The Longer Simile of the Elephant’s Footprint
Mahāhatthipadopama Sutta
PDFGenerated
Sāriputta gives an elaborate demonstration of how, just as any footprint can fit inside an elephant’s, all the Buddha’s teaching can fit inside the four noble truths. This offers an overall template for organizing the Buddha’s teachings.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 3. ඔපම්ම වර්ගය 28. මහා හත්ථිපදොපම සූත්‍රය Msdiv 300 මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර, ජෙතවන නම් වූ අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි මහණෙනියි” භික්ෂූන්ට කථා කළහ. “ඇවැත්නි”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ.
“ඇවැත්නි, පොළොවෙහි හැසිරෙන්නාවූ (පා ඇති) ප්‍රාණීන්ගේ යම්කිසි පා සටහන් වෙත්ද, ඒ සියල්ල ඇත් පියවරෙහි ඇතුළත් වෙත්ද ඔවුන් අතුරෙන් ඇත් පියවර මහත් බැවින් අග්‍රයයි යම්සේ කියනු ලැබේද, එපරිද්දෙන්ම ඇවැත්නි, යම්කිසි කුසල ධර්මයෝ වෙත්ද, ඒ සියල්ල චතුරාර්ය සත්‍යයෙහි ඇතුළත් වෙත්. කවර සතරෙක්හිද යත්? දුක්ඛ ආර්ය සත්‍යයෙහි, දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙහි, දුක්ඛ නිරොධ ආර්ය සත්‍යයෙහි, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයෙහි යන මේ සතරෙහිය.
Msdiv 301 “ඇවැත්නි, දුක්ඛ ආර්ය සත්‍යය නම් කවරේද? ඉපදීමද දුකය, ජරාවද (මහලු වීම) දුකය, මරණයද දුකය, ශොකයද දුකය, (විලාප කියා) හැඬීමද දුකය, කායික දුකද දුකය, සිතේ දුකද දුකය, දැඩි වෙහෙසද දුකය, කැමති වන යමක් නොලබාද එයද දුකය, කොටින්ම පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයෝම දුක් වන්නාහ. ඇවැත්නි, පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයෝ නම්කවරහුද? ඒ මොව්හුය. රූප උපාදාන ස්කන්ධය, වෙදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංස්කාර උපාදාන ස්කන්ධය, විඤ්ඤාණ උපාදාන ස්කන්ධය, (යන මේයි.)
“ඇවැත්නි, රූප උපාදාන ස්කන්ධය නම් කවරේද? මහා භූත රූප සතර හා සතර මහා භූතයන්ගේ උපාදාය රූපයෝය.
“ඇවැත්නි, සතර මහා භූතයෝ කවරහුද? පඨවි ධාතුවද, (තද ගතිය) ආපෝ ධාතුවද, (බැඳීම් ගතිය) තෙජෝ ධාතුවද, (උෂ්ණ ගතිය) වායෝ ධාතුවද, (පිම්බෙන ගතිය) යන සතරයි.
Msdiv 302 “ඇවැත්නි, පෘථිවි ධාතුව කවරීද? ආධ්‍යාත්මිකවූ පෘථිවි ධාතුවක්ද වන්නීය, බාහිරවූ පෘථිවි ධාතුවක්ද වන්නීය, ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ පෘථිවි ධාතුව කවරීද? තමා තුළවූ කර්කසවූ, තදවූ, ජීවිතය සහිතවූ, යම් ද්‍රව්‍යයක් වේද, එනම් කෙස්ය, ලොමය, නියය, දත්ය, සමය, මස්ය, නහරය, ඇටය, ඇටමිදුලුය, වකුගඩුය, හෘදයමාංසයය, අක්මාවය, දලබුවය, බඩදිවය, පපුමසය, බඩවැලය, නොපැසුණු ආහාරය, පැසුණු ආහාරය, (මලය) යන මෙයද, මෙයින් අන්‍යවූ ආධ්‍යාත්මිකවූ, වෙන් වශයෙන්වූ, රළුවූ තදවූ, ජීවිතය සහිතවූ යම් කිසිවක් හෝ ඇද්ද, ඇවැත්නි, මේ සියල්ල ආධ්‍යාත්මික පෘථිවි ධාතුවයයි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික පඨවි ධාතුවක් වේද? යම් බාහිර පඨවි ධාතුවක් වේද? මේ දෙකම පඨවි ධාතුවමැයි. ඒ මේ දෙයාකාර පඨවි ධාතුවම ‘මගේ’ නොවෙයි. ‘මම’ නොවෙමි. මේ මාගේ ‘ආත්මය’ නොවෙයි. ‘මම’ නොවෙමි. මෙය මාගේ ‘ආත්මය’ නොවේ යයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් (විදර්ශනා) නුවණින් දත යුතුයි. මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් (විදර්ශනා) නුවණින් දැක, පෘථිවි ධාතුව කෙරෙහි කලකිරෙයි. පෘථිවි ධාතුව කෙරෙහි සිත නොඅලවයි.
“ඇවැත්නි, යම් හෙයකින් බාහිර ආපො ධාතුව (බැඳීම්ගතිය) කිපේද, එබඳු කාලයක් වේමැයි. එකල්හි බාහිර පෘථිවි ධාතුව අතුරුදහන්වෙයි. ඇවැත්නි, ඒ තරම් වැඩුණ ඒ බාහිර පෘථිවි ධාතුවගේ අනිත්‍ය බව පෙනෙන්නේය. නැතිවන ස්වභාව පෙනෙන්නේය. විනාශ වන ස්වභාව පෙනෙන්නේය. වෙනස් වන ස්වභාව පෙනෙන්නේය. ස්වල්ප කාලයක් පවතින්නාවූ, තණ්හාවෙන් අල්වා ගන්නා ලද්දාවූ, මේ ශරීරය ගැන ‘මම’ය කියා හෝ ‘මාගේය’ කියා හෝ ‘මම වෙමි’යි කියා ගැනීම කිමෙක වන්නේද? එසේ ඇති කල්හි මේ පෘථිවි ධාතු විෂයෙහි (එබඳු ගැන්මක්) ඔහුට නොවේමැයි.
“ඇවැත්නි, ඒ මහණහට අන්‍යයෝ ආක්‍රොෂ කෙරෙද්ද, අපහාස කෙරෙද්ද, කොප කරවද්ද, වෙහෙසද්ද, හෙතෙම මෙසේ දනියි (සොතද්වාරයෙහි) කනෙහි හටගත් ස්පර්ශයෙන් උපන් දුක් වේදනාවක් මට උපන්නී වෙයි. ඒ වේදනාවද ප්‍රත්‍යයෙන් හටගත්තේයි ප්‍රත්‍යය රහිත නොවෙයි කුමක් ප්‍රත්‍යය කොටද? ස්පර්ශය ප්‍රත්‍යය කොටය, හෙතෙමේ ස්පර්ශය අනිත්‍යයයි දකියි, වේදනාව අනිත්‍යයයි දකියි, සංඥාව අනිත්‍යයයි දකියි, සංස්කාරයෝ අනිත්‍යයහයි දකියි, විඤ්ඤාණය අනිත්‍යයයි දකියි, ඔහුගේ සිත ධාතු අරමුණුකොටගෙනම පවතියි, එහිම පහදියි, එහිම සිටියි, ස්ථිර බවට පැමිණෙයි.
“ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යයෝ ප්‍රිය නොවූ කැමති නොවූ, සිත් නොගන්නාවූ දෙයින් එනම්, අතින් පහරදීමෙන්ද, කැට කැබළිතිවලින් පහර දීමෙන්ද දඬුවලින් පහර දීමෙන්ද හැසිරෙත්. (එකල්හි) හෙතෙම මෙසේ දකියි. යම්බඳු ස්වභාවක් ඇති ශරීරයෙහි අත් වදිද්ද, කැට කැබලිති වදිද්ද දඬු වදිද්ද, මේ ශරීරය එබඳු ස්වභාව ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කකචූපම (කියත් උපමා) අවවාදයෙහිදී මෙසේ වදාරණ ලදී.
“මහණෙනි, පහත් පැවතුම් ඇති සොරු දෙපස දඬු (මිටවල්) ඇති කියතකින් අඟ පසඟ කපද්ද ඒ සොරුන් කෙරෙහිද යමෙක් සිත නරක් කෙරේද, ඒ ඔහු මාගේ අනුශාසනාව කරන්නේ නොවේ”යයි වදාරණ ලදී. ‘මා විසින් වීර්යය පටන්ගන්නා ලද්දේය (මගේ) වීර්යය නොහැකුළුණේය සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළා නොවීය. කය සංසිඳුනේය. බර සැහැල්ලු විය. සිත සමාධියට පැමිණියේය එකඟ විය. කැමතිසේ මේ ශරීරයෙහි අත් වදිත්වා, කැට කැබිලිති වදිත්වා, දඬු වදිත්වා, කඩු වදිත්වා, මේ (මා විසින්) බුද්ධානුශාසනය කරනු ලැබේ’ (කියායි.)
“ඇවැත්නි, මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ මෙසේ ධර්මය සිහිකරන්නාවූ,මෙසේ සංඝයා සිහිකරන්නාවූ ඒ භික්ෂුවහට විදර්ශනා උපෙක්ෂා කුසලය ඇති නොවෙයි. ඒ භික්ෂුව එය කරණකොටගෙන සංවේගයට පැමිණෙයි. මෙසේ බුදුන්වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ, යම්බඳුවූ, මට විදර්ශනා උපෙක්ෂා කුසලය පහළ නොවේද, එය ඒකාන්තයෙන් මට ලාභයක් නොවෙයි. අලාභයෙකි. යහපත් ලැබීමක් නොවෙයි අයහපත් ලැබීමකි.’ (කියායි)
“ඇවැත්නි, යම්සේ ලේලිය පුරුෂයාගේ පියා දැක (බය ලැජ්ජා ගතියකට) පැමිණෙයිද, ඇවැත්නි, එපරිද්දෙන්ම මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහිකරන්නාවූ, මෙසේ සංඝයා සිහිකරන්නාවූ, ඒ භික්ෂුවට විදර්ශනා කුසල උපේක්ෂාව නොපිහිටයිද, ඒ භික්ෂුව එයින් කලකිරෙයි. සංවේගයට පැමිණෙයි. මෙසේ බුදුන්වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ ඒ මට විදර්ශනා කුශල උපේක්ෂාව නොපිහිටයිද, එය මට ඒකාන්තයෙන් ලාභයෙක් නොවෙයි, අලාභයකි එකාන්තයෙන් යහපත් ලැබීමක් නොවෙයි. නොමනා ලැබීමකි, (කියායි) ‘ඇවැත්නි, මෙසේ බුදුන්වහන්සේ සිහිකරන්නාවූ ඒ භික්ෂුවට ඡළඩ්ග උපෙක්ෂාව පහළ වෙයිද ඒ භික්ෂුව එයින් සතුටට පැමිණෙයි. ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝවූ ගුණධර්ම සපයන ලද්දේ වෙයි.
Msdiv 303 “ඇවැත්නි, ආපො ධාතුව කවරීද? ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ ආපො ධාතුවක් වන්නීය, බාහිරවූ ආපො ධාතුවක් වන්නීය, ඇවැත්නි, ආධ්‍යාත්මික ආපො ධාතුව කවරීද? යමක් තමා තුළ පැවැත්තේද තමා නිසා පැවැත්තේද ජීවිතය හා එක්ව පවත්නාවූ දියගතිය ඇත්තාවූ, ආපො ධාතුවක් වේද, එනම් පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේදයය, කඳුලුය, මස් තෙලය, කෙලය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය, මෙයින් අන්‍යවූ යමක් තමා තුළ පැවැත්තේද, තමා නිසා පැවැත්තේද ජීවිතය ඇත්තාවූ, දියගතිය ඇත්තාවූ යම් ආපො ධාතුවක් වේද මෙය ආධ්‍යාත්මික ආපො ධාතුවයි යම් ආධ්‍යාත්මික ආපොධාතුවක් වේද, යම් බාහිර ආපො ධාතුවක් වේද මේ දෙකම ආපො ධාතුවමැයි ඒ මේ ආපො ධාතුව ‘මාගේ’ නොවෙයි, මේ ආපො ධාතුව ‘මම’ නොවෙමි. මෙය මාගේ ‘ආත්මය’ නොවෙයි. මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් (විදර්ශනා) නුවණින් දතයුතුයි. මෙසේ මෙය ඇතිසැටියෙන් යහපත් (විදර්ශනා) නුවණින් දැක ආපො ධාතුව කෙරෙහි සංවේගයට පැමිණෙයි. ආපො ධාතුව කෙරෙහි සිත නොඅලවයි.
“ඇවැත්නි, යම් කලක පිටතවූ ආපො ධාතුව විශෙෂයෙන් කිපුනේවේද, එබඳු කාලයක් වේමැයි. එකල්හි වනාහි (දිය වශයෙන් වැඩුනු) ඒ ආපො ධාතුව ගමත් යට කරගෙන ගලයි. නගරද යට කරයි, ජනපදද යට කරයි. ජනපද ප්‍රදෙශද යට කරයි. ඇවැත්නි, මහා සාගරයෙහි යොදුන් සියයක් පමණ තැන පැතිර සිටි ජලයද සිඳී බසියි. දෙසියයක් පමණ තැන පැතිරසිටි ජලයද සිඳී බසියි. යොදුන් තුන්සියයක් පමණ තැන පැතිරසිටි ජලයද සිඳී, බසියි. යොදුන් හාරසියයක් පමණ තැන පැතිර සිටි ජලයද සිඳී බසියි යොදුන් පන්සියයක් පමණ තැන පැතිර සිටි ජලයද සිඳී බසියි. යොදුන් හය සියයක් පමණ තැන පැතිර සිටි ජලයද සිඳී, බසියි. යොදුන් සත්සියයක් පමණ තැන පැතිර සිටි ජලයද සිඳී, බසියි.
“යම් කලක මහමුහුදෙහි ජලය සත් තලක් (තල්ගස් සතක්) පමණ සිටියිද, සයතලක් පමණ සිටියිද පස් තලක් පමණ සිටියිද, සිව් තලක් පමණ සිටියිද, තුන් තලක් පමණ සිටියිද, දෙතලක් පමණ සිටියිද, තලක් පමණ සිටියිද එබඳු කාලයක් මැයි.
“ඇවැත්නි යම් කලක මහමුහුදෙහි ජලය පුරුෂ ප්‍රමාණ (මිනිසෙකුගේ උස) සතක් සිටියිද, පුරුෂ ප්‍රමාණ සයක් ජලය සිටියිද, පුරුෂ ප්‍රමාණ පසක් ජලය සිටියිද, පුරුෂ ප්‍රමාණ සතරක් ජලය සිටියිද, පුරුෂ ප්‍රමාණ තුනක් ජලය සිටියිද, පුරුෂ ප්‍රමාණ දෙකක් ජලය ජලය සිටියිද, එක් පුරුෂ ප්‍රමාණයක් ජලය සිටියිද එබඳු කාලයක් වේමැයි.
“ඇවැත්නි, යම් කලෙක මහ මුහුදෙහි පුරුෂ ප්‍රමාණයකින් අඩක් ජලය සිටියිද, ගොප්මස පමණට ජලය සිටියිද, ඇවැත්නි, යම් කලෙක මහමුහුදෙහි ජලය ඇඟිලි පුරුකක් තෙමෙන පමණකුත් නොවෙයිද එබඳු කාලයක් වේමැයි.
“එහෙයින් ඇවැත්නි, එපමණ මහත්වූ බාහිර ආපො ධාතුවෙහිද, අනිත්‍ය ස්වභාවය පෙනෙන්නේය. නැතිවන ස්වභාවය පෙනෙන්නේය. විනාශ වන ස්වභාවය පෙනෙන්නේය. වෙනස් වන ස්වභාවය පෙනෙන්නේය. ස්වල්ප කාලයක් පවතින්නාවූ, තණ්හාවෙන් අල්වාගන්නා ලද්දාවූ, මේ ශරීරය ගැන ‘මම’ය කියා හෝ, ‘මාගේ’ය කියා හෝ ‘මම වෙමි’යි කියා හෝ කිමෙක වන්නේද? එසේ ඇති කල්හි මේ ආපො ධාතුව විෂයෙහි (එබඳු ගැන්මක්) ඔහුට නොවේමැයි.
“ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යයෝ ආක්‍රෝෂ කෙරෙද්ද, අපහාස කෙරෙද්ද, (භික්ෂුව) කොප කරවද්ද, වෙහෙසවද්ද, හෙතෙම මෙසේ දනියි, සොතද්වාරයෙහි ඇතිවූ ස්පර්ශයෙන් උපන් දුක් වේදනාවක් උපන්නී වෙයි. ඒ වේදනාවද ප්‍රත්‍යය නිසා හටගත්තීය. ප්‍රත්‍ය රහිතව නොවෙයි. කුමක් ප්‍රත්‍යය කොටද? ස්පර්ශය ප්‍රත්‍යය කොටය. ඒ ස්පර්ශය අනිත්‍යයයි දකියි. ඒ වේදනාව අනිත්‍යයයි දකියි. සංඥාව අනිත්‍යය යයි දකියි. සංස්කාරයෝ අනිත්‍යයයි දකියි. විඤ්ඤාණය අනිත්‍යය යයි දකියි. ඔහුගේ සිත ධාතු අරමුණු කොටගෙනම පවතියි, එහිම පහදියි, එහිම සිටියි. ස්ථිර බවට පැමිණෙයි.
“ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යයෝ ප්‍රිය නොවූ, කැමති නොවූ, සිත් නොගන්නාවූ දෙයින් එනම් අතින් පහර දීමෙන්ද, කැට කැබිලිතිවලින් පහර දීමෙන්ද, දඬුවලින් පහර දීමෙන්ද, හැසිරෙත්. (එකල්හි) හෙතෙම මෙසේ දකියි. යම්බඳු ස්වභාවයක් ඇති මේ ශරීරයෙහි අත් වදිද්ද, කැට කැබලිති වදිද්ද, දඬු වදිද්ද, මේ ශරීරය එබඳු ස්වභාව ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කකචූපම අවවාදයෙහිදීද මෙසේ වදාරණ ලදී.
“මහණෙනි, පහත් පැවතුම් ඇති සොරු දෙපස දඬු ඇති කියතකින් අඟ පසඟ කපද්ද, ඒ සොරුන් කෙරෙහිද යමෙක් සිත නරක් කෙරේද, ඒ ඔහු මාගේ අනුශාසනාව කරන්නේ නොවෙයි, (කියාය.) “මා විසින් වීර්ය පටන්ගන්නා ලද්දේය. වීර්යය නොහැකුළුණේය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළා නොවීය. කය සංසිඳුණේය. කයෙහි බර ඇරුනේය. බර සැහැල්ලු විය. සිත සමාධියට පැමිණියේය. එකඟය. කැමතිසේ මේ ශරීරයෙහි අත් වදිත්වා කැට කැබලිති වදිත්වා, දඬු වදිත්වා, කඩු වදිත්වා මේ (මා විසින්) බුද්ධානුශාසනය කරනු ලැබේ”යි කියායි.
“ඇවැත්නි, මෙසේ බුදුන් වහන්සේ සිහිකරන්නාවූ, මෙසේ ධර්මය සිහිකරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ ඒ භික්ෂුවහට විදර්ශනා කුසල උපේක්ෂාව පහළ නොවෙයි. ඒ භික්ෂුව එය කරණ කොට ගෙන සංවේගයට පැමිණෙයි.
“මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ, සම්බුදුවූ මට විදර්ශනා කුශල උපේක්ෂාව පහළ නොවේද, එය එකාන්තයෙන් මට ලාභයක් නොවේ, අලාභයෙකි. ඒකාන්තයෙන් මට යහපත් ලැබීමක් නොවේ, අයහපත් ලැබීමකි. (කියායි)
“ඇවැත්නි, යම්සේ ලේලිය පුරුෂයාගේ පියා දැක (බය ලැජ්ජා ගතියකට) පැමිණෙයිද, ඇවැත්නි, එපරිද්දෙන්ම මෙසේ බුදුන් වහන්සේ සිහිකරන්නාවූ, මෙසේ ධර්මය සිහිකරන්නාවූ, සංඝයා සිහිකරන්නාවූ ඒ භික්ෂුවට විදර්ශනා කුශල උපෙක්ෂාව නොසිටියි. ඒ භික්ෂුව එයින් කලකිරෙයි සංවේගයට පැමිණෙයි.
“මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ, යම් බඳුවූ මට විදර්ශනා කුශල උපෙක්ෂාව, පහළ නොවේද එය ඒකාන්තයෙන් ලාභයක් නොව අලාභයකි. එකාන්තයෙන් යහපත් ලැබීමක් නොව නොමනා ලැබීමකි.”
“මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ මෙසේ ධර්මය සිහිකරන්නාවූ මෙසේ සංඝයා සිහිකරන්නාවූ භික්ෂුවට ජලඩ්ග උපෙක්ෂාව පහළවෙයිද, එකල්හි ඒ භික්ෂුව එයින් සතුටට පැමිණෙයි. ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝවූ ගුණ ධර්මයක් සපයන ලද්දේ වෙයි.
Msdiv 304 “ඇවැත්නි, තෙජො ධාතුව කවරීද? තෙජො ධාතුව ආධ්‍යාත්මික තෙජො ධාතුවක්ද වන්නීය. බාහිර තෙජො ධාතුවක්ද වන්නීය. ඇවැත්නි, ආධ්‍යාත්මික තෙජො ධාතුව කවරීද?
“යමක් තමා තුළ පැවැත්තේද, තමා නිසා පැවැත්තේද, ජීවිතය සමග පවත්නාවූ, උණුසුම් ස්වභාව ලක්ෂණවූ යම් තෙජො ධාතුවක් වේද, එනම් (කිපුනාවූ) යමකින් (උණ රොගාදියෙන්) තැවේද, යමකින් (මේ ශරීරය) දිරාද, යමකින් දැවේද, යමකින් අනුභව කරනලද බොනලද, කඩා කනලද රස විඳිනාලද දේ හොඳින් පැසවීමට යේද, මෙයින් අන්‍යවූද තමා තුළ පවත්නාවූ තමා නිසා පවත්නාවූ ජීවිතය සමග පවත්නාවූ, උණුගතිය ඇත්තාවූ යම් තෙජො ධාතුවක් වේද මෙය ආධ්‍යාත්මික තෙජෝ ධාතුවයි. යම් ආධ්‍යාත්මික තෙජෝ ධාතුවක් වේද, යම් බාහිර තෙජො ධාතුවක් වේද, (මේ දෙකම) තෙජො ධාතුවමය. ඒ මේ තෙජො ධාතුව ‘මාගේ’ නොවෙයි. ‘මම’ නොවෙයි. මෙය ආත්මය නොවෙයි. මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් (විදර්ශනා) නුවණින් දත යුතුයි. මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් නුවණින් දැක තෙජො ධාතුව කෙරෙහි සංවේගයට පැමිණෙයි. තෙජො ධාතුව කෙරෙහි සිත නො අලවයි.
“ඇවැත්නි, යම් හෙයකින් බාහිර තෙජො ධාතුව කිපේද එබඳු කාලයක් වේමය. (එකල) ඒ තෙජො ධාතුව ගමත් දවයි, නියම් ගමත් (විශාල ගම්) දවයි, නගරත් දවයි, ජනපදත් දවයි, ජනපද ප්‍රදෙශද දවයි, ඕතොම නිල්පාට තෙත් තණ (කොළ) වෙතට පැමිණ හෝ, පර්වතයක් ලඟට පැමිණ හෝ ජලය ලඟට පැමිණ හෝ විසිතුරු (කොළරොඩු ආදිය නැති) භූමි භාගයට පැමිණ හෝ ප්‍රත්‍ය රහිත වූවා (ඇවිලෙන්ට දෙයක් නැති නිසා) නිවෙයි. කුකුල් පිහාටුවලින්ද සම් වැරලියෙන්ද ගිනි සොයද්ද, එබඳු කාලයක් වේමැයි.
“එහෙයින් ඇවැත්නි, එපමණ මහත්වූ බාහිර තෙජො ධාතුවෙහි අනිත්‍ය ස්වභාවය පෙනෙන්නේය. නැතිවන ස්වභාවය පෙනෙන්නේය. විනාශවන ස්වභාවය පෙනෙන්නේය. වෙනස්වන ස්වභාවය පෙනෙන්නේය. ස්වල්ප කාලයක් පවතින්නාවූ, තණ්හාවෙන් අල්වාගන්නාවූ, මේ ශරීරය ගැන ‘මම’ය කියා හෝ ‘මාගේ’ය කියා හෝ ‘මම වෙමියි’ කියා ගැනීමක් කිමෙක වන්නේද, එසේ ඇති කල්හි මේ තෙජො ධාතු විෂයෙහි එබඳු ගැන්මක් ඔහුට නොවේමැයි.
“ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යයෝ ආක්‍රොෂ කෙරෙද්ද, අපහාස කෙරෙද්ද, (ඔහු) කොප කරවද්ද වෙහෙසද්ද, හෙතෙම මෙසේ දනියි, සොතද්වාරයේ ඇතිවූ ස්පර්ශයෙන් උපන් දුක් වේදනාවක් උපන්නී වෙයි. ඒ වේදනාවද ප්‍රත්‍යය නිසා හට ගත්තීය. ප්‍රත්‍යය රහිතව නොවෙයි. කුමක් ප්‍රත්‍යය කොටද, ස්පර්ශය ප්‍රත්‍යය කොටය. ඒ ස්පර්ශය අනිත්‍යයයි දකියි. ඒ වේදනාව අනිත්‍යයයි දකියි. සංඥාව අනිත්‍යයයි දකියි. සංස්කාරයෝ අනිත්‍යයහයි දකියි. විඤ්ඤාණය අනිත්‍යයයි යයි දකියි. ඔහුගේ සිත ධාතු අරමුණු කොටගෙන පවතියි. එහිම පහදියි එහිම සිටියි. ස්ථිර බවට පැමිණෙයි.
“ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යයෝ ප්‍රියනොවූ, කැමති නොවූ, සිත් නොගන්නාවූ දෙයින්, එනම් අතින් පහර දීමෙන්ද කැට කැබලිතිවලින් පහර දීමෙන්ද? දඬුවලින් පහර දීමෙන්ද හැසිරෙත්. (එකල්හි) හෙතෙම මෙසේ දකියි. යම්බදු ස්වභාවයක් ඇති මේ ශරීරයෙහි අත් වදිද්ද කැට කැබිලිති වදිද්ද, දඬු වදිද්ද, මේ ශරීරය එබඳු ස්වභාව ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කකචූපම අවවාදයෙහිද මෙසේ වදාරණ ලදී.
“මහණෙනි, පහත් පැවතුම් ඇති සොරු දෙපස දඬු ඇති කියතකින් අඟ පසඟ කපද්ද, ඒ සොරුන් කෙරෙහිද යමෙක් සිත නරක් කෙරේද, ඒ ඔහු මාගේ අනුශාසනාව කරන්නේ නොවෙයි” (කියාය)
“මා විසින් වීර්යය පටන්ගන්නා ලද්දේය, වීර්යය නො හැකුළුණේය. සිහිය එළඹ සිටියේය. (එහෙයින්ම) මුළා නොවීය. කය සංසිඳුණේය. බර සැහැල්ලුවිය. සිත සමාධියට පැමිණියේය. එකඟවිය. කැමතිසේ මේ ශරීරයෙහි අත් වදිත්වා, කැට කැබිලිති වදිත්වා මේ (මා විසින්) බුද්ධානුශාසනය කරනු ලැබේ” කියායි.
“ඇවැත්නි, මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ මෙසේ ධර්මය සිහි කරන්නාවූ මෙසේ සංඝයා සිහිකරන්නාවූ ඒ භික්ෂුවහට විදර්ශනා කුසල උපෙක්ෂාව එළඹ නොසිටී. ඒ භික්ෂුව ඒ කරණකොටගෙන සංවේගයට පැමිණෙයි. මෙසේ බුදුන් වහන්සේ සිහිකරන්නාවූ, මෙසේ ධර්මය සිහිකරන්නාවූ මෙසේ සංඝයා සිහිකරන්නාවූ, යම් බඳුවූ මට විදර්ශනා කුසල උපෙක්ෂාව එළඹ නොසිටියිද, එය ඒකාන්තයෙන් මට ලාභයක් නොවේ. අලාභයකි. ඒකාන්තයෙන් මට යහපත් ලැබීමක් නොවේ, අයහපත් ලැබීමකි කියායි.”
“ඇවැත්නි, යම්සේ ලේලිය පුරුෂයාගේ පියා දැක බය ලජ්ජාවට පැමිණෙයිද ඇවැත්නි, එපරිද්දෙන්ම මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහිකරන්නාවූ, ඒ භික්ෂුවට විදර්ශනා කුසල උපේක්ෂාව නොපිහිටයිද, ඒ භික්ෂුව එයින් කලකිරෙයි. සංවේගයට පැමිණෙයි.
“මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ යම්බඳුවූ මට ඒකාන්තයෙන් ලාභයක් නොව අලාභයකි, ඒකාන්තයෙන් යහපත් ලැබීමක් නොව අයහපත් ලැබීමකි.”
“මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ, ඒ භික්ෂුවට ජළඩ්ග උපෙක්ෂාව පහළ වෙයිද (එකල්හි) ඒ භික්ෂුව එයින් සතුටට පැමිණෙයි. ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝවූ ගුණ ධර්ම සපයන ලද්දේ වෙයි.
Msdiv 305 “ඇවැත්නි, වායොධාතුව කවරීද? ආධ්‍යාත්මික වායෝ ධාතුවක්ද වන්නීය. බාහිර වායෝධාතුවක්ද වන්නීය. ආධ්‍යාත්මික වායෝ ධාතුව කවරීද? යම් වායෝ ධාතුවක් තමා තුළ පවත්නේද ශරීරයෙහි පවත්නේද එනම් උඩට නගින වාතයද, පහළට බස්නා වාතයද බඩවැලින් පිටත පවත්නා වාතයද, බඩවැල ඇතුළත පවත්නා වාතයද, ශරීරයෙහි අවයව ක්‍රියාකරවන වාතයද, ආශ්වාස (නාසයෙන් ඇතුල් වන) වාතයද, ප්‍රශ්වාස (නාසයෙන් පිටවන) වාතයද යන මේ වාතයෝද මෙයින් අන්‍යවූ යම් වායුවක් තමා තුළ පවත්නේද ශරීරයෙහි පවත්නේද මේ ආධ්‍යාත්මික වායෝධාතු නමි. යම් ආධ්‍යාත්මික වායෝ ධාතුවක් වේද, යම් බාහිර වායෝ ධාතුවක් වේද මේ දෙකම වායො ධාතුවමය. ඒ මේ වායෝ ධාතුව ‘මාගේ’ නොවෙයි. මෙය ‘මම’ නොවෙයි. මෙය ‘ආත්මය’ නොවෙයි මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් (විදර්ශනා) නුවණින් දතයුතුයි. මෙසේ මෙය ඇති සැටියෙන් යහපත් නුවණින් දැක වායෝ ධාතුව කෙරෙහි සංවේගයට පැමිණෙයි. වායෝ ධාතුව කෙරෙහි සිත නොඅලවයි.
“ඇවැත්නි, යම් හෙයකින් බාහිර වායෝ ධාතුව කිපේද, එබඳු කාලයක් වේමය (එකල) ඒ වායෝධාතුව ගමද (විනාශ කර) ගෙන යයි නියම්ගමද (විනාශකර) ගෙන යයි. නගරයද (විනාශ කර) ගෙන යයි. ජනපදයද (විනාශ කර) ගෙන යයි. ජනපද ප්‍රදෙශද (විනාශ කර) ගෙන යයි. ඇවැත්නි, යම් හෙයකින් ග්‍රීෂ්ම කාලයෙහි අන්තිම මාසයෙහි තල් අත්තෙන්ද විජිනිපතින්ද, වායුව සොයද්ද, වහලෙහිවූ තණ අගද නොසෙල වෙද්ද එබඳු කාලයකුත් වේමය.
“එහෙයින් ඇවැත්නි, එපමණ මහත්වූ බාහිර වායෝ ධාතුවෙහි අනිත්‍ය ස්වභාවය පෙනෙන්නේය. නැතිවන ස්වභාවය පෙනෙන්නේය. වෙනස්වන ස්වභාවය පෙනෙන්නේය. ස්වල්ප කාලයක් පවතින්නාවූ තණ්හාවෙන් අල්වා ගන්නා ලද්දාවූ මේ ශරීරය ගැන ‘මම’ය කියා හෝ ‘මාගේ’ය කියා හෝ ‘මම වෙමි’ කියා හෝ කිමෙක ගන්නේද? එසේ ඇති කල්හි මේ වායෝධාතු විෂයෙහි (එබඳු ගැන්මක්) ඔහුට නොවේමය.
“ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යයෝ ආක්‍රොෂ කෙරෙද්ද අපහාස කෙරෙද්ද, (ඔහු) කොප කරවද්ද, වෙහෙසද්ද, (එකල්හි) හෙතෙම මෙසේ දකී මට සොතද්වාරයෙහි හටගත් ස්පර්ශයෙන් උපන් දුක් වේදනාවක් උපන්නීය. ඒ වෙදනාවද ප්‍රත්‍යය නිසා හටගත්තීය. ප්‍රත්‍යය රහිතව නොවෙයි. කුමක් ප්‍රත්‍යය කොටද? ස්පර්ශය ප්‍රත්‍යකොටය. ඒ ස්පර්ශයද අනිත්‍යයයි දකියි. ඒ වේදනාවද අනිත්‍යයයි දකියි. සංඥාවද අනිත්‍ය යයි දකියි. සංඛාරයෝද අනිත්‍යයයි දකියි. විඤ්ඤාණයද අනිත්‍යයයි දකියි. ඔහුගේ සිත ධාතු අරමුණක් ගෙන පවතියි. එහිම පහදියි. එහිම සිටියි. ස්ථිර බවට පැමිණෙයි.
“ඇවැත්නි, ඒ භික්ෂුවට අන්‍යයෝ ප්‍රිය නොවූ, කැමති නොවූ, සිත් නොගන්නාවූ දෙයින් එනම් අතින් පහරදීමෙන්ද කැට කැබලිතිවලින් පහර දීමෙන්ද හැසිරෙත්. (එකල්හි) හෙතෙම මෙසේ දකියි. යම්බඳු ස්වභාවයක් ඇති මේ ශරීරයෙහි අත් වදිද්ද, කැට කැබලිති වදිද්ද, දඬු වදිද්ද, මේ ශරීරය එබඳු ස්වභාවය ඇත්තේය, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කකචූපම අවවාදයෙහිදීද මෙසේ වදාරණ ලදී.
“මහණෙනි, පහත් පැවතුම් ඇති සොරු දෙපස දඬු ඇති කියතකින් අඟ පසඟ කපද්ද, ඒ සොරුන් කෙරෙහිද, යමෙක් සිත නරක් කෙරේද, ඒ ඔහු මාගේ අනුශාසනය කරන්නේ නොවෙයි.” (කියායි)
“මා විසින් වීර්ය පටන්ගන්නා ලද්දේය. වීර්යය නොහැකුළුණේය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළා නොවීය. කය සංසිඳුණේය. බර සැහැල්ලු විය. සිත සමාධියට පැමිණියේ එකඟවිය. කැමතිසේ මේ ශරීරයෙහි අත් වදිත්වා, කැට කැබලිති වදිත්වා, දඬු වදිත්වා, කඩු වදිත්වා. මේ (මා විසින්) බුද්ධානුශාසනය කරනු ලැබේ.” කියායි.
“ඇවැත්නි, මෙසේ බුදුන් වහන්සේ සිහිකරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ, ඒ භික්ෂුවට කුසල නිශ්‍රීතවූ විදර්ශනා උපෙක්ෂාව පහළ නොවෙයි ඒ භික්ෂුව ඒ කරණකොටගෙන සංවේගයට පැමිණෙයි.
“මෙසේ බුදුන් සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහිකරන්නාවූ, මෙසේ සංඝයා සිහිකරන්නාවූ, යම්බඳුවූ මට කුසල නිශ්‍රීතවූ විදර්ශනා උපෙක්ෂාව පහළ නොවෙයිද එය මට ඒකාන්තයෙන් ලාභයක් නොවේ, අලාභයකි. ඒකාන්තයෙන් මට යහපත් ලැබීමක් නොවේ. අයහපත් ලැබීමකි කියායි.
“ඇවැත්නි, යම්සේ ලේලිය පුරුෂයාගේ පියා දැක බය ලැජ්ජාවට පැමිණෙයිද, ඇවැත්නි, එපරිද්දෙන්ම මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ, ඒ භික්ෂුවට කුසල නිශ්‍රීතවූ උපෙක්ෂාව නොපිහිටයිද ඒ භික්ෂුව එයින් කලකිරෙයි. සංවේගයට පැමිණෙයි.
“මෙසේ බුදුන් වහන්සේ සිහි කරන්නාවූ, මෙසේ ධර්මය සිහිකරන්නාවූ, මෙසේ සංඝයා සිහිකරන්නාවූ යම්බඳුවූ මට කුසල නිශ්‍රීතවූ විදර්ශනා උපෙක්ෂාව පහළ නොවේද එය ඒකාන්තයෙන් ලාභයක් නොව අලාභයකි. ඒකාන්තයෙන් යහපත් ලැබීමක් නොව අයහපත් ලැබීමකි.’
“මෙසේ බුදුන් වහන්සේ සිහිකරන්නාවූ, මෙසේ ධර්මය සිහි කරන්නාවූ, මෙසේ සංඝයා සිහි කරන්නාවූ ඒ භික්ෂුවට කුසල නිශ්‍රීත ඡළඩ්ග උපෙක්ෂාව පහළ වෙයිද (එකල්හි) ඒ භික්ෂුව එයින් සතුටට පැමිණෙයි. ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝවූ ගුණධර්ම සපයන ලද්දේ වෙයි.
Msdiv 306 “ඇවැත්නි, යම්සේ (සිටුවන කණු ආදී) ලී හෙතු කොට ගෙනද, (බඳිනා) වැල් හේතු කොට ගෙනද, සෙවිලි කරන තෘණ හේතු කොට ගෙනද (ආලෙප කරන) මැටි හේතු කොට ගෙනද (යන මෙයින්) අහස වට කරන ලද්දේ ගෙයක් යන ව්‍යවහාරයට යයි. ඇවැත්නි, එපරිද්දෙන්ම ඇට නිසාද, නහර නිසාද, මස් නිසාද, සම නිසාද, අහස පිරිවරා සිටියේ රූපයක්යයි ව්‍යවහාරයට යයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ චක්ෂු ප්‍රසාදය නොබිඳුනේ වේද බාහිර රූප අරමුණු ඇස හමුවට නොපැමිණියේ වේද, ඊට අනුකූලවූ මෙනෙහි කිරීම නොවෙයිද ඒ තාක් ඊට අනුරූප විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ චක්ෂුප්‍රසාදය නොබිඳුනේ වේද බාහිර රූපයෝ ඉදිරියට පැමිණෙද්ද, ඊට අනුකූලවූ මෙනෙහි කිරීම නැත්තේ වේද ඒ තාක් ඊට අනුරූපවූ විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
“ඇවැත්නි, යම්හෙයකින් ආධ්‍යාත්මිකවූ ඇස නොබිඳුනේ වේද, චක්ෂුප්‍රසාදය නොබිඳුනේ වේද, බාහිරවූ රූපයෝ ඇස හමුවට පැමිණෙද්ද, ඊට අනුකූලවූ මෙනෙහිකිරීම නැත්තේ වේද ඒතාක් ඊට අනුරූප වූ විඥාන කොට්ඨාශයාගේ පහළවීම වෙයි. ඒ චක්ෂුර්විඥානය සමග ඇතිවූ රූපයක් වේද, එය රූප උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ චක්ෂුර්විඥානය සමග ඇතිවූ යම් වේදනාවක් වේද, එය වෙදනා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ චක්ෂුර්විඥානය සමග ඇතිවූ යම් සංඥාවක් වේද, එය සංඥා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ චක්ෂුර්විඥානය සමග ඇතිවූ යම් සංස්කාරයෝ වෙද්ද ඔව්හු සංස්කාර උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙත්. ඒ චක්ෂුර්විඥානය සමග ඇතිවූ යම් විඥානයක් වේද, එය විඥාන උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි ඔහු මෙසේ දකියි. මෙසේ පඤ්ච උපාදාන ස්කන්ධයන්ගේ සංග්‍රහය, එක්වීම රැස්වීම වෙයි (කියායි) භාග්‍යවතුන් වහන්සේ විසින්ද මෙසේ වදාරණ ලද්දේමය.’
“යමෙක් පටිච්චසමුප්පාදය දකී නම් හෙතෙම ධර්මය දකියි. යමෙක් ධර්මය දකී නම් හෙතෙම පටිච්චසමුප්පාදය දකියි (යනුවෙනි.)
“මේ පස් වැදෑරුම් උපාදානස්කන්ධයෝ වෙද්ද ඔව්හු ප්‍රත්‍යයෙන් උපන්නාහු වෙති. මේ පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේද යම් ඇලීමක් වේද, යම් අනුකූල බවක් වේද, යම් බලවත් ඇල්මක් වේද, එය දුක් ඉපදීමේ හේතුවයි.
“මේ පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයන් කෙරෙහිවූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේද, තණ්හාවගේ යම් නැති කිරීමක් වේද, එය දුක් නැතිකිරීමයි ඇවැත්නි, මෙපමණකින්ද, භික්ෂුව විසින් බොහෝ සෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ ශ්‍රොතප්‍රසාදය නොබිඳුණේ වෙයිද බාහිර ශබ්ද අරමුණු කණ හමුවට නොපැමිණෙද්ද, ඊට අනුකූලවූ මෙනෙහිකිරීම නොවෙයිද, ඒතාක් ඊට අනුරූපවූ විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ ශ්‍රොතප්‍රසාදය නොබිඳුණේ වෙයිද බාහිර ශබ්දයෝ (කණ) හමුවට පැමිණෙද්ද, ඊට අනුකූලවූ මෙනෙහිකිරීම නොවෙයි. ඒතාක් ඊට අනුරූපවූ විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
“ඇවැත්නි, යම් හෙයකින් ආධ්‍යාත්මිකවූ ශ්‍රොතප්‍රසාදය නොබිඳුණේ වෙයිද, බාහිරවූ ශබ්දයෝ (කණ) හමුවට පැමිණෙද්ද, ඊට අනුකූලවූ මනසිකාරය වෙයිද, එකල්හි ඊට අනුරූපවූ විඥාන කොට්ඨාශයාගේ පහළවීම වෙයි. ඒ ශ්‍රොත විඥානය හා ඇතිවූ රූපයක් වේද, එය රූප උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ ශ්‍රොත විඥානය හා ඇතිවූ යම් වේදනාවක් වේද, එය වේදනා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ ශ්‍රොත විඥානය හා ඇතිවූ යම් සංඥාවක් වේද, එය සංඥා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ සොතවිඤ්ඤාණය සමග ඇතිවූ යම් සංස්කාරයෝ වෙද්ද, ඔව්හු සංස්කාරස්කන්ධයෙහි ඇතුළත් වෙත්. ඒ සොත විඤ්ඤාණය සමග ඇතිවූ යම් විඥානයක් වේද, එය විඥාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඔහු මෙසේ දනියි. ‘මේ පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයන්ගේ සංග්‍රහය, එක්වීම, රැස්වීම වෙයි, යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේ විසින්ද මෙසේ වදාරණ ලද්දේමය.’
“යමෙක් පටිච්ච සමුප්පාදය දනීද, හෙතෙම ධර්මය දකියි. යමෙක් ධර්මය දකීද, හෙතෙම පටිච්ච සමුප්පාදය දකියි වදාළහ.
“යම් මේ පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයෝ වෙද්ද මොහු ප්‍රත්‍යයෙන් (හේතුවෙන්) හටගන්නාහුමය. මේ පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයන්හි යම් කැමැත්තෙක් වේද, යම් ඇලීමක් වේද, යම් අනුකූල බවක් වේද, යම් බලවත් ඇල්මක් වේද, එය දුක් ඇතිවීමේ හේතුවයි.
“මේ පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයන් කෙරෙහිවූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේද, ඒ තණ්හාවගේ යම් නැති කිරීමක් වේද, එය දුක් නැති කිරීමයි. ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝ සෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ ඝාන ප්‍රසාදය නොබිඳුණේ වේද, බාහිර ගඳ සුවඳ අරමුණු (නාසය) හමුවට නොපැමිණෙද්ද, ඊට අනුකූල මෙනෙහිකිරීම නොවෙයිද ඒතාක් ඊට අනුරූප විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ ඝාන ප්‍රසාදය නොබිඳුණේ වේද, බාහිර ගඳ සුවඳ අරමුණු නාසය හමුවට පැමිණෙද්ද, ඊට අනුකූල මෙනෙහි කිරීම නොවෙයිද, ඒතාක් ඊට අනුරූපවූ විඤ්ඤාණ කොට්ඨාශය පහළ නොවෙයි.
“ඇවැත්නි, යම් හෙයකින් ආධ්‍යාත්මිකවූ නාසය නො බිඳුනේ වේද, බාහිරවූ ගඳ සුවඳ අරමුණු නාසය හමුවට පැමිණෙද්ද ඊට අනුකූල මෙනෙහි කිරීම වෙයිද මෙසේ ඊට අනුරූප ඝ්‍රාණ විඥාන කොට්ඨාශයාගේ පහළ වීම වෙයි. ඒ ඝාණවිඤ්ඤාණය සමග ඇතිවූ යම් රූප අරමුණක් වේද, එය රූප උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ ඝාණවිඤ්ඤාණය සමග ඇතිවූ යම් බඳුවූ වේදනාවක් වේද, ඕතොම වේදනා උපාදානස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ ඝාණවිඤ්ඤාණය සමග ඇතිවූ යම්බඳුවූ සංඥාවක් වේද, එය සංඥා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ ඝාණවිඤ්ඤාණය සමග ඇතිවූ යම්බඳුවූ සංස්කාරයෝ වෙද්ද, ඔව්හු සංස්කාර උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙත්. ඒ ඝාණවිඤ්ඤාණය සමග ඇතිවූ යම් බඳුවූ විඥානයක් වේද, එය විඥාන උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඔහු මෙසේ දකියි. “මේ පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයන්ගේ සංග්‍රහය, එක්වීම, රැස්වීම වෙයි (කියාය) භාග්‍යවතුන් වහන්සේ විසින්ද මෙසේ වදාරණ ලද්දේමය.
“යමෙක් පටිට්චසමුප්පාදය දකීද හෙතෙම ධර්මය දකියි. යමෙක් ධර්මය දකීද, හෙතෙම පටිච්චසමුප්පාදය දකියි, (වදාළහ)
“යම් මේ පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයෝ වෙත්ද, ඔව්හු ප්‍රත්‍යයෙන් (හේතුවෙන්) හටගත්තාහුය. මේ පස් වැදෑරුම් උපාදන ස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේද, යම් ඇල්මක් වේද, යම් අනුකූල බවක් වේද, යම් බලවත් ඇල්මක් වේද එය දුක් ඇතිවීමේ හේතුවයි.
“මේ පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයන් කෙරෙහිවූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේද, ඒ තණ්හාවගේ යම් නැති කිරීමක් (නිවණක්) වේද එය දුක නැති කිරීමය, ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝ සෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ දිව (ජිව්හා ප්‍රසාදය) නොබිඳුණේ වේද බාහිර රස අරමුණු දිව හමුවට නොපැමිණෙද්ද, ඊට අනුකූල මෙනෙහි කිරීම නොවෙයිද, ඒතාක් ඊට අනුරූපවූ විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවේය.
“ඇවැත්නි, ආධයාත්මිකවූ දිව නොබිඳුණේ වේද, බාහිර රසයෝ දිව හමුවට පැමිණෙද්ද, ඊට අනුකූල මෙනෙහිකිරීම නොවෙයිද ඒතාක් ඊට අනුරූපවූ විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ දිව නොබිඳුනේ වේද, බාහිර රසයෝ දිව හමුවට පැමිණෙද්ද, ඊට අනුකූල මෙනෙහි කිරීම වෙයිද ඊට අනුරූපවූ විඥාන කොඨාශයාගේ පහළවීම වෙයි. ඒ ජීව්හාවිඤ්ඤාණය සමග ඇතිවූ යම් රූප අරමුණක් වේද, එය රූප උපාදානස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ ජිව්හා විඤ්ඤාණය සමග ඇතිවූ යම් බඳුවූ වේදනාවක් වේද, එය වේදනා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත්වේ, ඒ ජිව්හාවිඤ්ඤාණය සමග ඇතිවූ යම් බඳුවූ සංඥාවක් වේද එය සංඥා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත්වේ. ඒ ජිව්හාවිඤ්ඤාණය සමග ඇතිවූ යම් බඳුවූ සංස්කාරයෝ වෙද්ද ඔව්හු සංස්කාර ස්කන්ධයෙහි ඇතුළත් වෙත්. ඒ ජිව්හා විඤ්ඤාණය සමග ඇතිවූ යම්බඳුවූ විඥානයක් වේද, එය විඥාන උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඔහු මෙසේ දකියි, මේ පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයන්ගේ සංග්‍රහය, එක්වීම, රැස්වීම වෙයි (කියාය.) භාග්‍යවතුන් වහන්සේ විසින්ද මෙසේ වදාරණ ලද්දේමය.’
“යමෙක් පටිච්චසමුප්පාදය දකීද හෙතෙම ධර්මය දකී, යමෙක් ධර්මය දකීද, හෙතෙම පටිච්චසමුප්පාදය දකීය’යි (වදාළහ.)
“යම් මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයෝ වෙද්ද, මොහු ප්‍රත්‍යයෙන් (හේතුවෙන්) හටගත්තාහුය. මේ පස් වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේද, යම් ඇලීමක් වේද, යම් අනුකූල බවක් වේද, යම් බලවත් ඇල්මක් වේද එය දුක් ඇතිවීමේ හේතුවයි.
“මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහිවූ තණ්හාවගේ යම් දුරු කිරීමක් වේද, තණ්හාවගේ යම් නැති කිරීමක් (නිවණක්) වේද එය දුක් නැතිකිරීමයි. ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝසෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ කය නොබිඳුණේ වේද බාහිර ස්පර්ශ අරමුණු කය හමුවට නොපැමිණෙද්ද, ඊට අනුකූල මෙනෙහිකිරීම සිත නොවෙයිද, ඒතාක් ඊට අනුරූප විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ කය (කායප්‍රසාදය) නොබිඳුණේ වේද, ස්පර්ශ අරමුණු කය හමුවට පැමිණෙද්ද, ඊට අනුකූල මෙනෙහිකිරීම නොවෙයිද, ඒ තාක් ඊට අනුරූප විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
“ඇවැත්නි, යම් හෙයකින් ආධ්‍යාත්මිකවූ කය නොබිඳුනේවේද, බාහිර ස්පර්ශයෝ කය හමුවට පැමිණෙද්ද, ඊට අනුකූල මෙනෙහිකිරීම වෙයිද, මෙසේ ඊට අනුරූප විඥාන කොඨාශයාගේ පහළවීම වෙයි. ඒ කායවිඤ්ඤාණයාගේ යම්බඳුවූ රූප අරමුණක් වේද, එය රූප උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ කායවිඤ්ඤාණය සමඟ ඇතිවූ යම්බඳුවූ වේදනාවක් වේද, එය වේදනා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ කාය විඤ්ඤාණය සමග ඇතිවූ යම්බඳුවූ සංඥාවක් වේද එය සංඥා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ කාය විඤ්ඤාණය සමග ඇතිවූ යම්බඳු සංස්කාරයෝ වෙද්ද, ඔව්හු සංස්කාර උපාදානස්කන්ධයෙහි ඇතුළත් වෙති. ඒ කාය විඤ්ඤාණය සමග ඇතිවූ යම් බඳුවූ විඥානයක් වේද, එය විඥාන උපාදානස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඔහු මෙසේ දකී. මේ පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයන්ගේ සංග්‍රහය, එක්වීම, රැස්වීම වෙයි’ (කියාය.) භාග්‍යවතුන් වහන්සේ විසින්ද මෙසේ වදාරණ ලද්දේමය.
“යමෙක් පටිච්චසමුප්පාදය දකීද, හෙතෙමේ ධර්මය දකී. යමෙක් ධර්මය දකීද හෙතෙමේ පටිච්චසමුප්පාදය දකීය”යි (වදාළහ)
“යම් මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයෝ වෙද්ද, මොහු ප්‍රත්‍යයෙන් (හේතුවෙන්) හටගත්තාහුමය. මේ පස් වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේද, යම් ඇලීමක් වේද, යම් අනුකූලබවක් වේද එය දුක් ඇතිවීමේ හේතුවයි.
“මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහිවූ තණ්හාවගේ යම් දුරු කිරීමක් වේද, තණ්හාවගේ යම් නැති කිරීමක් වේද, එය දුක්නැතිකිරීමයි. ඇවැත්නි, මෙපමණින්ද මහණහු විසින් බොහෝසෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ මනොද්වාරය නොබිඳුණේ වේද, බාහිර ධර්ම අරමුණු සිත හමුවට නොපැමිණෙද්ද, ඊට අනුකූල මනසිකාරය නොවෙයිද ඒතාක් ඊට අනුරූප විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ මනොද්වාරය නොබිඳුණේ වේද, බාහිර ධර්ම අරමුණු සිත හමුවට පැමිණෙද්ද, ඊට අනුකූල මනසිකාරය නොවෙයිද ඒතාක් ඊට අනුරූප විඥාන කොට්ඨාශයාගේ පහළවීම නොවෙයි.
“ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ මනොද්වාරය නොනැසුණේ වේද, බාහිර ධර්ම අරමුණු සිත හමුවට පැමිණෙද්ද, ඊට අනුකූලවූ මනසිකාරය වෙයිද, එකල්හි ඊට අනුරූප විඥාන කොට්ඨාශයාගේ පහළවීම වෙයි. ඒ මනොවිඤ්ඤාණය සමග යම් රූපයක් වේද, එය රූප උපාදානස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ මනොවිඤ්ඤාණය සමග යම් වේදනාවක් වේද එය වේදනා උපාදානස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ මනොවිඤ්ඤාණය සමග යම් සංඥාවක් වේද, එය සංඥා උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ මනොවිඤ්ඤාණය සමග යම් සංස්කාරයෝ වෙද්ද, ඔව්හු සංස්කාර උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙත්. ඒ මනොවිඤ්ඤාණය සමග යම් විඥානයක් වේද එය විඥාන උපාදාන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි ඔහු මෙසේ දනී. ‘මේ පස්වැදෑරුම් උපාදන ස්කන්ධයන්ගේ සංග්‍රහය, එක්වීම, රැස්වීම වෙයි’ (කියාය) භාග්‍යවතුන් වහන්සේ විසින්ද මෙසේ වදාරණ ලද්දේමය.
“යමෙක් පටිච්චසමුප්පාදය දකී නම් හෙතෙමේ ධර්මය දකී. යමෙක් ධර්මය දකී නම් හෙතෙමේ පටිච්චසමුප්පාදය දකිය’යි (වදාළහ.)
“යම් මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයෝ වෙද්ද, මොහු ප්‍රත්‍යයෙන් (හේතුවෙන්) හටගත්තාහුමය. මේ පස් වැදෑරුම් උපාදාන ස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේද යම් ඇලීමක් වේද, යම් අනුකූල බවක් වේද, යම් බලවත් ඇල්මක් වේද එය දුක් ඉපදීමේ හෙතුවයි.
“මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහිවූ තණ්හාවගේ යම් දුරුකිරීමක් වේද තණ්හාවගේ යම් නැතිකිරීමක් වේද එය දුක් නැතිකිරීමයි. ඇවැත්නි, මෙපමණින්ද භික්ෂුව විසින් බොහෝ සෙයින් බුද්ධානුශාසනය කරන ලද්දේ වෙයි.”
ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දෙශනාව පිළිගත්හ.
අටවෙනිවූ මහාහත්ථිපදොපම සූත්‍රය නිමි.
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source