LibraryMNMN 32
MN 3220 min read

The Longer Discourse at Gosiṅga

Mahāgosiṅga Sutta

20
PDFGenerated
01 · Overview

Several senior mendicants, reveling in the beauty of the night, discuss what kind of practitioner would adorn the park. They take their answers to the Buddha, who praises their answers, but gives his own twist.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 4. මහා යමක වර්ගය 32. මහා ගොසිංග සූත්‍රය Msdiv 332 මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ගොසිංග සාලවන නම් අරණ්‍යයෙහි සුප්‍රසිද්ධ සුප්‍රසිද්ධ බොහෝ ස්ථවිර ශ්‍රාවකයන් සමග,-එනම්:- ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ, ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්වහන්සේ, ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සහ මෙයින් අන්‍යවූද අතිශයින් ප්‍රසිද්ධව; ස්ථවිර ශ්‍රාවකයින් වහන්සේලා සමඟ-වැඩ වාසය කරති.

ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමාපත්තියෙන් නැඟී සිට ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතනට ගියහ. ගොස්, “ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයෙනි, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද බණ අසනු පිණිස එහි යමු”යි කීහ. ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි, එසේය”යි ආයුෂ්මත් මහා මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ.

ඉක්බිති ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද, බණ අසනු පිණිස එහි ගියහ. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවීරයන් වහන්සේ යම් තැනකද, බණ අසනු පිණිස එහි යනු දුටහ. දැක ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එහි ගියහ. ගොස් ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.

“ආයුෂ්මත් රෙවත ස්ථවිරයෙනි, අසවල් සත්පුරුෂයෝ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද, බණ අසනු පිණිස එහි යන්නාහ. ආයුෂ්මත් රෙවත ස්ථවිරයෙනි, අපිත් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද බණ අසනු පිණිස එහි යමු” (කියායි) ඇවැත්නි, “එසේය”යි ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ඉක්බිති ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද බණ අසනු පිණිස එහි ගියහ.

Msdiv 333 ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ එසේ එන්නාවූ ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද දුරදීම දුටහ. දැක, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ.

“ආයුෂ්මත් ආනන්දයෙනි, එනු මැනවි. භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකවූ, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි හැසිරෙන්නාවූ ආයුෂ්මත් ආනන්දයන්ගේ මෙහි පැමිණීම ඉතා යහපත්ය.

“ඇවැත්නි, ආනන්දයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍යසුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් ආනන්දයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොට ගෙන ගොසිංගසාලවනය හොබනේදැ”යි (විචාළහ.) “ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ සාසනයෙහි භික්ෂුවක් බොහෝ ඇසූපිරූ තැන් ඇත්තේ වෙයිද, ඇසූ දේ සිත්හි දරන්නේ වෙයිද, ඇසූ ධර්මය සිත්හි රැස්කර ගත්තේ වෙයිද, මුල යහපත්වූ මැද යහපත්වූ අග යහපත්වූ අර්ථ සහිත බ්‍යඤ්ජන සහිතවූ යම් ඒ ධර්මකෙනෙක් මුළුමනින් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචරියාව ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවූ ධර්ම ඔහු විසින් බොහෝකොට අසන ලද්දාහු වෙත්ද, ප්‍රගුණ කරන ලද්දාහු වෙත්ද, වචනයෙන් කීම් වසයෙන් පුරුදුකරණ ලද්දාහු වෙත්ද, සිතින් සලකන ලද්දාහු වෙත්ද, ප්‍රඥාවෙන් මනාව අවබොධ කරණ ලද්දාහු වෙත්ද හෙතෙම ආශ්‍රව (කෙලෙස්) නැති කිරීම පිණිස සිවුවණක් පිරිසට පද බ්‍යඤ්ජන සම්පත්තියෙන් සම්පූර්ණ කර ධර්මය දෙශනා කරයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, එබඳු භික්ෂුවක් කරණකොට ගෙන ගොසිංගසාලවනය හොබනේය’යි (කීහ.)

Msdiv 334 මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් රෙවත ස්ථවිරයන්ට මෙසේ කීහ.

“ඇවැත් රෙවතයෙනි, ආයුෂ්මත් ආනන්දයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය. එහිලා දැන් ආයුෂ්මත් රෙවතයන් විචාරමු. ඇවැත් රෙවතයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳපහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් රෙවතයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේදැ”යි (විචාළහ.) “ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පලසමවත්හි ඇලුනේ පලසමවත්හි කැමැත්ත ඇත්තේ තමාගේ හිත සමාධිගත කිරීමෙහි යෙදුනේ පහනොකළ ධ්‍යාන ඇත්තේ විදර්ශනායෙන් යුක්තවූයේ ශූන්‍යාගාරයෙහි භාවනාවන් වඩන්නේ වෙයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාල වනය හොබනේය”යි (කීහ.)

Msdiv 335 මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙසේ කීහ. “ඇවැත් අනුරුද්ධයෙනි, ආයුෂ්මත් රෙවතයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය. එහිලා දැන් අපි ආයුෂ්මත් අනුරුද්ධයන් විචාරමු. ඇවැත්නි, අනුරුද්ධයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය. රාත්‍රිය සඳපහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් අනුරුද්ධයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොට ගෙන ගොසිංගසාල වනය හොබනේදැයි, (විචාළහ.)

“ඇවැත්නි, ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂුව පිරිසුදුවූ, මිනිස්බව ඉක්මවූ දිවඇසින් දහසක් ලොකධාතුව බලයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ඇස් ඇති පුරුෂයෙක් උඩුමහල් තලයකට ගියේ නිම්වළලු දහසක් දකින්නේ යම්සේද, එසේම භික්ෂුව පිරිසුදුවූ, මිනිස් බව ඉක්මවූ දිවඇසින් දහසක් ලොකධාතුව බලයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේය”යි (කීහ.)

Msdiv 336 මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන්ට මෙසේ කීහ. “ඇවැත් මහා කාශ්‍යප ස්ථවිරයෙනි, ආයුෂ්මත් අනුරුද්ධයන් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලද්දේය. එහිලා දැන් අපි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් විචාරමු. ඇවැත් මහාකාශ්‍යපයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල් ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් මහාකාශ්‍යපයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේදැයි (විචාළහ.)

“ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක්, තෙමේද සමාදන්වූ ආරණ්‍යකාංග ඇත්තේවේද, ආරණ්‍යකාංග පිරීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද පිණ්ඩපාතිකවූයේ පිණ්ඩපාතික වීමෙහි ගුණ කියන්නේවේද, තෙමේද පංශුකූලිකාංග ඇත්තේ පංශුකූලික වීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද තෙචීවරිකාංග ඇත්තේ, (තුන් සිවුරු පමණක් දැරීම) තෙචීවරික වීමෙහි ගුණ කියන්නේවේද, තෙමේද අල්පෙච්ඡ (ස්වල්පයකින් සතුටුවීම) වූයේ අල්පෙච්ඡ වීමෙහි ගුණකියන්නේවේද, තෙමේද ලදදෙයින් සතුටුවන්නේ ලදදෙයින් සතුටු වීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද විවේකයෙන් යුක්ත වූයේ විවේකයෙහි ගුණ කියන්නේ වේද, තෙමේද සංසර්ගයෙන් (එකට ගැටී විසීම) තොරවූයේ අසංසර්ගයෙහි ගුණ කියන්නේවේද, තෙමේද පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ වීර්‍ය්‍ය කිරීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද සීලයෙන් යුක්තවූයේ සීල සම්පත්තියෙහි ගුණ කියන්නේ වේද, තෙමේද සමාධියෙන් යුක්තවූයේ සමාධිසම්පත්තියෙහි ගුණ කියන්නේවේද, තෙමේද ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥා සම්පත්තියෙහි ගුණ කියන්නේ වේද, තෙමේද විමුක්තියෙන් යුක්ත වූයේ විමුක්ති සම්පත්තියෙහි ගුණ කියන්නේවේද, තෙමේද විමුක්තිඥාන දර්ශනයෙන් යුක්තවූයේ විමුක්ති ඥාන දර්ශන සම්පත්තියෙහි ගුණ කියන්නේ වේද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුව කරණකොටගෙණ ගොසිංගසාල වනය හොබනේය”යි (කීහ.)

Msdiv 337 මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහා මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ:- “ඇවැත් මහා මෞද්ගල්‍යායන ස්ථවිරයෙනි, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය. එහිලා දැන් අපි ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් විචාරමු. ඇවැත් මෞද්ගල්‍යායනයෙහි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල් ගස්මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේ දැ”යි (විචාළහ.) “ඇවැත් ශාරීපුත්‍රස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂූන් දෙනමක් අභිධර්ම කථා පවත්වත්ද, ඔවුහු ඔවුනොවුන් ප්‍රශ්න විචාරත්ද, ඔවුනොවුන් විසින් අසන ලද ප්‍රශ්න විසඳත්ද, කරුණු යටපත් නොකරත්ද, ඔවුන් අතර දැහැමි කථාව පවත්නී වෙයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුව කරණකොටගෙන ගොසිංගසාල වනය හොබනේය’යි (කීහ.)

Msdiv 338 ඉක්බිති මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ. “ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, අප හැමදෙනා විසින් අපේ වැටහීම පරිදි ප්‍රකාශ කරන ලදී. මෙහිලා අපි දැන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් විචාරමු. ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල් ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොට ගෙන ගොසිංගසාලවනය හොබනේදැ”යි, (විචාළහ)

“ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මේ ශාසනයෙහි භික්ෂුව හිත වසඟ කර ගනියිද හිතට වසඟ වීමෙන් නොපවතියිද, හෙතෙම යම් ධ්‍යාන සමාපත්තියකින් යුක්තව උදය කාලයෙහි වාසය කරන්ට කැමති වේද, ඒ ධ්‍යාන සමාපත්තියෙන් යුක්තව උදය කාලයෙහි වාසය කෙරෙයිද, යම් ධ්‍යාන සමාපත්තියකින් දවල් කාලයෙහි වාසය කරන්ට කැමති වෙයිද, ඒ ධ්‍යාන සමාපත්තියෙන් දවල් කාලයෙහි වාසය කරයිද, සවස් කාලයෙහි යම් ධ්‍යාන සමාපත්තියකින් වාසය කරන්නට කැමතිවෙයිද, සවස් කාලයෙහි ඒ ධ්‍යාන සමාපත්තියෙන් වාසය කරයිද, ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, රජ කෙනෙකුගේ හෝ රාජ මහාමාත්‍යයෙකුගේ හෝ ඇඳුම් ගබඩාව නොයෙක් වර්ණ ඇති ඇඳුම්වලින් පිරුණේ වේද, හෙතෙම උදය කාලයෙහි යම් වස්ත්‍ර දෙකක් අඳින්නට කැමති වෙයි නම් ඒ වස්ත්‍ර දෙක උදය කාලයෙහි අඳියිද, දවල් කාලයෙහි යම් වස්ත්‍ර දෙකක් අඳින්නට කැමති වෙයි නම් ඒ වස්ත්‍ර දෙක දවල් කාලයෙහි අඳියිද, සවස් කාලයෙහි යම් වස්ත්‍ර දෙකක් අඳින්නට කැමති වෙයි නම් ඒ වස්ත්‍ර දෙක සවස් කාලයෙහි අඳියිද, ඇවැත් මෞද්ගල්‍යායනයෙහි, මෙසේම මහණතෙම හිත වසඟ කර ගනියිද, හිතට වසඟව නොපවතියිද, හෙතෙම යම් ධ්‍යාන සමාපත්තියකින් යුක්තව උදය කාලයෙහි වාසය කරන්නට කැමති නම් ඒ ධ්‍යාන සමාපත්තියෙන් යුක්තව උදය කාලයෙහි වාසය කරයිද, යම් ධ්‍යාන සමාපත්තියකින් දාවල් කාලයෙහි වාසය කරන්ට කැමති වෙයි නම් ඒ ධ්‍යාන සමාපත්තියෙන් දවල් කාලයෙහි වාසය කරයිද සවස් කාලයෙහි යම් ධ්‍යාන සමාපත්තියකින් වාසය කරන්නට කැමති වෙයි නම් සවස් කාලයෙහි ඒ ධ්‍යාන සම්පත්තියෙන් වාසය කරයිද, ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මෙබඳු ස්වභාව ඇති භික්ෂුව කරණ කොට ගෙන ගොසිංගසාලවනය හොබනේය”යි (කීහ.)

Msdiv 339 ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඒ ආයුෂ්මතුන් වහන්සේලාට මෙසේ කීහ. “ඇවැත්නි, අප සියලුදෙනා විසින් අපේ දැනීම පරිදි ප්‍රකාශ කරනලදී. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි යමු; ගොස්, මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැල කරමු. භාග්‍යවතුන් වහන්සේ අපට යම් ආකාරයකින් ප්‍රකාශ කරත් නම් එසේ මෙය දරා ගනිමු”යි (කීහ.) ‘එසේය, ඇවැත්නි’යි ඒ ආයුෂ්මත්වරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේට පිළිතුරු දුන්හ. ඉක්බිති ඒ (සියලු) ආයුෂ්මතුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි ගියහ. ගොස්, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පස්ව උන්හ. එකත්පසෙක උන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. “ස්වාමීනි, ආයුෂ්මත් රෙවත තෙමේද, ආයුෂ්මත් ආනන්ද තෙමේද බණ අසනු පිණිස මා වෙත පැමිණියහ. ස්වාමීනි, මම මෙසේ එන්නාවූ ආයුෂ්මත් රෙවතයන් හා ආයුෂ්මත් ආනන්දයන් දුරදීම දුටුවෙමි. දැක, ආයුෂ්මත් ආනන්දයන්ට මෙසේ කීවෙමි.

“භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකවූ, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිම හැසිරෙන්නාවූ ආයුෂ්මත් ආනන්දයන්ගේ මෙහි පැමිණීම යහපත්ය. ඇවැත් ආනන්දයෙනී, ගොසිංගසාල වනය සිත්කලුය, රාත්‍රිය සඳහපනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් ආනන්දයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාල වනය හොබනේදැ”යි (ඇසීමි.)

“ස්වාමීනි, මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද තෙමේ මට මෙසේ කීය. ‘ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් බොහෝ ඇසූපිරූ තැන් ඇත්තේ වෙයිද, ඇසූ දේ හිතෙහි දරන්නේ වෙයිද, ඇසූ ධර්මය සිත්හි රැස්කර ගත්තේ වෙයිද. මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ථ සහිතවූ, බ්‍යඤ්ජන සහිතවූ යම් ඒ ධර්මකෙනෙක් මුළුමනින් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචරියාව ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවූ ධර්ම ඔහු විසින් බොහෝකොට අසන ලද්දාහු වෙත්ද, ප්‍රගුණ කරන ලද්දාහු වෙත්ද, වචනයෙන් කීම් වසයෙන් පුරුදුකරණ ලද්දාහු වෙත්ද, සිතින් සලකන ලද්දාහු වෙත්ද, ප්‍රඥාවෙන් මනාව අවබොධ කරණ ලද්දාහු වෙත්ද හෙතෙම ආශ්‍රව (කෙලෙස්) නැතිකිරීම පිණිස සිවුවණක් පිරිසට පද බ්‍යඤ්ජන සම්පත්තියෙන් සම්පූර්ණ කර ධර්මය දෙශනා කරයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, එබඳු භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේය’යි (කීය)

“ශාරීපුත්‍රය, ඉතා යහපති, ඉතා යහපති. ආනන්ද මනාව ප්‍රකාශ කරන්නේ මෙසේ ප්‍රකාශ කරන්නේය. ශාරීපුත්‍රය, ආනන්ද බොහෝ ඇසූපිරූතැන් ඇත්තේය. ඇසූ දේ හිත්හි දරන්නේය, ඇසූ දේ සිත්හි රැස්කරගෙන සිටින්නේය. මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ථ සහිතවූ, බ්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්ම කෙනෙක් මුළුමනින් සම්පූර්ණවූ පිරිසිදු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරත්ද. එබඳු ධර්ම ඔහු විසින් බොහෝ අසන ලද්දාහු වෙත්. ප්‍රගුණ කරන ලද්දාහු වෙත්. වචනයෙන් කීම් වශයෙන් පුරුදු කරන ලද්දාහු වෙත්, සිතින් සලකන ලද්දාහු වෙත්. හෙතෙම ආශ්‍රව (කෙලෙස්) නැතිකිරීම පිණිස සිව් පිරිසට පද බ්‍යඤ්ජන සම්පත්තියෙන් සම්පූර්ණකර ධර්මය දෙශනා කරයි”

Msdiv 340 “ස්වාමීනි, මෙසේ කී කල්හි මම ආයුෂ්මත් රෙවතයන්ට මෙසේ කීවෙමි. ‘ඇවැත් රෙවතයෙනි, ආයුෂ්මත් ආනන්ද විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරන ලද්දේය. එහිලා දැන් අපි ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් විචාරමු. ඇවැත් රෙවතයෙනි, ගොසිංග සාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය සල්ගස් මුලසිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් රෙවතයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොට ගෙන ගොසිංගසාල වනය හොබනේදැ’යි (ඇසීමි.) ස්වාමීනි, මෙසේ ඇසූ කල්හි ආයුෂ්මත් රෙවත තෙමේ මට මෙසේ කීයේය. ඇවත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් පලසමවත්හි ඇලුනේ, පලසමවත්හි කැමැත්ත ඇත්තේ, තමාගේ හිත සමාධිගත කිරීමෙහි යෙදුනේ පහනොකළ ධ්‍යාන ඇත්තේ, විදර්ශනායෙහි යුක්ත වූයේ ශූන්‍යාගාරයෙහි භාවනාවන් වඩන්නේ වෙයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුවක් කරණකොටගෙන ගොසිංග සාලවනය හොබනේය’යි (කීය.)

‘ශාරීපුත්‍රය, ඉතා යහපත, ඉතා යහපත. රෙවත මනාව ප්‍රකාශ කරන්නේ මෙසේ ප්‍රකාශ කරන්නේය, ශාරීපුත්‍රය, රෙවත වනාහි පලසමවත්හි ඇළුනේය, පලසමවත්හි කැමැත්ත ඇත්තේය. තමාගේ හිත සමාධිගත කිරීමෙහි යෙදුනේය, පහනොකළ ධ්‍යාන ඇත්තේය, විදර්ශනාවෙන් යුක්තය. ශූන්‍යාගාරයෙහි වඩන භාවනා ඇත්තේය.

Msdiv 341 “ස්වාමීනි, මෙසේ කී කල්හි මම ආයුෂ්මත් අනුරුද්ධයන්ට මෙසේ කීවෙමි. ‘ඇවැත් අනුරුද්ධයෙනි, ආයුෂ්මත් රෙවත විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලද්දේය. එහිලා දැන් අපි ආයුෂ්මත් අනුරුද්ධයන් විචාරමු. ඇවැත් අනුරුද්ධයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳ පහනින් බබලන්නීය. සල් ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් අනුරුද්ධයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොටගෙන ගොසිංගසාලවනය හොබනේදැ’යි (ඇසීමි.) මෙසේ ඇසූ කල්හි ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්ධ තෙමේ මට මෙසේ කීයේය. ‘ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි භික්ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව ඇසින් දහසක් ලොකධාතුව බලයිද, ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, ඇස් ඇති පුරුෂයෙක් උඩුමහල්තලයකට ගියේ නිම්වළලු දහසක් දකින්නේ යම්සේද, එසේම භික්ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව ඇසින් දහසක් ලොක ධාතුව බලයිද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේය’යි (කීහ.)

“ශාරීපුත්‍රය, ඉතා යහපත, ඉතා යහපත. අනුරුද්ධ මනාව ප්‍රකාශ කරන්නේ මෙසේ ප්‍රකාශ කරන්නේය. ශාරීපුත්‍රය, අනුරුද්ධ වනාහි පිරිසිදුවූ, මිනිස් බව ඉක්මවූ දිව ඇසින් දහසක් ලොක ධාතුව බලන්නේය.”

Msdiv 342 “ස්වාමීනි, මෙසේ කී කල්හි මම ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන්ට මෙසේ කීවෙමි. ‘ඇවැත් මහාකාශ්‍යපයෙනි, ආයුෂ්මත් අනුරුද්ධයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරනලදී. මෙහිදී අපි ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් විචාරමු. ඇවැත් මහාකාශ්‍යපයෙනි, ගොසිංග සාලවනය සිත්කලුය. රාත්‍රිය සඳපහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් මහා කාශ්‍යපයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොට ගෙන ගොසිංගසාලවනය හොබනේදැ”යි ඇසීමි.

“ස්වාමීනි, මෙසේ ඇසූ කල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරතෙමේ මට මෙසේ කීයේය. ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් තෙමේද සමාදන්වූ ආරණ්‍යකාංග “ඇත්තේ ආරණ්‍යකාංග පිරීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද පිණ්ඩපාතිකවූයේ පිණ්ඩපාතික වීමෙහි ගුණ කියන්නේවේද, තෙමේද පාංශුකූලිකාංග ඇත්තේ පාංශුකූලික වීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද තෙචීවරිකාංග ඇත්තේ (තුන් සිවුරු පමණක් දැරීම) තෙචීවරික වීමෙහි ගුණ කියන්නේවේද, තෙමේද අල්පෙච්ඡ (ස්වල්පයකින් සතුටුවීම) වූයේ අල්පෙච්ඡවීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද ලද දෙයින් සතුටුවන්නේ ලදදෙයින් සතුටුවීමෙහි ගුණකියන්නේ වේද, තෙමේද විවේකයෙන් යුක්තවූයේ විවේකයෙහි ගුණ කියන්නේ වේද, තෙමේද සංසර්ගයෙන් (එකට ගැටී විසීම) තොරවූයේ අසංසර්ගයෙහි ගුණ කියන්නේ වේද, තෙමේද පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ වීර්‍ය්‍ය කිරීමෙහි ගුණ කියන්නේ වේද, තෙමේද සීලයෙන් යුක්තවූයේ සීල සම්පත්තියෙහි ගුණ කියන්නේ වේද, තෙමේද සමාධියෙන් යුක්තවූයේ සමාධි සම්පත්තියෙහි ගුණ කියන්නේ වේද, තෙමේද ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාසම්පත්තියෙහි ගුණ කියන්නේ වේද, තෙමේද විමුක්තියෙන් යුක්තවූයේ විමුක්ති සම්පත්තියෙහි ගුණ කියන්නේවේද, තෙමේද විමුක්ති ඥානදර්ශනයෙන් යුක්තවූයේ විමුක්තිඥානදර්ශන සම්පත්තියෙහි ගුණ කියන්නේ වේද, ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුව කරණ කොටගෙන ගොසිංගසාලවනය හොබනේය”යි (කීය.)

“ශාරීපුත්‍රය, ඉතා යහපත, ඉතා යහපත. කාශ්‍යප මනාව ප්‍රකාශ කරන්නේ මෙසේ ප්‍රකාශ කරන්නේය. ශාරීපුත්‍රය, කාශ්‍යප වනාහි තෙමේ සමාදන්වූ ආරණ්‍යකාංග ඇත්තේ, ආරණ්‍යකාංග පිරීමෙහි ගුණ කියන්නේය. තෙමේද පිණ්ඩපාතික වූයේ, පිණ්ඩපාතික වීමෙහි ගුණ කියන්නේය. තෙමේද පාංශුකූලික වූයේ, පාංශුකූලික වීමෙහි ගුණ කියන්නේය. තෙමේද තෙචීවරිකාංග ඇත්තේ, (තුන් සිවුරු පමණක් දැරීම) තෙචීවරික වීමෙහි ගුණ කියන්නේය. තෙමේද අල්පෙච්ඡ (ස්වල්පයකින් සතුටුවීම) වූයේ, අල්පෙච්ඡ වීමෙහි ගුණ කියන්නේය. තෙමේද ලද දෙයින් සතුටු වන්නේ, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නේය. තෙමේද විවේකයෙන් යුක්ත වූයේ, විවෙකයෙහි ගුණ කියන්නේය තෙමේද සංසර්ගයෙන් (එකට ගැටී සිටීම) තොරවූයේ, අසංසර්ගයෙහි ගුණ කියන්නේය. තෙමේද පටන්ගත් වීර්‍ය්‍යය ඇත්තේ, වීර්‍ය්‍ය කිරීමෙහි ගුණ කියන්නේය. තෙමේද සීලයෙන් යුක්තවූයේ, සීල සම්පත්තියෙහි ගුණ කියන්නේය. තෙමේද ප්‍රඥාවෙන් යුක්ත වූයේ, ප්‍රඥාසම්පත්තියෙහි ගුණ කියන්නේය තෙමේද විමුක්තියෙන් යුක්තවූයේ, විමුක්ති සම්පත්තියෙහි ගුණ කියන්නේය. තෙමේද විමුක්ති ඥානදර්ශනයෙන්, යුක්තවූයේ විමුක්තිඥාන දර්ශන සම්පත්තියෙහි ගුණ කියන්නේය.

Msdiv 343 “ස්වාමීනි, මෙසේ කීකල්හි මම ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන්ට මෙසේ කීමි. ‘ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් විසින් තමාගේ වැටහීම පරිදි ප්‍රකාශ කරනලදී. මෙහිලා අපි ආයුෂ්මත් මෞද්ගල්‍යායන ස්ථවිරයන් විචාරමු. ආයුෂ්මත් මෞද්ගල්‍යායනයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳපහනින් බබලන්නීය. සල්ගස් මුල සිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණ කොටගෙන ගොසිංගසාලවනය හොබනේදැ’යි (ඇසීමි.) ස්වාමීනි, මෙසේ ඇසූ කල්හි ආයුෂ්මත් මෞද්ගල්‍යායනස්ථවිර තෙමේ මට මෙසේ කීයේය. ‘ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ ශාසනයෙහි භික්ෂූන් දෙනමක් අභිධර්ම කථා කියත්ද, ඔවුහු ඔවුනොවුන් ප්‍රශ්න විචාරත්ද, ඔවුනොවුන් විසින් අසනලද ප්‍රශ්න විසඳත්ද, කරුණු යටපත් නොකරත්ද, ඔවුන් අතර දැහැමි කථාව පවත්නී වෙයිද, ඇවැත් ශාරීපුත්‍රස්ථවිරයෙනි, මෙබඳු භික්ෂුව කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේය’යි (කීය.)

“ශාරීපුත්‍රය, ඉතා යහපත, ඉතා යහපත. මෞද්ගල්‍යායන මනාව ප්‍රකාශ කරන්නේ මෙසේ ප්‍රකාශ කරන්නේය. ශාරීපුත්‍රය, මෞද්ගල්‍යායන වනාහි ධර්මකථිකය.”

Msdiv 344 මෙසේ කී කල්හි ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ඉක්බිති ස්වාමීනි, මම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේට මෙසේ කීවෙමි. ‘ඇවැත් ශාරීපුත්‍රයෙනි, අප හැමදෙනා විසින් අපේ වැටහීම පරිදි ප්‍රකාශ කරනලදී. මෙහිලා අපි දැන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් විචාරමු. ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, ගොසිංගසාලවනය සිත්කලුය, රාත්‍රිය සඳපහනින් බබලන්නීය. සල්ගස් මුලසිට අග දක්වා පිපී සිටියහ. දිව්‍ය සුගන්ධය වැනි සුවඳ හමයි. ඇවැත් ශාරීපුත්‍රය, කෙබඳු ස්වභාව ඇති භික්ෂුවක් කරණකොටගෙන ගොසිංගසාලවනය හොබනේදැ’යි (ඇසීමි.) ස්වාමීනි, මෙසේ ඇසූ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මට මෙසේ කීහ. “ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මේ ශාසනයෙහි භික්ෂුව හිත වසඟකර ගනියිද, හිතට වසඟ වීමෙන් නොපවතියිද, හෙතෙම යම් සමාපත්තියකින් යුක්තව උදය කාලයෙහි වාසය කරන්ට කැමති වේ නම් ඒ ධ්‍යාන සමාපත්තියෙන් යුක්තව උදය කාලයෙහි වාසය කරයිද, යම් ධ්‍යාන සමාපත්තියකින් දවල් කාලයෙහි වාසය කරන්ට කැමතිවෙයි නම් ඒ ධ්‍යාන සමාපත්තියෙන් දවල් කාලය වාසය කරයිද, සවස් කාලයෙහි යම් ධ්‍යාන සමාපත්තියකින් වාසය කරන්නට කැමති වෙයි නම් සවස් කාලයෙහි ඒ ධ්‍යාන සමාපත්තියෙන් වාසය කරයිද, ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, රජකෙනෙකුගේ හෝ රාජ මහාමාත්‍යයෙකුගේ හෝ ඇඳුම් ගබඩාව නොයෙක් වර්ණ ඇති ඇඳුම් වලින් පිරුනේ වේද, හෙතෙම උදය කාලයෙහි යම් වස්ත්‍ර දෙකක් අඳින්නට කැමති වෙයි නම් ඒ වස්ත්‍ර දෙක උදය කාලයෙහි අඳියි, දවල් කාලයෙහි යම් වස්ත්‍ර දෙකක් අඳින්නට කැමතිවෙයි නම් ඒ වස්ත්‍ර දෙක දවල් කාලයෙහි අඳියි, සවස් කාලයෙහි යම් වස්ත්‍ර දෙකක් අඳින්නට කැමතිවෙයි නම් ඒ වස්ත්‍ර දෙක සවස් කාලයෙහි අඳින්නේද, ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මෙසේම මහණතෙම හිත වසඟකර ගනියිද, හිතට වසඟව නොපවතියිද, ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මෙබඳු ස්වභාව ඇති භික්ෂුව කරණ කොටගෙන ගොසිංගසාලවනය හොබනේය”යි (කීහ.)

“මෞද්ගල්‍යායනයෙනි, ඉතා යහපත, ඉතා යහපත, ශාරීපුත්‍ර මනාව ප්‍රකාශකරන්නේ මෙසේ ප්‍රකාශකරන්නේය. මෞද්ගල්‍යායනයෙනි, ශාරීපුත්‍ර වනාහි උදයකාලයෙහි යම් සමාපත්තියකින් වාසය කරන්නට කැමතිනම් උදය කාලයෙහි ඒ සමාපත්තියෙන් වාසයකරන්නේය. දවල් කාලයෙහි යම් සමාපත්තියකින් වාසය කරන්නට කැමතිනම් දවල් කාලයෙහි ඒ සමාපත්තියෙන් වාසයකරන්නේය. සවස් කාලයෙහි යම් සමාපත්තියකින් වාසය කරන්නට කැමතිනම් සවස් කාලයෙහි ඒ සමාපත්තියෙන් වාසය කරන්නේය.

Msdiv 345 මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේකීහ. “ස්වාමීනි, කවරෙකුගේ ප්‍රකාශය යහපත් ප්‍රකාශය වන්නේද?” “ශාරීපුත්‍රය, තොප සියලුදෙනාගේ ප්‍රකාශ ඒ ඒ කාරණයෙන් යහපත් ප්‍රකාශමය. එහෙත් ‘කෙබඳු භික්ෂුවක් කරණ කොටගෙන ගොසිංග සාලවනය හොබනේදැ’යි මගෙන්ද අසව්. ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි මහණ තෙම බතෙන් පසුව පිණ්ඩපාතයෙන් වැළකුණේ පලක් බැඳගෙන කය ඍජුකොට පිහිටුවා සිහිය ඉදිරිකොට පිහිටුවාගෙන, මගේ සිත යම්තාක් උපාදානයන්ගෙන් වෙන්ව, කෙලෙසුන් කෙරෙන් නොමිදෙන්නේද, ඒතාක් පර්‍ය්‍යංකය නොබිඳින්නෙමියි හිඳියිද, ශාරීපුත්‍රය, මෙබඳු භික්ෂුව කරණ කොට ගෙණ ගොසිංග සාලවනය හොබනේය.” භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළහ. සතුටු සිත් ඇත්තාවූ ඒ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.

දෙවැනිවූ මහා ගොසිංග සූත්‍රය නිමි. (4-2)

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection