The Shorter Simile of the Heartwood
Cūḷasāropama Sutta
PDFGenerated
Similar to the previous. After the incident with Devadatta, the Buddha cautions the mendicants against becoming complacent and points to liberation as the true heart of the teaching.
Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.
Read here in the library
මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 3. ඔපම්ම වර්ගය 30. චූලසාරොපම සූත්‍රය Msdiv 312 මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර, අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජෙතවනාරාමයෙහි වැඩ වෙසෙති, එකල්හි වනාහි පිංගලකොච්ඡ නම් බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එක්පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ පිංගලකොච්ඡ බුමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය.
“භවත් ගෞතමයන් වහන්ස, පැවිදිවූ සංඝ සමූහයා ඇත්තා වූද එබඳු සමූහයාගේ ගුරුන්වූද ප්‍රසිද්ධ වූද කීර්තිය ඇත්තා වූද බොහෝ දෙනා විසින් උතුමන්යයි සම්මත කරන ලද්දාවූද යම් මේ ශ්‍රමණ බ්‍රහ්මණ කෙනෙක් ඇත්තාහුද එනම්, පූරණකස්සපය, මක්ඛලිගොසාලය, අජිත කෙසකම්බලීය, පකුධකච්චායනය, සංජය බෙල්ලට්ඨි පුත්තය, නිගණ්ඨනාත පුත්තය යන මොහුය. ඒ සියලු දෙන ඔවුන් කියන්නාසේම දැනගත්තාහුද? සියලු දෙනාම එසේ නොදැනගත්තාහුද? නැතහොත් සමහරු දැනගත්තාහුද, සමහරු නොදැන ගත්තාහුද?
“බ්‍රාහ්මණය, ඒ සියලුදෙන ඔවුන් කියන්නාසේම දැනගත්තාහුද? සියලු දෙනාම එසේ නොදත්තාහුද? නැතහොත් සමහරු දැනගත්තාහුද? සමහරු නොදැනගත්තාහුද? යන මේ දැනගැණීමෙන් වැඩක් නැත. ඒ ප්‍රශ්ණය තිබේවා! බ්‍රාහ්මණය, මම තොපට ධර්මය දෙශනා කරන්නෙමි. එය අසව්, හොඳින් සිහි කරව්”යි (භාග්‍යවතුන් වහන්සේ වදාළහ.)
“එසේය පින්වතුන් වහන්සැයි” පිංගලකොච්ඡ බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
Msdiv 313 “බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා එලය ඉක්මවා, පොත්ත ඉක්මවා, සුඹුල ඉක්මවා අරටුවයයි සිතා අතු හා දලු සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය. “මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය, එලය නොදත්තේය, පොත්ත නොදත්තේය, පතුරු නොදත්තේය, අතු හා දලු නොදත්තේය. එනිසා මේ පින්වත් පුරුෂයා, අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි ගසක අරටුව ඉක්මවා එලය ඉක්මවා, පොත්ත ඉක්මවා, සුඹුල ඉක්මවා අරටුවයයි සිතා අතු හා දලු සිඳ ගෙනයන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදු වන්නේය’ කියායි.
Msdiv 314 “බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා, එලය ඉක්මවා පොත්ත ඉක්මවා අරටුවයයි සිතා සුඹුල ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ‘මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය, එලය නොදත්තේය, පොත්ත නොදත්තේය, සුඹුල නොදත්තේය, අතු හා දලු නොදත්තේය, ඒ නිසා මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි ගසක අරටුව ඉක්මවා, එලය ඉක්මවා පොත්ත ඉක්මවා අරටුවයයි සිතා සුඹුල සිඳ ගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදු වන්නේය’කියායි.
Msdiv 315 “බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක පිහිටි) අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා, එලය ඉක්මවා, අරටුව යයි සිතා පොත්ත සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ‘මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය. එලය නොදත්තේය, පොත්ත නොදත්තේය, පතුරු නොදත්තේය, අතු හා දලු නොදත්තේය, ඒ නිසා මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ, අරටුව ඉක්මවා එලය ඉක්මවා අරටුවයයි සිතා පොත්ත සිඳ ගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද, ඒ වැඩය නොසිදු වන්නේය’කියායි.
Msdiv 316 “බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා, අරටුවයයි සිතා එලය සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ‘මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය, එලය නොදත්තේය, පොත්ත නොදත්තේය, පතුරු නොදත්තේය, අතු හා දලු නොදත්තේය. ඒ නිසා මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ අරටු සොයන්නේ අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා අරටුව යයි සිතා එලය සිඳගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදු වන්නේය’ කියායි.
Msdiv 317 “බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුවයයි දැනගෙනම අරටුව සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ‘මේ පින්වත් පුරුෂයා එකාන්තයෙන් අරටුව දන්නේය, එලය දන්නේය, පොත්ත දන්නේය, පතුරු දන්නේය, අතු හා දලු දන්නේය. ඒ නිසා මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයොජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුවයයි දැනගෙනම අරටුව සිඳ ගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය සිදු වන්නේය’ කියායි.
Msdiv 318 “බ්‍රාහ්මණය, එපරිද්දෙන්ම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක්, ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශොකයෙන්ද, වැලපීමෙන්ද, කායික දුකින්ද, මානසික දුකින්ද දැඩි වෙහෙසින්ද මැඩුනේ වෙමි, දුකින් මැඩුනේ වෙමි, දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ’යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයිද, හෙතෙම මෙසේ පැවිදි වූයේම ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා උපදවයිද, ඔහු ඒ සත්කාර කීර්තිය නිසා සතුටට පැමිණෙයිද, සම්පූර්ණවූ අදහස් ඇත්තේ වෙයිද, ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස්කොට සිතයිද, අනුන් පහත්කොට සිතයිද, ‘මම ලාභ සත්කාර කීර්ති ඇත්තෙක් වෙමි. අන්‍යවූ මේ භික්ෂූහු ප්‍රසිද්ධ නැත, පහත්ය’යි (සිතයි.) ඔහු ඒ ලාභ සත්කාර කීර්තියට වඩා අතිශයින් උසස් වූ ඉතා ප්‍රණීතවූ යම් ඒ (මාර්ග ඵල ආදී) ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත නූපදවයිද, උත්සාහ නොකරයිද, පසුබටවූ පැවතුම් ඇත්තේ, ලිහිල් වූ වීර්‍ය්‍යය ඇත්තේ වෙයිද,
“බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහගසක අරටුව ඉක්මවා, එලය ඉක්මවා, පොත්ත ඉක්මවා, සුඹුලු ඉක්මවා අරටුවයයි සිතා අතු හා දලු සිඳ ගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදුවන්නේය. බ්‍රාහ්මණය, මම මේ පුද්ගලයාද ඒ අරටුව සොයන පුරුෂයා වැනියයි කියමි.
Msdiv 319 “බ්‍රාහ්මණය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් ‘ඉපදීමෙන්ද ජරාවට පැමිණීමෙන්ද, මරණයෙන්ද, ශොකයෙන්ද, වැලපීමෙන්ද, කායික දුකින්ද, මානසික දුකින්ද දැඩි වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාසියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ’යි, (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයිද, හෙතෙම මෙසේ පැවිදි වූයේම ලාභ සත්කාර කීර්ති උපදවයිද, ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටට නොපැමිණෙයිද, සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයිද, ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට නොසිතයිද, අනුන් පහත් කොට නොසිතයිද, “ඔහු ඒ ලාභ සත්කාර කීර්තියට වඩා ඉතා උසස්වූ ඉතා ප්‍රණීතවූ, යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර, ගැණීම පිණිස කැමැත්ත උපදවයිද, උත්සාහ කරයිද, හෙතෙමේ නොපසුබට වූ පැවතුම් ඇත්තේ සීල සම්පත්තිය සම්පූර්ණ කරයිද, ඔහු ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙයිද, සම්පූර්ණ වූ අදහස් ඇත්තේ වෙයිද, ඔහු ඒ සීල සම්පත්තිය නිසා ‘අන්‍යවූ මේ භික්ෂූහු දුස්සීලයෝය, පව්කම් ඇත්තෝය’යි තමන් උසස් කොට සිතයිද, අනුන් පහත් කොට සිතයිද, ඔහු ඒ සීල සම්පත්තියට වඩා ඉතා උසස්වූද, ඉතා ප්‍රණීතවූද යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත් කර ගැණීම පිණිස කැමැත්ත නොඋපදවයි, උත්සාහ නොකරයි. පසුබටවූ පැවතුම් ඇත්තේ වෙයි. ලිහිල්වූ වීර්‍ය්‍යය ඇත්තේ වෙයි.
“බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා, එලය ඉක්මවා පොත්ත ඉක්මවා අරටුවයයි සිතා සුඹුල සිඳගෙන යන්නේද ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේ නම් ඒ වැඩය නොසිදු වන්නේය. බ්‍රාහ්මණය, මම මේ පුද්ගලයාද ඒ අරටුව සොයන පුරුෂයා වැනියයි කියමි.
Msdiv 320 “බ්‍රාහ්මණය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් ‘ඉපදීමෙන්ද, ජරාවට පැමිණීමෙන්ද, මරණයෙන්ද, ශොකයෙන්ද, වැලපීමෙන්ද, කායික දුකින්ද, මානසික දුකින්ද, දැඩි වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාසියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැයි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයිද, හෙතෙම මෙසේ පැවිදි වූයේම ලාභ සත්කාර කීර්ති යන මේවා උපදවයිද, ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටු වෙයිද, සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයිද, ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට නොසිතයිද, අනුන් පහත් කොට නොසිතයිද. “ඔහු ඒ ලාභ සත්කාර කීර්තියට වඩා ඉතා උසස්වූද, ඉතා ප්‍රණීතවූද යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත උපදවයි, උත්සාහ කරයි, නොපසුබට වූ පැවතුම් ඇත්තේ, පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ, සීල සම්පත්තිය සම්පූර්ණ කරයිද, ඔහු ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙයිද, සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයිද, ඔහු ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයිද, අනුන් පහත් කොට නොසිතයිද, ඒ සීල සම්පත්තියටද වඩා ඉතා උසස් වූද, ඉතා ප්‍රණීත වූද, යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. නොපසු බට වූ පැවතුම් ඇත්තේ පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තේ, ඔහු සමාධි සම්පත්තිය සම්පූර්ණ කරයිද, ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා සතුටු වෙයිද, සම්පූර්ණවූ අදහස් ඇත්තේ වෙයිද, ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා, මම ‘සංසිඳුනු සිත් ඇත්තේ වෙමි. එකඟවූ සිත් ඇත්තේ වෙමි. අන්‍ය වූ මේ භික්ෂූහු නොසංසිඳුනු සිත් ඇත්තෝ, කැලඹුන සිත් ඇත්තෝ වෙති’යි තමන් උසස් කොට සිතයිද, අනුන් පහත් කොට සිතයිද, ඒ සමාධි සම්පත්තියටද වඩා ඉතා උසස්වූද ඉතා ප්‍රණීත වූද යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත නූපදවයිද, උත්සාහ නොකරයිද, පසුබට වූ පැවතුම් ඇත්තේ ලිහිල්වූ වීර්‍ය්‍යය ඇත්තේ වෙයිද,
“බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තා වූ අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා, එලය ඉක්මවා අරටුවයයි සිතා පොත්ත සිඳ ගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද, ඒ වැඩය නොසිදු වන්නේය. බ්‍රාහ්මණය, මම මේ පුද්ගලයාද ඒ සාර පරියෙසක (අරටු සොයන) පුද්ගලයා වැනියයි කියමි.
Msdiv 321 “බ්‍රාහ්මණය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඉපදීමෙන්ද, ජරාවට පැමිණීමෙන්ද, මරණයෙන්ද, ශොකයෙන්ද, වැලපීමෙන්ද, කායික දුකින්ද, මානසික දුකින්ද, දැඩි වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාසියගේ කෙළවර කිරීම පෙනේ නම් ඉතා යෙහෙකැයි, (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිව්පසය ලැබීමය, සත්කාර ලැබීමය, ගුණ කීමය යන මේවා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටු වෙයි. සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට නොසිතයි, අනුන් පහත් කොට නොසිතයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තියට වඩා ඉතා උසස්වූද, ඉතා ප්‍රණීතවූද යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත උපදවයි, උත්සාහ කරයි. නොපසු බටවූ පැවතුම් ඇත්තේ වෙයි. පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තේ සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. ඔහු ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙයි. සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි. ඔහු ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි. ඒ සීල සම්පත්තියටද වඩා ඉතා උසස් වූද, ඉතා ප්‍රණීතවූද යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. නොපසු බටවූ පැවතුම් ඇත්තේ පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තේ සමාධි සම්පත්තිය උපදවයි. ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා සතුටු වෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි. ඒ සමාධි සම්පත්තියටද වඩා ඉතා උසස් වූද, ප්‍රණීත වූද යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත් කර ගැණීම සඳහා කැමැත්ත උපදවයි, උත්සාහ කරයි. නොපසුබටවූ පැවතුම් ඇත්තේ, පටන් ගත් වීර්‍ය්‍යය ඇත්තේ ඥාන දර්ශන (පංච අභිඥාව) උපදවයි. ඔහු ඒ ඥාන දර්ශනයෙන් (පංච අභිඥාවෙන්) සතුටු වෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ වෙයි. ඔහු ඒ ඥාන දර්ශනය (පංච අභිඥාව) නිසා තමන් උසස් කොට සිතයි. අනුන් පහත්කොට සිතයි. ‘මම දන්නෙමි, දකින්නෙමි, අන්‍යවූ මේ භික්ෂූහු නොදන්නේ නොදක්නේ වාසය කරති’ (කියායි.) ඒ ඥාන දර්ශනයටද වඩා ඉතා උසස්වූද, ප්‍රණීතවූ යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීමට කැමැත්ත නූපදවයි. උත්සාහ නොකරයි, පසුබටවූ පැවතුම් ඇත්තේ වෙයි. ලිහිල්වූ වීර්‍ය්‍යය ඇත්තේ වෙයි.
“බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි ගසක අරටුව ඉක්මවා අරටුවයයි සිතා එලය සිඳගෙන යන්නේද, ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදු වන්නේය. බ්‍රාහ්මණය, මම මේ පුද්ගලයා ඒ සාර පරියෙසක (අරටු සොයන) පුරුෂයා වැනියයි කියමි.
Msdiv 322 “බ්‍රාහ්මණය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් ‘ඉපදීමෙන්ද, ජරාවට පැමිණීමෙන්ද, මරණයෙන්ද, ශොකයෙන්ද, වැළපීමෙන්ද, කායික දුකින්ද, මානසික දුකින්ද, දැඩි වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාසියගේ නැති කිරීම පෙනේ නම් ඉතා යෙහෙකැ’යි (සිතා) ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම ලාභ, සත්කාර, කීර්තිය යන මේවා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටු වෙයි. සම්පූර්ණවූ අදහස ඇත්තේ නොවෙයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත් කොට නොසිතයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තියටද වඩා ඉතා උසස් වූද, ඉතා ප්‍රණීතවූද යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. නොපසුබට වූ පැවතුම් ඇත්තේ පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. ඔහු ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. ඔහු ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. ඒ සීල සම්පත්තියටද වඩා ඉතා උසස්වූද, ඉතා ප්‍රණීතවූද, යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. නොපසුබටවූ පැවතුම් ඇත්තේ පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ සමාධි සම්පත්තිය උපදවයි. ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා සතුටු වෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. ඒ සමාධි සම්පත්තියටද වඩා ඉතා උස්සවූද, ඉතා ප්‍රණීතවූද යම් ඒ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. නොපසුබටවූ පැවතුම් ඇත්තේ පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ ඥානදර්ශනය (පංච අභිඥාව) උපදවයි. ඔහු ඒ ඥානදර්ශනය නිසා සතුටු වෙයි. සම්පූර්ණවූ අදහස් ඇත්තේ නොවෙයි. ඔහු ඒ ඥාන දර්ශනය නිසා තමන් උසස්කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි. ඒ ඥානදර්ශනයටද වඩා ඉතා උසස්වූද, ප්‍රණීතවූද යම් ඒ ධර්මයෝ වෙද්ද ඒ ධර්මයන් අත්කර ගැණීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. නොපසුබටවූ පැවතුම් ඇත්තේ වෙයි. පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ වෙයි.
Msdiv 323 “බ්‍රාහ්මණය, ඒ ඥානදර්ශනයට වඩා ඉතා උසස්වූද, ප්‍රණීතවූද, ඒ ධර්මයෝ කවරහුද යත්?
“බ්‍රාහ්මණය, මේ ශාසනයෙහි භික්ෂුතෙම කාම වස්තූන් ගෙන් වෙන්ව, විතර්ක සහිතවූ විචාර සහිතවූ විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණය, මෙයද ඥානදර්ශනයට වඩා ඉතා උසස්වූද ඉතා ප්‍රණීතවූද ධර්මයකි.
“බ්‍රාහ්මණය, නැවතද භික්ෂුව විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇතිකරන්නාවූ සිතෙහි එකඟ බවයයි කියනලද විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවැනිවූ ධ්‍යානයට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණය, මෙයද ඥාන දර්ශනයට වඩා ඉතා උසස්වූද ඉතා ප්‍රණීතවූද ධර්මයකි.
“බ්‍රාහ්මණය, නැවතද ඒ භික්ෂුව ප්‍රීතියෙන් වෙන්වී මෙන්ද, උපේක්ෂාව (මැදහත් බව) ඇතිවද වාසය කරයි සිහියෙන් යුක්තවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ කයින් සැපය විඳියි. යමක් උපෙක්ෂා සහිතවූයේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ (බුද්ධාදිඋත්තමයෝ) කියත්ද. ඒ තුන්වැනිවූ ධ්‍යානයට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණය, මෙයද ඥානදර්ශනයට වඩා ඉතා උසස්වූද, ඉතා ප්‍රණීත වූද ධර්මයකි.
“බ්‍රාහ්මණය, නැවතද භික්ෂුව (කායික) සැපය දුරු කිරීමෙන්ද, (කායික) දුක දුරු කිරීමෙන්ද පෙරමෙන් සතුට හා අසතුට (චෛතසික සැප දුක්) දුරු කිරීමෙන්ද, දුක් නැත්තාවූ සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් (මැදහත් බවෙන්) හටගත් පිරිසිදු සිහිය ඇති සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණය, මෙයද ඥාන දර්ශනයට වඩා ඉතා උසස්වූද ඉතා ප්‍රණීතවූද ධර්මයකි.
“බ්‍රාහ්මණය, නැවතද භික්ෂුව සියලු ආකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මීම හේතු කොට ගෙන, ගැටීම් සංඥාවන්ගේ විනාශයෙන්ද, නානත්ත සංඥාවන්ගේ සිහි නොකිරීමෙන්ද, අනන්ත ආකාසය” යි (කියා) ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරන්නේය. බ්‍රාහ්මණය, මෙයද ඥාන දර්ශනයට වඩා ඉතා උසස්වූද ඉතා ප්‍රණීතවූද ධර්මයකි.
“බ්‍රාහ්මණය, නැවතද භික්ෂුව සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතන සමාපත්තිය ඉක්මවා, ‘අනන්තවූ විඤ්ඤාණය’යි (කියා) විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරන්නේය. බ්‍රාහ්මණය, මෙයද ඥානදර්ශනයට වඩා ඉතා උසස්වූද, ඉතා ප්‍රණීතවූද ධර්මයකි.
“බ්‍රාහ්මණය, නැවතද භික්ෂුව සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි (කියා) ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණය, මෙයද ඥානදර්ශනයට වඩා ඉතා උසස් වූද ඉතා ප්‍රණීතවූද ධර්මයකි.
“බ්‍රාහ්මණය, නැවතද භික්ෂුව සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. බ්‍රාහ්මණය, මෙයද ඥානදර්ශනයට වඩා ඉතා උසස්වූද ඉතා ප්‍රණීතවූද ධර්මයකි.
“බ්‍රාහ්මණය, නැවතද භික්ෂුව සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා සඤ්ඤා වෙදයිත නිරොධ සමාපත්තියට පැමිණ වාසය කරන්නේය. ප්‍රඥාවෙන්ද දැකීමෙන් ඔහුගේ කෙලෙස් විනාශ වූවාහු වෙති. “බ්‍රාහ්මණය, මෙයද ඥානදර්ශනයට වඩා ඉතා උසස්වූද ඉතා ප්‍රණීතවූද ධර්මයකි.
Msdiv 324 “බ්‍රාහ්මණය, යම්සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුවයයි දැනගෙනම අරටුව සිඳගෙන යන්නේ ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය හොඳින් සිදුවන්නේය.
“බ්‍රාහ්මණය, මම මේ පුද්ගලයාද ඒ සාර පරියෙසක (අරටුව සොයන) පුරුෂයා වැනියයි කියමි.
“බ්‍රාහ්මණය, මෙසේ මේ ශාසන බ්‍රහ්මචරියාව ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පිණිස නොවන්නේය. සීල සමාපත්තිය පිණිස නොවන්නේය, ඥාන දර්ශනය පිණිස නොවන්නේය. බ්‍රාහ්මණය, යම් අර්හත් ඵල සමාධියක් වේද, බ්‍රාහ්මණය, මේ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය මෙය අර්ථ (ප්‍රධාන) කොට ඇත්තේය. මෙය හරයයි. මේ අර්හත් ඵලය කෙළවරයයි” වදාළහ.
මෙසේ වදාළ කල පිංගල කොච්ඡ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
“පින්වත් ගෞතමයන් වහන්ස, ධර්ම දෙශනාව යහපත්ය, පින්වත් ගෞතමයන් වහන්ස, ධර්ම දෙශනාව ඉතා යහපත්ය, පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ යම්සේද, මංමුළා වූවෙකුට මග කියන්නේ හෝ යම්සේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහණක් දරන්නේ හෝ යම්සේද, එපරිද්දෙන්ම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දෙශනා කරන ලද්දේය. මේ මම පින්වත් ගෞතමයාණන් වහන්සේද, ධර්මයද භික්ෂු සංඝයාද සරණකොට යමි. පින්වත් ගෞතමයාණන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයෙකුයයි මා දරා ගන්නා සේක්වායි” කීය.
දසවෙනිවූ චූල සාරොපම සූත්‍රය නිමි.
තුන්වන ඔපම්ම වර්ගයයි.
කකචූපම සූත්‍රය, අලගද්දූපම සූත්‍රය, වම්මික සූත්‍රය, රථවිනීත සූත්‍රය, නිවාප සූත්‍රය, අරිය පරියෙසන සූත්‍රය, චූලහත්ථිපදොපම සූත්‍රය, මහා හත්ථිපදොපම සූත්‍රය, මහා සාරොපම සූත්‍රය, චූලසාරොපම සූත්‍රය යන සූත්‍ර දසයවූ
AP de Zoysa edition.
Permission to publish was kindly granted by Kumari Jayawardhana.
Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.
Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .
The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.
Prepared for SuttaCentral by Ayya Vimala .
Translation: A.P. de Zoysa Verify source