Heirs in the Teaching
Dhammadāyāda Sutta
PDFGenerated
Some of the Buddha’s students inherit from him only material profits and fame. But his true inheritance is the spiritual path, the way of contentment. Venerable Sāriputta explains how by following the Buddha’s example we can experience the fruits of the path.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 1. මූල පරියාය වර්ගය 3. ධම්ම දායාද සූත්‍රය Msdiv 29 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනාථපිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ‘ස්වාමීනි,’ කියා උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රධර්මය දේශනා කළහ.
“මහණෙනි, මාගේ ධර්මය දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) වව්. ආමිසය (සිව්පසය) දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) නොවව්. කෙසේ නම් මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය (සිව්පසය) දායාද කොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත. මහණෙනි, තොපත් මාගේ ආමිසය ගරුකොට පිළිගන්නෝ වන්නහුද? ධර්මය ගරුකොට නොපිළිගන්නෝ වන්නහුද, ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ආමිස ගරුකව වාසය කරති. ධර්ම ගරුකව වාසය නොකරති’යි තොපද ඒ කාරණයෙන් ගැරහිය යුත්තෝ වන්නාහුය. ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ආමිසය දායාදකොටගෙන ධර්මය දායාද කොට නොගෙන වාසය කරත්ය’යි මමත් ගැරහිය යුත්තෙක් වන්නෙමි. මහණෙනි, තොපිත් මාගේ ධර්මය දායාදකොට ඇත්තාහු ආමිසය දායාදකොට නැත්තාහු වන්නහු නම් ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තාහු වාසය කරත්, ආමිසය දායාදකොට නැත්තාහු වාසය කරත්ය’යි තෙපිත් ගැරහිය යුත්තෝ නොවන්නහුය. ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට වාසය කරති, ආමිසය ගරුකොට වාසය නොකරති’යි මමත් එයින් ගැරහිය යුත්තෙක් නොවන්නෙමි. මහණෙනි, එහෙයින් ධර්මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්. කෙසේ නම් මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය දායාදකොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.
Msdiv 30 “මහණෙනි, මම වැළඳුයෙමි, ඇති පමණ වළඳා ආහාරය ප්‍රතික්ෂේප කෙළෙමි. භොජනයෙන් සම්පූර්ණ වූයෙමි. වළඳා අවසන් කෙළෙමි. බඩගින්න නිවීයාමෙන් සුවපත් වූයෙමි. ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙමි. මහණෙනි, ඉතිරිව ඉවත දැමිය යුතුවූ පිණ්ඩපාතය (ආහාරය) ඇත්තේය.
“එකල්හි බඩගින්නෙන් ඇතිවූ දුර්වලකමින් පෙළෙන්නාවූ භික්ෂූන් දෙනමක් එන්නාහුය. මම ඔවුන්ට මෙසේ කියන්නෙමි. ‘මහණෙනි, මම වනාහි වැළඳුයේ වෙමි. ඇති පමණ වැළඳුයෙමි. භොජනයෙන් සම්පූර්ණ වූයේ වෙමි. වළඳා අවසන් කෙළෙමි සුවපත් වූයෙමි. ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තෙමි. ඉතිරිවූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත. ඉදින් කැමැත්තහු නම් වළඳව්. ඉදින් තෙපි නොවළඳන්නහු නම් මම දැන් එය තණකොළ නැති බිමක හෝ දමන්නෙමි. (බත් ආදිය දැමීමෙන් නැසෙන) කුඩාසතුන් නැති දියෙහි හෝ පාකොට හරින්නෙමි.’ (කියායි.)
“ඔවුන් දෙදෙනා අතුරෙන් එක් භික්ෂුවක්හට මෙබඳු සිතක් ඇතිවෙයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේ වෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙයි. ඉතිරිවූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත්තේය. ඉදින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ. කුඩා සතුන් නැති ජලයක හෝ පාකොට හරින්නාහ. “මහණෙනි, ධර්මය දායාදකොට ඇත්තෝ වව්. ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්ය”යි භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන ලදී. මේ පිණ්ඩපාතයද එක් ආමිසයකි. ‘මම මේ ආහාරය නොවළඳා මේ බඩගිනි දුබලකමින් යුක්තව මෙසේ මේ රෑ දාවල ඉක්මවන්නෙම් නම් ඉතා යෙහෙකැ’යි කියායි. ඒ භික්ෂුතෙම ඒ ආහාරය අනුභව නොකොට ඒ බඩගිනි දුකින්ම ඒ රෑ දාවල ඉක්මවන්නේය, නැවත දෙවන මහණට මෙබඳු සිතක් වන්නේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේ වෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙයි. ඉතිරිවූ ඉවත දැමිය යුතු මේ ආහාරයද වෙයි. ඉදින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ, කුඩා සතුන් නැති ජලයක හෝ පාකොට හරින්නාහ. මම මේ ආහාරය වළඳා බඩගිනි දුර්වලකම දුරුකොට මෙසේ මේ රෑ දාවල ඉක්මවන්නෙම් නම් යහපතැයි කියායි.
“මහණෙනි, ඒ දෙවන භික්ෂුව ඒ ආහාරය වළඳා බඩගිනි දුබල බව දුරුකොට ‘මෙසේ රෑ දාවල ඉක්මවන්නේවී නමුත් අර පළමු භික්ෂුවම මා විසින් අතිශයින් පිදියයුත්තේද, අතිශයින් පැසසිය යුත්තේද වෙයි.’
“ඊට හේතු කවරේද? මහණෙනි, ඒ ආහාරය නොගැනීම ඒ භික්ෂුහට බොහෝ කාලයක් මුළුල්ලෙහි ස්වල්ප ආශා ඇති බව පිණිසද, ලද දෙයකින් සතුටුවීම පිණිසද, පහසුවෙන් කෙලෙසුන් කපා හැරීම පිණිසද, පහසුවෙන් පොෂ්‍යකළහැකි බව පිණිසද, වීර්ය පටන්ගැන්ම පිණිසද පවත්නේය.
“මහණෙනි, එහෙයින් මාගේ ධර්මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්. කෙසේනම් මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද? ආමිසය දායාදකොට ඇත්තෝ නොවන්නහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා සුගතයන්වහන්සේ හුනස්නෙන් නැගිට විහාරයට වැඩියහ.
Msdiv 31 එකල්හි වනාහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් ‘ඇවැත්නි,මහණෙනි,’ කියා භික්ෂූන්ට කථාකළහ. ඒ භික්ෂූහු ‘ඇවැත්නි,’ කියා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය දේශනා කළහ.
“ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙහි වාසය කරද්දී ශ්‍රාවකයෝ කොපමණකින් (කරුණු කීයකින්) විවේකයෙහි හික්මෙත්ද? ශාස්තෲන්වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවේකයෙහි නොහික්මෙත්ද?”
“ආයුෂ්මතුනි, අපි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේගෙන් මේ වදාළ ධර්මයෙහි අර්ථය දැනගන්නට දුර සිටද එන්නෙමු. මේ ධර්මයෙහි අර්ථය ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේටම අයත්වීම යහපත්ය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරාගන්නාහුයයි” කීහ.
“ඇවැත්නි, එසේ වීනම් අසව, මනාකොට මෙනෙහි කරව් කියන්නෙමි” ඒ භික්ෂූහු ‘එසේය ඇවැත්නි’ කියා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ දේශනා කළහ.
“ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ කෙතෙක් කරුණකින් විවේකයෙහි නොහික්මෙත්ද, ඇවැත්නි, මේ ශාසනයෙහි ශ්‍රාවකයෝ ශාස්තෲන් වහන්සේ විවේකව වාසය කරද්දී විවේකයෙහි නොහික්මෙත්ද, ශාස්තෲන් වහන්සේ යම් ධර්මයන්ගේ නැතිකිරීම දේශනාකළේද ඒ ධර්මයන් නැති නොකරත්ද, චිවරාදිය බහුලකොට ඇත්තෝ වෙත්ද, සර්වඥශාසනය ලිහිල්කොට ගන්නෝ වෙත්ද, නීවරණයන්හි ඇලී වාසය කරත්ද, උතුම් විවේකයෙහි (නිර්වාණයෙහි) බහා තුබූ වීර්ය ඇත්තාහු වෙත්ද, ඇවැත්නි, ඒ භික්ෂූන් අතුරෙහි වැඩිසිටි (ස්ථවිර) භික්ෂුහු කරුණු තුනකින් ගැරහිය යුතු වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසයකරද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නොහික්මෙති යන මේ පළමුවෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්මයක් දුරුකළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් දුරු නොකරතියි යන මේ දෙවෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂුහු ගැරහිය යුත්තෝ වෙත්. චීවර ආදිය බහුලකොට ඇත්තෝය, සර්වඥ ශාසනය ලිහිල්කොට ගන්නෝය. නීවරණයන්හි ඇලී වාසය කරන්නෝය, විවේකයෙහි බහා තැබූ වීර්ය ඇත්තාහුය යන මේ තුන්වෙනි කරුණෙන් ස්ථවිර භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙති ඇවැත්නි, ස්ථවිර භික්ෂූහු වනාහි මේ කරුණු තුනෙන් ගැරහිය යුත්තෝ වෙත්.
“ඇවැත්නි, ඒ භික්ෂූන් අතුරෙහි මධ්‍යම භික්ෂූහු කරුණු තුනකින් ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නොහික්මෙති යන මේ පළමුවෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන්වහන්සේ යම් ධර්මයන් දුරු කළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් දුරු නොකරතියි යන මේ දෙවෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. චීවරාදිය බහුලකොට ඇත්තෝය. සර්වඥශාසනය ලිහිල්කොට සලකන්නෝය, නීවරණයන්හි ඇලී වාසය කරන්නෝය, විවේකයෙහි බහා තැබූ වීර්ය ඇත්තෝය යන මේ තුන්වෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ඇවැත්නි, මධ්‍යම භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් ගැරහිය යුත්තෝ වෙත්.
“ඇවැත්නි, ඒ භික්ෂූන් අතුරෙහි නවක (අලුත පැවිදිවූ) භික්ෂූහු කරුණු තුනකින් ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නොහික්මෙති යන මේ පළමුවෙනි කාරණයෙන් නවක භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ශාස්තෲන්වහන්සේ යම් ධර්මයක් දුරුකළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් දුරු නොකරතියි යන මේ දෙවෙනි කාරණයෙන් නවක භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. චීවරාදිය බහුලකොට ඇත්තෝය, සර්වඥ ශාසනය ලිහිල්කොට සලකන්නෝය, නීවරණයන්හි ඇලී වාසය කරන්නෝය. විවේකයෙහි බහා තැබූ වීර්ය ඇත්තෝය යන මේ තුන්වෙනි කාරණයෙන් නවක භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ඇවැත්නි, නවක භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් ගැරහිය යුත්තෝ වෙත්.
“ඇවැත්නි, මෙපමණකින් වනාහි ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නොහික්මෙති.
Msdiv 32 “ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවේකයෙහි හික්මෙද්ද? ඇවැත්නි, මේ ශාසනයෙහි ශාස්තෲන්වහන්සේ විවේකයෙන් වාසයකරද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙත් ද ශාස්තෲන් වහන්සේ යම් ධර්මයන් දුරුකළ යුතුයයි වදාළේ නම්, ඒ ධර්ම දුරුකරත්ද, චීවරාදිය බහුලකොට නැත්තෝ වෙත්ද, ශාසනය ලිහිල්කොට නොගන්නෝ වෙත්ද, නීවරණයන්හි ඇලී වාසය නොකරන්නෝ වෙත්ද, විවේකය පෙරටුකොට ගන්නෝ වෙද්ද,
“ඇවැත්නි, ඒ භික්ෂූන් අතුරෙහි ස්ථවිර භික්ෂූහු කරුණු තුනකින් පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙති. යන මේ පළමුවෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්මයන් නැතිකළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් නැතිකරත් යන මේ දෙවෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. චීවර ආදිය බහුලකොට නැත්තෝය, ශාසනය ලිහිල් කොට නොගන්නෝය, නීවරණයන්හි ගැලී වාසය නොකරන්නෝය, විවේකයෙහි පෙරටුව යන්නෝය යන මේ තුන්වෙනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ඇවැත්නි, ස්ථවිර භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් පැසසිය යුත්තෝ වෙත්.
“ඇවැත්නි, ඒ භික්ෂූන් අතරෙහි මධ්‍යම භික්ෂූහු කරුණු තුනකින් පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙන් හික්මෙත් යන මේ පළමුවැනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්මයන් නැතිකළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් නැති කරත් යන මේ දෙවෙනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. චීවර ආදිය බහුලකොට නැත්තෝය, ශාසනය ලිහිල්කොට නොගන්නෝය, නීවරණයන්හි ගැලී වාසය නොකරන්නෝය, විවේකයෙහි පෙරටුව යන්නෝය යන මේ තුන්වැනි කාරණයෙන් මධ්‍යම භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් පැසසිය යුත්තෝ වෙත්.
“ඇවැත්නි, ඒ භික්ෂූන් අතරෙහි නවක භික්ෂූහු කරුණු තුනකින් පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෘන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙන් හික්මෙත් යන මේ පළමුවැනි කාරණයෙන් නවක භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්මයන් නැති කළ යුතුයයි වදාළේ නම් ඒ ධර්මයන් නැති කරත් යන මේ දෙවැනි කාරණයෙන් නවක භික්ෂූහු පැසසිය යුත්තෝවෙත්. චීවර ආදිය බහුලකොට නැත්තෝය. ශාසනය ලිහිල්කොට නොගන්නෝය. නීවරණයන්හි ගැලී වාසය නොකරන්නෝය යන මේ තුන්වැනි කාරණයෙන් නවක භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ඇවැත්නි, නවක භික්ෂූහු වනාහි මේ කරුණු තුනින් පැසසිය යුත්තෝ වෙත්.
Msdiv 33 “ඇවැත්නි, ඒ දුරුකළයුතු ධර්මයන් අතුරෙහි ලොභයද ලාමකය, ද්වෙෂයද ලාමකය, ලොභය, නැතිකිරීම පිණිසද ද්වෙෂය නැතිකිරීම පිණිසද නුවණැස ඇති කරන්නාවූ සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාර්යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ, සත්‍ය අවබොධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි, නුවණැස ඇතිකරන්නාවූ සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදිය සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබොධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
“ඇවැත්නි, ක්‍රොධය ලාමකය, බද්ධවෛරයද ලාමකය, ක්‍රොධය නැතිකිරීම පිණිසද බද්ධවෛරය නැතිකිරීම පිණිසද නුවණැස ඇතිකරන්නාවූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාර්යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ, සත්‍ය අවබොධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි, නුවණැස ඇතිකරන්නාවූ, සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදිය සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබොධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
“ඇවැත්නි, ගුණමකු බවද ලාමකය, පලාසය (ගුණ නැතිව සිටිමින් ගුණවතුන් හා සමානකොට සිතීම) ද ලාමකය. ගුණමකු බව නැතිකිරීම පිණිසද පලාසය (ගුණ නැතිව සිටිමින් ගුණවතුන් හා සමානකොට සිතීම) නැතිකිරීම පිණිසද නුවණැස ඇතිකරන්නාවූ සත්‍ය දැනීම ඇති කරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබොධය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටයි. ඇවැත්නි, නුවණැස ඇතිකරන්නාවූ, සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදිය සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබොධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
“ඇවැත්නි, ඊර්ෂ්‍යාවද ලාමකය, මසුරු බවද ලාමකය ඊර්ෂ්‍යාව නැතිකිරීම පිණිසද, මසුරු බව නැතිකිරීම පිණිසද නුවණැස ඇතිකරන්නාවූ, සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ, සත්‍ය අවබොධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආර්යඅෂ්ටාංගික මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි, නුවණැස ඇතිකරන්නාවූ, සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදිය සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබොධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
“ඇවැත්නි, මායාව (කළ පව් වැසීම) ද ලාමකය, සඨබව (නැති ගුණ පහළ කිරීම) ද ලාමකය, මායාව නැති කිරීම පිණිසද සඨබව නැතිකිරීම පිණිසද නුවණැස ඇතිකරන්නාවූ සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාර්ය සත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබොධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි, නුවණැස ඇතිකරන්නාවූ, සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදිය සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබොධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
“ඇවැත්නි, දැඩි බව (හිත ඉදිමීම) ද ලාමකය, කරනුත්තරියකරණය (එකට එක කිරීම) ද ලාමකය, දැඩිබව නැතිකිරීම පිණිසද, කරනුත්තරියකරණය නැතිකිරීම පිණිසද නුවණැස ඇතිකරන්නාවූ සත්‍ය දැනීම ඇතිකරන්නාවූ රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාර්යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබොධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි, නුවණැස ඇතිකරන්නාවූ, සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදිය සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබොධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
“ඇවැත්නි, මානයද ලාමකය, අධික මානයද ලාමකය. මානය නැතිකිරීම පිණිසද, අධිකමානය නැතිකිරීම පිණිසද, නුවණැස ඇතිකරන්නාවූ, සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ, සත්‍ය අවබොධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි, නුවණැස ඇතිකරන්නාවූ, සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදිය සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබොධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
“ඇවැත්නි, මදය (මත්වීම) ද ලාමකය, ප්‍රමාදය (කාමසැපෙහි ගැලීම) ද ලාමකය. මදය නැතිකිරීම පිණිසද ප්‍රමාදය නැතිකිරීම පිණිසද නුවණැස ඇතිකරන්නාවූ සත්‍ය දැනීම ඇතිකරන්නාවූ රාගාදීන්ගේ සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාර්යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ, සත්‍යය අවබොධය පිණිස පවත්නාවූ, නිර්වාණය පිණිස පවත්නාවූ ඒ මධ්‍යම ප්‍රතිපදාව කවරේද? යහපත් දැකීමය, යහපත් කල්පනාවය, යහපත් වචනය, යහපත් කර්මාන්තය, යහපත් ජීවිකාවය, යහපත් උත්සාහය, යහපත් සිහියය, යහපත් සමාධියය යන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. ඇවැත්නි, මේ මධ්‍යම ප්‍රතිපදාව නුවණැස ඇතිකිරීම පිණිසද, සත්‍යය දැනීම පිණිසද, රාගාදීන්ගේ සංසිඳීම පිණිසද, චතුරාර්යසත්‍යය දැනීම පිණිසද, සත්‍ය අවබොධය පිණිසද නිර්වාණය පිණිසද පවත්නේය”යි වදාළ සේක.
ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ධර්මය වදාළහ, ඒ භික්ෂූහු ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තාහුය.
තුන්වෙනිවූ ධර්මදායාද සූත්‍රය නිමි
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source