LibraryDNDN 9
DN 953 min read

With Poṭṭhapāda

Poṭṭhapādasutta

20
PDFGenerated
01 · Overview

The Buddha discusses with a wanderer the nature of perception and how it evolves through deeper states of meditation. None of these, however, should be identified with a self or soul.

02 · Reading guide

Read the full discourse slowly and reflect on key passages.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

දීඝ නිකාය සීලක්ඛන්ධ වර්ගය 9. පොට්ඨපාද සූත්‍රය පොට්ඨපාදපරිබ්බාජකවත්ථු Msdiv 406 මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේය.) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඩු මහසිටාණන් විසින් කරවා පිළිගන්වන ලද දෙව්රම් වෙහෙර වාසය කළහ. එකල්හි පොට්ඨපාද නම් පරිබ්‍රාජක තෙම සමයප්පවාදක*’ නම්වූ (තිඹිරිගස් වලින් වටවූ) තින්දුකාචිර+ ‘එකසාලක’ නම්වූ මල්ලිකා ආරාමයෙහි තුන් දහසක් පරිබ්‍රාජකයන් ඇති මහත් පරිබ්‍රාජක පිරිස සමග වාසය කෙරෙයි.

* රැස්වී කථාකරණ ස්ථානය

+ එකම ශාලාවක් වැනිවූ

Msdiv 407 එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි ඇඳ පොරවා සිවුරු හා පාත්‍රය ගෙන සැවැත් නුවරට පිණ්ඩ පාතය පිණිස පිටත්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙවැනි සිතක් පහළවිය. සැවැත් නුවර පිණ්ඩපාතය පිණිස හැසිරීමට කල් වැඩිවෙයි. එබැවින් ඉදින් මම සමයප්පවාදක නම්වූද, තීන්දුකාචිර නම්වූද, එකසාලක නම්වූද මල්ලිකා ආරාමය යම් තැනෙක්හිද පොට්ඨපාද පරිබ්‍රාජක තෙම යම් තැනෙක්හිද එතනට එළඹෙන්නෙම් නම් ඉතා යහපතැයි’ කියායි. එවිට භාග්‍යවතුන් වහන්සේ ‘සමයප්පවාදක’නම්වූද තීන්දුකාචිර නම්වූද එකසාලක නම් වූද මල්ලිකා ආරාමය යම් තැනෙක්හිද එතනට පැමිණිසේක.

Msdiv 408 ඒ කාලයෙහි පොට්ඨපාද පරිබ්‍රාජක තෙම විශාල පරිබ්‍රාජක පිරිසක් සමග උස් මහත් හඬින් මහත්සේ නාද කරමින් නොයෙක් පහත් කථා කරමින් සිටියේය. එනම්:- රජ දරුවන් ගැන කථාය, සොරුන් ගැන කථාය, මහ ඇමැතියන් ගැන කථාය, සේනා ගැන කථාය, භය ඇති කරන කථාය, යුද්ධ ගැන කථාය, ඇඳුම් ගැන කථාය, ඇඳන් ගැන කථාය, මාලාගැන කථාය, සුවඳවර්ග ගැන කථාය, නෑදෑයින් ගැන කථාය, රථ ගැන කථාය, ගම් ගැන කථාය, නියම් ගම් ගැන කථාය නගර ගැන කථාය, ජනපද ගැන කථාය, ස්ත්‍රීන් ගැන කථාය, යෝධයින් ගැන කථාය, වීථි ගැන කථාය, කුම්භ ස්ත්‍රීන් ගැන කථාය, මැරුණ නෑයන් ගැනකථාය, නොයෙක් අර්ථ නැති කථාය, ලෝකය ගැන කථාය, මුහුදු ගැන කථාය, මෙසේ දියුණුව වෙයි. මෙසේ පිරිහීම වෙයි. යනාදීන් නිරර්ථක කරුණු දක්වමින් කරන කථායයි මෙසේ පැවති කථායි.

Msdiv 409 පොට්ඨපාද පරිබ්‍රාජක තෙම එහි පැමිණෙන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුයේය. දැක ස්වල්ප ශබ්ද ඇත්තෝ වව්, පින්වත්හු ශබ්ද නොකරව්, මේ ශ්‍රමණ ගෞතම තෙම එයි. ඒ ආයුෂ්මත් තෙම ශබ්දයට නොකමැත්තේ ශබ්ද නොකිරීමෙහි ගුණ කියන ස්වභාවය ඇතිවූයේ වෙයි. පිරිස ශබ්ද රහිත වූවා දැන පැමිණිය යුතුයයි සිතන්නේ නම් යහපතැයි” තමන්ගේ පිරිස හික්මවාලුයේය. මෙසේ කී කල්හි ඒ පරිබ්‍රාජකයෝ නිශ්ශබ්දවූහ.

Msdiv 410 එවිට භාග්‍යවතුන් වහන්සේ පොට්ඨපාද පරිබ්‍රාජක තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියෝය. එකල්හි පොට්ඨපාද පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැනුම් දුන්නේය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මෙහි වඩිනා සේක්වා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම යහපත්ය. භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම අපට ප්‍රීතියකි ස්වාමීනි, මෙහි යම් මේ පැමිණීමක් වීනම් මේ පැමිණීම භාග්‍යවත් තෙම බොහෝ කලකින් කෙළේය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, වැඩහිඳිනා සේක්වා. මේ ආසනය පණවන ලද්දේය.” කියායි.

භාග්‍යවතුන් වහන්සේ පණවනලද ආසනයෙහි වැඩහුන් සේක. පොට්ඨපාද පරිබ්‍රාජක තෙමේද එක් පහත් ආසනයක් ගෙන එකපැත්තක උපන්නේය. එකපැත්තකටවී උන්නාවූ පොට්ඨපාද පරිබ්‍රාජකයාගෙන් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය ඇසුවේය. “පොට්ඨපාදය, දැන් මෙහි කුමන කථාවකින් යුක්තවද උන්නහුද, කිනම් කථාවක් කරමින් සිට අතරතුර නැවැත්තුවාහුද?”

අභිසඤ්ඤානිරොධකථා Msdiv 411 මෙසේ කීකල පොට්ඨපාද පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීවේය. “ස්වාමීනි, අපි දැන් යම් කථාවකින් යුක්තව උන්නමෝද, ඒ කථාව තිබුණාවේ. ස්වාමීනි මේ කථාව භාග්‍යවතුන් වහන්සේට පසුවත් අසන්ට අපහසු නොවේ. ස්වාමීනි, පසුගිය දවස්වල ‘මෙතෙම කුමක් කියාද මේ තෙම කුමක් කියාදැ’යි අසනු කැමති කථා පවත්නා බැවින් කොතූහලක නම්වූ ශාලාවක රැස්ව උන්නාවූ නොයෙක් තීර්ථකයන් හා මහණ බමුණන් අතර පින්වත කෙසේ (සංඥා නිරොධය) හැඟීම් නැතිවීම වේදැයි, සංඥා නිරොධ (ඇඟීම නිරුද්ධවීම) පිළිබඳ කථාවක් පහළවිය. එහි සමහරු මෙසේ කීහු: ‘පුරුෂයාගේ හැඟීම හේතුවක් ප්‍රත්‍යයක් නැතුව උපදින්නාහුද බිඳීයන්නාහුද වෙත් යම් කලක ඇඟීම් උපදින්නාහුද එකල ඇඟීම් සහිත වේ. යම්කලක නූපදින්නාහුද එකල ඇඟීම් නැත්තෙක් වේය’යි මෙසේ සමහරු ඇඟීම් නැතිවීම ප්‍රකාශ කෙරෙත්. ඔහුට අනිකෙක් මෙසේ කියයි: ‘පින්වත, මේ කාරණය වනාහි මෙසේ නොවන්නේය. පින්වත, ඇඟීම් පුරුෂයාගේ ආත්මය වෙයි. ඒ ඇඟීම් ඉවත්වන්නේද පැමිණෙන්නේද වෙයි. යම් කලක ඇඟීම ඉවත් වන්නේද, එකල ඇඟීම් නැත්තෙක් වෙයි. යම් කලක ඇඟීම පැමිනෙන්නේද එකල ඇඟීම ඇත්තෙක් වේය’යි මෙසේ සමහර කෙනෙක් ඇඟීම් නිරොධය ප්‍රකාශ කරත්. ඔහුට අනිකෙක් මෙසේ කියයි. “පින්වත, මේ කාරණය වනාහි මෙසේ නොවන්නේය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභව ඇති මහණ බමුණෝ ඇත්තාහුය. ඒ මහණ බමුණෝ මේ පුරුෂයාගේ හැඟීම මේ පුරුෂයාය වෙතට අදිත්. මේ පුරුෂයාගෙන් ඉවතට අදිත්. යම් කලක පුරුෂයා වෙතට, අදිත්ද, එකල පුරුෂයා හැඟීම් ඇත්තේ වේ. යම් කලක ඉවතට අදිත්ද එකල පුරුෂයා ඇඟීම් රහිත වේය’යි මෙසේ සමහරු ඇඟීම් නිරොධය ප්‍රකාශ කරත්. ඔහුට අනිකෙක් මෙසේ කියයි පින්වත, මහත් ඍද්ධි ඇත්තාවූ මහානුභාව ඇත්තාවූ දේවතාවෝ ඇත්තාහුය. ඒ දේවතාවෝ මේ පුරුෂයාගේ ඇඟීම් මේ පුරුෂයා වෙතට අදිත්. මේ පුරුෂයාගෙන් ඉවතටද අදිත්. යම් කලක පුරුෂයා වෙතට අදිත්ද එකල ඇඟීම් ඇත්තේ වෙයි. යම් කලක ඉවතට අදිත්ද එකල ඇඟීම් රහිත වේ’යයි මෙසේ සමහරු ඇඟීම් නිරොධය ප්‍රකාශ කෙරෙත්. එකල්හි සුගතවූ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයන්හි ඉතා දක්ෂ නොවේදැ’යි මට භාග්‍යවතුන් වහන්සේ මතක්විය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඇඟීම් නිරොධය කිරීමෙන්ම දන්නාසේක. ස්වාමීනි, කෙසේ නම් ඇඟීම් නිරෝධය වේදැයි ඇසුවේය.

සහෙතුකසඤ්ඤුප්පාදනිරොධකථා Msdiv 412 “පොට්ඨපාදය, යම් ඒ මහණ බමුණෙක් පුරුෂයාගේ ඇඟීම හේතුවක් ප්‍රත්‍යයක් නැතුවක් ප්‍රත්‍යයක් නැතුව උපදිත්යයිද, නිරුද්ධ වෙත්යයි කියත් නම් ඔවුන් විසින් පළමුකොට අපරාධයක් කරණ ලද්දේය. ඊට හේතු කවරේද? පොට්ඨපාදය, පුරුෂයාගේ හැඟීම හේතු ප්‍රත්‍යය සහිතවම උපදින්නාහුද නවතින්නාහුද වෙත්. හික්මීමෙන් සමහර ඇඟීම් උපදිත්. හික්මීමෙන් සමහර ඇඟීම් නවතිත්.

Msdiv 413 හික්මීම කුමක්දැයි ඇසුවේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීය.

“පොට්ඨපාදය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනාඥානය ආදී විද්‍යා අට සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළොව යන අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, (චතුරාර්ය සත්‍ය) සත්‍යවූ උතුම් ධර්මසතර අවබොධකළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කරන්නාවූ (ඛ්‍යඤ්ජන සහිත) සියලු ලෙසින් සම්පූර්ණ, පිරිසිදු සියලු ශාසනමාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති.

“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයි ඔහු ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි, ඔහු ඒ ශ්‍රද්ධායෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය ‘ගෘහවාසය පීඩා සහිතයි. රාගාදී කෙලෙස් සහිත මාර්ගයෙකි. මහණකම වනාහී කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම හිසකෙස් දැලිරැවුලු කපාදමා සිව්රු හැඳ පොරවා ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැ’යි කියායි.

“ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් රාසිය හැර, ස්වල්පවූ හෝ බෙහෝවූ නෑ පිරිස් හැර, හිසකෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වේද, මෙසේ මහණවූ ඔහු ප්‍රධාන සංවරසීලයෙන් යුක්තවූයේ, යහපත් හැසිරීමෙන් හා වරද නැති පැවැත්මෙන් යුක්තවූයේ, ස්වල්පවූත් අකුසලයන්හි විශෙෂයෙන් භය දක්නා ගති ඇත්තෙක් වූයේ, යහපත්වූ ශරීරයෙන් වචනයෙන් ක්‍රියාවෙන් යුක්තවූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත නැවතුම් ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්තවූයේ වෙයි. ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේ වෙයි, කෑමෙහි පමණ දන්නේ වෙයි, යහපත් සිහියෙන් හා නුවණින් යුක්තවූයේ වෙයි. සන්තෝෂයෙන් යුක්තවෙයි.

“පොට්ඨපාදය, භික්ෂුනමක් කෙසේ නම් සීලසම්පන්න වේද? පොට්ඨපාදය, මේ සස්නෙහිවූ භික්ෂු නමක් ප්‍රාණවධය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුද ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්තවූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේද මෙයද ඔහුගේ සීලයක්වේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළැක්කේ, දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමතිවන්නේ, සොරනොවූ පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කෙරේද, මෙයද ඔහුගේ ශීලයෙකි. අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාමධර්මයෙන් වෙන්වූයේ බ්‍රහ්මචාරීවේද මෙයද ඔහුගේ ශීලයකි. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, සැබෑ තෙපුල් කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ මෙයද ඔහුගේ ශීලයෙකි. පිසුණු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේද, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේද, මෙසේ භෙදවූවන් ගළපන්නේ සමගිවූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ තෙපුල් කියන්නේද මෙයද ඔහුගේ ශීලයෙකි, ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, යම් වචනයක් නිදොස් වේද, කණට සැපද, ප්‍රෙමණියද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රියකරන්නේද, එබඳු වචනම කියන්නේ වේද මෙයද ඔහුගේ එක් ශීලයෙකි. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේද, කාලයට සුදුසු කථා කරන්නේද, සිදුවූ තෙපුල්ම කියන්නේද, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්ත විනය සම්බන්ධවූ තෙපුල් කියන්නේද, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේද මෙසේ ඒ හිස් කථාවෙන් වැළැක්මද දියුණුවට හේතුවන වචන කීමද, මෙයද ඔහුගේ ශීලයෙකි.

“තණ, ගස්, වැල්, සිඳීම් බිඳීම්, ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේද, එක්වේලේ වළඳනකෑම ඇත්තේද, රාත්‍රිකෑමෙන් හා අවේලෙහි කෑමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේද, නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේද, මල්, ගඳ, විලවුන් පැළඳීම, ඉන් සැරසීම්, අඩු තැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සම්පූර්ණයෙන්, වැළැක්කේද, උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළැක්කේද, රන් රිදී මසුරන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් වැළැක්කේද, අමුවූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද, අමුමස් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද ස්ත්‍රීන් හා ගෑනුලමයින් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද වේ. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේද, එළුවන් හා තිරෙළුවන් පිළිගැන්මෙන් තොරවූයේද, කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන්, කෙත්, වත්, යන මේ පිළිගැන්මෙන්ද, සම්පූර්ණයෙන් තොර වූයේයද, ගිහීන්ගේ දූත මෙහෙවරය, ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේද, ගනු දෙනු කිරීමය, තරාදි ආදියෙන් වඤ්චා කිරීමය, රන් හා නොරන් මිශ්‍රා වඤ්චා කිරීමය, වී ආදිය මැණීමෙන් වඤ්චා කිරීමය, හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් සම්පූර්ණයෙන් වැළක්කේද, කැපීමය, මැරීමය, බැඳීමය, සැගවී සිට වස්තු පැහැරගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින්ද සම්පූර්ණයෙන් වැළකීයිද, මෙයද ඔහුගේ ශීලයක්වේ.

(සුලු සීලය නිමියේය.)

“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මූල බීජය, ඛන්ධබීජය, එළුබීජය, දලුබීජය, පස්වැනිවූ බීජබීජය යන මේ ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්ද මෙබඳුවූ බීජගාම භූතගාමයන් සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේ නම් මෙයද ඔහුගේ එක් ශීලයෙක් වේ.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා ආහාර වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයොජන ගැන්මය, බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයොජන ගැන්මය, නොඉටන ලද (අයිතියට නොගත්) සිවුරු ආදිය, යාන සංඛ්‍යාත වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියනලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත්ද මෙබඳුවූ සන්නිධිකාර පරිභොගයෙන් වැළකී වෙසේද, මෙයද ඔහුගේ ශීල සම්පත්තියකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා නැටීමය, ගී කීමය, බෙර ආදිය වැයීමය, රඟමඩුලු සැරසීමය, වැඩක් නැති කථා ඇසීමය, කයිතාලම් හා අත්ලෙන් අත්ල ගැසීමය, මන්ත්‍ර පිරවීමෙන් මළමිනි නැංවීමය, සතරැස් හෝ කළ බෙර හෝ කළබෙර ගැසීමය, ශොභන චිත්‍ර විචිත්‍රය, සණදොවුන් කෙළිය, හුණගස් ඔසවා නැටීමය මිනීඇට සෝදා තැබීමය, ඇතුන් හා පොරය, අශ්වයින් යොදා පොරය, මීවුන් හා පොරය, ගවයින් හා පොරය, එළුපොරය, මෙණ්ඩක එළුපොරය, කුකුළුපොරය, වටුපොරය, දඬු (පොලු) පොරය, තොරතුරු (අත මිටමොලවා) ඇනීමය, මල්ලව යුද්ධය, යුද්ධය, ඇත් අස් ආදිය දැකීමය යන විකාර දර්ශනයෙහි යෙදී වාසය කරත්ද මෙසේ මෙබඳු විසුලු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකේද, මෙයද ඔහුගේ ශීල සම්පත්තියකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙනලද කෑම කා (දූ පෝරු ආදියෙහි කෙළිම්වූ) ක්‍රීඩාවය, දශපද ක්‍රීඩාවය, දූ පෝරු ආදියෙහි මෙන් ආකාශයෙහි ක්‍රීඩාකිරීමය, බිම මණ්ඩල වශයෙන් සාදා පැන පැන ක්‍රීඩා කිරීමය, දූ කැට නොසොල්වා නියෙන් ගසා ක්‍රීඩා කිරීමය, දාදු කෙළීමය, සිං කෙළීමය, භිත්ති ආදියෙහි ඉරටමිටි ගසා ඇත් අස් ආදී රූප දක්වා කෙළීමය, පන්දු කෙළීමය, නළා පිඹීමය, ක්‍රීඩා නඟුල් ගෙන සෙල්ලම් සීසෑම්ය. කරනම් ගැසීමය, තල්පත් ආදියෙන් කන්නන්ගුරුවා තනා ක්‍රීඩාකිරීමය, කොළ නැළියෙන් වැලි ආදිය මැණ කෙළීමය, කුඩා රථයෙන් කෙළීමය, කුඩා දුන්නෙන් කෙළීමය, අහසෙහි හෝ පිටෙහි හෝ අකුරු ඇඳ කෙළීමය, සිතූ දේ කියවීම් කීම් ආදියෙන් කෙළීමය. ඒ ඒ දෝෂ රූප දක්වා කෙළීමය, යන මෙබඳුවූ ප්‍රමාදයට කාරණාවූ දූ කෙළීමෙහි යෙදී වාසය කෙරෙත්ද මෙසේ මෙබඳුවූ කෙළියෙන් සම්පූර්ණයෙන් වැළකීද, මෙයද ඔහුගේ ශීල සම්පත්තියකි.

එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා දික්හඟලා පුටුය, පලස්ය, සතරඟුලෙන් දිග ලොම් ඇතිරිය, විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් සුදු ඇතිරිය, එළුලොමින් කළ ඉදිරියට නෙරූ මල් ඇති ඇතිරිය, සිංහාදී රූපයෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එක් පිට ලොම් ඇති ඇතිරිය. දෙපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය, රත්රන් නූලෙන් කළ පට ඇතිරිලිය, එක්විට නැට්ටුක්කාරියන් දහසය දෙනෙක් නටනා එළුලොමින් කළාවූ මහ ඇතිරිය, ඇතුන් පිට අතුරණ ඇතිරිය, අසුන් පිට අතුරන ඇතිරිය, රථ පිට අතුරණ ඇතිරිය, අඳුන්දිවි සමින් කළ ඇතිරිය, කෙසෙල් මුව සමින් කළ උතුම් ඇතිරිය, දෙපස තබනලද රතුපාට කොට්ට ඇති ආසනය, යන මෙබඳු උස් අසුන් මහ අසුන් පාවිච්චි කෙරෙත්ද මෙසේ මෙබඳුවූ උස් අසුන් මහ අසුන්හි හිඳීම් ආදියෙන් වළකීද, මෙයද ඔහුගේ ශීල සම්පත්තියකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ඇඟ ඉලීමය, පිරිමැදීමය, නෑවීමය, මැඩීමය, මූන බලන කන්නාඩි, අඳුන් තෙල් පාවිච්චිය හා සුවඳ, මූණේ ගානා සුවඳ කුඩු, මූණේ ගානා සුවඳ ද්‍රව්‍ය, අත්වල බඳින ආභරණ යන මේ දේ දැරීම හා පැළඳීමය රත්රන් නූල් ආදියෙන් කුඩුම්බි බැඳීමය, විසිතුරු දඬුගෙන හැසිරීමය, බෙහෙත් නළ එල්වාගෙන ඇවිදීමය, කඩු විසිතුරු කුඩ ගෙන යෑම, විසිතුරු සෙරෙප්පු හෝ සපත්තු පයලා ඇවිදීමය. නලල්පට බැඳීමය, කොණ්ඩා මාණික්‍ය පැළඳීමය, අවන් දැරීමය, දික්වූ දහවලු ඇති සුදුරෙදි ඇදීමයයි මෙසේවූ සැරසීම් හා අඩුතැන් පිරවීමෙහි නිතර නිතර යෙදෙත්ද මෙබඳුවූ සැරසීම් අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වවළකීද මෙයද ඔහුගේ ශීලයෙකි.

“එසේම ඇතැම් පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය මහ ඇමතියන් පිළිබඳ කථාය, සෙනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, ඇඳන් පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, ගන්ධ ද්‍රව්‍යයන් පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නුවර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, ගෑනු දරුවන් පිරිමි දරුවන් පිළිබඳ කථාය, යොධයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, වතුර ගෙන යන දාසීන් හෝ වතුර ගෙන යන තැන් හෝ පිළිබඳ කථාය, මළ නෑයන් යන ආදීන් පිළිබඳ කථාය, නොයෙක් ආකාරවූ තේරුම් නැති කථාය, ලොකය පිළිබඳ කථාය, මුහුද පිළිබඳ කථාය, භවාභව කථාය යන මෙබඳු පහත් කථාවෙහි යෙදී වෙසෙත්ද මෙබඳුවූ පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වළකීද මෙයද ඔහුගේ ශීලසම්පත්තියකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘ඔබ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්මවිනය දනිමි’ ‘ඔබ මේ ධර්මවිනය කුමකැයි දන්නෙහිද? ඔබ වරදවා පිළිපදින්නෙහිය, මම මනාකොට පිළිපදින්නේ වෙමි’. ‘මාගේ වචන යහපත්ය, හෝ අර්ථ සහිතය, ඔබගේ වචන අර්ථ රහිතය’ පළමු කිය යුත්ත පසුව කියෙහිය. පසුව කිය යුත්ත පළමුව කීයෙහිය. යමක් ඔබ බොහෝ කල් පුරුදුකරණ ලද නම් ඒ සියල්ල නිෂ්ඵල විය. ඔබට වාදාරොපනය කරණ ලදී. නින්දා කරණ ලද්දෙහිය. වාදයෙන් මිදෙනු පිණිස ක්‍රියා කරව. ඉදින් හැක්කෙහි නම් වාදයෙන් ගැළවෙව’ යන ආදී දෝෂාරොපණ කථාවෙහි යෙදී වෙසෙත්ද, මෙසේ මෙබඳු දෝෂාරොපණ කථාවෙන් සම්පූර්ණයෙන් වළකීද මෙයද ඔහුගේ ශීලසම්පත්තියකි.

“එසේ සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘රජුන්ගේ, රජ මහ ඇමතියන්ගේ, ක්ෂත්‍රියන්ගේ, බමුණන්ගේ, ගෘහපතියන්ගේ සහ කුමරුන්ගේද හසුන් ගෙණ, ‘මෙතනින් අසවල් තැනට යව අසවල් තැනින් මෙහි එව, මෙය

ගෙණ යව, එතැනින් අසවල් දෙය ගෙණෙව’යි දූතභාවයෙහි හා හසුන් ගෙණ යෑමෙහි යෙදී වෙසෙත්ද මෙබඳු දූත භාවය, හසුන් ගෙණයෑම යන මෙයින් වළකීද මෙයද ඔහුගේ ශීලසම්පත්තියකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා කුහකයෝද, සිව්පසය උදෙසා කථා කරන්නෝද, නිමිති කරන්නෝද නොහොත් ලාභ සත්කාර සඳහන් කරන්නෝද, පරලාභාදිය උදෙසා කියන්නෝද ලාභයකින් ලාභයක් සොයන්නෝද වෙත් මෙබඳුවූ කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වළකීද මෙයද ඔහුගේ ශීලසම්පත්තියකි.

(මැදුම් සිල් නිමියේය.)

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා සාමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය, හෙන ගැසීම ආදී මහ නිමිතිබලා කියන ශාස්ත්‍රය, ස්වප්න ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, මීයන් කැපූ වස්ත්‍රාදිය බලා කියන ශාස්ත්‍රය, ගිනිදෙවියා පිදීමය, දබ්බිහොමය, ථුස හොමය, තණ්ඩුල හොමය, කණ හොමය, සප්පි හොමය, තෙල හොමය, මුඛ හොමය, ලේ හොමය, ශරීර විද්‍යා, වාස්තු විද්‍යා, නීති ශාස්ත්‍රය, සොහොනෙහි සාන්ති කරන්නාවූ විද්‍යා, භූත විද්‍යා, නාග විද්‍යා. විෂ විද්‍යා, ගෝනුසු විද්‍යා, මී විද්‍යා, කුරුලු විද්‍යා, කරයි විද්‍යා ජීවිත කාලය කීම, ආයුධ වැළැක්ම, තිරිසන් සතුන්ගේ ශබ්ද දැනීම වශයෙන් පැවති මන්ත්‍රය යන පහත් විද්‍යා හේතුකොට ගෙන වැරදි ජීවිතයෙන් ජීවිකා කෙරෙත්ද මෙසේ මෙබඳු පහත් විද්‍යා හේතුවෙන් කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේද මෙයද ඔහුගේ ශීල සම්පත්තියකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මිණි ලක්ෂණය, වස්ත්‍ර ලක්ෂණය, දණ්ඩ ලක්ෂණය, කඩු ලක්ෂණය, දුනු ලක්ෂණය, ආයුධ ලක්ෂණය, ස්ත්‍රීලක්ෂණය, පුරිස ලක්ෂණය, පිරිමිදරු ලක්ෂණය, ගෑනුදරු ලක්ෂණය, දාසලක්ෂණය, දාසිලක්ෂණය, ඇත්ලක්ෂණය අශ්ව ලක්ෂණය, කැස්බෑලක්ෂණය, එළුලක්ෂණය, මීහරක්ලක්ෂණය ගව ලක්ෂණය, ලොකු එළු ලක්ෂණය. කුකුළු ලක්ෂණය, වටු ලක්ෂණය, තලගොයි ලක්ෂණය, කර්ණිකා ලක්ෂණය, මුව ලක්ෂණයයි, මෙබඳු පහත් විද්‍යාවන් කරණ කොට ගෙණ, වැරදි ජීවිකාව කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යාවන් නිසා කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ ශීලසම්පත්තියකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා අසවල් දිනට රජුන්ගේ බැහැර යෑම වන්නේය. අසවල් දින ඇතුළු නුවරට එන්නේය. අසවල් දින ඇතුළු නුවර රජුන් වෙත පැමිණීම වන්නේය. බැහැර රජුන්ගේ බැහැරට යෑම වන්නේය. බැහැර රජුන්ගේ ඇතුළු නුවරට ඊම වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ ආපසු යෑම වන්නේය. ඇතුළු නුවර රජුන්ට ජය වන්නේය. බැහැර රජුන්ගේ පරාජය වන්නේය. බැහැර රජුන්ගේ ජය වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ පරාජය වන්නේය මෙසේ මොහුට ජය වන්නේය, මෙසේ පරාජය වන්නේයයි කියා මෙසේ පහත් විද්‍යා හේතුකොට ලාමක ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ පහත් විද්‍යා හෙතුවෙන් කරණ වැරදි ජීවිතයෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ ශීලසම්පත්තියක් වේ.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ‘චන්ද්‍රග්‍රහණය වන්නේය, සූර්ග්‍රහණය වන්නේය තාරකා සමාගමය වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නියම මාර්ග ගමන වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නොමග යෑම වන්නේය, තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය, තාරකාවන්ගේ නොමග යෑම් වන්නේය, උල්කාපාතය වන්නේය, දිසා දැවීම වන්නේය, පොළොව කම්පාව වන්නේය, අහස ගිගුරුම් වන්නේය, සඳ, හිරු තාරකාවන්ගේ නැගීම හා බැහීමද කෙළෙසීමද පිරිසිදු වීමද වන්නේය, චන්ද්‍ර ග්‍රහණය මෙබඳු විපාක ඇතිවන්නේය, සූර්යග්‍රහණය මෙබඳු විපාක ඇති වන්නේය, තාරකා සමාගමය මෙබඳු විපාක ඇතිවන්නේය, චන්ද්‍ර සූර්යයන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇති වන්නේය, ඔවුන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇති වන්නේය, තාරකාවන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, තාරකාවන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, උල්කාපාතය මෙබඳු විපාක ඇතිවන්නේය, දිගුන් දැවීම මෙබඳු විපාක ඇතිවන්නේය, භූමි කම්පාව මෙබඳු විපාක ඇතිවන්නේය, අහස් ගිගුම මෙබඳු විපාක ඇති වන්නේය, සඳ, හිරු, තාරකාවන්ගේ නැගීම, බැසීම, කිලිටුවීම හා පිරිසිදුවීම මෙබඳු විපාක ඇතිවන්නේයයි’ කියා මෙසේ පහත් විද්‍යා හේතුවෙන් කරණ වැරදි ජීවිකාවෙන් ජීවිකා කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යා හේතුකොට ගෙණ කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ ශීල සම්පත්තියකි.

“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා මනා වැසි ඇතිවන්නේය, මනා වැසි නැතිවන්නේය, යහපත් ආහාරපාන ඇතිවන්නේය, ආහාර පාන නැති වන්නේය, නිර්භය ඇතිවන්නේය, භය ඇතිවන්නේය, රොග ඇතිවන්නේය, නිරෝගි බව ඇතිවන්නේයයි’ කීමද, ඇඟිල්ල ඇල්ලීමය, ගණන් කිරීමය, කොටස්කර ගණන්කිරීමය, කාව්‍ය කිරීමය, ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙණීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණකොට වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ ශීලසම්පත්තියකි.

“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ආවාහ කරවීමය, විවාහ කරවීමය, සමගිය පිළිබඳ කථාකිරීමය, වියොගය පිළිබඳ කථාකිරීමය, ධන රැස්කිරීමය, වියදම් කිරීමය, යහපත් ශ්‍රියාව ඇතිකිරීමය, දුර්ගර්භකරණය, ගර්භවිරොධිකරණය, දිව් තද කිරීමය, නූල් බැඳීමය, අත් පෙරළීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, ශබ්ද නොඇසීම පිණිස මන්ත්‍ර ජපකිරීමය, කැඩපත්හි දෙවතාරොපණයකොට ප්‍රශ්න ඇසීමය, ගෑනුදරුවන්ගේ ශරීරයෙහි දෙවතාරොපණය කොට ප්‍රශ්න ඇසීමය, දෙවදාසියගේ ශරීරයෙහි යකුන් ආරොපණය කොට ප්‍රශ්න ඇසීමය, හිරු වැඳීමය, මහබඹුට උපස්ථාන හෝ වැඳුම් කිරීමය, කටින් ගිනිදැල් පිටකිරීමය, ශ්‍රී දෙවිය කැඳවීමයයි කියන මෙබඳු පහත් විද්‍යාවෙන් වැරදි ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ පහත් විජ්ජාවෙන් කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ ශීල සම්පත්තියකි.

“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ශාන්ති කිරීම, කාර්යය සමෘද්ධිය කටයුතු කර්මය, මන්ත්‍ර කිරීමය, භූරිකර්මය, පණ්ඩකයා පුරුෂයකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය, ගෙවල් නොකළ බිම් ගෙවල් කිරීමය, ගෙට සුදුසු තැන බලිකම් විධානය, දියෙන් මූන සුද්ධ කිරීමය, නැහැවීමය, ගිනි පිදීමය, වමන කරවීමය, විරේක කරවීමය, උඩු කය විරේකය, යටිකය විරේකය, හිස විරේකය, කන්තෙලය, ඇස් බෙහෙත් ගැල්වීමය, නස්‍ය කිරීමය, අඳුන් ගෑමය, සිසිල් බෙහෙත් අඳුන් සෑදීමය, ආයුධ කටු ගසා කරන වෙදකමය, ශල්‍යකර්මය, ළදරුවන් පිළිබඳ වෙදකම්ය, මූලික බෙහෙත් දීමය, සැර බෙහෙත්දී පසුව එහි බල හැරීමය, කියා හෝ මෙබඳු පහත් විද්‍යා කරණකොට වැරදි ජීවත්වීමෙන් ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්මක් නම් මෙයද ඔහුගේ ශීල සම්පත්තියයි.

පොට්ඨපාදය, මෙසේ ශීලසම්පන්නවූ භික්ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ ශීලසංවරය හෙතු කොට ගෙණ කිසි තැනකදී නොඋපදනේය. කුමක් මෙන්ද යත්:- පොට්ඨපාදය, ක්ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂෙක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්ෂත්‍රීය රජෙක් කිසියම් සතුරෙකුගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, පොට්ඨපාදය, ශීලසම්පන්නවූ භික්ෂුතෙමේ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ශීලසංවරය හෙතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්යවූ (උතුම්වූ) මේ ශීල රාශියෙන් යුක්තවූ ඒ භික්ෂු තෙම, තමන් තුළ පිරිසිදුවූ (කායික චෛතසික) සැපය විඳියි. පොට්ඨපාදය, මෙසේ දැක්වූ ශීලයෙන් යුක්තවූ භික්ෂුව ශීලසම්පන්න නම් වේ.

පොට්ඨපාදය, මේ වනාහි ශීලසම්පත්තියයි.

(මහ සිල් නිමියේය.)

“පොට්ඨපාදය, භික්ෂුව කෙසේ නම් ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේද? පොට්ඨපාදය, මේ සස්නෙහි භික්ෂුතෙමේ, ඇසින් රූපයක් දැක එහි නොඇලේද එහි නොපෙළඹෙන්නේද, ඇස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදීද, ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රියය රකී, ඇස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කනින් ශබ්දයක් අසා එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. කන් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ කන් ඉන්ද්‍රියය රකී. කන් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. නාසයට ගඳ සුවඳ දැනී එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. නාස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ නාස් ඉන්ද්‍රියය රකී. නාස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. දිවෙන් රසයක් විඳ එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. දිව් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. දිව් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කයින් ස්පර්ශයක් ස්පර්ශකොට එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ශරීර ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ ශරීර ඉන්ද්‍රියය රකී. ශරීර ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. සිතින් (ධර්මයක්) අරමුණක් දැන එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. සිත් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් නිසා දැඩි ආසාව හා කලකිරිම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. හෙතෙම සිත් ඉන්ද්‍රිය රකී. සිත් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. එබඳුවූ භික්ෂුව උතුම්වූ ශීල රාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිදුවූ අධිචිත්ත සැපය විඳියි. පොට්ඨපාදය, මෙසේවූ භික්ෂු තෙමේ ඉන්ද්‍රියයන්හි වසනලද දොරටු ඇත්තේ වේ.

“පොට්ඨපාදය, භික්ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද?

“පොට්ඨපාදය, මේ සස්නෙහි භික්ෂුතෙම ඉදිරියට යෑමෙහිද, ආපසු යෑමෙහිද, නුවණින් දැන කරන්නේය. ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද නුවණින් දැන බලන්නේය. අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද මනා නුවණින් දැන එසේ කරන්නේය. දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිදී මනා නුවණින් දැන එසේ කරන්නේය අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය, රස විඳීමය, යන මෙහිද මනා නුවණින් යෙදී එසේ කරන්නේය. මල මුත්‍ර පහකිරීම්ද නුවණින් (ආදිනව) සලකා කරන්නේය. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොරකිරීම්, කථාකිරීම්, නිශ්ශබ්දව සිටීම් යන මේ දේ මනා නුවණින් දැන කරන්නේය. පොට්ඨපාද, මෙසේ කරන්නාවූ භික්ෂු තෙමේ සිහියෙන් යුක්තවූයේ යහපත් නුවණින් යුක්ත වූයේ වෙයි.

“පොට්ඨපාදය, භික්ෂු තෙමේ කෙසේ සතුටු වූයේ වේද?

“පොට්ඨපාදය, භික්ෂුතෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද, සතුටු සිත් ඇත්තේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් අටපිරිකර (කය පිළිබඳවූ දේ) පමණක් ගෙන යයි. පොට්ඨපාදය, යම්සේ පක්ෂියෙක් යම් තැනෙක පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, පොට්ඨපාදය, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය ආරක්ෂාවට ප්‍රමාණවූ සිවුරෙන්ද බඩ ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු වන්නේ වේ. ඔහු යම් තැනක යා නම් අටපිරිකර පමණක් රැගෙණ බැහැර යයි. පොට්ඨපාදය, මෙසේවූ භික්ෂු තෙමේ සන්තෝෂයෙන් යුක්ත වේ.

“උතුම්වූ මේ ශීලසමූහයෙන් යුක්තවූද උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, මේ උතුම්වූ සන්තොෂයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, කඳු පලාත්ද කඳුරැලි ගල්ගුහාවන් හෝ මහා මගද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තණ ගුහාද යන මේ ස්ථාන ආශ්‍රය කෙරේද, ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළැක්කේ, පර්යංකය බැඳ, කකුල් අකුලුවා හිඳ ශරීරයේ උඩු කොටස කෙලින් තබා නිවණෙහිම සිත එළවා, ඒ නිවණම අරමුණු වසයෙන් සිත ඉදිරියෙහි පිහිටුවාගෙණ හිඳී.

“ඔහු ලොකයෙහි ලොභය පහකොට ලොභ රහිත සිතින් යුක්තව වාසය කෙරේද ලොභ සිත වෙන් කොට පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රොධය පහකොට, ක්‍රොධයෙන් දුරුවූ සිත් ඇතිව පණ ඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසයකෙරේද, ක්‍රොධ දොෂයෙන් වෙන්ව සිත පිරිසිදු කෙරේද, කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරුකොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ පිරිසිදු හැඟීම් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේද, අලස බව දුරුකොට සිත පිරිසිදු කෙරේද, උඩඟු බව හා කුකුස දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේද, ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, සිත උඩඟු බව හා කුකුසෙන් පිරිසිදු කෙරේද, විචිකිච්ඡාව (සැකය) දුරුකොට, පහකළ විචිකිච්ඡා ඇත්තේ කුශලධර්ම විෂයෙහි සැක නැතිව වෙසේද; විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේද,

“පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් ණය ගෙන කර්මාන්තයන්හි යොදන්නේද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණුවන්නාහු නම් ඔහුගේ ඒ පරණ ණය මුදල් සියල්ලම ගෙවන්නේය. ඔහුගේ අඹුදරුවන් ආරක්ෂා කරණ පිණිස වැඩි යමක් ඉතුරුවූයේ නම් ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. ‘මම පළමුවෙන් ණය ගෙණ කර්මාන්තයන්හි යෙදුවෙමි. ඒ මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. ඒ මම පැරණි ණය ගෙවූයෙමි. අඹුදරුවන් පොෂ්‍ය කිරීම පිණිස අතිරේක මුදලක්ද මට ඇත්තේය’ කියායි. හෙතෙම ඒ ණය නැති බව මුල්කොට ගෙණ බලවත් සතුටක් ලබන්නේය. සතුටටද පැමිණෙන්නේය.

“පොට්ඨපාදය, යම්සේ රෝගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩි ගිලන්බව ඇති පුරුෂයෙක් වන්නේද, ඔහුට ආහාර රුචි නොවන්නේද, ඔහුගේ ශරීරයෙහි කිසි ශක්තියක් නැත්තේද වෙයි. ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට ආහාර රුචිය ඇතිවන්නේ නම්, ඔහුගේ ශරීර බලය ඇති වන්නේ නම්, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. කෙබඳුද යත්: ‘මම පෙර ආබාධ ඇත්තාවූ, දුක් ඇති, දැඩි ගිලන් බව ඇති කෙනෙක් වීමි. මට බත් රුචියද නොවීය, ශරීර බලයද නැතිවිය, ඒ මම පළමු තිබූ ආබාධයෙන් මිදුනෙමි. මට ආහාර රුචියද ඇත්තේය. කාය බලයද තිබේය’ කියායි. ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය, සොම්නසටද පැමිණෙන්නේය.

“පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් සිරගෙයි බැඳුනේ වේද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය. ඔහුගේ කෑම පිළිබඳ කිසිත් වියදමක්ද නොවන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: ‘මම පෙර සිරගෙයි බැඳුනෙක් වූයෙමි. ඒ මම දැන් පීඩා රහිතව සැපසේ ඒ සිරගෙයින් මිදුනෙමි. මගේ කෑම පිළිබඳ කිසි වියදමක්ද නොවූයේය’ ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය, සතුටටද, පැමිණෙන්නේය.

“පොට්ඨපාදය, යම් සේ සිය කැමැත්තෙන් යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත්වූ තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකි, වැඩකරුවෙක් (දාසයෙක්) වන්නේද, ඔහු පසු කලක ඒ දාසභාවයෙන් මිදෙන්නේ, තමාම අධිපතිකොට ඇත්තේ, අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ, සිය අදහස් පරිදි ඒ ඒ තැන යා හැකි වන්නේද, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: මම පෙර සිය කැමැති පරිදි යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත් මා අදහස් පරිදි කිසි තැනෙක යානොහැකි දාසයෙක් වීමි, ඒ මම දැන් ඒ දාස භාවයෙන් මිදුනෙක්මි. තමා අධිපති කොට ඇත්තෙක් වීමි. අනුන්ට යටත්නූන කෙනෙක් වීමි. අනුන්ට යටත් නොව මා සපයාගත් දෙයින්ම යැපෙන්නෙමි, මා අදහස් පරිදි ඒ ඒ කැමති තැනෙක යා හැක්කේද වෙමි’යි කියායි. ඔහු ඒ දාසභාවයෙන් මිදීම හේතුකොට බලවත් සතුටක් ලබන්නේය. එසේම සතුටටද පැමිණෙන්නේය.

“පොට්ඨපාදය, යම්සේ ධනවත්වූ භොග සම්පත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභවූ, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේද, ඔහු මඳ කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොර සතුරන්ගෙන් පීඩා නැති ගම්මානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේද, ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. එනම්: ‘මම පෙර ධනවත් වූයෙම්. භෝග සම්පත් සහිත වූයෙම්. දුර්ලභ භික්ෂා ඇති භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණියෙක් වූයෙමි. එසේවූ මම දැන් එම කාන්තාර මාර්ගය පසුකෙළෙමි. සැපවත්වූ භය රහිතවූ, ගමකට සැපසේ ක්‍රමයෙන් පැමිණියෙමි’යි කියායි. ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතර කිරීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය, එසේම සතුටටද පැමිණෙන්නේය.

“පොට්ඨපාදය ණයයම්සේද, රෝගය යම්සේද, හිරගේ යම්සේද, දාසභාවය යම්සේද, දීර්ඝ කාන්තාර මාර්ගය යම්සේද, එපරිද්දෙන් භික්ෂු තෙමේ පහනොකළ (පඤ්චනීවරණ) කුසල් වලක්වන කරුණුපහ තමා කෙරෙහි ලා නුවණින් දකීද පොට්ඨපාදය, ණය නැති බව යම්සේද, නිරෝග බව යම්සේද, සිරගෙන් මිදීම යම්සේද, අනුන්ට යටහත් නැති බව යම්සේද, භය නැති භූමිය යම්සේද, එපරිද්දෙන්ම පොට්ඨපාදය, භික්ෂු තෙමේ පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමන් තුළ නැති බව නුවණින් දක්නේය.

“පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නාවූ ඒ භික්ෂුහට සතුටු ආකාරය උපදී. සතුටු වුවහුට ප්‍රීතිය උපදී ප්‍රීතිසහගත සිත් ඇත්තහුගේ නාම කය (වේදනාදී ස්කන්ධ හතර) සංසිඳෙයි, සංසිඳිනු කය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට (එකඟ බවට) පැමිණෙයි.

“ඒ භික්ෂු තෙමේ වස්තුකාම ක්ලෙශකාමයන්ගෙන් වෙන් වූයේම, අකුල ධර්මයන් කෙරෙන්ද වෙන් වූයේම අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැපකොට ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදවීම් වසයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරෙයි.

ඔහුගේ යම් පළමු පැවති කාම හැඟීමක් වේද ඒ කාම හැඟීම නැතිවෙයි. ඒ ප්‍රථම ධ්‍යාන කාලයෙහි විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති කාම හිත් ආදීවූ බරපතල කොටස් පහකිරීමෙන් ලබනලද සියුම් හැඟීම් ඇති වෙයි. ඒ ප්‍රථම ධ්‍යාන කාලයෙහි විවේකයෙන් හටගන්නාවූ ප්‍රීතිය හා සැප ඇති කාමහිත් ආදීවූ බරපතල කොටස් පහ කිරීමෙන් සියුම්වූ හැඟීම් ඇත්තෙක් වූයේම වෙයි. මෙසේ හික්මීම වන ප්‍රථම ධ්‍යානයෙන් සමහර හැඟීමක් උපදී මෙසේ හික්මීම වන ප්‍රථම ධ්‍යානයෙන් සමහර හැඟීමක් නැතිවෙයි. මීට භාග්‍යවතුන් වහන්සේ හික්මීමයයි කීසේක.

“පොට්ඨපාදය, නැවතද භික්ෂුතෙම (විතර්ක) අරමුණට සිත පැමිණවීම, (විචාර) අරමුණෙහි සිත හැසිරවීම යන දෙකේ සංසිඳීමෙන් තමා තුළ ඒ දෙකින් කැළඹීමක් නැත්තාවූ හිතේ පැහැදීම කරන්නාවූ සිත එකඟ කරන සමෘද්ධීන් වඩන්නාවූ විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති දෙවෙනි ධ්‍යානය උපදවා වාසය කෙරේද, ඔහුගේ යම් පළමු පැවති විවේකයෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපයෙන් යුක්තවූ ඖදාරිකංගයන්ගේ ප්‍රහාණයෙන් සියුම්වූ හැඟීමක් ඇත්තීද ඒ හැඟීම නවතියි ඒ දෙවෙනි ධ්‍යාන කාලයෙහි සමාධියෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපයෙන් යුක්තවූ සියුම්වූ හැඟීම ඇත්තේ වූයේම වෙයි. මෙසේද ශික්ෂා සංඛ්‍යාත දෙවැනි ධ්‍යානයෙන් වෙනත් හැඟීමක් උපදියි. වෙනත් හැඟීමක් නතර වෙයි. මෙයද හික්මීමය”යි භාග්‍යවතුන්වහන්සේ වදාළසේක.

“පොට්ඨපාදය, නැවතද භික්ෂුතෙම ප්‍රීති ඉක්මීමෙන් උපේක්ෂා අතුරෙන් ධ්‍යාන උපෙක්ෂාව ඇත්තේ සිහියෙන් සහ ප්‍රඥාවෙන් යුක්තව වාසය කෙරේද, නාම කායයෙන් ධ්‍යාන සැපයද විඳී. යම් ධ්‍යානයක් හේතු කොටගෙන ධ්‍යාන උපෙක්ෂාවෙන් යුක්තවූ සිහිඇත්තෙක, සැප ඇත්තෙකැයි ආර්ය පුද්ගලයෝ කියත්ද, ඒ තුන්වෙනි ධ්‍යානයෙන් යුක්ත පුද්ගලයා ඒ තුන්වෙනි ධ්‍යානය උපදවා වාසය කෙරෙයි. ඔහුගේ යම් පළමු සමාධියෙන් උපන්නාවූ ප්‍රීති සැපය ඇතුව සියුම් හැඟීමක් ඇතිවීද ඒ හැඟීම නවතියි. ඒ තුන්වෙනි ධ්‍යානකාලයෙහි පළමුවෙන් තිබුණු සමාධියෙන් හටගත් ප්‍රීතිසුවය ඇති සියුම් නොවූ හැඟීම දුරුවෙයි. ධ්‍යාන උපෙක්ෂා සැපය ඇති සියුම් සංඥාව උපදියි. මෙසේද ශික්ෂායෙන් ඇතැම් හැඟීමක් උපදී. ඇතැම් හැඟීමක් දුරුවෙයි. මෙයද ශික්ෂාය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

“පොට්ඨපාදය, නැවතද භික්ෂුතෙම සැප වෙදනාව දුරුකිරීමෙන්ද දුක් වෙදනාව දුරුකිරීමෙන්ද සොම්නස් දොම්නස් දෙකම පහකිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂාවෙන් හටගත් සිහියේ පිරිසිදුභාවය ඇත්තාවූ හතරවෙනි ධ්‍යානය උපදවා වාසය කෙරේද, ඔහුගේ යම් පෙර උපෙක්ෂා සැපයෙන් යුක්තවූ සියුම් නොවූ හැඟීම් නැතිවීමෙන් සියුම්වූ හැඟීමක් ඇතිවීද ඒ හැඟීම් නවතියි. ඒ හතරවෙනි ධ්‍යාන කාලයෙහි දුක් නුවූ සැපනුවූ මැදහත් සැපයෙන් යුක්තවූ යම් හැඟීමෙක් ඇතිවීද ඒ හැඟීම් නවතියි. ඒ හතරවෙනි ධ්‍යාන කාලයෙහි දුක් නුවූ සැප නුවූ මැදහත් සැපයෙන් යුක්තවූ සියුම්වූ හැඟීම වෙයි. ඒ හතරවෙනි ධ්‍යාන කාලයෙහි දුක් නුවූ, සැප නුවූ මැදහත් සැපයෙන් යුක්තවූ සියුම් නොවූ හැඟීම් නැතිවීමෙන් සියුම්වූ හැඟීම් ඇතිවූයේම වෙයි. මෙසේද ශික්ෂායෙන් ඇතැම් හැඟීමක් උපදී. ඇතැම් හැඟීමක් නැතිවෙයි. මෙයද ශික්ෂාය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

“පොට්ඨපාදය, නැවතද භික්ෂුතෙම හැම ආකාරයෙන් රූප හැඟීම් දුරුවීමෙන්, තරහ හැඟීම් දුරුවීමෙන් නොයෙක් හැඟීම් සිහි නොකිරීමෙන් ආකාශය නිමක් නැතැයි සිහි කිරීමෙන් ආකාසානඤ්චායතන ධ්‍යානය උපදවා වාසය කෙරේද, ඔහුගේ යම් පෙර හැඟීමක් වීනම් ඒ හැඟීම නැතිවෙයි. එකල (ආකාසානඤ්චායතන) නිමක් නැති ආකාශයෙන් ලබන ධ්‍යානයෙන් යුක්තවූ නොසියුම් කරුණු පහකිරීමෙන් සියුම්වූ හැඟීම් ඇත්තෙක් වෙයි. මෙසේද හික්මීමෙන් සමහර හැඟීමක් උපදී. සමහර හැඟීමක් නැතිවෙයි. මීටද භාග්‍යවතුන් වහන්සේ ‘හික්මීමය’යි වදාළසේක.

“පොට්ඨපාදය, නැවතද, භික්ෂුතෙම හැම ආකාරයෙන්ම (ආකාසානඤ්චායතනය) නිමක් නැති ආකාසය භාවනා කිරීමෙන් ලබනලද ධ්‍යානය දුරුකොට එම (ආකාශානඤ්චායතන) හිත භාවනාකොට (විඤ්ඤාණ ඤ්චායතනය) නිමක් නැති විඤ්ඤාණය භාවනා කිරීමෙන් ලබන ධ්‍යානය උපදවා වාසය කෙරේද, ඔහුගේ යම් පළමු පැවති ආකාසානඤ්චායතනයන්ගේ යුක්තවූ නොසියුම් කොටස් පහ කිරීමෙන් සියුම්වූ හැඟීමක් ඇතිවීද, ඒ හැඟීම නැති වෙයි එකල විඤ්ඤාණඤ්චායතනයන්ගේ යුක්තවූ නොසියුම් කොටස් පහකිරීමෙන් සියුම්වූ හැඟීම් ඇතිවෙයි. එකල විඤ්ඤාණඤ්චායතන ධ්‍යාන සැපයෙන් යුක්තවූ නොසියුම් කොටස් පහකිරීමෙන් සියුම්වූ හැඟීම් ඇත්තෙක් වෙයි. මෙසේද හික්මීමෙන් සමහර හැඟීමක් උපදී. සමහර හැඟීමක් නැතිවෙයි. මීටද භාග්‍යවතුන් වහන්සේ හික්මීමයයි වදාළසේක.

“පොට්ඨපාදය, නැවත භික්ෂුතෙම හැම ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය දුරු කොට කිසිවක් නැතැයි භාවනාකොට දැන ආකිඤ්චඤ්ඤායතන ඒ හිතේ කිසිවක් නැතැයි යන භාවනාවෙන් ලබන ධ්‍යානය උපදවා වාසය කෙරේද, ඔහුගේ යම් පළමු පැවති (විඤ්ඤාණඤ්චායතන) ධ්‍යානයෙන් යුක්තවූ නොසියුම් කොටස් (පහකිරීමෙන්) සියුම්වූ හැඟීමක් ඇතිවීද, ‘ඒ හැඟීම් (නිරුද්ධවෙයි) නැතිවෙයි එකල ආකිඤ්චඤ්චායතනයෙන් යුක්තවූ නොසියුම් කොටස් පහ කිරීමෙන් සියුම්වූ හැඟීමක් වෙයි. එකල ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයෙන් යුක්තවූ නොසියුම් කොටස් පහකිරීමෙන් සියුම්වූ හැඟීම ඇත්තේම වෙයි. මෙසේද හික්මීමෙන් සමහර හැඟීමක් උපදී. සමහර හැඟීමක් නැතිවෙයි. මීටද භාග්‍යවතුන් වහන්සේ හික්මීමයයි වදාළසේක.

Msdiv 414 “පොට්ඨපාදය, යම්හේතුවකින් මේ ශාසනයෙහි භික්ෂු තෙම තමන්ගේ ප්‍රථම ධ්‍යාන හැඟීමෙන් හැඟීම ඇත්තේ වේද ඔහු ඒ ප්‍රථම ධ්‍යානයෙන් වෙන්වූ දෙවෙනි ධ්‍යානයෙහිද එයින් වෙන්වූ තුන් වෙනි ධ්‍යානයෙහි දැයි මෙසේ ඒ ඒ ධ්‍යාන හැඟීමෙන් හැඟීම් ඇත්තේ වීද පිළිවෙළින් හැඟීම්වල මුදුනට පැමිණෙයි. හැඟීම් මුදුනෙහි සිටි ඔහුට මෙබඳු සිතක් ඇති වෙයි. ධ්‍යානයට සමවදින්නාවූ මාගේ සමවැදීම ලාමක වෙයි සම නොවදින්නාවූ මාගේ ඒ සමනොවැදීම උතුම් වෙයි මම ධ්‍යානයට සමවදිම්නෙම් නම් මතු සමවැදීම පිණිස කැමති උපදවන්නේ නම් මාගේ මේ හැඟීම් නවතින්නාහ (විනාශ වෙන්නාහ.) අන්‍යවූ (ඖදාරික භවාංග) හැඟීම් උපදින්නාහුය මම ධ්‍යානයට සම නොවදින්නෙම් නම් මතු සමවැදීම පිණිස කැමති නූපදවන්නෙම් නම් යහපතැයි ඔහු සමනොවදී, මතු සමවැදීම පිණිස කැමති නූපදවයි. සම නොවදින්නාවූ මතු සමවැදීම පිණිස කැමති නූපදවන්නාවූ ඔහුගේ ඒ ධ්‍යාන හැඟීම්ද නවතිත් (විනාශවෙත්) අන්‍යවූද ඖදාරික භවාංග හැඟීම් නූපදිත්. මෙසේ පිළිපදින්නාවූ භික්ෂුතෙම හැඟීමෙන් දත යුතුවූ හැඟීම නිරොධය ලබයි.

“පොට්ඨපාදය, මෙසේ නුවණ-ඇති භික්ෂුහුගේ පිළිවෙළින් හැඟීම (සිත) නිරුද්ධ කරන්නාවූ සමාපත්තිය වෙයි’ වදාළසේක.

“පොඨපාදය, ඒ කුමකැයි සිතන්නෙහිද? කිමෙක් ද? ඔබ විසින් මීට පෙර මෙබඳුවූ නුවණැති භික්ෂුහුගේ පිළිවෙළින් හැඟීම් නැතිවීමෙහි සමාපත්තියක් ඇසුවේදැයි විචාළසේක.

“ස්වාමීනි, නොඇසුවෙමි, ස්වාමීනි, මෙසේ මම භාග්‍යවතුන් වහන්සේගේ කථාව දැනගනිමි.”

“පොට්ඨපාදය, යම් හේතුවකින්, භික්ෂු තෙම තමන්ගේ පළමු වෙනි ධ්‍යාන හැඟීම් ඇත්තේ වේද, ඔහු ඒ පළමු වෙනි ධ්‍යානයෙන් වෙනස්වූ දෙවෙනි ධ්‍යානයෙහිද, ඉන් වෙනස්වූ තුන්වෙනි ධ්‍යානයෙහි දැයි මෙසේ ඒ ඒ ධ්‍යාන හැඟීමෙන් හැඟීම් ඇතුව පිළිවෙළින් හැඟීම් මුදුනට පැමිණේද, හැඟීම් මුදුනෙහි සිටියාවූ ඔහුට මෙබඳු සිතක් ඇතිවෙයි. ධ්‍යානයට සමවදින්නාවූ මාගේ සමවැදීම ලාමක වෙයි. ධ්‍යානයට සමනොවදින්නාවූ මාගේ සමනොවැදීම උතුම් වෙයි. මම ධ්‍යානයට සමවදින්නෙම් නම් මතු සමවැදීම පිණිස කැමති වන්නෙම් නම් මාගේ මේ හැඟීම් නවතින්නාහ. අන්‍යවූ (ඖදාරික භවාංග) හැඟීම් උපදින්නාහුය. මම ධ්‍යානයට සමනොවදින්නෙම් නම්, මතු සමවදින පිණිස කැමති නොවන්නෙම් නම් යහපතැයි ඔහු ධ්‍යානයට සම නොවදියි. මතු සම වදින පිණිස කැමති නොවෙයි. ධ්‍යානයට සමනොවදින්නාවූ මතු සමවැදීම පිණිස කැමති නූපදවන්නාවූ ඔහුගේ ඒ ධ්‍යාන හැඟීම නවතිත්, අන්‍ය වූ ඖදාරික භවාංග හැඟීම්ද නූපදිත්. මෙසේ පිළිපදින්නාවූ ඒ භික්ෂුතෙම හැඟීමෙන් දතයුතුවූ චිත්තනිරොධය ලබයි.

“පොට්ඨපාදය, මෙසේ නුවණ ඇති භික්ෂුහුගේ, පිළිවෙලින් හැඟීම් නැතිවීමෙහි සමාපත්තිය වෙයි. භාග්‍යවතුන් වහන්සේ එසේයයි වදාළසේක.

Msdiv 415 “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ එකම ආකිඤ්චඤ්ඤායතනම හැඟීම් අතුරෙන් කෙළවරට ගිය හැඟීමයයි යම් හැඟීම් පණවනසේක්ද, නොහොත් වෙනත් සමාපත්තීන්හි බොහෝවූ මුදුන් පැමිණි හැඟීම් පණවනසේක්දැ”යි ඇසුවේය.

“පොට්ඨපාදය, මම මුදුන් පැමිණි හැඟීම් එකක් ද පණවමි බොහෝවූ මුදුන් පැමිණි හැඟීම්ද පණවමියි” වදාළසේක.

“ස්වාමීනි, භාග්‍යවත් තෙම කෙසේ නම් මුදුන් පැමිණි එක් හැඟීමක් පණවනසේක්ද, කෙසේ බොහෝවූ මුදුන් පැමිණි හැඟීම් පණවනසේක්දැයි” ඇසුවේය.

“පොට්ඨපාදය, පෘථිවි කසිණාදීන් අතුරෙන් යම් යම් කසිණයකින් හෝ ප්‍රථම ධ්‍යානාදීන් අතුරෙන් යම් යම් ධ්‍යානයකින් හෝ චිත්ත චෛතසිකයන්ගේ නැවතීමට පැමිණේද, ඒ ඒ කසිණයකින් හෝ ඒ ඒ ධ්‍යානයකින් මම මුදුන් පැමිණි හැඟීම් පණවමි. පොට්ඨපාදය, මම එසේ එක් මුදුන්පත් හැඟීමක්ද බොහෝවූ මුදුන්පත් හැඟීම්ද පණවමියි” වදාළසේක.

Msdiv 416 “ස්වාමීනි, චිත්ත චෛසික නවත්වා එයින් නැගිටින භික්ෂුවට අර්හත්ඵල සිත පළමුව උපදීද, පසුව ප්‍රත්‍යවෙක්ෂා ඥානය උපදීද, නොහොත් ප්‍රත්‍යවෙක්ෂාඥානය පළමු උපදීද, අර්හත්ඵල සිත පසුව උපදීද නොහොත් අර්හත්ඵල සිත හා ප්‍රත්‍යවෙක්ෂාඥානය එක විට උපදීදැයි” විචාළේය.

“පොට්ඨපාදය, අර්හත්ඵල සිත පළමු උපදියි. ප්‍රත්‍යවෙක්ෂාඥානය පසුව උපදියි. අර්හත්ඵල සිත ඉපදීමෙන් පසු ප්‍රත්‍යවෙක්ෂාඥානය ඉපදීම වෙයි. අර්හත්ඵල සමාධි හැඟීම හෙතුකොට ගෙණ මාගේ ප්‍රත්‍යවෙක්ෂාඥානය උපන්නේයයි ඒ භික්ෂුතෙම දනියි. පොට්ඨපාදය, අර්හත්ඵල සමාධි හැඟීම පළමු උපදියි. ප්‍රත්‍යවෙක්ෂාඥානය පසුව උපදියි. අර්හත්ඵල හැඟීම් ඉපදීමෙන් ප්‍රත්‍යවෙක්ෂා ඥානය ඉපදීම වෙයි. මෙසේ මේ ක්‍රමයෙන් මෙය දත යුතුයයි,” වදාළසේක.

සඤ්ඤාඅත්තකථා Msdiv 417 “ස්වාමීනි, හැඟීම් පුරුෂයාගේ ආත්ම වේද නොහොත් හැඟීම් අනිකක් වේද, ආත්මය අනිකක් වේදැයි” ඇසුවේය.

“පොට්ඨපාදය, නුඹ කුමක් නම් ආත්මයයි සළකන්නෙහි දැයි?” ඇසූසේක.

“ස්වාමීනි, මම මහත්වූ සතර මහා භූතයන්ගෙන් උපන්නාවූ ආහාර ගන්නාවූ මේ කය ආත්මයයි සලකමි”යි කීයේය.

“පොට්ඨපාදය, මහත්වූ, සතර මහාභූතයන් ගෙන් උපන්නාවූ ආහාර ගන්නාවූ මේ කය ආත්මයයි නුඹේ දැනගැනීම් වන්නේද, පොට්ඨපාදය, එසේ ඇති කල නුඹට හැඟීම අනිකක් වන්නීය. ආත්මය අනිකක්ම වන්නේය. පොට්ඨපාදය, යම්සේ හැඟීම අනිකක් වන්නීද, ආත්මය අනිකක් වන්නේද මේ ක්‍රමයෙන්ද ඒ මේ කාරණය දැනගත යුතුයි. පොට්ඨපාදය මේ මහත්වූ සතර මහා භූතයන්ගෙන් උපන්නාවූ ආහාර ගන්නාවූ ඒ මේ ආත්මය නවතීවා.

එසේ කල මේ පුරුෂයාට වෙනත් හැඟීම් උපදිත්. වෙනත් හැඟීම් නැති වෙත්. පොට්ඨපාදය, යම්සේ හැඟීම් අනිකක්ම වන්නීද, ආත්මය අනිකක්ම වන්නේද, මෙසේ මේ ක්‍රමයෙන් මේ කාරණය දත යුතුයයි” වදාළසේක.

Msdiv 418 “ස්වාමීනි, මම ආත්මය සියලු අංග කොටස් ඇත්තාවූ ඉඳුරන් ගෙන් නොපිරිහුනාවූ හිතෙන් හටගත් දෙයකැයි දැන ගතිමියි” කීයේය.

“පොට්ඨපාදය, ආත්මය සියලු අංග කොටස් ඇත්තාවූ ඉඳුරන් ගෙන් නොපිරිහුනාවූ හිතින් හටගත් දෙයකැයි කියාත් නුඹේ දැන ගැනීම වේද, පොට්ඨපාදය, එසේ ඇති කලත් ඔබට හැඟීම අනිකක් වන්නීය. ආත්මය අනිකක් වන්නේය. පොට්ඨපාදය, යම් සේ හැඟීම් අනිකක්ම වන්නීද ආත්මය අනිකෙක් වන්නේද, මෙසේ මේ ක්‍රමයෙන්ද ඒ මේ කාරණය දැන ගත යුතුය. පොට්ඨපාදය’ ඒ මේ ආත්මය සියලු අංග කොටස් ඇත්තාවූ ඉඳුරන් ගෙන් නොපිරිහුනාවූ හිතින් කරනලද්දේය යනු තිබුනාවේ. එකල මේ පුරුෂයා හට අන්‍යවූ හැඟීම් උපදිත්, අන්‍යවූ හැඟීම් නැතිවෙත්ය”යි වදාළසේක.

Msdiv 419 “ස්වාමීනි, මම ආත්මය රූපයක් නැති හැඟීම් යයි දනිමි”යි කීයේය.

“පොට්ඨපාදය, ඔබට ආත්මය රූපයක් නැති හැඟීම් වේද, පොට්ඨපාදය, එසේ ඇති කලද ඔබට හැඟීම අනිකක් වන්නීය. ආත්මය අනිකෙක් වන්නේය. පොට්ඨපාදය, යම්සේ හැඟීම අනිකක්ම වන්නීද ආත්මය අනිකක්ම වන්නේද මෙසේ මේ ක්‍රමයෙන්ද, ඒ මේ කාරණය දත යුතුය. පොට්ඨපාදය, මේ ආත්මය රූප නැති හැඟීම්ය යනු තිබුනාවේ එසේ ඇති කල මේ පුරුෂයාට අන්‍ය හැඟීම් උපදිත්. අන්‍ය හැඟීම් නැතිවෙත්. පොට්ඨපාදය, යම්සේ හැඟීම අනිකක්ම වන්නීද, ආත්මය අනිකෙක්ම වන්නේද මෙසේ මේ ක්‍රමයෙන්ද ඒ මේ කාරණය දැන ගත යුතුයයි” වදාළසේක.

Msdiv 420 “ස්වාමීනි, හැඟීම පුරුෂයාගේ ආත්මය දැයි කියා හෝ හැඟීම අනිකක්මය, ආත්මය අනිකෙක් දැයි කියා හෝ මා විසින් දැනගත හැක්කේදැයි” ඇසුයේය.

“පොට්ඨපාදය, අන් ආකාරයකින් පැවති ඇදහීම් ඇත්තාවූ, අනිකක් කැමැත්තාවූ අනිකක් රුචිවූ අන්‍ය ප්‍රතිපත්තියක යෙදුනාවූ, අන්‍ය තීර්ථක ඉගැන්වීමක ගුරුවරයෙක්වූ ඔබ විසින් හැඟීම පුරුෂයාගේ ආත්මය දැයි කියා හෝ හැඟීම අනිකක් ආත්මය අනිකෙක් දැයි කියා හෝ මේ කාරණය දැනගනු නොහැක්කේයයි” වදාළසේක.

“ස්වාමීනි, ඉඳින් අන් ආකාරයකින් පැවති ඇදහීම් ඇත්තාවූ, අනිකක් කැමතිවූ අනිකක් රුචිවූ අන්‍ය ප්‍රතිපත්තියක යෙදුනාවූ අන්‍ය තීර්ථායතනයක ගුරුවරයෙක්වූ මා විසින් හැඟීම පුරුෂයාගේ ආත්මය දැයි කියා හෝ හැඟීම අනිකක ආත්මය අනිකෙක් දැයි කියා හෝ මේ කාරණය දැන ගනු නොහැකි වේ නම්, කිමෙක්ද ස්වාමීනි, ලොකය සදාකාලිකය යන මේ කීමම සත්‍යද සදාකාලික නොවෙයි යන අනික් කීම අසත්‍යදැ”යි ඇසුවේය.

‘පොට්ඨපාදය, ලොකය සදාකාලිකය යන මේ කීමම සත්‍යය සදාකාලික නොවේයයි යන අනිත් කීම අසත්‍යයයි මා විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය”යි වදාළසේක.

“කිමෙක්ද, ස්වාමීනි, ලොකය සදාකාලික නොවෙයි යන මේ කීමම සත්‍ය, සදාකාලිකය යන අනික් කීම අසත්‍යදැ?”යි ඇසුවේය.

“පොට්ඨපාදය, ලොකය සදාකාලික නොවෙයි යන මේ කීමම සත්‍යය, සදාකාලිකය යන අනික් කීම අසත්‍යය යන මේද මා විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය”යි වදාළසේක.

“කිමෙක්ද, ස්වාමීනි, ලොකය කෙළවර ඇත්තේය යන මේ කීම සත්‍යයද කෙළවරක් නැත්තේය යන අනික් කීම අසත්‍යයදැ”යි ඇසීය.

“පොට්ඨපාදය, ලොකය කෙළවරක් ඇත්තේය යන මේ කීම සත්‍යය, කෙළවරක් නැත්තේය යන අනික් කීම අසත්‍ය යයි මා විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය”යි වදාළසේක.

“කිමෙක්ද ස්වාමීනි ලොකය කෙළවරක් නැත්තේය, යන මේ කීම සත්‍යයද, කෙළවරක් ඇත්තේය යන අනික් කීම අසත්‍යයදැ”යි ඇසීය.

“පොට්ඨපාදය, ලොකය කෙළවරක් නැත්තේය යන මේ කීම සත්‍යය, කෙළවරක් නැත්තේය යන අනික් කීම අසත්‍යයයි මා විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය”යි වදාළසේක.

“ජීවය හා ශරීරය එකම වෙයි, ජීවය අනිකක් වෙයි. ශරීරය අනිකක් වෙයි. සත්ත්වයා මරණින් මතු උපදින්නේය, සත්ත්වයා මරණින් මතු උපදින්නේ නැත, සත්ත්වයා මරණින් මතු නූපදින්නේය, සත්වයා මරණින් මතු උපදින්නේත් නොවෙයි, නූපදින්නේත් නොවෙයි. යනමේ කීමම සත්‍යද අනික් කීම අසත්‍යදැ”යි ඇසුවේය.

“පොට්ඨපාදය, සත්ත්වයා මරණින් මතු උපදින්නේ නොවෙයි, නූපදින්නේ නොවෙයි යන මේ කීමම සත්‍යය අනික් කීම අසත්‍යය යන මේද මා විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය”යි වදාළසේක.

“ස්වාමීනි, කවර කාරණයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කාරණය ප්‍රකාශ නොකළසේක්දැ”යි ඇසුවේය.

“පොට්ඨපාදය මේ ලොකය සදාකාලිකය යන (දැක්ම) ඇදහීම තමාට හෝ අනුන්ට යහපතක් සහිත නොවෙයි. උත්තම ධර්ම සහිත නොවෙයි. ශාසනයේ උතුම් හැසිරීමේ (බ්‍රහ්මචර්යාවේ) උසස් සීල අනුව හැසිරීමේ සුලු කොටසක්වත් නොවෙයි. සංසාරයෙහි කලකිරීම පිණිස නොවෙයි, නොඇලීම පිණිස නොවෙයි, නිදහස්වීම පිණිස නොවෙයි, සංසිඳුවීම පිණිස නොවෙයි, විශෙෂයෙන් දැන ගැනීම කරගැනීම පිණිස නොවෙයි, අවබොධය පිණිස නොවෙයි නිවන් අත්කර ගැනීම පිණිස නොවෙයි. එබැවින් ඒ මා විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය’යි වදාළසේක.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කුමක් ප්‍රකාශ කරණ ලද්දේදැ”යි විචාළේය.

පොට්ඨපාදය, මා විසින් දුක මේයයි ප්‍රකාශ කරණ ලද්දේය. පොට්ඨපාදය, මවිසින් දුක් ඇතිවීමට හේතු මේයයි ප්‍රකාශ කරණ ලද්දේය. පොට්ඨපාදය, මා විසින් දුක් නැතිකිරීම මේයයි ප්‍රකාශ කරණ ලද්දේය. පොට්ඨපාදය, මා විසින් දුක් නැතිකිරීමට පමුණුවන්නාවූ පිළිපැදීම (මාර්ගය) මේයයි ප්‍රකාශ කරණ ලද්දේය”යි වදාළසේක.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කුමක් නිසා ප්‍රකාශ කරණ ලද්දේදැ”යි ඇසුවේය.

මෙය තමන්ට යහපත සහිත වෙයි. ලොකයෙන් එතර වන ධර්ම නවය සහිත වෙයි. ශාසනයේ උතුම් හැසිරීමේ (බ්‍රහ්ම චර්යාවෙහි) උසස් ශීල අනුව හැසිරීම වෙයි. සංසාරයට කලකිරීම පිණිස පවතියි, එහි නොඇලීම, නිදහස්වීම, සංසිඳුවීම, විශෙෂයෙන් දැනගැනීම, අවබෝධය, නිවන් අත්කර ගැණීම පිණිස පවතී. එබැවින් මාවිසින් මෙය ප්‍රකාශ කරණ ලද්දේය”යි වදාළසේක.

භාග්‍යවතුන් වහන්ස, ඒ එසේය. සුගතයන් වහන්ස, ඒ එසේය, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් ගමනකට කැමැත්තේ නම් දැන් ඊට කාලයයි” කීයේය.

එවිට භාග්‍යවතුන් වහන්සේ හුන් ආසනයෙන් නැගිට වැඩියෝය.

Msdiv 421 එවිට භාග්‍යවතුන් වහන්සේ වැඩමවා නොබෝ කලකින් ඒ පරිව්‍රාජකයෝ පොට්ඨපාද පරිව්‍රාජකයාහට වචන නැමැති කෙවිටවලින් ඇන්නෝය. “ශ්‍රමණ ගෞතම තෙම යමක් කියාද මේ ශ්‍රමණ ගෞතමයින්ගේ ඒ ඒ කීම, ‘භාග්‍යවතුන් වහන්ස, ඒ එසේය, සුගතයන් වහන්ස, ඒ එසේය’ය මේ පින්වත් පොට්ඨපාද තෙම සතුටු වෙයි. එසේම ලොකය සදාකාලිකයයි කියා හෝ ලොකය සදාකාලික නොවේයයි කියා හෝ, ලොකය කෙළවරක් ඇත්තේයයි කියා හෝ, ලොකය කෙළවර නැත්තේ යයි කියා හෝ, ජීවයත් ශරීරයත් එකමයයි කියා හෝ, ජීවය අනිකක, ශරීරය අනිකෙකැයි කියා හෝ, මරණින් මතු සත්වයා උපදින්නේය කියා හෝ මරණින් මතු සත්වයා නූපදින්නේය. කියා හෝ, මරණින් මතු සත්වයා උපදින්නේත් නොවෙයි, නූපදින්නේත් නොවෙයි කියා හෝ ශ්‍රමණ ගෞතමයන්ගේ ඒකාන්තකොට දේශනාකරණ ලද්දාවූ කිසි ධර්මයක් අපි නොදනිමු’යි.

මෙසේ කී කල පොට්ඨපාද පරිබ්‍රාජක තෙම ඒ පරිබ්‍රාජකයන්ට මේ කාරණය දැන්වීය.

“පින්වත්නි, ශ්‍රමණ ගෞතමයන් විසින් ලොකය සදාකාලිකයයි හෝ ලොකය සදාකාලික නොවේය කියා හෝ, ලෝකය කෙළවර ඇත්තේ යයි කියා හෝ. ලොකය කෙළවර නැත්තේයයි කියා හෝ, ජීවයත් ශරීරයත් එකමයයි කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙකැයි කියා හෝ මරණින් මතු සත්වයා උපදින්නේය, කියා හෝ මරණින් මතු සත්වයා නූපදින්නේය කියා හෝ, මරණින් මතු සත්වයා උපදින්නේත් නොවෙයි කියා හෝ ශ්‍රමණ ගෞතමයන්ගේ ඒකාන්තකොට දෙශනා කරණ ලද්දාවූ කිසි ධර්මයක් මමද නොදනිමි, එසේ වුවත් ශ්‍රමණ ගෞතම තෙම ස්වභාවයෙන් පැහැදිලිවූද, සත්‍යවූද, ලොකයෙන් එතරවන ධර්ම නවයෙහි (නවලොකොත්තර ධර්මයෙහි) පිහිටියාවූද ලොකයෙන් එතරවූ ධර්මනවයෙහි ස්ථිරවූ මාර්ගයක් පණවයි. ස්වභාවයෙන් පැහැදිලිවූ සත්‍යවූ ලොකයෙන් එතරවූ ධර්ම නවයෙහි පිහිටියාවූ ලොකයෙන්එතර ධර්ම නවයෙහි ස්ථිරවූ මාර්ගයක් පනවන්නාවූ ශ්‍රමණ ගෞතමයන් විසින් යහපත පිණිස කියනලද ධර්මය මා වැනි නුවණැත්තෙක් යහපත පිණිස කියනලද්දක් වශයෙන් කෙසේ නම් සතුටු නොවන්නේදැයි” කීයේය.

චිත්තහත්ථිසාරිපුත්තපොට්ඨපාදවත්ථු Msdiv 422 එවිට දෙතුන් දවසක් පසුවූ කල ඇතුන් බලන්නාගේ පුත්‍රවූ චිත්‍රද පොට්ඨපාද පරිබ්‍රාජකයාද භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ, ඇතුන් බලන්නාගේ පුත්‍රවූ චිත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකපැත්තකටවී උන්නේය පොට්ඨපාද පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට එක පැත්තකටවී උන්නේය. එක පැත්තකටවී උන්නාවූ පොට්ඨපාද පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීවේය.

“ස්වාමීනි එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩ නොබෝ වේලාවකින් ඒ පරිබ්‍රාජකයෝ මට වචන නමැති කෙවිටිවලින් නැවත නැවත ඇන්නෝය.”

ශ්‍රමණ ගෞතම තෙම යමක් කියාද, මේ ශ්‍රමණ ගෞතමයින්ගේ ඒ ඒ කීම, ‘භාග්‍යවතුන් වහන්ස, ඒ එසේය සුගතයන් වහන්ස, ඒ එසේයයි’ මේ පින්වත් පොට්ඨපාද තෙම සතුටු වෙයි. එසේම ලෝකය සදාකාලිකයයි කියා හෝ ලෝකය සදාකාලික නොවේයයි කියා හෝ, ලොකය කෙළවර ඇත්තේ යයි කියා හෝ, ලෝකය කෙළවර නැත්තේයයි කියා හෝ ජීවයත් ශරීරයත් එකමයයි කියා හෝ, ජීවය අනිකක, ශරීරය අනිකකැයි, කියා හෝ මරණින් මතු සත්වයා උපදින්නේය කියා හෝ මරණින් මතු සත්වයා නූපදින්නේ නොවෙයි කියා හෝ ශ්‍රමණ ගෞතමයන්ගේ ඒකාන්තකොට දේශනා කරන ලද්දාවූ කිසි ධර්මයක් අපි නොදනිමු”යි

“ස්වාමීනි, මෙසේ කී කල මම ඒ පරිබ්‍රාජකයන්ට මෙසේ කීවෙමි.

“පින්වත්නි, ශ්‍රමණ ගෞතමයන් විසින් ලොකය සදාකාලිකයයි හෝ ලොකය සදාකාලික නොවේය කියා හෝ ලොකය කෙළවර ඇත්තේයයි කියා හෝ, ලොකය කෙළවර නැත්තේයයි කියා හෝ, ජීවයත් ශරීරයත් එකමයයි කියා හෝ, ජීවය අනිකෙක ශරීරය අනිකෙකැයි කියා හෝ මරණින් මතු සත්වයා උපදින්නේය කියා හෝ, මරණින් මතු සත්වයා නූපදින්නේය කියා හෝ, මරණින් මතු සත්වයා උපදින්නේත් නොවෙයි, නූපදින්නේත් නොවෙයි කියා හෝ ශ්‍රමණ ගෞතමයන්ගේ ඒකාන්තකොට දේශනාකරන ලද්දාවූ කිසි ධර්මයක් මමද නොදනිමි. එසේ වුවත් ශ්‍රමණ ගෞතම තෙම ස්වභාවයෙන් පැහැදිලිවූද සත්‍යවූද ලොකයෙන් එතරවූ ධර්ම නවයෙහි (නවලොකොත්තර ධර්මයෙහි) පිහිටියාවූද ලොකයෙන් එතරවූ (එම උතුම්) ධර්ම නවයෙහි නියමිතවූ ස්ථිරවූ මාර්ගයක් පණවයි. ස්වභාවයෙන් පැහැදිලිවූ සත්‍යවූ ලොකයෙන් එතරවූ ධර්ම නවයෙහි පිහිටියාවූ ලොකොත්තර ධර්ම නවයෙහි ස්ථිරවූ මාර්ගයක් පණවන්නාවූ ශ්‍රමණ ගෞතමයන් විසින් යහපත පිණිස කියනලද ධර්මය මා වැනි නුවණැත්තෙක් යහපත පිණිස කියන ලද්දක් වශයෙන් කෙසේ සතුටු නොවන්නේදැ”යි කීයේය.

Msdiv 423 “පොට්ඨපාදය, මේ සියලු පරිබ්‍රාජකයෝ නුවණ ඇස් නැති අන්ධයෝය. එහෙයින් ඇස් නැත්තෝය. ඔවුන් අතුරෙන් ඔබම (සුභාෂිතය) යහපත පිණිස කියන ලද්ද, (දුර්භාෂිතය) යහපත පිණිස නොවන කියමන දන්නාවූ එකම ඇස් ඇත්තෙහිය පොට්ඨපාදය, මා විසින් ඒකාන්ත කොට (ස්ථිරව) දේශනා කරන ලද්දාවූ පණවන ලද්දාවූ ධර්මයෝද වෙත්. මා විසින් ඒකාන්තකොට (ස්ථිරව) දේශනා නොකරණ ලද්දාවූ නොපණවන ලද්දාවූ ධර්මයෝද වෙත්. පොට්ඨපාදය, මා විසින් ඒකාන්තකොට දේශනා නොකරණලද නොපණවනලද ඒ ධර්මයෝ කවරහුද? පොට්ඨපාදය, ලෝකය සදාකාලිකය කියා හෝ මා විසින් ඒකාන්ත (ස්ථිර) නොකොට ධර්මය දේශනා කරන ලද්දේ පණවන ලද්දේ වෙයි. ලෝකය සදාකාලික නොවේය කියා හෝ මා විසින් ඒකාන්ත (ස්ථිර) නොකොට ධර්මය දේශනා කරනලද්දේ පණවන ලද්දේ වෙයි. පොට්ඨපාදය, ලොකය කෙළවරක් ඇත්තේය කියා හෝ මා විසින් ඒකාන්ත (ස්ථිර) නොකොට ධර්මය දෙශනා කරන ලද්දේ පණවන ලද්දේ වෙයි. ලොකය කෙළවරක් නැත්තේය කියා හෝ මා විසින් ස්ථිර නොකොට ධර්මය දේශනා කරන ලද්දේ පණවන ලද්දේ වෙයි. පොට්ඨපාදය, ජීවයත් ශරීරයත් එකමය කියා මා විසින් ධර්මය දෙශනා කරණ ලද්දේ පණවන ලද්දේ නොවෙයි. ජීවය අනිකක ශරීරය අනිකකැයි කියා හෝ මා විසින් ධර්මය දෙශනාකරන ලද්දේ පණවනලද්දේ නොවෙයි. පොට්ඨපාදය, සත්ත්වයා මරණින් මතු ඉපදීම වන්නේය කියා මා විසින් ධර්මය දෙශනාකරන ලද්දේ පණවන ලද්දේ නොවෙයි. සත්වයා මරණින් මතු උපදින්නේ නැත (නොවන්නේය) කියා හෝ පොට්ඨපාදය, මරණින් මතු සත්වයා උපදින්නේද (වන්නේද) නූපදින්නේද (නොවන්නේද) වේයයි කියා හෝ පොට්ඨපාදය, සත්වයා මරණින් මතු වන්නේත් නොවෙයි. නොවන්නේත් නොවෙයි කියා හෝ මා විසින් ඒකාන්ත (ස්ථිර) කොට ධර්මය දේශනා කරණ ලද්දේ පණවන ලද්දේ නොවෙයි.

“පොට්ඨපාදය, කවර කාරණයකින් ඒ ධර්මය මා විසින් ඒකාන්ත (ස්ථිර) කොට දේශනා නොකරණ ලද්දේද, නොපණවන ලද්දේද, පොට්ඨපාදය, මේ ධර්ම තමන්ගේ යහපත උදෙසා හෝ අනුන්ගේ යහපත උදෙසා යුක්ත නොවෙත්. මේ ධර්මයෙන් යුක්ත නොවෙත්. උසස් හැසිරීමෙන් යුක්ත නොවෙත්. සංසාරයට කලකිරීම පිණිස නොවෙත්. සංසාරයෙහි නොඇල්ම පිණිස නොවෙත්. සංසාරයෙන් නිදහස්වීම පිණිස නොවෙත් සංසාරයේ සංසිඳුවීම පිණිස නොවෙත්. සංසාරය පැහැදිලි කරන්ගැනීම පිණිස නොවෙත්. සංසාරය අවබෝධකර ගැනීම පිණිස නොවෙත්. නිවන් ලැබීම පිණිස නොවෙත්. එබැවින් මා විසින් ඒ ධර්ම ඒකාන්ත (ස්ථිර) කොට දේශනා නොකළාහු නොපණවන ලද්දාහු වෙත්.

එකංසිකධම්මො Msdiv 424 පොට්ඨපාදය මාවිසින් ඒකාන්ත (ස්ථිර) කොට දේශනා කරණ ලද්දාවූ පණවන ලද්දාවූ ධර්ම කවරහුද? පොට්ඨපාදය, මා විසින් දුක මෙයයි ස්ථිරකොට ධර්මය දේශනාකරණ ලද්දේ පණවන ලද්දේ වෙයි. පොට්ඨපාදය, මා විසින් දුක හටගැනීම මෙයයි ස්ථිරකොට ධර්මය දේශනාකරණ ලද්දේ පණවන ලද්දේ වෙයි. පොට්ඨපාදය, දුක් නැතිකිරීම මෙයයි මා විසින් ස්ථිරකොට ධර්මය දේශනාකරණ ලද්දේ පණවන ලද්දේ වෙයි. පොට්ඨපාදය, දුක් නැතිකිරීමේ පිළිපැදීම මේයයි ස්ථිරකොට මා විසින් ධර්මය දේශනාකරණ ලද්දේ පණවන ලද්දේ වෙයි. පොට්ඨපාදය, කවර කාරණයකින් ඒ ධර්ම ස්ථිරකොට මා විසින් දේශනාකරණ ලද්දාහුද පණවන ලද්දාවූද පොට්ඨපාදය, මේ ධර්ම තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස වෙත්. මේ ධර්ම උතුම් ධර්මයෙන් යුක්ත වෙත්. මේ (බ්‍රහ්මචර්යාව) උතුම් හැසිරීමෙන් යුක්ත වෙත්. මේ සංසාරයෙහි කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, සංසිඳීම පිණිසද, විශෙෂයෙන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් ලැබීම පිණිසද පවතිත්. පොට්ඨපාදය, එබැවින් මා විසින් ඒ ධර්ම ස්ථිරකොට දේශනා කරණ ලද්දාහු පණවන ලද්දාහු වෙත්.

Msdiv 425 “පොට්ඨපාදය, ආත්මය වෙනස් නොව සදාකාලිකවූ සැප ඇති, මරණින් මතු සදාකාලික වේය යන මත ඇති සමහර මහණ බමුණෝ වෙත්. මම ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. ආයුෂ්මතුනි, ඔබලා ‘ආත්මය වෙනස් නොව සදාකාලිකව පවත්නා සැප ඇති මරණින් මතු සදාකාලික වූයේ වෙයි’ යන මෙවැනි වාද ඇත්තාහුය, මෙබඳු දෘෂ්ටි ඇත්තාහුය යනු සැබෑදැයි මෙසේ මා විසින් අසනු ලැබූ ඒ මහණ බමුණෝ ඉදින් ‘එසේය’යි උත්තර දෙත්ද ඔවුන්ට මම මෙසේ කියමි. ආයුෂ්මතුනි, ඔබලා ඇත්තෙන්ම සැප ඇති ලොකය නැගෙනහිර දිසාවෙහි හෝ බස්නාහිර ආදී දිශාවන්හි හෝ වේදැයි දන්නාහු දක්නාහු වෙසෙත් දැයි මෙසේ අසන ලද්දාහු “නොදක්නෙමු”යයි කියත්. ඔවුන්ට මම මෙසේ කියමි. ආයුෂ්මතුනි, එක් රැයක් මුලුල්ලේ හෝ එක් දවාලක් මුලුල්ලේ හෝ රෑ බාගයක් මුලුල්ලේ හෝ එක් දාවල් බාගයක් මුලුල්ලේ හෝ ඒකාන්ත සැප ඇති ආත්මයක් ඔබලා දනිව් දැයි මෙසේ අසන ලද්දාහු ‘නොදනිමු’ යයි කියත්ද ඔවුන්ට මේ මෙසේ කියමි. ආයුෂ්මතුනි, කිමෙක්ද? ඒකාන්ත සැප ඇති ලොකය අවබොධ කරගැණීමට මාර්ගය මේය, පැවතුම් පිළිවෙළ මේයයි ඔබලා දනිත් දැයි මෙසේ අසන ලද්දෝ නොදනිමු’යි කියත්. ඔවුන්ට මම මෙසේ කියමි. ආයුෂ්මතුනි, යම් ඒ දේවතාවෝ ඒකාන්ත සැප ඇති ලොකයෙහි උපන්නාහු දුක් නැත්තානෙනි, ඒකාන්ත සැප ඇති ලොකය අවබොධ කරණු පිණිස පිළිපදින්නාහු වව්, අවංකව පිළිපදින්නාහු වව්, දුක් නැත්තානෙනි, අපි එසේ පිළිපදින්නාහු ඒකාන්ත සැප ඇති ලොකයෙහි උපන්නෙමුයයි කියන්නාවූ ඒ දේවතාවන්ගේ ශබ්දය අසව්දැයි මෙසේ අසන ලද්දාවූ ‘ඒ ශබ්දයක් නොඇසුවෙමු’යයි කියත්.

“පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නෙහිද? මෙසේ ඇති කල ඒ මහණ බමුණෝ නැතැයි කීමෙන් උත්තර නැති බවට පැමිණෙන්නෝ නොවෙත්දැයි ඇසූසේක.

“ස්වාමීනි එසේවූ කල ඒ බමුණන්ගේ නැතැයි කීමෙන් උත්තර නැති බවට ඒකාන්තයෙන් පැමිණෙත්මය”යි කීයේය.

Msdiv 426 “පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් මෙසේ කියන්නේද, මේ ජනපදයෙහි යම් ස්ත්‍රියක් ඉතා රූප ලක්ෂණ වේද මම ඈ ඕනෑ කරමි, කැමති වෙමි’යි ඔහුට මෙසේ කියන්නාහුය. ‘ඔබ කියන ලද ඉතා ලක්ෂණ ඇති ස්ත්‍රිය ජනපද කල්‍යාණිය ඕනෑ කෙරෙහිද කැමැත්තෙහිද? ඒ ජනපද කල්‍යාණිය ක්ෂත්‍රිය කුලයෙහි හෝ බමුණු කුලයෙහි හෝ වෙළඳ කුලයෙහි හෝ සුද්‍රකුලයෙහි හෝ කියා දන්නේදැ”යි ඇසූ කල ඔහු ‘නොදනිමි’ කියයි. ඒ මේ පුරුෂයාහට මෙසේ කියන්නාහුය, ‘පුරුෂය, ඔබ යම් ජනපද කල්‍යාණියක් ඕනෑ කෙරෙහිද කැමැත්තෙහිද ඒ ජනපද කල්‍යාණි මේ නම් ඇත්තීය, මේ ගොත්‍ර ඇත්තීය කියා හෝ උසස් හෝ, මිටිය හෝ, මධ්‍යමය කියා හෝ කළුය හෝ, රන්වන්ය හෝ දුඹුරුවන්ය හෝ නියම් ගමෙහි හෝ නුවරෙහි හෝ කියා දන්නෙහිදැ’යි මෙසේ අසන ලද්දේ ‘නොදනිමි’යි කියන්නේය. ඒ මේ අයට මෙසේ කියන්නාහුය. ‘පුරුෂය, ඔබ යම් ස්ත්‍රියක් නොදන්නෙහිද නොදක්නෙහිද ඔබ ඈ ඕනෑ කෙරෙහි කැමැත්තෙහිදැ’යි මෙසේ ඇසූ කල ‘එසේය’යි කියන්නේය. පොට්ඨපාදය ඒ කුමකැයි සිතන්නෙහිද? මෙසේ ඇති කල ඒ පුරුෂයාගේ කීම උත්තර නැති බවට පැමිණේ නොවේදැයි” ඇසූසේක.

“ස්වාමීනි, එසේ ඇති කල ඒ පුරුෂයාගේ කීම ඇත්තෙන්ම උත්තර නැති බවට පැමිණේමය”යි කීයේය.

“පොට්ඨපාදය, එසේම එකාන්ත සැප ඇති මරණින් මතු සදාකාලික ආත්මයක් ඇත්තේය’ යන මෙවැනි වාද ඇත්තාවූ මෙවැනි ඇදහීම් ඇත්තාවූ යම් ඒ මහණ බමුණු කෙනෙක් ඇද්ද ඔවුන්ට මම මෙසේ කියමි.

“ආයුෂ්මතුනි, ඔබලා ‘එකාන්ත සැප ඇති මරණින් මතු සදාකාලික ආත්මයක් ඇත්තේය’ යන මෙවැනි වාද ඇත්තාහු මෙවැනි ඇදහීම් ඇත්තාහුය යන කීම සැබෑදැයි මා විසින් ඇසූ කල ‘එසේයයි’ කියන්නවුන්ට මම මෙසේ කියමි. කිමෙක්ද ආයුෂ්මතුනි, ඔබලා එකාන්ත සැප ඇති ලොකය නැගෙනහිර දිසාවෙහි හෝ බස්නාහිර දිසාවෙහි හෝ වේදැයි දැන හෝ දැක වාසය කරව්දැයි මෙසේ අසන ලද්දාහු නොදනිමුයයි කියත්ද මම ඔවුන්ට මෙසේ කියමි. ‘කිමෙක්ද? ආයුෂ්මත්හු එක් රාත්‍රියක් මුළුල්ලේ හෝ එක් දවාලක් මුළුල්ලේ හෝ එක් රාත්‍රි බාගයක් මුළුල්ලේ හෝ එක් දාවල් බාගයක් මුළුල්ලේ හෝ ඒකාන්ත සැප ඇති ආත්මයක් දනිව්දැ’යි මෙසේ ඇසූ කල ‘නොදනිමුය’යි කියත් ඔවුන්ට මම මෙසේ කියමි. ‘කිමෙක්ද? ආයුෂ්මතුනි, ඒකාන්ත සැප ඇති ලොකය අවබොධකිරීම පිණිස මාර්ගය මෙය, පිළිපැදීම මේයයි දනිව්දැයි’ මෙසේ ඇසූ කල ඔව්හු නොදනිමුයයි” කියත්. ඔවුන්ට මම මෙසේ කියමි කිමෙක්ද? ආයුෂ්මතුනි, ඔබලා යම් ඒ දේවතාවෝ ඒකාන්ත සැප ඇති ලොකයෙහි උපන්නාහු දුක් නැත්තානනි, එකාන්ත සැප ඇති ලොකය අවබොධ කරගැනීම පිණිස හොඳින් පිළිපදිව් අවංකව පිළිපදිව් දුක් නැත්තනි, අපිද මෙසේ පිළිපදින්නාහු එකාන්ත සැප ඇති ලොකයෙහි උපන්නෙමුයයි කියන්නාවූ ඒ දේවතාවන්ගේ ශබ්ද අසව්දැයි මෙසේ ඇසූ කල “මෙවැනි ශබ්දයක් නොඇසුයෙමුයයි, කියත්. “පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නෙහිද? එසේවූ කල ඒ මහණ බමුණන්ගේ කීම උත්තර නැති කීමක් බවට පැමිණෙන්නේ නොවේදැයි’ ඇසූසේක.

“ස්වාමීනි, එසේ ඇති කල ඒ මහණ බමුණන්ගේ කීම උත්තර නැති කීමක් බවට ඒකාන්තයෙන් පැමිණේය”යි කීයේය.

Msdiv 427 ‘පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් ප්‍රාසාදයකට නගිනු පිණිස සතරමංසන්ධියෙහි හිණිමගක් කරන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. පින්වත් පුරුෂය, ඔබ යම් ප්‍රාසාදයකට නගිනු පිණිස හිණිමගක් කෙරෙහිද ඒ ප්‍රාසාදය නැගෙනහිර දිසාවෙහිය කියා හෝ, දකුණු දිසාවෙහිය කියා හෝ බස්නාහිර දිසාවෙහිය කියා හෝ, උතුරු දිසාවෙහිය කියා හෝ දන්නෙහිද, උස්ය මිටිය මධ්‍යමය කියා හෝ දන්නෙහිදැයි අසනලද්දේ “නොදනිමි”යි කියන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. පින්වත් පුරුෂය, යම් ප්‍රාසාදයක් ඔබ නොදන්නෙහිද නොදක්නෙහිද ඒ නොදන්නා නොදක්නා ප්‍රාසාදයට ඔබ හිණිමගක් කරන්නෙහිදැයි අසන ලද්දේ එසේයයි කියන්නේය. පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නෙහිද? එසේ කල ඒ පුරුෂයාගේ කීම උත්තර නැති කීමක් බවට පැමිණෙන්නේ නොවේදැයි ප්‍රකාශ කළසේක. ස්වාමීනි, එසේ කල ඔහුගේ කීම උත්තර නැති කීමක් බවට පැමිණේමයයි කීයේය.

“පොට්ඨපාදය, එපරිද්දෙන්ම යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ‘මරණින් මත්තෙහි සදාකාලිකවූ ඒකාන්තයෙන් සැප වන්නාවූ ආත්මයක් ඇත’ යන මෙබඳු වාද ඇත්තාහු. මෙබඳු දැකීම් ඇත්තාහු වෙත්ද මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි. ආයුෂ්මතුනි, තොපි මරණින් පසු සදාකාලිකවූ එකාන්ත සැප ඇති ආත්මයක් ඇත යන මෙබඳු වාද ඇත්තාහුය මෙබඳු දැකීම් ඇත්තාහුය යනු සැබෑදැයි මා විසින් අසනු ලැබූ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉදින් ‘එසේය’යි උත්තර දෙත් නම් ඔවුන්ට මම මෙසේ කියමි. ආයුෂ්මතුනි, තෙපි ඒ ඒකාන්ත සැප ඇති ලොකය නැගෙනහිර දිග්භාගයෙහි හෝ බස්නාහිර ආදී දිග්භාගයන්හි හෝ ඇත්තේයයි දන්නෝව දක්නෝව වාසය කරව්දැයි අසන ලද්දාහු ‘නොදන්නෙමු’යයි කියත්. ඔවුන්ට මම මෙසේ කියමි. කිමෙක්ද ආයුෂ්මතුනි තෙපි එක් රාත්‍රියක් මුළුල්ලේ හෝ එක් දවාලක් මුළුල්ලේ හෝ රාත්‍රි වරුවක් මුළුල්ලේ හෝ දවල් වරුවක් මුළුල්ලේ හෝ එකාන්ත සැප ඇති ආත්මයක් දනිව්දැයි මෙසේ අසන ලද්දාවූ ඔව්හු ‘නොදනිමු’යයි කියත්. ඔවුන්ට මම මෙසේ කියමි. කිමෙක්ද ආයුෂ්මතුනි, ඒ ඒකාන්ත සැප ඇති ලොකයට පැමිණීම පිණිස මාර්ගය මේය ප්‍රතිපදාව මේයයි දනිව්දැයි මෙසේ අසනලද්දාහු නොදනිමුයයි කියත්. ඔවුන්ට මම මෙසේ කියමි. කිමෙක්ද ආයුෂ්මතුනි, යම් ඒ දේවතා කෙනෙක් එකාන්ත සැප ඇති ලොකයෙහි ඉපද සිටින්නාහු තෙපි, “නිදුකානෙනි, එකාන්ත සැප ඇති ලොකයට පැමිණීම පිණිස හොඳින් පිළිපදිව්, අවංකව පිළිපදිව්, නිදුකානෙනි, අපිද එසේ පිළිපැද එකාන්ත සැප ඇති ලොකයට පැමිණ සිටිමුය” කියන ඒ දේවතාවන්ගේ ශබ්දයක් අසව්දැයි අසන ලද්දාහු ‘නොඇසුවෙමු’යි කියත්. පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නෙහිද එසේ ඇති කල්හි ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ කීම උත්තර නැති බවට පැමිණියේ නොවේදැ’යි කීසේක. “ස්වාමීනි, එසේ ඇතිකල ඔවුන්ගේ කීම උත්තර නැති බවට පැමිණේමය”යි කීයේය.

තයො අත්තපටිලාභා Msdiv 428 පොට්ඨපාදය, කාමභවයෙහි ආත්ම භාවයක් ලැබීම රූපභවයෙහි ආත්ම භාවයක් ලැබීම අරූප භවයෙහි ආත්ම භාවයක් ලැබීමයයි ආත්මභාව ලැබීම් තුනක් වෙත්. පොට්ඨපාදය, කාම භවයෙහි ආත්මභාව ලැබීම කවරේද? රූප සහිතවූ සතර මහාභූතයන්ගෙන් උපන්නාවූ කන බොන ආහාර ගන්නාවූ යම් ආත්මයක් ලැබීමක් වේද? මෙය කාම භවයෙහි ආත්ම ලැබීම වේ. රූපභවයෙහි ආත්ම ලැබීම කුමක්ද? රූපීවූ සිතින් උපන්නාවූ සියලු අංගකොටස් ඇත්තාවූ නොපිරිහුණු ඉඳුරන් ඇත්තාවූ යම් ආත්මයක් ලැබීමක් වේද? මෙය රූපභවයෙහි ආත්ම ලැබීම වෙයි. අරූපවූ ආත්ම ලැබීම කවරේද? අරූපීවූ හැඟීමෙන් උපන්නාවූ ආත්ම ලැබීම කවරේද? අරූපීවූ හැඟීමෙන් උපන්නාවූ ආත්ම ලැබීමක වේද, මෙය අරූපවූ ආත්ම ලැබීමවේ.

Msdiv 429 පොට්ඨපාදය, මම කාමභවයෙහි ආත්ම ලැබීම නැති කිරීම පිණිස ධර්ම දෙශනා කරමි. යම්සේ පිළිපැද්දාවූ තොපගේ ක්ලේශ ධර්ම පහවන්නාහුද ශමථ විදර්ශනා ධ්‍යාන සංඛ්‍යාත සිත පිරිසිදුකරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද මාර්ගඵල ප්‍රඥාවන්ගේ පිරීමද මහත්භාවයද මේ ආත්මයෙහි තමන්ම උසස් ඥානයෙන් දැන අවබොධකොට පැමිණ වාසය කරන්නාහුයයි පොට්ඨපාදය, ක්ලෙශ සහිත ධර්ම පහවන්නාහුද සිත පිරිසිදු කරන්නාවූ ධර්මයෝ වැඩෙන්නාහුද මාර්ගඵල ප්‍රඥාවන්ගේ පිරීමද මහත් භාවයද මේ ආත්මයෙහි තමන්ම උසස් ඥානයෙන් දැන අවබොධකොට පැමිණ වාසය කරන්නේද ඔහුගේ වාසයකිරීම දුක්යයි ඔබට මෙබඳු කල්පනාවක් වන්නේද? පොට්ඨපාදය, මේ කාරණය එසේ නොදතයුතුය. කෙලෙස් සහිත ධර්ම පහවන්නාහුද සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද මාර්ග ඵල ප්‍රඥාවන්ගේ වැඩීමද මහත් භාවයද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබොධකොට පැමිණ වාසය කරන්නේනම් මහත් සන්තෝසයද ප්‍රීතියද සිත හා ශරීරයේ සංසිඳීමද යහපත්ව පිහිටි සිහියද සියලු වාසය කිරීම් අතුරෙන් සැපවූ වාසය කිරීමක්ද වන්නේය.

Msdiv 430 “පොට්ඨපාදය, යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාහුද සිතපිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද, මාර්ගඵල ප්‍රඥා වැඩීමද මේ ආත්මයෙහි තමන් උසස් ඥානයෙන් දැන අවබොධ කොට පැමිණ වාසය කරන්නේ වේද, මම රූප භවයෙහි ආත්ම ලැබීම පහකිරීම පිණිස ධර්ම දෙශනා කරමි.

“පොට්ඨපාදය, කෙලෙස් සහිත ධර්ම පහවන්නාහුද සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද, මාර්ගඵල ප්‍රඥාවන්ගේ පිරීමද මහත් බවද මේ ආත්මයෙහි තමන් උසස් ඥානයෙන් දැන අවබොධ කොට පැමිණ වාසය කරන්නේද ඔහුගේ වාසය කිරීම දුක්යයි ඔබට මෙවැනි කල්පනාවක් වන්නේද මේ කාරණය එසේ නොදත යුතුය. කෙලෙස් සහිත ධර්ම පහවන්නාහුද, සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද, මාර්ගඵල ප්‍රඥා වැඩීමද මහත් බවද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබොධ කොට පැමිණ වාසය කරන්නේ නම් මහත් සතුටද, ප්‍රීතියද සිත හා ශරීරයේ සංසිඳීමද යහපත්ව පිහිටි සිහියද සියලු වාසය කිරීම් අතුරෙන් සැපවූ වාසය කිරීමද වන්නේය.

Msdiv 431 “පොට්ඨපාදය, යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාහුද සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද, මාර්ගඵල ප්‍රඥාවන්ගේ පිරීමද මහත් බවද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබොධ කොට පැමිණ වාසය කරන්නේද, මම අරූපවූ ආත්ම ලැබීම පහකිරීම පිණිස ධර්ම දෙශනා කරමි. පොට්ඨපාදය, කෙලෙස් සහිත ධර්ම පහවන්නාවූද සිතපිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාවූද මාර්ගඵල ප්‍රඥා පිරීමද මහත් බවද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබොධ කොට පැමිණ වාසය කරන්නේද ඔහුගේ දුක්වූ වාසය කිරීමක් වේයයි ඔබට මෙවැනි කල්පනාවක් වන්නේද?

“පොට්ඨපාදය, මේ කාරණය එසේ නොදත යුතුයි. කෙලෙස් සහිත ධර්ම පහවන්නාවූද, පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාවූද, මාර්ගඵල ප්‍රඥාවන්ගේ පිරීමද මහත් බවද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරන්නේ නම් මහත් සතුටද, ප්‍රීතියද සිත හා ශරීරයේ සංසිඳීමද සිහියද ඥානයද සැපවූ වාසයද වන්නේය.

Msdiv 432 “පොට්ඨපාදය, යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාවූද, සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාවූද මාර්ගඵල ප්‍රඥා පිරීමද මහත් බවද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරව් යයි යම් කාම භවයෙක්හි ආත්ම ලැබීම පහ කිරීම පිණිස ඔබවහන්සේ ධර්ම දෙශනා කරණ සේක්ද, ඇවැත්නි, කාම භවයෙහි ආත්ම ලැබීම කවරේදැයි ඉදින් අන්‍යයෝ අපගෙන් මෙසේ අසනකල එසේ අසන ලද්දාවූ අපි යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාවූ, සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාවූද, මාර්ගඵල ප්‍රඥා පිරීමද, මහත් බවද, මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරව්යයි මෙසේ කාම භවයෙහි ආත්ම ලැබීම පහකිරීම පිණිස අපි ධර්ම දෙශනා කරමුද, ඇැත්නි, ඒ ආත්ම ලැබීම මේ හෝ වේයයි ප්‍රකාශ කරන්නෙමු.

Msdiv 433 “පොට්ඨපාදය, යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාහුද, සිත පිරිසිදු වන්නාවූ ධර්ම වැඩෙන්නාහුද, මාර්ගඵල ප්‍රඥා පිරීමද, මහත් බවද, මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබොධ කොට පැමිණ වාසය කරව්යයි ඔබවහන්සේ යම් රූප භවයෙක්හි ආත්ම ලැබීමක් දුරුකිරීම පිණිස ධර්ම දෙශනා කරණ සේක්ද, ඇවැත්නි, ඒ රූප භවයෙහි ආත්ම ලැබීම කවරේදැයි ඉදින් අන්‍යයෝ අපගෙන් මෙසේ අසන කල, මෙසේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාවූද, සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද මාර්ගඵල ප්‍රඥාවන්ගේ පිරීමද, මහත් බවද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබොධ කොට පැමිණ වාසය කරව්යයි යම් රූප භවයෙක්හි ආත්ම ලැබීම දුරුකිරීම පිණිස අපි ධර්ම දෙශනා කරමුද, ඇවැත්නි, ඒ රූපභවයෙහි ආත්ම ලැබීම මේ හෝ වේයයි මෙසේ ප්‍රකාශ කරන්නෙමු.

Msdiv 434 “පොට්ඨපාදය, යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාහුද, සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද, මාර්ග ප්‍රඥා පිරීමද මහත් බවද, මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරව්යයි යම් අරූප ආත්ම ලැබීම පහකිරීම පිණිස ඔබවහන්සේ ධර්ම දේශනා කරණ සේක්ද? ඇවැත්නි, ඒ අරූපාත්ම ලැබීම කවරේ දැයි, ඉදින් අන්‍යයෝ අපගෙන් මෙසේ අසන්නාහුද, එසේ අසන ලද්දාවූ අපි යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාහුද, සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද මාර්ගඵල ප්‍රඥාවන්ගේ මහත් බවද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබොධ කොට පැමිණ වාසය කරව්යයි යම් අරූප ආත්ම ලැබීම දුරුකිරීම පිණිස අපි ධර්ම දෙශනා කරමුද? ඇවැත්නි, ඒ අරූප ආත්ම ලැබීම මේයයි ඔවුන්ට අපි ප්‍රකාශ කරන්නෙමු.

පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නෙහිද? එසේ ඇති කල මා දෙසූ ධර්මය උත්තර සහිත බවට පැමිණෙන්නේ නොවේ දැයි කී සේක.

“ස්වාමීනි, එසේ ඇති කල ඔබ වහන්සේ දෙසූ ධර්මය උත්තර සහිත බවට ඒකාන්තයෙන් පැමිණේමයයි කීයේය.

Msdiv 435 “පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් ප්‍රාසාදයකට නගිනු පිණිස ඒ ප්‍රාසදය යට ඉණිමගක් කරන්නේය. ඒ මේ පුරුෂයාහට, පුරුෂය, ඔබ යම් ප්‍රාසාදයකට නගිනු පිණිස ඉණිමගක් කරන්නෙහිද, ඒ ප්‍රාසාදය නැගෙනහිර දිසාවෙහි දැයි කියා හෝ දකුණු දිසාවෙහිදැයි කියා හෝ උතුරු දිසාවෙහි දැයි කියා හෝ උස් දැයි කියා හෝ මිටි දැයි කියා හෝ මධ්‍යම දැයි කියා හෝ දන්නෙහි දැයි මෙසේ කියන්නාහුද, ඇවැත්නි, යම් ප්‍රාසාදයකට නගිනු පිණිස ඒ ප්‍රාසාදයේම යට ඉණිමගක් කෙරෙම්ද ඒ මේ ප්‍රාසාදයයි ඉදින් ඔහු මෙසේ කියන්නේද, පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නෙහිද? එසේ ඇති කල ඒ පුරුෂයාගේ කීම උත්තර සහිත බවට පැමිණේ නොවේදැ”යි ඇසූසේක.

“ස්වාමීනි, මෙසේ ඇති කල ඒ පුරුෂයාගේ කීම උත්තර සහිත බවට පැමිණේමයයි” කීයේය.

Msdiv 436 පොට්ඨපාදය, එසේම ඉදින් අපෙන් මෙසේ අසන්නාහුද, ඇවැත්නි, යම්සේ පිළිපදින්නාවූ ඔබගේ සිත කිලුටු කරන්නාවූ ධර්ම පහවන්නාහුද, සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද, මාර්ගඵල ප්‍රඥාවන්ගේ පිරීමද, මහත් බවද, මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබොධ කොට පැමිණ වාසය කරව් යයි ඔබවහන්සේ යම් ආත්ම ලැබීමක් පහකිරීම පිණිස ධර්ම දෙශනා කරණසේක්ද, ඇවැත්නි, ඒ කාමභවයෙහි ආත්ම ලැබීම කවරේද? එසේ අසන ලද්දාවූ අපි යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහ වන්නාහුද සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද, මාර්ග ඵල ප්‍රඥා පිරීමද, මහත් බවද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබොධ කොට පැමිණ වාසය කරව්යයි යම් කාමභවයෙක්හි ආත්ම ලැබීමක් දුරුකිරීම පිණිස අපි ධර්ම දෙශනා කරමුද, ඇවැත්නි, ඒ කාමභවයෙහි ආත්ම ලැබීම මේයයි ඔවුන්ට අපි ප්‍රකාශ කරන්නෙමු. පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නෙහිද? එසේවූ කල මා දෙසූ ධර්මය උත්තර සහිත බවට පැමිණෙන්නේ නොවේදැයි” ඇසූසේක.

“ස්වාමීනි, එසේවූ කල ඔබවහන්සේ දෙසූ ධර්මය උත්තර සහිත බවට එකාන්තයෙන් පැමිණෙන්නේයයි” කීයේය.

“පොට්ඨපාදය, එසේය. ඉදින් අපෙන් මෙසේ අසන්නාහුද, ඇවැත්නි, යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාහුද, සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද, මාර්ගඵල ප්‍රඥාවන්ගේ පිරීමද, මහත් බවද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබොධකොට පැමිණ වාසය කරව්යයි ඔබවහන්සේ යම් රූපභවයෙක්හි ආත්ම ලැබීමක් පහකිරීම පිණිස ධර්ම දේශනා කරණසේක්ද ඇවැත්නි, ඒ රූපභවයෙහි ආත්ම ලැබීම කවරේද? එසේ අසන ලද්දාවූ අපි යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාහුද සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද මාර්ග ඵලප්‍රඥා පිරීමද මහත් බවද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබොධ කොට පැමිණ වාසය කරව්යයි යම් රූපභවයෙක්හි ආත්ම ලැබීම දුරුකිරීම පිණිස අපි ධර්ම දෙශනා කරමුද, ඇවැත්නි, ඒ රූපභවයෙහි ආත්ම ලැබීම මේයයි ඔවුන්ට අපි ප්‍රකාශ කරන්නෙමු. පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නෙහිද? එසේ වූ කල මා දෙසූ ධර්මය උත්තර සහිත බවට පැමිණෙන්නේ නොවේ දැයි” ඇසූසේක.

“ස්වාමීනි, එසේවූ කල ඔබවහන්සේ දෙසූ ධර්මය උත්තර සහිත බවට ඒකාන්තයෙන් පැමිණේමයයි” කීයේය.

(අරූපාත්ම සඳහාද මේ පරිදිම විය යුතුය, එම කොටස අඩුය)

Msdiv 437 මෙසේ කී කල (හස්ත්‍යාචාර්ය) ඇතුන් හික්මවන්නාගේ පුත්‍රවූ චිත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීයේය. “යම් කලෙක කාමභවයෙහි ආත්ම ලැබීමක් වේද එකල ඔහුට රූපභවයෙහි ආත්ම ලැබීමක් නැත්තේ වෙයි. අරූපවූ ආත්ම ලැබීමක් නැත්තේ වෙයි. එකල මොහුට කාමභවයෙහි ආත්ම ලැබීම ඇත්තේ වෙයි. ස්වාමීනි, යම් කලක රූපභවයෙහි ආත්ම ලැබීමක් වේද, එකල මොහුට කාමභවයෙහි ආත්ම ලැබීමක් නැත්තේය, අරූපවූ ආත්ම ලැබීමක් නැත්තේය. එකල මොහුට රූපභවයෙහි ආත්ම ලැබීම ඇතිවූයේ වෙයි. ස්වාමීනි, යම් කලක අරූපවූ ආත්ම ලැබීමක් වේද, එකල මොහුට කාමභවයෙහි ආත්ම ලැබීමක් නැත්තේය. රූපභවයෙහි ආත්ම ලැබීමක් නැත්තේ වෙයි. එකල මොහුට අරූපවූ ආත්ම ලැබීම ඇත්තේ වෙයි.”

“චිත්‍රය, යම් කලක කාමභවයෙහි ආත්ම ලැබීමක් වේද, එකල රූපභවයෙහි ආත්මභාව ලැබීම යන කොටසට නොපැමිණෙයි. අරූපවූ ආත්මභාව ලැබීම යන කොටසට නොපැමිණෙයි. එකල කාමභවයෙහි ආත්ම භාව ලැබීම යන කොටසට පැමිණෙයි. චිත්‍රය, යම් කලක රූප භවයෙහි ආත්ම ලැබීමක් වේද, එකල කාමභවයෙහි ආත්ම භාව ලැබීම යන කොටසට නොපැමිණෙයි. අරූපවූ ආත්ම ලැබීම යන කොටසට නොපැමිණෙයි. රූපභවයෙහි ආත්ම ලැබීම යන කොසට පැමිණෙයි. චිත්‍රය යම් කලක අරූපවූ ආත්ම ලැබීමක් වේද, එකල කාමභවයෙහි ආත්ම ලැබීම යන කොටසට නොපැමිණෙයි. රූපභවයෙහි ආත්මයක් ලැබීම යන කොටසට නොපැමිණෙයි. අරූපවූ ආත්ම ලැබීම යන කොටසට පැමිණෙයි.

Msdiv 438 චිත්‍රය, ඉදින් ඔබගෙන් මෙසේ අසන්නාහු නම් ඔබ අතීත කාලයේ වූයෙහිද නුවූයේ නොවෙහිද, ඔබ මතු කාලයෙහි නොවන්නෙහිද, ඔබ නොවන්නේ නොවන්නෙහිද, ඔබ දැන් ඇත්තෙහිද, ඔබ නැත්තේ නොවෙහිදැ”යි චිත්‍රය, මෙසේ අසන ලද්දාවූ ඔබ කුමකැයි ප්‍රකාශ කරන්නෙහිද?”

“ස්වාමීනි, ඉදින් මාගෙන් මෙසේ අසන්නාහු නම් ඔබ, අතීත කාලයෙහි වූයෙහිද ඔබ නුවූයේ නොවෙහිද, ඔබ මතු කාලයෙහි නොවන්නෙහිද, ඔබ නොවන්නේ නොවන්නෙහිද, ඔබ දැන් ඇත්තෙහිද, ඔබ නැත්තේ නොවෙහිදැයි, ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි. මම අතීත කාලයෙහි වීමි. මම නුවූයේ නොවෙමි. මම අනාගතයෙහි වන්නෙමි. මම නොවන්නේ නොවෙමි. මම දැන් ඇත්තේ වෙමි. මම නැත්තේ නොවෙමි. ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමියි” කීයේය.

“චිත්‍රය, ඔබගෙන් මෙසේ අසන්නාහු නම්, ‘ඔබගේ යම් අතීත ආත්මයක් ලැබීමක් වූයේද එයම ඔබට ඇත්තේ නොවේද? එකල අනාගත ආත්මය නැත්තේ නොවේද වර්තමාන (දැන් පවත්නා) ආත්මය නැත්තේ නොවේද? ඔබගේ යම් අනාගත ආත්මයක් වන්නේ නම්, එයම ඔබට ඇත්තේ නොවේද? අතීත ආත්මය නැත්තේ නොවේද? වර්තමාන ආත්මය නැත්තේ නොවේද? ඔබගේ යම් වර්තමාන ආත්මයක් වේද? එයම ඔබට ඇත්තේ නොවේද? අතීත ආත්මයක් නැත්තේ නොවේද? අනාගත ආත්මයක් නැත්තේ නොවේදැ”යි චිත්‍රය, මෙසේ අසන ලද්දාවූ ඔබ කිමෙකැයි කියන්නෙහිදැ”යි ඇසීය.

“ස්වාමීනි, මාගෙන් මෙසේ අසන්නාවූ නම්, “තාගේ යම් අතීතයෙහි ආත්මයක් ලැබීමක් වීද ඔබගේ ඒ ආත්මයම ඇත්තේ නොවේද එකල අනාගත ආත්මය සහ වර්තමාන ආත්මය නැත්තේ නොවේද? යම් අනාගත ආත්ම භාවයක් ලබන්නේ වේද, එයම ඔබට ඇත්තේ නොවේද? එකල අතීත සහ වර්තමාන ආත්ම භාවය නැත්තේ නොවේද, ඔබගේ යම් මේ වර්තමාන ආත්මයක් වේද? එයම ඔබට ඇත්තේ නොවේද? අනාගත ආත්මය නැත්තේ නොවේද? වර්තමාන ආත්මයක් නැත්තේ නොවේදැයි මෙසේ අසන ලද්දාවූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි, මාගේ යම් අතීතවූ ආත්මය ලැබීමක් වීද, මාගේ ඒ ආත්මය ලැබීම ඒ කාලයෙහි ඇත්තේම විය. අනාගතයෙහි ඒ ආත්මය ලැබීමක් නොවන්නේය. දැන් කාලයේ ඒ ආත්මය ලැබීම නැත්තේය. මාගේ යම් අනාගතවූ ආත්ම ලැබීමක් වන්නේද, ඒ මාගේ අනාගත ආත්මය ඒ කාලයේ වන්නේය. අතීතයෙහි ඒ අනාගත ආත්ම ලැබීම නැත්තේය. දැන් කාලයෙහිද ඒ ආත්මය ලැබීම නැත්තේය. මාගේ යම් දැන් මේ කාලයේ ආත්ම ලැබීමක් වේද, ඒ මාගේ ආත්ම ලැබීම දැන් මේ කාලයෙහි වේ. අතීතයෙහි ඒ ආත්ම ලැබීම නැත්තේය. අනාගතයෙහි ඒ ආත්මය ලැබීම නොවන්නේයයි, ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි”යි කීයේය.

Msdiv 439 “චිත්‍රය, එසේම යම් කලක කාමභවයෙහි ආත්ම ලැබීමක් වේද එකල රූපභවයෙහි ආත්ම ලැබීම නොවෙයි යන කොටසට පැමිණෙයි. අරූපවූ ආත්ම ලැබීම නොවෙයි යන කොටසට පැමිණෙයි. එකල කාමභවයෙහි ආත්ම ලැබීම යන කොටසට පැමිණෙයි.

“චිත්‍රය, යම් කලක රූපභවයෙහි ආත්ම ලැබීමක් වේද එකල කාමභවයෙහි ආත්ම ලැබීම නෙවෙයි යන කොටසට පැමිණෙයි. අරූප ආත්ම ලැබීම නොවෙයි යන කොටසට පැමිණෙයි. එකල රූපභවයෙහි ආත්ම ලැබීම යන කොටසටම පැමිණෙයි. චිත්‍රය, යම් කලක අරූප ආත්ම ලැබීමක් වේද එකල කාමභවයෙහි ආත්මභාව ලැබීම යන කොටසට නොපැමිණෙයි. රූපභවයෙහි ආත්ම ලැබීම යන කොටසට නොපැමිණෙයි. එකල අරූපවූ ආත්ම භාව ලැබීම යන කොටසට පැමිණෙයි.

Msdiv 440 “චිත්‍රය, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දීද දියෙන් වෙඬරුද, වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයද වෙයි. යම් කලක කිරිවේද, එකල දිය යන කොටසට නොපැමිණේද, වෙඬරුය යන කොටසට නොපැමිණේද ගිතෙල්ය යන කොටසට නොපැමිණේද, ගිතෙල් මණ්ඩය යන කොටසට නොපැමිණේද එකල කිරිය යන කොටසටම පැමිණේද යම් කලක දී වේද, එකල කිරි යන කොටසට නොපැමිණේද, වෙඬරු යන කොටසට නොපැමිණේද ගිතෙල් යන කොටසට නොපැමිණේද, ගිතෙල් මණ්ඩය යන කොටසට නොපැමිණේද එකල දී කොටසටම පැමිණේද, යම් කලක වෙඬරු වේද, එකල කිරි යන කොටසට නොපැමිණේද, දී යන කොටසට නොපැමිණේද, ගිතෙල් යන කොටසට නොපැමිණේද, ගිතෙල් මණ්ඩය යන කොටසට නොපැමිණේද, එකල වෙඬරු යන කොටසටම පැමිණේද, යම් කලක ගිතෙල් වේද, එකල කිරි යන කොටසට නොපැමිණේද, දී යන කොටසට නොපැමිණේද, වෙඬරු යන කොටසට නොපැමිණේද, ගිතෙල් මණ්ඩය යන කොටසට නොපැමිණේද, එකල ගිතෙල් යන කොටසටම පැමිණේද, යම් කලක ගිතෙල් මණ්ඩය වේද එකල කිරි යන කොටසට නොපැමිණේද, දී යන කොටසට නොපැමිණේද වෙඬරු යන කොටසට නොපැමිණේද ගිතෙල් යන කොටසට නොපැමිණේද, එකල ගිතෙල් මණ්ඩය යන කොටසටම පැමිණේද.

“චිත්‍රය, එමෙන්ම යම් කලක කාමභවයෙහි ආත්ම ලැබීමක්වේද, එකල රූපභවයෙහි ආත්ම ලැබීමය යන කොටසට නොපැමිණෙයි. අරූපවූ ආත්ම ලැබීමය යන කොටසට නොපැමිණෙයි. එකල කාමභවයෙහි ආත්ම කොටසටම පැමිණෙයි. චිත්‍රය යම් කලක රූපභවයෙහි ආත්ම ලැබීමක් වේද, එකල කාමභවයෙහි ආත්ම ලැබීමය යන කොටසට නොපැමිණෙයි, අරූපවූ ආත්ම ලැබීම යන කොටසට නොපැමිණෙයි, එකල රූප භවයෙහි ආත්ම ලැබීම යන කොටසටම පැමිණෙයි. යම් කලක අරූපවූ ආත්ම ලැබීමෙක් වේද, එකල කාමභවයෙහි ආත්ම ලැබීම යන කොටසට නොපැමිණෙයි. රූපභවයෙහි ආත්ම ලැබීම යන කොටසට නොපැමිණෙයි. එකල අරූපවූ ආත්ම ලැබීම යන කොටසට පැමිණෙයි. චිත්‍රය, යම් නාමයන් තථාගත තෙම ව්‍යවහාර කෙරේද. ලොභ (දෘෂ්ටි) ඇදහීම් වශයෙන් නොගණීද, මේ ‘කාමභවයෙහි ආත්ම ලැබීම’ යන නාම ලෝකයාගේ නාම වෙත්. ලෝකයාගේ වචන වෙත් ලොකව්‍යවහාර වෙත්. ලෝකයාගේ පැණවීම් වෙත්යයි” කීසේක. “චිත්‍රය, යම් නාමයන් තථාගත තෙම ව්‍යවහාර කෙරේද, ලොභ ඇදහීම් වශයෙන් නොගණීද මේ ‘රූපභවයෙහි ආත්ම ලැබීම’ යන නාම ලෝකයාගේ නාම වෙත්. ලෝකයාගේ වචන වෙත්. ලොක ව්‍යවහාර වෙත්. ලෝකයාගේ පැණවීම් වෙත්යයි,’ කීසේක. “ චිත්‍රය, යම් නාමයන් තථාගත තෙම ව්‍යවහාර කෙරේද ලොභ ඇදහීම් වශයෙන් නොගණීද, මේ ‘අරූප ආත්ම ලැබීම’ යන නාම ලෝකයාගේ නාම වෙත්. ලෝකයාගේ වචන වෙත්. ලොක ව්‍යවහාර වෙත්. ලොකයාගේ පැණවීම් වෙත්යයි” කීසේක.

Msdiv 441 මෙසේ කී කල පොට්ඨපාද පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීයේය. “ස්වාමීනි, ධර්ම දේශනාව ඉතා යහපති. ස්වාමීනි, ධර්ම දේශනාව ඉතා යහපති, ස්වාමීනි, යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේ හෝ යම් සේද, වසන ලද්දක් විවෘත කරන්නේ හෝ යම්සේද, මංමුළා වූවෙකුට මාර්ගය කියන්නේ හෝ යම්සේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි හෝ තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද එසේම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනාකරන ලද්දේය. ස්වාමීනි, මේ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. භාග්‍යවත් තෙම මා අද පටන් පණ ඇති තෙක් සරණ ගියාවූ උපාසකයෙකැයි දරා ගන්නාසේක්වා.”

චිත්තහත්ථිසාරිපුත්තඋපසම්පදා Msdiv 442 ඇතුන් හික්මවන්නාගේ පුත්‍රවූ චිත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීයේය. ස්වාමීනි, ධර්ම දේශනාව ඉතා යහපති. ස්වාමීනි, ධර්මදේශනාව ඉතා යහපති. ස්වාමීනි, යටිකුරු කරණලද්දක් උඩුකුරුකරන්නේ හෝ යම්සේද වසන ලද්දක් විවෘතකරන්නේ හෝ යම්සේද, මංමුළාවූවෙකුට මාර්ගය කියන්නේ හෝ යම්සේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහන් දරන්නේ හෝ යම්සේද එසේම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දෙශනා කරණ ලද්දේය. ස්වාමීනි, මේ මම භාග්‍යවතුන්වහන්සේද ධර්මයද සංඝයාද සරණ යමි. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහණකම ලබන්නෙමි, උපසම්පදාවද ලබන්නෙමි.

Msdiv 443 ඇතුන් හික්මවන්නාගේ පුත්‍රවූ චිත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහණකම ලැබූයේය. උපසම්පදාවද ලැබූයේය. මෑත උපසම්පදාවූ ඇතුන් හික්මවන්නාගේ පුත්‍රවූ ආයුෂ්මත් චිත්‍රතෙම සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතුව ආත්ම ආලය දුරුකර වාසය කරමින් කුලපුත්‍රයෝ (යහපත් ගති ඇත්තෝ) යමක් සඳහා හොඳින් ගිහිගෙයින් ගොස් ශාසනයෙහි මහණ වෙත්ද, ඒ උතුම්වූ මාර්ග බ්‍රහ්මචර්යාව අවසන්කොට ඇත්තාවූ නිවණ මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධකොට ඊට පැමිණ වාසය කළේය. උත්පත්තිය නැති විය, මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවන ලද්දේය. කටයුතුකොට නිවෙන ලද්දේය. මේ ස්කන්ධසන්තානය පිණිස අනිකක් නැතැයි දන්නේය. ඇතුන් හික්මවන්නාගේ පුත්‍රවූ ආයුෂ්මත් චිත්‍ර තෙම රහතුන් අතුරෙන් එක් රහත් නමක් වූයේයි.

නවවෙනිවූ පොට්ඨපාද සූත්‍රය නිමියේය.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection