LibraryMNMN 33
MN 3315 min read

The Longer Discourse on the Cowherd

Mahāgopālaka Sutta

20
PDFGenerated
01 · Overview

For eleven reasons a cowherd is not able to properly look after a herd. The Buddha compares this to the spiritual growth of a mendicant.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 4. මහා යමක වර්ගය 33. මහා ගොපාල සූත්‍රය Msdiv 346 මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේ පිඩු සිටුහු විසින් කරවන ලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීන්වහන්ස”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“මහණෙනි, එකොළොස් අංගයකින් යුක්තවූ ගොපලු තෙම ගව සමූහයා හසුරුවන්ටද, දියුණු කරන්ටද නුසුදුසු වෙයි. කවර අංග එකළොසකින්ද යත්: මහණෙනි, මේ ලොකයෙහි ගොපලු තෙම, ගවයන්ගේ ගණන හෝ වර්ණ සටහන් හෝ නොදන්නේ වේද, (ගවයන්ගේ ශරීරයෙහි ඇති) ලකුණු නොදන්නේ වෙයිද, (ගවසිරුරෙහි හටගත්) වණ බෙහෙත් ලා ශුද්ධ නොකරන්නේ වෙයිද, වණය බෙහෙත් යොදා වසා නොබඳින්නේ වෙයිද, බෙහෙත් දුම් නොඅල්ලන්නේ වෙයිද, තොටවල් මනාව නොදනියිද, ගවයින් පැන් බිවූ හෝ නොබිවුබව නොදනියිද, මඟනොදනියිද, ඒ ඒ දිනවල ගවයන් හැසිරවිය යුතු තැන් නොදනියිද, (පැටවුන්ට ඉතිරි නොකර) සියලු කිරි දොවින්නේ වෙයිද, ගව පියන්වූ. ගව නායකයන්වූ වෘෂභයන්හට විශෙෂ සැලකිලි නොකරන්නේ වෙයිද, මහණෙනි, මේ අංග එකොළසින් යුක්තවූ; ගොපලු තෙම ගවසමූහයා හසුරුවන්නටද දියුණු කරන්ටද නුසුදුසු වෙයි. මහණෙනි, එපරිද්දෙන්ම ධර්ම එකොළොසකින් යුක්තවූ, මහණ තෙම මේ ශාසනයෙහි වැඩීමටද, දියුණුවටද, විපුල බවටද පැමිණෙන්ට සුදුසු නොවෙයි. කවර එකොළොසකින්ද යත්:- මහණෙනි, මේ සස්නෙහි මහණතෙම රූප නොදන්නේ වේද, ලක්ෂණ නොදන්නේවේද, පණුබිජු ඉවත්නොකරන්නේ වේද, තුවාල නොවසන්නේ වේද, දුම් නොඅල්ලන්නේ වේද, තොටුපල නොදනීද, බොන ලද්ද නොදනීද, වීථිය නොදනීද, ගොචරයෙහි අදක්ෂ වේද, ඉතිරි නොකර දොවන්නේ වේද, බොහෝ රාත්‍රි දන්නාවූ, පැවිදිවී බොහෝ කල් ගිය ඒ ස්ථවිර භික්ෂූහු වෙත්ද, ඔවුන්ට අන්‍යයන්ට වැඩිවූ පූජාවෙන් නොපුදන්නේ වේද.

Msdiv 347 “මහණෙනි, මහණතෙම කෙසේනම් රූප නොදන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම යම් කිසි රූපයක්වෙයි නම් ඒ සියලු රූපය සතර මහාභූත රූපයන් හා සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි ඇති සැටියෙන් නොදනීද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම රූප නොදන්නේ වෙයි. මහණෙනි, මහණ තෙම කෙසේනම් ලක්ෂණයෙහි අදක්ෂවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම අඥානයා (අකුසල) කර්මය ලක්ෂණ කොට ඇත්තේය, ඥානවන්තයා (කුසල) කර්මය ලක්ෂණ කොට ඇත්තේයයි ඇතිසැටියෙන් නොදනීද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ලක්ෂණයෙහි අදක්ෂවූයේ වෙයි.

“මහණෙනි, මහණ තෙම කෙසේ නම් පණු බිජු ඉවත් නොකරන්නේවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම තමාගේ සිතෙහි පහළවූ කාමකල්පනා ඉවසාද, දුරුනොකරයිද ඉවත් නොකරයිද, විනාශ නොකරයිද, අභාවයට නොපමුණුවයිද, උපන්නාවූ ව්‍යාපාද කල්පනා ඉවසාද, දුරු නොකරයිද, විනාශ නොකෙරේද, අභාවයට නොපමුණුවයිද. උපන්නාවූ විහිංසා කල්පනා ඉවසාද, දුරු නොකරයිද, ඉවත් නොකෙරේද, විනාශ නොකෙරේද, අභාවයට නොපමුණුවයිද, උපනුපන් ලාමක අකුසල කල්පනා ඉවසාද ඉවත් නොකෙරේද, විනාශ නොකෙරේද, අභාවයට නොපමුණුවාද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පණු බිජු ඉවත්නොකරන්නේ වේ.

“මහණෙනි, කෙසේ නම් මහණතෙම තුවාල නොවසන්නේවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඇසින් රූප දැක ශුභවසයෙන් ගන්නේ වෙයිද, ඉතාහොඳයයි ගන්නේ වෙයිද, යමක් හෙතුකොටගෙණ ඇසින් අසංවරව වසන්නහුට දැඩි ලොභය හා දොම්නස යන ලාමකවූ අකුසල ධර්මයෝ රැස් වන්නාහුද, ඒ ඇස සංවර කරගැනීමට නොපිළිපදියිද, ඇස නොරකියිද, ඇස සම්බන්ධයෙන් සංවරයට නොපැමිණෙයිද, කණින් ශබ්දය අසා ශුභ වශයෙන් ගන්නේ වෙයිද, ඉතා හොඳ යයි ගන්නේ වෙයිද, යමක් හේතු කොට ගෙන කණින් අසංවරව වසන්නහුට දැඩි ලොභය හා දොම්නස යන ලාමක අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ කණ සංවර කර නොගනියිද, කණ නොරකියිද, කණ පිළිබඳව සංවරයට නොපැමිණෙයිද, නාසයෙන් සුවඳ දැන ශුභ වශයෙන් ගන්නේ වෙයිද ඉතා හොඳයයි ගන්නේ වෙයිද, යමක් හේතු කොට ගෙණ නාසයෙන් අසංවරව වසන්නහුට දැඩි ලොභය හා දොම්නස යන ලාමක අකුසල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ නාසය සංවරකර නොගනියිද, නාසය නොරකියිද, නාසයෙහි සංවරයට නොපැමිණෙයිද, දිවෙන් රසය විඳ ශුභ වශයෙන් ගන්නේ වෙයිද, ඉතා හොඳයයි ගන්නේ වෙයිද, යමක් හෙතු කොට ගෙන දිවෙන් අසංවරව වසන්නහුට දැඩි ලොභය හා දොම්නස යන ලාමක අකුශල ධර්මයෝ රැස්වන්නාහුද ඒ දිව සංවර කර නොගනියිද, දිව නොරකියිද, දිව පිළිබඳව සංවරයට නොපැමිණෙයිද, කයින් ස්පර්ශය විඳ ශුභ වශයෙන් ගන්නේ වෙයිද, ඉතා හොඳයයි ගන්නේ වෙයිද, යමක් හේතුකොටගෙන කයින් අසංවරව වසන්නහුට දැඩි ලොභය හා දොම්නස යන ලාමක අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ කය සංවරකර නොගනියිද, කය නොරකියිද, කය පිළිබඳව සංවරයට නොපැමිණෙයිද, සිතින් අරමුණු දැන ශුභ වශයෙන් ගන්නේ වෙයිද, ඉතා හොඳයයි ගන්නේ වෙයිද, යමක් හේතු කොට ගෙන (සිත) අසංවරව වසන්නහුට දැඩි ලොභය හා දොම්නස යන ලාමක අකුශල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ සිත සංවරකර නොගනියිද, සිත නොරකියිද, සිත පිළිබඳව සංවරයට නොපැමිණෙයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පණුබිජු ඉවත් නොකරන්නේ වේ.

“මහණෙනි, මහණතෙම කෙසේ නම් දුම් නොදෙන්නේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඇසූ පරිදි, පුහුණ කළ පරිදි අනුන්ට විස්තර වශයෙන් ධර්මය නොදෙසන්නේවේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දුම් නොදෙන්නේ වෙයි.

“මහණෙනි, මහණතෙම කෙසේනම් තොටවල් නොදන්නේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇති, උගත් ආගම ඇති, දහම් දරන්නාවූ, විනය දරන්නාවූ මාතෘකා පාලි දරන්නාවූ යම් ඒ භික්ෂූහු වෙත්ද, ඔවුන්වෙත කලින්කල පැමිණ, ‘ස්වාමීනි, මෙය කෙසේද, මේ පදයාගේ අර්ථය කවරේදැ’යි නොවිචාරයිද, නැවත නැවත නොවිචාරයිද, ඒ ආයුෂ්මත්හු ඔහුට අප්‍රකට කාරණය ප්‍රකට කර නොදෙත්ද. නොයෙක් සැක කටයුත්තන්හි සැක දුරු නොකරත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම තොටවල් නොදන්නේ වෙයි.

“මහණෙනි, කෙසේනම් මහණතෙම පානය කළයුතු දෙය නොදනීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම තථාගතයන් වහන්සේ විසින් වදාළාවූ ධර්ම විනය දෙශනා කරනු ලබන කල්හි අර්ථය දැනීමෙන් සතුටක් නොලබයිද, පාළිය දැනීමෙන් සතුටක් නොලබයිද, ධර්මයෙන් යුක්තව සතුටක් නොලබයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පානය කළයුත්ත නොදනියි.

“මහණෙනි, මහණතෙම කෙසේනම් වීථිය නොදනීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආර්‍ය්‍යවූ අෂ්ටාඩ්ගික මාර්ගය ඇති සැටියෙන් නොදනීද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම වීථිය නොදන්නේ වෙයි.

“මහණෙනි, මහණතෙම කෙසේනම් ගොචරයෙහි අදක්ෂවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සතර සතිපට්ඨානයන් ඇති සැටියෙන් නොදනියිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ගොචරයෙහි අදක්ෂ වෙයි.

“මහණෙනි, මහණතෙම කෙසේනම් ඉතිරි නොකර දොවින්නේවේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවට ශ්‍රද්ධා සිත් ඇත්තාවූ ගිහියෝ සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස බෙහෙත් පිරිකර යන මෙයින් පවරත්ද, ඒ මහණ තෙම ඒ සිව්පසය පිළිගැනීමෙහි පමණ නොදනීද මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ඉතුරු නොකොට දොවින්නේ වේ.

“මහණෙනි, මහණතෙම බොහෝ රාත්‍රි දන්නාවූ, පැවිදිව බොහෝ කල් ගියාවූ සංඝපිතෘවූ සංඝනායකවූ යම් ඒ ස්ථවිර භික්ෂූහු වෙත්ද, ඔවුන් විශෙෂ පූජාවෙන් කෙසේ නොපුදන්නේවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම බොහෝ රාත්‍රි දන්නාවූ, පැවිදිව බොහොකල් ගියාවූ, සංඝ පිතෘවූ, සංඝනායකවූ යම් ඒ ස්ථවිර භික්ෂූහු වෙද්ද, ඔවුන් කෙරෙහි ඇති තැනද නැති තැනද මෛත්‍රී සහගත කායකර්ම නොපවත්වයිද, ඇතිතැනද නැතිතැනද මෛත්‍රී සහගත වාක් කර්ම නොපවත්වයිද, ඇතිතැනද නැතිතැනද මෛත්‍රී සහගත මනොකර්ම නොපවත්වයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම බොහෝ දේ දන්නාවූ, පැවිදිවී බොහෝ කල් ගියාවූ, සංඝපිතෘවූ සංඝනායකවූ යම් ඒ ස්ථවිර භික්ෂුහු වෙත්ද, ඔවුන් විශෙෂ පූජාවෙන් නොපුදන්නේ වෙයි. මහණෙනි, මේ අංග එකොළොසින් යුක්තවූ මහණතෙම මේ ශාසනයෙහි වැඩීමටද, අභිවෘද්ධියටද, විපුල භාවයටද පැමිණෙන්ට සුදුසු නොවේ.

Msdiv 348 “මහණෙනි, අංග එකොළොසකින් යුක්තවූ ගොපලු තෙම ගව සමූහය හසුරුවන්ටද, දියුණු කරන්ටද සුදුසු වෙයි. කවර එකොළසකින් ද යත්:- මහණෙනි, මේ ලොකයෙහි ගොපලු තෙම (ගවයින්ගේ) රූප සටහන් දන්නේ වෙයිද, ලකුණු දන්නේවේද, පණු බිජු ඉවත් කරන්නේ වේද, ගව වණ වසන්නේ වේද, දුම් දෙන්නේ වේද, තොටවල් දන්නේ වේද, පානය දනියිද, මඟ නොමඟ දනියිද, ගොචරයෙහි දක්ෂ වෙයිද, (පැටවුන්ට) ඉතිරිකොට කිරි දොවින්නේ වෙයිද, ගව පිතෘවූ, ගවනායකවූ යම් ඒ වෘෂභයෝ වෙත්ද, ඔවුන්ට විශෙෂයෙන් සලකන්නේ වෙයිද,

“මහණෙනි, මේ එකොළොස් අංගයෙන් යුත් ගව පාලක තෙම ගව සමූහය හසුරුවන්ටද දියුණු කරන්ට සුදුසු වෙයි.

“මහණෙනි, එමෙන්ම කරුණු එකොළසකින් යුක්ත වූ භික්ෂුව මේ ශාසනයෙහි දියුණු බවටද, අභිවෘද්ධියටද, මහත් බවටද පැමිණෙන්ට සුදුසු වේ. කවර එකොළසකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම රූප අඳුනන්නේ වේද, ලකුණු දන්නේ වේද, පණු බිජු ඉවත් කරන්නේ වේද, තුවාලය වසන්නේ වේද, දුම් දෙන්නේ වේද, තොට දන්නේ වේද, පානය දන්නේ වේද, වීථිය දන්නේ වේද, ගොචරයෙහි දක්ෂ වේද, ඉතිරිකර දොවන්නේ වේද, බොහෝ රාත්‍රි දන්නාවූ පැවිදිව බොහෝ කල් ගියාවූ සංඝ පිතෘවූ සංඝ නායක වූ යම් ඒ ස්ථවිර භික්ෂූහු වෙද්ද ඔවුන් අතිරේක පූජාවෙන් පුදන්නේ වේද, යන (එකොළසයි)

Msdiv 349 “මහණෙනි, මහණතෙම කෙසේ නම් රූප අඳුනන්නේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් රූපයක් වේද, ‘මේ සියලු රූප සතර මහා භූත රූප හා සතර මහා භූතයන්ගේ උපාදාය රූපයයි ඇති සැටියෙන් දනියි ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම රූප අඳුනන්නේ වේ.

“මහණෙනි, මහණතෙම කෙසේ නම් ලකුණු අඳුනන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම අඥානයා (අකුසල) කර්මය ලක්ෂණ කොට පවතී, පණ්ඩිතයා (කුසල) කර්මය ලක්ෂණ කොට පවතීයයි ඇතිසැටියෙන් දනීද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ලකුණු අඳුනන්නේ නම් වේ.

“මහණෙනි, මහණතෙම කෙසේ නම් පණුබිජු ඉවත් කරන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම උපන්නාවූ කාම විතර්කය නොඉවසාද, දුරලයිද, ඉවත් කරයිද, විනාශ කරයිද, අභාවයට පමුණුවයිද, උපන්නාවූ ව්‍යාපාද විතර්කය නොඉවසයිද, දුරලයිද, ඉවත් කරයිද, විනාශ කරයිද, අභාවයට පමුණුවයිද, උපන්නාවූ විහිංසා විතර්කය නොඉවසයිද, දුරලයිද, ඉවත් කරයිද, විනාශ කරයිද, අභාවයට පමුණුවයිද. උපනුපන් ලාමක අකුශල විතර්කයන් නොඉවසයිද, දුරලයිද, ඉවත් කරයිද, විනාශ කරයිද අභාවයට පමුණුවයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පණු බිජු ඉවත් කරන්නේ වේ.

“මහණෙනි, මහණතෙම කෙසේ නම් තුවාලය වසන්නේ වේද? ඇසින් රූපය දැක, ශුභ වශයෙන් නොගන්නේ වෙයි ඉතා හොඳයයි නොගන්නේ වෙයි. යමක් හේතුකොට ගෙන චක්ෂු ඉන්ද්‍රියය (ඇස) අසංවරව වසන්නහුට දැඩි ලොභය හා දොම්නස යන අකුසල ධර්මයෝ රැස්වන්නාහුද, ඒ ඇස සංවර කර ගනියි, ඇස රකියි. ඇස පිළිබඳව සංවරයට පැමිණෙයි.

“කණින් ශබ්දය අසා ශුභ වශයෙන් නොගන්නේවෙයි. ඉතා හොඳයයි නොගන්නේ වෙයි. යමක් හේතු කොට ගෙන ශ්‍රොත ඉන්ද්‍රියය (කණ) අසංවරව වසන්නහුට දැඩි ලොභය හා දොම්නස යන අකුශලධර්මයෝ රැස්වන්නාහුද ඒ කණ සංවර කර ගනියි. කණ රකියි. කණ පිළිබඳව සංවරයට පැමිණෙයි. නාසයෙන් සුවඳ දැන ශුභ වශයෙන් නොගන්නේ වෙයි. ඉතා හොඳයයි නොගන්නේ වෙයි. යමක් හේතු කොට ගෙණ ඝ්‍රාණ ඉන්ද්‍රියය (නාසය) අසංවරව වසන්නහුට දැඩි ලොභය හා දොම්නස යන අකුශලධර්මයෝ රැස්වන්නාහුද, ඒ නාසය සංවරකර ගනියි. නාසය රකියි. නාසය පිළිබඳව සංවරයට පැමිණෙයි. දිවෙන් රසය විඳ ශුභ වශයෙන් නොගන්නේ වෙයි. ඉතා හොඳයයි නොගන්නේ වෙයි. යමක් හේතු කොට ගෙන ජිව්හා ඉන්ද්‍රියය (දිව) අසංවරව වසන්නහුට දැඩි ලොභය හා දොම්නස යන අකුශලධර්මයෝ රැස්වන්නාහුද, ඒ දිව සංවර කරගනියි. දිව රකියි. දිව පිළිබඳව සංවරයට පැමිණෙයි.

“කයින් ස්පර්ශය විඳ ශුභ වශයෙන් නොගන්නේ වෙයි. ඉතා හොඳයයි නොගන්නේ වෙයි. යමක් හේතු කොට ගෙන කාය ඉන්ද්‍රියය (ශරීරය) අසංවරව වසන්නහුට දැඩි ලොභය හා දොම්නස යන ලාමක අකුශලධර්මයෝ රැස්වන්නාහුද ඒ ශරීරය සංවර කර ගනියි. ශරීරය රකියි. ශරීරය පිළිබඳව සංවරයට පැමිණෙයි.

“සිතින් අරමුණු දැන ශුභ වශයෙන් නොගන්නේ වෙයි. ඉතා හොඳයයි නොගන්නේ වෙයි. යමක් හේතු කොට ගෙන මනින්ද්‍රියය (සිත) අසංවරව වසන්නහුට දැඩි ලොභය හා දොම්නස යන ලාමක අකුශලධර්මයෝ රැස් වන්නාහුද, ඒ සිත සංවර කර ගනියි. සිත රකියි. සිත පිළිබඳව සංවරයට පැමිණෙයි. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම තුවාල වසන්නේ වෙයි.

“මහණෙනි, මහණතෙම කෙසේනම් දුම් දෙන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම අසනලද පරිදි, පුහුණු කරන ලද පරිදි, විස්තර වශයෙන් අනුන්ට ධර්මය දෙශනා කරන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දුම් දෙන්නේ වෙයි.

“මහණෙනි, මහණතෙම කෙසේ නම් තොටවල් දන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම බොහෝ ඇසූපිරූ තැන් ඇති (උගත්) ආගම් උගත් ධර්මය දරන්නාවූ, විනය දරන්නාවූ මාතෘකාපාලිය (විනය අභිධර්මය) දරන්නාවූ යම් ඒ භික්ෂූහු වෙද්ද, ඔවුන් වෙත කලින් කල පැමිණ, ‘ස්වාමීනි, මෙය කෙසේද? මේ පදයේ තේරුම කවරේදැ’යි අසයි නැවත නැවත අසයි. ඒ ආයුෂ්මත්හු වැසූ අදහසක් පහදා දක්වත්. සැඟවුන දෙයක් ප්‍රකට (එළි) කර දක්වත්. නොයෙක් ආකාරවූ සැක කටයුතුවූ ධර්මයන්හි සැකය දුරලත් මහණෙනි මෙසේ වනාහි මහණතෙම තොට දන්නේ වෙයි.

“මහණෙනි, මහණතෙම කෙසේ නම් පානය දන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම තථාගතයන් වහන්සේ විසින් දෙශනා කරනලද ධර්ම විනය දෙශනා කරනු ලබන කල්හි අර්ථය දැනීමෙන් ලබන සතුට ලබයිද, ධර්මය අවබෝධයෙන් ලබන සතුට ලබයිද, ධර්මයෙන් යුක්තවූ ප්‍රීතිය ලබයිද, මහණෙනි මහණ තෙම මෙසේ වනාහි පානය දන්නේ වෙයි.

“මහණෙනි, මහණ තෙම කෙසේ නම් මාර්ගය දන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම උතුම්වූ අෂ්ටාංගික මාර්ගය ඇති සැටියෙන් දන්නේ වෙයිද, මහණෙනි, මහණතෙම මෙසේ වනාහි මාර්ගය දන්නේ නම්වේ.

මහණෙනි, මහණතෙම කෙසේනම් අනුභව කළ යුත්ත දන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සතර සතිපට්ඨානයන් ඇති සැටියෙන් දන්නේවේද මහණෙනි, මහණ තෙම මෙසේ වනාහි ගොචරය දන්නේවෙයි.

මහණෙනි, මහණතෙම කෙසේනම් ඉතුරු කොට දොවින්නේ වේද? මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම, ශ්‍රද්ධා ඇත්තාවූ ගිහියෝ සිවුරුය, ආහාරය, සේනාසනය ගිලන්පස හා බෙහෙත් පිරිකර යන මෙයින් කැමතිසේ ගත මැනවැයි පවරත්. එහි භික්ෂුව පිළිගැනීමෙහි ප්‍රමාණය දනියිද, මහණෙනි, මහණතෙම මෙසේ වනාහි ඉතිරි කොට දොවින්නේවේ.

“මහණෙනි, මහණතෙම කෙසේ නම් බොහෝ රාත්‍රි දන්නාවූ, පැවිදිව බොහෝ කල් ගියාවූ සංඝ පීතෘවූ, සංඝ නායකවූ යම් ඒ ස්ථවිර භික්ෂූහු වෙද්ද ඔවුන් විශෙෂ පූජාවෙන් පුදන්නේ වේද?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බොහෝ රාත්‍රි දන්නාවූ, පැවිදිව බොහෝ කල් ගියාවූ සංඝ පිතෘවූ සංඝ නායකවූ, යම් ඒ ස්ථවිර භික්ෂූහු වෙද්ද, ඔවුන් කෙරෙහි මෛත්‍රී සහගත කයින් කරණ කර්මයෙන් ඉදිරි පිටද නැතිතැනද පුදන්නේ වේද, මෛත්‍රී සහගත වචනයෙන් ඉදිරිපිටද නැති තැනද පුදන්නේ වේද, මෛත්‍රී සහගත සිතින් ඉදිරිපිටද නැති තැනද පුදන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම බොහෝ රාත්‍රි දන්නාවූ, පැවිදිව බොහෝ කල් ගියාවූ සංඝ පිතෘවූ සංඝ නායකවූ, යම් ඒ ස්ථවිර භික්ෂූහු වෙද්ද, ඔවුන් විශෙෂ පූජාවෙන් පුදන්නේ වේ.

“මහණෙනි, මේ එකොළොස් ධර්මයන්ගෙන් යුක්තවූ මහණතෙම මේ ධර්ම විනය නම්වූ ශාසනයෙහි වැඩීමටද උසස් බවටද, මහත් බවටද පැමිණෙන්ට සුදුසු වන්නේය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය දෙශනා කළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.

තුන්වෙනිවූ මහා ගොපාල සූත්‍රය නිමි. (4-3)

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection