LibraryMNMN 18
MN 1817 min read

The Honey-Cake

Madhupiṇḍika Sutta

20
PDFGenerated
01 · Overview

Challenged by a brahmin, the Buddha gives an enigmatic response on how conflict arises due to proliferation based on perceptions. Venerable Kaccāna draws out the detailed implications of this in one of the most insightful passages in the entire canon.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 2. සීහනාද වර්ගය 18. මධු පිණ්ඩික සූත්‍රය Msdiv 199 මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි සර්වඥයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පාත්‍රය හා සිවුරගෙන කිඹුල්වත්පුරයට පිඬු පිණිස පිවිසියහ. කිඹුල්වත්පුරයෙහි පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ මහා වනය යම් තැනෙක්හිද එතැනට දහවල් වාසය පිණිස එළඹියහ. මහා වනයට වැද තරුණ බෙලි ගසක් මුල දිවාවිහරණය පිණිස වැඩහුන්හ.

දණ්ඩපාණී නම් ශාක්‍ය තෙමේද පා රුජා දුරු කර ගැනීම සඳහා සක්මන්කිරීම වශයෙන් ඇවිදින්නේ මහාවනය යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. මහා වනයට වැද තරුණ බෙලි රුක යම්තැනෙක්හිද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ සර්වඥයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූද සිහි කටයුතු වූද කථාව කොට නිමවා සැරයටියෙහි එල්බගෙන (ඉදිරියෙහි තැබූ සැරයටි මුදුනෙහිවූ දෙ අත් පිට නිකට තබා) සිටියේය. එකත්පස්ව සිටියාවූ දණ්ඩපාණී ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ශ්‍රමණ තෙමේ කිනම් වාද ඇත්තෙක්ද? කිනම් වාදයක් ප්‍රකාශ කරන්නෙක්ද?”

“ඇවැත්නි, යම් බඳුවූ වාද ඇත්තෙක් දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ ලොකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ ප්‍රජා සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සියලු ලොකයෙහි කිසිවෙකු හා වාද විවාද කරමින් නොසිටීද, කාමයන්ගෙන් වෙන්ව වාසය කරන්නාවූ සැක නැත්තාවූ, කුකුස් නැති කළාවූ, කුඩා මහත් භවයන් කෙරෙහි ආශා නැත්තාවූ කෙලෙස් රහිතවූ යම් ඒ බ්‍රාහ්මණයෙකු තුළ කෙලෙස් හැඟීම නොපවත්නාහුවෙත්ද, ඇවැත්නි, මම මෙබඳු වාද ඇත්තෙක් වෙමි. මෙසේ කියන්නෙක් වෙමි”යි (ප්‍රකාශ කළහ) මෙසේ කී කල්හි දණ්ඩපාණී ශාක්‍යතෙම හිස වනා දිව පිටට දමා ලෙලවා රැළි තුනක් ඇති නළල් රැළිය නළලෙහි නංවා සැරයටියෙහි එල්බගෙන ගියේය.

Msdiv 200 “ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි උතුම් පල සමවතින් නැගිටියේ නිග්‍රොධාරාම විහාරය යම් තැනෙක්හිද එතැනට වැඩියහ. වැඩමවා පණවනලද ආසනයෙහි වැඩහුන්හ. වැඩහිඳ භික්ෂූන්ට මෙසේ කීහ.

“මහණෙනි, මම පෙරවරුවෙහි හැඳ පාසිවුරු ගෙන කිඹුල්වත් නුවරට පිඬු පිණිස පිවිසියෙමි. කිඹුල්වත් නුවර පිඬු පිණිස හැසිර සවස්වරුවෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ මහා වනය යම් තැනෙක්හිද එතැනට දවල් කාලය ගතකරනු පිණිස ගියෙමි. මහවනයට වැද තරුණ බෙලිගස මුල දිවා විහරණය වශයෙන් (දහවල් හැසිරීම් වශයෙන්) හුන්නෙමි. දණ්ඩපාණී ශාක්‍ය තෙමේද පා රුජා දුරුකර ගැනීම වශයෙන් ඇවිදින්නේ, මහාවනය යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. මහාවනයට පැමිණ තරුණ බෙලිගස යම් තැනෙක්හිද, මා යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, මා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා දණ්ඩෙහි එල්බගෙන එකත්පසක සිටියේය. මහණෙනි, එකත්පසක සිටියාවූ දණ්ඩපාණී ශාක්‍යතෙම ‘ශ්‍රමණතෙම කුමන වාද ඇත්තෙක්ද? කුමක් ප්‍රකාශ කරන්නෙක්දැ’යි මාගෙන් ඇසීය.

“ඇවැත්නි, යම්බඳු වාද ඇත්තෙක් දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලොකයෙහි ශ්‍රමණ බ්‍රහ්මණයන් සහිතවූ සත්ත්වයන් සහිතවූ ලොකයෙහි කිසිවෙකු හා වාද විවාද කරමින් නොසිටීද, කාමයන්ගෙන් වෙන්ව වාසය කරන්නාවූ සැක නැත්තාවූ කුකුස් සින්දාවූ කුඩා මහත් භවයන් කෙරෙහි පහවූ තණ්හා ඇති යම් ඒ බ්‍රාහ්මණයකු තුළ කෙලෙස් හැඟීම් නොපවතිද්ද, ඇවැත්නි, මම එබඳු වාද ඇත්තෙක් වෙමියි කීවෙමි. මෙසේ කී කල්හි දණ්ඩපාණී ශාක්‍යතෙම හිස වනා දිව පිටට ගෙන ලෙලවා රැළි තුනක් ඇති නළල් රැළිය නළලෙහි නංවා සැරයටිය ගෙන ගියේය.”

Msdiv 201 මෙසේ කී කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කිනම් වාදයක් ඇත්තාවූ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලොකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ සත්ත්වයන් සහිත ලොකයෙහි කිසිවෙකු හා වාද විවාද කරමින් නොසිටින්නහුද?

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කෙසේ නම් කෙලෙසුන්ගෙන් වෙන්ව වාසය කරන්නාවූ, සැක නැත්තාවූ කුකුස් සින්දාවූ කුඩා මහත් භවයන් කෙරෙහි පහවූ තණ්හා ඇති ඒ බ්‍රාහ්මණයා තුළ කෙලෙස් හැඟීම් අනුශය වශයෙන් නොපවත්නාහුද?”

“මහණ, යමක් හෙතුකොටගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හෙතුවූ බැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද, ඒ හේතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු වියයුත්තක් නැත්තේද, මමය මාගේයයි කිවයුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය, දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධව කථා කිරීමය, තා තෝ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුසලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුසල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්” භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ මෙසේ වදාරා සුගතයන් වහන්සේ උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.

Msdiv 202 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් ඒ භික්ෂූන්ට මේ අදහස පහළ විය.

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ මේ දෙශනාව අපට කොටින් දෙශනා කොට විස්තර වශයෙන් අර්ථය ප්‍රකාශ නොකොට උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.

“මහණ, යමක් හෙතුකොටගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හෙතුවූ බැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද, ඒ හෙතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු වියයුත්තක් නැත්තේද, මමය මාගේයයි කිවයුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධව කථාකිරීමය, තා තෝ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුසලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුසල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්” යයි භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දෙශනා කළාවූ විස්තර වශයෙන් අර්ථය නොබෙදුවාවූ මේ දේශනාවේ අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදා දක්වන්නේද? (කියායි)

ඉන්පසු ඒ භික්ෂූන්ට මේ අදහස ඇති විය ‘මේ ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ශාස්තෲන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දේමය. නුවණ ඇත්තාවූ සමාන බ්‍රහ්මචර්යා ඇත්තවුන් විසින් ගරු කරන ලද්දේය. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මේ කොටින් දෙශනාකළාවූ විස්තර වශයෙන් අර්ථය නොබෙදුවාවූ දෙශනාවේ අර්ථය බෙදා ප්‍රකාශ කරන්ට සමර්ථ වෙත්. අපි ආයුෂ්මත් මහා කෘත්‍යායන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට යන්නෙමු නම් ඉතා යෙහෙක. එසේ පැමිණ, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය අසන්නෙමු” (කියායි.)

ඉන්පසු ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූහ, සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක පැත්තක උන්නාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවාහුය. “ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්ස මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ අපට කොටින් දෙශනාකොට විස්තර වශයෙන් අර්ථය නොබෙදා උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.

“මහණ, යමක් හෙතුකොට ගෙන තෘෂ්ණා ද්ෂ්ටියයි කියනලද ප්‍රමාදයට හෙතුවූ බැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද, ඒ හෙතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු වියයුත්තක් නැත්තේද, මෙය මාගේයයි කිවයුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය. විරුද්ධව කථා කිරීමය, තා තෝ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුසලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුසල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්ය’යි (වදාළේය.)

“ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩිය ටික වේලාවකින් ඒ අපට මේ අදහස විය.

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ මේ දෙශනාව කොටින් දෙශනා කොට විස්තර වශයෙන් අර්ථය ප්‍රකාශ නොකොට උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.

‘මහණ, යමක් හෙතුකොට ගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හෙතුවූ බැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද, ඒ හෙතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටුවිය යුත්තක් නැත්තේද, මෙය මාගේයයි කිවයුත්ක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධව කථා කිරීමය, තා තෝ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුසලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුසල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්ය’යි (වදාළේය.)

“ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩිය ටික වේලාවකින් ඒ අපට මේ අදහස විය.

“භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දෙශනා කළාවූ, විස්තර වශයෙන් අර්ථය නොබෙදුවාවූ මේ දෙශනාවේ අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදා දක්වන්නේද (කියායි) එසේ සිතූ පසු ඒ අපට මේ අදහස ඇතිවිය. මේ ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ශාස්තෲන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දේමය. නුවණ ඇත්තාවූ, සමාන බ්‍රහ්මචරියා ඇත්තවුන් විසින් ගරුකරන ලද්දේය. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මේ කොටින් දෙශනාකළාවූ විස්තර වශයෙන් අර්ථය නොබෙදුවාවූ මේ දෙශනාවේ අර්ථය බෙදා ප්‍රකාශ කරන්ට සමර්ථ වෙයි. අපි යම් හේතුවකින් ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට යන්නෙමු නම් ඉතා යෙහෙක. එසේ පැමිණ, ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය අසන්නෙමු”යි (කියායි)

“ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, මෙය විස්තර කරනු මැනවි.”

Msdiv 203 “ඇවැත්නි, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් පවත්නාවූ අරටුව ඇති මහ ගසක මුල ඉක්මවා කඳ ඉක්මවා කොල අතුවල අරටුව සෙවිය යුතුයයි සිතන්නේද, එසේ මේ උපමාව ආයුෂ්මතුන්ට සුදුසුය.

“ශාස්තෲන් වහන්සේ ඉදිරිපිට සිට ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අපගෙන් ඇසිය යුතුයයි සිතව්ද?

“ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ දතයුත්ත දන්නාහ. දැක්කයුත්ත දකින්නාහ. ඇස් ඇති බවට පැමිණියෝය. ධර්මය බවට පැමිණියෝය. බ්‍රහ්ම (උසස්) බවට පැමිණියෝය. ධර්මය කියන්නෝය. ධර්මය පවත්වන්නෝය. අර්ථය පිටතට ගෙන දක්වන්නෝය. අමෘතය (නිවණ) දෙන්නෝය. තථාගතයන් වහන්සේ ධර්ම ස්වාමිය, (එහෙයින්) මේ ප්‍රශ්නය ඇසීමට සුදුසු කාලයම විය. යම් හේතුවකින් භාග්‍යවතුන් වහන්සේගෙන්ම මේ කාරණය ඇසුවාහු නම් යම්සේ තොපට භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන්නාහුද එසේ එය දරාගනිව්”යි (කීය.)

“ආයුෂ්මත් කාත්‍යායන ස්ථවිරයෙනි, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දතයුත්ත දන්නාහ, දැක්කයුත්ත දකින්නාහ, ඇස් ඇති බවට පැමිණියහ, ඤාණය බවට පැමිණියහ, ධර්මය බවට පැමිණියහ, බ්‍රහ්ම බවට පැමිණියහ, ධර්මය කියන්නෝය, ධර්මය පවත්වන්නෝය, අමෘතය (නිවණ) දෙන්නෝය. තථාගත තෙම ධර්මස්වාමිය (එහෙයින්) මේ ප්‍රශ්නය ඇසීමට සුදුසු කාලය වේ. යම් හේතුවකින් භාග්‍යවතුන් වහන්සේගෙන් මේ කාරණය ඇසුවෙමු නම් යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන සේක්ද එසේ එය දරාගනිමු.

“ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයෙනි, එසේද වුවත් ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින්ද වර්ණනා කරන ලද්දේය. නුවණ ඇත්තාවූ සමාන බ්‍රහ්මචාරීන් විසින් ගරු කරන ලද්දේය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දෙශනා කරන ලද අර්ථය විස්තර නොකරන ලද දෙශනාවෙහි අර්ථය විස්තර කිරීමට ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ සමර්ථ වන්නේය, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, බැරෑරුම්කොට නොසලකා විස්තර කරනු මැනවි.”

“ඇවැත්නි, එසේනම් කියන්නෙමි. අසව්, හොඳින් සිහි කරව්”යි කීහ. “එසේය. ආයුෂ්මතුනි”යි, ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළහ.

Msdiv 204 “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ යමක් කොටින් දෙශනා කොට අර්ථය විස්තර නොකොට උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියාහුද,

“මහණ, යමක් හේතු කොටගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියනලද ප්‍රමාදයට හෙතුවූ බැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද, ඒ හේතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු විය යුත්තක් නැත්තේද, මමය මාගේ යයි කිව යුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය. එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධව කථා කිරීමය, තා, තෝ, කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුශලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුසල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්.”

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දෙශනා කරනලද, අර්ථය විස්තර නොකරන ලද ඒ දෙශනාවෙහි අර්ථ විස්තරය මෙසේ දනිමි.

“ඇවැත්නි, ඇසනිසාද, රූපය නිසාද, චක්ඛුවිඤ්ඤාණය (රූපය දැනගන්නා සිත) උපදී. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොට ගෙන වේදනාව (විඳීම) වෙයි. යම් අරමුණක් වේදනාවෙන් විඳී ද එම අරමුණම සංඥාවෙන් අඳුනයි. යම් අරමුණක් අඳුනාද එම අරමුණම විතර්කයෙන් කල්පනා කරයි. යම් අරමුණක් විතර්කයෙන් කල්පනා කරයිද එම අරමුණම තණ්හා දිට්ඨි වශයෙන් සත්ත්වයා ප්‍රමාදකරයි. ඒ චක්ඛුරූපාදිය මුල්කාරණය කොට තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයෝ අතීත අනාගත වර්තමානවූ ඇසින් බලා දතයුතුවූ රූපයන් කෙරෙහි පුරුෂයා යටත් කරත්.

“ඇවැත්නි, කණ නිසාද, ශබ්දය නිසාද, සොතවිඤ්ඤාණය (ශබ්දය දැනගන්නා සිත) උපදී, ඒ තුන එක්වීමෙන් ස්පර්ශය ඇතිවෙයි ස්පර්ශය හේතුකොටගෙන වේදනාව (විඳීම) වෙයි. යම් අරමුණක් විඳීද එම අරමුණ අඳුනයි යම් අරමුණක් අඳුනයිද එම අරමුණ විතර්කයෙන් කල්පනා කරයි. යම් අරමුණක් කල්පනා කරයිද එය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සත්ත්වයා ප්‍රමාද කරයි. ඒ කණ ශබ්ද ආදිය මුල්කාරණය කොට ඇති තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්චධර්මයෝ අතීත අනාගත වර්තමානවූ කණින් අසා දතයුතුවූ ශබ්දයන් නිසා පුරුෂයා යටත් කරත්.

“ඇවැත්නි, නාසය නිසාද, ගන්ධය (ගඳ සුවඳ) නිසාද ඝාණ විඤ්ඤාණය (ගඳ සුවඳ දැනගන්නා සිත) උපදියි. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වෙයි, යම් අරමුණක් විඳීද එය අඳුනයි. යම් අරමුණක් අඳුනයිද එය කල්පනා කරයි. යම් අරමුණක් කල්පනා කරයිද එය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සත්ත්වයා ප්‍රමාද කරයි. ඒ නාසය ගන්ධය ආදිය මුල්කාරණය කොට ඇති තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයෝ අතීත අනාගත වර්තමානවූ නාසයෙන් විඳ දත යුතුවූ ගන්ධයන් නිසාද පුරුෂයා යටත් කරත්.

“ඇවැත්නි, දිව නිසාද, රසය නිසාද, ජීව්හාවිඤ්ඤාණය (රස දැන ගන්නා සිත) උපදියි. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොටගෙන වේදනාව වෙයි. යම් අරමුණක් විඳීද එය අඳුනයි යම් අරමුණක් අඳුනයිද එය කල්පනා කරයි, යම් අරමුණක් කල්පනා කරයිද එය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සත්ත්වයා ප්‍රමාද කරයි. ඒ දිව රසය ආදිය මුල් කාරණය කොට ඇති තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්චධර්මයෝ අතීත අනාගත වර්තමානවූ දිවෙන් විඳ තදයුතුවූ රසයන් නිසා පුරුෂයා යටත් කරත්.

“ඇවැත්නි, ශරීරය නිසාද, ස්පර්ශය නිසාද, කායවිඤ්ඤාණය (ස්පර්ශය දැනගන්නා සිත) උපදී. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොටගෙන විඳීම වෙයි යම් අරමුණක් විඳීද එය අඳුනයි. යම් අරමුණක් අඳුනයිද එය කල්පනා කරයි. යම් අරමුණක් කල්පනා කරයිද එය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සත්ත්වයා ප්‍රමාද කරයි. ඒ ශරීරය ස්පර්ශය ආදිය මුල් කාරණය කොට ඇති තණ්හා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයෝ අතීත අනාගත වර්තමානවූ ශරීරයෙන් විඳ දතයුතුවූ ස්පර්ශයන් නිසා පුරුෂයා යටත් කරත්.

“ඇවැත්නි, සිත නිසාද, ධර්ම අරමුණු නිසාද, මනො විඤ්ඤාණය (ධර්ම අරමුණු දැනගන්නා සිත) උපදියි. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොටගෙන විඳීම වෙයි. යම් අරමුණක් විඳීද එය අඳුනයි, යම් අරමුණක් අඳුනයිද, එය කල්පනාකරයි. යම් අරමුණක් කල්පනා කරයිද, එය තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් සත්ත්වයා ප්‍රමාදකරයි. ඒ සිත ධර්ම අරමුණු ආදිය මුල්කාරණය කොට ඇති තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්චධර්මයෝ අතීත අනාගත වර්තමානවූ සිතින් සිතා දතයුතුවූ ධර්ම අරමුණු නිසා පුරුෂයා යටත් කරත්.

“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම ඇස ඇති කල්හි රූපයන් ඇති කල්හි චක්ඛුවිඤ්ඤාණය (රූප දැනගන්නා සිත) ඇතිකල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය. යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) ස්පර්ශයයි පැනවීමක් ඇති කල්හි වේදනාව යයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) වේදනාවයයි පැනවීමක් ඇතිකල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය. යම මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් ඇති කල්හි කල්පනා කිරීමයයි පැනවීමක් පනවන්නේය. යන මේ කාරණය විද්‍යමාන වෙයි. කල්පනා කිරීමයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්චධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.)

“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම කණ ඇති කල්හි ශබ්දය ඇති කල්හි සොතවිඤ්ඤාණය ඇති කල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) ස්පර්ශයයයි පැනවීමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) වේදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් ඇති කල්හි විතර්ක (කල්පනා කිරීම) යයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.)

“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම නාසය, ඇති කල්හි ගන්ධය ඇති කල්හි ඝාණ විඤ්ඤාණය ඇති කල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) ස්පර්ශයයයි පැනවීමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) වේදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් ඇති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.)

“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම දිව ඇති කල්හි රසය ඇති කල්හි ජීව්හාවිඤ්ඤාණය ඇති කල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) ස්පර්ශයයයි පැනවීමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.) වේදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් ඇති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි (සිදුවෙයි.)

“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම කය ඇති කල්හි ස්පර්ශය ඇති කල්හි කාය විඤ්ඤාණය ඇති කල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.) ස්පර්ශයයයි පැනවීමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි) වේදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් ඇති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි (සිදුවෙයි.)

“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම (භවාඩ්ග) සිත ඇති කල්හි ධර්ම අරමුණු ඇති කල්හි මනොවිඤ්ඤාණය ඇති කල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි (සිදුවෙයි) ස්පර්ශයයයි පැනවීමක් ඇති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි.) වේදනාවයයි පැනවීමක් ඇති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් ඇති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්කයයි පැනවීමක් ඇති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය විද්‍යමාන වෙයි (සිදුවෙයි)

“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම ඇස නැති කල්හි, රූපය නැති කල්හි, චක්ඛු විඤ්ඤාණය නැති කල්හි, ස්පර්ශයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (සිදු නොවෙයි) ස්පර්ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි (නොසිදුවෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) සංඥාවයයි පැනවීමක් නැති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) විතර්කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි)

“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම කණ නැති කල්හි ශබ්දය නැති කල්හි, සොතවිඤ්ඤාණය නැති කල්හි, ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (සිදු නොවෙයි) ස්පර්ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) සංඥාවයයි පැනවීමක් නැති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමානවෙයි. (නොසිදුවෙයි) විතර්කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යාමාන වෙයි. (නොසිදුවෙයි)

“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම නාසය නැති කල්හි, ගන්ධය නැති කල්හි, ඝාණවිඤ්ඤාණය නැති කල්හි, ස්පර්ශයයයි පැනවිමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි (සිදු නොවෙයි) ස්පර්ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි (නොසිදු වෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) සංඥාවයයි පැනවීමක් නැති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) විර්කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමානවෙයි. (නොසිදුවෙයි.)

“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම දිව නැති කල්හි, රසය නැති කල්හි, ජීව්හා විඤ්ඤාණය නැති කල්හි, ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (සිදුනොවෙයි) ස්පර්ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. සංඥාවයයි පැනවීමක් නැති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. විතර්කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි.)

“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම කය නැති කල්හි ස්පර්ශය නැති කල්හි, කාය විඤ්ඤාණය නැති කල්හි, ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (සිදුනොවෙයි) ස්පර්ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) සංඥාවයයි පැනවීමක් නැති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) විතර්කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි)

“ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙම (භවාඩ්ග) සිත නැති කල්හි, ධර්ම අරමුණු නැති කල්හි, මනොවිඤ්ඤාණය නැති කල්හි ස්පර්ශයයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (සිදු නොවෙයි) ස්පර්ශයයයි පැනවීමක් නැති කල්හි වේදනාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි) වේදනාවයයි පැනවීමක් නැති කල්හි සංඥාවයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදු වෙයි.) සංඥාවයයි පැනවීමක් නැති කල්හි විතර්කයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදුවෙයි.) විතර්කයයි පැනවීමක් නැති කල්හි තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයන්ගේ පැවැත්මයයි පැනවීමක් පනවන්නේය යන මේ කාරණය අවිද්‍යමාන වෙයි. (නොසිදු වෙයි.)

“ඇවැත්නි, යමක් භාග්‍යවතුන් වහන්සේ තොපට කොටින් දෙශනා කොට විස්තර වශයෙන් අර්ථය නොබෙදා උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියාහුද ‘මහණ යමක් හෙතුකොට ගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හෙතුවූබැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිද්ද, ඒ හේතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු විය යුත්තක් නැත්තේද, මමය මාගේයයි කිව යුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම පටිඝානුසයන්ගේ කෙළවර වන්නේය, එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධව කථාකිරීමය, තා තේ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුශලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුශල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්ය”යි (වදාළේද,)

“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දෙශනා කොට අර්ථ බෙදා විස්තර නොකළාවූ ඒ දෙශනාවේ විස්තර අර්ථය මෙසේ දනිමි. ඇවැත්නි, ඉදින් තොප කැමති වන්නාහු නම් භාග්‍යවතුන් වහන්සේ වෙතටම පැමිණ මෙහි විස්තරය විචාරව්. තොපට යම්සේ භාග්‍යවතුන් වහන්සේ විස්තර කරද්ද එසේ දරා ගනිව්.”

Msdiv 205 ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේගේ දෙශනාවට සතුටුව, අනුමෝදන්ව උන් අසුන්වලින් නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක උන්නාහුය. එක පැත්තක උන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළාහුය.

“මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ අපට කොටින් දෙශනා කොට විස්තර වශයෙන් අර්ථය නොබෙදා උන් ආසනයෙන් නැගිට විහාරයට වැඩියහ.

“මහණ, යමක් හෙතුකොට ගෙන තෘෂ්ණා දෘෂ්ටියයි කියන ලද ප්‍රමාදයට හෙතුවූ බැවින් ප්‍රපඤ්ච නම් ධර්මයෝ පුරුෂයා කෙරෙහි පවතිත්ද, ඒ හේතූන් වන දොළොස් ආයතනයන් කෙරෙහි ඉදින් සතුටු විය යුත්තක් නැත්තේද, මමය මාගේයයි කිව යුත්තක් නැත්තේද, ගැලිය යුත්තක් නැත්තේද, එයම රාගානුසයයන්ගේ කෙළවරවන්නේය. එයම පටිඝානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම දිට්ඨානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම මානානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම භවරාගානුසයයන්ගේ කෙළවර වන්නේය, එයම අවිජ්ජානුසයයන්ගේ කෙළවර වන්නේය. දඬු මුගුරු ගැනීමය, ආයුධ ගැනීමය, කෝලාහල කිරීමය, විරුද්ධ කථා කීමය, තා තෝ කියා බැණීමය, කේලාම් කීමය, බොරු කීමය යන මේ අකුශලයන්ගේද කෙළවර වන්නේය. මේ දොළොස් ආයතනයන් කෙරෙහි ලාමකවූ මේ අකුශල ධර්මයෝ ඉතිරි නොවී විනාශ වෙත්” (කියායි)

“භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩිය ටික වේලාවකින් ඒ අපට මේ අදහස ඇතිවිය

“භාග්‍යවතුන් වහන්සේ විසින් කොටින් දෙශනා කළාවූ, විස්තර වශයෙන් අර්ථය නොබෙදුවාවූ මේ දේශනාවේ අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදා දක්වන්නේද (කියායි) එසේ සිතූ ඒ අපට මේ සිත පහළවිය මේ ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ශාස්තෲන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දේමය. නුවණ ඇත්තාවූ සමාන බ්‍රහ්මචරියා ඇත්තවුන් විසින් ගරුකරන ලද්දේය, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ, මේ කොටින් දෙශනාකළාවූ විස්තර වශයෙන් අර්ථය නොබෙදුවාවූ මේ දෙශනාවේ අර්ථය බෙදා ප්‍රකාශ කරන්ට සමර්ථ වෙයි. අපි යම් හේතුවකින් ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට යන්නෙමු නම් ඉතා යෙහෙක, එසේ පැමිණ, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේගෙන් මෙහි තේරුම් අසන්නෙමුයි (කියායි.)

“ස්වාමීනි, ඉන්පසු අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියෙමු. පැමිණ, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය ඇසුවෙමු. ස්වාමිනි, ඒ අපට ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මේ ක්‍රමයෙන් මේ පදවලින් යුක්තව, මේ අක්ෂරවලින් යුක්තව අර්ථය විස්තර කරන ලද්දේය”යි (කීවාහුය.)

“මහණෙනි, මහා කාත්‍යායන තෙම පණ්ඩිතය. මහණෙනි, මහා කාත්‍යායන තෙම මහත් ප්‍රඥාවෙන් යුක්තය. මහණෙනි, තොපි මගෙන්ද මේ කාරණය අසන්නහු නම් මමද එය යම්සේ මහා කාත්‍යායනයන් විසින් විස්තර කරන ලද්දේද එපරිද්දෙන්ම විස්තර කරන්නෙමි. එයම මේ දෙශනාවෙහි අර්ථය වන්නේය. මෙසේ ඒ අර්ථය දරාගනිව්”යි (වදාළහ.) මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.

“ස්වාමීනි, බඩසාදුකින් දුර්වලව පෙළෙන්නාවූ පුරුෂයෙක් මීපැණි දමා කළ අග්ගලාවක් ලබාද, හෙතෙම යම් යම් කොටසකින් රස විඳීද, (ඔහු) ඒ ඒ කොටසින් රස අඩු වැඩි යයි නොකිය යුතුවූ මිහිරි රසය ලබන්නේය. ස්වාමීනි, එපරිද්දෙන්ම සිතන්නාවූ පණ්ඩිත ස්වභාව ඇති මහණතෙම මේ ධර්ම ක්‍රමය පිළිබඳව යම් යම් කොටසකින් අර්ථය සලකන්නේද, (එයින්) සතුටු සිත් ඇති බවම ලබන්නේය. සිතේ පැහැදීමම ලබන්නේය. ස්වාමීනි, මේ ධර්ම ක්‍රමයේ නම කුමක් දැ”යි (ඇසීය) ‘එසේ නම් ආනන්දය, තොප මේ ධර්ම ක්‍රමය “මධු පිණ්ඩික” කියාම දරාගනුව.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේය.

අටවෙනිවූ මධු පිණ්ඩික සූත්‍රය නිමි.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection