Fear and Dread
Bhayabherava Sutta
PDFGenerated
The Buddha explains the difficulties of living in the wilderness, and how they are overcome by purity of conduct and meditation. He recounts some of the fears and obstacles he faced during his own practice.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 1. මූල පරියාය වර්ගය 4. භයභෙරව සූත්‍රය Msdiv 34 මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජෙතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති.
එකල්හි ජානුස්සොණි නම් බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාමවූ ජානුස්සොණි බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කෙළේය.
“භවත් ගෞතමයන් වහන්ස, යම් යම් කුලපුත්‍රයෝ භවත් ගෞතමයින් උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහුද ඔවුන්ට පින්වතුන් වහන්සේම නායකය. පින්වතුන් වහන්සේම ඔවුන්ට බොහෝ උපකාර ඇත්තෙක. පින්වතුන් වහන්සේම ඔවුන් සමාදන් කරවන්නාහ. ඒ ජන සමූහතෙම භවත් ගෞතමයින්ගේ දෘෂ්ටානුගතියට (දැකීම අනුගමනය කිරීම) පැමිණේයයි” කියායි. “බ්‍රාහ්මණය, ඒ කරුණ එසේමය. බ්‍රාහ්මණය, යම් ඒ කුලපුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහුද? ඔවුන්ට මමම නායකවෙමි මමම බොහෝ උපකාර ඇත්තේ වෙමි. මමම ඔවුන් සමාදන් කරවන්නෙමි. ඒ ජන සමූහතෙමේ මගේම දෘෂ්ටානුගතියට පැමිණෙන්නේය.”
“භවත් ගෞතමයෙනි, ආරණ්‍ය සේනාසනයද වනයෙහි දුර පිහිටි සේනාසනද වනයෙහි ඉතාම දුර පිහිටි සේනාසනද ලැබීම දුෂ්කරය. හෙවත් එහි වාසය නොඉවසිය හැකිය. විවේකය දුෂ්කරය. තනිව විසීමේ සිත් ඇලවීම දුෂ්කරය. වනයෝ තුමූ සමාධිය නොලබන්නාවූ භික්ෂූහුගේ සිත පැහැර ගන්නාක් මෙන් වෙති. බ්‍රාහ්මණය, ඒ එසේමය. බ්‍රාහ්මණය, ඒ එසේමය. බ්‍රාහ්මණය, ආරණ්‍ය සේනාසනයද, වනයෙහි දුර පිහිටි සේනාසනයද, වනයෙහි ඉතාම දුර පිහිටි සේනාසනයද ලැබීම දුෂ්කරය. හෙවත් එහි වාසය නොඉවසිය හැකිය. විවේකය දුෂ්කරය, තනිව විසීමේ සිත් ඇලවීම දුෂ්කරය, වනයෝ තුමූ සමාධිය නොලබන්නාවූ භික්ෂූහුගේ සිත පැහැර ගන්නාක් මෙන් වෙති.
Msdiv 35 “බ්‍රාහ්මණය, බුදුවන්නට පෙර බොධිසත්ව කාලයේදී මටද මේ කල්පනාව ඇතිවිය. (එනම්) අරණ්‍ය සේනාසනද, වනයෙහි දුර පිහිටි සේනාසනද, වනයෙහි ඉතාම දුර පිහිටි සේනාසනද ලබන්ට දුෂ්කරය, හෙවත් එහි වාසය නොඉවසිය හැකිය, විවේකය දුෂ්කරය, තනිව විසීමේ සිත් ඇලවීම දුෂ්කරය, වනයෝ තුමූ සමාධිය නොලබන්නාවූ භික්ෂූහුගේ සිත පැහැරගන්නාක් මෙන් වෙති යනුයි.
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. අපිරිසිදු ක්‍රියා ඇති යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසන හා ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරත්ද? ඒ පින්වත් මහණ බමුණෝ අපිරිසිදු ක්‍රියා නමැති ස්වකීය දොෂ හෙතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි අපිරිසිදු ක්‍රියා ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම පිරිසිදු ක්‍රියා ඇත්තෙමි. යම් ආර්ය කෙනෙක් පිරිසිදු ක්‍රියා ඇත්තාහු වන සේනාසන සේවනය කරත් ද ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ පිරිසිදු ක්‍රියා ඇති බව තමා කෙරෙහි දකින මම බොහෝසෙයින් වනවාසය පිණිස නිර්භය බවට පැමිණියෙමි.
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. අපිරිසිදු වචන ඇත්තාවූ යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද දුර පිහිටි සේනාසනද සේවනය කරත්ද, ඒ පින්වත් මහණ බමුණෝ අපිරිසිදු වචන නමැති ස්වකීය දොෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි අපිරිසිදු වචන ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම පිරිසිදු වචන ඇත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් පිරිසිදු වචන ඇත්තාහු අරණ්‍ය සේනාසන සේවනය කරත්ද ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. මේ පිරිසිදු වචන ඇති බව තමා කෙරෙහි දකින මම බොහෝසෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
Msdiv 36 “බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. අපිරිසිදු සිතිවිලි ඇත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරත්ද, ඒ පින්වත් මහණ බමුණෝ අපිරිසිදු සිතිවිලි නමැති තමන්ගේ දොෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි අපිරිසිදු සිතිවිලි ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම පිරිසිදු වචන ඇත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් පිරිසිදු සිතිවිලි ඇත්තාහු අරණ්‍ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක්වෙමි. බ්‍රාහ්මණය, මේ පිරිසිදු සිතිවිලි ඇති බව තමා කෙරෙහි දක්නා මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
“බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇති විය. අපිරිසිදු ජීවිකා ඇත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ආරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද දුර පිහිටි සේනාසනද සේවනය කරත්ද, ඒ පින්වත් මහණ බමුණෝ අපිරිසිදු ජීවිකා නමැති තමන්ගේ දොෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි අපිරිසිදු ජීවිකා ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම පිරිසිදු ජීවිකා ඇත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් පිරිසිදු ජීවිකා ඇත්තාහු අරණ්‍ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ පිරිසිදු ජීවිකා ඇති බව තමා කෙරෙහි දක්නා මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
Msdiv 37 “බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇති විය. අධික ලොභ ඇත්තාවූ, කාමයන්හි තියුණු රාග ඇත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද ඒ පින්වත් මහණ බමුණෝ අධික ලොභ නමැති තමන්ගේ දොෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි අධික ලොභ ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම අධික ලොභ නැත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් අධික ලොභ නැත්තාහු අරණ්‍ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ අධික ලොභ නැතිකම තමා කෙරෙහි දක්නා මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
Msdiv 38 “බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇති විය. ස්වභාව ගතියෙන් වෙනස්වී දුෂ්ට ස්වභාවයට පැමිණි සිත් ඇත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද, ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද, ඒ පින්වත් මහණ බමුණෝ ක්‍රොධ සිත නමැති තමන්ගේ දොෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි ක්‍රොධ සිත් ඇතිව වනසේනාසන සේවනය නොකරමි. මම ක්‍රොධ සිත් නැත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් මෛත්‍රී සිත් ඇත්තාහු අරණ්‍ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ මෛත්‍රී සිත් ඇතිබව තමා කෙරෙහි දක්නා මම බොහෝ සෙයින් වන වාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
Msdiv 39 “බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇති විය. ථින මිද්ධයෙන් (හිතේ ගිලන්කමින් හා චෛතසිකයන්ගේ ගිලන්කමින්) මඩනා ලද්දාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද, ඒ පින්වත් මහණ බමුණෝ ථිනමිද්ධ නමැති තමන්ගේ දොෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි ථිනමිද්ධ ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම ථිනමිද්ධ නැත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් ථිනමිද්ධ නැත්තාහු අරණ්‍ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ ථිනමිද්ධ නැතිකම තමා කෙරෙහි දක්නාවූ මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
Msdiv 40 “බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇති විය. විසිර ගියාවූ නොසන්සුන් සිත් ඇත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද, වනයෙහි ළඟ පිහිටි සේනාසනද, ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද, ඒ පින්වත් මහණ බමුණෝ නොසංසිඳුනු සිත නමැති තමන්ගේ දොෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි නොසංසිඳුනු සිත් ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම සංසිඳුනු සිත් ඇත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් සංසිඳුනු ඇත්තාහු අරණ්‍ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ සංසිඳුනු සිත් ඇති බව තමා කෙරෙහි දක්නාවූ මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
Msdiv 41 “බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇති විය. සැක කරන්නාවූ නිශ්චයක් නැත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද, ඒ පින්වත් මහණ බමුණෝ සැක නමැති තමන්ගේ දොෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි සැක සහිත සිත් ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම දුරුකළාවූ සැක ඇත්තේ වෙමි. යම් ආර්ය කෙනෙක් සැක නැත්තාහු අරණ්‍ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ සැකය දුරුකළ බව තමා කෙරෙහි දක්නාවූ මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
Msdiv 42 “බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇති විය. තමන් උසස් කොට සිතන්නාවූ, අනුන් පහත් කරන්නාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද, වනයෙහි ළඟ පිහිටි සේනාසනද, ඉතා දුර පිහිටි සේනාසනද, සේවනය කරත්ද, ඒ පින්වත් මහණ බමුණෝ තමා උසස් කොට සිතීම නමැති තමන්ගේ දොෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි තමා උසස් කොට සහිත සිත් ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම මම තමා උසස් කොට සිතීමි දුරුකළේ වෙමි. යම් ආර්ය කෙනෙක් තමා උසස් කොට සිතීම දුරුකළාවූ අරණ්‍ය සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ තමා උසස්කොට සිතීම දුරුකළ බව තමා කෙරෙහි දක්නාවූ මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියේ වෙමි.
Msdiv 43 “බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. තැති ගන්නාවූ, භයවන ස්වභාව ඇත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද, වනයෙහි ළඟ පිහිටි සේනාසනද, ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද, ඒ පින්වත් මහණ බමුණෝ ලොමු දැහැගැනුම හා බියසුලු බව නමැති තමන්ගේ දොෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි ලොමු දැහැගැනුම් ඇතිව වනසේනාසන සේවනය නොකරමි. මම ලොමු දැහැගැනුම දුරු කළේ වෙමි. යම් ඒ ආර්ය කෙනෙක් ලොමු දැහැගැනුම බිය සුලු බව දුරු කළාවූ අරණ්‍ය සේනාසන සේවනය කරත් ද ඔවුන් අතරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ ලොමු දැහැගැනුම හා බියසුලු බව දුරු කිරීම තමා කෙරෙහි දක්නාවූ මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියේ වෙමි.
Msdiv 44 “බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. ලාභ සත්කාර හා කීර්තිය පතන්නාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද, ඒ පින්වත් මහණ බමුණෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කැමති වීම නමැති තමන්ගේ දොෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි ලාභ සත්කාර කීර්ති ප්‍රංසා කැමතිව වන සේනාසන සේවනය නොකරමි. මම අල්පෙච්ඡ (සුලු දෙයින් සතුටුවන) බව ඇත්තේ වෙමි. යම් ඒ ආර්යකෙනෙක් අල්පෙච්ඡවූවාහු අරණ්‍ය සේනාසන සේවනය කරත්ද, ඔවුන් අතරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ අල්පෙච්ඡ බව තමා කෙරෙහි දක්නාවූ මම බොහෝ සෙයින් වන වාසය පිණිස භය නැතිබවට පැමිණියේ වෙමි.
Msdiv 45 “බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. කම්මැලිවූ වීර්ය නැත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද, වනයෙහි ළඟ පිහිටි සේනාසනද ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද ඒ පින්වත් මහණ බමුණෝ සේනාසනද සේවනය කරයිද ඒ පින්වත් මහණ බමුණෝ කම්මැලි බව හා වීර්ය නැති බව යන තමන්ගේ දොෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි කම්මැලි බව හා වීර්ය නැති බව ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම පටන්ගත් වීර්යය ඇත්තේ වෙමි. යම් ඒ ආර්ය කෙනෙක් පටන්ගත් වීර්ය ඇත්තේ වන සේනාසන සේවනය කරද්ද ඔවුන් කෙරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ පටන්ගත් වීර්යය ඇති බව තමා කෙරෙහි දක්නාවූ මම බොහෝසෙයින් වන වාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
Msdiv 46 “බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. මුළාවූ සිහිඇත්තාවූ, හොඳ නුවණනැත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද, ඉතා දුර පිහිටි සේනාසනයද සේවනය කරයිද, ඒ පින්වත් මහණ බමුණෝ සිහි මුළා බව හා හොඳ නුවණ නැති බව යන තමන්ගේ දොෂ හේතුවෙන් භයානක අරමුණු වන සේනාසන සේවනය නොකරමි. මම එළඹ සිටි සිහි ඇත්තේ වෙමි. යම් ඒ ආර්ය කෙනෙක් එළඹ සිටි සිහි ඇත්තේ වන සේනාසන සේවනය කරද්ද, ඔවුන් අතුරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ එළඹ සිටි සිහි ඇති බව තමා කෙරෙහි දක්නාවූ මම බොහෝසෙයින් වන වාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
Msdiv 47 “බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. එකඟ සිතක් නැත්තාවූ, නොයෙක් අරමුණෙහි දුවන සිත් ඇත්තාවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරයිද, ඒ පින්වත් මහණ බමුණෝ එකඟ සිත් නැති බව නොයෙක් අරමුණෙහි දුවන සිත් ඇති බව යන තමන්ගේ දොෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි එකඟවූ සිත් නැතිව නොයෙක් අරමුණෙහි දුවන සිත් ඇතිව වන සේනාසන සේවනය නොකරමි. මම එකඟවූ සිත් ඇත්තේ වෙමි. යම් ඒ ආර්ය කෙනෙක් එකඟවූ සිත් ඇත්තේ වන සේනාසන සේවනය කරද්ද ඔවුන් අතරෙන් මම එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ එකඟවූ සිත් ඇති බව තමා කෙරෙහි දක්නාවූ මම බොහෝ සෙයින් වන වාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
Msdiv 48 “බ්‍රාහ්මණය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. නුවණ නැත්තාවූ කෙලතොලුවූ යම් ඒ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අරණ්‍ය සේනාසනද වනයෙහි ළඟ පිහිටි සේනාසනද ඉතා දුර පිහිටි සේනාසනද සේවනය කරද්ද ඒ පින්වත් මහණ බමුණෝ නුවණ නැති බව හා කෙලෙතොලු බව යන තමන්ගේ දොෂ හේතුවෙන් භයානක අරමුණු දකිති. මම වනාහි නුවණ නැති බව හා කෙලතොලු බව ඇතිව වනසේනාසන සේවනය නොකරමි. මම නුවණින් යුක්ත වූයේ වෙමි. යම් ඒ ආර්ය කෙනෙක් නුවණින් යුක්ත වූයේ වන සේනාසන සේවනය කරද්ද මම ඔවුන් අතරෙන් එක්තරා කෙනෙක් වෙමි. බ්‍රාහ්මණය, මේ නුවණින් යුක්ත බව තමා කෙරෙහි දක්නාවූ මම බොහෝ සෙයින් වනවාසය පිණිස භය නැති බවට පැමිණියෙමි.
සොළොස් වැදෑරුම් ක්‍රමය නිමි.
Msdiv 49 “බ්‍රාහ්මණය, ඒ මට මෙබඳු සිතක් ඇති විය. පක්ෂයෙහි ප්‍රසිද්ධවූ තුදුස්වකය, පසළොස්වකය, අටවකය, යන යම් ඒ රාත්‍රීහු වෙත්ද, එබඳු රාත්‍රීන්හි බිහිසුණු වූ රොමොද්ගමනය කරන්නාවූ යම්බඳු පිදිය යුතු ආරාම වෙත්ද, පිදිය යුතු වනයෝ වෙත්ද, පිදිය යුතු වෘක්ෂයෝ වෙත්ද, එබඳුවූ සෙනසුන්හි මම වාසය කරන්නෙම් නම් ඒ භයානක අරමුණ දකින්නෙම් නම් ඉතා යෙහෙකැයි කියායි.
“බ්‍රාහ්මණය ඒ මම ඉන් මෑත කලෙක ප්‍රසිද්ධවූ තුදුස්වකය පසළොස්වකය, අටවකය, යන මේ ඒ රාත්‍රීහු වෙත්ද එබඳු රාත්‍රීන්හි භය ජනකවූ, රොමොද්ගමනය කරන්නාවූ යම් ඒ පිදිය යුතු ආරාම වෙත්ද, පිදිය යුතු වනයෝ වෙත්ද, පිදිය යුතු වෘක්ෂයෝ වෙත්ද, එබඳුවූ සෙනසුන්හි වාසය කරමි.
“බ්‍රාහ්මණය, එහි වාසය කරන්නාවූ මා සමීපයට මෘගයෙක් හෝ එයි. මොණරෙක් හෝ වියලි දඬු ගස්වලින් හෙලයි. වාතය හෝ වියළි කොළ හෙලයි. මේ එන්නේ එකාන්තයෙන් ඒ භයානක අරමුණයයි මට කල්පනා විය.
“බ්‍රාහ්මණය, ඒ මට මේ සිත ඇතිවිය. කිමෙක්දෝ මම භය කැමති වෙමින් වාසය කෙරේ ද, යම් යම් ඉරියව්වකින් සිටියාවූ මා වෙතට ඒ භයානක අරමුණ ඒ ද ඒ ඒ ඉරියව්වෙන් සිටියේ ම ඒ භයානක අරමුණ දුරුකරන්නෙමි. කියායි.
“බ්‍රාහ්මණය, සක්මන්කරන්නාවූ මා වෙතට ඒ භයානක අරමුණ ඒ ද බ්‍රාහ්මණය, ඒ මම සක්මන් කරමින්ම ඒ බිහිසුණු අරමුණ දුරුකරන තෙක් නොසිටිමි, නොහිඳිමි, නොනිදමි.
“බ්‍රාහ්මණය, සිටියාවූ ඒ මා වෙතට ඒ බිහිසුණු අරමුණ ඒ ද බ්‍රාහ්මණය, ඒ මම සිටිමින්ම ඒ භයානක අරමුණ දුරු කරන තෙක් සක්මන් නොකරමි, නොහිඳිමි, නොනිදමි.
“බ්‍රාහ්මණය හුන්නාවූ මා වෙතට ඒ භයානක අරමුණ ඒද බ්‍රාහ්මණය, ඒ මම හුන්නේම ඒ බිහිසුණු අරමුණ දුරු කරන තෙක් නොසිටිමි, සක්මන් නොකරමි, නොනිදමි.
“බ්‍රාහ්මණය, නිදන්නාවූ මා වෙතට ඒ භයානක අරමුණ ඒද? බ්‍රාහ්මණය, ඒ මම නිදාගෙන ඒ භයානක අරමුණ දුරු කරන තෙක් නොහිඳිමි, නොසිටිමි, සක්මන් නොකරමි.
Msdiv 50 “බ්‍රාහ්මණය, රාත්‍රි කාලයම දවල් කාලයයි හඟින්නාවූද දවල් කාලයම රාත්‍රි කාලයහි හඟින්නාවූද ඇතැම් මහණ බමුණෝ ඇත්තාහුය, බ්‍රාහ්මණය, මම මෙය ඔවුන්ගේ සම්මෝහි විහරණය (මුළාවී වාසය කිරීම) යි කියමි.
“බ්‍රාහ්මණය, මම වනාහි රාත්‍රියම රාත්‍රියයයි දනිමි, දහවල දහවල්යයි දනිමි. බ්‍රාහ්මණය, මුළා නොවන ස්වභාව ඇති සත්වයෙක් තෙම බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, වැඩ පිණිස, හිත පිණිස, දෙව් මිනිසුන්ට සැප පිණිස ලොකයෙහි උපන්නේයයි යම් ඒ කෙනෙකු උදෙසා මනාකොට කියන්නෙක් කියාද ඒ මා උදෙසා කියාමැයි.
Msdiv 51 මා විසින් නොහැකිළෙන්නාවූ වීර්ය පටන් ගන්නා ලද්දේ විය. නුමුළාවූ සිහිය එළඹ සිටියාය. ශරීරය සංසිඳී ගියේය. එහෙයින්ම සැහැල්ලුවිය. සිත සමාධියෙහි මනාව පිහිටියේ විය. එහෙයින්ම එකඟ විය.
“බ්‍රාහ්මණය, ඒ මම කාමයෙන් වෙන්වම සියලු අකුසලයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. විතර්ක විචාර දෙදෙනාගේ සන්සිඳීමෙන් හිතේ පැහැදීම ඇත්තාවූ, හිතේ එකඟ බව ඇත්තාවූ විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති දෙවෙනිවූ ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපේක්ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් යුක්තවූයේ කයින් සැපය වින්දෙමි. යමක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්ත වූයේ සැප විහරණ ඇත්තේයයි ආර්යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. සැපය නැති කිරීමෙන් දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති සතරවැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි.
Msdiv 52 “ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි පිරිසිදුවූ කල්හි, පිරිසිදු හෙයින්ම දීප්තිමත් වූ කල්හි, අංගන (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි මෘදුවූ කල්හි, කාර්යයට සුදුසුව සිටි කල්හි චංචල නොවී සිටි කල්හි පෙර විසූ කඳ පිළිවෙල දැනීම පිණිස සිත නැමුයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්වනිවාසය (පෙර උපන් ජාති) සිහිකරමි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශ වන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසුවල් තැන උපන්නෙමි, එහි මෙනම් ඇත්තේ වීමි, මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි, මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙබඳු සැප දුක් විඳින්නෙක් වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍ය භවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නන් වැදෑරුම්වූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.
“බ්‍රාහ්මණය, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූතැන් දන්නා නුවණ) ලබන ලදී, එය වසන අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකු යම්සේ සිදුවිය යුතු නම් එසේ විය.”
(පූර්ව නිවාස කථා නිමි)
Msdiv 53 “ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, පිරිසිදු හෙයින්ම දීප්තිමත්වූ කල්හි, අංගණ (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කාර්යයට සුදුසුව සිටි කල්හි, චංචල නොවී සිටිකල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද ප්‍රණීතවූද මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මියගියාවූ සත්වයන් දකිමි.
“ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනොදුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්යයන්ට දොස් කීවාහු මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු මිථ්‍යාදෘෂ්ටි ක්‍රියාඅනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්ත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු මනො සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්යයන්ට දොස් නොකීවාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය, (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ගලොකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමක වූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද අයහපත් ගති නැත්තාවූද කර්මය පරිදි මියගියාවූ සත්වයන් දනිමි.
“බ්‍රාහ්මණය, මා විසින් රාත්‍රියෙහි මැදයමෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම් ඉපදීම් දක්නා නුවණ) ලබනලදී. එය වසන අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය.
Msdiv 54 “ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි ආශ්‍රව ක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. ඒ මම මෙය දුකයයි තතුසේ දත්තෙමි මේ දුක් ඉපදීමට හේතුවයැයි සතුසේ දත්තෙමි මේ දුක් නැති කිරීමයැයි තතුසේ දත්තෙමි. මේ දුක නැතිකිරීමේ මාර්ගයයැයි තතුසේ දත්තෙමි. මොහු ආශ්‍රවයෝ (කාම ආදී කෙලෙස්) යයි තතුසේ දැන ගතිමි. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමයයි තතුසේ දැනගත්තෙමි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදුනේය. භවාශ්‍රවයෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය.
“මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මේ අර්හත්වය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දත්තෙමි.
“බ්‍රාහ්මණය, රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රව ක්ෂයකර ඥාන නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලබන ලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලොකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය”
(කෙලෙස් නැසීමේ කථා නිමි.)
Msdiv 55 “බ්‍රාහ්මණය, ඔබට කිසි විටෙක මෙබඳු අදහසක් විය හැක්කේය. අද දක්වාත් ශ්‍රමණ ගෞතම තෙම පහනොවූ රාග ඇත්තේය, පහ නොවූ ද්වේෂ ඇත්තේය, පහනොවූ මොහ ඇත්තේය, එහෙයින් ආරණ්‍ය සේනාසනයන්ද වනයේ සමීප සෙනසුන්ද වනයේ ඉතා ඈත පිහිටි සෙනසුන්ද, සේවනය කෙරේයයි කියායි.
“බ්‍රාහ්මණය, එය එසේ නොසැළකිය යුතුය. බ්‍රාහ්මණය මම වනාහි කරුණු දෙකක් සලකා ආරණ්‍ය සෙනාසනද වනයේ සමීප සෙනාසනද වනයේ ඉතා ඈත පිහිටි සෙනාසනද සෙවනය කරමි. තමන්ගේ මෙකල සැප විහරණය සලකමින් හා අනාගත ජන සමූහයාට අනුකම්පා පිණිසද යන කරුණු දෙකයි.
Msdiv 56 “භවත්ගෞතමයින් විසින් මේ අනාගත ජනසමූහයා අර්හත්වූ සම්‍යක් සම්බුදු කෙනෙකුන් විසින් යම්සේ කළ යුතු නම් එසේම අනුකම්පා කරන ලද්දේ වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම දෙශනාව ඉතා යහපත භවත් ගෞතමයාණෙනි, ඉතා යහපත භවත් ගෞතමයාණෙනි, යම්සේ යටිකුරු කළ බඳුනක් උඩුකුරු කරන්නේද, තණකොළ ආදියෙන් වැසුනක් විවෘත කරන්නේද මංමුළා වූවෙකුට මග කියන්නේද ගණඳුරෙහි ඇස් ඇත්තාහු රූපයන් දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද එපරිද්දෙන්ම භවත් ගෞතමයන් විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය ප්‍රකාශ කරන ලදී. ඒ ධර්මය ශ්‍රවණය කළාවූ මම භවත් ගෞතමයින් වහන්සේ සරණ යමි. ධර්මයද සංඝයාද සරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණගියාවූ උපාසකයෙකු කොට මා සලකනසේක්වා.
හතර වෙනිවූ භය භෙරව සූත්‍රය නිමි.
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source