LibraryMNMN 16
MN 1611 min read

Emotional Barrenness

Cetokhila Sutta

20
PDFGenerated
01 · Overview

The Buddha explains various ways one can become emotionally cut off from one’s spiritual community.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 2. සීහනාද වර්ගය 16. චෙතොඛිල සූත්‍රය Msdiv 185 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු මහ සිටුහුගේ ජෙතවනාරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි, කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.

“මහණෙනි, යම්කිසි භික්ෂුවක් විසින් සිත බැඳී පවත්නා කණු වැනි හෙයින් චෙතොඛිල නම්වූ ධර්මපහක් පහනොකරන ලද්දාහුද හිත සම්බන්ධවූ බැමි පසක් නොසිඳින ලද්දාහුද ඒ භික්ෂුතෙම ඒකාන්තයෙන් මේ ශාසනයෙහි අභිවෘද්ධියටද වැඩීමටද මහත් බවටද පැමිණෙන්නේය, යන මේ කාරණය සිදු නොවෙයි ඔහු විසින් පහ නොකරන ලද චෙතොඛිල ධර්මපස කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි, මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කරයිද, අවිශ්වාස කරයිද මෙසේ මෙසේයයි නිශ්චයට නොපැමිණේද නොපහදීද මහණෙනි, යම් ඒ භික්ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැකකෙරේද විශ්වාස නොකෙරේද, නිශ්චයට නොපැමිණේද නොපහදීද ඒ භික්ෂුහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් පළමුවන චෙතොඛිල ධර්මය පහනොකරන ලද්දේ වෙයි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ධර්මයෙහි සැකකෙරේද අවිශ්වාස කරයිද මෙසේ මෙසේ යයි නිශ්චයට නොපැමිණේද, නොපහදීද මහණෙනි, යම් භික්ෂුවක් ධර්මයෙහි සැකකෙරේද අවිශ්වාස කරයිද, මෙසේ මෙසේයයි නිශ්චයට නොපැමිණේද නොපහදීද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි, යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් දෙවෙනි චෙතොඛිල ධර්මය පහ නොකරන ලද්දේ වෙයි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සංඝයා කෙරෙහි සැක කෙරේද? අවිශ්වාස කරයිද, මෙසේ මෙසේයයි නිශ්චයට නොපැමිණේද, නොපහදීද මහණෙනි, යම් ඒ භික්ෂුවක් සංඝයා කෙරෙහි සැක කෙරේද? අවිශ්වාස කරයිද, මෙසේ මෙසේ යයි නිශ්චයට නොපැමිණේද, නොපහදීද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් තුන්වැනි චෙතොඛිල ධර්මය පහ නොකරන ලද්දේ වෙයි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම ත්‍රිවිධ ශික්ෂාව කෙරෙහි සැකකෙරේද, අවිශ්වාස කෙරේද, නිශ්චයට නොපැමිණේද, නොපහදීද, මහණෙනි, යම් ඒ භික්ෂුවක් ත්‍රිවිධ ශික්ෂාව කෙරෙහි සැකකෙරේද අවිශ්වාස කෙරේද, නිශ්චයට නොපැමිණේද, නොපහදීද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස, නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් සතරවැනිවූ චෙතොඛිල ධර්මය පහ නොකරන ලද්දේ වෙයි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙතෙම සබ්‍රම්සරුන් (එකට මහණ දම් පුරණ භික්ෂූන්) කෙරෙහි කිපියේ නොසතුටු සිත් ඇත්තේ තරහයෙන් මැඩුණු සිත් ඇත්තේ තද ගතියෙන් යුක්තවූයේ වේද, මහණෙනි, යම් ඒ භික්ෂුවක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නොසතුටු සිත් ඇත්තේ තරහයෙන් මැඩුණ සිත් ඇත්තේ තදගතියෙන් යුක්තවූයේ වේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද, මෙසේ ඔහු විසින් මේ පස්වැනි චෙතොඛිල ධර්මය පහනොකරන ලද්දේ වෙයි. ඔහු විසින් මේ චෙතොඛිල ධර්ම පස පහ නොකරන ලද්දාහු වෙත්.

Msdiv 186 “ඔහු විසින් කවර නම් සිත පිළිබඳ බැමි පසක් නොසිඳින ලද්දාහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයෙහි පහනුවූ ආශාව ඇත්තේ වේද පහ නුවූ කැමැත්ත ඇත්තේවේද පහ නුවූ ප්‍රේමය ඇත්තේවේද පහ නුවූ පිපාසය ඇත්තේ වේද පහ නුවූ දැවිල්ල ඇත්තේ වේද පහ නුවූ තෘෂ්ණාව ඇත්තේ වේද මහණෙනි, යම් මහණෙක් තෙම කාමයෙහි පහ නුවූ ආශාව ඇත්තේ වේද, පහනුවූ කැමැත් ඇත්තේ වේද පහ නුවූ ප්‍රේමය ඇත්තේ වේද, පහ නුවූ පිපාසය ඇත්තේවේද පහ නුවූ දැවිල්ල ඇත්තේ වේද පහ නුවූ තෘෂ්ණාව ඇත්තේ වේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් මේ පළමුවෙනි සිත පිළිබඳ බැම්ම නොසිඳින ලද්දේ වේ.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තමන්ගේ කයෙහි පහ නුවූ ආශාව ඇත්තේ වේද පහනොවූ කැමැත්ත ඇත්තේ වේද, පහ නොවූ ප්‍රේමය ඇත්තේ වේද, පහනොවූ පිපාසය ඇත්තේවේද, පහ නොවූ දැවිල්ල ඇත්තේ වේද, පහ නුවූ තෘෂ්ණාව ඇත්තේ වේද මහණෙනි, යම් මේ භික්ෂුවක් තමන්ගේ කයෙහි පහ නුවූ ආශාව ඇත්තේ වේද, පහ නොවූ කැමැත්ත ඇත්තේ වේද පහ නොවූ ප්‍රේමය ඇත්තේ වේද, පහ නොවූ පිපාසය ඇත්තේ වේද පහ නොවූ දැවිල්ල ඇත්තේ වේද, පහනොවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් හිත පිළිබඳවූ මේ දෙවෙනි බැම්ම නොසිඳින ලද්දේ වේ.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තමාගෙන් අන්‍යවූ රූපයෙහි පහ නුවූ ආශාව ඇත්තේ වේද, පහ නොවූ කැමැත්ත ඇත්තේ වේද පහ නොවූ ප්‍රේමය ඇත්තේවේද, පහනොවූ පිපාසය ඇත්තේ වේද, පහ නොවූ දැවිල්ල ඇත්තේ වේද, පහ නුවූ තෘෂ්ණාව ඇත්තේ වේද, මහණෙනි, යම් ඒ මහණෙක් තමාගෙන් අන්‍යවූ රූපයෙහි පහ නොවූ රාගය ඇත්තේ වේද, පහ නොවූ කැමැත්ත ඇත්තේ වේද, පහ නොවූ ප්‍රේමය ඇත්තේ වේද, පහ නොවූ පිපාසය ඇත්තේ වේද, පහ නොවූ දැවිල්ල ඇත්තේ වේද පහ නුවූ තෘෂ්ණාව ඇත්තේ වේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් සිත පිළිබඳවූ මේ තුන් වෙනි බැම්ම නොසිඳින ලද්දේ වෙයි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම කුස පිරන තෙක් අනුභව කොට නිදීම් සැපයෙහිද, ඒ මේ අත පෙරළි පෙරළී නිදීම් සැපයෙහිද යෙදී වාසය කෙරේද, මහණෙනි, යම් මේ භික්ෂුවක් කුස පිරෙන තෙක් අනුභව කොට නිදන සැපයෙහිද, ඒ මේ අත පෙරළි පෙරළී නිදීම් සැපයෙහිද, යෙදී වාසය කෙරේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් හිත පිළිබඳවූ, මේ සතර වෙනි බැම්ම නොසිඳින ලද්දේ වේ.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්ම චරියාවෙන් හෝ මහෙශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙම් අල්පේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමියි කියා එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ථනා කරගෙන බ්‍රහ්මචර්යාවෙහි හැසිරේද, මහණෙනි, යම් ඒ භික්ෂුවක් මම මේ ශීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බ්‍රහ්මචරියාවෙන් හෝ මහෙශාක්‍ය දෙවියෙක් හෝ අල්පේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමියි කියා එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ථනා කරගෙන බ්‍රහ්මචර්යාවෙහි හැසිරේද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නොනැමේද මෙසේ ඔහු විසින් හිත පිළිබඳවූ මේ පස්වෙනි බැම්ම නොසිඳින ලද්දේ වේ. ඔහු විසින් මේ පස්වැදෑරුම් බැමි නොසිඳින ලද්දේ වේ.

Msdiv 187 “මහණෙනි, යම්කිසි භික්ෂුවක් විසින් චෙතොඛිල ධර්ම පසද මේ විනිබන්ධ ධර්මපසද නොසිඳින ලද්දාහුද ඒ භික්ෂුතෙම ඒකාන්තයෙන් මේ ශාසනයෙහි අභිවෘද්ධියටද වැඩීමටද මහත් බවටද පැමිණෙන්නේය යන මේ කාරණය සිදු නොවෙයි.

“මහණෙනි, යම් කිසි භික්ෂුවක් විසින් මේ පස් වැදෑරුම් චෙතොඛිල ධර්මයෝත් පස්වැදෑරුම් විනිබන්ධ ධර්මයෝත් සිඳින ලද්දාහුද ඒ භික්ෂු තෙම ඒ කාන්තයෙන් මේ ශාසනයෙහි අභිවෘද්ධියටද වැඩීමටද මහත් බවටද පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි. ඔහු විසින් කවර නම් චෙතොඛිල ධර්ම පසක් පහකරන ලද්දාහුද යත්?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක නොකෙරේද, අවිශ්වාස නොකෙරේද, නිශ්චයට පැමිණේද, පහදීද, මහණෙනි, යම් ඒ භික්ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක නොකෙරේද, අවිශ්වාස නොකෙරේද, නිශ්චයට පැමිණේද, පහදීද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්ය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නැමේද මෙසේ ඔහු විසින් මේ පළමුවැනි චෙතොඛිල ධර්මය පහ කරන ලද්දේ වෙයි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ධර්මයෙහි සැක නොකෙරේද අවිශ්වාස නොකෙරේද මෙසේ මෙසේයයි නිශ්චයට පැමිණේද, පහදීද, මහණෙනි, යම් මේ භික්ෂුවක් ධර්මයෙහි සැක නොකෙරේද, අවිශ්වාස නොකෙරේද, මෙසේ මෙසේයයි නිශ්චයට පැමිණේද, පහදීද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස, නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමේද මෙසේ ඔහු විසින් මේ දෙවැනි චෙතොඛිල ධර්මය පහකරන ලද්දේ වෙයි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සංඝයා කෙරෙහි සැක නොකෙරේද, අවිශ්වාස නොකෙරේද, මෙසේ මෙසේයයි නිශ්චයට පැමිණේද, පහදීද, මහණෙනි, යම් මේ භික්ෂුවක් සංඝයා කෙරෙහි සැක නොකෙරේද, අවිශ්වාස නොකෙරේද, මෙසේ මෙසේයයි නිශ්චයට පැමිණේද, පහදීද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමේද, මෙසේ ඔහු විසින් මේ තුන්වැනි චෙතොඛිල ධර්මය පහ කරන ලද්දේ වේ.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම ත්‍රිවිධ ශික්ෂාව කෙරෙහි සැක නොකෙරේද, අවිශ්වාස නොකෙරේද, මෙසේ මෙසේයයි නිශ්චයට පැමිණේද, පහදීද, මහණෙනි, යම් මේ භික්ෂුවක් ත්‍රිවිධ ශික්ෂාව කෙරෙහි සැක නොකෙරේද, අවිශ්වාස නොකරේද මෙසේ මෙසේ යයි නිශ්චයකට පැමිණේද, පහදීද. ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමේද, මෙසේ ඔහු විසින් මේ සතරවැනි චෙතොඛිල ධර්මය පහ කරන ලද්දේ වෙයි.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම සබ්‍රම්සරුන් (එකට මහණ දම් පුරණ භික්ෂූන්) කෙරෙහි නොකිපියේ සතුටු සිත් ඇත්තේ තරහෙන් නොමඩනා ලද සිත් ඇත්තේ තද ගතියක් නැත්තේ වේද, මහණෙනි, යම් මේ භික්ෂුවක් සබ්‍රම්සරුන් කෙරෙහි නොකිපියේ සතුටු සිත් ඇත්තේ තරහෙන් නොමඩනා ලද සිත් ඇත්තේ තදගති නැත්තේ වේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස. එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්ය පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්ය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නැමේද මෙසේ ඔහු විසින් මේ පස්වන චෙතොඛිල ධර්මය පහ කරන ලද්දේ වෙයි. මෙසේ ඔහු විසින් මේ චෙතොඛිල ධර්ම පස පහ කරන ලද්දාහු වෙත්.

Msdiv 188 “ඔහු විසින් කවර නම් සිත පිළිබඳ බැමි පසක් සිඳින ලද්දාහු වෙත්ද? මහණෙනි, මේ ලොකයෙහි මහණ තෙම කාමයෙහි පහවූ ආශාව ඇත්තේ වේද, පහවූ කැමැත්ත ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසා ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, මහණෙනි, යම් මේ භික්ෂුවක් කාමයෙහි පහවූ ආශාව ඇත්තේ වේද, පහවූ කැමැත්ත ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස, එම වීර්යෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමේද මෙසේ ඔහු විසින් හිත පිළිබඳවූ මේ පළමුවෙනි විනිබන්ධය මනාකොට සිඳින ලද්දේ වේ.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම තමන්ගේ කයෙහි පහවූ ආශාව ඇත්තේ වේද, පහවූ කැමැත්ත ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, මහණෙනි, යම් මේ භික්ෂුවක් තමන්ගේ කයෙහි පහවූ ආශාව ඇත්තේ වේද, පහවූ කැමැත්ත ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නැමේද, මෙසේ ඔහු විසින් හිත පිළිබඳවූ මේ දෙවෙනිවූ විනිබන්ධය මනාකොට සිඳින ලද්දේ වේ.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම බාහිරවූ රූපයෙහි පහවූ ආශාව ඇත්තේ වේද, පහවූ කැමැත්ත ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, මහණෙනි, යම් ඒ භික්ෂුවක් බාහිරවූ රූපයෙහි පහවූ රාගය ඇත්තේ වේද, පහවූ කැමැත්ත ඇත්තේ වේද, පහවූ ප්‍රෙමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමේද, මෙසේ ඔහු විසින් හිත පිළිබඳවූ මේ තුන්වෙනි විනිබන්ධය මනාකොට සිඳින ලද්දේ වේ.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම බඩ පුරා අනුභවකොට සයන සැපයෙහිද, ඒ මේ අත පෙරළෙමින් නිදන සැපයෙහිද, නිදි සැපයෙහිද යෙදී වාසය නොකෙරේද, මහණෙනි, යම් ඒ භික්ෂුවක් බඩ පුරා අනුභව කොට සයන සැපයෙහිද ඒ මේ අත පෙරළෙමින් නිදන සැපයෙහිද, නිදි සැපයෙහිද යෙදී සයනය නොකෙරේද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස, එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස, නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස, වීර්යය පිහිටුවීම පිණිස නැමේද මෙසේ ඔහු විසින් සිත පිළිබඳවූ මේ සතරවෙනි විනිබන්ධය මනාකොට සිඳින ලද්දේ වේ.

“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණ තෙම මම මේ ශීලයෙන් හෝ මේ වතින් හෝ මේ තපසින් හෝ මේ බ්‍රහ්ම චරියාවෙන් හෝ මහෙශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි. අල්පෙශාක්‍ය දෙවියෙක් හෝ, වන්නෙමියි කියා එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ථනා කරගෙන බ්‍රහ්මචර්යාවෙහි නොහැසිරේද, මහණෙනි, යම් ඒ භික්ෂුවක් මම මේ ශීලයෙන් හෝ මේ වතින් හෝ මේ තපසින් හෝ මේ බ්‍රහ්මචරියාවෙන් හෝ මහෙශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි. අල්පෙශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමියි කියා එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ථනා කරගෙන බ්‍රහ්මචරියාවෙහි නොහැසිරේද, ඔහුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නැමෙයි. යමෙකුගේ සිත කෙලෙසුන් තවන වීර්යය කිරීම පිණිස එම වීර්යයෙහි නැවත නැවත යෙදීම පිණිස නිතර වීර්යය කිරීම පිණිස වීර්යය පිහිටුවීම පිණිස නැමේද මෙසේ ඔහු විසින් හිත පිළිබඳවූ මේ පස්වෙනිවූ විනිබන්ධය මනා කොට සිඳින ලද්දේ වෙයි. ඔහු විසින් හිත පිළිබඳවූ මේ විනිබන්ධ පස මනාකොට සිඳින ලද්දාහු වෙත්.

“මහණෙනි, යම්කිසි භික්ෂුවක් විසින් මේ චෙතොඛිල ධර්ම පසද මේ විනිබන්ධ ධර්ම පසද සිඳින ලද්දාහුද ඒ භික්ෂු තෙම ඒකාන්තයෙන් මේ ශාසනයෙහි අභිවෘද්ධියටද වැඩීමටද නැගීමටද මහත් බවටද පැමිණෙන්නේය යන මේ කාරණය සිදුවෙයි.

Msdiv 189 “ඒ භික්ෂුතෙම ඡන්දය නිසා පැවති සමාධිය ප්‍රධානකොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. හිත නිසා පැවති සමාධිය ප්‍රධානකොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. වීර්යය නිසා පැවති සමාධිය ප්‍රධානකොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. විමංසාව නිසා පැවති සමාධිය ප්‍රධානකොට ඇති සංස්කාරයන්ගෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩයි. සෑමතන්හි කටයුතු වීර්යයම හෙවත් සියලු කටයුතු සිදුකරන වීර්යයම පස්වෙනිකොට ඇත්තේ වේද, මහණෙනි, මෙසේ සියලු අභිවෘද්ධිය සිදුකරන වීර්යය සහිත පසළොස් අඩ්ගයකින් සමන්විතවූ ඒ මේ භික්ෂු තෙම නුවණින් කෙලෙස් බිඳීමට සුදුසු වේ. සතරමාර්ගඥානය අවබොධ කරගැනීමට යොග්‍යවේ. උතුම්වූ අර්හත්ඵල අවබොධයට යොග්‍ය වේ. මහණෙනි, යම්සේ කිකිළියගේ බිජුවට අටක් හෝ දහයක් හෝ දොළසක් හෝ වෙද්ද ඒ බිජුවට කිකිළිය විසින් මනාකොට රකින ලද්දාහු උණුසුම් කරන ලද්දාහු මනාකොට වඩන ලද්දාහු වෙත්ද, ඒ කිකිළියට මාගේ කුකුල් පැටව් පයේ නියවලින් හෝ හොටෙන් හෝ සුවසේ බීජයන් බිඳගෙන නික්මෙන්නාහුනම් ඉතායෙහෙකැයි යන මෙබඳු ආශාවක් නූපදින්නීය. එහෙත් ඒ කුකුල් පැටව් පයේ නියවලින් හෝ හොටෙන් හෝ සුවසේ බිජු බිඳගෙන නික්මෙන්නට යොග්‍යවූවාහු වෙද්ද, මහණෙනි, එපරිද්දෙන්ම මෙසේ සියලු කටයුතු සිදුකරණ වීර්යය සහිත පසළොස් අඩ්ගයෙන් සමන්විතවූ මහණ තෙම නුවණින් කෙලෙස් බිඳීමට යොග්‍යවේ. සතර මාර්ගඥානය අවබොධයට යොග්‍යවේ. උතුම්වූ අර්හත් ඵලයාගේ අවබොධයට යොග්‍ය වේමය.”

භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළහ. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිත්තෝය.

හය වැනිවූ චෙතොඛිල සූත්‍රය නිමි.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection