LibraryMNMN 14
MN 1418 min read

The Shorter Discourse on the Mass of Suffering

Cūḷadukkhakkhandha Sutta

20
PDFGenerated
01 · Overview

A lay person is puzzled at how, despite their long practice, they still have greedy or hateful thoughts. The Buddha explains the importance of absorption meditation for letting go such attachments. But he also criticizes self-mortification, and recounts a previous dialog with Jain ascetics.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 2. සීහනාද වර්ගය 14. චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය Msdiv 175 මා විසින් මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයෙහිවූ නිග්‍රොධාරාමයෙහි වැඩ වාසය කරති. ඉක්බිති මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකපැත්තක හුන්නේය. එකපැත්තක උන්නාවූ මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“ස්වාමීනි, මම බොහෝ කලක් මුළුල්ලෙහි ලොභය සිත කෙලසන ධර්මයකි, ද්වේෂය සිත කෙලසන ධර්මයකි, මොහය සිත කෙලෙසන ධර්මයකි කියා මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය දනිමි. ස්වාමිනි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි ලොභය සිත කිළුටු කරන ධර්මයකි. ද්වේෂය සිත කිළුටු කරන ධර්මයකි, මොහය සිත කිළුටු කරන ධර්මකියි මම දනිමි. එතකුදු වුවත් ඇතැම් කලෙක ලොභ ධර්මයෝත් මාගේ සිත මැඩගෙන සිටිත්. ද්වේෂ ධර්මයෝද සිත මැඩගෙන සිටිත්. මෝහ ධර්මයෝද සිත මැඩගෙන සිටිත්. ස්වාමීනි, ඒ මට මෙබඳු අදහසක් වෙයි. යමක් හේතුකොට එක් කලෙක ලොභ ධර්මයෝත් මාගෙ සිත මැඩගෙන සිටිත්ද, ද්වේෂ ධර්මයෝත් මාගේ සිත මැඩගෙන සිටිත්ද, මෝහ ධර්මයෝත් මාගේ සිත අල්වාගෙන සිටිත්ද, ඊට හේතුවූ කිනම් අධ්‍යාත්ම ධර්මයක් මා විසින් පහනොකරන ලද්දේද කියායි.

Msdiv 176 “මහානාමය, යමක් හෙතු කොට ගෙන එක් කලෙක්හි ලොභ ධර්මයෝත් තාගේ සිත මැඩගෙන සිටිත්ද, ද්වේෂ ධර්මයෝත් තාගේ සිත මැඩගෙන සිටිත්ද, මෝහ ධර්මයෝත් තාගේ සිත මැඩගෙන සිටිත්ද, ඒ අධ්‍යාත්ම ධර්මයම තොප විසින් පහනොකරන ලද්දේය. මහානාමය, ඒ ධර්මය තා විසින් පහකරන ලද්දේ නම් තෝ ගිහිගෙයි නොවසන්නෙහිය. කාමයන් පරිභොග නොකරන්නෙහිය. මහානාමය, යම් හෙයකින් ඒ ධර්මයම තොප විසින් පහනොකරන ලද්දේය. එහෙයින් නුඹ ගිහිගෙයි වසන්නෙහිය. කාමයන් සේවනය කරන්නෙහිය.

Msdiv 177 “කාමයෝ ස්වල්ප සැප ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. දැඩි වෙහෙස ඇත්තාහ, මෙහි දොෂය බොහෝ යයි, මහානාමය මෙසේ ආර්ය ශ්‍රාවකයා විසින් තතුසේ දක්නා ලද්දේ ද හෙතෙමේද කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම ප්‍රීති සැපය (ප්‍රථමධ්‍යාන) නොලබයිද ඊට වඩා අතිශයින් ශාන්තවූ (තෘතීය චතුර්ථ) ධ්‍යාන හෝ නොලබයි. එකල්හි හෙතෙම ඒතාක් කාමයන් පරිභොග නොකරන්නෙක් නොවෙයි.

“මහානාමය, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකයා විසින් ඇතිසැටියෙන් විදර්ශනා නුවණින් හොඳින් දක්නා ලද්දේද, හෙතෙමේද කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම ප්‍රීතිසැපය ලබයි. එයින් අන්‍යවූ අතිශයින් ශාන්තවූ (අර්හත් ඵලය) ලබයි. එකල්හි හෙතෙම කාමයන් පරිභොග නොකරන්නෙක් වෙයි.

“මහානාමය, බුදුවන්නට පළමුකොටම බුදු නොවූ බෝසත්වූම මා විසින්ද කාමයෝ ස්වල්ප සැප ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. දැඩි ආයාස ඇත්තාහ. මෙහි දොෂයම බොහෝයයි මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් නුවණින් මනාව දක්නා ලද්දේය. ඒ මම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම යම්තාක් ධ්‍යාන ප්‍රීතිසැපයට නොපැමිණියෙම්ද එයින් අන්‍යවූ අතිශයින් ශාන්තවූ ධ්‍යාන මාර්ග සැපයන්ට නොපැමිණියෙම්ද මම ඒතාක් කාමයන් පරිභොග නොකරන්නෙක්ම යයි නොකීමි.

“මහානාමය, යම් තැනක පටන් කාමයෝ ස්වල්ප සැප ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ. දැඩි ආයාස ඇත්තාහ. මෙහි ආදීනව බොහෝ යයි මෙසේ මා විසින් ඇති සැටියෙන් යහපත් නුවණින් හොඳින් දක්නා ලද්දේද ඒ මමද කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම ධ්‍යාන ප්‍රීති සැපයට පැමිණියෙම්ද එයින් අන්‍යවූ ශාන්තවූ ධ්‍යාන මාර්ග සැපයන්ට පැමිණියෙම්ද එකල්හි මම කාමයන් පරිභොග නොකරන්නෙක්මියි ප්‍රතිඥා කෙළෙමි.

Msdiv 178 “මහානාමය, කාමයන්ගේ ආස්වාදය (රසවිඳීම) කවරේද? මහානාමය, කාම ගුණයෝ මේ පසකි. කවර පසක්ද යත්?

ඇසින් දතයුතුවූ යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ආශාව ඉපදීමට කරුණුවූ රූප (අරමුණු) වෙත්ද, කණින් දතයුතුවූ, යහපත්වූ, සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ආශාව ඉපදීමට කරුණුවූ ශබ්දයෝ වෙත්ද, නාසයෙන් දතයුතුවූ යහපත්වූ සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ආශාව ඉපදීමට කරුණුවූ ගන්ධයෝ වෙත්ද, දිවෙන් දතයුතුවූ යහපත්වූ සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කාමයෙන් යුක්තවූ ආශාව ඉපදීමට කරුණුවූ රසයෝ වෙත්ද, කයින් දතයුතුවූ යහපත්වූ සිත් අලවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ආශාව ඉපදීමට කරුණුවූ ස්පර්ශයෝ වෙත්ද යන මොහු කාම ගුණ පසයි.

“මහානාමය, මේ පඤ්චකාම ගුණයන් නිසා යම් කායික සැපක් හෝ මානසික සැපක් උපදීද, මෙය කාමයන්ගේ ආස්වාදය (රසවිඳීම) නම් වෙයි.

“මහානාමය, කාමයන්ගේ ආදීනව (දෝෂය) කවරේද? මහානාමය, මේ ලොකයෙහි කුලපුත්‍රතෙම යම්කිසි ශිල්පකින් ජීවිකාව කරයිද, එනම්: රෙඛා ශාස්ත්‍ර කීමෙන්, ගණන් තැබීමෙන්, සංඛ්‍යා ලෙඛන තැබීමෙන්, ගොවිකමින්, වෙළඳාමෙන්, ගව පාලනයෙන්, (රජුන්ට) උපස්ථාන කිරීමෙන්, රාජ භටයෙකු වීමෙන්, මෙයින් අන්‍යවූ, (ඇත්, අස්, ආදී) ශිල්පයකින් (ජීවත්වනු සඳහා) සීතෙන් පෙළනු ලබන්නේ, උෂ්ණයෙන් පෙළනු ලබන්නේ ඩැහැ ලේ බොන මැස්සෝය, මදුරුවෝය, සුලඟය, අව්වය, සර්පයෝය යන මොවුන්ගේ ස්පර්ශයෙන් ගැටෙමින් බඩගින්නෙන් හා පිපාසයෙන් මිරිකෙමින් ජීවිතය පවත්වයි. මහානාමය, මෙලොවදීම විඳිය යුතුවූ මේ දුක් රාශිය කාමය හෙතුකොට ගෙන කාමය මුල් කරුණු කොටගෙන, කාමය නිසා උපදින කාමයන්ගේ දෝෂයයි. මහානාමය, වීර්ය කරන්නාවූ ගැටෙන්නාවූ උත්සව කරන්නාවූ ඒ කුලපුත්‍රයාට ඒ භොගයෝ (වස්තුව) හොඳින් නොඋපදිත්ද, (අත්පත් නොවෙත්ද) හෙතෙම ඒකාන්තයෙන් මාගේ වීර්යය හිස්ය, මාගේ උත්සාහ නිෂ්ඵලයයි කියා ශොක වෙයි, වෙහෙස වෙයි, වැළපෙයි, පපුවේ අත් ගසමින් හඬයි, සිහි නැති බවට පැමිණෙයි. මහානාමය, මෙලොවදීම විඳිය යුතුවූ මේ දුක් රාශිය කාමය හෙතුකොට කාමය මුල් කාරණයකොට, කාමය කරණකොට, කාමයන් නිසා උපදින කාමයන්ගේ දෝෂයයි.

“මහානාමය, මෙසේ වීර්යකරන්නාවූ ගැටෙන්නාවූ උත්සාහ කරන්නාවූ ඒ කුලපුත්‍රයාට ඒ සම්පත්තීහු සමෘද්ධ වෙත්ද, (දියුණු වෙත්ද) ඔහු ඒ සම්පත්තිය ආරක්ෂා කරණු පිණිස කය සිත යන දෙකින් දුක් විඳියි. කෙසේ නම් මාගේ මේ සම්පත්තිය රජවරු පැහැර නොගන්නාහුද, සොරු පැහැර නොගන්නාහුද ගින්නෙන් නොදැවෙන්නේද දියෙන් විනාශ නොවන්නේද, සතුරෝ නොගන්නාහුදැයි මෙසේ රකින්නාවූ පාලනය කරන්නාවූ ඔහුගේ ඒ සම්පත්තීහු රජවරු පැහැර ගනිත්. සොරුද පැහැර ගනිත් ගින්න හෝ දවයි. වතුර හෝ නසයි. අප්‍රියවූවෝ හෝ ගනිති. මා විසින් මේ වස්තුවකුත් උපදවන ලද්දේවේද, එයද අපට නැතැයි හෙතෙම ශොක කරයි. වෙහෙස වෙයි, වැළපෙයි, පපුවේ අත් ගසමින් හඬයි. සිහිනැති බවට පැමිණෙයි. මහානාමය මෙලොවදීම විඳිය යුතුවූ මේ දුක් රාසිය කාමය හේතුකොට, කාමය මුල් කරුණ කොට කාමය කරණකොටගෙණ කාමය නිසා උපදින කාමයන්ගේ දෝෂයයි.

“මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට කාමය මුල් කරුණ කොට කාමය කරණ කොට ගෙණ කාමය නිසා රජවරුද රජවරු සමග කලහ කරති. ක්ෂත්‍රියයෝද ක්ෂත්‍රියයන් සමග කලහ කරති. බමුණෝද බමුණන් සමග කලහ කරති. ගෘහපතියෝද ගෘහපතීන් සමග කලහ කරති, මවද පුතා සමග කලහ කරයි. පුතාද මව සමග කලහ කරයි. පියා ද පුතා සමග කලහ කරයි. පුතාද පියා සමග කලහ කරයි, සහෝදරයාද සහෝදරයා සමග කලහ කරයි. සහෝදරයාද සහෝදරිය සමග කලහ කරයි. සහෝදරිය සහෝදරයා සමග කලහ කරයි. යහළුවා යහළුවා සමග කලහ කරයි. ඔව්හු කෝලාහල, විරුද්ධකම්, විවාද යන මීට පැමිණියාහු එකිනෙකාට අතින්ද පහර දෙති. කැට කැබිලිතිවලින්ද පහර දෙති. පොලුවලින්ද පහර දෙති. (කඩු ආදී) ආයුධවලින්ද පහර දෙති ඔව්හු එයින් මරණයටද පැමිණෙත්. මරණය සමාන දුකටද පැමිණෙත් මහානාමය, මෙලොවදීම විඳියයුතුවූ මේ දුක් රාසිය කාමය හෙතු කොට කාමය මුල් කරුණකොට කාමය කරණකොට ගෙන කාමය නිසා උපදිති. මෙයද කාමයන්ගේ දෝෂයයි.

“මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට කාමය මුල් කරුණ කොට කාමය කරණ කොට ගෙණ කාමය නිසා කඩුව හා පලිහ ගෙණ දුන්නා හා හියවුර (ඊතල දමන කොපුව) බැඳ දෙපසින් රැස්ව යුද්ධ භූමියට පනිති. ඊතල විදින කල්හි කඩු කරකවන කල්හි එහි ඔවුන්ට ඊතලවලින්ද විදිත්, අඩයටිවලින්ද අනිත්, කඩුවෙන් හිසද සිඳිත්, ඔව්හු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්.

“මහානාමය, මෙලොවදීම විඳියයුතුවූ මේ දුක් රාසිය කාමය හෙතුකොට කාමය මුල් කරුණ කොට ගෙන කාමය කරණකොට ගෙන කාමය නිසා උපදින කාමයන්ගේ දෝෂයයි.

“මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හෙතුකොට, කාමය මුල් කරුණකොට, කාමය කරණ කොට ගෙන කාමය නිසා කඩුව හා පලිහ ගෙණ දුන්න හා හියවුර (ඊතල දමන කොපුව) බැඳ තෙත් මඩ තැවරූ පවුරු වළලු ලඟට පැනයෙත්, ඊතල විදින කල්හි, අඩයටි දමාගසන කල්හි, කඩු කරවන කල්හි, එහි ඔව්හු ඊතලවලින්ද විදිනු ලබත්, අඩයටිවලින්ද, විදිනු ලබත්. ලෝදියද ඉසිත්, (සත්දන්ත නම්) දණ්ඩෙන් මඩිත්, කඩුවෙන්ද හිස සිඳිත්, ඔව්හු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්

“මහානාමය, මෙලොවදීම විඳිය යුතුවූ මේ දුක් රාසිය කාමය හෙතු කොට කාමය මුල් කරුණකොට කාමය කරණ කොට ගෙන කාමය නිසා උපදින කාමයන්ගේ දෝෂයයි.

“මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හෙතුකොට ගෙවල් බිඳිති. ගම් පැහැරීමෙන් (වස්තුව) ගෙන යති, ගෙයි වැසියන් පණපිටින් ගෙණ වස්තුව පැහැරගණිති, මං පැහැරීම (මංකොල්ලකෑම) කරති. පරස්ත්‍රීන් කරාද යති, (මෙසේ කරන) ඒ මේ සොරුන් රජවරු අල්වා නොයෙක් කම් කටුළු කරවත්. කසවලින්ද තලත්. වේවැල්වලින්ද තලත්, දෙකට පැලු (දෙරියන් පමණ) දඬුවලින්ද තලත්, අතද කපත්, පයද කපත්, අත් පා සියල්ලද කපත්, කණද කපත්, නාසයද කපත්, කන් නාසා ද කපත්, බිලංගථාලික (හිස් කබල ගලවා මොලය උතුරවමින් කරන) නම් වධය කරත්. සංඛමුණ්ඩික (හිසේ කෙස් හා සම ගලවා බොරළු ලා උලා සුදු කිරීම) නම් වධය කරත්. රාහුමුඛ (අඬුවෙන් කට අරවා එහි තුළ ගිනිදැල්වීම) නම් වධය කරත් ජෝතිමාලික (ශරීරය තෙල් රෙදිවලින් වෙලා ගිනි දැල්වීම) නම් වධය දෙත්, හත්ථපජ්ජොතික (අත්දෙකේ තෙල් රෙදි වෙලා ගිනි දැල්වීම) නම් වධය දෙත්, එරකවත්තික (බෙල්ලෙහි පටන් ඇස්වටය දක්වා හම ගලවා ඔහු ලවා පෑගවීම) නම් වධය දෙත්, වීරකවාසික (බෙල්ලෙහි පටන් තුනටිය දක්වා සම ගලවා තබා එතැනින් පටන්ගෙණ ඇස්වටය දක්වා සම ගලවා තැබීම) නම් වධය දෙත්, එණෙය්‍යක (දෙදන දෙවැලමිටිවල යවුල් ගසා වටකොට ගිනි කිරීම) නම් වධය යත්, බලිසමංසික (දෙපැත්තෙන් තුඩු ඇති බිලියෙන් ගසා මස් කැඩීම) නම් වධය දෙත්. කහාපණක (කහවණු සේ මස් කැපීම) නම් වධය දෙත්, ඛාරාපතච්ඡික (සිරුර සිදුරු කොට කාරම්දිය ඉසීම) නම් වධය දෙත්, පළිඝපරිවත්තික (ඇලයකින් බිම හොවා කණෙහි යවුල් ගසා පය ගෙණ කරකැවීම) නම් වධය දෙත්, පලාලපීඨික (සම නොබිඳෙන සේ ඇට මස් තලා පිදුරු වැටියක්සේ ඇකිලීම) නම් වධය දෙත්, රත්වූ තෙල් ඉසිත්, බල්ලන් ලවා කවත්, ජීවිතය තිබියදීම උලෙහි ඉඳුවත්, කඩුවෙන් හිස සිඳිත්, ඔව්හු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්, මහානාමය, මෙලොවදීම විඳියයුතුවූ මේ දුක් රාසිය කාමය හෙතුකොට, කාමය මුල් කරුණකොට, කාමය කරණකොට ගෙන කාමය නිසා ඇතිවන කාමයන්ගේ දෝෂයයි.

“මහානාමය, නැවත අනිකක්ද කියමි. කාමය හෙතුකොට, කාමය මුල් කරුණ කොට, කාමය කරණකොට ගෙන කාමය නිසා කයින් දුසිරිතෙහි හැසිරෙති, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙති, සිතින් දුසිරිතෙහි හැසිරෙති, ඔව්හු කයින් දුසිරිතෙහි හැසිර වචනයෙන් දුසිරිතෙහි හැසිර, සිතින් දුසිරිතෙහි හැසිර, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති නපුරු වැටීමක් ඇත්තාවූ නිරයෙහි උපදිති. මහානාමය, පරලොවදී විඳිය යුතුවූ මේ දුක් රාසිය කාමය හෙතුකොට, කාමය මුල් කරුණ කොට කාමය කරණ කොට ගෙන, කාමය නිසා ඇතිවන කාමයන්ගේ දෝෂයයි.

Msdiv 179 “මහානාමය, මම එක් කලෙක රජගහනුවර ගිජ්ජකූට නම්වූ පර්වතයෙහි වාසය කරමි. එකල්හි බොහෝවූ නිගණ්ඨයෝ, ඉසිගිලි පර්වතය අසලවූ කලුගල් තලාවෙහි උඩුකුරුව සිටියාහු ආසනවල වාඩි නොවන්නාහු උත්සාහයෙන් ඇතිකරගත් දුක්වූ තියුණුවූ වෙදනාවන් විඳිත්. මහානාමය, එකල්හි මම සවස් කාලයෙහි, උතුම් පලසමවතින් නැගිටියේ ඉසිගිලි පර්වතය අසල කලුගල් තලාව යම් තැනෙක්හිද, ඒ නිගණ්ඨයෝ යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස් නිගණ්ඨයන්ට මෙසේ කීයෙමි. ‘ඇවැත්නි, නිගණ්ඨයෙනි, තෙපි කුමකට උඩුකුරු වූවාහු අසුන්වල වාඩි නොවන්නාහු උත්සාහයෙන් ඇතිකරගත් තියුණුවූ වේදනාවෙන් විඳින්නාහුදැ’යි ඇසීමි.

“මහානාමය, මෙසේ කීකල්හි, ඒ නිගණ්ඨයෝ මට මෙසේ කීවාහුය. ‘ඇවැත්නි, නිගණ්ඨනාත පුත්‍රතෙම, හැසිරෙන්නා වූද, සිටින්නාවූද, නිදන්නාවූද, නිදි නැතිව සිටින්නාවූද මට සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ ඥාන දර්ශනය නිතරම එළඹ සිටියේයයි ප්‍රතිඥා කරයි. ඒ නිගණ්ඨනාත පුත්‍ර තෙම මෙසේ කියයි. නිගණ්ඨයෙනි, තෙපි සියලුදෙන විසින් කරන ලද පාපකර්ම ඇත්තේය. එය කටුකවූ මේ දුෂ්කර ක්‍රියාවෙන් දිරවව්. යම් හෙයකින් මෙහි දැන් කයින් සංවර වූවාහුද වචනයෙන් සංවර වූවාහුද සිතින් සංවර වූවාහුද ඒ සංවරය නම් මත්තෙහි විපාක දෙන්නාවූ පාපකර්ම නොකිරීමයි. මෙසේ පූර්ව කර්ම තපස් බලයෙන් තුනීකිරීමෙන් අළුත් කර්ම නොකිරීමෙන් මත්තෙහි කර්ම රැස්නොවීම වෙයි. කර්ම රැස්නොවීමෙන් කර්මයන්ගේ අවසන්වීම වෙයි. කර්ම අවසන් වීමෙන් දුක් කෙළවර වෙයි. දුක් කෙළවර වීමෙන් වේදනා කෙළවර වේ. වේදනාවන්ගේ කෙළවර වීමෙන් සියලු දුක් දිරූයේ වන්නේයයි (කියයි) අපට ඒ ක්‍රමය රුචිද වෙයි. කැමතිද වෙයි. එයින් අපි සතුටු වෙමු”යි (කීහ.)

Msdiv 180 “මහානාමය මෙසේ කීකල්හි මම ඒ නිගණ්ඨයන්ට මෙසේ කීවෙමි. ඇවැත් නිගණ්ඨයෙනි, කිමෙක්ද? තෙපි පෙර අපි වීමුද, නොවීමුදැයි, දන්නහුද? ඇවැත්නි, අපි නොදන්නෙමු. කිමෙක්ද? ඇවැත්වූ නිගණ්ඨයෙනි, තෙපි පෙර පව්කම් කෙළෙමුද නොකෙළෙමුදැයි දන්නාහුද? ඇවැත්නි, නොදන්නෙමු. ඇවැත්නි, නිගණ්ඨයෙනි, අපි පෙර මෙබඳු මෙබඳුවූ පව්කම් කෙළෙමුයයි දන්නාහුද? ඇවැත්නි, නොදන්නෙමු. ඇවැත්නි, නිගණ්ඨයෙනි, කිමෙක්ද? තෙපි මෙපමණ දුක් දිරා ගියේය. මෙපමණ දුක් දිරවිය යුතුය, මෙපමණ දුක් දිරූ කල්හි සියලු දුක දිරූයේ වන්නේයයි දන්නහුද? ඇවැත්නි, නොදන්නෙමු. ඇවැත්නි, නිගණ්ඨයෙනි. කිමෙක්ද? තෙපි මේ ආත්මයෙහිම අකුශලධර්මයන් නැතිකිරීමද කුසල ධර්මයන් රැස්කිරීමද දන්නහුද? ඇවැත්නි, මෙය නොදන්නෙමු.

“නිගණ්ඨයෙනි, මෙසේ වනාහි තෙපි “පෙර අපි වීමුද, නොවීමුදැයි කියාත් නොදන්නහුය. අපි පෙර පව්කම් කෙළෙමුද, නොකෙළෙමුදැයි කියාත් නොදන්නහුය. අපි පෙර මෙබඳු මෙබඳුවූ පව්කම් කෙළෙමුයයි කියාත් නොදන්නහුය. මෙපමණ දුක් දිරුවේය. මෙපමණ දුක් දිරවිය යුතුය. මෙපමණවූ දුක් දිරූකල්හි සියලු දුක් දිරූයේ වන්නේයයි කියාත් නොදන්නහුය. මේ ආත්මයෙහි අකුසල ධර්මයන් නැතිකිරීම හා කුසල ධර්මයන් රැස්කිරීමත් නොදන්නහුය. ඇවැත්නි නිගණ්ඨයෙනි, මෙසේ ඇතිකල්හි මිනිසුන් අතර උපන් රෞද්‍රවූ ලේ තැවරුණ අත් ඇති ක්‍රෑර ක්‍රියා ඇති යම් මනුෂ්‍ය කෙනෙක් වෙත්ද, ඔව්හු නිගණ්ඨයන් අතර පැවිදි වෙතියයි (කීමි.)

“ඇවැත්නි, ගෞතමයෙනි, සැපයෙන් සැපය නොලැබිය හැකිය, දුකින්ම සැපය ලැබිය යුතුය. ඇවැත්නි, ගෞතමයෙනි, සැපයෙන් සැපය ලැබිය හැකි වන්නේ නම්, මගධ රටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම සැප ලබන්නේය. ආයුෂ්මත් ගෞතමයන්ට වඩා මගධ රටට අධිපතිවූ සෙනිය බිම්බිසාර රජතෙම අතිශයින් සැප විහරණ ඇත්තේයයි (කීවාහුය.) ආයුෂ්මත් නිගණ්ඨයන් විසින් ඒකාන්තයෙන් වහා කරුණු නොසලකා, ඇවැත් ගෞතමයෙනි, සැපයෙන් සැපය නොලැබිය හැකිය. දුකින්ම සැපය ලැබිය යුතුය. ඇවැත් ගෞතමයෙනි, සැපයෙන් සැපය ලැබිය හැකි වන්නේ නම්, මගධ රටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම සැප ලබන්නේය. ආයුෂ්මත් ගෞතමයන්ට වඩා මගධරටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම අතිශයින් සැපවිහරණ ඇත්තේය යන වචනය කියනලදී, නොඑසේ නම් තොප විසින් ආයුෂ්මතුන් අතුරෙන් මගධ රටට අධිපති සේනා ඇති බිම්සර රජ වඩා සැප විහරණ ඇත්තේද ආයුෂ්මත් ගෞතම තෙමේ වඩා සැපවිහරණ ඇත්තේදැයි මගෙන්ම ඇසිය යුත්තේය.

“ඇවැත් ගෞතමයෙනි, අප විසින් “ඇවැත්නි ගෞතමයෙනි, සැපයෙන් සැපය නොලැබිය හැකිය. දුකින්ම සැපය ලැබිය යුතුය. ඇවැත්නි, ගෞතමයෙනි සැපයෙන් සැපය ලැබිය හැකි වන්නේ නම්, මගධ රටට අධිපති සෙනිය බිම්බිසාර රජතෙම සැපය ලබන්නේය. ආයුෂ්මත් ගෞතමයන්ට වඩා මගධ රටට අධිපතිවූ සෙනිය බිම්බිසාර රජතෙම අතිශයින් සැප විහරණ ඇත්තේය” යන වචනය එකාන්තයෙන්ම කරුණු නොසලකා වහා කියන ලද්දේය.

ඒ වචනය තිබේවා, දැන් අපි ආයුෂ්මත් ගෞතමයන්ගෙන් විචාරන්නෙමු. ‘මගධ රටට අධිපතිවූ සේනා ඇති බිම්බිසාර නම්වූ රජත් ආයුෂ්මත් ගෞතමයෝත් යන දෙදෙනා අතුරෙන් කවරෙක් අතිශයින් සැපවිහරණ ඇත්තේදැයි (අසමු.)

“ඇවැත්නි, නිගණ්ඨයෙනි, එසේ වීනම් එහිලා තොපම විචාරන්නෙමි. යම්සේ තොපට රුචිවේද, එසේ එය ප්‍රකාශ කරව්. ඇවැත්නි, නිගණ්ඨයෙනි, මගධෙශ්වරවූ සෙනිය බිම්බිසාර රජතෙම කයින් නොසෙල්වෙමින් වචනයක් නොකියමින් සත් රෑ දවාලක් මුළුල්ලෙහි නිරතුරු සැප විඳිමින් වාසය කරන්නට සමර්ථ වේද? නැත ඇවැත්නි, රෑ දාවල් සයක් වාසය කරන්ට හැකිවේද, රෑ දාවල් පහක් - රෑ දාවල් හතරක් - රෑ දාවල් තුනක් -රෑ දාවල් දෙකක් - රෑ දාවල් එකක් වාසය කරන්ට හැකිවේද, නැත ඇවැත්නි,

“ඇවැත්නි නිගණ්ඨයෙනි, මම වනාහි කයින් නොසෙල්වෙමින් වචනයක් නොකියමින් එක් රෑ දවාලක් මුළුල්ලෙහි එකාන්තයෙන් සැපවිඳිමින් වාසය කරන්ට පොහොසත් වෙමි. රෑ දාවල් දෙකක් - රෑ දාවල් තුනක් - රෑ දාවල් හතරක් - රෑ දාවල් පහක් - රෑ දාවල් හයක් - රෑ දාවල් හතක් - මුළුල්ලෙහි එකාන්තයෙන් සැප විඳිමින් වාසය කරන්ට සමර්ථවෙමි. (ඇවැත්නි) මෙසේ ඇතිකල්හි මගධෙශ්වරවූ සෙනිය බිම්බිසාරය, මමය යන අප දෙදෙනා අතුරෙන් කවරෙක් අතිශයින් සැපවිහරණ ඇත්තේදැයි සිතන්නහුද? මෙසේ ඇතිකල්හි ආයුෂ්මත් ගෞතම තෙමේම, මගධෙශ්වරවූ සෙනිය බිම්බිසාර රජුට වඩා අතිශයින් සැපවිහරණ ඇත්තේය”යි කීවාහුය.

මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටුවූ මහානාම ශාක්‍ය රජතෙම භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේය.

චුලදුක්ඛක්ඛන්ධ සූත්‍රය නිමි.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection