LibraryMNMN 13
MN 1320 min read

The Longer Discourse on the Mass of Suffering

Mahādukkhakkhandha Sutta

20
PDFGenerated
01 · Overview

Challenged to show the difference between his teaching and that of other ascetics, the Buddha points out that they speak of letting go, but do not really understand why. He then explains in great detail the suffering that arises from attachment to sensual stimulation.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 2. සීහනාද වර්ගය 13. මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය Msdiv 163 මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනාථ පිණ්ඩික සිටුහු විසින් කරවා පූජාකරන ලද ජේතවන නම් ආරාමයෙහි වාසය කරති. එකල බොහෝ භික්ෂූහු පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රයද සිවුරුද ගෙන සැවැත්නුවර පිණ්ඩපාතය පිණිස ගියාහුය. එකල ඒ භික්ෂූන්ට මේ සිත ඇතිවිය. තවම සැවැත්නුවර පිණ්ඩපාතය පිණිස හැසිරෙන්ට කල් වැඩිය. යම් හෙයකින් අපි ‘අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ (ශාසනයෙන් පිට මහණවූවන්ගේ) ආරාමය යම් තැනකද එතනට පැමිණෙන්නෙමු නම් යහපතැයි කියායි.

එකල ඒ භික්ෂූහු අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනකද එතනට පැමිණියාහුය. පැමිණ, ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවූවාහුය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක පැත්තක හුන්නාහුය. ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ එක පැත්තක හුන්නාවූ ඒ භික්ෂූන්ට මෙසේ කීවාහුය. “ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම කාමයන්ගේ නැති කිරීම (පණවයි) ප්‍රකාශ කරයි. අපිත් කාමයන්ගේ නැතිකිරීම ප්‍රකාශකරමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙම රූපයන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරයි. අපිත් රූපයන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම වේදනාවන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරයි. අපිත් වේදනාවන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරමු. ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ දෙශනාවෙන් අපගේ දෙශනාවෙහි හෝ අනුශාසනාවෙන් අපගේ අනුශාසනාවෙහි හෝ වෙනස කවරේද, වෙනස් අදහස කවරේද වෙනස් කාරණය කුමක්ද කියායි.

එවිට ඒ භික්ෂූහු ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ වචනයට සතුටු නුවූහ, ඉවතද නොදැමූහ. සතුටුද නොවී, ඉවතද නොදමා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ කථාවේ අර්ථය දැනගන්නෙමුයි හුන් ආසනයෙන් නැගිට පිටත්ව ගියාහුය.

Msdiv 164 එකල ඒ භික්ෂූහු සැවැත්නුවර පිණ්ඩපාතය පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩාපතයෙන් වැළකුනාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකපැත්තක උන්නාහුය. එක පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැන්නුවෝය. “ස්වාමීනි, මේ දවසෙහි අපි පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රාද සිවුරුද ගෙන සැවැත්නුවර පිණ්ඩපාතය පිණිස ගියෙමු. ස්වාමීනි, එකල අපට මේ සිත ඇතිවිය. තවම සැවැත්නුවර පිණ්ඩපාතය පිණිස හැසිරෙන්ට කල් වැඩිය. යම්හෙයකින් අපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනකද එතනට පැමිණෙන්නෙමු නම් යහපතැයි’ කියායි.

එකල අපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනකද එතනට පැමිණියෙමු. පැමිණ ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වුනෙමු. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථා කොට නිමවා එක පැත්තක උන්නෙමු. ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ එක පැත්තක උන්නාවූ අපට මෙසේ කීවාහුය. “ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම. කාමයන්ගේ නැතිකිරීම ප්‍රකාශකරයි, අපිත් කාමයන්ගේ නැතිකිරීම ප්‍රකාශකරමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම රූපයන්ගේ නැතිකිරීම ප්‍රකාශකරයි, අපිත් රූපයන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම වේදනාවන්ගේ නැතිකිරීම ප්‍රකාශකරයි, අපිත් වේදනාවන්ගේ නැතිකිරීම ප්‍රකාශකරමු, ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ දේශනාවෙන් අපගේ ධර්මදේශනාවෙහි හෝ අනුශාසනාවෙන් අපගේ අනුශාසනාවෙහි හෝ වෙනස කවරේද? වෙනස් අදහස කවරේද? වෙනස් කාරණය කුමක්ද?” කියායි.

“ස්වාමීනි අප එකල්හි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ගේ කියමන සතුටින් පිළිගැනීමද නොකෙළෙමු. ඉවතද නොදැමීමු. සතුටුද නොවී ඉවතද නොදමා හුන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ කියමනේ අර්ථය දැනගන්නෙමුයි” පිටත්ව ගියෙමු.

Msdiv 165 “මහණෙනි, මෙසේ කියන්නාවූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ඇවැත්නි, කාමයන්ගේ සැපය කවරේද? දොෂය කවරේද? (කාමයන්ගෙන්) නික්මීම කවරේද? රූපයන්ගේ සැපය කවරේද? දොෂය කවරේද? (රූපයන්ගෙන්) නික්මීම කවරේද? වේදනාවන්ගේ සැපය කවරේද? දොෂය කවරේද? වේදනාවන්ගෙන් නික්මීම කවරේද? මහණෙනි, මෙසේ විචාරණ ලද්දාවූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ සම්පූර්ණ කොට නොකියන්නාහ. මත්තෙහිද දුකට පැමිණෙන්නාහ. ඊට හේතු කවරේද? මහණෙනි, නොවැටහෙන දෙයෙහි ඒ එසේමය. මහණෙනි, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ මේ ශාසනයෙන් ඇසුවෙකු හෝ හැර, (වෙන) යමෙක් මේ ප්‍රශ්නය විසඳීමෙන් සිත සතුටු කරන්නේද, එබඳු කෙනෙකු දෙවියන් සහිතවූ මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලොකයෙහි දෙවි මිනිසුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ ප්‍රජාවෙහි ඇති බව නුවණින් නොම දකිමි.

Msdiv 166 “මහණෙනි, කාමයන්ගේ සැපය කවරේද? මහණෙනි, කාමගුණයෝ මේ පසකි. කවර පසක්දයත්? චක්ඛු විඤ්ඤාණයෙන් (රූපය දැනගන්නා සිතින්) දත යුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාවවූ ආශාව ඉපදීමට කරුණුවූ රූපාරම්මණයෝද යහපත්වූද කැමති වන්නාවූද මන වඩන්නාවුද ප්‍රියවූද ඇලීමෙන් යුක්තවූද ඇලිය යුත්තා වූද සොත විඤ්ඤාණයෙන් (ශබ්දය දැනගන්නා සිතින්) දත යුතුවූ ශබ්දයෝද, ඝාණවිඤ්ඤාණයෙන් (ගඳ සුවඳ දැනගන්නා සිතින්) දතයුතුවූ ගන්ධයෝද, ජිව්හාවිඤ්ඤාණයෙන් (රස දැනගන්නා සිතින්) දතයුතුවූ රසයෝද, කාය විඤ්ඤාණයෙන් (ස්පර්ශය දැනගන්නා සිතින්) දත යුතුවූ ස්පර්ශයෝද යන මොහු කාම ගුණ පසයි.

“මහණෙනි, මේ පංචකාම ගුණයන් යම් කායික සැපක් හෝ මානසික සැපක් උපදවයිද, මෙය කාමයන්ගේ සැපය වන්නේය.

Msdiv 167 “මහණෙනි, කාමයන්ගේ දොෂය (විපත) කවරේද? මහණෙනි, මේ ලොකයෙහි කුලපුත්‍ර තෙම යම්කිසි ශිල්පයකින් ජීවත් වෙයිද, එනම් රේඛා ශාස්ත්‍ර කීමෙන්, ගණන් තැබීමෙන් සංඛ්‍යාලේඛන ගැනීමෙන්, ගොවිකමින්, වෙළඳාමෙන්, ගව පාලනයෙන්, (රජුන්ට) උපස්ථාන කිරීමෙන්. රාජ භටයෙකු වීමෙන්, මෙයින් අන්‍යවූ (ඇත්, අස්) ශිල්පයකින්ද, (ජීවත්වනු සඳහා) සිතෙන් පෙළනු ලබන්නේ, උෂ්ණයෙන් පෙළනු ලබන්නේ, ඩැහැ ලේ බොන මැස්සෝය, මදුරුවෝය, සුළඟය අව්වය, සර්පයෝය යන මොවුන්ගේ ස්පර්ශයෙන් ගැටෙමින්, බඩගින්නෙන් හා පිපාසයෙන් මිරිකෙමින් ජීවිතය පවත්වයිද මහණෙනි, මෙයද කාමය හේතුකොට ගෙන, කාමය මුල් කරුණ කොට ගෙන, කාමය කරණකොට ගෙන, කාමය නිසා මෙලොවම වින්ද යුතුවූ ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය.

“මහණෙනි, මෙසේ වීර්ය කරන්නාවූ, උත්සාහ කරන්නාවූ ඒ කුලපුත්‍රයාහට ඒ වස්තු සම්පත් හොඳින් නොඋපදිද්ද නොලබත්ද හෙතෙම ඒකාන්තයෙන් මාගේ වීර්ය හිස්විය, මාගේ උත්සාහය නිෂ්ඵලවීයයි කියා ශොකවෙයි. වෙහෙස වෙයි වැලපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. සිහි නැති බවට පැමිණෙයි. මහණෙනි, මෙයද කාමය හෙතුකොට, කාමය මුල් කාරණයකොට, කාමය කරණකොට කාමයන් නිසා මෙලොවදීම වින්දයුතුවූ ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය.

“මහණෙනි, මෙසේ වීර්ය කරන්නාවූ, උත්සාහකරන්නාවූ ඒ කුලපුත්‍රයාගේ ඒ සම්පත්තීහු උපදිත් ද ලබත්ද ඔහු ඒ ලැබූ සම්පත්තිය ආරක්‍ෂාකරනු පිණිස කයිනුත් සිතිනුත් දුක් විඳියි, කෙසේද? මාගේ මේ සම්පත්තිය රජවරු පැහැර නොගන්නාහු නම්, සොරු පැහැර නොගන්නාහු නම්, ගින්නෙන් නොදැවෙන්නේ නම් දියෙහි නොයානම්, අප්‍රියවූවෝ නොගන්නාහු නම් යෙහෙකැයි කියායි. මෙසේ රකින්නාවූ, පාලනය කරන්නාවූ, ඔහුගේ ඒ සම්පත්තීහු රජවරුද පැහැර ගනිත්, සොරුද පැහැර ගනිත්, ගින්නෙන් හෝ දැවෙයි, දියෙහි හෝ යයි. අප්‍රියවූවෝ හෝ ගනිති. මා විසින් යම් වස්තුවකුත් උපදවන ලද්දේවී ද එයද දැන් අපට නැතැයි ශොක කෙරෙයි. වෙහෙස වෙයි. වැලපෙයි. පපුවේ අත් ගසමින් හඬයි. සිහි නැති බවට පැමිණෙයි. මහණෙනි, කාමය හෙතුකොට කාමය මුල් කරුණකොට, කාමය කරණකොට ගෙන, කාමය නිසා මෙලොවදීම වින්දයුතුවූ ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය.

Msdiv 168 “මහණෙනි, නැවත අනිකක්ද කියමි. කාමය හේතු කොට කාමය මුල් කරුණ කොට, කාමය කරණකොට ගෙන කාමය නිසා රජවරුද රජවරු සමග කලහ කරති. ක්ෂත්‍රියයෝද ක්ෂත්‍රියයන් සමග කලහ කරති. බමුණෝද බමුණන් සමග කලහ කරති. ගෘහපතියෝද ගෘහපතීන් සමග කලහ කරති. මවද පුතා සමග කලහ කරයි. පුතාද මව සමග කලහ කරයි. පියාද පුතා සමග කලහ කරයි. පුතාද පියා සමග කලහ කරයි. සහෝදරයාද සහෝදරයා සමග කලහ කරයි, සහෝදරයාද සහෝදරිය සමග කලහ කරයි. සහෝදරියද සහෝදරයා සමග කලහ කරයි. යහළුවාද යහළුවා සමග කලහ කරයි. ඔවුහු කෝලාහල, විරුද්ධකම්, විවාද යන මීට පැමිණියාහු එකිනෙකා අතින්ද පහරදෙති, කැට කැබලිතිවලින්ද පහර දෙති, පොලුවලින්ද පහර දෙති. (කඩු ආදී) ආයුධවලින්ද පහර දෙති. ඔවුහු එයින් මරණයටද පැමිණෙත්. මරණය සමාන දුකටද පැමිණෙත්. මහණෙනි, මෙයද කාමය හෙතුකොට, කාමය මුල් කරුණකොට, කාමය කරණ කොටගෙන, කාමය නිසා මෙලොවදීම වින්දයුතුවූ ආදීනව රාශිය දුක් රාශිය වන්නේය.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුණ කොට, කාමය කරණකොට ගෙන කාමය නිසා කඩුව හා පලිහ ගෙන දුන්න හා හියවුර (ඊතල දමන කොපුව) බැඳ දෙපසින් රැස්ව යුද්ධ භූමියට පනිති. ඊතල විඳින කල්හි, කඩු කරකවන කල්හි, එහි ඔවුහු ඊතලවලින්ද විදිනු ලබත්. අඩයටිවලින්ද විදිනු ලබත්. කඩුවෙන් හිස සිඳිනු ලබත්, ඔවුහු එහි මරණයටද පැමිණෙත්. මරණය සමාන දුකටද පැමිණෙත්. මහණෙනි, මෙයද කාමය හේතුකොට කාමය මුල් කරුණ කොට, කාමය කරණ කොට ගෙන, කාමය නිසාම මෙලොවදීම වින්දයුතුවූ ආදීනව රාශිය දුක් රාශිය වන්නේය.

Msdiv 169 “මහණෙනි, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුණකොට, කාමය කරණකොට ගෙන, කාමය නිසා ගෙවල් බිඳිති, ගම් පැහැරීමෙන් (වස්තුව) ගෙන යත්, ගෙයි වැසියන් පණපිටින් අල්වාගෙන වස්තුව පැහැර ගනිති. මංපැහැරීම (මංකොල්ලකෑම) කරති. පර ස්ත්‍රීන් දූෂ්‍යද කරති. ඒ සොරුන් රජවරු අල්වා නොයෙක් කම්කටොළු කරවත්, කසවලින් තලවත්, වේවැල්වලින් තලවත්, දෙකට පැලු (දෙරියන් පමණ) අඬුවලින් තළවත්, අත්ද කපත්, පයද කපත්, අත් පා සියල්ලමත් කපත්, කණත් කපත්, නාසයත් කපත්, කන් නාසාත් කපත්, බිලංගථාග්‍රික (ඉස්කබල ගලවා මොළය උතුරවමින් කරන) නම් වධය කරත්, සංඛමුණ්ඩික (හිසේ කෙස් හා සම ගලවා බොරළු ලා උලා සුදු කිරීම) නම් වධය දෙති, රාහු මුඛ (අඩුවෙන් කට අරවා එහි තුළ ගිනි දැල්වීම) නම් වධය දෙත්, ජෝතිමාලික (ශරීරය තෙල් රෙදිවලින් වෙලා ගිනි දැල්වීම) නම් වධය දෙත්, හත්ථපජ්ජොතික (අත්දෙකේ තෙල් රෙදි වෙලා ගිනි දැල්වීම) නම් වධය දෙත්, එරකවත්තික (බෙල්ලෙහි පටන් ඇස්වටය දක්වා හම ගලවා ඔහු ලවා පෑගවීම) නම් වධය දෙත්, චීරක වාසික (බෙල්ලෙහි පටන් තුනටිය දක්වා සම ගලවා තබා එතනින් පටන්ගෙන ඇස්වටය දක්වා සම ගලවා තැබීම) නම් වධය දෙත්, එණෙය්‍යක (දෙදන දෙවැලමිටිවල යවුල් ගසා වටකොට ගිනිතැබීම) නම් වධය දෙත්, බලිස මංසික (දෙපැත්තෙන් තුඩු ඇති බිලියෙන් ගසා මස් කැඩීම) නම් වධය දෙත්, කහාපණක (කහවනු සේ මස් කැපීම) නම් වධය දෙත්, ඛාරාපතච්ඡික (සිරුර සිදුරුකොට කාරම් දිය ඉසීම) නම් වධය දෙත්, පළිඝ පරිවත්තික (ඇලයකින් බිම හොවා කණෙහි යවුල් ගසා පය ගෙන කරකැවීම) නම් වධය දෙත්, පලාල පිඨික (සම නොබිඳෙන සේ ඇට මස් තළා පිදුරු වැටියක් සේ ඇකිලීම) නම් වධය දෙත්, රත්වූ තෙල් ඉසිත්, බල්ලන් ලවා කවත්, ජීවිතය තිබියදීම උලෙහි ඉඳුවත්, කඩුවෙන් හිස් සිඳිත්, ඔවුහු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්. මහණෙනි, මෙයද කාමය හෙතුකොට, කාමය මුල් කරුණකොට, කාමය කරණකොට ගෙන, කාමය නිසාම මෙලොවදීම වින්දයුතුවූ ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය. මෙයද කාමයන්ගේ දොෂයකි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල් කරුණ කොට, කාමය කරණකොට ගෙන කාමය නිසා කයින් දුසිරිතෙහි හැසිරෙති, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙති, සිතින් දුසිරිතෙහි හැසිරෙති. ඔවුහු කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, සිතින් දුසිරිතෙහි හැසිර, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති නපුරුකොට වැටීමක් ඇත්තාවූ නිරයෙහි උපදිති. මහණෙනි, මෙය කාමය හේතු කොට, කාමය මුල් කරුණකොට, කාමය කරණකොට ගෙන, කාමය නිසා පරලොව වින්දයුතු ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය.

Msdiv 170 “මහණෙනි, කාමයන්ගේ නැතිකිරීම කවරේද? මහණෙනි, කාමයන්හි ආශාව මැඩ දුරුකිරීමක් වේද, ආශාව නැතිකිරීමක් වේද, මෙය කාමයන්ගෙන් නිදහස්වීමයි. මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ කාමයන්ගේ සැපය සැපය වශයෙන්ද, දොෂය දෝෂය වශයෙන්ද වෙන්වීම වෙන්වීම වශයෙන්ද තත්වූ පරිද්දෙන් නොදනිත්ද, ඔහු ඒකාන්තයෙන් තමා හෝ කාමයන් පහකරන්නේය. අන්‍යයෙකු යම්සේ පිළිපැදීමෙන් ඒ කාමයන් දුරුකරන්නේද ඒ ආකාරයෙන් සමාදන් කරවන්නේය. (යොදවන්නේය) යන මේ කාරණය විද්‍යමාන නොවෙයි, (සිදුනොවෙයි.)

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ කාමයන්ගේ සැපය, සැපය වශයෙන් ද දොෂය දොෂය වශයෙන්ද වෙන්වීම වෙන්වීම වශයෙන්ද තත්වූ පරිද්දෙන් දනිත්ද, ඔව්හු ඒකාන්තයෙන් තමා හෝ කාමයන් පහ කරන්නේය, අන්‍යයකු හෝ යම්සේ පිළිපැදීමෙන් ඒ කාමයන් පහකරන්නේද ඒ ආකාරයෙන් සමාදන් කරවන්නෝය. (යොදවන්නෝය) යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.)

Msdiv 171 “මහණෙනි, රූපයන්ගේ සැපය කවරේද? මහණෙනි, පසළොස් වයස් ඇත්තාවූ හෝ සොළොස් වයස් ඇත්තාවූ හෝ ඉතා උස් නොවූ, ඉතා මිටි නොවූ, ඉතා කෙට්ටු නොවූ, ඉතා මහත නොවූ, ඉතා කළු නොවූ, ඉතා සුදු නොවූ ක්ෂත්‍රිය කන්‍යාවක් හෝ බ්‍රාහ්මණ කන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් හෝ යම්සේ වන්නීද, මහණෙනි, ඒ කාලයෙහි ශරීර වර්ණය යහපත් වේද? “ස්වාමීනි, එසේය” මහණෙනි, යම්හෙයකින් ඒ යහපත් ශරීර වර්ණය නිසා යම් කායික සැපක් හෝ මානසික සැපක් හෝ උපදීද, මෙය රූපයන්ගේ සැපය වේ.

“මහණෙනි, රූපයන්ගේ දොෂය කවරේද? මහණෙනි, පසු කලෙකදී අසූවයස් ගියාවූ හෝ, අනූවයස් ගියාවූ හෝ සියක්වයස් ගියාවූ හෝ ජරාජීර්ණවූද, (මහලුවූද) ගොනැස්සක් (වකුටු යටලීයක්) සේ වක්වූ, කොන්ද මැදින් බිඳුනාවූ, සැරයටිය පිහිටකොට ඇති, වෙවුලමින් යන්නාවූ, රොගීවූ, තරුණ බව නැතිවූ දත් වැටුනු, කෙස් පැහුනු, හිසකෙස් සිඳුනු හිසේ තට්ටය පෑදුනු, ඇඟ රැලි වැටුනාවූ, ශරීරය කැලැල්වලින් කිලුටුවූ ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි හඟින්නහුද, පෙරවූ යම් යහපත් වර්ණයක්වීද, එයම අතුරුදන්වී දොෂය පහළ වූයේද? “ස්වාමීනි, එසේය.” මහණෙනි, මේත් රූපයන්ගේ දොෂයයි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. හටගත් ආබාධ ඇති, හටගත් දුක් ඇති, දැඩි ගිලන්වූ, තමන්ගේම මළමුත්‍රයෙහි වැටුණාවූ, එහිම සයනය කරන්නාවූ, අනුන් විසින් නැගිටුවනු ලබන්නාවූ, අනුන් විසින් හොවවනු (සයනය කරවනු) ලබන්නාවූ ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක් වීද, එය අතුරුදන්වී දොෂය පහළවීද? “ස්වාමීනි, එසේය” මහණෙනි, මේත් රූපයන්ගේ දොෂයයි.

Msdiv 172 “මහණෙනි, මැරී එක් දවසක්වූද, මැරී දෙදවසක්වූද, මැරී තුන් දවසක්වූද ඉදිමී ගියාවූද, තද නිල් පැහැවූද, හටගත් පූයා (සැරව) ඇත්තාවූද සොහොනෙහි දමන ලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක් වීද, එය අතුරුදන්වී දොෂය පහළවීද? “ස්වාමීනි එසේය” මහණෙනි, මෙයද රූපයන්ගේ දොෂයයි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. කපුටන් විසින් කඩා කනුලබන්නාවූ, උකුස්සන් විසින් කඩා කනුලබන්නාවූ, ගිජුලිහිණියන් විසින් කඩා කනුලබන්නාවූ, බල්ලන් විසින් කඩා කනුලබන්නාවූ, සිවලුන් විසින් කඩා කනුලබන්නාවූ, නොයෙක් කුඩා සතුන් විසින් කඩා කනුලබන්නාවූ සොහොනෙහි දමන ලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක් වීද එය අතුරුදන්වී දොෂය පහළවීද “ස්වාමීනි, එසේය” මහණෙනි, මෙයද රූපයන්ගේ දොෂයයි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මස් ලේ සහිතවූ නහරින් බැඳුනාවූ, ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළසිරුරක්වූ ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක් වීද එය අතුරුදන්වී දොෂය පහළවීද? “ස්වාමීනි එසේය” මහණෙනි, මෙයද රූපයන්ගේ දොෂයයි.

මස් නැති, ලෙයින් තැවරුනාවූ, නහරින් බැඳුනාවූ, ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක් වීද එය අතුරුදන්වී දොෂය පහළවීද? “ස්වාමීනි එසේය” මහණෙනි, මෙයද රූපයන්ගේ දොෂයයි.

මස් ලේ නැති, නහරින් බැඳුනාවූ ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමන ලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද මහණෙනි, ඒ ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක් වීද, එය අතුරුදන්වී දොෂය පහළවීද? ස්වාමීනි, එසේයි. මහණෙනි, මෙයද රූපයන්ගේ දොෂයයි.

සම්බන්ධයෙන් (සන්දිවලින්) වෙන්වූ, දිසා අනුදිසාවන්හි විසුරුනු ඇට ඇති (හෙවත්) වෙන දිසාවක අත් ඇටද, වෙන දිසාවක පා ඇටද, වෙන දිසාවක කෙණ්ඩා ඇටද, වෙන දිසාවක කලවා ඇටද, වෙන දිසාවක කටි ඇටයද, වෙන දිසාවක කොඳු ඇටයද, වෙන දිසාවක හිස්කබලද වූ සොහොනෙහි දමන ලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක්වීද, එය අතුරුදන්වී දොෂය පහළවීද? ස්වාමීනි, එසේය. මහණෙනි, මෙයද රූපයන්ගේ දොෂයයි.

සක් ගෙඩියකට බඳු පැහැය ඇති, සුදුවූ, ඇට ඇති සොහොනෙහි දමනලද මළසිරුරක්වූ ඒ නැගනියම දක්නේද මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවූ යම් යහපත් වර්ණයක්වීද, එය අතුරුදන්වී දොෂය පහළවීද? “ස්වාමීනි එසේය” මහණෙනි, මෙයද රූපයන්ගේ දොෂයයි.

අවුරුදු ගණන් ඉක්මගියාවූද, කැටිගැසුනාවූද, ඇට ඇති සොහොනෙහි දමන ලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද, කුණුවූ, සුනුවූ ඇට ඇති සොහොනෙහි දමනලද මළ සිරුරක්වූ ඒ නැගනියම දක්නේද? මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද, පෙරවූ යම් යහපත් වර්ණයක් වීද එය අතුරුදන්වී දොෂය පහළවීද? “ස්වාමීනි, එසේය” මහණෙනි, මෙයද රූපයන්ගේ දොෂයයි.

“මහණෙනි, රූපයන්ගෙන් නිදහස්වීම නම් කුමක්ද? මහණෙනි, රූපයන්හි ආශාව මැඩ පැවැත්වීමක් වේද, ආශාව නැති කිරීමක් වේද, මෙය රූපයන්ගෙන් නිදහස් වීමයි.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ රූපයන්ගේ සැපය සැපය වශයෙන්ද දොෂය දොෂය වශයෙන්ද වෙන්වීම වෙන්වීම වශයෙන්ද තත්වූ පරිද්දෙන් නොදනිත්ද, ඔව්හු ඒකාන්තයෙන් තමා හෝ රූපය දුරු කරන්නේය. අන්‍යයකු හෝ යම්සේ පිළිපැදීමෙන් ඒ රූපයන් දුරුකරන්නේද එසේ සමාදන් කරවන්නෝය. (යොදවන්නෝය.) යන මේ කාරණය විද්‍යමාන නොවෙයි. (සිදුනොවෙයි)

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ රූපයන්ගේ සැපය සැපය වශයෙන්ද, දොෂය දොෂය වශයෙන්ද වෙන්වීම වෙන්වීම වශයෙන්ද, තත්වූ පරිද්දෙන් දනිත්ද, ඔව්හු ඒකාන්තයෙන් තමා හෝ රූපයන් දුරුකරන්නේය, අනුන් හෝ ඒ පිණිස සමාදන් කරවන්නෝය. (යොදන්නෝය) යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.)

Msdiv 173 “මහණෙනි, වේදනාවන්ගේ සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක විචාර සහිතවූ, විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් යුක්තවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරේද?

“මහණෙනි, භික්ෂුව යම්කලෙක්හි කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක විචාර සහිතවූ විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් යුක්තවූ ප්‍රථම ධ්‍යානයට සමවැද වාසය කෙරේද, ඒ කාලයෙහි තමන්ට වෙහෙස (දුක්) පිණිස උත්සාහ නොකරයි. අනුන්ට වෙහෙස (දුක්) පිණිස උත්සාහ නොකරයි. දෙකොටසටම වෙහෙස පිණිස උත්සාහ නොකරයි. ඒ කාලයෙහි නිදුක්වූම වේදනාව විඳියි. මහණෙනි, නිදුක් බවම කෙළවර කොට ඇති බව වේදනාවන්ගේ සැප යයි මම කියමි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්ෂුව විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳවීමෙන් තමන්ගේ සිතෙහි යහපත් පැහැදීම ඇතිකරන්නාවූ, සිතේ එකඟ බව ඇති විතර්ක විචාර රහිතවූ, සමාධියෙන් උපන් ප්‍රීති සුවය ඇති, ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, මහණෙනි, භික්ෂුව යම්කලෙක සැපය නැති කිරීමෙන්ද දුක නැති කිරීමෙන්ද, පළමුකොටම සොම්නස් දොම්නස් දෙදෙනාගේ දුරලීමෙන්ද දුක් නැත්තාවූ, සැප නැත්තාවූ උපෙක්ෂා සිහි පිරිසිදු බව ඇති චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, ඒ කාලයෙහි තමන්ට වෙහෙස පිණිස උත්සාහ නොකරයි. අනුන්ට වෙහෙස පිණිස උත්සාහ නොකරයි. දෙකොටසටම වෙහෙස පිණිස උත්සාහ නොකරයි. ඒ කාලයෙහි නිදුක්වූම වේදනාව විඳියි. මහණෙනි, නිදුක් බවම කෙළවර කොට ඇති බව වේදනාවන්ගේ සැප යයි මම කියමි.

Msdiv 174 “මහණෙනි, වේදනාවන්ගේ දොෂය කවරේද? මහණෙනි, යම්හෙයකින් වේදනාවෝ නිත්‍ය නොවන්නාහුද, දුක් වූවාහුද, පෙරලෙන ස්වභාව ඇත්තාහුද, මේ ආකාරය වේදනාවන්ගේ දොෂයයි මහණෙනි, වේදනාවන්ගේ නිදහස් වීම කවරේද? මහණෙනි, වේදනාවන් කෙරෙහි ආශාව මැඩ පැවැත්වීමක් වේද, ආශාව නැති කිරීමක් වේද, මෙය වේදනාවන්ගේ නිදහස් වීමයි.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ වේදනාවන්ගේ සැපය සැපය වශයෙන්ද, දොෂය දොෂය වශයෙන්ද නිදහස්වීම නිදහස්වීම වශයෙන්ද තත්වූ පරිද්දෙන් නොදන්නේද, ඔව්හු ඒකාන්තයෙන් තුමූ හෝ වේදනාවන් දන්නෝය. අන්‍යයකු යම්සේ පිළිපැදීමෙන් ඒ වේදනාවන්ගේ තත්ත්වය දැනගනී නම් එසේ හෝ සමාදන් කරවන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවෙයි.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙසේ වේදනාවන්ගේ සැපය සැපය වශයෙන්ද, දොෂය දොෂය වශයෙන්ද නිදහස්වීම නිදහස්වීම වශයෙන්ද තත්වූ පරිද්දෙන් නොදන්නේද, ඔව්හු ඒකාන්තයෙන් තුමූ හෝ වේදනාවන් දන්නෝය. අන්‍යයෙකු යම්සේ පිළිපැදීමෙන් ඒ වේදනාවන්ගේ තත්ත්වය දැනගනී නම් එසේ හෝ සමාදන් කරවන්නෝය. යන මේ කාරණය විද්‍යමාන වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළහ. භාග්‍යවතුන් වහන්සේගේ මේ දෙශනාව ඇසූ භික්ෂූහු සතුටු වූහ.

මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය නිමි

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection