LibraryMNMN 29
MN 2915 min read

The Longer Simile of the Heartwood

Mahāsāropama Sutta

20
PDFGenerated
01 · Overview

Following the incident with Devadatta, the Buddha cautions the mendicants against becoming complacent with superficial benefits of spiritual life and points to liberation as the true heart of the teaching.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 3. ඔපම්ම වර්ගය 29. මහා සාරොපම සූත්‍රය Msdiv 307 මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් තෙරුන් බැහැර ගිය නොබෝ කල්හි රජගහනුවර ගිජ්ජකූට පර්වතයෙහි වසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් තෙරුන් අරබයා භික්ෂූන්ට කථා කළසේක.

“මහණෙනි, මෙහි ඇතැම් කුල පුත්‍රයෙක්, ‘ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශොකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද, මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ’යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව්පසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තියෙන් සම්පූර්ණවූ අදහස් ඇතිව සතුටු වෙයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට සිතයි. අනුන් පහත්කොට සිතයි.‘මම ලාභ ඇත්තේ වෙමි. අන්‍යවූ මේ භික්ෂූහු ප්‍රසිද්ධ නැත. අල්පෙශාක්‍යය’යි සිතයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තියෙන් මත්වෙයි. විශෙෂයෙන් මත්වෙයි, ප්‍රමාදයට පැමිණෙයි මත්වූයේම දුකසේ වාසය කරයි.

“මහණෙනි, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා, (අත්හැර) ඵලය ඉක්මවා, සුඹුල (පොත්ත) ඉක්මවා, පතුරු ඉක්මවා, අරටුවයයි සිතා අතු හා දලු සිඳ ගෙනයන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය, ‘මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය. ඵලය නොදත්තේය. පොත්ත නොදත්තේය, පතුරු නොදත්තේය, අතු හා දලු නොදත්තේය. ඒ නිසා මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා ඵලය ඉක්මවා පොත්ත ඉක්මවා, පතුරු ඉක්මවා අරටුවයි සිතා අතු හා දලු සිඳ ගෙන ගියේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද, ඔහුගේ ඒ වැඩය සිදුනොවන්නේය.

“මහණෙනි, එමෙන්ම මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක්, ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශොකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද, මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ’යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව්පසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. හෙතෙම, ඒ ලාභ සත්කාර කීර්තියෙන් සම්පූර්ණවූ අදහස් ඇත්තේ සතුටු වෙයි හෙතෙම ඒ ලාභ සත්කාර කීර්ති නිසා තමන් උසස් කොට සිතයි. අනුන් පහත් කොට සිතයි. ‘මම ලාභ සත්කාර කීර්ති ඇත්තේ වෙමි. අන්‍යවූ මේ භික්ෂූහු ප්‍රසිද්ධ නැත. අල්පෙශාක්‍යය’යි සිතයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තියෙන් මත් වෙයි. විශෙෂයෙන් මත්වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. මත්වූයේම දුකසේ වාසය කරයි. මහණෙනි, ඒ මහණතෙම මේ ශාසනබ්‍රහ්මචරියාවෙහි කොලඅතු ගත්තේයයිද එයින්ම කෙළවරට පැමිණියේයයිද කියනු ලැබේ.

Msdiv 308 “මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ඉපදීමෙන්ද, ජරාවෙන්ද මරණයෙන්ද ශොකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැයි’ (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහි ගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව්පසය ලැබීමිය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිය නිසා සතුටු නොවෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමා උසස්කොට නොසලකයි. අනුන් පහත්කොට නොසලකයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශෙෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නො පැමිණෙයි. ප්‍රමාද නොවූයේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් සතුටු වෙයි, සම්පූර්ණවූ අදහස් ඇත්තේ වෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස් කොට සලකයි. අනුන් පහත් කොට සලකයි. ‘මම යහපත් ගුණධර්ම ඇති සිල්වතෙක් වෙමි. අන්‍යවූ මේ භික්ෂූහු පවිටු ස්වභාව ඇති දුශ්ශීලයෝය’ කියායි. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් මත්වෙයි. විශෙෂයෙන් මත් වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. ප්‍රමාදයට පැමිණියේම දුකසේ වාසය කරයි.

“මහණෙනි, යම්සේ (ගහක) අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූද, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා, (අත්හැර) ඵලය ඉක්මවා, සුඹුලු ඉක්මවා අරටුව යයි සිතා පතුරු සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය. ඵලය නොදත්තේය, පොත්ත නොදත්තේය, පතුරු නොදත්තේය. එහෙයින් මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා ඵලය ඉක්මවා පොත්ත ඉක්මවා, අරටුවයයි සිතා පතුරු සිඳ ගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද, ඔහුගේ ඒ වැඩය නොසිදු වන්නේය.

“මහණෙනි, එමෙන්ම මේලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක්, ඉපදීමෙන්ද ජරාවෙන්ද, මරණයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේනම් ඉතා යෙහෙකැ’යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ වෙයි. හෙතෙමේ මෙසේ පැවිදිවූයේම සිව්පසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටු නොවෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමා උසස්කොට නොසලකයි. අනුන් පහත්කොට නොසලකයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශෙෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාද නොවූයේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ වෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස්කොට සලකයි. අනුන් පහත්කොට සලකයි. ‘මම යහපත් ගුණධර්ම ඇති සිල්වතෙක් වෙමි. අන්‍යවූ මේ භික්ෂූහු පවිටු ස්වභාව ඇති දුශ්ශීලයෝය’ කියාය. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් මත් වෙයි. විශෙෂයෙන් මත් වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. ප්‍රමාදයට පැමිණියේම දුකසේ වාසය කරයි.

“මහණෙනි, මේ මහණතෙම ශාසන බ්‍රහ්මචර්යාවෙහි (මාර්ග ඵල නමැති අරටුව ඇති ගසෙහි) පතුරු ගත්තේ යයිද එයින්ම කෙළවරට පැමිණියේ යයිද කියනු ලැබේ.

Msdiv 309 “මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද ශොකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින්ද පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැයි’ (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව්පසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශෙෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. ඔහු ඒ සීල සම්පත්තියෙන් සතුටු සිත් ඇත්තේ වෙයි. (එහෙත්) හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි, අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා මත් නොවෙයි. විශෙෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සමාධි සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධි සම්පත්තියෙන් සතුටට පැමිණෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ වෙයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස් කොට සිතයි. අනුන් පහත් කොට සිතයි. ‘මම සමාධි ගත වූයේ එකඟවූ සිත් ඇත්තේ වෙමි. අන්‍යවූ මේ භික්ෂූහු වනාහි සමාධිගත නුවූහ. කැළඹුණු සිත් ඇත්තාහ’ කියායි. ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා මත් වෙයි. විශේෂයෙන් මත් වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. ප්‍රමාදයට පැමිණියේම දුකසේ වාසය කරයි.

“මහණෙනි, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරට සොයමින් හැසිරෙන්නාවූ යම් පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා (අත්හැර) ඵලය ඉක්මවා අරටුවයි සිතා සුඹුල (පොත්ත) සිඳගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය. ඵලය නොදත්තේය. සුඹුල නොදත්තේය. පතුරු නොදත්තේය. අතු හා දලු නොදත්තේය. එහෙයින් මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) එහි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා ඵලය ඉක්මවා අරටුව යයි සිතා පොත්ත සිඳ ගෙන ගියේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද, ඒ වැඩය නොසිදු වන්නේය’ කියායි.

“මහණෙනි, එමෙන්ම මේ ලොකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක්, ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශොකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙයි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැයි’ (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙමේ මෙසේ පැවිදිවූයේම, සිවුපසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස්කොට නොසිතයි අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ලාභසත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශෙෂයෙන්ම මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙයි. (එහෙත්) ඒ සීලසම්පත්තිය නිසා සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීලසම්පත්තිය නිසා තමන් උසස්කොට නොසලකයි. අනුන් පහත් කොට නොසලකයි. හෙතෙම ඒ සීලසම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සමාධිසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධි සම්පත්තියෙන් සතුටට පැමිණෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ වෙයි හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස්කොට සිතයි. අනුන් පහත්කොට සිතයි. ‘මම සමාධිගතවූයේ එකඟවූ සිත් ඇත්තේ වෙමි. අන්‍යවූ මේ භික්ෂූහු වනාහි සමාධිගත නුවූවාහු කැළඹුණු සිත් ඇත්තාහ, කියායි. හෙතෙම ඒ සමාධිසම්පත්තිය නිසා මත්වෙයි. විශෙෂයෙන් මත් වෙයි: ප්‍රමාදයට පැමිණෙයි. ප්‍රමාදයට පැමිණියේම දුකසේ වාසය කරයි මහණෙනි, මේ මහණතෙම ශාසන බ්‍රහ්මචර්යායෙහි පොත්ත ගත්තේයයිද එයින්ම කෙළවරට පැමිණියේයයිද කියනු ලැබේ.

Msdiv 310 “මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෙක්, ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශොකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ’යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව්පසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශෙෂයෙන්ම මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සීලසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් සතුටට පත් වෙයි. (එහෙත්) හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීලසම්පත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි. ඔහු ඒ සීල සම්පත්තිය නිසා මත් නොවෙයි. විශෙෂයෙන් මත් නොවේ. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සමාධිසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධිසම්පත්තිය නිසා සතුටට පැමිණෙයි. (එහෙත්) සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තිය නිසා තමන් උසස්කොට නොසලකයි. අනුන් පහත්කොට නොසලකයි. ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම ඥාන දර්ශනය (පංච අභිඥාව) උපදවයි. හෙතෙම ඒ ඥාන දර්ශනයෙන් (පංච අභිඥාවෙන්) සතුටුවෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තෙක් වෙයි. හෙතෙම ඒ ඥාන දර්ශනය (පංච අභිඥාව) නිසා මම දන්නෙක් වෙමි. දකින්නෙක් වෙමි’යි තමන් උසස්කොට සිතයි. අනුන් පහත්කොට සිතයි. ‘මේ අන්‍යවූ භික්ෂූහු නොදන්නාහු නොදක්නාහුම වෙසෙත්’යි කියායි. හෙතෙම ඒ ඥාන දර්ශනයෙන් (පංච අභිඥාවෙන්) මත් වෙයි, විශෙෂයෙන් මත් වෙයි. ප්‍රමාදයට පැමිණෙයි, ප්‍රමාදයට පැමිණියේම දුකසේ වාසය කරයි.

“මහණෙනි, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ යම් පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා (හැර) අරටුවයයි සිතා එලය කපා අරගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ‘මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය, එලය නොදත්තේය, පොත්ත නොදත්තේය, පතුරු නොදත්තේය, අතු හා දලු නොදත්තේය. එහෙයින් මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ. අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි අරටුව ඇති මහගසක අරටුව ඉක්මවා අරටුවයයි සිතා එලය සිඳ අරගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදුවන්නේය කියායි.

“මහණෙනි, එමෙන්ම මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශොකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද, මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ’යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ වෙයි. හෙතෙමේ මෙසේ පැවිදිවූයේම සිව්පසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශෙෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටට පැමිණෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. හෙතෙම අනුන් පහත් කොට නොසිතයි. හෙතම ඒ සීල සම්පත්තිය නිසා මත් නොවෙයි. විශෙෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි, ප්‍රමාදයට නොපැමිණියේම සමාධි සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධි සම්පත්තියෙන් සතුටට පැමිණෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි, ප්‍රමාදයට නොපැමිණියේම ඥාන දර්ශනය (පංච අභිඥාව) උපදවයි. හෙතෙම ඒ ඥාන දර්ශනයෙන් සතුටට පැමිණෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ වෙයි. හෙතෙම ඒ ඥාන දර්ශනය නිසා ‘මම දන්නෙක් වෙමි. දකින්නෙක් වෙමි’යි තමන් උසස් කොට සිතයි, අනුන් පහත්කොට සිතයි. මේ අන්‍යවූ භික්ෂූහු නොදන්නාහු, නොදක්නාහුම වෙසෙත්’යි කියායි. ඔහු ඒ ඥාන දර්ශනයෙන් මත් වෙයි. විශෙෂයෙන් මත්වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. ප්‍රමාදයට පැමිණියේම දුකසේ වාසය කරයි. මහණෙනි, මේ මහණතෙම ශාසන බ්‍රහ්මචර්යාවෙහි ඵලය ගත්තේ යයිද එයින්ම කෙළවරට පැමිණියේ යයිද කියනු ලැබේ.

Msdiv 311 “මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශොකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පෙලුනේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැයි’යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව් පසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදියි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටුවෙයි, සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි, විශෙෂයෙන් මත් නොවෙයි, ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටට පැමිණෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා මත්නොවෙයි, විශේෂයෙන් මත් නොවෙයි, ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සමාධි සම්පත්තිය උපදවයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා සතුටට පැමිණෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි, ප්‍රමාදයට නොපැමිණියේම ඥාන දර්ශනය (පංච අභිඥා) උපදවයි හෙතෙම ඒ ඥාන දර්ශනය (පංච අභිඥාව) නිසා සතුටට පැමිණෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ ඥාන දර්ශන සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි. හෙතෙම ඒ ඥාන දර්ශන සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම රහත් බව සම්පූර්ණ කරයි. මහණෙනි, යම් හෙයකින් ඒ භික්ෂුව ඒ රහත් බවෙන් පිරිහෙන්නේය යනු හේතු රහිතයි ප්‍රත්‍ය රහිතයි (හෙවත් ඒ රහත් බවෙන් පිරිහීමක් නොසිදු වෙයි.)

“මහණෙනි, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ යම් පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව යයි දැනගෙනම අරටුව සිඳගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ‘මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව දත්තේය. එලය දත්තේය, පොත්ත දත්තේය, පතුර දත්තේය, අතු හා දළු දත්තේය. එහෙයින් මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි මහත්වූ ගසක අරටුවයයි දැනගෙනම අරටුව සිඳගෙන ගියේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද, ඒ වැඩය හොඳින් සිදු වන්නේය’ කියායි.

“මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශොකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පෙළුනේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැයි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව්පසය ලැබීමය, සත්කාර ලැබීමය කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටුවෙයි, සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට නොසිතයි, අනුන් පහත් කොට නොසිතයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශෙෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටට පැමිණෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි, අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ සීලසම්පත්තිය නිසා මත්නොවෙයි. විශේෂයෙන් මත්නොවෙයි, ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සමාධි සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා සතුටට පැමිණෙයි, සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි, ප්‍රමාදයට නොපැමිණියේම ඥාන දර්ශනය (පංච අභිඥා) උපදවයි, හෙතෙම ඒ ඥාන දර්ශනය (පංච අභිඥා) නිසා සතුටට පැමිණෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ ඥාන දර්ශනය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ ඥාන දර්ශනය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම රහත් බව සම්පූර්ණ කරයි.

“මහණෙනි, යම් හෙයකින් ඒ භික්ෂුව ඒ රහත් බවෙන් පිරිහෙන්නේ නම්, එය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. (හෙවත් ඒ රහත් බවෙන් පිරිහීමක් නොසිදු වෙයි.)

“මහණෙනි, මෙසේ වනාහි මේ ශාසන බ්‍රහ්මචර්යාව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිණිස නොවෙයි. සීල සම්පත්තිය පිණිස නොවෙයි. සමාධි සම්පත්තිය පිණිස නොවෙයි. ඥාන දර්ශනය (පංච අභිඥාව) පිණිස නොවෙයි. මහණෙනි, යම් මේ රහත්බවෙක් වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචර්යාව මේ රහත් බව පිණිසමැයි.

“මේ රහත් බව ශාසන බ්‍රහ්මචර්යාවෙහි සාරයයි (හරයයි) මේ රහත් බව (ශාසන බ්‍රහ්මචර්යාවෙහි) කෙළවරයි. (අවසානයයි”)

නවවෙනිවූ මහා සාරොපම සූත්‍රය නිමි.

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection