LibraryMNMN 36
MN 3645 min read

The Longer Discourse With Saccaka

Mahāsaccaka Sutta

20
PDFGenerated
01 · Overview

In a less confrontational meeting, the Buddha and Saccaka discuss the difference between physical and mental development. The Buddha gives a long account of the various practices he did before awakening, detailing the astonishing lengths he took to mortify the body.

02 · Reading guide

Read the full discourse slowly and use the prebuilt MP3 for continuous listening.

03 · FULL TEXT

Read here in the library

Translation: A.P. de Zoysa
Passage collection0 saved

මජ්ඣිම නිකාය මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.) 4. මහා යමක වර්ගය 36. මහා සච්චක සූත්‍රය Msdiv 364 මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි පා සිව්රු ගෙන විසාලාමහනුවරට පිඩුපිණිස වඩිනු කැමතිව මනාව හැඳ පෙරව වැඩ සිටියහ. එවිට සච්චක නිගණ්ඨ පුත්‍රතෙමේ පයින් සක්මන් කිරීම සඳහා ඇවිදින අතර මහාවනයෙහි කූටාගාර ශාලාව යම් තැනෙක්හිද එහි පැමිණියේය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ එන්නාවූ සච්චක නිගණ්ඨපුත්‍රයා දුරදීම දුටහ. දැක භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, කථාවෙහි දක්ෂවූ තමා පණ්ඩිතයෙකැයි කියන්නාවූ, බොහෝ දෙනා විසින් සම්මාන කරණ ලද්දාවූ මේ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම එන්නේය. ස්වාමීනි, මෙතෙම වනාහි බුදුන්ගේ අගුණ කියනු කැමැත්තේය. ධර්මයෙහි අගුණ කියනු කැමැත්තේය. සංඝයාගේ අගුණ කියනු කැමැත්තේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා උපදවා මොහොතක් වැඩහිඳිනු මැනවැ”යි කීහ. භාග්‍යවතුන් වහන්සේ පණවනලද අස්නෙහි වැඩහුන්හ.

ඉක්බිති සච්චක නිගණ්ඨපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනක්හිද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එකපැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

Msdiv 365 “භවත් ගෞතමයෙනි, කායභාවනාවෙහි යෙදී වාසය කරන්නාවූ, එහෙත් චිත්ත භාවනාවක් නොකරන්නාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. භවත් ගෞතමයෙනි, ඔවුහු ශරීරයෙහි හටගත් දුක් වේදනාව විඳිත්. භවත් ගෞතමයෙනි, පෙරවූවක් කියමි. ශරීරයෙහි හටගත්තාවූ දුක් වේදනා විඳින්නහුට කලවා හිරිවැටීමද, ළයද පැළෙන්නේය. උණුලේද වමනය කරන්නේය. උමතු බවටද, හිත අවුල් බවටද පැමිණෙන්නේය. භවත් ගෞතමයාණෙනි, ඔහුගේ සිත කය අනුව ගියේ වෙයි. කයට අනුව පවතියි. ඊට හේතු කවරේද? සිත නොවැඩූ හෙයිනි, භවත් ගෞතමයෙනි, චිත්තභාවනාවෙහි යෙදෙන්නාවූ එහෙත් කාය භාවනාවක් නොකරන්නාවූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. භවත් ගෞතමයානෙනි, ඔවුහු චෛතසිකවූ දුක් වේදනා විඳිත්. භවත් ගෞතමයෙනි, පෙර වූවක් කියමි. සිතේ දුක් වෙදනාවෙන් පෙළෙන්නාහට කලවා තදවීමක්ද වන්නේය. ළයද පැළෙන්නේය. උණුලේද වමනය කරන්නේය. උමතු බවටද, සිත අවුල් බවටද, පැමිණෙන්නේය.

“භවත් ගෞතමයෙනි, ඔහුගේ මේ ශරීරය සිත අනුව ගියේ වෙයි. සිතට අනුව පවතියි. ඊට හේතු කවරේද? ශරීරය නොවැඩූ බැවිනි, භවත් ගෞතමයෙනි, ඒ මට මෙසේ සිතක් වෙයි. ඒකාන්තයෙන් භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ චිත්ත භාවනානුයොගයෙහි යෙදුනාහු වාසය කරති. කායභාවනාවෙහි නොයෙදුනාහුය”යි (කියායි.)

Msdiv 366 “අග්ගිවෙස්සනය, නුඹ විසින් කාය භාවනාව කුමකැයි අසන ලදද?”

“මෙසේ අසනලදී. එනම්: භවත් ගෞතමයෙනි, නන්දවච්ඡය, කිසසංකිච්චය, මක්ඛලිගොසාලය යන මොවුහු වස්ත්‍ර නොහඳින්නෝය, යහපත් පැවතුම් නැත්තෝය. අත ලෙවකන්නෝය නොහොත් අතින් මල පිසදමන්නෝය. එව, වහන්ස, කියා දුන් දෙය නොපිළිගනිත්. සිටුව, වහන්ස, කියා දුන් දෙය නොපිළිගනිත්. ඉදිරියෙන් ගෙනෙනලද දෙය නොපිළිගනිත්. ඔවුන් උදෙසා කරනලද දෙය නොපිළිගනිත්. ආරාධනාකොට දුන් දෙය නොපිළිගනිත්. කළකටින් ගෙන දුන් දෙය නොපිළිගනිත්. සැලි කටින් ගෙන දුන් දෙය නොපිළිගනිත්. එලිපත අතරකොට දුන් දෙය නොපිළිගනිත්. දණ්ඩක් අතරකොට සිට දුන් දෙය නොපිළිගනිත්. මෝල්ගසක් අතර කොට දුන් දෙය නොපිළිගනිත්. අනුභව කරන්නාවූ දෙදෙනෙකුගෙන් එකෙකු දුන් දෙය නොපිළිගනිත්. ගැබිණිය විසින් දුන් දෙය නොපිළිගනිත්. කිරි පොවන්නිය විසින් දුන් දෙය නොපිළිගනිත්. පුරුෂයෙකු වෙත ගිය තැනැත්තිය විසින් දුන් දෙය නොපිළිගනිත්. සම්මාදම් කළ දෙයින් කිසිවක් නොපිළිගනිත්. යම් තැනක බල්ලෙක් පැමිණ සිටියේ නම් (ඔහුට නොදී) එහිදී දුන් දෙය නොපිළිගනිත්. යම් තැනක මැස්සෝ කැටි කැටිව හැසිරෙද්ද, එහිදී දුන් දෙය නොපිළිගනිත්. දිය මස් නොකන්නාහ. ගොඩ මස් නොකන්නාහ. සුරා නොබොන්නාහ. (මල් යුසින්) කළ මත් පැන් නොබොන්නාහ කාඩි දිය නොබොන්නාහ. ඔවුහු එක ගෙයකින් පමණක් පිඩු සිඟන්නෝ හෝ වෙත්. එකම බත්පිඩකින් යැපෙන්නෝ හෝ වෙත්. ගෙවල් දෙකක පිඩු සිඟන්නෝ හෝ වෙත්. බත් පිඩු දෙකකින් යැපෙන්නෝ හෝ වෙත්. ගෙවල් සතක පිඩු සිඟන්නෝ හෝ වෙත්. බත් පිඩු සතකින් යැපෙන්නෝ හෝ වෙත්. එක් කුඩා බත් තැටියකින් යැපෙන්නෝ හෝ වෙත්. බත්තැටි දෙකකින් යැපෙන්නෝ හෝ වෙත්. බත් තැටි සතකින් යැපෙන්නෝ හෝ වෙත්. එක දවසකට වරක් හෝ ආහාර ගනිති. දෙදිනකට වරක් හෝ ආහාර ගනිති. සත්දිනකට වරක් හෝ ආහාර ගනිති. මෙසේ අඩමසකට වරක් ආහාර ගනිමින්ද වාර භොජනයෙහි යෙදී වාසය කරන්නාහ.”

“අග්ගිවෙස්සනය, කිමෙක්ද ඔවුහු එපමණකින්ම යැපෙත්ද?”

“භවත් ගෞතමයාණෙනි, ඒ එසේ නොවේමැයි. භවත් ගෞතමයාණෙනි, ඇතැම් දවස්වල ඔවුහු ඉතා ප්‍රණීත කෑම කන්නෝය, ඉතා ප්‍රණීත භොජන වළඳන්නෝය, ඉතා ප්‍රණීත දෙය රසවිඳින්නෝය. ඉතා ප්‍රණීත පාන පානය කරන්නාහුය. ඔවුහු මේ ආහාරයන් කරණ කොටගෙන ශරීරය බලගන්වත්; වඩත්; ඔජා වර්ධනය කරත්.”

“අග්ගිවෙස්සනය, යම් හෙයකින් ඔවුහු පළමු කළ දුෂ්කර ක්‍රියා හැර පසුව ප්‍රණීත ආහාරයෙන් ශරීරය වඩත්ද, මෙසේ මේ ශරීරයාගේ වැඩීම හා නොවැඩීම වෙයි.

“අග්ගිවෙස්සනය, නුඹ විසින් චිත්තභාවනාව කුමකැයි කියා අසන ලදද?” භාග්‍යවතුන් වහන්සේ විසින් චිත්තභාවනාව පිළිබඳව විචාරනු ලැබූ සච්චක නිගණ්ඨපුත්‍රතෙම පිළිතුරක් සොයා කියන්නට අසමර්ථ විය.

Msdiv 367 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සච්චක නිගණ්ඨ පුත්‍රයාට මෙය කීහ. “අග්ගිවෙස්සනය, නුඹ විසින් පළමුව යම් මේ කායභාවනාවක් කියන ලදද? එය බුද්ධශාසනයෙහි ධර්මයට එකඟවූ කායභාවනාවක් නම් නොවෙයි. අග්ගිවෙස්සනය, නුඹ කායභාවනාවවත් නොදන්නෙහිය. චිත්තභාවනාව කොයින් දන්නේද? එහෙත් අග්ගිවෙස්සනය, යම්සේ නොවඩනලද කායභාවනා ඇත්තේ වේද? නොවඩනලද චිත්තභාවනා ඇත්තේවේද, වඩනලද කායභාවනා ඇත්තේ වේද, වඩනලද චිත්තභාවනා ඇත්තේවේද, එය අසව. මනාකොට සිහියට ගනුව කියන්නෙමි”යි වදාළහ.

“එසේය පින්වතුන් වහන්ස,”යි කියා සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

Msdiv 368 “අග්ගිවෙස්සනය, කෙසේ නම් නොවඩනලද කාය භාවනා ඇත්තේවේද? නොවඩනලද චිත්තභාවනා ඇත්තේ වේද? අග්ගිවෙස්සනය, මේ ලෝකයෙහි නූගත් පෘථග්ජනයාට සැප වේදනාවක් උපදියිද. හෙතෙම සැප වේදනාවෙන් ස්පර්ශ කරන ලද්දේම සැපයෙහි ඇලෙයි. සැපයෙහි ඇලීම් බවට පැමිණෙයි, ඔහුගේ ඒ සුඛවේදනා නැතිවෙයිද, සැප වේදනාව නැතිවීමෙන් දුක්වේදනාව උපදියි. හෙතෙම දුක්වේදනාවෙන් ස්පර්ශ කරන ලද්දේම, ශොක කෙරෙයි; ක්ලාන්ත වෙයි; වැළපෙයි; පපුවේ අතගසමින් හඬයි, මුළාවට පැමිණෙයි. අග්ගිවෙස්සනය, ඔහුගේ උපන්නාවූ, සැප වේදනාව කුසල් සිත විනාශ කරයි. (කුමක් හෙයින්ද යත්:) කය නොවැඩූ හෙයිනි. උපන්නාවූද දුක් වේදනාව කුසල් සිත විනාශ කරයි. සිත නොවැඩූ බැවිනි. අග්ගිවෙස්සනය, යමෙකුට මේ දෙයාකාරයෙන් උපන්නාවූ සුඛවෙදනාවද, කුසල් සිත විනාශ කරයි. කුමක් හෙයින්ද? කය නොවැඩූ හෙයිනි. උපන් දුක් වෙදනාවද කුසල් සිත විනාශ කරයි කුමක් හෙයින්ද? සිත නොවැඩූ හෙයිනි. අග්ගිවෙස්සනය, මෙසේ වනාහි නොවඩනලද කය ඇත්තේත් වෙයි. නොවඩන ලද සිත් ඇත්තේත් වෙයි.

Msdiv 369 “අග්ගිවෙස්සනය, කෙසේනම් වඩනලද කය ඇත්තේ වේද, වඩනාලද සිත් ඇත්තේ වේද, අග්ගිවෙස්සනය, මේ ශාසනයෙහි නුවණ ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකයාහට සැප වේදනාව උපදියිද, හෙතෙම සැපවේදනාවෙන් ස්පර්ශ කරන ලද්දේම, සැපයෙහි නොඇලෙයි, සැපයෙහි ඇලුම් බවට නොපැමිණෙයි, ඔහුගේ ඒ සැපවේදනාව නැතිවෙයි, සැපවේදනාව නැති වීමෙන් දුක්වේදනාව උපදියි, හෙතෙම දුක්වේදනාවෙන් ස්පර්ශ කරන ලද්දේම, ශොක නොකෙරෙයි, ක්ලාන්ත නොවෙයි, නොවැළපෙයි, පපුවේ අතගසමින් නොහඬයි. මුළාවට නොපැමිණෙයි. අග්ගිවෙස්සනය, ඔහුගේ උපන්නාවූද, මේ සැපවේදනාව කුසල් සිත විනාශ නොකරයි. (කුමක් හෙයින්ද යත්:) කය වැඩූ හෙයිනි, උපන්නාවූද, දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි. සිත වැඩූ බැවිනි. අග්ගිවෙස්සනය, යමෙකුට මෙසේ දෙයාකාරයකින් උපන්නාවූද, සැප වේදනාව කුසල් සිත විනාශ නොකරයි. කුමක් හෙයින්ද? කය වැඩූ හෙයිනි. උපන්නාවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි. කුමක් හෙයින්ද? සිත වැඩූ හෙයිනි. අග්ගිවෙස්සනය, මෙසේ වනාහි වඩන ලද කය ඇත්තේත් වෙයි, වඩනලද සිත ඇත්තේත් වෙයි.

Msdiv 370 “මෙයින් මම භවත් ගෞතමයන් කෙරෙහි පැහැදුනේ වෙමි. භවත් ගෞතම තෙම ඒකාන්තයෙන් වඩන ලද කායභාවනා ඇත්තේ වෙයි. වඩනාලද චිත්තභාවනා ඇත්තේ වෙයි.” “අග්ගිවෙස්සනය, නුඹ විසින් ඒකාන්තයෙන්ම ගුණ ගටා, ගුණ පහළකර මේ වචන කියනලදී. යලිදු මම නුඹට විස්තර කරන්නෙමි. අග්ගිවෙස්සනය, යම් කලක පටන් මම ඉසකේ දැළි රැවූලු බහා, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයෙම්ද, ඒකාන්තයෙන් ඒ කාලය මුලුල්ලෙහි මට, ‘උපන්නාවූද, සැපවේදනාව කුසල් සිත විනාශ කරන්නේය. උපන්නාවූද, දුක්වේදනාව කුසල් සිත් විනාශ කරන්නේය’ යන මේ කාරණය සිදු නොවෙයි. “භවත් ගෞතමයින්ට යම් බඳුවූ සැප වෙදනාවක් කුසල් සිත විනාශ කරයිද, එබඳු සැප වෙදනාවක් නූපන්නා විය හැකිය. යම් බඳුවූ දුක් වේදනාවක් කුසල් සිත විනාශ කරයිද, එබඳු දුක් වේදනාවක් නූපන්නා විය හැකිය.”

Msdiv 371 “අග්ගිවෙස්සනය, කෙසේ නම් එසේ නොවන්නේද, අග්ගිවෙස්සනය, බුද්ධත්වයට පළමුවෙන්ම බුදුනොවූ බෝසත්වූම මට මෙබඳු අදහසක් විය. ගිහිගෙයි විසීම අවහිර සහිතය, කෙලෙස් රජස් උපදින මාර්ගයයි. මහණකම අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් පිරිසිදුවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ ලියවනලද සකක් බඳුවූ මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරීම පහසු නොවෙයි. මම හිසකේ දැළි රැවුලු කපා හැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැයි (කියාය.) අග්ගිවෙස්සනය, ඒ මම එයින් ටික කලකට පසු තරුණ වයස් ඇත්තේම, කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් තරුණ භාවයෙන් යුක්තවූයේම නොකැමතිවූ මවුපියන් අඬද්දී, හිස කෙස් දැළිරැවුල් කපාහැර කසා වත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි.

“මෙසේ පැවිදිවූ මම කුසල් කුමක්දැයි සොයන්නේ නිරුත්තර උතුම් නිර්වාණය සොයන්නේ ආළාරකාලාම නම් තවුස්තෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි ගොස්, ආළාරකාලාම තාපසයාට මෙසේ කීවෙමි.

“ඇවැත්නි, කාලාමයෙනි, තොපගේ මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට මම කැමැත්තෙමි’යි (කීවෙමි) අග්ගිවෙස්සනය, මම මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම මට මෙසේ කීවේය. “යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාර්‍ය්‍යයන්ගේ ධර්මය තමාම නුවණින් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරන්නේද, මේ ධර්මයද එබඳුය, එහෙයින් ආයුෂ්මත් තෙම වාසය කෙරේවා” (කියායි.)

අග්ගිවෙස්සනය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්මය අසාම ඉගෙන ගත්තෙමි. අග්ගිවෙස්සනය, ඒ මම (කියන්ට) තොල පෙරලු පමණින්, (ඔහු) කියනදේ නැවත කී පමණින් මෙබඳු ස්වල්ප කාලයකින් ඤාණවාදයද, (දනිම්යයි කීමද) කියමි. ථෙර වාදයද (එහි ස්ථිරයයි කීමද) දනිමියිද දකිමියිද පිළිගනිමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත විය. ආළාරකාලාම තෙම මේ ධර්මය ඇදහීම් පමණකින් තමාම උසස් නුවණින් අවබොධ කොට ඊට පැමිණ වාසය කරමියි නොකියයි. ආළාරකාලාම තෙම මේ ධර්මය දැන දැක වාසය කරයි. (කියායි.) අග්ගිවෙස්සනය, ඉන්පසු මම ආළාරකාලාම යම් තැනකද එහි ගියෙමි. ගොස්, ආළාරකාලාමහට මෙසේකීවෙමි. ඇවැත්නි, කාලාමයෙනි, කොපමණකින් මේ ධර්මය තමාම දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැ’යි (කියායි.)

“අග්ගිවෙස්සනය, මෙසේ කී කල්හි ආළාරකාලාම තෙම ආකිඤ්චඤ්ඤායතනය කෙළවරකොට ඇති සමාපත්තිය දැක්වූයේය. අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත විය. ආළාරකාලාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. ආළාරකාලාමහට පමණක් වීර්‍ය්‍යය ඇත්තේ නොවෙයි, මටද වීර්‍ය්‍යය ඇත. ආළාරකාලාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත, ආළාරකාලාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි, මටද සමාධිය ඇත ආළාරකාලාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි, මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් ආළාරකාලාම තෙම යම් ධර්මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි, කියයි නම් ඒ ධර්මය අත්කර ගැණීම පිණිස මම උත්සාහ කරන්නෙම් නම් හොඳය (කියායි.)

“අග්ගිවෙස්සනය, ඒ මම ටික කලකින් වහාම ඒ ධර්මය තමාම නුවණින් දැන අවබොධකොට ඊට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙස්සනය ඉන්පසු මම ආළාරකාලාම තෙම යම් තැනකද එතැනට ගියෙමි. ගොස්, ඇවැත්නි කාලාමයෙනි, මේ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ’යි (ඇසීමි) ‘ඇවැත්නි, මේ ධර්මය දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය’යි (ආළාරකාලාම තෙම) කීය. ‘ඇවැත්නි, මමද මෙපමණකින් මේ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරමි’යි (කීවෙමි) ‘ඇවැත්නි, යම් බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙකු දකින්නෙමුද, ඒ අපට ලාභයකි. උතුම් ලාභයකි. මෙසේ මම යම් ධර්මයක් දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්මය දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්මයක් දන්නෙම්ද ඔබද ඒ ධර්මය දන්නෙහිය, යම් හේතුවකින් ඔබ යම් ධර්මයක් දන්නේද, මමද ඒ ධර්මය දන්නෙමි, මෙසේ මම යම් බඳුද ඔබත් එබඳුය. ඔබ යම් බඳුද මාත් එබඳුය. ඇවැත්නි, එනු මැනව, දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරමු’යි (කීවේය) අග්ගිවෙස්සනය, මෙසේ මාගේ ආචාර්‍ය්‍යවූම ආළාරකාලාම තෙම අතවැසි (ශිෂ්‍ය) වූ ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය. උත්තමවූ පූජාවෙන් මා පිදුවේය.

“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ සිතුනේය, මේ (තාපස) ධර්මය සසර කලකිරීම පිණිස නොපවතියි. සසර නොඇල්ම පිණිස නොපවතියි. කෙලෙස් නැති කිරීම පිණිස නොපවතියි. (දතයුතු ධර්මයන්) දැනීම පිණිස නොපවතියි. (චතුරාර්‍ය්‍ය සත්‍යය) අවබොධය පිණිස නොපවතියි. නිර්වාණය පිණිස නොපවතියි. ආකිඤ්චඤ්ඤායතන බ්‍රහ්මලොකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි. අග්ගිවෙස්සනය, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොවේයයි සිතා, ඒ ධර්මයෙහි කලකිරී ඉවත්ව ගියෙමි.

Msdiv 372 “අග්ගිවෙස්සනය, ඒ මම කුසල් කුමක්දැයි සොයන්නේ, නිරුත්තරවූ උතුම් නිර්වාණය සොයන්නේ උද්දකරාම පුත්තතෙම යම් තැනකද එතැනට පැමිණියෙමි. පැමිණ, උද්දකරාමපුත්තහට මෙසේ කීවෙමි. ඇවැත්නි, රාමයෙනි, මේ ධර්ම විනයෙහි බ්‍රහ්මචර්‍ය්‍යාව රකින්ට මම කැමැත්තෙමි (කීවෙමි.) “අග්ගිවෙස්සනය, මෙසේ කී කල්හි උද්දකරාමපුත්තතෙම මට මෙසේ කීවේය. “යම් තැනක නුවණ ඇත්තාවූ පුරුෂයෙක් නොබෝ කලකින් තමන්ගේ ආචාර්‍ය්‍යයන්ගේ ධර්මය තමාම නුවණින් දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරන්නේද මේ ධර්මයද එබඳුය. එහෙයින් ආයුෂ්මත්තෙම වාසය කෙරේවා” (කියායි)

“අග්ගිවෙස්සනය, ඒ මම ටික කලකින් වහාම ඔවුන්ගේ ඒ ධර්මය ඉගෙනගත්තෙමි. අග්ගිවෙස්සනය, ඒ මම කීමට තොල සෙලවූ පමණින්, වචනයක් කී පමණින් දනිමි යන වචනයද, දැනීම ස්ථිරය යන වචනයද ප්‍රකාශ කරමි. මම දනිමි, දකිමියයි කියමි. මා පමණක් නොව අන්‍යයෝද (මා ගැන) එසේ කියති. අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත විය. උද්දකරාමපුත්ත තෙම මේ ධර්මය ඇදහීම් පමණකින් තමාම උසස් නුවණින් දැන අවබොධකොට ඊට පැමිණ වාසයකරමියි නොකියයි. උද්දකරාම පුත්ත තෙම මේ ධර්මය දැන, දැක වාසය කළේයයි (මට කල්පනා විය.) අග්ගිවෙස්සනය, ඉන්පසු මම උද්දකරාමපුත්ත යම්තැනකද එතැනට ගියෙමි. ගොස්, උද්දකරාම පුත්තහට මෙසේ කීවෙමි. ඇවැත්නි, රාමයෙනි, කොපමණකින් මේ ධර්මය තමාම දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරේදැයි (කියායි.)

“අග්ගිවෙස්සනය, මෙසේ කී කල්හි උද්දකරාමපුත්ත නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, කෙළවර කොට ඇති සමාපත්තිය දැන්වූයේය. අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත විය. රාමහට පමණක් ශ්‍රද්ධාව ඇත්තේ නොවෙයි. මටද ශ්‍රද්ධාව ඇත. රාමහට පමණක් වීර්‍ය්‍යය ඇත්තේ නොවෙයි. මටද වීර්‍ය්‍යය ඇත. රාමහට පමණක් සිහිය ඇත්තේ නොවෙයි. මටද සිහිය ඇත. රාමහට පමණක් සමාධිය ඇත්තේ නොවෙයි. මටද සමාධිය ඇත. රාමහට පමණක් ප්‍රඥාව ඇත්තේ නොවෙයි. මටද ප්‍රඥාව ඇත. යම් හේතුවකින් රාමපුත්ත තෙම යම් ධර්මයක් තමාම නුවණින් දැන ඊට පැමිණ වාසය කරමියි කියයිනම් ඒ ධර්මය තමන්ම ප්‍රත්‍යක්ෂ කර ගැණීම පිණිස වීර්‍ය්‍යය කරන්නෙම් නම් යහපත්ය. (කියායි.)

“අග්ගිවෙස්සනය, ඒ මම ටික කලකින් වහාම ඒ ධර්මය තමාම නුවණින් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙස්සනය, ඉන් පසු මම උද්දකරාමපුත්ත යම් තැනකද එතැනට ගියෙමි. ගොස්, උද්දකරාමපුත්තහට මෙසේ කීවෙමි.

“ඇවැත්නි, රාමයෙනි, මේ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නේ මෙපමණකින්දැ”යි ඇසීමි. ‘ඇවැත්නි, මේ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙම් මෙපමණකින්ය’යි (උද්දකරාමතෙම) කීය. ‘ඇවැත්නි, මමද මෙපමණකින් මේ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරමි”යි (කීවෙමි)

“ඇවැත්නි, යම්බඳුවූ අපි ආයුෂ්මත්වූ ඔබ වැනිවූ සමාන බ්‍රහ්මචරියා ඇත්තෙකු දකින්නෙමුද ඒ අපට ලාභයකි. මහත් ලාභයකි. මෙසේ මම යම් ධර්මයක් දැන අවබොධ කොට ඊට පැමිණ ප්‍රකාශ කරම්ද, ඔබ ඒ ධර්මය නුවණින් දැන අවබොධකොට ඊට පැමිණ වාසය කරන්නෙහිය. ඔබ යම් ධර්මයක් දැන අවබොධ කොට ඊට පැමිණ වාසය කරන්නෙහිද, මමද ඒ ධර්මය දැන අවබොධකොට ඊට පැමිණ ප්‍රකාශ කරන්නෙමි. මෙසේ මම යම් ධර්මයක් දන්නේද ඔබද ඒ ධර්මය දන්නෙහිය. ඔබ යම් ධර්මයක් දන්නේද, මමද ඒ ධර්මය දන්නෙමි. මෙසේ මම යම්බඳුද ඔබත් එබඳුය. ඔබ යම් බඳුද මමත් එබඳුය. ඇවැත්නි, එව දෙදෙනම එක්ව මේ පිරිස පාලනය කරමුයි (කීවේය). අග්ගිවෙස්සනය, මෙසේ මාගේ ආචාර්‍ය්‍යවූම උද්දකරාමපුත්ත තෙම අතවැසි (ශිෂ්‍ය) වූ මා ඔහු හා සම සම ස්ථානයෙහි තැබීය උතුම්වූ පූජාවෙන් මට පිදුවේය.

“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ සිතුනේය. මේ (තාපස) ධර්මය සසර කලකිරීම පිණිස නොපවතී. සසර නොඇල්ම පිණිස නොපවතී. කෙලෙස් නැතිකිරීම පිණිස නොපවතී (දතයුතුධර්මයන්) දැනීම පිණිස නොපවතී (චතුරාර්‍ය්‍ය සත්‍යය) අවබොධය පිණිස නොපවතී. නිර්වාණය පිණිස නොපවතී. යම්තාක් නෙවසඤ්ඤානාසඤ්ඤායතන බ්‍රහ්ම ලොකයෙහි ඉපදීම පිණිස පමණක් පවතියි. අග්ගිවෙස්සනය, ඒ මම ඒ ධර්මය ප්‍රමාණ නොකොට කලකිරී ඒ ධර්මයෙන් ඉවත්ව ගියෙමි.

Msdiv 373 “අග්ගිවෙස්සනය, ඒ මම කුසල් කුමක්දැයි සොයමින්, නිරුත්තරවූ නිර්වාණය සොයමින් මගධ ජනපදයෙහි පිළිවෙලින් ගමන්කරන්නේ උරුවෙල් දනව්වෙහි සේනානී නම් නියම්ගම යම් තැනකද එහි පැමිණියෙමි. එහි සුදුවැලි තලා ඇත්තාවූද, යහපත් තොටවල් ඇත්තාවූද, ගලායන ගඟ ඇත්තාවූද, අවට ගොදුරු ගම් ඇත්තාවූද, ප්‍රසාදය ඇති කරන්නාවූද, සිත් සතුටු කරන්නාවූද වනලැහැබක් ඇති බිම් පෙදෙසක් දුටිමි. අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත පහළ විය. ඒකාන්තයෙන් භූමි ප්‍රදෙශය සිත් අලවන්නේය. වන ලැහැබ සතුට උපදවන්නේය, සුදු වැලිතලා ඇති හොඳ තොටුපලවල් ඇති ගංගාවද සිත් අලවන්නීය. හාත්පස ගොදුරු ගමද වෙයි. වීර්‍ය්‍යය කරන කුලපුත්‍රයෙකුට වීර්‍ය්‍යය කිරීමට මෙය ඒකාන්තයෙන් සුදුසුයි. අග්ගිවෙස්සනය, ඒ මම මේ ස්ථානය වීර්‍ය්‍යය කිරීමට සුදුසුයයි සිතා වීර්‍ය්‍ය වැඩීම පිණිස එහිම උන්නෙමි.

Msdiv 374 “අග්ගිවෙස්සනය, මට ආශ්චර්‍ය්‍යවූ, පෙර නොඇසු විරූ උපමා තුනක් වැටහුනාහුය, අග්ගිවෙස්සනය, යම්සේ කිරි සහිතවූ අමු දියේ දමනලද තෙත්වූ (දිඹුල්) ලීකැබැල්ලක් වේද, ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනිගානා දණ්ඩක් ගෙන ගිනි නිපදවන්නෙමියි ගින්දර ඇතිකරන්නෙමියි, කියා එන්නේය. අග්ගිවෙස්සනය, ඒ පුරුෂතෙම ජලයෙහි බහාලනලද ඒ කිරිසහිත අමු (දිඹුල්) ලී කැබෙල්ල ගිනි ගානා දණ්ඩෙන් මැදීමෙන් ගිනි නිපදවන්නේද? ගිනි පහළ කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේදයත්:- භවත් ගෞතමයෙනි, (දිඹුල්) ලී කඩ වනාහි අමුය, කිරි සහිතය, එපමණක් නොව ජලයෙහිද බහා ලන ලද්දේය. (එහෙයිනි) (ඒ ලීයෙන් ගිනි උපදවනු කැමැති) ඒ පුරුෂතෙම ක්ලාන්තයටද, වෙහෙසටද පැමිණීම පමණක් සිදුවන්නේය.” අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් වස්තු කාමයන්ගෙන් වෙන්ව වාසය නොකරත්ද, කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ යම්කිසි ඇල්මක් වේද, කාම ආසාවක් වේද, කාම මුර්ඡාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, ඒ ක්ලේශ කාමය තමා තුල මනාව නැති නොවූයේ වේද, මනාව මැඩපවත්වන ලද්දේ නොවේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිත්. ඔවුහු ආර්‍ය්‍ය මාර්ගඥාන දර්ශනයටද, නිරුත්තරවූ අවබොධයටද නුසුදුස්සෝ මය. අග්ගිවෙස්සනය, ආශ්චර්‍ය්‍යවූ පෙර නොඇසුවිරූ මේ පළමුවන උපමාව මට වැටහුණි.

Msdiv 375 “අග්ගිවෙස්සනය, ආශ්චර්‍ය්‍යවූ පෙර නොඇසුවිරූ අන්‍යවූ දෙවෙනි උපමාවක්ද මට වැටහිණි. අග්ගිවෙස්සනය යම්සේ කිරි සහිතවූ අමු (දිඹුල්) ලීයක් දියෙන් ඈත්කොට ගොඩබිමෙහි බහා තබන ලද්දේ වේද. ඉක්බිති පුරුෂයෙක් තෙම ගිනිගානා දණ්ඩ ගෙන ගිනි නිපද වන්නෙමි. ගින්න පහළ කරන්නෙමියි, කියා එන්නේය. අග්ගිවෙස්සනය, ඒ පුරුෂතෙම කිරි සහිතවූ, දියෙන් ගෙන ගොඩ තබන ලද්දාවූ, ඒ අමු ලීය ගිනි ගානා දණ්ඩෙන් මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්දර පහළ කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එය සිදු නොවන්නේය. ඊට හේතු කවරේද යත්:- භවත් ගෞතමයෙනි, ඒ ලී කඩ ජලයෙන් බැහැර කර ගොඩබිමෙහි දමා තිබුණත් කිරි සහිතය (අමුය) එහෙයිනි. ඒ පුරුෂයා ක්ලාන්තයටද, වෙහෙසටද පත්වීම පමණක් නම් සිදුවන්නේය.” “අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන් ගෙන් වෙන්ව වාසය කරත්ද, (එහෙත්) කාම වස්තු කෙරෙහි ඔවුන්ගේ ඇල්මක් වේද, කාම ආශාවක් වේද, කාම මුර්ඡාවක් වේද, කාම පිපාසයක් වේද, කාම දැවිල්ලක් වේද, එය අභ්‍යන්තරයෙහි මනාව නැති නොවූයේ වේද, මනාව මැඩ නොපවත්වන ලද්දේ වේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ තියුණුවූ, කටුකවූ වේදනාවන් විඳිත්. ඔවුහු ආර්‍ය්‍යඥාන දර්ශනයටද, නිරුත්තර අවබොධයටද නුසුදුස්සෝමය.

ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනාවන් ඉදින් නොවිඳින්නාහුද, ඥානදර්ශනය ලැබීමටද, නිරුත්තරවූ අවබොධයටද නුසුදුස්සෝමය. අග්ගිවෙස්සනය, මේ වනාහි මට වැටහුනු පුදුමවූ, පෙර නොඇසුවාවූ දෙවෙනි උපමාවයි.

Msdiv 376 “අග්ගිවෙස්සනය, පුදුමවූ පෙර නොඇසුවාවූ තුන් වෙනිවූ අන්‍ය උපමාවක්ද මට වැටහුනේය. අග්ගිවෙස්සනය, වියලුනාවූ, කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩබිමෙහි තබනලද වියලි දරලීයක් වේද, එකල්හි පුරුෂයෙක් ගිනිගානා දණ්ඩ ගෙන ගිනි උපදවන්නෙමි. ගින්න ඇති කරන්නෙමියි එන්නේය. අග්ගිවෙස්සනය, ඒ පුරුෂතෙම වියලුනාවූ කිරි සිඳුනාවූ, දියෙන් ඈත්කොට ගොඩ තබනලද ඒ ලීය ඒ ගිනි ගානා දණ්ඩ ගෙන මැදීමෙන් ගිනි උපදවන්නේද? ගින්න ඇති කරන්නේද?” “භවත් ගෞතමයෙනි, එසේය. ඊට හේතු කවරේද? භවත් ගෞතමයෙනි, ඒ ලීය වියලුනේ වෙයි, කිරි සිඳුනේවෙයි, දියෙන් ගෙන ගොඩ තබන ලද්දේත් වෙයි.” “අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කයින් කාමයන්ගෙන් වෙන්ව වාසය කරත්ද, ඔවුන්ගේ කාමවස්තූන් කෙරෙහි යම් ඇල්මක් වේද, කාමආසාවක් වේද, කාම මුර්ඡාවක් වේද, කාම දැවිල්ලක් වේද ඒ කාමආශාව අධ්‍යාත්මයෙහි (ඇතුලත) හොඳින් ප්‍රහීනවූයේ වේද, හොඳින් මැඩ පැවතියේද, ඒ පින්වත් මහණ බමුණෝ උපක්‍රමයෙන් හටගත්තාවූ, තියුණුවූ, කටුකවූ, වෙදනාවන් නොවිඳිත්. ඔවුහු මාර්ගඥානදර්ශනය පිණිස, නිරුත්තරවූ අවබොධය පිණිස සුදුස්සෝමැයි.

“අග්ගිවෙස්සනය, ආශ්චර්‍ය්‍යවූ පෙර නොඇසු විරූ මේ උපමාතුන මට වැටහුනාහුය.

Msdiv 377 “අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත පහළ විය. යම් හෙයකින් මට යටි දත් පෙළෙහි උඩු දත් පෙළ තදකරගෙන (දත් මිටි කාගෙන,) දිව උඩුතල්ලෙහි තද කරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නෙම් නම්, පෙළන්නෙම් නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම දත්මිටිකාගෙන දිවඋඩුතල්ලෙහි තදකරගෙන, කුසල් සිතින් අකුසල් සිත යටපත් කරමි, පෙළමි, තවමි. අග්ගිවෙස්සනය, දත්මිටි කාගෙන, දිව උඩුතල්ලෙහි තද කරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙන්නේය.

“අග්ගිවෙස්සනය, යම්සේ බලවත් පුරුෂයෙක්තෙම වඩා දුර්වල පුරුෂයෙකු හිසින් හෝ අල්වාගෙන, බෙල්ලෙන් හෝ අල්වාගෙන තදකරන්නේද, පෙළන්නේද, තවන්නේද, අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම දත්මිටිකාගෙන, දිව උඩු තල්ලෙහි තදකරගෙන කුසල් සිතින් අකුසල් සිත යටපත් කරන්නාවූ, පෙළන්නාවූ, තවන්නාවූ ඒ මාගේ කිහිලිවලින් ඩාදිය වැගිරෙයි.

“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේය. සිහිය එළඹ සිටියාය. එහෙයින්ම නුමුළාවිය. ප්‍රධාන වීර්‍ය්‍යයෙන් මඬන ලද්දාවූම මාගේ ශරීරය දාහ සහිත විය. නොසන්සිඳුනේ විය. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක්වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

Msdiv 378 “අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත පහළ විය යම් හෙයකින් මම ආශ්වාසකිරීම් රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක (කියාය.) අග්ගිවෙස්සනය, ඒ මම කටින්ද, නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. අග්ගිවෙස්සනය, කටින්ද, නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි. මයින හමක් පිඹින කල්හි යම්සේ අධික ශබ්දයක් ඇතිවේද, එපරිද්දෙන්ම අග්ගිවෙස්සනය, මාගේ මුඛයෙන්ද නාසයෙන්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි කන් සිදුරුවලින් පිටවන වාතයෙහි අධික ශබ්දය ඇතිවෙයි.

“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නා ලදී. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළා නොවීය. ප්‍රධාන වීර්‍ය්‍යයෙන් වීර්‍ය්‍යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසන්සිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වෙදනාව කුසල් සිත විනාශ නොකරයි.

“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාක් මෙන් වෙයි අග්ගිවෙස්සනය, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කටුවකින් හිස්මුදුන විදින්නේද, එපරිද්දෙන්ම අග්ගිවෙස්සනය, මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ, කල්හි අධික වාතය හිස්මුදුන පලන්නා සේ වෙයි

“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්‍ය්‍යයෙන් වීර්‍ය්‍යය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද, දුක් වෙදනාව කුසල් සිත විනාශ නොකරයි.

“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද නාසයෙන්ද කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි හිසෙහි අධික වේදනාව ඇති වෙයි. අග්ගිවෙස්සනය, යම් සේ බලවත් පුරුෂයෙක් දැඩි වරපට බැම්මකින් හිස වෙළයිද, එපරිද්දෙන්ම අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ හිසෙහි වේදනාව ඇති වෙයි.

“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය ප්‍රධාන වීර්‍ය්‍යයෙන් වීර්‍ය්‍ය වඩන්නාවූ මාගේ ශරීරය දාහ සහිත විය. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වේදනාව කුසල් සිත විනාශ නොකරයි.

“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානය වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූවෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධිකවූ වාතයෝ කුස සිඳිත්.

“අග්ගිවෙස්සනය, දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගෙරින් කපන තියුණු ආයුධයකින් බඩ කපන්නේ යම්සේද, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය උදරය කපන්නාසේ වෙයි.

“අග්ගිවෙස්සනය, මා විසින් නොහැකුළුණු වීර්‍ය්‍යය පටන් ගන්නා ලද්දේමය, සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්‍ය්‍යයෙන් වීර්‍ය්‍ය කරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වෙදනාව කුසල් සිත විනාශ නොකරයි.

“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. ආශ්වාස රහිතවූ ධ්‍යානය වඩන්නෙම්නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද, ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වුයෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළක්වූ කල්හි ශරීරයෙහි අධික දැවිල්ලක් වෙයි. අග්ගිවෙස්සනය, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්වල පුරුෂයෙකු අත් දෙකෙන් අල්ලා ගෙන අඟුරු වළකට අල්ලා තවන්නාහුද, අතිශයින් තවන්නාහුද, අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි මගේ ශරීරයේ අධික දැවිල්ලක් වෙයි.

“අග්ගිවෙස්සනය, මා විසින් වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේමය. සිහිය එළඹ සිටියාය. (එහෙයින්ම) මුළාව නොවීය. ප්‍රධාන වීර්‍ය්‍යයෙන් වීර්‍ය්‍යකරන්නාවූ මාගේ ශරීරය දාහ සහිත වීර්‍ය්‍යයෙන්ම විඩා සහිත වෙයි. නොසංසිඳුනේ වෙයි. අග්ගිවෙස්සනය, මට උපන්නාවූ මෙබඳුවූද දුක් වෙදනාව කුසල් සිත විනාශ නොකරයි.

“එකල්හි දේවතාවෝ මා දැක මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතම තෙම කළුරිය කළේය’ (කියායි) ඇතැම් දේවතා කෙනෙක් මෙසේ කීහ. ‘ශ්‍රමණ ගෞතමතෙම කළුරිය නොකෙළේය. එහෙත් කළුරිය කරන්නේය’ (කියායි.) ඇතැම් දෙවතා කෙනෙක් ‘ශ්‍රමණ ගෞතම තෙම කලුරිය කළේත් නොවේ. කලුරිය කරන්නේත් නොවෙයි. ශ්‍රමණ ගෞතම තෙම රහත්ය. රහතුන්ගේ වාසය කිරීමකැ’යි (කීහ.)

Msdiv 379 “අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. යම් හෙයකින් මම මුළුමනින් ආහාර නොවැළඳීම පිණිස පිළිපදින්නෙම් නම් ඉතා යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, එවිට දේවතාවෝ මා වෙත පැමිණ මෙසේ කීහ. ‘නිදුකාණෙනි, ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටින්නට නොසිතුව මැනවි. යම් හෙයකින් ඔබ මුළුමනින් ආහාර නොගෙන සිටිය හොත් අපි ඔබගේ ලෝම සිදුරුවලින් දිව්‍ය ඕජස් ශරීරගත කරන්නෙමු. ඔබ එයින් යැපෙන්නෙහිය.’ අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. මම වනාහි මුළුමනින් නිරාහාරව සිටීමට සිතින් එකඟ වුනෙමි. එහෙත් මේ දේවතාවෝ මාගේ ලොම් සිදුරුවලින් දිව්‍ය ඕජස ගිල්වන්නාහු නම් එයින් මම යැපෙන්නෙමි. එය මාගේ මුසාවක් වන්නේය. (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම ඒ දෙවියන් වැළැක්වූයෙමි. වුවමනා නැතැයි කීයෙමි.

Msdiv 380 “අග්ගිවෙස්සනය, ඒ මට මේ සිත පහළ විය. යම් හෙයකින් මම පතක් පතක් පමණවූ මුංතැම්බු දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බු දිය හෝ ඉතා ස්වල්පවූ ආහාරයක් වළඳන්නෙම් නම් යෙහෙකි (කියායි.)

“අග්ගිවෙස්සනය, ඒ මම පතක් පතක් පමණවූ, මුංතැම්බූ දිය හෝ කොල්ලු තැම්බු දිය හෝ කඩල තැම්බු දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාරය වැළඳුවෙමි. අග්ගිවෙස්සනය, ඒ මම පතක් පතක් පමණවූ මුං තැම්බූ දිය හෝ කොල්ලු තැම්බූ දිය හෝ කඩල තැම්බූ දිය හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වශයෙන් ආහාර ගන්නාවූ ඒ මාගේ ශරීරය ඉතා කෙට්ටු බවට පැමිණියේ වෙයි. අසූ වසක් ගිය වැලක පුරුක් හෝ කලුවැල් නම් වැලක පුරුක් හෝ යම්සේද මාගේ අඟපසඟ ඒ නිරාහාරභාවය නිසාම එබඳුවිය. ඔටුපියවර යම්සේ මැද ගැඹුරුවේද, එපරිද්දෙන්ම ඒ නිරාහාර භාවයෙන් මාගේ නිසීදනමාංසය (තට්ටම) මැදින් ගැඹුරු විය. රැහැණක ඇවුණු දැව වැටිය යම්සේ අතරතුර උස් මිටි වේද, එපරිද්දෙන් ඒ නිරාහාර භාවයෙන් මාගේ කොඳු ඇටය උස් මිටිවෙයි. යම්සේ දිරූ ශාලාවක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙද්ද, එපරිද්දෙන් මාගේ ඉළඇට උඩුයටි වශයෙන් නැමුනාහු වෙත්. ගැඹුරුවූ ළිඳෙක දියයට පෙණෙන තුරු ගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්ද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මාගේ ඇස්වල නෙත්තරු වලගැඹුරට ගියාහු යට බැස්සාහු දක්නා ලැබෙත්. යම්සේ නම් තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලද්දේ අව්සුළඟින් හැකුලුණේද මැලවුනේද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මගේ හිසේ සම හැකුලුණේ මැලවුනේ වෙයි.

“අග්ගිවෙස්සනය, ඒ මම බඬේ සම අතගාන්නෙමියි පිට කටුවම අතගාන්නෙමි. පිට කටුව අල්වමියි බඬේ සම අල්ලමි. අග්ගිවෙස්සනය, ඒ ස්වල්ප ආහාරය නිසා එපමණට මාගේ බඬේ සම කොඳු ඇටයෙහි ඇලුනේ වෙයි. ඒ මම වර්චස් හෝ මුත්‍ර හෝ කරන්නෙමියි හුන්නේ ඒ ස්වල්ප ආහාරය නිසාම එහිම යටිකුරුව වැටෙමි. මම මේ ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. අග්ගිවෙස්සනය, එසේ ශරීරයේ අවයව අතගානවිට, ඒ ස්වල්ප ආහාරය නිසාම මුල්කුණුවූ ලොම් ශරීරයෙන් වැටෙත්.

“අග්ගිවෙස්සනය, සමහර මිනිස්සු මා දැක මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලුය.’ ඇතැම් මිනිස්සු මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලු නොවෙයි පලාවන් පාටය.’ ඇතැම් මනුෂ්‍යයෝ මෙසේ කීවාහුය. ‘ශ්‍රමණ ගෞතමතෙම කලුත් නොවෙයි, පලාවන් පාටත් නොවෙයි, ශ්‍රමණ ගෞතමතෙම රන් වන් සිවි ඇත්තේයි.’ අග්ගිවෙස්සනය, මෙසේ කීමට තරමටම මාගේ පිරිසිදුවූ හාත්පසින් බබලන්නාවූ ශරීරවර්ණය ඒ නිරාහාරභාවය නිසාම නැසුනේ වෙයි.

Msdiv 381 “අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ සිතුනේය. අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා වින්දාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ, දුක්වූ, තියුණුවූ, කටුකවූ වේදනා විඳින්නාහු නම් ඒ මේ තරම්ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. මේ වර්තමාන කාලයෙහි යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ උපක්‍රමයෙන් උපන්නාවූ දුක්වූ, තියුණුවූ වෙදනාවන් විඳිත් නම් ඒ මේ තරම්ම වෙයි මීට වඩා වැඩි නොවෙයි. මම වනාහි මේ කටුකවූ දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්‍ය්‍ය භාවය ඇති කිරීමට සමර්ථවූ ඥානදර්ශන විශෙෂයක් නොලබමි. මාර්ගාවබොධය පිණිස අන්‍ය මාර්ගයෙක් ඇත්තේදැයි (කල්පනා විය.)

“අග්ගිවෙස්සනය, ඒ මට මේ අදහස විය. මම, පියවූ ශුද්ධොදන ශාක්‍ය රාජයාගේ වප්මගුල් දිනයෙහි සිහිල්වූ දඹ රුක් සෙවනෙහි හුන්නේ කාමයන් ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කළබව දනිමි. ඒ මාර්ගය මාර්ගඥාන අවබොධය පිණිස වන්නේයි (අදහස් විය.) අග්ගිවෙස්සනය, ඒමට අවබොධය පිණිස මේ මාර්ගයමැයි සිහිය අනුව පැවති විඤ්ඤාණය පහළවිය. අග්ගිවෙස්සනය, ඒ මට මේ අදහස විය. කාමයන්ගෙන් වෙන්වූ අකුශල ධර්මයන්ගෙන් වෙන්වූ යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය වෙමිද (කියාය.) අග්ගිවෙස්සනය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. කාමයන්ගෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ යම් ඒ සැපයක්වේද, මම ඒ සැපයට භය නොවෙමියි (කීවාය.)

Msdiv 382 අග්ගිවෙස්සනය, ඒ මට මේ කල්පනාව ඇතිවිය. මෙ තරම් දුර්වලවූ ශරීරයකින් යුක්තව ඒ (ප්‍රථමධ්‍යාන) සැපය ලබන්නට බැරිය. යම්හෙයකින් මම බත් හා කොමුපිඩු ආදි ඖදාරික ආහාරයක් ගන්නෙම් නම් හොඳය (කියාය.)

“අග්ගිවෙස්සනය, ඒ මම බත්, කොමපිඩුයැයි කියන ඔළාරික ආහාරයක් ගත්තෙමි. අග්ගිවෙස්සනය, ඒ කාලයෙහි ‘ශ්‍රමණ ගෞතමතෙම යම් ලොවුතුරා දහමක් ලැබුයේ නම් එය අපට කියන්නේය’ යන අදහසින් භික්ෂූන් පස්දෙනෙක් මට උපස්ථාන කරමින් සිටියහ. අග්ගිවෙස්සනය, යම් කලක පටන් මම බත් හා කොමුපිඩු ආහාර ගන්නට වූයෙම්ද, එකල්හි ඒ භික්ෂුහු ‘ශ්‍රමණ ගෞතමතෙම ප්‍රත්‍යය බහුලකොට ඇත්තේය. රසයෙහි ගිජුව ප්‍රණීත පිණ්ඩපාතාදිය වැළදීමට හැරුණේය. වීර්‍ය්‍යය කිරීමෙන් පිරිහුණේයැ’යි කියා කලකිරී බැහැර ගියාහුය.

Msdiv 383 “අග්ගිවෙස්සනය, ඒ මම ඕලාරික ආහාරගෙන ශරීර ශක්තිය ලැබ කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ විවෙකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

විතක්ත විචාර සංසිඳීමෙන් අභ්‍යන්තර පැහැදීම ඇති හිතේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූද සැප වෙදනාවද මගේ කුසල් සිත විනාශ නොකරයි. මැඩගෙන නොසිටියි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙළෙමි. සිහියෙන් හා මනා නුවණින් යුක්තවූයේ කයින්ද සැපය වින්දෙමි. යමක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ, සැප විහරණ ඇත්තේයැයි ආර්‍ය්‍යයෝ කියත්ද. ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි. සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක්නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදුබව ඇති සතර වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳු වූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

Msdiv 384 “ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූකල්හි (පිරිසිදු හෙයින්ම) දීප්තිමත්වූ කල්හි අංගන (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි සිත ස්ථිරවූ කල්හි පෙර ජාති දැනීමේ ඤාණය පිණිස සිත නැමුයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්වෙනිවාසය (පෙර උපන් ජාති,) සිහිකරමි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසුවල් තැන උපන්නෙමි, එහිදී මේ නම් ඇත්තේ වීමි, මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ, දැක්වීම් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි.

“අග්ගිවෙස්සනය, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. (එය වසන) අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේවිය. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූ සැප වේදනාවද මගේ කුසල් හිත විනාශ නොකරයි.

Msdiv 385 “ඒ මම මෙසේ (හිත සමාධියෙන්) එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, (පිරිසුදු හෙයින්) දීප්තිමත්වූ කල්හි, අංගණ (රාගාදි කෙලෙස්) රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සත්ත්වයන්ගේ චුති උත්පත්ති දෙක දැකීම පිණිස සිත නැමීමි. ඒ මම පිරිසිදුවූ, මිනිස් බව ඉක්මවා සිටි දිවඇසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කර්මය පරිදි මියගියාවූ, සත්වයන් දකිමි.

“ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනොදුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්ට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන, නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු, මනො සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්ට දොස් නොකීවාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලොකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, ලාමක වූද, ප්‍රණීතවූද, මනා වර්ණ ඇත්තාවූද, මනා වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද කර්මය පරිදි මියගියාවූ සත්වයන් දනිමි.

“අග්ගිවෙස්සනය, මා විසින් රාත්‍රියෙහි මැද යාමයෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම්, ඉපදීම් දක්නා නුවණ) ලබනලදී. (එය වසන) අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලොකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ වීය. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

Msdiv 386 “ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, ආශ්‍රව ක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත නැමුයෙමි. ඒ මම, මෙය දුකය’යි තතුසේ දත්තෙමි. මේ ‘දුක් ඉපදීමට හේතුවය’යි තතුසේ දත්තෙමි. මේ ‘දුක් නැති කිරීමය’යි තතුසේ දත්තෙමි. මේ ‘දුක් නැති කිරීමය’යි තතුසේ දත්තෙමි. ‘මේ දුක නැති කිරීමේ මාර්ගය’යයි තතුසේ දත්තෙමි. ‘මොහු ආශ්‍රවයෝය’යි තතුසේ දැනගතිමි. ‘මේ ආශ්‍රවයන්ගේ හටගැන්මය’යි තතුසේ දැනගතිමි. ‘මේ ආශ්‍රවයන්ගේ නැතිකිරීමය’යයි තතුසේ දැනගතිමි. ‘මේ ආශ්‍රවයන් නැති කිරීමේ මාර්ගය’යි තතුසේ දැනගතිමි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදුනේය. භවාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. අවිද්‍යාශ්‍රවයන්ගෙන්ද මිදුනේය. මිදුන කල්හි මිදුනේයයි දැනීම පහළවිය. උත්පත්තිය කෙළවර විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. කළයුතු අනිකක් නැත්තේයයි දැනගතිමි.

“අග්ගිවෙස්සනය, රාත්‍රියෙහි අන්තිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රවක්ෂයකරඥාන නම්වූ අර්හත් මාර්ගය) මා විසින් ලබනලදී. (එය වසන) අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මොහය) නසන ලද්දේය. ආලොකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව වාසය කරන්නෙකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය. අග්ගිවෙස්සනය, උපන්නාවූ මෙබඳුවූද සැප වේදනාව මගේ කුසල් සිත විනාශ නොකරයි.

Msdiv 387 “අග්ගිවෙස්සනය, මම වනාහි නොයෙක් සියගණන් පිරිසෙහි ධර්මය දෙශනා කළ බව දනිමි. (එහිදී) ‘මටම ශ්‍රමණ ගෞතමතෙම ධර්මය දෙශනා කරන්නේය’යි එක් එක් පුද්ගලයා සිතයි. අග්ගිවෙස්සනය, මේ කාරණය මෙසේ නොදත යුතුයි. තථාගතතෙම අන්‍යයන්ට ධර්මය අවබොධ කිරීම පිණිසම ධර්මය දෙශනා කරති. අග්ගිවෙස්සනය, ඒ මම ඒ දෙශනාව අවසානයෙහිත් මුලදිත් යම් කිසි සමාධියකින් නිතර වාසය කරන්නෙම් නම් ඒ සමාධියෙහිම සිත පිහිටුවමි, හිඳුවමි, එකඟ කරමි, සමාධිගත කරමි.”

“යම් ඵලසමාපත්තියකින් නිතරම වාසයකරමි’යි (වදාරන සේක්ද) අර්හත්වූ සම්‍යක්සම්බුද්ධ කෙනෙකුට යම්සේ නම් එසේම භවත් ගෞතමයින්ගේ මේ සමාපත්තියට සමවැදීම ඇදහිය යුතුය භවත් ගෞතමතෙම දවල් නිදාගත් බවක් දන්න සේක්ද?” “අග්ගිවෙස්සනය, ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි බතින් පසුව පිණ්ඩපාතයෙන් වැළකුනේ සඟල සිවුර සතර පටක් කොට එලා සිහි ඇතිව මනා නුවණ ඇතිව දකුණු ඇලයෙන් නිදාගත් බව මම දනිමි.” “භවත් ගෞතමයෙනි, ඇතැම් මහණ බමුණෝ මේ දහවල් නිදීම වනාහි සම්මොහ විහරණයයි (මුළාවී වාසය කිරීමක්යයි) කියත්.” “අග්ගිවෙස්සනය, මෙපමණකින් මුළාවූවෙක් හෝ නුමුළාවූවෙක් හෝ නොවෙයි. අග්ගිවෙස්සනය, යම්සේ මුළාවූවෙක් වේද, මුළානොවූවෙක් හෝ වේද, එය අසව, මනාකොට සිතෙහි තබාගනුව, කියන්නෙමි.’ “එසේය, පින්වතුන්වහන්ස” කියා සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

Msdiv 388 “අග්ගිවෙස්සනය, යම් කිසිවෙකුට සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇතිකරන්නාවූ දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවූ යම් ආශ්‍රවයෝ වෙද්ද, ඔවුහු නැති නොවූවාහුද, ඔහු මුළාවූවෙකැයි මම කියමි. අග්ගිවෙස්සනය, ආශ්‍රවයන්ගේ නැති නොකිරීම නිසා මුළාවෙයි.

“අග්ගිවෙස්සනය, යම් කිසිවෙකුට සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක දෙන්නාවූ මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවූ යම් ආශ්‍රවකෙනෙක් වෙද්ද, ඔවුහු නැතිවූවාහුද, මම ඔහු නොමුළාවූවෙකැයි කියමි. අග්ගිවෙස්සනය, කෙලෙසුන් නැති කිරීමෙන් නොමුළාවූයේ වෙයි.

“අග්ගිවෙස්සනය, තථාගතයන් වහන්සේට වනාහි සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූද, දැවිලි සහිතවූ, දුක් විපාක ඇතිකරන්නාවූ, මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවූ යම් ආශ්‍රවයෝ වෙත්ද, ඔවුහු නැති වූවාහුය, සිඳිනලද මුල් ඇත්තාහ. මුලින් උදුරන ලද තල් ගසක් මෙන් කරන ලදහ. විනාශ කරන ලදහ. මත්තෙහි නූපදින ස්වභාව ඇත්තාහ. අග්ගිවෙස්සනය, මුදුන කපන ලද තල් ගසක් යම්සේ නැවත වැඩෙන්නට නොසුදුසුද, අග්ගිවෙස්සනය, එපරිද්දෙන්ම තථාගතයන් වහන්සේගේ, සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක ඇති කරන්නාවූ, මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවූ යම් ක්ලෙසයෝ වෙත්ද, ඔවුහු නැති වූහ. මුල් සිඳින ලද්දාහ. මුලින් උදුරන ලද තල් ගසක් මෙන් කරන ලදහ. විනාශ කරන ලදහ. මත්තෙහි නූපදින ස්වභාව ඇත්තාහ.

Msdiv 389 මෙසේ වදාළ කල්හි සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ‘භවත් ගෞතමයාණෙනි, ආශ්චර්‍ය්‍යය, භවත් ගෞතමයාණෙනි, අද්භූතය, මෙසේ ගට ගටා කියනු ලබන්නාවූ, එලව එලවා කියනලද, වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවූ භවත් ගෞතමයින්ගේ ශරීරවර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්‍යක් සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේය.

“භවත් ගෞතමයාණෙනි, මම පූරණ කාශ්‍යපහට වාද කථාවෙන් වාදය ආරොපණය කළබව දනිමි. හෙතෙම වනාහී මා විසින් වාද කථාවෙන් වාදය පටන් ගන්නා ලද්දේ අන්‍ය කථාවකින්, කථාව යටපත් කෙළේය. කථාව පිටතට නැමීය. කෝපයද, ද්වෙෂයද, නොසතුටද පහළ කෙළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවූ වෙත පමුනුවන ලද්දාවූ, වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවූ භවත් ගෞතමයින්ගේ වනාහි ශරීරවර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්‍යක් සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේමය. භවත් ගෞතමයාණෙනි, මක්ඛලිගොසාලහටද, වාදයෙන් වාදය නැගුවා දනිමි. ඔහු වනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කෝපයද, ද්වෙෂයද, නොසතුටද පහළ කළේය. මෙසේ ගටගටා කියනු ලබන්නාවූ, වෙත පමුණුවනු ලද්දාවූ, වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවූ භවත් ගෞතමයින්ගේ වනාහි ශරීර වර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්මාසම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේයි.

“අජිතකෙසකම්බලහටද, වාදයෙන් වාදය නැගුවා දනිමි. ඔහුවනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද, ද්වෙෂයද, නොසතුටද පහළ කළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවූ, වෙත පමුණුවන වචනවලින් ව්‍යවහාරකරනු ලබන්නාවූ භවත් ගෞතමයන්ගේ ශරීර වර්ණයද බබලයී. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්මා සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේයි.

“පකුධකච්චායනටද, වාදයෙන් වාදය නැගුවා දනිමි. ඔහු වනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ, වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද, ද්වෙෂයද, නොසතුටද පහළ කෙළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවූ, වෙත පමුණුවන වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවූ භවත් ගෞතමයන්ගේ ශරීර වර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්මා සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේය.

“සංජය බෙලට්ඨිපුත්තටද, වාදයෙන් වාදය නැගුවා දනිමි. ඔහු වනාහි මා විසින් වාදයෙන් වාදය පටන්ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද, ද්වෙෂයද, නොසතුටද පහළ කළේය. මෙසේ ගට ගටා කියනු ලබන්නාවූ, වෙත පමුණුවන වචනවලින් ව්‍යවහාර කරනු ලබන්නාවූ භවත් ගෞතමයන්ගේ ශරීර වර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්මා සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේය,

“නිගණ්ඨනාතපුත්තටද, වාදයෙන් වාදය නැගුවා දනිමි ඔහු වනාහි මා විසින් වාදයෙන් වාදය පටන් ගන්නා ලද්දේ වෙන කථාවකින් කථාව යට කළේය. කථාව පිටතට නැමීය. කොපයද, ද්වෙෂයද, නොසතුටද පහළ කෙළේය. මෙසේ ගටගටා කියනු ලබන්නාවූ, වෙත පමුණුවන වචන වලින් ව්‍යවහාර කරණු ලබන්නාවූ භවත් ගෞතමයන්ගේ ශරීරවර්ණයද බබලයි. මුහුණෙහි වර්ණයද පහදියි. අර්හත්වූ සම්මා සම්බුදු කෙනෙකුට යම්සේ නම් එසේය.

“භවත් ගෞතමයාණෙනි, දැන් අපි යන්නෙමු. අපි බොහෝ වැඩ කටයුතු ඇත්තෝ වෙමු.” “අග්ගිවෙස්සනය, නුඹ යමක් සඳහා සුදුසුයයි හඟින්නෙහිද, දැන් ඊට කාලය”යි වදාළහ. ඉක්බිති සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගෙන උන් ආසනයෙන් නැගිට ගියේය.

සයවෙනිවූ මහා සච්චක සූත්‍රය නිමි. (4-6)

AP de Zoysa edition.

Permission to publish was kindly granted by Kumari Jayawardhana.

Digital files were kindly supplied by Sirisumana Godage of Godage International Publishing , who publish a print edition of this text.

Conversion from PDF was by Janaka of http://pitaka.lk/ .

The assistance of Amaradasa Liyanagamage, Ven Mettavihari and Maithri Panagoda is gratefully acknowledged.

Prepared for SuttaCentral by Ayya Vimala .

SOURCE

Translation: A.P. de Zoysa Verify source

More in this collection