LibraryMNMN 19
MN 1914 min read

Two Kinds of Thought

Dvedhāvitakka Sutta

20
PDFGenerated
01 · Overview

Recounting his own experiences in developing meditation, the Buddha explains how to understand harmful and harmless thoughts, and how to go beyond thought altogether.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 2. සීහනාද වර්ගය 19. ද්වෙධා විතක්ක සූත්‍රය Msdiv 206 මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළහ. “ස්වාමීනි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.

“මහණෙනි, බුදුවන්නට කලින් බුදුනොවූ බොධිසත්වවූ මට මේ අදහස ඇතිවිය ‘මම විතර්කයන් (කල්පනාවන්) දෙකොටසක් දෙකොටසක් කොට බෙදා වාසය කරන්නෙම් නම් හොඳය’ කියායි. “මහණෙනි, ඒ මම යම් මේ කාම විතර්කයක් (කාමයන් පිළිබඳ කල්පනාවක්) වේද යම් ව්‍යාපාද විතර්කයක් (ක්‍රොධ කල්පනාවක්) වේද, යම් විහිංසා විතර්කයක් (හිංසා කල්පනාවක්) වේද, මේ අකුසල කල්පනා එක් කොටසක් කෙළෙමි.

යම් මේ නෛෂ්ක්‍රම්‍ය (කාමයන්ගෙන් වෙන්වීමේ) කල්පනාවක් වේද, යම් අව්‍යාපාද (මෛත්‍රී සහගත) කල්පනාවක් වේද යම් අවිහිංසා (හිංසා නොකිරීමේ) කල්පනාවක් වේද මේ කුසල කල්පනා දෙවෙනි කොටස කෙළෙමි.

Msdiv 207 “මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්යය ඇතිව වාසය කරන්නාවූ ඒ මට කාම කල්පනාවක් උපදියිද ඒ මම මෙසේ දනිමි. මට මේ කාම කල්පනාව උපන්නීය. ඒ කාම කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතියි. අන්‍යයා හටද දුක් පිණිස පවතී. දෙපක්ෂයටමද දුක් පිණිස පවතියි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය. මහණෙනි, තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මගේ සිතේ උපන් කාම කල්පනාව විනාශයට යෙයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යෙයි. දෙපක්ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නාවූ මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යෙයි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවතින්නීයයි සලකන්නාවූ මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යෙයි.

“මහණෙනි, ඒ මම උපන් කාම විතර්කය දුරුකෙළෙම් මය, බැහැර කෙළෙම්මය. එය ඉතිරි නොකෙළෙම්මය.

Msdiv 208 “මහණෙනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව වාසය කරන්නාවූ ඒ මට ක්‍රොධ සහගත කල්පනාවක් පහළ වෙයිද, ඒ මම මෙසේ දනිමි. මට මේ ක්‍රොධ සහගත කල්පනාව උපන්නීය. ඒ ක්‍රොධ සහගත කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතී. අන්‍යයාහටද දුක් පිණිස පවතී. දෙපක්ෂයටමද දුක් පිණිස පවතියි, ප්‍රඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය.

“මහණෙනි, තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මගේ සිතේ උපන් ක්‍රොධ සහගත කල්පනාව විනාශයට යෙයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මා තුළ උපන් ක්‍රොධ සහගත කල්පනාව විනාශයට යෙයි. දෙපක්ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නාවූ මා තුළ උපන් ක්‍රොධ සහගත කල්පනාව විනාශයට යෙයි. ප්‍රඥාව වළකන්නීය, දුක් පක්ෂයෙහි පිහිටියාය, නිවන් පිණිස නොපවතින්නීයයි සලකන්නාවූ මා තුළ උපන් ක්‍රොධ සහගත කල්පනාව විනාශයට යෙයි. මහණෙනි, ඒ මම උපන් ක්‍රොධ සහගත කල්පනාව දුරුකෙළෙම්මය. බැහැර කෙළෙම්මය. ඉතිරි නොකෙළෙම්මය.

“මහණෙනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව වාසය කරන්නාවූ ඒ මට හිංසා කිරීමේ කල්පනාව පහළ වෙයිද, ඒ මම මෙසේ දනිමි. මට මේ හිංසා කිරීමේ කල්පනාව උපන්නීය. ඒ හිංසා කිරීමේ කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතී. අන්‍යයාහටද දුක් පිණිස පවතී. දෙපක්ෂයටමද දුක් පිණිස පවතියි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය.

“මහණෙනි, තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මගේ සිතේ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නාවූ මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි. දෙපක්ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නාවූ මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි. ප්‍රඥාව වළකන්නීය, දුක් පක්ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීයයි සලකන්නාවූ මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි.

“මහණෙනි, ඒ මම උපන් හිංසා කිරීමේ කල්පනාව දුරු කෙළෙම්මය, බැහැර කෙළෙම්මය, ඉතිරි නොකෙළෙම්මය.

මහණෙනි, මහණතෙම යම් යම් කල්පනාවක් බොහෝ කොට නැවත නැවත කල්පනා කරයිද, නැවත නැවත සිත්හි පවත්වයිද, ඒ ඒ පරිද්දෙන් හිතේ නැමීම වෙයි. මහණෙනි, ඉදින් මහණතෙම කාම විතර්කය බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත පවත්වයිද, කාමයන්ගෙන් වෙන්වීමේ කල්පනාව දුරු කෙළේද, කාම කල්පනා බහුල කෙළේද ඔහුගේ ඒ සිත කාම විතර්කය පිණිස නැමෙයි.

“මහණෙනි, ඉදින් මහණතෙම ක්‍රොධ කල්පනා බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි පවත්වයි, ක්‍රොධයෙන් වෙන්වීමේ කල්පනාව දුරු කළේද, ක්‍රොධ කල්පනා බහුල කළේද, ඔහුගේ ඒ සිත ක්‍රොධ කල්පනා පිණිස නැමෙයි.

“මහණෙනි, ඉදින් හිංසා කිරීමේ කල්පනා බොහෝකොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි පවත්වයිද, විහිංසාවෙන් වෙන්වීමේ කල්පනාව දුරුකෙළේද, විහිංසා කල්පනා බහුල කෙළේද ඔහුගේ ඒ සිත විහිංසා කල්පනාව පිණිස නැමෙයි.

“මහණෙනි, යම්සේ වැහිකාලයට අයත් අන්තිම මාසයෙහි සරත් කාලයෙහි ගොයමට යෑම වැළැක්විය යුතු කල්හි ගොපලුතෙම ගවයන් පාලනය කෙරේද, හෙතෙම ඒ ගවයන්ට ඒ ඒ පැත්තෙන් කෙවිටෙන් පහර දෙන්නේය. නැවත නැවත පහර දෙන්නේය. ඔබ මොබ යානොදී වළක්වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ගොපලුතෙම ඒ ගවයන් හොඳින් බලානොගැනීම හේතුකොට ගෙන පැමිණිය හැකි හිංසා පීඩාද, වධ බන්ධනද, ධන හානියද, නින්දා අපහාසද දකියි. මමද මහණෙනි, එසේම අකුශල ධර්මයන්ගේ දොෂයද, ලාමක බවද, කෙලෙසීමද, කුශල ධර්මයන්ගේද, කාමයන්ගෙන් වෙන්වීමෙහි අනුසස්ද, පිරිසිදු බවද දුටුයෙමි.

Msdiv 209 මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්යය ඇතිව කාය ජීවිත පරිත්‍යාග කොට වාසය කරන්නාවූ ඒ මට කාමයන්ගෙන් නික්මීමේ කල්පනාව උපදීද, ඒ මම මෙසේ දනිමි. මට මේ කාමයන්ගෙන් වෙන්වීමේ කල්පනාව උපන්නේය. ඒ වනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි. දෙපක්ෂයටමද දුක් පිණිස නොවෙයි. ලෞකික ලොකොත්තර ප්‍රඥාව වඩයි. දුක් උපදවන පක්ෂයෙහි නොවෙයි. නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මුලු රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන බයක් නොමදකිමි. දාවල් කාලය මුලුල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොට ගෙන බයක් නොමදකිමි. රෑ දාවල් දෙක්හිම කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොට ගෙන භයක් නොමදකිමි. එසේද වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නාවූ මාගේ ශරීරය ක්ලාන්ත වෙයි, ශරීරය ක්ලාන්තවූවිට සිත නොසන්සුන් වෙයි. සිත නොසන්සුන්වූ කල්හි සමාධිය කෙරෙන් සිත ඈත්වෙයි. මහණෙනි, ඒ මම ඇතුළතින්ම සිත මනාව තබමි, හිඳුවමි, එකඟ කරමි, මනාව පිහිටුවමි. ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි (සිතායි.)

Msdiv 210 “මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්යය ඇතිව, කාය ජීවිත පරිත්‍යාග කොට වාසය කරන්නාවූ ඒ මට මෛත්‍රී සහගත කල්පනාව උපදියිද, ඒ මම මෙසේ දනිමි. මට මේ මෛත්‍රි සහගත කල්පනාව උපන්නීය. ඒ වනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි. දෙපක්ෂයටම දුක් පිණිසද නොවෙයි. ලෞකික ලොකොත්තර ප්‍රඥාව වඩයි. දුක් උපදවන පක්ෂයෙහි නොවෙයි. නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මුලු රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතු කොට ගෙන භයක් නොමදකිමි. දාවල් කාලය මුලුල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොමදකිමි. රෑ දාවල් දෙක්හිම කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතු කොට ගෙන භයක් නොමදකිමි. එසේද වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නාවූ මාගේ ශරීරය ක්ලාන්තය වෙයි. ශරීරය ක්ලාන්ත වූවිට සිත නොසන්සුන් වෙයි. නොසන්සුන්වූ කල්හි සමාධිය කෙරෙන් සිත ඈත්වෙයි. මහණෙනි, ඒ මම ඇතුළත්හිම සිත මනාව තබමි, හිඳුවමි, එකඟ කරමි, මනාව පිහිටුවමි, ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි (සිතායි.)

“මහණෙනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යය ඇතිව, ආත්මය පරිත්‍යාග කොට වාසය කරන්නාවූ මට හිංසා නොකිරීමේ කල්පනාව උපදියිද, ඒ මම මෙසේ දකිමි. මට මේ හිංසා නොකිරීමේ කල්පනාව උපන්නීය. ඒ වනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි. දෙපක්ෂයටම දුක් පිණිද නොවෙයි. ලෞකික ලොකොත්තර ප්‍රඥාව වඩයි. දුක් උපදවන පක්ෂයෙහි නොවෙයි. නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මුළු රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොට ගෙන භයක් නොමදකිමි. දාවල් කාලය මුළුල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොට ගෙන භයක් නොමදකිමි. රෑ දාවල් දෙක්හිම කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොදකිමි. එසේද වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නාවූ මාගේ ශරීරය ක්ලාන්ත වෙයි. ශරීරය ක්ලාන්තවූවිට සිත නොසන්සුන් වෙයි. සිත නොසන්සුන්වූවිට සමාධිය කෙරෙන් සිත ඈත්වෙයි. මහණෙනි, ඒ මම ඇතුළතම සිත මනාව තබමි, හිඳුවමි, එකඟ කරමි, මනාව පිහිටුවමි. ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි (සිතාය.)

“මහණෙනි, මහණතෙම යම් යම් කල්පනාවක් බහුලව නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිතේ පවත්වයිද, ඒ ඒ ආකාරයෙන් නැමීම වෙයි. මහණෙනි, ඉදින් මහණතෙම කාමයෙන් වෙන්වීමේ කල්පනාව බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිතේ පවත්වයිද, කාම කල්පනා බැහැර කෙරේද, කාමයෙන් වෙන්වීමේ කල්පනාව බහුල කෙරේද, ඔහුගේ සිත කාමයෙන් වෙන්වීමේ කල්පනාව පිණිස නැමෙයි.

“මහණෙනි, ඉදින් මහණතෙම මෛත්‍රි කල්පනාව බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි කෙරේද, ක්‍රොධ කල්පනා බැහැර කෙරේද, මෛත්‍රී කල්පනා බහුල කෙරේද, ඔහුගේ ඒ සිත මෛත්‍රී කල්පනාව පිණිස නැමෙයි.

“මහණෙනි, ඉදින් මහණතෙම හිංසා නොකිරීමේ කල්පනා බොහෝ කොට කෙරේද, නැවත නැවත සිත්හි කෙරේද, හිංසා කිරීමේ කල්පනා බැහැර කෙරේද, මෛත්‍රී කල්පනා බහුල කෙරේද, ඔහුගේ ඒ සිත මෛත්‍රී කල්පනාව පිණිස නැමෙයි.

“මහණෙනි, යම්සේ ග්‍රීෂ්ම ඍතුවට අයත් අන්තිම මාසයෙහි සියලු ශස්‍යයන් ගමට ගෙනගිය කල්හි ගොපලුතෙම ගවයන් නොරක්නේද, ගසක් යටටවී හෝ එළිමහන් තැනකටවී හෝ මේ ගවයෝයයි සිහිකිරීම පමණක් ඔහුට ප්‍රමාණවත් වෙයිද, මහණෙනි, එපරිද්දෙන්ම මේ ධර්මයෝයයි සිහිකිරීම පමණක් ප්‍රමාණවත්ය.

Msdiv 211 “මහණෙනි, ඒ මාගේ වීර්යය නොහැකිලී ආරම්භවිය. සිහිය එළඹ සිටියාය. කය සංසිඳුණේය. සැහැල්ලු විය. සිත සමාධිමත් විය. එකඟ විය.

“මහණෙනි, ඒ මම කාමයෙන් වෙන්වම සියලු අකුශලයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. විතර්ක විචාර දෙදෙනාගේ සන්සිඳීමෙන් හිතේ පැහැදීම ඇත්තාවූ, හිතේ එකඟකම ඇත්තාවූ විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවූ ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපේක්ෂා ඇත්තේ සිහි නුවණින් යුක්තවූයේ කයින් සැපය වින්දෙමි. යම් ධ්‍යානයක් උපේක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. සැපද නැති කිරීමෙන් දුක්ද නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූ සැප නැත්තාවූ උපේක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි.

Msdiv 212 “ඒ මම, මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි අඩ්ගන (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කාර්යයට සුදුසුව සිටි කල්හි චංචල නොවී සිටි කල්හි පෙර විසූ කඳ පිළිවෙල දැනීම පිණිස සිත නැමූයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්වෙනිවාසය (පෙර උපන් ජාති) සිහි කරමි. එනම්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශ වන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසුවල් තැන උපන්නෙමි. එහි මෙ නම් ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙබඳු සැප දුක් විඳින්නෙක් වීමි. මෙබඳු ආයුෂ ඇත්තෙත් වීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍ය භවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නන්වැදෑරුම්වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.

“මහණෙනි, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය.

Msdiv 213 “ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, අඩ්ගණ (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කාර්යයට සුදුසුව සිටි කල්හි, චංචල නොවී සිටි කල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි ඒ මම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තා වූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මියගියාවූ සත්ත්වයන් දකිමි.

“ඒකාන්තයෙන් මේ පින්වත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි කර්ම අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්ත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු වාක් සුචරිතයෙන් යුක්තවූවාහු මනො සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්යයන්ට දොස්නොකීවාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔව්හු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලොකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද කර්මය පරිදි මියගියාවූ සත්ත්වයන් දනිමි.

“මහණෙනි, මා විසින් රාත්‍රියෙහි මැදියමෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම, ඉපදීම දක්නා නුවණ) ලබන ලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලොකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය.

Msdiv 214 “ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි ආශ්‍රව ක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. ඒ මම මෙය දුකයයි තතුසේ දත්තෙමි. මේ දුක් ඉපදීමට හේතුවයයි තතුසේ දත්තෙමි. මේ දුක් නැති කිරීමයයි තතු සේ දත්තෙමි. මේ දුක නැතිකිරීමේ මාර්ගයයයි තතුසේ දත්තෙමි. මොහු ආශ්‍රවයෝ (කාම ආදී කෙලෙස්) යයි තතුසේ දැන ගතිමි. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමයයි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන් නැතිකිරීමේ මාර්ගයයි තතුසේ දැනගත්තෙමි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදුනේය. භවාශ්‍රවයෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළ විය. උත්පත්තිය කෙළවර විය.

“මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මේ අර්හත්වය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දත්තෙමි.

“මහණෙනි, රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රව ක්ෂයකර ඥාන නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලබනලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලොකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේම විය.

Msdiv 215 “මහණෙනි, මහ වනයෙහි මහ වන ලැහැබෙක මහත්වූ මිටිවූ තැනිතලාවක් යම් සේ වේද, ඒ මේ තැනිතලාවක් ඇසුරුකොට මහත් මුව සමූහයෙක් වාසය කෙරෙයි. ඒ මෘග සමූහයාට අනර්ථය කැමැත්තාවූ අවැඩ කැමැත්තාවූ, අභය නොකැමැත්තාවූ කිසියම් පුරුෂයෙක් තෙම පහළ වෙයි. හෙතෙම ඒ ස්ථානයට භය නැතිව පහසුවෙන් යාහැකි මාර්ගය වසන්නේය. නපුරු මග විවෘත කරන්නේය. දඩමුවා සිටුවන්නේය. දඩමුවදෙන සිටුවන්නේය. මහණෙනි, මෙසේවූ කල්හි ටික කලකින් ඒ මහා මුව සමූහයා විනාශයට තුනී බවට පැමිණෙන්නේය. මහණෙනි, එම මහත් මුව සමූහයාගේ අභිවෘද්ධිය කැමැත්තාවූ වැඩ කැමැත්තාවූ අභය කැමැත්තාවූ කිසියම් පුරුෂයෙක් පහළ වෙයි. හෙතෙම ඒ ස්ථානයට භයනැතිව පහසුවෙන් යාහැකි මාර්ගය විවෘත කරන්නේය. නපුරු මාර්ගය වසන්නේය. දඩමුවා නසන්නේය දඩමුවදෙන නසන්නේය. මහණෙනි, මෙසේවූ කල්හි ඒ මහත් මුව සමූහය ටික කලකින් අභිවර්ධනයටද දියුණුවටද, ස්ථිර බවටද මහත් බවටද පැමිණෙන්නේය.

“මහණෙනි, අර්ථය තේරුම් කිරීම පිණිස මා විසින් මේ උපමාව දක්වන ලදී. මෙහි මේ අර්ථයයි. මහණෙනි, මහත්වූ මිටියාවත යනු පංචකාමයන්ට නමෙකි. මහණෙනි, මහා මෘග සමූහය යනු සත්ත්වයන්ට නමකි. අවැඩ කැමති, අනර්ථය කැමති අභය නොකැමැති පුරුෂයා යනු මාරයාට නමකි. නපුරු මාර්ගය යනු අඩ්ග අටකින් යුක්තවූ වැරදි මාර්ගයට නමකි. එනම් වැරදි දැකීම, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ආජීවය, වැරදි ව්‍යායාමය, වැරදි සිහිය, වැරදි සමාධිය යන අටයි. මහණෙනි, දඩමුවා යනු තෘෂ්ණාවට නමෙකි. මහණෙනි, දඩමුවදෙන යනු අවිද්‍යාවට නමකි. වැඩකැමති අර්ථය කැමති, අභයකැමති පුරුෂයා යනු අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේට මේ නමකි. යහපත් මාර්ගය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමකි. එනම්, නිවැරැදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යනඅටයි.

“මහණෙනි, මෙසේ වනාහි මා විසින් නිර්භයවූ සැප පමුණුවන්නාවූ පහසුවෙන් යා හැකි මාර්ගය විවෘත කරන ලද්දේය. නොමඟ වසන ලද්දේය. දඩමුවා නසන ලද්දේය. දඩමුවදෙන නසන ලද්දීය.

“මහණෙනි, ශ්‍රාවකයන්ට හිතවත්වූ අනුකම්පා ඇති ශාස්තෘ කෙනෙකු විසින් අනුකම්පාවෙන් යම්බදු යහපතක් කළයුතුද එය මා විසින් තොපට නොඅඩුව කරනලදී.

“මහණෙනි, මේ ගස් මුල් ඇත්තාහ. හිස් ගෙවල් ඇත්තාහ. එහි ගොස් භාවනා කරව්. ප්‍රමාද නොවව්, ප්‍රමාදවී පසුතැවිලි නොවව්. තොපට අපගේ මේ අනුශාසනාවයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

නව වෙනිවූ ද්වේධා චිතක්ක සූත්‍රය නිමි.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection