LibraryMNMN 31
MN 3116 min read

The Shorter Discourse at Gosiṅga

Cūḷagosiṅga Sutta

20
PDFGenerated
01 · Overview

The Buddha comes across three mendicants practicing diligently and harmoniously, and asks them how they do it. Reluctant to disclose their higher attainments, they explain how they deal with the practical affairs of living together. But when pressed by the Buddha, they reveal their meditation attainments.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 4. මහා යමක වර්ගය 31. චූලගොසිංග සූත්‍රය Msdiv 325 මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගම (ගඩොලින්ම කළ හෙයින්) ‘ගිඤ්ජකාවසථ’ නම් වූ විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද ‘ගොසිංග සාලවන’ නම් වූ ආරණ්‍යයෙහි වාසය කළහ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පල සමවතින් නැගී සිටියේ ගොසිංග සාලවන නම් ආරණ්‍ය සේනාසනය යම් තැනකද එතැනට වැඩියහ. වන පාලක පුරුෂ තෙම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුවේය. දැක, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ශ්‍රමණය, මේ වනයට ඇතුළු නොවනු මැනවි. තමන්ට වැඩ කැමති ස්වභාව ඇත්තාවූ කුල පුත්‍රයෝ තුන් දෙනෙක් මෙහි වාසය කරති. ඔවුන්ට අපහසුවක් නොකරනු මැනවි.”

ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ සමග කරන්නාවූ වනපාලයාගේ කථාව ඇසූහ. අසා වනපාලයාට මෙසේ කීහ. “ඇවැත්නි, වනපාලයෙනි, භාග්‍යවතුන් වහන්සේ නොවළක්වව, අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ පැමිණියහ”යි (කීහ) ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද යම් තැනකද එතැනට පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේටද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේටද, මෙසේ කීහ. “එන්න ආයුෂ්මතුනි, එන්න ආයුෂ්මතුනි, අපගේ ශාස්තෘවූ භාග්‍යවතුන් වහන්සේ වැඩියහ”යි (කීහ.)

එවිට ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගමන් කොට එක නමක් භාග්‍යවතුන්වහන්සේගේ පාත්‍රය හා සිවුරු පිළිගත්තේය. එක නමක් ආසන පැණවීය. එක නමක් පා සේදීමට දිය තැබීය. භාග්‍යවතුන් වහන්සේ පනවනලද ආසනයෙහි වැඩ හිඳ පා සේදූහ. ඒ ආයුෂ්මත්හුද භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හිඳ ගත්හ. එක් පැත්තක උන්නාවූ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

Msdiv 326 “අනුරුද්ධයෙනි, කිමෙක්ද තොපට ඉරියව් ඉවසිය හැකිද? කිමෙක්ද දිවි පැවැත්විය හැකිද? කිමෙක්ද, පිණ්ඩපාතයෙන් අපහසු නොවන්නාහුද?” ස්වාමීනි, ඉවසිය හැකිය, දිවි පැවත්විය හැකිය. “ස්වාමීනි, අපි පිණ්ඩපාතයෙන් අපහසු නොවන්නෙමු”යි කීහ. “අනුරුද්ධයෙනි, කිමෙක්ද, තෙපි සමගිය, සතුටුව, විරුද්ධවාද නැතිව, කිරිත් වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරව්ද?”

“ස්වාමීනි, එකාන්තයෙන් අපි සමගිව, සතුටුව, විරුද්ධවාද නැතිව, කිරිත් වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් දකිමින් වාසය කරමු”යි (කීහ)

“අනුරුද්ධයෙනි, තෙපි කෙසේ නම් සමගිව, සතුටුව, විරුද්ධවාද නැතිව, කිරිත් වතුරත් මෙන් එක්ව, ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරන්නහුද?”

“ස්වාමීනි, මට මෙසේ කල්පනා වෙයි. යම්බඳුවූ මම මෙබඳුවූ සබ්‍රම්සරුන් (එකට මහණ දම් පුරන්නන්) සමග වාසය කරම්ද, ඒ මට එකාන්තයෙන් ලාභයකි, එකාන්තයෙන් හොඳ ලාභයකි’ (යනුවෙනි) මේ ආයුෂ්මතුන් කෙරෙහි, ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද ඒ මාගේ මෛත්‍රී සහගත ක්‍රියා ඇත්තීය. ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත වචන ඇත්තේය. ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත සිත් ඇත්තේය. ස්වාමීනි, එසේවූ මට යම් හෙයකින් මගේ සිත යටහත් කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් අනුවම වාසය කරම් නම් යෙහෙකැයි අදහස් වෙයි. ස්වාමීනි, ඒ මම මගේ සිත යටහත්කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් අනුවම වාසය කරමි. ස්වාමීනි, අපගේ ශරීර පමණක් වෙන්ව පවත්නාහුය. සිත් වනාහි එකක්මයයි හඟිමි.”

ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි මට මෙසේ කල්පනාවෙයි. යම්බඳුවූ මම මෙබඳුවූ සබ්‍රම්සරුන් (එකට මහණදම්පුරන්නන්) සමග වාසය කරම්ද, ඒ මට එකාන්තයෙන් ලාභයකි, එකාන්තයෙන් හොඳ ලාභයකි’ (යනුවෙනි.) මේ ආයුෂ්මතුන් කෙරෙහි, ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත ක්‍රියා ඇත්තීය, ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත වචන ඇත්තේය. ඉදිරියෙහි ඇති තැනද ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත සිත් ඇත්තේය. ස්වාමීනි, එසේවූ මට යම් හෙයකින් මගේ සිත යටහත් කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් අනුවම වාසය කරම් නම් යෙහෙකැයි අදහස් වෙයි. ස්වාමීනි, ඒ මම මගේ සිත යටහත් කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් අනුවම වාසය කරමි. ස්වාමීනි, අපගේ ශරීර පමණක් වෙන්ව පවත්නාහුය. සිත් වනාහි එකක්මයයි හඟිමි.”

ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, මට මෙසේ කල්පනා වෙයි. ‘යම්බඳුවූ මම මෙබඳුවූ සබ්‍රම්සරුන් සමග වාසය කරම්ද, ඒ මට එකාන්තයෙන් ලාභයකි. එකාන්තයෙන් හොඳ ලාභයකි’ (යනුවෙනි) මේ ආයුෂ්මතුන් කෙරෙහි, ඉදිරියෙහි ඇති තැනද ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත ක්‍රියා ඇත්තීය. ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත වචන ඇත්තේය. ඉදිරියෙහි ඇති තැනද, ඉදිරියෙහි නැති තැනද මෛත්‍රී සහගත සිත් ඇත්තේය.

ස්වාමීනි, එසේවූ මට යම් හෙයකින් මගේ සිත යටහත් කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත අනුවම වාසය කරම් නම් යෙහෙකැයි අදහස් වෙයි. ස්වාමීනි, ඒ මම මගේ සිත යටහත්කර තබා මේ ආයුෂ්මතුන්ලාගේ සිත් අනුවම වාසය කරමි. ස්වාමීනි, අපගේ ශරීර පමණක් වෙන්ව පවත්නාහුය. සිත් වනාහි එකක්මයයි හඟිමි.”

Msdiv 327 “අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත, අනුරුද්ධයෙනි, කිමෙක්ද? තෙපි අප්‍රමාද වූවාහු, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තාහු, සතර මාර්ගයෙහි යවනලද සිත් ඇත්තාහු වාසය කරව්ද?”

“ස්වාමීනි, අපි එකාන්තයෙන් අප්‍රමාද වූවාහු, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූවාහු, සතර මඟ යවනලද සිත් ඇත්තාහු වාසය කරමු.”

“අනුරුද්ධයෙනි, තෙපි කෙසේ නම් අප්‍රමාද වූවාහු, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තාහු, සතර මඟ යවනලද සිත් ඇත්තාහු වාසය කරව්ද?”

“ස්වාමීනි, මෙහි අප අතුරෙන් යමෙක් පළමු කොට ගමෙන් පිඩු පිණිස හැසිරීමෙන් ආපසු එයිද, හෙතෙම ආසන පණවයි. පානය කළ යුතු ජලයද, පරිභොග කළයුතු ජලයද ගෙනවුත් තබයි. යමෙක් පසුව ගමින් පිඩු පිණිස හැසිරීමෙන් ආපසු එයිද, හෙතෙම ඉදින් අනුභවයෙන් ඉතිරි ඇත්තේ වේනම්, ඉදින් කැමැත්තේ වේනම් වළඳයි. ඉදින් නො කැමති නම් නිල් තණ කොළ නැති තැනක හෝ, (ඉන් නැසෙන) පණුවන් නැති ජලයක හෝ පාකර හරියි. හෙතෙම ආසන තැන්පත් කර තබයි. පියයුතු පැන්ද, පරිභොග කළයුතු පැන්ද තැන්පත් කරයි. වැඩි ආහාර ලන බඳුන් නියම තැන තබයි. බොජුන් හල අමදියි, යමෙක් බොන පැන් තබන කළය හෝ, සෝදන පැන් තබන කළය හෝ, වැසිකිළියෙහි පැන් තබන කළය හෝ හිස්ව තිබෙනු දකීද, හෙතෙම එහි දිය වත්කරයි. ඉදින් ඔහු විසින් එය නොඉසිලිය හැකි වේද, අතින් සංඥා කිරීමෙන් දෙවැන්නකු කැඳවා දෙ අත් එක්කොට අත් උඩ තබා ගැන්මෙන් ගෙන ගොස් තබයි. ස්වාමීනි, අපි ඒ සඳහාවත් කථා නොකරන්නෙමු.

“ස්වාමීනි, අපි පස් දවසකට වරක් මුළු රාත්‍රියෙහිම දැහැමි කථාවෙන් යුක්තව සමගිව හිඳිමු. ස්වාමීනි, මෙපරිද්දෙන් අපි අප්‍රමාද වූවාහු වීර්‍ය්‍යවත් වූවාහු සතර මාර්ගයෙහි යැවූ සිත් ඇත්තාහු වෙසෙමු”යි (කීහ)

Msdiv 328 “අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, සිවු මඟ යැවූ සිත් ඇතිව වාසය කරන්නාවූ තොප විසින් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍යභාවය ඇති කිරීමට සමර්ථවූ සැප විහරණයක් අවබොධ කරන ලද්දේද?” “ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? අපි යම් විටක කැමති වෙමු නම්, කාමයන් කෙරෙන් වෙන්වම අකුසල ධර්මයන් ගෙන් වෙන්වම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමු. ස්වාමීනි, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, මාර්ගඵලයන්ට යැවූ සිත් ඇතිව වාසය කරන්නාවූ අප විසින් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් වූ ආර්‍ය්‍යභාවය ඇති කිරීමට සමර්ථවූ මේ සැප විහරණය අවබොධ කරන ලද්දේය.”

“අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්මවීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථ වූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබොධ කරන ලද්දේද?”

“ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? ස්වාමීනි, අපි මෙහි යම් විටෙක කැමති වෙමු නම්, (එකෙනෙහි) විතර්ක විචාර. සංසිඳවීමෙන් ඇතුළත පැහැදීම සහිත හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති, ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමු ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථ වූ මේ අනෙක් සැප විහරණය අවබොධ කරන ලද්දේය.”

“අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්මවීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ, ආර්‍ය්‍යභාවය ඇති කිරීමට සමර්ථ වූ අනික් සැප විහරණයක් තොප විසින් අවබොධ කරන ලද්දේද?”

ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? ස්වාමීනි, මෙහි අපි යම් විටෙක කැමැත්තෙමු නම්, (එකෙණෙහි) ප්‍රීතියෙහිද, නොඇල්මෙන් මැදහත් බවෙන් යුක්තව සිහියෙන් හා මනා නුවණින් යුක්තව කයින්ද සැපය විඳින්නෙමු. යම් ඒ ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ, සිහි ඇත්තේ සැප විහරණයකැයි ආර්‍ය්‍යයෝ කියද්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථ වූ මේ අනෙක් සැප විහරණය අවබොධ කරන ලද්දේය.”

“අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්මවීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩි වූ, ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථ වූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබොධ කරන ලද්දේද?”

“ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? ස්වාමීනි, මෙහි අපි යම් විටෙක කැමැත්තෙමු නම්, (එකෙණෙහි) සැපය නැති කිරීමෙන්ද, දුක නැති කිරීමෙන්ද, පළමුව සොම්නසත් දොම්නසත් නැති කිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂා සිහියෙන් පිරිසිදුවූ සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ මේ අනෙක් සැප විහරණය අවබොධ කරන ලද්දේය.”

“අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්ම වීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබොධ කරන ලද්දේද?”

“ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? මෙහි අපි යම් විටෙක කැමැත්තෙමු නම්, සම්පූර්ණයෙන් රූප හැඟීම් ඉක්ම වීමෙන් ගැටීම් හැඟීම් දුරු කිරීමෙන්, නොයෙක් හැඟීම් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාශය අනන්තය’යි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථ වූ මේ අනෙක් සැප විහරණය අවබොධ කරන ලද්දේය.”

“අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්මවීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබොධ කරන ලද්දේද?”

“ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? ස්වාමීනි, මෙහි අපි යම් විටෙක කැමැත්තෙමු නම්, සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇතිකිරීමට සමර්ථ වූ මේ අනෙක් සැප විහරණය අවබොධ කරන ලද්දේය.

“අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්මවීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍යධර්මයට වැඩිවූ ආර්‍ය්‍යභාවය ඇතිකිරීමට සමර්ථවූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබොධ කරන ලද්දේද?”

“ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? ස්වාමීනි, මෙහි අපි යම් විටෙක කැමැත්තෙමු නම්, සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ මේ අනෙක් සැප විහරණය අවබොධ කරන ලද්දේය.”

“අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්මවීම පිණිස, මේ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබොධ කරන ලද්දේද?”

“ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? ස්වාමීනි, මෙහි අපි යම් විටෙක කැමැත්තෙමු නම්, සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරමු. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ මේ අනෙක් සැප විහරණය අවබෝධ කරන ලද්දේය.”

Msdiv 329 “අනුරුද්ධයෙනි, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධයෙනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස, මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය ඥානදර්ශනය ඇති කිරීමට සමර්ථවූ වෙනත් සැප විහරණයක් තොප විසින් අවබොධ කරන ලද්දේද?”

“ස්වාමීනි, කෙසේ නම් නැත්තේද? ස්වාමීනි, මෙහි අපි යම් විටෙක කැමැත්තෙමු නම්, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤා වෙදයිත නිරොධ සමාපත්තියට පැමිණ වාසය කරන්නෙමු. අප විසින් ඒ නිරොධය ප්‍රඥාවෙනුදු දැක ආශ්‍රව ධර්මයෝ නැති කරන ලදහ. ස්වාමීනි, ඒ විහරණය ඉක්මවීම පිණිස, ඒ විහරණය සංසිඳවීම පිණිස අප විසින් මේ මනුෂ්‍ය ධර්මයට වඩා උතුම්වූ ආර්‍ය්‍ය ඥානදර්ශන විශෙෂය ඇති කිරීමෙහි සමර්ථවූ, මේ පහසු විහරණය අවබෝධ කරන ලද්දේය. ස්වාමීනි, මේ පහසු විහරණයට වඩා වැඩිවූද, ප්‍රණීතවූද අනික් පහසු විහරණයක් නොදක්නෙමු’යි (කීහ)

“අනුරුද්ධයෙනි, යහපත, යහපත. මේ පහසු විහරණයට වඩා වැඩිවූද, ප්‍රණීතවූද අනෙක් පහසු විහරණයක් නැත.”

Msdiv 330 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන්ද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන්ද දැහැමි කථාවකින් කරුණු දක්වා, සමාදන් කරවා, උත්සාහ කරවා, සතුටු කරවා හුන් ආසනයෙන් නැගිට වැඩියහ.

ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද භාග්‍යවතුන් වහන්සේට පසු ගමන් කොට ආපසු අවුත්, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන්වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.

“ආයුෂ්මතුන් වහන්සේ බුදුන් ඉදිරියේදී අපගේ අර්හත්වය දක්වා මාර්ගඵල ලබා සිටින බව කීවාහුය. කිමෙක්ද, ‘අපි මේ මේ විහරණ, මේ මේ සමාපත්ති ලැබ සිටින්නෙමුය’යි ඔබ සමග කීයෙමුද?” “අපි මේ මේ විහරණ, මේ මේ සමාපත්ති ලැබ සිටින්නෙමු”යයි ආයුෂ්මත්හු මට නොකීවාහුය. එහෙත් මා විසින් මාගේ සිතින් ආයුෂ්මතුන්ගේ සිත පිරිසිඳ මේ මේ විහරණ, මේ මේ සමාපත්තීන් ලබා සිටින්නාහුයයි දක්නාලදී. දෙවතාවෝද, ආයුෂ්මතුන් මේ මේ විහරණ, මේ මේ සමාපත්තීන් ලබා ඇත්තාහුයයි යන මේ කාරණය මට දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් විචාරණ ලද්දාවූ මා විසින් මේ කාරණය ප්‍රකාශ කරනලදී.”

Msdiv 331 ඉක්බිති දීඝ නම් යක්ෂ සේනාපති සමූහයට අයත් පරජන නම් යක්ෂ සේනාපතිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ, එකපැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ දීඝ පරජන යක්ෂ සේනාපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, යම් තැනක තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් නන්දිය ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේද යන කුල පුත්‍රයෝ තිදෙනාත් වාසය කරද්ද, ඒ වැදෑරට වැසියන්හට, වජ්ජි ජනයාට ලාභයකි, මහත්ලාභයකි”යි (කීයේය)

දීඝ පරජන නම් වූ යක්ෂ සේනාපතියාගේ මේ ශබ්දය අසා බූමාටු දෙවියෝ ‘යම් තැනක තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරය, ආයුෂ්මත් නන්දිය ස්ථවිරය, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරය යන කුලපුත්‍රයෝ තිදෙනාත් වාසය කරත්ද, ඒ වැදෑරට වැසියන්ට, වජ්ජි ජනයාට ලාභයකි. මහත් ලාභයකි,’යි ශබ්ද නැගූහ.

බූමාටු දෙවියන්ගේ ශබ්දය අසා චාතුර්මහාරාජික දෙවියෝ “යම් තැනක තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන්වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරය, ආයුෂ්මත් නන්දිය ස්ථවිරය, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරය යන කුල පුත්‍රයෝ තිදෙනාත් වාසය කරත්ද, ඒ වැදෑරට වැසියන්ට, වජ්ජි ජනයාට ලාභයකි, මහත් ලාභයකි”යි ශබ්ද නැගූහ.

චාතුර්මහාරාජික දෙවියන්ගේ ශබ්දය අසා තව්තිසා වැසි දෙවියෝ “යම් තැනක තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරය, ආයුෂ්මත් නන්දිය ස්ථවිරය, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරය යන කුලපුත්‍රයෝ තිදෙනාත් වාසය කරත්ද, ඒ වැදෑරට වැසියන්ට, වජ්ජි ජනයාට ලාභයකි, මහත් ලාභයකි”යි, ශබ්ද නැගූහ.

තව්තිසා වැසි දෙවියන්ගේ ශබ්දය අසා යාම දෙවියෝ, “යම් තැනක තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරය, ආයුෂ්මත් නන්දිය ස්ථවිරය, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරය යන කුල පුත්‍රයෝ තිදෙනාත් වාසය කරත්ද, ඒ වැදෑරට වැසියන්ට, වජ්ජි ජනයාට ලාභයකි, මහත් ලාභයකි”යි ශබ්ද නැගූහ.

යාම දෙවියන්ගේ ශබ්දය අසා තුසිත දෙවියෝ “යම් තැනක තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරය, ආයුෂ්මත් නන්දිය ස්ථවිරය, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරය යන කුලපුත්‍රයෝ තිදෙනාත් වාසය කරද්ද, ඒ වැදෑරට වැසියන්ට, වජ්ජි ජනයාට ලාභයකි, මහත් ලාභයකි”යි, ශබ්ද නැගූහ.

තුසිත දෙවියන්ගේ ශබ්දය අසා නිර්මානරතී දෙවියෝ “යම් තැනක තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරය, ආයුෂ්මත් නන්දිය ස්ථවිරය, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරය යන කුලපුත්‍රයෝ තිදෙනාත් වාසය කරත්ද, ඒ වැදෑරට වැසියන්ට, වජ්ජි ජනයාට ලාභයකි, මහත් ලාභයකි”යි, ශබ්ද නැගූහ.

නිර්මානරතී දෙවියන්ගේ ශබ්දය අසා පරනිර්මිත වසවර්ති දෙවියෝ “යම් තැනක තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරය, ආයුෂ්මත් නන්දිය ස්ථවිරය, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරය යන කුලපුත්‍රයෝ තිදෙනාත් වාසය කරත්ද, ඒ වැදෑරට වැසියන්ට, වජ්ජි ජනයාට ලාභයකි, මහත් ලාභයකි”යි, ශබ්ද නැගූහ.

පරනිර්මිත වසවර්ති දෙවියන්ගේ ශබ්දය අසා බ්‍රහ්ම කායික දෙවියෝ “යම් තැනක තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේත්, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරය, ආයුෂ්මත් නන්දිය ස්ථවිරය, ආයුෂ්මත් කිම්බිල ස්ථවිරය යන කුලපුත්‍රයෝ තිදෙනාත් වාසය කරත්ද, ඒ වැදෑරට වැසියන්ට, වජ්ජි ජනයාට ලාභයකි, මහත් ලාභයකි”යි, ශබ්ද නැගූහ.

මෙසේ ඒ ආයුෂ්මත් වරු තිදෙන එකෙණෙහි, ඒ මොහොතෙහි බ්‍රහ්මලොකය දක්වා ප්‍රසිද්ධවූහ.

“දීඝය, ඒ එසේමය, ඒ එසේමය. දීඝය, මේ කුල පුත්‍රයෝ තිදෙන යම් කුලයකින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූවාහුද, ඒ කුලය පවා මේ කුලපුත්‍රයන් තිදෙනා පැහැදුනු සිතින් සිහි කරත් නම්, ඒ කුලයටත් දීර්ඝ කාලයක් මුළුල්ලේ හිත පිණිස, සැප පිණිස වන්නේය.

“දීඝය, මේ කුල පුත්‍රයෝ තිදෙන යම් කුල පරම්පරාවකින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූවාහුද, ඒ කුල පරම්පරාව පවා මේ කුල පුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත් නම් ඒ කුල පරම්පරාවටත් දීර්ඝ කාලයක් මුළුල්ලේ හිත පිණිස, සැප පිණිස වන්නේය.

“දීඝය, මේ කුල පුත්‍රයෝ තිදෙනා යම් ගමකින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූවාහුද, ඒ ගම පවා මේ කුලපුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත් නම් ඒ ගමටත් දීර්ඝ කාලයක් මුළුල්ලේ හිත පිණිස, සැප පිණිස වන්නේය.

“දීඝය, මේ කුල පුත්‍රයෝ තිදෙනා යම් නියම් ගමකින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූවාහුද, ඒ නියම් ගම පවා මේ කුල පුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත්නම් ඒ නියම් ගමටත් දීර්ඝ කාලයක් මුළුල්ලේ හිත පිණිස, සැප පිණිස වන්නේය.

“දීඝය, මේ කුල පුත්‍රයෝ තිදෙන යම් නගරයකින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූවාහුද, ඒ නගරය පවා මේ කුලපුත්‍රයන් තිදෙනා පැහැදුනු සිතින් සිහිකරත් නම් ඒ නගරයටත් දීර්ඝ කාලයක් මුළුල්ලේ හිත පිණිස, සැප පිණිස වන්නේය.

“දීඝය, මේ කුල පුත්‍රයෝ තිදෙනා, යම් ජනපදයකින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදිවූවාහුද, ඒ ජනපදය පවා මේ කුල පුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත්නම් ඒ නගරයටත් දීර්ඝ කාලයක් මුළුල්ලේ හිත පිණිස, සැප පිණිස වන්නේය.

“දීඝය, සියලු ක්ෂත්‍රියයෝ, මේ කුලපුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත්නම්, ඒ සියලු ක්ෂත්‍රියයන්ට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.

“දීඝය, සියලු බ්‍රාහ්මණයෝ මේ කුලපුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත් නම්, ඒ බ්‍රාහ්මණයන්ට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.

“දීඝය, සියලු වෛශ්‍යයෝ මේ කුලපුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත් නම්, ඒ වෛශ්‍යයන්ට දීර්ඝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.

“දීඝය, සියලු ශුද්‍රයෝ, මේ කුලපුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත්නම්, ඒ ශුද්‍රයන්ට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.

“දීඝය, දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ, දෙවි මිනිසුන් සහිත ප්‍රජාවවූ සියලු ලෝවැසියා මේ කුලපුත්‍රයන් තිදෙනා, පැහැදුනු සිතින් සිහි කරත්නම්, දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත, දෙවිමිනිසුන් සහිත සියලු සත්වයන්ට හිත පිණිස, සැප පිණිස වන්නේය. දීඝය, යම්තාක් මේ කුල පුත්‍රයෝ තිදෙන බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස පිළිපන්නාහුද, ඒ මේ යහපත් ආකාරය බලව”යි වදාළහ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුවූ දීඝපරජන යක්ෂතෙම භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේය

පළමුවෙනිවූ චූලගොසිංග සූත්‍රය නිමි (4-1)

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection