LibraryMNMN 20
MN 209 min read

How to Stop Thinking

Vitakkasaṇṭhāna Sutta

20
PDFGenerated
01 · Overview

In a practical meditation teaching, the Buddha describes five different approaches to stopping thoughts.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 2. සීහනාද වර්ගය 20. විතක්ක සණ්ඨාන සූත්‍රය Msdiv 216 මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඩු සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනි’ කියා කථා කළහ. භික්ෂූහු, ‘ස්වාමීනි’ කියා උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“මහණෙනි, විදර්ශනාවට පාදකවූ සමාධිය වඩන්නාවූ භික්ෂුව විසින් කලින් කළ කරුණු පසක් මෙනෙහි කළ යුත්තාහුය. කිනම් කරුණු පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවට යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කිරීම හෙතුකොට ගෙන ලොභ සහගතවූද දොෂ සහගතවූද මොහ සහගතවූද ලාමකවූ අකුසල කල්පනා උපදිත්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ අරමුණෙන් අන්‍යවූ කුසල සහිත අරමුණක් මෙනෙහි කළ යුතුය. ඒ අරමුණෙන් අන්‍යවූ කුසල සහිතවූ අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලොභ සහගතවූ දොෂ සහගතවූ, මොහ සහගතවූ, ලාමකවූ, යම් අකුසල කල්පනාවෝවෙද්ද ඒ අකුසල කල්පනාවෝ පහවෙත්. විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි, නවතියි, එකඟ වෙයි සමාධිය ඇතිවෙයි.

“මහණෙනි, යම්සේ දක්ෂ වඩුවෙක් හෝ වඩු ගෝලයෙක් හෝ කුඩා ඇණයකින් ලොකු ඇණයක් පිටකරන්නේද, නිකුත් කරන්නේද, ගලවා දමන්නේද, මහණෙනි, එසේම භික්ෂුවහට යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කිරීම නිසා ලොභ සහගතවූද දෝෂ සහගතවූද මොහ සහගතවූද ලාමකවූ අකුසල කල්පනාවෝ උපදිද්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් කුසල සහිතවූ ඒ අරමුණෙන් අන් අරමුණක් මෙනෙහි කළ යුතුය. කුසල සහිතවූ ඒ අරමුණෙන් අන් අරමුණක් මෙනෙහිකිරීම හෙතුකොටගෙන ඒ භික්ෂුවගේ ලොභ සහගතවූද, දොෂ සහගතවූද, මොහ සහගතවූද ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි, හිඳියි, නවතියි, එකඟ වෙයි, සමාධියට පැමිණෙයි.

Msdiv 217 “මහණෙනි, ඒ අරමුණෙන් අන්‍යවූ කුසල සහිත අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලොභ සහගතවූද දොෂ සහගතවූද මොහ සහගතවූද ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත්ද, මහණෙනි, එසේ නම් ඒ භික්ෂුව විසින් ඒ කල්පනාවන්ගේ ආදිනව මෙනෙහි කළ යුතුය. මෙසේද මේ කල්පනාවෝ අකුසල්ය, මෙසේද මේ කල්පනාවෝ වරද සහිතය. මෙසේද මේ කල්පනාවෝ දුක්වූ විපාක ඇත්තෝය. කියායි. ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවගේ ලොභ සහගතවූද දොෂ සහගතවූද මොහ සහගත වූද යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙත්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශවෙත්, ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම සිටියි, නවතියි, එකඟවෙයි, සමාධිය ඇතිවෙයි. මහණෙනි, යම්සේ තරුණවූ අලංකාරයට කැමතිවූ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සර්ප කුණක් හෝ බලු කුණක් හෝ මිනී කුණක් හෝ බෙල්ලෙහි එල්ලීමෙන් හැකිලෙන්නේද පිළිකුල් කරන්නේද මහණෙනි, එපරිද්දෙන්ම ඒ අරමුණෙන් අන්‍ය කුසලයෙන් යුක්තවූ අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලොභ සහගතවූද දෙෂ සහගතවූද මොහ සහගතවූද අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් මේ ආකාරයෙන්ද මේ කල්පනාවෝ අකුසල්ය, මේ ආකාරයෙන්ද මේ කල්පනාවෝ වරද සහිතය. මේ ආකාරයෙන්ද මේ කල්පනාවෝ දුක් විපාක ඇත්තාහුයයි ඒ කල්පනාවන්ගේ දෝෂ මෙනෙහි කළ යුතුයි. ඒ කල්පනාවන්ගේ දෝෂ මෙනෙහි කරන්නාවූ ඔහුට ලොභ සහගතවූද දෝෂ සහගත වූද මොහ සහගතවූද යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්. විනාශයට පැමිණෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි, නවතියි, එකඟබවට පැමිණෙයි. සමාධියට පැමිණෙයි.

Msdiv 218 “මහණෙනි, ලොභ සහගතවූද, දෝෂ සහගතවූද මොහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ ඒ කල්පනාවන්ගේ දෝෂ මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවහට උපදින්නාහුම වෙත්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණිය යුතුයි. ඒ අකුසල කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණියාවූ ඒ භික්ෂුවට ලොභ සහගතවූද දෝෂ සහගතවූද මොහ සහගතවූද යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙද්ද ඒ අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණය හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, හිඳියි, එකඟ බවට පැමිණෙයි. සමාධියට පැමිණෙයි.

“මහණෙනි, යම්සේ ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඇස් හමුවට පැමිණියාවූ රූපයක් නොදකිනු කැමැත්තේ නම් හෙතෙම ඇස් පියාගන්නේ හෝ වේද අන් දිශාවක් බලන්නේ හෝ වේද, මහණෙනි, එමෙන් ඒ ලාමක අකුසල ධර්මයන්ගේ දෝෂ මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ඒ ලොභ සහගතවූද දෝෂ සහගතවූද මොහ සහගතවුද ඒ ලාමක අකුශල ධර්මයෝ උපදින්නාහුම වෙත්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණිය යුතුයි. ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණියාවූ ඒ භික්ෂුවට ලොභ සහගතවූද දෝෂ සහගතවූද මොහ සහගතවූද යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙත්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ ප්‍රහීන වෙත්. අභාවයට යෙත්. ඔවුන්ගේ ප්‍රහාණය හේතුකොටගෙන සිත අභ්‍යන්තරයෙහිම පවතියි. නවතියි, එකඟ බවට පැමිණෙයි.

Msdiv 219 “මහණෙනි, ඒ කල්පනා මෙනෙහි නොකරන්නාවූ අමතක කරන්නාවූ භික්ෂුවට ලොභ සහගතවූද, දෝෂ සහගත වූද, මොහ සහගතවුද ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත්ද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කටයුතුයි. මහණෙනි, ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලොභ සහගතවූද, දෝෂ සහගතවූද, මොහ සහගතවූද යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද ඒ අකුසල කල්පනාවෝ පහ වෙත්. අභාවයට යෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන අභ්‍යන්තරයෙහිම සිත පිහිටයි, නවතියි, එකඟ බවට පැමිණෙයි, සමාධියට පැමිණෙයි.

“මහණෙනි, යම්සේ පුරුෂයෙක් ඉක්මණින් යන්නේද, ඔහුට ‘මම කුමක් නිසා වහා යන්නෙම්ද? සෙමින් යන්නෙම්ය’යි අදහස් වන්නේය. හෙතෙම හෙමින් යන්නේය. ඔහු නැවත කුමක් නිසා ‘මම සෙමින් යන්නෙම්ද? නැවතී සිටින්නෙම් නම් යහපතැ’යි සිතා නවතින්නේය. නැවත ඔහු කුමක් නිසා ‘මම නැවතී සිටින්නෙම්ද? මම හිඳගන්නෙම්ය’යි සිතා හිඳගන්නේය. නැවත ඔහු ‘කුමක් නිසා මම හිඳගන්නෙම්ද? නිදාගන්නෙම්ය’යි සිතා නිදාගන්නේය. මහණෙනි, මෙසේ ඒ පුරුෂතෙම ඔළාරික ඉරියව් නවත්වා සියුම් ඉරියව් පවත්වන්නේය. මහණෙනි, එසේම ඒ කල්පනා නොකරන්නාවූ අමතක කරන්නාවූ ඒ භික්ෂුවට ලොභ සහගතවූද දෝෂ සහගතවූද මොහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුමද, මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කළ යුතුයි. ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලොභ සහගත වූද දෝෂ සහගතවූද, මොහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, අභාවයට යෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන සිත ඇතුළතම පවතියි, හිඳියි, එකඟ බවට පැමිණෙයි. සමාධියට පැමිණෙයි.

Msdiv 220 “මහණෙනි, ඒ කල්පනාවන්ගේ මූලහෙතුව මෙනෙහි කරන්නාවූ භික්ෂුවටද, ඉදින් ඒ ලොභ සහගතවූද, දොෂ සහගතවූද, මොහසහගතවූද, ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නම් මහණෙනි, ඒ භික්ෂුව විසින් දත්වලින් දත් තදකොට දිවෙන් තලු තදකොටගෙන (දත්මිටි කාගෙන) සිතින් සිත නිග්‍රහ කළ යුතුයි. පෙළිය යුතුයි. තැවිය යුතුයි. දත්වලින් දත් තද කොටගෙන දිවෙන් තලු තදකොටගෙන සිතින් සිත නිග්‍රහ කරන්නාවූ පෙළන්නාවූ තවන්නාවූ ඒ භික්ෂුවට ලොභ සහගතවූද, දොෂසහගත වූද, මොහ සහගතවූද, යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් වෙද්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි, එකඟවෙයි, සමාධියට පැමිණෙයි.

“මහණෙනි, යම්සේ බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙකු හිසෙන් හෝ අල්වා, කරෙන් හෝ අල්වා, නිග්‍රහකරන්නේද, පෙළෙන්නේද, තබන්නේද, මහණෙනි, එසේම ඒ කල්පනාවන්ගේ මුල් හෙතුව මෙනෙහි කරන්නාවූ භික්ෂුවට ලොභ සහගතවූද, දෝෂ සහගතවූද, මොහ සහගත වූද, ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් දත්වලින් දත් තදකොට දිවෙන් තලු තදකොට ගෙන සිතින් සිත නිග්‍රහ කළ යුතුයි. පෙළිය යුතුයි. තැවිය යුතුයි. දත්වලින් දත් තදකොට දිවෙන් තලු තදකොට සිතින් සිත නිග්‍රහ කරන්නාවූ පෙළන්නාවූ තවන්නාවූ ඒ භික්ෂුවට ලොභ සහගතවූද දොෂ සහගත වූද මොහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි, එකඟවෙයි, සමාධියට පැමිණෙයි.

Msdiv 221 “මහණෙනි, යම් හෙයකින් යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කරන්නාවූ භික්ෂුවට ලොභ සහගතවූද, දොෂ සහගතවූද, මොහ සහගතවූද, ලාමක අකුසල කල්පනාවෝ උපදිත්ද, එම අරමුණෙන් අන්‍යවූ කුසල් පිණිස පවත්නාවූ අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලොභ සහගතවූද, දොෂ සහගතවූද, මොහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි, එකඟවෙයි, සමාධියට පැමිණෙයි. ඒ කල්පනාවන්ගේ දෝෂ පරීක්ෂා කර බලන්නාහටද ලොභ සහගතවූද, දොෂ සහගත වූද, මොහ සහගතවූද, යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද, ඔවුහු පහ වෙත්, විනාශ වෙත් ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි. එකඟවෙයි, සමාධියට පැමිණෙයි. ඒ කල්පනාවන්ගේ මුල් හෙතුව බලන්නාවූ භික්ෂුවහටද ලොභ සහගතවූද, දොෂ සහගතවූද, මොහ සහගතවූද, යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ පහවෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි, නවතියි, එකඟ වෙයි, සමාධියට පැමිණෙයි.

“දත්වලින් දත් තදකොට, දිවෙන් තලු තදකොට සිතින් සිත නිග්‍රහ කරන්නාවූද, පෙළන්නාවූද, තවන්නාවූද, භික්ෂුවටද ලොභ සහගතවූද, දොෂ සහගතවූද, මොහ සහගතවූද, යම් ලාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද ඒ ලාමක අකුසල කල්පනාවෝ පහ වෙත්, විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හෙතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි, නවතියි, එකඟවෙයි, සමාධියට පැමිණෙයි. මහණෙනි, මේ භික්ෂුතෙම යම් කල්පනාවක් කැමති නම් එය කල්පනා කරන්නාවූද, යම් කල්පනාවක් නොකැමති නම් එය කල්පනා නොකරන්නාවූද කල්පනා විෂයෙහි පුරුදුකරන ලද වශීභාව ඇත්තේයයි කියනු ලැබේ. හෙතෙම තෘෂ්ණාව සින්දේය. සංයෝජනය පෙරළා දැමීය. මනාකොට අර්හත් මාර්ග ඥානයෙන් මානය ප්‍රහීනකොට දුක් කෙළවර කෙළේය.”

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළෝය. සතුටු සිත් ඇත්තාවූ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.

දසවැනිවූ විතක්කසණ්ඨාන සූත්‍රය නිමි.

මහා සීහනාද වර්ගය නිමි.

චුල සීහනාද සූත්‍රය, මහා සීහනාද සූත්‍රය, මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය, චූල දුක්ඛක්ඛන්ද සූත්‍රය, අනුමාන සූත්‍රය, චෙතොඛිල සූත්‍රය, වනපත්ථ සූත්‍රය, මධුපිණ්ඩික සූත්‍රය, ද්වෙධා විතක්ක සූත්‍රය, විතක්ක සණ්ඨාන සූත්‍රය යන සූත්‍ර දසයවූ

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection