Prepared Chariots
Rathavinīta Sutta
PDFGenerated
Venerable Sāriputta seeks a dialog with an esteemed monk, Venerable Puṇṇa Mantāniputta, and they discuss the stages of purification.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 3. ඔපම්ම වර්ගය 24. රථ විනීත සූත්‍රය Msdiv 252 මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලනන්දකනිවාපනම්වූ වෙලුවන විහාරයෙහි වැඩ වාසය කරති.
එකල්හි බොහෝවූ ජාත භූමක භික්ෂූහු (බුදු රජාණන් වහන්සේ උපන් භූමියවූ කිඹුල්වත්පුර නිවැසි භික්ෂූහු) කිඹුල්වත් පුර නුවර වස්වැස පවාරණයෙන් පසු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකපැත්තක උන්නාහුය. එකපැත්තක උන්නාවූ ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, කිඹුල්වත්පුර නුවර වාසීවූ සමාන බඹසර ඇති භික්ෂූන් අතුරෙන් කවර නම් භික්ෂුවක් මෙසේ ගරු කරන ලද්දේද? තෙමේත් අල්පෙච්ඡව (ස්වල්පයකින් සතුටුව) භික්ෂූන්ටද අල්පෙච්ඡ කථා කියන්නේද? තෙමේත් ලැබුණ ප්‍රත්‍යයකින් සතුටුව භික්ෂූන්ටද ලද දෙයින් සතුටුවීමේ කථා කියන්නේද? තෙමේත් විවේකව වාසය කරමින් භික්ෂූන්ටද විවෙක වාසය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් අන්‍යයන් හා මිශ්‍රනොවී භික්ෂූන්ටත් මිශ්‍ර නොවීම පිළිබඳ කථා කියන්නේද, තෙමේත් පටන් ගත් වීර්ය ඇතිව භික්ෂූන්ටද වීර්ය කිරීම පිළිබඳ කථා කියන්නේද? තෙමේත් ශීලයෙන් යුක්තව භික්ෂූන්ටද සීල සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් සමාධියෙන් යුක්තව භික්ෂූන්ටද සමාධි සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් ප්‍රඥාවෙන් යුක්තව භික්ෂූන්ටද ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් අර්හත් ඵලයෙන් යුක්තව භික්ෂූන්ටද අර්හත් ඵලය පිළිබඳ කථා කියන්නේද? තෙමේත් විමුක්ති ඥාන දර්ශනයෙන් (ප්‍රත්‍යවෙක්ෂා ඥානයෙන්) යුක්තව භික්ෂූන්ටද විමුක්ති ඥානදර්ශන සම්පත්තිය පිළිබඳ කථා කියන්නේද, භික්ෂූන්ට අවවාද කරන්නේද, අවබොධ කරවන්නේද, කරුණු දක්වන්නේද, සමාදන් කරවන්නේද, උත්සාහ උපදවන්නේද, සතුටු කරවන්නේද, (කියාය.)
ස්වාමීනි, ආයුෂ්මත් මන්තානීපුත්‍ර පුණ්ණ නම් ස්ථවිරයන් වහන්සේ ජාත භූමියෙහි ජාත භූමක භික්ෂූන් විසින් මෙසේ ගරු බුහුමන් කරන ලද්දේය.
“තෙමේත් අල්පෙච්ඡව (ස්වල්පයකින් සතුටුව) භික්ෂූන්ටද අල්පෙච්ඡ කථා කියන්නේය. තෙමේත් ලැබුණ ප්‍රත්‍යයකින් සතුටුව භික්ෂූන්ටද ලද දෙයින් සතුටු වීමේ කථා කියන්නේය. තෙමේත් විවෙකව වාසය කරමින් භික්ෂූන්ටද විවෙක වාසය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් අන්‍යයන් හා මිශ්‍ර නොවී භික්ෂූන්ටත් මිශ්‍ර නොවීම පිළිබඳ කථා කියන්නේය. තෙමේත් පටන්ගත් වීර්ය ඇතිව භික්ෂූන්ටද වීර්ය කිරීම පිළිබඳ කථා කියන්නේය. තෙමේත් ශීලයෙන් යුක්තව භික්ෂූන්ටත් සීල සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් සමාධියෙන් යුක්තව භික්ෂූන්ටත් සමාධි සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් ප්‍රඥාවෙන් යුක්තව භික්ෂූන්ටත් ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් අර්හත් ඵලයෙන් යුක්තව භික්ෂූන්ටත් අර්හත්ඵලය පිළිබඳ කථා කියන්නේය. තෙමේත් විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්තව භික්ෂූන්ටත් විමුක්ති ඥාන දර්ශන සම්පත්තිය පිළිබඳ කථා කියන්නේය. භික්ෂූන්ට අවවාද කරන්නේය. අවබොධ කරවන්නේය. කරුණු දක්වන්නේය. සමාදන් කරවන්නේය. උත්සාහ උපදවන්නේය. සතුටු කරවන්නේය” (කියාය.)
Msdiv 253 එකල්හි ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සිටියහ. ඉක්බිති ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මේ කල්පනාව ඇතිවිය. “නුවණැත්තාවූ සමාන බඹසර ඇත්තාවූ භික්ෂූන් ශාස්තෲන් වහන්සේ හමුවෙහි දශ කථා වස්තූන්හට බසිමින් යමෙකුගේ ගුණ මෙසේ කියත්ද ඒ ආයුෂ්මත් මන්තානීපුත්‍ර පුණ්ණ ස්ථවිරයන් වහන්සේට ලාභයකි. මහත් ලාභයකි. අපි කිසියම් දවසක ආයුෂ්මත් මන්තානීපුත්‍ර පුණ්ණ ස්ථවිරයන් හා මුණගැසෙමු නම් හොඳය. කිසියම් කථා සල්ලාපයක් ඇතිවුවහොත් හොඳය’ (කියාය.)
Msdiv 254 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැතිතාක් කල් රජගහනුවර වැඩ සිට, පිළිවෙළින් සැරිසරා සැවැත්නුවරට වැඩියහ. එහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජෙතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරති. මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරට වැඩ අනේපිඬු සිටුහුගේ ජෙතවනාරාමයෙහි වැඩ වාසය කරතියි ඇසූහ.
Msdiv 255 ඉක්බිති මන්තානීපුත්ත පුණ්ණස්ථවිරයන් වහන්සේ තමාගේ සේනාසනය තැන්පත්කොට පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවර යම් තැනකද එහි චාරිකාවෙහි වැඩියහ. පිළිවෙළින් සැරිසරා සැවැත්නුවර ජෙතවනාරාමය යම් තැනකද භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි ළඟා වූහ. ළඟාවී, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්හ. එකත්පසෙක උන් මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. උත්සාහ කරවූහ. සතුටු කරවූහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු දක්වන ලද්දාවූ, සමාදන් කරවන ලද්දාවූ, උත්සාහ කරවන ලද්දාවූ සතුටු කරවන ලද්දාවූ, ආයුෂ්මත් මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණු කොට, අන්ධ වනය යම් තැනෙක්හිද එතැන්හි දහවල් විසීම සඳහා වැඩියේය.
Msdiv 256 ඉක්බිති එක්තරා භික්ෂුවක් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එහි ගියේය. ගොස්, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය. ඇවැත් ශාරීපුත්‍රයෙනි, ඔබ වහන්සේ යම් මන්තානීපුත්ත පුණ්ණ නම් භික්ෂුවක් ගැන නිතර කියන්නහුද ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ උත්සාහ කරවන ලද්දේ, සතුටු කරවන ලද්දේ, භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටුව, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණුකොට අන්ධ වනය යම් තැනෙක්හිද එතැන්හි දහවල් විසීම සඳහා වැඩියේය.” (කියායි.)
ඉක්බිති ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වහා වැඩ හිඳින සම්කඩ ගෙණ මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් පසු-පස උන්වහන්සේ යන අත බලාගෙන ගියහ. ඉක්බිති මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ අන්ධවනයට වැද එක්තරා රුකක් මුල දවල් වාසය සඳහා වැඩහුන්නේය. ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද අන්ධවනයට පැමිණ, එක්තරා රුකක් මුල දවල් වාසය සඳහා වැඩ උන්හ.
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගිටියේ මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිර තෙම යම් තැනකද එහි ගියහ. ගොස්, මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා, එකත්පසෙක වැඩ උන්හ. එකත්පසෙක වැඩඋන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.
Msdiv 257 “ඇවැත්නි, නුඹවහන්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව පුරන්නහුද?
“ඇවැත්නි, එසේය.’
“ඇවැත්නි, කිමෙක්ද, ශීල විශුද්ධිය (ශීලයේ පිරිසිදු බව) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචර්යාව පුරන්නේද?
“ඇවැත්නි, එය එසේ නොවේය.’
“ඇවැත්නි, එසේ නම් චිත්ත විශුද්ධිය (හිතේ පිරිසිදු බව) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව පුරන්නේද?
“ඇවැත්නි, එය එසේ නොවේය”
“ඇවැත්නි, එසේ නම් දෘෂ්ටි විශුද්ධිය (නාම රූප දෙක ඇති සැටි දැකීම) පිණිස බුදුන් සමීපයෙහි බ්‍රහ්මචරියාව පුරන්නේද?
“ඇවැත්නි, එය එසේ නොවේය’
“ඇවැත්නි, එසේ නම් කංඛාවිතරණ විශුද්ධිය (නාම රූපයන් පිළිබඳ සැක දුරුකිරීම) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්ම චරියාව රකින්නේද?
“ඇවැත්නි, එය එසේ නොවේය.
“ඇවැත්නි, එසේ නම් මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය (මග නොමග දැනීම) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ‘බ්‍රහ්මචරියාව රකින්නේද?’
“ඇවැත්නි, එය එසේ නොවේය.’
“ඇවැත්නි, එසේ නම්, (පටිපදාඤාණදස්සන විශුද්ධිය) මුදුන් පැමිණි විදර්ශනා ඥානය හා (සත්‍යානුලොමික ඥානය) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නේද?’
“ඇවැත්නි, එය එසේ නොවේය.’
“ඇවැත්නි, එසේ නම් ඤාණදස්සන විශුද්ධිය (සෝවාන් ආදී සතර මාර්ග ඥානය) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නේද?’
“ඇවැත්නි, එසේ නොවේය.’
“කිමෙක්ද? ඇවැත්නි, සීල විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නේ දැයි ප්‍රශ්න කළ විට නැතැයි කියන්නෙහිය. කිමෙක්ද? ඇවැත්නි, චිත්ත විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහිදැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? දිට්ඨි විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහිදැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය, ඇවැත්නි, කිමෙක්ද? කංඛාවිතරණ විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහි දැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහිදැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? පටිපදා ඤාණදස්සන විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහිදැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද? ඤාණදස්සන විශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙහි දැයි ඇසූවිටද නැතැයි කියන්නෙහිය.
“ඇවැත්නි, එසේ නම් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි කුමක් පිණිස බ්‍රහ්මචරියාව රකින්නේද? ‘ඇවැත්නි, අනුපාදා පරිනිර්වාණය (හෙතු ප්‍රත්‍යයන් නිසා හටගැනීමක් නැති අසංඛත නිර්වාණ ධාතුව) පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව රකින්නෙමි’.
“කිමෙක්ද? ඇවැත්නි, සීල විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයද,
“ඇවැත්නි, එය එසේ නොවේ.
“කිමෙක්ද? ඇවැත්නි, චිත්ත විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයද?
“ඇවැත්නි’ එය එසේ නොවේ’
“ඇවැත්නි, කිමෙක්ද දිට්ඨි විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයද?
“ඇවැත්නි, එය එසේ නොවේ.’
“ඇවැත්නි, කිමෙක්ද කංඛාවිතරණ විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයද?
“ඇවැත්නි, එය එසේ නොවේ.’
“ඇවැත්නි, කිමෙක්ද, මග්ගාමග්ග ඤාණ දස්සන විශුද්ධිය අනුපාද පරිනිර්වාණයද?
“ඇවැත්නි, එය එසේ නොවේ.’
“ඇවැත්නි කිමෙක්ද, පටිපදා ඤාණදස්සන විශුද්ධිය, අනුපාදා පරිනිර්වාණයද?
“ඇවැත්නි, එය එසේ නොවේ.’
“ඇවැත්නි, කිමෙක්ද ඤාණ දස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයද?
“ඇවැත්නි, එය එසේ නොවේ.’
“කිමෙක්ද ඇවැත්නි, මේ ධර්ම හැර හෝ මේ ධර්මවලින් පිටත්හි අනුපාදා පරිනිර්වාණය වේද ‘ඇවැත්නි, එය එසේ නොවේ.’
“කිමෙක්ද ඇවැත්නි, සීල විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයදැයි ඇසූ විට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද, චිත්ත විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයදැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය. කිමෙක්ද ඇවැත්නි, දිට්ඨි විශුද්ධිය අනුපාදා පරිනිර්වාණය දැයි ඇසූ විට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද කංඛාවිතරණ විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයදැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද මග්ගාමග්ග ඤාණ දස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණය දැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි කිමෙක්ද, පටිපදා ඤාණ දස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණය දැයි ඇසූ විට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, කිමෙක්ද ඤාණදස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණය දැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය.
“ඇවැත්නි, මේ ධර්ම හැර හෝ මේ ධර්මවලින් පිටත්හි අනුපාදා පරිනිර්වාණය වේදැයි ඇසූවිට නැතැයි කියන්නෙහිය. ඇවැත්නි, මේ කීමෙහි අර්ථය කෙසේ දතයුතුද?”
Msdiv 258 “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සීල විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන (තෘෂ්ණාදියෙන් අල්වා ගැනීම් සහිතවූවක්, ප්‍රත්‍යයෙන් හටගැනීම් සහිත වූවක්ම) අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේය.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ චිත්ත විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන සහිතවූ අනුපාදා පරිනිර්වාණයක් පනවන්නේය.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දිට්ඨිවිශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන සහිතවූ අනුපාදා පරිනිර්වාණයක්ම පනවන්නේය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ කංඛාවිතරණ විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන සහිතවූ අනුපාදා පරිනිර්වාණයක්ම පනවන්නේය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන සහිතවූ අනුපාදා පරිනිර්වාණයක්ම පනවන්නේය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ පටිපදා ඤාණදස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන සහිතවූ අනුපාදා පරිනිර්වාණයක්ම පනවන්නේය. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ඤාණදස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයයයි පනවන්නේ නම් උපාදාන සහිතවූ අනුපාදා පරිනිර්වාණයක්ම පනවන්නේය. ඇවැත්නි, මේ ධර්මවලින් අන්‍යවූ අනුපාදා පරිනිර්වාණයක් පනවන්නේ නම් පෘථග්ජන තෙම පිරිනිවන්පාන්නේය. ඇවැත්නි, මෙයින් අන්‍යවූ පුද්ගලයා නම් පෘථග්ජනයාය.
“ඇවැත්නි, එසේ වීනම් මම ඔබට උපමාවක් දක්වන්නෙමි. උපමාවෙන්ද මේ ලෝකයෙහි ඇතැම් නුවණැත්තෝ කියන දෙයෙහි අර්ථය වටහා ගනිති.
Msdiv 259 “ඇවැත්නි, සැවැත්නුවර වසන පසෙනදි කොසොල් රජහට සාකෙත නුවර කිසියම් හදිසි කටයුත්තක් ඇතිවෙයි. සැවැත්නුවර හා සාකෙතනුවර අතර ඕහට හික්මුණු ආජානීය අසුන් යෙදූ රථසතක් පිළියෙල කර තබන්නාහුය. ඇවැත්නි, පසෙනදි කොසොල් රජතෙම සැවැත් නුවරින් නික්ම ඇතුළු නුවර දොරටුව අසලදී හික්මුණු අසුන් යෙදූ පළමුවන රථයට නගින්නේය. පළමුවන රථයෙන් හික්මුණු අශ්වයන් යෙදූ දෙවෙනි රථය වෙතට පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදූ පළමුවන රථය හරනේය. දෙවන රථයෙන් හික්මුණු අසුන් යෙදූ තුන්වෙනි රථය වෙතට පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදූ දෙවෙනි රථය අත්හරින්නේය. හික්මුණු අසුන් යෙදූ තුන්වෙනි රථයෙන් හික්මුණු අසුන් යෙදූ හතරවෙනි රථය වෙතට පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදූ තුන්වෙනි රථය අත්හරින්නේය. හික්මුණු අසුන යෙදූ හතරවෙනි රථයෙන් හික්මුණු අසුන් යෙදූ පස්වෙනි රථය වෙතට පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදූ හතරවෙනි රථය අත්හරින්නේය. හික්මුණු අසුන් යෙදූ පස්වෙනි රථයෙන් හික්මුණු අසුන් යෙදූ හයවෙනි රථය වෙත පැමිණෙන්නේය. හික්මුණු අසුන් යෙදූ පස්වෙනි රථය අත්හරින්නේය. හික්මුණු අසුන් යෙදූ හයවෙනි රථයෙන් හික්මුණු අසුන් යෙදූ හත්වෙනි රථය ඇති තැනකට පැමිණෙන්නේය. හයවෙනි රථය අත්හරින්නේය. හික්මුණු අසුන් යෙදූ හත්වෙනි රථයෙන් සාකෙත නුවර ඇතුල් නුවර දොර සමීපයට පැමිණෙන්නේය. ඇතුල් නුවර දොරටු කරා ඒ රජු පැමිණි කල්හි මිත්‍රාමාත්‍යයෝද නෑ සහ ලේ නෑයෝද මෙසේ විචාරන්නාහුය. ‘මහරජ, ඔබ මේ රථයෙන් සැවැත්නුවර සිට සාකෙත නුවර දොරටුව කරා පැමිණියෙහිදැ’යි (කියායි.)
“ඇවැත්නි, කෙසේ ප්‍රකාශ කරන්නාවූ පසෙනදී කොසොල් රජ තෙමේ මනාකොට ප්‍රකාශ කරන්නේද?
“ඇවැත්නි, මනාව ප්‍රකාශකරන්නාවූ පසෙනදි කොසොල් රජතෙම මෙසේ ප්‍රකාශ කරන්නේය. ‘සැවැත්නුවර වාසය කරන්නාවූ මට සාකෙතනුවර හදිසි කටයුත්තක් ඇතිවිය. ඒ මට සැවැත්නුවර හා සාකෙත නුවර අතර හික්මුණු අසුන් යෙදූ
රථ හතක් පිළියෙල කළහ. ඉක්බිති මම සැවැත්නුවරින් පිටත්වී ඇතුලු නුවර දොරටුව අසලදී පළමුවෙනි රථයට නැගී ගමන්කර දෙවෙනි රථය වෙත පැමිණියෙමි. පළමුවෙනි රථය අත්හළෙමි. දෙවෙනි රථයෙන් තුන්වෙනි රථය ඇති තැනට පැමිණියෙමි. දෙවෙනි රථය අත්හැරියෙමි. තුන්වෙනි රථයෙන් හතරවෙනි රථය ඇති තැනට පැමිණියෙමි. තුන්වෙනි රථය අත්හැරියෙමි. හතරවෙනි රථයෙන් පස්වෙනි රථය ඇති තැනට පැමිණියෙමි. හතරවෙනි රථය අත්හැරියෙමි. පස්වෙනි රථයෙන් හයවෙනි රථය ඇති තැනට පැමිණියෙමි. පස්වෙනි රථය අත්හැරියෙමි. හයවෙනි රථයෙන් හත්වෙනි රථය ඇති තැනට පැමිණියෙමි. සයවෙනි රථය අත්හැරියෙමි.’
“ඇවැත්නි, මෙසේ ප්‍රකාශ කරන්නාවූ පසෙනදි කොසොල් රජතෙම මනාව ප්‍රකාශ කරන්නේය.
“ඇවැත්නි, සීලවිශුද්ධිය චිත්තවිශුද්ධිය ලැබීම ප්‍රයෝජන කොට ඇත්තීය. චිත්ත විශුද්ධිය දිට්ඨිවිශුද්ධිය ලැබීම ප්‍රයොජනකොට ඇත්තීය. දිට්ඨිවිශුද්ධිය කංඛාවිතරණ විශුද්ධිය ලැබීම ප්‍රයොජනකොට ඇත්තීය. කංඛාවිතරණ විශුද්ධිය මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය ලැබීම ප්‍රයෝජන කොට ඇත්තීය. මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය පටිපදා ඤාණස්සන විශුද්ධිය ලැබීම ප්‍රයෝජනකොට ඇත්තීය. පටිපදා ඤාණදස්සන විශුද්ධිය ඤාණදස්සන විශුද්ධිය ලැබීම ප්‍රයෝජනකොට ඇත්තීය. ඤාණදස්සන විශුද්ධිය අනුපාදා පරිනිර්වාණයට පැමිණීම ප්‍රයෝජනකොට ඇත්තීය.
“ඇවැත්නි අනුපාදා පරිනිර්වාණය පිණිස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචරියාව පුරන්නේය.”
Msdiv 260 “මෙසේ කීකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. “ආයුෂ්මත් තෙම කිනම් ඇත්තේද? ආයුෂ්මතුන්ට කවර නමක් සබ්‍රම්සරුහු ව්‍යවහාර කරත්ද?” ඇවැත්නි, පුණ්ණය යනු මාගේ නමය. සබ්‍රම්සරහු මට මන්තානීපුත්ත යයිද ව්‍යවහාර කරත්” “ඇවැත්නි, ආශ්චර්යය, අද්භූතය. මනාකොට ශාස්තෘ ශාසනය දන්නාවූ ශ්‍රාවකයකු විසින් යම්සේ නම් එපරිද්දෙන්ම මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ විසින් ගැඹුරු ගැඹුරුවූ ප්‍රශ්නයෝ දශ කථා වස්තූන්ට පිවිසෙමින් පිවිසෙමින් ප්‍රකාශ කරන ලද්දාහ.
“යම් කෙනෙක් ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේගේ දැකීම ලබත්ද, සේවනය ලබත් ද ඒ සබ්‍රම්චාරීන්හට ලාභයක්ම වන්නේය, මහත් ලාභයක්ම වන්නේය. සබ්‍රම්සරහු වස්තු දරණුවක් හිස තබා ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේ එහි වඩා හිඳුවා හිස් මුදුනෙහි තබාගෙන ඇවිදිමින් දැකීම ලබත්ද, සේවනය ලබත්ද, ඔවුන්ටද ලාභයකි. ඔවුන්ටද මහත්ම ලාභයකි. අපිද ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේ දකිමුද, සේවනය කරමුද, එය අපටද ලාභයකි, මහත් ලාභයකි,’ මෙසේ කී කල්හි ආයුෂමත් මන්තානීපුත්ත පුණ්ණ ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ ආයුෂ්මතුන් වහන්සේ කිනම් ඇත්තේද? සබ්‍රම්සරහු ආයුෂ්මතුන් වහන්සේ කවර නමකින් ව්‍යවහාර කරත්ද?”
“ඇවැත්නි, මගේ නම උපතිස්ස සබ්‍රම්සරහු මට ශාරීපුත්‍රයයි කියති.”
“ශාස්තෲන් වහන්සේ හා සමාන ශ්‍රාවකයෙකු සමග කථා කරමිනුත් ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේයයි නොදනුම්හ. ඉදින් වනාහි අපි ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේයයි දන්නෙමු නම් මෙපමණකුත් කථා නොකරන්නෙමු.
“ඇවැත්නි, ආශ්චර්යය, අද්භූතය, මනාකොට ශාස්තෘ ශාසනය දන්නාවූ ශ්‍රාවකයෙකු විසින් යම්සේ නම් එසේ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් දශකථාවස්තුවලට බැස බැස ගැඹුරු ගැඹුරුවූ ප්‍රශ්න විචාරන ලදහ.”
“යමෙක් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දැකීම ලබත්ද, ආශ්‍රය ලබත්ද, එය ඒ සබ්‍රම්සරුන්හට ලාභයකි. මහත්ම ලාභයකි. සබ්‍රම් සරහු වස්ත්‍ර දරණුවක් හිස තබා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ එහි වඩාහිඳුවා හිස්මුදුනෙහි තබාගෙන පරිහරණය කරත්ද, දකිත්ද, සෙවනය කරත්ද ඔවුනට ලාභයකි, මහත්ම ලාභයකි. අපිද ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ දකිමුද, ආශ්‍රය කරමුද, ඒ අපටද ලාභයකි. මහත්ම ලාභයකි.”
මෙසේ ඒ මහා නාගයෝ දෙදෙන (මහරහත් දෙනම) අන්‍යොන්‍යයන්ගේ යහපත් වචන සතුටින් අනුමෝදන් වූහ.
සතරවෙනිවූ රථ විනීත සූත්‍රය නිමි.
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source