහෙයින් ‘මහණ පැවතුම අපහසුය, බ්‍රාහ්මණ පැවතුම අපහසුය’යි මේ වචන කීමට සුදුසු වෙයි. කාශ්‍යපය, යම් කරුණකින් භික්ෂුතෙම ද්‍වෙෂ (වෛර) නැතිවූ දොම්නස් නැතිවූ මෛත්‍රී සිත් වඩාද, කෙලෙස් පහකිරීමෙන් කෙලෙස් නැතිවූ සමාධියද, ප්‍රඥාවද, මේ ආත්ම භාවයෙහි තමන්ගේම උසස් ඥානයෙන් අවබෝධකොට දැන ඊට පැමිණ වාසය කෙරේද, කාශ්‍යපය, මේ භික්ෂුතෙම ‘මහණයයිද බ්‍රාහ්මණය’යිද කියනු ලැබේ.

Msdiv 399 මෙසේ කීකල අචෙල කාශ්‍යප,“පින්වත් ගෞතමය, මහණතෙම දුකසේ දැනගත යුතු වෙයි, බ්‍රාහ්මණ තෙම දුකසේ දැනගත යුතු වේය’යි, භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීයේය.

“කාශ්‍යපය, මහණතෙම දුකසේ දැනගත යුතුය, බ්‍රාහ්මණ තෙම දුකසේ දැනගත යුතුයයි මේ කථා ලොකයෙහි ව්‍යවහාර කථාවෙයි. කාශ්‍යපය, ඉඳින්, නිර්වස්ත්‍ර වේද, අත්හරිනලද සිරිත් ඇත්තේ කෑම කා අතලෙවින්නේද, කැඳවූ කල නොඑන්නේ වෙයි, සිටින්ට කීකල නොසිටින්නේ වෙයි. කාලයට පළමු ගෙනා කෑම නොගණී, තමන් උදෙසා සෑදූ කෑම නොගණී, ආරාධනාකොට දුන් කෑම නොගණී, සැළියේ කටින් ගෙන දෙන කෑම නොපිළිගණී, එලිපත්ත අතරකොට දෙන, දේ දණ්ඩක් අතරකොට දෙන දේ, මෝලක් අතර කොට දෙන දේ නොගණී, කෑම කන්නාවූ දෙදෙනෙක් අතුරෙන් එක්කෙනෙක් නැගිට කෑම දෙන කල නොගණී, ගර්භණීයගෙන්, කිරි පොවන්නියගෙන් පුරුෂයෙකු අතරට පැමිණි ස්ත්‍රීයගෙන් නොගනී, සම්මාදම් කොට පිසූ කල එයින් නොගනී. බල්ලෙකුට දීමට අදහස් කළ කෑම නොගනී. මැස්සන් වැහීසිටි කෑමද, මස් මාංස, මත්පැන්, මත් ද්‍රව්‍ය නොගනී. කාඩි බීම නොකෙරෙයි. ඔහු එක් ගෙයකම කෑම ලැබ නවතින්නේ හෝ එක් පිඩකින් හෝ ගෙවල් දෙකක හෝ පිඩු දෙකකින් හෝ ගෙවල් හතක කෑම ලැබ නවතින්නේ හෝ පිඩු දෙකකින් ජීවත් වෙන්නේ හෝ වෙයි. පිණ්ඩ පාත්‍ර හතකින්ද යැපෙයි. දත්ති නම් කුඩා පිණ්ඩ පාත්‍රයක බතින්ද යැපෙයි. දත්ති නම් පාත්‍ර දෙකක බතින්ද යැපෙයි. දවසක් හැර දවසක් කෑමකයි. දවස් දෙකක් හැර දවසක් කෑම කයි. දවස් හතරක් හැර දවසක් කෑම කයි. මෙසේ මාස බාගයක් හැර දවසක් කෑම කයි. මෙබඳුවූ වාර බත් කෑමෙහි යෙදෙමින් වාසය කෙරේද කාශ්‍යපය, මෙබඳුවූ පැවතුම් ක්‍රමයෙන්ද, මේ තපස් පැවතුමෙන්ද, මහණ තෙම හෝ බ්‍රාහ්මණ තෙම දුකසේ දැන ගතයුත්තේද, ඉතා දුකසේ දැනගත යුත්තේද එපමණකින් මහණ තෙම දුකසේ දැනගත යුත්තේය, බ්‍රාහ්මණතෙම දුකසේ දැනගත යුත්තේයයි, මේ වචන කීමට සුදුසු නොවෙයි.

“මොහු අත්හරින ලද සිරිත් ඇත්තේ, කෑම කා අත ලෙවින්නේ, කැඳවූ කල නොඑන්නේ වෙයි. සිටින්නට කී කල නොසිටින්නේ වෙයි. කාලයට පළමු ගෙණදුන් කෑම නොගණී. තමන් උදෙසා සෑදූ කෑම නොගණනී, ආරාධනා කොට දුන් කෑම නොගනී. සැලියේ කටින් ගෙනදෙන කෑම නොපිළිගනී. එලිපත්ත අතර කොට දෙනදේ, දණ්ඩක් අතර කොට දෙනදේ, මෝලක් අතර කොට දෙනදේ, නොගනී. කෑම කන්නාවූ දෙදෙනෙක් අතුරෙන් එක්කෙනෙක් නැගිට කෑම දෙනකල නොගනී. ගර්භනියගෙන්, කිරි පොවන්නියගෙන්, පුරුෂයෙකු අතරට පැමිණි ස්ත්‍රියගෙන් නොගනී. සම්මාදම් කොට පිසූ කල එයින් නොගනී. බල්ලෙකුට දීමට අදහස් කළ කෑම නොගනී. මැස්සන් වැහීසිටි කෑමද, මස් මාංස, මත්පැන් මත්ද්‍රව්‍ය නොගනී. කාඩි බීම නොකෙරෙයි. ඔහු එක් ගෙයකම කෑම ලැබ නවතින්නේ හෝ එක් පිඩකින් හෝ ගෙවල් දෙකක හෝ පිඩු දෙකක හෝ ගෙවල් හතක කෑම ලැබ නවතින්නේ හෝ පිඩු හතකින් ජීවත් වන්නේ හෝ වෙයි. පිණ්ඩ පාත්‍ර හතකින්ද යැපෙයි, දත්ති නම් කුඩා පිණ්ඩ පාත්‍රයක බතින්ද යැපෙයි. දත්ති නම් පාත්‍ර දෙකක බතින්ද යැපෙයි. දවසක් හැර දවසක් කෑම කයි දවස් දෙකක් හැර දවසක් කෑම කයි. මෙසේ මාස බාගයක් හැර දවසක් කෑම කයි. මෙබඳුවූ වාරබත් කෑමෙහි යෙදෙමින් වාසය කෙරෙයි. නිර්වස්ත්‍ර වෙයි, කියා ඔහු පවුල් ප්‍රධානියෙකු විසින් හෝ පවුල් ප්‍රධානියෙකුගේ පුත්‍රයෙකු විසින් හෝ යටත්පිරිසෙයින් දිය අදින දාසියක් විසින්ද දැනගත හැකි වන්නේය. කාශ්‍යපය, යම් කරුණකින් මේ අඩුවූ පැවතුමෙන් තොරවම මේ තපස් පැවතුමෙන් තොරව මේ මහණ හෝ බ්‍රාහ්මණ හෝ දුකසේ දැනගත යුත්තේද ඉතා දුකසේ දැනගත යුත්තේද වේ නම් එහෙයින් ‘මහණ තෙම දුකසේ දැනගත යුතුය. බ්‍රාහ්මණ තෙම දුකසේ දැනගත යුතුයයි’ මේ වචන කීම සුදුසුයි.

“කාශ්‍යපය, යම් කරුණකින්, භික්ෂු තෙම ද්‍වෙෂ (වෛර) නැතුව, දොම්නස් නැතිව මෛත්‍රී සිත් වඩාද, කෙළෙස් පහ කිරීමෙන් කෙලෙස් නැතිවූ සමාධියද, ප්‍රඥාවද, මේ ජීවිතයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබොධකොට ඊට පැමිණ වාසය කෙරේද, කාශ්‍යපය, මේ භික්ෂු තෙම ‘මහණ’ යයිද ‘බ්‍රාහ්මණ’ යයිද කියනු ලැබේ.

‘කාශ්‍යපය, ඉදින් නොපිසූ පලා කන්නේ හෝ බඩ හමු (නම්වූ තණ ධාන්‍ය) කන්නේ හෝ ඉබේ හටගත් ධාන්‍ය කන්නේ හෝ වෙයි. (හම් වැඩකරුවෝ කපා දැමූ) හම් කැබලි කන්නේ හෝ කුඩු කන්නේ හෝ වෙයි. (මුරුවට) පුනක්කු කන්නේ හෝ වෙයි. තණ කන්නේ හෝ වෙයි. ගොම කන්නේ හෝ වෙයි. කැලෑ මුල් ගෙඩි කෑම ඇත්තේ ඉබේ වැටුන ගෙඩි කෑමෙන් යැපේද, කාශ්‍යපය, මේ අඩුවූ පැවතුම් ක්‍රමයෙන් මේ තපස් පැවතුමෙන් මහණ තෙම හෝ බ්‍රාහ්මණ තෙම හෝ දුකසේ දැනගත යුත්තේ ඉතා දුකසේ දැනගත යුත්තේද, එපමණකින් මහණ තෙම දුකසේ දැනගත යුත්තේය, බ්‍රාහ්මණ තෙම දුකසේ දැනගත යුත්තේයයි මේ වචන කියන්ට සුදුසු නොවෙයි. හෙතෙම නොපිසූ පලා කන්නේ හෝ බඩහමු නම්වූ තණ ධාන්‍ය කන්නේ හෝ ඉබේ හටගත් ධාන්‍ය කන්නේ හෝ වෙයි. හම්වැඩ කරුවන් කපා දැමූ හම් කැබලි කන්නේ හෝ කුඩු කන්නේ හෝ වෙයි. (මුරුවට) පුනක්කු කන්නේ වෙයි. තණ කන්නේ හෝ වෙයි. ගොම කන්නේ හෝ වෙයි කැලෑමුල් ගෙඩි කෑම ඇත්තේ ඉබේ වැටුනු ගෙඩි කෑමෙන් යැපෙයි’ කියා එය පවුල් ප්‍රධානියෙක් විසින් හෝ පවුල් ප්‍රධානියෙකුගේ පුත්‍රයෙක් විසින් හෝ යටත් පිරිසෙයින් දිය අදින දාසියක විසින්ද දැනගත හැකි වන්නේය.

“කාශ්‍යපය, යම් කරුණකින් මේ අඩුවූ පැවතුම් ක්‍රමයෙන් තොරව මහණ හෝ බ්‍රාහ්මණ හෝ දුකසේ දැනගත යුත්තේද ඉතා දුකසේ දැනගත යුත්තේද වේ නම් ‘මහණ තෙම දුකසේ දැනගත යුතුය’ ‘බ්‍රාහ්මමණ තෙමේ දුකසේ දැනගත යුතුය’යි මේ වචන කියන්නට සුදුසු වේ. කාශ්‍යපය, යම් කරුණකින් භික්ෂු තෙම ද්‍වෙෂ (වෛර) නැතිව දොම්නස් නැතුව මෛත්‍රී සිත් වඩාද කෙලෙස් පහකිරීමෙන් කෙලෙස් නැතිවූ සමාධියද ප්‍රඥාවද මේ ජීවතයෙහිම තමන්ගේ උසස් ඥානයෙන් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කෙරේද, කාශ්‍යපය, මේ භික්ෂුතෙම ‘මහණ’යයිද ‘බ්‍රාහ්මණ’ යයිද කියනු ලැබේ.

“කාශ්‍යපය, ඉදින්, හණ පට්ටා රෙදි දරාද, හණ පට්ටා මිශ්‍ර රෙදි දරාද, එරුතණ ආදියෙන් කළ රෙදි දරාද, බිම ලු රෙදිමාලු දරාද, ගස්පතුරු දරාද, අඳුන්දිවි සම් දරාද, මැදින් පැලු අඳුම්දිවි සම් දරාද, කුසතණ දරයිද, නියඳ (පන්) දරයිද, ලෑලිපටි දරයිද, ඉසකෙසින් කළ කම්බිලි දරයිද, අශ්ව ලොමින් කළ කම්බිලි දරයිද, බකමූණු පිහාටුවලින් කළ ශරීරයේ යට කොටසේ ඇඳුම් දරයිද, ඉසකෙස් රැවුල් ඉදිරීමෙහි යෙදුනේ ඉසකෙස් රැවුල් උදුරන්නේ වෙයිද, ආසන ඉවත් කොට නැගිට සිටින්නේද, ඇනතියා ඉඳීමේ වීර්යයෙහි යෙදුනේ ඇණතියා ඉඳීම කරයිද, කටු උඩ නිදාගන්නේ, කටු උඩ හැසිරීම කරන්නේ වෙයි, ලෑලි උඩ නිදාගන්නේ වෙයි, කුඩා තාප්ප උඩ නිදාගන්නේ වෙයි, දූවිල දැලි දරන්නේද වෙයි, එලියේ වසන්නේද වෙයි, පළමුව එලු ආකාරටම වෙනස් නොකර ආසනයක ඉන්නේද වෙයි, අසුචි කෑමෙහි යෙදුනේ අසුචි කෑම කරන්නේද වෙයි, ඇල්වතුර නොබීමෙහි යෙදුනේ ඇල්වතුර නොබීම ඇත්තේ වෙයි, උදය දවල් සවස පාප සෝදා පාකරන්නෙමැයි දියේ ගැලීමෙහි යෙදී වාසය කෙරේද, කාශ්‍යපය, මේ අඩුවූ පැවතුම් ක්‍රමයෙන්ද මේ තපස් පැවතුමෙන්ද, මහණ හෝ බ්‍රාහ්මණ හෝ දුකසේ දැනගත යුත්තේද, ඉතා දුකසේ දැනගත යුත්තේද එපමණකින් ‘මහණ තෙම දුකසේ තේරුම්ගත යුත්තේය, බ්‍රාහ්මණතෙම දුකසේ තේරුම්ගත යුත්තේය’යි මේ වචන කියන්නට සුදුසු නොවේ හෙතෙම හණ පට්ටා රෙදි දරයි. හණ පට්ටා මිශ්‍ර රෙදි දරයි එරුතණ ආදියෙන් කළ රෙදි දරයි. බිම ලු රෙදිමාලු දරයි. ගස්පත්රු දරයි. අඳුන්දිවි සම් දරයි. මැදින් පැලු අඳුන්දිවි සම් දරයි. කුසපට්ටා දරයි. නියඳ (පන්) පට්ටා දරයි. ලෑලි පටි දරයි. ඉසකෙසින් කළ කම්බිලි දරයි. අස්ලොමින් කළ කම්බිලි දරයි. බකමූණු පිහාටුවලින් කළ ශරීරයේ යට කොටසේ ඇඳුම් දරයි. ඉසකෙස් රැවුල් ඉදිරීමෙහි යෙදුනේ ඉසකෙස් රැවුල් උදුරන්නේද වෙයි. ආසන ඉවත්කොට නැගිට සිටින්නේද, උක්කුටික වීර්යයෙහි යෙදුනේ, උක්කුටිකව හිඳින්නේ, කටු උඩ නිදාගන්නේ කටු උඩ හැසිරීම කරන්නේ වෙයි. ලෑලි උඩ නිදා ගන්නේ වෙයි. කුඩා තාප්ප උඩ නිදාගන්නේ වෙයි. දූවිලි දැලි දරන්නේද වෙයි. එලියේ වසන්නේද වෙයි. පළමුව එලු ආකාරයටම වෙනස් නොකර ආසනයක ඉන්නේද වෙයි. අසුචි කෑමෙහි යෙදෙන්නේ අසූචි කෑම කරන්නේද වෙයි. ඇල්වතුර නොබීමෙහි යෙදුනේ ඇල් වතුර නොබීම ඇත්තේද වෙයි. උදය දවල් සවස පාප සෝදා පාකරන්නෙමැයි දියේ ගැලීමෙහි යෙදී වාසකෙරේයයි, මෙතරම් ස්වල්ප දෙයකින් අපසුවෙන් දැනගත යුතු ඉතා අපහසුවෙන් දැනගත යුතු මහණෙක් හෝ බමුණෙක් වෙයි නම් ඔහු පවුල් ප්‍රධානියකු විසින් හෝ පවුල් ප්‍රධානියෙකුගේ පුත්‍රයෙක විසින් හෝ යටත් පිරිසෙයින් දිය අදින දාසියක විසින්ද දැනගත හැකි වන්නේය.

“කාශ්‍යපය, යම් කරුණකින් මෙතරම් අඩුවූ පැවතුම් ක්‍රමයෙන් තොරවම මෙතරම් අඩුවූ තපස් පැවතුමෙන් තොරවම මහණ තෙම හෝ බ්‍රාහ්මණ තෙම දුකසේ දැනගත යුත්තෙක් ඉතා දුකසේ දැනගත යුත්තෙක් වේනම් මහණ තෙම දුකසේ දැනගත යුත්තෙක, බ්‍රාහ්මණතෙම දුකසේ දැනත යුත්තෙකැයි මේ වචන කියන්ට සුදුසුයි කාශ්‍යපය, යම් කරුණකින් භික්ෂුතෙම ද්‍වෙෂ (වෛර) නැතිව, දොම්නස් නැතිව, මෛත්‍රි සිත් වඩාද, කෙලෙස් පහකිරීමෙන් කෙලෙස් නැතිවූ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද මේ ජීවිතයෙහිම තමන්ගේ උසස් ඥානයෙන් අවබෝධකොට ඊට පැමිණ වාසය කෙරේද, කාශ්‍යපය, මේ භික්ෂුතෙම මහණයයිද බ්‍රාහ්මණයයිද කියනු ලැබේ.

සීලසමාධිපඤ්ඤාසම්පදා Msdiv 400 මෙසේ කී කල්හි අචෙල කාශ්‍යප, “පින්වත් ගෞතමය, ඒ සීල සම්පදාව කුමක්ද? චිත්තසම්පදාව කුමක්ද? ප්‍රඥා සම්පදාව කුමක්ද?”යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවේය.

“කාශ්‍යපය, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනා ඥාන ආදී විද්‍යා අට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පසළොස යන අෂ්ට විද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, (චතුරාර්ය සත්‍ය) සත්‍යවූ උතුම් ධර්මසතර අවබොධකළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ, සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැන පැහැදිලි කොට ප්‍රකාශ කෙරේද, ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූද, මැද යහපත්වූද, කෙළවර යහපත් වූද, අර්ථ සහිතවූද, (දස ආකාරයෙන්) නියම විදියට වචන ශබ්ද කරන්නාවූ ඛ්‍යඤ්ජන සහිත, සියලු ලෙසින් සම්පූර්ණවූ පිරිසිදුවූ, සියලු ශාසනමාර්ග බ්‍රහ්මචර්යය ගෙන හැර දක්වත්.

“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයිද ඔහු ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධායෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ‘ගෘහවාසය පීඩා සහිතයි. රාගාදී කෙලෙස් සහිත මාර්ගයෙකි මහණ කම වනාහී කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැලිරැවුලු කපාදමා සිවුරු හැඳ පොරවා ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි’ කියායි.

“ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් රාශිය හැර, ස්වල්පවූ හෝ බෙහෝවූ නෑපිරිස් හැර, හිසකෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වේද, මෙසේ මහණවූ ඔහු ප්‍රධාන සංවරසීලයෙන් යුක්ත වූයේ, යහපත් හැසිරීමෙන් හා වරදනැති පැවැත්මෙන් යුක්ත වූයේ, ස්වල්පවූත් අකුසලයන්හි විශෙෂයෙන් භය දක්නා ගති ඇත්තෙක් වූයේ, යහපත්වූ ශරීරයෙන් වචනයෙන් ක්‍රියාවෙන් යුක්තවූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත නැවතුම් ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්තවූයේ වෙයි. ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේ වෙයි. කෑමෙහි පමණ දන්නේ වෙයි. මනා යහපත් සිහියෙන් හා නුවණින් යුක්තවූයේ වෙයි, සන්තෝෂයෙන් යුක්තවෙයි.

Msdiv 401 “කාශ්‍යපය, භික්ෂුනමක් කෙසේ නම් සීලසම්පන්න වේද? කශ්‍යපය, මේ සස්නෙහිවූ භික්ෂුනමක් ප්‍රාණවධය හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහාතබන ලද ආයුද ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්ත වූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේ, මෙයද ඔහුගේ සීලයක්වේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළැක්කේ. දුන්දෙයම ගන්නේ, දුන්දෙයම කැමතිවන්නේ, සොර නොවූ පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කෙරේද මෙයද ඔහුගේ සීලයෙකි. අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන්වූයේ බ්‍රහ්මචාරීවේ මෙයද ඔහුගේ සීලයකි. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, සැබෑතෙපුල් කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලොකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේද මෙයද ඔහුගේ සීලයෙකි. පිසුණු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේද, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේද, මෙසේ භෙදවූවන් ගළපන්නේ සමගිවූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ තෙපුල් කියන්නේය. මේද ඔහුගේ සීලයෙකි, ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, යම් වචනයක් නිදොස් වේද, කණට සැපද, ප්‍රෙමණියද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රියකරන්නේද, එබඳු වචනම කියන්නේ වේද මෙයද ඔහුගේ එක් සීලයෙකි. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේද, කාලයට සුදුසු කථා කරන්නේද, සිදුවූ තෙපුල්ම කියන්නේද, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්ත විනය සම්බන්ධවූ තෙපුල් කියන්නේද, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේද මෙසේ ඒ හිස් කථාවෙන් වැළැක්මද දියුණුවට හේතුවන වචන කීමද, මෙයද ඔහුගේ සීලයෙකි.

“තණ, ගස්, වැල්, සිඳීම් බිඳීම්, ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන කෑම ඇත්තේද, රාත්‍රි කෑමෙන් හා අවේලෙහි කෑමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය. නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය මල්, ගඳ, විලවුන් පැළඳීම, ඉන් සැරසීම්, අඩු තැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සම්පූර්ණයෙන්, වැළැක්කේද, උස්අසුන් මහ අසුන් යන මෙයින් වැළැක්කේද, රන් රිදී මසුරන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් වැළැක්කේද, අමුවූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද, අමුමස් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද ස්ත්‍රීන් හා ගෑනු ළමයින් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද වේ. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද, එළුවන් හා තිරළුවන් පිළිගැනීමෙන් තොරවූයේද, කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන්, කෙත්, වත්, යන මේ පිළිගැන්මෙන්ද, සම්පූර්ණයෙන් තොර වූයේද, ගිහීන්ගේ දූත මෙහෙවරය. ගෙන්ගෙට යන පහත් මෙහෙවරය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේද, ගනු දෙනු කිරීමය, තරාදි ආදියෙන් වඤ්චා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වඤ්චා කිරීමය, වී ආදිය මැණීමෙන් වඤ්චා කිරීමය, හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය. නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් සම්පූර්ණයෙන් වැළක්කේය. කැපීම, මැරීම, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින්ද සම්පූර්ණයෙන් වැළැක්කේය, මෙයද ඔහුගේ සීලය වේ.

(සුදු සිල් නිමියේය.)

“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මූලබීජය, ඛන්ධබීජය, එළුබීජය, දලුබීජය, පස්වැනිවූ බීජබීජය යන මේ ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්ද මෙබඳුවූ බීජගාම භූතගාමයන් සිඳීම බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේ නම් මෙයද ඔහුගේ එක් සීලයක් වේ.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා ආහාර වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයොජන ගැන්මය, බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයොජන ගැන්මය, නොඉටන ලද (අයිතියට නොගත්) සිවුරු ආදිය, යාන සංඛ්‍යාත වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියනලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත්ද මෙබඳුවූ සන්නිධිකාර පරිභොගයෙන් වැළකී වෙසේද, මෙයද ඔහුගේ සීල සම්පත්තියකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා නැටීමය, ගී කීමය බෙර ආදිය වැයීමය, රඟමඩුලු සැරසීමය, වැඩක් නැති කථා ඇසීමය, කයිතාලම් හා අත්ලෙන් අත්ල ගැසීමය, මන්ත්‍ර පිරවීමෙන් මළමිනි නැංවීමය, සතරැස් හෝ කළ බෙර ගැසීමය, ශොභන චිත්‍ර විචිත්‍රය, සණදොවුන් කෙළිය, හුණගස් ඔසවා නැටීමය. මිනීඇට සෝදා තැබීමය, ඇතුන් හා පොරය, අශ්වයින් යොදා පොරය, මීවුන් හා පොරය, ගවයින් හා පොරය, එළුපොරය මෙණ්ඩක එළුපොරය, කුකුළුපොරය, වටුපොරය, දඬු (පොලු) පොරය, තොරතුරු (අතමිට මොලවා) ඇනීමය, මල්ලව යුද්ධය යුද්ධය, ඇත් අස් ආදිය දැකීමය යන විකාර දර්ශනයෙහි යෙදී වාසය කරත්ද මෙසේ මෙබඳු විසුලු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළක්කේද, මෙයද ඔහුගේ සීල සම්පත්තියකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා (දූ පෝරු ආදියෙහි කෙළිම්වූ) ක්‍රීඩාවය, දශපද ක්‍රීඩාවය, දූ පෝරු ආදියෙහි මෙන් ආකාශයෙහි ක්‍රීඩා කිරීමය, බිම මණ්ඩල වශයෙන් සාදා පැන පැන ක්‍රීඩා කිරීමය, දූ කැට නොසොල්වා නියෙන් ගසා ක්‍රීඩා කිරීමය, දාදු කෙළීමය, සිං කෙළීමය, භිත්ති ආදියෙහි ඉරටමිටි ගසා ඇත් අස් ආදී රූප දක්වා කෙළීමය, පන්දු කෙළීමය, නළා පිඹීමය, ක්‍රීඩා නඟුල් ගෙන සෙල්ලම් සීසෑම්ය, කරනම් ගැසීමය, තල්පත් ආදියෙන් කන්නන්ගුරුවා තනා ක්‍රීඩාකිරීමය, කොළ නැළියෙන් වැලි ආදිය මැණ කෙළීමය, කුඩා රථයෙන් කෙළීමය, කුඩා දුන්නෙන් කෙළීමය, අහසෙහි හෝ පිටෙහි හෝ අකුරු ඇඳ කෙළීමය, සිතූ දේ කියවීම් කීම් ආදියෙන් කෙළීමය ඒ ඒ දෝෂ රූප දක්වා කෙළීමය, යන මෙබඳුවූ ප්‍රමාදයට කාරණාවූ දූ කෙළීමෙහි යෙදී වාසය කෙරෙත්ද මෙසේ මෙබඳුවූ කෙළියෙන් සම්පූර්ණයෙන් වළකීද, මෙයද ඔහුගේ සීල සම්පත්තියකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා දික්හඟලා පුටුය, පලස්ය, සතරඟුලෙන් දිග ලොම් ඇතිරිය, විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් සුදුඇතිරිය, එළු ලොමින් කළ ඉදිරියට නෙරූ මල් ඇති ඇතිරිය, සිංහාදී රූපයෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එක් පිට ලොම් ඇති ඇතිරිය. දෙපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය, රත්රන් නූලෙන් කළ පට ඇතිරිලිය, එක්විට නැට්ටුක්කාරියන් දහසය දෙනෙක් නටනා එළුලොමින් කළාවූ මහ ඇතිරිය, ඇතුන් පිට අතුරණ ඇතිරිය, අසුන් පිට අතුරන ඇතිරිය, රථ පිට අතුරණ ඇතිරිය, අඳුන්දිවි සමින් කළ ඇතිරිය, කෙසෙල් මුව සමින් කළ උතුම් ඇතිරිය, දෙපස තබනලද රතුපාට කොට්ට ඇති ආසනය, යන මෙබඳු උස් අසුන් මහ අසුන් පාවිච්චි කෙරෙත්ද මෙසේ මෙබඳුවූ උස් අසුන් මහ අසුන්හි හිඳීම් ආදියෙන් වළකීද, මෙයද ඔහුගේ සීල සම්පත්තියකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ඇඟ ඉලීමය, පිරිමැදීමය, නෑවීමය, මැඩීමය, මූනබලන කන්නාඩි, අඳුන් තෙල් පාවිච්චිය හා සුවඳ, මූණේ ගානා සුවඳ කුඩු, මූණේ ගානා සුවඳ ද්‍රව්‍ය, අත්වල බඳින ආභරණ යන මේ දේ දැරීම හා පැළඳීමය, රත්රන් නූල් ආදියෙන් කුඩුම්බි බැඳීමය, විසිතුරු දඬුගෙන හැසිරීමය, බෙහෙත් නළ එල්වාගෙන ඇවිදීමය, කඩු විසිතුරු කුඩ ගෙනයෑම, විසිතුරු සෙරෙප්පු හෝ සපත්තු පයලා ඇවිදීමය, නලල්පට බැඳීමය, කොණ්ඩා මාණික්‍ය පැළඳීමය, අවන් දැරීමය, දික්වූ දහවලු ඇති සුදුරෙදි ඇඳීමදැයි මෙසේවූ සැරසීම් හා අඩුතැන් පිරවීමෙහි නිතර නිතර යෙදෙත්ද මෙබඳුවූ සැරසීම් අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වළකීද මෙයද ඔහුගේ සීල සම්පත්තියකි.

“එසේම ඇතැම් පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය මහ ඇමතියන් පිළිබඳ කථාය, සෙනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, ඇඳන් පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, ගන්ධ ද්‍රව්‍යයන් පිළිබඳ කථාය නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නුවර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, ගෑනු දරුවන් පිරිමි දරුවන් පිළිබඳ කථාය, යොධයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, වතුර ගෙන යන දාසීන් හෝ වතුර ගෙන යන තැන් හෝ පිළිබඳ කථාය, මළ නෑයන් යන ආදීන් පිළිබඳ කථාය, නොයෙක් ආකාරවූ තේරුම් නැති කථාය, ලොකය පිළිබඳ කථාය, මුහුද පිළිබඳ කථාය, භවාභව කථාය යන මෙබඳු පහත් කථාවෙහි යෙදී වෙසෙත්ද මෙබඳුවූ පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වළකීද මෙයද ඔහුගේ සීලසම්පත්තියකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘ඔබ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. ‘ඔබ මේ ධර්ම විනය කුමකැයි දන්නෙහිද? ඔබ වරදවා පිළිපදින්නෙහිය. මම මනාකොට පිළිපදින්නේ වෙමි.’ ‘මාගේ වචන යහපත්ය, හෝ අර්ථ සහිතය, ඔබගේ වචන අර්ථ රහිතය. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමුව කීයෙහිය. යමක් ඔබ බොහෝ කල් පුරුදු කරණ ලද නම් ඒ සියල්ල නිෂ්ඵල විය. ඔබට වාදාරොපනය කරණ ලදී. නින්දා කරණ ලද්දෙහිය. වාදයෙන් මිදෙනු පිණිස ක්‍රියා කරව. ඉදින් හැක්කෙහි නම් වාදයෙන් ගැළවෙව’ යන ආදී දොෂාරොපණ කථාවෙහි යෙදී වෙසෙත්ද මෙසේ මෙබඳු දොෂාරොපණ කථාවෙන් සම්පූර්ණයෙන් වළකීද මෙයද ඔහුගේ සීලසම්පත්තියකි.

“එසේ සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘රජුන්ගේ, රජ මහ ඇමතියන්ගේ, ක්ෂත්‍රියන්ගේ, බමුණන්ගේ, ගෘහපතියන්ගේ සහ කුමරුන්ගේද හසුන් ගෙණ, ‘මෙතනින් අසවල් තැනට යව අසවල් තැනින් මෙහි එව, මෙය

ගෙණ යව, එතැනින් අසවල් දෙය ගෙණෙව’යි දූතභාවයෙහි හා හසුන් ගෙණ යෑමෙහි යෙදී වෙසෙත්ද මෙබඳු දූත භාවය, හසුන් ගෙණයෑම යන මෙයින් වළකීද මෙයද ඔහුගේ සීලසම්පත්තියකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා කුහකයෝද, සිව්පසය උදෙසා කථා කරන්නෝද, නිමිති කරන්නෝද නොහොත් ලාභ සත්කාර සඳහන් කරන්නෝද, පරලාභාදිය උදෙසා කියන්නෝද ලාභයකින් ලාභයක් සොයන්නෝද වෙත්. මෙබඳුවූ කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වළකීද මෙයද ඔහුගේ සීල සම්පත්තියකි.

(මැදුම් සිල් නිමියේය)

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා සාමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය, හෙනගැසීම ආදී මහනිමිති බලා කියන ශාස්ත්‍රය, ස්වප්න ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, මීයන් කැපූ වස්ත්‍රාදිය බලා කියන ශාස්ත්‍රය, ගිනිදෙවියා පිදීමය, දබ්බිහොමය, ථුස හොමය, තණ්ඩුල හොමය, කණ හොමය, සප්පි හොමය, තෙල හොමය, මුඛ හොමය, ලේ හොමය, ශරීර විද්‍යා, වාස්තු විද්‍යා, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන්නාවූ විද්‍යා, භූත විද්‍යා, නාග විද්‍යා, විෂ විද්‍යා, ගෝනුසු විද්‍යා, මී විද්‍යා, කුරුලු විද්‍යා, කපුටු විද්‍යා, ජීවිත කාලය කීම, ආයුධ වැළැක්ම, තිරිසන් සතුන්ගේ ශබ්ද දැනීම වශයෙන් පැවති මන්ත්‍රය යන පහත් විද්‍යා, හේතුකොට ගෙන වැරදි ජීවිතයෙන් ජීවිකා කෙරෙත්ද මෙසේ මෙබඳු පහත් විද්‍යා හේතුවෙන් කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේද මෙයද ඔහුගේ සීල සම්පත්තියකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මිණි ලක්ෂණය, වස්ත්‍ර ලක්ෂණය, දණ්ඩ ලක්ෂණය, කඩු ලක්ෂණය, දුනු ලක්ෂණය, ආයුධ ලක්ෂණය, ස්ත්‍රී ලක්ෂණය, පුරිස ලක්ෂණය, පිරිමිදරු ලක්ෂණය, ගෑණුදරු ලක්ෂණය දාස ලක්ෂණය, දාසි ලක්ෂණය, ඇත් ලක්ෂණය, අශ්ව ලක්ෂණය, කැස්බෑ ලක්ෂණය, එළුලක්ෂණය, මීහරක් ලක්ෂණය, ගව ලක්ෂණය, ලොකු එළු ලක්ෂණය කුකුළු ලක්ෂණය, වටු ලක්ෂණය, තලගොයි ලක්ෂණය, කර්ණිකා ලක්ෂණය, මුව ලක්ෂණයයි, මෙබඳු පහත් විද්‍යාවන් කරණ කොට ගෙණ, වැරදි ජීවිකාව කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යාවන් නිසා කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීල සම්පත්තියකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා අසවල් දිනට රජුන්ගේ බැහැර යෑම වන්නේය. අසවල් දින ඇතුළු නුවරට එන්නේය. අසවල් දින ඇතුළු නුවර රජුන් වෙත පැමිණීම වන්නේය. බැහැර රජුන්ගේ බැහැරට යෑම වන්නේය. බැහැර රජුන්ගේ ඇතුළු නුවරට ඊම වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ ආපසු යෑම වන්නේය. ඇතුළු නුවර රජුන්ට ජය වන්නේය. බැහැර රජුන්ගේ පරාජය වන්නේය. බැහැර රජුන්ගේ ජය වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ පරාජය වන්නේය. මෙසේ මොහුට ජය වන්නේය, මෙසේ පරාජය වන්නේයයි කියා මෙසේ පහත් විද්‍යා හේතුකොට ලාමක ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ පහත් විද්‍යා හෙතුවෙන් කරණ වැරදි ජීවිතයෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීල සම්පත්තියක් වේ.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ‘චන්ද්‍රග්‍රහණය වන්නේය, සූර්ග්‍රහණය වන්නේය තාරකා සමාගමය වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නියම මාර්ග ගමන වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නොමග යෑම වන්නේය, තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය, තාරකාවන්ගේ නොමග යෑම් වන්නේය, උල්කාපාතය වන්නේය, දිසා දැවීම වන්නේය, පොළොව කම්පාව වන්නේය, අහස ගිගුරුම් වන්නේය, සඳ, හිරු, තාරකාවන්ගේ නැගීම හා බැහීමද කෙළෙසීමද පිරිසිදු වීමද වන්නේය, චන්ද්‍ර ග්‍රහණය මෙබඳු විපාක ඇතිවන්නේය, සූර්යග්‍රහණය මෙබඳු විපාක ඇති වන්නේය, තාරකා සමාගමය මෙබඳු විපාක ඇතිවන්නේය චන්ද්‍ර සූර්යයන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇති වන්නේය, ඔවුන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇති වන්නේය, තාරකාවන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, උල්කාපාතය මෙබඳු විපාක ඇතිවන්නේය, දිගුන් දැවීම මෙබඳු විපාක ඇතිවන්නේය, භූමි කම්පාව මෙබඳු විපාක ඇතිවන්නේය, අහස් ගිගුම මෙබඳු විපාක ඇති වන්නේය, සඳ, හිරු, තාරකාවන්ගේ නැගීම, බැසීම, කිලිටුවීම හා පිරිසිදු වීම මෙබඳු විපාක ඇතිවන්නේයයි’ කියා මෙසේ පහත් විද්‍යා හේතුවෙන් කරණ වැරදි ජීවිකාවෙන් ජීවිකා කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යා හේතු කොට ගෙණ කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීල සම්පත්තියකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ‘මනා වැසි ඇතිවන්නේය, මනා වැසි නැතිවන්නේය, යහපත් ආහාරපාන ඇතිවන්නේය, ආහාර පාන නැති වන්නේය, නිර්භය ඇතිවන්නේය, භය ඇතිවන්නේය, රොග ඇතිවන්නේය, නිරෝගි බව ඇතිවන්නේයයි’ කීමද, ඇඟිල්ල ඇල්ලීමය, ගණන් කිරීමය, කොටස්කර ගණන් කිරීමය, කාව්‍ය කිරීමය, ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙණීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණකොට වැරදි ජීවිකා කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යා හෙතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලසම්පත්තියකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ආවාහ කරවීමය, විවාහ කරවීමය, සමගිය පිළිබඳ කථාකිරීමය, වියොගය පිළිබඳ කථාකිරීමය, ධන රැස්කිරීමය, වියදම් කිරීමය, යහපත් ශ්‍රියාව ඇතිකිරීමය, දුර්භගකරණය, ගර්භවිරොධි කරණය, දිව් තද කිරීමය, නූල් බැඳීමය, අත් පෙරළීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, ශබ්ද නොඇසීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, කැඩපත්හි දෙවතාරොපණයකොට ප්‍රශ්න ඇසීමය, ගෑනුදරුවන්ගේ ශරීරයෙහි දෙවතාරොපණය කොට ප්‍රශ්න ඇසීමය, දෙවදාසියගේ ශරීරයෙහි යකුන් ආරොපණය කොට ප්‍රශ්න ඇසීමය, හිරු වැඳීමය, මහබඹුට උපස්ථාන හෝ වැඳුම් කිරීමය, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දෙවිය කැඳවීමයයි කියන මෙබඳු පහත් විද්‍යාවෙන් වැරදි ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ පහත් විජ්ජාවෙන් කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීල සම්පත්තියකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ශාන්ති කිරීම කාර්යය සමෘද්ධි කටයුතු කර්මය, මන්ත්‍ර කිරීමය, භූරිකර්මය, පණ්ඩකයා පුරුෂයකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය, ගෙවල් නොකළ බිම් ගෙවල් කිරීමය, ගෙට සුදුසු තැන බලිකම් විධානය, දියෙන් මූන සුද්ධ කිරීමය, නැහැවීමය, ගිනි පිදීමය, වමන කරවීමය, විරේක කරවීමය, උඩු කය විරේකය. යටිකය විරේකය, හිස විරේකය, කන්තෙලය, ඇස් බෙහෙත් ගැල්වීමය, නස්‍ය කිරීමය, අඳුන් ගෑමය, සිසිල් බෙහෙත් අඳුන් සෑදීමය, ආයුධ කටු ගසා කරන වෙදකමය, ශල්‍යකර්මය, ළදරුවන් පිළිබඳ වෙදකම්ය, මූලික බෙහෙත් දීමය, සැර බෙහෙත් දී පසුව එහි බල හැරීමය කියා හෝ මෙබඳු පහත් විද්‍යා කරණකොට වැරදි ජීවත්වීමෙන් ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීල සම්පත්තියයි.

“කාශ්‍යපය, මෙසේ ශීලසම්පන්නවූ භික්ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ ශීලසංවරය හෙතු කොට ගෙණ කිසි තැනකදී නොඋපදන්නේය. කුමක් මෙන්ද යත්:- කාශ්‍යපය, ක්ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂෙක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්ෂත්‍රීය රජෙක් කිසියම් සතුරෙකුගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, කාශ්‍යපය, ශීලසම්පන්නවූ භික්ෂුතෙමේ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ශීලසංවරය හෙතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්යවූ (උතුම්වූ) මේ සීල රාශියෙන් යුක්තවූ ඒ භික්ෂු තෙම, තමන් තුළ පිරිසිදුවූ (කායික චෛතසික) සැපය විඳියි. කාශ්‍යපය, මෙසේ දැක්වූ ශීලයෙන් යුක්තවූ භික්ෂුව ශීලසම්පන්න නම් වේ.

(මහ සිල් නිමියේය.)

“කාශ්‍යපය, භික්ෂුව කෙසේ නම් ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේද? කාශ්‍යපය, මේ සස්නෙහි භික්ෂුතෙමේ, ඇසින් රූපයක් දැක එහි නොඇලේද එහි නොපෙළඹෙන්නේද, ඇස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදීද ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රියය රකී, ඇස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ කනින් ශබ්දයක් අසා එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය කන් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ කන් ඉන්ද්‍රියය රකී. කන් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. නාසයට ගඳ සුවඳ දැනී එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. නාස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ නාස් ඉන්ද්‍රියය රකී. නාස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. දිවෙන් රසයක් විඳ එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. දිව් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ දිව් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කයින් ස්පර්ශයක් ස්පර්ශකොට එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ශරීර ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ ස්පර්ශ ඉන්ද්‍රියය රකී. ස්පර්ශ ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. සිතින් (ධර්මයක්) අරමුණක් දැන එහි නොඇලේ, එහි නොපෙළඹෙන්නේය. සිත් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් නිසා දැඩි ආසාව හා කලකිරිම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. හෙතෙම සිත් ඉන්ද්‍රිය රකී. සිත් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. එබඳුවූ භික්ෂුව උතුම්වූ ශීල රාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිදුවූ අධිචිත්ත සැපය විඳියි. කාශ්‍යපය, මෙසේවූ භික්ෂු තෙමේ ඉන්ද්‍රියයන්හි වසනලද දොරටු ඇත්තේ වේ.

“කාශ්‍යපය, භික්ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද?

“කාශ්‍යපය, මේ සස්නෙහි භික්ෂුතෙම ඉදිරියට යෑමෙහිද, ආපසු යෑමෙහිද, නුවණින් දැන කරන්නේය ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද නුවණින් දැන බලන්නේය. අත් පා හැකිලීමෙහිද, දිගුකිරීමෙහිද, මනා නුවණින් දැන එසේ කරන්නේය. දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිදී මනා නුවණින් දැන එසේ කරන්නේය. අනුභව කිරීමය, පානය කිරිමය. වැළඳීමය, රස විඳීමය යන මෙහිද මනා නුවණින් යෙදී එසේ කරන්නේය. මල මුත්‍ර පහකිරීමද නුවණින් (ආදිනව) සලකා කරන්නේය. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොරකිරීම්, කථාකිරීම්, නිශ්ශබ්දව සිටීම යන මේ දේ මනා නුවණින් දැන කරන්නේය. කාශ්‍යපය, මෙසේ කරන්නාවූ භික්ෂු තෙමේ සිහියෙන් යුක්තවූයේ යහපත් නුවණින් යුක්ත වූයේ වෙයි.

“කාශ්‍යපය, භික්ෂු තෙමේ කෙසේ සතුටු වූයේ වේද?

“කාශ්‍යපය, භික්ෂු තෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද, සතුටු සිත් ඇත්තේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් අටපිරිකර (කය පිළිබඳවූ දේ) පමණක් ගෙන යයි. කාශ්‍යපය, යම්සේ පක්ෂියෙක් යම් තැනෙක පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, කාශ්‍යපය, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය ආරක්ෂාවට ප්‍රමාණවූ සිවුරෙන්ද බඩ ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු වන්නේ වේ. ඔහු යම් තැනක යා නම් අටපිරිකර පමණක් රැගෙණ බැහැර යයි. කාශ්‍යපය, මෙසේවූ භික්ෂු තෙමේ සන්තෝෂයෙන් යුක්ත වේ.

“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, මේ උතුම්වූ සන්තෝෂයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, කඳු පලාත්ද, කඳුරැලි ගල්ගුහාවන් හෝ මහාමගද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තණ ගුහාද යන මේ ස්ථාන ආශ්‍රය කෙරේද ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළැක්කේ, පර්යංකය බැඳ, කකුල් අකුලුවා හිඳ ශරීරයේ උඩු කොටස කෙලින් තබා නිවණෙහිම සිත එලවා, ඒ නිවණම අරමුණු වසයෙන් සිත ඉදිරියෙහි පිහිටුවාගෙණ හිඳී.

“ඔහු ලොකයෙහි ලොභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේද ලොභ සිත වෙන් කොට පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රොධය පහකොට ක්‍රොධයෙන් දුරුවූ සිත් ඇතිව පණ ඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේව වාසය කෙරේද, ක්‍රොධ දොෂයෙන් වෙන්ව සිත පිරිසිදු කෙරේද, කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරුකොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ පිරිසිදු හැඟීම් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේද, අලස බව දුරුකොට සිත පිරිසිදු කෙරේද, උඩඟු බව හා කුකුස දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේද, ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, සිත උඩඟු බව හා කුකුසෙන් පිරිසිදු කෙරේද, විචිකිච්ඡාව (සැකය) දුරුකොට, පහකළ විචිකිච්ඡා ඇත්තේ කුශලධර්ම විෂයෙහි සැක නැතිව වෙසේද; විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේද.

“කාශ්‍යපය, යම්සේ පුරුෂයෙක් ණය ගෙණ කර්මාන්තයන්හි යොදන්නේද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණුවන්නාහු නම් ඔහුගේ ඒ පරණ ණය මුදල් සියල්ලම ගෙවන්නේය. ඔහුගේ අඹුදරුවන් ආරක්ෂා කරණ පිණිස වැඩි යමක් ඉතුරුවූයේ නම් ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. ‘මම පළමුවෙන් ණය ගෙණ කර්මාන්තයන්හි යෙදුවෙමි. ඒ මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. ඒ මම පැරණි ණය ගෙවූයෙමි. අඹුදරුවන් පොෂ්‍ය කිරීම පිණිස අතිරේක මුදලක්ද මට ඇත්තේය’කියායි. හෙතෙම ඒ ණය නැති බව මුල්කොට ගෙණ බලවත් සතුටක් ලබන්නේය. සතුටටද පැමිණෙන්නේය.

“කාශ්‍යපය, යම්සේ රොගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩි ගිලන්බව ඇති පුරුෂයෙක් වන්නේද, ඔහුට ආහාර රුචිනොවන්නේද, ඔහුගේ ශරීරයෙහි කිසි ශක්තියක් නැත්තේද වෙයි. ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට ආහාර රුචිය ඇති වන්නේ නම් ඔහුගේ ශරීර බලය ඇති වන්නේ නම්, ඔහුට මෙබඳු අදහසක් වන්නේය, කෙබඳුද යත්: ‘මම පෙර ආබාධ ඇත්තාවූ, දුක් ඇති, දැඩි ගිලන් බව ඇති කෙනෙක් වීමි. මට බත් රුචියද නොවීය, ශරීර බලයද නැතිවිය, ඒ මම පළමු තිබූ ආබාධයෙන් මිදුනෙමි. මට ආහාර රුචියද ඇත්තේය කාය බලයද තිබේය’ කියායි. ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය, සොම්නසටද පැමිණෙන්නේය.

“කාශ්‍යපය, යම්සේ පුරුෂයෙක් සිරගෙයි බැඳුනේ වේද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය. ඔහුගේ කෑම පිළිබඳ කිසිත් වියදමක්ද නොවන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: ‘මම පෙර සිරගෙයි බැඳුනෙක් වූයෙමි. ඒ මම දැන් පීඩා රහිතව සැපසේ ඒ සිරගෙයින් මිදුනෙමි. මගේ කෑම පිළිබඳ කිසි වියදමක්ද නොවූයේය’ කියායි. ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය. සතුටට පැමිණෙන්නේය. ණය නැති බව යම්සේද, නිරෝගී බව යම්සේද, සිරගෙන් මිදීම යම්සේද, අනුන්ට යටහත් නැති බව යම්සේද, භයනැති භූමිය යම්සේද, එපරිද්දෙන්ම කාශ්‍යපය, භික්ෂු තෙමේ පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමන් තුළ නැති බව නුවණින් දකින්නේය.

“පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නාවූ ඒ භික්ෂුහට සතුටු ආකාරය උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසහගත සිත් ඇත්තහුගේ නාම කය (වේදනාදී ස්කන්ධ හතර) සංසිඳෙයි, සංසිඳිනු කය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට (එකඟ බවට) පැමිණෙයි.

“ඒ භික්ෂු තෙමේ වස්තුකාම ක්ලෙශකාමයන්ගෙන් වෙන් වූයේම, අකුසල ධර්මයන් කෙරෙන්ද වෙන් වූයේම අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැපකොට ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදවීම් වසයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරෙයි.

මෙයද ඒ භික්ෂුහුගේ සමාධි සම්පත්තියයි.

“කාශ්‍යපය, නැවතද භික්ෂු තෙමේ අරමුණට සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම යන මොවුන්ගේ සන්සිඳීමෙන් අද්ධ්‍යාත්මයෙහි මනා පැහැදීම කරන්නාවූ, සිත පිළිබඳ එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කරයි.

කාශ්‍යපය, මෙයද ඒ භික්ෂුහුගේ සමාධි සම්පත්තියයි.

“නැවතද කාශ්‍යපය, ඒ භික්ෂු තෙමේ ප්‍රීතියෙහි නොඇල්මෙන් මැදහත් බැව් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව (උපෙක්ෂා) සැප දුක් දෙකට මැදහත් විඳීම ඇත්තේය, සිහි ඇත්තේය, සැපයෙන් විසීම ඇත්තේයයි ආර්යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කරයි.

කාශ්‍යපය, මෙයද ඒ භික්ෂුවගේ සමාධි සම්පත්තියයි.

“නැවතද කාශ්‍යපය, ඒ මහණතෙමේ සැප දුරු කිරීමෙන්ද, දුක් දුරු කිරීමෙන්ද පළමුකොටම සැපදුක් වෙදනා නැතිව යාමෙන් දුක්ද නොවූ, සැපද නොවූ උපේක්ඛා-සති යන මොවුන්ගේ පිරිසිදු බැව් ඇති, හතරවෙනි ධ්‍යාන (කුසල) චිත්තයට පැමිණ වාසය කරයි.

කාශ්‍යපය, මෙයද ඒ භික්ෂුවගේ සමාධි සම්පත්තියයි.

කාශ්‍යපය, මේ වනාහි සමාධි සම්පත්තිය නම් වේ.

“නැවතද, කාශ්‍යපය, ඒ භික්ෂු තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය ඉපදවීම පිණිස සිත එලවා තබයි. ඒ සඳහා වෙසෙසින් සිත නමයි. ඔහු මෙසේ දැන ගණි. ‘මාගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්තය. සතර මහාභූතයන්ගේ හේතුවෙන් හටගත්තේය. මව්පියන් නිසා හටගත්තේය. ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය, ඇඟ ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාශය යන මේ දේ ස්වභාවකොට ඇත්තේය. මාගේ මේ විඤ්ඤාණය ශරීරය ආශ්‍රය කෙරේ. මෙහිම බැඳුනේ වෙයි’ කියායි.

“කාශ්‍යපය, යම්සේ යහපත්වූ, පිරිසිදු ආකාරයෙන් උපන්නාවූ, අටැස්වූ, ගල් ආදී දොස් බැහැර කිරීමෙන් හොඳ ලෙස සකස් කරණ ලද්දාවූ, නිර්මලවූ විශේෂයෙන් ප්‍රසන්නවූ, කැලැල් නැතිවූ, සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, වෛඪූර්ය මැණිකක් වේද, එහි නිල්වූ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණන ලද්දේ, ඒ මේ මැණික ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙණ මෙසේ සලකා බලන්නේය ‘මේ වෛඪූර්ය මැණික මනාසේ කාන්තිමත් හෙයින් යහපත් වේ, පිරිසිදු ආකාරයෙන් උපන්නේය, අටැස් ඇත්තේය, දොස් දුරුකිරීමෙන් මනාකොට සකස් කරණ ලද්දේය. නිර්මලය, විශෙෂයෙන් ප්‍රසන්නය, කැලැල් නැත, සියලු ආකාරයෙන් සම්පූර්ණය. ඒ මැණිකෙහි මේ නීලවර්ණවූ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණන ලද්දේය’ කියායි.

“කාශ්‍යපය, එපරිද්දෙන්ම යෝගීවූ මේ භික්ෂු තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇතිවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය පිණිස සිත එලවා තබයි, ඒ සඳහා විශෙෂයෙන් සිත නමයි. ඒ භික්ෂු තෙමේ මෙසේ දන්නේය, කෙසේද යත්: මාගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්තවේ, සතර මහාභූතයන්ගෙන් හටගත්තේය, මව්පියන් නිසා හටගත්තේය. ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය, ඉලීමය, පිරිමැදීමය බිඳීමය, විනාශය යන මේ ස්වභාවකොට ඇත්තේය. මාගේ මේ විඤ්ඤාණය මේ ශරීරය. ආශ්‍රය කෙළේ වෙයි, මෙහිම බැඳී සිටියේය’ කියායි.

“ඔහු මෙසේ ධ්‍යානයෙන් සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් නැතිවූ කල්හි, ක්ලෙශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, නොසැලෙන බවට පැමිණි කල්හි, මනොමයවූ රූපයක් මනා කොට නිපදවීම පිණිස සිත එලවා තබයි වෙසෙසින් නමයි. ඔහු ආකාරවත්වූ, මනොමයවූ (ධ්‍යාන සිතින් නිපදවනලද) ශරීරය හා අත පය ආදී අවයව ඇති, විකලනුවූ ඉඳුරන් ඇති, මේ ශරීරයෙන් අන්‍යවූ ශරීරයක් හොඳ ලෙස සාදයි.

“කාශ්‍යපය, යම්සේ පුරුෂයෙක් මුදු තණ ගසින් තණබඩය උදුරා ගැනීම කරන්නේද, මේ තණ ගසය, මේ තණ බඩය, තණගස අනිකෙක, තණබඩය අනිකෙක, තණ ගසින්ම තණබඩය ඇදගන්නා ලද්දේය, තනන ලද්දේය යන වැටහීම ඕහට පහල වන්නේය.

මෙයද ඔහුගේ ප්‍රඥා සම්පත්තියකි.

“කාශ්‍යපය, යම්සේ පුරුෂයෙක් කඩුව කොපුවෙන් ඉවත් කරන්නේද ඔහුට මෙබඳු අදහසක් වන්නේය. ‘මේ කඩුවය, මේ කොපුවය, කඩුව අනිකෙක, කොපුව අනිකෙක, කොපුවෙන් කඩුව ඉවත්කරණ ලද්දේය’ කියායි.

“කාශ්‍යපය, යම් පුරුෂයෙක් සර්පයෙකු සැවයෙන් පහ කරන්නේද ඕහට මේ සර්පයාය, මේ සැවය, සර්පයා එකෙකි. සැව අනිකකි, සැවයෙන් සර්පයා වෙන්කරණ ලද්දේයයි වැටහීමක් ඇතිවන්නේය.

“කාශ්‍යපය, එසේම භික්ෂු තෙමේ මෙසේ සිත සමාධිගතවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සිතින් උපදවන කය මැවීම පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත්කොට ඊට නමයි. ඔහු මේ කයින් රූ ඇති, සිතින් මවනලද, සියලු ශරීරය සහ අතපය ආදී අවයව ඇති, නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති වෙන කයක් මවයි.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, නැවතීමට පැමිණි කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, ඍද්ධිවිධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු නොයෙක් අයුරු ඇති ඍද්ධිවිධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝසේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට පර්වතය හරහට නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පරියන්කයෙන් හිඳගෙනම යෙයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹ ලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි.

“කාශ්‍යපය, දක්ෂ කුඹල්කරුවෙක් හෝ කුඹල්කරු අතවැසියෙක් හෝ යහපත්සේ පදම්කළ මැටියෙන් කැමති කැමති වලන් ආදී වර්ගයන් යම්සේ කරන්නේද, නිපදවන්නේද, මහරජ, දළ කැටයම් කරුවෙක් හෝ අතවැසියෙක් හෝ සකස්කළ දළයෙහි යම්සේ කැමති කැමති දළ කැටයම් වර්ගයක් කරන්නේද, නිපදවන්නේද, කාශ්‍යපය, දක්ෂ රන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ පදම්කළ රණින් කැමති කැමති රන් අබරණ ජාතීන් යම්සේ කරන්නේද, නිපදවන්නේද කාශ්‍යපය, එසේම භික්ෂුව සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, ඍද්ධි විධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ නොයෙක් ඍද්ධි විධි වෙන් වෙන් කොට දක්වයි එකෙක්ව බොහෝ සේ වෙයි, බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වත හරහට නොහැපෙමින් යෙයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යෙයි. මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව කෙරෙයි. මෙයද ඔහුගේ ප්‍රඥා සම්පත්තියයි.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, දිව්‍යමය කණ සම්බන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඒ භික්ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍යමය කණ සම්බන්ධ ඥාණයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ්දයන් අසයි.

“කාශ්‍යපය, දික් මගට පැමිණි පුරුෂයෙක් බෙර හඬද, මිහිඟු බෙර හඬද, සක්, පණාබෙර, ගැටබෙර හඬද, යම්සේ අසාද, ඔහුට මේ බෙරහඬයයිද, මිහිඟු බෙරහඬයයිද, සක්, පණාබෙර, ගැට බෙර හඬයයිද සිතෙන්නේය. කාශ්‍යපය, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇති කල්හි, මෘදුවූ කල්හි, ස්ථිරබවට පැමිණි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, දිව්‍ය කණෙන් ලබන ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මෙසේ පිරිසිදුවූ, මිනිස් කණ ඉක්මවූ දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද දෙයාකාර ශබ්දයක් අසයි. මෙයද ඔහුගේ ප්‍රඥා සම්පත්තියයි.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුවූ කල්හි, ස්ථිර බවර පැමිණි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පරසිත් දැනගන්නා ඤාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සිතයයි දනියි. රාගය පහවූ සිත රාගයෙන් තොරවූ සිතයි දනියි. ද්වෙෂ සහිත සිත දොස සිතයයි දනියි ද්වෙෂය පහවූ සිත ද්වෙෂයෙන් තොරවූ සිතයයි දනියි. මොහ සහිත සිත මොහ සිතයයි දනියි, මොහය පහවූ සිත මොහයෙන් තොරවූ සිතයයි දනියි. හැකුලුනු සිත හැකුලුනු සිතයයි දනියි, විසුරුණු සිත විසුරුණු සිතයයි දනියි. මහත් බවට ගිය සිත, මහත් බවට ගිය සිතයයි දනියි. මහත් බවට නොගිය සිත, මහත් බවට නොගිය සිතයයි දනියි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනියි. ලෞකික හිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනියි. සමාධිගතවූ සිත සමාධිගත සිතයයි දනියි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනියි (ක්ලෙශයෙන්) මිදුනු සිත, මිදුනු සිතයයි දනියි. නොමිදුනු සිත නොමිදුනු සිතයයි දනියි.

“කාශ්‍යපය, සැරසෙන ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් හෝ ලමාවයසෙහි සිටියෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු, නොකිළිටි කැඩපතෙක හෝ පිරිසිදු දිය භාජනයෙක්හි හෝ තමාගේ මූනේ ශොභාව පරීක්ෂා කරන්නේ යම්සේ කැලල් සහිත නම් කැලල් සහිතයයි දැනගනීද, කැලල් රහිත නම් කැලල් රහිතයයි දැනගනීද,

“කාශ්‍යපය, එසේම භික්ෂුතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පරසිත් දැනගන්නා ඤාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත (තමන්ගේ) සිතින් දැන ගනියි. රාග සිත රාග සිතයයි දනියි. රාගයෙන් තොරවූ සිත රාගයෙන් තොරවූ සිතයයි දනියි. දොස සිත දොස සිතයයි දනියි. දොසයෙන් තොරවූ සිත දොසයෙන් තොරවූ සිතයයි දනියි. මොහසිත මොහ සිතයයි දනියි, මොහයෙන් තොරවූ සිත මොහයෙන් තොරවූ සිතයයි දනියි. හැකුලුණු සිත හෝ විසුරුණු සිත හෝ මහත් බවට ගිය සිත හෝ මහත් බවට නොගිය සිත හෝ කාම සහිත සිත හෝ අනුත්තර සිත හෝ එකඟවූ සිත හෝ එකඟ නොවූ සිත හෝ දනියි. මිදුණු සිත හෝ මිදුණු සිතයයි දනියි. නොමිදුණු සිත හෝ නොමිදුණු සිතයයි දනියි.

කාශ්‍යපය, මෙයද ඔහුගේ ප්‍රඥා සම්පත්තියයි.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ, කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට (ඊට) නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. කෙසේදයත්: එක් ජාතියක්ද, දෙ ජාතියක්ද, තුන් ජාතියක්ද, හතර ජාතියක්ද, පස් ජාතියක්ද, දස ජාතියක්ද, විසි ජාතියක්ද, තිස් ජාතියක්ද, සතළිස් ජාතියක්ද, පනස් ජාතියක්ද, සියක් ජාතියක්ද, දහස් ජාතියක්ද, සියක්දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙමි, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙමි; එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි.

“කාශ්‍යපය, පුරුෂයෙක් යම්සේ තම ගමින් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් තමන්ගේ ගමට එන්නේද, ‘මම, සිය ගමින් අසුවල් ගමට ගියෙමි, එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. එගමිනිදු අසවල් ගමට ගියෙමි, එහිද මෙසේ සිටියෙමි. මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. ඒ මම ඒ ගමින් සිය ගමට පැමිණියෙමි’යි හෙතෙම දන්නේය.

“කාශ්‍යපය, එපරිද්දෙන්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි පෙර ජාති සිහි කිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ නොයෙක් පෙරවිසීම් සිහි කෙරෙයි. කෙසේද යත්: ‘එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් කල්ප විස්සකින් යුත් කල්පයන්ද, නොයෙක් අන්තඃකල්ප රාශියකින් යුත් කල්පයන්ද, නොයෙක් කල්පයන්ද, අසුවල් තැන වීමි, මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සැප දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි; එහිදු මෙනම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුව දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිත, (පෙරවිසූ පිළිවෙළ) දැක්වීම් සහිත, නොයෙක් ආකාරවූ පෙරවිසීම් සිහි කෙරෙයි.

“කාශ්‍යපය, මෙයද ඔහුගේ ප්‍රඥා සම්පත්තියයි.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශ පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ මරණින් පසු උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසුදුවූ, මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්ත්වයන් දකී, පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොව ගියාවූද නරකලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී. ‘මේ පින්වත් සත්වයෝ ශරීර දුශ්චරිතයෙන් යුක්තය. වචන දුශ්චරිතයෙන් යුක්තය. හිතේ දුශ්චරිතයෙන් යුක්තය. උත්තමයන්ට බණින්නෝය, මිථ්‍යදෘෂ්ටිකයෝය. මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන් වූවෝය. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ, නිරයට පැමිණෙත් නැතහොත්, මේ පින්වත් සත්වයෝ ශරීර සුචරිතයෙන් යුක්තය, වචන සුචරිතයෙන් යුක්තය, හිතේ සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබණින්නෝය, සත්‍යය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. මරණින් මතු යහපත් පැමිණීමවූ, ස්වර්ග ලොකයට පැමිණියෝය’ මෙසේ පිරිසුදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳලොවට ගියාවූද නරක ලොවට ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී.

“කාශ්‍යපය, යම්සේ පාරේ හන්දියක ප්‍රාසාදයක් වේද, එහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට ඇතුල්වෙන, ගෙයින් නික්මෙන වීථියෙහි හැසිරෙණ පාර හන්දියේ හිඳින මනුෂ්‍යයන් දක්නේද, ඔහුට මෙසේ සිතෙයි: ‘මේ මිනිස්සු ගෙට ඇතුළු වෙති, මොහු නික්මෙති. මොහු වීථියෙහි හැසිරෙති, මොහු පාර හන්දියේ ඉඳිති’යි කියායි. කාශ්‍යපය, එසේම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, සිත ඉදිරිපත් කොට නමයි. හේ මිනිස් ඇස ඉක්මවූ දිවඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී: මේ පින්වත් සත්වයෝ ශරීර දුශ්චරිතයෙන් යුක්තය, වචන දුශ්චරිතයෙන් යුක්තය හිතේ දුශ්චරිතයෙන් යුක්තය, උත්තමයින්ට බණින්නෝය, මිථ්‍යාදෘෂ්ටිකයෝය, මිථ්‍යාදෘෂ්ටිකර්ම සමාදන් වූවෝය. ඔවුහු ශරීරයෙන් වෙන්ව, මරණින් මතු අපායවූ දුර්ගතියවූ, දුකවූ, නිරයට පැමිණෙත්.’ නැතහොත්, මේ පින්වත් සත්වයෝ ශරීර සුචරිතයෙන් යුක්තය, වචන සුචරිතයෙන් යුක්තය, හිතේ සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබණින්නෝය, සත්‍යය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. ශරීරයෙන් වෙන්ව මරණින් මතු සුගතියවූ, ස්වර්ග ලෝකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද සුගතියට පැමිණියාවූද දුර්ගතියට පැමිණියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී. මෙයද ඔහුගේ ප්‍රඥා සම්පත්තියයි.

“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිතස්ථිරවූ කල්හි, කම්පානොවන භාවයට පැමිණි කල්හි සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයි තතුලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හෙතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මේ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගණී, මේ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගණී, මේ ඒ කෙලෙස් නැතිකිරීමයයි තතුලෙස දැනගනී, මේ ඒ කෙළෙස් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන්ද මිදේ, සංසාරයට (භවයට) ඇති ආශාවන් කෙරෙන්ද සිත මිදේ, දැඩි මෝහය කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය. උතුම් හැසිරීමෙහි වසන ලදී. කටයුත්ත කරනලදී. මේ ආත්ම භාවයෙන් පසු අනික් ආත්ම භාවයක් නැතැ’යිද දැනගණී,

“කාශ්‍යපය, යම්සේ පර්වත මුදුනක පිරිසිදු, සිත් සතුටු කරන නොකැළඹුනු දිය විලක් වේද, එහි ඉවුරේ ඇස් ඇති පුරුෂයෙක් සිටියේ නැවතී තිබෙන්නාවූ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන්ද කැබලිති කැටද, එහා මෙහා යන්නාවූ මසුන් රෑන්ද, දක්නේ වේද, ඔහුට මෙසේ සිතෙන්නේය: මේ දිය විල පිරිසිදුය, මනාසිත් ප්‍රිය කරන්නේය, නොකැළඹුනේය. එහි මේ සිප්පි බෙල්ලන් සක් බෙල්ලන්ද, කැටකැබලිතිද, නැවතී තිබේ. මසුන් රෑන් හැසිරෙත්ය’ කියායි කාශ්‍යපය, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි බොහෝ කල් සිට එන ක්ලෙශයන් නැතිකිරීමේ ඥානය පිණිසසිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හෙතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක්නැතිකිරීමේ මාර්ගයයි තතුලෙස දැනගණී. මේ කෙලෙස් යයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් හේතුයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන්ද මිදේ. භවයට ඇති ආශාවන් කෙරෙන්ද මිදේ, මෝහය කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැති විය, උතුම් හැසිරීමෙහි වසනලදී, කටයුත්ත කරනලදී මේ ආත්ම භාවයෙන් පසු අනික් ආත්ම භාවයක් නැතැ’යිද දැනගනී.

කාශ්‍යපය, මෙයද ඔහුගේ ප්‍රඥාසම්පත්තියි. මේ වනාහි කාශ්‍යපය, ප්‍රඥාසම්පත්තිය වේ.

(මෙහි අවසන් වාක්‍යය අඩුය)

සීහනාදකථා Msdiv 402 “කාශ්‍යපය, ශීලවාදීවූ සමහර මහණ බමුණු කෙනෙක් වෙත්ද ඔහු නොයෙක් ආකාරයෙන් ශීලයෙහි ගුණ කියත්. කාශ්‍යපය, යම් පමණ ඉතා පිරිසිදුවූ උතුම් ශීලයෙක් වේද, මම ඒ ශීලයෙහි තමාගේ ශීලය වැනි ශීලයකින් සම වූවෙකු නොදැක්කෙමි. ඊට වැඩි කෙනෙක් කොයින්ද? එසේවූ කල යම් මේ උත්තම ශීලයෙක් වේද ඒ ශීලයෙහි මමම උතුම් වෙමි.

කාශ්‍යපය, කෙලෙස් නැතිවීම් ගැරහීම් වාද ඇත්තාවූ සමහර මහණ බමුණෝ ඇත්තාහ. ඔව්හු නොයෙක් ආකාරයෙන් කෙලෙස් තැවීම් ගැරහීම්හි ගුණ කියත්. කාශ්‍යපය, යම් පමණ දෝෂ නැතිවූ උතුම්වූ කෙලෙස් තැවීම් ගැරහීම් වෙත්ද, මම එහි තමහට සම වූවෙකු නොදත්තෙමි. ඊට වැඩි යම්කෙනෙක් කොයින්ද? එසේවූ කල යම් ඒ අධිකවූ කෙලෙස් ගැරහීමක් වේද මමම එහි උතුම් වෙමි

කාශ්‍යපය, ප්‍රඥාවාදිවූ සමහර බමුණෝ ඇත්තාහ. ඔව්හු නොයෙක් ආකාරයෙන් ප්‍රඥායෙහි ගුණ කියත්. කාශ්‍යපය, යම් පමණ පිරිසිදුවූ කෙලෙස් නැති උතුම්වූ ප්‍රඥාවක් වේද, මම එහි තමන්ගේ ප්‍රඥාව වැනි ප්‍රඥාවෙන් සමවූවෙකු නොදැක්කෙමි. ඊට වැඩි වූවෙක් කොයින්ද? එසේවූ කල යම් මේ පිරිසිදුවූ ඉතා උසස් ප්‍රඥාවක් වේද එහි මමම උතුම්වූයේ වෙමි.

කාශ්‍යපය, කෙලෙසුන්ගෙන් මිදීම ගැන වාද ඇති සමහර බමුණෝ ඇත්තාහ. ඔහු නොයෙක් ආකාරයෙන් කෙලෙසුන්ගෙන් මිදීම ගැන ගුණ කියත් කාශ්‍යපය, යම් පමණ උතුම්වූ සහමුලින් කෙලෙසුන්ගෙන් මිදීමක් වේද, මම එහි තමාගේ සහමුලින් කෙලෙසුන්ගෙන් මිදීම වැනි මිදීමකින් සමවූ කෙනෙක් නොදක්නෙමි. ඊට වැඩි වූවෙක් කොහේ වේද? එසේවූ කල යම් මේ උසස් මිදීමක්වේද එහි මෙම අතිශයින් උතුම්වූයේ වෙමි.

Msdiv 403 කාශ්‍යපය, ශ්‍රමණ ගෞතම තෙම සිංහනාද, කෙරෙයි. ඒ නාදය ජනයා නැති ස්ථානයක තනිව හිඳ කෙරෙයි. පිරිස් මැද නොකෙරෙයි. ‘අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහුය. යම්කාරණයක් ඇද්ද එසේවූ නමුත් ඔව්හු මෙසේ කියනු හැක්කෝ නොවන්නාහුමය කාශ්‍යපය, ‘ශ්‍රමණ ගෞතම තෙම සිංහනාද කෙරෙයි. පිරිස් මැද නාද කෙරේයයි’ මෙසේ කිය යුතු වන්නාහුය.

“කාශ්‍යපය, ශ්‍රමණ ගෞතම තෙම සිංහනාද කෙරෙයි. පිරිස් මැද නාද කෙරෙයි. එහෙත් නිර්භයව නාද නොකෙරෙයි’ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහුය යන යම් කාරණයක් වේද මේ කාරණය ඇත්තේමය. එසේවූ නමුත් ඔව්හු මෙසේ කියනු හැක්කෝ නොවන්නාහුය කාශ්‍යපය, ‘ශ්‍රමණ ගෞතම තෙම සිංහනාද කෙරෙයි. පිරිස් මැද නාද කෙරෙයි, නිර්භයව නාද කෙරේයයි’ මෙසේ කිය යුතු වන්නාහුය.

කාශ්‍යපය, ශ්‍රමණ ගෞතම තෙම සිංහනාද කෙරෙයි. පිරිස් මැද නාද කෙරෙයි, නිර්භයව නාද කෙරෙයි. ඒ ශ්‍රමණ ගෞතමයන් අතින් පණ්ඩිත දිව්‍ය මනුෂ්‍යයෝ ප්‍රශ්න නොඅසත්, ... පණඩිත දිව්‍ය මනුෂ්‍යයෝ ප්‍රශ්න අසත්, ඔවුන් විසින් ප්‍රශ්න අසන ලද්දේ නොවිසඳයි.... ඔවුන් විසින් ප්‍රශ්න අසන ලද්දේ විසඳයි, ප්‍රශ්න විසඳීමෙන් සිත් නොගනී.... ප්‍රශ්න විසඳීමෙන් සිත් ගැනීමද කෙරෙයි, මොහුගේ වචන ඇසිය යුතුයයි නොහඟිත්. ... මොහුගේ වචන ඇසිය යුතුයයි හඟිත්, අසා නොපහදිත් ... අසා පහදිත්, පැහැදුනු ආකාරයක් නොකෙරෙත් ... පැහැදුනු ආකාරයක්ද කෙරෙත්, දෙසූ ධර්මය අනුව නොපිළිපදිත් ... දෙසූ ධර්මය අනුව පිළිපැදීමද කෙරෙත්, දෙසූ ධර්මය සේ පිළිපදින්නාහු ශ්‍රමණ ගෞතමයන්ගේ හිත් නොගනිත්’යයි ඔව්හු මෙසේ කියයුත්තේ නොවන්නාහුය.

“අර්හත්වූ ශ්‍රමණ ගෞතම තෙම සිංහනාද කෙරෙයි. පිරිස් මැද නාද කෙරෙයි. විශාරදවද නාද කෙරෙයි. ඒ ශ්‍රමණ ගෞතමයන් අතින් පණ්ඩිත දිව්‍ය මනුෂ්‍යයෝ ප්‍රශ්න අසත් ඔවුන් විසින් ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳීම කෙරෙයි. ප්‍රශ්න විසඳීමෙන් සිත් ගැණීම කෙරෙයි. ඔහුගේ වචන ඇසිය යුතු යයිද හඟිත්, අසාද පහදිත්, පැහැදුනු ආකාරය කෙරෙත්. දෙසූ ධර්මය සේ පිළිපදිත්, දෙසූ ධර්මය සේ පිළිපදින්නාහු ශ්‍රමණ ගෞතමයන්ගේ සිත් ගණිත්යයි,’ කාශ්‍යපය, මෙසේ කිය යුත්තෝ වන්නාහුය.

තිත්ථියපරිවාසකථා Msdiv 404 “කාශ්‍යපය, මම එක් කාලයෙක්හි මෙහි රජගහනුවර සමීපයෙහිවූ ගිජු කුළු පර්වතයේ වාසය කෙළෙමි. එහි නිග්‍රොධ නම්වූ තපස් බ්‍රාහ්මණ ගුරුවරයෙක් අධිජෙගුච්ඡ වීර්යය පිළිබඳව මාගෙන් ප්‍රශ්න ඇසුවේය. ඔහු විසින් අධිජෙගුච්ඡ වීර්යයෙහි ප්‍රශ්න අසන ලද්දාවූ මම විසඳුයෙමි. මා විසින් විසඳූ කල්හි ඉතා වැඩියක්ම සතුටු සිත් ඇත්තේ වූයේයයි කීයේය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා කවරෙක් ඉතා වැඩියක් සතුටු සිත් ඇත්තේ නොවන්නේද? ස්වාමීනි, මමද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා ඉතා වැඩියක්ම සතුටු සිත් ඇත්තේ වීමි. ස්වාමීනි, ධර්ම දේනාව ඉතා යහපත්ය, ස්වාමීනි, එය ඉතා යහපත්ය. ස්වාමීනි, යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වසන ලද්දක් එලිදරව් කරන්නේ හෝ, මංමුලාවෙකුට මාර්ගය කියන්නේ හෝ ඇස් ඇත්තෝ රූපයන් දකිත්වායි අඳුරෙහි තෙල් පහන් දරන්නේ හෝ යම්සේද, එසේම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කාරණයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලද්දේය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද සරණකොට යමි. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලබන්නෙමි, උපසම්පදාව ලබන්නෙමියි” කියාසිටියේය.

Msdiv 405 කාශ්‍යපය, අන්‍ය තීර්ථකවූ යමෙක් මේ ශාසනයෙහි මහණ වීමට කැමති වේද උපසම්පදාවට කැමති වේද ඔහු මාස හතරක් පුරුදුවීම (පිරිවෙස් කෙරේ. හාර මාසයක් ගතවූකල සතුටුකරණු ලැබූ භික්ෂූහු ඔහු මහණ කෙරෙත්, භික්ෂු භාවය පිණිස උපසම්පදා කෙරෙත්. එසේ නමුත් මවිසින් මෙහි පුද්ගල වෙනස දක්නා ලද්දේයයි කීසේක.

“ස්වාමිනි, ඉඳින් අන්‍ය තීර්ථකවරු මේ ශාසනයෙහි මහණ වීමට කැමති වන්නෝද ඔහු මාස හතරක් පුරුදු කරත්ද, මාස හතරක් ගතවීමෙන් සතුටු වනලද සිත් ඇති භික්ෂූහු ඔහු මහණ කරද්ද, භික්ෂු භාවය පිණිස උපසම්පදා කරත්ද මම අවුරුදු හතරක් පිරිවෙස් කරමි. අවුරුදු හතරක් ගතවීමෙන් සතුටු වන ලද සිත් ඇති භික්ෂුහු මා පැවිදි කෙරෙත්වා. භික්ෂු භාවය පිණිස උපසම්පදා කෙරෙත්වා”යි කීයේය.

අචෙල කාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලැබුයේමය. උපසම්පදාවද ලැබුයේමය. මෑත උපසම්පදාවූ ආයුෂ්මත් කාශ්‍යප තෙම, තනිවූයේ, සමූහයාගෙන් තොරවූයේ, අප්‍රමාද වූයේ කෙලෙස් නැති කරණ වීර්ය ඇත්තේ ආත්ම ආශාව පහකර වාසයකරන්නේ යමක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි හොඳාකාර මහණ වෙත්ද බ්‍රහ්මචර්යාව කෙලවර කොට ඇති උත්තමවූ ඒ අර්හත් භාවයට නොබෝ කලකින් පැමිණ තමන්ගේ මේ ජීවිතයෙහි උසස් ඥානයෙන් දැන අවබෝධ කොට වාසය කෙළේය. උත්පත්තිය නැතිවිය. මාර්ග බ්‍රහ්මචර්යාව වාසය කොට අවසාන කරණ ලද්දීය. කළයුතු දේ කොට අවසාන විය, මින්පසු කළයුතු අනිකක් නැත්තේ යයි දැන ගත්තේය. ආයුෂ්මත් කාශ්‍යප තෙම රහතන් වහන්සේලාට ඇතුළත් කෙනෙක්ම වූයේය.

අටවෙනිවූ කස්සප සිහනාද සූත්‍රය නිමියේය.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection