The Shorter Discourse on the Lion’s Roar
Cūḷasīhanāda Sutta
PDFGenerated
The Buddha declares that only those following his path can genuinely experience the four stages of awakening. This is because, while much is shared with other systems, none of them go so far as to fully reject all attachment to the idea of a self.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 2. සීහනාද වර්ගය 11. චූල සීහනාද සූත්‍රය Msdiv 139 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනාථපිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවනනම් විහාරයෙහි වැඩවාසය කරති. එකල භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“මහණෙනි, පළමුවැනි (සෝවාන්) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. දෙවැනි (සකෘදාගාමි) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. තුන්වැනි (අනාගාමි) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. සතරවැනි (රහත්) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. මෙයින් අන්‍යවූ වාදයෝ (ශාසන) ශ්‍රමණයන්ගෙන් හිස්ය. මහණෙනි මෙසේ මේ සිංහ නාදය මනාකොට නාද කරව්.
Msdiv 140 “මහණෙනි, මේ කාරණයක් ඇත්තේය. අන්‍යලබ්ධික පරිබ්‍රාජකයන් මෙසේ කියන්නට පුළුවන. පළමුවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, දෙවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, තුන්වැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, සතරවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, අන්‍යවූ වාදයෝ ශ්‍රමණයන්ගෙන් හිස්යයි ආයුෂ්මත්වූ තෙපි කියන්නාහුය. මෙසේ කීමට ආයුෂ්මතුන්හට ඇති පිහිට කවරේද? බලය කුමක්දැයි කියන්නාහුය.
“මහණෙනි, මෙසේ කියන්නාවූ අන්‍යලබ්ධික පරිබ්‍රාජකයන්හට තොප විසින් මෙසේ කියයුතුය. ඇවැත්නි, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම සතරක් ඇත්තාහුමය. ඒ ධර්ම සතර අප කෙරෙහි ඇති බව දකිමින් අපි පළමුවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, දෙවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, තුන්වැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, හතරවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, අන්‍යවූ වාදයෝ ශ්‍රමණයන්ගෙන් සූන්‍යයයි කියමු. කවර සතරක්ද යත්? ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ කෙරෙහි අපගේ පැහැදීම ඇත්තේමය. ධර්මයෙහි පැහැදීම ඇත්තේමය. සීලයන් සම්පූර්ණ කරන බව ඇත්තේමය. ගිහිවූද, පැවිදිවූද මේ සියලුදෙන එක්ව ධර්මයෙහි හැසිරෙන්නාහු ඔවුනොවුන්ට ප්‍රිය වෙත්. මනාපවෙත්. ඇවැත්නි, යම් ධර්මයක් අප කෙරෙහි ඇති බව දකිමින් අපි පළමුවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, දෙවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, තුන්වැනි ශ්‍රමණ තෙමේද මෙහිමය, හතරවැනි ශ්‍රමණ තෙමේද මෙහිමය. අන්‍යවූ වාදයෝ ශ්‍රමණයන්ගෙන් සූන්‍යහයි කියමු නම් අපට ඒ සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලද මේ ධර්ම හතර ඇත්තේමය.
Msdiv 141 “මහණෙනි, (තොප මෙසේ කියූවිට) අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයන් මෙසේ කියන්නට පුළුවන. ඇවැත්නි යම් කෙනෙක් අපගේ ශාස්තෘනම් ඒ ශාස්තෲන්කෙරෙහි අපගේද පැහැදීම ඇත. යමක් අපගේ ධර්මය නම් ඒ ධර්මයෙහි අපගේද පැහැදීම ඇත. අපගේ යම් සීල වෙත් නම් ඒ සීලයන් අපිත් සම්පූර්ණ කරන්නෙමු. අපගේද එක්ව ධර්මයෙහි හැසිරෙන්නාවූ ගිහියෝද පැවිද්දෝද ඔවුනොවුන්ට ප්‍රියවෙත් මනාප වෙත්. ඇවැත්නි මෙහිලා තොපගේද අපගේද වෙනස කවරේද? අදහස කවරේද? වෙනස් කාරණය කුමක්දැ? (යි) කියන්නාහුය.
“මහණෙනි, මෙසේ කියන්නාවූ අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයන්හට මෙසේ කියයුතුය. ඇවැත්නි, කිමෙක්ද? නිෂ්ඨාව (කෙළවර) එකක්ද, නොහොත් බොහෝදැයි (ඇසිය යුතුය) මහණෙනි, හරියට උත්තරදෙන අන්‍යලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ.
“ඇවැත්නි, කෙළවර එකක්ය. බොහෝ නොවෙත්යයි (කියති) ඇවැත්නි, ඒ නිෂ්ඨාව (කෙළවර) රාග සහිතයාටද නොහොත් රාග නැත්තටදැයි (ඇසිය යුතුය) හරියට උත්තර දෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර රාග නැති තැනැත්තාටය. රාග සහිත තැනැත්තාට නොවේයයි (කියති) ඇවැත්නි, ඒ කෙළවර ද්වේෂ සහිතයාටද? නොහොත් පහවූ ද්වේෂ ඇත්තහුට දැයි (ඇසිය යුතු) හරියට උත්තර දෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නී, ඒ කෙළවර පහවූ ද්වේෂ ඇත්තාහටය, ඒ කෙළවර ද්වේෂ සහිතයාට නොවේ. (යයි කියති) ඇවැත්නි, ඒ කෙළවර මොහ සහිතයාටද? නොහොත් පහවූ මොහ ඇත්තාහටදැයි (ඇසිය යුතුය) මහණෙනි, හරියට උත්තරදෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ ඇවැත්නි, ඒ කෙළවර පහවූ මොහ ඇත්තාහටය. ඒ කෙළවර මොහ සහිතයාට නොවේ යැයි (කියති) ඇවැත්නි, ඒ කෙළවර තෘෂ්ණාව ඇති තැනැත්තාටද? නොහොත් තෘෂ්ණාව පහකළ තැනැත්තාහටදැයි (ඇසිය යුතුය) මහණෙනි, හරියට උත්තරදෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර පහවූ තෘෂ්ණා ඇත්තාහටය ඒකෙළවර තෘෂ්ණා ඇති තැනැත්තාට නොවේයැයි (කියති) ඇවැත්නි ඒ කෙළවර උපාදාන (තෘෂ්ණා දෘෂ්ටි දෙකින් දැඩිකොට අල්ලා ගැනීම) ඇත්තාහටද? නොහොත් උපාදාන නැත්තාහට දැයි (ඇසිය යුතු) මහණෙනි, හරියට උත්තර දෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර උපාදාන නැත්තාටය. ඒ කෙළවර උපාදාන ඇත්තාට නොවේයයි (කියති) ඇවැත්නි, ඒ කෙළවර නුවණැතියාටද? නොහොත් මෝඩයාටදැයි (ඇසිය යුතු) මහණෙනි, හරියට උත්තරදෙන අන්‍ය ලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර නුවණැතියාටය ඒ කෙළවර මෝඩයාට නොවේයයි (කියති) ඇවැත්නි, ඒ කෙළවර රාගයෙන් ඇලුණු ක්‍රොධයෙන් කිපුණු පුද්ගලයාටද? නොහොත් රාගයෙන් නොඇළුණු ක්‍රොධයෙන් නොකිපුණු පුද්ගලයාටදැයි (ඇසිය යුතු) මහණෙනි, හරියට උත්තරදෙන අන්‍යලබ්ධික පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහ. ඇවැත්නි, ඒ කෙළවර රාගයෙන් නොඇළුණු ක්‍රොධයෙන් නොකිපුණු පුද්ගලයාටය, රාගයෙන් ඇළුණු ක්‍රොධයෙන් කිපුණු පුද්ගලයාහට නොවේයයි (කියති.)
“ඇවැත්නි, ඒ කෙළවර තෘෂ්ණා දෘෂ්ටි දෙකින් ප්‍රමාද වීමෙහි ඇලුණහුටද නොහොත් තෘෂ්ණා දෘෂ්ටි දෙකින් ප්‍රමාද නොවූවහුටදැයි (ඇසිය යුතුය.) ඇවැත්නි, ඒ කෙළවර තෘෂ්ණා දෘෂ්ටි දෙකින් ප්‍රමාදවූවහුට නොවේ. තෘෂ්ණා දෘෂ්ටි දෙකින් ප්‍රමාද නොවූවහුටයයි (කියති)
Msdiv 142 “මහණෙනි, මේ දෘෂ්ටි දෙකක් වෙත්. සාශ්වත දෘෂ්ටියය (නිත්‍ය ආත්මයක් ඇතැයි සිතන දෘෂ්ටිය,) උච්ඡේද දෘෂ්ටියය (ආත්මය සිඳේ යයි ගන්නා දෘෂ්ටිය) යන දෙකයි මහණෙනි, සාශ්වත දෘෂ්ටියෙහි ඇළුණාවූ සාශ්වත දෘෂ්ටියට පැමිණියාවූ සාශ්වත දෘෂ්ටියෙහි ගැළුණාවූ යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔවුහු උච්ඡේද දෘෂ්ටියට විරුද්ධවෙත්. මහණෙනි, උච්ඡේද දෘෂ්ටියෙහි ඇලුණාවූ උච්ඡේද දෘෂ්ටියට පැමිණියාවූ, උච්ඡේද දෘෂ්ටියෙහි ගැලුනාවූ යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔවුහු සාශ්වත දෘෂ්ටියට විරුද්ධ වෙත්.
“මහණෙනි, යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ දෘෂ්ටි දෙදෙනාගේ හටගැන්මද, නැතිවීමද ආශ්වාදයද ආදීනවද, දුරුකිරීමද ඇති සැටියෙන් නොදනිත් නම් ඔවුහු රාගසහිතයෝය. ඔවුහු ද්වේෂ සහිතයෝය, ඔවුහු මෝහ සහිතයෝය, ඔවුහු උපාදාන සහිතයෝය, ඔවුහු මෝඩයෝය, ඔවුහු රාගයෙන් ඇලුණු ක්‍රොධයෙන් කිපුණෝය, ඔවුහු ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශොකයෙන්ද, වැළපීමෙන්ද, ශාරීරික දුකින්ද, දොම්නසින්ද, දැඩි වෙහෙසින්ද, නොමිදෙත්. සියලු සංසාර දුකින් නොමිදෙත් යයි කියමි.
මහණෙනි, යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ දෘෂ්ටීන් දෙදෙනාගේ හටගැන්මද නැතිවීමද ආශ්වාදයද ආදීනවද දුරු කිරීමද ඇති සැටියෙන් දනිත්ද, ඔවුහු පහවූ රාග ඇත්තෝය, ඔවුහු පහවූ ද්වේෂ ඇත්තෝය. ඔවුහු පහවූ මොහ ඇත්තෝය, ඔවුහු පහවූ තෘෂ්ණා ඇත්තෝය, ඔවුහු උපාදාන නැත්තෝය, ඔවුහු නුවණැතියෝය, ඔවුහු ඉපදීමෙන්ද ජරාවෙන්ද මරණයෙන්ද ශොකයෙන්ද වැළපීමෙන්ද ශාරීරික දුකින්ද මානසික දුකින්ද දැඩිවෙහෙසින්ද මිදෙන්නාහුය. සියලු සසර දුකින් මිදෙන්නාහුයයි කියමි.
Msdiv 143 “මහණෙනි, මේ උපාදාන සතරක් වෙත්. කාමඋපාදානයය, දිට්ඨි උපාදානයය, ශීලව්‍රත උපාදානයය, ආත්මවාද උපාදානයය, යන සතරයි. මහණෙනි, සියලු උපාදානයන්ගේ නැතිකිරීම දන්නෙමුයයි කියන්නාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔවුහු සියළු උපාදානයන්ගේ නැතිකිරීම හරියට නොපණවත්. කාම උපාදානයාගේ නැතිකිරීම පණවත්. දෘෂ්ටි උපාදානයාගේ නැතිකිරීම නොපණවත්. ශීලව්‍රතඋපාදානයාගේ නැතිකිරීම නොපණවත්. ආත්මවාද උපාදානයාගේ නැතිකිරීම නොපණවත්. ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ මේ කරුණු තුන ඇති සැටියෙන් නොදනිත්. එහෙයින් ඒ පින්වත් මහණ බමුණෝ සියලු උපාදානයන්ගේ නැතිකිරීම දන්නා බව ප්‍රකාශකරන නමුත් සියලු උපාදානයන්ගේ නැතිකිරීම හරියට නොපණවත්. කාම උපාදානයාගේ නැතිකිරීම පණවත්, දිට්ඨි උපාදානයාගේ නැතිකිරීම නොපණවත්, ශීලව්‍රත උපාදානයාගේ නැතිකිරීම නොපණවත්, ආත්මවාද උපාදානයාගේ නැතිකිරීම නොපණවත්.
“මහණෙනි, සියලු උපාදානයාගේ නැතිකිරීම පණවන්නෙමුයි ප්‍රකාශ කරන්නාවූ ඇතැම් මහණ බමුණෝ වෙත්. ඔවුහු සියලු උපාදානයාගේ නැතිකිරීම හරියට නොපණවත්. කාම උපාදානයාගේ නැතිකිරීම පණවත්. දෘෂ්ටිඋපාදානයාගේ නැතිකිරීම පණවත්. ශීලව්‍රත උපාදානයාගේ නැතිකිරීම නොපණවත් ආත්මවාද උපාදානයාගේ නැතිකිරීම නොපණවත් ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ මේ කරුණුදෙක ඇතිසැටියෙන් නොදනිත්. එහෙයින් ඒ පින්වත් මහණ බමුණෝ සියලු උපාදානයාගේ නැතිකිරීම දන්නා බව ප්‍රකාශකරණ නමුත් සියලු උපාදානයන්ගේ නැතිකිරීම හරියට නොපණවත්. කාම උපාදානයාගේ නැතිකිරීම පණවත්. දෘෂ්ටි උපාදානයාගේ නැතිකිරීම පණවත්. ශීලව්‍රත උපාදානයාගේ නැතිකිරීම නොපණවත්.
“මහණෙනි, සියලු උපාදානයන්ගේ පහකිරීම පණවන්නෙමුයි. ප්‍රකාශ කරන්නාවූ ඇතැම් මහණ බමුණෝ වෙති. ඔවුහු සියලු උපාදානයන්ගේ නැතිකිරීම හරියට නොපණවත්. කාම උපාදානයාගේ නැතිකිරීම පණවත්, දෘෂ්ටි උපාදානයාගේ නැතිකිරීම පණවත්, ශීලව්‍රත උපාදානයාගේ නැතිකිරීම පණවත්. ආත්මවාද උපාදානයාගේ නැතිකිරීම නොපණවත්, ඊට හේතු කවරේද? ඒ පින්වත් මහණ බමුණෝ ඒ මේ එකම කාරණය ඇති සැටියෙන් නොදනිත්. එහෙයින් ඒ පින්වත් මහණ බමුණෝ සියලු උපාදානයන්ගේ නැතිකිරීම දන්නා බව ප්‍රකාශකරන නමුත් සියලු උපාදානයන්ගේ නැතිකිරීම හරියට නොපණවත්. කාම උපාදානයාගේ නැතිකිරීම පණවත්. දෘෂ්ටි උපාදානයාගේ නැතිකිරීම පණවත්. ශීලව්‍රත උපාදානයාගේ නැතිකිරීම පණවත්. ආත්මවාද උපාදානයාගේ නැතිකිරීම නොපණවත්.
“මහණෙනි, මෙබඳුවූ ශාසනයෙහි ශාස්තෲන් කෙරෙහි යම් පැහැදීමක් වේද? ඒ ප්‍රසාදය මනාව පිහිටියේයයි කියනු නොලැබේ. ධර්මයෙහි යම් පැහැදීමක් වේද ඒ ප්‍රසාදය මනාව පිහිටියේයයි නොකියනු ලැබේ. සීලයන් හොඳින් සම්පූර්ණ කිරීමක් වේද එය මනාව පිහිටියේයයි කියනු නොලැබේ. එක්ව ධර්මයෙහි හැසිරෙන්නවුන් අතර යම් ප්‍රියමනාප බවක් වේද එය මනාව පිහිටියේ යයි කියනු නොලැබේ.
ඊට හේතු කවරේද? මහණෙනි, වරදවා ප්‍රකාශ කරණ ලද්දාවූ වරදවා දන්නා ලද්දාවූ නිවන් පිණිස නොපවත්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නාවූ බුදු නොවූවෙකු විසින් කියන ලද්දාවූ ධර්මයක සැටි මෙසේ වීමයි.
Msdiv 144 “මහණෙනි, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ සියලු උපදානයන්ගේ නැතිකිරීම කියන්නේයයි ප්‍රකාශ කරන්නේ සියලු උපාදානයන්ගේ නැතිකිරීම පණවයි. කාම උපාදානයාගේ නැතිකිරීම පණවයි. දෘෂ්ටි උපාදානයාගේ නැතිකිරීම පණවයි. ශීලව්‍රත උපාදානයාගේ නැතිකිරීම පණවයි ආත්මවාද උපාදනයාගේ නැතිකිරීම පණවයි. මහණෙනි, මෙබඳු ශාසනයෙහි වනාහි බුදුන් කෙරෙහි යම් පැහැදීමක් වේද, ඒ මනාව පිහිටියේයයි කියනු ලැබේ. ධර්මයෙහි යම් පැහැදීමක්වේද ඒ මනාව පිහිටියේයයි කියනු ලැබේ. ශීලයන්හි යම් හොඳින් සම්පූර්ණ කිරීමක්වේද ඒ මනාව පිහිටියේයයි කියනු ලැබේ. එක්ව ධර්මයෙහි හැසිරෙන්නවුන් අතර යම් ප්‍රියමනාප බවක් වේද, ඒ මනාව පිහිටියේයයි කියනු ලැබේ. මහණෙනි, මනාව ප්‍රකාශ කරණලද මනාව අවබොධ කරගත්, නිවන් පිණිස පවතින්නාවූ කෙලෙස් සංසිඳීම පිණිස පවතින්නාවූ සම්‍යක් සම්බුදුවරයෙකු විසින් දෙශනා කරන ලද්දාවූ ධර්මයෙහි ආකාරය මෙසේ වීමයි.
Msdiv 145 “මහණෙනි, මේ උපාදාන සතර කුමක් මුල්කාරණය කොට ඇත්තාහුද? කුමක් උත්පත්ති හෙතුව කොට ඇත්තාහුද? කුමක් ජාති කොට ඇත්තාහුද? කුමකින් පහළ වන්නාහුද? මේ උපාදාන සතර තෘෂ්ණාව මූලකාරණ කොට ඇත්තාහුය. තෘෂ්ණාව හෙතු කොට ඇත්තාහුය. තෘෂ්ණාව ජාති කොට ඇත්තාහුය. තෘෂ්ණාවෙන් පහළ වන්නාහුය.
“මහණෙනි, මේ තෘෂ්ණාව කුමක් මුල් කාරණ කොට ඇත්තීද? කුමක් උත්පත්ති හෙතුවකොට ඇත්තීද? කුමක් ජාතික කොට ඇත්තීද? කුමකින් පහළ වන්නීද? තෘෂ්ණාව වේදනාව මුල් කාරණය කොට ඇත්තීය. වේදනාව උත්පත්ති හෙතුව කොට ඇත්තීය. වේදනාව ජාති කොට ඇත්තීය වේදනාවෙන් පහළ වන්නීය.
“මහණෙනි. මේ වේදනාව කුමක් මූල කාරණකොට ඇත්තීද? කුමක් උත්පත්ති හෙතුව කොට ඇත්තීද? කුමක් ජාතිකොට ඇත්තීද? කුමකින් පහළ වන්නීද? වෙදනාව ස්පර්ශය මූල කාරණා කොට ඇත්තීය ස්පර්ශය උත්පත්ති හෙතුව කොට ඇත්තීය. ස්පර්ශය ජාතිකොට ඇත්තීය. ස්පර්ශය නිසා පහළ වන්නීය.
“මහණෙනි, මේ ස්පර්ශයතෙම කුමක් මුල් කාරණයකොට ඇත්තේද? කුමක් උත්පත්ති කාරණය කොට ඇත්තේද? කුමක් ජාති කොට ඇත්තේද? කුමකින් පහළ වන්නේද? ස්පර්ශය තෙම ෂඩායතනයන් (ඇස ආදී ආයතන සය) මුල් කාරණයකොට ඇත්තේය. ෂඩායතනයන් උත්පත්ති හෙතුව කොට ඇත්තේය. ෂඩායතනයන් නිසා පහළ වන්නේය.
“මහණෙනි, මේ ෂඩායතනය කුමක් මුල් කාරණය කොට ඇත්තේද? කුමක් උත්පත්ති හෙතුව කොට ඇත්තේද? කුමක් ජාති කොට ඇත්තේද? කුමකින් පහළ වන්නේද? ෂඩායතනය නාම රූපයන් මුල් කාරණය කොට ඇත්තේය. නාම රූපයන් උත්පත්ති හෙතුව කොට ඇත්තේය. නාම රූපයන් ජාතිකොට ඇත්තේය. නාම රූපයන් නිසා පහළ වන්නේය.
“මහණෙනි, මේ නාම රූපය කුමක් මුල් කාරණය කොට ඇත්තේද? කුමක් උත්පත්ති හෙතුව කොට ඇත්තේද? කුමක් ජාති කොට ඇත්තේද? කුමකින් පහළ වන්නේද? නාම රූපය විඤ්ඤාණය මුල් කාරණය කොට ඇත්තේය. විඤ්ඤාණය උත්පත්ති කාරණය කොට ඇත්තේය. විඤ්ඤාණය ජාතිකොට ඇත්තේය. විඤ්ඤාණය නිසා පහළ වන්නේය.
“මහණෙනි, මේ විඤ්ඤාණය කුමක් මුල් කාරණය කොට ඇත්තේද? කුමක් උත්පත්ති හෙතුව කොට ඇත්තේද? කුමක් ජාතික කොට ඇත්තේද? කුමකින් පහළ වන්නේද? විඤ්ඤාණය සංස්කාරයන් මුල් කාරණය කොට ඇත්තේය. සංස්කාරයන් උත්පත්ති හෙතුකොට ඇත්තේය. සංස්කාරයන් උත්පත්ති කාරණය කොට ඇත්තේය. සංස්කාරයන් ජාතිකොට ඇත්තේය. සංස්කාරයන් නිසා පහළ වන්නේය.
“මහණෙනි, මේ සංස්කාරයෝ කුමක් මුල් කාරණය කොට ඇත්තාහුද? කුමක් උත්පත්ති කාරණය කොට ඇත්තාහුද? කුමක් ජාති කොට ඇත්තාහුද? කුමක් නිසා පහළ වන්නාහුද? අවිද්‍යාව මුල්කාරණය කොට ඇත්තාහුය. අවිද්‍යාව උත්පත්ති කාරණය කොට ඇත්තාහුය. අවිද්‍යාව ජාති කොට ඇත්තාහුය. අවිද්‍යාව නිසා පහළ වන්නාහුය.
“මහණෙනි, යම් තැනක පටන් භික්ෂුවගේ අවිද්‍යාව නැති වූවා වේද විද්‍යාව උපන්නී වේද, අවිද්‍යාවෙන් වෙන්වී විද්‍යාව පහළවීම නිසා කාම උපාදාන වශයෙන් නොගණියි. දෘෂ්ටි උපාදාන වශයෙන් නොගණියි. ශීලව්‍රත උපාදාන වශයෙන් නොගණියි. ආත්මවාද උපාදාන වශයෙන් නොගනියි. උපාදාන වශයෙන් නොගන්නේ තැති නොගණියි, තැති නොගන්නේ තෙමෙම කෙලෙස් නැති කරයි, ජාතිය කෙළවරවීයයිද බ්‍රහ්මචර්ය වාසය නිමවන ලදැයිද මේ ආත්මයෙහි තවත් කළයුතු දෙයක් නැතැයිද දැනගනියි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ, ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවෙන් සතුටුවූහ.
චූල සීහනාද සූත්‍රය නිමි
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source