All the Defilements
Sabbāsava Sutta
PDFGenerated
The diverse problems of the spiritual journey demand a diverse range of responses. Rather than applying the same solution to every problem, the Buddha outlines seven methods of dealing with defilements, each of which works in certain cases.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 1. මූල පරියාය වර්ගය 2. සබ්බාසව සූත්‍රය Msdiv 14 “මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවනයේ අනේපිඩු මහසිටුහු විසින් කරවනලද ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” කියා භික්ෂූන්ට කථාකළහ. ඒ භික්ෂූහු “ස්වාමීනි” කියා උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රධර්මය දේශනා කළහ.
“සියලු කාමාදී ආශ්‍රවයන් (කෙලෙස්) වැළැක්වීම පිළිබඳ ධර්මය දේශනා කරන්නෙමි. එය අසව්, සිත්හි ධාරණය කර ගනිව්, කියන්නෙමි”යි වදාළහ.
“එසේය ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළහ.
Msdiv 15 මහණෙනි, මම දන්නහුගේ දක්නහුගේ කාමාදී කෙලෙස් නැතිකිරීම කියමි. නොදන්නහුගේ නොදක්නහුගේ (කෙලෙස් නැතිකිරීම) නොකියමි.
“මහණෙනි, කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආශ්‍රවයන් නැතිවීම වේද? නුවණින් මෙනෙහිකිරීමත් නුනුවණින් මෙනෙහි කිරීමත් යන දෙකය. මහණෙනි, නුනුවණින් සිතන්නාවූ පුද්ගලයාට නූපන්නාවූ ආශ්‍රවයෝද උපදිත්. උපන්නාවූ ආශ්‍රවයෝද වැඩෙත්. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නූපන්නාවූ ආශ්‍රවයෝද නූපදිත්. උපන්නාවූ ආශ්‍රවයෝද දුරුවෙත්.
Msdiv 16 මහණෙනි, සෝවාන් මාර්ගයෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ. සතිසංවරයෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ. ඤාණසංවරයෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ. ඉවසීමෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ. ශීලසංවරයෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ. වීර්ය සංවරයෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ. සකෘදාගාමි අනාගාමි අර්හත් යන මාර්ග තුනෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ.
දස්සනා පහාතබ්බාසවා Msdiv 17 “මහණෙනි, සෝවාන් මගින් පහකළයුතු වූ කෙලෙස් නම් කවරහුද? මහණෙනි, මේ ලොකයෙහි බුද්ධාදී ආර්යයන් නුවණැසින් නුදුටුවාවූ ආර්ය ධර්මයෙහි අදක්ෂවූ ආර්ය ධර්මයෙහි නොහික්මුණාවූ බුද්ධාදී සත්පුරුෂයන් නුවණැසින් නුදුටුවාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ ඇසූ පිරූ තැන් නැත්තාවූ (නූගත්) පෘථග්ජන පුද්ගල තෙමේ මෙනෙහි කළයුතු කරුණු නොදනියි. මෙනෙහි නොකොට යුතුවූ කරුණු නොදනියි. මෙනෙහි කටයුතුවූ කරුණු නොදන්නාවූ මෙනෙහි නොකටයුතු කරුණු නොදන්නාවූ හෙතෙමේ යම් ධර්මයන් මෙනෙහි නොකට යුත්තාහුද ඒ ධර්මයන් මෙනෙහි කරයි. මේ ධර්මයන් මෙනෙහි කළයුත්තාහුද ඒ ධර්මයෙන් මෙනෙහි නොකරයි. මහණෙනි, මෙනෙහි නොකළයුතුවූ යම් ධර්මයන් මෙනෙහි කෙරේද, ඒ ධර්මයෝ කවරහුද? මහණෙනි, යම් ධර්මයන් මෙනෙහි කරන්නාවූ යමෙකුට නූපන්නාවූද, කාමාශ්‍රවය (කාම ආශාව) උපදී ද, උපන්නාවූ කාමාශ්‍රවය (කාම ආශාව) වැඬේද නූපන්නාවූ භවාශ්‍රය (භව කෙරෙහි ආශාව) උපදියිද උපන්නාවූද, භවාශ්‍රවය වැඩෙයිද නූපන්නාවූ අවිද්‍යාශ්‍රවය (මුළාව) උපදීද උපන්නාවූද අවිද්‍යාශ්‍රවය වැඬේද මේ ධර්මයෝ (ඒ පෘථග්ජනයා විසින්) මෙනෙහි කරන්නාවූ මෙනෙහි නොකළ යුතු ධර්මයෝයි,
“මහණෙනි, මෙනෙහි නොකරන්නාවූ මෙනෙහි කළ යුතු ධර්මයෝ කවරහුද? මහණෙනි, යම් ධර්මයන් මෙනෙහි කරන්නා වූ යමෙකුට නූපන්නාවූද කාමාශ්‍රවය නූපදීද, උපන්නාවූ කාමාශ්‍රවය පහවේද නූපන්නාවූ භවාශ්‍රවය නූපදීද උපන්නාවූ භවාශ්‍රවය පහවේද නූපන්නාවූ අවිද්‍යාශ්‍රවය නූපදීද, උපන්නාවූ අවිද්‍යාශ්‍රවය පහවේද, මේ ධර්මයෝ මෙනෙහි නොකරන්නාවූ මෙනෙහි කළයුතු ධර්මයෝය.
මෙනෙහි නොකළයුතු ධර්මයන් මෙනෙහි කරන්නාවූද මෙනෙහි කළයුතු ධර්මයන් මෙනෙහි නොකරන්නාවූද ඔහුට නූපන්නාවූද ආශ්‍රවයෝ උපදිත්. උපන්නාවූද ආශ්‍රවයෝ වැඩෙත්.
Msdiv 18 ඒ අන්ධබාල පෘථග්ජනතෙම මෙසේද නුනුවණින් මෙනෙහි කරයි. මම අතීත කාලයෙහි උත්පත්ති වශයෙන් කිසිවෙක් වූයෙම්ද? කිසිවෙක් නුවූයෙම්ද? අතීත කාලයෙහි මම ක්‍ෂත්‍රියාදීන් අතුරෙන් කවරෙක් වූයෙම්ද? අතීත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වූයෙම්ද? මම අතීත කාලයෙහි ක්ෂත්‍රියාදී වශයෙන් කවරෙක්ව සිට බ්‍රාහ්මණාදී කවරෙක් වූයෙම්ද? මම අනාගත කාලයෙහි කිසිවෙක් වන්නෙම්ද? අනාගත කාලයෙහි කිසිවෙක් නොවන්නෙම්ද? අනාගත කාලයෙහි ක්ෂත්‍රියාදී වශයෙන් කවරෙක් වන්නෙම්ද? අනාගත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වන්නෙම්ද? මම මතු කල්හි බ්‍රාහ්මණාදී කවරෙක්ව වෛශ්‍යාදී කවරෙක් වන්නෙම්ද ඉපදීමෙහි පටන් මරණය දක්වා ඇති මේ කාලයෙහිද තමා කෙරෙහි එසේද මෙසේදැයි සැක ඇත්තේ වෙයි. කෙසේදයත්? මම යන කිසිවෙක් ඇත්තේද, මම යන කිසිවෙක් නැත්තේද, ක්ෂත්‍රියාදීන් අතුරෙන් කවරෙක් වෙම්ද? කිනම් සටහනක් ඇත්තෙක් වෙම්ද? මේ සත්ව තෙමේ කොතැනින් ආයේද? හෙතෙම කොහි යන්නෙක් වන්නේද? යනුවෙනි.
Msdiv 19 මෙසේ නුනුවණින් මෙනෙහි කරන්නාවූ ඔහුට සය ආකාර දෘෂ්ටීන් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් උපදියි.
“සත්‍යවශයෙන් ස්ථිරවශයෙන් ආත්මයක් ඇත යන ශාස්වත දෘෂ්ටිය හෝ උපදියි. සත්‍යවශයෙන් ස්ථිරවශයෙන් ආත්මය සිඳේය, යන උච්ඡේදදෘෂ්ටිය හෝ උපදියි. සංඥාස්කන්ධය ප්‍රධාන කොට ඇති ස්කන්ධයන් ආත්මයයි ගෙන සංඥා ස්කන්ධය නමැති ආත්මය කරණකොට ගෙන ඉතිරි ස්කන්ධ නමැති ආත්මය දනිමියයි කියා හෝ සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ගනිමින් දෘෂ්ටිය උපදියි. සංඥාව ආත්මය කොට ඉතිරි ස්කන්ධ ආත්මය වශයෙන් නොගෙන සංඥාව නම්වූ ආත්මය විසින් ආත්මය නොවන ඉතිරි ස්කන්ධ දනිමැයි කියා හෝ සත්‍ය වශයෙන් දැඩි වශයෙන් ගනිමින් දෘෂ්ටිය උපදියි සංඥාවෙන් අන්‍ය ස්කන්ධයන් අනාත්මය වශයෙන් ගෙන ආත්මය නොවන වේදනාදී ස්කන්ධයන් කරණ කොටගෙන ආත්මය වන සංඥාස්කන්ධය දනිමැයි හෝ සත්‍ය වශයෙන් දැඩිවශයෙන් ගනිමින් දෘෂ්ටිය උපදියි. නැතහොත් ඕහට මෙබඳු දෘෂ්ටියක් හෝ වෙයි. කථාකරන්නාවූ සැප දුක් විඳින්නාවූ යම් මේ ආත්මයක් ඒ ඒ ජාතියෙහි කළ කුශල අකුශල කර්මයන්ගේ විපාකය විඳියිද, මාගේ ඒ මේ ආත්මය තෙම නිත්‍යය, ස්ථිරය, හැමදාම පවතියි. නොපෙරළෙන ස්වභාව ඇත්තේය. හැමදා පවතින දෙයක් මෙන් සදාකාලික යයි සම්මතවූ චන්ද්‍ර සූර්යාදීන් මෙන් එසේම සිටින්නේයයි කියායි.
“මහණෙනි, මෙය දෘෂ්ටියයිද දෘෂ්ටිලැහැබයයිද දෘෂ්ටි කාන්තාරයයිද, දෘෂ්ටිහුලයයිද, දෘෂ්ටිකම්පනයයිද, දෘෂ්ටි සංයොජනයයිද කියනු ලැබේ. මහණෙනි, දෘෂ්ටි නමැති බැඳුමෙන් යුක්තවූ ඇසූ පිරූතැන් නැත්තාවූ (නූගත්) පෘථග්ජන තෙම උත්පත්තියෙන්ද ජරාවෙන් හා මරණයෙන්ද ශොක කිරීමෙන්ද වැළපීමෙන්ද ශාරීරික දුකින්ද මානසික දුකින්ද දැඩි වෙහෙසින්ද යන සියලු සංසාරදුකින් නොමිදේ යයි කියමි.
Msdiv 20 “මහණෙනි, බුද්ධාදී ආර්යයන් දුටුවාවූ ආර්යධර්මයෙහි දක්ෂවූ ආර්යධර්මයෙහි මනාව හික්මුණාවූ බුද්ධාදී සත්පුරුෂයන් දුටුවාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි මනාව හික්මුණාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවක තෙම මෙනෙහිකළයුතු ධර්මයන් දනියි. මෙනෙහි නොකළයුතු ධර්මයන් දනියි. මෙනෙහි කළයුතු ධර්මයන් දන්නාවූ මෙනෙහි නොකළයුතු ධර්මයන් දන්නාවූ ඒ ආර්ය පුද්ගල තෙම මෙනෙහි නොකළයුතු ධර්ම මෙනෙහි නොකරයි. මෙනෙහි කළයුතු ධර්ම මෙනෙහි කරයි. මහණෙනි, මෙනෙහි නොකළයුතු ධර්ම කවරහුද? මහණෙනි, යම් ධර්මයක් මෙනෙහි නොකරන්නහුට නූපන් කාමාශ්‍රවය උපදීද, උපන් කාමාශ්‍රවය වැඬේද, නූපන් භවාශ්‍රවය උපදීද, උපන් භවාශ්‍රවය වැඬේද නූපන් අවිද්‍යාශ්‍රවය උපදීද, උපන් අවිද්‍යාශ්‍රවය වැඬේද, එබඳු ධර්ම මෙනෙහි නොකළ යුත්තාහුය.
“මහණෙනි, මෙනෙහි කළයුතු ධර්ම කවරහුද? මහණෙනි, යම් ධර්මයක් මෙනෙහි කරන්නහුට නූපන් කාමාශ්‍රවය නූපදීද, උපන් කාමාශ්‍රවය නැතිවේද, නූපන් භවාශ්‍රවය නූපදීද, උපන් භවාශ්‍රවය නැතිවේද, නූපන් අවිද්‍යාශ්‍රවය නූපදීද, උපන් අවිද්‍යාශ්‍රවය නැතිවේද, මෙබඳු ධර්ම මෙනෙහි කළයුත්තාහුය. මෙනෙහි නොකළයුතු ධර්ම මෙනෙහි නොකරන, මෙනෙහි කළයුතු ධර්ම මෙනෙහි කරන ඕහට නූපන් ආශ්‍රවයෝ නූපදීත්, උපන් ආශ්‍රවයෝ නැති වෙත්.
Msdiv 21 හෙතෙම මේ දුකයයි නුවණින් කල්පනා කරයි, මේ දුක් ඉපදීමට හේතුවයයි නුවණින් කල්පනා කරයි. මේ දුක් නැතිකිරීමයයි නුවණින් කල්පනාකරයි. මේ දුක් නැති කිරීමේ මාර්ගයයි නුවණින් කල්පනා කරයි. මෙසේ මෙනෙහි කරන්නාවූ ඕහට දිට්ඨිසංයොජන (විසිආකාර ආත්මදෘෂ්ටිය) ද විචිකිච්ඡා සංයෝජනය (සැකය) සීලබ්බත පරාමාස සංයෝජනයද, මේ ශාසනයෙන් පිටත සිල් හා වත් සෙවීමද යන සංයෝජන (කෙලෙස් බැමි) තුන නැති වෙත්.
“මහණෙනි, මේ ආශ්‍රවයෝ පළමුකොට නිවන්දැකීම් වන සෝවාන් මාර්ගයෙන් නැතිකළ යුත්තාහුයයි කියනු ලැබෙත්.
සංවරා පහාතබ්බාසවා Msdiv 22 “මහණෙනි, සතිසංවරයෙන් නැතිකළයුතු කෙලෙස් කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නුවණින් සලකා බලා ඇස පිළිබඳ සංවරයෙන් යුක්තවූයේ වාසයකරයිද මහණෙනි, ඇස සංවර කර නොගෙන වාසය කරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිතවූ යම් කෙලෙස් උපදිත්ද, ඇස සංවර කරගෙන වාසය කරන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් පහළ නොවෙත්. නුවණින් සලකා බලා කණ සංවර කරගෙන වාසය කරයිද, කණ සංවර කර නොගෙන වාසය කරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිතවූ යම් කෙලෙස් උපදිත්ද, කණ සංවර කරගෙන වාසය කරන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් පහළ නොවෙත්. නුවණින් සලකා බලා නාසය සංවර කරගෙන වාසයකරයිද, නාසය සංවරකර නොගෙන වාසය කරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිතවූ යම් කෙලෙස් උපදිද්ද, නාසය සංවර කරගෙන වාසය කරන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් පහළ නොවෙත්. නුවණින් සලකා බලා දිව සංවර කරගෙන වාසය කරයිද දිව සංවර කර නොගෙන වාසය කරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිත යම් කෙලෙස් උපදිද්ද, දිව සංවර කර ගෙන වසන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් පහළනොවෙත්. නුවණින් සලකා බලා ශරීරය සංවර කරගෙන වාසයකරයිද ශරීරය සංවර කර නොගෙන වාසය කරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිත යම් කෙලෙස් උපදිද්ද, ශරීරය සංවර කරගෙන වසන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් පහළ නොවෙත්. නුවණින් සලකා බලා සිත සංවර කරගෙන වාසය කරයිද සිත සංවර කර නොගෙන වාසය කරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිත යම් කෙලෙස් උපදිද්ද, සිත සංවර කරගෙන වසන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් පහළ නොවෙත්. මහණෙනි, මේ ආශ්‍රවයන් සිහිය නමැති සංවරයෙන් නැති කළ යුත්තාහුයයි කියනු ලැබේ.
පටිසෙවනා පහාතබ්බාසවා Msdiv 23 “මහණෙනි, සිව්පස සේවනයෙන් පහකළ යුතු කෙලෙස් කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නුවණින් සලකා ශීත නැසීම පිණිස, උෂ්ණය නැසීම පිණිස, මැසි, මදුරු, සුළං, වැසි, සර්ප ආදී ස්පර්ශ නැති කිරීම පිණිස ලජ්ජා උපදවන ශරීර අවයව වසාගැනීම පිණිස, පමණක් සිවුරු සේවනය කරයිද, නුවණින් සලකා බලා ක්‍රීඩා පිණිස නොව, මද වැඩීම පිණිස නොව, සැරසීම පිණිස නොව, අලංකාර පිණිස නොව, මේ ශරීරයාගේ පැවැත්ම පිණිස, යැපීම පිණිස, බඩගිනි වෙහෙස සංසිඳවනු පිණිස, ශාසන මාර්ග බ්‍රහ්ම චර්යාව රැකීමට අනුබල පිණිස, මේ වැළඳීමෙන් පැරණි බඩගිනි වෙදනාව නසන්නෙමි. (අධිකභොජනයෙන් හටගන්නා) අලුත් වේදනාද නූපදවන්නෙමි. මාගේ ශරීර පැවත්මද වන්නේය. සැප විහරණයද වන්නේයයි සලකා ආහාර වළඳයිද ශීත නැසීම පිණිස, උෂ්ණය නැසීම පිණිස, මැසි, මදුරු, සුළං, අව්, සර්ප ආදී ස්පර්ශ නැසීම පිණිස, ඍතු පීඩා නැති කිරීම පිණිස, විවේකයෙහි ඇලෙනු පිණිස, සේවනය කරමියි නුවණින් සලකා සේනාසන සේවනය කරයිද, උපන්නාවූ නොයෙක් රොග වේදනා නැසීම පිණිස රොගාබාධයන් නැතිව සිටීම පිණිස සේවනය කරමියි, නුවණින් සලකා ගිලන්පස බෙහෙත් ආදිය සේවනය කරයිද,
“මහණෙනි නුවණින් සලකා සිව්පසය සේවනය නො කිරීම නිසා පහළවන, වෙහෙස දැවිල්ල සහිත කෙලෙස් වෙත් නම් නුවණින් සලකා සිව්පසය සේවනය කිරීමෙන් ඔහුට ඒ කෙලෙස් පහළ නොවෙත්. මහණෙනි, මේ කෙලෙස් නුවණින් සලකා සිව්පසය සේවනය කිරීමෙන් පහකළ යුත්තාහුයයි කියනු ලැබෙත්.
අධිවාසනා පහාතබ්බාසවා Msdiv 24 “මහණෙනි, අධිවාසනයෙන් (ඉවසීමෙන්) නැතිකළ යුතු කෙලෙස් කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නුවණින් සලකා බලා ශීතල ඉවසන්නේ වෙයි, උෂ්ණය, බඩගින්න හා පිපාසය, මැසි, මදුරු, හුළං, අව්ව, සර්ප ආදී ස්පර්ශ ඉවසන්නේ වෙයි. නපුරුකොට කියනලද, නපුරුලෙස පැමිණි වචන ඉවසන්නේ වෙයි. හටගත් දුක්වූ, තියුණුවූ, කෲරවූ, කටුකවූ, සතුටක් නූපදවන්නාවූ, අමනාපවූ, දිවි පැහැරගැනීමට තරම්වූ ශරීර වෙදනාවන් ඉවසන්නේ වෙයි. මහණෙනි, නොඉවසන්නහුට වෙහෙස හා දැවිල්ල ඇති කෙලෙස් උපදින්නාහු නම් මෙසේ ඉවසන්නහුට ඒ කෙලෙස් පහළ නොවෙත්. මහණෙනි, මේ කෙලෙස් ඉවසීමෙන් නැති කළ යුත්තාහු යයි කියනු ලැබෙත්.
පරිවජ්ජනා පහාතබ්බාසවා Msdiv 25 “මහණෙනි දුරලීමෙන් නැතිකළ යුතු කෙලෙස් කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නුවණින් සලකා නපුරු ඇතුන් දුරු කරයි. වල් අසුන් දුරුකරයි. සැර ගොනුන් දුරුකරයි. නපුරු බල්ලන් දුරුකරයි. සර්පයින්ද උල් කටු පිහිටි තැන්ද හාත්පසින් කඩා ගිය ඉවුරුද එක් පසකින් කඩාගිය ප්‍රපාතද ඉඳුල්දිය ගැප්මල ආදිය දමන ස්ථානද එබඳු කුනුමඩ ගලා බස්නා තැන්ද දුරුකරයි. යම්බඳු නුසුදුසු සෙනාසනවල හුන්නාවූද අගොචරස්ථානයන්හි හැසිරෙන්නාවූද ලාමකවූ මිත්‍රප්‍රතිරූපක අමිත්‍රයන් සේවනය කරන්නාවූද භික්ෂුව නුවණැත්තාවූ එකට මහණකම් කරන්නාවූ භික්ෂූහු පවිටු මහණකු කොට සලකන්නාහුද එබඳු අයුතු තැන් හා එබඳු අගොචර ස්ථානද, එබඳු පවිටු මිතුරන්ද නුවණින් සලකා බලා දුරු කරයි. මහණෙනි, එබඳු දේ දුරු නොකරන්නහුට වෙහෙස හා දැවිලි සහිත යම් කෙලෙස් උපදිත්ද, එබඳු දේ දුරුකරන්නහුට ඒ කෙලෙස් පහළ නොවෙත්. මහණෙනි, මේ කෙලෙස් දුරු කිරීමෙන් නැතිකළ යුත්තාහු යයි කියනු ලැබෙත්.
විනොදනා පහාතබ්බාසවා Msdiv 26 “මහණෙනි, විනොදනයෙන් (දොෂ සැලකීම් සහිත වීර්යයෙන් දුරලීමෙන්) නැතිකළ යුතුවූ කෙලෙස් කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නුවණින් සලකා උපන්නාවූ කාම කල්පනාව නොඉවසයිද, දුරුකරයිද, බැහැර කරයිද, විනාශකරයිද, අභාවයට පමුණුවයිද, උපන්නාවූ ව්‍යාපාද (නැසීමේ) කල්පනාව නොඉවසයිද, දුරුකරයිද, බැහැර කරයිද, විනාශ කරයිද, අභාවයට පමුණුවයිද, උපන්නාවූ විහිංසා (හිංසා කිරීමේ) කල්පනාව නොඉවසයිද, දුරුකරයිද, බැහැර කරයිද විනාශ කරයිද, අභාවයට පමුණුවයිද, උපන්නාවූ ලාමක අකුසල ධර්ම නොඉවසයිද, දුරුකරයිද, බැහැර කරයිද, විනාශ කරයිද, අභාවයට පමුණුවයිද, යම්හෙයකින් ඒ කල්පනා දුරලීම නොකරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිත යම් කෙලෙස් උපදිත්ද, ඒ කල්පනා දුරලන්නහුට වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් පහළනොවෙත්. මහණෙනි, මේ කෙලෙස් දුරලීමෙන් නැති කළ යුත්තාහයි කියනු ලැබෙත්.
භාවනා පහාතබ්බාසවා Msdiv 27 මහණෙනි, භාවනාවෙන් නැතිකළ යුතුවූ කෙලෙස් කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නුවණින් සලකා විවෙකය ඇසුරු කළාවූ විරාගය (නොඇල්ම) ඇසුරු කළාවූ නිරොධය ඇසුරු කළාවූ, නිවණට පමුණුවන්නාවූ ස්මෘතිසම්බොද්‍ධ්‍යඞගය (සම්බොධියට අංගවූ සිහිය) වඩයි.
“නුවණින් සලකා, විවෙකය ඇසුරුකළාවූ, විරාගය (නොඇල්ම) ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ නිවණට පමුණුවන්නාවූ ධර්මවිචය සම්බොද්‍ධ්‍යංගය (සම්බොධියට අංගවූ නුවණ) වඩයි.
“නුවණින් සලකා, විවෙකය ඇසුරු කළාවූ, විරාගය (නොඇල්ම) ඇසුරුකළාවූ, නිරොධය ඇසුරුකළාවූ නිවණට පමුණුවන්නාවූ වීර්ය සම්බොද්‍ධ්‍යංගය (සම්බොධියට අංගවූ වීර්ය) වඩයි.
“නුවණින් සලකා, විවෙකය ඇසුරු කළාවූ, විරාගය (නොඇල්ම) ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ නිවණට පමුණුවන්නාවූ ප්‍රීති සම්බොද්‍ධ්‍යංගය (සම්බොධියට අංගවූ ප්‍රීතිය) වඩයි.
“නුවණින් සලකා, විවෙකය ඇසුරු කළාවූ, විරාගය (නොඇල්ම) ඇසුරු කළාවූ, නිවණට පමුණුවන්නාවූ පස්සද්ධි සම්බොද්‍ධ්‍යංගය (සම්බොධියට අංගවූ කායපස්සද්ධි චිත්තපස්සද්ධි දෙක) වඩයි.
“නුවණින් සලකා විවේකය ඇසුරු කළාවූ විරාගය (නොඇල්ම) ඇසුරුකළාවූ, නිරොධය ඇසුරුකළාවූ නිවණට පමුණුවන්නාවූ සමාධිසම්බොද්‍ධ්‍යංගය (සම්බොධියට අංගවූ සමාධිය) වඩයි.
“නුවණින් සලකා, විවේකය ඇසුරුකළාවූ විරාගය (නොඇල්ම) ඇසුරුකළාවූ, නිරොධය ඇසුරුකළාවූ නිවණට පමුණුවන්නාවූ උපෙක්ෂා සම්බොද්‍ධ්‍යංගය (සම්බොධියට අංගවූ උපෙක්ෂාව) වඩයි. භාවනා නොකරන්නහුට වෙහෙස දැවිල්ල සහිත යම් කෙලෙස් උපදිත්ද, භාවනාකරන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙලෙස් පහළ නොවෙත්.
Msdiv 28 “මහණෙනි, යම්කලෙක පටන් මහණහුගේ සෝවාන් මාර්ගයෙන් නැති කළ යුතු කෙලෙස් සෝවාන් මාර්ගයෙන් නැති වූවාහු වෙත්ද, සංවරයෙන් නැති කළ යුතු කෙලෙස් සංවරයෙන් නැතිවූවාහු වෙත්ද, සේවනයෙන් නැති කළ යුතු කෙලෙස් සේවනයෙන් නැතිවූවාහු වෙත්ද, ඉවසීමෙන් නැති කළ යුතු කෙලෙස් ඉවසීමෙන් නැතිවූවාහු වෙත්ද, දුරු කිරීමෙන් නැති කළ යුතු කෙලෙස් දුරුකිරීමෙන් නැතිවූවාහු වෙත්ද දුරලීමෙන් නැති කළ යුතු කෙලෙස් දුරලීමෙන් නැති වූවාහු වෙත්ද, භාවනාවෙන් නැති කළ යුතු කෙලෙස් භාවනාවෙන් නැති වූවාහු වෙත්ද, මහණෙනි, මේ මහණතෙම සියලු කෙලෙස් වැළැක්වීමෙන් යුක්තවූයේ වාසය කෙරේයයිද තෘෂ්ණාව මුල් සින්දේයයිද, සංයෝජන නැති කෙළේයයිද මානය නැති කිරීමෙන් සියලු සංසාර දුක කෙළවර කෙළේ යයි”ද කියනු ලැබේ.
මේ ධර්මදෙශනාව භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් අනුමෝදන් වූවෝය.
දෙවෙනිවූ සබ්බාසව සූත්‍රය නිමි.
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source