LibraryMNMN 17
MN 1710 min read

Jungle Thickets

Vanapattha Sutta

20
PDFGenerated
01 · Overview

While living in the wilderness is great, not everyone is ready for it. The Buddha encourages meditators to reflect on whether one’s environment is genuinely supporting their meditation practice, and if not, to leave.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 2. සීහනාද වර්ගය 17. වනපත්ථ සූත්‍රය Msdiv 190 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු මහසිටුහු විසින් කරවන ලද ජෙතවන නම් ආරාමයෙහි වැඩවාසය කරති. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. ‘ස්වාමීනි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“මහණෙනි, තොපට වනපත්ථ පර්යාය (අරණ්‍ය සේනාසන පිළිබඳ ක්‍රමය) දෙශනා කරන්නෙමි. එය අසව් මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” ඒ භික්ෂූහු ‘එසේය ස්වාමීනි,’ කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

Msdiv 191 “මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා වන සෙනසුනක් ඇසුරු කොට වාසය කරයිද, ඒ වන සෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහ නොකළාවූ කෙලෙස් විනාශයට නොපැමිණේද, නොපැමිණියාවූ නිවණට නොපැමිණෙයිද, පැවිද්දන් විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිත පැවැත්මට අවශ්‍යවූ යම් දේ වෙත්ද, ඒ දේ ඔහුට දුකසේ ලැබෙත්ද මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහී මේ වන සෙනාසනය ඇසුරු කොට වාසය කරමි. මේ වන සෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි එකඟනුවූ සිත එකඟ නොවෙයි. පහ නුවූ කෙලෙස් පහවීමට නොපැමිණෙයි පෙර නොපැමිණියාවූ උතුම්වූ නිර්වාණයටද නොපැමිණෙයි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන යමක් ඇද්ද එය දුකසේ ලැබේය’යි සිතිය යුතුය. මහණෙනි, ඒ මහණ විසින් රාත්‍රි කාලයෙහි හෝ දහවල් කාලයෙහි හෝ ඒ වන සෙනසුන අත්හැර යායුතුයි. එහි නොසිටිය යුතුයි.

Msdiv 192 “මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම එක්තරා වනසෙනසුනක් ඇසුරුකොට වාසයකරයිද, ඒ වනසේනාසනය ඇසුරු කොට වාසයකරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහ නොකළාවූ කෙලෙස් විනාශයට නොපැමිණෙයිද, නොපැමිණියාවූ උතුම්වූ නිර්වාණයට නොපැමිණෙයිද, එහෙත් පැවිද්දන් විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයිද එය ඔහුට පහසුවෙන් ලැබෙයි. මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මේ වන සේනාසනය ඇසුරුකොට වාසය කරමි. මේ වන සෙනසුන ඇසුරුකොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි, එකඟනුවූ සිත එකඟ නොවෙයි. පහ නොකළාවූ කෙලෙස් නැතිවීමට නොපැමිණෙයි, පෙර නොපැමිණියාවූ උතුම්වූ නිර්වාණයටද නොපැමිණෙයි. එහෙත් පැවිද්දහු විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයිද, එය මට පහසුවෙන් ලැබේ. එතකුදු වුවත් මේ වන සෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ මට එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි. එකඟ නොවූ සිත එකඟ නොවෙයි. පහ නොවූ කෙලෙස් පහ නොවෙයි. නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙමි. මහණෙනි, ‘මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවූයෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවීමි. සෙනසුන් උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවූයෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවීමි’යි සිතා, මහණෙනි, ඒ භික්ෂුව විසිනුදු ඒ වන සෙනසුන හැර යා යුතුයි. එහි නොවිසිය යුතුයි.

Msdiv 193 “මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා වන සෙනසුනක් ඇසුරුකොට වාසය කරයිද, ඒ වන සෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ සිටියිද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහ නොවූ කෙලෙස් පහ වෙයිද, නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙයිද, (එහෙත්) පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද, මෙය ඔහුට දුකසේ ලැබේද, මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ සිහිකටයුතුයි. ‘මම වනාහි මේ වන සෙනාසනය ඇසුරු කොට වාසය කරමි. මේ වන සෙනාසනය ඇසුරු කොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ සිටියි එකඟ නොවූ සිත එකඟ වෙයි. පහ නොවූ කෙලෙස් පහවී යයි. නොපැමිණියාවූ උතුම් නිවණටද පිළිවෙළින් පැමිණෙමි. (එහෙත්) පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, ගිලන්පස, බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද, එය මාහට දුකසේ ලැබේ. මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ නොවෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. සෙනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ගිලන්පස, බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි එතකුදු වුවත් මේ වන සෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ සිටියි, එකඟ නොවූ සිතද එකඟ වෙයි පහ නොවූ කෙලෙස්ද පහවී යයි. නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙමි’යි සිතා, මහණෙනි, ඒ භික්ෂුව විසින් එම සෙනාසනයෙහි විසිය යුතුයි. බැහැර නොයා යුතුයි.

Msdiv 194 “මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම එක්තරා වන සෙනසුනක් ඇසුරුකොට වාසයකරයිද, ඒ වනසෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ ඕහට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියිද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහනොවූ කෙලෙස් පහවී යයිද, නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙයිද, පැවිද්දහු විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යමක් වෙයිද, එය ඔහුට සුවසේ ලැබේද මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සිහිකටයුතුයි ‘මම වනාහි මේ වන සෙනසුන ඇසුරු කොට වාසය කරමි මේ වන සෙනසුන ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහියද එළඹ සිටියි. එකඟ නොවූ සිත එකඟ වෙයි. පහ නොවූ කෙලෙස්ද පහවී යයි. නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයට අවශ්‍ය යමක් වෙයිද, ඒවා සුවසේ ලැබෙත්ය’යි සිතිය යුතුයි. ඒ භික්ෂුව විසින් දිවි ඇතිතාක් ඒ වන සෙනසුනෙහි විසිය යුතුයි. බැහැර නොයා යුතුයි.

Msdiv 195 “මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ගමක් ඇසුරුකොට වාසය කරයිද, ඒ ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහනොකළාවූ කෙලෙස් නැතිවීමට නොපැමිණෙයිද, නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයට අවශ්‍ය යමක් වෙයිද එය ඔහුට දුකසේ ලැබෙයිද, මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සිහි කටයුතුයි. ‘මම වනාහි මේ ගම ඇසුරුකොට වාසය කරමි මේ ගම ඇසුරුකොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ නොසිටියි. එකඟ නොවූ සිත එකඟ නොවෙයි. පහ නොකළාවූ කෙලෙස් පහවීමට නොපැමිණෙයි. නොපැමිණියාවූ උතුම්වූ නිවණට නොපැමිණෙයි පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයිද, එය දුකසේ ලැබේය’යි සැලකිය යුතුයි. මහණෙනි, ඒ භික්ෂුව විසින් රාත්‍රි භාගයෙහි හෝ දවල් කාලයෙහි හෝ ඒ ගම අත්හැර යායුත්තේය. එහි නොවිසිය යුතුය.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ගමක් ඇසුරුකොට වාසය කරයිද, ඒ ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහ නොවූ කෙලෙස් විනාශයට නොපැමිණෙයිද, නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පසය, බෙහෙත් පිරිකර යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයිද, එය ඔහුට සුවසේ ලැබෙයිද, මහණෙනි ඒ භික්ෂුව විසින් මෙසේ සිහි කටයුතුයි. ‘මම වනාහි මේ ගම ඇසුරු කොට වාසය කරමි. මේ ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි. එකඟ නොවූ සිත එකඟ නොවෙයි. පහ නොවූ කෙලෙස් පහ නොවෙයි. නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙයි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයිද එය සුවසේ ලැබෙයි. ‘මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නොවූයෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. සෙනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. එතකුදු වුවත් මේ ගම ඇසුරුකොට වාසයකරන්නාවූ මට පෙර නූපන් සිහිය නූපදියි, එකඟ නොවූ සිත එකඟ නොවෙයි, පහ නොවූ කෙලෙස් පහ නොවෙයි, නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙමි’යි සිතා මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ ගම අත්හැර යා යුත්තේය. එහි නොවිසිය යුත්තේය.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ගමක් ඇසුරුකොට වාසය කෙරේද, ඒ ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට නූපන්නාවූ සිහිය උපදියිද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහ නොවූ කෙලෙස් පහ වෙයිද, නොපැමිණියාවූ උතුම් නිවණට පැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය ඔහුට දුකසේ ලැබෙයිද, මහණෙනි. ඒ භික්ෂුව විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මේ ගම ඇසුරු කොට වාසය කරමි. මේ ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර නූපන් සිහිය උපදියි. එකඟ නොවූ සිතද එකඟ වෙයි. පහ නොවූ කෙලෙස් පහවෙයි. නොපැමිණියා වූද උතුම් නිවණට පැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, පිණ්ඩපාතය, සෙනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යම් දෙයක් වෙයිද, මොව්හු මට දුකසේ ලැබෙත්. මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ නොවෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. සෙනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. එතකුදු වුවත් මේ ගම ඇසුරුකොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි. එකඟ නොවූ සිතද එකඟ වෙයි පහ නොවූ කෙලෙස්ද පහවීයයි. නොපැමිණියාවූ උතුම් නිවණටද පිළිවෙළින් පැමිණෙමියි’ සිතා, මහණෙනි, ඒ භික්ෂුව විසින් එම ගම විසිය යුතුය. බැහැර නොයා යුතුය.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා ගමක් ඇසුරු කොට වාසය කරයිද, ඒ ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට, පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියිද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහ නොවූ කෙලෙස් පහවී යයිද, නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙයිද පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යමක් වෙයිද එය ඔහුට සුවසේ ලැබේද, මහණෙනි ඒ භික්ෂුව විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මේ ගම ඇසුරු කොට වාසය කරමි. මේ ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි. එකඟ නොවූ සිතද එකඟවෙයි. පහ නොවූ කෙලෙස්ද පහවීයයි. නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයට අවශ්‍ය යමක් වෙයිද ඒවා සුවසේ ලැබෙත්ය’යි සැලකිය යුතුයි. මහණෙනි, ඒ භික්ෂුව විසින් දිවි ඇතිතෙක් ඒ ගම වාසය කළ යුත්තේය බැහැර නොයා යුතුයි.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා නියම්ගමක් ඇසුරුකොට වාසය කරයිද, ඒ නියම්ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහ නොකළාවූ කෙලෙස් පහ වීමට නොපැමිණෙයිද, නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යමක් වෙයිද, එය ඔහුට දුකසේ ලැබෙයිද, මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සිහිකටයුතුයි. ‘මම වනාහි මේ නියම්ගම ඇසුරු කොට වාසය කරමි. මේ නියම්ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ නොසිටියි. එකඟනොවූ සිත එකඟ නොවෙයි. පහ නොකළාවූ කෙලෙස්ද විනාශයට නොපැමිණෙයි. නොපැමිණියාවූ උතුම්වූ නිවණටද නොපැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය දුකසේ ලැබේය’යි සැලකිය යුතුයි. මහණෙනි, ඒ භික්ෂුව විසින් රාත්‍රි භාගයෙහි හෝ දවල් කාලයෙහි හෝ ඒ නියම්ගම අත්හැර යා යුත්තේය. එහි නොසිටිය යුතුය.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා නියම්ගමක් ඇසුරු කොට වාසය කරයිද ඒ නියම්ගම ඇසුරු කොට වාසයකරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද පහ නොවූ කෙලෙස් විනාශයට නොපැමිණෙයිද, නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද, එය ඔහුට සුවසේ ලැබෙයිද, මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ සිහිකටයුතුයි. ‘මම වනාහි මේ නියම්ගම ඇසුරු කොට වාසය කරමි. මේ නියම්ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහියද එළඹ නොසිටියි. එකඟ නොවූ සිතද එකඟ නොවෙයි. පහ නොකළාවූ කෙලෙස්ද විනාශයට නොපැමිණෙයි. නොපැමිණියාවූ උතුම් නිවණටද නොපැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය සුවසේ ලැබෙයි. එහෙත් මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නොවූයෙමි ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. සෙනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. එතකුදු වුවත් මේ නියම්ගම් ඇසුරුකොට වාසය කරන්නාවූ මට පෙර නූපන් සිහියද නූපදියි. එකඟ නොවූ සිතද එකඟ නොවෙයි. පහනොවූ කෙලෙස්ද විනාශයට නොයයි. නොපැමිණියාවූ උතුම් නිවණටද නොපැමිණෙමි’යි සිතිය යුතුය. මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ නියම්ගම අත්හැර යායුත්තේය. නොවිසිය යුත්තේය.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා නියම්ගමක් ඇසුරුකොට වාසය කෙරේද, ඒ නියම්ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට නූපන්නාවූ සිහිය උපදීද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහ නොවූ කෙලෙස් විනාශයට යයිද, නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද, එය ඔහුට දුකසේ ලැබෙයිද මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මේ නියම්ගම ඇසුරු කොට වාසය කරමි. මේ නියම් ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර නූපන් සිහිය උපදියි, එකඟ නොවූ සිත එකඟ වෙයි. පහ නොවූ කෙලෙස් පහවීමට යයි, නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙමි, පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය පිණ්ඩපාතය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයට අවශ්‍ය යමක් වෙයිද එය මට දුකසේ ලැබෙයි. එහෙත් මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. සෙනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. එතකුදු වුවත් මේ නියම්ගම ඇසුරු කොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි, එකඟ නොවූ සිත එකඟ වෙයි, පහ නොවූ කෙලෙස් පහවීමට යයි, නොපැමිණියාවූ උතුම් නිවණටද පිළිවෙළින් පැමිණෙන්නෙමි’යි සිතා මහණෙනි, ඒ භික්ෂුව විසින් දිවි ඇතිතෙක් ඒ නියම්ගම විසිය යුතුය. බැහැර නොයා යුතුයි.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම එක්තරා නියම්ගමක් ඇසුරු කොට වාසය කරයිද, ඒ නියම්ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට, පෙර එළඹනොසිටි සිහිය එළඹ සිටියිද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහ නොවූ කෙලෙස් නැතිවීමට යයිද, නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙයිද, පැවිද්දා විසින් ලැබියයුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය ඔහුට සුවසේ ලැබේද, මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මේ නියම්ගම ඇසුරු කොට වාසය කරමි. මේ නියම්ගම ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි. එකඟ නොවූ සිත එකඟ වෙයි. පහ නොවූ කෙලෙස් විනාශයට යයි. නොපැමිණියාවූ උතුම් නිවණටද පිළිවෙළින් පැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන මෙය මට සුවසේ ලැබේය’යි සිතිය යුතුය. මහණෙනි, ඒ භික්ෂුව විසින් දිවි ඇති තෙක් ඒ නියම්ගම වාසය කළ යුත්තේය. බැහැර නොයා යුතුයි.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා නගරයක් ඇසුරු කොට වාසය කරයිද, එම නගරය ඇසුරු කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහ නොකළාවූ කෙලෙස් පහවීමට නොපැමිණෙයිද, නොපැමිණියාවූ නිවණට නොපැමිණෙයිද, පැවිද්දන් විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය වූ යම් දේ වෙත්ද, ඒ දේ ඔහුට දුකසේ ලැබෙත්ද, මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සැලකිය යුතුයි. මම වනාහි මේ නගරය ඇසුරු කොට වාසය කරමි. මේ නගරය ඇසුරුකොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි. එකඟ නුවූ සිත එකඟ නොවෙයි. පහනුවූ කෙලෙස් පහවීමට නොපැමිණෙයි. පෙර නොපැමිණියාවූ උතුම්වූ නිර්වාණයටද නොපැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන යමක් ඇද්ද එය දුකසේ ලැබේය’යි සිතිය යුතුය. මහණෙනි, ඒ මහණ විසින් රාත්‍රි කාලයෙහි හෝ දහවල් කාලයෙහි හෝ ඒ නගරය අත්හැර යායුතුයි. එහි නොවිසිය යුතුයි.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා නගරයක් ඇසුරු කොට වාසය කරයිද, ඒ නගරය ඇසුරු කොට වාසයකරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහ නොකළාවූ කෙලෙස් විනාශයට නොපැමිණෙත්ද, නොපැමිණියාවූ උතුම්වූ නිර්වාණයට නොපැමිණෙයිද, එහෙත් පැවිද්දන් විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය. ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයිද, එය ඔහුට පහසුවෙන් ලැබෙයිද, මහණෙනි ඒ මහණ විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මේ නගරය ඇසුරු කොට වාසය කරමි. මේ නගරය ඇසුරු කොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි. එකඟ නුවූ සිත එකඟ නොවෙයි. පහ නොකළාවූ කෙලෙස් නැතිවීමට නොපැමිණෙයි, නොපැමිණියාවූ උතුම්වූ නිර්වාණයටද නොපැමිණෙමි. එහෙත් පැවිද්දාහු විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යම් දෙයක් වෙයිද, එය මට පහසුවෙන් ලැබේ. එතකුදු වුවත් මේ නගරය ඇසුරු කොට වාසය කරන්නාවූ මට එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියි එකඟ නොවූ සිත එකඟ නොවෙයි, පහ නොවූ කෙලෙස් පහ නොවෙයි. නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙමි. මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවූයෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවීමි. සෙනසුන් උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවූයෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නොවීමි’යි සිතිය යුතුයි. මහණෙනි, ඒ භික්ෂුව විසිනුදු ඒ නගරය හැර යා යුතුයි. එහි නොවිසිය යුතුයි.

“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා නගරයක් ඇසුරුකොට වාසය කරයිද ඒ නගරය ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ සිටියිද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහ නොවූ කෙලෙස් පහවෙයිද නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙයිද, (එහෙත්) පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය ඔහුට දුකසේ ලැබේද, මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ සිහි කටයුතුයි. “මම වනාහි මේ නගරය ඇසුරු කොට වාසය කරමි. මේ නගරය ඇසුරු කොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ සිටියි. එකඟ නුවූ සිත එකඟ වෙයි. පහ නොවූ කෙලෙස් පහවී යයි. නොපැමිණියාවූ උතුම් නිවණටද පිළිවෙළින් පැමිණෙමි. (එහෙත්) පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය මාහට දුකසේ ලැබේ. මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. සෙනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. එතකුදු වුවත් මේ නගරය ඇසුරු කොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ සිටියි. එකඟනොවූ සිතද එකඟ වෙයි. පහනොවූ කෙලෙස්ද පහවී යයි. නොපැමිණියාවූ උතුම් නිවණටද පිළිවෙළින් පැමිණෙමි’යි සිතිය යුතුය. මහණෙනි, ඒ භික්ෂුව විසින් එම නගරයෙහි විසිය යුතුයි. බැහැර නොයා යුතුයි.

“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම එක්තරා නගරයක් ඇසුරු කොට වාසය කරයිද, ඒ නගරය ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියිද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහනොවූ කෙලෙස් පහවීයයිද, නොපැමිණියාවූ උතුම් නිවණට පිළිවෙළින් පැමිණෙයිද, පැවිද්දහු විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවත්වීමට අවශ්‍ය යමක් වෙයිද එය ඔහුට සුවසේ ලැබේද මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සිහිකටයුතුයි. මම වනාහි මේ නගරය ඇසුරු කොට වාසය කරමි. මේ නගරය ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහියද එළඹ සිටියි. එකඟ නොවූ සිතද එකඟ වෙයි. පහ නොවූ කෙලෙස්ද පහවී යයි. නොපැමිණියාවූ උතුම් නිවණටද පිළිවෙළින් පැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයට අවශ්‍ය යමක් වෙයිද ඒවා සුවසේ ලැබෙත්ය’යි සිතිය යුතුයි. ඒ භික්ෂුව විසින් දිවි ඇතිතාක් ඒ නගරයෙහි විසිය යුතුයි. බැහැර නොයා යුතුයි.

“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම එක්තරා පුද්ගලයෙකු ඇසුරු කොට වාසය කරයිද, ඒ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහ නොවූ කෙලෙස් පහවීමට නොපැමිණෙයිද, නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනසුන්ය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය ඔහුට දුකසේ ලැබෙයිද, මහණෙනි, ඒ මහණ විසින් මෙසේ සිහි කටයුතුයි. මම වනාහි මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරමි. මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටියාවූ සිහිය එළඹ නොසිටියි. එකඟනොවූ සිත එකඟ නොවෙයි. පහ නොවූ කෙලෙස්ද විනාශයට නොපැමිණෙත්. නොපැමිණියාවූ උතුම්වූ නිවණටද නොපැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද, එය දුකසේ ලැබේ. මහණෙනි, ඒ භික්ෂුව විසින් රාත්‍රි කාලයෙහි හෝ දවල් කාලයෙහි හෝ ඒ පුද්ගලයාට නොකියාම බැහැර යායුත්තේය, ඔහුට බැඳී නොවිසිය යුතුය.

Msdiv 196 “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම එක්තරා පුද්ගලයෙකු ඇසුරුකොට වාසය කරයිද, ඒ පුද්ගලයා ඇසුරු කොටවාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ නොසිටියිද, එකඟ නොවූ සිත එකඟ නොවෙයිද, පහ නොවූ කෙලෙස් විනාශයට නොපැමිණෙත් ද, නොපැමිණියාවූ උතුම් නිවණට නොපැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද, එය ඔහුට සුවසේ ලැබෙයිද, මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ සිහි කටයුතුයි. ‘මම වනාහි මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරමි. මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහියද එළඹ නොසිටියි. එකඟ නොවූ සිතද එකඟ නොවෙයි. පහ නොවූ කෙලෙස්ද විනාශයට නොපැමිණෙත්. නොපැමිණියාවූ උතුම් නිවණටද නොපැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් වෙයිද එය සුවසේ ලැබෙයි. මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නොවූයෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. සෙනාසනය නිසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර නිසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ නොවෙමි. එතකුදුවුවත් මේ පුද්ගලයා ඇසුරුකොට වාසය කරන්නාවූ මට පෙර නූපන් සිහියද නූපදියි. එකඟ නොවූ සිතද එකඟ නොවෙයි. පහ නොවූ කෙලෙස්ද විනාශයට නොයෙත්. නොපැමිණියාවූ උතුම් නිවණටද නොපැමිණෙමි’යි සිතිය යුතුය. මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ පුද්ගලයාට නොකියාම බැහැර යායුත්තේය. ඔහුට බැඳී නොවිසිය යුත්තේය.

Msdiv 197 “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම එක්තරා පුද්ගලයෙකු ඇසුරුකොට වාසය කෙරේද, ඒ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට නූපන්නාවූ සිහිය උපදියිද, එකඟ නොවූ සිත එකඟවෙයිද, පහ නොවූ කෙලෙස් විනාශයට යත්ද, නොපැමිණියාවූ උතුම් නිවණට පැමිණෙයිද, පැවිද්දා විසින් ලැබියයුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් ඇත්තේද, එය ඔහුට දුකසේ ලැබෙයිද, ‘මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරමි. මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර නූපන් සිහියද උපදියි. එකඟ නොවූ සිතද එකඟ වෙයි. පහ නොවූ කෙලෙස්ද විනාශයට යෙත්. නොපැමිණියාවූ උතුම් නිවණටද පැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතුවූ සිවුරුය, පිණ්ඩපාතය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් ඇත්තේද, එය මට දුකසේ ලැබෙයි. එහෙත් මම වනාහි සිවුරු උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ආහාරය උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි සෙනාසන උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. ගිලන්පස බෙහෙත් පිරිකර උදෙසා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ නොවෙමි. එතකුදු වුවත් මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවූ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි. එකඟ නොවූ සිත එකඟ වෙයි. පහනොවූ කෙලෙස් විනාශයට යෙත්. නොපැමිණියාවූ උතුම් නිවණටද පැමිණෙමි’යි සිතිය යුතුයි. මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ පුද්ගලයා වෙත විසිය යුතුය. බැහැර නොයා යුතුය.

Msdiv 198 “මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා පුද්ගලයෙකු ඇසුරු කොට වාසය කරයිද, ඒ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවූ ඔහුට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියිද, එකඟ නොවූ සිත එකඟ වෙයිද, පහනොවූ කෙලෙස් විනාශයට යෙත්ද, නොපැමිණියාවූ උතුම් නිවණට පැමිණෙයිද, පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පසය බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් ඇත්තේද එය ඔහුට සුවසේ ලැබෙයිද, මහණෙනි ඒ භික්ෂුව විසින් මෙසේ සැලකිය යුතුයි. ‘මම වනාහි මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරමි. මේ පුද්ගලයා ඇසුරු කොට වාසය කරන්නාවූ ඒ මට පෙර එළඹ නොසිටි සිහිය එළඹ සිටියි. එකඟ නොවූ සිත එකඟ වෙයි. පහ නොවූ කෙලෙස් විනාශයට යෙත්. නොපැමිණියාවූ උතුම් නිවණට පැමිණෙමි. පැවිද්දා විසින් ලැබිය යුතු සිවුරුය, ආහාරය, සෙනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකරය යන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය යමක් ඇත්තේද, එය මට සුවසේ ලැබෙත්ය’යි සිතිය යුතුයි. මහණෙනි, ඒ භික්ෂුව විසින් දිවි ඇති තෙක් ඒ පුද්ගලයා හා එක්ව වාසය කළ යුත්තේය. බැහැර කරනු ලබන්නේද බැහැර නොයා යුතුයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

හත්වෙනිවූ වනපත්ථ සූත්‍රය නිමි.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection