LibraryMNMN 21
MN 2121 min read

The Simile of the Saw

Kakacūpama Sutta

20
PDFGenerated
01 · Overview

A foundational discourse on patience, difficult speech, and maintaining a mind free from hate.

02 · Reading guide

Useful when facing conflict, criticism, or anger. Read slowly and notice the training in boundless goodwill.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 3. ඔපම්ම වර්ගය 21. කකචූපම සූත්‍රය Msdiv 222 මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවන නම් අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරති.

එකල්හි මොලියඵග්ගුණ භික්ෂුව වේලාව ඉක්මවා භික්ෂුණීන් හා එක්ව වාසය කරන්නේය.

ඉදින් කිසි භික්ෂුවක් මොලියඵග්ගුණ භික්ෂුව ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ අගුණ කියාද, මොලියඵග්ගුණ භික්ෂුව ඒ භික්ෂුව හා කිපියේ නොසතුටුවූයේ (විනය ධර භික්ෂූන් ඉදිරියෙහි) නඩුද පවරයි. ඉදින් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියෙහි මොලියඵග්ගුණ භික්ෂුවගේ නුගුණ කියාද, ඒ භික්ෂුණීහු ඒ භික්ෂුව සමග කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු (විනයධර භික්ෂූන් ඉදිරියෙහි) නඩුද කියත්. මොලියඵග්ගුණ භික්ෂුව මෙතරම් භික්ෂුණීන් හා එක්ව වාසය කරයි.

ඉක්බිති එක්තරා භික්ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක උන්නාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකළේය. “ස්වාමීන් වහන්ස, මොලියඵග්ගුණ භික්ෂුව වේලා ඉක්මවා භික්ෂුණීන් හා එක්ව වාසය කරයි. ස්වාමීන් වහන්ස, ඉදින් යම් භික්ෂුවක් මොලියඵග්ගුණ භික්ෂුව ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ නුගුණ කියාද, එයින් මොලියඵග්ගුණ භික්ෂුව කිපියේ නොසතුටු සිත් ඇත්තේ නඩුද කියයි. ඉදින් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියෙහි මොලියඵග්ගුණ භික්ෂුවගේ නුගුණ කියාද, එයින් ඒ භික්ෂුණීහු කිපුනාහු නොසතුටු සිත් ඇත්තාහු නඩුද කියත්. ස්වාමීන් වහන්ස, මොලියඵග්ගුණ භික්ෂුව මෙතරම් භික්ෂුණීන් සමග එක්ව වෙසේය’යි (කීය.)

Msdiv 223 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් කැඳවා, “මහණ මෙහි එව, මගේ වචනයෙන් ‘ශාස්තෘන් වහන්සේ ඔබ කැඳවන්නේය’යි කියා මොලියඵග්ගුණ භික්ෂුව කැඳවා එව’යි වදාළහ. ඒ භික්ෂු තෙම ‘එසේය ස්වාමීනි,’ කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී මොලියඵග්ගුණ භික්ෂුව යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ මොලියඵග්ගුණ භික්ෂුවට මෙසේ කීය. ‘ඇවැත්නි, ඵග්ගුණය, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවනසේකැ’යි කීය. ‘ඇවැත්නි, එසේය’යි කියා මොලියඵග්ගුණ භික්ෂුතෙම ඒ භික්ෂුහට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට ගියේය. ගොස්, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක හුන්නේය. එක්පැත්තක උන්නාවූ මොලියඵග්ගුණ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“ඵග්ගුණය, තෝ වේලා ඉක්මවා භික්ෂුණීන් හා එක්ව වාසය කරන්නෙහිය. ඉදින් කිසි භික්ෂුවක් තොප ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ නුගුණ කියාද එයින් කිපියේ නොසතුටු සිත් ඇත්තේ නඩුද කියන්නෙහිය. ඉදින් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියෙහි තොපගේ අගුණ කියාද, එයින් ඒ භික්ෂුණීහු කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු නඩුද කියත්, ඵග්ගුණය, තොප මෙපරිද්දෙන් භික්ෂුණීන් සමග මිශ්‍රව වාසය කෙරෙහිය යනු සැබෑද?”

“ස්වාමීනි, එසේය.” “ඵග්ගුණය, තොප ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිදිවූ කුලපුත්‍රයෙක් නොවෙහිද?”

“එසේය, ස්වාමීනි.”

Msdiv 224 “ඵග්ගුණය, යම් හෙයකින් තොප භික්ෂුණීන් සමග වේලාව ඉක්මවා එකතුව වාසය කරන්නෙහිද, මේ විහරණය ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ කුල පුත්‍රයෙකුට නුසුදුසුය.

“එහෙයින් ඵග්ගුණය, ඉදින් කිසිවෙක් තොප ඉදිරියෙහි ඒ භික්ෂුණීන්ගේ නුගුණ කියාද ඵග්ගුණය, තොප එහිදු පංචකාම ගුණය ආශ්‍රය කොට ඇති ආශාවෝ වෙත්ද, පංචකාම ආශ්‍රය කොට ඇති යම් කල්පනාවෝ වෙත්ද ඔවුන් දුරුකරව. ඵග්ගුණය, එහිදු ‘මගේ සිත නොපෙරළේවා. ලාමක වචන නොකියන්නෙමි. හිතවත්ව අනුකම්පා කරමින් මෛත්‍රී සිත් ඇත්තේ ද්වේෂ සිත් නැත්තේ වාසය කරන්නෙමි’යි මෙසේ හික්මිය යුතුයි. ඵග්ගුණය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. ඵග්ගුණය, එහෙයින් මෙහි තොප ඉදිරියෙහි කිසිවෙක් ඒ භික්ෂුණීන්ට අතින් පහරදෙන්නේද කැටයකින් ආයුධයකින්, දඬුවෙන්, පහර දෙන්නේද, ඵග්ගුණය, තොප එහිදු යම් පංචකාම සහගතවූ ආශාවෝ වෙත්ද, පංචකාම සහගතවූ කල්පනාවෝ වෙත්ද, ඔවුන් දුරු කරව. ඵග්ගුණය, එහිදු තොප විසින් මෙසේ හික්මිය යුතුයි. මාගේ සිත නොපෙරළේවා, ලාමක වචන නොකියන්නෙමි. හිතවත්ව අනුකම්පා ඇත්තේ, මෛත්‍රී සිත් ඇත්තේ, ද්වේෂ සිත් නැත්තේ වාසය කරන්නෙමි’යි ඵග්ගුණය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.

“ඵග්ගුණය, එහෙයින් මෙහි තොපට කිසිවෙක් අගුණ කියන්නේ නම් ඵග්ගුණය, එහිදු තොප පංචකාම සහගතවූ ආශාවෝ වෙත්ද, පංචකාම සහගතවූ කල්පනාවෝ වෙත්ද, ඔවුන් දුරු කරව. ඵග්ගුණය, තොප එහිදු මෙසේ හික්මිය යුතුයි. ‘මාගේ සිත නොපෙරළේවා ලාමකවූ වචන නොකියන්නෙමි, හිතවත්ව අනුකම්පා ඇත්තේ මෛත්‍රී සිත් ඇත්තේ, ද්වේෂ සහගත සිත් නැත්තේ වාසය කරන්නෙමි’යි ඵග්ගුණය, මෙසේ වනාහි තොප හික්මිය යුතුයි.

“ඵග්ගුණය, එහෙයින් මෙහි තොපටද, කිසිවෙක් අතින් පහර දෙන්නේද, කැටකින් පහර දෙන්නේද, දණ්ඩකින් පහර දෙන්නේද, ආයුධයකින් පහර දෙන්නේද, ඵග්ගුණය, තොප එහිදු පංචකාම සහගතවූ යම් ආශාවෝ වෙත්ද, පංචකාම සහගතවූ යම් කල්පනාවෝ වෙත්ද ඔවුන් දුරු කරව, ඵග්ගුණය, තොප එහිදු මෙසේ හික්මිය යුතුයි. ‘මාගේ සිත නොපෙරළේවා. ලාමකවූ වචනද නොකියන්නෙමි. හිතවත්ව අනුකම්පා ඇත්තේ මෛත්‍රී සිත් ඇත්තේ ද්වේෂ සහගත සිත් නැත්තේ වාසය කරන්නෙමි’යි ඵග්ගුණය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය”යි වදාළහ.

Msdiv 225 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, එක් කාලයක (ප්‍රථම බොධි කාලයෙහි) භික්ෂූහු ඒකාන්තයෙන් මාගේ සිත සතුටු කළාහුය. මහණෙනි, එකල්හි භික්ෂූන් ඇමතුයෙමි. (අමතා) ‘මහණෙනි, මම වනාහි එක් වේලේ වළඳන ආහාරය වළඳමි. මහණෙනි, එක් වේලේ වළඳනා භොජනය වළඳන්නේ නිරොගි බවද උපද්‍රව රහිතව ශරීරයාගේ සැහැල්ලු පැවතුම් ඇති බවද කාය බලයද සැප විහරණයද විඳිමි. මහණෙනි, එව්, තොපිත් එක් වේලේ වළඳව්.

“මහණෙනි, එක් වේලේ වළඳන තෙපිද අල්පාබාධ ඇති බවද, නිරොග බවද, ශරීරයාගේ සැහැල්ලු බවද, ශරීර බලයද, සැප විහරණයද විඳින්නාහුයි කීවෙමි.

“මහණෙනි, එකල භික්ෂූන්හට මා විසින් අනුශාසනාවක් කළයුතු නොවීය. මහණෙනි, ඒ භික්ෂූන්හට මා විසින් සිහි ඉපදවීම පමණක් ප්‍රමාණවත් විය. මහණෙනි, සමබිමක සතර මංසන්ධියක ආජානීය අසුන් යෙදූ රථයක් පහසුවෙන් ගත හැකි සේ තබන ලද කෙවිටි ඇතිව තැබුයේ වෙයිද, අශ්වයන් දමනය කිරීමෙහි දක්ෂවූ අශ්වාචාර්යයෙක් තෙම ඒ මේ රථයට නැඟ වමතින් රැහැන්ගෙන දකුණතින් කෙවිටිගෙන කැමැත්තේ යම් මාර්ගයකින්ද කැමැත්තේ යම් ගමනක්ද එසේ ඉදිරියට එළවන්නේය. ආපසුද එළවන්නේය.

“මහණෙනි, එපරිද්දෙන්ම ඒ භික්ෂූන් කෙරෙහි මා විසින් අනුශාසනාවක් කළ යුතු නොවීය. මහණෙනි ඒ භික්ෂූන්හට සිහි ඉපදවීම පමණක් ප්‍රමාණවත් විය.

“මහණෙනි, එහෙයින් තෙපිත් අකුසලය දුරු කරව්. කුසල ධර්මයන්හි යෙදෙව්. මෙසේ ඇති කල්හි තෙපිත් මේ ශාසනයෙහි (ශීලයෙන්) අභිවෘද්ධියටද (මාර්ගයෙන්) වැඩීමටද (නිර්වාණයෙන්) විපුල බවටද පැමිණෙන්නහුය,

මහණෙනි, ගමට හෝ නියම්ගමට හෝ නුදුරෙහි මහත් සල්වනයක් වෙයි. ඒ සල් වනයද සල් ගස් දූෂණය කරන පිළිලයෙන් ගැවසුනේය. ඒ සල් වනයට යහපත කැමැත්තාවූ හිත කැමැත්තාවූ නිර්භය බව කැමැත්තාවූ කිසියම් පුරුෂයෙක් තෙම පහළවන්නේද හෙතෙම වක්වූ ඕජාව ගලා බස්නාවූ යම් ඒ තරුණ සල්පැල වෙත්ද, ඔවුන් සැස පිටතට දමන්නේද, ඇතුල් සල්වනය මනාව ශුද්ධ කරන්නේද, සෘජුව හටගත්තාවූ මනාව හටගත්තාවූ යම් ඒ තරුණ සල්පැල වෙත්ද, ඔවුන් මනාකොට වඩන්නේද, මහණෙනි, මෙසේ ඇති කල්හි ඒ සල්වනය වෘද්ධියටද වැඩීමටද විපුල බවටද පැමිණෙන්නේය.

“මහණෙනි, එපරිද්දෙන්ම තෙපිත් අකුසලය දුරු කරව් නම්, කුසල ධර්මයන්හි යෙදෙව් නම්, එසේ ඇති කල්හි තෙපිදු මේ ශාසනයෙහි වෘද්ධියටද වැඩීමටද විපුල බවටද පැමිණෙන්නාහුය.

Msdiv 226 “මහණෙනි, පෙර වූවක් කියමි. මේ සැවැත් නුවරම වෙදෙහිකා නම්වූ ගෘහණියක් වූවාය. මහණෙනි, ‘වෙදෙහිකා ගෘහපතිනිය, ප්‍රිය වචන කියන්නීය, උඩඟු නොවූවාය, සංසුන් සිත් ඇත්තීය’යි වෙදෙහිකා ගෘහපතිනියගේ මෙබඳුවූ ගුණ කීර්ති ශබ්දයක් පළව ගියේය.

“මහණෙනි, වෙදෙහිකා නම් ගෘහණියගේ දක්ෂවූ අලස නුවූ හොඳින් වැඩපල කරන්නාවූ කාලි නම් දාසියක් වූවාය. මහණෙනි එකල්හි කාලි නම් දාසියට මෙබඳු අදහසක් විය. වෙදෙහිකා නම් ගෘහපතිනිය ප්‍රිය වචන කියන්නීය. උඩඟු නොවූවාය. සංසුන් සිත් ඇත්තීය’යි මාගේ ආර්යාව පිළිබඳව කීර්ති රාවයක් පැතිර ඇත්තේය. කිමෙක්දෝ මාගේ ආර්යාව තමා තුළ ඇත්තාවූම කොපය පහළ නොකරන්නීද, කෝපය නැති නිසාම කෝපයක් පහළ නොකරන්නීද, නැතහොත් හොඳින් මා වැඩපල කරන නිසා තමා තුළ ඇති කෝපය පහළ නොකරන්නීද, අධ්‍යාත්මයෙහි කොපයද නැති නිසා පහළ නොකරන්නීද කියා මම ආර්යාව විමසන්නෙම් නම් යෙහෙකැ’යි සිතුවාය.

“මහණෙනි, ඉක්බිති කාලි දාසිතොම දවල්වී අවදිවූවාය. මහණෙනි, එකල්හි වෙදෙහිකා ගෘහපතිනිය කාලී දාසියට මෙසේ කීවාය. ‘බොල කාලිය,’ ‘ඇයි? ආර්යාවෙනි. කුමක් නිසා දවල්ව නැගිට්ටෙහිද?’ ‘ආර්යාවෙනි කිසිත් නැත.’ ‘බොල පව්කාරිය, කිසිත් නැත්නම් දවල්වී අවදි වූයේ ඇයිදැ’යි කියා කෝප වූවා නොසතුටු සිත් ඇත්තී මුහුණ හකුළුවා ගත්තාය.

“මහණෙනි, ඉක්බිති කාලි නම් දාසියට මෙබඳු අදහසක් විය. ‘මාගේ ආර්යා තොමෝ තමා කෙරෙහි ඇත්තාවූම කොපය පහළ නොකරන්නීය. නැත්තාවූ කොපයක් නොවේ. මා විසින්ම වැඩපළ හොඳින් කරනලද හෙයින් මාගේ ආර්යා තොමෝ තමා කෙරෙහි ඇත්තාවූම කොපය පහළ නොකරන්නීය, නැත්තාවූ කොපයක් නොවේ. මම තවදුරටත් ආර්යාව විමසන්නෙම් නම් යෙහෙක’ කියායි. මහණෙනි, ඉක්බිති කාලී දාසි තොමෝ බොහෝ දහවල්වී නැගිට්ටාය. මහණෙනි, ඉක්බිති වෙදෙහිකා ගෘහපතිනිය කාලී දාසියට මෙය කීවාය. ‘බොල කාලිය,’ ‘කිමෙක්ද? ආර්යාවෙනි,’ බොල කුමට ඉතා දවල්වී නැගිට්ටෙහිදැ’යි ඇසීය. ‘ආර්යාවෙනි, කිසිත් නැත.’ ‘බොල කාලකන්නිය, කිසිවක් නැත්නම් වඩාත් දවල්වී අවදි වූයේ කුමටදැ’යි කෝප වූවා, නොසතුටු සිත් ඇත්තී නොසතුටු වචන කීවාය.

“මහණෙනි, ඉක්බිති කාලි නම් දාසියට මෙබඳු සිතක් විය. ‘මාගේ ආර්යා තොමෝ තමා කෙරෙහි ඇත්තාවූම කෝපය පහළ නොකරන්නීය. නැති කෝපයක් නොවේ. මා විසින් මේ වැඩපල මනාව කරනලද හෙයින් මාගේ ආර්යා තොමෝ තමා කෙරෙහි ඇත්තාවූම කොපය පහළ නොකරන්නීය. නැතිවූවක් නොවේ. මම වැඩියක්ම ආර්යාව විමසන්නෙම් නම්, යෙහෙකැ’යි කියායි.

“මහණෙනි, ඉක්බිති කාලී දාසි තොමෝ තවත් වඩා දහවල්වම අවදි වූවාය. මහණෙනි, එකල්හි වෙදෙහිකා නම් ගෘහපතිනිය, කාලි දාසියට මෙසේ කීවාය. ‘එම්බල කාලිය, ‘කිමෙක්ද ආර්යාවෙනි,’ ‘කිමෙක්ද, එම්බල කාලිය, තී ඉතා දහවල්වී අවදිවූයේ කවර හෙයින්ද? ‘ආර්යාවෙනි, කිසිවක් නැතැයි’ කීය. ‘බොල, පවිටු දාසිය, කිසිවක් නැත්නම් කවර හෙයින් ඉතා දහවල්වී නැගිට්ටෙහිදැ’යි කිපී දොරපොල්ල ගෙන හිසට පහරක් දුන්නාය. හිස පැලුනේය. මහණෙනි, කාලි නම් දාසිය පැලුනු හිසින් ගලන්නාවූ ලෙයින් යුක්තව අසල් වැසියන්හට මෙසේ නුගුණ කීවාය. ‘ආර්යාවෙනි, ප්‍රිය වචන ඇති ස්ත්‍රියගේ වැඩක හැටි බලව්, උඩඟුනොවූ තැනැත්තියකගේ වැඩක හැටි බලව්, සංසුන් සිත් ඇත්තියකගේ වැඩක හැටි බලව්, එක් දාසියක් දහවල්වී නැගිටියායයි කිපී නොසතුටු සිත් ඇතිව, දොරපොල්ල ගෙන හිසට පහරදී පලන්නේදැ’යි (කීවාය.)

“මහණෙනි, ඉන් පසු කාලයෙහි වෙදෙහිකා ගෘහපතිනිය සම්බන්ධයෙන්, වෙදේහිකා ගෘහපතිනිය නපුරුය, වෙදෙහිකා ගෘහපතිනිය උඩඟුය, වෙදෙහිකා ගෘහපතිනිය දරුණුයයි ලාමකවූ අපකීර්තියක් පැනනැංගේය.

“මහණෙනි, එපරිද්දෙන්ම මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් යම්තාක් ඔහුට අමනාපවූ වචන අසන්ට නොලැබෙද්ද ඒතාක් ඉතා යහපත් වෙයි. ඉතා යටහත් පැවතුම් ඇත්තේ වෙයි. ඉතා සංසුන් පැවතුම් ඇත්තේ වෙයි. මහණෙනි, යම් හෙයකින් භික්ෂුවහට අමනාපවූ වචන අසන්ට ලැබේද එකල්හිම යහපත් භික්ෂුවකැයි යටත් පැවතුම් ඇති භික්ෂුවකැයි ශාන්තවූ භික්ෂුවකැයි දත යුත්තේය.

“මහණෙනි, යම් භික්ෂුවක් සිවුරු ආහාර සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර හෙතුකොට සුවච වේද, සුවච බවට පැමිණේද ඔහු සුවචයෙකැයි මම නොකියමි. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ මහණ තෙම ඒ චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර නොලබන්නේ සුවච නොවෙයි, සුවච බවට නොපැමිණෙයි.

“මහණෙනි, යම්කිසි භික්ෂුවක් ධර්මයම සලකමින්, ධර්මයම ගරුකරමින්, ධර්මයම පුදමින් සුවචවේද, සුවච බවට පැමිණේද, මම ඒ භික්ෂුව සුවචයයි කියමි. මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි මෙසේ හික්මිය යුතුයි. ධර්මයම සලකමින්, ධර්මයම ගරු කරමින්, ධර්මයම පුදමින් සුවච වන්නෙමි. සුවච බවට පැමිණෙන්නෙමියි මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.

Msdiv 227 “මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රී සහගත සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නාවූ මේ වචන පසක් වෙත්. මහණෙනි, අන්‍යයෝ තොපට කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද, මහණෙනි, අන්‍යයෝ තොපට මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද, මහණෙනි, අන්‍යයෝ තොපට අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෛත්‍රී සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ කියන්නාහුද එහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. අපගේ සිත නොපෙරළේවා. ලාමක වචන නොකියන්නෙමු. අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතුරවා වාසය කරන්නෙමු. මුළු ලෝකයම ඒ මෛත්‍රී චිත්තයාගේ අරමුණ කොට මහත්වූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ද්වේෂ නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමුයි, මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු

Msdiv 228 “මහණෙනි යම්සේ පුරුෂයෙක් තෙම උදැල්ලක් හා කූඩයක් ගෙන එන්නේය. හෙතෙම “මම මේ මහ පොළොව නොපොළොවක් කරමි”යි කියන්නේය. හෙතෙම මහ පොළොව නොපොළොවක් වේවා, නොපොළොවක් වේවා යි කියමින් ඒ ඒ තැන සාරන්නේය. ඒ ඒ තැන පස් විසුරු වන්නේය. ඒ ඒ තැන කාරා දමන්නේය. ඒ ඒ තැන මුත්‍ර කරන්නේය. මහණෙනි, කුමක් සිතන්නහුද, ඒ පුරුෂයා මේ මහපොළොව නොපොළොවක් කරන්නේයයි සිතන්නහුද?”

“ස්වාමීනි, එසේ නොසිතන්නෙමු. ඊට හේතු කවරේද? ස්වාමීනි, මේ මහා පෘථිවිය වනාහි ගැඹුරුය. අති විශාලය, ඒ පෘථිවිය නොපොළොවක් කරන්නට නොහැකිය. ඒ පුරුෂයා නම් ක්ලාන්තයටද වෙහෙසටද හිමි වන්නේය.”

“මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රී සහගත සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නාවූ මේ වචන පසක් වෙත්. මහණෙනි, අන්‍යයෝ තොපට කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෛත්‍රී සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ කියන්නාහුද, එහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා ලාමක වචන නොකියන්නෙමු. අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළු ලෝකයම ඒ මෛත්‍රී චිත්තයාගේ අරමුණ කොට මහත්වූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ද්වේෂ නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමු’යි, මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.

Msdiv 229 “මහණෙනි, පුරුෂයෙක් තෙම ලාකිරි හෝ කහපාට හෝ නිල්පාට හෝ මදටිය පාට හෝ ගෙන එන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. මම මේ අහසෙහි රූපයන් අඳින්නෙමි. රූප පහළකරන්නෙමි. මහණෙනි, ඒ පුරුෂයා මේ ආකාශයෙහි රූප අඳින්නේය. රූප පහළකරන්නේයි සිතන්නහුද?

“ස්වාමීනි, එසේ නොසිතන්නෙමු. ඊට හේතු කවරේද, මේ ආකාශය රූප රහිතය, දැකීම් රහිතය, එහි රූප ඇඳීම රූප පහළකිරීම පහසු නොවෙයි. ඒ පුරුෂයා නම් වෙහෙසීමට දුකට කොටස්කාරයෙක් වන්නේය.”

“මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රී සහගත සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නාවූ මේ වචන පසක් වෙත්. මහණෙනි, අන්‍යයෝ තොපට කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද මහණෙනි, තොපට අන්‍යයෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෛත්‍රීසිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ කියන්නාහුද, එහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමක වචන නොකියන්නෙමු අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතුරුවා වාසය කරන්නෙමු, මුළු ලෝකයම ඒ මෛත්‍රී චිත්තයාගේ අරමුණ කොට මහත්වූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ද්වේෂ නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමු’යි, මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.

Msdiv 230 “මහණෙනි, පුරුෂයෙක් ඇවිලෙන්නාවූ තණසුලක් ගෙන එන්නේය. හෙතෙම මම මේ ඇවිලෙන්නාවූ තණ සුලෙන් ගංගානම් නදිය උණුකරන්නෙමි, කකාරවන්නෙමියි කියන්නේය. මහණෙනි, ඒ පුරුෂයා ඇවිලගත්තාවු තණ සුලෙන් ගංගානම් නදිය උණුකරන්නේය කකාරවන්නේ යයි සිතන්නහුද?”

“ස්වාමීනි, එසේ නොසිතන්නෙමු. ඊට හේතු කවරේද, ස්වාමීනි, ගංගා නදිය ගැඹුරුය, අප්‍රමාණය, ගංගා නදිය ඇවිල ගත්තාවූ තණ සුලෙන් උණු කරන්නට කකාරවන්නට පහසු නොවේ. ඒ පුරුෂයා නම් වෙහෙසට දුකට කොටස්කාරයෙක් වන්නේය.”

“මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රී සහගත සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නාවූ මේ වචන පසක් වෙත් මහණෙනි, අන්‍යයෝ තොපට කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද මහණෙනි, තොපට අන්‍යයෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද මහණෙනි, තොපට අන්‍යයෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෛත්‍රී සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ කියන්නාහුද, එහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමක වචන නොකියන්නෙමු. අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතුරවා වාසය කරන්නෙමු. මුළු ලෝකයම ඒ මෛත්‍රී චිත්තයාගේ අරමුණ කොට මහත්වූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ද්වේෂ නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමු’යි මහණෙනි, තොපවිසින් මෙසේ හික්මිය යුතුය.

Msdiv 231 “මහණෙනි, මදින ලද්දාවූ මනාව මදින ලද්දාවූ මෘදුවූ පුළුනක් වැනිවූ සර සර යන ශබ්ද නැති බර බර යන ශබ්ද නැති බළල් සමින් කළ පසුම්බියක් වෙයි. ඉක්බිති දණ්ඩක් හෝ ගල්කැටයක් හෝ ගෙන පුරුෂයෙක් එන්නේය. හෙතෙම මෙසේ කියන්නේය, ‘මම මේ මදිනලද මොනවට මදිනලද හාත්පස මදිනලද මෘදුවූ පුළුන් වැනිවූ සර සර යන ශබ්ද නැති බර බර යන ශබ්ද නැති බළල් සමින් කළ පසුම්බිය දණ්ඩෙන් හෝ ගල්කැටයෙන් හෝ සරසර යන ශබ්ද ඇත්තක් කරන්නෙමි. බර බර යන ශබ්ද ඇත්තක් කරන්නෙමි’යි (කියයි) මහණෙනි, ඒ පුරුෂයා මදිනලද මනාව මදිනලද හාත්පස මදිනලද මෘදුවූ ශබ්ද නැති පුළුන් වැනිවූ සර සර බර බර යන ශබ්ද නැති මේ බළල් සමින් කළ පසුම්බිය දණ්ඩකින් හෝ කැටකින් හෝ සර සර යන ශබ්ද ඇත්තක් කරන්නේද? බර බර යන ශබ්ද ඇත්තක් කරන්නේද?” “ස්වාමීනි, මෙය එසේ නොකළ හැකිය. ඊට හේතු කවරේද? ස්වාමීනි, ඒ බළල් සමින් කළ පසුම්බිය මදිනලද මනාව මදිනලද හාත්පස මදිනලද, මෘදුවූ පුළුනක් වැනිවූ සර සර යන ශබ්ද නැති බර බර යන ශබ්ද නැති දෙයක් වන්නේය. එය කැටකින් හෝ දණ්ඩකින් හෝ සර සර යන ශබ්ද ඇත්තක් කරන්නට බර බර යන ශබ්ද ඇත්තක් කරන්නට පහසු නොවන්නේය. ඒ පුරුෂයා නම් වෙහෙසට දුකට කොටස්කාරයෙක් වන්නේය.”

“මහණෙනි, කල්හි හෝ නොකල්හි හෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ මෘදුව හෝ රළුව හෝ අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ මෛත්‍රී සහගත සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ අන්‍යයන් තොපට කියන්නාවූ මේ වචන පසක් වෙත් මහණෙනි, තොපට අන්‍යයෝ කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ කියන්නාහුද මහණෙනි, තොපට අන්‍යයෝ මෘදුව හෝ රළුව හෝ කියන්නාහුද මහණෙනි, අන්‍යයෝ තොපට අර්ථ සහිතව හෝ අනර්ථ සහිතව හෝ කියන්නාහුද, මහණෙනි, තොපට අන්‍යයෝ මෛත්‍රී සිත් ඇතිව හෝ කිපි සිත් ඇතිව හෝ කියන්නාහුද, එහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමක වචන නොකියන්නෙමු අනුකම්පාවෙන් යුක්තව මෛත්‍රී සහගත සිත් ඇතිව නොකිපි සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රී සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළු ලෝකයම ඒ මෛත්‍රී චිත්තයාගේ අරමුණකොට මහත්වූ මහත් බවට ගියාවූ අප්‍රමාණවූ වෛර නැත්තාවූ ද්වේෂ නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් යුක්තව වාසය කරන්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.

Msdiv 232 “මහණෙනි, පහත් ක්‍රියා කරන්නාවූ සොරු දෙපස දඬු ඇති කියතකින් ශරීර අවයව කපන්නාහුද යමෙක් ඒ සිය සිරුර කපන සොරුන් කෙරෙහිද හිත දූෂ්‍ය කරගනී නම් එයින් හෙතෙම මාගේ අවවාදයට අනුව පිළිපදින්නෙක් නොවෙයි. මහණෙනි, එහිදු මෙසේ හික්මිය යුතුයි. ‘අපගේ සිත නොපෙරළේවා, ලාමකවූ වචනද නොකියන්නෙමු, හිතානුකම්පා ඇතිව මෛත්‍රී සිත් ඇතිව ඇතුළත තරහ නැතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහිද මෛත්‍රී සහගත සිත පතුරුවා වාසය කරන්නෙමු. මුළුලොකයද ඒ මෛත්‍රී සහගත සිතේ අරමුණ කොට විපුලවූ මහද්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ නිදුක්වූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරන්නෙමු’යි (හික්මිය යුතුයි.) මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි.

Msdiv 233 “මහණෙනි, තොප මේ කකචූපමොවාද ධර්මය නිතර මෙනෙහි කරව්. මහණෙනි, තෙපි යම් හෙයකින් නොඉවසන්නාවූ අල්ප සාවද්‍යවූ හෝ මහා සාවද්‍යවූ හෝ යම් වචනයක් දක්නහුද?” “නැත, ස්වාමිනී”.

“මහණෙනි, එහෙයින් තෙපි මේ කකචූපමොවාද ධර්මය නිතර මෙනෙහි කරව්. ඒ මෙනෙහි කිරීම තොපට බොහෝ කාලයක් මුළුල්ලෙහි වැඩ පිණිසද සැප පිණිසද වන්නේය’යි මේ සූත්‍ර ධර්මය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තාහුය.

පළමුවෙනිවූ කකචූපම සූත්‍රය නිමි.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection