LibraryMNMN 23
MN 237 min read

The Ant-Hill

Vammika Sutta

20
PDFGenerated
01 · Overview

In a curious discourse laden with evocative imagery, a deity presents a riddle to a mendicant, who seeks an answer from the Buddha.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 3. ඔපම්ම වර්ගය 23. වම්මික සූත්‍රය Msdiv 249 “මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටුහු විසින් කරවනලද ජෙතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති.

එසමයෙහි කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ අන්ධ වනයෙහි වාසය කළහ. එකල එක්තරා බ්‍රහ්මරාජයෙක් රාත්‍රියේ පළමුවෙනි යාමය ඉක්මගිය කල්හි, විසිතුරු වර්ණයෙන් සියලු අන්ධවනය එකාලොක කොට බබුලුවා කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ ඒ බ්‍රහ්මරාජතෙම කුමාර කාශ්‍යප ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය.

“මහණ, මහණ, මේ තුඹස රාත්‍රියෙහි දුම්දමයි, දවල් කාලයෙහි ඇවිලෙයි. බ්‍රාහ්මණයෙක් මෙසේ කීයේය ‘සුමෙධය, ආයුධයක් ගෙන සාරව’ (යි කීයේය.) ආයුධයක් ගෙන සාරා බලන්නාවූ සුමේධ තෙම දොර අගුලක් දුටුවේය. (දැක) ‘ස්වාමීනි, දොර අගුලෙකැ’යි කීයේය. බ්‍රාහ්මණ තෙම ‘දොර අගුල ඔසවා දමව, ආයුධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන සාරවන්නාවූ සුමෙධතෙම (පිම්බෙන වර්ගයේ) මැඩියෙකු දුටුයේය. ‘වහන්ස, මැඩියෙකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘මැඩියා ඔසවා දමව, සුමෙධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධතෙම දෙමංසන්ධියක් දුටුයේය. (දැක) ‘වහන්ස, දෙමංසන්ධියකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘දෙමංසන්ධිය උදුරා දමව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන, සාරන්නාවූ සුමෙධතෙම, අළු පෙරහනක් දුටුයේය. ‘ස්වාමීනි අළු පෙරහනකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘අළු පෙරහන උදුරා දමව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධයක් ගෙන සාරන්නාවූ සුමෙධ තෙම ඉදිබුවෙකු දුටුවේය. ‘ස්වාමීනි, ඉදිබුවෙකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘ඉදිබුවා, ගොඩගනුව, සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධ තෙම මස් කපන කැත්තක් හා මස් ලොඹුවක් දුටුවේය. ‘ස්වාමීනි, මස් කපන කැත්තක් හා මස් ලොඹුවකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘මස් කපන කැත්ත හා මස්ලොඹුව ගොඩගනුව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධ තෙම මස්වැදැල්ලක් දුටුයේය. ‘ස්වාමීනි, මස් වැදැල්ලකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘මස් වැදැල්ල ගොඩ ගනුව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධතෙම නාගයෙකු දුටුවේය. ‘ස්වාමීනි, නාගයෙකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘නාගරාජතෙම සිටීවා. නාගරාජයා නොගටව, නාගරාජයාට නමස්කාර කරව’යි කීයේය.

“මහණ, ඔබ මේ ප්‍රශ්නයන් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ විචාරව, ඔබට භාග්‍යවතුන් වහන්සේ යම්සේ ප්‍රකාශ කොට වදාරණසේක්ද එපරිද්දෙන් ඒ ප්‍රශ්න දරාගනුව, මහණ සර්වඥයන් වහන්සේ හැර, සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකයන් හැර, මා කෙරෙන් අසා කියන්නවුන් හැර, මේ ප්‍රශ්නයන් විසඳීමෙන් යමෙක් හිත සතුටු කරන්නේද එබඳු පුද්ගලයෙක් දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලොකයෙහිද ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ පිරිස්හිද නොදක්නෙමි’යි කීයේය, මේ වචනය මෙසේ කියා ඒ බ්‍රහ්මරාජ තෙම එතැන්හිම අතුරුදන් වූයේය.

Msdiv 250 “ඉක්බිත්තෙන් ආයුෂ්මත් කුමාර කාශ්‍යප ස්ථවිරතෙම ඒ රාත්‍රියයේ ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ කුමාරකාශ්‍යප ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය.

“ස්වාමීනි, ඉකුත් රාත්‍රියෙහි එක්තරා බ්‍රහ්මයෙක් තමන්ගේ ශරීර ආලොකයෙන් මුළු අන්ධවනය එකාලොක කොට බබුලුවා මම යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ එක පැත්තක උන්නේය. ස්වාමීනි, එක පැත්තක උන්නාවූ ඒ බ්‍රහ්මයා මටමෙසේ කීවේය.

“මහණ, මහණ, මේ තුඹස රාත්‍රියෙහි දුම් දමයි, දහවල් කාලයෙහි ඇවිලෙයි. බ්‍රාහ්මණයෙක් මෙසේ කීයේය. ‘සුමේධය, ආයුධයක් ගෙන සාරව’යි (කීයේය.) ආයුධයක් ගෙන සාරා බලන්නාවූ සුමේධ තෙම දොර අගුලක් දුටුවේය. (දැක) ‘ස්වාමීනි, දොර අගුලෙකැ”යි කීයේය. බ්‍රාහ්මණ තෙම ‘දොර අගුල ඔසවා දමව, ආයුධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන සාරවන්නාවූ සුමෙධතෙම මැඩියෙකු දුටුයේය. ‘වහන්ස, මැඩියෙකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘මැඩියා ඔසවා දමව, සුමෙධය, ආයුධය ගෙන සාරවයි කීයේය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධතෙම දෙමංසන්ධියක් දුටුයේය. (දැක) ‘වහන්ස, දෙමංසන්ධියකැයි කීයේය. බ්‍රාහ්මණතෙම ‘දෙමංසන්ධිය උදුරා දමව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීයේය. ආයුධය ගෙන, සාරන්නාවූ සුමෙධතෙම, අළු පෙරහනක් දුටුයේය. ‘ස්වාමීනි අළු පෙරහනකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘අළු පෙරහන උදුරා දමව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධයක් ගෙන සාරන්නාවූ සුමෙධ තෙම ඉදිබුවෙකු දුටුවේය. ‘ස්වාමීනි, ඉදිබුවෙකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘ඉදිබුවා, ගොඩගනුව, සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධ තෙම මස් කපන කැත්තක් හා මස් ලොඹුවක් දුටුවේය. ‘ස්වාමීනි, මස් කපන කැත්තක් හා මස් ලොඹුවකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘මස් කපන කැත්ත හා මස්ලොඹුව ගොඩගනුව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධ තෙම මස්වැදැල්ලක් දුටුයේය. ‘ස්වාමීනි, මස් වැදැල්ලකැ’යි කීය. බ්‍රාහ්මණ තෙම ‘මස් වැදැල්ල ගොඩගනුව. සුමෙධය, ආයුධය ගෙන සාරව’යි කීය. ආයුධය ගෙන සාරන්නාවූ සුමෙධතෙම නාගයෙකු දුටුවේය. ‘ස්වාමීනි, නාගයෙකැ’යි කීයේය. බ්‍රාහ්මණතෙම ‘නාගරාජතෙම සිටීවා. නාගරාජයා නොගටව, නාගරාජයාට නමස්කාර කරව’යි කීයේය.

“ස්වාමීනි, තුඹස නම් කුමක්ද? රාත්‍රියෙහි දුම් දැමීම නම් කුමක්ද? දහවල් ඇවිලීම නම් කුමක්ද? බ්‍රාහ්මණ නම් කවරෙක්ද? සුමෙධ නම් කවරෙක්ද? ආයුධය නම් කුමක්ද? සෑරීම නම් කුමක්ද? දොර අගුල නම් කුමක්ද? මැඩියානම් කුමක්ද? දෙමංසන්ධිය නම් කවරක්ද? අළුපෙරහන නම් කුමක්ද? ඉදිබුවා නම් කුමක්ද? මස් කපන කැත්ත හා මස් ලොඹුව නම් කුමක්ද? මස්වැදැල්ල නම් කුමක්ද? නාගරාජයා නම් කවරෙක්ද?”

Msdiv 251 මහණ, තුඹස යනු මවු පිය දෙදෙනා නිසා පහළවූ ආහාර පානයෙන් වැඩුණාවූ, අනිත්‍යවූ, සුවඳ ගැල්වීම් පිරිමැදීම් ආදිය කළ යුතුවූ, කැඩී බිඳී යන සුලුවූ සතර මහාභූතයන්ගෙන් හටගත් මේ ශරීරයට නමකි.

“මහණ, දහවල් කළයුතු ගොවිතැන් වෙළඳාම් ආදී කටයුතු සම්බන්ධයෙන් රාත්‍රි කාලයෙහි නැවත නැවත කල්පනා කරයි. සලකා බලයි. මෙය රාත්‍රියෙහි දුම් දැමීමය.

“මහණ, යමක් රාත්‍රියෙහි කල්පනාකර සලකා බලා, දහවල් ගොවිතැන් වෙළඳාම් ආදියක් කයින් හෝ වචනයෙන් හෝ කරයිද මේ දහවල් ඇවිලීමය.

“මහණ, බ්‍රාහ්මණ යනු අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන්හට නමකි. මහණ, සුමේධ යනු ශෛක්ෂ පුද්ගලයාට (අර්හත් ඵලයට පහළ මාර්ගඵල ලැබූ පුද්ගලයා) නමෙකි.

“මහණ, ආයුධය යනු ආර්ය පුද්ගලයන්ගේ ප්‍රඥාවට නමෙකි. මහණ, සෑරීම යනු වීර්යයට නමකි. මහණ දොර අගුල යනු අවිද්‍යාවට නමකි. සුමෙධය, ආයුධය ගෙන සාරා අවිද්‍යාව නමැති දොර අගුල ගළවා දමව යන අර්ථයි.

“මහණ, (පිම්බෙන වර්ගයේ) මැඩියා යනු ක්‍රොධයට නමකි. සුමෙධය, ආයුධය ගෙන සාරා බලවත් ක්‍රොධය නමැති මැඩියා උගුලා දමව යන අර්ථයි.

“මහණ දෙමංසන්ධිය යනු විචිකිච්ඡාවට හෙවත් සැකයට නමකි. සුමෙධය, ආයුධය ගෙන සාරා විචිකිච්ඡාව නමැති දෙමංසන්ධිය දුරුකරව යන අර්ථයි.

“මහණ, අළු පෙරහන යනු කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණ පහට නමකි ආයුධය ගෙන සාරා පඤ්චනීවරණ නමැති අළු පෙරහන පහකරව යන අර්ථයි.

“මහණ, ඉදිබුවා යනු රූප වෙදනා, පඤ්ඤා, සංඛාර විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පහට නමකි. සුමෙධය, ආයුධ ගෙන සාරා පඤ්චස්කන්ධය නමැති ඉදිබුවා උදුරා දැමීම යන අර්ථයි.

“මහණ මස් කපන කැත්ත හා මස් ලොඹුව යනු පංච කාමයට නමකි. (කවර පංචකාමයටද යත්) ඇසින් රසවින්ද යුතුවූ ප්‍රියවූ, කාන්තවූ, මනාපවූ, කාමසහගතවූ, ඇල්ම ඇතිකරන්නාවූ රූපයෝය. කණින් රස වින්ද යුතුවූ ප්‍රියවූ, කාන්තවූ, මනාපවූ, කාමසහගතවූ ඇල්ම ඇති කරන්නාවූ ශබ්දයෝය. නාසයෙන් රස විඳිය යුතුවූ ප්‍රියවූ, කාන්තවූ මනාපවූ කාමසහගතවූ ගන්ධයෝය, දිවෙන් රස වින්ද යුතුවූ ප්‍රියවූ, කාන්තවූ මනාපවූ කාම සහගතවූ ඇල්ම ඇතිකරන්නාවූ රසයෝය. කයින් රස විඳිය යුතුවූ ප්‍රියවූ, කාන්තවූ, මනාපවූ කාම සහගතවූ, ඇල්ම ඇතිකරන්නාවූ ස්පර්ශයෝය. සුමෙධය, ආයුධය ගෙන සාරා කැත්ත හා මස් ලොඹුව වැනි පඤ්චකාම ගුණ උදුරා දමව යන අදහසයි.

මහණ, මස් වැදැල්ල යනු නන්දිරාගයට නමකි. සුමෙධය, ආයුධය ගෙන සාරා මස්වැදැල්ල නම්වූ නන්දිරාගය දුරු කරව යන අර්ථයි.

“මහණ නාගරාජ යනු කෙලෙස් නැතිකළ රහත් භික්ෂුහට නමෙකි. නාගරාජ තෙම සිටීවා, නාගරාජයාට නොගසව, නාගරාජයාහට නමස්කාර කරවයි යන්නෙහි මේ තේරුමය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුවූ කුමාර කාශ්‍යප ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ මේ වචනය සතුටින් පිළිගත්තේය.

තුන්වෙනිවූ වම්මික සූත්‍රය නිමි.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection