Mindfulness Meditation
Satipaṭṭhāna Sutta
PDFGenerated
A foundational discourse on the four establishments of mindfulness: body, feelings, mind, and principles.
Use it as a meditation map. It works well in short sections rather than a single sitting.
Read here in the library
මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 1. මූල පරියාය වර්ගය 10. සතිපට්ඨාන සූත්‍රය Msdiv 105 “මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාසදම්‍ය නම්වූ කුරු රට වැස්සන්ගේ නියම් ගම වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට, “මහණෙනි”යි කථා කළෝය. භික්ෂූහු “ස්වාමීන් වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළාහුය.
උද්දෙසො Msdiv 106 “මහණෙනි, යම් මේ සතර සතිපට්ඨාන ධර්ම කෙතෙක් ඇද්ද ඒ සතර සතිපට්ඨාන ධර්මයෝ සත්ත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, සෝක කිරීමය, වැළපීමය යනාදීන්ගේ ඉක්මවීම පිණිසද, කයෙහි හටගන්නා දුක්ය. සිතෙහි හටගන්නා දුක්ය, යන මොවුන්ගේ දුරලීම පිණිසද ඤාය නම් ලද ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය අවබොධ කිරීම පිණිසද එකම මාර්ගය වන්නේයයි” දේශනා කළාහුය.
“ඒ සතර (සතිපට්ඨාන ධර්මයෝ) කවරහුද යත්? මහණෙනි, මේ සස්නෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්ය ඇතුව යහපත් ප්‍රඥා ඇතුව, සිහියෙන් යුක්තව මේ ශරීරයෙහි ලෝභයද, ක්‍රොධයද සිංසිඳුවාගෙන, මේ ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, කෙලෙස් තවන වීර්ය ඇතුව, යහපත් ප්‍රඥා ඇතුව සිහි ඇතුව විඳීම් රාශියෙහි, ලෝභය හා දොම්නස (ක්‍රොධය) සංසිඳුවාගෙන විඳීම් කෙරෙහි විඳීම් අනුව දක්නා ස්වභාව ඇතිව වාසයකෙරේද, කෙලෙසුන් තවන වීර්ය ඇතුව යහපත් ප්‍රඥා ඇතුව සිහි ඇතුව සිත් සමූහයෙහි ලෝභය හා දොම්නස (ක්‍රොධය) සංසිඳුවාගෙන සිත් කෙරෙහි සිත් අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, කෙලෙසුන් තවන වීර්ය ඇතිව, සිහි ඇතිව යහපත් ප්‍රඥා ඇතිව, නීවරණාදී ධර්ම රාශියෙහි ලෝභය හා දොම්නස (ක්‍රොධය) සංසිඳුවාගෙන නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව සිහි කරමින් වාසය කෙරේද (මේ සතර සතිපට්ඨාන ධර්මයෝ නම් වෙත්)
උද්දෙසො නිට්ඨිතො.
කායානුපස්සනා ආනාපානපබ්බං Msdiv 107 “මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කැලයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්යංකය බැඳ (අරමිනිය ගොතා ගෙන) ශරීරය කෙළින් පිහිටුවා ගෙන සිහිය ඉදිරිපත් කොට තබා ගෙන හිඳිනේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය, සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය, දීර්ඝ කොට (කල් ගනිමින් හෙමින් හෙමින්) ආශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට (කල් ගනිමින්) ආශ්වාස කරන්නෙමි’යි දන්නේය. දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය ලුහුඬු කොට (ඉක්මණින්) ආශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬු කොට ආශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දන්නේය. මුල මැද අග යන සියලු ආශ්වාසය ප්‍රකට කරගන්නෙමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. මුල මැද අග යන සියලු ප්‍රශ්වාසය දැන ප්‍රකට කරගන්නෙමියි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය.
“මහණෙනි, දක්‍ෂවූ ලියන වඩුවෙක් හෝ ලියන වඩුවෙකුගේ අතවැස්සෙක් හෝ දික් කොට අදින්නේ හෝ දික් කොට අදින්නෙමියි කියා යම්සේ දනීද, ලුහුඬුව අදින්නේ හෝ එසේ ලුහුඬු කොට අදින්නෙමියි කියා යම්සේ දනීද, එපරිද්දෙන්ම මහණෙනි, මහණ තෙමේ දීර්ඝ කොට ආශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ආශ්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය. ලුහුඬුකොට ආශ්වාස කරන්නේ හෝ ලුහුඬුකොට ආශ්වාස කරන්නෙමියි දන්නේය. ලුහුඬුකොට ප්‍රශ්වාස කරන්නේ හෝ ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය. මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස දැන ගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. මුල මැද අග යන සියලු ප්‍රශ්වාස දැනගනිමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. සියලු ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි. යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය.
මෙසේ තමාගේ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ආශ්වාස ප්‍රශ්වාස ශරීරයෙහි හෝ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරය අනුව නුවණින් බලමින් වාසය කරන්නේය. අනුන්ගේ හා තමන්ගේ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරයෙහි හෝ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ හටගැනීම බලමින් හෝ වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ නැතිවීම බලමින් හෝ වාසය කරන්නේය. කලෙක හටගැනීම, කලෙක විනාශය බලමින් හෝ වාසය කරන්නේය. මොහුට සත්ව පුද්ගල නොවූ ආශ්වාස ප්‍රශ්වාස කය පමණක් ඇත්තේය යන සිහිය එළඹ සිටියා වෙයි. එය ඥානය වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද වෙයි. තණ්හා දෘෂ්ටි දෙකින් දුරුව වසන්නේද වේ. එහෙයින් සත්ව ලෝකයෙහි, කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන්) නොගන්නේය. මහණෙනි, මෙසේද මහණතෙම ශරීරයෙහි, ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.”
ආනාපානපබ්බං නිට්ඨිතං.
කායානුපස්සනා ඉරියාපථපබ්බං Msdiv 108 “මහණෙනි, නැවතද මහණ තෙම යන්නේ හෝ යන්නෙමියි දන්නේය. සිටියෝ හෝ සිටියෙමියි දන්නේය. හුන්නේ හෝ හුන්නෙමියි දන්නේය. ශයනය කරන්නේ හෝ ශයනය කරන්නෙමියි දන්නේය. ඔහුගේ කය වනාහි යම් යම් ඉරියව්වකින් පිහිටුවනලදද ඒ ඒ ආකාරයෙන් දන්නේය. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි හටගන්නා ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි හටගන්නා ස්වභාව හා කලෙක විනාශවීම් ස්වභාව දන්නේ හෝ වාසය කරන්නේය. ඒ භික්ෂුවට වනාහි (සත්වයෙක් පුද්ගලයෙක් නොවූ) ශරීර ඉරියව් පමණක් ඇත්තේය, කියා සිහිය එළඹසිටියේ වෙයි. එය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද වෙයි. තණ්හා දෘෂ්ටි දෙකින් (දුරුව) වාසය කරන්නේය. මේ සත්ව ලෝකයෙහි කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන්) නොගනියි මහණෙනි, භික්ෂු තෙම මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
ඉරියාපථපබ්බං නිට්ඨිතං.
කායානුපස්සනා සම්පජානපබ්බං Msdiv 109 “මහණෙනි, නැවතද මහණ තෙමේ ඉදිරියට යාමෙහිද ආපසු ඊමෙහිද සිහියෙන් දැන කරන්නේ වෙයි. ඉදිරිපිට බැලීමෙහිද සරස බැලීමෙහිද ප්‍රඥාවෙන් දැන කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද ප්‍රඥාවෙන් දැන කරන්නේය පාත්‍රා, දෙපට සිවුරු තනිපට සිවුරු දැරීමෙහිද ප්‍රඥාවෙන් දැන දරන්නේය. අනුභව කිරීමෙහිද පානය කිරීමෙහිද, කඩාකෑමෙහිද රස බැලීමෙහිද නුවණින් දැන කරන්නේය. මළමුත්‍ර පහකිරීමෙහිද නුවණින් දැන කරන්නේය. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදීමෙහිද, නිදි දුරුකිරීමෙහිද, කථා කිරීමෙහිද, කථා නොකිරීමෙහිද, ප්‍රඥාවෙන් දැන ඒ ඒ කෘත්‍ය පවත්වන්නේ මෙසේ තමාගේ ශරීරයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ හෝ ශරීරයෙහි ඇතිවීම බලමින් හෝ වාසය කරන්නේය. විනාශය බලමින් හෝ වාසය කරන්නේය. කලෙක ඉපදීම කලෙක නැතිවීම බලමින් හෝ වාසය කරන්නේය. මේ යෝගාවචරයාහට වනාහි සත්වයෙක් පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේයයි සිහිය එළඹ සිටියේ වෙයි, (ඒ සිහිය) ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද වෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙනාගෙන් දුරුව වාසය කරන්නේය. ශරීර ලෝකයෙහි කිසිවක් ආත්ම වශයෙන් නොගන්නේය. මහණෙනි, භික්ෂුව මෙසේද මේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේය.
සම්පජානපබ්බං නිට්ඨිතං.
කායානුපස්සනා පටිකූලමනසිකාරපබ්බං Msdiv 110 “නැවතද මහණෙනි, මහණ තෙම පාදතලයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නානාවිධ අසුචියෙන් පිරීසිටි මේ ශරීරයම සිහි කරන්නේය. (කෙසේදයත්) මේ ශරීරයෙහි හිසකෙස්ය, ලොම්ය, නියපොතුය, දෙතිස් දත්ය, හමය, මස්පිඩුය, නහරය, ඇටය, ඇටමිදුලුය, වකුගඩුවය, හෘදයමාංශයය, අක්මාවය, දළබුවය, බඩදිවය, පෙණහැලිය, බඩවැලය, අතුණුබහණය, නොදිරූ ආහාරය, මලය, හිස්මොලය පිතය, සෙමය, සැරවය, ලෙහෙය, ඩහදියය, මේද තෙලය, කඳුලුය, වුරුණු තෙලය, කෙලය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය (යන මේ කුණපයෝ) ඇත්තාහ.
මහණෙනි, නොයෙක් ආකාරවූ ධාන්‍යයන්ගෙන් පුරවනලද උඩ යට දෙපැත්තෙන් කටවල් දෙකක් ඇති මල්ලක් වේද, කිනම් ධාන්‍යවලින් යුත් මල්ලක්ද යත්? හැල්වීය, මහවීය, මුංය, මෑය, තලය, සහල්ය, (යන මේ ධාන්‍යවලිනි.) ඇස් ඇති පුරුෂයෙක් ඒ ධාන්‍ය පිරූ මල්ල ලිහා මේ හැල්ය, මේ මහ වීය, මේ මුංය, මේ මෑය, මේ තලය, මේ සහල්යයි යම්සේ මෙනෙහි කරන්නේද එපරිද්දෙන්ම මහණෙනි, මහණ තෙම පාදයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නොයෙක් ආකාර අසුචිවලින් පිරුණාවූ මේ ශරීරයම සිහි කරන්නේය. ඒ කෙසේදයත්: හිසකෙස්ය, ලොම්ය, නියපොතුය, දත්ය, සමය, මස්පිඩුය, නහරය, ඇටය ඇට මිදුළුය, වකුගඩුය, හෘදයමාංශය, අක්මාවය දළබුවය, බඩදිවය, පෙණහැලිය, අතුණුය. අතුණුබහන්ය, නොපැසුණු ආහාරය, මලය, හිස්මොලය, පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේද තෙලය, කඳුළුය, වුරුණු තෙලය, කෙළය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය, (යන මේ කුණපයෝ) මේ ශරීරයෙහි ඇත්තාහ. කියායි. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඉපදීම් ස්වභාවය අනුව බලමින් හෝ වාසය කරන්නේය. ශරීරයෙහි විනාශවීම් ස්වභාවය අනුව බලමින් හෝ වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව හෝ අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියේ වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. තණ්හා දෘෂ්ටි දෙදෙනෙ ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් ආත්මාදී වශයෙන් නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
පටිකූලමනසිකාරපබ්බං නිට්ඨිතං.
කායානුපස්සනා ධාතුමනසිකාරපබ්බං Msdiv 111 “මහණෙනි, නැවතද භික්ෂුව යම් ඉරියව්වකින් සිටියාවූද යම් ආකාරයකින් තබන ලද්දාවූද මේ ශරීරය ධාතු වශයෙන් සිහිකරන්නේය. මේ ශරීරයෙහි පෘථිවි ධාතුව (තද ගතිය) ඇත්තේය. ආපෝ ධාතුව (බැඳීම් ගතිය) ඇත්තේය. තේජෝ ධාතුව (උණු ගතිය) ඇත්තේය. වායො ධාතුව (පිම්බීම් ගතිය) ඇත්තේය කියායි.
“මහණෙනි, යම්සේ දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ, ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගවයකු මරා සතර මංසන්ධියක කොටස් වශයෙන් වෙන් වෙන් කොට බෙදා උන්නේද, එපරිද්දෙන්ම මහණෙනි, භික්ෂුව මේ ශරීරය ධාතු වශයෙන් සිහිකරන්නේය කෙසේදයත්? මේ ශරීරයෙහි පඨවි ධාතුව, ආපෝ ධාතුව, තෙජො ධාතුව, වායො ධාතුව ඇත්තේය කියායි. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයාගේ ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයාගේ නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ධාතු මාත්‍රවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියේ වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
ධාතුමනසිකාරපබ්බං නිට්ඨිතං.
කායානුපස්සනා නවසිවථිකපබ්බං Msdiv 112 “මහණෙනි, නැවතද භික්ෂුව, මැරී එක දවසක් ගියාවූ හෝ දෙදවසක් ගියාවූ හෝ තුන්දවසක් ගියාවූ හෝ ඉදිමුනාවූ නිල්වූ සැරව වැගිරෙන්නාවූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දකින්නේද ඒ භික්ෂුව තම ශරීරය ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. කෙසේද? මේ ශරීරය මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳුවූ ස්වභාවයකට පැමිණෙන්නේය. මෙබඳුවූ ස්වභාව නොඉක්ම සිටියේය කියායි. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය පිහිටියේ වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව කවුඩන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ උකුසන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ ගිජුලිහිණියන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ බල්ලන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ හිවලුන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ නොයෙක් සතුන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ අමු සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද ඒ භික්ෂුව විසින් තමාගේ ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. කෙසේදයත්? මේ ශරීරයද මෙබඳුවූ ස්වභාව ඇත්තේය. මෙබඳුවූ ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳුවූ ස්වභාවය නොඉක්ම සිටියේය කියාය. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි විනාශවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය මනාකොට පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනියි. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව ලේ මස් සහිතවූ නහරවලින් බැඳුනාවූ ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළමිනියක් යම්සේ දක්නේ වේද, ඒ භික්ෂුව මේ ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. කෙසේදයත්? මේ (මගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි.
ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනියි. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව මස් නැති ලෙයින් වැකුණු නහරින් බැඳුන ඇට සැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව මේ (තම) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව මස් ලේ දෙකින් පහවූ නහරින් බැඳුන ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව මේ (තම) ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව නහර බැඳුම්වලින් වෙන්වූ දිශා අනුදිශාවන්හි විසුරුණු ඇට කැබලිද, වෙන දිශාවක විසිරුණු පාඇටද, වෙන දිශාවක විසුරුණු කෙණ්ඩා ඇටද, වෙන දිශාවක විසුරුණු කලවා ඇටද, වෙන දිශාවක විසුරුණු කටී ඇටද, වෙන දිශාවක විසුරුණු පිටකටුද, වෙන දිශාවක විසුරුණු හිස්කැබලිද ඇතිව සොහොනෙහි දමනලද මළමිනිය යම්සේ දකීද,ඒ භික්ෂුව (තම) ශරීරය ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය. කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියාවෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව සක්ගෙඩියක පාටට සමාන ස්වභාව ඇති සුදුවූ ඇට ඇත්තාවූ සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව (තම) ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාවය නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි හටගන්නා ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී තෘෂ්ණාදෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය,
“මහණෙනි, නැවතද භික්ෂුව අවුරුදු ගණන් ඉක්මගිය ඇට ගොඩක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව (තමා) ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාවය නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව කුණුවූ, සුණුවූ ඇට කැබලිවලට පැමිණි සොහොනෙහි දමනලද මළමිණියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව (තම) ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාවය නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි, ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම් පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
නවසිවථිකපබ්බං නිට්ඨිතං.
චුද්දසකායානුපස්සනා නිට්ඨිතා.
වෙදනානුපස්සනා Msdiv 113 “මහණෙනි, කෙසේ නම් භික්ෂුව විඳීම් කෙරෙහි විඳීම් අනුව බලමින් වාසය කරන්නේද? මහණෙනි, මේ සස්නෙහි භික්ෂුව සැප වේදනාවක් විඳින්නේ, සැප වේදනාවක් විඳීමියි දැනගනී. දුක් වේදනාවක් විඳින්නේ, දුක් වේදනාවක් විඳිමියි දැනගනී. දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳින්නේ දුක්ද නොවූ, සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳවූ සැප වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳවූ සැප වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳ නොවූ සැප වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවූ සැප වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳවූ දුක් වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳවූ දුක් වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳ නොවූ දුක් වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවූ දුක් වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳවූ දුක්ද නොවූ සැපද නොවූ (උපෙක්ෂා) වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳවූ දුක් නොවූ සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳ නොවන දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවන දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනී. මෙසේ තමන්ගේ විඳීම් කෙරෙහි හෝ විඳීම් අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ විඳීම් කෙරෙහි හෝ විඳීම්, අනුව බලමින් වාසය කරන්නේය තමන්ගේ හා අනුන්ගේ විඳීම් කෙරෙහි හෝ විඳීම් අනුව බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ වේදනාව අනුව බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි නැතිවීම් ස්වභාව දක්නේ හෝ වේදනා අනුව බලමින් වාසය කරන්නේය. කලෙක වේදනාවන්හි ඇතිවීම් ස්වභාව හා කලෙක වේදනාවන්හි නැතිවීම් ස්වභාව දක්නේ හෝ වේදනා අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ වේදනා (විඳීම්) ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද විඳීම් අනුව බලමින් වාසය කරන්නේය.
වෙදනානුපස්සනා නිට්ඨිතා.
චිත්තානුපස්සනා Msdiv 114 “මහණෙනි, භික්ෂුව කෙසේනම් සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේදයත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙමේ සරාග (අටවැදෑරුම් ලොභ සහගත) සිත හෝ රාගසහිත සිතයයි දැනගනී. වීතරාග (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතරාග සිතයයි දැනගනී. සදොස (දෙවදෑරුම් දොසමූල) සිත හෝ සදොස සිතයයි දැනගනී. වීතදොස (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතදොස සිතයයි දැනගනී. සමොහ (දෙවැදෑරුම්) මෝහමූලවූ හෝ දොළොස් අකුසල්වූ) සිත හෝ සමොහ සිතයයි දැනගනී. වීතමොහ (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීත මොහ සිතයයි දැනගනී. සංඛිත්ත (ථීනමිද්ධයන් - චිත්ත චෛතසිකයන්ගේ ගිලන් ස්වභාවය හා යෙදුණ) සිත හෝ සංඛිත්ත සිතයයි දැනගනී. වික්ඛිත්ත (උද්ධච්චය - සිතේ විසිරයාම - හා යෙදුණ) සිත හෝ වික්ඛිත්ත සිතයයි දැනගනී. මහග්ගත (රූපාවචර අරූපාවචර) සිත හෝ මහග්ගත සිතයයි දැනගනී. අමහග්ගත (කාමාවචර) සිත හෝ අමහග්ගත සිතයයි දැන ගනී. සඋත්තර (කාමාවචර) සිත හෝ සඋත්තර සිතයයි දැනගනී. අනුත්තර (රූපාවචර අරූපාවචර) සිත හෝ අනුත්තර සිතයයි. දැනගනී. සමාහිත (අපර්ණා සමාධි උපචාර සමාධියෙන් යුත්) සිත හෝ සමාහිත සිතයයි දැනගනී. අසමාහිත (අර්පණා සමාධි උපචාර සමාධියෙන් තොරවූ) සිත හෝ අසමාහිත සිතයයි දැනගනී. විමුක්ත (තදඩ්ග විෂ්කම්භන විමුක්තීන්ගෙන් මිදුණ) සිත විමුක්ත සිතයයි දැනගනී, අවිමුත්ත (තදඩ්ග විෂ්කම්භන විමුක්තීන්ගෙන් නොමිදුණු) සිත හෝ අවිමුත්ත සිතයයි දැන ගනී.)
මෙසේ තමාගේ සිත කෙරෙහි හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ සිත කෙරෙහි හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ සිත කෙරෙහි හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය සිතෙහි ඉපදීම් ස්වභාව දක්නේ හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. විනාශවීම් ස්වභාව දක්නේ හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ඉපදීම හා කලෙක විනාශවීම දක්නේ හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. ඔහුට සත්ව පුද්ගල නොවූ සිත ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. ඒ භික්ෂුව තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කෙරේ. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද සිත කෙරෙහි සිත අනුව බලමින් වාසය කරන්නේය.
චිත්තානුපස්සනා නිට්ඨිතා.
ධම්මානුපස්සනා නීවරණපබ්බං Msdiv 115 “මහණෙනි, භික්ෂුව කෙසේනම් ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව පංචනීවරණ ධර්මයන් (කුසල් ආවරණය කරන කෙලෙස් පස) කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. මහණෙනි, භික්ෂුව පංචනීවරණ ධර්මයන් කෙරෙහි (ඒ නීවරණ) ධර්මයන් අනුව බලමින් කෙසේ වාසය කෙරේද? මේ ශාසනයෙහි භික්ෂුව තමා කෙරෙහි ඇත්තාවූ හෝ කාමච්ඡන්දය (පස්කම් සැපයෙහි ආසාව) මා තුළ කාමච්ඡන්දය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ කාමච්ඡන්දය, මා තුළ කාමච්ඡන්දය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම වේද, ඒ කාරණයත් දැනගනී. යම් කරුණකින් උපන්නාවූ කාමච්ඡන්දයාගේ දුරුකිරීම් වන්නේද ඒ කාරණයද, දැනගනී. යම් කරුණකින් දුරු කරන ලද කාමච්ඡන්දයාගේ නැවත ඉපදීමක් නොවේද, ඒ කාරණයද දැනගනී.
ඇත්තාවූ හෝ ආධ්‍යාත්මිකවූ (තමා තුළවූ) ව්‍යාපාදය (ක්‍රොධය) මා තුළ (ආධ්‍යාත්මක) ව්‍යාපාද ඇතැයි දැනගනී. තමා තුළ නැත්තාවූ, හෝ ක්‍රොධය, මා තුළ ක්‍රොධය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නාවූ ක්‍රොධයේ ඉපදීම වේද, ඒ කරුණද දැනගනී. යම්කරුණකින් උපන්නාවූ ක්‍රොධයේ දුරුවීම වන්නේද එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ ක්‍රොධයෝ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී.
තමා තුළ ඇත්තාවූ හෝ ථීනමිද්ධය (චිත්ත චෛතසිකයන්ගේ මැලිබව) මා තුළ ථීනමිද්ධය ඇතැයි දැනගනී. තමා තුළ නැත්තා වූ හෝ ථීනමිද්ධය, මා තුළ ථීනමිද්ධය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් ථීනමිද්ධයාගේ ඉපදීම වේද එයද දැනගනී. යම් කරුණකින් උපන් ථීනමිද්ධයාගේ දුරුවීම වන්නේද එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ ථීනමිද්ධයාගේ නැවත ඉපදීමක් නොවේද එයද දැනගනී.
තමා තුළ ඇත්තාවූ හෝ උද්ධච්චකුක්කුච්චය (නොසන්සුන්කම හා පසුතැවිල්ල) මා තුළ උද්ධච්චකුක්කුච්චය ඇතැයි දැනගනී. තමා තුළ නැත්තාවූ හෝ උද්ධච්චකුක්කුච්චය මා තුළ උද්ධච්චකුක්කුච්චය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් උද්ධච්චකුක්කුච්චයාගේ ඉපදීම වේද එයද දැනගනී. යම් කරුණකින් උපන් උද්ධච්චකුක්කුච්චයාගේ දුරුකිරීම වන්නේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ උද්ධච්චකුක්කුච්චයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී.
තමා කෙරෙහි ඇත්තාවූ හෝ විචිකිච්ඡාව (බුද්ධාදි අට තැන්හි සැකය) මා තුළ විචිකිච්ඡාව ඇතැයි දන්නේය. තමා කෙරෙහි නැත්තාවූ හෝ විචිකිච්ඡාව මා තුළ විචිකිච්ඡාව නැතැයි දන්නේය. යම් කරුණකින් නූපන් විචිකිච්ඡාවගේ ඉපදීම වන්නේද, එයද දන්නේය. යම් කරුණකින් උපන් විචිකිච්ඡාවගේ දුරුකිරීම වන්නේද, එයද දන්නේය. යම් කරුණකින් දුරුවූ විචිකිච්ඡාව නැවත නූපදින්නේද, එයද දන්නේය.
මෙසේ තමා තුළවූ හෝ (පංචනීවරණ) ධර්මයන් කෙරෙහි ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. බාහිරව පවත්නාවූ හෝ (අනුන් පිළිබඳවූ) නීවරණ ධර්මයන් කෙරෙහි ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. තමන් පිළිබඳවූද, අනුන් පිළිබඳවූද ධර්මයන් කෙරෙහි හෝ ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.
ඒ ධර්මයන්ගේ ඉපදීම ස්වභාව හෝ දකිමින් වාසය කරන්නේය. ඒ ධර්මයන්ගේ නැතිවීම් ස්වභාව හෝ දකිමින් වාසය කරන්නේය. විටක ඉපදීම් ස්වභාව හා විටක නැතිවීම් ස්වභාව හෝ බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවූ නීවරණ ධර්මයෝ ඇත්තාහුය යන සිහිය මනාකොට පිහිටියා වෙයි. ඒ සිහිය නුවණ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙනා ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. ලොකයෙහි කිසිවක් (මමය මගේ යයි) ගැනීම නොකරන්නේය. මහණෙනි, ඒ භික්ෂුව මෙසේ පඤ්චනීවරණ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.
නීවරණපබ්බං නිට්ඨිතං.
ධම්මානුපස්සනා ඛන්ධපබ්බං Msdiv 116 “මහණෙනි, භික්ෂුව නැවතද පසක්වූ උපාදාන ස්කන්ධ (රූප, වෙදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ.
“මහණෙනි, භික්ෂුව පසක්වූ උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් කෙසේ වාසයකරන්නේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව මේ රූපරාශියයි, මේ රූපයන් පහළවීමේ හේතුවයි. මේ රූපයන්ගේ විනාශයයිද, මේ වේදනාවය (විඳීමය) මේ වෙදනාව පහළවීමේ හේතුවය. මේ වේදනාවගේ විනාශයයිද, මේ සංඥාවය, මේ සංඥාව පහළවීමේ හේතුවය. මේ සංඥා විනාශයයිද, මේ සංස්කාරයෝය, මේ සංස්කාරයන්ගේ පහළවීමේ හේතුවය, මේ සංස්කාර විනාශයයිද මේ විඤ්ඤාණයය, මේ විඤ්ඤාණයාගේ පහළවීමේ හේතුවය, මේ විඤ්ඤාණයාගේ විනාශයයිද මෙසේ තමා තුළවූ (පංචස්කන්ධ) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. බාහිරවූ (අනුන් තුළවූ) හෝ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. තමන් කෙරෙහිවූ හෝ අනුන් කෙරෙහිවූ හෝ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. ධර්මයන්ගේ ඇතිවීම් ස්වභාව හෝ දකිමින් වාසය කරන්නේය. ධර්මයන්ගේ විනාශවීම් ස්වභාවය හෝ බලමින් වාසය කරන්නේය. කලෙක ධර්මයන්ගේ පහළවීම හා කලෙක ධර්මයන්ගේ විනාශවීම හෝ බලමින් වාසය කරන්නේය. ඔහුට (සත්ව පුද්ගල නොවන) ස්කන්ධධර්මයෝ ඇත්තාහුය. (යන) සිහිය හොඳින් පිහිටියා වෙයි (ඒ සිහිය) නුවණ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. ඔහු තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ඇසුරුනොකොට වාසය කරයි. (පංච ස්කන්ධ) ලෝකයෙහි (කිසිවක් මෙය මාගේයයි ගැනීමක් නොකරන්නේය. මහණෙනි, භික්ෂුව මෙසේ පඤ්ච උපදාන ස්කන්ධයන් කෙරෙහි, ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.
ඛන්ධපබ්බං නිට්ඨිතං.
ධම්මානුපස්සනා ආයතනපබ්බං Msdiv 117 “මහණෙනි, නැවතද භික්ෂුව තමන් තුළවූ සය ආයතනයන්ද (ඇස, කණ, නාසය, දිව, කය, සිත,) පිටතවූ සය ආයතනයන්ද (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම) යන ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. මහණෙනි, භික්ෂුව තමන් තුළවූද, පිටතවූද සය ආයතනයන් කෙරෙහි ධර්මයන් අනුව කෙසේනම් බලමින් වාසය කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ඇසද දැනගනී. රූපයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීම හේතුකොටගෙන යම් සංයෝජනයක් උපදින්නේද එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීම වේද, එයද, දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී. කණද දැනගනී. ශබ්දයද දැනගනී ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයොජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයොජනයාගේ දුරුවීම වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයොජනයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී. නාසයද දැනගනී. ගන්ධයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයොජනයක් උපදින්නේද එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයොජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයොජනයාගේ දුරුවීම වේද එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයොජනයාගේ නැවත ඉපදීමක් නොවේද එයද දැනගනී.
දිවද දැනගනී. රසයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයොජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයොජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයොජනයාගේ දුරුවීම වේද, එයද දැනගනී යම් කරුණකින් දුරුවූ සංයොජනයාගේ නැවත ඉපදීමක් නොවන්නේද, එයද දැනගනී.
කයද දැනගනී. ස්පර්ශයද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයෝජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවන්නේද එයද, දැනගනී.
සිතද දැනගනී. ධර්මයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයෝජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීමක් වේද එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවන්නේද එයද දැනගනී.
මෙසේ තමා තුළවූ (ආයතන) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. පිටත්හිවූ ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. තමන් තුළවූද පිටත්හි වූද ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. ධර්මයන්ගේ ඉපදීම් ස්වභාව හෝ බලමින් වාසය කෙරේ. ධර්මයන්ගේ විනාශවීම් ස්වභාව හෝ බලමින් වාසය කෙරේ. කලෙක ධර්මයන්ගේ ඉපදීම හා කලෙක විනාශවීම බලමින් හෝ වාසය කෙරේ. ඔහුට (සත්ත්ව පුද්ගල නොවන) ආයතන ධර්මයෝ ඇත්තාහුය යන සිහිය මනාකොට පිහිටියා වෙයි. (එය) නුවණ වැඩීම පිණිසද, සිහිය දියුණුවීම පිණිසද පවතී ඔහු තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන අසුරු නොකොට වාසය කරන්නේය. (ආයතන ධර්ම) ලොකයෙහි කිසිවක් (මමය, මාගේයයි) ගැනීම නොකෙරේ. මහණෙනි ඒ භික්ෂුව මෙසේ තමන් තුළවූද, පිටත්හි වූද දොළොස් ආයතන ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ.
ආයතනපබ්බං නිට්ඨිතං.
ධම්මානුපස්සනා බොජ්ඣඞ්ගපබ්බං Msdiv 118 “මහණෙනි, නැවතද භික්ෂුව සප්තබොද්ධ්‍යංග (අවබොධයට හෙතුවන අවයව හත) ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. මහණෙනි භික්ෂුව සත් වැදෑරුම් බොද්ධ්‍යංග ධර්මයන් අනුව කෙසේ බලමින් වාසය කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව තමා තුළ ඇත්තාවූ හෝ සතිසම්බොජ්ජඩ්ගය, (සිහිය) මා තුළවූ සතිසම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා තුළ නැත්තාවූ හෝ සතිසම්බොජ්ජඩ්ගය මා තුළ සතිසම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් සතිසම්බොජ්ජඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ සතිසම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
තමා කෙරෙහිඇත්තාවූ හෝ ධම්මවිචය (ප්‍රඥාව) සම්බොජ්ජඩ්ගය, මා තුළ ධම්මවිචය සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ ධම්මවිචය සම්බොජ්ජඩ්ගය, මා තුළ ධම්මවිචය සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් ධම්මවිචය සම්බොජ්ජඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
තමා කෙරෙහි ඇත්තාවූ හෝ විරිය (වීර්ය) සම්බොජ්ජඩ්ගය හෝ මා තුළ විරිය සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ විරිය සම්බොජ්ජඩ්ගය මා තුළ විරිය සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් විරිය සම්බොජ්ජඩ්යාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ විරිය සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
තමා කෙරෙහි ඇත්තාවූ පීති (ප්‍රීතිය) සම්බොජ්ජඩ්ගය, හෝ මා තුළ පීති සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ පීති සම්බොජ්ජඩ්ගය මා තුළ පීති සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් පීති සම්බොජ්ජඩ්ගයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ පීති සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
තමා කෙරෙහි ඇත්තාවූ හෝ පස්සද්ධි (සංසිඳීම) සම්බොජ්ජඩ්ගය, මා තුළ පස්සද්ධි සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ පස්සද්ධි සම්බොජ්ජඩ්ගය මා තුළ පස්සද්ධි සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නා වූ පස්සද්ධි සම්බොජ්ජඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නා වූ පස්සද්ධි සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද එයද දැනගනී.
තමා කෙරෙහි ඇත්තාවූ හෝ සමාධි (සිතේ එතඟකම) සම්බොජ්ජඩ්ගය, මා තුළ සමාධි සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ සමාධි සම්බොජ්ජඩ්ගය මා තුළ සමාධි සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නා වූ සමාධි සම්බොජ්ජඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නා වූ සමාධි සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද එයද දැනගනී.
තමා කෙරෙහි ඇත්තාවූ හෝ උපෙක්ඛා (මැදහත් බව) සම්බොජ්ජඩ්ගය, මා තුළ උපෙක්ඛා සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ උපෙක්ඛා සම්බොජ්ජඩ්ගය මා තුළ උපෙක්ඛා සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නා වූ උපෙක්ඛා සම්බොජ්ජඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නා වූ උපෙක්ඛා සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද එයද දැනගනී.
මෙසේ තමා කෙරෙහි ඇත්තාවූ හෝ (සප්ත බොද්ධ්‍යංග) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරයි. අනුන් පිළිබඳවූ (සප්ත බොද්ධ්‍යංග) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරයි. තමන් පිළිබඳවූද, අනුන් පිළිබඳවූද ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරයි. ධර්මයන්ගේ ඉපදීම් ස්වභාව හෝ බලමින් වාසය කරයි. විනාශවීම් ස්වභාව හෝ බලමින් වාසය කරයි. කලෙක ඉපදීම හා කලෙක විනාශවීම හෝ බලමින් වාසය කරයි.
ඒ භික්ෂුවට (සත්ත්ව පුද්ගල නොවන) බොද්ධ්‍යංග ධර්මයෝ ඇතැයි යන සිහිය හොඳින් එළඹෙන ලද්දීය. (ඒ සිහිය) ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. (ඒ භික්ෂුව) තෘෂ්ණා දෘෂ්ටි දෙදෙනා ආශ්‍රය නොකොට වාසය කරයි. ලෝකයෙහි කිසිවක් ආත්ම වශයෙන් ගැනීම නොකරයි. මහණෙනි, භික්ෂුව මෙසේ සප්ත බොද්ධ්‍යංග ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරයි.
බොජ්ඣඞ්ගපබ්බං නිට්ඨිතං (බොජ්ඣඞ්ගපබ්බං නිට්ඨිතං. පඨමභාණවාරං (ස්‍යා.)).
ධම්මානුපස්සනා සච්චපබ්බං Msdiv 119 “මහණෙනි, භික්ෂුව නැවතද චතුරාර්ය සත්‍ය (උතුම් සත්‍ය හතර) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරයි. මහණෙනි, භික්ෂුව චතුරාර්ය සත්‍යය ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් කෙසේ වාසය කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව මේ දුකයයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් ඉපදීමේ හේතුවයයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැතිකිරීමයයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැති කිරීමේ මාර්ගය යයි ඇති සැටියෙන් දැනගනී.
පඨමභාණවාරො නිට්ඨිතො.
දුක්ඛසච්චනිද්දෙසො Msdiv 120 (මෙම කොටසේ පරිවර්තනය සඳහා දීඝ නිකායේ සතිපට්ඨාන සූත්‍රය බලන්න)
Msdiv 121
Msdiv 122
Msdiv 123
Msdiv 124
Msdiv 125
Msdiv 126
Msdiv 127
Msdiv 128
Msdiv 129
Msdiv 130
Msdiv 131
Msdiv 132
සමුදයසච්චනිද්දෙසො Msdiv 133
නිරොධසච්චනිද්දෙසො Msdiv 134
මග්ගසච්චනිද්දෙසො Msdiv 135
Msdiv 136 (මෙහි ගැළපීම සම්පුර්ණ නැත)
මෙසේ තමන් තුළවූ (චතුරාර්ය සත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. අනුන් පිළිබඳවූ (චතුරාර්ය සත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. තමන් පිළිබඳවූ හා අනුන් පිළිබඳවූ (චතුස්සත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. (චතුරාර්ය සත්‍යය) ධර්මයන්ගේ ඇතිවීමට හේතුවූ (ප්‍රත්‍යය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. (චතුරාර්ය සත්‍ය) ධර්මයන්ගේ විනාශයට හේතුවූ (ප්‍රත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. කලෙක (චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ උත්පත්තියද කලෙක විනාශයද දක්නේ හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ත්ව පුද්ගල නොවන) චතුරාර්ය සත්‍ය ධර්මයෝ ඇත්තාහ යන එළඹ සිටි සිහිය ඇත්තේ වෙයි. ඒ සිහිය ඥානය වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. (ඒ භික්ෂුව) තෘෂ්ණා දෘෂ්ටි දෙදෙනා ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, මෙසේ භික්ෂුව (චතුරාර්ය සත්‍ය) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.
සච්චපබ්බං නිට්ඨිතං.
ධම්මානුපස්සනා නිට්ඨිතා.
Msdiv 137 “මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ වඩන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)
“මහණෙනි, සත් වර්ෂයක් කල් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හය අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය.)
“මහණෙනි, සාවුරුද්දක් කල් තිබියේවා. යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය.)
“මහණෙනි, පස් වසක් කල් තිබේවා. මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සතර අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
“මහණෙනි, සතර අවුරුද්දක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් භවට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය.
“මහණෙනි, තුන්අවුරුද්දක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් අවුරුදු දෙකක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමිඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය.)
“මහණෙනි, අවුරුදු දෙකක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමතිවිය යුතුයි. (ලැබිය යුතුය)
“මහණෙනි, එක් අවුරුද්දක් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත්මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
“මහණෙනි, සත් මසක් කල්තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හයමසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
“මහණෙනි, හය මාසයක් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස්මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
“මහණෙනි, පස් මාසයක් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සාරමසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
“මහණෙනි, සාරමසක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන්මාසයක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතුයි. (ලැබිය යුතුය)
“මහණෙනි, තුන් මාසයක් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මාස දෙකක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතුයි. (ලැබිය යුතුය)
“මහණෙනි, මාස දෙකක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක මාසයක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
“මහණෙනි, මාසයක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් ධර්මයන් පසළොස් දිනක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අරහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි වීමක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
“මහණෙනි, පසළොස් දිනක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත්දවසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අරහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
Msdiv 138 “මහණෙනි, රාගාදී කෙලෙස් නැතිව සත්ත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද ශෝක පරිදෙව දුඃඛයන්ගේ දුරුකිරීම පිණිසද දුක් දොම්නස් නැතිකිරීම පිණිසද ආර්ය අෂ්ටාංගික මාර්ගයාගේ ලැබීම පිණිසද නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසද යම් මේ සතර සතිපට්ඨාන ධර්මයෙක් ඇද්ද එය එකම මාර්ග වන්නේයයි මෙසේ යම් ඒ ධර්මයක් වදාරණ ලද්දේද මේ ධර්මය ඒ කාරණය පිණිස වදාරණ ලද්දේය.”
භාග්‍යවත්වූ බුදුරජාණන් වහන්සේ මේ (සතර සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනාව) මෙසේ දේශනා කොට වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කථාව සතුටින් පිළිගත්හ.
දසවෙනිවූ සතිපට්ඨාන සූත්‍රය නිමි.
මූල පරියාය වර්ගය නිමි
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source