LibraryMNMN 34
MN 347 min read

The Shorter Discourse on the Cowherd

Cūḷagopālaka Sutta

20
PDFGenerated
01 · Overview

Drawing parallels with a cowherd guiding his herd across a dangerous river, the Buddha presents the various kinds of enlightened disciples who cross the stream of transmigration.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 4. මහා යමක වර්ගය 34. චූල ගොපාලක සූත්‍රය Msdiv 350 මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වජ්ජි ජනපදයෙහි උක්කවෙලා නම් නුවර සමීපයෙහි ගංගානම් ගංතෙර වැඩ වාසය කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීන් වහන්ස”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“මහණෙනි, පෙර වූවක් කියමි. එනම්, ඉතා අඥාන ස්වභාව ඇති මගධ රට වැසිවූ ගොපල්ලෙක් වස්සාන ඍතුවේ අන්තිම මාසයෙහි ශරත් කාලයෙහි, ගංගානම් නදියෙහි මෙතෙර නොසලකා එතෙර නොසලකා විදෙහ රටට එතෙර කරනු පිණිස නුසුදුසු තොටින් ගවයන් ගඟට බැස්වීය.

“මහණෙනි, ඉක්බිති ගවයෝ ගංඟානම් නදියෙහි මැද සැඩ පහරෙහි දිය සුලියකට අසුවී එහිම විනාශයට පත්වූහ. ඊට හේතු කවරේද? මහණෙනි, ඉතා අඥාන ස්වභාව ඇති මගධ රට වැසි ඒ ගවපාලකයා වස්සාන ඍතුවේ අන්තිම මාසයෙහි සරත් කාලයෙහි ගංගා නම් ගඟෙහි මෙතෙර නොසලකා එතෙර නොසලකා විදෙහ රටට එතෙර කරනු පිණිස ගවයන් ගඟට බැස්වීය. (එහෙයිනි.)

“මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ලොකය පිළිබඳව අදක්ෂයෝ වෙත්ද, පරලොව පිළිබඳව අදක්ෂයෝ වෙත්ද, මාරයාට අයත්වූවෙහි අදක්ෂයෝ වෙත්ද, මාරයාට අයත් නොවූවෙහි අදක්ෂයෝ වෙත්ද, මැරෙන ස්වභාව ඇති දෙයෙහි අදක්ෂයෝ වෙත්ද, නොමැරෙන ස්වභාව ඇති දෙයෙහි අදක්ෂයෝ වෙත්ද, ඔවුන්ගේ ධර්මය ඇසිය යුතුයයිද, ඇදහිය යුතුයයිද, යම් කෙනෙක් හඟින්නාහුද, ඔවුන්ට ඒ ඇසීම හෝ ඇදහීම හෝ බොහෝ කාලයක් මුලුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේය.

Msdiv 351 “මහණෙනි, පෙර වූවක් කියමි. නුවණැත්තාවූ මගධරට වැසි ගොපල්ලෙක් වර්ෂා ඍතුවේ අවසාන මාසයෙහි සරත් කාලයෙහි ගංගානම් ගඟෙහි මෙතෙර සලකා බලා එතෙර සලකා බලා විදෙහ රටට එතෙර කරනු පිණිස සුදුසු තොටින් ගවයන් ගඟට බැස්වීය. හෙතෙම පළමු කොටම ගව පියන්වූ, ගවනායකවූ යම් ඒ වෘෂභයෝ වෙත්ද, ඔවුන් ගඟට බැස්වීය. ඒ ගවයෝ ගඟෙහි සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය. ඊට අනතුරුව බලවත් වූද දමනය කටයුතුවූද ගවයින් ගඟට බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය. ඊළඟට නහඹු වැස්සන් හා නහඹු වැස්සියන්ද බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය. ඊළඟට කුඩා වසුපැටවුන් ගඟට බැස්වීය. ඔවුහුද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙරට ගියාහුය. මහණෙනි, ඉතා බාලවූ එකෙණෙහිම උපන් මවු දෙනගේ හඬින් ගෙන යනු ලබන වසුපැටියා පවා ගඟෙහි සැඩපහර සරසට කපා සුවසේ එතර වීය.

“නුවණ ඇත්තාවූ මගධ රට වැසි ගොපලු තෙම වර්ෂා ඍතුවෙහි අන්තිම මාසයෙහි සරත් ඍතුවෙහි ගංගානම් ගඟෙහි මෙතෙර සලකා බලා එතෙර සලකා බලා එතෙරවූ විදෙහ රටට නිසි තොටින්ම ගවයන් එතෙර කළේය. මහණෙනි, එසේම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ලොකයෙහි (ස්කන්ධ ආයතනාදියෙහි) දක්ෂයෝ වෙද්ද, පරලොකයෙහි දක්ෂයෝ වෙද්ද, මාරයාට අයත් වූවෙහි දක්ෂයෝ වෙද්ද, මාරයාට අයත් නොවූවෙහි දක්ෂයෝ වෙද්ද, මැරෙන ස්වභාව ඇති දෙයෙහි දක්ෂයෝ වෙද්ද, නොමැරෙන ස්වභාව ඇති දෙයෙහි දක්ෂයෝ වෙද්ද, යමෙක තුමූ ඔවුන්ගේ ධර්මය ඇසියයුතු කොට, ඇදහියයුතු කොට හඟින්නාහුද, ඔවුන්හට ඒ ඇසීම හා ඇදහීම බොහෝ කලක් මුලුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.

Msdiv 352 “මහණෙනි, යම්සේ ගවපියන්වූ ගවයින්ට ප්‍රධානවූ යම් ඒ වෘෂභයෝ ගඟෙහි සැඬපහර සිඳගෙන සැපසේ එතෙරට ගියාහුද, මහණෙනි, එපරිද්දෙන්ම යම් ඒ භික්ෂු කෙනෙක් නැතිකළ කෙලෙස් ඇති වැස නිමවූ බ්‍රහ්මචරියා ඇති, නිමවූ කටයුතු ඇති, බහා තබනලද කෙලෙස් බර ඇති, පිළිවෙළින් පැමිණි රහත්බව ඇති, නැතිකළ භවසංයොජන ඇති මනා කොට දැන කෙලෙසුන්ගෙන් මිදුන රහතන් වහන්සේලා වෙත්ද, ඔවුහු මාරයාගේ (තෘෂ්ණා) සැඩපහර සිඳ සැපසේ (නිර්වාණයට) එතෙරට යන්නාහ.

“මහණෙනි, යම්සේ ඒ බලවත් ගවයෝද, හික්ම විය යුතු ගවයෝද සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ ගියාහුද, මහණෙනි, එසේම යම් ඒ භික්ෂුකෙනෙක් ඔරංභාගිය සංයෝජනයන් සිඳී මෙන් බඹලොව ඔපපාතිකව ඉපද එයින් කාම ලොකයට නොපැමිණෙන්නාවූ, අනාගාමි පුද්ගලයෝ වෙත්ද, ඔවුහුද මාරයාගේ සැඬපහර කපා සුවසේ එතරවන්නාහුය.

“මහණෙනි, යම්සේ නහඹු වස්සෝද, නැහැඹි වැස්සියෝද, සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ එතර වූවාහුද, මහණෙනි, එසේම යම් ඒ භික්ෂූහු ත්‍රිවිධ සංයොජනයන් නැති කිරීමෙන් රාග ද්වෙෂ මොහයන් තුනී කිරීමෙන් සකෘදාගාමිවූවාහු එක් වරක්ම මේ කාමලොකයට එන ස්වභාව ඇතිව දුක් කෙළවර කරන්නාහු වෙත්ද, ඔවුහුද මාරයාගේ (තණ්හා) සැඬපහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.

“මහණෙනි, යම්සේ දුර්වලවූ වස්සෝ සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙර වූවාහුද, මහණෙනි, එපරිද්දෙන්ම යම් ඒ භික්ෂූහු සංයොජන තුන නැති කිරීමෙන් සෝවාන් වූවාහු සතර අපායෙහි නොවැටෙන සුලුවූවාහු, නියතයෙන්ම රහත් බව ලබන්නාහු වෙත්ද, ඔවුහුද මාරයාගේ (තණ්හා) සැඬ පහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.

“මහණෙනි, යම්සේ එකෙණෙහි උපන් ළදරු වසු පැටවාද මව්දෙනගේ ශබ්දය අනුව එතර වන්නේ සැඬපහර සිඳ ගඟ හරහා සුවසේ එතෙරට ගියේද, එපරිද්දෙන්ම ධම්මානුසාරීනම් වූද, සංඝානුසාරීනම්වූද යම් ඒ සෝවාන් භික්ෂූහු වෙත්ද, ඔවුහුද මාරයාගේ (තණ්හා) සැඬපහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.

“මහණෙනි, මම වනාහි මේ ලොකය පිළිබඳවද දක්ෂවෙමි. පරලොකය පිළිබඳවද (ස්කන්ධධාතු ආයතනාදියෙහි) දක්ෂවෙමි. මාරයාට අයත් දෙය දැනීමෙහි දක්ෂවෙමි. මාරයාට අයත් නොවූ දෙය දැනීමෙහි දක්ෂවෙමි. මැරෙන ස්වභාව ඇති දෙය දැනීමෙහි දක්ෂවෙමි. නොමැරෙන ස්වභාව ඇති දෙය දැනීමෙහි දක්ෂවෙමි.

“මහණෙනි, යම් කෙනෙක් තුමූ මාගේ ධර්මය ඇසිය යුතුයයි, ඇදහිය යුතුයයි හඟින්නාහුද, ඔවුන්ට එය බොහෝ කාලයක් මුලුල්ලෙහි හිත පිණිස සැප පිණිස වන්නේය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා ශාස්තෲන් වහන්සේ නැවත මේ ගාථාද ප්‍රකාශ කළහ.

“සියල්ල දත් සර්වඥයන් වහන්සේ විසින් මෙලොව (ස්කන්ධධාතු ආයතනාදිය)ද, පරලොව (ස්කන්ධධාතු ආයතනාදිය) ද මනාව වදාරණලදී. මරහු විසින් පැමිණෙනලද යම් ධර්මයක් වේද, මරහු විසින් නොපැමිණෙනලද යම් ධර්මයක් වේද, සියල්ල දත් සර්වඥයන් වහන්සේ ඒ සියල්ල දැන නිවණට පැමිණීම පිණිස නිර්භයවූ මාර්ග දොරටුව විවෘත කරන ලදී.”

“මාරයාගේ තෘෂ්ණා සැඩපහර සිඳින ලදී, මානය නමැති සුලඟ විනාශ කරනලදී. එහෙයින් මහණෙනි, සතුට බහුලකොට ඇත්තාහු වව්, නිර්වාණය පතව්.

සතරවෙනිවූ චූල ගොපාල සූත්‍රය නිමි. (4-4)

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection